Advertisements
Monday, January 21, 2019

සැරිසර සමරු - එන්.එච්. සමරසිංහ

එන්.එච්. සමරසිංහ මහතා 1976 වසරේ දී විද්‍යෝදය (දැන් ශ්‍රී ජයවර්ධන පුර) විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියක් ලබා එයින් පසු රජයේ ආයතන කිහිපයක විවිධ තනතුරු වල සේවය කොට 2010 දී විශ්‍රාම ලබා ඇති අතර ලංකාවේ පෞරාණික ස්ථාන හා ලෝක උරුමයන් පිළිබඳව විස්තරාත්මකව සොයා බැලීමට විශේෂ උනන්දුවක් දක්වන අයෙකි. විශ්‍රාම ගැනීමෙන් පසු ලංකාවේ බොහෝ පෙදෙස්වල හා විදේශයන් කීපයක සැරිසරා දැකබලා ගත් දේ අන් අය සමඟ බෙදා ගැනීමට “සැරිසර සමරු” නමින් බ්ලොග් අඩවියක් ද පවත්වා ගෙන යයි.

ශ්‍රී ලංකා මානවයා කාලය හරහා අවකාශය තුළ සිදුකරන ලද ගමනේ දී මුහුණ දුන් එ මෙන් ම පසු කරන ලද සංසිද්ධීන් හා අවස්ථා පිළිබඳ ව සුවහසක් ජනයා ඥානනය කිරීමේ අරමුණෙන් ක්‍රියාත්මක වන archaeology.lk වෙබ් අඩවිය ඔස්සේ එම සැරිසර සමරු සටහන් වැඩි පිරිසක් ‌වෙත යොමු කිරීමට එතුමා අප හා එක් වී ඇත.

මෙහි පලවන විිස්තර, අදහස් හා ඡායාරූප (උපුටා ගැනීම සඳහන් කර නොමැති නම්) එන්.එච්. සමරසිංහ මහතාගේ වේ.

පහත දක්වා ඇත්තේ එන්.එච්. සමරසිංහ මහතා ඔහුගේ සැරිසර සමරු බ්ලොග් අඩවියට යොදා ඇති ‌කෙටි හැඳින්විමයි.

මට ලංකාවේ බොහෝ තැන්වලට හා වෙනත් රටවල තැන් කීපයකට යන්නට වාසනාව ලැබිණ. ඒ ගිය තැන් බොහොමයක දී ඒ තැන්වල ඇති වැදගත් කම කුමක්දැයි සෙවීමි. සිත් ගත් තැන්වලට සිතින් හෝ නැවත යන්නට, හැකි සැම විටම පින්තුර ගතිමි. විවේක ලද විටක ඒ පිලිබඳ මතකය හාරා අවුස්සන්නට පෙළඹුනෙමි. මේ, එහි ප්‍රතිපලය ඔබ හා බෙදාගන්නට කරන ලද උත්සාහයකි. බොහෝ විට ඔබත් මේ තැන් වලට ගොස් ඇති. මෙය ඔබේ මතකය අලුත් කර ගන්නට හෝ නොදුටු යමක් වී නම් ඊළඟ ගමනේ දී එය දැකගන්නට අදහසක් ඇති වූයේ නම් මගේ උත්සාහය සාර්ථකයි. ලංකාවේ අසිරිය මේ ලිපිවලින් දැක ඔබ තුළ ලංකාව කෙරෙහි අභිමානයක් ඇති වූයේ නම් මගේ උත්සාහය අතිශයින් සාර්ථකයි. (මේ ලිපිවල අඩුලුහුඬු කම් තිබෙන්නට පුලුවන. ඒ ගැන සමා වී ඔබේ අදහස දක්වන්න. මෙහි මා ඇතුළු කරන පින්තුරවල උපුටා ගැනීම පිළිබඳව විශේෂයෙන් සඳහන් කර නැත්නම් ඒවා මගේම ඒවා ය. කරුණාකර ඒවායේ කර්තෘ අයිතිය සුරකින්න.)

මේ පින්තුරවල දැක්වෙන්නේ ඒ ස්ථාන මා බැලීමට ගිය දිනයේ තිබු ආකාරයයි. මේ ස්ථාන ඔබ දකින විට සමහර විට මීට වඩා වෙනස්ව තිබෙන්නට පුළුවනි. කෞතුකාගාර ‌හෝ කලාගාර ආදියේ ප්‍රදර්ශන භාණ්ඩ ඔබ යනවිට ප්‍රදර්ශනයෙන් ඉවත්කොට තිබෙන්නටත් ඉඩ ඇත.

ප්‍රීතිමත් සංචාරයකට සුබ පැතුම්.

මම, එන්.එච්. සමරසිංහ

ඓතිහාසික මුල්ගිරිගල රජ මහා විහාරය

එන්.එච්. සමරසිංහ දකුණුදිග වෙරළබඩ තැනිතලාවේ දකුණු දෙසින් පිහිටි ශේෂ කඳු අතරින් උසම කන්ද ලෙස සැලකෙන මුල්ගිරිගල කන්දේ ස්වභාව සෞන්දර්යය වඩාත් ඔපවත් කොට ඇති පුද බිමකි,  මුල්ගිරිගල රජ...

තිරියායේ පිහිටි ගිරිහඬු සෑ පුද බිම

ශ්‍රී ලංකාව ඈත අතීතයේ සිටම විදේශ ‌වෙළෙඳුනට වැදගත් ‌වෙළෙඳ පොළක් වී තිබිණ. ඔවුහු ශ්‍රී ලංකාවෙන් මුතු, මැණික්, කුළුබඩු ආදිය රැගෙන ගියා සේම නැව් පුරා විවධ භාණ්ඩ වෙළඳාම සඳහා රැගෙන ආහ. මෙසේ වෙළඳාමට පැමිණි වෙළඳුන් දෙ දෙනෙකුගෙන් වෙළඳ භාණ්ඩ වලට වඩා ඉමහත් වටිනාකමකින් යුත් දායාදයක් ශ්‍රී ලාංකිකයනට ලැබී ඇත. ඒ අද ශ්‍රී ලාංකිකයින්ගේ උරුමයක් බවට පත්ව ඇති, බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතූන් නිධන් කොට තැනූ ගිරිහඬු සෑයයි.

අනුරපුරයේ පිහිටි ජේතවන විහාරය

මිහිඳු හිමියන් ලංකාවට පැමිණ ලක්වැසියනට දහම් දෙසන ලද්දේ නන්දන උයනේ සිටයි. එහි සිට දෙසු දහම සිරිලක පුරා වේගයෙන් පැතිරිණ. දහම පැතිරුනේ නන්දන උයනේ සිට බැවින් එය 'ආලෝකය විහිදුවන උයන' යන අරුතෙන් එය 'ජෝතිවනය' නමින් පතළව පසුව ජේතවනය නම් විය.

අනුරපුරයේ අභයගිරි විහාරය

පුළුල් භුමි ප්‍රදේශයක් පුරාම විවිධ පුරාවිද්‍යාත්මක නෂ්ඨාවශේෂ රාශියක් දැකිය හැකි නගරයක් ලෙස අනුරාධපුරය ලෝකප්‍රකට ය. ක්‍රිස්තු පුර්ව පමණ සමයේ සිට 12 වන සියවස පමණ කාලය දක්වා විවිධ කාලවල ඉදිකරන ලද ආරාම සංකීර්ණ රාශියක් අනුරාධපුරයේ තිබූ බව දැකිය හැකි ය. මේ අතර පුජාභූමි ප්‍රදේශයේ පිහිටි අභයගිරි විහාර සංකීර්ණයට හිමිවන්නේ වැදගත් තැනකි. එය අනුරාධපුරයේ පැවති විහාරාම අතරින් විශාලතම ආරාම සංකීර්ණයයි. කලාත්මක වාස්තු විද්‍යාත්මක ආදී විවිධ මානයන්ගෙන් බලන විට අනුරාධපුරයේ පිහිටි ආකර්ශනීය ස්මාරකයන් බොහෝමයක් අයත්වන්නේ අභයගිරි සංකීර්ණයට බව පෙනේ.

අනුරාධපුර‌යේ මහා විහාරය

ශ්‍රී ලංකාවේ පළමුවන දේශපාලන හා ආගමික  අගනුවර අනුරාධපුරය බව පොදු පිළිගැනිම වී ඇත. මල්වතු ඔය ඉවුරේ ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ පමණ ඇරඹුණු සේ සැලකෙන, වසර 1500කට වැඩි  කාලයක් තිස්සේ ක්‍රමයෙන් වර්ධනය වූ මේ නගරය විශිෂ්ට සභ්‍යත්වයක කෙන්ද්‍රස්ථානයයි. ලංකාවට බුදු දහම පැමිණ ව්‍යාප්ත වීම හේතුවෙන් මේ නගරය පුරා ඉතා විශාල ආගමික සිද්ධස්ථාන බිහිවිය. දෙස් විදෙස් පතල අධ්‍යාපන මධ්‍යස්ථාන බිහිවිය. බෞද්ධ සංස්කෘතිය දස දෙස පතල විය 12 වන සියවසේ ආක්‍රමණ හේතුවෙන් අගනුවර පොළොන්නරුවට සංක්‍රමණය වුයෙන් මේ අලංකාර නගරය වල්බිහිවන්නට විය.
Advertisements
X
X