මහින්ද කරුණාරත්න1*කැළුම් නලින්ද මනමේන්ද්‍ර-ආරචි2, ගාමිණි අදිකාරි2

1පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, අනගාරික ධර්මපාල මාවත, මහනුවර, 2පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, බෞද්ධලෝක මාවත, කොළඔ 7.

 

සාරාංශය

සීගිරියේ පොතාන ප‍්‍රාග් ඓතිහාසික ගුහාව වියළි කලාපීය පරිසරයක පිහිටා ඇති අදින් වසර 6,000කට පමණ කාලනීර්ණය වූ මධ්‍ය ශිලා යුගයට අයත් මානව වාසස්ථානයකි. වසර 1991 දී කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය මඟින් මෙම ගුහාව පර්යේෂණ කැනීමකට භාජනය කළ අතර එහි දී ලද පෘෂ්ඨවංශී සත්ත්ව අවශේෂ 40,520ක් මෙම අධ්‍යයනයට භාජනය කරන ලදී. බුලත්සිංහල ෆා-හියන්ලෙන, කුරුවිට බටදොඹලෙන, කිතුල්ගල බෙලිලෙන, අත්තනගොඩ අළුලෙන, අලවල පොත්ගුල්ලෙන යන ප‍්‍රාග් ඓතිහාසික මානව වාසස්ථාන තෙත් කලාපය තුළ පිහිටා ඇති අතර එහි වාර්තා වනුයේ තෙත් කලාපීය සත්ත්ව විශේෂයන් ය. මේ අනුව, සළකා බලන කළ වියළි කලාපයේ පිහිටි පොතාන ලෙනෙන් ලද සත්ත්ව අවශේෂ වියළි කලාපීය සතුනට අයත් වන අතර මෙහි දී දේශගුණික වශයෙන් සහ ජීවවිද්‍යාත්මක ව වෙනස් කලාප දෙකක් සංසන්දනාත්මක ව අධ්‍යයනය කිරීමට අවස්ථාව සැළසේ. මෙම ශාස්ත‍්‍රීය ලිපියේ දී පොතාන ගුහාවෙන් ලද සත්ත්ව විශේෂ අතර ප‍්‍රමුඛ ස්ථානයක් ගන්නා ක්‍ෂීරපායී සතුත් පිළිබඳව විමර්ශනය කෙරෙනු ඇත. පොතාන ගුහාවෙන් ලද ක්‍ෂීරපායී සත්ත්ව විශේෂ අතර බහුතරය ගෝනා (Rusa unicolor), තිත්මුවා (Axis axis), වල්ඌරා (Sus scrofa), ඕලූමුවා (Mantiacus muntjak), මීමින්නා (Moschiola sp.), හරකා (Bos sp.), කුළුමීමා (Bubulus arnee), ඉත්තෑවා (Histrix indica), මා හම්බාවා (Petaurista philippensis) හා හැලි වඳුරා (Semnopithecus priam) යන සතුන් වේ. මෙම අධ්‍යයනයේ දී තෙත් කලාපීය ගුහා වලින් ලද ක්‍ෂීරපායී විශේෂ හා වියළි කලාපීය පොතාන ගුහාවෙන් ලද සත්ත්ව විශේෂ අතර සංසන්දනාත්මක අධ්‍යයනයක් ද සිදු කෙරේ.

පර්යේෂණ ක‍්‍රමවේදය

පොතාන ගුහාවේ කැනීම් සිදු කරන ලද්දේ කොටු ක‍්‍රමයට ය. එයින් හමු වූ සත්ත්ව අවශේෂ වියළි හා තෙත යන දෙයාකාරයෙන් හැළීමෙන් අනතුරු ව නිසි ලේබල යොදා පොලිතීන් මළු තුළ අසුරනු ලදී. පොතාන ගුහාවේ සංස්කෘතික ස්තර අතර තැන්පත් ව ඇති සියලු ම ද්‍රව්‍යයන් වටා ඝන පස් ආවරණයක් තැන්පත් ව ඇත. මේ හේතුව නිසා සමහර අස්ථි කැබළි හා දත්වල බාහිරයට විවෘත ව ඇත්තේ ඉතා සුළු කොටසකි. සත්ත්ව අවශේෂ හඳුනා ගැනීමේ දී මෙම තද පස් ආවරණය බාධාවක් වූ නිසා එම සත්ත්ව අවශේෂ වැඩිදුර හඳුනාගැනීම සඳහා සමහර නිදර්ශකවල එම පස් ආවරණය සූරා හෝ පීඩනයක් යොදා ගලවා දැමීමට සිදු විය. මෙම කටයුත්තේ දී කිසිම අයුරකින් රසායනයන් භාවිත නොකරන ලදී. නිදර්ශකය ජලයේ පොඟවා අන්වීක්ෂයක් තුළින් නිරීක්ෂණය කරමින් සියුම් වානේ තුඩු මඟින් එම පස් අංශු ඉවත් කරන ලදී. කුඩා අස්ථි අවශේෂ හඳුනා ගැනීමේ දී විශාලනය 10×20 සහිත අන්වීක්ෂයක් භාවිත කළ අතර අනෙකුත් කොටස් හඳුනා ගැනීමේ දී අත් කාචයක් උපයෝගී කර ගන්නා ලදී. වාර්තාකරණය සහ වැඩිදුර අධ්‍යයන සඳහා megapixel 7.2 වූ අංකිත කැමරාවක් ඇසුරෙන් තෝරාගත් නිදර්ශක ඡායාරූප ගත කරන ලදී.

වසර 1991 දී මෙම සත්ත්ව නිදර්ශක මේ ශාස්ත‍්‍රීය ලිපියේ දෙවන කර්තෘ සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැනීම් අංශයේ ජූඞ් පෙරේරා යන මහතුන් විසින් හඳුනා ගැනීම සිදු කරන ලදී. ඉන් අනතුරු ව එම අවශේෂ කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ තැන්පත් කරන ලදී. කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය මඟින් වසර 2010 දී නැවත හඳුනාගැනීම් කටයුතු සිදු කරන ලදුව එහි දී මෙම පොතාන කැනීමෙන් ලද සියලු ම සත්ත්ව අවශේෂ ගණනය කොට බර කිරා නැවත අධ්‍යයනය කරන ලදී. එහි දී වසර 1991 හඳුනාගැනීම්වලට වඩා තවත් සත්ත්ව අවශේෂ හඳුනාගැනීමටත් ඒ තුළින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසයට අදාළ සත්ත්ව පුරාවිද්‍යාත්මක අදහස් තවදුරටත් පුළුල් කිරීමටත් හැකි විය. අලුතෙන් හඳුන්වාදුන් නව ක‍්‍රමවේදයන්ට අනුව මෙම සත්ත්ව අවශේෂ ගබඩාකරණය පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ දී මේ වන විටත් සිදු වෙමින් පවතී. එහි දී එක් නිදර්ශකයක් සඳහා එක් පොලිතීන් බෑගයක් ද, එක් එක් නිදර්ශකය වෙනුවෙන් සියලුම දත්ත ඇතුළත් ලේබලයක් ද යොදන ලදී. ඉන් අනතුරු ව ඒ වෙනුවෙන් සකස් කරන ලද විශේෂිත ලාච්චු තුළ නිදර්ශක ක‍්‍රමවත් පිළිවෙලකට සකස් කරනු ලදුව පරිගණක දත්ත ගොනු ලෙස ද, සාම්ප‍්‍රදායික ලේඛනගත ක‍්‍රමයට ද දත්ත සටහන් පවත්වාගෙන යනු ඇත.

පොතාන ප‍්‍රාග්ඓතිහාසික ගල් ගුහාව

පොතාන ප‍්‍රාග්ඓතිහාසික ගුහාවෙහි පැරණිතම සංස්කෘතික ස්තරය හෙවත් 10 වන ස්තරය අංගාර කාලනීර්ණයන්ට අනුව අදින් වසර 6,000ක් පමණ පැරණි වේ (කාබන් 14 කාලනීර්ණ 3913-3727 BC [Ua 5685] හා 3916-3709 BC [Ua 5686]). 1991 වර්ෂයේ දී කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ සේනක බණ්ඩාරනායක හා ගාමිණී අදිකාරි යන මහාචාර්යවරුන්ගේ අධීක්ෂණය යටතේ සිදුකළ පොතාන ගුහා කැනීමේ සංදර්භ 2, 3, 4, 7, 9, 10, හා 15 වශයෙන් වාර්තා කරන ලදී. පොතාන ප‍්‍රාග්ඓතිහාසික ගල් ගුහාව අන්තර් කලාපයේ පිහිටා තිබුණ ද එය වියළි කලාපයට අයත් යැයි ප‍්‍රකාශ කිරීම වඩාත් නිවැරදි වේ (Bandaranayake, 1994). නමුත් මෙම ගුහාවේ සමහර ස්තර වලින් හමුවන Acavus ගනයට අයත් තෙත් කලාපීය වැසි වනාන්තර පරිසරයන්ට සීමා වුණු ගස් ගොළුබෙල්ලන් අනුව පැහැදිලි වනුයේ එම ගුහාව අවට පරිසරය වර්තමානයට වඩා තෙත් පරිසරයක් දැරූ බව ය. පොතාන ගුහාව අවට වූ පරිසරය තෙත් කලාපීය තත්ත්වයේ සිට අන්තර් කලාපීය හා වර්තමානයේ වඩාත් වියලි තත්ත්වයන් දක්වා වෙනස්වන්නට ඇති බව Acavus ගනයේ ගස්ගොළුබෙලි සාධක මත පැහැදිලි වේ. මේ අනුව අදින් වසර 6,000ක පමණ සිට පොතාන ගුහාවේ ජීවත් වූ ප‍්‍රාග්ඓතිහාසික මානවයා තම ආහාරයට ඉහත දක්වන ලද සියලු ම පාරිසරික තත්ත්වයන් යටතේ, ගුහාව අවට පරිසරයේ ජීවත් වූ ක්‍ෂීරපායී සතුන් දඩයම් කොට ආහාරයට ගැනීම පිළිබඳ සාක්ෂීන්, ගුහාවේ සංස්කෘතික ස්තර අතර සුරක්ෂිත වී ඇති ක්‍ෂීරපායී සතුන්ට අයත් අවශේෂ මගින් පැහැදිලි වේ.

පොතාන කැනීමෙන් ලද සත්ත්ව අවශේෂ මඟින් හඳුනාගත් ක්‍ෂීරපායී විශේෂ

පසුගිය දශක හත තුළ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාඥයින් විසින් ගල්ගුහා සහ විවෘත මානව ජනාවාසවල සිදු කරන ලද කැනීම් වලින් ලද සත්ත්ව අවශේෂ බොහෝ වැදගත් වනුයේ ඒවා අදින් වසර 38,000ක පමණ සිට පැවත එන බැවිනි (Deraniyagala, 1992 හා Perera, 2010. තෙත් කලාපයේ නිවර්තන වැසි ආවරණය තුළ පිහිටි ෆාහියන්ලෙන, බටදොඹලෙන, බෙලිලෙන, අළුලෙන, පොත්ගුල්ලෙන යන ගුහා කැනීම්වලින් ලද සත්ත්ව අවශේෂ පහතරට තෙත් කලාපීය සත්ත්ව ප‍්‍රජාව නියෝජනය කරනු ඇත. එසේ වුව ද වියළි කලාපයේ හෝ අන්තර් කලාපයේ වූ මධ්‍යශිලා යුගයේ මානව වාසස්ථානවල සිදු කළ කැනීම් අනුව බෙල්ලන්බැඳිපැළැස්ස හා පොතාන යන ප‍්‍රාග් ඓතිහාසික මානව වාසස්ථාන වලින් ලද සත්ත්ව අවශේෂ පුරාවිද්‍යඥයින්ට වඩාත් ම වැදගත් වනුයේ ඒවා ඉහත තෙත් හා වියළි කලාප අතර සංසන්දනාත්මක අධ්‍යයනයන් සඳහා බොහෝ වැදගත් වන නිසා ය.

රටමැද ජීවත් වූ මධ්‍යශිලා යුගයේ මානවයා තම එදිනෙදා අවශ්‍යතා සියල්ලම පාහේ එම වාසස්ථානය අවට පරිසරයෙන් සපුරාගත් බව එම සත්ත්ව අවශේෂවලින් පැහැදිලි වේ. මෙම ප‍්‍රාග් ඓතිහාසික මානව වාසස්ථාන කැනීම් මඟින් ලද සත්ත්ව අවශේෂ එකල එම වාසස්ථාන අවට පරිසරයේ කැටපතක් ලෙස දැක්විය හැකි ය.

අදින් වසර 6,000ක් පමණ දක්වා කාලනීර්ණයක් දරන පොතාන ගුහාවේ සංස්කෘතික සංදර්භවලින් ලද සත්ත්ව අවශේෂ මඟින් පුරාණ පාරිසරික තත්ත්වයන් අධ්‍යයනය කිරීමට මනා පිටිවහළක් ලැබෙන අතර ඊට අමතර ව එම පුරාණ මිනිසුන්ගේ සත්ත්ව රුචිකත්වය, දඩයම් ක‍්‍රමෝපායයන්, ආහාරයේ සමතුළිතතාව ආදී දෑ අධ්‍යයනය කිරීමට ද මෙම අවශේෂ බොහෝ සේ උපකාරී වේ. පොත්ගුල් ලෙනේ සිදුකළ කැනීම් මඟින් ලද සත්ත්ව අවශේෂ විශ්ලේෂණය මඟින් ක්‍ෂීරපායී විශේෂ 42ක් හඳුනාගෙන ඇති අතර බටදොඹ ලෙනෙහි සත්ත්ව විවිධත්වය ද මේ හා සමාන වේ (Manamendra-Arachchi et al., 2009).

පහත දක්වා ඇත්තේ පොතාන ගල්ගුහා කැනීමෙන් ලද සත්ත්ව අවශේෂ මඟින් හඳුනාගත් ක්‍ෂීරපායී සත්ත්ව විශේෂයන් වේ. ඉහත පර්යේෂණ ක‍්‍රමවේදය යන මාතෘකාව යටතේ දක්වන ලද එම සත්ත්ව අවශේෂ නිදර්ශක වටා බැඳී ඇති ඝන පස් ආවරණය කුඩා ක්‍ෂීරපායී සතුන්ගේ අවශේෂ වෙන් කොට හඳුනාගැනීමට බාධාවක් ව ඇති බැවින් පහත දැක්වෙන සත්ත්ව විශේෂ ලැයිස්තුවට තවත් ක්‍ෂීරපායී විශේෂ එකතු විය යුතු බව අපගේ හැඟීම වේ.

  • මා වව්ලා (Pteropus giganteus, Common flying-fox) : කපාල හා අධෝහනු කොටස් හමු ව ඇත. හමු ව ඇති කපාල කොටස් අනුව හොඳින් වැඩුණු සතුන් ගුහාව වෙත රැගෙනවිත් ඇත.

 

  • හැළි වඳුරා (Semnopithecus priam, Grey langur) : ප‍්‍රධාන වශයෙන් වියළි තැනිතලා බිමිවල වාසය කළ ද අන්තර් කලාපයේ ද වාර්තා වේ. දිවාකළ සැරිසරන ප‍්‍රිමාටාවකි. රිළවා සහ කළුවඳුරාට වඩා ප‍්‍රමාණයෙන් විශාල වේ. පුරශ්චාර්වක හා චාර්වක දත්වල තුණ්ඩ කේතු හැඩැති ය. සියලූ ම සැකිළි කොටස් හමු ව ඇත.

 

  • කළු වඳුරා (Semnopithecus vetulus, Purple-faced leaf monkey) : ශ‍්‍රී ලංකාව පුරා ම ව්‍යාප්ත ව ඇත. පිරිමි සතුන්ගේ රදනක දත් දිග වුව ද රිළවුන්ගේ තරම් තියුණු නොවේ. පුරශ්චාර්වක හා චාර්වක දත්වල තුණ්ඩ හැළි වඳුරාට බොහෝදුරට සමාන වේ. සමස්ත සැකිල්ලේ ම කොටස් හමු ව ඇත.

 

  • රිළවා (Macaca sinica, Toque monkey) : ශ‍්‍රී ලංකාව පුරා ම පැතිර ඇති ප‍්‍රිමාටාවෙකි. පිරිමි සතුන්ගේ රදනක දළ හැඩැති අතර ඒවා වඩාත් ම තියුණු ය. ලළාට අස්ථියේ උපරි අක්ෂිකූප පෙදෙස ඉදිරියට නෙරා ඇත. පුරශ්චාර්වක හා චාර්වක දත්වල තුණ්ඩ බොහෝ දුරට මොට හැඩැති අතර ඒවා තියුණු නොවේ. සමස්ත සැකිල්ලේ ම කොටස් හමු ව ඇත.

 

  • කබල්ලෑවා (Manis crassicaudata, Pangolin) : ශ‍්‍රී ලංකාවේ ජීවත් වන භෞමික ක්‍ෂීරපායීන් අතුරින් දත් නොදරණ එක ම විශේෂය වේ. ඝනාවාසී කෘමීන් ජීවත් වන ඕනෑම කලාපයක ජීවත් වේ. වේ හුඹස් ඇති කලාපවලට වඩාත් ප‍්‍රිය කරයි. ගාත‍්‍රා සැකිළි කොටස් හමු ව ඇත.

 

  • වල් හාවා (Lepus nigricollis, Black-naped hare) : ශ‍්‍රී ලංකාව පුරා ම ව්‍යාප්තව ඇත. මධ්‍ය ශිලා යුගයේ මානව වාසස්ථාන අතරින් වඩාත් ම අඩුවෙන් වාර්තාවන ක්‍ෂීරපායී විශේෂයකි. අධෝහනු කොටස් හමු ව ඇත.

 

  • කොටියා හෙවත් දිවියා (Panthera pardus, Leopard) : දිවයිනේ පුළුල් ව ව්‍යාප්ත ව ඇත. ශ‍්‍රී ලංකාවේ විශාල ම මාංශ භක්ෂකයා වේ. පොතාන ගුහාවෙන් ඉතා සුළු වශයෙන් වාර්තාවන ක්‍ෂීරපායී විශේෂයකි. වර්තමාන දඩයක්කරුවන්ගේ ඉතා ප‍්‍රචලිත මාංශයක් ලෙස කොටි මාංශය හැඳින්විය හැකි ය.

 

  • හඳුන් දිවියා (Prionailurus viverrinus, Fishing cat) : ශ‍්‍රී ලංකාවේ වල් බළල් විශේෂ තුනක් වාර්තාවන අතර වියළි කලාපයේ එම තිදෙනා ම වාසය කරනු ඇත. හඳුන් දිවියා හැරුණු විට කොළ දිවියා, Prionailurus rubiginosus හා වල් බළලා, Felis chaus යන විශේෂ ද සීගිරිය ආශ‍්‍රිත කලාපයේ ජීවත් වනු ඇත. මෙම විශේෂ තුනෙහි ම මාංශය දඩයක්කරුවන් තම ආහාරයට එක් කොට ගැනීමට මැලි නොවන නිසා ප‍්‍රාග් ඓතිහාසික මානවයා ද මෙම සතුන් දඩයම් කොට ආහාරයට ගැනීමට රුචිකත්වයක් දක්වා ඇති බැව් ගුහාවලින් හමු වන අස්ථි හා දත් අවශේෂ අනුව පැහැදිලි වේ. පොතාන ගුහාවෙන් හමුවන වල් බළල් අවශේෂ අතර ප‍්‍රමාණයෙන් විශාල දත් හඳුන් දිවියාගේ හා වල් බළලාගේ විය හැකි අතර ප‍්‍රමාණයෙන් කුඩා දත් කොළ දිවියාගේ විය හැකි ය. හඳුන් දිවියාගේත්, වල් බළලාගේත් සැකිළි අවශේෂ ප‍්‍රමාණාත්මකව සහ රූපවිද්‍යාත්මක ව බොහෝ දුරට එක සමාන බැවින් ඒවා එකිනෙකාගෙන් වෙන් කොට හඳුනාගැනීමට තරමක් අපහසු වේ. පොතාන ගුහාවෙන් හමුව ඇති බළල් අවශේෂ අතර හඳුන් දිවියාගේ අවශේෂ හැරුණු විට වල් බළලාගේ අවශේෂ ද ඇති බැව් අනුමාන කළ හැකි ය.

 

  • මුගටීන් සහ හෝතඹුවන් (Herpestes spp, Mongoses) : ප‍්‍රාග් ඓතිහාසික මානවයාගේ සත්ත්ව දඩයමේ සුලබ සත්ත්ව කාණ්ඩයක් ලෙස මුගටින් හා හෝතඹුවන් දැක්විය හැකි ය. මෙරට හෝතඹු හා මුගටි විශේෂ හතරක් වාර්තා වන අතර උන් පුළුල් ප‍්‍රදේශයක පැතිර ජීවත් වේ. හෝතඹුවන්ට අයත් දත්, අධෝහනු හා ගාත‍්‍රා සැකිළි ඉතා සුලබ ව පොතාන ඇතුළු සියලූ ම ප‍්‍රාග් ඓතිහාසික මානව වාසස්ථාන වලින් හමු වේ. මුගටි හා හෝතඹු පුරශ්චාර්වක හා චාර්වක දත්වල වූ තුණ්ඩ ඉතා තියුණු අතර ඒවා කෘමී සතුන් ඇතුළු අනෙකුත් කුඩා පෘෂ්ඨවංශී සතුන් ආහාරයට ගැනීම සඳහා අනුවර්තනය වී ඇත.

 

  • දියබල්ලා (Lutra lutra, Otter) : මිරිදිය ජලාශ හා දියකඩිති ආශ‍්‍රිත ව ජීවත් වන දියබල්ලා ශ‍්‍රී ලංකාව පුරා ම ව්‍යාප්ත ව ඇති ජලචර ක්‍ෂීරපායී සත්ත්වයෙක් වේ. පොතාන ලෙනෙන් මෙන් ම මෙරට සියලූ ම ප‍්‍රාග් ඓතිහාසික වාසස්ථාන තුළින් දිය බල්ලන්ට අයත් අවශේෂ හමු වේ. දිය බල්ලාගේ හිස් කබල පෘෂ්ඨෝදරීව පැතලි අතර එහි මුඛ කුහර ප‍්‍රදේශය තරමක් කුඩා වේ. දියබල්ලාගේ අවසාන පුරශ්චාර්වක හා චාර්වක දත් වඩාත් පුළුල් හා ස්ථුල ස්වරූපයක් දරයි. එහි තුණ්ඩ බොහෝදුරට තියුණු වේ. ඉතා සුළු වශයෙන් දියබල්ලන්ගේ අවශේෂ පොතාන ගුහාවෙන් හමු වේ.

 

  • කළවැද්දා (Paradoxurus spp, Palm cats) : Paradoxurus ගණයට අයත් පහත දක්වා ඇති උගුඩුවාට අමතර ව දුඹුරු හෝ රන්වන් පැහැ ලොම් දරන කළවැදි විශේෂ තුනක් අප රටින් වාර්තා වේ. මෙම කළවැද්දන්ගේ පුරශ්චාර්වක හා චාර්වක දත් බොහෝදුරට උගුඩුවාට සාපේක්ෂව ස්ථුල පෙනුමක් දරනු ඇත. එම දත්වල තුණ්ඩ වඩාත් මොට වූ ස්වරූපයක් දරන අතර ඒවා යම් පමණකට ප‍්‍රමාණයෙන් විශාල වේ. Paradoxurus auratus, Paradoxurus montanus හා Paradoxurus stenocephalus යන විශේෂ තුන මෙයට ඇතුළත් වන අතර හමුව ඇති දත් සහ අස්ථි අවශේෂ මඟින් මෙම විශේෂ තුන එක්නෙකින් වෙන්කර ගැනීම අපහසු බැව් සඳහන් කළ යුතු ය (Groves et al., 0000).
කළවැද්දා (Paradoxurus spp, Palm cats)
  • උගුඩුවා (Paradoxurus hermaphroditus, Black palm cats) : උගුඩුවා ශ‍්‍රී ලංකාවේ පහතරට හා කඳුකරයේ මධ්‍යම පෙදෙස් දක්වා පැතිර ජීවත් වේ. මනුෂ්‍ය වාසස්ථාන වල සුලබ ව දැකිය හැකි ය. බටදොඹලෙන හා පොත්ගුල් ලෙන යන ප‍්‍රාග්ඓතිහාසික ගුහාවලින් උගුඩු අවශේෂ සුලබ ව හමු වේ. ඒ අයුරින් ම පොතාන ලෙනෙන් ද උගුඩු දත්, අධෝ හනු සහ දිගු ගාත‍්‍රා අස්ථි හමු වේ.

 

  • උරුලෑවා (Viverricula indica, Rnged-tail civet) : උරුලෑවා ශ‍්‍රී ලංකාව පුරා ම ව්‍යාප්තව ඇති ක්‍ෂීරපායී විශේෂයකි. මෙරට ප‍්‍රාග් ඓතිහාසික මානවයාගේ සත්ත්ව ආහාරයේ ප‍්‍රධාන අංගයක් වූ උරුලෑවා පොතාන ගුහාවේ සංස්කෘතික ස්තර අතරින් ද හමු වේ. උරුලෑවාගේ පුරශ්චාර්වක හා චාර්වක දත් කළවැද්දාට හා උගුඩුවාට දළ වශයෙන් සමාන වුව ද උරුලෑවන්ගේ දත් ප‍්‍රමාණයෙන් මඳක් කුඩා අතර වඩාත් ම තියුණු වේ. පොතාන ලෙනෙන් හමුවන උරුලෑ අවශේෂ අතර අධෝහනු, හිස්කබල් කොටස් සහ දිගු ගාත‍්‍රා අස්ථි විශේෂයෙන් සඳහන් කළ හැකි ය.

 

  • අලියා (Elephas maximus, Elephant) : ශ‍්‍රී ලංකාවේ අනෙකුත් සියලූ ම ප‍්‍රාග්ඓතිහාසික වාසස්ථානවල මෙන් පොතාන ලෙනෙහි ද ඉතා සුලූ වශයෙන් අලින්ට අයත් චාර්වක හෝ පුරශ්චාර්වක දත්වල කොටස් හමු වේ. මේවා කුමන කාරණයක් සඳහා උපයෝගී කර ගත්තේ ද යන්න සඳහන් කිරීම අපහසු ය.

 

  • ගවයා (Bos sp, Cattle) : ගවයන්ට අයත් අවශේෂ බහුලව ම හමුවන ප‍්‍රාග් ඓතිහාසික වාසස්ථානය ලෙස පොතාන හැඳින්විය හැකි ය. විශේෂයෙන් ම සම්පූර්ණ දත් හමුවන නිසා පුරාණ ගවයින් පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා මනා නිදර්ශක මෙම වාසස්ථානයෙන් හමු වේ. ශ‍්‍රී ලංකාවේ ප්ලයිස්ටොසීන අවධියේ ගවයින් වාසය කළ බව ෆොසිල සාධක මඟින් අනාවරණය වී ඇත (Deraniyagala, 1958). පොතාන ගුහාවෙන් හමුවන ගව නිදර්ශක මෙම ප්ලයිස්ටොසීන ගවයාගේ ද නොඑසේ නම් ඉන් පසු කාලයක දී මිනිසුන් විසින් රැගෙන එන ලද ගව විශේෂයකගේ ද යන්න නිවැරදි ව හඳුනාගැනීමට තවදුරටත් පර්යේෂණ සිදු කළ යුතු ව ඇත. පොතාන ලෙනෙහි අදින් වසර 6,000ක් පමණ පැරණි 10 වන සංස්කෘතික ස්තරයේ සිට ගව අවශේෂ හමු වේ.

 

  • වල් මීමා (Bubalus arnee, Wild buffalo හා මී හරකා, Bubalus bubalis, Domestic buffalo) : පොතාන ලෙනෙන් හමුවන සත්ත්ව අවශේෂ අතර Bubalus ගණය දක්වා නිවැරදි ලෙස හඳුනාගත හැකි අස්ථි හා දත් හමු වී ඇති අතර ඒවා වල් මීමා ගේ හෝ මී හරකා ගේ විය හැකි ය. අදින් වසර 6,000කට කාලනීර්ණය වී ඇති 10 වන සංස්කෘතික ස්තරයෙන් හමු ව ඇති අවශේෂ වල්මීමා ගේ බව සඳහන් කළ හැකි අතර එය එසේ දැක්විය හැක්කේ එම අවධියේ දී ගෘහස්ථකරණයට ලක්වුණු මී හරකුන් ශ‍්‍රී ලංකාවේ මධ්‍යශිලා යුගයේ වාර්තා නොවන නිසා ය. පොතාන ගුහාවෙහි 10 වන ස්තරයෙන් වල් මීමා හමු වුව ද ඊට ඉහළින් වූ නව ස්තර අතුරින් වල් මීමාත්, මී හරකාත් ය විශේෂ දෙක ම වාර්තා වන බව දැක්වීම වඩාත් නිවැරදි වේ. මෙම විශේෂ දෙක නිවැරදි ලෙස වෙන් කොට හඳුනාගැනීම සඳහා ප‍්‍රමාණාත්මක ව විශාල දත් හා අස්ථි කොටස් හමු නොවීම මෙම ගැටළුවට හේතු වී ඇත.

 

  • ගෝනා (Rusa unicolor, Sambur) : ශ‍්‍රී ලංකාවේ ජීවත් වන මුව පවුලේ විශාල ම සාමාජිකයා වන අතර ගෝනා දිවයින පුරා ම පැතිර ජීවත් වේ. දත් හා සැකිළි කොටස් පොතාන ලෙනෙන් සුලබව හමු වේ. එම අවශේෂ අනුව සළකා බලන කළ පොතාන ලෙනෙහි ජීවත් වූ ප‍්‍රාග් ඓතිහාසික මානවයා ගෝනුන් සුලබ ව දඩයම් කොට ඇති බව සඳහන් කළ හැකි ය.
ගෝනා (Rusa unicolor, Sambur)
  • වැලි මුවා (Muntiacus muntjack, Barking deer) : මෙරට වාසය කරන මුවන් අතරින් මධ්‍යම ප‍්‍රමාණයේ සිරුරක් සහිත වැලි මුවා සෑම කලාපයක ම වාගේ ව්‍යාප්තියක් දරන ක්‍ෂීරපායී සත්ත්වයෙක් වේ. පිරිමි සතුන්ට එක් කරුවක් දරන එමෙන් ම ඇතුල් දෙසට වක් වූ සිහින් අං යුවලක් ඇත. වැඩිහිටි පිරිමි සතුන්ගේ ඉහළ රදනකය දිගු හා පැතලි වන අතර එය මුඛයෙන් පිටතට නෙරා පිහිටයි. පොතාන ලෙනෙන් හමු ව ඇති වැලි මුව අවශේෂ අතර දත් විශේෂයෙන් සඳහන් කළ හැකි ය.

 

  • වල් ඌරා (Sus scrofa, Wild boar) : වල් ඌරා යනු ප‍්‍රාග් ඓතිහාසික හා ඓතිහාසික සංදර්භවලින් වාර්තා වන සුලභ ක්‍ෂීරපායී විශේෂයකි. ශ‍්‍රී ලංකාව පුරා ම පැතිර ජීවත් වන වල් ඌරා වර්තමානයේ ද වඩාත් ප‍්‍රචලිත දඩයම් සත්ත්වයෙක් වේ. වල් ඌරාගේ පුරශ්චාර්වක සහ චාර්වක දත් සර්වභක්ෂක ලක්ෂණ දරන අතර අනෙකුත් සියලූ ම විශාල ක්‍ෂීරපායී සතුන්ගෙන් පැහැදිලි ව වෙන් කොට හඳුනා ගත හැකි ය. පොතාන ගුහාවේ විශාල ක්‍ෂීරපායී සතුන් අතරින් වල් ඌරන්ගේ සැකිළි අවශේෂ ඉතා සුලභ ව හමු වේ.
වල් ඌරා (Sus scrofa, Wild boar)
  • මීමින්නා (Moschiola sp., Mouse deer) : ශ‍්‍රී ලංකාවේ ජීවත් වන කුර දරන කුඩා ම සත්ත්වයා වේ. මීමින්නන් විශේෂ දෙකක් මෙරට වාසය කරනු ඇත. එනම් ශ‍්‍රී ලංකා මීමින්නා, Moschiola meminna හා ශ‍්‍රී ලංකා කුරු මීමින්නා, Moschiola kathygre වේ. මෙම විශේෂ දෙක ම පොතාන ගුහාව අවට පරිසරයේ ජීවත්විය හැකි බැවින් මෙම ගුහා කැනීමෙන් හමු ව ඇති මීමින්නා අවශේෂ ඉහත විශේෂ දෙකෙන් කුමන විශේෂයකට අයත් ද යන්න ස්ථිර වශයෙන් ප‍්‍රකාශ කළ නොහැකි ය. මීමින්නාට අයත් අධෝහනු හා හිස්කබල් කොටස් පොතාන කැනීමෙන් වාර්තා වේ.

 

  • ඉත්තෑවා (Hystrix indica, Porcupine) : ශ‍්‍රී ලංකාවේ විශාල ම කෘන්තකයා වන අතර සමස්ත දවයින පුරා පැතිර ජීවත් වේ. මෙම නිශාචර සත්ත්වයා බොහෝ පරාසයක වූ පරිසර පද්ධතීන්වල වාසය කරන අතර ප‍්‍රාග් ඓතිාහසික සමයේ සිට වර්තමානය දක්වා මිනිසුන්ගේ ප‍්‍රචලිත දඩයමක් බවට පත් ව ඇත. ඉත්තෑවුන්ගේ චාර්වක හා පුරශ්චාර්වක දත්වල ඇඹරුම් පෘෂ්ඨය වටකුරු හෝ ඕවලාකාර හැඩයක් දරන අතර දත් සිලින්ඩරාකාර වේ. පොතාන ගුහාවෙන් ඉත්තෑවුන්ගේ අධෝහනු හා දත් සුලභ ව හමු වේ.
ඉත්තෑවා (Hystrix indica, Porcupine)
  • මාහම්බාවා (Petaurista philippensis, Giant flying squirrel) : මා හම්බාවා නිශාචර ප‍්‍රමාණයෙන් විශාල කෘන්තකයෙකි. විශාල තුරු සහිත පරිසරයන්ට ප‍්‍රිය කරන අතර දිවා කළ බොහෝවිට ගස් බෙන තුළ සැඟ වී ජීවත් වේ. ප‍්‍රාග් ඓතිහාසික මානවයාගේ සුලභ දඩයමක් ලෙස හම්බාවන් හැඳින්විය හැකි ය. දඬු ලේනාට සාපේක්ෂ ව මා හම්බාවාගේ අස්ථි ප‍්‍රමාණයෙන් විශාල වේ. අධෝහනු හා හිස්කබල් කොටස් සුලභ අතර පුරශ්චාර්වක හා චාර්වක දත්වල තුණ්ඩ වඩාත් කෝණික හැඩයක් දරයි.

 

  • දඬුලේනා (Ratufa macroura, Giant squirrel) : ශ‍්‍රී ලංකාවේ සෑම පරිසර පද්ධතියක ම වාසය කරන කෘන්තක විශේෂයකි. නමුත් ඵල සහ බීජ සහිත විශාල ගස් ඇති කලාපයන්ට වඩාත් ප‍්‍රිය කරනු ඇත. දිවාචර හැසිරීම් පෙන්වන මෙම ලේනුන් බලංගොඩ මානවයාගේ සුලභ ආහාරයක් බව ප‍්‍රාග් ඓතිහාසික කැනීම් වලින් හමුවන දඬුලේන අවශේෂ මඟින් පැහැදිලි වේ. දඬු ලේනාගේ අධෝහනු, කපාල කොටස් සුලභ ව හමුවන අතර පුරශ්චාර්වක හා චාර්වක දත්වල වූ තුණ්ඩ වටකුරු ස්වරූපයක් දරයි.
දඬුලේනා (Ratufa macroura, Giant squirrel)

සාකච්ඡාව

ශ‍්‍රී ලංකාවේ සත්ත්ව පුරාවිද්‍යාත්මක අධ්‍යයන සඳහා වඩාත් සිත් ගන්නා සුළු ප‍්‍රාග් ඓතිහාසික මානව වාසස්ථානයක් ලෙස පොතාන ලෙන හැඳින්විය හැකි ය. මෙහි හමුවන ක්‍ෂීරපායී සතුන් අතුරින් ගවයා හැරුණු විට ඉතිරි විශේෂ සියල්ල ම පාහේ ෆාහියන් ලෙන, බටදොඹ ලෙන, බෙලි ලෙන, අළුලෙන හා පොත්ගුල් ලෙන යන ප‍්‍රාග් ඓතිහාසික ගුහා වාසස්ථාන වලටත්, බෙල්ලන්බැඳිපැළැස්ස විවෘත ප‍්‍රාග් ඓතිහාසික මානව වාසස්ථානයටත් බොහෝ සේ සමාන වේ. බටදොඹ ලෙනෙහි 4වන සංස්කෘතික ස්තරය අදින් වසර 13,000කට පමණ කාලනීර්ණය වී ඇති අතර පොතාන ලෙනෙහි පහතින් ම පිහිටි සංස්කෘතික ස්තරය ලෙස සැළකෙන 10වන ස්තරය අදින් වසර 6,000ක් පමණ පැරණි වේ. මේ අනුව සළකා බලන කළ අඛණ්ඩ සහ නිරවුල් ස්තරණයක් දැක්වෙන බටදොඹ ලෙනෙහි 4වන ස්තරයේ සිට අඛණ්ඩ පිහිටීමක් පොතාන ලෙනෙහි 10 වන ස්තරයෙන් නිරූපණය වේ. මෙහි දී පුරාවිද්‍යාඥයන් සඳහා වැදගත් වන සාධක පොතාන ලෙනෙන් හමුවන අතර ඒ අතරින් සංවාදයට තුඩු දෙනුයේ පොතාන ගුහාවේ 10 වන ස්තරයේ සිට හමුවන ගවයින්ගේ දත් හා සැකිළි අවශේෂ වේ. මක් නිසාද යත්, මධ්‍ය ශිලා යුගයේ මානවයින් වල් ගවයින් දඩයම් කළේ ද, එසේ නොමැති නම් වෙනත් අයුරකින් මෙරටට ගවයන් රැගෙන ආවේ ද යන කරුණු සනාථ කර ගැනීමට මෙම ගව අවශේෂ වඩාත් ම උපකාර වන බැවිනි. ප්ලයිස්ටොසීන අවධියේ මෙරට ජීවත් වූ ගවයාගේ හමුව ඇති අං කැබැල්ලේ ෆොසිලය මඟින් බොහෝ දේ ප‍්‍රකාශ කළ නොහැකි වුව ද මෙම පොතාන ලෙනෙන් හමුවන චාර්වක හා පුරශ්චාර්වක දත් මඟින් ඒ පිළිබඳ වැඩිදුරටත් අධ්‍යයනය කිරීමට අවස්ථාව ලැබෙනු ඇත.

මීට අමතර ව ගෝනුන්ට අයත් අවශේෂ ද පොතාන ගුහාවෙන් බහුල ව හමුවන බැවින් එහි වාසය කළ මානවයා උන් බෙහෙවින් දඩයම් කළ බව මේ අනුව අනුමාන කළ හැකි ය. වැසි වනාන්තර ආවණය තුළ වූ බටදොඹ ලෙනෙහි වාසය කළ මානවයාට වඩා වැඩි ප‍්‍රමාණයක් ගෝනුන් පොතාන මානවයා විසින් දඩයම් කළ බව ඉතා ම පැහැදිලි වේ. එකල පොතාන ගුහාව අවට වූ පරිසරයේ අදට වඩා ගෝනුන් වාසය කරන්නට ඇතැයි අනුමාන කළ හැකි ය.

තෙත් කලාපයේ ජිවත් වූ ප‍්‍රාග් ඓතිහාසික මානවයා කුඩා ක්‍ෂීරපායීන් සඳහා ප‍්‍රමුඛත්වය දෙනු ලැබුව ද පොතාන මානවයා ගවයා, ගෝනා, තිත්මුවා හා වල්ඌරා ආදී විශාල ක්‍ෂීරපායී සතුන් දඩයම් කිරීමට පෙළඹී ඇතැයි මෙහි හමුවන සත්ත්ව අවශේෂ කියාපානු ඇත. පොතාන ගුහාව අවට වූ වියළි මිශ‍්‍ර සදාහරිත වනාන්තර තුළ මෙම විශාල ක්‍ෂීරපායී සතුන් බහුල ව වාසය කිරීමත්, උන් පහසුවෙන් දඩයම් කිරීමටත් හැකියාව තිබුණු බැවින් මෙම සතුන්ගේ අවශේෂ ගුහාවෙන් බහුල ව හමුවීමට හේතු සාධක වනු ඇත.

ස්තුතිය

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා අධ්‍යයන හා සත්ත්ව විශ්ලේෂණ කටයුතු වල දී අපට නිරතුරු ව සහයෝගය දක්වන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් දැරණියගල හා එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය නිමල් පෙරේරා යන මහතුන්ට අපගේ ස්තුතිය පිරිනමමු.මෙම ශාස්ත‍්‍රීය ලිපිය සම්පාදනය කිරීමේ දී බෙහෙවින් සහාය වූ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් අංශයේ ජූඞ් පෙරේරා මහතාටත්, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ සොනාලි රංගිකා පේ‍්‍රමරත්න මෙනවියටත් ස්තුතිවන්ත වෙමු.

පරිශීලනය කරන ලද ලිපි හා ග‍්‍රන්ථ

  • Adikari, G., 1998. Aspect of the Prehistory of the Sigiriya-Dambulla region. Unpub. thesis submitted for the degree of Master of Philosophy (M. Phil.) PGIAR, University of Kelaniya: 443 pp.
  • අදිකාරී, ගා., 2009. පුලතිසිපුර කලාපයේ ප‍්‍රාග් ඉතිහාසය පිළිබඳ විමසුමක්, පුලතිසි වංශය (සංස්. ජයතුංග, නි. පි.*, සංස්කෘතික කටයුතු හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශය, පිටු 183-192.
  • Bandaranayake, S. 1994. Traversing an Archaeological Landscape. Further studies in the settlement archaeology of the Sigiriya-Dambulla region (eds. Bandaranayake, S. & M. Mogren), The Postgraduate Institute of Archaeology, University of Kelaniya, 9-20 pp.
  • Bossuyt, F., M. Meegaskumbura, N. Baenerts, D.J. Gower, R, Pethiyagoda, K. Roelants, A. Mannaert, M. Wilkinson, M.M. Bahir, K. Manamendra-Arachchi, P.K.L. Ng, C.J. Schneider, O. van Oomen & M.C. Milinkovitch, 2004. Local endemism within the Western Ghats-Sri Lanka Biodiversity Hotspot. Science, 306: 479-481 pp.
  • Deraniyagala, S.U. 1992. The Prehistory of Sri Lanka: an ecological perspective. Memoir 8, 2nd ed. Archaeological Department, Colombo, 831 pp.
  • Karunaratne, G.A., S. Rathnayake, G. Adikari, J. Perera & K. Manamendra-Arachchi. 2009. Small mammal hunt as evident from the Alavala Potgul-lena cave excavation. In: N. De Silva (eds.), Hunting for hunter-gatherers at Alavala Cave, Symposium on new discoveries from the excavation at Alavala, 3rd November 2009, Abstracts, Postgraduate Institute of Archaeology, University of Kelaniya, 20 pp.
  • Karunarathna, M., S.B. Konara, K.N. Manamendra-Arachchi & G. Adikari. 2011. Snail and crab consumption of prehistoric Alavala Potgul-lena cave man. International Association for Asian Heritage International Conference (07th & 8th April, 2011, Colombo) abstract volume (eds. Manatunga, A., R. Bandara & A. Wijesuriya), 73 p.
  • Manamendra-Arachchi, K.N., J. Perera, W.S. Weliange, A. Thantilage, W. Karunaratne, G. Adikari & N. De Silva. 2009 Checklist of fauna in the excavation of prehistoric Alavala Potgul-lena cave. Hunting for hunter-gatherers at Alavala cave, Symposium on new discoveries from the excavation at Alavala, 3 rd Nov. 2009, abstracts (editor in- chief De Silva, N), Postgraduate instituite of Archaeology, University of Kelaniya: 47-51 pp.
  • Manamendra-Arachchi, K.N., G. Adikari, N. De Silva, J. Weerasinghe, J. Perera, A. Thantilage, P. Vidanapathirana, W.S. Weliange, S.R. Premaratne, P.P. Algiriya, W. Karunarathne, D.J. Hettiarachchi, K. Bandara, S. Iroshana, K.N. Jayawardhana. 2010. Faunal and botanical remains found at Alavala Potgul-lena prehistoric cave site. Abstract volume of the Society of South Asian Archaeology 3rd international congress, 20th and 21nd August 2010, University of Kelaniya, Sri Lanka (eds. Shinde, V. & A. Manatunga), 65 p.
  • Perera, H.N. 2010. Prehistoric Sri Lanka, late Pleistocene rockshelters and an open-air site. BAR International Series, 2142, xvi+268 pp.
  • පෙරේරා, ජූ. 2009. පාහියන්ගල ප‍්‍රාග් ඓතිහාසික මානවයාගේ සත්ව ආහාර රටාවේ විවිධත්වය. ජාතික පුරාවිද්‍යා සමුළුව ‐ 2009, කොළඹල පිටු 85‐95.
  • Perera, J., G. Adikari & N. De Silva. 2009. Large mammal remains discovered from the Alavala Potgul-lena excavation. 2009. In: N. De Silva (eds.), Hunting for hunter-gatherers at Alavala Cave, Symposium on new discoveries from the excavation at Alavala, 3rd November 2009, Abstracts, Postgraduate Institute of Archaeology, University of Kelaniya, 21 pp.
  • Premaratne, S.R., G. Adikari & K. Manamendra-Arachchi. 2009. Reptile remains from prehistoric Alavala Potgul-lena cave. In: N. De Silva (eds.), Hunting for hunter-gatherers at Alavala Cave, Symposium on new discoveries from the excavation at Alavala, 3rd November 2009, Abstracts, Postgraduate Institute of Archaeology, University of Kelaniya, 18 pp.
  • පේ‍්‍රමරත්න, එස්. ආර්., කැ.න. මනමේන්ද්‍ර-ආරච්චි, ගා. අදිකාරී, ජූ. පෙරේරා, අ. තන්තිලගේ සහ පී. විදානපතිරණ. 2010. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික කැණීම් මගින් අනාවරණය කොටගෙන ඇති පක්ෂි අස්ථින් පිළිබඳ විමර්ශනයක්. වසර 2010 ජාතික පුරාවිද්‍යා සමුළුවට ඉදිරිපත් කළ ශාස්ත‍්‍රීය ලිපි එකතුව (ජූලි 7, 8 සහ 9), පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, කොළඹ, 2 වන වෙළුම, පිටු 47-56.
  • රණසිංහ, සු. 2009. වියළි කලාපීය ප‍්‍රාග් ඓතිහාසික මානවයාගේ සත්ත්ව පරිභෝජනය: සීගිරිය පොතාන ගුහාවේ සත්ත්ව අස්ථි විශ්ලේෂණයක්. අප‍්‍රකාශිත දර්ශනපති නිබන්ධය, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය කැලණිය විශ්වවිද්‍යාලය, පිටු 173.
  • Seligmann, C.G. & B.Z. Seligmann. 1911. The Vaddas. Cambridge University Press, xx+463 pp.

1 COMMENT

  1. සිංහල බසින් කියවීමට දුර්ලභ ලිපියක්. . . සුභ පැතුම්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.