හසිත චාමිකර ගුණසිංහ

ඉතිහාස අධ්‍යයන අංශය, කැලණිය විශ්වවිද්‍යාලය, කැලණිය.

Vimaladharmasuriya_I-Sri Lanka
I වැනි විමලධර්මසූරිය රජතුමා (https://en.wikipedia.org/wiki/Vimaladharmasuriya_I_of_Kandy අඩවිෙයන් උපුටා ගන්නා ලදී.)

කන්ද උඩරට ස්ථාවර රාජධානියක් බවට පත් කරමින් එ වකට ලංකාවේ පැවති අරාජික තත්වය පහකර බෞද්ධ ජනතාවට සහනයක් සලසමින් රාජ්‍යත්වයට පත් වූයේ උඩරට ප‍්‍රාදේශීය අධිපතියෙක් වූ වීරසුන්දර බණ්ඩාරගේ පුත් කොනප්පු බණ්ඩාර ය. රාජ්‍යත්වයට පත්වීමත් සමඟ I වැනි විමලධර්මසූරිය නමින් හැඳින්වුණු මෙම රජතුමා පෘතුගීසීන් සමඟ 1594 දන්තුරේ දී සිදුකළ සටනින් විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබාගත් අතර ඒ සමඟ ම උඩරට රාජ්‍යයේ නීත්‍යානුකූල හිමිකාරිය වූ දෝන කතිරිනා නොහොත් කුසුමාසන දේවිය සරණ පාවා ගෙන රාජ්‍ය බලය තහවුරු කරගැනීමට කටයුතු කළේ ය. පසුව උඩරට රාජධානියේ ආරක්ෂක සංවිධාන තර කිරීම, ආර්ථික අංශය වර්ධනය කිරීම මෙන් ම දළදාව අගනුවරට වැඩම කරවා දළදා මාළිගයක් නිමවා තැන්පත් කරවීම ආදී ලෙස දේශපාලනික, ආර්ථික සහ ආගමික අංශ සඳහා ඳ විමලධර්මසූරිය රජතුමා විශාල දායකත්වයක් දක්වන ලදී.

I වැනි විමලධර්මසූරිය රජතුමාගේ දරුවන් පිළිබඳ කරුණු සොයා බැලීමේ දී එ තුමා රාජ්‍යත්වයට පත්වීමට පෙර පැවති සබඳතා නිසා මෙන් ම අග බිසව වූ කුසුමාසන දේවියට දාව ද දරුවන් සිටි බව පෙනේ.

සීතාවක රාජසිංහ රජතුමා තම පියා වූ වීරසුන්දර බණ්ඩාරව බොරු වළක දමා මරා දැමීමෙන් පසු ව තම ආරක්ෂාව පතා කෝට්ටේ රාජධානියට පලා ආ කොනප්පු බණ්ඩාර තරුණයා එ වකට කෝට්ටේ රාජධානියේ ප‍්‍රධාන අමාත්‍යවරයා වූ තම්මිට බණ්ඩාරගේ දියණිය ව සරණ පාවා ගත්තේ ය. පසුව කොනප්පු බණ්ඩාරට දාව තම්මිට කුමරිය පුත‍්‍රයෙක් බිහි කළ අතර එම පුත‍්‍රයා සහ තම්මිට කුමරිය කොනප්පු බණ්ඩාර උඩරට රාජධානිය පිහිටුවන කාලය වන විටත් පෘතුගීසීන් භාරයේ සිටි බව ද ෆර්නා ඕ ද ක්වේරෝස් තම Conquista Temporale Espiritual da Ceylao කෘතියේ දක්වයි. I වැනි විමලධර්මසූරිය රජතුමා කීප වරක් ම තම්මිට කුමරිය සහ පුත‍්‍රයාව තමාට භාර කරන ලෙස ඉල්ලීම් කළ ද ඒවා පෘතුගීසීන් විසින් ප‍්‍රතික්ෂේප කළ හෙයින් උඩරටට යාමේ අවස්ථාව අහිමි වුණු තම්මිට කුමරිය කොළඹ කොටුවේ විසූ දොන් ෆ‍්‍රැන්සිස් නම් පෘතුගීසි ජාතිකයා හා විවාහ වුණු අතර පෘතුගීසීන් විසින් ඇගේ පුත‍්‍රයා ව උසස් අධ්‍යාපනය සඳහා ගෝවේහි පිහිටි King’s College වෙත පිටත් කර හරින ලද බව එහි සඳහන් වේ.

1604 වර්ෂයේ දී I වැනි විමලධර්මසූරිය රජු විසින් මරණාසන්න ව සිටිය දී තමාට දාව තම්මිට කුමරිය ලද පුත‍්‍රයා ව මීළඟ උරුමක්කරු ලෙස නම් කර රාජ්‍යය ලබාදීමට උත්සාහ කළ ද ගෝවේහි අධ්‍යාපන කටයුතුවල නියැලෙමින් සිටි එම පුත‍්‍රයාව උඩරටට පිටත් කිරීම පෘතුගීසීන් විසින් ප‍්‍රතික්ෂේප කොට තිබේ. කෙසේ වෙතත්, තම්මිට කුමරියට උපන් පුත‍්‍රයාගේ අවසානය පිළිබඳ ව පැහැදිලි තොරතුරක් සාහිත්‍ය මූලාශ‍්‍රය තුළින් දැකගත නොහැක.

මේ හැර කෝට්ටේ රාජධානියට පලා ආ කොනප්පු බණ්ඩාර විසින් සිදු කරන ලද මනුෂ්‍ය ඝාතනයක් හේතු කොටගෙන ඔහුව ගෝවේ බලා පිටත් කළ අතර එහි වාසය කරන සමයේ දී දාමරිකයෙක් මෙල්ල කිරීමත් සමඟ කොනප්පු බණ්ඩාර ගෝවේ ජනපි‍්‍රය පුද්ගලයෙක් බවට පත්වුණි. එ නිසා ම ඔහුට ආකර්ෂණය වූ ගෝවේහි විසූ පෘතුගීසි කාන්තාවක්ව ද කොනප්පු බණ්ඩාර විසින් විවාහ කරගත් අතර ඇය ද කොනප්පු බණ්ඩාරට දාව පුත‍්‍රයෙක් බිහි කළා ය. ඒ පුත‍්‍රයා ද 1604 දී I වැනි විමලධර්මසූරිය රජු මිය ගියාට පසුව ද දිගු කලක් ගෝවේහි වාසය කළ බවට තොරතුරු පෘතුගීසී ලේඛනවල දක්වා තිබේ. පෘතුගීසී කාන්තාවට උපන් මේ පුත‍්‍රයාගේ අවසානය පිළිබඳව ද පැහැදිලි තොරතුරක් සාහිත්‍ය මූලාශ‍්‍රය තුළින් දැකගත නොහැක.

I වැනි විමලධර්මසූරිය රජුගේ දරුවන් පිළිබඳ ව 1602 නොවැම්බර් මාසයේ දී මෙ රටට පැමිණි ලන්දේසි අද්මිරාල් ජොරිස් වාන් ස්පිල්බර්ජන් දක්වන විස්තරයට අනුව රජුට වයස අවුරුදු 6ක් පමණ වූ දූ කුමරියක් සහ අවුරුදු 3 ක් පමණ වූ පුත් කුමරෙක් සිටි බව දැක් වේ. දේශීය මූලාශ‍්‍රයක් වන රාජාවලිය දක්වන්නේ I වැනි විමලධර්මසූරිය රජතුමාට දාව කුසුමාසන දේවියට එක් දූකුමරියක් සහ පුත් කුමරුන් සතර දෙනෙක් සිටි බවයි. ඔවුන් රාජසූරිය අස්ථාන, උඩුමාලේ අස්ථාන, කුමාරසිංහ අස්ථාන හා විජයපාල අස්ථාන නම් වූ අතර එහි දූ කුමරියගේ නම සඳහන් කර නොමැත.

Kusumasana_Devi-Dona_Catherina-Sri Lanka
ෙදා්න කැතිරිනා ෙහවත් කුසුමාසන දේවිය (ෙමම ඡායාරූපය https://en.wikipedia.org/wiki/Dona_Catherina_of_Kandy අඩවිෙයන් උපුටා ගන්නා ලදී.)

I වැනි විමලධර්මසූරියගෙන් පසු ව රාජ්‍ය භාරගත් රජුගේ ඥාති සොයුරු සෙනරත් රජු කුසුමාසන දේවිය සහ I වැනි විමලධර්මසූරිය රජුගේ දරුවන්ව ද භාරගත් අතර පසු ව සෙනරත් රජුට දාව කුසුමාසන දේවිය විසින් දේවරාජසිංහ අස්ථාන (පසුව II වැනි රාජසිංහ නමින් ප‍්‍රකට වූ රජු) කුමරු බිහි කළා ය. සෙනරත් රජු තුමාගෙන් පසු ව උඩරට රාජ්‍යය තම පුතුන්ට පවරා දීමේ දී කුමාරසිංහ, විජයපාල සහ දේවරාජසිංහ කුමරුන් අතරේ රාජ්‍යය බෙදා දුන් බව දැක්වෙන අතර I වැනි විමලධර්මසූරිය රජුගේ පුත‍්‍රයන් සිව් දෙනාගෙන් රාජසූරිය අස්ථාන සහ උඩුමාලේ අස්ථාන කුමාරවරුන් පිළිබඳ සඳහනක් නොවීම ගැටලු සහගත ය. රාජාවලිය දක්වන පරිදි මහවැලි ගඟේ දිය කෙළියට පිටත් වුණු I වැනි විමලධර්මසූරිය රජුගේ වැඩිමහල් පුත‍්‍රයා වූ රාජසූරිය අස්ථාන කුමරුව සෙනරත් රජුගේ අණින් දියේ ගිල්වා මරා දමා ඇති අතර උඩුමාලේ අස්ථාන කුමරුට සිදුවූයේ කුමක් ද යන්න පිළිබඳව මූලාශ‍්‍රය නිහඬ නමුත් ඒ කුමරුට ද ඛේදනීය මරණයක් අත්වූවා විය හැකි ය. පසු කලෙක ඌවේ රජු වූ කුමාරසිංහ රෝගීව ඌවේ රජ කන්දේ දී මිය ගිය අතර මාතලේ රජු වූ විජයපාල සිංහාසනයෙන් පහ කෙරුණු අතර පෘතුගීසීන් සමීපයේ ජීවත් වුණු ඔහු අවසානයේ ගෝවේ දී මිය ගිය බව කිය වේ.

සෙනරත් රජු රාජ්‍යය පවරා දීමේ දී තම පුත‍්‍රයා වුණු දේවරාජසිංහට රාජධානියේ අනර්ඝ ම කොටස වූ සෙංකඩගල ලබාදෙමින් කළ විශේෂත්වය නිසා මෙන් ම මීට පෙර සිදු වූ තම පුතුන්ගේ අකල් මරණ ද හේතු කොටගෙන දැඩි කම්පාවකට පත් ව සිටි කුසුමාසන දේවිය ඒ වනවිට ජීවත් ව සිටි තමන්ගේ දරුවන් ද සමඟ පෘතුගීසීන් වෙත පලා ඒමට තැත් කළ ද ඒ උත්සාහය අසාර්ථක වි ය. මෙ නිසා තවත් දැඩි සිත් තැවුලකට පත් වූ කුසුමාසන දේවිය 1613 ජූලි 20 වැනි දා මියගිය අතර ඒ වන විට ඇයට වයස අවුරුදු 35ක් පමණ වි ය. ඇයගේ මරණයත් සමඟ සෙනරත් රජු ද කම්පනයට පත් ව ගිලන් වී මරණාසන්න වූ අතර එ වකට පැවති වියවුල් සහගත තත්වය ප‍්‍රයෝජනයට ගෙන I වැනි විමලධර්මසූරිය රජුගේ දියණිය සහ ඇයගේ ස්වාමිපුරුෂයා සමඟ පෘතුගීසීන් වෙතට පලා යාමට තැත් කළ ද පලා යාමට හැකිවූයේ ස්වාමිපුරුෂයාට පමණි. පසුව I වැනි විමලධර්මසූරිය රජුගේ දියණිය ද සෙනරත් රජුගේ බිසවක් බවට පත් වූ බව කිය වේ.

I වැනි විමලධර්මසූරිය රජුගේ දියණිය පිළිබඳ ව වැදගත් තොරතුරු කීපයක් II වැනි රාජසිංහ රජ සමයේ දී වසර 19ක් පමණ උඩරට රාජධානියේ සිරකරුවෙක් වශයෙන් රැදී සිටි ඉංගී‍්‍රසි ජාතික රොබට් නොක්ස් (කණිෂ්ඨ) විසින් රචනා කරන ලද Historical Relation of the Island of Ceylon කෘතියේ දැක් වේ. නොක්ස් දක්වන පරිදි II වැනි රාජසිංහ රජතුමාට වැඩිමහල් සොහොයුරියක් සිටි අතර 1664 දී රජුට එරෙහි ව පැන නැගුණු කැරැල්ලේ දී රජුගේ පුත‍්‍රයාව ආරක්ෂා කරමින් රජු සමීපයට කුමරා රැගෙන යාමට ඇය කටයුතු කර ඇත. පසු කලෙක ඇය රෝගීව මිය ගිය අතර ඇයගේ අභාවය පිළිබඳ ව රජතුමා පවා දැඩි ලෙස කම්පා වූ බවත් සර්ව සම්පූර්ණ පුරාණ චාරිත‍්‍රානුකූල ව ඇයගේ ආදාහන කටයුතු සිදුකළ බවත් දැක් වේ.

රජුගේ වැඩිමහල් සොයුරියගේ අභාවය පිළිබඳ දැක්වීමේ දී නොක්ස් විශේෂයෙන් සඳහන් කරන්නේ ඇය ඒ වනවිට රජ පෙළපතේ සිටි අවසන් පුද්ගලයා වූ බවයි. ඒ අනුව බැලීමේ දී I වැනි විමලධර්මසූරිය රජුගේ පුතුන් සිව් දෙනාගෙන් කිසිවෙක් ඒ වන විටත් ජීවත් නොවූ බව නිගමනය කළ හැකි ය. අවසාන වශයෙන් දැක්විය හැක්කේ සාර්ථක පාලකයෙක් වූ I වැනි විමලධර්මසූරිය රජුගේ කිසිදු උරුමකරුවෙකුට සාර්ථක වන්නට අවකාශ නොලැබුණු බවයි.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.