බැරගම සද්ධානන්ද හිමි

පුරාවිද්‍යා අධ්‍යයන අංශය, ශ‍්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, ‌හෝමාගම

හැදින්වීම

පූජ්‍ය බැරගම සද්ධානන්ද හිමි

ලෝකයේ ඉපැරණි මනුෂ්‍ය ජන කණ්ඩායම් අතර විශේෂ ස්ථානයක් ශ‍්‍රී ලංකාවේ ආදිවාසි වැදි ප‍්‍රජාවට හිමි වේ. මුල් කාලීන ව ඌව, මධ්‍යම හා උතුරුමැද පළාත්වල විශාල වශයෙන් ජීවත් වූ ආදිවාසී ප‍්‍රජාව දහ අටවන සියවසේ දෙ වැනිි භාගය වන විට දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකට සීමා විය. කුඩා කණ්ඩායම් වශයෙන් ජීවත් වූ මොවුන් පිළිබද ඉංග‍්‍රීසි සමයේ සිට අවස්ථා කිහිපයක දී මානව විද්‍යාත්මක අධ්‍යයන සිදු විය. හෙන්රි පාකර් වැදි ජනයාගේ ප‍්‍රභවය, සමාජ ස්ථරණය, සිරිත්විරිත් හා ඇදහිලිවිශ්වාස පිළිබද පූර්ණ විමර්ශනයක් සිදුකරන ලදි. ශ‍්‍රී ලංකාවේ වැදි ජනයා පිළිබදව සැරසීන් යුගලය පර්යේෂණයක් සිදු කළ අතර සෙලිග්මාන් යුවල භෞතික හා සංස්කෘතික දෘෂ්ටියෙන් වැදිජනතාව පිළිබදව අධ්‍යයනය කළහ. ඊට අමතරව ආර්.එල්. ස්පිටල්, නන්දදේව වීරසේකර, කේ.එන්.ඕ. ධර්මදාස, පී.ඊ.පී. දැරණියගල හා ප‍්‍රිශාන්ත ගුණවර්ධන වැනි දෙස්විදෙස් පර්යේෂකයන් කිහිප දෙනෙකු ශ‍්‍රී ලංකාවේ වැදි ජනතාව පිළිබදව මානව විද්‍යාත්මක අධ්‍යයන සිදුකොට ඇත.

මෙහි දී බලාපොරොත්තු වන්නේ දානිගල, හේනේබැද්ද සහ බිංගොඩ සාම්ප‍්‍රදායික නිජභූමි අහිමි ව 1940 සිට වරින්වර පැමිණ පොල්ලේබැද්ද ග‍්‍රාමයේ ජීවත් වන වැදිජනතාවගේ වර්තමාන ස්වරූපය අධ්‍යයනය කිරීමයි. සමාජ නවීකරණය හමුවේ වෙනස් වූ සිරිත්විරිත්, චාරිත‍්‍රවාරිත‍්‍ර, ආර්ථික පසුබිම, භාෂා ව්‍යවහාරය හා වර්තමාන සමාජ ගැටලු පිළිබද ව අවධානය යොමු කිරීමට අපේක්ෂිත ය.

පර්යේෂණ ගැටලුුව

සමාජ නවීකරණය හමුවේ පරිහානියට පත්වන පොල්ලේබැද්ද ආදිවාසී සංස්කෘතික සන්දර්භය කළමනාකරණය කරන්නේ කෙසේ ද? යන්න විමසා බැලීම.

පර්යේෂණ අරමුණ

පොල්ලේබැද්ද සාම්ප‍්‍රදායික ගම්මානය ආශ‍්‍රිත දේශපාලන, ආර්ථික, සාමාජික හා සංස්කෘතික පසුබිම අධ්‍යයනය කිරීම.

ක‍්‍රමවේදය

සමාජ මානව විද්‍යා අධ්‍යයනවල දී දත්ත රැස්කිරීම සදහා භාවිත කරන ගුණාත්මක දත්ත රැස්කිරීමේ විධික‍්‍රමයට අදාළ නිරීක්ෂණය, සම්මුඛ සාකච්ඡා, ප‍්‍රශ්නාවලි හා කේවල අධ්‍යයන ආදි ක‍්‍රමවේද යොදාගන්නා ලදි.

ප‍්‍රතිඵල හා සාකච්ඡාව

පාරිසරික හා සමාජ ගැටලුු කිහිපයකට මුහුණ දීමට සිදු වූ දානිගල, හේනෙබැද්ද හා බිංගොඩ ජීවත් වූ ආදිවාසී ප‍්‍රජාවට තම වර්ගයාගේ පැවැත්ම පවත්වාගෙන යාම උදෙසා විකල්ප ස්ථානයකට යාමට සිදු විය. ඔවුන්ගේ නව වාසභූමිය පොල්ලේබැද්ද සිංහල ගම්මානය වූ අතර ඒ සදහා කිරිබණ්ඩා මුලාදෑනියා හා එක්ව සැලසුම් කරන ලද්දේ වෛද්‍ය ස්පිට්ල් විසිනි (කුරුප්පු 2012:16-17). ක‍්‍රිස්තු වර්ෂ 1940 දශකයේ සිට වර්ධනය වූ පොල්ලේබැද්ද වැදි ප‍්‍රජාව වර්තමානය වනවිට පරම්පරා හතරකට අයත් පවුල් 150ක් පමණ වේ (සම්මුඛ සාකච්ඡාව, අප්පුහාමිලා ඇත්තෝ, 2017.9.30).

තම වර්ගයාගේ ව්‍යාප්තිය ප‍්‍රමාණාත්මක ව වර්ධනය කර ගැනීමට පොල්ලේබැද්ද ආදිවාසි ප‍්‍රජාව යම් තරමකට සමත් වුව ද ඔවුන්ට ආවේණික ගතිකයන් හා සංස්කෘතික අංග හීනවීම කණගාටුවට කරුණකි. ස්වභාවයෙන් ම වනචාරී ජීවිතයක් ගතකළ ඔවුන් වර්තමානයේ සාමාන්‍ය සමාජයේ ජීවත්වන පවුලක භූමිකාව ගත කරති. හේන් ගොවිතැනට වැඩි රුචිකත්වයක් දක්වන ඔවුන් කුඹුරු ආශ‍්‍රිතව වී වගාව ද සිදු කරති. ඇතැම් පිරිස් සිංහල ගම්මානවල කුලී වැඩවලට යාමට පුරුදු වී ඇති අතර මුදල් ඉපයීමේ අපේක්‍ෂාවෙන් ස්ත‍්‍රීපුරුෂ බේදයකින් තොරව වෙළෙඳ කලාපවල රැකියාවලට යාම ද දක්නට ලැබේ (අප්පුහාමිලා ඇත්තෝ, 2017.9.30). 

ආදිවාසි සංස්කෘතික සන්දර්භය තුළ පැවති විවාහ චාරිත‍්‍ර හා සිරිත්විරිත් වර්තමානයේ දක්නට නොලැබෙන අතර බොහෝ අවස්ථාවල සිංහල සමාජය සමග මිශ‍්‍ර විවාහ සිදු වේ. සාම්ප‍්‍රදායික රාමුව තුළ දිය ලණු පොජ්ජෙන් සනිටුහන් වූ විවාහය වර්තමානයේ දී ලියාපදිංචි කිරීම දක්වා පරිණාමයට පත්ව ඇත (බණ්ඩාර, 2017.9.30).

ඊට අමතරව ගර්භණී අවස්ථා, දරුවන් බිහිවීම හා පෝෂණය කිරීම ආදී සියලුු කටයුතු ද සාමාන්‍ය සිංහල පවුලක සිදුකරන ක‍්‍රමවේදයට අනුව සිදුකරති (ගුණබන්ඩිලා ඇත්තෝ, 2017.9.30).

අවමංගල්‍ය කටයුතු ද සිදුවන්නේ සාමාන්‍ය සමාජයේ අපට දක්නට ලැබෙන සිරිත්විරිත්වලට අනුව ය. පුද්ගලයකුගේ මරණයත් සමඟ සිදු කෙරෙන පූර්ව කටයුතුවලින් පසුව දින තුනක් නිවසෙහි දේහය තබාගන්නා අතර අවසන් කටයුතු ඔවුන් වර්තමානයේ අදහන බෞද්ධාගමික ක‍්‍රමවේදයට අනුව සිදු වේ. ඊට අමතර ව මියගිය ඥාතීවරයාට පිං පැමිණවීම ද දින 7, මාස 3 හා වාර්ෂිකව සිදුකරනු ලබයි (ගුණබන්ඩිලා ඇත්තෝ, 2017.9.30).

දානිගල සාම්ප‍්‍රදායික වැදි ගම්මානයේ ජීවත් වූ ආදිවාසීන් පුද්ගල නාම වශයෙන් ගුණ බණ්ඩිලා ඇත්තෝ, රන්දුන්නා, කළු බන්ඩිලා ඇත්තො, කයිරී හා තාදි ආදී නම්වලින් හැදින් වුව ද පොල්ලේබැද්ද ගම්මානයේ වර්තමානයේ ජීවත්වන ආදිවාසීන් වැඩිපිරිසක් හදුන්වනු ලබන්නේ ජයරත්න, ගුණසේන, කුමාර, නන්දාවතී, හීන්මැණිකා ආදි සිංහල නම්වලිනි. වර්තමානයේ ජීවත්වන ඇතැම් කාන්තාවන් විවිධත්වයෙන් යුක්ත ඇදුම් හා විලාසිතාවන්වලට වැඩි රුචිකත්වයක් දක්වන බව පෙනේ.

පොල්ලේබැද්ද ගම්මානයේ වර්තමානයේ ජීවත්වන ආදිවාසීන්ගේ නුතන ඇදුම් ආයිත්තම්
පොල්ලේබැද්ද ගම්මානයේ වර්තමානයේ ජීවත්වන ආදිවාසීන්ගේ නුතන ඇදුම් ආයිත්තම්

ඊට අමතරව පාරම්පරික ව උරුම ව තිබූ සාම්ප‍්‍රදායික වෙදකම, භාෂාව්‍යවහාරය, සරල ජීවන පැවැත්ම, සෞඛ්‍ය සම්පන්නභාවය, පාරිසරික අන්‍යතාව හා උරුමය මේ වනවිට අහිමි වී තිබේ. එම හේතුව  නිසාම පොල්ලේබැද්ද ආදිවාසී ගම්මානය තුළ ගැටලුු රාශියක් දක්නට ලැබේ. එහි දී විශේෂ වශයෙන් ප‍්‍රමාණවත් පරිදි රාජ්‍ය අනුග‍්‍රහය නොලැබීම ප‍්‍රබල ගැටලුුවකි. බිංගොඩ පරපුර නියෝජනය කරන දැනට ජීවත්ව සිටින ආදිතමයා වූ ආදිවාසී නායක ගෝබාගේ තත්ත්වය අතිශයින් ම කණගාටුදායක ය. වයෝවෘද්ධ තත්ත්වයට පත්ව රෝගීව ගත කරන ඔහුගේ පැවැත්මට මෙන්ම සෙසු වර්ගයාගේ පැවැත්ම දෛනික ව පරිහානියට පත්වේ. වැදි ජනතාවට වනාන්තරය සීමා කිරීම, වන සතුන්ගෙන් බෝග විනාශ වීම, වගාකටයුතු සදහා කෘමිනාශක හදුන්වා දීම, ජලය හිගවීම, වගා කටයුතු සදහා ඉඩම් ප‍්‍රමාණවත් නොවීම, විවිධ රෝගවලට ගොදුරුවීම, කෘෂි උපකරණ ප‍්‍රමාණවත් පරිදි ලබා නොදීම හා මත්පැන්වලට බොහෝ දෙනෙකු පුරුදු වීම වර්තමානයේ දක්නට ලැබෙන ගැටලුු ලෙස හදුනාගත හැකි ය.

වර්තමානයේ පොල්ලේබැද්ද ගම්මානයේ ජීවත්වන වැඩිහිටි බොහෝ දෙනෙකුගේ අදහස තම වර්ගයාට උරුම වූ සාම්ප‍්‍රදායික ගතිකයන් ආරක්ෂා කරගැනීමට විධිමත් සැලසුමක් අවශ්‍ය වන බවයි. එහිදී සාම්ප‍්‍රදායික ජන ජීවිතයට උචිත ඒ සදහා සුදුසු සීමාවක් (වනාන්තරයක්) තමන්ට ලබාදෙන්නේ නම් එහි ජීවත්වීමට වැඩිහිටි බොහෝ දෙනෙකු රුචිකත්වයක් දක්වයි (කිරිබණ්ඩා 2017.9.30). එහි සාර්ථකත්වය පිළිබදව පූර්ව නිගමනයන්වලට එළඹීමේ හැකියාවක් නොමැති වුව ද පොල්ලේබැද්ද ආදීවාසි සංස්කෘතියට ආවේණික ගතිකයන් ආරක්ෂා කරගැනීමට විධිමත් වැඩසටහනක අවශ්‍යතාව පවතී. ඒ සදහා මීට වර්ෂ කිහිපයකට පෙර රඹකැන් ඔය ජලාශය ආසන්නයෙහි සාම්ප‍්‍රදායික උරුම කෞතුකාගාරයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණ ද එය ගොඩනැඟිලි ඉදිකිරීම දක්වා සීමා වී ඇත.

රඹකැන් ඔය ජලාශය ආසන්නයෙහි සාම්ප‍්‍රදායික උරුම කෞතුකාගාර ගොඩනැගිල්ල
රඹකැන් ඔය ජලාශය ආසන්නයෙහි සාම්ප‍්‍රදායික උරුම කෞතුකාගාර ගොඩනැගිල්ල

අවම වශයෙන් දැනට ඉදිකර ඇති ගොඩනැඟිලි යොදාගෙන පොල්ලේබැද්ද සංස්කෘතික සන්දර්භයට අයත් උරුමය සංරක්ෂණය කිරීමට හා ඉදිරියට පවත්වාගෙන යාමට සැලසුම් කළ හැකි නම් දේශීය හා විදේශීය සංචාරකයන් පහසුවෙන් ආකර්ෂණය කරගැනීමේ හැකියාව පවතී. එය කලාපීය මෙන්ම ජාතික ආර්ථිකය පෝෂණය කිරීමට ද හේතු වේ. අදාළ ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සදහා කලාපයට ආවේණික ස්වභාවික ලෙන් හා පාරිසරික සාධක පැවතීම අමතර වාසියකි. ඒ අනුව පොල්ලේබැද්ද ආදිවාසී සංස්කෘතික උරුමය සංරක්ෂණය කිරීම මෙන්ම ඉදිරියට පවත්වාගෙන යාමට පියවර ගැනීම යුගයේ අවශ්‍යතාවකි. එසේම වගකීමකි.

ආශ‍්‍රිත ග‍්‍රන්ථ නාමාවලිය

  • කුරුප්පු, රසල් (2012), පොල්ලේබැද්ද වැදිජනතාව, පර්වර්තනය, ආනන්ද හේරත්, සරසවි ප‍්‍රකාශකයෝ, නුගේගොඩ.
  • Seligmann, C.G. & Brinda Z. Seligmann (2009), The Veddas, පරිවර්තනය, නිස්සංක පෙරේරා, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.

සම්මුඛ සාකච්ඡා

  • අප්පුහාමිලා ඇත්තෝ, 9.30 දින, පොල්ලේබැද්ද.
  • ගුණ බණ්ඩිලා ඇත්තෝ, 9.30 දින, පොල්ලේබැද්ද.
  • ජී.එම්.ආර්. බණ්ඩාර, සංස්කෘතික සංවර්ධන සහකාර, 9.30 දින, මහඔය.
  • දානිගල මහබණ්ඩලාගේ කිරිබණ්ඩා, 2017.9.30 දින, පොල්ලේබැද්ද.
-----------------------------------------------------------------------------
මෙම ලිපිය www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ 2018.12.3 වැනි දින ප‍්‍රකාශයට පත් විය.
------------------------------------------------------------------------------

Advertisements

1 COMMENT

  1. ප්‍රිශාන්ත ගුණවර්ධන විසින් වැදි ජනතාව ගැන කරන ලද පර්යේෂණ යනුවෙන් ඔබවහන්සේ හඳුනා ගන්නා මානව විද්‍යාත්මක අධ්‍යයන මොනවාද ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.