ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වගේ ම අපේ උරුමය පාදා මතුකිරීමට මහත් මෙහයක් කළ අයට අපහාස උපහාස කරන්නන් බහුල කාලයක් මේක. වැඩක් කරනවට වඩා ඒක ලෙසි හින්ද වෙන්න ඇති නේද? හැබැයි තමන්ගේ අතීතයට ගරහන ජාතියකට භෞතිකව හෝ මානසිකව වර්ධනයක් අත්කරගන්න නම් අමාරුයි කියන එක තමයි මගේ අදහස. මම දේ දේවල් කිවුවේ මේ ලිපියට පිවිසුමකුත් ගන්නයි.
මේ කතාකරන්න යන්නේ ශ්‍රෙෂ්ඨ ලංකා ප්‍රත්‍රයෙක් ගැන. ඒ පී.ඊ.පී. දැරණියගල නැත්නම් පෝල් එඩ්වර්ඩ් පීරිස් දැරණියගල මැතිතුමා ගැන. එතුමා ගැන ලියන් කියන්න හිතද්දිත් ඒක කරන්නේ කොහොමද කියල හිතාගන්නත් බෑ. හේතුව මෙතුමා සත්ව විද්‍යාඥයෙක්, මානව විද්‍යාඥයෙක්, පුරාවිද්‍යාඥයෙක්, ගවේෂකයෙක් චිත්‍ර ශිල්පියෙක්, කැටයම් ශිල්පියෙක්, කලාකරුවෙක්, කලා ඉතිහාසඥයෙක්, ඉහළම මට්ටමේ බොක්සින් හා ජූඩෝ ක්‍රීඩකයෙක්, ඒ වගේම දේශප්‍රෙුමියෙක්. සම කාලීන මුළුමහත් බ්‍රිතාන්‍ය කිරීටයේම සිටි දක්ෂම බොක්සින් ක්‍රීඩකයෙක්. සීගිරියේ ගියපු අය දැකල ඇති නේද ‘දැරණියගල ගුහාව’. ඒ පැරණි සිතුවම් සහිත ගුහාව ගැන ලියල තියෙන්නෙ මෙතුමා. ඒ නිසයි ඒ ලෙන ඒ නමින් හඳුන්වන්නේ.
1900 වසරේ උපත ලබා 1976 වසරේ දී අභාවප්‍රාප්ත වූ මෙතුමා කීර්තිමත් ශ්‍රී ලාංකේය පුතනුවෙකු වූ පෝල් ඊ. පීරිස් ගේ පුත්‍රයෙක්. මව හිල්ඩා ඔබේසේකර මැතිණිය. අර සුප්‍රසිද්ධ 43 කණ්ඩායමේ පුරෝගාමී සිතුවම් ශිල්පියෙකු වූ ‘ජස්ටින් පීරිස් දැරණියගල’ කියන්නේ
බාල සහෝදරයෙක්. මෙතුමා විවාහ වුනේ ප්‍රීනි මොළමුරේ මැතිණිය එක්ක. මේ දැරණියගල මැතිතුමාගේ එක දරුවෙක් තමයි පස්සේ ලංකාවේ පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් වුණු ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගල මැතිතුමා. තවත් පුතෙක් තමයි චිත්‍ර ශිල්පියෙකු වුණු රනිල් දැරණියගල. මේ පවුලේ බොහෝ දෙනෙක් කීර්තිමත් ශ්‍රී ලාංකේය මාතාවගේ දරුවන්. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ පාසල් අධ්‍යාපනය ලත් මෙතුමා ශාස්ත්‍රවේදි හා ශාස්ත්‍රපති උපාධි කේමිබ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ටිනිටි විද්‍යාලයෙනුත් අවසානයේ එක්සත් ජනපදයේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයෙනුත් අධ්‍යාපනය ලබල තියෙනවා.
මෙතුමා මූලික වශයෙන් සත්ව විද්‍යාඥයෙක්. එතැනින් මානව විද්‍යාවටත්, මානව විද්‍යාව ඔස්සේ පුරාවිද්‍යාවටත් පැමිණිය කෙනෙක්. මානවශාස්ත්‍ර විෂ්‍යානුබද්ධව ලියා ඇති ලිපිත් පුදුම වටිනාකමක් තියෙන්නේ. ආචාර්ය උපාධිය විදිහට අවධානය යොමුකරල තියෙන්නේ ලංකාවේ හිම යුගය ගැන. කෞතුකාගාර දෙපාර්තමේන්තුව මඟින් 1958 දී ’‘The Pleistocene of Ceylon’ නමින් පළ කරල තියෙන්නේ ඒ පොත. මහා හිම යුගයේ දී ලංකාවේ පරිසර තත්ත්වයත් ඒ කාලයේ ලංකාවේ ජීවත් වුණු සත්තුත් ගැන මේ පොතේ විස්තර තියෙනවා. මේ සත්තු ගැන පොසිල අනාවරණය වන්නේ රත්නපුර පැත්තේ තියෙන මැණික් පතල් තුළින්. සිංහයා, අලි වර්ග කීපයක්, හිපපොටේමස්, රයිනොසිරස් වැනි සතුන් ලංකාවේ ජීවත් වුනා කියල සාධක සහිතව පෙන්නලා දුන්නේ මෙතුමා. ඒවා ඉන්දියාවේ නර්මදා ගංගාවේ තැම්පතුවලින් හමුවන සාධක සමඟ සංසන්දනය කරල විස්තර කරල තියෙනවා.
ශ්‍රී ලංකාවේ කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ පළමු ස්වදේශීය අධ්‍යක්‍ෂ වශයෙන් 1939 දී ස්ථිරව පත් වූ මෙතුමා එහි 1963 දක්වා එම තනතුරේ සේවෙය කළා. 1961 සිට 1964 දක්වා කාලයේ විදේ්‍යා්දය සරසවියේ පීඨාධිපති වශයෙන් ද සේවය කරල තියෙනවා.
ලංකාවේ ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාවට දක්වා ඇති දායකත්වයත් මෙතෙකැයි කියල කියන්න අමාරුයි. දකුණු පළාතේ තියෙන බන්ඩත්තර කියන තැන තිබුණු මැටිඔරු සුසානයක් ඉස්ඉස්සෙල්ම කැනීම් කළේ මෙතුමා. රාවණා ඇල්ල, අළු ගල්ගේ, මානෙල ගල්ගෙ වැනි ලංකාව පුරාම පාහේ ගල්ලෙන් විශාල ප්‍රමාණයක් මහත් උනන්දුවෙන් කැනීම් කරල තියෙනවා, ලංකාවේ ආදි ම මානවයා හා ඔවුන්ගේ චර්යාව ගැන හොයල බලන්න. 1956-61 කාලයේ තමා උඩවලවේ පිහිටි බෙල්ලන්බැඳිපැලැස්ස කියන ලංකාවේ මධ්‍යශිලා යුයට අයත් ස්ථානය කැනීම් කළේ. මේ කැනීම ලංකාවේ ප්‍රාග් ඓතිහාසික අධ්‍යයනවල දී බෙහෙවින්ම වැදගත්. ලංකාවේ සම්පූර්ණ ප්‍රාග් ඓතිහාසික මිනිසුන්ගේ ඇටසැකිලි හමු වුනේ මෙතැන දී. සම්පූර්ණ සැකිලි 20කට වැඩි ප්‍රමාණයක් හමු වෙලා තියෙනවා. මේ ඇටකටු අනුව තමා ලංකාවේ ප්‍රාග් ඓතිහාසික මධ්‍යශිලා මානවයා “බලංගොඩ මානවයා” (Balangoda Man) කියල නම් කළේ. දැරණියගල මැතිතුමා මුලින් මෙයාට දුන්නු නම තමයි Homo sapians Balangodensis Deraniyagala කියන නම. මේ නූතන මානවයාම තමයි. දැන්නම් ඝණ නාමයයි විශේෂයේ නමයි විතරයිනේ ගන්නේ. මධ්‍යශිලා යුගයට අයත් මේ මානවයින් ලංකාවේ කොතනින් හමු වුනත් කියන්නේ ඒ නමමයි. මොකද පුරාවිද්‍යාවේ සම්ප්‍රදායක් තියෙනවා යම් තාක්‍ෂණයක් හෝ විශේෂ දෙයක් මුළින්ම හමු වූ ස්ථානය අනුව තමයි නම යොදන්නේ.
සත්ව විද්‍යාඥයෙක් වශයෙන් මෙතුමා ලියල තියෙන පොත් අදටත් ඒ විෂය සම්බන්ධ උනන්දු අය කියවනවා, බලනවා. මෙතුමා මං හිතන්නේ සත්ව විද්‍යාව පිළිබඳ උනන්දු අය අතර වඩාත් ජනප්‍රියයි. එතුමා ලියල තියෙන ලංකාවේ කොදුඇට පෙළ සහිත සතුන් පිළිබඳ වර්ණ රූප අන්තර්ගත පොත් පෙළ (Some vertebrate animals of Ceylon) බෙහෙවින් ඇඟයීමට ලක්වෙලා තියෙනවා. ඒ වගේම ලංකාවේ දැන් ඉන්න හා පෙර සිට වඳ වී ගිය හස්ථින් පිළිබඳවත් (Some Extinct Elephants, Their Relatives and the Two Living Species) ලියලා තියෙනවා. අපේ රටේ දැන් ඉන්න දස හිස් පස්සේ යන අය දන්නවද දන් නෑ ලංකාවේ අලි වෙදකම මෙන්ම ලංකාවේ පැරණි ත්‍රාසජනක ක්‍රීඩා (Some Sinhala combative, field and aquatic sports and games) පිළිබඳ රට පුරාම ගිහිං පීරල බලල ලියල තියෙනවා. ලංකාවේ තියෙන ප්‍රාථමික ශෛලියේ චිත්‍ර ගැනත් හොයල බලල තියෙනවා. ලංකාවේ ප්‍රාග් ඉතිහාසය විෂය පරාසය තුළ ඉහළ මට්ටමක තියෙන පුරා සත්ව විද්‍යාව කියන විෂයේ ප්‍රාරම්භකයා මෙතුමා. මේ විෂයේ දි කරන්නේ කැනීම් වලින් අනාවරණය වන සතුන්ගේ ඇටකටු පිළිබඳ විපරම් කරල ඒ සතුන්, ස්ත්‍රි පුරුන බව වගේ දේවල් හඳුනා ගන්න එක. මේ විෂය මෙතුමා හරහා කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ හිටි කීට විද්‍යාඥ පී.බී. කරුණාරත්න මහතා ඉගෙන ගෙන තියෙනවා. එතුමා ගේ සෙවණේ මේ දැනුම ගත්ත දෙන්නෙක් තමයි ප්‍රමුඛ සත්ව විද්‍යාඥ කැළුන් නලින්ද මනමේන්ද්‍ර-ආරච්චි මැතිතුමා හා ජූඩ් පෙරේරා මැතිතුමා.
මේ එතුමා කර ඇති වැඩවලින් බොහොම ටිකක් විතරයි මේ. මේ වගේ අද අපිට හිතන්නවත් අමාරු වැඩ කන්දරාවක් කළ නිසා තමයි කැළුම් මනමේන්ද්‍ර-ආරච්චි මැතිතුමා, මෙතුමො 20 වැනි සියවසේ ලංකාවේ පහළ වූ මහා විද්වතෙක් විදිහට හඳුන්වලා තියෙන්නේ. දැරණියගල මැතිතුමා ගැන ඔහු ලියපු ලිපියක් වෙබ් එකේ ඇති. හොයාගෙන කියෙවුවොත් දැනුම තවත් වර්ධනය කරගන්න පුළුවන්.
මෙතුමා ගැන තවත් ලිපි හා පොත්පත් ලියැවිලා තියෙනවා. වාසනාවට හෝ අවාසනාවට ඒවා ලියැවිලා තියෙන්නේ ඉංග්‍රීසි බසින්. ඒ හේතුව නිසා මේ විශිෂ්ඨ විද්වතා ගැන අපේ සිංහල පාඨක සමාජයට දැනගන්න ලැබිල තියෙන අවස්ථාව සීමා වෙලා. මෙතුමා ගැන දැනගන්න උනන්දු අයට පුළුවන් ලේක්හවුස් ආයතනයෙන් 1980 දි පළ කළ ආචාර්ය තෙල්මා ටී.පී. ගුණවර්ධන මැතිණිය, මහාචාර්ය ලීලානන්ද ප්‍රේමතිලක මැතිතුමා හා ආචාර්ය රෝලන්ඩ් සිල්වා මැතිතුමා විසින් සංස්කරණය කළ P.E.P Deraniyagala commemoration volume නම් කෘතිය හොයාගෙන කියවන්න. ලොකු විස්තරයක් ඒ පොතේ අන්තර්ගත වෙලා තියෙනවා. ඒ පොත විවිධ විද්වතුන් විවිධ මාන වලින් එතුමාගේ සේවය තක්සේරු කරල ලියල තියෙන ලිපි එකතුවක්.
මෙතුමා ගැන මෙවැනි කෙටි ලිපියකින් ලියන්න අමාරුයි නෙවෙයි බැහැ කියන එක මේ ටික කියවපු කෙනෙකුට වුනත් දැනෙන්න ඕන. ඉතිං මේ කෙටි ලිපිය අවසානයේ මට කියන්න තියෙන්නේ කරුණාකර විද්වතුන්ට, කරන්නන් වාලේ අපහාස උපහාස කරන්න පෙර අඩුම ගානේ එයාලා කරල තියෙන දේවල්, ඒ සඳහා ඔවුන් කළ කැපවීම් ආදිය ටිකක් හොයල බලන්න. එහෙම නැතිව තමන්ම වැහැප් ගති පෙන්නවන්න හොඳ නැහැ.
මේ සමඟ දක්වා ඇති ආචාර්ය පී.ඊ.පී. දැරණියගල මැතිතුමාගේ ඡායාරූපය 1959 දී පමණ ගත්ත එකක්. ඉන්ටර්නෙට් එකෙන් තමා ගත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.