චන්දිම බණ්ඩාර අඹන්වල

තාවකාලික කථිකාචාර්ය (2008/10), පුරාවිද්‍යා අධ්‍යයන අංශය, ෙප්රාෙදණිය විශ්වවිද්‍යාලය, ෙප්රාෙදණිය.

chandima-ambanwala-sri-lanka-archaeology-prehistory-epigraphy-epistomology
චන්දිම බණ්ඩාර අඹන්වල

අනෙන දුඃඛං ව්‍යපනීය සර්වං

පුණ්‍යෙන ලොකස්‍ය සුඛං සමග‍්‍රං

දාතුං ප‍්‍රභූර් ජන්මනි ජන්මනි ස්‍යාං

සදා ක්‍ෂමාවී කරුණාන්විතො‘හම්

මා මේ කළ පිනින් හෑම ආත්මයකදී ම ලෝක සත්ත්වයා දුකින් මුදාලීමට හැකි වෙම්වා! ලෝකයාට පූර්ණ සුවය ලබා දීමට හැකි වෙම්වා! ඉවසීම හා කරුණාව මා තුළ පිරී තිබේවා.

කුච්චවේලී ගිරි ලිපිය

ආරම්භ

වසර දහස් ගණනාවෙක යටගියාවකට හිමිකම් කියන ලංකා ඉතිහාස ගමන් මගේ එක් එක් අවස්ථාවන්හි එහි දිශානතිය තීරණය කිරීම සඳහා විවිධ සමාජ, දේශපාලන, ආර්ථික හා ආගමික සාධක බලපෑම් කර ඇත. එවැනි තිරණාත්මක බලපෑම් සිදුකිරීමට සමත් වූ භාරතීය බලවේග අතර ස්ථවිරවාදී බුදුදහම මෙන් ම මහායාන බුදුදහම ද කැපී පෙනේ. එලෙස ම බස, සාහිත්‍යය, විවිධ ශාස්ත‍්‍ර ආදී බොහෝ ක්‍ෂේත‍්‍රයනට තීරණාත්මක මැදිහත් වීමක් සිදුකිරීමට සංස්කෘත බස සමත් ව ඇත. එබැවින් මෙම අධ්‍යයනයේ දී ලංකාවේ දහස් ගණනක් අභිලේඛන අතුරින් සකුවෙන් රචිත ස්වල්ප අභිලේඛන ප‍්‍රමාණයක අඩංගු මහායානික සාධක පිළිබඳ ව මූලික අවධානයක් යොමු කරනු ලැබේ. මහායානයේ ප‍්‍රභේද රැසක් පැවතිය ද ඒ පිළිබඳ ව වෙනවෙන ම අවධානය යොමු නොකොට මෙහි දී අදහස් විමසා බැලේ. මෙම අධ්‍යයනය කෙරෙහි අප සිත් නැඹුරු කැරැ වූ පේරාදෙණී විශ්වවිද්‍යාලයේ සම්භාව්‍ය භාෂා අධ්‍යයන අංශයේ සංස්කෘත බස පිළිබඳ හිටපු සහකාර කථිකාචාර්යවර, අලංකාවේ උපාලි ස්වාමීන් වහන්සේට ස්තුතිය පිරිනැමේ.

ලංකාවේ සංස්කෘත සාහිත්‍යයේ මුලාරම්භය

සාහිත්‍යාගත සාධකයනට වහල් වි සිංහලයේ අතීතය පරික්‍ෂා කිරිමේ දී ඵය කි‍්‍රස්තු පුර්ව 6 වැනි සියවසේ දි සිදු වු විජයාවතරණය සමග සබදකම් දක්වන බව පෙනේ. මේ සමග ම සිංහල බස ද අපට ලැබුණු බව දක්වන සාහිත්‍ය මූලාශ‍්‍ර ඊට සියවස් කීපයක පසුව එළැඹුණු මහින්දාගමනයත් සමඟ ම එයට ලේඛන ව්‍යවහාරය ද සබඳ වු බවත් දක්වයි. සාහිත්‍ය මුලාශ‍්‍ර ඇසුරින් සංසයකින් තොර ව සිංහලයේ මුලාරම්භය අරබයා ඵකඟතාවකට පැමිණිය හැකි වුව ද සංස්කෘත බසේ ආගමනය පිලිබද ව විද්වතුන් අතර පැහැදිළි ඵකඟතාවක් නොමැත. ඔවුන්, 1. ආර්යයන්ගෙ පැමිණිමට පෙර මෙහි සංස්කෘතය පැවැතිණ, 2. ආර්යයෝ ඵය ගෙනාහ හා 3. පසු කලෙකැ මහායානය නිසා ඵය මෙහි පතළ විය (ගුරුගේ 1998:70) යනාදි විවිධ අදහස් මේ සම්බන්ධයෙන් දක්වයි. සාහිත්‍යාගත සාධකයනට අනුව විජයාගමනයත් සමඟ මෙන් ම ඊට පසු ද භාරතයෙන් දිවයිනට ආගමනය වූවන් මාර්ගයෙන් සංස්කෘතය මෙරට මුල් බැසගත් බව අනුමාණ කල හැකි ය. මිට අමතර ව භාරත සංස්කෘතියේ වර්ධනයට සමගාමී ව වෙළෙඳුන්, සංචාරකයින්, ආක‍්‍රමණිකයින් ආදින් මගින් සංස්කෘතය තව දුරටත් ලක්දිවට බලපෑම් කිරිමට ඇති බවත් සිතිය හැකි ය.

ව්‍යාප්තිය

ලංකාවේ සංස්කෘත සාහිත්‍ය පිලිබද ව කරන කවර ම හෝ අධ්‍යනයක දි කාලය හා අවකාශය තුළ ඵහි ව්‍යප්තිය සලකා බැලිම අත්‍යවශ්‍ය වන්නේ ය. කි‍්‍රස්තු පූර්ව 6 වැනි සියවසේ දි පමණ මුලාරම්භ සාධක තබන්නේ යැයි සිතිය හැකි සංස්කෘතය පශ්චාත් කාලින ව ස්ථවිරවාදී බුදුදහමට ප‍්‍රබල අභියෝගයක් ඵල්ල කරමින් මෙරට ස්ථාපිත වු මහායානය හරහා තවතවත් ස්ථාපිත විය. ඇති වු ආගමික ප‍්‍රතිරෝධතාවන් ඔස්සේ මහායානික පොත්පත් රැසක් විනාශ වු අතර ඵ් පිළිබද ව අදහස් දක්වන ජී.එස්.බී. සේනානායක, අර්බුදය විසදනු පිනිස වොහාරිකතිස්ස රජතුමා (කි‍්‍ර.ව. 269) කපිල ඇමතියා ලවා ඵහි සත්‍යාසත්‍යභාවය තිරණය කරවිය. ඔහු ඵ්වා පාලි ති‍්‍රපිටකය සමග සසදා බලා ඵ් සියල්ල ම සාවද්‍යයයි තිරණය කළ හෙයින් ඵ් සියල්ලම ගිනිබත් කෙරිණි. ඵ්වා සියල්ල ම සංස්කෘතයෙන් ලියා තිබිම ප‍්‍රතික්ෂේපයට ආදාල වු ප‍්‍රබල හේතුවක් විය හැකි ය (1998:7).

මහාවිහාරවාසි ස්ථවිරවාදී භික්ෂුහු අටුවා පමණක් නොව, ව්‍යකරණ ද පාලියෙන් ම ලියන්නයට වුහ. ඵහෙත් බෙහෝ විට සංස්කෘත රිතිය අනුගමනය කළහ. පදසාධන, මොග්ගල්ලාන වැනි පොත්වලින් මෙය පැහැදිලි වේ (ඵම). කිතු වසරින් දොළොස්වෙනි සියවසින් පමණ පසු ව ලංකාව කෙරෙහි සංස්කෘතයේ බලපැම ඉමහත් වෙයි. මෙහි ඵලයක් ලෙස භාරතිය මහා කවියා වන කාලිදාසයන් පවා අභිබවනය කෙරෙන ජානකිහරණය කළ කුමාරදාස ආදි කවින් මෙරට බිහිවෙයි. සංස්කෘත බසින් ම සාරාර්ථ සංග‍්‍රහය (බුද්ධදාස රජු – කි‍්‍ර.ව. 338) පද්‍යාචූඩාමණි (බුද්ධඝොෂ ථෙර) මඤ්ජු ශි‍්‍ර භාෂිත වාස්තුවිද්‍යාව වැනි ග‍්‍රන්ථ ද සංස්කෘත මහාකවි ආභාශයන් කව්සිළුමිණ, සංදේශ සාහිත්‍යය ආදි මහානර්ඝ ග‍්‍රන්ථාවලියක් බිහි වෙයි. ඵමෙන් ම සංස්කෘත පද භාවිතය, ප‍්‍රයෝග ආදිය මුල් කැරැගෙන ප‍්‍රධාන ගත්කතුවරුන් පවා තම රචනා ඉදිරිපත් කරන අතර සිංහලය තුළ ද ඵහි බලපැම අධිකතර බව හඳුනා ගත හැකි ය.

kucchaveli-inscription-sanskrit-mahayanism-sri-lanka
කුච්චෙව්ලි ස්තූප සටහන් හා සංස්කෘත ලිපිය ( ෙමම ඡායාරූපය http://studiotimesimagearchive.blogspot.com/ අඩවිෙයන් උපුටා ගන්නා ලදී)

ලංකාවේ සංස්කෘත අභිලේඛන

පුරාවිද්‍යාව, ඉතිහාසය, පුරාණ සමාජ සංස්කෘතිය, භාෂාව ආදිය හදාරන්නනට ප‍්‍රබල මුලාශ‍්‍රයක් වන අභිලේඛන 3,500කට ආසන්න ප‍්‍රමාණයක් ලංකාවේ ස්ථානගත වි පවති. සම කාලිනත්වය සහ විපර්යාසයනට ලක්විමේ සමිභාවිතාව අවම විම යන සාධක ඔස්සේ අභිලේඛන ප‍්‍රබල පුරාවිද්‍යා මුලාශ‍්‍ර විශේෂයක් ලෙසින් හදුනාගත හැකි ය. අභිලේඛන අතරට ගැනෙන සෙල්ලිපි තුළින් යම් ප‍්‍රමාණයකට (වෙසෙසින් අපර බ‍්‍රාග්මි යුගයෙන් පසු ව) සෘජු හෝ වක‍්‍ර සංස්කෘත ආභාශය ලැබි තිබුන ද සංස්කෘත බසින් ම රචිත සෙල්ලිපි හෝ කොටස් ඇත්තේ 17කි (කරුණාරත්න 2001ට පසුව).

ලංකාවේ මහායානවාදය – මුලාරම්භය

ස්ථවිරවාදීනට අනුව ලංකාවේ ප‍්‍රධාන ඇදහිල්ල වන ස්ථවිරවාදයට මුල් කාලින ව ප‍්‍රබල අභියෝගයක් වු මහායානයෙහි මුලාරම්භය අනුරාධපුර යුගය දක්වා ම ගමන් කරන බව පෙනේ. එල්.එස්. කැකුළාවලට අනුව වසර 1,500ක් පමණ වන අනුරාධපුර යුගය තුළ ලංකාවේ දේශපාලන හා සංස්කෘතික ජීවිතය හැඩ ගැස්වීමෙහි ලා උපස්තම්භක වූ බලවේග දෙක වන බමුණු ප‍්‍රභාව හා බෞද්ධ ආභාෂය (1961:125) අතුරින් බමුණු ප‍්‍රභාව නිරූපිත සංස්කෘත බස පිළිබඳ ව විවිධ මූලාශ‍්‍ර විමසා බලමින් මහාචාර්ය, පරණවිතාන; වෝහාරික තිස්ස රජ දවස (ක‍්‍රි. ව. 263-285) මහාවංශයෙහි වෛතුල්‍ය (පාලියෙන් වේතුල්ල) නමින් හැදින්වෙන මිත්‍යා දෘෂ්ටික නිකායක් පළමුවෙන් ම ලංකාවේ දෘෂ්‍යමාන විය. වෛපුල්‍ය සූත‍්‍ර යනු මහායානික ධර්ම ග‍්‍රන්ථයන්ට ව්‍යවහාර වූ සුප‍්‍රසිද්ධ නමකි. සද්ධර්ම පුණ්ඩරීක නම් ග‍්‍රන්ථයේ කැෂ්ගාර්හි තිබී ලැබුණු අත් පිටපතෙහි මේ නම ලියා ඇත්තේ වෛතුල්‍ය සූත‍්‍ර යනුවෙනි. මේ කරුණ සාධක කොට ගත් මහාචාර්ය කර්න් ලංකාවේ වෛතුල්‍ය වාදින් නමින් හඳුන්වන ලද්දේ මහායානිකයන් ම බව පැවසීය… එ බැවින් වෛතුල්‍යවාදීන් මහායානිකයන් බව නො පිළි ගැනීමට හේතුවක් නැතැයි කිව යුතු ය (1962:166). මෙම දත්ත අනුව කිතුවසින් තෙ වැනි සියවස වන විටත් ලංකාවේ මහායානවාදය ස්ථාපිත වි තිබු බව තහහුරු වෙයි.

ලංකාවේ මහායානවාදය – ව්‍යප්තිය

තෙ වැනි සියවස වනවිටත් ලක්දිව තිබු මහායාන වාදය මහාසේන වැනි රජවරුන්ගේ අනුග‍්‍රහය මත තවදුරටත් වර්ධනය විය. මෙහි ඵලාගම අවස්ථාව වශයෙන් මහාවිහාරය ථෙරවාද ලෝකයේ කේන්ද්‍රස්ථානය වන විට මහායානය අරභයා අභයගිරිය ලො පසිදු විය. මෙහි ප‍්‍රභාව ලොව කෙතෙක් පැතිරි තිබුනේද යත් චීන ජාතික දේශගවේෂක ෆා-හියං භික්ෂුව දිවයිනට පැමිණි අවස්ථාවේ මුලින් ම ගමන් ගත්තේ අභයගිරියට වන අතර ඵහි භික්ෂුන් 5,000කට අධික පිරිසක් වැඩ වාසය කළ බව ද සදහන් කර ඇත. මිට සමගාමි ව ජේතවානාරාමය (දෙනානක), තත්ත‍්‍රිමලය, මිහින්තලය, සීගිරිය ආදිය ද මහායානික මධ්‍යස්ථාන ලෙස ක‍්‍රියාත්මක වූ බව වියත්හූ පෙන්වා දෙති. මහායාන ධර්මයේ සියලූ ම සාරය සංග‍්‍රහ කළ ග‍්‍රන්ථය මෙන් සලකන ලඬ්කාවතාර සුත‍්‍රය රචනය/හෝ පරිවර්තනය ලක්දිව දී සැපීරූ බවට ද අදහස් ඇත. මහායාන දහම උදෙසා විශිෂ්ට සේවයක් කළ මහායානිකයන්ගේ මහාවාදියා වන මහායාන භක්තිකයන් විසින් බෝධිසත්ත්ව සංඛ්‍යාවෙහි ලා සැලැකුමට පාත‍්‍ර වන ආර්යදේව හිමියෝ ද සිංහල භික්‍ෂුවක් සේ සැලැකේ. කාලයත් සමඟ විවිධ ගැටුම් ඔස්සේ අද දක්වා ම ගමන් ගත් මහායාන වාදය වාදයක් ලෙසින් කෙසේ වුවත් බෝධිසත්ත්ව සංකල්පය, තාරා සංකල්පය, මන්ත‍්‍ර ආදී විවිධ වශයෙන් වත්මන් ලංකාවේ ථෙරවාද බෞද්ධයන් අතර ම ජීවමාන ව පවතී.

සංස්කෘත අභිලේඛන තුළින් මතුවන මහායානික සාධක – මහායානික ධර්ම කරුණු

මහායානිකයන්ගේ ව්‍යවහාරික බස ලෙසින් හඳුනා ගත හැකි සංස්කෘතයෙන් ලක්දිව ලියැ වී ඇති අභිලේඛන දෙස බැලීමේ දී ඒවා තුළින් විවිධ සමාජ, ආර්ථික, දේශපාලනික හා ආගමික කරුණු ඉස්මතුවන බව පෙනේ. එම රාශියක් කරුණු අතරින් මහායාන ආගමික සාධක පිළිබඳ ව මෙහි දී අවධානය යොමු කෙරේ.

මහායාන බුද්ධාගමෙහි ප‍්‍රධාන සිද්ධාන්තයක් වූ ත‍්‍රිකාය පිළිබඳ අදහස හීනයාන බුද්ධාගමෙහි දක්නේ ය. මහායානිකයෝ බුදුන්ට 1. නිර්මාණකාය, 2. සම්බෝගකාය හා 3. ධර්මකාය යනුවෙන් කායත‍්‍රයයක් ඇතැයි කියති. මෙම අදහස පළමුවෙන් ම උපදවන ලද්දේ මහායානිකයන් විසිනි (සාසනරතන ස්ථවිර 1952:203). ලංකාවේ මහායානවාදය හා සම්බන්ධ පැරණි ම ශිලාලේඛනය ලෙස මහාචාර්ය පරණවිතාන දක්වන (1962:173) මිහින්තලේ කදු මුදුණට පහතින් අම්බස්තලයේ සේලචේතිය අසළ ගලක කෙටූ ලේඛනයේ ඉහත දැක් වූ මහායානිකයන්ගේ ප‍්‍රධාන සිද්ධාන්තයක් වන ත‍්‍රිකාය වන්දනය පිළිබඳ ව තොරතුරු දැක් වේ යැයි සැලැකේ.

… වන්දෙ ප‍්‍රත්‍යාත්ම වෙද්‍යන්තමහමනුපමං ධර්මකායං ජිනානාම්

තමා විසින් පමණක් දත හැකි, අනුපම වූ බුදුරදුන්ගේ ධර්මකාය වඳිමි.

… වන්දෙ සම්භොගකායං තමභමීහ මහා ධර්මරාජ්‍යප‍්‍රතිෂ්ඨම්

මහා ධර්ම රාජ්‍යයට ප‍්‍රතිෂ්ඨා වූ බුදුරජුන්ගේ සම්භෝගකාය වඳිමි

… වන්දෙ නිර්මාණකායන් දශදිගනුගතං තං මහාර්ත්ථං මුනීනාම්

දශදිශාවෙහි පතළ මහාර්ථ වූ බුදුරජුන්ගේ නිර්මාණකාය වඳිමි

ශ‍්‍රග්ධරා වෘත්තයෙන් පබඳන ලද මෙම ලිපිය එහි අන්තර් ගත කරුණු නිසා ම මිහින්තලේ ත‍්‍රිකායස්තව ලිපිය යනුවෙන් හඳුන්වයි. මෙම ලිපිය කිතුවසින් අටවෙනි සියවසට අයත් සේ සැලකේ (පරණවිතාන 1962:173). මෙම ත‍්‍රිකාය පිළිබඳ තවදුරටත් විමසා බැලීමේ දී ධර්මකාය හෝ ධර්මධාතු නමින් හැඳින්වෙන ධර්ම ශරීරය සියලූ බුදුවරුන් පිළිබඳ සාරාත්ථීය වන අතර, එය සියලූ සංස්කාරයනුත් පුද්ගලයිනුත් සඳහා පදනම් ව ඇති එක ම නිත්‍ය සත්‍ය යනුවෙන් විස්තර කරනු ලැබේ. සම්භෝගකාය හෙවත් ප‍්‍රමොද ශරීරය නම් බුදුවරයන් ස්වකීය ස්වර්ග ලෝකයන්හි පෙනී සිටින විට හෝ දිව්‍යමය ශ‍්‍රී විභූතියෙන් දර්ශනය වන වෙනත් අවස්ථාවල දී නො ගන්නා ප‍්‍රභාෂ්වර උත්තර මනුෂ්‍ය දේහ විලාසයයි. නිර්මාණකාය වෙස්පෙරලෙන ශරීරය නම් සාක්‍යමුනීන් විසින් දරන ලද මනුෂ්‍ය වේශයයි (පරණවිතාන 1962:173,174). මේ අනුව බැලීමේ දී මිහින්තලේ ත‍්‍රිකායස්තව ලිපිය ඇසුරින් ප‍්‍රධාන මහායානික ධර්ම කරුණක් වූ බුදුරදුන්ගේ ධර්මකාය, සම්භොගකාය, නිර්මාණකාය යන ත‍්‍රිකාය පිළිබඳ තොරතුරු හෙළි වන බව පෙනී යයි. මෙම ලිපිය පිළිබඳ ව තවදුරටත් අදහස් දක්වන මහාචාර්ය පරණවිතාන; සෙල් ලිපියේ අඟ හරියේ දී මේ ස්ත්‍රෝත‍්‍රය රචනා කළ භික්‍ෂුවගේ නම සඳහන් වී ඇතත් අවාසනාවකට මෙන් එය පැහැදිළි නැත. ඔහු ‘බෝධි සත්ව ගුණයන්ට ආකරයක් බදු යැ’ යි (බෝධිසත්ව ගුණාකරඃ) විස්තරකොට ඇත. බෝධිසත්ව ගුණාංග විශේෂයෙන් උතුම් කොට සලකන ලද්දේ මහායානිකයන් විසින් බැවින් මෙහිලා ද මහායාන මතයන්ගේ ආභාෂය දැකි ය හැක. මේ ලේඛනය සංස්කෘතයෙන් ලිවීමත්, විකාශනය වූ ත‍්‍රිකාය ධර්මයට කර ඇති ඉතා පැහැදිලි සඳහන් කිරීමත් සහ එහි රචකයා බෝධිසත්වයෙක් යැයි හැඳින්වීමත් යන මේ කරුණු මේ ලේඛනය මහායානික එකක් බව ඔප්පු කිරීමට සෑහෙන සාක්‍ෂි වේ (1962:174).

ත‍්‍රිකුණාමලයට සැතපුම් 30ක් පමණ උතුරින් පිහිටා ඇති තිරියාය වටදාගෙය අසළ උස් ගල් පර්වතයක පැත්තක ලියා ඇති කිතු වසින් 7, 8 සියවස්වලට අයත් පල්ලව ග‍්‍රන්ථාක්ෂරයෙන් ලියූ ලිපිය ද ලක්දිව මහායානික සාධක පිළිඹිබු කරයි. මේ පිළිබඳ අධ්‍යයයනය කළ බී.සී. චාබ‍්‍රා (B.C. Chabra) මෙම ලිපිය පද්‍යයෙන් ලියැවුණු ලිපියකැයි ද පළමු පද්‍ය දහය නර්දටක වෘත්තයෙන් ද එකළොස් වැන්න උපජාති වෘත්තයෙන් ද පබැඳුනකැයි ද පෙන්වා ඒ සියල්ල ශ්ලෝක ස්වරූපයෙන් විස්තර කැරැු දෙන ලදී. ත‍්‍රපුස්සක හා වල්ලික යන වෙළඳුන් විසින් මෙහි ඇති ගිරිකණ්ඩික චෛත්‍ය කරවන ලදැයි ද බුදුනට පළමු දානය පිරිණැමූ වෙළෙඳුන් විසින් මෙහි පරිගෘහිත ධාතු ලබන ලදැයි ද දැක් වෙයි.

… ගුරු අවලොකිතේශ්වර ඉති ප‍්‍රථිතො භගවාන් තත් අහර් අහර් නමාමි ගිරිකණ්ඩික චෛත්‍ය අහම්

… ගුරු වූ අවලෝකිතේශ්වයන් වසන්නා වූ ගිරිකණ්ඩික චෛත්‍ය වඳිමි ….

ගිරිකණ්ඩික චෛත්‍ය මහායානික පූජ්‍යස්ථානයක් වශයෙන් වැදැගත් තැනක් හිමිකරගත් බව මෙම ලිපියෙන් ම පෙනී යයි. එම ථූපය ඉහත දැක් වූ පරිදි අවලොකිතේශ්වර, මංජු ශ‍්‍රී හා බුදුන්වහන්සේ යන තෙපලට ම වාසස්ථාන වූ බව මෙම ලිපිය දක්වයි.

අප‍්‍රමාණ බෝසත්වරුන් ප‍්‍රමාණයක් මහායානිකයන් විසින් අදහනු ලැබේ. එයින් ධ්‍යානී බෝධිසත්ත්ව – මහාස්ථාන ප‍්‍රාප්තී, ත්‍රෛලොක්‍යවිජඨී යනුවෙන් හඳුන්වන බෝසත්වරු අටදෙනෙක් ඔවුන් ප‍්‍රධාන කොට සලකයි. එයින් ද ප‍්‍රමුඛ ස්ථානයක් අවලෝකිතේශ්වරයනට හිමිවන අතර සද්ධර්ම පුණ්ඩරික සූත‍්‍රය ආදියේ ද මෙතුමා පිළිබඳ ව දැක්වෙයි. සමස්ත විශ්වය ම බලන ප‍්‍රධානියා යන සාමාන්‍ය අර්ථය දරන මෙම බෝසතුන් ඕම්, මණි පද්මේ හුම්! යනුවෙන් නිතර ම සිහි කිරීම මහායානිකයන්ගේ සිරිතයි. මේ අතර මහායානික සාධක ප‍්‍රමාණයක් තිරියාය සංස්කෘත ලිපියෙන් එළි දැක් වේ.

ස්ථවිරවාදය හෙවත් හීනයානට අනුව බුද්ධ ප‍්‍රත්‍යේක බුද්ධ, අරහත් යන ඕනෑ ම යානයකින් නිර්වාණ කටයුතු සිද්ධ කළ හැකි නමුත් මහායානිකයන් බුද්ධත්වය තුළින් ම නිර්වාණය අපේක්ෂා කරයි. සියලූ සත්ත්වයින් දුකින් මුදවා ලීම සඳහා බුද්ධත්වයට පත්වීමට සෑම කෙනකුට ම උත්සාහ කළ හැකි බව මහායානයේ ඉගැන්වෙයි. මෙම අදහස් ලංකාවේ ව්‍යාප්ත වීමත් සමඟ කවරාකාර හෝ පූජාවකින් බුද්ධත්වය ප‍්‍රාර්ථනා කිරීමට ජනයා හුරු විය. ති‍්‍රකුණාමලයේ කුච්චවේලිහි සංස්කෘත ශිලාලේඛනය ද මෙම කැපී පෙනෙන මහායානික සංකල්පය ගෙනහැර පායි. මෙම ලිපියට ඉහළින් ගලෙහි කැටයම් කර ඇති ස්තූප 25ක සටහන පාදක කරගෙන. මෙම පුන්‍ය කර්මය හේතු කොට ගෙන …. උත්තරීතර බුද්ධත්වයට පත් ව සංසාරය නැමති මඩ වගුරින් සියලූ සත්ත්වයා ගොඩ ගැනීමට හැකි වෙම්වා! ආදි ලෙස තම ප‍්‍රාර්ථනය ඉදිරිපත් කරයි. මහායානයට අනුව බෝධි චින්තනය උපදවා ගනු කැමති බෝධිසත්තවයකු විසින් සප්තවිධ අනුත්තර පූජාවන් කළ යුතු බව දැක් වේ. 1. වන්දන, 2. පූජන, 3. පාපදේශන, 4. පුණ්‍යානුමෝදන, 5. බුද්ධාද්‍යපණ, 6. බුද්ධයාචන හා 7. බෝධිපරිණාමණ වශයෙනි. මෙහි සිව් වැනි පුණ්‍යානුමෝදන යන්නෙන් තමා විසින් සිදු කළ සියලූ කුශල කර්මයන් සකල ලෝක වාසීනට අනුමෝදන් කරවීම සහ එම සත්ත්වයනට තමා ලබන මෝක්ෂය ද ලැබේවායි අනුමෝදන් කරවීම අදහස් වෙයි. මේ ලිපිය ඇසුරින් ද සංසාරය නැමති මඩ වගුරින් සියලූ සත්ත්වයින් එගොඩ කරවීමට තමාට හැකි වේවා යි කරන ප‍්‍රාර්ථනයෙන් එය පැහැදිලි වෙයි. බෝධි පරිණාමණ යන්නෙන් තමන් විසින් සිදු කළා වූ සියලූ යහපත් කර්මයන්ගේ ඵළයෙන් සත්ත්වයන්ගේ දුක සංසිදුවනු පිණිස බෝධියට පැමිණෙවායි පැතීම සිදු වේ. අප කතා නායකයා ද මෙ පුන්‍ය කර්මයේ බලයෙන් මට මාරයා හා පාපය යන සතුරන් ජය ගැනීමට හැකි වේවායි එනම් බුද්ධත්වයට පත් වීම ප‍්‍රාර්ථනය කරයි.

බෝධි චින්තනයෙන් ප‍්‍රබෝධමත් වූ බෝධිසත්තවයෝ දශප‍්‍රණිධානයන් පිරීමෙහි නියැලෙති. අවතංසක සූත‍්‍රයෙහි දැක්වෙන දශප‍්‍රණිධානයන් දක්වන ශාසනරතන ස්ථවිරයණට අනුව 6. සියලූ සතුන්ගේ හිත සැප වැඩි වීම දියුණු වීම පිණිස පහසුවෙන් ධර්මය දේශනා කිරීමට මම සමර්ථ වෙම්වා! 8. ධර්ම චක‍්‍ර ප‍්‍රවර්ථනයෙන් දශදික් හී වසන සියලූ සත්ත්වයෝ මාගේ ධර්මය අසා මාගේ නාමය අසා, කෙලෙසෙුන් කෙරෙන් දුරු ව ඔවුන්ගේ බෝධි චිත්තය පුරුදු කරත්වා! (1952:219). කුච්චවේලි ලේඛකයා ද දශප‍්‍රණිධානයන්ගෙන් ඉහත දක්වන ලද ද්වය පිරීමට ගන්නා උත්සාහය ද මෙම ලිපියෙන් පෙනී යයි.

විවිධ ආගමික ස්ථාන ආශ‍්‍රිත ව ලැබුණු රන්පත් ඉරු, තඹ පත් ඉරු රාශියකින් ද මහායානික සාධක රැසක් ම හෙළි වේ. 1982 දී අනුරාධපුර ජේතවන විහාර ව්‍යාපෘතියේ කැනීමකින් හමු වූ රන්පත් ඉරු 7 ඒ අතුරින් වැදගත් සොයාගැනීමකි. කිතුවසින් 9 වැනි සියවසට අයත් යයි සැලැකෙන මෙම රන් පත් ඉරු 7හි සිංහල අක්ෂරයන්ගෙන් ලියූ ප‍්‍රඥාපාරමිතා සූත‍්‍රයේ කොටසක් ද ඇතුළත් ය. මහායානයට අනුව දාන, ශීල, ක්ෂාන්ති, වීර්ය, ධ්‍යාන යන පංචපාරමිතාව ම ප‍්‍රඥාව ලබාදෙන මාර්ග වන අතර ප‍්‍රඥාව මඟින් භව දුක්ඛය උන්මූලනය කරයි. එනම්, ප‍්‍රඥා පාරමිතාවේ උදාවීමෙන් සංසාර නිවෘත්තිය ද නිර්වාණ ප‍්‍රාප්තිය ද සිද්ධ වෙයි. මෙම පත් ඉරු තුළ බුදුරදුන් ගිජුකුළු පව්වේ දී කළ ප‍්‍රඥාපාරමිතා සූත‍්‍රය පිළිබඳ ව ද මංජු ශ‍්‍රී මහාස්ථාම්ප‍්‍රාප්ත, මෛත‍්‍රිය ආදී බෝධිසත්ත්වයන් පිළිබඳ ව ද, තතාගතයන් වහන්සේට කළ යුතු පුදපූජා, ඒවායෙ පල විපාක ආදිය පිළිබඳ ව ද අඩංගු වෙයි. මේ අනුව ලංකාවේ මහායානික බලපෑම පිළිබඳ ව තොරතුරු දක්වන ප‍්‍රධාන මූලාශ‍්‍රයක් ලෙස ජේතවනාරාම රන්පත් ඉරු හඳුනා ගත හැකි ය.

පොළොන්නරුවේ පබළු වෙහෙරින් ලැබුණු ක‍්‍රි.ව. 9 හෝ 10වන සියවසට අයත් තඹ පතක ඕං මණිපද්මේ ස්වස්ති යන්න දැක ගත හැකි ය. මෙය මණිපද්මා හෙවත් තාරා දේවියට කෙරෙන අභියාචනයක් ලෙස සැලකේ. නේපාලය හා ටිබෙටය යන රටවල එය ඕං මණිපද්මේ හුං යයි ලියනු ලැබේ. තාරා වන්දනාව මෙම කාලයේ ද ලංකාවේ ප‍්‍රචලිත ව තිබුණු බව පෙනේ යනුවෙන් මෙය මහායානික තාරා ඇදහිල්ලේ අවස්ථාවක් බව සද්ධාමංගල කරුණිරත්න පවසයි (1991:21). නමුත් අප දැනුම අනුව ඕම් මනිපද්මේ හුං යන මන්ත‍්‍රයෙන් සිහිපත් කරන්නේ තාරා පමණක් නොව ප‍්‍රධාන ලෙසින් ඇයගේ ස්වාමියා වන අවලෝකිතේශ්වර හා ඔවුන් අතර සහවාසයයි. ඒ අනුව, කරුණාරත්නයන්ගේ අදහස සුපැහැදිලි නො වන නමුත් නිසැකයෙන් ම මෙය මහායානික අදහසක් පෙන්නුම් කරන සාධකයනක් ගෙනහැර දක්වන අවස්ථාවක් බව තහවුරු වෙයි.

buduruvagala-buddhist-art-sri-lanka
බුදුරුවගල පුදබිම (ඡායාරූපය http://mapio.net/ අඩවිෙයන් උපුටා ගන්නා ලදී.)

අනුරාධපුරයෙන් ලැබුණු තඹ තහඩුවක ක‍්‍රි.ව. 6 වැනි සියවසේ නාගරී අක්ෂරයෙන් සටහන් කර ඇති ඕං වජ‍්‍රාතීක්ෂරම් යන යෙදුම දෙස බලා සද්ධාමංගල කරුණාරත්න වජ‍්‍රාතීක්ෂර නැමැති මහායාන දේවතාවකු ගැන දැන ගන්නට නැතත් වජ‍්‍ර යනුවෙන් එහි මහායාන ස්වරූපය පැහැදිලි වන බව දක්වයි(එම). මිහින්තලෙහි ඉඳිකටු සෑයෙහි තිබී හමුවුණ තඹ තහඩුවල සිංහල සහ බෞද්ධ සංස්කෘත බසින් ලියැවුණු astanam bhiksu sata/ sigghasane nisannah punar-api/ yasyedanim kalam manyasa tat manyasa ආදී පාඨයන් පිළිබඳ ව අවධානය යොමු කළ මහාචාර්ය පරණවිතාන ඒවා පඤ්චවිංශති සාහස‍්‍රිකා, ප‍්‍රඥා පාරමිතා සහ කාශ්‍යප පරිවර්ත යන මහායාන සූත‍්‍රවල පාඨ බව දක්වයි (1928ථ166-167). අනුරාධපුරයට සැතපුම් දෙකහමාරක් පමණ උතුරින් පිහිටා ඇති විජයාරාම ස්තූපයේ තිබී හමු වූ තඹ තහඩු තුළින් ද මහායානික ඇදහිලි පිළිිබඳ සාධක ලැබේ. තාරා දේවිය සහ අවලොකිතෙශ්වර සහ ආකාශගර්භ යන බෝධිසත්ත්වයන් ද ශිඛින් හා ගගන බුද්ධ යන බුදුවරුනට ද කළ යැදීම් මෙම තහඩු තුළ අන්තර් ගත වන අතර ඕම්, කිලිකිලි, හුරුහුරු හා ස්වාහා යන ශබ්ද ඒවායේ බහුල ව යෙදී ඇති බව පරණවිතාන දක්වයි (1962:175). තවදුරටත් අදහස් දක්වන පරණවිතාන මේවායින් තාන්ත‍්‍රිකවාදය බෙහෙවින් විකාශනයට පත් අවධියක් පිළිඹිබු අතර ඒවා අයත් කාලය වන නවවන ශතවර්ෂයේ දී මහායාන දෙවිදේවාතාවන්ට වැදුම්පිදුම් කිරීම ප‍්‍රචලිත ව පැවති බව ඔප්පු වේ (එම) යනුවෙන් මෙම කාල පරිච්ඡේදයට ම අයත් සාධාරණ අදහසක් ඉදිරිපත් කරයි.

ඡායා හා අනියම් මහායානික සාධක

ඉහත සාකච්ඡා කළ පරිදි ලාංකේය සංස්කෘත ශිලාලේඛන අතුරින් 17කින් පමණ මහායානික සාධක සෘජු ව ගම්‍යවන බව පෙනී යයි. එහෙත් පොදුවේ සියලු ම අභිලේඛන දෙස බැලීමේ දී ඒවා සියල්ලෙන් ම අනියම් ආකාරයෙන් හා ඡායා වශයෙන් මහායානික සාධක ඉස්මතු වෙයි.

මෙම අභිලේඛනයන්ගේ බස පිළිබද ව අවධානය යොමු කිරීමේ දී එවැනි සාධකයක් ගම්‍ය වෙයි. ස්ථවිරවාදීන්ගේ නිළ බස පෙල බස වූවා සේ ම මහායානිකයන්ගේ නිළ බස වූයේ සකුවයි. සංස්කෘතය ඇති සෑම ස්ථානයක ම මහායානිත සාධක ඇතැයි යන යට පුළුල් උපන්‍යාසයට පිවිසීම එතරම් ශාස්ත‍්‍රානූකූල නො වූවත් ශිලාලේඛනයක් වැනි සම කාලීන ප‍්‍රධාන සංනිවේදන මාධ්‍යයක් සදහා සංස්කෘත බස උපයෝගි කර ගැනීමේ දී සකුව මනා ව දත් පිරිසක් එම ස්ථානය හා බැදී සිටි බව පෙනේ. ඒ අනුව, එම බස මනා ව හදාරන්නා වූ මහායානිතයන් එවැනි ස්ථාන හා සම්බන්ධ හෝ එම ස්ථානයේ සිටි බව පෙනි යයි. සාහිත්‍ය හා පුරාවිද්‍යා සාධක ඇසුරින් ජාත්‍යන්තර මහායානික බෞද්ධ මධ්‍යස්ථානයක් ලෙසින් පෙනී යන අභයගිරි විහාර සංකීර්ණය මෙය මනා ව ඔප්පු කරන අනර්ඝ අවස්ථාවකි. වෙසෙසින් නේවාසිකයන් මෙන් ම ආගන්තුකයන් ද කියවා ධාරණය කරගත යුතු විහාර පාලන විධි, චර්යාවන් ආදිය අඩංගු ව්‍යවස්ථාවන් සහිත ජේතවන (අභයගිරි) පුවරු ලිපිය සංස්කෘතයෙන් ඉදිරිපත් කිරීම මෙම තත්ත්වය පෙන්නුම් කරයි. මෙම කේන්ද්‍රීය සාධකය පදනම් කර ගනිමින් සංස්කෘත අභිලේඛන ලැබෙන මිහින්තලය, විජයාරාමය, කපාරාරාමය, පබළු වෙහෙර, කුච්චවේලී ආදී අනෙක් ස්ථාන ආශ‍්‍රිත ව ද යම් අයුරෙක මහායානික සබදතාවන් පැවැති බව උපකල්පණය කළ හැකි ය.

තිරියාය ශිලා ලේඛනය පිළිබද ව අදහස් දක්වන එල්. එස්. කැකුළාවල අවලෝකිතෙශ්වර බෝධිසත්‍වයන් ලංකාවේ ශිලාලේඛන වලත් සාහිත්‍යයේත් හැදින්වෙන්නේ ලෝකේශ්වර, ලෝකේශ්වර නාථ හෝ නාථ යන්නෙන් ද පමණී. ඔවුන් අවලෝකිතෙශ්වර යන ප‍්‍රථිත නාමයෙන් ම ලංකාවේ හැඳින්වුණු තැනක් පළමු වරට දක්නට ලැබෙන්නේ මේ සෙල්ලිපියෙහි ය (1961:132) යනුවෙන් දක්වයි. වැලිගම කුෂ්ඨරාජාගල පිළිබද ව ආචාර්ය ඒ. නෙල් මහතාගේ අදහස් උපුටා දක්වන ඔහු එය රජ කෙනෙකුගේ ස්වරූපය ගත්ත ද මකුටයෙහි හා අතින් ගත් පියුමෙහි ද දක්වන අමිතාභ නම් ධ්‍යානී බුදුන්ගේ ස්වරූපය නිසා අවලෝකිතෙශ්වරයන්ගේ ප‍්‍රතිමාවක් ලෙස සැලකිය හැකි ය (එම :133) යනුවෙන් පෙන්වා දෙයි. මෙම කරුණුද්වයේ ම පවත්නා සාම්‍යතාව පිරික්සන කැකුළාවල තිරියාය සමුද්‍රාසන්න ස්ථානයකි. වැලිගම ද එවැනි තැනෙක්හි මැ පිහිටියේ ය. මේ දෙතැන හා ම නුදුරු තන් හී නාවික ගමනාගමනය කැරෙන්නට ඇති බවට සාධක දැක්විය හැක. අවලෝකිතෙශ්වරයන් ම මේ ස්ථාන හා සම්බන්ධ වූයේ මේ හේතු කොටගෙන විය යුතු ය (එම) යනුවෙන් අදහස් දක්වයි. මෙම කරුණු ඇසුරින් පෙනී යන මහායානික ඡුායා සටහනකි, යම් යම් ප‍්‍රදේශයන් කෙරෙහි ස්වදේශික මහායානික ආයතනයන්ගේ බලපෑම මෙන් ම විදේශීය වශයෙන් ද මහායානික බලපෑම ලැබුණූ බව. එතුළින් ම ලක්දිවට පරිබාහිර ව පැවැති දියුණු මහායානික ඇදහිල්ල පිළිබදවත් සාධක ලැබේ.

සද්ධර්මපුණ්ඩරිකයට අනුව නමෝනමස්තෙසෙම අභයංදද-අවලෝකිතෙශ්වරාය බෝධිසත්ත්වාය මහාසත්ත්වාය යන පාඨය කියන ඕනෑ ම අයෙක් නෞකාභඬ්ග, ගිණි ආදී සියලූ භයෙන් මුදවනු ලැබෙතැයි දැක් වේ. ඒ අනුව මුහුද හා සම්බන්ධ ඉහත ස්ථානද්වයම අවලෝකිතේශ්වර වන්දනය පිළිබද ව දක්වන සාධක මෙම මතයෙන්, විශ්වාසයෙන් සන්නද්ධ නාවිකයන්ගේ අදහස් ගෙනහැර පාන බවට සාධක වශයෙන් ගත හැකි අතර ම ස්ථවිරවාදයට සාපේක්‍ෂක ව මහායානය හා බැදි ලෞකික ඇවැසිතා පූරණය කිරීමේ නැඹුරුතාවත් විශධ කරයි. එම ලිපිය හා පැනෙන ගිරිභණ්ඩපූජාව පිළිබද ව විවාදපන්න අදහස් කීපයක් දක්වන කැකුළාවල එය මහායානිකයන්ගේ හා ඔවුන්ගේ පුදපූජා විධි හා යම් සම්බන්ධතාවක් දැක් වූවක් ලෙසට ඉදිරිපත් කරයි (එම:132). එම කරුණු සත්‍ය සේ ගතහොත් මහායානය හා සබැඳි පූජා උත්සවයක් පිළිබද ව සාධක ඉදිරිපත් වීමක් ද තිරියාය ලිපිය හරහා සිදු වී ඇත.

සංස්කෘත පත්ඉරු මඟින් ලංකාවේ මහායාන බෞද්ධයන් අතර පැවැති පුරුද්දක් පිළිබඳ ව සාධක ද ගම්‍ය වන බව පෙනේ. ලංකාවේ බෞද්ධයන්, විශේෂයෙන් මහායානයට බර වූ විශ්වාස ඇත්තවුන් අතර, සංස්කෘත බෞද්ධ දහම් පොත් වලින් උපුටා ගත් කෙටි පාඨ කෙටුම් කළ ලෝහ තහඩු චෛත්‍යවල තැම්පත් කිරිමේ පුරුද්දක් පැවති බව ඉඳිකටු සෑයෙහි සහ විජයාරාමයෙහි තිබී ලැබුනු තහඩු වලින් පෙනී යයි (පරණවිතාන 1962:175). විශේෂයෙන් පඤ්චවිංශති සාහශ‍්‍රිකා, ප‍්‍රඥාපාරමිතා, කාශ්‍යපපරිවත වැනි ධර්ම ග‍්‍රන්ථ මෙහි ලා උපයෝගි කොටගෙන ඇති බව පෙනී යන අතර මෙය බොහෝ දුරට මහායානිකයනට අනන්‍ය වූ ඇදහිල්ලක්/වතාවතක් බව ද පෙනේ.

ආශ්‍රිත ග‍්‍රන්ථ හා ලිපි නාමාවලිය

  • අමරවංශ හිමි, කො. (1969) ලක්දිව සෙල්ලිපි, සීමා සහිත ඇම්. ඞී. ගුණසේන සහ සමාගම, කොළඹ.
  • කරුණාරත්න, එස්. (1991) ලංකාවේ සංස්කෘත ශිලාලිපි, ශාස්ත‍්‍රිය සංග‍්‍රහය, එච්. වජිරඥාන හිමි, හා තවත් අය ශ්‍රී ලංකා ප‍්‍රාචීන භාෂෝපකාර සමාගම (17-24)
  • කැකුළාවල, එස්. එල්. (1961) සංස්කෘත සාහිත්‍යය, අනුරාධපුර යුගය, ඒ. ලියනගමගේ හා ආර්. ගුණවර්ධන, විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය (125-144)
  • ගුරුගේ, ඒ. ඩබ්ලියු. පී. (1998) සංස්කෘත භාෂා සාහිත්‍යය, ව්‍යාප්තිය හා ආභාසය, අපේ සංස්කෘතික උරුමය, සංස්කරණය, ඒ. ඩබ්ලියු. පී. ගුරුගේ, මධ්‍යම සංස්කෘතික අරමුදල, කොළඹ. (69-117)
  • ඤාණවිමල හිමි, බී. (2001) ජේතවනාරාම සංස්කෘත ලිපිය, ශාස්ත‍්‍රිය සංග‍්‍රහය, සංස්කරණය, වී. ධම්මරක්ඛිත හිමි හා තවත් අය, ශ්‍රී ලංකා ප‍්‍රාචීන භාෂෝපකාර සමාගම (1-5)
  • ඩයස්, එම්. (1992) ලක්දිව සෙල්ලිපි තුළින් මතුවන මහායානික සාධක, ශාස්ත‍්‍රිය සංග‍්‍රහය, සංස්කරණය, පී. ඥාණාරාම හිමි හා තවත් අය, ශ්‍රී ලංකා ප‍්‍රාචීන භාෂෝපකාර සමාගම (122-129)
  • පරණවිතාන, එස්. (1962) ලංකාවේ මහායාන වාදය, පුරාණ යුගය: ශාස්ත‍්‍රීය ලිපි, සංස්කරණය, එස්. ඞී. සපරමාදු, තිසර ප‍්‍රකාශකයෝ, දෙහිවල. (195-206)
  • මහාවංශය, ප‍්‍රථම භාගය (සංස්කරණය, එච්. ශ්‍රී සුමංගල හිමි හා බී. එස්. දේවරක්‍ෂිත, ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10
  • සාසනරතන හිමි, එම්. (1952) ලක්දිව මහායාන අදහස්, ඇම්. ඇෆ්. ඞී. පෙරේරා, පානදුර.
  • සේනානායක, ජී. එස්. බී. (1998) ශ්‍රී ලංකාවේ සංස්කෘත සාහිත්‍යය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, කොළඹ.
  • Epigraphia Zeylanica Vol. I, II, IV & V
  • Paranavitana, S. (1928) Epigraphical Summary, Ceylon Journal of Science Section G. vol. I, Ed. by. A. M. Hocart, The Archaeological Commissioner Ceylon, Colombo. (165-173)
  • Paranavitana, S. (1928a) Mahayanism In Ceylon, The Ceylon Journal of Science Section G. vol. II, Ed. by. A. M. Hocart, The Archaeological Commissioner of Ceylon, Colombo.

§ – මෙම ලිපිය පළමු වරට පහත දැක්වෙන ස්ථානයේ ප්‍රකාශයට පත් විය.කතුවරයාගේ පූර්ණ අවසරය සහිත ව මෙම ලිපිය නැවත මෙම වෙබ් අඩවියේ ප්‍රකාශයට පත්කරනු ලැබේ.

විකල්ප පුරාතත්ත්ව, දෙවන කලාපය, 2008/2009, පුරාවිද්‍යා සංගමය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, පේරාදෙණිය. (17-28)

Previous articleමුහුදු පුරාවිද්‍යා ඒකකයේ උතුරු මුහුදේ නවමු පර්යේෂණ 2013 – දෙවන කොටස
Next articleයාපනයේ ඩෙල්ෆ් දූපතෙන් සෙල්ලිපි තුනක් හමු වේ
Avatar
2006 වසරේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් වසරේ දක්ෂතම පුරාවිද්‍යා ශිෂ්‍යයාට හිමි මහාචාර්ය පී. ලිලානන්ද ප්‍රේමතිලක හා වෛද්‍ය නන්දා ප්‍රේමතිලක විශිෂ්ට නිපුනතා ත්‍යාගය සමඟ ශාස්ත්‍රවේදි (ගෞරව) (BA(sp)) උපාධිය ලබාගන්නා ලද චන්දිම, 1998 වසරේ දී මොරටුව විශ්වවිද්‍යාල‍යේ වාස්තුවිද්‍යා පීඨයෙන් ස්මාරක හා කේෂේත්‍ර සංරක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ද, 2010 වසරේ දී කොළඹ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් පුරාවිද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය (MSc.) ද හිමිකර ගන්නා ලදි. 2008 - 2010 කාලයේ දි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ තාවකාලික කථිකාචාර්යවරයෙකු වශයෙන් සේවය කළ ඔහු, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාල‍යේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්යවරයෙකු වශයෙන් 2011 වසරේ සිට සේවය කරන අතර එහි ප්‍රාග් ඉතිහාසිය හා අභිලේඛන විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයා වශයෙන් කටයුතු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.