චන්දිම බණ්ඩාර අඹන්වල

පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ.

පිවිසුම

chandima-ambanwala-sri-lanka-archaeology-prehistory-epigraphy-epistomology
චන්දිම අඹන්වල

යම්කිසි විෂයක් අධ්‍යයනය කිරීමේ දී විවිධ ආකාරයෙන් නැතිනම් විවිධ ප‍්‍රවේෂ (approaches) ඔස්සේ එම විෂයන් අධ්‍ය්‍යනය කළ හැකි බව අප දන්නා සාමාන්‍ය කරුණකි. එම විවිධ ප‍්‍රවේෂ අතුරින් යම් විෂයක් හා සම්බන්ධ ප‍්‍රාමාණිකයින් පිළිබඳ අධ්‍යයනය කිරීම අදාළ විෂය හා එහි විවිධ පැතිකඩ පිළිබඳ අවබෝධයක් ලැබිය හැකි ප‍්‍රතිඵලදායි එක් ක‍්‍රමයකි. එ බැවින් මෙතැන් සිට මෙම ලිපි මාලාවේ ඉදිරි ලිපි කීපයක් ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාවේ ආරම්භකයින් හා පර්යේෂකයින් පිළිබඳ ව අවධානය යොමුකිරීමට වෙන් වනු ඇත. තවත් අතකට ලංකාවේ අතීත මිනිසා පිළිබඳ සොයාබලන ලිපි මාලාවක දී ඒ සම්බන්ධයෙන් කැප වූ පූර්ව පර්යේෂකයිනට ලබා දිය යුතු ගෞරවය ලබාදීමේ වැදගත් ම ක‍්‍රමය වන්නේ ද ඔවුන් විසින් අදාළ ක්ෂේත‍්‍රය වෙත ලබා දී ඇති දායකත්වය ප‍්‍රමාණ කිරීමයි. ඊට අමතර ව ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය පිළිබඳ ව අපි අද අත්විදින දැනුම නිර්මාණය කිරීම සඳහා පුරාවිද්‍යාඥයින් හා වෙනත් පර්යේෂකයින් විසින් විදින ලද දුක්ගැහැට හා අපහසුතා පිළිබඳ යම්තාක් දුරකට අවබෝධයක් ලබා ගැනීමට ද මෙය අවස්ථාවක් කරගත හැකි වේ. එය කෘතවේදී ඕනෑම මිනිස් සමාජයක් සතු වටිනා ලක්ෂණයක් වශයෙන් ද හඳුනාගත හැකි වේ. ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාවේ අතීතය පිළිබඳව ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගල මහතා විසින් තමන් විසින් ඇමරිකා එක්සත් ජනපදයේ හාවඞ් සරසවිය වෙත ඉදිරිපත් කරන ලද ආචාර්ය උපාධි නිබන්ධය ඇසුරින් සකස් කොට ඇති Prehistory of Sri Lanka: an ecological perspective ග්‍රන්ථයේ දී History of Research (පිටු අංක 2-22) හිසින් අගනා තොරතුරු සමුදායක් හා විග‍්‍රහයක් ඉදිරිපත් කොට ඇති බව දක්වන්නේ එතුමාට ගෞරව වශයෙනි. මෙය මේ සම්බන්ධයෙන් ලියැවුණු පරීපූර්ණ ලේඛනයක් බව සමහර විද්වතුන් ගේ අදහසයි.

විජයාගමනයට පෙර ලංකාවේ සිටි මානවයා නැතහොත් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික මානවයා පිළිබඳ ලංකාවේ වර්තමාන පරපුර ප‍්‍රමාණවත් තරමකට දැනුවත් වී නො සිටියත් ලංකාවේ මෙම යුගය පිළිබඳ අධ්‍යයනයන් ගේ ආරම්භය අදින් වසර 125 ද ඉක්මවා යන බව පැහැදිළි ව පෙනී ගොස් ඇත. ශ‍්‍රී ලංකාව එවකට පාලනය කළ සුදු ජාතිකයන් විසින් විවිධ පුරාවස්තු පිළිබඳ ව සොයාබැලීම සඳහා හැරී චාල්ස් පර්වියස් බෙල් මහතා යටතේ පුරාවිද්‍යා සමීක්‍ෂණය (Archaeological Survey of Ceylon) 1890 දී පිහිටු වීමටත් පෙර කාලයක සිට ලංකාවේ ගල් යුගයේ මානවයා පිළිබඳ සොයාබැලීමේ උනන්දුව ආරම්භ වී ඇත. 19 වැනි සියවසේ දී යුරෝපයේ මානවයාගේ පෞරාණිකත්වය පිළිබඳ ඇති වූ දැනුම හා උනන්දුව ලංකාව කෙරෙහි ද ඍජු ආකාරයෙන් බලපා ඇති ආකාරය පෙනී යයි. චාල්ස් ඩාවින් මහතා (Charles Darwin) විසින් පරිණාමවාදය පිළිබඳ ඉදිරිපත් කළ අදහසින් ප‍්‍රබෝධමත් වූ යුරෝපීය ජාතීකයින් මෙතෙක් පැවති ආගමික මැවීම්වාදී අදහස් වලින් ඈත් වී මිනිසාගේ පෞරාණිකත්වය පිළිබඳ සොයා බැලීම කෙරෙහි උනන්දු විය. යුරෝපය කෙන්ද්‍ර කරගනිමින් සිදු වූ මෙම උද්‍යෝගයේ ප‍්‍රතිඵලයක් වශයෙන් ලංකාවේ සිටි යුරෝපීයයන් විසින් මේ පිළිබඳ උනන්දුවක් ඇතිකරගෙන මානවයා ගේ පෞරාණිකත්වය පිළිබඳ සොයාබැලීම සඳහා යොමු වූ බව පෙනී යයි. විශේෂයෙන් ම අප‍්‍රිකානු හා ආසියානු කලාපයේ රටවල පැරණි ජනකොටස් කෙරෙහි මෙම ආකර්ශනය වඩාත් වැඩි වූ බව පෙනී යයි.

ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික අධ්‍යයන සිදු වු ආකාරය හා ඒවායේ ලක්‍ෂණ විග‍්‍රහ කර බලන විට අවස්ථා කීපයක විශේෂ ලක්ෂණ පවතින බව හඳුනාගත හැකි වේ. ඒ අනුව, ලංකවේ ප‍්‍රාග් ඓතිහාසික අධ්‍යයන ආරම්භ වූ බවට සාධක ඇති 1885 වර්ෂයේ සිට වර්තමානය දක්වා කාලය ප‍්‍රධාන පර්ච්ඡේද නැතිනම් අවධි 3කට බෙදා හඳුනාගත හැකි වේ. එනම්, 1. ආරම්භයේ සිට ක‍්‍රිස්තු වර්ෂ 1939 දක්වා අවධිය, 2. ක‍්‍රිස්තු වර්ෂ 1939 සිට ක‍්‍රිස්තු වර්ෂ 1969 දක්වා අවධිය හා 3. ක‍්‍රිස්තු වර්ෂ 1969 සිට මේ දක්වා අවධිය ආදී වශයෙනි. මෙතැන් සිට මෙම එක් එක් අවධි පිළිබඳ ව සංක්‍ෂිප්ත ආකාරයෙන් විමසා බලමු.

ආරම්භක අවධිය

robert-bruce-foote-archaeology-lk
රොබර්ට් බෲස් පූටේ (මෙම ඡායාරූපය කේ.ඒ.ආර්. කෙනඩිගේ God Apes and Fossil men කෘතියෙන් උපුටා ගන්නා ලදී.)

ඉන්දියාවේ භූ සමීක්‍ෂණ මණ්ඩලයේ ‘රොබර්ට් බෲස් ෆූටේ’ විසින් මදුරාසිය අසල පල්ලවරාම්හි බොරළු ආවාටයක තිබී පැලියෝලිතික උපකරණයක් ක‍්‍රිස්තු වර්ෂ 1863 දි සොයා ගැනීමෙන් ඉන්දියාවේ ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා පර්යේෂණ නිල වශයෙන් ඇරුඹුණු බව සැලැකිය හැකි වෙයි. වර්තමානයේ පවතින ආකාරයේ පටු පරිපාලන හෝ දේශපාලන සීමා වලට (ඉන්දියාව, ලංකාව, උතුරු පළාත, වයඹ පළාත වැනි සංස්කෘතික සීමා) අනුගත නොවී කලාපීය සංසිද්ධියක් වශයෙන් අවධානය හා අධ්‍යයනය කළ යුතු සංසිද්ධියක් නැතිනම් විෂයක් වශයෙන් ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාව මෙම ලේඛකයා විසින් හඳුනා ගැනේ. එ බැවින් උක්ත සිද්ධිය ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණයන් ගේ ආරම්භක අවස්ථාව වශයෙන් ද සැලකිය හැකි වේ. ඊට සමාන්තර වශයෙන් ශ්‍රී ලංකා භෞමික පරිස්ථිතිය තුළ ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණ ක‍්‍රිස්තු වර්ෂ 1885 දි පමණ ආරම්භ වේ. මෙම ආරම්භකයින් පුරාවිද්‍යාඥයින් නොවන අතර (මේ වන විය පුරාවිද්‍යාව විෂයක් වශයෙන් වර්ධනය වී නොතිබිණ.) ආරම්භක සමයේ විවිධ ක්‍ෂේත‍්‍රයනට අයත් විවිධ වෘත්තිකයන් විසින් ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණ සිදුකර ඇත. ලංකාවේ විවිධ ස්ථානයන් ගේ පොළොව මතුපිට විසිරී පැතිරී ඇති තිරුවාණා (quartz), කහඳ (chert) වැනි ගල් වලින් සකස් කරන ලද මෙවළම් රැස් කිරීම මෙම පර්යේෂණයන් ගේ ආරම්භක කාර්යය විය. එ මගින් ගල් ආයුධ භාවිත කළ මිනිස් කොට්ඨාසයක් ලංකා පොළොවේ වාසභූමි කොටගෙන ජීවත් වූ බව ඔවුන් විසින් සාධක ඉදිරිපත් කර ඇත. මෙම මෙවළම් එකතු කිරීම හා අර්ථදැක්වීම් යුරෝපීය ප‍්‍රදේශ වලින් ලැබුණු සාධක සමඟ අර්ථකතනය කිරීමට මෙම පුද්ගලයින් උනන්දු වී ඇත්තේ නිරායාසයෙනි.

hand-axe-madras-india-pallawaram-r-b-foote
රොබර්ට් බෲස් පූටේ විසින් පළමුවෙන් ම සොයා ගන්නා ලද අත් පොරොව (මෙම ඡායාරූපය කේ.ඒ.ආර්. කෙනඩිගේ God Apes and Fossil men කෘතියෙන් උපුටා ගන්නා ලදී.)

කීට විද්‍යාඥයකු වූ ඊ. ඊ. ග‍්‍රීන් (E.E. Green) විසින් 1885 දි පමණ පේරාදෙණිය, නාවලපිටිය, පූඬළුඔය වැනි මධ්‍යම කඳුකරයට අයත් ස්ථාන වලින් කහඳ හා තිරුවාණා පාෂාණ වලින් සකස් කරන ලද පතුරු මෙවලම් සොයාගත් බව වාර්තා වන අතර මෙය ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණයන් ගේ පැරණි ම පිළිබිඹුව බව විවිධ විද්වතුන් විසින් පෙන්වා දී ඇත. ඉන් අනතුරු ව, වැවිලිකරුවකු වූ ජෝන් පෝල් (John Pole) මස්කෙළිය, දිඹුල, දික්ඔය, බගවන්තලාව, නුවරඑළිය, මාතලේ, මඩොල්සීම, ගාල්ල, මාන්කුළම යන ස්ථානයන්ගේ විවිධ ආකාරයේ ගල් ආයුධ රැස්කළ බව දැකගත හැකි වේ. මොහු විසින් 1913 දී තමන් විසින් සිදුකරන ලද අධ්‍යයන පිළිබඳ ව විස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කර ඇත. එම වාර්තාවේ දී මොහු ඔහුට හමු වූ කහද මෙවළම් පුරාශිලා යුගයට අයත් බවත් තිරුවාණා මෙවලම් නවශිලා නවශිලා යුගයට අයත් බවත් පෙන්වා දීමට උත්සාහ කර ඇත.

green-peradeniya-sri-lanka-prehistory
ග්‍රීන් විසින් මහනුවර ප්‍රදේශයෙන් සොයා ගන්නා ලද තිරුවාණා ගල් මෙවළමක්

එයින් පසු ව සුප‍්‍රකට ස්විස් ජාතික මානව විද්‍යාඥයන් දෙපොළක් වූ පී. සැරසින් හා එෆ්. සැරසින් (P. Sarasin & F. Sarasin) දෙසොහොයුරන් ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික අවධිය පිළිබඳ ව අවධානය යොමු කර ඇත. මොවුන් විසින් මීට ඉහත අධ්‍යයනය සිදුකළ සෙලිබීස් දිවයින (Celebes Islands) තුළ සිදුකරන ලද පර්යේෂණ දැනුම ලංකාවේ පර්යේෂණ ආරම්භ කිරීම හා පවත්වාගෙන යාම සඳහා පිටිවහලක් වූ බව සිතිය හැකි වේ. එම දැනුම අනුව ලංකාවේ විවිධ ප‍්‍රදේශ වලින් හමුවන ගල් ආයුධ මිනිස් නිර්මාණ බව ඔවුන් විසින් පෙන්වා දි ඇත. විවිධ පුද්ගලයින් විසින් එක්රැස් කරන ලද ගල් ආයුධ මිනිසුන් විසින් සිදකරන ලද නිර්මාණ නොව ස්වාභාවික ව නිර්මාණය වු ඒවා බවට සමහර පුද්ගලයින් විසින් අදහස් දැක්වීම නිසා මෙම පෙන්වා දිම වැදගත් වේ. සැරසින් සොහොයුරන් පළමු ව ලංකාවේ දකුණු පළාතේ තෙළුල ගුහාව හා ගල්ගේ ගුහාව පර්යේෂණයට ලක්කර සත්ත්ව අවශේෂ හා තිරුවාණා ගල් මෙවළම් අනාවරණය කරගැනීමට සමත් විය. මෙයින් පසු ව බුත්තල හා ඔක්කම්පිටිය ප‍්‍රදේශයේ ස්ථාන අධ්‍යයනය කළ ද එම ස්ථාන වලින් ප‍්‍රාග් ඓතිහාසික සාධක අනාවරණය කර ගැනීමට සමත් ව නැත.

එයින් පසු ව මොවුනගේ අවධානය යොමු වී ඇත්තේ ලංකාවේ පැරණි ම මිනිසුන් ලෙස සැලකූ වැද්දන් ජීවත් වූ ප‍්‍රදේශ වන බිබිල හා නිල්ගල ප‍්‍රදේශ වෙතයි. මොවුන් මේ අතර ගංගොඩදෙණිය ගුහාව කැනීමට ලක්කොට ඒ මගින් යම් ප‍්‍රතිඵලයක් ලැබීමට සමත් වූ අතර මෙම කැනීමේ වැදගත් කරුණක් වන්නේ එම ගුහාවේ පස් තට්ටු නැතිනම් පාංශු ස්තරණය පිළිබඳ සැලැකිල්ලක් දක්වා තිබීමයි. සැරසින් දෙපොළ විසින් යකුන්ගේහෙළ ගංගොඩදෙණිය ගුහාව කැනීමට ලක් කරන ලද අතර එයින් මානව සැකිල්ලක් අනාවරණය කරගැනීමට සමත් වී ඇත. එයින් පසු ව මැටිගහආර ගුහාව හා ඇකීරියන්කුඹුර ප‍්‍රදේශයේ ගොන්ගීනේ ගුහාව කැනීමට ලක් කළ ද සාර්ථක ප‍්‍රතිඵළ අත්කර ගැනීමට සමත් වී නැත. මෙම කටයුතු වලින් අනතුරු ව සැරසින් දෙ සොහොයුරන් ගේ අවධානය ලංකාවේ මධ්‍යම කඳුකරය වෙත යොමු විය. මහනුවර හා බණ්ඩාරවෙල ප‍්‍රදේශයෙන් මතුපිටින් මෙවළම් සොයාගත් අතර මහනුවර, ගම්පොළ, නාවලපිටිය ප‍්‍රදේශයේ ද ගල් මෙවලම් රැස් කර ඇත. මෙම ගල් මෙවළම් ස්විට්සර්ලන්තයේ බේසල් නුවර කෞතුකාගාරයේ ඇති බව සඳහන් වේ. මොවුන් විසින් ජෝන් පෝල් විසින් එක්රැස් කර තිබූ ගල් මෙවළම් නැවැත පරික්‍ෂාවට ලක් කර ඇත. 1909 දි මොවුන් ලංකාවේ සිදුකළ විවිධ කාර්යයන් අළලා තම වාර්තාව ඉදිරිපත් කරන ලද අතර ලෝක මට්ටමින් පවා ප‍්‍රාග් ඉතිහාසය සම්බන්ධයෙන් වර්ධනයක් නොතිබූ යුගයක මෙවැනි සාර්ථක වාර්තාවක් ඉදිරිපත් වීම ඉතා වැදගත් සංසිද්ධියක් වශයෙන් පුරාවිද්‍යාඥයින් විසින් පෙන්වා දී ඇත. මෙම වාර්තා මඟින් ලංකාවේ ගල් ආයුධ බටහිර යුරෝපයේ ගල්ආයුධ සමඟ සැසැදිම මගින් ඒවා ඉහළ පුරාශිලා යුගයට අයත් බව හා යුරෝපයේ මැග්ඩලේනියන් සංස්කෘතිය (Magdalenian) හා සැසදෙන බව ද පෙන්වා දෙන ලදි. මෙවැනි කරුණු නිසා සැරසින් සොහොයුරන්ගේ පර්යේෂණ බෙහෙවින් වැදගත් බව නීර්ණය කළ හැකි ය.

රජයේ ප‍්‍රධාන ඛනිජ සම්පත් පර්යේෂකයා වූ පාර්සන්ස් (Parsons) ද ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික අධ්‍යයන සදහා දායකත්වය දක්වා ඇත. ඔහු විසින් බඹරබොටුව ආසන්නයේ දික්මුකලාන තේ වත්තේ පිහිටි ගුහාවක් (බෙලිගල් ගේ) කැනීමට ලක්කොට අඩි 8ක් ගැඹුරින් මිනිස් සැකිලි කොටස් කීපයක් අනාවරණය කොට ගන්නා ලදි. එමෙන් ම ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික යුගයේ දි ශිලාමෙවලම් සඳහා මූලික වශයෙන් ක්වාට්ස් හා කහද පාෂාණ යොදාගෙන ඇති බව පෙන්වා දෙන ලදි. පසු ව චාල්ස් හාට්ලි විසින් පාර්සන්ස් විසින් සිදුකළ මෙම කැනීමෙන් මතු වූ පස් දැලකින් හලාවඩාත් සුමට ආකාරටයන් පරික්ෂාවට ලක්කර ඇත.

ජි. බි. ගාඞ්නර් (G.B. Gardner) විසින් බෙලිගල්ගෙට නැගෙනහිරින් වූ බෙලිහුල්ඔය ප‍්‍රදේශයේ ශිලා මෙවලම් රැස්කළ අතර ම දිවයිනේ විවිධ ප‍්‍රදේශවල පර්යේෂණ දියත් කළේ ය. ලෙවිස් (Lewis) විසින් දිවයිනේ විවිධ ප‍්‍රදේශවල පර්යේෂණ දියත් කල අතර ඒවා අතුරින් මාතර දිස්ත‍්‍රික්කයේ ඌරුමුත්ත ගල්ගුහාව සිදුකළ කැනීම වඩාත් සැලකිල්ලට ලක් වී ඇත.

වැද්දන් හා සිංහල ජනයා පිළිබඳ ව මානවවංශ විද්‍යාත්මක පර්යේෂණ රැසක් දියත් කරමින් වාරිමාර්ග ඉංජිනේරුවෙකු වූ හෙන්රි පාකර් (Henry Parker) විසින් ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික අධ්‍යයන ක්‍ෂේත‍්‍රය වෙත දායකත්වය සැපයී ය. මොහු විසින් ලංකාවේ ජීවත් වන සිංහල, වැදි හා දෙමළ ජනයා සතු ව ඇති විවිධ ජනප‍්‍රවාද පිළිබඳ ව තාර්කික අදහස් ඉදිරිපත් කිරීමට උත්සාහ ගන්නා ලදි. ඒ අතර වැදි ජනයා ගේ ප‍්‍රභවය පිළිබද අදහස් දක්වා ඇති අතර ම ලංකාවේ වෙසෙන වැද්දන් දිවයිනේ පැරණි පාළි වංසකතාවන් ගේ දැක්වෙන යක්‍ෂයන් ගේ මුණුපුරන් විය හැකි බව ප‍්‍රබල වශයෙන් පළමු ව පෙන්වා දීමට උත්සාහ කර ඇත. මොහු විසින් රචනා කරන ලද Ancient Ceylon: an account of the aborigines and of part of the early Civilization Asian Educational Survices, New Delhi. (1909) ග‍්‍රන්ථය මගින් විවිධ කේෂ්ත‍්‍ර අරඹයා පැතිර ගිය තමා ගේ දැනුම පෙන්නුම් කොට ඇත. පුරාතන ලංකාව නමින් මේ පොතේ පරිවර්තනයක් දැන් සිංහල බසින් ප‍්‍රකාශයට පත් වී ඇත. පාකර් විසින් හේනේබැද්ද බැඳියගල්ගේ හා ඇබිලිත්ත ප‍්‍රදේශයේ මුල්ලේගම ගල්ගෙය කැනීමට ලක් කළේ ය. සිදුකළ කැනීම් මගින් පස් තට්ටුවල පිහිටීම අධ්‍යයනය කරමින් ඓතිහාසික අවධියෙන් යට පිහිටි ස්ථර වල පිහිටීම අධ්‍යයනය කරන ලද අතර මොහු ලංකාවේ දී පළමු වතාවට ශිලා මෙවලම් වර්ගීකරණය කිරීමට උත්සාහ ගන්නා ලදි.

charles-gabriel-seligman-archaeology-lk
සි.ජී. සෙලිග්මාන් (මෙම ඡායාරූපය https://en.wikipedia.org/wiki/Charles_Gabriel_Seligman වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී)

වර්තමානයේ දී ලෝකයේ විශිෂ්ට ම මානව විද්‍යා පර්යේෂණයක් දියත් කළ මානව විද්‍යාඥයින් වශයෙන් ගෞරවයට ලක් කෙරෙන සි. ජී. සෙලිග්මාන් හා බී. ඉසෙඞ්. සෙලිග්මාන් (Charles Gabriel Seligman & Brenda Zara Seligman) යුවල ගේ දායකත්වය වර්තමාන ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා අධ්‍යයනයන සදහා බෙහෙවින් යොදාගැනෙන බව පෙනී යයි. ඔවුන් විසින් සිදුකළ අද්‍යයන අතුරින් වැද්දන් පිළිබද ව සිදුකර ඇති The Veddas – Cambridge University Press ඉතා වැදගත් වශයෙන් කැපී පෙනේ. වැද්දන් සම්බන්ධයෙන් මොවුන් විසින් සිදුකළ අධ්‍යනයේ ප‍්‍රශස්ථ මට්ටමේ සිංහල පරිවර්තනයක් මෑතක ඵලකර ඇත. (ආශ‍්‍රිත ග‍්‍රන්ථ හා ලිපි නාමාවලිය බලන්න.) මොවුන් විසින් හේනේබැද්ද ප‍්‍රදේශයේ බැඳියගල්ගේ කැනීමට ලක්කොට එම ගුහාවේ ඓතිහාසික කාලයෙන් ඔබ්බේ වූ පස් තට්ටුවේ ගල් ආයුධ අන්තර්ගත වූ බව පෙන්වා දී ඇත. සි. ජී. සෙලිග්මාන් විසින් ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික ගල් ආයුධ ”සංඛ්‍යාව” අනුව වර්ග කිරීමේ අදහස පළමු වරට ඉදිරිපත් කර කරන ලදි. සැරසින් සහෝදරයින් විසින් ගල් මෙවළම් රැස්කළ බණ්ඩාරවෙළ ප‍්‍රදේශයේ සෙල්ග්මාන් යුවල විසින් ද ගල්මෙවළම් රැස් කර ඇත. මෙම ප‍්‍රදේශයේ හමු වන මෙවලම් පුරාශිලා යුගයට අයත් බවට සැරසින්වරු දැක් වූ අදහස් ප‍්‍රතික්‍ෂ්ප කරමින් මෙම ආයුධ නවශිලා යුගයට අයත් බවට අදහස් දක්වා ඇත. මොවුන් විසින් එක්රැස්කල ගල් ආයුධ දැනට ඔක්ස්පොර්ඞ් හි පීට් රිවර්ස් කෞතුකාගාරයේ ඇති බව සමහර විද්වතුන් සදහන් කර ඇත.

ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික අධ්‍යයනයන් ගේ වැදගත් නියෝජනයක් දැක් වූ චාල්ස් හාට්ලි (Charles Hartley), පාර්සන්ස් විසින් අධ්‍යයනය කළ බෙලිගල්ගේ ගුහාව දිගට ම කැනීම් කළ නමුත් විශාල පාෂාණ කොටස් හමුවීම නිසා පිහිටි පොළොව දක්වා කැනිම් කිරීමට හැකි වී නැත. හාට්ලි විසින් බණ්ඩාරවෙල, දියතලාව, හපුතලේ, කොස්ලන්ද, පට්ටිපොළ, රාගල, නානුඔය, රදැල්ල, නෝවුඞ්, දික්ඔය, දිඹුල, කොග්ගල, හැටන්, මස්කෙළිය, බගවන්තලාව, උලපනේ, නාවලපිටිය, ගම්පොල, දොළොස්බාගේ, පේරාදෙණිය, කඩුගන්නාව, මහනුවර, කුරුණෑගල, පුත්තලම, හබරණ, පොළොන්නරුව, හම්බන්තොට, බෙලිගල්ගේ, ආදි වශයෙන් ලංකාවේ බොහෝ ස්ථානයන් ගේ තම අධ්‍යයන සිදු කර ඇත. මොහු විසින් එක්රැස් කරන ලද ගල් ආයුධ වලින් විශාල ප‍්‍රමාණයක් කේම්බි‍්‍රජ් හි ඩවුනින් වීදියේ පුරාවිද්‍යා හා මානව විද්‍යා කෞතුකාගාරය හා ඔක්ස්පොර්ඞ් පීට් රිවර්ස් කෞතුකාගාරය තැම්පත් කර ඇති බව පෙන්වා දී ඇත. මොහු ගේ ගවේෂණ තුළින් ශිලාමෙවළම් දහස් ගණනක් සොයාගෙන ඇත

vedda-dambana-sri-lanka
ශ්‍රී ලංකාවේ වැදි ජනයා (මෙම ඡායාරූපය http://magnificentisland.blogspot.com වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.)

සැරසින්වරු ගොඩනැගූ අඩිතාලම පුළුල් කිරීමට හාට්ලි සමත් වූ අතර මේ දක්වා රැස්කර තිබූ ගල් මෙවළම් රැස්කර ඒවා නවශිලා යුගයට අයත් මෙවලම් වලට සමාන බවට අදහස් දැක්විය. හාට්ලි විසින් 1913 දී කුඩා ගල් මෙවළම් පිග්මි (Pigmy) යනුවෙන් හදුන්වා ඇති අතර මෙවැනි ගල් ආයුධ දැන් ක්‍ෂුද්‍රශිලා ගල් ආයුධ වහයෙන් හදුන්වනු ලැබේ. මෙවැනි ක්‍ෂද්‍රශිලා මෙවලම් ලැබෙන ප‍්‍රදේශ ලෙස තෙත් කලාපයේ නැතිනම්, D පාරිසරික කලාපය් උස්භූමි ආශ‍්‍රිත ව පිහිටි මාතලේ, නාවලපිටිය,පට්ටිපොල, මහඑළිය, දියතලාව හා යාපනයේ මුහුදුබඩ වෙරළ තීරය දක්වන ලදි.

අඩසඳ (Lunate) හැඩයේ ජ්‍යාමිතික ගල් මෙවළම් රැස්කිරීමට මොහු සමත් වූ අතර ම ලංකාවේ ප‍්‍රථම වතාවට ශිලාමෙවළම් වර්ගීකරණයක් ඉදිරිපත් කළේ හාට්ලි විසිනි. නමුත් අවාසනාවන්ත කරුණක් වන්නේ තමන් විසින් සිදුකළ අධ්‍යයන සම්බන්ධයෙන් සෑහීමට පත් විය හැකි මට්ටමක වාර්තාවක් ඉදිරිපත් කිරීමට හාට්ලි සමත් වී නොමැති වීමයි.

ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික අධ්‍යයනයන්ගේ ආරම්භක සමයේ සිටි ඉතා ම වැදගත් හා වෙනත් ම ආරක් ගත පර්යේෂකයෙන් වශයෙන් භූ විද්‍යාඥයකු වූ ඊ. ජේ. වේලන්ඞ් (E.J. Wayland) හදුනාගත හැකි වේ. ඔහු ලංකා රජයේ සහකාර ඛනිජ සම්පත් ගවේෂකයකු වහයෙන් සේවය කළ වෘත්තීකයෙකි. නූතන යුගයේ බිහි වූ විශිෂ්ට ම ප‍්‍රාග් ඓතිහාසික පුරාවිදඥයා වන ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගල මහතා කෙරෙහි මොහුගේ ආභාසය ලැබී ඇති බව කැළුම් මනමේන්ද‍්‍ර-ආරච්චි මහතා විසින් පෙන්වා දී ඇත. මොහු විසින් ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය සඳහා භූ විද්‍යා හා දේශගුණ තත්ත්ව බලපෑ ආකාරය පිළිබද ව විශේෂ අවධානය යොමුකර ඇත. ඒ සදහා ඔහු සතු දැනුම අනිවාරයයෙන් ම උපකාර වන්නට ඇත. වේලන්ඞ් විසින් ලංකාවේ වයඹදිග කලාපයේ කලාඔය හා මෝදරගම්ආරු තැම්පතුව (Plateau Deposits) පිළිබඳ ව අධ්‍යයනය කරන ලදි. එ මෙන් ම ගිණිකොණදිග වූ උඩපොතාන අර්ධ ශුෂ්ක ප‍්‍රදේශයේ සිට මුලතිව් දක්වා කලාපය ද පරික්‍ෂා කරන ලදි. මොහු මෙම ප‍්‍රදේශයේ වඩා යටින් ලැබෙන බොරළු තට්ටුව ප්ලයිස්ටෝසීන ග්ලැසියර අවධියට අයත් බවත් මතුපිට රතු පැහැති වැලි පස වියළි දේශගුණික තත්ත්වයක් පෙන්නුම් කරන බවත් දැක් විය. වර්තමානයේ භූ විද්‍යාඥයින් විසින් Iranamadu Sequence හා පුරාවිද්‍යාඥයින් විසින් ඉරණමඩු පාංශු සංකීර්ණය (Iranamadu Formation- IFm) යනුවෙන් හදුනාගන්නා රතු පාංශු තැම්පතුව පිළිබද පළමු ව පුරාවිද්‍යාත්මක දෘෂ්ටියකින් යුතු ව අවධානය යොමු කරමින් අධ්‍යයනය සිදුකර ඇත්තේ වේලන්ඞ් විසිනි. 1970/80 දශකයන් හී දි මේ පාංශු තැම්පතුව පිළිබඳ ව ආචාර්ය එස්.යු. දැරණියගල මහතා විසින් වැඩිදුර අවධානය යොමුකරමින් ප‍්‍රශස්ථ මට්ටමේ අධ්‍ය්‍යනයක් සිදුකර ඇත. වේලන්ඞ් විසින් ලංකාවේ අතීතය පිළිබද ව ප‍්‍රකාශන ගණනාවක් සිදුකර ඇති අතර ඒ අතුරින් 1919 දී ජාතික කෞතුකාගාරයේ නිල ප්‍රකාශනය වූ Spolia Zeylanica සඟරාවෙන් ප‍්‍රසිද්ධියට පැමිණ වූ Outline Of The Stone Ages Of Ceylon ලිපිය වඩාත් සැලකිල්ලට ලක් වී ඇත. මෙම ප‍්‍රකාශනයේ දී මොහු විසින් ගල් මෙවළම් කඳුකර වර්ගය (Hill Series) හා පහත් බිම් වර්ගය (Lowland Series) යනුවෙන් වර්ග කර ඇත. චාල්ස් හාට්ලි වැනි පර්යේෂකයින් විසින් බණ්ඩාරවෙළ ප‍්‍රදේශයේ රැස්කළ ශිලාමෙවළම් විශාලත්වයෙන් කුඩා වුව ද ඒවා පූර්වශිලා හා නවශිලා යුගය අතර කාලයට අයත් බව ද ප්ලැටෝ තැම්පතු වල අන්තර්ගත පහත්බිම් ශ්‍රෙණියේ ආයුධ වර්ගය වඩා විශාල ගල් මෙවළම් වන අතර එවා ඔහු විසින් යුරෝපයේ මධ්‍යම පුරාශිලා නැතිනම් මුස්ටේරියන් තාක්ෂණය (Mousterian) සමඟ සැසදෙන බව සඳහන් කර ඇත.

kudiramalai-point-mannar-sri-lanka-archaeology-lk-chandima-ambanwala
ඉරණමඩු පස් සැකැස්ම – කුදිරමලේ තුඩුව

ජොන් ස්ටීල් (John Still) හා ඒ. එම්. හෝකාර්ට් (A.M. Horcart) විසින් ද ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා අධ්‍යයන සඳහා යම් දායකත්වයක් සපයා ඇත. ස්ටීල් විසින් ලංකාවේ වැදි ජනයා හා පැරණි ජීවන ක‍්‍රමය පිළිබඳ අදහස් ඉදිරිපත් කර ඇත. හාවඞ් සරසවියේ පශ්චාත් උපාධි සිසුවෙකු වූ ඊ. සී. වෝර්මන් (E.C. Wormann) විසින් 1938-39 කාලයේ දී ලංකාවේ වයඹදිග කලාපයේ වෙරළ තීරය පරික්‍ෂාවට ලක්කර ගල් ආයුධ රැස්කර ඇත. මොහු විසින් රැස්කළ ගල් ආයුධ ඇමරිකාවේ හාවඞ් සරසවියේ පීබොඩි සරසවියේ කෞතුකාරයේ ඇති බව දැක් වේ. ඔහු බණ්ඩාරවෙළින් ලැබුණු ශිලාමෙවළම් පරික්‍ෂාකර ඒවා මධ්‍යශිලා මෙවළම් ලෙස හඳුනාගන්නා ලදී. එ මෙන් ම වේලන්ඞ් විසින් දැක්වූ ප්ලැටෝ ඩිපොසිට්වලට අයත් මෙවළම් ද මධ්‍යශිලා යුගයට අයත් බව හඳුනා ගන්නා ලදි.

එන්. ඒ. නූන් හා එච්. වී. වී. නූන් (N.A. Noon & H.V.V. Noon) විසින් කදුකරයට අයත් බණ්ඩාරවෙළ ප‍්‍රදේශය නැවැත පරික්‍ෂාවට ලක්කරන ලදි. ඔවුන්ගේ පරීක්‍ෂණ වල දි ගල් මෙවලම් 2000ක් පමණ සොයාගත් අතර මේවා විවිධ පදනම් අනුව විශ්ලේශනය කිරීම වැදගත් වේ. මොවුන් විසින් ලංකාවේ ශිලාමෙවළම් එක ම සංස්කෘතියකට අයත් බවත් එය බණ්ඩාරවෙළ සංස්කෘතිය ලෙස සැලැකීම සුදුසු බවට අදහස් දක්වා ඇත.

මේ දක්වා ආරම්භක අවධියේ ප‍්‍රාග් ඓතිහාසිකපර්යේෂණ පිළිබඳ ව අවධානය යොමු කරන විට ඒ හා සම්බන්ධ ලක්ෂන කිපයක් හඳුනාගත හැකි වේ. එනම්, 1. විදේශිය පුද්ගලයින් විසින් මේ පිළිබඳ අධ්‍යයනය සිදුකිරීම, 2. පුරාවිද්‍යාඥයින් නොවන වෙනත් කේෂත‍්‍රයන් හා සම්බන්ධ විවිධ වෘත්තිකයින් විසින් අධ්‍ය්‍යන සිදු කිරීම ඒ අතුරින් කැපී පෙනේ. එමෙන් ම බොහොවිට ප‍්‍රාග් ඓතිහාසික සංස්කෘතියට අදාළ ගල් මෙවළම් හා මානවවංශ විද්‍යා සාධක වෙත වැඩි නැඹුරුවක් දැක්වීමත් තවත් ලක්ෂණයකි. හඳුනාගත හැකි තවත් විශේෂම ලක්ෂණයකි මෙම පර්යේෂණයන්ගෙන් සැලකිය යුතු බහුතර ප්‍රමාණයක් ලංකාවේ මධ්‍යම කඳුකර කලාපය වෙත යොමු වී පැවතීමයි. එය පසු ව වෙනස් වන බව පෙනී යයි. කෙසේ නමුත් ලෝකයේ ම ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා පර්යේෂණ සමඟ සංසන්දනය කරමින් බැලීමේ දී විශිෂ්ට ආකාරයේ දත්ත සම්භාරයකින් ලංකාව සමන්විත බව හා විධිමත් ප‍්‍රාග් ඓතිහාසික පර්යේඹන මාලාවක් සඳහා ක‍්‍රමික පදනමක් ලබාදීමට සමත් වී ඇති බව තහවුරු වෙයි. ඒ අනුව වර්තමානයේ ප‍්‍රශස්ථ මට්ටමේ වර්ධනයක් අත්කොටගෙන ඇති ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාවේ පදනම සාරවත් හා විධිමත් දෘෂ්ටීයක් සහිත ව හැඩගැසුණු බව තීරණය කිරීමට පුළුවන.

 – – ඔබගේ ප්‍රතිචාර ගෞරවයෙන් අපේක්ෂා කරමු – –

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.