සමන් ඉන්දික ජයසිංහ

සිව්වැනි වසර, පුරාවිද්‍යා අධ්‍යන අංශය, කැලණිය විශ්වවිද්‍යාලය, කැලණිය.

ශ්‍රී ලංකාවේ සිතුවම් සහිත ලෙන් විහාර අතුරින් ඉතාමත් ප‍්‍රසිද්ධ දඹුලු ලෙන් විහාරය මධ්‍යම පළාතේ මාතලේ දිස්ති‍්‍රක්කයේ මාතලේ-දඹුල්ල මහාමාර්ගයේ දඹුල්ල නගරයට සමීප ව පිහිටා තිබේ. මීටර් 90ක් පමණ ඉහළට නැගී පිහිටි විශාල පාෂාණ ව්‍යුහයකින් මෙම පර්වතය සෑදී ඇත. ලෙන්වල කටාර යටින් කොටා ඇති බ‍්‍රාහ්මී ශිලාලේඛන වලින් පෙනීයන පරිදි දඹුල්ල ලෙන් විහාරයේ ඉතිහාසය ක‍්‍රිස්තු වර්ෂයට පූර්වකාලීන බව තහවුරු වේ. රාජාවලිය සහ රාජරත්නාකරය වැනි ග‍්‍රන්ථ ලෙන් විහාරාවල ආරම්භය වට්ටගාමිණී අභය රාජතුමා ගේ කාලයේ සිදුවුණා යැයි සඳහන් කෙරේ. ශ්‍රී ලංකාවේ ගිරි විහාර අතුරින් ප‍්‍රධාන ස්ථානය ගන්නා සිතුවම් ඇතුළත් මහා ලෙන් පහ මේවාට ඇතුළත් වේ. පර්වතයේ බටහිර පැත්තේ පාමුල හා වර්තමාන ලැගුම්ගෙට උතුරින් කරන ලද කැනීම් වලින් මතුකරගන්නා ලද චෛත්‍ය හා පොහොයගෙය පස්වැනි සියවසේ සිට හයවැනි සියවසත් නමවැනි සියවසේ සිට දහවැනි සියවසත් යන අවධි දෙකට අයත් විහාර කර්මාන්ත වේ. පොළොන්නරුවේ මහා විජයබාහු රජතුමා මෙම විහාරස්ථානයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදුකළ බවට චූලවංසයේ සඳහන් වන අතර නිස්සංකමල්ල රජතුමා මෙහි පිළිම 73ක රන් ආලේප කර ස්වර්ණගිරි ගුහා ලෙස නම් කර බවත් එහි ම සඳහන් වේ. මේ ආකාරයට වට්ටගාමිණී අභය රජතුමන් විසින් ලෙන්විහාරය ආරම්භ කිරීමත් මහා විජයබාහු, නිස්සංකමල්ල, පස්වන බුවනෙකබාහු, පළමුවන රාජසිංහ, පළමුවැනි විමලධර්මසූරිය, දෙවැනි විමලධර්මසූරිය, නරේන්ද්‍රසිංහ යන රජවරුවරුන් විසින් පසු අවධිවල කරන ලද ප‍්‍රතිසංස්කරණ හා වැඩිදියුණු කිරීම් ඓතිහාසික මූලාශ‍්‍රවලින් පැහැදිලි වේ. මෙම විහාරස්ථානයේ සිතුවම් වර්ෂ පිළිවෙල අනුව එක් එක් අවධියට පැහැදිලි ශෛලීය ලක්ෂණ ඇතුළත්වන ආකාරයෙන් අවධි තුනකට වර්ග කෙරේ. විශිෂ්ට නිමාවකින් යුත් අතිශය චමත්කාර සිතුවම් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගෙන් ආරම්භ වේ. දෙවැනි හා තුන්වැනි ලෙන්වල සිතුවම් මෙහි පැරණි සිතුවම් වේ.

Dambulla Cave Temple-Sri Lanka-Chandima Ambanwala (3)
දඹුළු විහාරයේ ඉදිරිපස දර්ශනයක්

මෙහි සිතුවම් අතර දහසක් බුදුවරු , මාර පරාජය, බුද්ධත්වයෙන් පසු පස් වැනි සතිය, හයවැනි සතිය, මාරදිව්‍ය පුත‍්‍රයාට ආයුසංස්කාරය දීම, බුද්ධ පරිනිර්වාණය, චිතකය, පළමුවන ධර්ම සංගායනාව, බුද්ධත්වය හා විවරණ දීම, සොළොස්මස්ථාන, විජයාගමනය, ශ්‍රී මහා බෝධීන්වහන්සේ වැඩමවීම, දුටුගැමුණු එළාර යුද්ධය, විෂ්වකර්ම, ස්කන්ධ, විභීෂණ, ඝණ ආදී දේවරූප ද ඇත්පවුරු දිය ගඟුල, අල්ලි මොස්තරය, මෙහි සිතුවමට නඟා ඇත. මෙවන් වූ ඓතිහාසික පසුබිමක් සහිත දඹුල්ල ලෙන්විහාරයේ සිතුවම් නැරඹීමට දේශීය මෙන් ම විදේශීය සංචාරකයන් බොහෝ පිරිසක් පැමිණෙති.

දඹුල්ල ලෙන් විහාරය යනු ශ්‍රී ලාංකික සංස්කෘතික අභිමානය ලොවට ම පෙන්වන එක් ස්ථානයකි. එහෙත් වර්තමානය වන විට මෙහි සංස්කෘතික දායාදයන් කෙමින් මැකී යමින් පවතී. මෙහි සිතුවම් දීර්ඝ කාලයක පටන් හායනය වෙමින් වර්තමානය වන විට ඇතැම් සිතුවම් විනාශ වී ගොස් හමාර ය. මෙයට බොහෝ හායනකාරක බලපා ඇත. කණගාටුදායක ම සිද්ධිය වන්නේ යම් පුද්ගලයින් පැමිණ මෙහි සිතුවම් මත හිතාමතා ම තමන්ගේ නම්ගම් ලියා ඒවා විනාශ කිරීමයි. සංස්කෘතිය නොහඳුනන පුද්ගලයින් විසින් සිදුකරන මෙවැනි පහත් වැඩ නැවැත්වීම සඳහා වහා පියවර ගත යුතු ව ඇත. ශ්‍රී ලංකාවේ සීගිරිය ඇතුළු බොහෝ සිතුවම් සහිත ස්ථානයන්හි ඡායාරූප ගැනීමේදී කැමරා ආලෝකය විසන්ධිකර ඡායාරූප ගැනීමට නීතිරීති පනවා තිබේ. එ සේ සිදුකරනු ලබන්නේ සිතුවම්වලට කෘතිම ආලෝකයෙන් සිදුවන හානිය අවම කිරීම සඳහා ය. එහෙත් දඹුල්ල ලෙන් විහාරයේ කිසිඳු ස්ථානයක ඡායාරූප ගැනීමේ දී ආලෝකය විසන්ධි කළ යුතු බවට කිසිම නිවේදනයක් නොමැත. දේශීය විදේශීය සංචාරකයන් තම රිසි පරිදි ඡායාරූප රැගෙන යති. ඔවුන්ගේ වරදක් නැත. මෙයින් සිදුවන හානිය වැළැක්වීමට යම් බලධාරියෙකු ඉදිරි පත්වනවා නම් ආලෝකධාරා වලින් සිතුවම්වලට පැමිණිය හැකි විනාශය වළක්වා ගැනීමට ඉඩ ලැබෙනු ඇත.

Dambulla Cave Temple-Sri Lanka-Chandima Ambanwala (1)
විනාශ වෙමින් පවතින සිතුවම්

මෙ වැනි වූ බොහෝ හේතු සාධක නිසා විහාරයේ සිතුවම් නොපෙනෙන තරමට මැකී දුර්වර්ණ වී ගොස් ඇත. ඇතැම් ස්ථානවල රන් කුඹල් බැදීම නිසා එම මැටිවලට සිතුවම් විනාශ වී ඇත. සමහර ස්ථානවල දිය සීරාවන් නිසා සිතුවම්වල දියසෙවෙල බැඳී තිබෙන අයුරු දක්නට ලැබේ. ලෙන් බිත්තිවල පතුරු ගැලවීම නිසා සිතුවම් සහිත කොටස් ගැල වී ගොස් ඇත. ඇතැම්විට මකුළු දැල් සිතුවම් වසාගෙන ඇත. එම නිසා ඉටි මඟින් සිතුවම් විනාශ වී යනු ලැබේ. තව ද බිත්තිවල ඇතිල්ලීම බිත්ති ස්පර්ශ කිරීම නිසා සිතුතුවම් මැකී යන ස්වභාවයක් දක්නට ලැබේ. මේ ආකාරයට හායනකාරක බොහොමයක් එම සිතුවම්වලට බලපා ඇත.

Dambulla Cave Temple-Sri Lanka-Chandima Ambanwala (2)
දඹුළු ලෙනක් තුළ දර්ශනයක්

මෙ සේ එන්න එන්නම විනාශ වී යාමට ඉඩ දී බලාසිටිය හොත් මේ සිතුවම් නොබෝ කලකින් සදහටම මැකි යනු ඇත. මෙ සේ විනාශවීමට ඉඩහැර බලධාරීන් බලාසිටීම කණගාටුවට කරුණකි. ඇතැම් ස්ථානවල සිතුවම් සංරක්ෂණයට භාජනය කර තිබේ. එහෙත් මීට වඩා මෙම සිතුවම් දෙස විමසිල්ලෙන් බැලිය යුතු වේ. මෙම ජාතික උරුමය ආරක්ෂා කිරීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා මධ්‍යම සංස්කෘතික අරමුදල යන ආයතනවල පූර්ණ වගකීමක් වේ. එ සේ නොහැකි වුවහොත් අපේ රටට ආසියාවේ ආශ්චර්යකරා යාමට හැකි වේ දැයි දෙ වරක් සිතිය යුතු ය.

ඡායාරූප : චන්දිම බණ්ඩාර අඹන්වල
Advertisements

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.