චන්දිම බණ්ඩාර අඹන්වල

පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ.

චන්දිම බණ්ඩාර අඹන්වල

හැඳින්වීම

ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික අවධිය පිළිබඳ සාකච්ඡාවේ දී ඒ පිළිබඳ උනන්දු අයගේ විශේෂ අවධානයට පාත‍්‍ර වී ඇති යුගයකි, ගල් යුගයේ මෑතම කාලපරිච්ඡේදය වන නවශිලා යුගය. මානව පරිණාම ගමන් මාර්ගයේ තවත් එක් විශේෂ යුගයක් වන මෙය අලුත් ගල් යුගය යන අරුත ගෙන එන අයුරින් නවශිලා හෙවත් නියෝලිතික කාලපරිච්ඡේදය (Neolithic Period) යනුවෙන් නම්කර ඇත. ‘නියෝ’ (Neo) යන්නෙන් නව හෙවත් අලුත් (New) යන්නත් ‘ලිතික්’ (Lithic) යන්නෙන් ගල් (Stone) යන්නත් අදහස් කර ඇත. ශබ්දකෝෂ හා විශ්වකෝෂයන්ගේ මෙම වචනය පිළිබඳ පරික්ෂා කිරීමේ දී හඳුනාගත හැක්කේ මානව පරිණාමයේ හමුවන ශිලා තාක්ෂණික යුගයේ අවසාන කාලපරිච්ඡේදය මෙම යෙදුමෙන් පැහැදිලි වන බවයි. ලංකාවේ දී නවශිලා යුගය, නියෝලිතික යුගය හා අලුත් ගල් යුගය වැනි විවිධ යෙදුම්වලින් මෙම කාලපරිච්ඡේදය හඳුන්වන බව දැකගත හැකි වේ.

මහාචාර්ය වි. ගෝර්ඩ්න් චයිල්ඩ්

බටහිර කලාපයේ බිහි වූ ප‍්‍රමුඛ ඝණයේ විද්වතෙකු මෙන් ම ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාඥයෙකු වශයෙන් සැලකෙන මහාචාර්ය වි. ගෝර්ඩ්න් චයිල්ඩ් (V. Gorden Childe) විසින් මානව පරිණාම ගමන් මාර්ගයේ ඊට පූර්වතර යුගයන් සමඟ සැසදීමේ දී විශේෂ සලකුණු සහිත මෙම යුගය හැඳින්වීම සඳහා පළමු ව ‘නියෝලිතික’ යන්න භාවිත කොට එම කාලපරිච්ඡේදයට අදාළ විශේෂ ලක්‍ෂණ පැහැදිළි කර දී ඇත. නියෝලිතික යුගය මානව ඉතිහාසයේ විප්ලවීය යුගයක් හෙවත් ආපසු හැරවිය නොහැකි අන්දමින් මානව පරිණාමයේ සිදු වූ වර්ධනීය අවස්ථාවක් ලෙසින් හඳුන්වා දුන් ඔහු එය ‘නියෝලිතික විප්ලවය’ (Neolithic Revolution) ලෙසින් ද හඳුන්වන්නට විය. මෙම යුගය ඊට පූර්ව යුගයන්ගෙන් වෙන් කොට හඳුනාගැනීම සඳහා මහාචාර්ය චයිල්ඩ් වැදගත් කාරණා තුනක් ගෙනහැර දක්වයි. එනම්, අ. ප්ලයිස්ටෝසීන යුගයේ සත්ව සංහතියට සමාන නොවන සත්ව සන්හතිය, ආ. කැපුම් මෙවලම්වල දාරය හුදු ඇතිල්ලීමක් වෙනුවට මුවහත් හෝ ඔපවත් කර තිබීම හා ඇ. සත්ව ගෘහකරණය සහ පැළෑටි වගාව පිළිබඳ සාදක වශයෙනි. ඒ අනුව, යම්කිසි පුරාවිද්‍යා ස්ථානයකින් හෝ සන්දර්භයකින් උක්ත සාදක පරිපූර්ණ වන්නේ නම් එයින් නවශිලා යුගය නිරූපණය කරන බව සැලකිය හැකි වේ.

නවශිලා යුගයේ පොදු ලක්‍ෂණ

පොදුවේ සලකා බැලීමේ දී ලෝක මානව පරිණාම ගමන් මාර්ගයේ විශේෂ කාලපරිච්ඡේදයක් වශයෙන් හඳුනාගත හැකි හැකි නවශිලා හෙවත් අලුත් ගල් යුගයට ආවේනික ලක්ෂණ ගණනාවක් ඒ පිලිබඳ අධ්‍යයන සිදුකළ විද්වතුන් විසින් පෙන්වා දී ඇත. ඒවා පහත දැක්වෙන ආකාරයෙන් පෙළ ගස්වා දැක්විය හැකි වේ.

  1. මෙය අදින් වසර 12,000කට පමණ පෙර ලෝක පරිමාණයෙන් සිදු වූ සිදුවීමකි. මිනිසා හා පරිසරය අතර ඇති අන්‍යෝන්‍ය සබඳතාවේ උත්කෘෂ්ට අවස්ථාවකි.
  2. අදින් වසර 11,000-14,000කට පමණ පෙර සතුන් හා ශාක (බාර්ලි, තිරිඟු, වී, ගවයා, එළුවා හා බැටළුවා) හීලෑ කිරීම ආරම්භ විය.
  3. යැපීම් ක‍්‍රමවේදයේ පැහැදිළි වෙනසක් සිදු වීම
    අ. දඩයම හා ද්‍රව්‍ය එක්රැස් කිරීමේ ජීවන ශෛලියේ (Hunting & gathering) වැදගත්කම අඩු වී කෘෂිකර්මය පදනම් කොටගත් ජිවන ශෛලියකට මානවයා පරිවර්තනය වීම හා ඒ ඔස්සේ ස්ථිර වාසස්ථාන (Sedentary/village settlement) නිර්මාණය කරගැනීමට නැඹුරු වීම
    ආ. සංචාරක ජීවිතය ක‍්‍රමයෙන් අඩු වී ආහාර නිපදවා ගනිමින් එකම ස්ථානයක් තුළ වැඩිකාලයක් විවේකයෙන් ජීවිතය (Sedentary life) පවත්වාගෙන යාමට නැඹුරු වීම
    ඇ. බාර්ලි, තිරිඟු හා වී වැනි ධාන්‍ය වගාව (Cereal cultivation) ආරම්භ කිරීම
    ඈ. තාක්‍ෂණය භාවිත කරමින් වගා කටයුතු පුළුල් කරමින් කෘෂිකර්මය ආරම්භ කිරීම
    ඉ. ධාන්‍ය වර්ග භාවිතයට වැඩිවැඩියෙන් නැඹුරු වීම
    ඊ. ද්විතීය මට්ටමේ පාරිභෝගික ද්‍රව්‍ය (සත්ව නිෂ්පාදන හා සකසන ලද ආහාර වර්ග) භාවිත කිරීමට වැඩි කැමැත්තක් දැක්වීම
  4. තාක්‍ෂණය කැපී පෙනෙන ලෙස වෙනස් වීම
    අ. වඩා සියුම් කැපුම් මුවහත සහිත උල් ආයුධ භාවිත කිරීමට ඇති කැමැත්ත වැඩි වීම
    ආ. මතුපිට ඔපදැමූ ගල් ආයුධ (Polished stone axes) වැඩිපුර භාවිත කිරීමට පෙළඹීම
    ඇ. මැටිබඳුන් නිර්මාණය කිරීමේ තාක්‍ෂණය ආරම්භ කිරීම සමඟ වර්ණ ගන්වන ලද හා කැටයම් දමන ලද, සියුම් මතුපිටක් ඇති වළං භාවිතයට ඇති කැමැත්ත වැඩි වීම. අතින් වළං නිර්මාණය කිරීම අඩු කර ඒ සඳහා කුඩා ප‍්‍රමාණයේ කැරකවෙන කුඩා රෝද හෙවත් යන්ත‍්‍ර යොදාගෙන සියුම් ලෙස වළං නිර්මාණය කිරීම හා ගින්දර භාවිත කරමින් වළං පිළිස්සීමට කැමැත්තක් දැක් වීම.
    ඈ. ආහාර ගබඩා කිරීම තාක්‍ෂණය දියුණු කිරීමට පෙළඹීම
    ඉ. ආහාර සකස් කිරීමේ තාක්‍ෂණය දියුණු කිරීමට පෙළඹීම
    ඊ. ගෘහ නිර්මාණ ශිල්පය දියුණු කිරීමට පෙළඹීම (අගුව සහිත ආයත චතුරස‍්‍රාකාර හා වෘත්තාකාර නිවාස සෑදීම ආරම්භ කිරීම)
    උ. ලෝහ (තඹ හා ලෝකඩ) හා විශේෂ පාෂාණ වර්ග (කානේලියන්) වලින් සාධන ලද පබළු භාවිතයට ඇති කැමැත්ත වර්ධනය වීම
  5. සන්නිවේදන ක‍්‍රමවල විවිධත්වය පුළුල් වීම (සිතුවම් හා අක්‍ෂර භාවිතයට ඇති නැඹුරුතාව)

ඉහත දැක් වූ කාරණාවන් මෙන්ම මෙම යුගය හඳුනා ගැනීම සම්බන්ධයෙන් තදබල ආකායෙන් සලකා බලන කාරණා හෙවත් කොන්දේසී හතරක් තීව‍්‍ර හා සංක්‍ෂේපයෙන් හඳුනාගත හැකිව පවතී. මෙම සාදක නවශිලා යුගය හඳුනා ගැනීම පිළිබඳ ප‍්‍රකට කොන්දේසි වශයෙන් ද පවතී. ඒ අනුව,

    • මැටිබදුන්
    • සත්ව පාලනය/එඬේර කටයුතු හෙවත් සත්ව ගෘහකරණය
    • කෘෂිකර්මය පිළිබඳ මූලික සාදක හෙවත් ශාක ගෘහකරණය
    • ඔපදැමූ ශිලා මෙවලම්

යන සාදක මෙම කාලපරිච්ඡේදය හඳුනාගැනීම සඳහා පවතින කොන්දේසි වශයෙන් පවති. මෙකී කොන්දේසිවලින් පැවසෙන කාරණාවන්ගේ දෘෂ්‍යමාන බව ඔස්සේ මානව සමාජයේ නවශිලා යුගයේ දෘෂ්‍යබව පිළිගැනීමට ලක්ව පවතී.

නවශිලා කාලපරිච්ඡේදයට අයත් ඇඹරුම් ගලක්

බටහිර ආසියාවේ යුප‍්‍රටීස් හා ටයිග‍්‍රීස් ගංගා දෙක මැදිකරගත් කලාපයේ හා ඊට තදාසන්න ලෙවාන් කලාපයේ වූ අර්ධ ශුෂ්ක ප‍්‍රදේශවලත්, නයිල් නදිය අසබඩ හා ඉන්දු ගංගාවේ මූලාරම්භක ප‍්‍රදේශවලත් මුල්වරට තිරිඟු වගාව මුල් කොට ගනිමින් කෘෂිකර්මය බිහි වූ බව වී. ගෝර්ඩන් චයිල්ඩ්ගේ නිරීක්‍ෂණය විය. ඇෆ්ගනිස්ථානය, පාකිස්තානය, ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව වැනි දකුණු ආසියාතික රටවල කෘෂිකාර්මික සමාජවල ආරම්භය අදින් වසර 10,000කට වඩා ඈත අවධියට ගමන් කරන බව පුරාවිද්‍යා පර්යේෂණ ඔස්සේ සනාථ වී ඇත. අදින් වසර 10,000 ඉක්මවා ගිය කාල වකවානුවක දී දකුණු ආසියාවේ කෘෂිකර්මය උපත ලැබීමට අවශ්‍ය සියලු සාධක සහිත වඩාත් පොහොසත් පරිසර තත්වයක් තිබූ බවට නවීන පුරා දේශගුණ හා පාරිසරික පර්යේෂණ මඟින් ද තහවුරු වී ඇත. එමෙන් ම, අදින් වසර 14,000ට වඩා ඈත අතීතයේ චීනයේ යැංසි ගංගා දෝණිය තුළ වී වගාව දියුණු මට්ටමින් පැවැති බව ද අනාවරණය වී ඇත.

පොදුවේ සලකා බැලූ විට ලෝකයේ එකිනෙකට වෙනස් ප‍්‍රධාන ප‍්‍රදේශ 6ක් ආශ‍්‍රිතව මූලික කෘෂිකර්මය ස්වාධින ලෙස ආරම්භ ව පැවති ඇති බව ද පෙනී ගොස් ඇත. එකී ප‍්‍රදේශ වශයෙන් පහත දැක්වෙන ප‍්‍රදේශ හඳුනා ගෙන ඇත.

    1. බටහිර ආසියාව හා තදාසන්න ප‍්‍රදේශ (පලස්තීනය, සිරියාව, ජෝර්දානය හා සිරියාව)
    2. නැගෙනහිර ආසියාව (දකුණු චීනය යැංශි ගංගාව ආශ‍්‍රිතව)
    3. දකුණු ආසියාව (පාකිස්තානය, ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව)
    4. අග්නිදිග ආසියාවේ මුහුදුබඩ ප‍්‍රදේශය (තායිලන්තය, පැපුවා නිව්ගිනියාව)
    5. මධ්‍යම ඇමරිකාව (මෙක්සිකෝව)
    6. බටහිර අප‍්‍රිකාව (නයිජර් ගංගාව ආශ‍්‍රිතව)

ඒ අනුව පුරාශිලා හා මධ්‍යශිලා නැතිනම් ක්‍ෂුද්‍රශිලා යුගයේ දී දඩයක්කාර රැස්කරන්නන් වූ මානවයින් පරිසරය කෙරෙහි පැවති දැඩි අනුගත බවින් මිදී පළමු වරට පරිසරය තම සිතැඟියාවන් අනුව මෙහෙයවීම ආරම්භ කරන බව නවශිලා යුගයේ දී දැකගත හැකි වේ. මෙවැනි තත්ත්වයක් කලාපීය වශයෙන් ඉන්දීය සාගරික තදාශ‍්‍රිත කලාපයේ ද හඳුනාගෙන ඇත.

ඉන්දියාවේ නවශිලා යුගය

ලංකාවට ආසන්නම භූගෝලීය කලාපය වූ ඉන්දියාවේ විවිධ කලාපවලින් එනම් බලුකිස්ථානය, කාශ්මීරය හා ඇසෑම් යන ප‍්‍රදේශවලින් නවශිලා යුගය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇත. ඉන්දියාවේ නවශිලා යුගය ආසන්න වශයෙන් ක‍්‍රිස්තු පූර්ව 4,000 කාලයේ සිට ක‍්‍රිස්තු පූර්ව 2,000 අතර වූ (ca. 4,000 BC-ca. 2,000 BC) කාලපරිච්ඡේදයේ බලපැවැත් වූ බව කාලනීර්ණ අනුව තහවුරු වී ඇත. ඊට සමාන්තරව නියෝලිතික-කැල්කොලිතික යුගය ආසන්න වශයෙන් ක‍්‍රිස්තු පූර්ව 2,500 සිට ක‍්‍රිස්තු පූර්ව 1,000 පමණ වූ (ca. 2,500BC-ca. 1,000 BC) කාලයේ දි සනිටුහන් වන අතර ආන්ධ‍්‍ර, මයිසූර්, කර්ණාටක, තමිල්නාඩු, බිහාර්, කාශ්මීරය හා මහාරාස්ඨ‍්‍ර යන ප‍්‍රදේශවලින් මේ පිළිබඳ සාධක හමු වෙයි. නැඟෙනහිර ඉන්දියාවේ නවශිලා යුගයේ ජනාවාස පිළිබඳ ඇසෑම් කලාපයෙන් වාර්තා වෙයි. මෙම කලාපයේ නවශිලා කාලපරිච්ඡේදයේ මැටිබඳුන් නිර්මාණය ආකාර දෙකකින් සිදුකළ බව තහවුරු වෙයි. එනම්, සක පුවරුවේ නිර්මාණය කිරීම හා අතින් සකස් කිරීම යන ආකාර දෙකිනි. එමෙන් ම, දඟර ආකාරයට සකස් කිරීම (coil-building method) හා string mould method යන ක‍්‍රම ද භාවිත වී ඇත.

නැඟෙනහිර ඉන්දියාවෙන් නවශිලා කාලපරිච්ඡේදය පිළිබඳ අනාවරණය වන සාදක ගිණිකොණදිග චීනය හා ඉන්දු-චීන කලාපයෙන් අනාවරණය වන නවශිලා යුගය හා සම්බන්ධ සාධක සමඟ සම්පාත බව බැව් පෙනී ගොස් ඇත. ගිණිකොණදිග ආසියාවෙන් හමුවන ජනාවාස සාධක හා පසු කාලීන සංස්කෘති පිළිබඳ සාධක සලකා බැලීමෙන් පසුව ඉන්දියාවේ බිහි වූ ප‍්‍රකට පුරාවිද්‍යාඥ ආචාර්ය එච්.ඩී. සංකාලියා පෙන්වා දෙන්නේ ක‍්‍රිස්තු පූර්ව 12,000-ක‍්‍රිස්තු පූර්ව 2,000 දක්වා කාලයේ මානවයාගේ දඩයම හා රැස්කිරීම මත පදනම් වූ ජීවන රටාව මෙම අවධියේ දී ප‍්‍රාථමික කෘෂිකාර්මික පදනමක් වෙත පරිවර්ථනය වූ බවයි. මෙම මතය තහවුරු කරමින් කාශ්මීර් ප‍්‍රදේශයේ නවශිලා සංස්කෘතීන් පිළිබඳ සාධක කාබන් කාලනීර්ණය අනුව ක‍්‍රිස්තු පූර්ව 2,500-1,500 කාලයට අයත් බව තහවුරු වී ඇත. බුර්සාහම් නම් පුරාවිද්‍යා ස්ථානයෙන් අනාවරණය වූ වළ ජනාවාස මඟින් නියෝලිතික මානවයා විවෘත භූමි ජනාවාස කෙරෙහි වඩා වැඩි රුචිකත්වයක් දැක් වූ බව පෙනී යයි. මැටිබඳුන් හා ශිලා මෙවළම් අනුව මෙම යුගයේ මානවයාගේ ජීවන රටාව මාළු බෑම හා දඩයම මත පදනම් වූ බව ද තහවුරු වෙයි.

දක්‍ෂිණ ඉන්දියාවේ නවශිලා කාලපරිච්ඡේදයේ සංස්කෘතික රටාව තහවුරු කිරීමේ අරමුණින් පසුගිය දශක කීපය තිස්සේම පුරාවිද්‍යා පර්යේෂණ සිදු කරන ලදි. 1947 දි මෝර්ටිමෝර් වීලර් විසින් සිදුකරන ලද බ‍්‍රහ්මගිරි කැනීමේ සිට සංගන්කල්ලු, පික්ලිහාල්, මාස්කි, ටෙක්කල්කොටා, හල්ලූර්, උත්නර්, කුප්ගල්, කොඩෙගල් හා පල්ලවොයි ආදි ස්ථානවල සිදුකරන ලද කැනීම් මේ සම්බන්ධ කථිකාව පෝෂණය කිරීමට දායක වී ඇත. උත්නාර් හා කොඩෙකල් පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රයන්ගේ රේඩියෝකාබන් කාලනීර්ණය අනුව ආචාර්ය පද්දයියා මෙම කලාපයේ නියෝලිතික සංස්කෘතික ධාරාව ක‍්‍රිස්තු පූර්ව 2,500 දක්වා කාලනීර්ණය කළ හැකි බව පෙන්වා දෙයි. සංගන්කල්ලු හා ටෙක්කල්කොටා ප‍්‍රමුඛ ඉහත ස්ථානයන්ගෙන් නියෝලිතික ජනාවාස, කලාශිල්ප, ආර්ථිකය හා සුසාන චාරිත‍්‍ර පිළිබඳ තොරතුරු අනාවරණය වේ. දක්‍ෂිණ ඉන්දිය කැනීම් අතුරින් කාවේරි ආශ‍්‍රිත නර්සිපූර් හා මයිසූරය ආසන්නයේ හෙමිජ් ස්ථානයන්ගෙන් දක්‍ෂිණ ඉන්දිය කලාපයේ මධ්‍යම ප‍්‍රදේශයේ නිවශිලා කාලපරිච්ඡේදයේ මානවයාගේ ප‍්‍රධාන වාසස්ථාන බව පෙනී යයි. පැරණිම නියෝලිතික මැටිබඳුන් පිළිබඳ සාධක දකුණු ඉන්දිය කලාපයේ සංගන්කල්ලු, බ‍්‍රහ්මගිරි, පික්ල්හල්, ටෙක්කල්කොටා, හල්ලූර්, දයිලමලායි, ටොගාරප්පල්ලායි හා මුල්ලිකාඩු යන ස්ථානයන්ගෙන් වාර්තා විය.

තමිල්නාඩු ප‍්‍රදේශයේ පැරණිම නියෝලිතික සාධක පයියම්පල්ලි ක්‍ෂේත‍්‍රය අනුව ක‍්‍රිස්තු පූර්ව 1,600 දක්වා ඈතට ගමන් ගන්නා බව තහවුරු වෙයි. එහෙත් වඩා පැරණි සාධක කර්ණාටක, ආන්ධ‍්‍ර හා කාශ්මීර් ප‍්‍රදේශවලින් ලැබෙයි. ඉන්දියාවේ ප‍්‍රකට පුරාවිද්‍යාඥයෙකු වූ ආචාර්ය ඩී.එච්. සංකාලියා ප‍්‍රකාශයට පත්කර ඇති දින අනුව නියෝලිතික යුගය තෙ වන සහශ‍්‍රක වර්ෂය දක්වා ගමන් කරයි. ආචාර්ය සංකාලියා විසින් ඉන්දියාවේ නවශිලා යුගයේ දී වගා කිරීමට ඇති ‘වී’ ඇතුළු විවිධ වර්ගයේ ධාන්‍ය (Rice, Ragi (African millet), Kodenmillet (Kodra), Jowar (Sorgum), Bajra (Pearl millet), හා Horse Gram (Kulathi)) පිළිබඳ සාදක රැසක් ගෙනහැර දක්වයි.

[මෙහි දැක්වෙන ඉන්දියාවේ නවශිලා යුගය පිළිබඳ සමහර තොරතුරු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ඩී.කේ. ජයරත්න මහතාගේ දේශන සටහන් තුළින් උපුටාගත් බව කාරුණිකව සලකන්න.]

ලංකාවේ නවශිලා යුගය

ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික තැම්පතු පිළිබඳ අවධානය යොමුකිරීමේ දී ‘මෙසෝලිතික බලංගොඩ සංස්කෘතිය පැරණි මූල ඓතිහාසික යකඩ යුගයට සංක‍්‍රමණය වූ ආකාරය ශ්‍රී ලංකාවේ දි ප‍්‍රමාණවත් ලෙස ශේෂගත වී නොමැති බව ආචාර්ය සිරාන් දැරණියගලයන් විසින් පෙන්වා දී ඇත. මෑත කාලවල දි ප‍්‍රාග් ඓතිහාසික තැම්පතු සහිත ගල් ලෙන් වාසස්ථාන තුළින් ඒවායේ පැවති තැම්පතු වලින් ඉහල තැම්පතු ලෙස සකස් වී ඇති කුරුළු බෙටි පොහොර වශයෙන් ඉවත් කරගැනීම හේතු කොටගෙන සෑම විට ම වාගේ අදාළ සංක‍්‍රමණික නිධි අවුල් වී යාම හේතුවෙන් ඉතා වැදගත් ඉහල මට්ටම්වල සම්බන්ධතා විනාශ වි ඇත. එ මෙන්ම, ඈත ඓතිහාසික යුගයේ දී බුදුදහමේ ව්‍යාප්තියත් සමඟ ගල්ලෙන් භික්‍ෂූන් වහන්සේලාගේ වාසස්ථාන වශයෙන් පිදීම ජනප‍්‍රිය වීමේ ප‍්‍රතිපළයක් වශයෙන් ඒවා ශුද්ධපවිත‍්‍ර කර මහාසංඝරත්නය උදෙසා පිදීම හේතුවෙන් ද එවා තුළ පැවති උපරි තැම්පතු ඉවත් වී ඇති බව පැහැදිලි වේ. තවත් අතකට වඩා සියුම් පුරාවිද්‍යාත්මක ක‍්‍රම හා ඒ හා සමාන්තර විධික‍්‍රම යොදා ගැනීමේ දුබලතාව හෙයින් ද ලංකාවේ මෙකී කාලපරිච්ඡේදය පිිළිබඳ තොරතුරු අනාවරණය වීම සීමා වී ඇත. මෙකී ප‍්‍රධාන හේතු හා තවත් හේතු නිසා සියවසකටත් වඩා පැරැණි දිවයිනේ පුරාවිද්‍යා වංශකථාවේ මේ අවධිය පිළිබඳව නිශ්චිත අදහසක් ඇතිකරගැනීමට තරම් ප‍්‍රමාණවත් දත්ත අනාවරණය කරගැනීමට පුරාවිද්‍යාඥයෝ සමත්ව නැත. ඒ නමුත් පසුගිය කාලයේ දී සිදුකර ඇති අධ්‍යයන අනුව මෙම අවධිය පිළිබඳ යම් සාධනීය අදහස් ඇතිකර ගැනීමට තරම් සලකා බැලිය හැකි සාදක ප‍්‍රමාණයක් අනාවරණය වෙමින් පවතින බව පෙනී යයි.

ශ‍්‍රී ලංකාවේ නවශිලා යුගය පිළිබඳ ඡායා සටහන්

ලංකාවේ නවශිලා යුගය පිළිබඳ යුරෝපය හෝ ඉන්දියාවේ මෙන් ස්ථිර හා පැහැදිළි සාදක නොමැති බව ඒ පිළිබඳ සාකච්ඡා කිරීමේ දී අවධානය යොමුකළ යුතු කරුණකි. නමුත් ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණයන් ආරම්භ වූ 19 වැනි සියවසේ අඟ භාගයේ හා 20 වැනි සියවසේ මුල් කාලයේ දී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය පිළිබඳ උනන්දු වූ විද්වතුන් විසින් ලංකාවේ නවශිලා යුගයක් පිළිබඳ සාකච්ඡා කිරීමට ප්‍රොත්සාහි වී ඇත. ආරම්භක යුගයේ ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික තොරතුරු පිළිබඳ උනන්දු වූ සී.ජී. හා බී. ඉසෙඩ් සෙලිග්මාන් යුවල විසින් ලංකාවේ විවිධ ස්ථානවලින් ප‍්‍රාග් ඓතිහාසික ගල් මෙවළම් රැස්කරන ලද අතර ඒවා නවශිලා යුගයට අයත් බව ඔවුන් විසින් අදහස් දක්වා ඇත. එ මෙන් ම චාල්ස් හාට්ලි විසින් මස්කෙළිය ප‍්‍රදේශයෙන් අනාවරණය කරගත් කහඳ පාෂාණයන්ගෙන් නිර්මිත මෙවළම් නවශිලා යුගය නිරූපණය කරන බව සටහන් කර ඇත. ඊට අමතරව ඔහු විසින් ගම්පොල ආසන්නයේ ඇත්ගාල කන්දෙන් සොයාගන්නා ලද ශිලා මෙවළම් නවශිලා යුගයට අයත් බවට ද හඳුනාගන්නා ලදි. හාට්ලි විසින් පිග්මි හා පිග්මි නොවන වශයෙන් ගල් ආයුධ යුරෝපීය සම්ප‍්‍රදාය අනුව වර්ග කරන ලද අතර කුඩා මෙවළම් හෙවත් පිග්මී මෙවළම් නියෝලිතික යුගය නිරූපණය කරන බවට යෝජනා කරන ලදි. නමුත් හාට්ලි විසින් මෙසෝලිතික යුගය යන්න භාවිත කර ඇත්තේ අවම වශයෙන් බවත් මෙම සාකච්ඡාවේ දී අවධානය යොමුකළ යුත්තකි. ඔහු බණ්ඩාරවෙළ ප‍්‍රදේශයේ පොළොව මතුපිටින් හමු වූ ගල් මෙවළම් නවශිලා මෙවළම් වශයෙන් වාර්තා කර ඇත.

1919 වසරේ දී ලංකාවෙන් හමුවන ශිලා මෙවලම් පහත් බිම් වර්ගය (low land series) හා කඳුකර වර්ගය (hill series) යනුවෙන් කොටස් දෙකකට වර්ග කොට දැක් වූ ඊ.ජේ. වේලන්ඩ් විසින් කඳුකර වර්ගය ලෙස හඳුනා ගත් මෙවලම් නවශිලා යුගයට අයත් බව දක්වයි. මේවා පහත් බිම් වර්ගයට වඩා කුඩා හා තිරුවාණා පාෂාණයෙන් නිපදවා තිබීම ඔහු විසින් පෙන්වා දෙන ලද ලක්ෂණ වේ.

ලංකාවේ නවශිලා යුගය පිළිබඳ සාකච්ඡා කිරීමේ දී වැදගත් වන මැදිහත්වීමක් සිදුකළ විද්වතෙක් වශයෙන් ආචාර්ය පී.ඊ.පී. දැරණියගල විසින් සිදුකරන ලද පර්යේෂණ මෙන් ම ඔහු දක්වා ඇති අදහස් පිළිබඳ ගැඹුරින් සලකා බැලීම අත්‍යාවශ්‍ය වේ. එතුමා විසින් කැනීම් කරන ලද උඩුපියන් ගල්ගේ, ලුණුගල්ගේ හා බඹරගල ගුහාව යන කැනීම් ස්ථානයන්ගේ එකම පස් තට්ටුවක් තුළින් ගල්ආයුධ හා මැටිබඳුන් යන වර්ග දෙකම එකට සම්මිශ‍්‍ර වී පැවතිය දී හමුවන අතර ඒවා මාදිළි අනුව නවශිලා යුගයට අයත් බව අදහස් කර ඇත. එමෙන්ම ඔහු විසින් කෑගල්ල ආසන්නයේ කළුකොළදෙණිය ගල් ගුහාව තුළින් වෑයක් වැනි ඔප දැමූ ගල් උපකරණ වාර්තා කර ඇති අතර මෙවැනි නිර්මාණ හමුවන්නේ නවශිලා සන්දර්භ තුළින් වීම ද විශේෂත්වයකි. එ මෙන් ම නවශිලා යුගයට අයත් විය හැකි පබළු මෙවළම්, කිණිහිරගල්, ඇඹරුම්ගල් හා මැටිබඳුන් වාර්තා කර ඇත.

මහඑළිය හෙවත් හෝර්ටන් තැන්න සාධක

1990 දශකයෙන් පසුව ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික නවශිලා යුගය පිළිබඳ කථිකාව පෝෂණය කිරීම සඳහා ප‍්‍රමුඛ දායකත්වයක් සැපයූ විද්වතෙක් වශයෙන් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ආචාර්ය ටී. රත්නසිරි පේ‍්‍රමතිලක හඳුන්වා දිය හැකි වේ. එතුමා විසින් අදින් වසර 13,000ට පමණ පෙර ලංකාවේ අඩි 7,000කට වඩා උස් ප‍්‍රදේශවල මූලික කෘෂිබිම් ව්‍යාප්තව පැවැති බව තහවුරු කරන පොසිල පරාග වාර්තා ප‍්‍රමාණවත් අයුරින් වාර්තා වන බව 1997 වසරේ සිට සිදුකරන ලද පුරා පාරිසරික නොහොත් පරාග විද්‍යාත්මක අධ්‍යයන අනුව පෙන්වා දී ඇත. ඒ අනුව, යව හා බාර්ලි වගාව ලංකාවේ මූලික කෘෂිකර්මයේ ප‍්‍රධානම භෝග වර්ග දෙක බව මහඑළිය හෙවත් හෝර්ටන් තැන්නේ මීටර් 6ක් පමණ ගැඹුරු පීට් නිධි අතරේ පොසිල වාර්තා හමුවීම තුළින් වඩාත් හොදින් පැහැදිළි කළ හැකි වෙයි.

වනාන්තර එළිපෙහෙළි කිරීම හා ගින්දර භාවිතයෙන් සිදුකරන හේන් වගාව (Slash and burn/chena cultivation) පිළිබඳ ව ඇති සාක්‍ෂි ද තෘණ බිම්වල සිදු වී ඇති එඬේර කටයුතු (Grazing and pastoral activity) සඳහා ඇති සාක්‍ෂි ද තෘණ බිම්වල කළමනාකරණය පිළිබඳ සාක්‍ෂි ද, කෑමට ගත හැකි ශාක වර්ග කීපයක පොසිල පරාග සාක්‍ෂි ද, වගා කටයුතු සඳහාම හඳුන්වා දෙන ලද පඳුරුමය ශාක කීපයකම (Cultivated shrubs) පොසිල වාර්තා හමුවීම ලංකාවේ පුරාණ කෘෂිකර්මය සඳහා ඇති සාධක වශයෙන් ආචාර්ය පේ‍්‍රමතිලක විසින් පෙන්වා දී ඇත.

පාරිසරික භූ චුම්භන වාර්තා (Environmental mineral magnetic records) මඟින් පෙන්වා දෙන මානව භූ ඛාදන ක‍්‍රියාකාරිත්වයන් ද ලංකාවේ උස්බිම් කලාපයට අයත් මහඑළිය ප‍්‍රදේශයේ අදින් වසර 10,000 පෙර අවධියේ දී මානව ක‍්‍රියාකාරකම් සිදු වූ බව පෙන්වා දෙන තවත් අමතර සාක්‍ෂියකි. අදින් වසර 17,500කට පමණ පෙර තණබිම් හා ලඳු කැලෑ ගිනි දමා පුළුස්සා විනාශ කිරීමේ ලක්‍ෂණ විශාල ප‍්‍රමාණයක් ක්‍ෂුද්‍ර අඟුරු විශ්ලේෂණය, පරාග වාර්තා, ෆයිටොලිත වාර්තා හා පොළොව අභ්‍යන්තරයේ භූ චුම්භණ ගතිගුණ විශ්ලේෂණය කිරීමේ ක‍්‍රමවේදය හරහා අනාවරණය විය. මිනිස් ක‍්‍රියාකාරකම් නිසා හෝර්ටන් තැන්නේ බොහෝ බෑවුම් ඛාදනයට ලක් වී ඇති අයුරු තේරුම් ගැනීම සඳහා ද මේ වාර්තා තවදුරටත් වැදගත් වනු ඇත. ඒ අනුව, මහඑළිය හෙවත් වර්තමානයේ හෝර්ටන් තැන්න යනුවෙන් හඳුනාගන්නා භූමි ප‍්‍රදේශයේ ඇති වී ඇති තණබිම් එකල විසූ මිනිසුන් විසින් කැලෑ එළිකර ගිනිතැබීම නිසා ඇති පතන භූමි වශයෙන් හඳුනා ගැනීමට හැකි වී ඇත. කාලීනව විශාල ගස් කපා බෙමි හෙළිම හා එසේ කළ නොහැකි ගස්වල පොතු ඉවත් කිරීම මඟින් ඒවා මැරී වියළිමට ලක්කර පසුව ගිනි තැමීබ මඟින් මෙම විශාල ගස් විනාශ කර ඇති අතර පසුව ඇතිවන පතන භූමියේ මුවා, ගෝනා වැනි කුර සහිත සත්වයන්ගේ ගහණයේ ශීඝ‍්‍ර වර්ධනයක් එකී භූ දර්ශනය තුළ දී එවැනි සතුන් දඩයම් කිරීමට ඇති පහසුවත් සලකා මෙවැනි ක‍්‍රියාමාර්ගයක් ප‍්‍රාග් ඓතිහාසික මානවයා විසින් අනුගමනය කර ඇති බව අර්ථකථනය කර ඇත. ඒ අනුව එකී කලාපයේ භූ දර්ශනය එකල මිනිසාගේ මැදිහත්වීම හේතුවෙන් ඇති වූවක් බව පැහැදිලි වේ.

ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික සාදක සපයන තැම්පතු අතුරින් බෙහෙවින් වැදගත් සංචිත වන්නේ අවුල් සහගත නොවූ ගල්ලෙන් තැම්පතු ය. ලංකාවේ තෙත් කලාපයේ පිහිටි ගල්ලෙන් අතුරින් බෙහොමයක මධ්‍යශිලා/ක්ෂුද්‍රශිලා තැම්පතු විධිමත් අයුරින් තැම්පත් වී ඇති අතර වෙනත් රටවල දී ඊට ඉහළින් ඊලඟ සංස්කෘතික අවධිය නිරූපණය කරන පස් තැම්පතු ඇතිරී පවතී. ලංකාවේ මේ දක්වා කිසිම ගුහාවක් තුළින් මීට අනුරූප තත්ත්වයක් හඳුනාගැනීමට ලක් ව නැත. නමුත්, පසුගිය කාලය තුළ ලංකාවේ තෙත් කලාපයට අයත් ගල් ලෙන් තුළ සිදුකරන ලද ගුහා කැනීම් වල දී පැහැදිලි වූ කරුණක් වූයේ එම ගල්ලෙන් තුළ පිහිටි ඉහළ ජනාවාස ස්තර දැඩි ලෙස අවුල්සහගත තත්වයකට පත් වී ඇති බවයි. එකී සමහර ගුහාවන්හි ඉහළ ජනාවාස මට්ටම් පසු කාලීන භික්‍ෂූ ආරාම වශයෙන් සකස් කිරීමේ දි පොළොව සමතලා කිරීම හේතුවෙන් සාධක විතැන්විමේ ක‍්‍රියාවලියට ලක් වී ඇති අතර අත්තනගොඩ අළුලෙන මේ සඳහා ඇති උදාහරණයකි. එමෙන්ම පොහොර වශයෙන් ඉවත් කිරීම හේතුවෙන් ද මෙම ගුහාවන්ගේ ඉහළ ජනාවාස මට්ටම් ඉවත් වී ඇති බව තහවුරු වෙයි. බොහෝ ගුහාවන්හි ඉහළ ජනාවාස ස්තරයන්ගෙන් මීටර් 2-4 දක්වා ප‍්‍රමාණයක් මෙලෙස ඉවත්කර ඇති බව හඳුනාගත හැකි වෙයි. කිතුල්ගල බෙලිලෙන හා අත්තනගල්ල පොත්ගුල්ලෙන වැනි ගුහා ජනාවාස ස්ථානයන්ගේ මේ තත්ත්වය අද දවසේ වුව ද නිරීක්‍ෂණය කිරීමට හැකි වේ.

අවිස්සාවේල්ල – ගිණිගත්හේන මාවත අතරමැද පිහිටා ඇති කදිම ප‍්‍රාග් ඓතිහාසික මධ්‍යශිලා ජනාවාස ස්ථානයක් වූ කිතුල්ගල බෙලිලෙන ගුහාවේ ඉහළ මට්ටමේ දි කාලරක්ත වර්ණ මැටි මෙවළම් (Black and Red Ware) හා රක්ත වර්ණ මෙවළම් (Red Ware) වාර්තා වුව ද ඒවා අවුල් සහගත තත්වයේ ස්තරයෙන් අනාවරණය වූ බැවින් සප‍්‍රමාණ අර්ථනිරූපණ සඳහා යොදාගැනීමේ හැකියාවක් නොමැති බව අදාළ කැනීම් කළ පුරාවිද්‍යාඥයන්ගේ අදහස විය. නමුත් ශ්‍රී ලංකාවේ නවශිලා යුගයක් තිබිණිදැයි අනුමාණ කිරීමට නැතිනම් සැක පහළ කිරීමට හේතු වී ඇති තවත් වැදගත් ස්ථාන 2ක් වශයෙන් මන්නාරම හෙවත් පුරාණ මාතොට වරාය ආසන්න ප‍්‍රදේශය හා කෑගල්ල දිස්ත‍්‍රික්කයේ දොරවකකන්ද ලෙන වෙත පුරාවිදඥයන්ගේ අවධානය යොමු පවතී.

මාතොට වරාය හෙවත් මන්නාරම

මන්නාරම සිදුකරන ලද පුරාවිද්‍යා කැනීම් තුළින් ගෘහකරණය කරන ලද කුර සහිත ක්ෂරපායි සත්වයින්ගේ අස්ථි හඳුනාගෙන ඇති නමුත් නවශිලා යුගය සම්බන්ධයෙන් අනෙකුත් සාදක මනාව සංග‍්‍රහ වී ඇති බවත් පෙනී යන්නේ නැත.

දොරවකකන්ද ලෙන කැනීමේ අවස්ථාවක්

වරකාපොළ ආසන්නයේ පිහිටි දොරවකකන්ද ඇතාබැඳි ලෙන

ආචාර්ය ඩබ්ලියු.එච්. විජයපාලගේ අධ්‍යක්‍ෂකත්වයෙන් යුතුව ශ‍්‍රි ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කෑගල්ල දිස්ත‍්‍රික්කයේ වරකාපොල ආසන්නයේ පිහිටි එබිඳිගල ග‍්‍රාමයේ පිහිටා ඇත දොරවක කන්ද ලෙනෙහි 1991 දි සිදුකළ කැනීම මඟින් මූලිකවම ශිලා මෙවලම්, අතින් හා සකපුවරුවේ නිපද වූ මැටි බඳුන්, ධාන්‍ය හා එක් යකඩ උපකරණයක් ඉහල මට්ටම්වලින් හමු වූ බව දැක්වෙයි. ශ්‍රී ලංකාවෙන් මනාව සංචිත වූ මෙවැනි නවශිලා එකතූන් ලැබුණු ප‍්‍රථම අවස්ථාව මෙය විය. ප‍්‍රධාන පස් තට්ටු හෙවත් පාංශු ස්ථර 9ක් යටතේ කැනීමට ලක් වූ දොරවක ලෙනෙහි එකී පස් තට්ටු හා ඒවා සම්බන්ධයෙන් අනාවරණය වි ඇති සංස්කෘතික නිදර්ශක පහත පරිදි පෙළ ගැස්විය හැකි වේ.

ස්ථර අංකය විස්තරය
IX අඟුරු හා අළු බහුල ය. තිරුවාණා, මැටි බඳුන්, කහඳ හා ශිලා මෙවලම්
VIII ශිලා මෙවලම්, මැටි බඳුන්, ග‍්‍රැපයිට් හා අඟුරු
VII තිරුවාණා පතුරු, ශිලා මෙවලම්, මැටි බඳුන් හා අඟුරු
VI ශිලා මෙවලම්, මැටි බඳු අළු හා අඟුරු
V අඟුරු, ශිලා මෙවලම්, තිරුවාණා, හෙමටයිට් හා මෙම ස්ථරයේ සංස්කෘතික සාධකයන් අතරෙ වූ ධාන්‍ය සාධක
IV මෙම ස්ථරයේ සංස්කෘතික අවශේෂ අතරේ මැටි බදුන්, ශිලා උපකරණ, ධාන්‍ය, අඟුරු හා කැකුණ ඇට
III ශිලා මෙවලම්, ධාන්‍ය, මැටි බඳුන්, අඟුරු හා කැකුණ ඇට
II ඉතා කුඩා අඟුරු කොටස්, කැකුණ ඇට, මැටි බඳුන් කොටස්, ගල් මෙවලම් අඟුරු හා ධාන්‍ය
I මවු පාෂාණය

 

දොරවකකන්ද ලෙනේ පස් තට්ටු දැක්වෙන සැලසුම

මෙම ලෙනේ පහළ ම ස්ථරය මෑත පූර්ව 6,310+/-70 (ca 7,200BP) කාලයට අයත් බව කාබන් 14 කාලනිර්ණ ක‍්‍රමය මඟින් පෙන්වා දි ඇත. මෙහි ස්තරානුකූලව ලැබුණු ගල් බිත්තියේ මතුපිට සිදුකළ සීරුම් ළකුණු අනුව මෑත පූර්ව 2,500 (ca 2,500BP) පමණ දක්වා මානව වාසස්ථාන පැවැති බව පෙනී යයි. එනම් ඓතිහාසික කාලපරිච්ඡේදයේ පහළම සීමාව දක්වා වෙයි. මෙම සියලු සාධක පිළිබඳව සලකා බලන විට දොරවක ලෙනේ ධාන්‍ය වර්ගයක් විය හැකි කිසිවක් හා සමඟ (යකඩ ආයුධ හා) මැටි බඳුන් ක‍්‍රිස්තු පූර්ව 5,250ටත් පෙර භාවිත කර ඇති බවට ළකුණු ඇත. ඒ අනුව, ශ‍්‍රී ලංකාවේ නවශිලා යුගය සම්බන්ධයෙන් ඇති අවුල් විසදා ලීමේ යම්කිසි සීමසහිත හැකියාවක් දොරවක කන්දේ කැනීම සතුව ඇති බව පෙනී යයි. මෙලෙස දක්නට ඇති සංස්කෘතික තැම්පතු ඇතිරිය අර්ථ දක්වමින් අදාළ කැනීම සිදුකළ ආචාර්ය ඩබ්ලියු.එච්. විජයපාල පවසන්නේ මෙම පවතින තත්ත්වය ‘පශ්චාත් මෙසොලිතික තත්ත්වයක්’ (a post Mesolithic condition) බවයි. එනම් මධ්‍යශිලා යුගයෙන් පසු සංස්කෘතික ලක්ෂණ මෙයින් නිරූපණය කරන බව ඔහු අදහස් කරයි. මෙම කැනීම මඟින් අනාවරණය වූ තත්ත්වය කිසිදු විටෙක නවශිලා තත්ත්වයක් බව ප‍්‍රකාශ කිරීමට ඔහු ඉදිරිපත් නොවුනත් මේ මඟින් මධ්‍යශිලා යුගයේ වර්ධිත අවස්ථාවක් හෝ ඊට පසු තත්ත්වයක් නිරූපණය කරනු ඇතැයි ඔහු සිතන බව පෙනේ.

1990 දශකයේ දී ගම්පහ දිස්ත‍්‍රික්කයේ වාරණ ගුහාවක සිදුකරන ලද පුරාවිද්‍යා කැනීමක් මඟින් ලංකාවේ මධ්‍යශිලා යුගයෙන් පසු තත්ත්වයක් පිළිබඳ සාකච්ඡාව යළි ඉස්මතු කිරීමට පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය ගාමිණි අදිකාරි හා ආචාර්ය අර්ජුන තන්තිලගේ උත්සාහ දරා ඇත. එකී කැනීමේ දී එක් පස් තට්ටුවකින් ගල් මෙවළම් හා මැටි බඳුන් කොටස් එකට සංචිතව හමුවන බවත්, එමඟින් නවශිලා තත්ත්වයක් නිරූපණය කරන බවත් එම විද්වතුන් අදහස් පළ කර ඇත. මෙකී තත්ත්වය ඔවුන් විසින් ‘පශ්චාත් මෙසෝලිතික යුගය’ යනුවෙන් ඔවුන් විසින් හඳුන්වා දීමට ද උනන්දු වී ඇත. මෙයින් අනතුරුව මෙකී ස්ථානයේම කැනීම් සිදුකළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පර්යේෂකයින්ගේ අදහස වන්නේ මෙම ස්ථානයේ පස් තට්ටුවල අවුල් සහගත බවක් ඇති වී පවතින හෙයින් මෙලෙස සංස්කෘතික අවශේෂ සම්මිශ‍්‍ර වී අනාවරණය වන බවයි. මෙයින් පසුව පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේම මහාචාර්ය රාජ් සෝමදේව විසින් ආචාර්ය පී.ඊ.පී. දැරණියගල විසින් කැනීම් සිදුකළ උඩුපියන් ගල්ගේ තුළ සිදුකරන ලද කැනීම් මඟින් ද මේ හා සමාන තත්ත්වයක් හඳුනාගත හැකි බව ප‍්‍රකාශ කර ඇත. එබැවින් මෙම අදහස් මීට වඩා ගැඹුරින් සලකා බලමින් විග‍්‍රහ කිරීම ඔස්සේ ලංකාවේ නවශිලා යුගයක් පැවතියේ ද යන ප‍්‍රස්තුතය සඳහා සාධනීය පිළිතුරක් සපයා ගැනීමේ භව්‍යතාවක් පවතින බව විශ්වාස කළ හැකි වේ.

මේ සංවාදයේ දී ලංකාවේ පුරාවිද්‍යාඥයින් අතරේ අවම අවධානයකට ලක් වූ කරුණක් පිළිබඳව ද මෙහි දී අවධානය යොමු කිරීම වැදගත් බව අපගේ වැටහීමයි. ලෝකයේ මානවයාගේ පරිණාම සංස්කෘතික මාර්ගය ගමන් කිරීමේ දී ඔහු විසින් නෂ්ඨ කළ සාධක අනුව පරිණාම ගමන් මාර්ගය හා එහි අවධි වෙන්කර තිබේ. ඒ අනුව පුරාශිලා, මධ්‍යශිලා හා නවශිලා යනුවෙන් අදාළ යුගයන්හි පවත්නා තාක්ෂණික ලක්ෂණ අනුව කාලය වෙන්කර තිබේ. ගල් ආයුධ තාක්ෂණයේ සිදුවන වර්ධනය අනුව පිළිවෙළින් මෙම යුග මානවයා විසින් පසුකළ බව පෙනී යයි. නමුත් මෙය අනිවාර්ය කොන්දේසියක් ලෙස හෝ මානවයා විසින් අනිවාර්යයෙන්ම මෙම යුග අනුපිළිවෙළින් පසුකළ යුතු යැයි කෙනෙක් සිතන්නේ නම් එය සියයට සියයක් නිවැරදි අදහසක් ලෙස සැලකිය හැකි නොවේ. ලංකාවේ පුරාවිද්‍යාඥයින් අනුමාණ කරන ආකාරයට යම් විටෙක මධ්‍යශිලා තාක්ෂණයේ සිටින මානවයාට බාහිර බලවේගයක් විසින් ලෝහ තාක්ෂණය අත්පත්කර දුනහොත් ඔහු තාක්ෂණික-සංස්කෘතික අවධීන්හී අනුපිළිවෙළට එන අනෙක් යුග ඉක්මවා නව යුගයකට පිවිසීම සිදුවිය හැක්කකි. ඒ අනුව ලංකාවේ මධ්‍යශිලා මානවයාට යකඩ තාක්ෂණය ලැබීමත් සමඟ මූළ ඓතිහාසික යකඩ යුගයට අවතීර්ණ වීම ද සිදුවිය හැකි තත්ත්වයකි.

අර්ධද්වීපික ඉන්දියාවේ හමුවන ආකාරයෙන් නවශිලා යුගයට ආවේනික වූ ඔප දැමූ ගල් පොරෝ, මැටි බඳුන් හා හීලෑ කරන ලද සතුන් පිළිබඳ සාදක ප‍්‍රමාණවත් අන්දමින් තවමත් ශ්‍රී ලංකාවෙන් සොයා ගැනීමට සමත්ව නැත. ඒ අනුව ලංකාවේ නවශිලා යුගය පිළිබඳ නිශ්චිත ආකාරයෙන් සාකච්ඡා කිරීම තවත් වසර කීපයක් අදාළ සාදක දිවයිනෙන් අනාවරණය වන තෙක් කල් දැමිය යුතුව ඇත.

----------------------------------------------------------------------------------
මෙම ලිපිය 2019.09.09 දින www.archaeology.lk/sinhala වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් විය.
----------------------------------------------------------------------------------
Previous articlearchaeology.lk ‌‌සමාජ සත්කාරයක් : භූගෝලීය තොරතුරු පද්ධති වැඩමුළුවේ ගාස්තු‌වෙන් 40%ක් . . .
Next articleරට, දැය හා සමය රැකගත් නාරංබැද්ද සටන
Avatar
2006 වසරේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් වසරේ දක්ෂතම පුරාවිද්‍යා ශිෂ්‍යයාට හිමි මහාචාර්ය පී. ලිලානන්ද ප්‍රේමතිලක හා වෛද්‍ය නන්දා ප්‍රේමතිලක විශිෂ්ට නිපුනතා ත්‍යාගය සමඟ ශාස්ත්‍රවේදි (ගෞරව) (BA(sp)) උපාධිය ලබාගන්නා ලද චන්දිම, 1998 වසරේ දී මොරටුව විශ්වවිද්‍යාල‍යේ වාස්තුවිද්‍යා පීඨයෙන් ස්මාරක හා කේෂේත්‍ර සංරක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ද, 2010 වසරේ දී කොළඹ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් පුරාවිද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය (MSc.) ද හිමිකර ගන්නා ලදි. 2008 - 2010 කාලයේ දි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ තාවකාලික කථිකාචාර්යවරයෙකු වශයෙන් සේවය කළ ඔහු, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාල‍යේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්යවරයෙකු වශයෙන් 2011 වසරේ සිට සේවය කරන අතර එහි ප්‍රාග් ඉතිහාසිය හා අභිලේඛන විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයා වශයෙන් කටයුතු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.