රිවිරසිකා මැදගෙදර¹, කැළුම් නලින්ද මනමේන්ද්‍ර-ආරච්චි², ගාමිණී අදිකාරී¹, ජූඩ් පෙරේරා³, අර්ජුන තන්තිලගේ¹, පී. විදානපතිරණ¹

¹පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, කැලණිය විශ්වවිද්‍යාලය. ² වනජීවී උරුම භාරය. ³ කෞතුකාගාර අංශය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව.


සාරාංශය
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික සන්දර්භ තුළින් අදින් වසර 40,000ට එපිට සිට ප‍්‍රාග් ඓතිහාසික මානවයා විසින් ආහාරයට ගෙන ඉවත ළූ සත්ත්ව අවශේෂ හමු වේ. එම අවශේෂ අර්ධ පොසිල ලෙස හැදින්වීමට හැකි තරම් පාෂාණිභූත තත්ත්වයට පත්ව ඇත. මේවා දකුණු ආසියානු කලාපයේ ප‍්‍රාග් ඓතිහාසික මානව වාසස්ථාන තුළින් හමුවන පැරණිතම සත්ත්ව අවශේෂ ලෙස දැක්විය හැකිය. පැරණිතම අවශේෂ බුලත්සිංහල ෆා-හියන් ලෙනෙන් ද, කුරුවිට බටදොඹ ලෙනෙන් ද හමු වේ. මෙම අවශේෂ අතර ප‍්‍රධාන වශයෙන් කළු වඳුරන්, රිළවුන්, දඩු ලේනුන්, හම්බාවන්, උගුඩුවන් හා කළවැද්දන් වැනි කුඩා ක්ෂීරපායී සතුන් ප‍්‍රමුඛස්ථානයක් ගනියි. තෙත් කලාපයේ වැසි වනාන්තර අතර වූ ප‍්‍රාග් ඓතිහාසික ගුහා වාසස්ථාන කැනීම් කොට පර්යේෂණයට භාජනය කළ සත්ත්ව අවශේෂ අතර විශාලතම ප‍්‍රතිශතය දළ වශයෙන් 20-25%ක් පමණ කළු වඳුරන් හා රිළවුන් නියෝජනය කෙරේ. මෙ තැන් සිට මෙම ලිපියේ කළු වඳුරා, වඳුරා යනුවෙන් හඳුන්වනු ලැබේ. මේ අනුව පැහැදිළි වන්නේ ශ‍්‍රී ලංකාවේ තෙත් කලාපයේ ජීවත් වූ ප‍්‍රාග් ඓතිහාසික මානවයා ප‍්‍රධාන වශයෙන් කුඩා ක්ෂීරපායීන් මත යැපුන ද එහි විශාලතම ප‍්‍රතිශතය වඳුරන් හා රිළවුන් නියෝජනය වන බවය. මෙම ශාස්ත‍්‍රීය ලිපියෙන් මූලික වශයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වනුයේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික මානවයාගේ ආහාර පරිභෝජන රටාව තුළ වඳුරන් හා රිළවුන්ගේ නියෝජනයත් ඊට අමතරව උන් දඩයම් කිරීමේ ක‍්‍රමෝපායයන් පිළිබඳවත් ය. තෙත් කලාපීය වැසි වනාන්තර ආශ‍්‍රිතව ජීවත් වූ ප‍්‍රාග් මානවයා වනාන්තරයේ පොළව මට්ටමේ සිට මීටර් 20-25ත් ඉන් ඉහළ වියන් ස්තරයෙහි ජීවත් වන වඳුරන් හා රිළවුන් දඩයම් කිරීම අතිශය දුෂ්කර වුව ද උන් විශාල වශයෙන් දඩයම් කොට ආහාරයට ගෙන ඇත.

ප‍්‍රමුඛ පද: ශ‍්‍රී ලංකාව, ප‍්‍රාග් ඓතිහාසික මානවයා, කළු වඳුරා, රිළවා, ගුහා වාසස්ථාන, බටදොඹ ලෙන, ෆා-හියන් ලෙන, දඩයම් ක‍්‍රමෝපායන්

පර්යේෂණ ක‍්‍රමවේදය
පහත දැක්වෙන ප‍්‍රාග් ඓතිහාසික මානව වාසස්ථාන තුළින් ලද වඳුරු හා රිළා අවශේෂ පර්යේෂණයට භාජනය කරන ලදී. බුලත්සිංහල ෆා-හියන් ලෙන, කුරුවිට බටදොඹලෙන, කිතුල්ගල බෙලිලෙන, උඩවලව ජාතික වනෝද්‍යානය තුළ පිහිටි බෙල්ලන්බැදිපැලැස්ස, අත්තනගොඩ අළුලෙන, අලවල පොත්ගුල්ලෙන, සීගිරිය අසළ පොතාන සහ අලිගල යන ප‍්‍රාග් ඓතිහාසික මානව වාසස්ථාන ද අනුරාධපුර ඇතුළුනුවර, මාතොට ප‍්‍රාග් ඓතිහාසික හා ඓතිහාසික සන්දර්භ, ජේතවනාරාම පරිශ‍්‍රය, හුංගම මිනිඇතිලිය, පල්ලෙමළල ඇතුළු ප‍්‍රාග්ඓතිහාසික හා ඓතිහාසික වාසස්ථාන වලින් ලද වඳුරු හා රිළා අවශේෂ මෙම ශාස්ත‍්‍රීය ලිපිය සම්පාදනය කිරීම සඳහා උපයෝගී කරගන්නා ලදී. ප‍්‍රාග් ඓතිහාසික සන්දර්භ වලින් හමු වූ අර්ධ පොසිල තත්ත්වයේ වූ වඳුරු හා රිළා අවශේෂ හදුනා ගැනීමේදී වර්තමානයේ ජීවත් වන එම සතුන්ගේ සංසන්දනාත්මක අස්ථි එකතුවක සහාය ලබා ගන්නා ලදී. අවශේෂ මගින් ඒ ඒ සන්දර්භයේ වූ වඳුරු හා රිලා සංඛ්‍යාව ගණනය කිරීම සඳහා, ඉහළ හෝ පහළ හනුවේ අවසාන චාර්වක දත මගින්ද, ගාත‍්‍රා අස්ථිවල කෙළවරයන් මගින්ද ප‍්‍රකුර්චය අස්ථිය ද (Astragalus) හා පාර්ෂ්ණී අස්ථිය ද (Calcaneum) ආධාර කර ගන්නා ලදී. පැටවුන් හා වැඩිහිටියන් වෙන් කොට හදුනා ගැනීමේ දී විශේෂයෙන්ම දත් (කිරි දත් හා ස්ථර දත්) හා හිස් කබලේ වූ සීවන (sutures) හා අපිවර්ධ (epiphysis) පිහිටීම හෝ පෑහීම ආධාර කර ගන්නා ලදී. විද්‍යාත්මක නම් හා ඉංග‍්‍රීසි නම් Colin Groves (2007) හා Primate Taxonomy නම් ග‍්‍රන්ථයට අනුව සිදුකරන ලදී. ඉහත ප‍්‍රාග් ඓතිහාසික වාසස්ථාන වලින් හමු වූ වඳුරු හා රිළා අවශේෂ පහත දැක්වෙන ආයතනයන්හි තැන්පත් කර ඇති අතර එම නිදර්ශක එහි දී අධ්‍යයනය කරන ලදී. එම ආයතන නම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ වූ අනුරාධපුරයේ පිහිටි කැනීම් හා විශ්ලේෂණ අංශය, කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ ජේතවන ව්‍යාපෘතිය වේ. මෙම ශාස්ත‍්‍රීය ලිපියෙන් එම අවශේෂවල මිනුම් හා බර ප‍්‍රකාශ නොකළ ද එම දත්ත අප විසින් එක් රැස්කර ගන්නා ලදී. එහිදී දශමස්ථාන දෙකක් ලබාගත හැකි ඩිජිටල් කැලිපරයක් ද (digital caliper) දශමස්ථාන 2 සටහන් වන ඩිජිටල් කිරුම් උපකරණයක් ද භාවිත කරන ලදී.

 

හැදින්වීම
දකුණු ඇමරිකානු, අප‍්‍රිකානු, දකුණු ආසියානු හා අග්නිදිග ආසියානු ඇතුළු බොහෝ කලාපයන්හි ජීවත් වන ගෝත‍්‍රික ජනයා මෙන්ම බොහෝ ග‍්‍රාමීය ජන කොටස් ද වඳුරන් හා රිළවුන් දඩයම් කිරීම හා ඔවුන් ආහාරයට ගැනීමට පෙළඹී ඇත. දකුණු ඉන්දියානු ගුහාවක් වන කර්නෝල් (Karnool) ගුහාවෙන් ද හමු වී ඇති වඳුරු හා රිළා අවශේෂ අනුව පැහැදිළි වන්නේ ශ‍්‍රී ලංකාවට සමාන ලෙස අනෙක් රටවල ද ප‍්‍රාග් ඓතිහාසික මානවයින් විසින් මෙම සතුන් දඩයම් කොට ආහාරයට ගෙන ඇති බවය (Deraniyagala 1971). සමකයට ආසන්නව පිහිටි ඝර්ම කලාපීය වනාන්තර තුළ වඳුරන් හා රිලවුන් ඇතුළු සමස්ථ අගේ‍්‍රෂයන් (Primata) විශේෂ බොහෝ සංඛ්‍යාවක් ජීවත් වේ. ඕස්ටේ‍්‍රලියානු මහද්වීපයේ වඳුරන් නොමැති වුව ද ලොව සමකයට ආසන්නව පිහිටි වනාන්තරවල ජීවත්වන සමස්ත මානව කොටස්වලට වඳුරන් හා රිළවුන් දඩයම් කිරීමේ අවස්ථාව ඇත.

දකුණු ඇමරිකානු ගෝත‍්‍රික ජනයා වැසි වනාන්තර වියනේ (Canopy) ජීවත්වන නව ලෝක වඳුරන් (new world monkeys) ඇතුළු අනෙකුත් ක්ෂීරපායී සතුන් මෙන් ම පක්ෂීන් ද දඩයම් කිරීම සඳහා විශේෂ ක‍්‍රමෝපායන් අනුගමනය කරනු ඇත. එහි දී පිඹින තුවක්කුව (blow gun) විශේෂයෙන් සඳහන් කළ හැකි ය (මේ පිළිබඳ වැඩි දුරටත් ලිපියේ පසු භාගයේ සාකච්ඡා කෙරේ). මේ ග්‍රෝත‍්‍රිකයින් මෙම පිඹින තුවක්කු භාවිත කිරීම තුළින් පැහැදිළි වන්නේ වැසි වනාන්තරයේ ඉහළ වියනේ ජීවත් වන වඳුරන් දඩයම් කිරීම සඳහා විශේෂ ක‍්‍රමෝපායන් යොදා ගන්නා බවය. ලොව දැනට ජීවත්වන ගෝත‍්‍රිකයන් මෙන්ම බොහෝ ග‍්‍රාමීය ජනයා, දකුණු ඇමරිකාවේ වැසි වනාන්තර තුළ ජීවත්වන කුඩාම ප‍්‍රමාණයේ මාමොසෙට් (Marmoset) වර්ගයේ ලොව කුඩාම අගේ‍්‍රෂයාගේ සිට අප‍්‍රිකාවේ ජීවත්වන ලොව විශාලතම වානරයා වන ගෝරිල්ලා (Gorilla gorilla) දක්වා වූ අගේ‍්‍රෂයන් මස් පිණිස දඩයම් කරනු ඇත. මේ පුරුද්ද වර්තමානයෙහි බොහෝ සේ සාකච්ඡ කොට ඇති අතර ඒ අනුව අපට ප‍්‍රාග් මානවයාගේ වඳුරු හා රිලා දඩයම් පිළිබඳ බොහෝ සෙයින් කරුණුකාරණා ගොඩ නැගිය හැකි ය.

ශ‍්‍රී ලංකාවේ වඳුරන් සහ රිළවුන්
ශ‍්‍රී ලංකාවේ වඳුරන් සහ රිළවුන් පිළිබඳ සාකච්ඡාව ආරම්භයේ දී ම අප රට වසන සමස්ත අගේ‍්‍රශයන් හෙවත් ප‍්‍රිමාටාවන් පිළිබඳව හැඳින්වීමක් කිරීම සුදුසු වේ. මක් නිසාද යත් එම දැනුම ප‍්‍රාග් ඓතිහාසික මානවයාගේ ආහාර පරිභෝජන රටාව හා උන් දඩයම් කිරීම පිළිබඳ අවබෝධ කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන බැවිනි. වඳුරන් හා රිළවුන් දිවා කල සැරිසරන අගේ‍්‍රෂයින් වන අතර උණහපුළුවන් (Loris) නිශාචර අගේ‍්‍රෂයින් වේ. ශ‍්‍රී ලංකාවේ උණහපුළු විශේෂ දෙකක් ජීවත් වේ. එනම්, විද්‍යාත්මකව Loris tardigradus (රතු උණහපුළුවා, Red slender Loris) සහ Loris lydekkerianus (අළු උණහපුළුවා, Gray slender Loris) වේ. මෙම විශේෂ දෙකෙන් ප‍්‍රථමයෙන් සඳහන් කරන ලද විශේෂය තෙත් කලාපයේ පැතිර ඇති අතර දෙවන විශේෂය වියළි කලාපයේ පැතිර ඇත. කෙසේ වුව ද මෙම විශේෂ දෙක අපගේ මූලික සාකච්ඡාවට අදාල නොවුනත් සමස්ත අගේ‍්‍රෂයින් පිළිබඳ හැදින්වීම සඳහා මේ කරුණු ඇතුළු කළ යුතුව ඇත (Phillips 1980, 81, 84; Nekaris, 2006; Nekaris and Jayawardena 2003; Nekaris and Jayawardena 2004).

ශ‍්‍රී ලංකාවේ වඳුරු විශේෂ 3ක් ජීවත් වේ (1 රූපය). එම විශේෂ නම්,

  • Trachypithecus vetulcus සිංහල: නම කළු වඳුරා හෙවත් කොළ වඳුරා ඉංග‍්‍රීසි නම: Purple-faced Langur
  • Semnopithecus priam සිංහල නම: හැලි වඳුරා ඉංග‍්‍රීසි නම: Tufted Gray langur
  • Macaca sinica සිංහල නම: රිළවාඉංග‍්‍රීසි නම: Toque Macaque
rivirasika-medagedara-kelum-manamendra-archchi-pgiar-zooarchaeology-sri-lanka-archaeology.lk_-300x98
ඡායාරූප අංක 1: ශ‍්‍රී ලංකාවේ දිවාචර අගේ‍්‍රශයින්, (වම් රූපය) කළු වඳුරා හෙවත් කොළ වඳුරා (Trachypithecus vetulu), (මැද රූපය) හැලි වඳුරා (Semnopithecus priam) සහ (දකුණු රූපය) රිළවා (Macaca sinica) (ඡායාරූප, විමුක්ති වීරතුංග, සරිත් පෙතියාගොඩ, එච්. වී. ක‍්‍රිෂාන්ති ජයවර්ධන)

මේ අතරින් ප‍්‍රථම සහ තෙවන යන විශේෂ දෙකම ශ‍්‍රී ලංකාවට ආවේනික වේ. ඉහත දක්වන ලද දිවාචර අගේ‍්‍රෂයින් ශ‍්‍රී ලංකාව පුරාම පැතිර ජීවත් වේ. නමුත්, කලාපීය වශයෙන් දැකගත හැකි එකිනෙකට වෙනස් දේශගුණික තත්ත්වයන්ට අනුවර්තනය වීමේ හේතූවෙන් හැලි වඳුරාගේ හැරුණු විට රිළවාගේත් කළු වඳුරාගේත් වෙනස් ශාරීරික ලක්ෂණයන් සහිත ගහනයන් හෙවත් උප-විශේෂ ලෙස ඒ ඒ කලාපයට වෙන්ව ජීවත් වේ (Deraniyagala 1955; Deraniyagala 1965; Phillips 1926; Phillips 1935; Phillips 1980: 81,84).

ශ‍්‍රී ලංකාව පැහැදිළි ලෙසම තෙත්, අතරමැදි හා වියළි යන ප‍්‍රධාන කලාප තුනට වෙන් කළ හැකි දූපතක් වුව ද අර්ධ ශුෂ්ක කලාප පහතරට වැසි වනාන්තර, කදුකර වැසි වනාන්තර ආදී වශයෙන් තවත් වෙනස්වෙනස් ලක්ෂණ පෙන්වන්නා වූ කලාප සමූහයකට වෙන් කළ හැකි ය (Gunathileke & Gunathileke 1983; Ashton et al. 1997; Erdelen 1984; Erdelen 1988). මෙම එකිනෙක කලාපයට වෙන් වූ පෘෂ්ටවංශී සතුන් ගණනාවක්ම මේ වන විට අනාවරණය කොට ගෙන ඇත (Deraniyagala 1952; Deraniyagala 1953; Deraniyagala 1955[b]∙ Erdelen 1984; Kotagama & Wijesinghe 1998; Manamendra-Arachchi et al. 2007; Manamendra-Arachchi & Pethiyagoda” 2005; Meegaskumbura & Manamendra-Arachchi 2005; Pethiyagoda 1991; Wickramasinghe & Munindradasa 2007).

පහතරට තෙත් කලාපයේ පුළුල් ප‍්‍රදේශයක පැතිර ජීවත් වන හැලි වඳුරා හැරුණු විට සමස්ත ශ‍්‍රී ලංකාව පුරාම පැතිර ජීවත්වන කළු වඳුරා හා රිළවාගේ එම කලාපයන්ට වෙන් වූ උප-විශේෂ මේ වන විට හදුනාගෙන ඇත (Phillips 1980:81,84). මෙම උප විශේෂ අතර බාහිර වශයෙන් වර්ණයෙන් ද හා ලොම්වල දිග අනුව ද මෙම බෙදීම් සිදුකර ඇත. රිළවුන් උප-විශේෂ හතරකට බෙදේ.

  • Macaca sinica sinica පහතරට වියළි කලාපයේ පැතිර ඇත.
  • Macaca sinica aurifrons ශ‍්‍රී ලංකාවේ බටහිර හා නිරිතදිග ප‍්‍රදේශයේ පහතරට වැසි වනාන්තරවල පැතිර ඇත.
  • Macaca sinica opisthomelas මුහුදු මට්ටමේ සිට මීටර් 1,500ට ඉහළ කලාපයේ වූ හෝර්ට්න් තැන්න, හග්ගල, නුවරඑළිය ඇතුළු කදුකර වනාන්තරවල ජීවත් වේ.
  • Macaca sinica longicaudata මෙම උප-විශේෂය මැණික් ගඟ, කතරගම යන කලාපයන්හි වාසය කරයි.

ඉහත උප-විශේෂ හතර අතුරින් M.s. aurifrons හා M.s. opisthomelas තෙත් කලාපයට සීමා වී ඇත. වර්තමාන නිරීක්ෂණයන්ට අනුව M.s. sinica හා M.s. longicaudata එකම පරිසර පද්ධතියක් නියෝජනය කරන උප-විශේෂ දෙකක් බැවින් දෙවන උප-විශේෂය ප‍්‍රථම උප-විශේෂයේ වල්ගය පමණක් දික් වූ ගහනයක් ලෙස සළකනු ලැබේ (නාහල්ලගේ සමඟ කරන ලද සාකච්ඡාවක් ඇසුරෙන් 2010). කළු වඳුරා හෙවත් කොළ වඳුරාගේ උප-විශේෂ පහත දැක්වෙන ලෙස ශ‍්‍රී ලංකාවේ ඒ ඒ කලාපයන්හි පැතිර ඇත.

  • Trachypithecus vetulus vetulus තෙත් කලාපයේ නිරිතදිග ප‍්‍රදේශයේ පැතිර ඇත.
  • Trachypithecus vetulus nestor තෙත් කලාපයේ බස්නාහිර ප‍්‍රදේශයේ පැතිර ඇත.
  • Trachypithecus vetulus philbricki ශ‍්‍රී ලංකාවේ වියළි කලාපයේ විශේෂයෙන්ම, මීටර් 1500 දක්වා වූ ප‍්‍රදේශය.
  • Trachypithecus vetulus monticola මධ්‍යම කදුකරයේ මීටර් 1200-2000 දක්වා වූ කලාපය.
  • Trachypithecus vetulus harti උතුරු පෙදෙසේ තුනුකායි කලාපය.

ඉහත කළු වඳුරු උප-විශේෂ අතරින් T.v. vetulus හා T.v. nestor පහතරට තෙත් කලාපයට සීමා වී ඇති අතර එම උප-විශේෂ දෙක කළු ග‍‍ඟන් ඉහළ හා පහළ යන කලාපවල පැතිර ජීවත් වේ. එමෙන් ම, T.v. monticola තෙත් කලාපයේ කදුකර ප‍්‍රදේශයට සීමා වී ඇත. T.v. philbricki හා T.v. harti පහතරට වියළි කලාපයේ බොහෝ දුරට එකම පරිසර පද්ධතියක ජීවත්වන සතුන් වීමේ හේතුව මත වෙනත් උප-විශේෂ දෙකකට වෙන් කිරීම පිළිබඳ විද්‍යාත්මක ගැටළු මතු වී ඇත (නාහල්ලගේ සමඟ කරන ලද සාකච්ඡාවක් ඇසුරෙන්, 2010).

ඉහත දක්වන ලද රිලා හා කලූ වඳුරු උප-විශේෂ අප දැක්වූ ආකාරයට වෙනස් පරිසර පද්ධතීන්ට සීමා වී තිබුන ද එකිනෙක ගැටෙන සිමාවන් වල දී එම උප-විශේෂ අනිකා සමග අභිිජනනය කරයි. මෙහි දී උප-විශේෂ වෙනස්වන සීමාමායිම් වලදී එම උප-විශේෂ දෙකෙහිම ලක්ෂණ පෙන්නුම් කරන ගහනයන් දැකගත හැකි ය. උදාහරණයක් ලෙස සීගිරිය හා දඹුල්ල කලාපයේ දී Macaca sinica aurifronce උප-විශේෂයේත් Macaca sinica sinica උප-විශේෂයේත් මිශ‍්‍ර ලක්ෂණ පෙන්නුම් කරන සතුන් බොහෝ සේ දැකිය හැකිය.

හැලි වඳුරා සමස්ත වියළි කලාපය පුරා ම පුළුල් ලෙස පැතිර ඇත. එ මෙන් ම අන්තර් කලාපයේ වූ සමහර පරිසර පද්ධති තුළ ද උන් ජීවත් වේ. උතුරු මැද ප‍්‍රදේශයේ ජීවත් වන ගහනයේත් දකුණු ශ‍්‍රී ලංකාවේ රන්න අසල දකුණුදිග ප‍්‍රදේශයේ ජීවත්වන හැලි වඳුරු ගහනවලත් වර්ණ වෙනස්කම් නිරික්ෂණය කොට ඇත.

ප‍්‍රාග් ඓතිහාසික හෝ ඓතිහාසික වශයෙන් කාල නිර්ණය වී ඇති වඳුරු හා රිලා ශේෂ හඳුනාගැනීමේ දී අප විසින් මෙ තෙක් සිදුකොට ඇත්තේ විශේෂය (species) දක්වා හඳුනාගැනීම පමණි. ඉහත දක්වන ලද උප-විශේෂ (sub-species) පිළිබඳ විස්තරය මෙම අවශේෂ හඳුනා ගැනීමේ දී අප විසින් මෙතෙක් ක‍්‍රියාවට නංවා නොමැත. එම කරුණ තවත් පැහැදිලි කරන්නේ නම් ප‍්‍රාග් ඓතිහාසික මානව වාසස්ථාන වලින් අනාවරණය කර ගත් වඳුරු හා රිලා අවශේෂ හඳුනා ගැනීමේ දී උප-විශේෂ මට්ටමින් වෙන් කිරීම සිදු වී නොමැති බවය. මෙම උප-විශේෂ අතරේ දැනට හඳුනාගෙන ඇති බාහිර වර්ණ වෙනස්කම් හා ලොම් වල වූ දිගු හා කෙටි බවේ වෙනස්කම් හැරුණු විට අස්ථි හෝ දන්ත වෙනස්කම් වල ඇති සියුම් ලක්ෂණ මේ වන තෙක් වෙන්කොට හඳුනාගැනීමට ප‍්‍රිමාටා විද්‍යාඥයින් වෙහෙස වී නොමැත.

තවදුරටත් අදහස් දක්වතොත් තෙත් කලාපයේ පහත රට ජීවත් වන (Macaca sinica aurifronse) හා වියළි කලාපයේ ජීවත්වන (M. s. sinica) ලබා ගන්නා වූ ආහාරයේ වෙනස්කම් ඇති බව නොරහසකි. තව දුරටත් විස්තර කරන්නේ නම් ඔවුන් ආහාරයට ගන්නා වූ ශාඛ විශේෂ අතර මෙම කලාප දෙකෙහි බොහෝ වෙනස්කම් ඇත. මේ ලක්ෂණ විශේෂයන් ම දත්වලත් අස්ථිවලත් තිබිය හැකිය. නමුත් වඳුරාගේ පහතරට තෙත් කලාපයේ වන උප-විශේෂ දෙක වන Trachypithecus vetulus vetulus හා T.v. nestor ගේ ඒ ආකාර වෙනස්කම් තිබේ ද යන්න සැක සහිත වන අතර එය තව දුරටත් ගවේෂණය කළ යුතු විෂයක්ව ඇත. මක් නිසාද යත් මෙම වඳුරු උප-විශේෂ දෙකම බොහෝ දුරට එක හා සමාන පරිසර පද්ධතිවල ව්‍යාප්තව සිටින බැවිනි. සත්ත්ව පුරාවිද්‍යාඥයින් විසින් උප-විශේෂවල වූ මෙම වෙනස්කම් හඳුනාගැනීමට නම් උන්ගේ දත් සහ අස්ථිවල වූ අතිශය සියුම් ලක්ෂණ කෙරෙහි අවධානය යොමු කළ යුතුව ඇත.

වඳුරු හා රිළා අවශේෂ සත්ත්ව පුරා විද්‍යාත්මකව වෙන් කොට හඳුනා ගැනීම (2 සහ 3 රූපය):
මූලික වශයෙන් දත් හඳුනා ගැනීමේ දී තුණ්ඩවල (cusps) වූ හැඩය හා දත්වල ප‍්‍රමාණය භාවිත කරන ලදී. රිළවුන්ගේ තුණ්ඩ මොට හැඩති අතර උසින් අඩු ය. වඳුරාගේ දත්වල වූ තුණ්ඩ තියුණු අතර ඒවා උසින් වැඩි ය. රිළවුන්ගේ (පිරිමි සතුන්ගේ) ඉහළ රදනක ප‍්‍රමාණයෙන් විශාල අතර ඒවාහි පසු දාරය ඉතා තියුණු ය. රදනක දත් මගින් වඳුරන් හා රිළවුන් වෙන් කොට හඳුනා ගත හැකි සේම ලිංගික වශයෙන් ද වෙන් කොට හඳුනාගත හැකි ය. රිළවුන්ගේ යටි හනුව වඳුරන්ට සාපේක්ෂව දිගු අතර වඳුරන්ගේ යටි හනුව කෙටි වේ. හිස් කබලේ වූ අනෙකුත් ලක්ෂණ ප‍්‍රාග් ඓතිහාසික ගුහා අවශේෂ හඳුනා ගැනීමේ දී වඩාත් උපකාරී වේ. එනම්, රිළවුන්ගේ අන්තර්-අක්ෂිකූප (inter-orbital) පෙදෙස පටු වේ (වඳුරන්ගේ එය පළල් වේ), රිළවුන්ගේ උපරි-අක්ෂිකූප කලාපය ඉදිරියට නෙරා ඇත (වඳුරන්ගේ එය සුමටය), රිළවුන්ගේ උපරි-අක්ෂිකූප කලාපයේ ගැටිත්තක් ඇත (වඳුරන්ගේ එය සුමට වේ), රිළවුන්ගේ පූර්ව-ඌර්ධ්ව හනුව (pre-maxilla) හා උර්ධ්ව හනුව (maxilla) ඉදිරියට නෙරා ඇති අතර එම නිසා හොම්බ දිගුය (වඳුරන්ගේ එය සාපේක්ෂව කෙටි වේ). මීට අමතරව ගාත‍්‍රා සැකිළි පිළිබඳව අදහස් දක්වතොත් රිළවුන්ගේ ගාත‍්‍රා අස්ථි කෙටි අතර වඳුරන්ගේ දිගු වේ. අස්ථි විද්‍යාත්මක ලක්ෂණ විශාල සංඛ්‍යාවක් සඳහන් කළ හැකි වුව ද මෙම ශාස්ත‍්‍රීය ලිපියේ විෂය රාමුවට අනුව ඉතා දිගු විස්තරයක් අවශ්‍යය නොවනු ඇත.

rivirasika-medagedara-kelum-manamendra-archchi-pgiar-zooarchaeology-sri-lanka-archaeology.lk-1-250x300
2 රූපය. රිළවකුගේ (Macaca sinica) හිස් කබළ, පාර්ශ්වික පෙනුම (ඉහළ පෙළ වම), ඉදිරි පෙනුම (ඉහළ පෙළ දකුණ); කළු වඳුරෙකුගේ (Trachypithecus vetulus) හිස් කබළ, පාර්ශ්වික පෙනුම (මැද පෙළ වම), ඉදිරි පෙනුම (මැද පෙළ දකුණ) (සංසන්දනය සඳහා භාවිතා කළ නූතන නිදර්ශක). ප‍්‍රාග් ඓතිහාසික ගුහාවලින් හමු වුනු වඳුරු හා රිළා අවශේෂ, රිළවෙකුගේ ඉහළ හනුවේ වම් පස ඌර්ධ්ව හනු කොටසක් (චාර්වක දත්ද සමඟ) (පහළ පෙළ වම)(බටදොඹ ලෙන), පිරිමි රිළවකුගේ රදනක දත් (පහළ පෙළ මැද) (පොත්ගුල් ලෙන), කළු වඳුරෙකුගේ යටි හනුවේ වම්පස කොටසක් (චාර්වක දත්ද සමඟ) (පහළ පෙළ දකුණ) (පොත්ගුල් ලෙන) (ඡායාරූප, එස්. මදනායක, එච්. වී. ක‍්‍රිෂාන්ති ජයවර්ධන).
rivirasika-medagedara-kelum-manamendra-archchi-pgiar-zooarchaeology-sri-lanka-archaeology.lk3_-300x139
3 රූපය. ප‍්‍රාග් ඓතිහාසික ගුහාවලින් හමු වුනු වඳුරු (Trachypithecus vetulus) හා රිළා (Macaca sinica)අවශේෂ, රිළවෙකුගේ පාර්ෂ්ණීය හා ප‍්‍රකුර්චය අස්ථි (ඉහළ පෙළ වම් පස) (පොත්ගුල් ලෙන); වඳුරෙකුගේ යටි හනුවේ දකුණුපස කොටසක් (ඉහළ පෙළ මැද) (බටදොඹ ලෙන), පාදයේ, අත්ලේ අස්ථි සහ පෞච්ඡ කශේරුකාවක් (ඉහළ පෙළ දකුණු පස) (පොත්ගුල් ලෙන), රිළවෙකුගේ ඌර්ධ්ව හනු කොටසක් (චාර්වක දත් තුනක් සමඟ)(පොත්ගුල් ලෙන) (පහළ පෙළ වම් පස), වඳුරෙකුගේ යටි හනු කොටසක් (දකුණු පස, චාර්වක දත් දෙකක් සමඟ)(පොත්ගුල් ලෙන) (පහළ පෙළ මැද), පිරිමි රිළවෙකුගේ රදනක දතක් (උඩු හනුවේ වම් පස) (පොත්ගුල් ලෙන)(පහළ පෙළ දකුණු පස) (ඡායාරූප, එස්. මදනායක, එච්. වී. ක‍්‍රිෂාන්ති ජයවර්ධන).

ප‍්‍රාග් ඓතිහාසික මානවයා, වඳුරන් හා රිළවුන් දඩයම් ක‍්‍රමෝපායන්
දකුණු ඇමරිකානු ගෝත‍්‍රික ජනයා වැසි වනයේ වියන් ස්ථරයේ ජීවත් වන ක්ෂීරපායින් හා පක්ෂීන් දඩයම් කිරීමට භාවිත කරනු ලබන පිඹින තුවක්කු පිළිබඳ අවධානය යොමු කරමු. විෂ පොවන ලද තුඩු, බටයක ආධාරයෙන් කටින් පිඹ (blow guns) විද සතුන් දඩයම් කිරීම මෙහි දී සිදු වේ. ඇමසන් වැසි වනාන්තරයේ ජීවත් වන Dendrobates ගනයට අයත් මාරාන්තික විෂ මැඩියන්ගේ (Poison-arrow frog) විෂ මගින් මෙම තුඩු විෂ කවනු ලැබේ. එක් කුඩා මැඩියෙකුගෙන් තුඩු පනහක් පමණ විෂ පෙවිය හැකි ය(Manamendra-Arachchi and Pethiyagoda 2006) මෙම තුඩු ශරීරයේ ඇනීමෙන් විෂ රුධිරය සමග මිශ‍්‍ර වීම නිසා සත්ත්වයා ක්ෂණිකව මිය යයි. මෙම උපකරණය භාවිත කරමින් වැසි වනාන්තරයේ තුරු මුදුන් මත ජීවත් වන පක්ෂීන් හා ක්ෂීරපායින් ද එම ගෝත‍්‍රිකයන් විසින් දඩයම් කර ගනු ලැබේ. මීට අමතරව වියළි තැනිතලා හෝ සැවානා පරිසර සහ පඳුරු සහිත වනාන්තරවල ජීවත්වන වඳුරන් හා රිලවුන් දඩයම් කිරීමේ දී මිනිසුන් පිරිසක් ගොස් සතුන් කිහිප දෙනෙකු හුදකලා වූ ගස්වලට කොටු කර අවසානයේ දී පහර දී දඩයම් කරනු ලැබේ.

ශ‍්‍රී ලංකාවේ ග‍්‍රාමීය ජනයා උගුල් මගින් සතුන් අල්ලා ගැනීමේ ක‍්‍රමෝපායයන් පිළිබඳව මයර්ඩල් හා යසපාල විසින් සීගිරිය දඹුල්ල ප‍්‍රදේශයේ දී සිදු කළ මානව විද්‍යාත්මක අධ්‍යයනය ප‍්‍රාග් ඓතිහාසික මානවයාගේ දඩයම් ක‍්‍රමෝපායයන් පිළිබඳ අධ්‍යයනය කිරීමට වැදගත් වේ (Myrdal and Yasapala 1994). මෙම දෙපළ විසින් ශ‍්‍රී ලංකාවේ සාම්ප‍්‍රදායික දඩයම් ක‍්‍රමෝපායයන් පිළිබඳ කරන ලද අධ්‍යයනය තුළ රිලවුන් දඩයම් කිරීම පිණිස ගැමියන් අටවන උගුල් පිළිබඳ විස්තර කර ඇත. විශේෂයන්ම වියළි කලාපයේ ජීවත්වන රිළවුන් බවභෝග වලට විශාල වශයෙන් හානි සිදුකරන නිසා ගොවියන් රිළවුන් සඳහා උගුල් ඇටවීම සිදුකරනු ලබයි. මෙතෙක් සත්ත්ව පුරාවිද්‍යාත්මක අධ්‍යයන සිදුකොට ඇති ප‍්‍රාග් ඓතිහාසික මානව වාසස්ථාන වලින් ලද වඳුරු හා රිලා ශේෂ පිළිබඳව සිදුකළ හැකි අර්ථකථනයන් සංක්ෂිප්තව පහත දැක්වෙන අයුරින් ඉදිරිපත් කළ හැකිය.

  • අන්තර් කලාපයේ වූ පොතාන හා අලිගල ගුහා තුළින් රිළවුන්ගේ හා හැළි වඳුරන්ගේ අස්ථි අවශේෂ හමු ව ඇත.
  • වියළි කලාපයේ පිහිටි බෙල්ලන්බැඳිපැලැස්සෙන් හැලි වඳුරු අස්ථි හමු වී ඇත.
  • පහත රට වැසි වනාන්තර ආවරණයේ පිහිටි ෆාහියන් ලෙන, බටදොඹ ලෙන, බෙලි ලෙන, අලූ ලෙන සහ පොත්ගුල් ලෙන යන ගුහාවලින් වඳුරාගේත් රිලවාගේත් අවශේෂ හඳුනාගෙන ඇත. මේ අනුව රිලවා සහ වඳුරා යන විශේෂ දෙක දත් මගින් පැහැදිළි ලෙස ම හඳුනාගෙන ඇත්තේ පොත්ගුල් ලෙන ගුහාවෙන් ලැබුණු අවශේෂ මගින් ය.
  • ඉහත දක්වන ලද වැසි වනාන්තර තුළ පිහිටි ප‍්‍රාග් ඓතිහාසික මානව වාසස්ථාන වලින් හැලි වඳුරාට අයත් අවශේෂ හමු වී නොමැත.
  • ප‍්‍රාග් ඓතිහාසික මානව වාසස්ථාන වලින් හමුවන වඳුරු/රිළා පැටවුන් හා වැඩිහිටියන්ගේ අවශේෂ අනුපාතය 25‍% සහ 75‍% අතර වන අගයක පිහිටන බව දළ වශයෙන් සඳහන් කළ හැකිය.
  • සමස්ත තෙත් කලාපීය ගුහා පිිළිබඳ පොදුවේ කරුණු ඉදිරිපත් කරන්නේ නම් එහි දී වඳුරන් අනුපාතය 80‍%ට වැඩි වන අතර ඉතිරිය රිළවුන් නියෝජනය වේ. මේ අනුව පැහැදිළි වන්නේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික මානවයා රිලවුන්ට වඩා වඳුරන් දඩයම් කොට ආහාරයට ගෙන ඇති බවය.
  • මෙම වඳුරු හා රිළා අවශේෂ වලින් දළ වශයෙන් 50‍% ක් පමණ පිළිස්සී ඇත.
  • කිසිම විටක පූර්ණ හිස් කබලක් හමු වී නොමැත. හිස් කබල් සියල්ල ම පාහේ තළා ඇත. මෙය සිදු කරන්නට ඇත්තේ බොහෝ විිට මොළය ආහාරයට ගැනීම සඳහා විය හැකිය. එ මෙන් ම, ගාත‍්‍රාවල වූ දිගු අස්ථි ද තළා කොටස්වලට බිඳ ඇති අතර එය ඇට මිදුළු ආහාරයට ගැනීම සඳහා විය හැකිය.
  • මනුෂ්‍ය වාසස්ථානවලට වඩාත් සමීපව ජීවත් වන රිලවුන්ට වඩා බොහෝ සේ කුලෑටි, තුරු වියනට ප‍්‍රිය කරන පොළව මට්ටමේ සිට ඉතා ඉහළින් ජීවත් වන වඳුරන් දඩයම් කොට ඇති බව අස්ථි හඳුනාගැනීම තුළින් සනාථ වී ඇත. නමුත්, මෙයට හේතුව කුමක්ද යන්න අප විසින් තව දුරටත් පර්යේෂණ සිදු කළ යුතුව ඇත.

සාකච්ඡාව
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික මානවයාගේ සත්ත්ව පරිභෝජනය තුළ වඳුරු හා රිළවුන්ගේ ප‍්‍රතිශතය ඉතා ඉහළ මට්ටමක පැවතුන ද ඒ තුළ රිළවුන්ගේ නියෝජනය අතිශය පහළ මට්ටමක පවතී. ප‍්‍රිමාටාවන් පිළිබඳ වූ වැඩමුළු වල දී සාකච්ඡාවට බඳුන් වූ පරිදි රිළවුන්ගේ ශරීරයේ ඇති අඩු මාංශ ප‍්‍රමාණය නිසා ප‍්‍රාග් මානවයා විසින් වැඩි බරින් හා විශාල ශරීරයකින් යුත් වඳුරන් දඩයම් කරන්නට ඇති බවට අදහස් පලවිය (නාහල්ලගේ සමග කළ සාකච්ඡාවක් ඇසුරින් 2010). නමුත් බටදොඹ ලෙන, බෙලි ලෙන, අලුලෙන සහ පොත්ගුල් ලෙන සලකා බැලූ කළ පැහැදිලි වන්නේ Rattus ගනයට අයත් කෘන්තක මීයන්, Calotes හා Lyriocephalus ගනයන්ට අයත් කටුස්සන්, කිරි වවුලන් හෙවත් කෘමි භක්ෂක වවුලන් ආදී කුඩා සතුන් ද විශාල වශයෙන් ආහාරයට ගෙන ඇති බව ය. මේ හා සමාන කුඩා සතුන් දඩයම් කිරීමට පෙලඹුණු මානවයා කිලෝග්රෑම් කිහිපයක්ම බර ඇති රිලවුන් නොසලකා හැරීම තර්කානුකූලව සිදුවිය නොහැක්කකි. එ මෙන් ම රිලවුන් වඩාත්ම බුද්ධිමත් බැවින් උන්ගේ ඇති කුතුහලය නිසාම නිතරම පාහේ මනුෂ්‍ය වාසස්ථානවලට සමීප වේ. කෑමට හුරුපුරුදු වූ රිළවුන් වනාන්තර තුළ හා මායිම්වල පිහිටි නිවෙස්, ආරණ්‍ය ආදී මිනිසුන් ගැවසෙන ආහාර පානාදිය ඇති තැන්වලට ඉක්මනින්ම හුරුපුරුදු වේ. ප‍්‍රාග් ඓතිහාසික මානවයා ගැවසුණු ලෙන් අසලට ද මොවුන් පුරුදුව සිටි බැව් මේ අනුව උපකල්පනය කළ හැකිය. නමුත් රිළවුන් විශාල වශයෙන් දඩයම් කර ඇති බවක් ලැබෙන සාධක අනුව සිතාගත නොහැකිය. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික මානවයා පහසුවෙන් දඩයම් කළ හැකි රිළවුන්ට වඩා දුෂ්කරව දඩයම් කළයුතු වඳුරා දඩයම් කළේ මන්දැයි තව දුරටත් ගවේෂණය කළ යුතුව ඇත. ඉහත දක්වන ලද ගුහා ඇසුරින් සහ මාතොට කැනීමට අනුව ක‍්‍රිස්තුපූර්ව 1,800 තෙක් පැතිර ඇති ප‍්‍රාග් ඓතිහාසික සමය තුළ වඳුරු හා රිළා දඩයම බොහෝ සේ ප‍්‍රචලිතව තිබුණ ද ක‍්‍රිස්තුපූර්ව 1,360 න් පසුව ආරම්භ වූ ප්‍රොටෝ ඓතිහාසික යකඩ යුගයෙන් පසුව (Somadeva et al. 2008) වඳුරන් දඩයම් කිරීම ප‍්‍රාග් ඓතිහාසික යුගයේ තරම් ප‍්‍රචලිත වූ බවක් නොපෙනේ. අනුරාධපුර ඇතුළුනුවර සිදුකළ කැනීම් මගින් මෙය තව දුරටත් සනාථ වේ. ප්‍රොටෝ ඓතිහාසික යකඩ යුගයේත් මූල ඓතිහාසික යුගයේත් සහ ඉන් අනතුරුව ක‍්‍රිස්තුපූර්ව 3 සියවසින් පසුව එළඹි බෞද්ධ ජනසමාජය වඳුරන් හා රිළවුන් දඩයම හා අනුභවය බෙහෝ දුරට ප‍්‍රතික්ෂේප කළා විය හැකිය. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික මානවයා වඳුරන් හා රිළවුන් දඩයම් කිරීම සහ අනුභව කිරීම පිළිබඳව වන මෙම සාකච්ඡාවේ තවදුරටත් කරුණු අනාවරණය කිරීම සඳහා අනාගතයේ දී බොහෝ පර්යේෂණ කළ යුතුව ඇති බව අවසාන වශයෙන් අවධාරණය කිරීමට කැමැත්තෙමු.

ස්තුතිය
කෞතුකාගාර නිදර්ශක අධ්‍යයනය කිරීමට අවශ්‍ය අනුමැතිය ලබා දුන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සෙනරත් දිසානායක, ප‍්‍රධාන උපදේශක ආචාර්ය සිරාන් දැරණියගල, නියෝජ්‍ය අධ්‍යක්ෂක ආචාර්ය නිමල් පෙරේරා සහ කැලණි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ හිටපු අධ්‍යක්ෂ මහාචාර්ය නිමල් ද සිල්වා යන මහතුන්ට ස්තුතිය පුද කරමු. වඳුරන් හා රිළවුන් පිළිබඳ විද්‍යාත්මක මූලාශ‍්‍ර සපයා දුන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවවිද්‍යා අංශයේ ආචාර්ය චාමලී නාහල්ලගේ මහත්මියට ද ස්තුතිය පුද කරමු. පර්යේෂණ කටයුතුවල දී නන්අයුරින් සහය වූ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුරාධපුර දත්ත හා විශ්ලේෂණ අංශයේ ඒ.ඒ. විජයරත්න මහතාටත්, ගාමිණි සමරනායක මහතාටත් ක්ෂේත‍්‍ර කටයුතුවල දී සහාය වූ චින්තක කළුතොට මහතාටත්, ක‍්‍රිෂාන්ති ජයවර්ධන හා සොනාලි පේ‍්‍රමරත්න යන මෙනවියන්ටත්, සංසන්දනාතමක නිදර්ශන ලබාදුන් සුදත් නානායක්කාර මහතාටත් වඳුරන්ගේ ඡායාරූප ලබා දුන් විමුක්ති වීරතුංග, සරිත් පෙතියාගොඩ, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ඡායාරූප ශිල්පී එස්. මදනායක යන මහතුන්ට අපගේ ගෞරවාදර ස්තුතිය පුද කරමු.

පරිශීලනය කළ ග‍්‍රන්ථ හා විමර්ශන ලිපි නාමාවලිය

  • Ashton, M. S., S. Gunatilleke, N. de Zoysa, M. D. Dassanayake, N. Gunatilleke & S. Wijesundera, 1997. A field guide to the common trees and shrubs of Sri Lanka. Wildlife Heritage Trust Publications (Pvt.) Limited, Colombo. 432 pp.
  • Bossuyt, F., M. Meegaskumbura, N. Baenerts, D. J. Gower, R, Pethiyagoda, K. Roelants, A. Mannaert, M. Wilkinson, M. M. Bahir, K. Manamendra-Arachchi, P. K. L. Ng, C. J. Schneider, O. van Oomen & M. C. Milinkovitch, 2004. Local endemism within the Western Ghats-Sri Lanka Biodiversity Hotspot. Science, 306: 479-481 pp.
  • Corbet, G. B. & J. E. Hill, 1992. The mammals of the Indomalayan Region: a systematic review. Oxford Univ. Press. Oxford. viii+488 pp.
  • Dela, L. 2007. Seasonal food use strategies of Semnopithecus vetulus nestor, at Panadura and Piliyandala, Sri Lnaka. Int. J. Primatol. 28: 607-626 pp.
  • Dela, J. and N. Rowe. 2006. Western purple-faced langur, Semnopithecus vetulus nestor Bennett, 1833, In: Primates in peril: The world’s 25 most endangered primates, 2004-2006, R. A. Mittermeier, C. B. Valladares-Padua, A. B. Rylands, A. A. Eudey, T. M. Butynski, J. U. Ganzhorn, R. Kormos, J. M. Aguiar and S. Walker (compilers), pp. 12-13, 24. Primate Conserv. (20): 1-28.
  • Deraniyagala, P. E. P., 1952. A coloured atlas of some vertebrates from Ceylon. Vol. 1, Fishes. Ceylon National Museums, Colombo. xii+1 plt.149 pp. (34 plts).
  • Deraniyagala, P. E. P., 1953. A coloured atlas of some vertebrates from Ceylon. Vol. 2, Tetrapod Reptiles. Ceylon National Museums, Colombo. xii+XI plts.+101 pp. (35 plts).
  • Deraniyagala, P. E. P., 1955(a). A new race of leaf monkey from Ceylon. Spolia Zeylanica. 27: 293-294.
  • Deraniyagala, P. E. P., 1955(b). A coloured atlas of some vertebrates from Ceylon. Vol. 3, Serpentoid Reptiles. Ceylon National Museums, Colombo. vii+VII plts.+117 pp. (49 plts).
  • Deraniyagala, P. E. P., 1965. A new subspecies of macaque, Macaca sinica longicaudata from Ceylon. Spolia Zeylanica. 30: 261-262 (2 plts.).
  • Deraniyagala, S., 1971, The Ratnapura Fauna, Prehistoric Ceylon- a Summary in 1988, Ancient Ceylon, Journal of Archaeological Survey of Ceylon, Department of Archaeology,Colombo 1(2): 3-47 pp.
  • Deraniyagala, S. U., 1992. The Prehistory of Sri Lanka: an ecological perspective. Memoir 8, 2nd ed. Archaeological Department, Colombo. 813 pp.
  • Dittus, W. P. J. 1975. Population dynamics of the toque monkey, Macaca sinica. In: Socioecology and Psychology of Primates (edi. by Tuttle, R. H.), Mouton Publishers, The Hague, 125-151 pp.
  • Eisenberg, J. E. & G. M. Mckay, 1970. An annotated checklist of the recent mammals of Ceylon with keys to the species. Ceylon J. Sci., boil. Sci. 8: 69-99.
  • Erdelen, W. 1984. The genus Calotes (Saurea, Agamidae) in Sri Lanka: distribution patterns. Journal of Biogeography, 11: 515-525 pp.
  • Erdelen, W. 1988. Forest ecosystems and nature conservation in Sri Lanka. Biol. Conserv. 43: 115-135 pp.
  • Groves, C. P. 2001. Primate Taxonomy. Smithsonian Institution Press, Washington, DC, x+350 pp.
  • Gunathileke, C. V. S. and I. A. U. N. Gunathileke. 1983. A forestry case study of the Sinharaja rainforest in Sri Lanka. In: Forest and Freshwater development and Conservation in Asia and the Pacific (edi. by Hamilton, L. S.), Westview Press, Colombo, 289-357 pp.
  • Kotagama S. and Wijesinghe. 1998. Siri Laka Kurullo [in sinhala]. Wildlife Heritage Trust of Sri Lanka, Colombo. 394 pp., 32 pl.
  • Manamendra-Arachchi, K., S. Batuwita & R. Pethiyagoda. 2007. A taxonomic revision of the Sri Lankan day-geckpos (Reptila: Gekkonidae: Cnemaspis), with description of new species from Sri Lanka and southern India. Zeylanika, 7(1): 9-122 (incl., 6 tabs., 46 figs. and 12 plts.).
  • Manamendra-Arachchi, K. & R. Pethiyagoda. 2005. The Sri Lankan shrub-frogs of the genus Philautus Gistel, 1848 (Ranidae: Rhacophorinae), with description of 27 new species. In: You, D.C.J., K.L. Ng & R. Pethiyagoda (eds.), Contributions to biodiversity exploration and research in Sri Lanka. The Raffles Bullentin of Zoology, Supplement No. 12: 163-303 pp.
  • Manamendra-Arachchi, K. & R. Pethiyagoda. 2006. Amphibians of Sri Lanka (in Sinhala). Wildlife Heritage Trust of Sri Lanka, Colombo. 440 pp., (88 plts.).
  • Myrdal, E. & A. Yasapala, 1994. Hunting, trapping, catching and fishing. Further studies in the settlement archaeology of the Sigiriya-Dambulla, ed. Bandaranayake, S. and M. Mogren. The Postgraduate Institute of Archaeology, University of Kelaniya, 264-286 pp.
  • Mckay, G. M. 1984. Ecology and biogeography of mammals. Pp. 413-429 in Fernando, C. H. (ed.), Ecology and biogeography in Sri Lanka. The Hague: Junk (Monographiae boil. vol. 57).
  • Meegaskumbura, M. & K. Manamendra-Arachchi. 2005. Description of eight new species of shrub frogs (Ranidae: Rhacophorinae: Philatus) from Sri Lanka. In: You, D.C.J., K.L. Ng & R. Pethiyagoda (eds.), Contributions to biodiversity exploration and research in Sri Lanka. The Raffles Bullentin of Zoology, Supplement No. 12: 305-338 pp.
  • Nahallage, C.A.D. and M.A. Huffman. 2007. Age-specific functions of stone handling, a solitary-object play behavior, in Japanese macaques (Macaca fuscata). American journal of Primatology 69:1-15 pp.
  • Nahallage, C.A.D. and M.A. Huffman. 2007. Acquisition and development of stone handling behavior in infant Japanese macaques. Behaviour, 144:1193-1215 pp.
  • Nahallage, C.A.D. and M.A. Huffman. 2008. Environmental and social factors associated with the occurrence of stone-handling behavior in a captive troop of Macaca fuscata. Int. J. Primatol.
  • Nahallage, C.A.D., M.A. Haffman, N. Kuruppu and T. Weerasingha. 2008. Diurnal primates in Sri Lanka and people’s perception of them. Primate Conservation, 23:1-7 pp.
  • Nekaris, K.A.I. 2006. Horton Plains Slender Loris, Ceylon mountain slender loris Loris tardigradus nycticeboides (Hill, 1942). In: Primates in peril: The world’s 25 most endangered primates, 2004-2006, R. A.
  • Mittermeier, C. B. Valladares-Padua, A. B. Rylands, A. A. Eudey, T. M. Butynski, J. U. Ganzhorn, R. Kormos, J. M. Aguiar and S. Walker (compilers), pp. 10-11, 23. Primate Conserv. (20): 1-28.
  • Nekaris, K.A.I. and J. Jayawardene. 2003. Pilot study and conservation status of the slender loris (Loris tardigradus and L. lydekkerianus) in Sri Lanka. Primate Conservation. (19): 83-90 pp.
  • Nekaris, K.A.I. and J. Jayawardene. 2004. Survey of the slender loris (Primates, Lorisidae Gray, 1821: Loris tardigradus Linnaeus, 1758 and Loris lydekkerianus Cabrera, 1908) in Sri Lanka. J. Zool. Soc., Lond. 262: 327-338.
  • Nowak, R. M., 1991. Walker’s Mammals of the World. Fifth ed. Johns Hopkins University Press, Baltimore, 1:1-642: 2:643-1629.
  • Perera, N. 2007. A review of the Prehistory of Sri Lanka. Unpublished Ph.D. dissertation, school of Archaeology and Anthropology, Australian National University, Canbera, xii+508 pp.
  • Pethiyagoda, R., 1991. Freshwater Fishes of Sri Lanka. Wildlife Heritage Trust, Colombo. xiv+362 pp.
    Phillips, W. W. A., 1926. Guide to the mammals of Ceylon. IV. Monkey. Spolia Zeylanica. B, 13: 169-280 pp. (4 plts.).
  • Phillips, W. W. A., 1980, 1981, 1984. Manual of the mammals of Sri Lanka 2nd ed. Sri Lanka: Wildlife and Nature Protection Society, 390 pp.
  • Rudran, R. 2007. A survey of Sri Lanka’s endangered and endemic western purple-faced langur (Trachypithecus vetulus nestor). Primate conserve. (22): 139-144 pp.
  • Somadeva, R., R. Dissanayake & R. Fernando. 2008. The Galpaya Survey, report of the first field season 2006. Ed. de Silva., N. & R. Somadeva, occasional paper no.1, 2008, Postgraduate Institute of Archaeology, 155 pp.
  • Weerakoon, D.K. & W.L.D.P.T.S. de A. Goonatilake, 2006. Taxonomic status of mammals of Sri Lanka. In: C. N. B. Bambaradeniya (ed.), The fauna of Sri Lanka, status of taxonomy, research and conservation. IUCN – The Conservation Union: 216-231 pp.
  • Wickramasinghe, L.J.M. & D.A.I. Munindradasa. 2007. Review of the genus Cnemaspis Strauch, 1887 (Sauria: Gekkonidae) in Sri Lanka with the description of five new species. Zootaxa, 1490: 1-63 pp.
  • Wilson, D.E., & D.M. Reeder (ed.), 1993. Mammal species of the World, a taxonomic and geographic refference. 2nd edition Smithsonian Institution press, Washington and London in association with nthe American society of mammalogists, xviii+1206 pp.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.