චන්දිම බණ්ඩාර අඹන්වල

පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ.

හැඳින්වීම

චන්දිම බණ්ඩාර අඹන්වල

මානව අතීතය අධ්‍යයනය කිරීමේ දි හමුවන සංස්කෘතික යුග අතුරින් පුරාශිලා හෙවත් පැලියෝලිතික යුගයෙන් පසු හමුවන්නේ මැදිගල් යුගය හෙවත් මධ්‍යශිලා යුගයයි. මෙම යුගය මධ්‍යශිලා හෙවත් මෙසෝලිතික (Mesolithic) යුගය වශයෙන් හඳුන්වයි. මානව අතීතයේ දී මානවයා අත්කරගත් තාක්‍ෂණික අංගෝපාංගයන්ගේ පවත්නා ලක්‍ෂණ අනුව මෙම නම්කිරීම සිදුකරන අතර මෙම යුගය ක්‍ෂුද්‍රශිලා යුගය (Microlithic) යනුවෙන් නම් කිරීමේ නැඹුරුවක් වර්තමාන පුරාවිද්‍යාඥයින් අතර ඇති වී පවතී. ශ‍්‍රී ලංකාවේ මෙතෙක් සිදුකර ඇති පුරාවිද්‍යා පර්යේෂණයන්ගෙන් අනාවරණය වී ඇති සාධක අනුව අදින් වසර 38,000 සිට ක‍්‍රිස්තු පූර්ව 1,000 දක්වා මෙම යුගය හා සහසම්බන්ධ ලක්‍ෂණ පැවැතුණු බව තහවුරු වී ඇත. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික කාලපරිච්ෙඡ්දයට අයත් යුග අතුරින් සවිස්තරාත්මක ලෙස කරුණු අනාවරණය කරගැනීමට සමත්ව ඇත්තේ ද මෙම යුගය සම්බන්ධයෙනි. අනෙක් කාලපරිච්ෙඡ්දවලට සාපේක්‍ෂකව මධ්‍යශිලා යුගයේ ජීවත් වූ මානවයා හා ඔහු හා බැඳි තිබූ තාක්‍ෂණය, සංස්කෘතිිය, ජනාවාස, අභිචාර, සමාජීය තොරතුරු, ආහාර රටාව, ජනාවාස හා කාලනීර්ණ ආදී මානවයා වටා වූ සෑම අංශයක් ම නියෝජනය කරන සාධක ඉහළ ප‍්‍රමාණයකින් අනාවරණය කරගැනීමට පර්යේෂකයින් සමත් වී ඇත. ආරම්භයේ සිට මේ දක්වා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික විෂය ක්‍ෂේත‍්‍රය හා සමගාමි විෂය ක්‍ෂේත‍්‍රය ආවරණය කරමින් අධ්‍යයන හා පර්යේෂණයන්ගේ නියැලි විද්වතුන්ගේ දායකත්වයෙන් මෙම අවධිය පිළිබඳ පරිපූර්ණ අදහසක් ඇතිකර ගැනීමට හැකි වී ඇති බව එකී විද්වතුන්ට කෘතවේදී වෙමින් සඳහන් කළ යුතු වේ. ඒ අනුව ඊ.ඊ. ග‍්‍රීන්ගේ සිට ඊ.ජේ. වේලන්ඩ්, ආචාර්ය පී.ඊ.පී. දැරණියගල හරහා ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගල, ආචාර්ය එච්. නිමල් පෙරේරා, මහාචාර්ය ගාමිණි අදිකාරි හා මහාචාර්ය රාජ් සෝමදේව ප‍්‍රමුඛ පර්යේෂකයිනට කෘතවේදීත්වය පිරිනැමිය යුතු වේ.

මධ්‍යශිලා/ ක්‍ෂුද්‍රශිලා යුගයේ පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍ර

ශ‍්‍රී ලංකාවේ පවත්නා ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා සාධක අනාවරණය වන්නා වූ පුරාවිද්‍යා ස්ථාන අතුරින් අතිශය බහුතරය මධ්‍යශිලා නැතිනම් ක්‍ෂුද්‍රශිලා යුගයේ සාධක අනාවරණය වන ස්ථාන වශයෙන් හඳුනාගත හැකි වේ. මෙකී ස්ථාන වෙරළබඩ රතුපස් වැටියේ සිට තෙත් කලාපයේ පිහිටි ස්වභාවික ගල්ගුහා හරහා උස්බිම්වල පිහිටි එළිමහන් කඳවුරු භූමි දක්වා විවිධ භූගෝලීය හා පාරිසරික කලාපයන්හි ස්ථානගත වී ඇත. ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික ස්ථාන වශයෙන් හඳුනාගත් හා පර්යේ්ෂණයනට බඳුන් කර ඇති පුරාවිද්‍යා ස්ථාන 150කට ආසන්න සංඛ්‍යාවක් සිතියම්ගත කර ඇති නමුත්, අවම වශයෙන් ප‍්‍රාග් ඓතිහාසික ස්ථාන ලක්‍ෂ පහකට අධික සංඛ්‍යාවක් ලංකාව තුළ පැවතිය හැකි බව ආචාර්ය සිරාන් දැරණියගලයන්ගේ අදහසයි. ප්‍රස්තුත විෂය පිළිබඳ ප‍්‍රාමාණික විද්වතෙක් වූ ආචාර්ය සිරාන් දැරණියගලයන්ගේ උක්ත අදහස සාකල්‍යයෙන් ගෙන බලන විට පෙනී යන්නේ සමස්ත දිවයින ම ප‍්‍රාග් ඓතිහාසික මධ්‍යශිලා සාධක සංකේන්ද්‍රගත වූ භූමියක් වශයෙන් සැලකිය හැකි බවයි. ශ‍්‍රී ලංකාව හා එහි භූ ගෝලීය හා පාරිසරික ලක්‍ෂණ විග‍්‍රහ කරන විට ප‍්‍රාග් ඓතිහාසික අවධියේ දී හෝ එයින් මෙපිට ලංකාවේ මිනිස් වාසයට අයෝග්‍ය ස්ථානයක් දැක හඳුනාගත නොහැකි වේ. එ නම් මිනිස් වාසය සඳහා නුසුදුසු කාන්තාර, මානව විලෝපීයයන් ව්‍යාප්ත වූ පරිසර පද්ධති හෝ වෙනත් අනුචිත පරිසර පද්ධති මහා පරිමාණ වශයෙන් ව්‍යාප්ත වී ඇති ආකාරය දැකගත නොහැකි වේ. ඒ අනුව මධ්‍යශිලා කාලපරිච්ෙඡ්දය තුළ සමස්ත දිවයින ම මානව වාසය සඳහා යෝග්‍ය වූ භූමියක් ව පවතින්නට ඇතැයි සිතිය හැකි වේ. අනෙක් අතට මානව වාසස්ථාන හා කඳවුරු භූමි වශයෙන් පවත්වාගෙන යාම සඳහා අයෝග්‍ය නොවන දිවයිනේ සෑම ස්ථානයක් ම ප‍්‍රාග් ඓතිහාසික මානවයාගේ වාසභූමි වශයෙන් භාවිත වන්නට ඇත. තවත් අතකින් ලංකාවේ එක් තැනෙක සිට තවත් ස්ථානයකට කෙටි කාලයක් තුළ උපරීම වශයෙන් දින දෙකතුනක් තුළ දී දැඩි වෙහෙසකින් හෝ දැඩි ප‍්‍රයත්නයකින් තොරව ලඟා වීමේ හැකියාව ද පවතී. ඒ අනුව, ගවේෂණශීලී දඩයක්කාර රැස්කරන්නන් වූ ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික මානවයා විශේෂයකින් තොරව, දිවයිනේ සෑම ස්ථානයක් ම තමන්ගේ වාසභූමී වශයෙන් භාවිත කරන්නට ඇත.

අත්තනගල්ල අලවල පිහිටි පොත්ගුල්ලෙන

ආචාර්ය සිරාන් දැරණියගලයන් දක්වා ඇති ආකාරයට පොදුවේ සලකා බැලීමේ දී ලංකාවේ මධ්‍යශිලා මානවයා හා ඒ අදාළ සංස්කෘතිය පිළිබඳ සාධක අනාවරණය වන ස්ථාන වර්ග වශයෙන් ත‍්‍රිත්ත්වයකි.

  • ඉරණමඩු පාංශූ සංකීර්ණය
  • තෙත් කලාපයේ පිහිටි ගුහා තුළ ඒකරාෂි වී ඇති අනාකූල වූ නිධි : උදාහරණ වශයෙන් කුරුවිට බටදොඹලෙන, කිතුල්ගල බෙලිලෙන, බුලත්සිංහල ෆා-හියන්ලෙන, වරකාපොළ දොරවකකන්ද (ඇතාබැඳි ලෙන), අත්තනගොඩ අළුලෙන, අත්තනගල්ල පොත්ගුල්ලෙන, සීගිරිය පොතාන
  • එළිමහන් ස්ථාන : බෙල්ලන්බැඳිපැලැස්ස, පල්ලෙමළල, මහඑළිය (Horton Plains), මාතොට (මන්නාරම), අනුරාධපුර ඇතුළුනුවර, හුංගම මිණිඇතිලිය

උක්ත දැක්වෙන ස්ථානයන්ගේ වසර සියදහස් ගණනාවක් තිස්සේ සංකේන්ද්‍රගත වී පැවති දත්ත සංචිත පදනම් කරගනිමින් සිදුකර ඇති පුරාවිද්‍යා ගවේෂණ, කැනීම් හා අදාළ වෙනත් පර්යේෂණ අනුව ලංකාවේ මධ්‍යශිලා හෙවත් ක්‍ෂුද්‍රශිලා අවධිය පිළිබඳ පර්යේෂණ දියත් කර කරුණු අනාවරණය කරගෙන ඇත.

කාලනීර්ණය

මානවයාගේ අතීතය හා සහසම්බන්ධ ඕනෑම ප‍්‍රපංචයක් විධිමත් ව පැහැදිලි කිරීමෙහි ලා උපකෘත ප‍්‍රධාන නිර්නායකය වන්නේ අදාළ සංස්කෘතික අවශේෂයන්හි පවත්නා කාලනීර්ණ සහසම්බන්ධතාවයි. යමක් පුරාවිද්‍යාත්මක ව පිළිගැනීම සම්බන්ධයෙන් පවත්නා ප‍්‍රධාන සාධකය වන්නේ ද විධිමත්ව ලබාගන්නා කාලනීර්ණයයි. ප‍්‍රාග් ඓතිහාසික යුගය සම්බන්ධයෙන් භෞතික විද්‍යා සිද්ධාන්ත පදනම් කරගනිමින් වර්ධනය කර ඇති නිරපේක්‍ෂ කාලනීර්ණ බෙහෙවින් වැදගත් වී ඇත. ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික දත්තයන්ගේ දැකිය හැකි විශේෂ ලක්‍ෂණයක් වන්නේ එකී පර්යේෂණයන්හි නියැලි විද්වතුන් තමන් විසින් සිදුකළ කැනීම්වල දී විධිමත් ලෙස කාලනිර්ණ ඉදිරිපත් කිරීමට උත්සුක වී තිබීමයි. මෙම කාලනීර්ණ නිගමන ලබාගැනීම සඳහා බොහෝ අවස්ථාවන්හි දී ම එකී කැනීම් ස්ථානවලින් (අදාළ පස් තට්ටු තුළින් ම) අනාවරණය කරගැනීමට සමත් වූ එක් එක් අතීත කාලයන්ට අයත් අඟුරු සාම්පල මඟින්ම ලබාගෙන තිබීම මෙම දත්තයන්ගේ විශ්වාසනීය බව ඉහළ යාම සඳහා බෙහෙවින් ඉවහල් වී ඇත. (බොහෝ විට මෙම කාලනීර්ණ කාබන් 14 (C14), තාපසම්දීප්තතා (TL) හා අක්‍ෂි උත්දීප්පතා (OSL) යන ක‍්‍රම මඟින් ලබාගෙන ඇත.)

ශ‍්‍රී ලංකාවේ ක්‍ෂුද්‍රශිලා/මධ්‍යශිලා යුගය පිළිබඳ වඩාත් විශ්වාසදාය සාධක බුලත්සිංහල ෆා-හියන්ලෙන, කුරුවිට බටදොඹලෙන හා කිතුල්ගල බෙලිලෙන යන ඒවායින් ලැබී ඇත. ඒ හැර, ලංකාවේ තෙත් කලාපයේ හා අතරමැදි කලාපයේ පිහිටා ඇති ගල්ලෙන් හා එළිමහන් ස්ථාන සැලකිය යුතු ගණනාවක මේ ආකාරයෙන් කාලනීර්ණ නිගමන ලබාගෙන ඇති අතර ඒවායින් කැපීපෙනන ස්ථාන කීපයක් හා ඒවාට ලැබී ඇති කාලනීර්ණ පහත දක්වා ඇත.

බුලත්සිංහල ෆා-හියන් ලෙන අදින් වසර 38,000 සිට 5,400 දක්වා
කුරුවිට බටදොඹලෙන අදින් වසර 37,000 සිට 1,000 දක්වා
කිතුල්ගල බෙලිලෙන අදින් වසර 30,000 සිට 9,000 දක්වා
කෑගල්ල අළුලෙන අදින් වසර 10,350
බෙලිලෙන අතුළ අදින් වසර 8,200
බටතොට දහයියා ලෙන අදින් වසර 7,700-4,800
ඇඹිලිපිටිය බෙල්ලන්බැඳිපැලැස්ස අදින් වසර 6,500

ඉරණමඩු පාංශු සංකීර්ණයේ ක්‍ෂුද්‍රශිලා සංදර්භ සඳහා ලැබී ඇති දිනනීර්ණ

  • ක්‍ෂේත‍්‍ර අංක 50, වැලි වැටිය සඳහා තාපසම්දීප්තතා (TL) කාලනීර්ණ
    – මතුපිට සිට සෙන්ටිමීටර් 180ක් ගැඹුරින් : අදින් වසර 28,480
  • ක්‍ෂේත‍්‍ර අංක 49, වැලි වැටිය සඳහා තාපසම්දීප්තතා (TL) කාලනීර්ණ
    – මතුපිට සිට සෙන්ටිමීටර් 110ක් ගැඹුරින් : අදින් වසර 22,600
    – මතුපිට සිට සෙන්ටිමීටර් 170ක් ගැඹුරින් : අදින් වසර 28,260

ඉහත පෙළ ගස්වා ඇති කාලනීර්ණ දත්ත විශ්ලේෂණය කරන විට පෙනී යන කාරණා කීපයක් පිළිබඳ අභ්‍යුපගමනයන්ට ලංකාවේ මධ්‍යශිලා/ක්‍ෂුද්‍රශිලා අවධිය සම්බන්ධයෙන් එළැඹිය හැකි වේ. දිවයිනේ වෙරළබඩ කලාපය, කඳුකර තෙත් කලාපය හා පහතරට තෙත් කලාපය යන සෑම පාරිසරික කලාපයක ම ප‍්‍රාග් ඓතිහාසික මානවයා අදින් වසර 40,000කට ආසන්න පෙර කාලයේ සිට ක‍්‍රිස්තු පූර්ව 1,000 කාලය දක්වා ලංකාවේ මධ්‍යශිලා/ක්‍ෂුද්‍රශිලා යුගය අඛණ්ඩව පැවත ඇති බව තහවුරු වේ.

කුරුවිට බටදොඹලෙන

පරිසරය

සෑම සත්වයෙකුම පරිසරයේ කොටසකි. ලෝකයේ ජීවත්වන සෑම ජීවියෙකුටම තමා අවට වූ පරිසරයට අනුගත වූ හෝ එයට අවනත වූ ජීවිතයක් ගතකිරීමට සිදු වේ. නූතන ශිෂ්ටාචාරගත මානවයා, තම අවශ්‍යතා හා වුවමනාවන් පරිදි තමා වටා වූ පරිසරය යම්තාක් දුරකට වෙනස්කර ගත්ත ද ප‍්‍රාග් ඓතිහාසික මානවයාට තම ජීවන රටාව පූර්ණ වශයෙන් ම පරිසරයට අනුගත ව පවත්වා ගැනීමට සිදු විය. එ් බැවින්, තත් කාලීන මානවයා ජීවත් වූ පාරිසරික පසුබිම හා තත්ත්වයන් අවබෝධ කරගැනීම ප‍්‍රාග් ඓතිහාසික ක්‍ෂුද්‍රශිලා යුගයේ මානවයා පිළිබඳ අවබෝධ කරගැනීම සඳහා බෙහෙවින් වැදගත් වේ.

පැරණි කාලයේ පැවති පරිසර තත්ත්වය අවබෝධ කරගැනීම සඳහා භාවිත කළ හැකි වැදගත් සාධකයක් වශයෙන් ගස් ගොළුබෙල්ලන් පිළිබඳ අවධානය යොමු කර අැත. පරිසරයේ උෂ්ණත්වය කෙරෙහි දැඩි සංවේදිතාවක් දක්වන සත්ව කොට්ඨාසයක් වශයෙන් බෙල්ලන් සැලකේ. පරිසර උෂ්ණත්වයේ ඇතිවන අංශක කීපයක වෙනසක් කෙරෙහි වුව එකී සත්ව කොට්ඨාසය ප්‍රතිචාර දක්වන බව පැහැදිලි වී අැත. ඒ අනුව, පරිසර උෂ්ණත්ව වෙනස්වීමේ දර්ශකයක් වශයෙන් ගොළුබෙල්ලන් පිළිබඳ ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා පර්යේෂණයන්ගේ දී සලකා බලා ඇත. කාබන් 14 කාලනීර්ණ අනුව කිතුල්ගල බෙලිලෙනින් හමු වූ අකාවුස් රොසියෝලාබීආටුස් ගස්ගොළු බෙල්ලන්ගේ අවශේෂ අදින් වසර 12,500 සිට 10,500 දක්වා කාලයට අයත් බව තහවුරු වේ. එ මෙන් ම, කාබන් 14 කාලනීර්ණ අනුව බටදොඹලෙන කැනිමේ දී වසර 28,500 කාලයට අයත් පස්තට්ටුවලින් අකාවුස් පීනිස් හා අකාවුස් ප්‍රොස්පරස් නම් ගස් ගොළුබෙලි වර්ග දෙක ජීවත් වූ බව පැහැදිළි වෙයි. මෙම ගස් ගොළු බෙල්ලන් වර්ග ත‍්‍රිත්ත්වය ම වර්තමානයේ ද දිවයිනේ පහතරට තෙත් කලාපයේ ව්‍යාප්තව සිටින බව ඒ පිළිබඳ විපරම් කිරීමේ දී හඳුනාගත හැකි වේ. මෙම ගස් ගොළුබෙල්ලන් විශේෂ සඳහා ජීවත් වීමට යෝග්‍ය පරිසර තත්ත්වයක් වර්තමානයේ පවත්නා අතර උක්ත දැක් වූ ප‍්‍රාග් ඓතිහාසික අවධියේ දී ද මෙම සත්ව විශේෂයන්ට ජීවත් වීමට යෝග්‍ය පරිසර තත්ත්වයක් තිබී ඇති බව පෙනී යයි. එයින් ගම්‍ය වන්නේ බොහෝ විට වර්තමාන පරිසර තත්ත්වයට සමාන පරිසර තත්ත්වයක් අවම වශයෙන් අදින් වසර 28,500 පමණ කාලයේ සිට ප‍්‍රාග් ඓතිහාසික අවධියේ පහළ සීමාව දක්වා ම පවතින්නට ඇති බවයි. යම් ආකාරයකින් එකී පරිසර තත්ත්වයේ වෙනසක් සිදු වී ඇත්නම් ඒ වෙනස අංශක 2-3ක් නෝ ඉක්ම වන්නක් විය යුතු ය. මේ අනුව, ප‍්‍රාග් ඓතිහාසික ක්‍ෂුද්‍රශිලා/මධ්‍යශිලා අවධියේ දී නැතිනම් අවම වශයෙන් අවසන් වසර 30,000 තුළ සැලකිය යුතු අන්දමේ පරිසරාත්මක වෙනසක් සිදු නොවී ඇතැයි ඉහළ සම්භාවිතාවක් සහිත ව නිශ්චය කළ හැකි වේ. අනෙක් අතට ප‍්‍රාග් ඓතිහාසික යුගයේ ශ‍්‍රී ලංකාවේ විශාල පරිමාණයේ පරිසරාත්මක වෙනස්කම් සිදු වන්නට ඇතැයි සිතීමට අනුබල දෙන වෙනත් පාරිසරික හෝ සංස්කෘතික කරුණු ද අනාවරණය වී නැත.

ප‍්‍රාග් ඓතිහාසික මධ්‍යශිලා/ක්‍ෂුද්‍රශිලා අවධියේ පැවති පරිසර තත්ත්වය පිළිබඳ අවබෝධයක් ලබාගැනීම සඳහා පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය ටී. රත්නසිරි පේ‍්‍රමතිලක විසින් සිදුකර ඇති අධ්‍යයන තුළින් පෙන්වා දී ඇති කරුණු මනා පිටිවහලක් වේ. සපුෂ්පික ශාකයන්ගේ පැවති පැරණි පරාග සාධක විශ්ලේෂණය කරමින් සිදුකර ඇති අධ්‍යයන අනුව පහත පෙළගස්වා දක්වා ඇති කරුණු ඔහු විසින් පෙන්වා දී ඇති බව, ආචාර්ය සිරාන් දැරණියගලයන්ගේ ලිපියක් උපුටා දක්වමින් සටහන් කළ හැකි වේ.

අදින් වසර 21,500 – 18,000 ශීත හා වියළි දේශගුණයකි. වර්ෂාපතනය ක‍්‍රමයෙන් අඩු වී ඉතා වියළි දේශගුණයක් පැවැතිණ.
අදින් වසර 18,000 – 14,500 ශීත හා වියළි දේශගුණයකි. වර්ෂාපතනය ක‍්‍රමික වැඩිවීමක් පෙන්නුම් කරයි.
අදින් වසර 14,500 – 13,800 වර්ෂාව අධික අවධියකි. වර්ෂාපතනයේ ක්‍ෂණික වැඩිවීමක් පෙන්නුම් කර ඇත.
අදින් වසර 13,800 – 12,300 ප‍්‍රබල වර්ෂාපතන වැඩිවීමක් පෙන්නුම් කර ඇත. අදින් වසර 13,000 දී පමණ වර්ෂාපතනයේ උපරිම අවස්ථාව පෙන්නුම් කර ඇත.
අදින් වසර 13,200 – 9,000 සිසිල් හා වියළි දේශගුණ තත්වයකි.
අදින් වසර 9,000 – 7,500 වර්ෂාව අධික සමයකි. උපරීමය අදින් වසර 8,300 පමණ කාලයේ දී ඇති විය.
අදින් වසර 7,500 – 4,500 සිසිල් වියළි දේශගුණයකි.
අදින් වසර 4,500 – 2,000 ප‍්‍රබල වර්ෂාධික සමයකි. උපරීමය අදින් වසර 3,200 දී පමණ වාර්තා විය.
අදින් වසර 2,000 – වර්තමානය වියළි අවධියකි. වසර 600කට පමණ පෙර වර්ෂාපතනයේ ස්වල්ප වැඩිවීමක් පෙන්නුම් කරයි.

නමුත්, ඉහත දක්වා ඇති පාරිසරික තත්ත්වයන් ශ‍්‍රි ලාංකේය ප‍්‍රාග් ඓතිහාසික මානවයාගේ සංස්කෘතිය හා චර්යාවන් කෙරෙහි බලපා ඇති ආකාරය පිළිබඳ සූක්‍ෂම හා විධිමත් අන්දමින් අධ්‍යයන මේ දක්වා සිදු වී ඇති බැව් හඳුනාගත හැකි නොවේ.

තාක්‍ෂණය

මානවයා තමන්ගේ අංගෝපාංගයන් පමණක් භාවිත කරමින් ඉටුකර ගැනීමට අපහසු කටයුත්තක් ඉටුකර ගැනීම සඳහා තම මනස භාවිත කරමින් යොදන බාහිර උපක‍්‍රමයන් තාක්‍ෂණය වශයෙන් සරළව අර්ථනිරූපණය කළ හැකි වේ. මානව අතීතයේ යුගකරණය සිදුකිරීමේ දී ද අදාළ යුගයන්ගේ පැවති සමාජ-තාක්‍ෂණය පදනම් කරගැනීම පුරාවිද්‍යා විෂයීය සාමාන්‍ය විධික‍්‍රමය වේ. ඒ අනුව, ප‍්‍රාග් ඓතිහාසික ජනසමාජය අවබෝධ කරගැනීම සඳහා පවත්නා ප‍්‍රබල හා වැදගත් කරුණක් වශයෙන් තාක්‍ෂණය හඳුනාගත හැකි වේ. සම කාලීන මානවයාගේ චර්යාවන් හා දිවිපැවැත්ම තීරණය කිරීමට ප‍්‍රබල වශයෙන් පරිසරය ඇසුරෙන් නිපැදවෙන මෙකී තාක්‍ෂණය බෙහෙවින් අදාළ වීම මේ සඳහා හේතුවයි.

ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික යුගයේ මධ්‍යශිලා අවධිය සඳහා නිශ්චය කළ හැකි තාක්‍ෂණ විධිය නම් ක්‍ෂුද්‍ර ශිලා මෙවලම් තාක්‍ෂණයයි. මෙකී තාක්‍ෂණික සම්ප‍්‍රදාය මේ අවධිය හා දක්වන සබඳතාව හේතුවෙන් ම මෙම යුගය මධ්‍යශිලා හෙවත් ක්‍ෂුද්‍රශිලා යුගයෙන් නම් කිරීමේ නැඹුරුතාවක් මේ වන විට ප‍්‍රාග් ඉතිහාසඥයින් අතර ඇති වී තිබේ.

මධ්‍යශිලා යුගයේ දී ජීවත් වූ හෝමෝ සේපියන්ස් හෙවත් බලංගොඩ මානවයා තම දෛනික ජීවිතයේ අවශ්‍යතාව අනුව කැපීම, තැලීම, සීරීම හා සිදුරු කීරීම වැනි විවිධ කාර්යයන් සඳහා ගල් මෙවළම්, අස්ථි මෙවළම් හා විවිධ දැව උපකරණ භාවිත කිරීමට ඇති බව සිතිය හැකි වේ. මෙම මධ්‍යශිලා ගල් මෙවළම් සංචිතය තුළ මිටි, ඇඹරුම්ගල්, දාගල්, මෝල්ගස්, වංගෙඩි, හිල් විදින ලද මිටි ආයුධ හා කැකුණ තැලීම වැනි දෑ සඳහා (?) භාවිත කරන්නට ඇතැයි සිතිය හැකි සමතලා ගල් තහඩු වැනි දෑ හඳුනාගත හැකි වේ. ඊට අමතර ව දියර වර්ග ගෙනයාම වැනි කාර්යයන් සඳහා ඉබ්බන්ගේ කවච, ලබු කබල් වැනි දෑ භාවිත කිරීමට ඇති බව වර්තමාන කාලයේ ජීවත් වන දඩයක්කාර රැස්කරන්නන් හා විවිධ ප‍්‍රාථමික ද්‍රවයය රැස්කරන විවිධ ප‍්‍රාථමික ජන කණ්ඩායම් පිළිබඳ සිදුකරන අධ්‍යයන හා සමාන්තර උදාහරණ මඟින් පැහැදිලි කරගත හැකි වේ.

ලංකාවේ මධ්‍යශිලා යුගයේ විශිෂ්ටම තාක්‍ෂණය ලෙස සැලැකිය හැක්කේ ජ්‍යාමිතික ක්‍ෂුද්‍ර ශිලා මෙවළම් තාක්‍ෂණයයි. එනම්, චතුරස‍්‍රය, ත‍්‍රපීයසියම හා ත‍්‍රිකෝණය වැනි ජ්‍යාමිතික හැඩ සහිත කුඩා ප‍්‍රමාණයේ ගල්වලින් නිර්මාණය කරන ලද ආයුධ යන්න මෙයින් අදහස් වේ. ආචාර්ය සිරාන් දැරණියගල විසින් සිදුකර ඇති ගල් ආයුධ පිළිබඳ වර්ගීකරණය අනුව සෙන්ටිමීටර් 4.5ට වඩා අඩු ප‍්‍රමාණයේ ගල් ආයුධ ක්‍ෂුද්‍රශිලා ගල් මෙවළම් යනුවෙන් ප‍්‍රාග් ඓතිහාසික අධ්‍යයන තුළ දී හඳුනාගනු ලැබේ. මෙම ගල් ආයුධ තාක්‍ෂණ ක‍්‍රමය මධ්‍යශිලා යුගයෙන් ආරම්භ වී ක‍්‍රිස්තු පූර්ව 1,000-500 අතර කාලය දක්වා පැවැති බව ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික ස්ථාවල සිදුකර ඇති කැනීම් මඟින් පැහැදිලි වී ඇත. ලංකාවේ මධ්‍යශිලා යුගයේ සිදුරු සහිත මිටි මෙවළම් හා ජ්‍යාමිතික ක්‍ෂුද්‍රශිලා මෙවළම් පැවතීම නිසා එකී ගල් මෙවළම් තාක්‍ෂණය රත්නපුර දියළු තැමපතුවලින් අනාවරණය වී ඇති ශිලා කර්මාන්තයෙන් වෙන්කොට හඳුනාගන්නා ලදි.

ඇඹිලිපිටියෙන් අනාවරණය වූ බලංගොඩ උල් ආයුධයක් (Perera 2010)

ලංකාවේ මධ්‍යශිලා ගල් ආයධු සංචිතය තුළ ජ්‍යාමිතික නොවන ක්‍ෂුද්‍ර ශිලා මෙවළම් ගණනාවක් ද හඳුනාගත හැකි ව පවතී. එවැනි ජ්‍යාමිතික නොවන ගල් ආයුධ අතර දැකගත හැකි විශිෂ්ට ගල් මෙවළම් වර්ගය නම් බලංගොඩ උල් ආයුධ (Balangoda Point) නමින් හඳුන්වනු ලබන ගල් මෙවළමයි. විනිවිද පෙනෙන පැහැදිලි තිරුවාණා ගල්, අමුද්‍රව්‍ය වශයෙන් ගෙන නිපදවා ඇති මෙය ප‍්‍රමාණයෙන් සෙන්ටී මීටර් 3ක් පමණ වන අතර සෑම පැත්තම සියුම් ලෙස පතුරු ඉවත් කර නැවැත හැඩ ගන්වා ඇත. මෙම බලංගොඩ උල් අායුධ නමින් හඳුන්වන ගල් ආයුධය, උසස් නිර්මාණාත්මක ලක්‍ෂණ නිරූපණය කරන අතර ඉන්දියාවේ තිරුණෙල්වේලියේ ටෙරි ක්‍ෂේත‍්‍රවලින් ලැබෙන මෙවළම් හා ආසන්න සමානතාවක් දක්වන බව අාචාර්ය සිරාන් දැරණියගලයන්ගේ අදහසයි. අනාවරණය වී ඇති බලංගොඩ උල් ආයුධවල කාලනීර්ණ පිළිබඳ සලකා බැලීමේ දී කුරුවිට ආසන්නයේ පිහිටා ඇති බටදොඹලෙනින් හමු වූ බලංගොඩ උල් ආයුධයක් කාබන් 14 කාලනීර්ණය අනුව අදින් වසර 22,000 කාලයට හා බූන්දලින් හමු වූ තවත් එ වැනි මෙවළමක් තාපසම්දිප්තතා කාලනීර්ණය අනුව අදින් වසර 28,000 කාලයටත් කාලනිර්ණ නිගමන ලැබී ඇත.

මධ්‍යශිලා යුගයට අයත් අත් පොරෝ ආයුධ රත්නපුර දියළු නිධිවලින් අනාවරණය වී ඇති ගල් මෙවළම් වලින් වෙන්කර හඳුනාගැනීම දුෂ්කර වේ. (රත්නපුර දියළු නිධිවලින් අනාවරණය වී ඇති ශිලා මෙවළම් පිළිබඳ දැනගැනීම සඳහා මෙම ලිපි පෙළේ අංක 8 ලිපිය කියවන්න.)

ලංකාවෙන් අනාවරණය වන මධ්‍යශිලා/ක්‍ෂුද්‍රශිලා මෙවළම් ගොන්න විශ්ලේ්ෂණය කර බැලීමේ දී එම මෙවළම් නිර්මාණය කිරීම සඳහා විවිධ අමුද්‍රව්‍ය භාවිත කර ඇති බව හඳුනාගත හැකි ව පවතී. ආචාර්ය සිරාන් දැරණියගලයන් විසින් මෙම මෙවළම් නිමවීම සඳහා භාවිත කර ඇති අමුද්‍රව්‍යය තිරුවාණා (Quartz), කහඳ (Chert), පළිඟු (Chalcedony), යමහල් ස්ඵටික (Igneous crystallines) හා වෙනත් විවිධ ද්‍රව්‍ය (Pigments and miscellaneous materials) වශයෙන් පුළුල් වශයෙන් වෙන්කර දක්වා ඇත. එකී පුළුල් වර්ග තුළ නැවත එවායේ අනු වර්ග පහත පරිදි නැවත වෙන්කර දැක්විය හැකි වේ.

  • තිරුවාණා : විනිවිද පෙනෙන තිරුවාණා, ක්‍ෂිර පැහැ තිරුවාණා, කණිකාමය ක්‍ෂිරපැහැ තිරුවාණා, රෝසපැහැ තිරුවාණා, කණිකාමය රෝසපැහැ තිරුවාණා, අඹතේස්ත
  • කහඳ : පාරභාසක කහඳ, පාරාන්ධ මධ්‍ය කණිකාමය කහඳ, කණිකාමය කහඳ
  • පළිඟු
  • යමහල් ස්ඵටික : කළු ගල්, ඩයෝරයිට්
  • වර්ණක හා විවිධ ද්‍රව්‍යය : රතු හිරියල්, මිනිරන්, තලාතු මිනිරන්, ලුහු යමහල් පාෂාණ
අඩසඳ ආකාර මෙවළමක් හා උල් මෙවළමක් (Perera 2010)

ලංකාවේ මධ්‍යශිලා යුගයේ පවත්නා ගල් ආයුධ ගොන්න පිළිබඳ ව හා ඒවායේ අන්තර්ගත වී ඇති එක් එක් ගල් ආයුධ පිරික්සා බැලීමේ දී ලංකාව තුළ එක් එක් කලාපීය වශයෙන් හෝ පාරිසරික කලාප වශයෙන් විවිධත්වයක් හඳුනාගත නොහැකි බව ඒ පිළිබඳ විශේෂඥයින්ගේ අදහසයි. ලෝකයේ ප‍්‍රාග් ඓතිහාසික ගල් ආයුධ පිළිබඳ විශෙෂඥයෙකු වශයෙන් පිළිගනු ලබන ආචාර්ය එච්. නිමල් පෙරේරාට අනුව මධ්‍යශිලා යුගය නියෝජනය කරමින් ලොව විවිධ ස්ථාන නියෝජනය කරමින් ලබාගන්නා ලද ගල් ආයුධ එක් ස්ථානයක පොදුවේ තැබුවහොත් කිසිම විශේෂඥයෙකුට ඒවායේ පවත්නා ප‍්‍රදේශීය ලක්‍ෂණ වෙන්වෙන් වශයෙන් හඳුනාගැනීම අපහසු කාර්යයක් වේ. එයින් අදහස් වන්නේ ගෝලීය වශයෙන් වුව සලකා බැලීමේ දී මධ්‍යශිලා නැතිනම් ක්‍ෂුද්‍රශිලා ගල් ආයුධ අතර ප‍්‍රදේශීය විවිධතා නැත්නම් ප‍්‍රදේශීය අනන්‍යතා පිළිබිඹු නොකරණ බවයි.

ජ්‍යාමිතික නොවූ ක්‍ෂුද්‍ර ගල් මෙවළම් අවුරුදු 125,000 දක්වා වූ පෙර කාලයේ ද ජ්‍යාමිතික ගල් මෙවළම් අවුරුදු 28,000 කාලයේ ද හමු වීම යන ලක්‍ෂණය ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික ගල් අායුධ පිළිබඳ දැකගත හැකි ලක්‍ෂණයක් වන අතර මේ හැර දිවයිනේ ප‍්‍රාග්ඓතිහාසික වාර්තාවල පසුගිය වසර 28,000 කාලයේ ගල් ආයුධ අතර විශේෂයක් දක්නට නැති බව ආචාර්ය සිරාන් දැරණියගලයන්ගේ අදහසයි.

සත්ව අස්ථිවලින් සකස් කරන ලද මෙවළම්

විවිධ ගල් මෙවළම්වලට අමතරව සත්ව අස්ථි භාවිතයෙන් නිිර්මාණය කරන ලද මෙවළම් මධ්‍යශිලා යුගයේ දි බහුල වශයෙන් භාවිත වී ඇත. ලැබී ඇති එ වැනි සාධක අතර බහුල වර්ගය මෙයට වසර 28,500කට පමණ පෙර කාලයට අයත් බටදොඹලෙනින් හමු වූ ඇටකටු හෝ අං ඉලීමෙන් සෑදු කුඩා උල් හෝ රොම්බසාකාර ආයුධ වේ. මෙ වැනි නිර්මාණ කුඩා ප‍්‍රමාණයේ සිට විශාල ඒවා දක්වා හැදි වැනි පතුරු හා උල්කටු හමු වෙයි. ඒ අතුරින් කිතුල්ගල බෙලිලෙනින් හමු වූ දැති සහිත දාර සහිත හැඳි වැනි පතුරු විශේෂ ගණයකට අයත් වෙයි. රාවණා ඇල්ල ගුහාව හා නිල්ගල ලෙන්වලින් ලැබී ඇති හරස් දාර සහිත ඇටකටු පතුරු මේ මෙවළම් හා සමාන වේ. කිතුල්ගල බෙලි ලෙනින් අදින් වසර 12,500කට හා කුරුවිට බටදොඹ ලෙනින් අදින් වසර 28,500 පූර්ව කාලයට අයත් ඇටකටුවලින් සෑදු දිගැටි ඇට බෙලිකටුවලින් සෑදු වටකුරු ඇට ලැබී ඇත. විවිධ දෑ සිදුරු කිරීම වැනි කාර්යයන් සඳහා භාවිත කිරීමට ඇතැයි සිතිය හැකි උල් නීර්මාණය කිරීම සඳහා වඳුරන්ගේ දික් අතට පැළුණු දත් යොදාගෙන ඇති බවට සාධක ලැබී ඇත. එ මෙන් ම වළිකුකුළන්ගේ පාදවල පවත්නා පොරකටු හා පිඹුරන්ගේ හකු ආයකටු මෙන් භාවිත කිරීමට ඇතැයි අනුමාණ කළ හැකි වේ. බොහෝ විට මධ්‍යශිලා සත්ව මෙවළම් නිර්මාණය කිරීම සඳහා වඳුරන් හා රිලවුන් වැනි සතුන්ගේ අත්වල දිගු අස්ථි භාවිත කළ බැව් අදාළ නිදර්ශක පරික්ෂා කිරීමේ දි පැහැදිලි වී ඇත. ගස්වල එල්ලී ගමන් කරන එකී සත්වයින්ගේ එම අස්ථිවල පවත්නා ශක්තිමත් භාවය හේතුවෙන් මෙකී වරණය සඳහා බලංගොඩ මානවයා එළැඹෙන්නට ඇත.

කුරුවිට බටදොඹලෙන කැනීමේ දී අනාවරණය වී ඇති අදින් වසර 16,000-20,000 අතර කාලයට දින නියම කර ඇති මුහුදු මඩු මතස්‍යයාගේ වලිග ඇටය ප‍්‍රාග් ඓතිහාසික සන්දර්භයන්ගේ අනාවරණය වූ කෘති අතර තවත් විශේෂ කෘතියක් වශයෙන් හඳුනාගත හැකි වේ. මෙවැනි මුහුදු මඩු මත්‍යය වලිග කොටසක් 2009 වසරේ අත්තනගල්ල අලවල පොත්ගුල්ලෙන කැනීමේ දී ද අනාවරණය වී ඇත. මෙවැනි මුහුදු මඩු මතස්‍යය වලිග කොටස් බොහෝ විට දියෙහි සිටින මතස්‍යයන් අල්වා ගැනීමේ දී හාපූනය හා සමාන මෙවළමක් වශයෙන් භාවිත කිරීමට ඇතැයි අනුමාණ කළ හැකි අතර එම වලිගයේ පවත්නා කටු ස්වභාවය හා එහි පිහිටීම අනුව මෙකී අනුමාණයට එලැඹීමට අවශ්‍ය පිටිබලය සපයනු ලැබේ.

පවත්නා දිරායාමේ ස්වභාවය හේතුවෙන් ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික සන්දර්භ තුළින් මෙතෙක් අනාවරණය වී නොමැති වුවත් විවිධ දැව වර්ග හා ශාක කොටස් ද ප‍්‍රාග් ඓතිහාසික මානවයා විසින් නිශ්චිත වශයෙන් ම තම දෛනික ජීවන කාර්යයන් සම්පූර්ණ කරගැනීම සඳහා භාවිත කරන්නට ඇති බව ලංකාවේ හා සමාන්තර ප‍්‍රාථමික ජන කණ්ඩායම් පිළිබඳ සිදුකර ඇති මානවවංශ විද්‍යා අධ්‍යයන අනුව තහවුරු වේ. ඒ අනුව, සතුන් දඩයම් කිරීම හා අල වර්ග සාරා ගැනීම වැනි කටයුතු සඳහා පොළු මුඟුරු හා උල් වර්ග, කැපීම් කටයුතු සඳහා උණ පතුරු, විවිධ වැල් වර්ග මෙන් ම දියර වර්ග ලබාගැනීම සඳහා ලබු කබල්, පොල්කටු වැනි ගණැති බහාලුම් භාවිතය පිළිබඳ බලංගොඩ මානවයා දැන සිටින්නට ඇත.

අත්තනගොඩ අළුලෙන
බුලත්සිංහල ෆා-හියං ලෙන
කුරුවිට බටදොඹලෙන
කිතුල්ගල බෙලිලෙන
සීගිරිය ආසන්නයේ පිහිටි පොතාන ගුහාව
බුලත්සිංහල ෆා-හියං ලෙනින් අනාවරණය වූ මානව සැකිල්ලක්
උඩවලවේ නිම්ණයෙන් අනාවරණය වූ බලංගොඩ උල් ආයුධ
ගල් මෙවළම් (Deraniyagala 1992)
මධ්‍යශිලා අස්ති මෙවළම් (Deraniyagala 1992)
බටදොඹලෙනින් අනාවරණය වූ මඩු මතස්‍යය වලිග කොටස (Deraniyagala 1992)

ඉදිරි ලිපියෙන් : ශ‍්‍රී ලංකාවේ මධ්‍යශිලා/ක්‍ෂුද්‍රශිලා යුගයේ ජීවනෝපාය, හුවමාරුව, ජනාවාස, අභිචාර හා වාස්තුවිද්‍යාව

----------------------------------------------------------------------------------
මෙම ලිපිය www.archaeology.lk/sinhala වෙබ් අඩවියේ 2018.01.08 දින පළමු වරට ප්‍රකාශයට පත් විය.
----------------------------------------------------------------------------------
Advertisements
Previous articleපොළොන්නරු යුගයේ කාසි නිෂ්පාදන තාක්‍ෂණය
Next articleපුරාවිදු උරුමය, නිධානය හා ජන සමාජය
2006 වසරේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් වසරේ දක්ෂතම පුරාවිද්‍යා ශිෂ්‍යයාට හිමි මහාචාර්ය පී. ලිලානන්ද ප්‍රේමතිලක හා වෛද්‍ය නන්දා ප්‍රේමතිලක විශිෂ්ට නිපුනතා ත්‍යාගය සමඟ ශාස්ත්‍රවේදි (ගෞරව) (BA(sp)) උපාධිය ලබාගන්නා ලද චන්දිම, 1998 වසරේ දී මොරටුව විශ්වවිද්‍යාල‍යේ වාස්තුවිද්‍යා පීඨයෙන් ස්මාරක හා කේෂේත්‍ර සංරක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ද, 2010 වසරේ දී කොළඹ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් පුරාවිද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය (MSc.) ද හිමිකර ගන්නා ලදි. 2008 - 2010 කාලයේ දි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ තාවකාලික කථිකාචාර්යවරයෙකු වශයෙන් සේවය කළ ඔහු, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාල‍යේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්යවරයෙකු වශයෙන් 2011 වසරේ සිට සේවය කරන අතර එහි ප්‍රාග් ඉතිහාසිය හා අභිලේඛන විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයා වශයෙන් කටයුතු කරයි.

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.