චන්දිම බණ්ඩාර අඹන්වල

පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ.

chandima-ambanwala-sri-lanka-archaeology-prehistory-epigraphy-epistomology
චන්දිම බණ්ඩාර අඹන්වල

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණයන් ගේ අතීතයේ පවත්නා ගුණාත්මක ලක්ෂණ අනුව අවස්ථා තුනකට බෙදා දැක්විය හැකි ආකාරය මෙයට ඉහත ලිපියේ දී සාකච්ඡාවට බඳුන් කරනු ලැබු අතර එයින් පළමු නැති නම් ආරම්භක අවධිය පිළිබඳ ව දැනටමත් සංක්‍ෂිප්ත අයුරෙන් සාකච්ඡා කරනු ලැබ ඇත. ඒ බැවින් ලංකා ප‍්‍රාග් ඓතිහාසික අධ්‍යයනයන් ගේ ආරම්භක අවධියෙන් පසු අවධිය වන අතරමැදි අවධිය පිළිබඳ ව මෙම ලිපියේ දී අවධානය යොමු කරනු ලැබිය හැකි වේ.

දිවයිනේ ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණයන්ගේ අතීතය අධ්‍යයනය කිරීමේ දි හමු වන දෙ වන අවස්ථාව වන අතරමැදි අවධියට අයත් ලක්ෂණ ක‍්‍රිස්තු වර්ෂ 1939-1969 කාලය තුළ පෙන්නුම් කරනු ලැබේ. මෙම අවධිය සම්බන්ධයෙන් හඳුනාගත හැකි වැදගත් ම ලක්ෂණය වනුයේ සෑම අතින් ම මෙම අවධිය සතු සංක‍්‍රාන්ති ලක්ෂණයි. ආරම්භක අවධිය සතු න්‍යයාත්මක ලක්ෂණ ද අඩුවැඩි වශයෙන් මෙම අවධියේ පවතින බව දැකගත හැකි අතර ම නූතන අවධීය වෙත ගමන් කිරීම සඳහා ස්ථිරසාර පදනමක් මෙම අවධියේ දී සැකසෙන බව ද හඳුනාගත හැකි වේ. දැකගත හැකි තවත් වැදගත් ම ලක්‍ෂණයක් වනුයේ, ආරම්භක අවධියේ දී දැකගත හැකි වූ ආකාරයේ වූ විදේශික පර්යේෂකයන්ගෙන් ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික අධ්‍යයන දේශීය විද්වතුන් අතට හුවමාරු වීමයි. එ සේ නො මැති නම් මෙම අවධීයේ දී ලාංකේය විද්වතුන් ප‍්‍රාග් ඓතිහාසික අධ්‍යයන වෙක එළැඹෙන ආකාරය හා ඔවුන් ගේ දායකත්වයේ වර්ධනයක් දැකගත හැකි වේ. මෙතෙක් නොපැවති ආකාරයෙන් විධිමත්, සංවිධානාත්මක හා විශාළ පරිමාණයෙන් ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණ දියත් වීම ආරම්භ වෙයි. ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව වැනි විධිමත් හා සංවිධානාත්මක රාජ්‍ය ආයතන ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික අධ්‍යයන සඳහා පිවිසෙන බවක් ද දැකගත හැකි වේ.

p-e-p-deraniyagala-prehistory-sri-lanka-archaeology-lk
අාචාර්ය පී.ඊ.පි. දැරණියගල මහතා

මෙම අවධියේ ප‍්‍රමුඛ පර්යේෂකයා වශයෙන් ක‍්‍රිස්තු වර්ෂ 1939-1963 කාලයේ දී කොළඹ ජාතික කෞතුකාගාර අධ්‍යක්‍ෂකවරයා වශයෙන් සේවය කළ ආචාර්ය පෝල් එඞ්වඞ් පීරිස් දැරණියගල (Paules Edward Pieris Deraniyagala 1900 – 1976) මහතා හඳුනාගත හැක. කීර්තිමත් ඉතිහාසඥයෙකු මෙන් ම විද්වතෙකු වූ ආචාර්ය පෝල් ඊ. පීරිස් (Paul Edwerd Pieris) මහතා ගේ පුත‍්‍රයෙකු වූ පී. ඊ. පී. දැරණියගල මහතා ක්‍ෂේත‍්‍ර ගණනාවක් කෙරෙහි දක්‍ෂතාවක් පෙන්නුම් කළ අයෙකි. සත්ත්ව විද්‍යාව ඔස්සේ මානව විද්‍යාවටත් එ තැනින් පුරාවිද්‍යාවේ ප‍්‍රාග් ඓතිහාසික අධ්‍යයන දෙසටත් අවතීර්ණ වූ මෙ තුමා ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාව කෙරෙහි දක්වා ඇත්තේ අතිශය වටිනා දායකත්වයකි. archaeology.lk වෙබ් කණ්ඩායම විසින් ප්‍රකාශයට පමුණුවනු ලබන ‘දිනිති – ශ්‍රී ලාංකේය පුරාවිද්‍යාව’ විද්‍යුත් සඟරාව සඳහා කැළුම් නලින්ද මනමේන්ද-ආරච්චි මහතා විසින් රචනා කරන ලද පී.ඊ.පී. දැරණියගල මහතා පිළිබඳ ලිපිය (පසුගිය සියවසේ මෙරට බිහි වූ විශිස්ට විද්වතෙක්) කියවීමෙන් මෙ තුමා පිළිබඳ පෞද්ගලික විස්තර හා එ තුමා ගේ ශාස්ත‍්‍රීය සේවය පිළිබඳ දැනගැනීම හැකි වනු ඇත. පී. ඊ. පී. දැරණියගල මහතා විසින් සිදුකර ඇති ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණ ප‍්‍රමාණාත්මක හා ගුණාත්මක අතින් අතීශය පුළුල් වපසරියක පැතිර ඇති බව ඒ සම්බන්ධ ව සිදුකර ඇති ප‍්‍රකාශන ඇසුරු කිරීමේ දී පෙනී යයි. 1958 දී ජාතික කෞතුකාගාර ප‍්‍රකාශනයක් ලෙස එළිදුටු The Pleistocene of Ceylon කෘතිය මෙතුමා විසින් ඇමරිකා එක්සත් ජනපදයේ හාවර්ඞ් සරසවිය වෙත ඉදිරිපත් කරන ලද ආචාර්ය උපාධි නිබන්ධය ඇසුරින් සකස් කර ඇති අතර මෙ තුමා විසින් විවිධ තේමාවන් යටතේ ලියවුණු සියගණනක් වූ කෘති හා ශාස්ත‍්‍රිය ලිපිලේඛන අතර අතර කැපී පෙනේ. ආචාර්ය පී. ඊ. පී. දැරණියගල මහතා විසින් ලංකාවේ අතීතය අධ්‍යයනය කිරීම සම්බන්ධයෙන් දක්වා ඇති දායකත්වය පූර්ණ වශයෙන් මෙම ලිපියෙන් පෙන්වා දී ඇති බව කිසිවෙකු විසින් සැලකිය යුතු නොවේ. ඒ පිළිබද ව පූර්ණ විග‍්‍රහයක් ඉදිරිපත් කිරීම මෙවැනි ලිපි මාලාවකින් පමණක් සිදුකළ හැක්කකි. එ බැවින් මෙ තුළින් සිදුකළ හැක්කේ ආචාර්ය දැරණියගලයන් ගේ කාර්යය කොටස පිළිබඳ සංක්ෂිප්ත විස්තරයක් ආධුනික පාඨකයාට හඳුන්වා දීමක් පමණක් බව සිහිතබාගෙන මෙම ලිපිය කියවීම වැදගත් වේ.

පී. ඊ. පී. දැරණියගල මහතා පළමු ව සිංහරාජ අඩවියේ තුඩාවේ ගල්ගේ කැනීම් කරන ලද අතර 1940 දශකයේ ආරම්භයේ සිට උඩුපියන් ගල්ගේ, බඹරගල, ලූණුගල්ගේ, කුකුලේගම, ලේනම, මඩොල්ගල්ගේ, යක්ගිරිලෙන වැනි ස්ථාන වල කැනීම් සිදුකොට ගල් ආයුධ, සත්ත්ව අවශේෂ හා ශාක අවශේෂ වැනි ප‍්‍රාග් ඓතිහාසික සාධක රැසක් අනාවරණය කොටගෙන ඇත. අනතුරු ව ඔහු ගේ අවධානය ශ‍්‍රීපාද අඩවිය වෙත යොමු කර ඇත. ශ‍්‍රී පාද අඩවියේ පිහිටි කුරුවිට බටදොඹලෙන හා ඒ ආසන්නයේ ම පිහිටා ඇති බටතොටලෙන ගුහාවන් හී පළමුවරට කැනීම් සිදුකර ඇත්තේ මෙතුමා විසිනි. බටදොඹලෙන කැනීම තුළින් ශිලාමෙවළම් මෙන් ම සත්ත්ව අස්ති රැසක් ද සොයා ගත් බව වාර්තා වී ඇත. 1945 දි කුකුළේගම අසල නෙරවාන ගල්ගේ ගුහාව පිළිබඳ ව අධ්‍යයන කර ඇති අතර ම මොණරාගල දිස්ත‍්‍රික්කයේ සියබලාන්ඩුව ප‍්‍රදේශයේ මණ්ඩාගල්ගේ කැනිමට ලක්කර ගල් ආයුධ සොයාගත් බව ද වාර්තා වී ඇත.

minihagalkanda-sri-lanka-palaeolithic-deraniyagala-archaeology-lk
මිනිහාගල්කන්ද (ඡායාරූපය http://trips.lakdasun.org අඩවියෙනි)

දැරණියගල විසින් සොයාබලා ඇත. කඳුකරයේ පිහිටි බණ්ඩාරවෙළට නැගෙනහිරින් වූ රාවණාඇල්ල ගුහාව ද මේ ආසන්නයේ කැනීමට ලක් කර ඇත. මෙම කැනීම මඟින් ශිලා හා අස්ථි මෙවළම් රැසක් අනාවරණය කරගත් අතර මිනිස් හිස් කබලක් ඒ මගින් සොයාගැනීමට ලැබීම වැදැගත් කරුණක් සේ අගය කළ හැකි වේ. 1953 දි සබරගමුවේ, කෑගල්ල අසළ කළුකොළදෙණිය ගල්ගුහාවෙන් පළමු වතාවට කෙටේරි තලයට සමාන ගල්මෙවලමක් සොයාගන්නා ලදි. මෙය නවශිලා තාක්‍ෂණය පිළිබඳ සාධයක් වශයෙන් ද විද්වතුන ගේ අවධානයට පාත‍්‍ර වී ඇත. පැල්මඬුල්ලට නුදුරු බුලත්වත්ත ස්ථානයෙන් බලංගොඩ සංස්කෘතියට නෑකම් කියන මෙවළම් සොයාගෙන ඇත. පසු ව රත්නපුර කබරගල්ගේ ගුහාව, තෙළුල ආසන්නයේ අළුගල්ගේ, විල්පත්තුවේ බොරදියවල ආදි ස්ථානයන්ගේ සිදුකළ පර්යේෂණ අනුව විවිධ ද්‍රව්‍ය සොයාගැනිමට සමත් වී ඇත.

1956-61 කාලයේ දි ඇඹිලිපිටිය ආසන්නයේ වලවේ ගංගාව ඇසුරේ පිහිටා ඇති බෙල්ලන්බැදිපැළැස්සේ සිදුකළ කැනීම ඉතා වැදගත් පුරාවිද්‍යා කැනීමක් ලෙස ලංකාවේ පුරාවිද්‍යා වංශකතාවේ සටහන් වී ඇත. ලංකාවේ වාසය කළ ආදි මානවයාගේ ශරීර ස්වාභාවය පිළිබඳ ව අදහසක් ඇතිකර ගැනීම සම්බන්ධයෙන් නැතිනම් භෞතික මානව විද්‍යාත්මක වශයෙන් වැදැගත් වූ මානව සැකිලි 12ක් පමණ මෙම අවස්ථාවේ දි අනාවරණය කරගැනීමට හැකි විය. මෙය ලංකා ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා පර්යේෂණ අතරතුර සිදු වූ වැදගත් ම සිදුවීමක් වශයෙන් හඳුනාගැනීම අපහසු නොවේ. මේ පිළිබඳ විස්තර යම් ප්‍රමාණයක් එ තුමා ගේ The Pleistocene of Ceylon කෘතියේ ද අන්තර්ගත වී ඇති බව දැකගැනීමට පුළුවන. ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික අවධියේ ජීවත් වූ මිනිසා Homo sapiens නමින් හඳුන්වන නූතන මානව (Modern man) ලක්ෂණ සහිත මානවයෙකු බව විධිමත් අයුරින් තහවුරු කරනු ලැබුයේ පී.ඊ.පී. දැරණියගල මහතා විසිනි. මෙම මානවයා පළමු වරට හොමෝ සේපියන්ස් බලංගොඩෙන්සීස් දැරණියගල (Homo sapiens balangodensis Deraniyagala) නොහොත් බලංගොඩ මානවයා නමින් හඳුන්වනු ලැබූයේ ආචාර්ය පී.ඊ.පී. දැරණියගල මහතා විසින් වීම අතිශය වැදගත් සංසිද්ධියකි. ඒ අනුව ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික මධ්‍යශිලා මානවයාගේ පියා වශයෙන් ආචාර්ය පී.ඊ.පී. දැරණියගල මහතා හඳුනාගනු ලැබූව ද එයට එකහෙලා විරුද්ධවීමට කිසිවෙකු සමත් නොවනු ඇත. (ලංකාවේ ආදිම මධ්‍යශිලා මානවයා බලංගොඩ මානවයා යනුවෙන් හඳුන්වා දුන්න ද ඔහු ලංකාවේ බලංගොඩ ප‍්‍රදේශයට පමණක් සීමා වූ මානවයෙකු නොවේ. මෙම හැදින්වීම ලංකාවේ මධ්‍යශිලා මානවයා පිළිබඳ පොදු හැදිනවීමකි. බලංගොඩ මානවයා ලංකාවේ සෑම ප‍්‍රදේශයක ම ජීවත් වී ඇති බව තහවුරු වී ඇත. පුරාවිද්‍යා විශයයේ සම්මතය අනුව යම් නව සාධකයක් පළමු වරට අනාවරණය වූ ස්ථානය අනුව නම් කිරීමේ සම්ප්‍රදායට අනුගත ව මෙම නාමකරණය සිදුකර ඇති බව සිහතබා ගැනීම වටී. සෙන්ට් ඇචූල් (Saint-Acheul) නම් ස්ථානයෙන් පළමු වරට අනාවරණය වූ අත්පොරෝ ලොව කුමන ස්ථානයකින් හමු වුවද ඒවා මුළින් ම හමු වූ ස්ථානයේ නම වූ ඇචූලියන් අත්පොරෝ නමින් හැදින්වීම උදාහරණයකි.

plan-bellanbendipelessa-1956-61-p-e-p-deraniyagala-prehistory-sri-lanka-archaeology-lk
පී.ඊ.පී. දැරණියගල මහතා විසින් සිදුකරන ලද බෙල්ලන්බැඳිපැලැස්ස කැනීම් පරිශ්‍රය හා කැනීමෙන් අනාවරණය වූ මානව සැකිලි කොටස්

මෙයින් පසු ව ආචාර්ය පී. ඊ. පී. දැරණියගල විසින් මහනුවරට ගිණිකොණදිගින් පිහිටි ස්ත‍්‍රිපුර ගුහාව හා විල්පත්තුවේ ඔට්ටප්පුවේ සිදුකළ ගවේෂණ මඟින් ප‍්‍රාග් ඓතිහාසික අවධියට අයත් ශිලාමෙවළම් අනාවරණය කොටගෙන ඇත. රත්නපුර ආසන්නයේ රනගින්නේ හෙරස්ස ගල්ගේ, බුදුගල්ලෙන හා දිග්ගල්ලෙන ද මොහු විසින් පරික්‍ෂාවට ලක් කරන ලදි. සබරගමුවේ පිහිටි පල්ලේපත්තුවේ ගවරගිරිය අසල මානෙල ගල්ගේ හා කෑගල්ල කිතුල්ගල බෙලිලෙන පරික්‍ෂාවට ලක්කර දත්ත රැසක් අනාවරණය කරගන්නා ලදි. රක්වාන බුත්කන්ද, ඉත්තෑකන්ද හා බුළුතොට ගුහාව මතුපිට සමීක්‍ෂණ මඟින් තිරුවාණා පාෂාණයෙන් හා කහඳ පාෂාණයෙන් සකස් කරන ලද ගල් ආයුධ සොයාගෙන ඇත. ලංකාවේ දකුණු ප‍්‍රදේශයේ හුංගම ආශ‍්‍රිත ව කළ ගවේෂණ මඟින් මධ්‍යශිලා මෙවළම් අනාවරණය කරගැනිමට ද සමත් වී ඇත. වර්ෂ 2005 පමණ මෑත කාලයක දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ආචාර්ය නිමල් පෙරේරා මහතා විසින් හුංගම මිනී ඇතිලිය ප‍්‍රදේශයෙන් විධිමත් අන්දමින් ප‍්‍රාග් ඓතිහාසික සාධක රැසක් අනාවරණය කරගැනීමට සමත් වී ඇත.

neravana-galge-p-e-p-deraniyagala-prehistory-sri-lanka-archaeology-lk
පී.ඊ.පී. දැරණියගල මහතා විසින් සිදුකරන ලද කුකුලේගම නෙරවන ගල්ගේ ගුහාවෙන් අනාවරණය වූ සත්ත්ව අස්ථි මෙවළම් හා ගල් මෙවළම් (රත්නපුර ජාතික කෞතුගාගාර එතකුවෙනි)

 ලංකාවේ වැදි මිනිසා පිළිබඳ අවධානය පුළුල් වශයෙන් යොමුකිරීමට ආචාර්ය පී. ඊ. පී. දරණියගල මහතා සිදුකර ඇත. ලංකාවේ ප‍්‍රාථමික ජනකොටස් පිළිබඳ ව සිදුකර ඇති මෙවැනි අධ්‍යයන මඟින් මධ්‍යශිලා යුගයේ මානවයාගේ සංස්කෘතික කටයුතු රැසක් පිළිබඳ ව කරුණු පෙන්වා දීමට සමත් වී ඇත. එ මෙන් ම ලංකාවේ ස්ථාන ගණනාවක ව්‍යාප්ත වී ඇති ප‍්‍රාථමික ශෛලියේ ගුහා සිතුවම් පිළිබඳ ව ද ආචාර්ය පී. ඊ. පී. දැරණියගල ගේ අවධානය හා අධ්‍යයන යොමු වී ඇත.

ලෝකය හිමෙන් වැසී තිබූ අවධියක් වූ අදින් වසර 10,000-1,800,000 කාලයේ පැවතුණු ප්ලයිස්ටොසීන යුගයට අයත් රත්නපුර දියළු තැම්පතුව කෙරෙහි විධීමත් හා දීර්ගකාලීන අවධානයක් පි. ඊ. පී. දැරණියගල විසින් යොමුකර ඇති අතර ම එ මගින් ලංකාවේ එම යුගයට අයත් සාධක හා පාරිසර්ක තත්ත්ව පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාගැනීමට අවස්ථාව උදා කර දී ඇත. මෙම දියළු නිධිය අවස්ථා තුනකට බෙදා දක්වමින් හඳුනාගන්නා ලදි. එනම් 1. රත්නපුර අවධිය, 2. පළුගහතුරෙ අවධිය (වගුරු ආදිය වියළී ගිය ශුෂ්ක අවධියකි) හා 3. කොළඹ අවධිය (දේශගුණය වර්තමාන තත්ත්වයට සමාන අවධියකි) යනුවෙනි. එමෙන් ම පී. ඊ. පි. දැරණියගල විසින් ලංකාවේ මුල් කාලීන භූ අවධීන් පිළිබද අධ්‍යයන වෙත ද තම අවධානය ගැඹුරු අන්දමින් යොමු කර ඇත. මෙම අදහස් පසුකාලීන ව ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික මානවයාගේ චර්යාවන් හා පරිසරිය තේරුම් ගැනීම සඳහා පුළුල් වශයෙන් දායක වී ඇත.

රත්නපුර දිස්ත‍්‍රික්කයේ දියළු නිධියට අයත් මැණික් පතල් තුළින් අනාවරණය වූ විවිධ සත්ත්ව හා මානව සංස්කෘතික සාධක කෙරේ අවධානය යොමු කර ලංකාවේ ප්ලයිස්ටෝසීන යුගයට අදාළ ව තොරතුරු රැසක් අනාවරණය කරන ලදි. ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික යුගයක් වශනේ හඳුනාගත හැකි ප්ලයිස්ටෝසීන යුගයේ ජීවත් ව සිට දැනට වද වී ගොස් ඇති සත්ත්ව වර්ග ගණනාවක් පිළිබද පී. ඊ. පි. දැරණියගල මහතා විසින් සිදුකළ අධ්‍යයන ඔහුගේ කැපී පෙනෙන අධ්‍යයන අතර පවතී. එ මඟින් මීට වසර දසදහස් ගණනකට ඔබ්බේ දී ශ‍්‍රී ලංකාවේ වාසය කර දැනට වද වී ගොස් සිටින හා තවමත් ජීවත් වන සතුන් ගනනාවක් පිළිබඳ ව කරුණු අනාවරණය කිරීමට සමත් වී ඇත. ඔහු ගේ The Pleistocene of Ceylon නම් කෘතිය මේ සම්බන්ධයෙන් විස්තර දැනගත හැකි අගනා ම කෘතිය වශයෙන් දැනට ද ගෞරවයට බඳුන් වී ඇත. මේ කෘතිය මඟින් ලංකාවේ ජීවත් ව වඳ ව සිටි නමුත් දැනය වද වී ගොස් ඇති ඉදිබු වර්ග, කිඹුල් වර්ග, අලිඇතුන්, කඟවේනා, හිපපොටේමස්, සිංහයා, ගවරා වැනි සතුන් පිළිබඳ ව ද කරුණු අනාවරණය කර ඇත. මේ අතුරින් දැනට වඳ වී ගොස් ඇති මානව පූර්වජයින් වර්ග දෙකක් පිළිබඳ සාධක ද පී. ඊ. පී. දරණියගල විද්වතා විසින් අනාවරණය කර ඇත. (මේ අවධිය පිළීබඳ විස්තරාත්මක කරුණූ ඇතුළත් ලිපියක් මේ ලිපිපෙළේ දී ඉදිරියේ දී බලාපොරොත්තු වන්න.)

පී. ඊ. පී. දැරණියගල මහතා රත්නපුර පැල්මඩුල්ල ආදි ප‍්‍රදේශ වල පිහිටි දියළු නිධියෙන් පැරණි සත්ත්ව පොසිල රැසක් සොයාගත් අතර මේවා ඉන්දියාවේ නර්මදා ගංගාවේ දෙපස තැම්පත් වී ඇති මධ්‍යම හා ඉහළ ප්ලයිස්ටෝසීන සත්ත්ව වර්ග සමඟ හා පංජාබ් ප‍්‍රදේශයේ ඉහළ ශ්වාලික් කඳුකර ප‍්‍රදේශයෙන් හමු වී ඇති සත්ත්ව අවශේෂ සමඟ සසදා බලමින් අධ්‍යයන සිදු කර ඇත. මෙම සත්ත්ව කොට්ඨාෂ දෙක අතර කැපීපෙනෙන සමානකමක් ඇති බව ද ඔහු විසින් පෙන්වා දී ඇත. ඒ අනුව අදින් වසර දසදහස් ගණනාවකට පූර්වයෙන් ලංකාව හා ඉන්දියාව අතර නිර්මාණය වී පැවැති ගොඩබිම් තීරය ඔස්සේ මෙම සතුන් දෙරට අතර නිදහසේ සංචරණය කිරීමට ඇති බව පෙන්වා දී ඇත. රත්නපුර දියළු නිධියේ පස් තට්ටු නැවැත තැම්පත් වීමක් පෙන්නුම් කරන හෙයින් ඒවායේ තැම්පත් වීම අපැහැදිළි බව ඔහු විසින් පෙන්නුම් කර දෙන ලදි. මෙම එම දියළු නිධියේ හෝ එම දියළු නිධියෙන් හමුවන සාධක කාලනීර්ණය කිරීම සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් ඇති වීම මෙම නැවත තැම්පත් වී පැවතීම ඍජුව ම බලපා ඇත. රත්නපුරය තදාශ‍්‍රිත මැණික් පතල් තුළින් හමු වූ මානවකෘතක පළමු ව ඔහු විසින් රත්නපුර සංස්කෘතිය (Rathnapura Cult.) යනුවෙන් නම් කළ ද පසු ව මෙය රත්නපුර කර්මාන්තය (Rathnapura Industry) ලෙස නම් කරන ලදි. සංස්කෘතියක් ලෙස නම් කිරීම සඳහා සාධක ගණනාවක් පිළිබඳ දත්ත අවශ්‍ය වන නමුත් මෙම මැණික් පතල් තුළින් යම් සංස්කෘතියකට අයත් තාක්‍ෂණය පිළිබඳ සාධක පමණක් නිරූපණය විය. එ බැවින් වියයුතු පරිදි ම මෙම සාධක කර්මාන්තය යනුවෙන් නම් කර ඇත. (රත්නපුර කර්මාන්තය (Rathnapura Industry) පිළිබඳ ව මෙම ලිපි පෙළේ ඉදිරි ලිපියකින් සාකච්ඡා කිරීමට අපේක්‍ෂා කරනු ලැබේ.)

ලෝක ව්‍යාප්ත සංස්කෘතියක් වූ ඇචූලියන් අත්පොරෝ (Acheulean handaxes) සංස්කෘතිය ලංකාවේ නැති වීමට හේතුව ලංකාව ඉන්දියාවෙන් වෙන් ව තිබීම බව දක්වන ලදි. එ මෙන් ම මෙම මෙවළම් නිර්මාණය කිරීමට සුදුසු තීරු වශයෙන් ගැල වී නොයන ක්වාට්සයිට් පාෂාණ ලංකාවෙන් හමු නොවීම හා අත්පොරෝ තාක්‍ෂණයෙන් මෙල්ල කිරිමට නොහැකි ඝණ ශාක වැස්මක් පැවතීම යන හේතු ද මෙම සංස්කෘතිය ලංකාවේ පැලපදියම් වීමට එරෙහි ව ක‍්‍රියාත්මක වූ බලවේග අතර පවතින බව පෙනී ගොස් ඇත. (2011 වඍෂයේ දී යාපනය තදාශ‍්‍රිත ප‍්‍රදේශයකින් ලැබී ඇති ගල් ආයුධ කීපයක් ඇචූලියන් සම්ප‍්‍රදාය නියෝජනය කරන බව ප‍්‍රාග් ඉතිහාසය පිළිබඳ විශේෂඥයින් විසින් අදහස් කර ඇත. මේ පිළිබඳ විස්තර ලංකාවේ පුරාශිලා යුගය පිළිබඳ ලියැවෙන ලිපියෙන් බලාපොරොත්තු වන්න.)

ගල් යුගය නැති නම් ශිලා යුග අතුරින් මෑත ම අවධිය වශයෙන් සැකකෙනුයේ නවශිලා යුගයයි (Neolithic). එම අවධියේ ගල් ආයුධ වල හා මානව සංස්කෘතියේ පවතින විශේෂ ලක්ෂණ කීපයක් හේතුවෙන් මෙම අවධිය ඊට පෙර පැවති අවධීන් ගේන් වෙනස් වූ අවධියක් සේ ලසකනු ලැබේ. (මේ පිළිබඳ ව ලංකාවේ නවශීලා යුගය ලිපියේ දී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරනු ලැබේ.) ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසික අවධිය තුළ නවශිලා යුගයක් පැවතුණූ බව නිශ්චිත වශයෙන් පිළිගැනීමට ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය පිළිබඳ විද්වතුනගේ සුදානමක් තවමත් දක්නට නැත. මෙම යුගය පිළිබඳ පිළිගැනීමට තරම් යෝග්‍ය විධිමත් සාධක ලංකාවෙන් අනාවරණය වී නොමැති වීම මේ සඳහා හේතු වී ඇත. නමුත් අදින් වසර දශක ගණනාවකට පුර්වයෙන් ආචාර්ය පී. ඊ. පී. දැරණියගල මහතා විසින් මෙම අවධිය පිළිබඳ සාධක පවතින බබව පෙන්වා දී ඇත. අද වන විට ලංකාවෙන් නවශිලා යුගයක් පැවතුණු බව පිළිගැනීමට අවඹ වශයෙන් සෑහිමට පත්විය හැකි අන්දමේ සාධක ලැබෙමින් පැවතීම ආචාර්ය පී. ඊ. පී. දැරණියගල මහතාගේ ව්‍යක්ත බව පෙන්වන සාධකයක් බවට පත් වෙමින් බවතී.

balangoda-man-british-museum-p-e-p-deraniyagala-prehistory-sri-lanka-archaeology-lk-kelum-nalinda-manamendraarachchi-jpg
බ්‍රිතාන්‍යයේ කෞතුකාගාරයක තැම්පත් කර ඇති පි.ඊ.පි. දැරණියගල මහතා විසින් රුක්අත්තන දැවයෙන් නිර්මාණය කරන ලද බලංගොඩ මානවයා ගේ හිසක් (මෙම ඡායාරූපය කැළුම් නලින්ද මනමේන්ද්‍ර-ආරච්චි මහතා ගේ කාරුණික අනුග්‍රහයෙනි.)

ඉතා පුළුල් වපසරියක් තුළ සිටිමින් ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳ සාධක එක්රැස් කරන ලද ආචාර්ය පී. ඊ. පී. දැරණියගල මහතා ගේ පර්යේෂණයක් නිසිවිධි සුසමාදර්ශයක් (paradigm) තුළ ස්ථාපනය වී ඇති බව හඳුනාගත නොහැකි වීම මෙතුමා ගේ පර්යේෂණ සම්බන්ධයෙන් දැක්විය හැකි ප‍්‍රධාන ම දුර්වලතාව වශයෙන් හඳුනාගත හැකි වේ. එහෙත් සමකාලීන ඥානවිභාගාත්මක පරිස්ථිතිය තුළ මෙවැනි තත්ත්වයක් හඳුනාගැනීමට හැකි නොවීම එතුමාට මෙය චෝදනාවක් වශයෙන් එල්ල කිරීමට ඇති හැකියාව සෑම අතින් ම වලකාලයි. ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාවේ ඥාන ක්‍ෂේත‍්‍රය වෙත වටිතා අගනා දත්ත සම්භාරයක් පමණක් නොව විශීෂ්ට දිශානතීන් ගණනාවක් හෙළිකරමින් එ තුමා දක්වා ඇති දායකත්වය වර්තමානය දක්වා ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රයේ ඕනෑ ම ආකාරයේ විශිෂ්ටයෙකු සමඟ සමපෙළ සිටීමට හැකි බව පෙන්වා දී ඇත. එ මෙන් ම තවත් වැදගත් ම කාරණයක් වනුයේ එතුමා විසින් මේ ක්‍ෂේත‍්‍රය වෙත ප‍්‍රාමාණික උගතකු බිහිකිරීමට දක්වා ඇති ඍජු හා වක‍්‍ර දායකත්වයයි. එ නම් ලංකාවේ පමණක් නොව කලාපීය වශයෙන් ප්‍රාග් ඉතිහාසය පිළිබඳ ව විශේෂඥයකු වන ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගල විද්වතා තම දරුවන් අතරින් ම බිහිකිරීමට හැකි වීමයි. මෙහි වැදගත්කම වඩාත් උද්දීපනය වන්නේ පි.ඊ.පී. දැරණියගල මහතා ලංකාව තුළ කිසිදු ආකාර දැනුම් නිෂ්පාදන නිල ආයතනයක් සමඟ සම්බන්ධ නෙවී සිටියදීත් මෙවැනි නිර්මාණයක් සිදුකිරීමට හැකි වීමයි.

1956 දී සම්පාදනය කරන ලද University of Ceylon – History of Ceylon කෘතිය සඳහා ආචාර්ය නන්දදේව විජේසේකර මහතා විසින් ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික සමය යන හිසින් යුතුව ලිපියක් සපයමින් එ වකට පැවති ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික අවධිය පිළිබඳ දැනුම ඉදිරිපත් කර ඇත. මෙම ලිපියේ දී විශේෂයෙන් ම අප විසින් ආරම්භක අවධිය යනුවෙන් හඳුනාගන්නා යුගයට අදාළ ක‍්‍රියාකාරකම් හා ඒ තුළින් අනාවරණය කොටගෙන තිබූ සාධක පිළිබඳ කරුණු ඉදිරිපත් කොට ඇත. කෙසේ නමුත් විජේසේකර මහතා, ආචාර්ය පී. ඊ. පී. දැරණියගල මහතා විසින් මේ වන විට අනාවරණය කොට තිබූ කරුණු පිළිබද අවම අවධානයක් හෝ දක්වා නොමැති බව පෙනී යාම මෙම ලිපියේ පවතින විශේෂයක් වශයෙන් හඳුනාගත හැකි වේ.

excavation-belilena-etula-sri-lanka-prehistory-archaeology.lk-chandima-ambanwala-h.s.senarathne
අවිස්සාවේල්ල බෙලිලෙන-අතුල ගුහාව හා එම ස්ථානයේ සිදුකළ පුරාවිද්‍යා කැනීමෙන් හමු වූ විවිධ ද්‍රව්‍යය

අතරමැදි අවධිය තුළ දි නූන් හා නූන්ගේ දායකත්වය තවදුරටත් ලැබී ඇති බව හඳුනාගත හැකි අතර ම 1950 දශකයේ දී බි‍්‍රජඞ් ඕල්චින් (Bridget Allchin) විසින් ලංකාවේ ගල් ආයුධ පිළිබද ව අවධානය යොමුකර ඇති බවත් දැකගැනීම පුළුවන. ජාතික කෞතුකාගාරයේ නිලධාරීයෙකු වූ එස්. පී. එෆ්. සේනාරත්න විසින් 1969 දී Prehistoric Archaeology In Ceylon නමින් යුතු ව ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය සම්බන්ධයෙන් කුඩා පොතක් ප‍්‍රකාශයට පත් කරන ලදි. වර්තමානයේ පවා ලංකාව තුළ ප‍්‍රාග් ඓතිහාසික අද්‍යයන ජනප‍්‍රිය වී ඇති බවක් පෙනී නොයන තත්ත්වයක් තුළ සේනාරත්න මහතා ගේ දායකත්වය ඉහළින් ඇගයීමට ලක්කළ හැකි ක‍්‍රියාවක් වේ.

ජාතික කෞතුකාගාරයේ එච්. එස්. ගුණරත්න (Curator in Geology and Prehistory, Department of National Museums, Colombo) පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධ වී අවිස්සාවේල්ල අසල බෙලිලෙන-අතුළ ගුහාවේ කැනීමක් සිදුකරන ලද අතර එම කැනීම මඟින් මධ්‍යශිලා යුගයට අයත් ශිලා මෙවළම් හා සත්ත්ව අවශේෂ ලබාගැනීමට හැකි විය. මේ පිළිබඳ විස්තරාත්මක වාර්තාවක් පී. එච්. ඞී. එච්. ද සිල්වා මහතා විසින් සංස්කරණය කරන ලද ජාතික කෞතුකාගාරයේ නිල ප‍්‍රකාශනය වූ Spolia Zeylanica (1971) හි 32 වෙළුමේ පළමු කොටසේ (1-12 පිටු) Beli-lena Atula – Another Stone age habitation in Ceylon යන හිසින් ප‍්‍රකාශයට පත් වී ඇත. මේ අනුව මෙම අවධියේ දී ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය සම්බන්ධ ව ජාතික කෞතුකාගාරය දක්වා ඇති දායකත්වය ද පෙනී යයි.

අතරමැදි අවධියේ අවසාන කාලයේ දී සිරාන් උපේන්ද්‍ර දැරණියගල මහතා ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණ වෙත අවතීර්ණ වන ආකාරය දැකගත හැකි වුවත් එතුමා විසින් ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රය වෙත දක්වා ඇති දායකත්වය ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසිත පර්යේෂණයන් ගේ නූතන යුගය තුළ දි සලකා බැලිය හැකි වන බැවින් මෙහි දී ඒ සම්බන්ධයෙන් අවධානය යොම් කරනු නොලැබේ.

ඉහත සාකච්ඡා කළ ආකාරයට ලංකාවේ ප්‍රාග් ඓතිහාසික අධ්‍යයනයන් ගේ අතර මැදි අවධිය පිළිබඳ ව දළ වශයෙන් අවධානය ‍යොමුකළ හැකි වේ. මෙම ලිපිය ආරම්භයේ දී පෙන්වා දෙනු ලැබ ඇති ආකාරයට මෙම අවධිය සතු ලක්ෂණ කීපයක් දැකගත හැකි වේ. විදේශිය විද්වතුන් අතින් ලංකේය විද්වතුන් වෙත ප්‍රාග් ඓතිහාසික අධ්‍යයන හුවමාරු වීම, ලංකාවේ සමස්ථ භූමි ප්‍රදේශය ම ආවරණය වන ආකාරයෙන් ප්‍රාග් ඓතිහාසික අධ්‍යයන දියත් වීම, භු විද්‍යාව, සත්ත්ව විද්‍යාව, මානව විද්‍යාව, කලාව වැනි කේෂ්ත්‍ර ගණනාවක් ආවරණය වන අයුරින් අධ්‍යයන සිදුවීම හා මෙම කේෂ්ත්‍රය සඳහා නව පර්යේෂකයින් අවතීර්ණ කරවීම වැනි ලක්ෂණ ඒ අතර කැපී පෙනේ.

.

.

.

පළමු වැනි ලිපියට . . . දිගු ගමනක ආරම්භය

දෙ වැනි ලිපියට . . . ශ‍්‍රී ලංකාවේ භූ විද්‍යාත්මක හා භූ ගෝල විද්‍යාත්මක පසුබිම

තෙ වැනි ලිපියට . . . ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණයන්ගේ ආරම්භක අවධිය

ග්‍රන්ථ නාමාවලිය . . . ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය : ග‍්‍රන්ථ හා ලිපි නාමාවලිය

මීලග ලිපියෙන් . . . ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණයන් ගේ නූතන අවධිය . . . .

Advertisements

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.