චන්දිම බණ්ඩාර අඹන්වල

සහකාර කථිකාචාර්ය, පුරාවිද්‍යා අධ්‍යයන අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, පේරා‍දෙණිය.

ප්‍රශ්නයක් නෑ, අපි හැමෝගෙම ඇඟේ වැදි ලේ තියෙනවා.

(එස්. දැරණියගල, විදුසර, 1995 නොවැ. 1:19)

Siran Deraniyagala-Prehistory-Archaeology-Sri Lanka
ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගල

තේමාව : විශ්ව ගම්මානය නම් සංකල්පය තුළ රැදෙමින් ම නූතන ශ්‍රී ලාංකේය මානවයාට තම අනන්‍යතාව ප්‍රකට කිරීම සදහා දිවයිනේ ප්‍රාග් ඓතිහාසික එළඹුම් මනා වූ පිටිබලයක් වී ඇති බව අවිවාදිත කරුණකි. වසර දසදහස් ගණනක් දුරු ඝණ පාංශු ස්ථරණයෙන් ආවරණය වී පවත්නා ප්‍රාග් ඓතිහාසික තත්ත්වයන් අනාවරණය කරගනු වස් වඩාත් සප්‍රමාණාත්මක අධ්‍යයන මෙහෙයවීම ද තුන්කල් විනිවිද දක්නා ප්‍රාඥයකුට හැර අනෙකෙකුට පහසු කටයුත්තෙක් නම් නොවේ. එවන් වූ දුෂ්කර කාර්යයක් තම අසීමිත කැපවීමේ හා ධී ශක්තියේ උපකාරයෙන් පූරණය කරන්නා වූ ආචාර්ය, සිරාන් උපේන්‍ද්‍ර දැරණියගලයන්ගේ වසර 40කට ආසන්න කාලයක් පුරා දිවයන ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය පිළිබඳ ශාස්ත්‍රීය අධ්‍යයන ප්‍රමාණ කිරීම ද අතිශයෙන් ම දුෂ්කර වූ කාර්යයකි. මෙවැනි අධ්‍යයන ප්‍රමාණ කිරීම තුළණාත්මක විෂය ඥානයෙන් හෙඹි පරිණත වියතුන් විසින් සිදුවිය යුතු යුතුකමෙකි. මෙවන් පසුබිමෙක වුවත් ආචාර්ය, දැරණියගලයන් ශ්‍රී ලාංකේය ප්‍රාග් ඓතිහාසික අධ්‍යයනයන් සදහා සිදු කොට ඇති සම්ප්‍රදානය කුමක් දැයි හදුනා ගැනීමට ගත් සරළ උත්සහයකි මෙම අධ්‍යයනය. ඒ අනුව, දිවයිනේ ප්‍රාග් ඓතිහාසික අධ්‍යයන හා ඒ වටා ආචාර්ය, සිරාන් දැරණියගලයන්ගේ දායකත්වය පිළිබද මූලික අදහස් කීපයක් මෙම ලිපියෙන් ඉදිරිපත් කිරීමට උත්සාහ කෙරේ.

හැඳින්වීම : වසර මිලියන 4,500ක් පමණ පැරණි පෘතුවියේ යටගියාවට සාපේක්‍ෂක ව මානවයා පිළිබඳ කථාව බොහෝ ලාබාල වෙයි. අප්‍රිකාවේ ඔල්දුවායි ගෝර්ජ් (Olduwai Gorge) ආශ්‍රිත ව සිදු කර ඇති අධ්‍යයන අනුව මානව පූර්වජයාගේ පැරැණිත ම අවස්ථාව අදින් වසර ලක්‍ෂ 50ක් පමණ දක්වා ඈතට දිවයයි. උක්ත දැක් වූ දිගු පරිණාම ගමන් මාර්ගයේ එක් එක් අවස්ථාවන් හි දී මානවයා කටයුතු කළේ කෙසේ ද? ඔහුගේ ගතිකය කුමක් ද? විවිධාකාර අභ්‍යන්තර හා බාහිර අභියෝග හමුවේ ඔහු ක්‍රියා කළේ කෙසේ ද? ඒවාට මුහුණ දී තම පැවැත්ම තහවුරු කරගත්තේ කෙසේ ද? ආදිය පිළිබඳ ව සොයා බලන විෂය පුරාවිද්‍යාව යනුවෙන් හඳුන්වයි. එනම්, “පුරාමානවයාගේ චින්තනය හා ඔහුගේ පරිසරාත්මක සබැඳියාව ද්‍රව්‍යාත්මක අවශේෂ මත පදනම් වෙමින් හදාරන විෂය” පුරාවිද්‍යාවයි. මේ අනුව, සලකා බලන විට මානවයාගේ යටගියාව හා සම්බන්ධ ව සිදු කරන්නා වූ ඕනෑම අධ්‍යයනයක් පුරාවිද්‍යාත්මක අධ්‍යයනයක් ලෙස දළ වශයෙන් වටහාගත හැකි ය. ඔල්දුවායි ගෝර්ජ් හී ලිකී පදනම  (Leakey Foundation) මඟින් අවුරුදු ලක්‍ෂ 30කට පමණ පූර්වයෙන් සිටි මානව පූර්වජයා පිළිබඳ ව සිදු කරන අධ්‍යයනත්, ක්‍රිස්තු පූර්ව 3,000දී සිටි මිසර රජවරුන් පිළිබඳ කථාත්, ක්‍රි. පූ. 1,500 දී පමණ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය පිළිබඳ අධ්‍යයනත්, වසර 1,000කට පමණ පෙර අනුරාධපුර වාරී තාක්‍ෂණය මෙන් ම නූතනයේ ප්‍රාථමික ජනකොටස් හා ඇමරිකාවේ සිදු කරන කසල විශ්ලේෂණ ව්‍යාපෘතියත් අද පුරාවිද්‍යාව යටතට ගැනේ. එහෙත්, භාවිත මූලාශ්‍රයන්ගේ විසදෘෂතා මත එහි යම් අයුරෙක විභේදනයක් ද හදුනා ගත හැකි ය. ලිඛිත මූලාශ්‍ර පවත්නා ඓතිහාසික යුගය පිළිබඳ ව කරන්නා වූ පුරාවිද්‍යාත්මක අධ්‍යයන ඓතිහාසික පුරාවිද්‍යාව යටතටත්, යම් අයුරෙක ලිඛිත සාධක ඇතත් තවමත් ඒවා නිශ්චිත ව අර්ථ දක්වා නො මැති යුගය පිළිබඳ ව සිදු කරන අධ්‍යයන ප්‍රෝටෝ ඓතිහාසික පුරාවිද්‍යාව යටතටත්, ලිඛිත සාධක කිසිවක් නො මැති යුගය පිළිබඳ ව සිදු කරන අධ්‍යයන ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාව යටතටත් ගත හැකි ය. මේ අනුව ගතානුගතික ව ලංකාව සම්බන්ධයෙන්;

  • අද සිට ක්‍රි. පූ. 300 – ඓතිහාසික පුරාවිද්‍යාව (Historic Archaeology)
  • ක්‍රි. පූ. 300 – ක්‍රි. පූ. 950 – ප්‍රෝටෝ ඓතිහාසික පුරාවිද්‍යාව (Protohistoric Archaeology)
  • ක්‍රි. පූ. 950 – ක්‍රි. පූ. 125,000/250,000 – ප්‍රාග්ඓතිහාසික පුරාවිද්‍යාව (Prehistoric Archaeology) යන පරාසය ලංකාව සම්බන්ධයෙන් අදාළ වෙයි.

පරිසමාප්තගත වචනාර්ථයෙන් දිවයිනේ පුරාවිද්‍යාව යන විෂයේ ආරම්භය යටත්විජිතවාදී අවධිය තෙක් දිව යයි. යටත්විජිතවාදී පරිපාලකයන්, වතු වගාකරුවන්, මානව විද්‍යාඥයන් හා භූ විද්‍යාඥයන් ආදීන් විසින් 19 වැනි සියවසේ අගභාගයේ දී කුතුහලය හා කෞතුක සම්පත් සෙවීමේ පරමාර්ථයෙන් ඇරැඹූ කාර්යයක ප්‍රතිඵලයක් ලෙස පුරාවිද්‍යා විෂය ලක්දිව තුළ හැඩ ගැන්විණ.

ප්‍රාග් ඓතිහාසික ශ්‍රී ලංකාව : ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාවේ ආරම්භය සම්භාව්‍ය පුරාවිද්‍යාවේ ආරම්භය හා සම කාලීන බව ඒ පිළිබඳ ව අවධානය  යොමු කරන විට පෙනී යයි. ක්‍රිස්තු වර්ෂ 1885 දී පමණ ජෝන් පෝල් හා ඊ. ඊ. ග්‍රීන් ආදීන් විසින් මස්කෙළිය, නාවලපිටිය හා පේරාදෙණිය අවට ප්‍රදේශවල පොළොව මතුපිට සිදු කළ ශිලා මෙවලම් රැස් කිරීමෙන් ලංකාවේ ප්‍රාග් ඓතිහාසික පර්යේෂණයන්ගේ ආරම්භය සිදු වී ඇත (Deraniyagala 1992:2-3). සමකාලීන ව සැරසින් සොහොයුරන් විසින් යකුන්ගේ හෙළ හා ගංගොඩදෙණියේ ගල් ගුහාව කැනීමෙන් ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් මානව සැකිල්ලක් පළමු වතාවට සොයා ගත් බව පෙනේ.ඉන් අනතුරු ව, කුතුහලය මෙන් ම අපරදිග රටවල වර්ධනය වන්නා වූ භූ විද්‍යාත්මක හා ප්‍රාග් ඓතිහාසික කරුණු මුල්කොට ගෙන පාර්සන්ස්, හාට්ලි, ගාඩිනර්, ලුවිස් හා වේලන්ඩ් ආදීන් විසින් ප්‍රාග් ඓතිහාසික පර්යේෂණ දියත් කළ අතර ඔවුන්ගේ අධ්‍යයන සඳහා මධ්‍යම කඳුකර උස්බිම් මෙන් ම තෙත් කළාපීය පහත් බිම් පමණක් නොව වෙරළබඩ කළාපය ද ඉලක්ක විය. මානවවංශ විද්‍යාත්මක වශයෙන් වැදැගත් වන්නා වූ ප්‍රාථමික ජනකොටස් වශයෙන් වැද්දන් හා ඔවුන් හා බැදි විවිධ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් හෙන්රි පාකර් හා සෙලිග්මාන්වරුන්ගේ අවධානය (Parker 1909, Seligman 1911) යොමු වෙයි.

1940 දී පමණ එවකට ශ්‍රී ලංකා කෞතුකාගාරයේ අධ්‍යක්‍ෂක වූ සත්ත්ව විද්‍යාඥ පි.ඊ.පි. දැරණියගල රත්නපුර මැණික් පතල් තුළින් ලැබුණු පොසිල සාධක පදනම් කොට ගෙන තම පුරා විද්‍යාත්මක අධ්‍යයන ආරම්භ කිරීම දේශීය ප්‍රාග් ඓතිහාසික පර්යේෂණයන්ගේ නව නැම්මක් ඇති කිරීමට හේතු විය. ශ්‍රී ලංකාවේ භෞතික මෙන් ම අභෞතික පරිසරය පිළිබඳ ව ප්‍රාග් ඓතිහාසික පර්යේෂණ පුරෝගාමීන් අතර ඉදිරියෙන් ම සිටි තැනැත්තා ඔහු වූ අතර ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික පර්යේෂණ මෙහෙය වීම සඳහා සෑම අතින් ම එකළ සිටී සුදුස්සා ද ඔහු විය. රත්නපුර, පැල්මඬුල්ල ආදී ප්‍රදේශවලින් ලැබුණු සත්ත්ව පොසිල පරික්‍ෂා කළ මොහුගේ විශේෂ අවධානය ප්ලයිස්ටෝසීන අවධිය වෙත (Deraniyagala, P. 1958) යොමු විය. සබරගමුවේ ශ්‍රී පාද කඳු ආදී ප්‍රදේශයන් හී තම අධ්‍යයන දියත් කළ පි.ඊ.පී. දැරණියගල බොහෝ ස්ථානවල ඇවිදිමින්, කැනීම් කරමින් තම අධ්‍යයන කටයුතු 1960 දශකය දක්වා විද්‍යාත්මක පදනමක් මත ව්‍යාප්ත කිරීමට උත්සාහ කළ බව පෙනේ. දිවයිනේ වද වී ගිය සත්ත්වයන් පිළිබඳ ව ද අවධානය යොමු කළ මොහු ඉන්දීය නර්මදා, ගෝධාවරී සත්ත්ව හා ශාක සංගති සමඟ දේශීය සත්ත්ව හා ශාක සංගති දක්වන සබඳතාව පිළිබඳ ව ද සංසන්දනාත්මක අධ්‍යයන දියත් කරමින් ඒවා අතර පවත්නා සමානතාව පෙන්වා දීමට සමත් විය. රත්නපුර ආශ්‍රිත මානව සාධක රත්නපුර සංස්කෘතිය (Ratnapura Cult) ලෙසින් පළමු ව හඳුන්වා දුන් දැරණියගල පසුව එය රත්නපුර කර්මාන්තය (Ratnapura Industry) (Deraniyagala, S. 1992:14) යනුවෙන් නම් කළේ ය. දිවයිනේ ප්‍රාග් ඓතිහාසික පර්යේෂණ යටගියාවේ එක් එක් අවස්ථාවන් හි දී චාල්ස් හාට්ලී, ඊ.ජේ. වේලන්ඩ්, බ්‍රිජඩ් ඕල්චින් ආදීන් විසින් විවිධ ශිලා මෙවලම් වර්ගීකරණ ඉදිරිපත් කිරීමට උත්සහ කිරීම (Deraniyagala, S. 1992:2-22) ද වැදගත් ය. 1960 දශකයේ අඟ භාගයේ දී පමණ තුළනාත්මක විෂය ඥානයෙන් හා සම කාලීන ජාත්‍යන්තර නව පුරාවිද්‍යාත්මක ප්‍රවණතාවන් කැටිකොට ගත් විධිමත් විදේශ පුහුණුවෙන් සන්නද්ධ වූ සිරාන් උපේන්‍ද්‍ර දැරණියගල දිවයිනට පැමිණ ප්‍රාග් ඓතිහාසික පර්යේෂණ නවතම අයුරෙකින් ආරම්භ කිරීම දේශීය ප්‍රාග් ඓතිහාසික පර්යේෂණයන් හි වැදගත් සංධිස්ථානයකි. කේ.ඒ.ආර්. කෙනෙඩි, එෆ්.ආර්.ඕල්චින්, කේ.ඩි.බී. කොඩ්රින්ටන්, ඩබ්ලිව්.ජී. සෝල්හෙයිම් ආදීන් සමඟ මෙන් ම භාරතීය හා වෙනත් ජාත්‍යන්තර පුරාවිද්‍යාඥයන් සමඟත් ඔහු සහයෝගිතාත්මක අධ්‍යයන වැඩසටහන් ඇරඹීම වැදැගත් කරුණකි. උක්ත දැක්වූ පරිදි හුදු පොළොව හෑරිමෙන් ඔබ්බට ගොස් උපන්‍යාස මුල්කොට ගත් පර්යේෂණ කැනීම් හා විශේෂයෙන් ම පාරිසරික සාධකයන් වෙත පූර්ණ අවධානයත්, ඓතිහාසික භූ විද්‍යාත්මක සාධකයන් හා සමාන්තර මානවවංශ විද්‍යාත්මක සාධකත් පදනම් කොට ගත් අධ්‍යයන දක්වා නූතන ලාංකේය ප්‍රාග් ඓතිහාසික පර්යේෂණ වර්ධනය වී පවතී. අධ්‍යයන ක්ෂේත්‍රය හුදු පරිපාලන ප්‍රදේශවලින් ඔබ්බට ගොස් විස්තෘත හා ආංශූක පාරිසරික කළාපයන් ලෙස ගෙන දේශීය ප්‍රාග් ඓතිහාසික අධ්‍යයන ක්‍රියාත්මක වන අතර ජාත්‍යන්තර විශ්වවිද්‍යාල හා වෙනත් පුරාවිද්‍යාව හා සම්බන්ධ ආයතන සමඟත් සහයෝගිතා පදනමක් මත සිටිමින් ලාංකේය ප්‍රාග් ඓතිහාසික පර්යේෂණ අද දවසේ ක්‍රියාත්මක වෙයි.

ශ්‍රී ලංකාව් ප්‍රාග් ඓතිහාසික ස්ථාන හා අධ්‍යයන ඵලාගම : දිවයිනේ භේදයකින් තොර ව සෑම තැනැකින් ම පාහේ ප්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳ ව සාධක ලැබෙන අතර වෙරළබඩ කළාපයේ බූන්දල, පතිරාජවෙළ හෝ ඉරණමඩු ජලාශය ආශ්‍රිත ප්‍රදේශයේ සිට කඳුකර උස්භූමියේ මහඑළිය (Hortain plain) දක්වා සෑම පාරිසරික කළාපයක ම පාහේ මෙම සාධක විසිරී පවතී. අධ්‍යයන අනුව, මේ දක්වා ස්ථාන 108ක් (දැරණියගල 1991න් පසුව) පමණ වාර්ථා වී පවතී. ආචාර්ය, දැරණියගල දිවයිනේ ප්‍රාග් ඓතිහාසික ස්ථාන අවම වශයෙන් 100,000ක් වත් පවත්නා බව අදහස් කරයි (Adikari 2005:126). ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික පර්යේෂණ අනුව, අදින් වසර 125,000 පමණ සිට ක්‍රි. පූ. 1,000 පමණ වන තෙක් කාලයක් පුරා පැතිර යන ප්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳ සාධක රැසෙකි. ඉරණමඩු පාංශු සංගතියේ සිදු කරන්නා වූ අධ්‍යයන අනුව දිවයිනේ ප්‍රාග් ඉතිහාසය පිළිබද කථාව අදින් වසර 125,000 හෝ 500,000 පමණ දක්වා ගමන් කිරීමට හැකි බවට අදහස් ඉදිරිපත් වී ඇත (දැරණියගල 1995:3). මේ දක්වා කෙරී ඇති අධ්‍යයන අනුව, පුරාශිලා යුගය පිළිබඳ ව අවම සාධක ලැබෙන නමුත් (මධ්‍යම පුරාශිලා යුගය පිළිබද සීමිත සාධක ඉරණමඩු පාංශු සංගතියට අයත් බූන්දල, පතිරාජවෙළ හා වැල්ලේගංගොඩ යන ස්ථානයන්ගේ කැනීම් සාධක තුළින් අණාවරණය වී පවති (Deraniyagala 1981). මධ්‍යශිලා යුගය පිළිබඳ ව පරිපූර්ණ අවබෝධයක් ලැබීමට තරම් ප්‍රමාණවත් දත්ත සම්භාරයක් දිවයින තුළ ලෙන් කැනීම් මාලාවකින් හා එක් එළිමහන් ස්ථානයකින් ලැබී පවතී (දැරණියගල 1995:4). මුළු මහත් දකුණු ආසියාවෙන් ම ව්‍යුහ විද්‍යාත්මක ව නූතන මානවයා (Modern Man) පිළිබඳ ව ලැබෙන්නා වූ පැරැණිතම සාධක බුලත්සිංහල ෆාහියන්ලෙන(අදින් වසර 32,000-2,500), කුරුවිට බටදොඹලෙන (අදින් වසර 27,000-10,000), කිතුල්ගල බෙලිලෙන (අදින් වසර 25,000-1,500) හා ඇඹිලිපිටිය අසළ බෙල්ලන්බැදිපැළැස්ස එළිමහන් කැනීම් බිම ආදී කැනීම් ස්ථානයන්ගෙන් ලැබී ඇත (දැරණියගල 1995:4). මෙතෙක් ලැබී ඇති ලොව දියුණු ම, ක්‍ෂුද්‍ර ශිලා මෙවලම් තාක්‍ෂණයක් පිළිබඳ ව සාධක ද දිවයිනෙන් ලැබීම වැදගත් ය. අවශේෂ ස්ථානයන් පිළිබද කරුණු විමසා බලන විට මෙම මෙවලම් සයරේ රාජ්‍යයේ මටුපි ගල් ලෙනේ සාධක සමඟ සම්පාත වන අතර මෙම දත්ත මේ සම්බන්ධයෙන් ලැබෙන ලොව පැරැණිතම සාධක අතරට ගැනේ (දැරණියගල 1991:13). නවශිලා යුගය පිළිබඳ ව, පිළිගත හැකි විධිමත් පුරාවිද්‍යාත්මක සාධක මේ වනතෙක් තහවුරු කිරීමට පුරාවිද්‍යඥයන් සමත් වී නො මැති අතර කෑගල්ල ආසන්නයේ දොරවකකන්ද ලෙන (ඩබ්ලිව්.එච්. විජයපාල) හා මහඑළිය (ටි.ආර්. ප්‍රේමතිලක) ආදී ස්ථානයන්ගෙන් මේ යුගය පිළිබඳ සාධක ඉදිරිපත් වන බවට කරුණු දක්වයි.

Kuruvita-Batadombalena-Siran Deraniyagala-Prehistory-Archaeology-Sri Lanka
කුරුවිට, බ‍ටදොඹ ලෙන

ශ්‍රී ලංකාව් ප්‍රාග් ඓතිහාසික පර්යේෂණ යුගකරණය : දිවයිනේ ප්‍රාග් ඓතිහාසික පර්යේෂණ යටගියාව පිළිබඳ ව එහි ගුණාත්මක පක්‍ෂයෙන් අවධානය යොමුකර බලන විටැ එහි පවත්නා විශේෂ ලක්‍ෂණ මත යම් අයුරෙක යුගකරණයකට ලක් කිරීමේ හැකියාවක් පවතී.

  1. ආරම්භයේ (ක්‍රි. ව. 1885) සිට – ක්‍රි. ව. 1940    ආරම්භක අවධිය
  2. ක්‍රි. ව. 1940 – ක්‍රි. ව. 1969                               අන්තර්මධ්‍ය අවධිය
  3. ක්‍රි. ව. 1969 – මේ දක්වා                                   නූතන අවධිය (අඹන්වල 2006:8)

ඒ අනුව, දේශිය ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාවේ සමාරම්භක අවධියක් ලෙස ආරම්භක අවධිය වැදැගත් වන අතර අන්තර් මධ්‍ය අවධියේ දී ආරම්භක අවධියේ සිදු වූ පර්යේෂණ නිශ්චිත දිශානතියක් කරා යොමු වීමට පටන් ගනී. අන්තර් මධ්‍ය අවධිය මත, එහි ඵලාගම අවස්ථාවක් ලෙසින් නූතන අවධිය දේශීය ප්‍රාග් ඓතිහාසික පදනම, නැඟීම මෙන් ම, ගතිකයන් මනා ව ඉස්මතු කිරීමට සමත් වෙයි.

සිරාන් උපේන්‍ද්‍ර දැරණියගල – ජීවන තොරතුරු : ක්‍රිස්තු වර්ෂ 1942 මාර්තු මස 1 වැනි දා  සිරාන් උපේන්‍ද්‍ර දැරණියගල උපත ලැබුවේ කීර්තිමත් පුරාවිද්‍යාඥයෙකු වූ ජාතික කෞතුකාගාරයේ හිටපු අධ්‍යක්‍ෂක පි.ඊ.පි. දැරණියගල හා ප්‍රීනි මොළමුරේ දෙමාපියන් කොට ගෙන ය. ප්‍රාථමික හා ද්විතීය අධ්‍යාපනය ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ලැබූ සිරාන් දැරණියගල ශාස්ත්‍රවේදී (1963) උපාධිය වාස්තුවිද්‍යාව, සංස්කෘත බස යන විෂයන්ගෙන් ලැබී ය. අනතුරු ව, ශාස්ත්‍රපති (1966) උපාධිය  ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් හා පුරාවිද්‍යා පශ්චාත් උපාධි ඩිප්ලෝමාව එම විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා ආයතනයෙන් ද ලැබූ අතර මෙහි දී ඔහු වසරේ දක්‍ෂතම පුරාවිද්‍යා ශිෂ්‍යාට හිමි වන ගෝර්ඩන් චයිල්ඩ් ත්‍යාගය දිනා ගැනීමට සමත් විය. 1964 සිට 1976 දක්වා එංගලන්තය, ප්‍රංශය හා ඉන්දියාව වැනි රටවල දී ප්‍රමුඛ ඝණයේ පුරාවිද්‍යාඥයන් යටතේ ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාව සම්බන්ධයෙන් දැඩි ශික්‍ෂණයක් නොහොත් ප්‍රායෝගික හා න්‍යාත්මක අවබෝධයක් ලැබීමට අවස්ථාව විය. 1968 දී දිවයිනට පැමිණි ඔහු ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැනීම් අංශයේ සහකාර කොමසාරිස් වශයෙන් පත්වීම් ලැබ 1969 අනුරාධපුරයේ ඇතුළුනුවර ගෙඩිගේ කැනීමේ සිට විවිධ වූ ප්‍රාග්, ප්‍රොටෝ හා මූල ඓතිහාසික පර්යේෂණ දියත් කළ අතර තවදුරටත් සක්‍රීය ව ඒ සදහා දායක වෙමින් සිටී. ඒ අතරතුර, 1988 දී ඇමරිකා එක්සත් ජනපදයේ හාවර්ඩ් සරසවියෙන් අචාර්ය උපාධිය ලබා ගන්නේ එදා මෙදා තුර ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාව සම්බන්ධයෙන් ආසියානු කළාපයෙන් බිහි වූ විශිෂ්ටතම ආචාර්ය උපාධි නිබන්දනයක් සේ සැලැකෙන Prehistory of Sri Lanka: an ecological perspective යන නිබන්ධය ඉදිරිපත් කරමිනි. 1983-92 අතර කාලයේ දී පුරාවිද්‍යා කැනීම් උපදේශකයෙක් වශයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කළ ඔහු 1992 සිට පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ලෙස සේවය කළ අතර ජාතික පුරාවිද්‍යා ප්‍රතිපත්තිය සකස් කිරීම, ලංකාවේ පුරාවිද්‍යා උරුමය සුරැකීම සම්බන්ධ වයාපෘති හා මහජනයා දැනුවත් කිරීම් ආදී කාර්යයන් ගණනාවක් සම්බන්ධයෙන් ප්‍රමුඛ ව ක්‍රියා කළේ ය. දේශීය හා විදේශීය ශාස්ත්‍රඥයන් හා ආයතන ගණනාවෙක සහයෝගයෙන් අඛණ්ඩ ව පර්යේෂණ වැඩසටහන් දියත් කළ ඒ මහතා 1976-77 කාලයේ දී හාවර්ඩ් සරසවියේ හා 1978න් පසු ව, කැලණි සරසවියේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, කැලණි හා පේරාදෙණි සරසවි යන ආයතනවල ආගන්තුක දේශකයෙක් වශයෙන් ද සේවය කරයි. 1999 දී සබරගමු සරසවියෙන් විද්‍යාසූරි (D.Sc) සම්මානයෙන් හා 2001 දී පේරාදෙණි සරසවියෙන් සාහිත්‍යසූරි (D.Litt) සම්මානයෙන් ද පිදුම් ලැබී ය. දකුණු ආසියාවේ හා ශ්‍රී ලංකාවේ ප්‍රාග්, ප්‍රොටෝ හා මූල ඓතිහාසික පුරාවිද්‍යාව දකුණු ආසියාවේ හා ශ්‍රී ලංකාවේ චාතූර්තික අවධියේ පරිසරය, පාරිසරික පුරාවිද්‍යාව, ශිලා මෙවලම් හා මැටි මෙවලම් පිළිබඳ අධ්‍යයන ආදිය තම අධ්‍යයන ක්‍ෂේත්‍ර ලෙස යොදා ගන්නා ඒ මහතා මව් පාර්ශවයෙන් තමාට හිමි වූ රත්නපුර, කුරුවිට, එක්නැළිගොඩ වලව්වේ තම බිරිඳ වන ඇනී සිබිල් හැනිබාල් දැරණියගල හා පුතු සමඟ වාසය කරයි.

ශ්‍රී ලංකාව් ප්‍රාග් ඓතිහාසික පර්යේෂණ සඳහා මැදිහත් වීම් : ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක අධ්‍යයන සඳහා 1969 සිට මේ දක්වා සක්‍රීය ව දායක වන සිරාන් දැරණියගල ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාව සඳහා තම පරියේෂණ දායකත්වය සැපැයූ ප්‍රධාන අවස්ථා ලෙස පහත අවස්ථා හඳුනා ගත හැකි ය.

අනුරාධපුර ඇතුල්නුවර කැනීම (1969), හෝර්ටන්තැන්න ගවේෂණය (1970), බෙල්ලන්බැදිපැළැස්ස කැනීම (කේ. ඒ. ආර්. කෙනෙඩි – ක්‍රෝනල් සරසවිය  සමඟ) (1970), නැඟෙනහිර වෙරළ තීරයේ ගවෙිෂණය (ඩබ්ලිව්. ජී. සෝල්හෙයිම් – හවායි සරසවිය සමඟ) (1970), උතුරු ප්‍රදේශ ගවේෂණය – විල්පත්තු කේන්ද්‍රක වයඹ දිග කළාප ගවේෂණය – යාල කේන්‍ද්‍රික ගිණිකොණ දිග කළාප ගවේෂණය (1971), ඇඹිලිපිටිය කැනීම – බූන්දල කැනීම (1972), හඳපාන් ඇල්ල හා තංගමලෙයි තැන්න ගවේෂණය (1978), කිතුල්ගල බෙලිලෙන ගුහාව කැනීම(1978-1983), කුරුවිට බටදොඹලෙන කැනීම (1980-1982), රාවණා ඇල්ල කැනීම (1985)

Bulathsinhala-Fa-hienlena-Siran Deraniyagala-Prehistory-Archaeology-Sri Lanka
බුලත්සිංහල පාහියං ලෙන (2012 කැනීම් අවස්ථාව)

ප්‍රකාශන, දේශන හා වෙනත් : දේශීය ප්‍රාග් ඓතිහාසික පර්යේෂණයන් හී නියැලෙන පරියේෂකයෙකු හා සිවිල් බුද්ධිමතෙකු වශයෙන් ද සිරාන් දැරණියගල, තමාගේ අධ්‍යයනයන් හී ප්‍රතිඵල රට හමුවට ඉදිරිපත් කිරීම වැදැගත් ය. ග්‍රන්ථ, විශාල ප්‍රමාණයක් වූ ලිපි හා පර්යේෂණ පත්‍රිකා, කැනීම් හා ගවේෂණ වාර්තා හා විශ්ලේෂණ වාර්තා ආදී වශයෙන් තම ප්‍රකාශන ඉදිරිපත් කරන අතර ඒවා අතුරින් ප්‍රාග් ඓතිහාසික පර්යේෂණ සම්බන්ඳයෙන් පහත ප්‍රකාශන කැපී පෙනේ.

  • 1971 – Prehistoric Ceylon: a summary in 1969. Ancient Ceylon 1:3-46.
  • 1971 – Archaeological explorations in Ceylon, pt.1:The Horton Plains. Spolia Zeylanica 32(1):13-23.
  • 1972 – (Joint author with W.G. Solheim) – Archaeological survey to investigate Southeast Asian prehistoric presence in  Ceylon. Ancient Ceylon occasional paper no. 1.
  • 1972 – The citadel of Anuradhapura, 1969: excavations in the Gedige area.  Ancient Ceylon .2:48-169.
  • 1981 – Was there a Palaeolithic (Old Stone Age in Sri Lanka? Ancient Ceylon 4:143- 56
  • 1990 – The excavations branch,1968-1990. Archaeological Department centenary (1890-1990), commemorative series 1:203-18. Sri Lanka:  Archaeological Survey  Department.
  • 1992 –  The prehistory of Sri Lanka; an ecological perspective(revised.ed). Archaeological Survey Department of Sri Lanka: memoir 8. 813.
  • 1996  – Pre-and protohistoric settlement in Sri Lanka.In Proceedings of the 13th International Congress of  Prehistoric and Protohistoric Sciences, Forli, Italy vol. 5: 277-85. Forli: A.B.A.C.O.

එමෙන් ම, විවිධ සමුළු, සම්මන්ත්‍රණ හා සරසවි ආගන්තුක කථිකාචාර්යවරයෙකු මෙන් ම විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ද තම දැනුම ඉඳිරිපත් කරන ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය සම්බන්ධ ව දුරුතර අධ්‍යයන මෙහෙයවීමෙන් පමණක් සෑහීමට පත් නොවී මෙලෙස තමාගේ පරියේෂණ ප්‍රථිඵල පොදු ජනයා අතරට ගෙන යාමට උත්සහ දැරීම ද පැසසිය යුතු කරුණකි.

ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික පර්යේෂණ හා සිරාන් දැරණියගල – ප්‍රවේශය : උක්ත දැක් වූ පරිදි සියවසකටත් වඩා ඈතකට දිවයන ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික පර්යේෂණ ඉතිහාසයේ 1969 න් පසුව එළැබෙන නූතන අවදියේ දී කේන්ද්‍රීය වැදැගත් කමක් හිමි කරගන්නා, එහි පදනමීය පුද්ගලයා වශයෙන් ආචාර්ය, සිරාන් උපේන්‍ද්‍ර දැරණියගල වැදැගත් වෙයි. අවිච්ජින්න ශාස්ත්‍රීය පරපුරක පුරුකක් වශයෙන් පමණක් නොව විශිෂ්ට න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුවකින් ඔපවත් වූ විශාරද දැණුමෙන් ද තිර දෘෂ්ටියකින් ද යුක්ත ව දශක ගණනාවක් තිස්සේ දේශීය පුරාවිද්‍යාවට වෙසෙසින් ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාව සඳහා තිර පදනමක් සකස් කළ පුද්ගලයා වශයෙන් ද ඔහු කැපී පෙනේ. ඒ අනුව, තත් ක්‍ෂේත්‍රයට ඔහුගෙන් සිදු වූ සේවාව පහත ශීර්ෂයන් ඔස්සේ දළ වශයෙන් සලකා බැලිය හැකි ය.

ප්‍රාග් ඓතිහාසික පර්යේෂණ නව මානයක් කරා මෙහෙයවීම : 1968 වසරේ පුරාවිද්‍යා සමීක්‍ෂණ අංශයේ කැනීම් අංශය පිහිටුවා එහි ප්‍රථම සහකාර කොමසාරිස්වරයා වශයෙන් සිරාන් දැරණියගල පත් කිරීමෙන් පසුව එතෙක් ප්‍රාග් ඓතිහාසික පර්යේෂණ සඳහා නොතිඹූ අයුරේ නිශ්චිත අධ්‍යයන රාමුවක්-ආයතනයක් සැකැසෙන්නට විය. ජාත්‍යන්තර වශයෙන් වර්ධනය වී තිබූ න්‍යායාත්මක දැනුම හා ප්‍රායෝගික ක්‍ෂේත්‍ර ක්‍රියාකාරකම් පමණක් නොව එතෙක් නො තිබූ අයුරින් උපන්‍යාස මුල් කොට ගත් අධ්‍යයන රාමුවක් දිවයිනේ ප්‍රාග් ඓතිහාසික අධ්‍යයන සඳහා ලබා දීමට සිරාන් දැරණියගල සමත් විය. මානව සම්පත වර්ධනය කිරීම ද මෙහි අනිවාර්ය අංගයක් විය. 1968 දී එවකට විද්‍යාමාන වූ ප්‍රාග් ඓතිහාසික දත්ත අ)  න්‍යායවාදී මුලාංග, ආ) කාලානුක්‍රම විද්‍යාව, ඇ) තාක්‍ෂණය, ඈ) ආජීවය, ඉ)  ජනාවාස, ඊ)  කලා හා සැරසිලි, උ)  වත්පිළිවෙත්, ඌ) සමාජ සංවිධානය, එ)  භෞතික මානව විද්‍යාව, ඒ)  පුරා පරිසරය (දැරණියගල 1990:222) යන මාතෘකා යටතේ විමර්ශනයට හසු කෙරින. මෙම අධ්‍යයනයන්ගේ් දී එතෙක් පූර්ව ගවේශකයන් හඳුනා ගෙන සිටි; ඉරණමඩු පාංශු සංගතිය අනාකූල වූ ගුහා නිධි යන වර්ගද්වය ඔස්සේ මූලික ගවේශණ හා කැනීම් සඳහා මූලාදර්ශ සපයා ගත් අතර ලක්දිව මෙතෙක් නුවූ පරිදි ස්ථරානුකූල ව හා සංසිද්ධි ගත අංකනය අනුව කැනීම් විධිමත් අයුරින්: එයින් ලබා ගත හැකි සෑම සාධකයක් ම ලබාගත හැකි පරිදි සංවිධානය කෙරිණ. ඒ අනුව, පළමු ව ස්ථානත්‍රයක් මූලික කරගනිමින් අධ්‍යයන දියක් කළ අතර; අ) බූන්දල-වැල්ලේගංගොඩ මීටර් 8ක් වූ රක්ත ලැටසෝල් බවට ජීර්ණය වූ පෞරාණික වෙරළබඩ වැලි කඳුවලින් වැසුණු කළාපීය ස්ථතික බොරළු ටෙරසය ආ) පතිරාජවෙල-වේලාන්ත වැලිකඳුවල රක්ත ලැටසෝල් මඟින් යට වූ මීටර් 15 බොරළු ටෙරසය, ඇ) බූන්දල-ලේවාගංගොඩ මීටර් 25 දී පමණ රක්ත ලටොසෝල් මඟින් වැසුණු බොරළු (සහිත බිම)(එම:223)යන ස්ථාන මූලික අධ්‍යයන ඉලක්ක විය. ස්ථර ගත කැනීම් ක්‍රමය දැරණියගල විසින් ප්‍රථම වතාවට 1969 දී අනුරාධපුර ඇතුළුනුවර දී යොදා ගත් අතර 1970දී බෙල්ලන්බැදිපැළැස්ස මෙසෝලිතින ජනාවාසය සම්බන්දයෙන් ද එම ක්‍රමවේදය අනුගමනය කෙරිණ (එම). මෙතෙක් රට තුළ නො තිබූ අයුරින් දේශීය ප්‍රාග් ඓතිහාසික පර්යේෂණ පරිසරාත්මක පර්යාවලොකනයක් තුළින් මෙන් ම භූ විද්‍යාත්මක සංසිද්ධින් දේශිය ප්‍රාග් ඉතිහාසයට බල පා ඇති ආකාරය පිළිබඳ ව ද වැදැගත් අවධානයක් යොමු කෙරිණ. චාතූර්ථික අවධියේ දී සිදු වූ භූ ක්‍රාරක ක්‍රියාකාරකම් පිළිබඳ ව එහි දී වැඩි අවධානයක් යොමු කෙරිණ. බහු විෂයාත්මක මෙන් ම අන්තර් විෂයාත්මක දෘෂ්ටියකින් යුක්ත ව දේශිය ප්‍රාග් ඓතිහාසික පර්යේෂණ ක්‍රමවත් මාවතක් ඔස්සේ මෙහෙය වීම ද දැරණියගල අතින් සිදු වූ කාර්යයකි.

සංවිධානාත්මක අධ්‍යයන වැඩසටහන : ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික පර්යේෂණ අඛණ්ඩ ව සිදු කරන අතර ම එම පර්යේෂණයන්ගේ විනිවිද බව මෙන් ම විදේශයන් හී වර්ධනය වෙමින් තිබූ දැනුම හා තාක්‍ෂණය ලබාගැනීම ද අරමුණු කොට ගනිමින් විවිධ විදේශීය විද්‍යාර්ථීන් සමඟ ඒකාබද්ධ අධ්‍යයන වැඩසටහන් දියත් කිරීම දේශීය ප්‍රාග් ඓතිහාසික පර්යේෂණ ජාත්‍යන්තර වශයෙන් අවධානයට පාත්‍ර කර ගැනීමට ඉවහල් විය. ඒ අනුව, ජාත්‍යන්තර කීර්තියක් දිනා සිටින කේ.ඒ.ආර්. කෙනෙඩි (ක්‍රෝනල් සරසවිය) ආදීන් ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික පර්යේෂණ සඳහා සම්බන්ඳ කර ගැනීම වැදැගත් වෙයි. ආසන්න රටවල් වශයෙන් ඉන්දියාව, ජාවා සුමාත්‍රා, ඕස්ටේ‍රිලියාව ආදී රටවල් හා යාවන අධ්‍යයන දියත් කිරීම ද කැපී පෙනෙන්නකි. ඒ අනුව, ඉන්දියාවේ තේරී පුරාවිද්‍යා සාධක (Terri Sites) හා ලංකාවේ රතු පස් සැකැස්ම ; ඉරණමඩු සංගතිය (Iranamadu Formation-IFm)  පිළිබඳ ව සංසන්දනාත්මක අධ්‍යයනයන් මෙන් ම දිවයිනේ මෙසෝලිතික මානවයා පිළිබඳ ව අධ්‍යයනයන් හි දී වැදැගත් වන විදේශීය කදාර්, මලපන්දම්, වෙන්චු, සේමෑන් ආදී ජන කොටස් සමඟ මානවවංශ විද්‍යා සංසන්දනාත්මක අධ්‍යයන (Deraniyagala 1992) දියත් කිරීම ද මෙතෙක් නුවූ විරූ අයුරින් සංවිධානාත්මක ව සිදු කෙරිණ. සමස්; දිවයින ම ආවරණය වන අයුරින් පර්යේෂණ වැඩසටහන් දියත් කිරීම ද සිරාන් දැරණියගල අතින් සිදු වු පූර්ව ගවේෂකයන් අතින් සිදු නුවූ සේවාවකි. මෙම සියලු වැඩසටහන් උදෙසා විධිමත් කැනීම් හා ගවේෂණ කණ්ඩායමක් දැරණියගල විසින් සකසා ගත් අතර ඔහු යටතේ සහකාර නිළධාරින් ද සම්පත් පුද්ගලයන් බවට පත් කිරීම ද වැදැගත් කරුණකි. මේ යටතේ ශිලා මෙවලම් වර්ගීකරණය, පාංශු ස්ථර වින්‍යාස අධ්‍යයන හා කාලනීර්ණ උදෙසා සාම්පල ලබා ගැනීම ආදිය සදහා පුද්ගලයන් පුහුණු කළ බව පෙනේ. මේ අතුරින්, එල්. වී. ඒ්. ද මැල් වැනි බෙහෙවින් පෙළඹී ගිය අතිදක්‍ෂ කැනීම්කරුවන් (දැරණියගල. එස්. 1990:235) කැපී පෙනේ.

අධ්‍යයන ඵලාගම : සිරාන් දැරණියගල විසින් 1969 යේ පමණ සිට සිදුකරන්නා වූ ප්‍රාග් ඓතිහාසික පර්යෙෂණයන්ගේ ඵලාගම සැකෙවින් කැටි කිරීම පවා උගහට වන අතර මෙහි දී එහි සංලක්‍ෂයන් කීපයක් ගෙන හැර පෑමට පමණක් ඉඩකඩ ලැබේ. පළමුවෙන් ම, සිරාන් උපේන්‍ද්‍ර දැරණියගල මෙතෙක් දිවයිනේ ප්‍රාග් ඓතිහාසික සමය පිළිබඳ ව තිබූ ගැටලුකාරි තත්ත්වයත් ගණනාවක් සඳහා විසදුම් ඉදිරිපත් කිරීමට සමත් වීම වැදගත් ය. මෙතෙක් ගැටලුවක් ව තිබූ දිවයිනේ එක් එක් ප්‍රාග් ඓතිහාසික යුගයන් පිළිබඳ ව පැහැදිළි චිත්‍රයක් ඉදිරිපත් කිරීමට සමත් විය. ශ්‍රී ලංකාවේ පුරාශිලා සමය පිළිබඳ ව එතෙක් තිබූ ගැටමුසු තැන් බොහෝ දුරට නිරාකරණය කරමින් (Deraniyagala 1981) කරුණු ඉදිරිපත් කිරීම එහි දී කැපී පෙනේ. රත්නපුර ආශ්‍රිත දියළු තැම්පතු, ඉරණමඩු පස් සැකැස්ම, මිනිහාගල්කන්ද, මාන්කුළම් ආදී ස්ථානයන්ගේ පර්යේ්ෂණ මඟින් දිවයිනේ පුරාශිලා සමයක් නිශ්චිත ව පැවැති බවත් එය අදින් වසර 125,000/250,000 පමණ දක්වා දිව යා හැකි බවත් ප්‍රකාශ කරන ලදී (ibid.). දිවයිනේ මධ්‍යශිලා යුගය පිළිබඳ ව ලෝකය තුළ පැවැති චිත්‍රයේ කඩතොළු තැන් මකා දමමින් ඒ සබඳ ව පරිපූර්ණ චිත්‍රයක් ඉඳිරිපත් කිරීමට ඔහු සමත් වූයේ කිතුල්ගල බෙලිලෙන, කුරුවිට බටදොඹලෙන, බුලත්සිංහල ෆා-හියන් ලෙන, අත්තනගොඩ අළුලෙන, මහඑළිය (හෝර්ටන් තැන්න), බෙල්ලන්බැඳිපැළැස්ස හා රාවණාඇල්ල ආදි ගුහා හා එළිමහන් ස්ථානයන් ආශ්‍රිත ව සිදු කරන ලද පර්යේෂණයන්ගෙන් හෙළි වූ දත්ත ආශ්‍රයෙනි. එමඟින්, මධ්‍යශිලා මානවයාගේ භෞතික මානව විද්‍යාව, ආහාර හා ජනාවාස රටා, තාක්‍ෂණය, ආගමික හා අභිචාරීමය කරුණු හා පරිසරය ආදී සමකාලීන මානවයා හා බැදි සියලු ම කාරණා පිළිබඳ ව විධිමත් අයුරින් කරුණු ගොනු කිරීමට සමත් විය. නවශිලා යුගය සම්බන්ධ ව නිශ්ච්ත අදහසක් ඉදිරිපත් කිරීමට මේ වනතෙක් පුරාවිද්‍යාඥයන් අසමත් වී ඇත්තේ ඒ පිළිබඳ නිශ්චිත සාධක නො ලැබෙන බැවිනි. (මේ සම්බන්ධ ව, දොරවක හා මහඑළිය/හෝර්ටන් තැන්න යන ස්ථානයන්ගෙන් යම් පමණක සාධක ඉඳිරිපත් වී ඇත.) දැරණියගලයන් දිවයිනේ යටගියාව ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට ප්‍රොටෝ ඓතිහාසික යුගය හරහා ඓතිහාසික යුගය දක්වා විකාශය වීම ඉතා තාර්කික අයුරින් පෙන්වා දීමට සමත් වීම ද වෙනත් දේශිය පුරාවිද්‍යාඥයන් මෙතෙක් ඉටු නොවූ වැදැගත් ශාස්ත්‍රීය කාර්යයකි. නූතන මානවයා සම්බන්ධයෙන් මුළුමහත් දකුණු ආසියාවෙන් ම ලැබෙන පැරණි ම සාධක දිවයිනෙන් ලැබෙන බව ශාස්ත්‍රීය අයුරින් පෙන්වා දී ලංකාව කෙරෙහි ජාත්‍යන්තර අවධානය යොමු කරගැනීම ද ඔහුගේ ශාස්ත්‍රීය දිවියේ වැදගත් අවස්ථාවකි. ලෝකයේ මුල්වරට දියුණු ම ජ්‍යාමිතික ක්‍ෂද්‍ර ශිලා මෙවලම් තාක්‍ෂණයක් (වසර 28,000ක්  පමණ පැරණි) දිවයිනේ පැවැති බවට ස්ථිර සාධක ඉඳිරිපත් කිරීමට ද ඔහු සමත් විය. මෙම සියලු ම සාධක සමඟ මෙතෙක් ශ්‍රී ලංකාවේ වෙනත් කිසිදු පර්යේෂකයෙක් නො කළ අයුරින් ප්‍රාග් ඓතිහාසික සමය පිළිබඳ ව විධිමත් කාළ ක්‍රමාවලියක් ඉඳිරිපත් කිරීම ද (Deraniyagala 1992:685-706) කැපී පෙනෙන්නකි.

විවිධ වර්ගීකරණ දීර්ඝ කාලයක් පුරා දේශීය ප්‍රාග් ඉතිහාසය පිළිබඳ ව පර්යේ්ෂණයන් හි නියැලුනෙකු වශයෙන් විවිධ කරුණු අරඹයා ඔහු විසින් වර්ගීකරණයන් ඉදිරිපත් කිරීම ද වැදැගත් ය. ඒ අතුරින් ඔහු විසින් දක්වන ලද ශ්‍රී ලංකාවේ යටගියාවේ යුගකරණය වැදගත් ප්‍රවේශයක් පර්යේෂකයාට ලබා දෙයි. දිවයිනේ යටගියාව හැදෑරීමේ දී පර්යේෂකයනට මුහුණ දීමට සිදු වූ දුෂ්කරතා  රැසක් ඉවත් කිරීමට එම වර්ගීකරණ සමත් විය. ඒ යටතේ ම ප්‍රාග් ඓතිහාසික කාලපරිච්ඡේදය අරඹයා ද විධිමත් අයුරින් කාල රාමුවක් තමන් රට පුරාම දියත් කළ පර්යේෂණ මත පදනම් ව ඉදිරිපත් කිරීම වැදගත් ය. ඔහු විසින් ඉදිරිපත් කළ ඉතා වැදැගත් වර්ගීකරණයක් වශයෙන් ප්‍රාග් ඓතිහාසික ශිලා මෙවලම් වර්ගීකරණය හඳුනා ගත හැකි ය. මීට ප්‍රථම චාල්ස් හාට්ලි, ඊ. ජේ. වේලන්ඩ්, බ්‍රිජට් ඕල්චින් ආදීන් විසින් ඉදිරිපත් කළ වර්ගීකරණයන්ගේ අඩුපාඩු අවම කර තම වර්ගීකරණය ඉදිරිපත් කිරීම ඒ අරඹයා ඔහුගේ වෛශාරදත්වය පලට කරන්නකි. මෙතෙක්  විවිධ පර්යේෂකයන් විසින් දිවයිනේ විවිධ ස්ථානයන්ගෙන්, විවිධ කාලවල සොයා ගත් ශිලා මෙවලම් 200,000කට වැඩි ප්‍රමිණයක් පරිශීලනය කරමින් (Ibid 1992:186) මූලික මෙවලම් වර්ග පංති (class) XIX කටත් ඒවා තුළ ශිලා මෙවලම් මාඳිළි (type) 115කටත් බෙදා (Ibid 185-200) දක්වයි. මෙහි දී මෙවලම් වර්ග කිරීම සඳහා මූලික පදනම් 8ක් සිරාන් දැරණියගල භාවිත කරන අතර ශිලා මෙවලම් එම පදනම් ඔස්සේ නැවත අනු බෙදීම් වලට ද ලක් කරයි. ඔහු විසින් ශිලා මෙවලම් වර්ග කිරීම සඳහා මූලික පදනම් වශයෙන් 1. Provenance, 2. Trimming, 3. Plan-Form (blank contour), 4. Apparent Functions, 5. Use Marks, 6. Raw Material, 7. Cross-Section හා 8. Size (Ibid 188-196)  යන පදනම් හඳුනා ගන්නා ලදී. ප්‍රාග් ඓතිහාසින පර්යේෂණ සඳහා එතරම් දුරට උපකාර නො වූව ද නවශිලා හා ප්‍රොටෝ ඓතිහාසික ආදී යුග පිළිබඳ ව සිදු කරන අධ්‍යයනයන් හී දී වැදැගත් විය හැකි මැටි බඳුන් වර්ගීකරණයක් ඉදිරිපත් කිරීම (Deraniyagala 1972)  ද කැපී පෙනෙන කාර්යයකි. පූර්ව ප්‍රාග් ඓතිහාසික පර්යේෂකයන් විසින් සිදු කළ දිවයිනේ ප්‍රාග් ඓතිහාසික යුගයන් පිළිබඳ වර්ගීකරණ උදා: රත්නපුර සංස්කෘතිය, උඩුපියන් ගල්ගේ සංස්කෘතිය බලංගොඩ මානව සංස්කෘතිය ආදිය මනා විපරමකින් යුක්ත ව ප්‍රාග් ඓතිහාසික පර්යේෂණ සඳහා අදාළ කරගැනීම ද කැපී පෙනෙන්නකි.

අනාගතය සඳහා පදනම් දේශීය ප්‍රාග් ඓතිහාසික පර්යේෂණ සඳහා විධිමත් වූ න්‍යායාත්මක හා ප්‍රායෝගික රාමුවක් සකස් කිරීම ඔහු විසින් ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාව සඳහා සිදු කළ වැදැගත් ම අනාගත ආයෝජනයයි. ප්‍රාග් ඓතිහාසික යුගයේ විවිධ තත්ත්වයන් කෙරෙහි පර්යේෂණ, ගැටලු මූලික දෘෂ්ඨියකින් බලා සංගත අදහස් ඉදිරිපත් කිරීම ද වැදැගත් අනාගත ආයෝජන පදනමක් වන අතර ම විශේෂයෙන් ම, ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් සකස් කළ පර්යේෂණ පදනම වැදැගත් ය. අනාගත පර්යේෂණ ඉලක්ක ගෙන හැර පෑම ද දැරණියගලගේ කැපී පෙනෙන ප්‍රවේශයකි. ඉරණමඩු පස් සැකැස් ම පිළිබඳ ව තව දුරටත් විහි දී යන්නා වූ විධිමත් පර්යේෂණ දියත් කිරීම, දිවයිනේ පුරාශිලා යුගය පිළිබඳ ව අවධානය යොමු කිරීම, හා නව ශිලා යුගය සම්බන්ධ ගැටළු නිරාකරණය කිරීමට උත්සාහ දැරීම මෙන් ම ක්‍රි. පූ. 1,800 හා මූල ඓතිහාසික යකඩ යුගය ක්‍රි. පූ. 950 අතර පුරාවිද්‍යාත්මක වශයෙන් පවත්නා හිඩැස පූරණය කිරීම සඳහා පර්යේෂණ වැඩසටහන් යෝජනා කිරීම (දැරණියගල, එස්. 1995:6) වැදගත් අනාගත පර්යේෂණ වැඩසටහන් වශයෙන් කැපී පෙනේ. විවිධ ප්‍රකාශන, පත්‍රිකා හා දේශන මඟින් දේශීය හා ජාත්‍යන්තර ප්‍රාග් ඉතිහාසය පිළිබඳ විෂය ඥානය හා න්‍යායාත්මක පසුබිම දේශීය වශයෙන් ව්‍යාප්ත කිරීමට කටයුතු කිරීම මඟින් අංකුර ප්‍රාග් ඓතිහාසික පර්යේෂකයන් බිහිවීමට මඟ පෙන්වා තිබීම ද වැදැගත් ය. දිවයිනේ ප්‍රාග් ඓතිහාසික පර්යේෂණ සම්බන්ධ ව යොදා ගත හැකි සීමිත වූ ඉතා වටිනා ගල්ලෙන් ආශ්‍රිත පස් තැම්පතු කෙරෙහි නිළ හා නිළ නොවන මට්ටමින් දැඩි ප්‍රතිපත්තියක් අනුගමණය කිරීම හේතුවෙන් අනාගත පර්යේෂණ වැඩසටහන් සඳහා ඇවැසි පර්යේෂණ දත්ත ආකර සංරක්‍ෂයට පියවර ගැනීමත් අනාගතය සඳහා යොදා ඇති ශක්තිමත් පදනමකි.

නිගමනය : සියවසකට වඩා පැරැණි ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික පර්යේෂණ ගමන් මඟේ නූතන යුගයේ නියමුවා හෙවත් තීරණාත්මක සම්පත් දායකයා ලෙස හඳුනා ගත හැකි සිරාන් උපේන්‍ද්‍ර දැරණියගල හතලිස් වසරකට ආසන්න වූ දීර්ග කාල පරාසයක් තිස්සේ අධ්‍යයන පර්යේෂණයන් හී නියැලී ඇති අතර තව දුරටත් ප්‍රායෝගික හා උපදේශාත්මක මට්ටමින් නියැලෙමින් සිටී. දේශීය ප්‍රාග් ඉතිහාසය පමණක් නොව ප්‍රොටෝ හා මූල ඓතිහාසික කාලයන්ට ද අදාළ ව පර්යේෂණ රැසක් දියත් කොට ඇති අතර ම තව දුරටත් එවැනි පර්යේෂණයන් හී නියැලෙමින් සිටී. දේශීය පුරාවිද්‍යාව ජාත්‍යන්තර තලයට ගෙන යාමටත් අගනා වටිනා දායකත්වයක් සැපැයූ ඔහුගේ දායකත්වය කෙසේවත් දේශීය හෝ විශ්ව මානවයා පිළිබඳ කතාවේ දී අමතක නො කළ හැක්කකි. ඇමරිකන් ඇන්ත්‍රොපොලොජීස්ට් සඟරාව කියන්නාක් මෙන් ම දේශීය ප්‍රාග් ඉතිහාසය හැදෑරීමේ ගුරු අත්පොත වශයෙන් බොහෝ කාලයක් ඔහු සමිපාදනය කළ Prehistory of Sri Lanka: an ecological perspective ග්‍රන්ථය පවතිනවාක් මෙන් ම දේශීය ප්‍රාග් ඓතිහාසික අධ්‍යයන කෙතෙක් කල් පවතී ද ඒ තාක් කල් සිරාන් උපේන්‍ද්‍ර දැරණියගලයන් හා ඔහුගේ මත පිළිබඳ අවධානය යොමු කිරීම නිශ්චිත වශයෙන් ම අනිවාර්ය වූවකි.

ආශ්‍රේය ග්‍රන්ථ හා ලිපි නාමාවලිය

  • අඹන්වල, සී. බී. (2006), ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම ආශ්‍රිත ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාව (මහනුවර  තදාශ්‍රිත ප්‍රදේශ කීපයක් කෙරෙහි විශේෂ අවධානයකින්), පේරාදෙණි විශ්වවිද්‍යාලීය ශාස්ත්‍රවේදී (විශේෂ) උපාධිය සඳහා ඉඳිරිපත් කරනු ලැබූ ස්වාධීන නිබන්ධනය. (අප්‍රකාශිතය)
  • දැරණියගල, එස්. යු. (1984), ප්‍රාග් ඓතිහාසික පසුතලය, මහවැලි වංශය (1 කාණ්ඩය) සංස්. ඒකනායක, ඩි. එම්. ජි කොළඹ. මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ ඉංජිනේරුමය කාර්යයන් පිළිබද මධ්‍යම උපදේශක කාර්යාංශය. 61-63
  • දැරණියගල, එස්. යු. (1990), පුරාවිද්‍යා කැණීම්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉතිහාසය, පළමු වන වෙළුම පරි. එඩ්මන්ඩ්,කේ. බි. ඒ. ප්‍රධාන සංස්. විජේසේකර, එන්. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ,කොළඹ (221-237).
  • දැරණියගල, එස්. යු. (1991), ශ්‍රී ලංකාවේ ප්‍රාග්-ඉතිහාසය, පරිවර්තනය. එස්.ජයවර්ධන හා එන්. පෙරේරා. පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, කොළඹ.
  • දැරණියගල, එස්. යු. (1995), ප්‍රාග්-ඓතිහාසික ජනාවාස, අපේ සංස්කෘතික උරුමය (ප්‍රථම කාණ්ඩය), සංස්. ගුරුගේ, ඒ. කොළඹ. මධ්‍යම සංස්කෘතික අරමුදල. 3-8
  • දැරණියගල, එස්. යු. (1998), සබරගමුවෙන් මතු වූ ප්‍රාග් ඓතිහාසික බලංගොඩ මානවයාගේ සංස්කෘතිය, සබරගමු උදාන නිදහස් ස්වර්‍ණ ජයන්ති ප්‍රදර්ශනය – සමරු සංග්‍රහය, සංස්. ඒ. අතුරුගිරිය. 3-7
  • දැරණියගල, එස්. යු. (2000), ශ්‍රී ලංකාවේ ප්‍රාග් හා පූර්ව ඓතිහාසික ජනාවාස, චිරන්තන ඓතිහාසික අධ්‍යයන සඟරාව, අංක 4 පරිවර්තනය. එන්. පෙරේරා, සංස්. ඩි. මනතුංග,  අයි. බුලංකුලම හා තවත් අය රද්දොළුගම. ඊ.එම්.අයි. පි. ඒකනායක. 76-95
  • දැරණියගල, එස්.යු. (2003), ප්‍රාග් ඓතිහාසික සබරගමුව, සබරගමුව වංශකථාව (1 වෙළුම)  සංස්. පි. ඇදගම, සබරගමුව පළාත් සභාව.
  • ලගමුව, ඒ. (2000), ප්‍රායෝගික ක්‍ෂේත්‍ර පුරාවිද්‍යාව,  සරසවි ප්‍රකාශකයෝ, නුගේගොඩ.
  • ලියනගේ. ජි.එල්.එස්.ඩි. (2000), ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය අධ්‍යයනය කිරීමේදි මතුවන ගැටළු හා ප්‍රාග් ඓතිහාසික පර්යේෂණයන් හී අනාගතය, වැලිපිළ පුරාවිද්‍යා සඟරාව, සිව්වෙනි කලාපය, සංස්. ඒ.රාජපක්‍ෂ හා පි.පි.එස්. කුමාරි, ඒකාබද්ධ පුරාවිද්‍යා උපාධිධාරී සංගමය. 5-7
  • විජේපාල, ඩබ්ලිව්.එච්. (2003), සබරගමු ප්‍රාග් ඓතිහාසික පර්යේෂණ හා පි. ඊ. පි දැරණියගල මහතාගේ දායකත්වය, සබරගමුව වංශකථාව (1 වෙළුම) සංස්. ඇදගම, පි. සබරගමුව පළාත් සභාව. 227-234
  • විජේතුංග, එස්. (1995), අපේ ප්‍රාග් ඓතිහාසික යුගය ගැන ලෝකයටම කියා දෙන පුරාවිද්‍යාඥයා, විදුසර, අට වස් සපිරුම විශේෂ කලාපය

1995 නොවැම්බර් 1

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.