චන්දිම බණ්ඩාර අඹන්වල 

පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ.

ජීවනෝපාය 

චන්දිම අඹන්වල

ලංකාවේ මධ්‍යශිලා නැතිනම් ක්‍ෂුද්‍රශිලා මානවයාගේ ආහාර රටාව පිළිබඳ ව තොරතුරු අතුරින් බොහෝමයක් පහතරට වියළි කලාපයේ පිහිටි පුරාවිද්‍යා ස්ථානවල හා තෙත් කලාපයේ වූ ගල්ලෙන් තුළ සිදු කරන ලද පුරාවිද්‍යා කැනීම් තුළින් අනාවරණය කරගැනීමට පුරාවිද්‍යාඥයින් සමත් වී ඇත. බුලත්සිංහල ෆා-හියං ලෙන, කුරුවිට ආසන්නයේ පිහිටි බටදොඹලෙන හා අවිස්සාවේල්ල ආසන්නයේ පිහිටි කිතුල්ගල බෙලිලෙන යන ගල්ලෙන් තුළ අවස්ථා ගණනාවක දී සිදුකරන ලද විධිමත් පුරාවිද්‍යා කැනීම් මඟින් මේ හා සම්බන්ධ සාධක බොහෝමයක් අනාවරණය වී ඇත. එකී සාධක අනුව පොදුවේ සලකා බැලූ විට, අතට අසුවන සෑම සතෙක්ම මධ්‍යශිලා නැතිනම් ක්‍ෂුද්‍රශිලා බලංගොඩ මානවයාගේ ආහාර වශයෙන් යොදාගෙන ඇති බව පැහැදිළි වෙයි. තවත් ආකාරයකට පැහැදිලි කරන්නේ නම්, ගෙවල වාසය කරන බටු මීයාගේ සිට ඇත් පැටවා දක්වා පුළුල් පරාසයක් නියෝජනය කරන සත්ව ගහණයක් මඟින් බලංගොඩ මානවයාගේ සත්ව ආහාර නියෝජනය කරනු ලැබේ. මූලික අධ්‍යයන අනුව ප‍්‍රාග් ඓතිහාසික යුගයේ ආරම්භයේ සිට අවසානය දක්වා මෙම ආහාර රටාව කැපී පෙනෙන වෙනසක් දක්නට නොලැබේ.

මධ්‍යශිලා මානවයා තම ආහාර සඳහා එක්කරගත් සතුන් අතුරින් වැඩිපුර හඳුනාගත හැකි වන්නේ දඬුලේනා, මීමින්නා, ඉත්තෑවා, හම්බාවා, උරුළෑවා, කබල්ලෑවා හා වඳුරා වැනි සතුන් ය. මෙම සතුන් ප‍්‍රමාණයෙන් කුඩා මෙන් ම වෙනත් විශාල සතුන්ට සාපේක්‍ෂව අල්ලා ගැනීමේ පහසුව මෙම බහුලතාව සඳහා නිතැතින් හේතු වන්නට ඇත. වල් ඌරා හා ගෝනා වැනි මධ්‍ය ප‍්‍රමාණයේ විශාල සතුන් ගේ නියෝජනය මුල් කොටසට වඩා අඩු ය. එමෙන් ම ගව වර්ගයට අයත් විශාල සතුන් ගේ නියෝජනය සාපේක්‍ෂකව බෙහෙවින් ම අඩු ය. ඒ අනුව පෙනී යන්නේ සතුන් ආහාරයට ගැනීමේ දී රුචිකත්වය හෝ සංස්කෘතික හේතු බල නොපාන ලද අතර සතුන් අල්ලා ගැනීමේ පහසුව අනුව ආහාර සඳහා එක් වූ සත්ව වර්ගයන් හා ඒවායේ නියෝජනයන් තීරණය වූ බවයි.

බලංගොඩ මානවයා විසින් ආහාරයට ගනු ලැබූ සතුන් අතර අලි පැටව්, ගවරා, කුළු මිහරකා, කළු වලහා, ඌරා, ගෝනා, තිත් මුවා, මීමින්නා, ඉත්තෑවා, හාවා, දඬු ලේනා, හම්බාවා, මුගටියා, උරුලෑවා, වඳුරා, වළි කුකුළා, හබන් කුකුළා, පිඹුරා, තලගොයා, ඉබි වර්ග, තරු ඉබ්බා, සර්පයෝ (පිඹුරා, ගැරඬියා වැනි), තිත්තයා, ලූලා වැනි මිරිදිය මාළු වර්ග, මිරිදිය කකුළුවෝ, ගොඩබ්ම් හා ගස් ගොළුබෙල්ලෝ පොදුවේ නියෝජනය වේ.

2005 වසරේ දී පමණ බුලත්සිංහල ෆා-හියන් ලෙන තුළ සිදු කරනු ලැබූ පුරාවිද්‍යා කැනීම් තුළින් අනාවරණය වූ සත්ව අවශේෂ ලංකාවේ මධ්‍යශිලා නැතිනම් ක්‍ෂූද්‍රශිලා මානවයාගේ ආහාර ගොන්න පිළිබඳ අවබෝධ කරගැනීම සඳහා පුළුල් වපසරියක් විවර කරනු ලැබ ඇත. ආචාර්ය සිරාන් දැරණියගලගේ උපදේශකත්වය හා ආචාර්ය එච්. නිමල් පෙරේරාගේ අධීක්‍ෂණය යටතේ ශ‍්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලැබූ එකී කැනීමේ දී අනාවරණය වූ සතුන්ගේ අස්ථි සාධක ප‍්‍රවීන පුරා සත්ව විද්‍යාඥ එච්. ජූඞ් පෙරේරා විසින් විශ්ලේෂණය කරනු ලදුව පහත දැක්වෙන සත්ව විශේෂ ඒ අතර නියෝජනය වන බව හඳුනාගෙන ඇත.

ක්‍ෂීරපායි සත්වයින් අතර කුළු මී හරකා, ගෝන මුවා, ගෝනා, ඕලූ මුවා, මීමින්නා, වල් ඌරා, අලියා, කොටියා හෙවත් දිවියා, හඳුන් දිවියා, කොළ දිවියා, උගුඩුවන් විශේෂ, හෝතබුවන් විශේෂ නියෝජනය වන බව පැහැදිලි වී ඇත. එ මෙන් ම තවදුරටත් උරුලෑවා, නරියා, කොළ වඳුරා, රිලවා, උණහපුළුවා, කබැල්ලෑවා, වල් හාවා, ඉත්තෑවා, දඬුලේනා, මූකලන් ලේනා, ඌරු මීයා, වැලි මීයා හා ගෙවල් මීයා වැනි සතුන් ද හඳුනාගත හැකි ව පවතී. මෙම සත්ව නියෝජනයේ දී උරගයින් අතර කිඹුලා, තලගොයා, කබරගොයා, කටුස්සා, පිඹුරා, හඳුනා නොගත් සර්ප විශේෂ, ගල් ඉබ්බා, කිරි ඉබ්බා හා ගෙම්බන් විශේෂ කීපයක් හඳුනාගනු ලැබ ඇත. ඉහත දැක් වූ කැනීමෙන් අනාවරණය වූ පක්‍ෂී අවශේෂ අනුව වලි කුකුළා හා නිශ්චිතව හඳුනාගත නොහැකි පක්‍ෂී විශේෂ ගණනාවක් ආහාර වශයෙන් එක්කරගෙන ඇති බව තහවුරු වී ඇත.

මධ්‍යශිලා මානවයා තම ආහාර සඳහා මිරිදිය හා කරදිය යන දෙ වර්ගයටම අයත් මතස්‍යය විශේෂ රැස්කිරීමට ඇත. මිරිදිය මතස්‍යය විශේෂ අතර ලෙහෙල්ලා, අංකුට්ටා, හුංගා, මුගුරා හා කණයා වැනි මතස්‍යයන් ද කරදිය මසුන් අතර කොටි මෝරා, අගුලවා හා හඳුනා නොගත් මසුන් වර්ග කීපයක ම සාධක දැකගත හැකි ව පවතී. මධ්‍යශිලා ආහාර ගොන්න නියෝජනයේ පැවති බෙල්ලන් ගොඩබිම වාසය කරන බෙල්ලන් හා වතුරේ වාසය කරන බෙල්ලන් යන වර්ග දෙක ම නියෝජනය කරන ආකාරය ලැබී ඇති නිදර්ශන තුළින් පැහැදිලි වේ. ගොඩ බෙල්ලන් වශයෙන් Acavus superbus, Acavus phoenix, Acavus heamastoma, Acavus sp., මුක්කන් බෙල්ලා, Oligospira poleii, Cyclophorus sp., Aulopoma sp. හා Tortulosa sp. වර්ග දැකගත හැකි අතර දිය බෙල්ලන් අතර Paludomus neritoides, Paludomus loricatus, Paludomus sulcatus හා Pila sp. වැනි වර්ග ද නියෝජනය වේ.

ශ‍්‍රී ලංකාවේ මධ්‍යශිලා මානවයාගේ ආහාර රටාව පිළිබඳ සාකච්ඡා කිරීමේ දී ප‍්‍රාග් ඉතිහාසඥයින් අතරේ අවධානයට ලක් වී ඇති වැදගත් හා විවාදපන්න කරුණක් වන්නේ ඒ ආහාර ගොන්න අතර මිනිමස් පරිභෝජනය පිළිබඳ සාධක අන්තර්ගත වී ඇද්ද යන කරුණයි. ප‍්‍රාග් ඓතිහාසික ජනාවාසයන්හි අනාවරණය වී ඇති මානව අස්ථි කුඩා කැබලි වශයෙන් හෝ පිලිස්සීමට ලක් වී අනාවරණය වීමත් ඒවා මුළුතැන්ගෙයි අපද්‍රව්‍ය සමඟ මුසු වී පැවතීමත් මෙවැනි මතයත් ඇතිකර ගැනීම සඳහා අවශ්‍ය අනුබලය පුරාවිද්‍යාඥයින්ට සපයා ඇත. මේ පිළිබඳ අදහස් දක්වමින් සමහර විද්වතුන් පෙන්වා දී ඇත්තේ මානව අවශේෂ කෙරෙහි විශේෂයක් සිදු එම මාංශ ද මේ කාලයේ මානවයින් ආහාර සඳහා එක්කර ගැනීමට ඇති බවයි. තවත් අතකට මිනිස් අස්ථි පිළිබඳ විශේෂයක් සිදු නොකර ඒවාද මුළුතැන්ගෙයි අපද්‍රව්‍යය සමඟ ඉවතලෑම නිසා මෙසේ එම අපද්‍රව්‍යය සමඟ හමුවන බවත් එයින් මිනීමස් පරිභෝජනය පිළිබඳ අදහසක් ඇතිකරගත නොහැකි බවත් ය.

මඩු ශාකය

ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික මධ්‍යශිලා මානවයා විසින් ආහාරයට ගනු ලැබූ ශාක ආහාර පිළිබඳ විධිමත් හා ප‍්‍රමාණවත් ද්‍රව්‍යාත්මක සාධක පුරාවිද්‍යා කැනීම් තුළින් අනාවරණය කර ගැනීමට පුරාවිද්‍යාඥයින් මේ දක්වා සමත් වී නොමැත. එහෙත් ලංකාවේ මෙන් ම දකුණු හා ගිණිකොණදිග ආසියාවේ දඩයක්කාර රැස්කරන්නන්ගේ ජනසමාජ පිළිබඳ සිදුකරන ලද මානවවංශ විද්‍යා ගවේෂණ අනුව මානවවංශ සාදෘෂ්‍ය අනුව ලංකාවේ පරිසරයේ දැකගත හැකි, කෑමට ගතහැකි සෑම ආහාර වර්ගයක් ම තම ආහාර සඳහා යොදාගත් බවට සැකයක් නොමැත. ඒ අනුව ආහාරයට දික්කැකුණ ඇට (Canarium zeylanicum), වල් දෙල් (Artocarpus nobilis), කිතුල් (Caryota urens) හා ඇටි කෙහෙල් (Musa paradisika) යන ඇට වර්ග ද ගොනල (Dioscorea spicata), කටු අල (Dioscorea pentaphylla) හා බුත්සරණ (Mussaenda frondosa) යන අල වර්ග මෙන් ම ඇටඹ (Mangifera zeylanica), ලාවුළු (Chrysophyllum roxburghii) හා තිඹිරි (Diospyros peregrina) වැනි සුබුලු වර්ග ද එක්කර ගන්නට ඇත. ආහාරය සඳහා එක්කර ගන්නට ඇති මද වර්ග අතර බුළු (Terminalia belerica) හා මඩු (Cycas circinalis) පවතින්නට ඇත. මෙම ශාකමය ආහාර ගොන්න තුළ ඇති පළතුරු වර්ග අතර උගුරැස්ස (Flacourtia ramontchi), පළු (Manilkara hexandra), වීර (Hemicyclia sepiaria), දිවුල් (Feronia elephantum), වෙරළු (Elaeocarpus serratus), මොර (Cryptocarya wightiana), දොතළු (Loxococcus rupicol), වරක (Casearia esculenta), ගල් සියඹලා (Dialium ovaideum), මොර (Nephelium longana), හිඹුටු (Salecia reticulata), කොන් (Schleichera oleosa), කිරිල්ල (Sonneratia acida), මාදන් (Syzygium cumini), බුළු (Terminalia belerica), කිරි කෝන් (Walsura piscidia) හා හීන් එරමිණියා (Zizyphus oenophia) වැනි පළතුරු වර්ගත් මී (Bassia longifolia) වැනි මල් වර්ග ද පවතින්නට ඇත.

මෙම සියලුම දත්ත විග‍්‍රහ කර බැලීමේ දී ශ‍්‍රී ලංකාවේ මධ්‍යශිලා මානවයාට තම ආහාරය වශයෙන් සමබර ආහාර වේලක් ලැබීමට ඇති බව උපකල්පණය කළ හැකි ය.

බලං‌ගොඩ මානව යටි හනුවක දත් (‌බෙල්ලන්බැඳිපැලැස්ස – දත් ‌ගෙවී ගිය ආකාරය පැහැදිලිව දැකගත හැකි ‌වේ.) ඡායාරුව : කැළුම් මනමේන්ද්‍රආරච්චි

බලංගොඩ මානවයාට අයත් දත් පිළිබඳ සුපරික්‍ෂා වීමේ දී ඒවායේ සැලකිය යුතු ගෙවී යාමක් සිදු වී ඇති බවට අවස්ථා ගණනාවක දී ම පැහැදිලි සාධක දැකගත හැකි වේ. මේ පිළිබඳ බෙහෙවින් ප‍්‍රකට නිදර්ශක ඇඹිලිපිටිය බෙල්ලන්බැඳිපැලැස්ස හා කුරුවිට බටදොඹලෙන වැනි ප‍්‍රාග් ඓතිහාසික ස්ථානවලින් ලැබී ඇත. මෙම දත්වල පවත්නා අසාමාන්‍ය ගෙවී යාම පැහැදිලි කරගැනීමේ දී උපකල්පනය කළ හැක්කේ ඔවුනගේ ආහාර වේල තුළ වැලි මිශ‍්‍ර ආහාර බහුල වූ බවයි. ශාකමය ආහාර ඇඹරුම් ගල්වලින් ඇඹරීමේ දී එ ලෙස වැලි ආහාරයට එක් වීමට ඇත. එ මෙන් ම මස් ඇතුළු ආහාර පෙර සකස් කරගැනීමකින් තොරව භක්‍ෂණය කිරීමේ දී ඒවායේ පවත්නා දැඩි බව මෙන්ම පොළොවෙන් සාරාගන්නා අල වර්ග සොදා පිරිසිදු කරගැනීමෙන් තොරව භක්‍ෂණය කිරීම ද දත්වල ගෙවී යාම සඳහා අඩුවැඩි වශයෙන් හේතු වන්නට ඇත. ලංකාවේ විවිධ ස්ථානවලින් මේ දක්වා ලැබී ඇති බලංගොඩ මානව දන්ත සාධක විශ්ලේෂණය කළ භෞතික මානවිද්‍යාඥයින් විසින් පෙන්වා දී ඇති තවත් කරුණක් වන්නේ මෙම ජනයාගේ දත් ආශ‍්‍රිත රෝග බෙහෙවින් අඩු බවයි. ලංකාවේ දඩයක්කාර රැස්කරන්නන් වන වැද්දන් මෙන් ම මධ්‍යශිලා මානවයා ද විවිධ ගස්වල පොතු වර්ග විකීමට හුරු වී සිටීම මේ සඳහා බලපා ඇතැයි සිතිය හැකි වේ.

හුවමාරුව

බෙල්ලන්බැඳිපැලැස්ස, කබරගල්ගේ, කිතුල්ගල බෙලිලෙන හා බටදොඹලෙන යන ස්ථානවලින් මුහුදේ වාසය කරන බෙල්ලන්ට අයත් බෙලිකටු හමු වී ඇත. බටදොඹලෙන අදින් වසර 19,000කට පෙර කාලයට අයත් පස් ස්ථරයකින් මඩු වලිගයක් ලැබී ඇති අතර අදින් වසර 16,000කට කාලනීර්ණය කර ඇති පස් ස්ථරයකින් මුහුදු බෙලිකටුවක් ලැබී ඇත. (මේවා ලුණු සමඟ මිශ‍්‍ර වී ආ කලපු බෙල්ලන් ලෙස හඳුනාගෙන ඇත.) ලුණු සමඟ හමුවන ලුණු බෙල්ලන්ගේ කොටස් කිතුල්ගල බෙලිලෙනින් අදින් වසර 30,000කට පෙර කාලයට අයත් පස් ස්ථරයන්ගෙන් හමු වී ඇත. කිතුල්ගල බෙලිලෙනට ලුණු තැම්පතු ඇති ආසන්නම ස්ථානය ඇත්තේ කිලෝමීටර් 80ක දුරිනි. ඒ අනුව මෙම කලපු බෙල්ලන් රට තුළ වූ ගුහා තුළට පැමිණිම න්‍යායාත්මක පදනමකින් තේරුම් ගැනීම වැදගත් වේ. මේ සලකා බලන කාලයේ දී අවම වශයෙන් මුහුදු සීමාවන් මෙකී පුරාවිද්‍යා ස්ථානයන් වෙත සමීපව නොතිබීම හේතුවෙන් මුහුදු සීමාවේ සිට මේ දක්වා ගෙන ආ ලුනු සමඟ මෙකී බෙල්ලන් පැමිණිමට ඇතැයි යන්න තීරණය කළ හැකි වේ. ඒ අනුව මෙකී ස්ථානවල වාසය කළ ජනයා ලුණු භාවිතය පිළිබඳ දැනුවත්ව සිටි බවත් කාලයෙන් කාලයට ලුනු තැම්පතු වෙත ගොස් ඒවා ගෙනඑන්නට හෝ යම්කිසි හුවමාරු ක‍්‍රියාවලියක් තුළින් මේ වෙත ලඟා වෙන්නට ඇතැයි සිතිය හැකි වේ. මේ පිළිබඳ තවදුරටත් විමසා බැලීමේ දී මුහුදේ වාසය කරන මඩු මාළුවා, කොටි මෝරා මෙන් ම විවිධ බෙල්ලන් පිළිබඳ සාධක ද රට මැද පිහිටි ගුහාවන්හි සන්දර්භ තුළින් අනාවරණය වීම හේතුවෙන් හුවමාරුව පිළිබඳ පුළුල් කරුණු අනාවරණය කරගත හැකි වේ.

ජනාවාස

ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික ජනයා ලංකාව පුරාම තම වාසස්ථාන බිහි කරගෙන සිටි බවට සැක නැත. මිනිස් වාසය සඳහා නුසුදුසු පරිසර තත්ත්වයන් සහිත පරිසර කලාප හෝ මිනිසාට ලඟා විය නොහැකි පාරිසරික බාධක සහිත ස්ථාන ලංකාවේ නොමැති බැවින් ඕනෑම ස්ථානයක මිනිසුන් වාසය කිරීමට අවස්ථාව ඇත. අනෙක් අතට ලංකාවේ යම් ස්ථානයක සිට තවත් ඕනෑම ස්ථානයක් දක්වා කෙටි කාලයකින් ලඟා වීමේ හැකියාව ද පවතී. එ බැවින් මෙම දිවයිනේ සෑම තැනකම මිනිස් වාසය සඳහා සුදුසු වන්නට ඇතිවාක් මෙන් ම සෑම ස්ථානයක් ම මිනිස් ජනාවාස වශයෙන් භාවිත වන්නට ද ඇත. මේ දක්වා සිදුකර ඇති පුරාවිද්‍යා ගවේෂණ හා අධ්‍යයන අනුව ලංකාවේ පිහිටි ස්ථාන වර්ග අනුව ජනාවාස ස්ථාන වර්ගකර හඳුනාගත හැකි ව පවතී. ඒ අනුව, ඉරණඩු පස් තට්ටුවේ හා වෙනත් ස්ථානයන්හි ස්ථාපිත වී ඇති එළිමහන් ජනාවාස ස්ථාන හා තෙත් කලාපයේ හා අනෙකුත් ස්ථානයන්හි ඇති ගල්ලෙන් හා ගල් පියැසි යනුවෙන් මධ්‍යශිලා ජනාවාස හඳුනාගත හැකි වේ. ඉරණමඩු පස් තට්ටුවට අයත් ස්ථාන ගණනාවක් හඳුනාගෙන ඇති අතර අනෙකුත් එළිමහන් ජනාවාස වශයෙන් ඇඹිලිපිටිය ආසන්නයේ පිහිටි බෙල්ලන්බැඳිපැලැස්ස, පල්ලේමළල, අම්බලංතොට ආසන්නයේ පිහිටි මිණීඇතිළිය, මාතොට හෙවත් මන්නාරම, අනුරාධපුර ඇතුළු නගරය, උස්බිම් කලාපයට අයත් වූ මහඑළිය හෙවත් හොර්ටන් තැන්න, පල්ලිය ගොඩැල්ල (චර්ච් හිල්) වැනි ස්ථාන පුරාවිද්‍යාඥයින්ගේ අධ්‍යයනයට බඳුන් වී ඇත. ලංකාවේ තෙත් කලාපයට අයත් ස්වභාවික ගල් ලෙන් වූ කුරුවිට අසළ බටදොඹලෙන, අවිස්සාවේල්ල කිතුල්ගල බෙලිලෙන, අත්තනගොඩ අළුලෙන, වරකාපොල දොරවකකන්ද, අත්තනගල්ල පොත්ගුල්ලෙන, ගම්පහ වාරණ, කූරගල, රාවණාඇල්ල ගුහාව වැනි ගුහා මධ්‍යශිලා ජනාවාස වශයෙන් බෙහෙවින් ප‍්‍රකට වී ඇත. තෙත් හා වියළි කලාපයන්ට අතරමැදි කලාපයේ වූ සීගිරිය අසළ පිහිටි අලිගල, පිදුරංගල හා පොතාන ගුහා ද මධ්‍යශිලා ජනාවාස ස්ථාන වශයෙන් කැනීමට ලක්කර සාරවත් ප‍්‍රතිඵල ලැබීමට පුරාවිද්‍යාඥයින් සමත් වී ඇත.

ඉරණමඩු පස් සැකැස්මට අයත් බූන්දල

අදින් වසර 28,500කට පමණ පෙර මධ්‍යශිලා යුගයේ කාලයේ දී ලංකාවේ තෙත් කලාපයේ ජනගහණ ඝනත්වය වර්ග කිලෝ මීටරයට මිනිසුන් 0.1 පමණ ද වියළි කලාපයේ දී ජනගහණ ඝනත්වය වර්ග කිලෝ මීටරයට මිනිසුන් 0.8 සිට 0.25 දක්වා ද පවතින්නට ඇතැයි ඇස්තමේන්තුගත කර ඇත. ඒ අනුව තෙත් කලාපයේ දී වර්ග කිලෝමීටර් 10ක කලාපයක් එක් මිනිසෙකු ද නැතිනම් වර්ග කිලෝමීටර් 50ක කලාපයක සාමාජිකයින් 5 දෙනෙකුගෙන් සමන්විත එක් න්‍යස්ටික පවුලක් වාසය කරන්නට ඇත. දකුණු හා ගිණිකොණදිග ආසියාවේ වර්තමානයේ ජීවත්වන දඩයක්කාර රැස්කරන්නන් පිළිබඳ මානවවංශ විද්‍යාත්මක සාධක අනුව සංසන්දනය කිරීමෙන් ප‍්‍රාග් ඓතිහාසික ජනඝණත්වය වියළි කලාපයේ දී සෑම වර්ග කිලෝ මීටර් 10කට ම තනි පුද්ගලයෙකු හෝ සෑම වර්ග කිලෝමීටර් 50කටම එක් න්‍යෂ්ටික පවුලක් ජීවත් වන්නට ඇති බව පෙනී යයි. පහතරට වියළි කලාපයේ ජනඝණත්වය ඉහත ඇස්තමේන්තුවට වඩා හතර ගුණයක් පමණ වැඩි වන්නට ඇත. බොහෝ විට මෙම ජනයා ශාකමය ආහාරයන්ගේ ඵලදාව හා දඩයමට යෝග්‍ය සතුන්ගේ ව්‍යාප්තිය අනුව ක‍්‍රමික සංචාරක ජීවිතයක් ගත කිරීමට ඇති අතර ඒ අනුව වසරේ කලින්කලට තැනින් තැන ජනාවාස ඇතිකරගනිමින් සංචාරක ජීවිතයක් අනුව වාසය කරන්නට ඇත.

අභිචාර

මරණින් මතු පැවැත්ම නැතිනම් අධිස්වභාවික තත්ත්වයන් අරමුණු කරමින් සිදුකරන විවිධ ක‍්‍රියා අභිචාර වශයෙන් සරළව හඳුනාගත හැකි අතර ලංකාවේ මධ්‍යශිලා අවධියේ මානවයා ද විවිධ අභිචාර අරමුණු කරමින් විවිධ

අලවල ‌පොත්ගුල්ලෙන කැනීමෙන් අනාවරණය වූ රතු ගුරුගල් පැහැය ආලේප කළ මානව හිස්කබලක ‌කොටසක්

ක‍්‍රියාකාරකම්වල යෙදුණු බවට ද්‍රව්‍යාත්මක සාධක ලැබී ඇත. ප‍්‍රාග් ඓතිහාසික ජනාවාස ස්ථාන තුළින් රතු හෝ කහ හිරියල් තැවරූ මිනිස් අස්ථි කොටස් හමු වී පවතී. කුරුවිට බටදොඹලෙනින් අදින් වසර 31,000 පැරණි පස් ස්ථර තුළින් කහවර්ණ ගුරුගල් තැවරූ මිනිස් කොදු ඇටයක් හා අදින් වසර 7,700 පමණ පැරණි පස් තට්ටු තුළින් ගුරුගල් ආලේපිත මිනිස් දත් ලැබී ඇත. අදින් වසර 5,400 පැරණි ෆා-හියන් ලෙනෙහි පස් තට්ටුවකින් රතු ගුරුගල් තැවරූ අස්ථි කොටස් හමු වී ඇත. රාවණා ඇල්ල ගුහාව කැනීමෙන් හමු වී ඇති හිස් මුදුනේ සිදුරක් හා එහි පසෙකින් සියුම් සිදුරක් සකස් කිරීමට උත්සාහ දැරූ රතු ගුරුගල් වර්ණ ආලේප කළ මානව හිස් කබල මේ සම්බන්ධයෙන් කැපී පෙනෙන නිදසුනකි. 2010 වසරේ දි පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය ගාමිණි අදිකාරි මහතාගේ අධ්‍යක්‍ෂකත්වයෙන් කැනීම් කළ ගම්පහ, අත්තනගල්ල අලවල පොත්ගුල් ලෙන කැනීමේ දී ද ඉහළ මට්ටමේ අවුල් පස් ස්ථරයකින් ලැබුණු හිස් කබල් කොටස ද මේ සම්බන්ධයෙන් පවතින වැදගත් නිදර්ශකයකි. මේ ලෙස ගුරුගල් ආලේප කිරීම සඳහා යොදාගෙන ඇත්තේ තෝරාගත් විශේෂ අස්ථි වීම ද සලකා බැලිය යුත්තකි. වර්තමාන ලංකාවේ වැද්දන් හෝ සිංහල ජනයා අතර මෙවැනි සිරිතක් පැවති බවට සාධක අනාවරණය වී ඇති බවක් ද පෙනී නොයාමෙන් අදිවාසි බලංගොඩ මානවයා අතර පැවති අභිචාරමය සංසිද්ධියක් වශයෙන් මෙකී කාරණාව විශේෂයෙන් හඳුනාගත හැකි ව පවති. නමුත් මෙකී කටයුත්තෙන් බලංගොඩ මානවයා කුමක් අදහස් කරන්නට ඇද්දැයි පැහැදිලි කිරීම අපහසු ය.

භූමදාන සිරිත්

මධ්‍යශිලා මානවයින් ගේ මෘතදේහ වැළලීම නැතිනම් ආදාහනය පිළිබඳ බෙල්ලන්බැඳිපැලැස්ස, කිතුල්ගල බෙලිලෙන, කුරුවිට බටදොඹලෙන හා ෆා-හියන්ලෙන යන ස්ථානවලින් සාධක හමු වේ. 1956 සිට 1961 කාලයේ දී ඇඹිලිපිිිිටිය ආසන්නයේ පිහිටි බෙල්ලන්බැඳිපැලැස්ස පුරාවිද්‍යා ස්ථානයේ සිදුකළ පර්යේෂණ අනුව භූමදාන කළ මානවයින් 20කට වැඩි පිරිසකගේ සැකිලි සාධක අනාවරණය වී ඇති අතර ලංකාවේ ඒ ආකාරයෙන් වැඩිම මානව සැකිලි ප‍්‍රමාණයක් අනාවරණය වූ ස්ථානය වශයෙන් බෙල්ලන්බැඳිපැලැස්ස සැලකිය හැකි වේ. මෙම සාධක අතර ස්ත‍්‍රීපුරුෂ යන දෙ පිරිසටම අයත් සැකිලි හෝ සැකිලි කොටස් හමු වී ඇති අතර ඒ අතර වයස අවුරුදු 23-25 අතර මානව ශේෂ වැඩි ප‍්‍රමාණයක් පවතින බව හඳුනාගෙන ඇත. දරුවන්ගේ හා ළදරුවන්ගේ අස්ථි ශේෂ ද හඳුනාගත හැකි වුවත් වයස පිළිබඳ විශේෂයක් කොට ඇති බව පෙනී යන්නේ නැත.

හොරණ, බුලත්සිංහල ෆා-හියන් ‌ලෙන කැනීමෙන් අනාවරණය වූ මානව සැකිල්ලක්

අනාවරණය වී ඇති සාධක අනුව මෘතදේහ පොළොවේ ඒ තරම් ගැඹුරට වැළලූ බවක් දක්නට නොමැත. කිතුල්ගල බෙලිලෙන හා කුරුවිට බටදොඹලෙන සාධක අනුව නොගැඹුරු කුහරයක් තුළ වළදැමීම සිදුකොට එම ස්ථානය මුළුතැන්ගෙයි අපද්‍රව්‍යවලින් වසා දමා ඇත. කුරුවිට බටදොඹලෙන හා ෆා-හියන් ලෙන සාධක අනුව මෙම භූමදාන ද්වීතීය භූමදාන ලක්‍ෂණ හා අසම්පූර්ණ භූමදාන ලක්‍ෂණ නිරූපණය කරයි. එනම් මියගිය තැනැත්තා මුළින් වෙනත් ස්ථානයක වළ දමා එම මාංශ කොටස් දිය වී ගිය පසු තොරාගත් අස්ථි වාසය කරන ගුහාව වෙත ගෙනවිත් නැවත භූමදානය කළ බව පෙනී යයි. මෙ සඳහා බොහෝවිට ශරීරයේ පවත්වා දිගු අස්ථි තෝරාගෙන ඇති බව පෙනී යයි. එ මෙන් ම තෙත් කලාපයේ ගුහා තුළ බොහෝ විට හමු වන්නේ මානව සැකිලිවලින් කොටස් පමණක් වන අතර සම්පූර්ණ සැකිලි හමුවන්නේ කලාතුරකිනි. එ බැවින් මෙම භූමදාන අසම්පූර්ණ භූමදාන ලක්‍ෂණ පෙන්නුම් කරයි.

වාස්තු විද්‍යාව

ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික ජනාවාස පැවති ගල්ලෙන් තුළ ඉඩ සැලැසුම්කරණය පිළිබඳ ප‍්‍රමාණවත් සාධක තවම අනාවරණය වී නැත. ප‍්‍රාග් ඓතිහාසික සාධක ලැබෙන ලංකාවේ කිසිදු ගල්ලෙනක් ප‍්‍රමාණවත් හෝ සම්පූර්ණ වශයෙන් කැනීම් සිදුකර නොමැති බැවින් මේ පිළිබඳ සාධක මේ දක්වා පරිපූර්ණ වශයෙන් ලබා ගැනීමට අවස්ථාව උදා කර දී නැත. නමුත් මේ සම්බන්ධයෙන් මානවවංශ සාදෘෂ්‍යය අනුව අනුමාන වෙත එලැඹීමේ හැකියාව පවතී. දකුණු හා ගිණිකොණදිග ආසියාවේ ආදිවාසින් පිළිබඳ ව අවධානය යොමු කිරීමේ දී ඔවුන් ජීවත් වූ පොදු ගල්ලෙන් තුළ සෑම පවුල් ඒකකයක් සඳහා ම නියමිත බිම් කොටසක් පැවැති බව හඳුනාගෙන ඇත. ඒ අනුව සෑම පුද්ගලයෙකු සඳහාම මීටර් 0.5ක පමණ වපසරියක් තිබූ බවත් සෑම පවුලක් සඳහාම නියමිත වෙනම ලිපක් තිබී ඇති බවත් තහවුරු වී ඇති බව ආචාර්ය සිරාන් දැරණියගල පෙන්වා දී ඇත. මේ හා සමාන තත්වයක් අදින් වසර 16,000කට පෙර කිතුල්ගල බෙලිලෙනේ පැවැති බවට සාධක ලැබී ඇති අතර ම විශ්කම්භය මීටර් 1ක පමණ ප‍්‍රමාණයකින් යුතු එකිනෙකට වෙන් වූ ලිප් තිබූ බවට ද සාධක ඇත.

ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික වාස්තුවිද්‍යාව පිළිබඳ සාකච්ඡා කිරීමේ දී ඒ පිළිබඳ පැරණිම සාධක ප‍්‍රාග් ඓතිහාසික මධ්‍යශිලා යුගයෙන් ලැබීම සැලකිය යුතු කරුණකි. අවිස්සාවේල්ල ආසන්නයේ ඇති කිතුල්ගල බෙලිලෙනින් අනාවරණය වී ඇති අදින් වසර 16,000ක් පමණ පැරණි බවට තහවුරු වී ඇති සක්කගල් බැම්ම මේ සම්බන්ධයෙන් වැදගත් සාධකයකි. අණ්ඩාකාර හැඩයක් ගන්නා මෙම සක්ක බැම්ම එක් ගල් වරියකින් නිමවා ඇත. මැටි බදාමයෙන් තොරව නිර්මාණය කර ඇති මෙහි කොළ අතු ආවරණයක් පවතින්නට ඇති බවට ආචාර්ය දැරණියගල විශ්වාස කරයි. කුරුවිට බටදොඹලෙන පනාබැම්ම මේ සම්බන්ධයෙන් ඇති අනෙක් සාධකයයි. ප‍්‍රධාන ගල්ලෙනට යාබද ගල් ආවරණයේ කෙලවර පිහිටා තිබූ හෙල්මළු බෑවුම අර්ධ වශයෙන් මතුකර ඇත. ලෙනේ පස් ගිලාබැසීම වැලැක්වීම සඳහා ගල්ලෙන් අන්තයේ නිර්මාණය කර ඇතැයි සිතිය හැකි මෙම බැම්ම සක්ක ගල් වරි දෙකකින් යුතු වූවකි.

ඉදිරි ලිපියෙන් : මධ්‍යශිලා කලාව හා භෞතික මානව විද්‍යාව

----------------------------------------------------------------------------------
මෙම ලිපිය www.archaeology.lk/sinhala වෙබ් අඩවියේ 2018.07.16 දින පළමු වරට ප්‍රකාශයට පත් විය.
----------------------------------------------------------------------------------
Advertisements

2 COMMENTS

  1. මධ්‍ය ශිලා යුගයේ රට මැද විසූ මානවයා මුහුදු බඩ ජනතාව සමඟ යම් හුවමාරු ක්‍රමයක් භාවිත කලේ නම් බලංගොඩ මානවයාගේ මුහුදු බඩ ජනාවාස ද තිබිය යුතු නොවේද ?

    • ඔව්, ලංකාව වටා ‌වෙරළබඬ තීරයේ බලං‌ෙගොඩ මානව ජනාවාස ස්ථාන ‌ෙබොහෝ ප්‍රමාණයක් ඇත. ඒවායින් සැලකිය යුතු ප්‍රමාණයක අධයයන කටයුතු සිදුකර ඇති බවත් ‌පෙන්වා දිය යුතු ‌වේ. ‌

      මේ ලිපිපෙළේ අදාළ ස්ථානයන්හි එම අධයයන පිළිබඳ ව දක්වා ඇති බවත් කාරුණිකව දැනුම් දීමට කැමැත්තෙමි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.