ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය 2 : භූ විද්‍යාත්මක හා භූ ගෝල විද්‍යාත්මක පසුබිම

චන්දිම බණ්ඩාර අඹන්වල

පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ.

chandima-ambanwala-sri-lanka-archaeology-prehistory-epigraphy-epistomology
චන්දිම බණ්ඩාර අඹන්වල

පුරාවිද්‍යාව වනාහි බහු විෂයාත්මක හා අන්තර් විෂයාත්මක විෂයන් වශයෙන් සලකනු ලැබේ. ස්වාභාවික විද්‍යාවන් හා සාමාජීය විද්‍යාවන් ගණනාවක දායකත්වය හා ඒ ඒ විෂයයන්ගේ පිළිබඳ පවතින දැනුම පුරාවිද්‍යා විග්‍රහයන් සඳහා භාවිතයට ගැනීමට සිදු වන බැවින් මෙ වැනි ප්‍රකාශයක් පුරාවිද්‍යාව සඳහා වලංගු වේ. පුරාවිද්‍යාව යටතේ අතීත මානවයා පිළිබද හැදෑරීමේ දී ඔහු ගේ සංස්කෘතික ලක්ෂණ මෙන් ම ඔහු වටා වූ පාරිසරික සාධක ද හැදෑරීම පුරාවිද්‍යාඥයා විසින් අනිවාර්යෙන් ම සිදුකළ යුතු වේ. අතීත මිනිසා විසින් සංස්කෘතියක් ගොඩනගා ගනු ලැබුව ද ඔහු ද මූලික වශයෙන් සත්ත්වයක් වීම නිසා හා සංස්කෘතිය තිරණය වීම ද පාරිසරික සාධක මත රදා පවතින බැවින් සංස්කෘතික මෙන් ම ස්වාභාවික පරිසරය බෙහෙවින් ම වැදගත් වේ. අතීත මිනිසා පිළිබද හැදැරීමේ දී සංස්කෘතික සාධක වෙත පමණක් සීමා වි ඔහු පිළිබද පුළුල් අවබෝධයක් ලබාගැනීමට පුරාවිද්‍යාඥයාට හැකි වන්නේ නැත. එ බැවින් අනිවාර්යයෙන් ම පාරිසරික සාධක පිළිබදවත් අවධානයක් යොමු කිරීමට සිදු වෙයි. ලංකාවේ අතීත මිනිසා පිළිබද විධිමත් ව විපරම් කිරීමට උත්සාහ දරන මම ලිපිපෙළේ දී එම මානවයා ජීවත් වූ නැතිනම් ඔහුට ජීවනය සැකසූ පරිසරය පිළිබද දළ වයෙන් හෝ අවබෝධ කර ගැනීම අත්‍යාවශය වේ. ඒ බැවින් දැන් අපි ලංකාවේ අතීත පරිසරය නැතිනම් ලංකාවේ භූ විද්‍යාත්මක හා භූ ගෝල විද්‍යාත්මක සාධක වෙත දළ අවධානයක් යොමුකරමු.

ශ‍්‍රී ලංකාවේ ස්ථානගත වීම

ශ‍්‍රි ලංකාව අර්ධද්විපික ඉන්දියාවේ ධනුෂ්කොඩියේ සිට කිලෝමීටර් 29ක පමණ පටු මුහුදු තිරයකින් ඉන්දීය ප‍්‍රධාන භුමියෙන් වෙන් වී ඇති අතර සමකයේ සිට අංශක 8ක් පමණ උතුරින් ස්ථානගත වී ඇත. නිරපේක්‍ෂ වශයෙන් ලංකාව උත්තර අක්‍ෂාංශ 50 55” – 90 51” හා නැගෙනහිර දේශාංශ 790 41” – 810 53” අතර ස්ථානගත වී ඇත.

sri-lanka-google-earth
ඉන්දියානු සාගරය තුළ ඉන්දීය ආර්ධද්වීපය හා ලංකාවේ ස්ථානගත වීම (Google Earth වෙතින් උපුටා ගන්නා ලදී.)

ඩෙල්ෆ්, පුංකුඩුතිව්, අනලතිව් ආදී ලෙස පරිපාලන වශයෙන් ලංකාවේ ප‍්‍රධාන භූ ස්කන්ධයට සම්බන්ධ සාපේක්‍ෂ ව කුඩා ප‍්‍රමාණයේ දූපත් රැසක් ලංකාවේ උතුරු හා වයඹදිගින් පිහිටා ඇත. උතුරේ පේදුරු තුඩුවේ සිට දකුණේ දෙවුන්දරතුඩුව දක්වා කිලෝමීටර් 430ක උපරීම දිගක් ද නැගෙනහිර කල්මුණේ සංගමන්කන්ද තුඩුවේ සිට බටහිරින් කොළඹ දක්වා කිලෝමීටර් 227ක පමණ උපරීම පළලක් දක්වන ලංකාව සමස්ත වර්ග ප‍්‍රමාණය කිලෝමීටර් 65,610ක් පමණ වෙයි.

ශ‍්‍රී ලංකාවේ නිරිතදිගින් මාලදිවයින් දූපත් හා ගිණිකොණදිගින් නිකොබාර් හා අන්දමන් දූපත්වල ස්ථානගතවීම දැකගත හැකි වන අතර දිවයිනේ භූ විෂමතාව, දේශගුණය හා කාලගුණය, ස්වභාවික ශාක හා සත්ත්ව ගහණය, පස ආදී දත්ත අනුව ආසන්න දක්‍ෂිණ භාරතයට සමීප සබඳතාවක් පෙන්වයි.

ශ‍්‍රී ලංකාවේ භූ විද්‍යා ඉතිහාසය

ශ්‍රී ලංකාවේ භූ විද්‍යා අධ්‍යයනයන්ගේ පුරෝගාමීයෙකු වන ඉන්දීය ජාතික ඞී. එන්. වාඩියා (Darashaw Nosherwan Wadia (1883– 1969)) දක්වා ඇති පරිදි මේ වන විටත් ලංකාවේ භූ විද්‍යාත්මක අතීතය පිළිබඳ තොරතුරු තවමත් 100%ක් ම අනාවරණය වී නොමැත. එහෙත් භූ විද්‍යාඥයන් විසින් මෙතෙක් සිදුකරන ලද අධ්‍යයන් අනුව ශ්‍රී ලංකාවේ භූ විද්‍යා අතීතය පිලිබඳ දළ අවබෝධයක් ලබාගත හැකි වේ. ඇල්ෆ‍්‍රට් වෙග්නර් (Alfred Lothar Wegener (1880 – 1930)) විසින් දක්වන ලද ගොන්ඞ්වානාලන්තය නම් මහා භූමි ස්කන්ධය පැවැතුණු අවධිය දක්වා ලංකාවේ භූ විද්‍යා පරිණාමයේ ආරම්භය ගමන් කරයි. දිවයිනේ බොහෝ කොටස් නිර්මාණය වී ඇත්තේ වසර කෝටි 280ක් පමණ පැරණි ප‍්‍රාග් කේම්බී‍්‍රය (Precambrian) පාෂාණ වලිනි. එ බැවින් වසර මිලියන ගණනක් තිස්සේ පෘථිවිය මුහුණ දුන් විවිධාකාර අද්දැකීම් රැසක් විදදරා ගැනීමට ශ්‍රී ලංකා භූ ස්කන්ධයට සිදු වී ඇත.

pangia-and-godwanaland-k-a-r-kennedy
ෆැන්ජියාව හා ගෝඞ්වානාලන්තය පැවැති කාලයේ ඉන්දියාවේ ස්ථානගත වීම – ඉහල වසර මිලියන 200, පහළ වසර මිලියන 80 (මෙම සිතියම K.A.R. Kennedy ගේ God apes and Fossil men කෘතියෙන් උපුටාගන්නා ලදී.)

භූ විද්‍යා ක‍්‍රියාකාරීත්වයේ ආරම්භක අවධියේ හිමාල කඳුකරයට දකුණින් පිහිටි ඉන්දියාව, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය හා ශ්‍රී ලංකාව සහිත බිම්කඩ මුහුදින් වට වූ දූපතක් වශයෙන් පැවැතිණ. එවකට ලක්දිව අයත් ප‍්‍රදේශය සමකයෙන් අංශක 7ක් පමණ උතුරින් පිහිටා තිබිණි. පසු ව, පෘතුවි තලය මත වූ සියලූ ගොඩබිම් ප‍්‍රදේශ එක් වී පැන්ජියාව නම් විශාල භූ ස්කන්ධය නිර්මාණය වීමට ප‍්‍රථම ලංකාව ද ඉන්දීය භූ ස්කන්ධය සමඟ සමකය පසුකරමින් දකුණට පා වී අවුත් අප‍්‍රිකා හා ඇන්ටාර්ටිකා භූ ස්කන්ධ සමඟ සම්බන්ධ විය.

අදින් වසර කෝටි 26කට ඉහත පර්මියානු (Permian) අවධියේ දී ලංකාවේ දකුණු ප‍්‍රදේශය දකුණු අප‍්‍රිකාව හා නැගෙනහිර ඇන්ටාර්ටිකාව සමඟ යා වී පැවැති අතර දක්‍ෂිණ අක්‍ෂාංශ 60ක් පමණ වන හිමෙන් ආවරණය වූ ප‍්‍රදේශයක ස්ථානගත විය. මෙ කල පරිසර උෂ්ණත්වය ක‍්‍රමයෙන් වැඩි වීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් දකුණු අප‍්‍රිකාවේ සිට ගලා ආ ග්ලැසියර හෙවත් හිමගංගා දිවයිනේ දකුණින් වූ ප‍්‍රදේශය මතින් ඇදී යාම විවිධ භූ විද්‍යාත්මක ප‍්‍රතිඵල ජනිත කිරීමට සමත් වී ඇත. ඓතිහාසික කාළ පරිච්ජේදයට අයත් වාරි සංස්කෘතියේ අනිවාර්ය අංගයක් වූ වැව් නිර්මාණය කිරීමට යෝග්‍ය වූ අවපාත, මෙවැනි ග්ලැසියර ඛාදනයන් මඟින් ජනිත වු බව සැලකේ. සමහර විල් ද්‍රෝණි ආශ‍්‍රිත ව හමු වී ඇති දියමන්ති හා රත‍්‍රන් ද මෙම ග්ලැසියර මඟින් අප‍්‍රිකාවේ දියමන්ති හා රන් ආකර ප‍්‍රදේශ වලින් ඇදී අවුත් ශේෂගත කළ ඒවා බවට මතයක් පවතී.

පැන්ජියාව කොටස් වලට බෙදී වෙන් වී ගිය පසු ව ශේෂගත වූ ගොන්ඞ්වානාලන්තය පසුව කැබැලිවලට කැඞී වෙන් වූ අතර ඕස්ටේ‍්‍රලියාව හා ඉන්දියානු භූමි ස්කන්ධ නැවැතත් උතුර බලා යන ගමන ඇරැඹීය. ඒ සමඟ ම දිවයින ද ඉන්දීය මහා භූ ස්කන්ධය සමඟ එක් වී තම ගමන අඛණ්ඩ ව සිදුකර ඇත. අදින් වසර කෝටි 18කට පමණ පෙර ජුරාසික අවධියේ දී ලංකාව නැවැත වරක් නිවර්තන කලාපයට පැමිණි අතර එම වකවානුවට අයත් කේතුධර ශාකවල (Cladophlebis zeylanica, C. reversa) පොසිල (Fossils) භූ විද්‍යාත්මක වශයෙන් වන්නි සංකීර්ණය ඇතුළු කලාපයේ පිහිටි වයඹ දිග ලංකාවේ පුත්තලම ප්‍රදේශයට ආසන්න ව පිහිටා ඇති තබ්බෝව, ආඬිගම ආදී ස්ථාන වලින් වාර්තා වී ඇත.

ඉන්දීය බිම්කඩ අදින් වසර කෝටි 6.5කට පමණ පෙර උතුරට ගමන් ගැනීමේ දී යුරේසියානු බිම්කඩ හා ගැටී ඒ මතින් ගමන්ගැනීමට ගත් උත්සාහයේ දී ඒ ආශ‍්‍රිත භූ ස්කන්ධය රැළි ගැසීමට ලක් විය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් එම භූමියේ ඉහළ කොටස ආශ‍්‍රිත ව හිමාල කඳුවැටිය නිර්මාණය විය. මෙම කාර්යය අදටත් සිදු වන බව පෙනී යන්නේ හිමාල ප‍්‍රදේශය අදට ද වසරකට සෙන්ටි මීටර් කීපයක් බැඟින් ඉහළට නෙරා යෑම නිරීක්‍ෂණය කළ හැකි බැවිණි. මෙම මහාද්වීප ඝට්ටනය හේතුවෙන් දිවයින ඉන්දීය භූ ස්කන්ධයත් සමඟ තිබූ සබඳතා ව බිද වැටීමට ලක් වී එය වසරකට සෙන්ටි මීටර් 1ක් පමණ වයඹ-ගිනිකොණ දිශානුගත ව ඉන්දීය මහා භූ ස්කන්ධයෙන් වෙන්වෙමින් පවතී. පළමු ව, ඉන්දියාවේ මදුරාසිය ආසන්නයට සම්බන්ධ ව පැවැති යාපන අර්ධද්වීපය ආශ‍්‍රිත ප‍්‍රදේශය අද වන විට එයින් කිලෝමීටර් 325ක් පමණ ගිණිකොණ දෙසට විතැන් වී ඇත්තේ මෙහි ප‍්‍රතිඵලයක් වශයෙනි.

ලෝකය පුරා ම පැතිර ගිය ග්ලැසියර (Glacier) හා අන්තර් ගැලැසියර යුගයන්හි මුහුදු මට්ටමේ උස්පහත් වීම අනුව ඉන්දියාව හා ලංකාව ගොඩබිමින් සම්බන්ධ වීම හා වෙන් වීම විටින්විට සිදු වි ඇත. මෙ සේ ගොඩබිම් පාලමක් නිර්මාණය වීම දෙරට අතර ජීවීන් ගේ සංචරණය සඳහා ඇවැසි අනුබලය සැපැයී ය. මෙ ලෙස වසර ලක්‍ෂ ගණනක් තිස්සේ විටින්විට දිවයින ඉන්දීය භූ ස්කන්ධය සමඟ සම්බන්ධ වීමත් වෙන් වීමත් සිදු වූ අතර අවසන් වරට අදින් වසර 7,000කට පමණ පූර්වයෙන් දෙරට ගොඩබිමින් වෙන් විය. මුහුදු ජල මට්ටම ඉහල ගිය අවස්ථාවන්හි දී පෝක් සමුද්‍රසන්දිය තුළ වැඩුණු කොරල් පර මත හුණුගල් තට්ටුවක් නිර්මාණය කළේ ය. මෙලෙස අදින් වසර කෝටි 2.4කට පමණ පෙර උණුසුම් අවධියක් ලෙස සේ සැළැකෙන තෘතීයික අවධියට (Tertiary) අයත් මයෝසීන වකවානුවේ (Miocene) දී ගොඩබිමට ගලා ආ මුහුදු ජලය යාපන අර්ධද්වීපයේ සිට පුත්තලම දක්වා විහි දී යන අවසාධිත හුණුගල් ස්තරය ඇති කිරීමට සමත් විය. එකළ ලංකාවේ වෙරළ පුත්තලම, මඩු පල්ලිය, මාන්කුළම හරහා මුලතිව් තෙක් විහිදීමට ඇතැයි භූ විද්‍යාඥයන් උපකල්පනය කරයි.

අදින් වසර ලක්‍ෂ 20කට පමණ පූර්වයෙන් ඇති වූ චාතුර්තික අවධියට (Quaternary) අයත් ප්ලයිස්ටෝසීන යුගයේ (Pleistocene) දිවයිනේ ශාක හා සත්ත්ව සංහති අතින් වැදැගත් තත්ත්වයක් පෙන්නුම් කරයි. රත්නපුර ප‍්‍රදේශයේ දියළු පස් තැම්පතු වල මීට වසර ගණනාවකට ඉහත දී ආචාර්ය පී.ඊ.පී. දැරණියගල මහතා විසින් සිදුකරන ලද පුරාවිද්‍යා අධ්‍යයන අනුව දැනට වද වී ගොස් ඇති සතුන් රැසක් හා දැනටත් ජීවත් වන සතුන් පිළිබඳ සාධක අනාවරණය කරගැනීමට සමත් වී ඇත. මෙම සත්ත්වයින් ඉන්දීයාවේ ශ්වාලික් හා නර්බදා සත්ත්ව සංගති සමඟ ආසන්න සබදතාවක් දක්වන බවත් එ තුමා විසින් පෙන්නුම් කර දී ඇත. මෙම ලිපිපෙළේ ඉදිරි ලිපියකින් ලංකාවේ ප්ලයිස්ටෝසීන යුගය පිළිබඳ වැඩිදුර සාකච්ඡා කරනු ලැබේ.

ප‍්‍රාග් කේමිබී‍්‍රය යුගයෙන් පසුව ජුරාසික අවධිය දක්වා දිවයිනේ භූ විද්‍යාත්මක ඉතිහාසය පිළිබඳ සාධක දුලබ බව භූ විද්‍යාඥයින්ගේ අදහසයි. වසර දශලක්‍ෂ 600කට ආසන්න කාලයක් තිස්සේ ප‍්‍රකට වන සාධක දුලබතාවෙන් පැහැදිළි වන්නේ මෙම දීර්ඝ කාලය මුළුල්ලේ ම ලංකා පොළොව ස්ථායී භූ ස්කන්ධයක් වශයෙන් පවතිමින් දිගින්දිගට ම නග්නීකරණයට බඳුන් වූ බවයි. දිවයින පුරා ම විසිරී ඇති සීගිරිය, මිහින්තලේ, දිඹුලාගල, දොළුකන්ද ආදී ශේෂ කඳු මෙම තත්ත්වයට උදාහරණ සපයයි.

ලංකාවේ භූ දර්ශනයේ උපත

ශ්‍රී ලංකාවේ භූ දර්ශනයේ උපත පිළිබඳ ව 20 වැනි සියවසේ මුල් කාලයේ සිට ම විවිධ භූ විද්‍යාඥයන්ගේ අවධානය යොමු වී ඇති අතර මේ සම්බන්ධයෙන් මුල් කාලීන ව, විදේශීය විද්වතුන්ගේ හා පසු ව, දේශීය විද්වතුන්ගේ අවධානය යොමු වී ඇත. ලංකාවේ භූ දර්ශනයේ උපත පිළිබද පවතින සියලූ අදහස් එක්තැන් කරමින් මහාචාර්ය සී. ඇම්. මද්දුම බණ්ඩාර මහතා විසින් ‘මහවැලියේ භූගෝලීය පසුබිම’ යන හිසින් යුතු ලිපියක් මහවැලි වංශය ග්‍රන්ථය සඳහා සම්පාදනය කොට ඇති අතර ලංකාවේ භූ දර්ශනයේ උපත පිළිබඳ කියැවෙන මෙම කොටස එම ලිපිය ඇසුරින් සකස් කර ඇති බව එ තුමාට ගෞරව වශයෙන් සටහන් කිරීමට කැමැත්තෙමි.

1928 දී එෆ්. ඩි. ඇඩම්ස් නම් ස්කැන්ඩිනේවියානු භූ විද්‍යාඥයා විසින් ඉදිරිපත් කරනු ලැබූ ‘ස්කන්ධ කුට්ටි උත්ක්‍ෂිප්තය’ (en mass block uplift) නම් මතය ලංකාවේ භූ දර්ශනයේ උපත සම්බන්ධයෙන් පළමු ව ඉදිරිපත් කරනු ලැබූ මතයයි. උසින් එකිනෙකට වෙනස් වූ අඩතැනි කළාප තුනක් ඇඩම්ස් විසින් හඳුනාගන්නා ලද්දේ දිවයිනේ උතුරේ සිට දකුණටත් බටහිර සිට නැගෙනහිරටත් අදින ලද භූ විෂමතා හරස්කඩ පරික්‍ෂා කිරීමෙනි’ හපුතලේ – හල්දුම්මුල්ල මාර්ගයේ සිට කෙනෙකුට මෙම අඩතැනි ත‍්‍රිත්ත්වය ම නිරීක්‍ෂණය කළ හැකි බව ඔහු දක්වා ඇත. මෙම අඩතැනි ශීඝ‍්‍ර බෑවුම් වලින් ද විටෙක මොහොර ලක්‍ෂණයන්ගෙන් ද සමන්විත බව දක්වන ඇඩම්ස් ඒ සඳහා නිදසුනක් ලෙස ලෝකාන්තය ඉදිරිපත් කර ඇත. ඇඩම්ස්ට අනුව, උස ම අඩතැන්නට සමාන විශාලත්වයකින් යුත් භූමියක් පළමු ව උත්ක්‍ෂිප්ත ව ගොඩබිමක් බවට පත් විය. මෙම මුල් භූමිය දැනට ලංකාවේ උච්චත ම භූමියට වඩා බෙහෙවින් උස් වේ. දිගු කළක් එය නග්නීකරණයට ලක් වූ පසු පළමු කොටස ඔසවා ගෙන දෙවන උත්ක්‍ෂිප්තයක් ද අනතුරු ව එම කොටස් දෙක ම ඔසවාගෙන තෙවන උත්ක්‍ෂිප්තයක් ද සිදු විය. මෙම තෙ වන කොටස වත්මන් දිවයිනේ භූමි ප‍්‍රමාණයට සමාන බව ඇඩම්ස් ගේ අදහසයි. මෙම මතයට අනුව, දිවයිනේ පැරණි ම ලක්‍ෂණ මධ්‍යම කඳුකරය පෙන්නුම් කළ යුතු වුවත්, ලංකාවේ භූ ලක්‍ෂණ අතුරින් යෞවන ම ලක්‍ෂණ පෙන්නුම් කරන්නේ මධ්‍යම කඳුකරයේ උස් ම බෑවුම් ආශ‍්‍රය කොටගෙන බැව් විද්වතුන් පෙන්වා දී ඇත.

d-n-wadia-geology-sri-lanka
ඩි. එන්. වාඩියා (1883-1969) (මෙම ඡායාරූපය http://scientistsinformation.blogspot.com අඩවියෙන් උපුටාගන්නා ලදී.)

උක්ත මතයේ විලෝමය වශයෙන් සැළැකිය හැකි ‘කවාකාර කුට්ටි උත්ක්‍ෂිප්ත’ (Circumscribe block uplift) මතය 1943 දී ඩි. එන්. වාඩියා නම් ඉන්දීය ජාතික භූ විද්‍යාඥයා විසින් ඉදිරිපත් කරන ලදී. එම මතයට අනුව, සමස්ත දිවයිනේ ම භූමි ප‍්‍රමාණයට සමාන භූ ස්කන්ධයක් පළමු ව උත්ක්‍ෂිප්ත වූ අතර පසු ව එය මධ්‍යයේ ඇති වූ අනුපූර්ව කුට්ටි උත්ක්‍ෂිප්ත දෙකක් මඟින් දැනට ලංකාවේ පවත්නා භූ දර්ශනය සකස් වී ඇත. මෙම මතයට අනුව, දිවයිනේ පැරණි ම භූමි කොටස වෙරළබඩ තැන්න ය. මෙම කවාකාර කුට්ටි උත්ක්‍ෂිප්තය ඇති වූ කාලය ඉන්දියාවේ නිල්ගිරි කඳුකරයත් (Nilgiri mountains), මළබාර් වෙරල තීරයත් විටෙක තබ්බෝව නිධිවල දක්නට ලැබෙන විභේදන ඇති වූ කාලයත් සමඟ අනුයාත වේ.

ලාංකික භූ විද්‍යාඥයෙක් වූ කේ. කුලරත්නම් මහතා විසින් 1953 දී විසින් ‘බහුවිධ කුට්ටි උත්ක්‍ෂිප්ත’ (Multiple block uplift) මතය මඟින් දිවයිනේ භූ දර්ශනය සකස් වූ බව දක්වයි. යටිනැමි ව්‍යුහයක් වශයෙන් පළමු ව තිබූ ලංකා පොළොව දිගු කළක් ඛාදනයට භාජනය විය. මෙ ලෙස ඛාදනය හේතුවෙන් භූමිය නග්න වත් ම උපස්තරයේ ඇති වූ ආතති මුක්ත වීමට තිබූ එක ම මාර්ගය වූයේ දැඳුරු වීමත් උලැඟි වීමත් ය. ඒ අනුව ඇති වූ විභේදනය හා අසම සිරස් චලන ඇති වීමත් ය. මෙසේ ආකීය පාෂාණයන්හි දෘඩ බව හේතුවෙන් වාඩියා පැහැදිළි කළ ආකාරයෙන් දිවයින කවාකාර කුට්ටි තුනකට නොව රැසකට විභේදනය වී උත්ක්‍ෂිප්ත විය. එයින් විවිධාකාර උසින් යුත් පසු පරිණත ඛාදන තල රැසකින් කඳුකරය නිර්මාණය විය. මධ්‍යම කඳුකරය තැනි ගණනාවකින් යුක්ත වීම මෙම මතයට ධනාත්මක සාධක සපයන අතර මධ්‍යම කඳුකරය වටා විසිරී පවතින දිය ඇළි සමූහය මඟින් ද මධ්‍ය කඳුකරය කුට්ටි රාශියකට බෙදී ඇති බව පෙන්නුම් කරයි.

භූ චලන මත පදනම් වූ මතයක් 1972 දී පී. ඩබ්ලිව්. විතානගේ මහතා විසින් ඉදිරිපත් කරණු ලැබ ඇත. මධ්‍යම කඳුකරයේ භූමිය ක්‍ෂද්‍ර භූ චලන හේතුවෙන් සෙමින්සෙමින් වර්ධනය වෙමින් පවත්නා බව මෙම මතයෙන් කියැවෙයි. මෙලෙස වර්ධනය වන පොළොව අසම ඛාදන ක‍්‍රියාවලි මාර්ගයෙන් හැඩ ගැන්වීම හේතු කොටගෙන වත්මන් භූ දර්ශනයේ උපත සිදු වී ඇති බව ඔහුගේ අදහසයි.

ලංකාව් භූ දර්ශනය සකස් වීම සම්බන්ධයෙන් උක්තාකාරයෙන් විවිධ භූ විද්‍යාඥයන් විසින් විවිධ අදහස් දක්වා ඇති ලංකාවේ භූ දර්ශනයේ උපත පිළිබඳ ව භූ විද්‍යාඥයින් විසින් තවදුරටත් අධ්‍යයන සිදුකරමින් පවති. ‍කුමනාකාර හේතුවක් හෝ හේතූන් නිසා හෝ සකස් වී ඇති ලංකාවේ භු දර්ශනය එහි භු ගෝල විද්‍යාත්මක සාධක නිර්ණය වීම සඳහා බෙහෙවින් තීරණාත්මක වී ඇත. එම සාධක සියල්ල ම පසුකාලීන ව මානවයා ගේ ව්‍යාප්තිය හා පරිණාමය සඳහා විවිධ ආකාරයෙන් බලපා ඇති බවත් හඳුනාගත හැකි වේ. ඉතා සරල ආකාරයෙන් මෙ පිළිබඳ ව දැක්විය හැකි කරුණක් වන්නේ ලංකාවේ භු විද්‍යාත්මක සාධක ලංකාවේ ආදී මානවයාගේ සංස්කෘතිය මෙන් ම පැවැත්ම සදහා ද බෙහෙවින් බල පා ඇති බවයි.

ලංකාවේ භූ විද්‍යා කලාප

geological-map-sri-lanka-arjunas-atlas-of-sri-lanka
ශ්‍රී ලංකාවේ භූ විද්‍යා කලාප (මෙම සිතියම Arjuna’s Atlas of Sri Lanka කෘතියෙන් උපුටාගන්නා ලදී)

භූ විද්‍යාත්මක ව සලකා බලන විට ශ්‍රී ලංකාවේ 9/10ක පමණ ප‍්‍රමාණයක් අදින් වසර මිලියන 570කට වඩා පැරණි ප‍්‍රාග් කේම්බී‍්‍රය යුගයේ දැඩි ලෙස විපරීතකරණයට (highly crystalline rocks) ලක් වූ පාෂාණයන්ගෙන් සමන්විත වී ඇත. අවශේෂ 1/10ක ප‍්‍රමාණය ජුරාසික අවධියට අයත් අවසාධිත පාෂාණ (sedimentary formations – limestones, sands and clays) හා තෘතීයික හා චාතුර්ථික අවදීන්ට අයත් පාෂාණ සංස්ථාවන්ගෙන් සමන්විත ය. උතුරුදිග කලාපය ආශ‍්‍රිත ව මයෝසීන යුගයේ නිර්මාණය වූ හුණුගල් තට්ටුවක් ද නිරීක්‍ෂණය කළ හැකි ය. ප‍්‍රාග් කේම්බී‍්‍රය යුගයට අයත් පාෂාණ ඒවායේ වර්ගය, ලක්‍ෂණ හා ව්‍යුහය අනුව (rock types, isotopic characteristics and structures) නැවැත ප‍්‍රධාන උප කොටස් තුනකට/හෝ හතරකට බෙදනු ලැබ ඇත.

I. උස්බිම් සංකීර්ණය : මධ්‍යම කඳුකර උස්බිම් ද ඇතුළු ඊශාන දිග සිට නිරිතදිග දක්වා ව්‍යාප්ත ව ඇත.

II. වන්නි සංකීර්ණය : බටහිර විජයානු සංකීර්ණය වශයෙන් ද හඳුන්වන මෙය උස්බිම් සංකීර්ණයෙන් බටහිර පහත් භූමි ප‍්‍රදේශයේ ව්‍යාප්ත ව ඇත.

III. විජයානු සංකීර්ණය : නැගෙනහිර විජයානු සංකීර්ණය ලෙස ද හඳුන්වන මෙය උස්බිම් සංකීර්ණයෙන් නැගෙනහිර ප‍්‍රදේශයේ ව්‍යාප්ත ව ඇත.

IV. කඩුගන්නාව සංකීර්ණය : උස්බිම් සංකීර්ණයේ මධ්‍යස්ත ව පිහිටා ඇති මුත් මෙහි අන්තර්ගත පාෂාණ මාදිළි උස්බිම් සංකීර්ණයෙන් පරිබාහිර වෙයි.

ලංකාවේ භූ ගෝල විද්‍යාත්මක පසුබිම

උෂ්ණත්වය

සමකාසන්න රටක් වශයෙන් ශ්‍රී ලංකාව ස්ථානගත වීම නිසා වසර පුරා ම පාහේ ඍජු ව සූර්යාලෝකය පතිත වේ. හේතුවෙන් වසරේ සැමදා ම පාහේ ඒකාකාරී උෂ්ණත්වයක් දිවයින සතු වන අතර පැහැදැළි ව නිරීක්‍ෂය කළ හැකි ආකාරයේ ඍතු බෙදීමක් දක්නට නොමැත. ලංකාවේ දී පැහැදිළි උෂ්ණත්ව අන්තරයක් හඳුනාගැනීම අපහසු නමුත් සාමාන්‍ය මාසික මධ්‍ය උෂ්ණත්වය සෑම ප‍්‍රදේශයක ම පාහේ සෙල්සියස් අංශක 27.4ක් ද වාර්ෂික මධ්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 27.8ට වඩා අඩු අගයක් ද ගනී. පතන ශීඝ‍්‍රතාව හෙවත් මුහුදු මට්ටමේ සිට ඉහලට යන විට උෂ්ණත්වය අඩු වීම සෑම මීටර් 100කට ම පාහේ සෙල්සියස් අංශක 0.64ක් පමණ වෙයි. මෙම උෂ්ණත්ත්ව තත්ත්ව තුළ මිනිසාට ජීවත් වීමේ හැකියාවන් පවතින අතර මානව ජනාවාස හෝ පැවැත්ම සඳහා මෙම තත්ත්වය ප්‍රබල අන්දමේ බලපෑමක් සිදුකරන්නේ නැත. එ බැවින් ලංකාවේ වෙනත් බොහෝ පාරිසරික සාධක මෙන් ම උෂ්ණත්වය ද මානව ජනාවාස සඳහා යෝග්‍ය ව පැවැති හා දැනටත් බවතින බව හඳුනාගත හැකි වේ.

වර්ෂාපතනය

ජීවයේ පැවැත්මට අත්‍යවශ්‍ය අංගයක් වන මිරිදිය ලක්දිවට ලැබෙන ප‍්‍රධාන ක‍්‍රමය වර්ෂාපතනයයි. වාර්ෂික වර්ෂාපතන දත්ත අනුව දිවයිනේ වැඩි ම වර්ෂාපතනයක් මධ්‍යම කඳුකරයට ලැබෙන අතර එහි බටහිර බෑවුමෙන් අධික ම වර්ෂාපතනය පිලිබඳ වාර්තා වෙයි. (1) සංවහන, (2) මෝසම් වර්ෂාව හා (3) වාසුළි වර්ෂාව යන ක‍්‍රම තුනක් ඔස්සේ ලංකාවට වර්ෂාව ලැබෙන බව හඳුනාගෙන ඇත. බෙංගාල බොක්ක ආශ‍්‍රිත ව වැඩි වශයෙන් ඇතිවන අවපාත නැතහොත් සුළිසුළං මාර්ගයෙන් ඇතිවන වාසුළි වර්ෂාව මඟින් ඔක්තොම්බර්-නොවැම්බර් අතර කාලයේ දී දිවයිනට මෙන් ම උතුරු හා නැගෙනහිර කලාපවලට වැඩි වර්ෂාපතනයක් ලැබෙන බව නිරීක්‍ෂණය කර ඇත. ඍතු වශයෙන් සලකා බැලීමේ දී දෙවන අන්තර් මෝසම් කාලපරිච්ෙඡ්දය වන ඔක්තොම්බර් සිට නොවැම්බර් දක්වා කාලයේ දී ලංකාවේ උතුරු හා වයඹ කලාපයන්ට අධික වර්ෂාපතනයක් ලැබේ. මෙම සාධක අනුව පැහැදිළි වන්නේ ලංකා භූමිය වෙත නිරන්තරයෙන් වර්ෂාව ඔස්සේ සත්ත්වයින් සඳහා යෝග්‍ය මිරිදියෙන් ලංකාව පෝෂනය වී පැවති බවයි. අනෙක් අතට ලංකාවේ මධ්‍ය කඳුරයෙන් ලංකාවේ සිව් දිසාවනට ගලාඇදෙන ජල මාර්ග පද්ධතිය ලංකාව මිනිස් වාසයක් වශයෙන් ඒ වෙත ආකර්ශනය කිරීමට සමත් වී ඇත. වර්ෂාව, ජලමාර්ග, උල්පත් හා ස්වාභාවික ජලකඩිති ආදී මානවයාගේ දිවි පැවැත්ම තහවුරු කරගැනීමට නිසැක වශයෙන් ම දායක විය. ලංකාවේ මධ්‍යශිලා යුගයේ වාසස්ථාන පිළිබඳ සිදුකරන අධ්‍යයනයන් ගේ දී පමණක් නොව මානවවංශ විද්‍යා අධ්‍යයනයන් ගේ දී ද පැහැදිළි වී ඇත්තේ අතීත මානව වාසස්ථාන සෑම විට‍ම ජල මූලාශ්‍ර ඇසුරේ ස්ථානගත වී ඇති බවයි. ජලය යනු මිනිසාට පමණක් නොව සියලු සත්ත්වයා ගේ ම දිවිපැවැත්ම සදහා අත්‍යාවශ්‍ය සංරචකයක් බව අප සියල්ල අද්දැකීමෙන් ම දන්නා සරළ සිද්ධාන්තයකි.

පාංශු ව්‍යාප්තිය

මිනිසා වටා භෞතික පරිසරය පිළිබඳ ව අධ්‍යයනය කරන විට හඳුනාගත හැකි ප‍්‍රධාන සංඝටකයන්ගෙන් එකක් වශයෙන් පස වැදැගත් වන්නේ මිනිසාගේ බොහෝ ක‍්‍රියාකාරකම් මෙන් ම පැවැත්ම ද යම් අයුරකින් පස මත රදාපවත්නා බැවිණි. ශාක හා සත්ව සංගතියට ද වාසය කිරීමට හැකි පරිසරයක් නිර්මාණය වන්නේ පස සංචිත වී ඇති ස්ථානයන්ගේ දී පමණි. පාෂාණ ද්‍රව්‍යයන්ට සාපේක්‍ෂක ව බැලීමේ දී පස අත්කර ගන්නා වැදැගත් ලක්‍ෂණ කීපයකිx (අ) පස මත ශාක හා සතුන් වාසය කිරීම, (ආ) පසට ව්‍යුහයක් පැවැත්ම හා එම ව්‍යුහාත්මක සැකැස්ම මඟින් පස තැනුණු ක‍්‍රියාකාරකම් විදහා පෑම හා (ඇ) පාරිසරික වෙනස් වීම් වලට මුහුණ දීමේ හැකියාව ඒ අතර වැදගත් තැනක් හිමිකර ගනී.

පුරාවිද්‍යාත්මක අධ්‍යයනයන් සම්බන්ධයෙන් සලකා බලන විට ද පස වැදැගත් කාර්යය කොටසක් ඉටු කරයි. විවිධ වර්ගයනට අයත් පස් හා අවසාධිතවල ශාක හා සත්ත්ව අවශේෂ සුරැකි ව පවත්නා අතර එමඟින් අතීත පරිසරය පිළිබඳ සාධක කෙරෙහි වැදගත් බලපෑමක් ඇතිකරනු ලබයි. ඇතැම් පස් වර්ග පරික්‍ෂා කිරීම තුළින් සාමාන්‍යයෙන් දේශගුණය සහ භූමි දර්ශනය මත මිනිසාගේ බලපෑම් පිළිබඳ ව අතිරේක තොරතුරු රැසක් සපයයි. මව් පාෂාණය රසායනික හා භෞතික ජීර්ණයට ලක් වීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් පස නිර්මාණය වන අතර පස නිර්මාණය සඳහා බලපාන්නා වූ ප‍්‍රධාන සාධක පහකි. එනම් (අ) දේශගුණය, (ආ) මූල ද්‍රව්‍යය, (ඇ) භූ ලක්‍ෂණ හා භූ විෂමතාව, (ඈ) වාක්‍ෂලතාදිය හා ජීව සංහතිය හා (ඉ) කාලය හෝ භූ දර්ශනයේ පුරාණත්වය යන සාධක යි.

ශ්‍රී ලංකාවේ වියළි කලාපය හා අර්ධ වියළි අතරමැදි කලාපයේ පස්, තෙත් කලාපය හා අර්ධ තෙත් අතරමැදි කලාපයේ පස් ආදී වශයෙන් විවිධ භූමි ඒකක වශයෙන් පස් වර්ග 25කට ආසන්න ප‍්‍රමාණයක් හඳුනාගෙන ඇති අතර ඒවායින් වර්ග 14ක් පමණ දිවයිනේ මහා පාංශු ගණ වශයෙන් හඳුනා ගැනේ. පස නිර්මාණය වීමේ දී බලපාන සාධකයන් ගේ විචල්‍යතාවන් මෙන් ම මවු පාෂාණය යන සාධක මත මෙම විවිධත්වය ඇති වේ. ලංකාවේ ඇති පාංශු ව්‍යාප්තීන් අතුරින් වයඹදිග ලංකාවේ හා ගිණිකෝ‍ය දිග ලංකාවේ වෙරළබඩ කලාපයේ ව්‍යාප්ත ව ඇති රතු පස් සැකැස්ම (Iranamadu Sequence/Iranamadu Formation-IFm) ලංකාවේ ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා අධ්‍යනයන් ගේ දී බෙහෙවින් වැදගත් තොරතුරු අනාවරණය කිරීමට සමත් වී ඇත. මෙම පාංශු සැකැස්ම විශේෂ දේශගුනික ක්‍රියාකාරීත්වයන් හේතුවෙන් නිර්මාණය වි ඇති බව පුරා දේශගුන විද්‍යාඥයින් හා භූ විද්‍යාඥයින් විසින් පෙන්වා දී ඇත. නමුත් මේ පාංශු සැකැස්ම පිළිබඳ විවිධ වැරදි විග්‍රහයන් දැන් දැන් අප සමාජය තුළ ව්‍යාප්ත වෙමින් පවතින බව දැකගැනීමට පුළුවන. දැනට ලංකාවෙන් ලැබී ඇති පැරණි ම මානව කෘතක ලැබී ඇත්තේ මෙම පාංශු කලාප හා එයින් ලැබෙන ආදි මානව කෘතක පිළිබඳ ව ලංකාවේ පුරාශිලා යුගය පිළිබඳ සිදුකරන සාකච්ඡාවේ දී මේ පිලිබඳ විග්‍රහ කිරිමට අවස්ථාව උදාකරගත හැකි වේ.

ස්වභාවික වෘක්‍ෂලතා

මානවයාගේ මැදිහත් වීමකින් තොර ව යම් ප‍්‍රදේශයක ජනනය වී ඇති වෘක්‍ෂලතා ස්වභාවික වෘක්‍ෂලතා යටතට ගැනේ. ශ්‍රී ලංකාවේ ස්වභාවික වෘක්‍ෂලතා ප‍්‍රධාන වශයෙන් 1. වනාන්තර හා 2. තණ බිම් යනුවෙන් කොටස් දෙකකට වර්ග වෙයි. මෙම ස්වාභාවික වෘක්ෂ ලතා ලංකාවේ ආදි මානවයාගේ චර්යාවන් සඳහා ඍජු ලෙස බලපා ඇති ආකාරය වර්තමාන පුරාවිද්‍යාඥයින් විසින් තේරුමි ගනිමින් සිටී. පුරාණ මානවයා හා සම්බන්ධ විවිධ සංස්කෘතික ලක්ෂණයන් ව්‍යාප්ත වීම හා සීමා වීම සඳහා මෙන් ම ඔහු ගේ චර්යාව තීරණය කිරීමට ද වෘක්ෂලතා බලපෑම් සිදුකර ඇත. අනෙක් අතට ලංකාවේ මධ්‍ය කඳුකරයේ දක්නට ඇති සමහර තණබිම් හා පතන භූමි ලංකාවේ ප්‍රාග් ඓතිහාසික මානවයාගේ ක්‍රියාකාරිත්වය හේතුවෙන් නිර්මාණය වී ඇති බවට ආචාර්ය සිරාව් දැරණියගල මහතා විසින් පෙන්වා දී ඇත.

knuckles-central-highland-sri-lanka
දුම්බර කඳුවැටියේ දර්ශනයක් (මෙම ඡායාරූපය http://www.siodi1234.blogspot.com වේබ් අඩවියෙනි.)

ලංකාවේ පාරිසරික කලාප
පාරිසරික සාධකයන්ගේ විවිධතාව අනුව ලංකාව පාරිසරික කලාප කීපයකට බෙදා වෙන්කර අධ්‍යයනය කිරීමට පර්යේෂකයින් පෙළඹි ඇති. ඒ අනුව, ලංකාව ප්‍රධාන වශයෙන් පහත දැක්වෙන ආකාරයට බෙදා වෙන්කර ඇත.

sri-lanka-s-u-deraniyagala-archaeology-lk
environmental-zones ලංකාවේ පාරිසරික කලාප (මෙම සිතියම එස්. යු. දැරණියගල මහතාගේ Prehistory of Sri Lanka: an Ecological Perspective කෘතියෙන් උපුටාගන්නා ලදී) A අර්ධ ශුෂ්ක කලාපය B පහත රට වියළි කලාපය C පහත රට අන්තර් වියළි කලාපය D තෙත් කලාපය 1 පහත රට තෙත් කලාපය 2 කදුකර තෙත් කලාපය 3 උස්බිම් තෙත් කලාපය E කදුකර වියළි කලාපය

ලංකාවේ වර්තමාන පුරාවිද්‍යා අධ්‍යයනයන් සඳහා මෙම පාරිසරික වර්ගීකරණය භාවිත කරන බව හඳුනාගත හැකි. ඒ අනුව ප්‍රාග් ඓතිහාසික අධ්‍යයන දියත් කිරීමේ සැලසුම් හා මානව සංරචක අර්ථකථනය කිරීම් මෙම පාර්සරික වර්ගීකරණය අනුව කලාප වශයෙන් වෙන් වෙන් වශයෙන් සලකා බැලීම කෙරෙහි ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාඥයින් උත්සුක වේ. දැනට සිදුකර ඇති පුරාවිද්‍යා අධ්‍යයන අනු බොහෝ ප්‍රාග් ඓතිහාසික අද්‍යයන සිදුකර ඇත්තේ තෙත් කලාපය එනම් D පාරිසරිත කලාපයේ හා ඊට අඩු වශයෙන් අර්ධ ශුෂ්ක කලාපය වන A පාරිසරික කලාපයේ වේ. ඒ අනුව අර්ධ ශුෂ්ක කලාපයේ සිදුකර ඇති අද්‍යයන අනුව ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් පැරණි ම සාධක වන පුරාශිලා යුගයට අයත් සාධක අනාවරණය වී ඇත. එ මෙන් ම තෙත් කලාපයේ ගුහා තුළින් මධ්‍යශිලා යුගයට අයත් සාධක විශාල ප්‍රමාණයක් අනාවරණය වී ඇත. මෙම කලාපයන්ගෙන් පරිබාහිර කලාපයන් ගේ ඇති ප්‍රාග් ඓතිහාසික මානව වාසස්ථාව පිළිබඳ ව මේ දක්වා යොමු කිරීමට හැකි වී ඇත්තේ අවම අවධානයක් වන අතර එම ස්ථාන අද්‍යයනය කිරීම ඉදිරි කාලයේ දී සිදුකළ යුතු කාර්යයන් අතර පවති.

පළමු ලිපියට… ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය 1 : දිගු ගමනක ආරම්භය

ග්‍රන්ථ නාමාවලිය… ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය : ග‍්‍රන්ථ හා ලිපි නාමාවලිය

ඉදිරි ලිපියෙන් … ලංකාවේ ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා පර්යේෂණයන් ගේ ආරම්භය . . . .

Previous articleශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය 1 : දිගු ගමනක ආරම්භය
Next articleශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය 3 : ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණයන්ගේ ආරම්භක අවධිය
Avatar
2006 වසරේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් වසරේ දක්ෂතම පුරාවිද්‍යා ශිෂ්‍යයාට හිමි මහාචාර්ය පී. ලිලානන්ද ප්‍රේමතිලක හා වෛද්‍ය නන්දා ප්‍රේමතිලක විශිෂ්ට නිපුනතා ත්‍යාගය සමඟ ශාස්ත්‍රවේදි (ගෞරව) (BA(sp)) උපාධිය ලබාගන්නා ලද චන්දිම, 1998 වසරේ දී මොරටුව විශ්වවිද්‍යාල‍යේ වාස්තුවිද්‍යා පීඨයෙන් ස්මාරක හා කේෂේත්‍ර සංරක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ද, 2010 වසරේ දී කොළඹ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් පුරාවිද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය (MSc.) ද හිමිකර ගන්නා ලදි. 2008 - 2010 කාලයේ දි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ තාවකාලික කථිකාචාර්යවරයෙකු වශයෙන් සේවය කළ ඔහු, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාල‍යේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්යවරයෙකු වශයෙන් 2011 වසරේ සිට සේවය කරන අතර එහි ප්‍රාග් ඉතිහාසිය හා අභිලේඛන විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයා වශයෙන් කටයුතු කරයි.

4 COMMENTS

  1. Ithama watina lipi pelak oba thuma arambha kara thibenne. Lankawe Prag ithihasaya gena liyavi thibena poth, lipi bohomayak liyevi eththe sinhala basin nowe. Eththenma eya mema watina denum sambharaya podu janaya atharata yamata vishala badhawak wuna. Oba thumage me lipi pela thulin ema getaluwata sarthaka visandumak lebenu ethei balaporoththu viya hekiya. Mema lipi malawa akhandawama pala karana lesa itha gawurwayen obathumagen illa sitimi. Eya apa mawubime purana, vidyanukoola ithihasaya pilibanda wimasilimathwana apa weni wu mahath pirisakage hitha suwa pinisa wana bawa noanumanawama kiwa heka. Behevinma sthuthi obathuimata.

    • බොහෝම ස්තූතියි අසංක මහතාණෙනි,
      ඔබ ගේ අදහස් අප ධෛර්යමත් කරන සුළුයි.

  2. ඔබ තුමන් විසින් ආරම්භ කර ඇති මෙම මහඟු කර්තව්‍යය, මෙම විෂය හදාරනු ලබන විද්‍යාර්ථීන්ට මහඟු අත්වැලක් වනු ඇතැයි මාගේ හැඟීමයි .ඉදිරියට ද ඔබ විසින් මෙවැනි ලිපි ඉදිරිපත් කරනු ඇතැයි අප විසින් හුදෙක් ම විශ්වාස කරනු ඇත .ඔබ තුමාට බොහොමත්ම ස්තුතියි !

    • ස්තූතියි චමින්ද මහතාණෙනි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.