මේ ලියමන අපේ ලංකාවේ තියෙන විශේෂ පුරාවිද්‍යා වැදගත්කමක් තියෙන ස්ථානයක් ගැනයි. ඒ රඹුක්කන ආසන්නයේ පිහිටලා තියෙන පදවිගම්පොල ගල් මැස්ස ගැනයි. මේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්ථානයක්. අසළ ම ඉන්න කෙනෙක් රැකවල්කරුවෙක් විදිහට පත්කරලත් ඉන්නවා. මේ ගල්මැස්ස පිහිටල තියෙන්නේ පදවිගම්පොළ කන්ද පාමුළ. දැලිවල කොටවෙහෙරටත් බොහොම ආසන්නයි. දුම්රියෙන් රඹුක්කනට යන කෙනෙකුට වැඩි අපහසුවක් නැතිව මේ ස්ථානයට යන්න පුළුවන්. බොහෝ දෙනෙක් තුළ කුතුහලයක් ඇති කිරීමට සමත් වෙලා තියෙන මෙය තවත් පිරිසකට ගුප්ත අදහස් ඇතිකරන ස්ථානයක් කිවුවොත් වැරදි නැහැ. මේ කුතුහලය සඳහා හේතු වෙලා තියෙන්නේ මේ ස්ථානය ගැන හරිහමන් අවබෝධයක් නැතිකමයි. ඒකට දොස් කියල වැඩකුත් නැහැ, මොකද වැඩි පිරිසකට එහෙම අවබෝධයක් ගන්න අවස්ථාවකුත් අපේ රටේ නැහැනේ.
මේ එක්ක අමුනලා තියෙන රූපයෙන් පෙනෙන විදිහට විශාල ගල් දෙකක් දෙ පසින් තියල ඊට වඩා විශාල ගල් පොත්තක් පියැස්සක් විදිහට තියල තියෙනවා මේ නිර්මාණයේ. අනෙක් පැත්ත ආවරණය වන ආකාරයට තවත් ගල් පොත්තක් හේත්තු කරල. බලන කෙනෙකුට විශාල කුතුහලයක් ඇතිවීම ස්වභාවිකයි. මේ නිර්මාණය මොකක් ද? කවුද හැදුවේ? කවද ද හැදුවේ? මේ වගේ එකකින් ඇති වැඩේ මොකක් ද? මේ වගේ එවුව ඇයි ලංකාවේ වෙනත් තැන්වල නැත්තේ? ප්‍රශ්න ගොඩයි.
සෙනරත් පරණවිතාන මැතිතුමා කියල තියෙන විදිහට මේ අපේ ලංකාවේ පැරණිම වාස්තු ඉදිකිරීමක්. තවත් පිරිසක් කියනවා මේ තියෙන්නේ පූර්ව ඓතිහාසික යුගයට අයිති ඉදිකිරිමක් කියල. විශාල ගල් වලින් විවිධ ස්මාරක ඉදිකළ මහාශිලා හෙවත් මෙගලිතික (Megalithic) සම්ප්‍රදායට අයිති නිර්මාණයක් කියලයි ඔවුන් පෙන්වලා දෙන්නේ. ඔය කිවුව මෙගලිතික කියන සම්ප්‍රදායට අයිති නිර්මාණ විශාල ප්‍රමාණයක් තියෙනවා දකුණු ඉන්දියාවේ. මේ ගැන හොයපු බලපු ලොක ප්‍රකට පර්යේෂකයන්ට අනුව එංගලන්තයේ තියෙන ස්ටෝන් හෙන්ජ් (stone henge) කියන ගල් වටයත් මහාශිලා සම්ප‍්‍රදායට අයිති නිර්මාණයක්. එම සම්ප්‍රදායට යුරෝපය, අප්‍රිකානු මහාද්වීපය හරහා දකුනු ඉන්දියාට ඇවිල්ලා. ලංකාවේ මේ සම්ප්‍රදායට අයිති සොහොන් ස්ථාන 75ක් විතර මේ වෙද්දි අනාවරණය වෙලා තියෙනවා. සැලකිය යුතු ප්‍රමාණයක් කැනීම් කරලත් තියෙනවා. දඹුල්ල ආසන්නයේ තියෙන ඉබ්බන්කටුව කියන්නේ මේ වගේ තැනක්. මේව ගැන ඉදිරියේ දි කතා කරමුකෝ නේද?
මහාශිලා සම්ප්‍රදායට අයිති ස්මාරක විශේෂයක් තියෙනවා ඩොල්මන් (Dolmen) කියල. ඒ කියන්නේ පුද්ගලයෙක් හෝ සිද්ධියක් පිළිබඳ මතකය නොකඩවා තබාගන්න කළ නිර්මාණයක්. දකුණු ඉන්දීය ප්‍රෙද්ශවල මේවා බහුලයි. මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න මැතිතුමා වගේ සමහර පුරාවිද්‍යාඥයින් කියන්නේ මේ ගල් මැස්සත් ඒ වගේ ඩොල්මන් එකක් කියලයි. හැබැයි මහාචාර්ය චූලනී රඹුක්වැල්ල මැතිණිය කියන්නේ මේ ශිලා මඤ්ජුසා සුසානයක් (Cist Burial) කියලයි. ශිලා මඤ්ජුසාවක් කියන්නේ ගල් පෙට්ටියක් ආකාරයට සකස් කළ සුසානයක්. මේවා සාමාන්‍යයෙන් අවුරුදු 2,000ක් විතර පරණයි. ලංකාවේ මේ වගේ ඒවා විශාල ප්‍රමාණයක් තියෙනවා. හැබැයි මෙතරම් විශාල නැහැ ඒ කිසි එකක්. රඹුක්වැල්ල මැතිණිය එහෙම කියන්නේ මෙතැන පොළොවේ පිහිටීම නැත්නම් භූ දර්ශනය ගැන බලල. මොකද මෙතැන කන්ද පාමුළ විශේෂයෙන් පස් ඉවත් කරලයි දැන් තියෙන්නේ. ඒ පස් කැපු කොටස නැවත පිරෙවුවොත් මේ නිර්මාණයේ පියන විතරයි පොළොවෙන් උඩඩ එන්නේ කියලයි ඒතුමිය කියන්ෙන්. ගල් පෙට්ටි සොහොනක් වගේමයි.
කොහොම නමුත් මේ ගල් මැස්සේ සමහර ගල්වල තියුණු ආකාරයෙන් කළ කැපුම් සළකුණු තියෙනවා. එහෙම කරන්න නම් යකඩ නැත්නම් වානේ තාක්‍ෂණය තියෙන්න ඕන. ඒ නිසා මේ ගල් මැස්ස මිනිසුන් යකඩ තාක්‍ෂණය ගැන හොදටම දැනඋගෙන ගත්තට පස්සේ කළ නිර්මාණයක් වෙන්ත තියෙන්නේ ඉහළම ඉඩක්.
මේ ගල්මැස්ස අසළ තියෙන කන්දේ ඉහළ කොටස පුරාම පාහේ කටාර කපල (ඒ කියන්නේ වැසි වතුර ගල්ලෙන තුළට එන එක වලක්වන්න කපල තියෙන දාරය) පැරණිම කාලයට අයත් බ්‍රාහ්මී අකුරින් ලිපි සටහන් කළ ලෙන් ගණනාවක් විසිරි තියෙනවා. ඒ කෙටි ලිපිවලින් කියැවෙන්නේ මෙම ලෙන් සකස් කර සතර දිසාවේ සංඝයා වහන්සේලා සඳහා පූජා කළ බවයි. ෙම් ලිපි අවුරුදු 2000කට වඩා පැරණියි. මේ ලිපි ගැන දැනගන්න කැමති කෙනෙකුට සෙනරත් පරණවිතාන මැතිතුමා ලියල තියෙන Inscriptions of Ceylon නම් ග්‍රන්ථය පරිශීලනය කරන්න පුළුවන්. ඒ පොතේ 800-802 දක්වා ඒතැන ලිපි තමා තියෙන්නේ.
මේ ස්ථානය ඔබ දන්න දේවලුත් මෙතැනට එක් කරන්න. ඒ වගේම මෙතැන බලන්න ගිය අය තම අද්දැකීමුත් අපිත් සමඟ බෙදාගයි කියල හිතනවා. ලංකාව් අපේ ඇහැට පේන්න තියෙන මේ වගේ දේවල් ගැන අපි තවතවත් හොයන්න ඕන. ගිහිං නැත්නම් ඒවා දැකබලාගන්න එකත් හොඳයි. මේ අපේ ම දේවල් නේ. ඒ තුළින් තමා අපිට අපේ අතීතය වගේම අනන්‍යතාව ගැනත් දැනගන්න පුළුවන් වෙන්නේ.

 

Previous article10. කුච්චවේලි ගිරි ලිපිය
Next article05.අනුරාධපුර, ඇතුළු නගරය
Avatar
2006 වසරේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් වසරේ දක්ෂතම පුරාවිද්‍යා ශිෂ්‍යයාට හිමි මහාචාර්ය පී. ලිලානන්ද ප්‍රේමතිලක හා වෛද්‍ය නන්දා ප්‍රේමතිලක විශිෂ්ට නිපුනතා ත්‍යාගය සමඟ ශාස්ත්‍රවේදි (ගෞරව) (BA(sp)) උපාධිය ලබාගන්නා ලද චන්දිම, 1998 වසරේ දී මොරටුව විශ්වවිද්‍යාල‍යේ වාස්තුවිද්‍යා පීඨයෙන් ස්මාරක හා කේෂේත්‍ර සංරක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ද, 2010 වසරේ දී කොළඹ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් පුරාවිද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය (MSc.) ද හිමිකර ගන්නා ලදි. 2008 - 2010 කාලයේ දි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ තාවකාලික කථිකාචාර්යවරයෙකු වශයෙන් සේවය කළ ඔහු, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාල‍යේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්යවරයෙකු වශයෙන් 2011 වසරේ සිට සේවය කරන අතර එහි ප්‍රාග් ඉතිහාසිය හා අභිලේඛන විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයා වශයෙන් කටයුතු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.