චන්දිම බණ්ඩාර අඹන්වල

පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ.

ශ‍්‍රී ලංකාවේ මධ්‍යශිලා/ක්‍ෂුද්‍රශිලා යුගයේ කලාව

චන්දිම බණ්ඩාර අඹන්වල

මානවයා විසින් ප‍්‍රධාන වශයෙන් වින්දනය අරමුණු කරමින් කලාව පිළිබඳ ආකල්පය ඇති කරගන්නා අතර මානවයාගේ මනසේ ඇතිවන්නා වූ සංවර්ධනයේ ඵලයක් වශයෙන් ද කලාව කෙරෙහි ආශක්ත වීමට අවස්ථාව ඇතිකර ගනී. ගෝලීය මට්ටමින් සලකා බැලූ විට මානවයා ඉහළ පුරාශිලා යුගයේ අත්කරගන්නා මානසික ප‍්‍රගමනයේ ප්‍රතිඵලයක් වශයෙන් කලාකෘති නිර්මාණය කරන බව පුරාවිද්‍යාඥයින් හා කලා ඉතිහාසඥයින් විසින් හඳුනාගනු ලැබ ඇත. ලොක් ප‍්‍රකට දකුණු ප‍්‍රංශයේ ලැස්කෝස් ගුහා (අදින් වසර 20,000 පමණ) හා උතුරු ස්පාඤ්ඤයේ ඇල්ටමීරා ගුහාවන්හි (ක‍්‍රිස්තු පූර්ව 34,000-12,000) ඇතුළු භිත්ති මත සටහන් කර ඇති සත්ව රූ මේ සම්බන්ධයෙන් ඇති ලෝ ප‍්‍රකට සිතුවම් අතර පවතී. ඊට අමතරව ලෝකයේ විවිධ පුරාවිද්‍යා කැනීම් තුළින් අනාවරණය වී ඇති පැස්බර බිත්තර කටුවල සටහන් කර ඇති සැරසිලි සටහන් මෙන් ම මැටියෙන් සකස් කළ මවුදෙවඟන නිරූපණය වේ යැයි සැලකෙන කාන්තා ස්වරූපි රූ කම් ද ඉහළ පුරාශිලා යුගයේ මානවයාගේ කලාත්මක චින්තනය ප‍්‍රකට කරන නිදර්ශක අතර පවතී. මේ නිර්මාණ කාලනීර්ණ වශයෙන් සලකා බැලූ විට ලංකාවේ මධ්‍යශිලා යුගය හා සැසදෙන 35,000-20,000ක් පමණ කාලයට ගමන් ගන්නා බව ද පෙනී යයි.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික අවධියේ මානවයා විසින් භාවිත කරන ලද කලාව හා අදාළ කෘති පිළිබඳ ව සමාජ පුරාවිද්‍යාත්මක දෘෂ්ටියකින් යුක්තව ආචාර්ය නිමල් පෙරේරා විසින් ඔ්ස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කළ Prehistoric Sri Lanka නම් තම දර්ශනසූරි උපාධි නින්ධනයේ දී ප‍්‍රමාණවත් අවධානයක් යොමුකර ඇත. එයින් පසුව ප්‍රවීන සත්ව විද්‍යාඥ කැළුම් නලින්ද මනමේන්ද්‍රආරච්චි ද මේ පිළිබඳ විග‍්‍රහාත්මක ලිපියක් සම්පාදනය කර ප‍්‍රකාශයට පමුණුවා තිබීම හේතුවෙන් සිංහල පාඨකයාට ඒ පිළිබඳ ප‍්‍රමාණවත් අවබෝධයක් ලබාගැනීමට හැකිව පවතී (‌මෙම ලිපියේ දැක්වෙන පබළුවල මිනුම් ලබාගන්නා ලද්දේ එම ලිපියෙන් බල සලකන්න.). මධ්‍යශිලා නැතිනම් ක්‍ෂුද්‍රශිලා යුගයේ විධිමත් හා උත්කෘෂ්ට නිර්මාණ රැසක් පිළිබඳ පුරාවිද්‍යාත්මක සාධක ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික ගල්ලෙන් කැනීම් තුළින් අනාවරණය වී ඇති බව දැනගැනීමට අවස්ථාව විවරව ඇත.

බුලත්සිංහල ෆා-හියන් ගුහා‌ෙවෙන් හමු වු මොරාගේ කොඳු ඇටයකින් සකස්කරන ලද පබළුවක් (අදින් වසර 38,000) (වම් පස ඡායාරූපය), බටදොඹලෙන 7c ස්ථරයෙන් (අදින් වසර 37,000-32,000) හමු වූ මුහුදු බෙලිකටු පබළුව – ප‍්‍රාග් ඓතිහාසික යුගයෙන් හමුවන පැරණිම පළදනාවයි. (දකුණේ ඉහළ ඡායාරූපය), බටදොඹලෙන 6 ස්ථරයෙන් (අදින් වසර 16,000-14,300) හමු වූ මුහුදු දෙපියන් බෙලිකටුවකින් සකස් කළ ඔිවලාකාර පළදනාව (දකුණේ පහළ ඡායාරූපය)

ලංකාවේ මධ්‍යශිලා/ක්‍ෂුද්‍රශිලා සන්දර්භ හා ඒවායේ කාලනීර්ණ පිළිබඳ සලකා බැලීමේ දී පබළු වශයෙන් සැලකිය හැකි පුරාකෘති හැර කලාකෘති වශයෙන් භාවිත කළ වෙනත් දේවල් පිළිබඳ සාධක දුර්ලභ ය. අදින් වසර 31,000ට කාලනීර්ණය කර ඇති බටදොඹලෙන පාංශු ස්තරයකින් බෙලිකටුවලින් නිර්මාණය කළ පබළුවක් ලැබීම මේ පිළිබඳ අනාවරණය වී ඇති පැරණිම සාධකයි. මෙම සාධක ඉන්දියාවේ හා වෙනත් රටවලින් ලැබෙන මධ්‍යශිලා පබළු සාධකයනට වඩා පැරණි බව තහවුරු වේ. මීට අමතරව අවිස්සාවේල්ල අසළ පිහිටි කිතුල්ගල බෙලිලෙනින් අස්ථිවලින් කළ බැරල් හැඩයේ පබළු ද ලැබී ඇත. කුරුවිට ආසන්නයේ බටදොඹලෙන 7c යනුවෙන් නම්කර ඇති පාංශු ස්ථරයෙන් (අදින් වසර ca 28,500 පමණ) හමු වූ බෙලිකටු ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික යුගය නියෝජනය කරමින් හමුවන පැරණිම පළඳනාව වශයෙන් සැලකේ. තනි කටුවක් ඇති මුහුදු බෙල්ලෙකුගේ ඉහළ කෙලවරට අයත් ක‍්‍රමාණුකූලව ඉවත් කරන ලද වටකුරු කටු කොටසකින් මෙය නිර්මාණය කර ඇත. මිලිමීටර් 13.7×15.3×1.5 ප‍්‍රමාණයේ වන මෙම පබළුව දුඹුරු රතුවන් පැහැති වේ. මෙම පබළුවේ මැද සිදුර සියුම් ආකාරයෙන් නිර්මාණය කොට ඇති අතර දෙ පසින්ම විද සිදුර සකස් කර ඇති බවත් හඳුනාගත හැකි වේ.

 

ලා රෝස මිශ‍්‍ර රිදිවන් අළු පැහැති ප‍්‍රමාණයෙන් මිලිමීටර් 8.2×6.3×0.6 වූ බටදොඹලෙන 6 වැනි පස් ස්ථරයෙන් (අදින් වසර 16,000-14,300) හමු වූ පළදනා අතර මුහුදු දෙපියන් බෙලිකටු කොටසකින් නිර්මාණය කර ඇති ඕවලාකාර පළදනාව ද මේ සම්බන්ධ කථිකාවේ දී වැදගත් වේ. එහි එක් පසෙක පිටත දාරයේ සියුම් අන්දමින් දැති සකස්කර ඇති අතර එහි විචිත‍්‍රවත්බව වැඩි කිරීමේ අරමුණින් මෙ ලෙස හැඩගැන්වූවා වීමට පුළුවන. මෙහි මධ්‍යයේ සියුම් සිදුරක් සකස් කර ඇත.

බටදොඹලෙන 5 ස්ථරයෙන් හමු වූ (අදින් වසර ca.13,500 BP) දෙපියන් බෙලිකටු කැබැල්ල (වමේ), බටදොඹලෙන 6 ස්තරයෙන් ම හමු වූ අනෙක් පළදනාව තනි කටුවක් සහිත මුහුදු බෙල්ලෙකුගේ ඉහළ කොටසින් සකස් කර ඇති ඔවලාකාර හැඩයක් ගත්තකි (මැද), අත්තනගල්ල ‌පොත්ගුල්ලෙනිිිින් හමු වූ ආභරණයක් (දකුණ)

කුරුවිට බටදොඹලෙන 6 වැනි පස් ස්ථරයෙන් ම හමු වූ අනෙක් පළදනාව තනි කටුවක් සහිත මුහුදු බෙල්ලෙකුගේ ඉහළ කොටසින් සකස් කර ඇති අතර හැඩයෙන් ඕවලාකාර වේ. ලා කහ පැහැති මෙය ප‍්‍රමාණය මිලිමීටර් 8.7×7.7×1.5 වන අතර එහි පිටත දාරය සියුම් ලෙස සකස් කර ඇති අතර මධ්‍යයේ සියුම් සිදුරක් ද විද සකස් කර ඇත. එම ගල්ලෙනේ ම 5 වැනි පස් ස්ථරයෙන් අනාවරණය වූ (අදින් වසර ca 13,500 BP) දෙපියන් බෙලිකටු කැබැල්ලකින් සකස් කළ පබළුව බොහෝ දුරට ත‍්‍රිකෝණාකාර හැඩය ඉස්මතුවන ආකාරයට ඝණ මතුපිටක අතුල්ලා සකස් කර එක් කෙළවරක සියුම් ලෙස සිදුරක් විද සකසා ඇත. මෙහි උපරීම උස මිලිමීටර් 16.9ක් ද පළල හා ඝණකම මිලිමීටර් 10.0×0.6ක් ද වන අතර අළු පැහැති වර්ණයක් ගනී.

බුලත්සිංහල ෆා-හියන් ප‍්‍රාග් ඓතිහාසික ගුහාවේ මිශ‍්‍ර පස් ස්තරයකින් හමු වූ මුහුදේ වාසය කරන මෝර මතස්‍යයාගේ

මෝර දතින් සකස් කළ පළදනා – අත්තනගල්ල ‌පොත්ගුල්ලෙන (වම් පස) හා අළුගල්ගේ (දකුණු පස)

දතකින් සකස් කළ ගෙල පළඳනාව ද ලංකාවේ සමාජ පුරාවිද්‍යාව පිළිබඳ අවධානය යොමු කිරීමේ දී වැදගත් තැනක් හිමිකර ගනී. මෙම දතේ පහළ කොටස දෙපසින්ම සියුම් ලෙස සිදුරු කොට පළදනාවක් ලෙස සකස් කොට ඇත. 2010 වසරේ දී පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය ගාමිණි අදිකාරි ගේ ප‍්‍රමුඛත්වයෙන් සිදුකළ අත්තනගල්ල පොත්ගුල්ලෙන කැනීම මඟින් ප‍්‍රාග් ඓතිහාසික කලාව හෙවත් ආභරණ පිළිබඳ සාධක කීපයක්ම ලැබී ඇත. මෙම කැනීමේ දී ද මෝර මතස්‍යය දතකින් සකස් කළ ගෙල පළදනාවක් අනාවරණය වී ඇති අතර එය විශේෂ ආභරණයක් වශයෙන් හඳුනාගත හැකි වේ. ඊට අමතරව මුහුදු බෙලිකටුවෙන් කළ දළ චතුරස‍්‍රාකාර හැඩයක් ගන්නා පළදනාව ද වැදගත් නිර්මාණයක් වශයෙන් හඳුනාගත හැකි වේ. එයින් පසුව මහාචාර්ය රාජ් සෝමදේව විසින් සිදුකළ අළුගල්ගේ ප‍්‍රාග් ඓතිහාසික කැනීම මඟින් ද හැඩයෙන් මෙවැනි ම ගෙල පළඳනාවන් ලැබී ඇත.

ප‍්‍ර‍්‍රාග් ඓතිහාසික සන්දර්භ තුළින් අනාවරණය වන්නා වූ ගස් ගොළුබෙල්ලන්ගේ කටු, යොතක අමුණා මාලයක් ආකාරයෙන් ගෙල පැළඳි ආභරණ වශයෙන් මධ්‍යශිලා මානවයා විසින් භාවිත කරන්නට ඇතැයි අදහසක් ඉදිරිපත් වී ඇත. ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා ස්ථානවලින් අනාවරණය වන ගොඩබිම හා මිරිදියේ වාසය කරන ගොළුබෙල්ලන්ගේ කටුවේ සිදුරක් පැවතීම මේවා ආභරණ ලෙස භාවිත කිරීමට ඇත යන, අනුමාණ අදහසට පුරාවිද්‍යාඥයින් ‌යොමු වීමට බල පා ඇත. මෙම බෙල්ලන් අතර වර්ෂා වනාන්තරවල වාසය කරන Acavus හා Oligospira විශේෂයනට අයත් මෙන් ම මිරිදියේ ජීවත් වන Paludomus වර්ගයන්ට අයත් ගොලුුබෙල්ලන් හඳුනාගත හැකි වේ. මෙම බෙල්ලන්ගේ කවචයේ පහළ කොටසේ පවත්නා සිදුර තුළින් හුයක් යොදා, මාලයක් මෙන් සකසා ගෙල පළදින්නට ඇතැයි විශ්වාස කරයි. නමුත් යම් පුද්ගලයෙකු වැඩි රුචිකත්වයක් දක්වන්නේ දුර්ලභ දෙයක් හෝ අලංකාරවත් වඩා ආකර්ශනීය දෙයක් ආභරණ වශයෙන් පැලදීමට බැව් වර්තමාන සමාජය දෙස බැලීමෙන් වුව පැහැදිලි වේ. ඒ අනුව ගස් හා දිය ගොළුබෙලි කවච ආභරණ වශයෙන් භාවිත වන්නට ඇති අවකාශය අඩු බව සාමාන්‍ය සමාජය දෙස බැලීමේ දී වුව පැහැදිලි වේ. එ සේ නම් එකී කවචයන්ගේ ඇති සිදුර ඇති වූයේ කුමන සාධක නිසාද යන්න සලකා බැලිය යුතු වේ. කවචයේ ඇතුළත ඇති මාංශ කොටස පිටතට ගැනීම සඳහා මෙවැනි සිදුරක් භාවිත කරන්නට ඇතැයි යන්න ඒ පිළිබඳ ඇති විකල්ප පැහැදිලි කිරීමකි. මේ පිළිබඳ දීර්ඝ වශයෙන් තම අවධානය යොමු කරමින් අධ්‍යයන කටයුතු සිදුකළ ආචාර්ය වසන්ත සේන වැලිඅංග විසින් ප‍්‍රාග් ඓතිහාසික ජනයා බෙල්ලන් පාරිභෝජනය කිරීමේ අපේක්‍ෂාවෙන් සඳහා ඔවුන් එක්රැස් කිරීම, පරිවහණය හා ගබඩා කොට තැබීම සඳහා මෙම සිදුර භාවිත කරන්නට ඇත යනුවෙන් ඉදිරිපත් කළ මතය වඩාත් පිළිගතහැකි මට්ටමක පවත්නනා බව පෙනී යයි. නමුත් මෙම සියලු කාරණාවන්ගේ අඩුවැඩි බලපෑමෙන් මෙම සිදුර ඇති වීමට ඇතැයි සිතීම වඩාත් තර්කගෝචර වේ.

ලංකාවෙන් හමුවන ජ්‍යාමිතික ක්‍ෂුද්‍රශිලා ගල් මෙවළම් (ජ්‍යාමිතික හැඩ ඇතිවන සේ නිර්මාණය කළ සෙන්ටිමීටර් 4.5ට වඩා කුඩා ගල් මෙවළම් මේ නමින් හඳුන්වයි.) අතිශය සියුම් හා කලාත්මක ලක්‍ෂණයන්ගෙන් අනූන ය. ලෝකයේ වෙනත් රටවල ක්‍ෂද්‍රශිලා මෙවළම් සමඟ සන්සන්දනය කිරීමේ දී ලංකාවෙන් හමුවන ක්‍ෂුද්‍රශිලා මෙවළම් විශිෂ්ට ලක්‍ෂණයන්ගෙන් අනූන බව ඒ පිළිබඳ විශේෂඥයින්ගේ අදහසයි. එබැවින් ඍජු ලෙස කලානිර්මාණ වශයෙන් නම් කළ නොහැකි වුවත් මෙම ගල් මෙවළම් ද මධ්‍යශිලා බලංගොඩ මානවයාගේ කලාත්මක චින්තනය හා නිර්මාණශීලීත්වය පිළිබිඹු කරන නිර්මාණ ලෙස සලකා බැලීමට හැකියාවක් ඇත. ලංකාවේ ශිලාමෙවළම් අතර ‘බලංගොඩ උල් මෙවළම්’ (Balangoda point) යනුවෙන් හඳුන්වනු ලබන ගල් මෙවළම් ඉතා සියුම් හා ඉහළ කලාත්මක ලක්ෂණ නිරූපණය කරනු ලබන නිර්මාණ විශේෂයක් වශයෙන් දැක්විය හැකි වේ. පිරිසිදු තිරුවාණා ගලින් නිමවා ඇති මේවායේ දෙ පසින්ම පතුරු ඉවත් කර උත්තල හැඩයක් එන ලෙස නිර්මාණය කර ඇත. බටදොඹලෙන 7b ස්තරයෙන් අදින් වසර 30,000ක් පමණ පැරණි පස් ස්තරයෙන් හා ඇඹිලිපිටියේ සිදුකළ පර්යේෂණ කැනීම් තුළින් මෙවැනි ‌මෙවළම් ලැබී ඇත. මෙවැනි ආයුධ ලංකාවෙන් ම ඉතා සුළු සංඛ්‍යාවක් පමණක් අනාවරණය වී තිබිම ද විශේෂත්වයකි. පසුගිය කාලයේ දී මහාචාර්ය රාජ් සෝමදේව විසින් උඩවළවේ නිමිණයේ සිදුකළ පුරාවිද්‍යා කැනීමක දී එකම ස්ථානයකින් මේ වර්ගයේ මෙවළම් 3ක් පමණ අනාවරණය වීම ද විශේෂත්වයකි. ආචාර්ය සිරාන් දැරණියගලගේ මතය අනුව, මෙම මෙවළම ආයුධයක් වශයෙන් භාවිත කළ බවට පැහැදිළි නැත. මෙම මෙවළම් නායකත්වය නිරූපණය කිරීම සඳහා භාවිත කළ විශේෂ මෙවළමක් හෝ සම කාලීන ප‍්‍රජාව විසින් ආගමික ඇදහිලි සඳහා භාවිත කළ පූජනීය මෙවළමක් වශයෙන් උපකල්පනය කිරීමට හැකියාව ලැබේ.

ප‍්‍රාථමික ශෛලියේ ගුහාචිත‍්‍ර : ලංකාවේ විවිධ ප‍්‍රදේශවල පිහිටා ඇති ස්ථාන 50කට වැඩි ප‍්‍රමාණයකින් ප‍්‍රාථමික ශෛලියේ ගුහාචිත‍්‍ර අනාවරණය වී ඇත. සරළ හෙවත් ප‍්‍රාථමික ක‍්‍රමශිල්පි භාවිත කරමින් සිතුවම් තලය ක‍්‍රමික හෝ විධිමත් සකස් කිරීමකින් තොරව, විශේෂ වර්ණ භාවිතයෙන් තොරව නිර්මාණය කර ඇති සිතුවම් ‘ප‍්‍රාථමික ශෛලියේ සිතුවම්’ යනුවෙන් හඳුන්වනු ලැබේ. එච්.සී.පී. බෙල්, ජොන් ස්ටිල්, සී.ජී. හා බී.ඉසෙඞ්. සෙලිග්මාන් යුවල, පී.ඊ.පී. දැරණියගල, බී.ඩී. නන්දදේව හා මහාචාර්ය රාජ් සෝමදේව ඇතුළු විද්වතුන් කීප දෙනෙකු විසින් ලංකාවේ ඇති ප‍්‍රාථමික ශෛලියේ සිතුවම් පිළිබඳ අධ්‍යයන කටයුතු සිදුකර ඇත. මෙම සිතුවම් ඇඳ ඇති ආකාරය අනුව ඇදීම (paintings) හා සීරීම (engravings) යනුවෙන් ක‍්‍රමශිල්ප දෙකකට අනුව සිතුවම්කරණය සිදුකර ඇති බව හඳුනාගත හැකි වේ. කිසිදු සකස් කිරීමකට ලක් නොකළ, පිහිටි ස්වභාවයේ ගල් තලයක් මතුපිට දර අළු හෝ හුණු වැනි වර්ණක භාවිතයෙන් රූප සටහන් නිරූපණය කර දැක්වීම ඇඳීම යනුවෙන් හඳුනාගත හැකි අතර තිරුවාණා ගල් පතුරක් වැනි තියුණු තුඩක් උපකාරයෙන් ගල සූරා රූප සටහන් මතු කිරීම සීරීම යනුවෙනුත් දැක්විය හැකි වේ. ලංකාවේ ප‍්‍රාථමික ශෛලියේ ගුහා සිතුවම් ඇති ස්ථාන අතුරින් සැලකිය යුතු වැඩි ප‍්‍රමාණයක සුදු හෝ ඊට සමාන පැහැ දර අළු හෝ හුණු භාවිතයෙන් සිතුවම් නිර්මාණ කර ඇති බව දැකගත හැකි වේ. ස්ථාන කීපයක දී පමණක් විවිධ වර්ණ භාවිතයෙන් සිතුවම්කරණය සිදුකර ඇති බව හඳුනාගත හැකි වේ. බදුල්ල දිස්ත‍්‍රික්කයේ පිහිටි කුරුල්ලන්ගල සිතුවම් සහිත ස්ථානය ඒ සඳහා ඇති කැපී පෙනෙන නිදසුන් ස්ථානයක් වශයෙන් අවධානයට පාත‍්‍ර කළ හැකි වේ.

ලංකාවේ ප‍්‍රදේශ වශයෙන් පොදුවේ සලකා බැලීමේ දී කොටස් තුනක මෙවැනි සිතුවම් සංචිත වී ඇති බව මහාචාර්ය බී.ඩි. නන්දදේව පෙන්වා දී ඇත. එනම්, අ. උතුරු මැද කලාපය, ආ. නැඟෙනහිර හා ගිණිකොණදිග කලාපය හා ඇ. මධ්‍යම කඳුකර කලාපය වශයෙනි. තන්තිරිමලේ, බිල්ලෑව, කොමාරිකා ගල්ගේ, ආඬියාගල හා කොනගරායංකුලම් වැනි ස්ථාන උතුරුමැද කලාපයේ පිහිටා ඇති ස්ථාන අතර වේ. ලංකාවේ පිහිටි ප‍්‍රාථමික ශෛලියේ සිතුවම් ක්‍ෂේත‍්‍ර අතුරින් අති බහුතරයක් නැඟෙනහිර හා ගිණිකොණ දිග කලාපයට අයත් වන අතර ඒ ප‍්‍රදේශයේ පිහිටි ක්‍ෂේත‍්‍ර අතරට කොනත්තේගොඩ ගල්ගේ, පුංචිකිරිඅම්මා ගල්ගේ, හුලංනුගේ, මහලේනමඑළිය, මණ්ඩාගල්ගේ, බඹරගස්තලාව, කඳුරුපොකුණ, පානමවැව, රජගලකන්ද, කුඩුම්බිගල, ගොනාගොල්ල, උස්සාගල, සංගමන්කන්ද හා නිල්ගිරිකන්ද වැනි ස්ථාන ගනනාවක් අයත් වේ. මොලගොඩ, දොරවකකන්ද ඇතුබැඳිලෙන, දොරවක නිධහන්ගල හා අලවුව හක්බෙලිකන්ද වැනි ස්ථාන මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් කලාපය නියෝජනය කරන මේ කලාපයේ සීරුම් ක‍්‍රමයට සකස් කළ සිතුවම් ස්ථාන බහුල බැව් හඳුනාගත හැකි වේ.

ලංකාවේ මෙම සිතුවම්වල කාලනීර්ණය පිළිබඳ ප‍්‍රමාණවත් හා පිළිගත් අධ්‍යයනයක් මෙතෙක් සිදු වී ඇති බව දැකගත නොහැකි වේ. මෙම සිතුවම් අතර ප‍්‍රාග් ඓතිහාසික යුගයට අයත් බවට නිසැක ලෙස තහවුරු කළ සිතුවම් ඇති බව දැනගැනිමට නොමැත. මෙම වර්ගයේ සිතුවම් පිළිබඳ ව පර්යේෂණාත්මක අවධානයක් යොමුකළ සෙලිග්මාන් යුවල හා ජෝන් ස්ටීල් වැනි විද්වතුන් මෙවැනි සිතුවම් මෑත කාලයේ ඇදි බවට සාධක ඉදිරිපත් කරයි. මඩකලපුව දිස්ත‍්‍රික්කයේ දී හා තන්තිරිමලේ වැනි ස්ථානවල දී ඉහත දැක් වූ පර්යේෂකයින් වැදි කාන්තාවන් විසින් මෙවැනි සිතුවම් අඳින ආකාරය තමන් නිරීක්‍ෂණය කළ බවත් තම ස්වාමීපුරුෂයින් හා පුරුෂ පාර්ශවය අදාළ ගල්ලෙන්වලින් පිටත්ව ගිය අවස්ථාවල දී දැව පිළිස්සීමෙන් ශේෂ වන අළු හා මුඛයේ කෙළ මිශ‍්‍ර කර තමන් විසින් මෙම සිතුවම් ඇඳි බව වැදි කාන්තාවන් ප‍්‍රකාශ කළ බවත් දක්වා ඇත. මෙම සිතුවම් සටහන් කර ඇති ස්ථාන අතුරින් සැලකිය යුතු ප‍්‍රමාණයක් කටාර කපා සකස් කළ හා විටෙක පූර්ව බ‍්‍රාහ්මී ලේඛන සටහන් කළ ගල්ලෙන් භිත්ති මත සටහන් කිරීමෙන් ඒවායේ පෞරාණිකත්වය පිළිබඳ නැතිනම් අදාළ කාලය පිළිබඳ අදහසක් ඇතිකර ගත හැකි වේ. ඒ අනුව මෙම සිතුවම් අතුරින් සැලකිය යුතු ප‍්‍රමාණයක් ඓතිහාසික කාලපරිච්ඡ්දයට අයත් බව තීරණය කළ හැකි වේ. මෙම සිතුවම් අතුරින් ප‍්‍රාග් ඓතිහාසික යුගයට අයත් සිතුවම් ස්වල්පයක් හෝ තීබීමට ඉඩ ඇතැයි ආචාර්ය සිරාන් දැරණියගල අදහස් පහළ කරයි. නමුත් ඉදිරියේ දී සිදුකරන පෙළඹී ගිය විධිමත් පර්යේෂණ මඟින් මේ පිළිබඳ ව සනාථ කළ යුතුව ඇත. මෙම සිතුවම් අතුරින් දොරවක, මොලගොඩ හා නැවුගල යන ස්ථානයන්ගේ සිතුවම් අදින් වසර 28,000-2600 අතර ප‍්‍රාග් ඓතිහාසික කාලයට අයත් බවත් ඌරාකන්ද හා පදවිගම්පොළ යන ස්ථානයන්ගේ සිතුවම් පූර්ව ඓතිහාසක කාලයට (අදින් වසර 2,600-2300) අයත් බවත් මහාචාර්ය බී.ඩී. නන්දදේව දක්වා ඇතත් එය ප‍්‍රමාණාත්මක ලෙස පිිළිගැනීම අපහසු වේ.

මේ සිතුවම්වල කාලනීර්ණය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ වරකාපොළ ආසන්නයේ පිහිටි දොරවකකන්ද ඇතුබැඳිලෙනින් මේ පිළිබඳ අවධානයට පාත‍්‍රකළ යුතු සාධක අනාවරණය වී ඇත. ඒ ලෙන තුළ ගල් භිත්තියේ සූරා සටහන් කර ඇති සිතුවම් සංචිතයේ පහළම මට්ටමේ පවතින සිතුවම් කැනීමේ පස් ස්තර හා සැසඳීමේ දී සමාන්තර ස්ථරණය අනුව ස්තර අංක IV නොහොත් සංසිද්ධි අංක 49ට සමාන්තර බව හඳුනාගන්නා ලදි. මෙම ස්ථරය කාබන් 14 ක‍්‍රමය යටතේ අදින් වසර 1950+/_50ට අයත් බව නීර්ණය කෙරිණි. මෙම කාලනීර්ණය අයත් වන්නේ මූල ඓතිහාසික අවධියටයි. ඒ අනුව මෙම සිතුවම් ප්‍රොටෝ ඓතිහාසික හෝ මූල ඓතිහාසික අවධියට අයත් සිතුවම් බව විධිමත් පුරාවිද්‍යා කාලනීර්ණ අනුව පැහැදිලි වේ. මෑත කාලීනව අවධානයට පාත‍්‍ර වූ බදුල්ල ආසන්නයේ පිහිටි කුරුල්ලන්ගල දක්නට ඇති සිතුවම් දළ වශයෙන් පරික්‍ෂා කිරීමේ දී බෙහෙවින් පැරණි කාලයකට අයත් විය යුතු බවට අදහසක් ඇතිකර ගත හැකි වුවත් ඒකී කාරණය ද විධිමත් පුරාවිද්‍යා පර්යේෂණ මඟින් සනාථ කළ යුතු වේ.

ශ‍්‍රී ලංකාවේ මධ්‍යශිලා/ක්‍ෂුද්‍රශිලා යුගයේ භෞතික මානවවිද්‍යාව

ආචාර්ය පී.ඊ.පී. දැරණියගල

ලංකාවේ මධ්‍යශිලා නැතිනම් බලංගොඩ මානවයාගේ ශාරිරික මානවවිද්‍යාව පිළිබඳ ව විද්වතුන් කීප දෙනෙකුගේ ම අවධානය යොමු වී ඇතත් ඒ අතුරින් ආචාර්ය පී.ඊ.පී. දැරණියගල, මහාචාර්ය කේ.ඒ.ආර්. කෙනෙඩි හා ආචාර්ය ඩයනා හෝකී යන විද්වතුන් විසින් සිදුකර ඇති අධ්‍යයන වඩා වැදගත් කොට සැලකිය හැකි වේ. මේ දක්වා ලංකාවේ සිදුකර ඇති විධිමත් ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා කැනීම් හා පර්යේෂණ මඟින් අනාවරණය වී ඇති සම්පූර්ණ හෝ අසම්පූර්ණ මානව සැකිලි ශේෂ ප‍්‍රමාණය 100කට වඩා වැඩි වේ. ඒ අතුරින් ඇඹිලිපිටියේ බෙල්ලන්බැදිපැලැස්ස (මානවයින් 30ක් පමණ), අවිස්සාවේල්ල කිතුල්ගල බෙලිලෙන (මානවයින් 12ක් පමණ), කුරුවිට බටදොඹලෙන (මානවයින් 33ක් පමණ) බුලත්සිංහල ෆා-හියන්ලෙන (මානවයින් 9ක් පමණ), සීගිරිය ආසන්නයේ පිහිටි පොතාන (සම්පූර්ණ මානව සැකිලි 2ක්) හුංගම මිණීඇතිලිය හා අත්තනගල්ල පොත්ගුල්ලෙන (මානවයින් 5ක් පමණ) යන සාධක හඳුනාගත හැකි වේ. මේ අතුරින් සමහර සාධක සම්පූර්ණ සැකිලි වශයෙන්ම අනාවරණය වන අතර බොහෝමයක් එක් එක් සැකිලිවල නැතිනම් මානවයිනට අයත් අවශේෂ වේ. මෙම මානව අස්ථි සාධක පොදුවේ සලකා බැලීමේ දී අදින් වසර 37,000 කාලයේ සිට අදින් වසර 5,400 දක්වා කාලයක් තුළ ව්‍යාප්ත වී පවතී. එ මෙන් ම වයස හෝ ස්ත‍්‍රී පුරුෂභාවය පිළිබඳ විශේෂයක් දක්වා ඇති බවක් ද මේ සැකිලි සාදක තුළින් හඳුනාගත නොහැකි වේ. මෙම අස්ථි සාදක අතුරින් බෙල්ලන්බැඳිපැලැස්සෙන් අනාවරණය වූ සාධක පිලිබඳ අවධානය යොමු කිරීමේ දී එම කාලයේ පිරිමින්ගේ සාමාන්‍ය උස සෙන්ටී මීටර් 174ක් පමණ ද කාන්තාවන්ගේ සාමාන්‍ය උස සෙන්ටී මීටර් 166ක් පමණ ද වේ. මානවයින්ගේ උසේ හැටියට කොදු ඇට අසාමාන්‍ය ලෙස කෙටිවන අතර ම ගෙලෙහි වූ අක්‍ෂ කොදු ඇටය ද කෙටි විය. හිස් කබල ඝණත්වයෙන් වැඩි වන අතර ම හිස්කබල විචල්‍ය පරිමාවෙන් යුතු විය. දිගටි හැඩයක් ගත් හිස්කබල, මිටි කුහරය, පසු පසට නෙරාගිය නළල ද සහිත ය. හිස පිටුපස වූ නැම්ම පැහැදිළි ය. හකු ඇට ඝණ හා පුළුල් වෙයි. ඇස් බැම සමහර විට බර ස්වභාවයෙන් යුක්ත ය. නාස් පසුපසින් උන්නතාකාර ද මුළින් වලයාකාර ද වෙයි. සමහර වැඩුණු පිරිමීන්ගේ නාසා සිදුරේ මුල සිට උඩු උල් දත්වල මුල දක්වා දුර බෙහෙවින් වැඩි වෙයි. තල්ල විශාල ය. පුළුල් වූ හක්ක දැඩි බවත් පෙන්නුම් කරයි. දත් සාමාන්‍යයෙන් විශාල වන අතර විශේෂයෙන් ඇඹරුම් දත් විශාල ය. ගාත‍්‍රා ඇට දැඩි වේ. මෙම සාධක පොදුවේ සලකා බැලීමේ දී මෙම සාධක ඔස්ට්‍රොලොය්ඩ් වැදි ජනයාගේ ලක්‍ෂණ නීරුපණය කරයි. මෙම සාධක අනුව පෙනී යන්නේ Homo erectus මානවයාගේ ශාරිරික ලක්‍ෂණ ශ‍්‍රී ලංකාවේ මධ්‍යශිලා මානවයා තුළ යම් පමණකට අන්තර්ගත වී පැවති බවයි.

බලං‌ෙගොඩ මානවයාගේ රූපකාය ආචාර්ය පී.ඊ.පී. දැරණියගල දුටු ආකාරය

බෙල්ලන්බැඳිපැලැස්ස ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා ස්ථානයෙන් අනාවරණය වූ සාධක අනුව බලංගොඩ මානවයාගේ ශාරිරික ලක්‍ෂණවලින් සමහරක් පිළිබඳ අවධානය යොමුකිරිම ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසින මානවයා පිළිබඳ අවබෝධ කරගැනිමට වැදගත් වේ. ඒ අනුව පිරිමියෙකුගේ උස සෙන්ටිමීටර් 177 (අඩි 5. අඟල් 8) ක් හා කාන්තාවකගේ උස සෙන්ටිමීටර් 166 (අඩි 5. අඟල් 5)ක් පමණ වේ. කපාල ධාරිතාව වෙනස්වන සුළුය වන අතර පිරිමියෙකුගේ එය මිලිලීටර් 1589.72ක් පමණ ද ගැහැණියකගේ මිලි ලීටර් 919.66ක් ද වේ. පුළුල් කපාලය පැතැලි ය. නළල කැපී පෙනෙන ලෙස බෑවුම් සහිත ය. යටි හනුව වැද්දන්ට වඩා විශාල වන අතර අපර කපාල වක‍්‍රය කැපී පෙනෙන ආකාරයෙන් පිහිටා ඇත. නිකට වැද්දනට වඩා පැහැදිළි ය. මෙම මානවයින්ගේ දන්ත සාධක පිළිබඳ අවධානය යොමු කිරීමේ දී ඒවා සාමාන්‍යයෙන් විශාල බව පෙනී යයි. තෙ වැනි චාර්වක දත දෙ වැනි චාර්වක දත තරම් විශාල වන අතර චාර්වක දත වැද්දන්ගේ චාර්වක දතට වඩා කුඩා ය. නමුත් පුරශ්චාර්වක දත් විශාල වේ. කෘන්තක දත් සිංහලයනට වඩා කුඩා බව ද පෙනී යයි.

දිගු අස්ථි අතර ප‍්‍රගන්ඩාස්ථිය වැද්දන්ගේ ප‍්‍රගන්ඩාස්තියට වඩා දිගු හා විශාල වේ. අර අස්ථිය හා අන්වර අස්ථිය වැද්දනට වඩා විශාලය. ඝණ වූ ඌර්වස්ථිය මස්පිඩු සඳහා කැපී පෙනෙන ස්ථාන ඇත. ජංඝාස්ථිය දිගු හා බර වේ. මෙම අස්ථි සාධක අනුව උකුළ (ශ්‍රෝණිය) වර්තමාන වැදි ජනයාගේ උකුලට වඩා විශාලත්වයෙන් වැඩි ය. මෙය ඔස්ට්‍රෙලියානු ශ්‍රෝණියට බොහෝ දුරට සමාන බව ද ඒ පිළිබඳ විශේෂඥයින්ගේ අදහසයි. කශේරුකාවේ වූ පූර්ව කටී කශේරුකාව කුඩා ය. අක්‍ෂ කශේරුවත් එහි දන්තාකාර ප‍්‍රසරයත් පුදුමාකාර ලෙස කෙටි ය. කටී කශේරුකා විශාල ය. මේ ලක්‍ෂණ පිළිබඳ සලකා බැලීමේ දී පෙනී යන්නේ නැතිනම් එහි අර්ථය වන්නේ ඔවුන්ගේ බෙල්ල කෙටි බවයි. උරපතු ඇටය වැද්දනට වඩා විශාල වේ. අත් වැද්දනට වඩා විශාල ය, මහපට ඇඟිල්ලේ අග පුරුක ඉතා ශක්තිමත් වේ. රුධිර ඝණය පිළිබඳ සිදුකළ අධ්‍යයන අනුව එක් සාම්පලයක රුධිර ඝණය AB වන අතර මෙම මානවයින්ගේ ලිංගික ද්විරූපතාව හා රූපාණුදර්ශ විවිධතාව ඉහළ වේ. මෙම සියලු සාධක පිළිබඳ අවධානය යොමුකරමින් බැලීමේ දී පෙනී යන්නේ සාමාන්‍ය වර්ගීකරණය අනුව ඔස්ට්‍රොලොයිඩ් බව නීර්ණය කළ හැකි වේ.

ආචාර්ය පී.ඊ.පී. දැරණියගල විසින් 1956 සිට 1961 කාලය දක්වා ඇඹිලිපිටිය බෙල්ලන්බැඳිපැලැස්ස පුරාවිද්‍යා ස්ථානයේ සිදුකළ කැනීම් තුළින් පැරණි මානවයින් 20කට වඩා වැඩි පිරිසකට අයත් සැකිලි සාධක අනාවරණය කරගැනීමට සමත් විය. එම අස්ථි සාධකයන්ගේ භෞතික මානවවිද්‍යාත්මක ලක්‍ෂණ අනුව පවත්නා නූතන මානව ලක්‍ෂණ පිළිබඳව සැලකිලිමත් වෙමින් ආචාර්ය පී.ඊ.පී. දැරණියගල විසින් එම මානවයින් ‘හොමෝ සේපියන්ස් බලංගොඩෙන්සීස් දැරණියගල’ (Homo sapiens balangodensis Deraniyagala) යනුවෙන් නම් කර ඇත. බෙහෙවින් ප‍්‍රකටව පවත්නා අයුරින් ‘බලංගොඩ මානවයා’ වශයෙන් ලංකාවේ මධ්‍යශිලා මානවයා නාමකරණය වූයේ මෙම සාධක අනුව වන අතර එකී නාමකරණය ආචාර්ය පී.ඊ.පී. දැරණියගල විසින් ලබා දුන්නක් බව ඒ විද්වතාට ගෞරව පිණිස සටහන් කළ යුතු වේ. නමුත් මේ දීර්ඝ නම පිළිගත් සම්මතයන්ට අනුව හා ඒවායේ පවත්නා භෞතික මානව විද්‍යා ලක්‍ෂණ අනුව වර්තමානය වන විට නූතන මානවයා (Modern man) හෙවත් හොමෝ සේපියන්ස් (Homo sapiens) යන පොදු නාමයෙන් හඳුන්වා දෙනු ලැබේ.

හුංගම මිණිඇතිලි‌යෙන් අනාවරණය වූ බලං‌ගොඩ මානව සැකිල්ලක්

දකුණු ආසියාතික කලාපයේ පුරාණ මානවයා හා මානව පරිණාමය පිළිබඳ විශේෂඥයෙකු වූ ඇමරිකා එක්සත් ජනපදයේ කෝනල් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කෙනත් ඒ.ආර්. කෙනෙඩි විසින් ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික මානවයාගේ ශාරිරික ලක්‍ෂණ හා මානවවිද්‍යාව පිළිබඳ විශේෂ අවධානයක් යොමුකර ඇත. ඔහු විසින් බලංගොඩ මානවයාගේ ලක්‍ෂණ ශ‍්‍රී ලංකාවේ ජිවත් වන ජනයා තුළ විවිධ ප‍්‍රමාණයෙන් පවතින බව පෙන්වා දී ඇති අතර ලංකාවේ දඩයක්කාර රැස්කරන්නන් වූ වැදි ජනයා අතර මෙම ලක්‍ෂණ වඩාත් පැහැදිළි බව ද දක්වා ඇත. බලංගොඩ මානවයා හා ඉන්දියාවේ සමහර ගෝත‍්‍රික ජනයා අතර සම්බන්ධතාව බලවත් බව කියනු ලැබුවත් එය වැදි ජනයා සමඟ ඇති සබඳතාව තරම් බලවත් නොවේ. වැදි ජනයා නිසැක ලෙස ජීවවිද්‍යාත්මක පරම්පරාවක් නියෝජනය කරන අතර බලංගොඩ මානවයාගෙන් වැදි ජනයා පැවැත එයි. ඒ අනුව අදින් වසර සියයකට වඩා පෙර කාලයේ දී හෙන්රි පාකර් දක්වා ඇති ආකාරයට පුරාණ කාලයේ මෙරට ජීවත් වූ යක්‍ෂ ජනයාගේ මුනුපුරන් හෙවත් වර්තමානිකයින් වැද්දන් බව මේ සාධක අනුව පෙනී යයි. බලංගොඩ මානවයා බටදොඹලෙන මානවයා සමඟ දකුණු ආසියාවේ නූතන මානවයා පිළිබඳ පැරණිම සාක්‍ෂි පෙන්නුම් කරයි.

දකුණු ආසියාතික කලාපයේ පුරාණ මානවයින්ගේ දන්ත ලක්‍ෂණ අධ්‍යයනය හා විශ්ලේෂණය කරමින් තම දර්ශනසූරි උපාධිය ලබාගත් ඩයනා හෝකී් (Diane Hawkey) විසින් ඒ පිළිබඳ සිදුකළ අධ්‍යයනය ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව විසින් Spolia Zeylanica ග‍්‍රන්ථාවලිය යටතේ 1998 වසරේ දී The peopling of South Asia: evidence for affinities and micro-evolution of prehistoric population of India and Sri Lanka යන උදෘතයෙන් යුතුව ප‍්‍රකාශයට පමුණුවා ඇත. ආචාර්ය සිරාන් දැරණියගල විසින් මෙම කෘතියේ දැක්වෙන කරුණු අතුරින් වැදගත්ම කරුණු සම්පිණ්ඩනය කරමින් පහත දැක්වෙන කරුණු පෙළ ගස්වා දක්වා ඇත.

  • අදින් වසර 10,000වන විට දකුණු ආසියාතිකයන් මෙම කලාපයේ පිටස්තරව ජීවත් වූ මානව කණ්ඩායම් වලට වඩා එකිනෙකා අතර ජෛවීය වශයෙන් සමානතාවක් පෙන්නුම් කරයි
  • දකුණු ආසියාවේ ශාරීරික ලක්‍ෂණ අතින් නූතන මානවයාගේ පෞරාණික ලක්‍ෂණ බලංගොඩ මානවයා නිරූපනය කරයි. ඔහුගේ දත්වලින් අග්නිදිග ආසියාවේ හා ගිණිකොණදිග යුරෝපයේ පොදු පෙළපත් තිබූ බව නිරූපණය වෙයි
  • ලෝකයේ ශාරිරික ලක්‍ෂණ අතින් නවීන මානවයාගේ මූලාරම්භය සමහර විට දකුණු හෝ ගිණිකොණදිග ආසියාවේ ඇති විය. මෙම මතයෙන් (බලංගොඩ මානවයාගේ සාධක මගින්) නූතන මානවයා අප‍්‍රිකාවේ බිහිවීම පිළිබඳ දැනට පිළිගත් මත අභියෝගයට ලක් කරයි
  • බලංගොඩ මානවයා වත්මන් මෙලනේසියන්වරු හා කිට්ටු සම්බන්ධතාවක් දක්වයි. ඊට අඩු ප‍්‍රමාණයකින් ඔස්‌ට්‍රෙලියාවේ ආදිවාසින් සමඟ සම්බන්ධතාවක් ඇත. මෙයින් පෙනී යන්නේ බලංගොඩ මානවයා මේ මානවයින් දෙ වර්ගයේම මුතුන්මිත්තෙකු වියහැකි බවකි. එකී ගෝත‍්‍රික ජනයාගේ ආදි මානවයෙකු නියෝජනය කරන බවකි
  • බලංගොඩ මානවයාගේ දන්ත ලක්‍ෂණ මධ්‍යශිලා යුගයේ ඉන්දියාවේ ජීවත් වූ මානවයිනට වඩා පැරණි ලක්‍ෂණ පෙන්නුම් කරයි
  • බලංගොඩ මානවයා වඩාත්ම සමානතාවක් දක්වන්නේ සිංහලයිනට දෙමළුනට හෝ ආසියාවේ වෙනත් මානව කණ්ඩායම්වලට වඩා වැද්දන්ට ය. කෙසේ වූවත් බලංගොඩ මානවයාට වඩා වැද්දන් සිංහලයන් හා දෙමළුන් අතරේ එකිනෙකා හා සමානතා පෙන්නුම් කරයි
  • වැද්දන් ඉතා තදින්ම සිංහලයන් හා දෙමළුන් සමඟ මිශ‍්‍ර වී ඇත. මෙම මානව කොටස් තුනම දකුණු ආසියාවේ වඩාත් කිට්ටු සම්බන්ධතාවක් පෙන්නුම් කරන්නේ දකුණු ආසියාවේ ආදිවාසීන් සමඟ ය
  • වැද්දන්ගේ කෘන්තක හා හකු දත් බලංගොඩ මානවයාට වඩා කුඩා ය. මේ සඳහා හේතු වන්නට ඇත්තේ ඓතිහාසික යුගයේ වැද්දන් මෘදු ආහාරවලට හුරු වීම වන්නට ඇත

ඉහත පෙළගස්වා ඇති කරුණු අනුව දකුණු ආසියාවේ පුරාණ මානවයින් අතරේ ලංකාව නියෝජනය කරමින් ලැබී ඇති සාධක අතිශය වැදගත් බව පෙනී යයි.

භෞතික මානව විද්‍යාව පිළිබඳ විශේෂඥයින්ගේ අධ්‍යයන අනුව නූතන මානවයා හෙවත් Homo sapians මානවයා පිළිබඳ ආසියාවෙන් ලැබී ඇති සාධක අතුරින් වැදගත් හා පැරණිම සාධක අතරට ලංකාවෙන් අනාවරණය වී ඇති සාධක අයත් බව තහවුරු වී ඇත. මේ අතුරින් හොරණ බුලත්සිංහල ෆා-හියන් ලෙන කැනීමෙන් අනාවරණය වී ඇති මානව හිස්කබල අදින් වසර වසර 31,000 කාලයට හා කුරුවිට ආසන්නයේ පිහිටා ඇති බටදොඹලෙනින් අනාවරණය වූ මානව හකු ඇටය වසර 28,000 දක්වා පැරණි වේ. ඊට අමතර ව බටදොඹලෙන නැවත වරක් 16,500, කිතුල්ගල : 12,500 හා ඇඹිලිප්ටිය ආසන්නයේ වූ බෙල්ලන්බැදිපැලැස්සෙන් අදින් වසර 6,500 පැරණි සාධක අනාවරණය වී ඇත.

මේ සියලුම සාධක අනුව ලංකාවේ මධ්‍යශිලා/ක්‍ෂුද්‍රශිලා නියෝජනය කරමින් ලැබී ඇති බලංගොඩ මානව සාධක හෝමෝ සේපියන්ස් වශයෙන් හඳුනාගන්නා නූතන මානවයා පිළිබඳ පැරණිම සාධක අතරට අයත් වේ. මේ හා සමාන පරිපූර්ණ සාධක ඉන්දියාවේ හෝ වෙනත් සමාන්නතර රටවල් තුළින් ප‍්‍රමාණවත් අන්දමින් අනාවරණය වී නොමැත. ඒ අනුව ලෝකයේ නූතන මානවයා පිළිබඳ කථිකාවේ දී ලංකාවෙන් අනාවරණය වන මෙම සාධක ඉතා ඉහළ වටිනාකමක් හිමිකරගන්නා මෙන් ම තීරණාත්මක බව ද දැක්විය යුතු වේ.

----------------------------------------------------------------------------------
මෙම ලිපිය www.archaeology.lk/sinhala වෙබ් අඩවියේ 2018.08.22 දින පළමු වරට ප්‍රකාශයට පත් විය.
----------------------------------------------------------------------------------

මීලඟ ලිපිය : ප‍්‍රාග් ඓතිහාසික මධ්‍යශිලා/ක්‍ෂුද්‍රශිලා ගල් ආයුධ වර්ගීකරණය

Advertisements

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.