අනුරාධ පියදාස, චන්දිම බණ්ඩාර අඹන්වල, මහින්ද කරුණාරත්න

archaeology.lk සම ප‍්‍රාරම්භක හා කණ්ඩායම් සාමාජික

අනුරාධ පියදාස, චන්දිම අඹන්වල හා මහින්ද කරුණාරත්න

අධ්‍යයන සංක්‍ෂිප්තය

අදින් වසර 125,000ක් දක්වා ඈතට ගමන් කරන යටගියාවකට උරුමකම් කියන ශ‍්‍රී ලාංකේය මානවයාගේ ගමන් මාර්ගෙය් සළකුණු පෙන්නුම් කරන සංස්කෘතික උරුමස්ථාන රැසක් දිවයින පුරා පැතිර තිබේ. වසර ලක්‍ෂ ගණනාවක් ඈතට ගමන් ගන්නා සාධක නිරූපණය කරන ප‍්‍රාග් ඓතිහාසික පුරාස්ථානයන්ගේ පටන් අදින් වසර සියයකට වඩා පැරැණි කුඩා ප‍්‍රමාණයේ ආභරණය දක්වා පරාසයක මෙම උරුමස්ථාන හා උරුමය පැතිර ඇත. එමෙන් ම ප‍්‍රාග් ඓතිහාසික ගල්පතුරු ලැබෙන ක්‍ෂේත‍්‍රයේ සිට වාස්තුවිද්‍යාව, චිත‍්‍ර, අභිලේඛන ආදී විවිධ තත්ත්වයන් මෙම ක්‍ෂේත‍්‍රවලින් නිරූපණය වන බවත් පෙනී යයි. දසදහස් ගණනින් මැනිය හැකි ශ‍්‍රී ලාංකේය උරුමස්ථාන වාර්තාකරණය සඳහා විවිධ පුද්ගලයන් හා ආයතන විවිධාකාර උත්සාහයන් ගෙන ඇති බව පෙනී යයි. ජාතික ප‍්‍රතිපත්තියක් තුළින් සකස් විය යුතු තත් කාර්යය සැපිරීම සඳහා නෛතික බලය ලත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ද යම් උත්සාහයක් ගනු ලබන බව පෙනේ. එහෙත් මෙවැනි කාර්යයන් අතර යහපත් අන්තර් සබඳතාවක් නොතිබීම හා එමඟින් ඉදිරිපත් කෙරෙන දත්තයන්ගේ ප‍්‍රමාණාත්මක හා ගුණාත්මක වශයෙන් පවත්වා ඌනතාවන් හේතුවෙන් ජාතික හෝ ජාත්‍යන්තර ප‍්‍රමිතියක් අත්කර ගැනීමට මෙම දත්ත පද්ධති සමත් වී ඇති බවක් පෙනී නොයයි. තෙවන හෝ සිව්වන පාර්ශවයකට මෙම කාර්යයන් සඳහා සම්බන්ධ වීමට අවස්ථාවක් නොතිබීම හා ඒ සම්බන්ධ තොරතුරු ලබා ගැනීමට ඇති අපහසුතාවත් මෙම දත්ත පදනම් සම්බන්ධයෙන් දැකිය හැකි පොදු දුර්වලතාවකි. එමෙන් ම එම සියලුම ශ‍්‍රමායික හා අංකිත දත්ත හා තොරතුරු වාර්තාකරණය සඳහා වර්තමානයේ විශ්වීය වශයෙන් ඉතා වර්ධිත තත්ත්වයට පත් ව ඇති අංකිත තාක්‍ෂණය, අවම පිරිවැයක් යටත් ලබා ගත හැකි මට්ටමට හෝ භාවිත නොකරන බව ද පෙනී යයි. මෙම පත‍්‍රිකාව මඟින් දිවයිනේ ස්පර්ශනීය සංස්කෘතික උරුමය වාර්තාකරණය හා විශ්ලේශනය සඳහා අවම පිරිවැයක් යටතේ අංකිත තාක්‍ෂණය උපයෝගි කොට ගත හැක්කේ කෙසේද යන්න පෙන්වා දීම හා ඒ සඳහා ආකෘතියක් හඳුන්වා දීම අරමුණු කරනු ලබයි. විශ්වව්‍යාප්ත ජාලය ඔස්සේ ක‍්‍රියාත්මක වන යෝජිත දත්ත පද්ධතිය ‘පාලන ඒකකය’, ‘දත්ත යෙදවුම් ඒකකය’ හා ‘පරිශීලන ඒකකය’ යන අංශ ත‍්‍රිත්වයකින් සමන්විත වේ. පාලන ඒකකයේ අභිමතය පරිදි ඕනෑම අයෙකුට දත්ත ග‍්‍රහණය කර ගැනීමේ හැකියාවෙන් හා පාලන ඒකකයේ සීමාකම් සහිත ව බලය ලත් පුද්ගලයනට හෝ ආයතනවලට දත්ත පද්ධතිය සඳහා දත්ත ඇතුළු කිරීමේ, යාවත්කාලීන කිරීමේ ගුණාංග සහිත ව මෙම ආදර්ශය ඉදිරිපත් කරනු ලැබේ. මෙම පද්ධතිය සඳහා මූලික වශයෙන් ස්පර්ශනීය උරුමස්ථාන වාර්තාගත කිරීම සඳහා ‘අනන්‍ය අංකනය කිරීමේ ක‍්‍රමවේදයක්’ හඳුන්වා දෙනු ලබන අතර එම අංකය මඟින් අදාළ උරුමස්ථානයේ ස්ථාන ගත වීම, ස්වභාවය ආදි කරුණු රැසක් පිළිබඳ වැටැහීමක් ලබා ගත හැකි වනු ඇත.

මූල පද : සංස්කෘතික උරුමස්ථාන, අංකිත තාක්‍ෂණය, පාලන ඒකකය, දත්ත යෙදවුම් ඒකකය, පරිශීලන ඒකකය, අනන්‍ය අංකනය

හැඳින්වීම

භු භෞතික වශයෙන් වර්ග කිලෝමීටර් 65,335ක් පමණ එනම්, සාපේක්‍ෂකව කුඩා ප‍්‍රමාණයක් ගන්නා ශ‍්‍රී ලංකාව ස්වභාවික හා මානව විද්‍යාත්මක වශයෙන් දිගු යටගියාවකට උරුමකම් කියන බව පර්යේෂකයන් විසින් පෙන්නුම් කොට දී ඇත. දිවයිනේ මානව යටගියාව අදින් වසර 125,000ක් පමණ ඈතට ගමන් ගන්නා බව ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගල ඉරණමඩු පාංශු සංකීර්ණය ආශ‍්‍රිත ව සිදු කරන ලද පර්යේෂණ අනුව තහවුරු කොට ඇත (Deraniyagala 1992:118). මානව යටගියාව නිරූපණය කරන සංස්කෘතික උරුමය විද්වතුන් විසින් ස්පර්ශනීය හා අස්පර්ශනීය යනුවෙන් වර්ග කොට හඳුනා ගන්නා අතර මෙම කාර්යයේ දී ‘ස්පර්ශනීය සංස්කෘතික උරුමය’ කෙරෙහි පමණක් අවධානය යොමු කරනු ලැබේ.

ස්පර්ශනීය සංස්කෘතික උරුමස්ථානයන්ගේ ස්වභාවය

මානවයාගේ පරිණාමය නොහොත් කාලය ඔස්සේ අවකාශයේ සිදු කරන ගමනේ දී ඔහුගේ චින්තනය, සිතුම්පැතුම්, වීරත්වය, ප‍්‍රබලත්වය, සංවේදී බව ප‍්‍රකාශ කරන භෞතිකව ස්පර්ශ කළ හැකි අවශේෂ, ස්පර්ශනීය සංස්කෘතික උරුමස්ථාන වශයෙන් හඳුනා ගන්නා අතර මානව යටගියාව සමඟ ඇති අවියෝජනීය බැදීම මෙම සංස්කෘතික උරුමස්ථාන තුළින් නිරූපණය වෙයි. ප‍්‍රාග් ඓතිහාසික මානවයාගේ තාක්‍ෂණය නිරූපණය කරන ගල් ආයුධ ලැබෙන පුරාස්ථානයක සිට ප්‍රොටෝ සංස්කෘතික අභිචාරී ක‍්‍රම නිරූපනය කරන සුසාන, ජනාවාස ගොඩැලි, ඓතිහාසික යුගයේ වාස්තුවිද්‍යාත්මක නිර්මාණ ඔස්සේ අධිරාජ්‍යවාදීන්ගේ මැදිහත් වීම නිරූපනය කරන බලකොටු, නිවාස, සුසාන සංකීර්ණ, දේවස්ථාන දක්වා පුළුල් පරාසයක මෙම ස්පර්ශනීය සංස්කෘතික උරුමය විසීරී පවතී. කාල වශයෙන් ගෙන බැලීමේ දී අදින් වසර ලක්‍ෂය ඉක්මවා යන කාලයක සිට අදින් වසර 100කට එපිට කාලය දක්වා දීර්ග කාල පරාසයක් නියෝජනය කරන බව ද පෙනී යයි. ඉතා කුඩා පුරාවස්තුවේ සිට අක්කර සිය ගණනක ව්‍යාප්තියක් පෙන්නුම් කරන ක්‍ෂේත‍්‍ර දක්වා ප‍්‍රමාණාත්මක අවකාශ ව්‍යාප්තියක් ද මෙම ස්පර්ශනීය සංස්කෘතික උරුමය නිරූපනය කරයි.

මේ අනුව සලකා බැලීමේ දී ස්වභාව, නිර්මාණ තාක්‍ෂණය, උපයෝගිතාව, කර්තෘත්වය ආදී විවිධ කරුණු සම්බන්දයෙන් අතිශ්‍ය සංකීර්ණ බවක් මෙම ස්පර්ශනීය සංස්කෘතික උරුමය අයත් කර ගන්නා බව මැනවින් පැහැදිළි වෙයි.

සංස්කෘතික උරුමස්ථාන වාර්තාකරණයේ වැදැගත්කම

ඕනෑම ස්පර්ශනීය සංස්කෘතික උරුමස්ථානයකට නිතැතින්ම හිමි වන්නා වූ, එයටම ආවේනික වූ වැදැගත් කමක් හිමි වීම ස්වභාවික ය. වත්මන් ව්‍යවහාර තත්ත්වය අනුව ඊට වටිනාකමක් ආරෝපණය වන්නේ එම සංස්කෘතික උරුමය වාර්තා කිරීම හා වාර්තාකොට තිබෙන ආකාරය අනුව බව නිශ්චය කළ හැකි වේ. යම් උරුමස්ථායනක් සම්බන්ධයෙන් නිසි ලෙස දත්ත වාර්තාකරණය මඟින් පහත පෙළ ගස්වන ආකාරයේ වාසි සහගත තත්ත්්වයක් උදා වන බව පෙනේ.

  • සංස්කෘතික උරුම ක්‍ෂේත‍්‍රයක පවත්නා ශක්‍යතාව නිසි ලෙස තක්සේරු කළ හැකි වීම
  • සංස්කෘතික උරුමය කෙරෙහි සිදු වන ස්වභාවික හා ද්වේෂසහගත හානිය තක්සේරු කිරීමට හැකි වීම
  • යටගියාව අධ්‍යයනයේ දී එනම් ඉතිහාස රචනයේ දී සජීවි මුලාශ‍්‍රයක් වශයෙන් ආබද්ධ කර ගත හැකි වීම
  • පුරාමානවයාගේ චින්තනය හා පරිසරාත්මක සබැදියාව නිරුපණය කරන, පෙන්නුම් කරන සලකුණක් වශයෙන් අගය කළ හැකි වීම
  • මානව වර්ගයාගේ පොදු උරුමයක් වශයෙන් සමාජගත කළ හැකි වීම
  • සංරක්‍ෂණ, සංචාරක ආදී උරුම කළමනාකරණ ක‍්‍රියාදාමයන්හි දී මඟ පෙන්වන්නෙක් ලෙස යොදාගත හැකි වීම
  • ආර්ථික වශයෙන් ගාමක බලවේගයක් වශයෙන් උපයෝගි කරගත හැකි වීම
  • අධ්‍යයන, පර්යේෂණ කාර්යයන් සඳහා අනුබලයක් වීම

මේ ආකාරයට සංස්කෘතික උරුමය වාර්තා කිරීම බොහෝ අතින් ධනාත්මක ප‍්‍රතිඵල අත්කොට දෙන බැවින් නිසි ලෙස ස්පර්ශනීය සංස්කෘතික උරුමස්ථාන වාර්තා කිරීම වැදගත් වනු ඇත.

ලංකාවේ ස්පර්ශනීය සංස්කෘතික උරුමය වාර්තාකිරීමේ උත්සාහයන්

දීර්ඝ ලිඛිත ඉතිහාසයක් සහිත දිවයිනේ පැරණිම ලේඛන තුළින් ද සංස්කෘතික උරුමය පිළිබඳ වාර්තාකරණයට යම් උත්සාහයක් ගෙන ඇති බව කරුණු පරික්‍ෂා කිරීමේදී පෙනී යයි. ශිෂ්ටාචාරය ආරම්භ වූ මුල් කාලයේ දී ද්‍රව්‍යාත්මක සංසිද්ධීන් උරුමය ලෙස හෝ උරුමය වාර්තාකරණය ලෙස සංකල්පගත කොට හඳුනා නොගත්ත ද සිදු කර ඇති සමහර ක‍්‍රියාවන් උරුමය වාර්තා කිරීමට ගත් උත්සාහයක් ලෙස අර්ථකථනය කිරීමේ හැකියාව පවතී. උදාහරණයක් වශයෙන් දිවයිනේ පැරණිම ලේඛන වශයෙන් විද්වතුන් විසින් පොදුවේ පිළිගන්නා පූර්ව බ‍්‍රාහ්මී අභිලේඛන මඟින් යම් භෞතික දේපලක අයිතිය, පරිත්‍යාගය ආදිය පිළිබඳ තොරතුරු අනාවරණය වන අතර වර්තමානය තෙක් ම සිදුවන සෙල්ලිපි මඟින් මෙම සාධකය සැපිරෙන බව පෙනී යයි. එමෙන් ම ක‍්‍රිස්තු වර්ශ 5වන සියවසේ පමණ සිට අද දක්වාම අඛණ්ඩ ව ලියැවෙන සිංහලයේ වංසකතාව වන මහාවංශය, දීපවංසය ආදී ග‍්‍රන්ථ මඟින් ද සංස්කෘතික උරුමස්ථාන නිර්මාණය සඳහා භූමිය තෝරා ගැනීම, ඒවා නිර්මාණය හා නිර්මාපකයන්, අමුද්‍රව්‍යය යොදාගත් ආකාරය, ද්වේශ සහගත විනාශ කිරීම්, නැවැත තහවුරු කිරීම ආදිය පිළිබඳ ව ඉදිරිපත් කෙරෙන වාර්තා උරුමය වාර්තා කිරීමට ගත් උත්සාහයක් ලෙස සැලැකුව ද එය වරදක් නොවේ.

කිතු වසින් 1880දී පමණ අධිරාජ්‍යවාදීන් විසින් ලංකාවේ පුරාවිද්‍යා සමීක්‍ෂණය (Archaeological Survey of Ceylon) ආරම්භ කිරීමෙන් පසුව පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුවක් (Department of Archaeology) වීම දක්වා පුරාවිද්‍යා කොමසාරිස්ගේ (අධ්‍යක්‍ෂ ජනරාල්) වාර්ෂික පාලන වාර්තා (Archaeological Survey Commissioner Annual Report) ඇතුළු ප‍්‍රකාශන රැසක් මඟින් ස්පර්ශනීය සංස්කෘතික උරුමය හා ස්පර්ශනීය සංස්කෘතික උරුමය වාර්තාකිරීමේ කාර්යය සිදු වුණු බව පෙනී යයි. දිවයිනේ ස්පර්ශනීය සංස්කෘතික උරුමය සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වෙනත් ආයතන වන මධ්‍යම සංස්කෘතික අරමුදල, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව, විශ්වවිද්‍යාලවල පුරාවිද්‍යා හා ඉතිහාස අධ්‍යන අංශ මඟින් ද සංස්කෘතික උරුමය වාර්තා කිරීම සම්බන්ධයෙන් යම් වැඩ කොටසක් සිදු වන බව පෙනේ. ඊට අමතර ව වෙනත් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන හා පුද්ගලයන් විසින් ද මේ සම්බන්ධව විවිධ කටයුතු කරන බව පෙනේ.

වර්ධනය වූ ‘ක්‍ෂේත‍්‍ර හා ස්මාරක වාර්තාකරණ (Sites and Monument Records – SMR)’ සංකල්ප යටතේ මෙවැනි ස්පර්ශනීය සංස්කෘතික උරුමයන් වාර්තා වීම ජාතික වැඩපිළිවෙලක් වශයෙන් සිදුවන බවක් පෙනී යන්නේ නැත. (ජාතික වැඩපිළිවෙලක් සඳහා රාජ්‍ය අංශයේ මැදිහත් වීම, මහජන සහභාගීත්වය, පොදු උපයෝගීතාවක් තිබීම හා ජාතික ප‍්‍රතිපත්ති සම්පාදනය සඳහා යොදා ගැනීම වැනි කාරණා සම්පූර්ණ විය යුතු ය.) එහෙත් සම්පත් අවම තත්ත්වයක් තුළ හෝ මෙම තත්ත්වය අවබෝධ කොට ගනිමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ක්‍ෂේත‍්‍ර හා ස්මාරක වාර්තාකරණය පිළිබඳ මූලික වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති අතර වෙනත් ආයතන කීපයක් විසින් ම මෙවැනි කාර්යයන් අරඹා ඇති බව පෙනේ.

ලංකාවේ ස්පර්ශනීය සංස්කෘතික උරුමය වාර්තාකිරීමේ උත්සාහයන් වල පවත්නා දුර්වලතාවන්

දිවයිනේ සංස්කෘතික උරුමය සම්බන්ධයෙන් සිදු කරන වාර්තාකරණයන් පිළිබඳ ව අවලෝකනය කිරීමේ දී ඒවායේ සිද්ධාන්තමය හා ප‍්‍රායෝගික වශයෙන් දුර්වලතාවන් බවතින බව හඳුනාගත හැකි වේ. මෙවැනි ක‍්‍රියාදාමයන් සූක්‍ෂම ලෙස අධ්‍යයනය කිරීමෙන් තොරව වුවත් එවායේ ආවේනික හා ආවේනික නොවන දුර්වලතා පිළිබඳ ව අවබෝධ කර ගැනීම අපහසු නොවනු ඇත. එවැනි දුර්වලතා වශයෙන් පැහැදිළි ව පෙනී යන කාරණා කීපයක් පහත ඉදිරිපත් කරනු ලැබේ.

ආවේනික ගැටලු

යම් පද්ධතියක පවත්නා ස්වභාවය හා ව්‍යුහය අනුව මඟහරවා ගැනිමට අපහසු අනිවාර්ය බාධක වශයෙන් ඉස්මතු වන තත්ත්වයන් ආවේනික ගැටලු හෙවත් බාධකයන් වශයෙන් හඳුනා ගත හැකි වෙයි.

  • භූ භෞතික වශයෙන් දිවයින කුඩා වුවත් සංස්කෘතික උරුමය, එහි ව්‍යාප්තිය, ස්වභාවය යන අංශ අතින් අතිශය බහුල හා සංකීර්ණ වීම
  • සංස්කෘතික උරුම ක්‍ෂෙත‍්‍රයක් අයත් වන්නේ කුමන වර්ගයකට ද යන්න නිර්ණය කිරීම අපහසු වීම
    උදා. අනුරාධපුර වෙස්සගිරිය ක්‍ෂේත‍්‍රය

ප‍්‍රාග් ඓතිහාසික, ප්‍රොටෝ ඓතිහාසික, මූල ඓතිහාසික, වාස්තු විද්‍යාත්මක, පූර්ව බ‍්‍රාහ්මී, අපර බ‍්‍රාහ්මී, පසු කාලීන ලිපි, චිත‍්‍ර ආදී බොහෝ සංස්කෘතික අවශේෂ හමුවන බැවින් මෙවැනි ක්‍ෂේත‍්‍රයක් අයත් කරන්නේ කුමන කාලයකට ද කුමන වර්ගයකට ද යන්න ගැටලු සහගත විය හැකි වේ.

  • සංස්කෘතික උරුමය වාර්තාකරණය කෙරෙහි සාමාන්‍ය ජනයා කෙරෙන් දිස්වන මන්දෝත්සාහී බව
  • විද්වතුන් අතර පවත්නා ගුරුකුල ගැටුම් හා අනෙකුත් අගතීන්

ආවේනික නොවන දුර්වලතා

පද්ධතියේ පවත්නා ලක්‍ෂණවලට බාහිර වශයෙන් පැන නඟින්නා වූ ගැටලූ මේ යටතේ හඳුනාගත හැකි අතර උත්සාහය, කැපවීම, බුද්ධිමය මඟපෙන්වීම හා කණ්ඩායම් ක‍්‍රියාකාරීත්වය තුළින් මෙවැනි ගැටලු හෙවත් දුර්වලතාවන් අවම කර ගැනීම අපහසු නොවේ.

  • ස්පර්ශනීය සංස්කෘතික උරුමය වර්ගකිරීමේ නිසි පදනමක් නොමැති වීම
  • පුරාවිද්‍යාත්මක ක්‍ෂේත‍්‍රයක් හඳුනා ගැනීමේ පදනම අපහැදිළි වීම

වාස්තු විද්‍යාත්මක අවශේෂ ආදිය බහුල ව පවත්නා ක්‍ෂේත‍්‍ර සංස්කෘතික උරුමය ලෙස පහසුවෙන් හඳුනාගත හැකි වුවත් වළංකටු ආදිය හමු වන ක්‍ෂේත‍්‍රයක් යම් යම් පුද්ගලයන් විසින් උරුමස්ථානයක් ලෙස හඳුනා ගැනීමට උත්සාහ ගනු ලැබේද යන්න. වලංකටු ලැබෙන ක්‍ෂේත‍්‍රයක් වුව ද සංස්කෘතික උරුමස්ථානයක් ලෙස හඳුනා ගැනීමට වළංකටු කොපමණ ප‍්‍රමාණයක් ලැබිය යුතු ද යන්න සම්බන්ධයෙන් නිශ්චික එකඟතාවක් නොතිබීම.

  • මහජන දැනුවත් කිරීම හා මහජනයාට මැදිහත්වීමට ඉඩකඩ නොසැලසීම
  • විවිධ ආයතන හා එකම ආයතනයේ විවිධ පුද්ගලයන් විසින් සිදු කරන වාර්තා කිරීම් පුද්ගලානුබද්ධ කාර්යයක් පමණක් වීම

මෙවැනි කාර්යයක් සඳහා සම්පත්ඝණ පුද්ගලයන්ගෙන් හෝ ලබාගත යුතු සහයෝගය ලබා නොගෙන පෞද්ගලික කාර්යයක් සේ ක‍්‍රියාවට නැංවීම

  • බුද්ධිමය, තාක්‍ෂණික වර්ධනය හෝ අනාගත අවශ්‍යතා අනුව සිදුවිය යුතු ප‍්‍රසාරණයන් සඳහා අවැසි ඉඩකඩ නොමැති වීම
  • උරුමය අනන්‍යගත කිරීමේදී එහි පැහැදිළි, ක‍්‍රමවත් ක‍්‍රමවේදයක් නොමැති වීම

අනන්‍යගත කිරීම නාමකරණය හෝ අංකණය මඟින් සිදු කරන අතර මෙම පද්ධති ප‍්‍රසාරණය කිරීමට යෑමේ දී එම අංකනය කිරීම් හෝ නාමගත කීරීම්හි ගැටලු සහගත තත්ත්වයන් උද්ගත වේ.

  • විටෙක පිරිවැය අධික ක‍්‍රමවේද භාවිත කිරීම

දිවයිනේ ස්පර්ශනීය සංස්කෘතික උරුමය වාර්තාකරණය සම්බන්ධයෙන් මෙවැනි විවිධ දුර්වලතා හඳුනාගත හැකි වන අතර එමඟින් පහත සාකච්ඡා කෙරෙන තත්ත්වයන් ජනනය වනු ඇත. මෙම පද්ධතීන් අතර සහසම්බන්ධතාවක් නොමැති බැවින් අනවශ්‍ය ලෙස එකම ක්‍ෂේත‍්‍රය නැවැත නැවැත වාර්තාකරණය සිදු වීමට ඉඩ ඇත. එමෙන් ම පරිපුර්ණ වාර්තාකරණයක් නොවන බැවින් ඉදිරි ජාතිකමය අවශ්‍යතාවන් සඳහා උක්ත දත්ත පද්ධති ප‍්‍රමාණවත් නොවීම නිසා අනවශය පිරිවැයක් දරමින් නැවැත වාර්තාකරණ කටයුතු සිදු කිරීමට සිදු වනු ඇත. එමෙන් ම මහජනයා සඳහා හෝ ප‍්‍රතිපත්ති සම්පාදකයන් සඳහා තත් පද්ධති නිර්මාණය නොවීම නිසා මෙම දත්ත පද්ධති උපයෝගිතාවෙන් හීන කාර්යයක් පමණක් වනු ඇත.

ගෝලීය වශයෙන් ස්පර්ශණීය සංස්කෘතික උරුමය වාර්තාකිරීමේ තත්ත්වය

ගෝලීය වශයෙන් විවිධ සංස්කෘති හා ශිෂ්ටාචාර නියෝජනය කරමින් පවත්නා සංස්කෘතික උරුමය වාර්තා කිරීම සඳහා විවිධ මට්ටමේ උත්සාහයන් ගෙන ඇති බව පෙනී යයි. එවැනි සාර්ථක පද්ධතීන්හි ස්වභාවය නිරීක්‍ෂණය කිරීමේ දී හඳුනාගත හැකි ධනාත්මක ලක්‍ෂණ කිපයකි.

  • ඒකමිතික වාර්තාකරණය
    සෑම සංස්කෘතික උරුම ක්‍ෂේත‍්‍රයක් ම සම්මත එකම ආකෘතියකට අනුව වාර්තා කිරීම
  • බහුවිධ වාර්තාකරණය
    ස්පර්ශනීය සංස්කෘතික උරුමය සැලසුම්, ඡායාරූප, ආකෘති ආදී විවිධ ක‍්‍රමවේද ඔස්සේ වාර්තා කිරීම
  • විවෘතමූල පරිගණක මෘදුකාංග (Open Source) හා බෙහෙවින් අඩු පිරිවැයක් සහිත පරිගණක මෘදුකාංග භාවිතය
  • ඵලදායි ලෙස මහජන සහභාගීත්වය සඳහා ඉඩ සැලැසීම
  • මධ්‍යගත පාලනය හා දත්ත දානය (Data Input) හා දත්ත/තොරතුරු ආදානය (Data/Information receiving) විමධ්‍යගත වීම
  • ආර්ථික වශයෙන් ඵලදායි කාර්යයක් වශයෙන් නිර්මාණය වීම

මෙම කරුණු කාරණා කෙරෙහි අවධානය යොමු කරමින් බොහෝ ගැටලු හා දුර්වලතා මඟහරවා ගනිමින් අප රටේ ජාතික හා ජාත්‍යන්තර අවශ්‍යතාවන් හා වුවමනාවන් කෙරෙහි යථායෝග්‍ය වන පරිදි පහත ආකෘතිය ලංකාවේ ස්පර්ශනීය සංස්කෘතික උරුමය වාර්තා කිරීම සඳහා අප විසින් යෝජනා කරනු ලැබේ.

යෝජිත ආකෘතියේ ස්වභාවය

උක්ත සාකච්ඡා කරන ලද කරුණු හා ස්පර්ශනීය සංස්කෘතික උරුමය අංකිත (Digital) ස්වරූපයෙන් වාර්තා කිරීමේ අවශ්‍යතාව වටහා ගනිමින් මෙහි ඉදිරිපත් කරන ආකෘතිය අප විසින් යෝජනා කරනු ලැබේ. ප‍්‍රතිපත්තිමය තීරණ ගැනීම හා පාලනය මධ්‍යගත ඒකකයක් මඟින් හා දත්ත ආදානය හා ප‍්‍රතිදානය විමධ්‍යගත කරමින් අවම පිරිවැයක් යටතේ මහජන සහභාගිත්වය උපරීම වන අයුරින් මෙම පද්ධතිය යෝජනා කෙරේ. ඒමෙන් ම වර්තමානයේ ජනප‍්‍රිය හා භාවිතය උපරීම වී ඇති විශ්ව ව්‍යාප්ත ජාලය (World Wide Web) ඔස්සේ වෙබ් අඩවියක් මඟින් මෙම පද්ධතිය ක‍්‍රියාත්මක වනු ඇත. එමඟින් මෙම පද්ධතිය

  • දවසේ පැය 24 පුරාම සේවාව සපයන
  • භෞතික සීමා මායිම් නොමැති
  • විශාල පුද්ගලයන් ප‍්‍රමාණයකට එක වර භාවිත කළ හැකි
  • භාවිත කරන්නන්ට ඉතා පහසු පද්ධතියක් බවට මෙම පද්ධතිය පත් කළ හැක.

යෝජිත මෙම ආකෘතිය ප‍්‍රධාන ඒකක නොහොත් කොටස් හතරකින් සමන්විත වෙයි.

  1. පාලන හා කළමනාකරණ ඒකකය (Administration and Management Module)
  2. දත්ත යෙදීමේ ඒකකය (Data Entry Module)
  3. පොදු පරිශීලන ඒකකය (Public Interface Module)
  4. දත්ත නිවැරදිතාව රැකිමේ ඒකකය (Moderation Module)
1 වන රුපය: යෝජීත පද්ධතියේ එ්කක

1. පාලන හා කළමනාකරණ ඒකකය (Administration and Management Module)

යෝජිත ආකෘතිය නිර්මාණය, සැලසුම්කරණය, ක්‍ෂේත‍්‍ර වර්ගීකරණය මෙහෙයවීම ඇතුළු සියලුම පාලන හා කළමනාකරණ කෘත්‍යයන් මෙම ඒකකය මඟින් සිදු කෙරේ. මෙම ඒකකය මඟින් අපේක්‍ෂිත කාර්යාවලිය ඉටු කිරීම මණ්ඩල දෙකක් යටතේ සිදු කරනු ඇත.

අ. විද්වත් මණ්ඩලය
ආ. තාක්‍ෂණ මණ්ඩලය

විවිධ ස්පර්ශනීය සංස්කෘතික උරුම ක්‍ෂේත‍්‍ර වාර්තාගත කරන්නේ කෙසේද? වර්ගීකරණයේ නිර්ණායක මොනවාද? වර්ගීකරණයේ පදනම් නොහොත් මිණුම්දඬු මොනවාද? යන්න තීරණය කිරීම හා මිණුමිදඬු උපකාරයෙන් ක්‍ෂේත‍්‍රය කුමණ වර්ගයකට අයත් ද යන්න තීරණය කිරීම විද්වත් මණ්ඩලයේ ප‍්‍රධාන කාර්යය වනු ඇත. එමෙන් ම මෙම යෝජිත පද්ධතිය සම්බන්ධයෙන් ප‍්‍රතිපත්තිමය තීරණ ගැනීමේ අධිකාරි බලය ද මෙම ඒකකයට අයත් වන අතර දිවයිනේ පුරාවිද්‍යාව සම්බන්ධ විශේෂඥයන්ගෙන් සැදි මණ්ඩලයකින් මෙම ඒකකය සමන්විත විය යුතු වේ.

අපේක්‍ෂිත අරමුණු ඉටුවන ආකාරයෙන් අංකිත තාක්‍ෂණය (Digital Technology) යොදාගත හැක්කේ කෙසේද? එහි හැකියාවන් හා සීමාවන් මොනවාද? යන්න පිළිබඳ ව යෝජනා ඉදිරිපත් කර ඒවා ක‍්‍රියාවට නැංවීම තාක්‍ෂණික මණ්ඩලයේ කාර්යය වන අතර පද්ධතිය සඳහා අවැසි මෘදුකාංගමය සහාය (Software Diveloping) මෙම ඒකකය මඟින් සපුරාලනු ඇත.

විද්වත් මණ්ඩලය හා තාක්‍ෂණික මණ්ඩලය යන මෙම දෙපිරිසම එකම මණ්ඩලයක් සේ ක‍්‍රියා කිරීම මඟින් පාලන ඒකකය නිර්මාණය වෙයි.

2. දත්ත යෙදවුම් ඒකකය (Data Entry Module)

පද්ධතිය සඳහා දත්ත යෙදීම පාලන ඒකකයේ අනුමැතිය සහිත පිරිසක් විසින් හා පාලන ඒකකය මඟින් නිර්ණය කරන අවම අවශ්‍යතා සපුරණ මහජන පිරිස් විසින් කෙරෙනු ඇත. විශ්ව ව්‍යාප්ත ජාල පදනමීය පද්ධතියක් වන මෙම පද්ධතිය සඳහා පාලන ඒකකයේ අනුමැතිය සහිත ව ක්‍ෂේත‍්‍ර පිළිබඳ විස්තර, ඡායාරූප, ආකෘති ඉදිරිපත් කිරීමට මහජනයාට ඉඩ සැලැසීම මඟින් මෙම දත්ත පද්ධතිය සඳහා මහජන සහභාගීත්වය හා දැනුවත් කිරීම උපරීම අන්දමින් ලබා ගැනීම අපේක්‍ෂා කරනු ඇත.

3. පොදු පරිශීලන ඒකකය (Public Interface Module)

විශ්වව්‍යාප්ත ජාලය ඔස්සේ ක‍්‍රියාත්මක මෙම පද්ධතියේ පරිශීලනය කිරීමට ගෝලීය මට්ටමින් ඉඩ සලසනු ඇත. එමෙන් ම පරීශීලකයන්, පර්යේෂකයන්, සංචාරකයන් ආදී වෙන වෙන ම ඉලක්කගත කණ්ඩායම් වෙත තොරතුරු සැපයීමේ දී ඒවායේ සීමාවන්, ප‍්‍රමාණයන් ආදිය නිර්ණය කිරීම පාලන ඒකකය මඟින් ඉටු කරනු ඇත. පරිශීලකයන් වර්ග කිරීම (Categorization) ආදිය ද පාලන ඒකකය මඟින් ම සිදු කරනු ඇත.

4. දත්ත නිවැරදිතාව රැකිමේ ඒකකය (Moderation Module)

මෙම ඒකකය මගින් ඇතුල් කරනා දත්ත වල නිවැරදිතාව දිවයිනේ පුරාවිද්‍යාව හා උරුම කළමණාකරණය සම්බන්ධ විශේෂඥයන්ගේ සහයෝගය මගින් තහවුරු කර ගැනිම සිදු කරනු ඇත. මෙමගින් දත්ත වල නිවැරදිතාව උපරිම කර ගැනිම අරමුණ වේ.

අනන්‍ය අංකණය (Unique  Numbering System) 

යෝජිත වාර්තාකරණ පද්ධතියේ දී එක් එක් සංස්කෘතික උරුමය සඳහා අනන්‍ය අංකණයක් හිමිවන අතර එම ක්‍ෂේත‍්‍රය හා සම්බන්ධ ඕනෑම කාර්යයක දී මෙම අංකණය භාවිත කිරීම රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන වලට යෝජනා කරනු ලැබේ. ශ‍්‍රී ලංකා ජනරජයේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ පළාත්, දිස්ත‍්‍රික්ක, ප‍්‍රදේශීය ලේඛම් කොට්ඨාෂ හා ග‍්‍රාම නිලධාරි වසම් අංකණය කිරිමට අනුයාත වන පරිදි මෙම අංකනය ක‍්‍රියාත්මක වනු ඇත.

මෙම අංකය පහත දක්වා ඇති පරිදි සකස් වේ :

පළාත් අංකය – දිස්ත‍්‍රික් අංකය – ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාශ අංකය – ග‍්‍රාම නිලධාරි වසම් අංකය – ග‍්‍රාමනිලධාරි වසම තුළ ස්පර්ශනීය සංස්කෘතික උරුම ක්‍ෂේත‍්‍රයේ අනුක‍්‍රමික අංකය – එම ක්‍ෂේත‍්‍රය තුල ස්පර්ශනීය සංස්කෘතික උරුමයේ අනුක‍්‍රමික අංකය

උදාහරණය:

දකුණු පළාතේ මාතර දිස්ති‍්‍රකයේ දෙවිනුවර ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ තලල්ල ග‍්‍රාමනිලධාරි වසමේ පිහිටා ඇති නාඔටුන්න අම්බලම මෙම පද්ධතියට දත්ත ඇතුළු කිරිමේ අප හට එම ග‍්‍රාමනිලධාරි වසමේදි හමු වු 15 වන ස්පර්ශනීය සංස්කෘතික උරුම ක්‍ෂේත‍්‍රය නම් හා එම ක්‍ෂේත‍්‍රය තුල දෙවන සංස්කෘතික උරුමය නම්, එයට හිමි අනන්‍ය අංකය වනුයේ:

2 වන රුපය: යෝජිත අනන්‍ය අංකනය

මෙම ක‍්‍රමවේදය අනුව දිවයිනේ ඕනෑම ස්පර්ශනීය සංස්කෘතික උරුමස්ථානයක් අවුල් සහගත වීම අවම වන අන්දමින් වාර්තා කිරීමට හැකියාව ලැබෙනු ඇත.

ඉදිරි ව්‍යාප්ති අවස්ථා

යෝජිත ආකෘතිය ක‍්‍රියාත්මක වීමේ දී ඉදිරියේ දී සිදු වන බුද්ධිමය හා තාක්‍ෂණික ප‍්‍රසාරණයන් සඳහා තත් පද්ධතිය අනුගත විය හැකි පරිදි හා ඕනෑම ස්පර්ශනීය සංස්කෘතික උරුමස්ථාන නොවන ක්‍ෂේත‍්‍රයන් වෙත ද ව්‍යාප්ත කිරීමේ හැකියාව සහිත ව මෙය ක‍්‍රියාත්මක වෙයි. ඒ අනුව ඉදිරියේ දී ක‍්‍රියාත්මක කළ හැකි:

  • අස්පර්ශනීය සංස්කෘතික උරුමය වාර්තා කිරීම
  • ස්වභාවික උරුමය වාර්තා කිරීම
  • පුරාවිද්‍යාත්මක කැණීම් හා ගවේෂණ එසැනින් වාර්තාගත කොට මධ්‍යගත පද්ධතියක් වෙත දත්ත සම්පේ‍්‍රෂණය කිරීම
  • සංස්කෘතික හා ස්වභාවික උරුමය හා සම්බන්ධ ජාතික ආයතන පද්ධතිය සමඟ ඒකාබද්ධ විය හැකි වීම
  • සංචාරක දැනුවත් කිරීම හා සංචාරක ව්‍යාපාරයෙහි ලා උපකෘත යටිතල පහසුකම් පිළිබඳ දැනුවත් කළ හැකි වීම
  • ජාතික හා ජාත්‍යන්තර අධ්‍යයන පර්යේෂණ අවශ්‍යතා සඳහා දොරටු විවර කිරීම
  • සංස්කෘතික උරුම වාර්තාකරණය සඳහා ව්‍යාපාරික ප‍්‍රජාව සහභාගි කර ගැනීම යන කරුණුකාරණා කෙරෙහි පහසුවෙන් ව්‍යාප්ත කිරීමේ හැකියාව ලැබෙනු ඇත

සමාලෝචනය

පුරාවිද්‍යා විෂයේ හා සංස්කෘතික උරුම වාර්තාකරණය ජාත්‍යන්තර වශයෙන් ඉහළ තලයකට වර්ධනය වී ඇති අතර ම ඒ හා දෙවැනි නොවන අයුරේ තර්ජනයකට ද ලක් වී ඇත. එබැවින් ඉහත සාකච්ඡා කළ අයුරින් නිසි ක‍්‍රියාදාමයකින් යුත්ත ස්පර්ශනීය සංස්කෘතික උරුමය වාර්තා කිරීම අත්‍යවශ්‍ය හා කඩිනම් ජාතික අවශ්‍යතාවක් බවට පත් වී ඇත. පවත්නා ජාතික තත්ත්වය යටතේ පුළුල් දෘෂ්ටියකින් යුක්ත ව විවිධ ආයතන හා පුද්ගලයන්ගේ සහභාගිත්වයෙන් යුක්ත ව කඩිනමින් මෙම කාර්යය ආරම්භ කිරීම සිදු කළ යුතු වේ.

මෙවැනි ජාතිකමය පද්ධතියකට දත්ත හා තොරතුරු ඇතුළු කිරීම පමාවන මොහොතක් පාසා සංස්කෘතික උරුමයට වන තර්ජනය නොවැලැක්විය හැකි අතර ම උරුමය භාවිත කරමින් ලබා ගත හැකි සමාජ, මානසික, ආර්ථික ප‍්‍රතිලාභයන් ද සමස්ථ මානව ප‍්‍රජාව වෙතින් ගිලිහී යෑම ද සිදු වනු ඇත.

ආශ‍්‍රිත ග‍්‍රන්ථ හා ලිපි නාමාවලිය

  • Deraniyagala, S. (1992), The Prehistory of Sri Lanka : An Ecological Perspective, Department of Archaeological Survey, Sri Lanka.

 

– – – – – – – – – – – – – – – – – – – – – – – – – –

මෙම පර්යේෂණාත්මක ලිපිය පළමු වරට පහත ප‍්‍රකාශනයේ පළ වූවක් බැව් කාරුණිකව සලකන්න.

  • A. Piyadasa, B. Ambanwala & M. Karunarathne (2013), ස්පර්ශනීය සංස්කෘතික උරුමය අංකිත ස්වරූපයෙන් වාර්තා කිරීමේ ඇවැසියාව හා එ සේ වාර්තා කිරීම සඳහා යෝග්‍ය අංකණ ක්‍රමයක් සහිත ආකෘතියක්, The Proceeding of Annual Research Symposium, Extanded Abstracts 2013, edtor in chief.C.R. Withanachchi, First National Annual Research Symposium on ‘Ancient Heritage for Sustainable Development’ Department of Archaeology and Heritage Management, Rajarata University of Sri Lanka, Mihintale. 18th December 2013. (149-153pp.)
  • A. Piyadasa, B. Ambanwala & M. Karunarathne (2009), ශ්‍රී ලංකාවේ ස්පර්ශනීය සංස්කෘතික උරුමය අංකිත ස්වරූපයෙන් වාර්තා කිරීමේ අවශ්‍යතාව හා එ සේ කිරීම සඳහා යෝජිත ආකෘතියක්, (The necessity of recording tangible Sri Lankan cultural heritage in digital medium and for that purpose proposing a format), National Archaeological Symposium 2009, Department of Archaeology, Colombo, Sri Lanka. (115-124pp.)
Advertisements
Previous articleපනාවිටිය අම්බලම
Next articleමාගම රාජ්‍යය හා රජවරුන් – පුරාවිද්‍යා චක්‍රවර්ති පූජ්‍ය එල්ලාවල මෙධානන්ද හිමි
Avatar
2006 වසරේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් වසරේ දක්ෂතම පුරාවිද්‍යා ශිෂ්‍යයාට හිමි මහාචාර්ය පී. ලිලානන්ද ප්‍රේමතිලක හා වෛද්‍ය නන්දා ප්‍රේමතිලක විශිෂ්ට නිපුනතා ත්‍යාගය සමඟ ශාස්ත්‍රවේදි (ගෞරව) (BA(sp)) උපාධිය ලබාගන්නා ලද චන්දිම, 1998 වසරේ දී මොරටුව විශ්වවිද්‍යාල‍යේ වාස්තුවිද්‍යා පීඨයෙන් ස්මාරක හා කේෂේත්‍ර සංරක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ද, 2010 වසරේ දී කොළඹ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් පුරාවිද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය (MSc.) ද හිමිකර ගන්නා ලදි. 2008 - 2010 කාලයේ දි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ තාවකාලික කථිකාචාර්යවරයෙකු වශයෙන් සේවය කළ ඔහු, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාල‍යේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්යවරයෙකු වශයෙන් 2011 වසරේ සිට සේවය කරන අතර එහි ප්‍රාග් ඉතිහාසිය හා අභිලේඛන විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයා වශයෙන් කටයුතු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.