පොස්ට් එක ටිකක් දිග වුනා. කමක් නෑ සමාවෙලා කියවන්න. මේ පාර කතා කරන්නේ බොහෝ දෙනෙක් තුළ ගුප්ත අදහස් ඇතිකිරීමට හේතු වෙලා තියෙන ඒත් කිසිම ගුප්ත බවක් නැති ලංකාවේ පිහිටි, දකුණු ආසියාතික කලාපයටම බෙහෙවින් වැදගත් පුරාවිද්යා ස්ථානයක් ගැන. ඒ වෙන කොහෙවත් නොවේ, අනුරාධුරයේ පිහිටි ඇතුළු නගරය (Anuradhapura Citadel). අනුරාධපුර ඇතුළු නගරය කියන්නේ රුවන්වැලි සෑය හා අභයගිරිය අතර පිහිටි හෙක්ටයාර 100ක ඒ කියන්නේ අක්කර 250ක ව්යාප්තියක් සහිත ප්රදේශයක්. මේ සමඟ අමුනා ඇති සිතියම බැලුවහම අදහසක් ගන්න පුළුවන් වෙයි. මේ තුළ තමා සුප්රසිද්ධ මහාපාළි දානශාලාව, විජයබා මාළිඟය, ගෙඩිගේ හා දළදා මාළිඟය තියෙන්නේ. මේ ස්ථානය සාමාන්ය බිම් මට්ටම අනුව, අනුරාධපුර පූජා නගරයේ උසින් වැඩිම කොටස. කැනීමක් කරද්දි පිහිටි ගල අහුවෙන්න අඩි 30ක් (මීටර් 10ක් විතර) විතර කැනීම් කරන්න ඕන. අනුරාධපුර කාලයේ රාජකීයයන්, ප්රභූවරු ජිවත් වුණු වෙළෙඳ හා කාර්මික නිෂ්පාදන කටයුතු සිදුවුණු භූමිය. ඉන්දියාවේ තිබුණ වගේ බලකොටුවක් විදිහටයි මේක සංවිධානය වෙලා තියෙන්නේ. දැනට පේන්න නැති වුනත් වටේ විශාල ගඩොළු ප්රාකාරයකින් හා දිය අගලකින් වටකරල තියෙන්නේ. ප්රධාන දිශා අනුව පාරවල් හතරක්. වට ප්රාකාරයේ කොටස් කීපයක් කැනීම් කරල තියෙනවා, නමුත් ඉදිරි කාලයේ දි ඒවා තව කැනීම් කරල තහවුරු කරල ප්රදර්ශනය කරයි.
එච්.සී.පී. බෙල්, අයර්ටන්, සෙනරත් පරණවිතාන, පී.ඊ.පී. දැරණියගල, පී.සී. සෙස්තියරි, සි.ඊ. ගොඩකුඹුර හා සිරාන් දැරණියගල හා පසුව රොබිං කොනින්හැම් සහ තවත් විදේශිය පුරාවිද්යාඥයින් කැනීම් හා පර්යේෂණ සිදුකරල තියෙනවා. ලංකාවේ පුරාවිද්යාවේ හැරවුම් ලක්ෂණයක් වශයෙන් හඳුනාගන්න පුළුවන් ඇතුළු නගරයේ ගෙඩිගේ අසළ කැනීම 1969 දී සිරාන් දැරණියගල මැතිතුමා කළා (මේ කැනීම ගැන මම පස්සේ කියන්නම්). මෙයින් ලැබුණු ප්රතිඵල මහාවංසය ගරහන අයට දුන් අතුල් පහරක් කිවුවොත් වැරදි නැහැ. ඊට පස්සේ ඒ කියන්නේ 1980 දශකයේ ආරම්භයේ සිට 2010 වසර පමණ දක්වා ඇතුළු නුවර පුරාවිද්යා කැනීම් 14ක් සිදුකරල තියෙනවා. දිග මීටර් 3ක් හා පළල මීටර් 3 විතර වන මෙම වළවල් වලට කියන්නේ සොන්ඩේජ් කියල. මම අහල තියෙන විදිහට මේක ජර්මානු වචනයක්. මහාපාළි දානශාලා කැනීම (AMP), සල්ගහවත්ත (ASW), සංඝමිත්තා මාවත (ASM), ගෙඩිගේ (AG), ඩිංගිරි බණ්ඩාගේ වත්ත (ADB), විජයබා මාළිඟය (AWM), දළදා මාළිඟය (ADM) ආදි විවිධ නම්වලින් කැනීම් වළ පිහිටි ස්ථානය අනුව ඒ කැනීම් හඳුන්වනවා. මේවා ගැන මෙලෝ දෙයක් නොදන්න අය සියල්ල දත්තන් විදිහට සමාජ මාධ්යයේ ලියනවා, පුරාවිද්යාඥයන්ටත් පුරාවිද්යා දෙපාර්තමේන්තුවටත් අපහාස කරනවා. මේ අයට අනුකම්පා කිරීම හැර වෙන මොනවද කරන්න තියෙන්නේ. මානසික රෝගීනන්ට අනුකම්පා කිරීම යහපත් ගතියක්නේ නේද?
අනුරාධපුර ඇතුළු නගරය ලංකාවේ වැදගත්ම පුරාවිද්යා භූමියක් කියල කියන්න හේතු ගණනාවක් තියෙනවා. ඉඩ ලැබෙන විදිහට ඒව වෙන වෙනම පැහැදිලි කරන්නම්. නමුත් එක් කරුණක් මෙතැන දී කියන්න ඕන. ඒ තමා ලංකාවේ මිනිසාගේ අතීතය පැහැදිලි කරන ප්රාග් ඓතිහාසික, පූර්ව ඓතිහාසික හා ඓතිහාසික කියන කාලපරිච්ජේද තුනම නිරූපණය කරන පස් තට්ටු පිළිවෙළට ගැඹුරේ ඉදන් ඉහළට මේ ඇතුළු නුවර දී හඳුනාගන්න පුළුවන්. ලංකාවේ ඒ විදිහට පිළිවෙළට හැම කාලයක්ම නිරූපණය කරන සංස්කෘතික පස් තට්ටු තියෙන වෙන තැනක් නැහැ.
අනුරාධපුරයේ ඇතුළු නුවර හා යම් ආකාරයකින් සමාන විය හැකි සංස්කෘතික ස්ථරණයක් තියෙන්න පුළුවන් ස්ථාන කීපයක් ලංකාවේ තියෙනවා. ඒ උතුරින් කඳුරුගොඩ (කන්දරොඩෙයි), නැඟෙනහිරින් කුච්චවේලි, දකුණින් පිහිටි තිස්සමහාරාම, අකුරුගොඩ හා බටහිර දෙසින් පිහිටි මාතොට (මන්නාරම, මාන්තායි) කියන ස්ථානයි. මේ ස්ථාන සියල්ලම පැරණි ඓතිහාසික කාලයේ වෙළෙඳ නගර වශයෙන් ක්රියාත්මක වුණු ස්ථාන. අපි දන්නවාගේ ලංකාව කියන්නේ මුහුදු සේද මාවතේ වැදගත් ස්ථානයක් කියල. ඒ නිසා ලොකේ පෙර-අපර දෙ දිගම තිබුුණු මැටි බඳුන් හා පබළු වගේ දේවල් මේ ඇතුළු නගරයේ කැනීම් වලින් හමුවෙනවා. මේ කලාපය ගැන හොයා බලපු දෙන්නෙක් හිටියා බ්රිජට් ඕල්චින් හා රේමන්ඩ් ඕල්චින් කියලා. එයාලා පෙන්නලා දීලා තියෙනවා “බුදුහාමුදුරුවන්ගේ කාලෙට ටිකකට පස්සේ දකුණු ආසියාතික කලාපයේ ප්රධාන වෙළෙඳ නගර 5ක් තිබුනා, ඒ අතුරින් උතුරු ඉන්දියාවේ උජ්ජෙයිනි (උදේනි නුවර) නගරයට දකුණින් පිහිටි විශාලම වෙළෙඳ නගරය තමා අනුරාධපුරය කියලා. මුළු දකුණු ඉන්දියාවේම අනුරාධපුරය හැර වෙනත් මෙතරම් වර්ධිත වෙළෙඳ නගරයක් තිබුනේ නැහැ කියල”. මේව කියල තියෙන්නේ හොඳට හොයල බලල මිසක් කටට ආවට නෙවෙයි. බලන්න මේ පර සුද්දෝ කියල තියෙන දේවල් නේද? 😀
බොහෝ දෙනෙක් හිතාන හිටියේ අපේ කලාපයේ පැරණිම අකුරු අයිති මෞර්ය අසෝක අධිරාජ්යයාගේ කාලෙට කියලනේ. නමුත් ඒ අදහස වෙනස් කරමින් මුළු මහත් දකුනු ආසියාවෙම පැරණිම බ්රාහ්මි ලේඛන පිළිබඳ සාධක කියල ඔප්පු වුණු සාධක ඉස්සෙල්ලම හමු වුනේ මේ ඇතුළු නුවර කළ කැනීමකින්. ඒ ගැන ඉදිරියේ දි වෙනම කියන්නයි හිතාන ඉන්නේ.
සමාජමාධ්යවල ලියන සමහර අය කියනවා ‘ඇතුළු නගරයේ කැනීම් වැහුව’, ‘විදේශීය බලපෑම් ආවා’, ‘බලන්න යන්න දෙන්නේ නැහැ’ වගේ කතා. ඒ කතා ඔක්කොම ව්යාජ කතා. අමුලික බොරු. මේ වගේ කතා විද්යුත් මාධ්යවලත් යනවා. අර ප්රසිද්ද ජැක්සන් ඇතිනති මහත්තයා එක ටිවි වැඩසටහනක දී ඇතුළු නගරයේ කැනීම් වලක බැහැල ගඩොළු බැම්මක් උඩ හිටගෙන කියනවා මේ තියෙන්නේ රාවණා කාලෙට අයිති නිර්මාණ වෙන්න පුළුවන් කියල හැඟවෙන කතාවක්. මේ කානු බැම්ම පොළොන්නරු රාජධානි කාලයට අයත් බැම්මක්. කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒ මහත්තයා එහෙම කිවුවේ නොදන්නාකම නිසා කියලා. හැබැයි මට තේරුම් ගියේ නම් ඒයා ඒක දැනගෙන හිටියා, නමුත් මාධ්යයේ ආකර්ශනය සඳහා බොරුවක් කිවුව කියන එකයි.
අනුරාධපුර ඇතුළුනගරයේ තියෙන ප්රශ්නය යන්න දෙන් නැති එක නෙමෙයි, අනුරාධපුරයට යන අයගෙන් සියයට එක් කෙනෙක්වක් මෙම ස්ථාන බලන්න යන් නැති එකයි ප්රශ්නය.
(මේ සමඟ අමුනා ඇති සිතියම ගත්තේ සිරාන් දැරණියගල හා මොහාන් අබේරත්න යන විද්වතුන් අනුරාධපුර ඇතුළුනුවරින් හමු වූ බ්රාග්මි ලේඛන පිළිබඳව ප්රංශයේ දී ඉදිරිපත් කරන ලද පත්රිකාවක මුද්රිත පිටපතකින්.)
Previous article09. රඹුක්කන, පදවිගම්පොල ගල්මැස්ස
Next articleඅවුරුදු 2,500යේ හිරවෙලා ඉදීම
Avatar
2006 වසරේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් වසරේ දක්ෂතම පුරාවිද්‍යා ශිෂ්‍යයාට හිමි මහාචාර්ය පී. ලිලානන්ද ප්‍රේමතිලක හා වෛද්‍ය නන්දා ප්‍රේමතිලක විශිෂ්ට නිපුනතා ත්‍යාගය සමඟ ශාස්ත්‍රවේදි (ගෞරව) (BA(sp)) උපාධිය ලබාගන්නා ලද චන්දිම, 1998 වසරේ දී මොරටුව විශ්වවිද්‍යාල‍යේ වාස්තුවිද්‍යා පීඨයෙන් ස්මාරක හා කේෂේත්‍ර සංරක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ද, 2010 වසරේ දී කොළඹ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් පුරාවිද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය (MSc.) ද හිමිකර ගන්නා ලදි. 2008 - 2010 කාලයේ දි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ තාවකාලික කථිකාචාර්යවරයෙකු වශයෙන් සේවය කළ ඔහු, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාල‍යේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්යවරයෙකු වශයෙන් 2011 වසරේ සිට සේවය කරන අතර එහි ප්‍රාග් ඉතිහාසිය හා අභිලේඛන විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයා වශයෙන් කටයුතු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.