වයි. කේ. තිස්ස බණ්ඩාර

පුස්තකාලයාධිකාරි, බුද්ධශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලය, පුත්තලම පාර, අනුරාධපුරය.

වයි.කේ. තිස්ස බණ්ඩාර

ආදියෙහි පටන් ලිවීමට යොදාගත් දැනුදු වෙසෙසි වුවමනාවක් සඳහා කලාතුරකින් යොදාගැනෙන ද්‍රව්‍ය විශේෂයකි, පුස්කොළය. “පුස්කොළ” යන වදනේ තේරුම කුමක් ද? පුස්-නම් ධාතුවක්, ක‍්‍රියා මූළයක් හෙළ බසෙහි ඇත. වැලිවිටියේ සෝරත නාහිමියන්ගේ ශ‍්‍රි සුමඞගල ශබ්ධ කෝෂයෙහි ඒ ධාතුව මෙ නයින් විස්තර කරනු ලැබේ.

පුස්(ධා) – පිය දැමීමෙහි පුසී පුසිත්; පිසි, පිසී (පුස්මින් -නෛක‍්‍රි – ධප‍්‍ර 234)

පුස් යන්නෙහි යට දැක්වුණු අරුත්ගන්නා ලද්දේ පැරණි පොත පතිනි. ඒ සියලු පොත් ලිවීමේ කාර්යය හා සම්බන්ධ ඒවා නොව භික්‍ෂු ආරාමික ජීවිතය පසුබිම කොටගෙන සැකසුණු ඒවා ය. පිස දැමීමට, පිරිසිදු කිරීමට ගන්නා කොහු, ඉදල්, ලී කැබලි යනාදි උපකරණ ලිවීමට ගන්නා ද්‍රව්‍යයට බෙහෙවින් වෙනස් යැයි කෙනෙකුට පෙන්වා දිය හැකි ය. එ බැවින් පුස්කොළයත් ඒ ද්‍රව්‍යයත් අතර සම්බන්ධතාවක් වේ නම්, එය ඉතා දුරස්ත යැයි තර්ක කළ හැකි ය. පුස් (පිසීමෙහි) සකර්මක ධාතුවක් ද ඇත. එය අරුත් දෙකක වැටෙයි. එකක් පිසීම, (අහර) ඉවීම යන අරුතයි. අනෙක පිසීම, පිස දැමීම යන්නයි. මේ ප‍්‍රථම ධාත්වර්ථයෙන්, එනම් අහර පිළියෙළ කිරීමේ අරුතින්, පිසූ නම් අතීත කෘදන්ත පදයක් සෑදෙයි. පිසු යන්නක් ලැබෙතත් “පුසු” යන්නක් ලැබෙතත්, “පුසු” වැනි රූප ගැන අසන්නට නොලැබෙයි. ලිවීමේ කාර්යය සඳහා ගනු ලබන ද්‍රව්‍ය තල ගොබයයි. පත‍්‍ර අසූවක් සියයක් පමණ ඇති තලගොබයේ ඉරටුව ඉවත් කොට දැවැටුමක් ලෙස ඔතනු ලැබේ. ඒ “දැවටු” ලොකු දිය හැලියක බහා පැය කිහිපයක් මඳ ගින්නේ තම්බනු ලැබේ. මේ අරුතින් තැම්බූ කොළය “පිසූ කොළය” පුස්කොළය වන්නට ඇතැයි සිතන්නට කිසිවෙකු පෙළෙඹෙන්නට බැරි නැත. එහෙත් යට කී පරිදි, අතීත කෘදන්ත රූපය වන පිසු යන්න “පුසු”, “පුස්” යන්නට පෙරළිණියි සිතීම අසීරු ය.

පුස්කොළ ලේඛන (මෙම ඡායාරූපය https://www.flickr.com/ වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.)

පිසදැමු පිරිසිදු කොටගත් යන දෙවන අරුත්හි වැටෙන රූපයෙන් සාදාගත් අතීත කෘදන්ත රූපයක් පුස්කොළ යන්නේ මුල් ශබ්ධයට සම්බන්ධ කරගැනීමට ඒ හේතුව ම බාධක වේ. පිස දැමූ, පිරිසිදු කොටගත්, පිසූ (තැම්බූ) යන අරුත් ඇති පුස් – ධාතුව ම පුසු කොළය යන පදයේ මුල් ශබ්ධය වන්නට නොහැකි ද? ගැටලුවකට ඇත්තේ ක‍්‍රියා මූලය, එනම් ධාතුව ම අතීත කෘදන්ත අර්ථයෙන් යෙදෙන බවක් සිංහල ව්‍යයහාරයේ නොයෙදීමයි. බල, බම, බණ, පිහිටි, රක්, බස් යන ක‍්‍රියා මූල පිළිවෙළින් බැලූ, බැමු, බිණු, පිහිටු, රැකි, බට යන කෘදන්තාර්ථ ගැප්කොට ඇත්තේ ද? පිසූ, පිරිසිදු කොටගත් යන අරුත් පුස්කොළය හැඳින්වීමට යෝග්‍ය වුවත්, එසේම ඒ කොළය වෙසෙසා දැක්වීමට සුදුසු විශේෂණ පද වුවත් පිසු කොළය පුස්කොළයට පෙරැළුණැයි ගැනීම සිංහල භාෂා රීතියට පටහැණි යැයි මහාචාර්ය ආනන්ද කුලසූරිය සඳහන් කරයි. පුස් -කොළ, පත් (කඕකා) යන්නට ශ‍්‍රී සුමංගල ශබ්ධකොෂයෙහි අරුත් දැක්වෙන්නේ “කිසිවක් නො ලියූ හිස් කොළය” යන ලෙසිනි. එසේම “පුහු ගෙඩි යන්න” පොතක් මෙන් සෑඳු තලකොළ මිටිය ලෙස හැඳින්වෙයි. මෙ තැන්හි “පුස්” යන්නට දී ඇත්තේ අමුතු ම අරුතකි. එනම් “හිස්” යනුයි. හිස් යන අරුත් ඇති “පුහු” යන නාම පදයක් ඇත. එය නාම විශේෂණයක් ලෙස ද යෙදෙයි. “පුහුපොල්”, “පුහු ගෙඩිය” යන තන්හි මෙනි. පුස්ස, පහු, පුස්සෙන්, පුස්සට යන අරුතින් එය නපුංසක ලිංග නාම පදයක් ලෙස වරනැගෙයි. පුහු කොළය, පුස් කොළය වන්නට හැකි ය. එහෙත් එය හිස් යන අරුත ලැබුණේ කිසිවක් නො ලියූ හෙයින් ද, නැතහොත් අපිරිසිදු දෑ ඉවත් කොට පිරිසිදු කරන ලද හෙයින්දැයි ඉඳුරාම කිව නොහැකි ය. මහාචාර්ය ආනන්ද කුලසූරිය එතෙක් පුස්කොළ යන්නේ නිර්වචනය පිළිබඳ ව දිගු විස්තරයක් කළ ද නිගමනයක් නොදක්වයි.

ව්‍යවහාර වර්ෂයෙන් දහනව වැනි ශතකයේ මුල් හරියේ සිංහල-ඉංග‍්‍රීසි ශබ්ද කෝෂයක් සැපයූ බෙන්ජමින් ක්ලිප් දේවගැතිතුමා පුස්කොළ යන්නට අරුත් කියන්නේ “හිස් කොළය” ලිවිමට හෝ උල් කටුවෙන් සීරිමට හෝ පිළියෙළ කොටගන්නා ලද හිස් කොළය යන ලෙසිනි. පුස්කොළ යන්නට අරුත් සපයන අරිසෙන් අහුබුදු මෙසේ පවසයි. “පුස්කොළ (න.ප.) ආදියෙහි පොත් ලිවීමට යෙදුණු තල (ගසේ) පත්යැ පුස්කොළ සැකැසුණේ තල කොළ තම්බා ගැනීමෙනි. මේ තල කොළයෙහි මුලින් බුදුදහම ලියැවුණෙන් එ මැ පත් පුදට (පූජාවට) නිසි වී. පුදට නිසි කොළ > පුද ලද කොළ > පුද කොළ >පුද්කොළ > පුත්කොළ > පුස්කොළයි. ත් හට ස් වීම මේ බසේ සන්ධි නියරකි.”

මෙරට හා විදේශයන්හි පුද්ගලයන් සතු ව ඇත්තා වූ ද, විවිධ ආයතනයන්හි තැම්පත් කොට ඇත්තා වූ ද, සිංහල පුස්කොළ පොත් සංඛ්‍යාව හැත්තෑ පන්දහසක් පමණ බව කිව හැකි ය. මෙයින් සියයට අනූපහක් පමණ දහඅටවන දහනමවන සියවස් තුළ ලියන ලදැයි සිතීමට සෑහෙන සාධක ඇත්තේ ය. ප‍්‍රමාණවත් පුස්කොළ පොත් සංඛ්‍යාවක් විසිවන සියවසේ මුල් භාගයෙහි ලියන ලද බවත් සැලකිය යුතු ය. දහඅටවන සියවසට පෙර ලියන ලද පුස්කොළ පොත් හසු වන්නේ විරල වශයෙනි. ගම්පොල හා කොට්ටේ රාජධානි පැවැති කාලයෙහි ලියන ලද පුස්කොළ පොත් දැනට සොයාගෙන ඇත්තේ සතරක් පමණි. පොළොන්නරු රාජධානිය හෝ අනුරාධපුර රාජධානිය පැවැති යුගවල ලියන ලදැයි සැලකිය හැකි එක ද පුස්කොළ පොතක් මා දන්නා තරමින් තව ම හමු වී නැත.

මහාචාර්ය පී. ඊ. ඊ. ප‍්‍රනාන්දු දක්වන දඹදෙණි රාජධානි සමයෙහි හෙවත් දහතුන්වන සියවසෙහි ලියන ලද දැනට ලක්දිව පැරණිම පුස්කොළ පොත් හතර පහත දැක් වේ.

  • චුල්ලවග්ගය (කොළඹ ජාතික කෞතුකාගාරය)
  • විසුද්ධමග්ග ටීකාව (පේරාදෙණි විශ්වවිද්‍යාලීය පුස්තකාලය)
  • සාරත්ථදීපනි නම් විණය ටීකාව, පළමු කාණ්ඩය (ලන්ඩන් නුවර බි‍්‍රතාන්‍ය කෞතුකාගාර පුස්තකාලය)
  • සාරත්ථදීපනී පිටපත (පැරිස් නුවර ජාතික පුස්තකාලය)

පැරණිකම නිසා ම විශේෂ තැනක් ගන්නා තවත් පුස්කොළ පොත් රාෂියක් ගැන ද සටහන් කිරීම වටනේ ය. ශ‍්‍රී ලංකා විද්‍යාලංකාර විශ්වවිද්‍යාල (වර්තමාන කැලණි විශ්වවිද්‍යාලය) සතු ව ඇති මහාවග්ග පාලියේ පුස්කොළ අත්පිටපත ද 13 වැනි සියවසට අයත් සේ සැලකේ. කොළඹ කෞතුකාගාර පුස්තකාලයේ ඇති සංයුක්ත නිකාය අත්පිටපතෙහි එන අවසාන පාඨය අනුව එය පැපිලියානේ සුනේත‍්‍රාදේවී පිරිවෙනේ විසූ මංගල නම් භික්ෂූන් වහන්සේ නමක් විසින් ක‍්‍රිස්තු වර්ෂ 1412 දී පිටපත් කැරුණු බව පෙනේ. කෞතුකාගාර පුස්තකාලයේ ඇති ක‍්‍රිස්තු වර්ෂ 1521 දි පිටපත් කරන ලද පාළි පරමත්‍ථප්පකාසීනී නමැති පිටපත ධම්මසංගනී නමැති පාළි ග‍්‍රන්ථයෙහි ටීකාවකි. සිංහල පූජාවලියෙහි අත්පිටපතක් ද ජාතික කෞතුකාගාර පුස්තකාලයේ ඇත. එහි එන අවසාන පාඨය අනුව එය ක‍්‍රිස්තු වර්ෂ 1665 දී පිටපත් කරන ලද්දකි. කෞතුකාගාර පුස්තකාලයේ ඇති තවත් පැරණි පුස්කොළ අත්පිටපතක් නම් සංස්කෘතයෙන් ලියැ වී ඇති බෞද්ධ ශතකයයි. එය ක‍්‍රිස්තු වර්ෂ 1704 දී පිටපත් කරන ලද්දකි.

පුස්කොළ පොත් (මෙම ඡායාරූපය http://www.michaelbackmanltd.com වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.)

දකුණු හා අග්නිදිග ආසියාතික රටවල කඩදාසි හඳුන්වා දීමට පෙර ප‍්‍රධාන වශයෙන් ලිවීමට ගන්නා ලද ලේඛන මාධය ලෙස පුස්කොළ බව සඳහන් කළ හැකි ය. ශ‍්‍රී ලංකාවට කඩදාසි භාවිතය හඳුන්වා දුන්නේ ක‍්‍රිස්තු වර්ෂ 16 වන සියවසේ මුල දී මුහුදුබඩ ප‍්‍රදේශ අල්ලා ගත් පෘතුගීසීන් විසිනි. එහෙත් කඩදාසි භාවිත වූ කාලයේ දී ද ලේඛන මාධ්‍යයක් ලෙස පුස්කොළ භාවිත විය. ශතවර්ෂ ගණනක සිට ශ‍්‍රී ලංකාවේ ලේඛන මාධ්‍යය ලෙස පුස්කොළය භාවිත වූ බව පෙනේ. විදේශීය රටවලින් දැනට ලැබී ඇති පැරණි ම පුස්කොළය ක‍්‍රිස්තු වර්ෂ 2 වැනි සියවසට අයත් වෙයි. එය මධ්‍යම ආසියාවේ තිබී සොයා ගන්නා ලද්දකි. ඉන්දියාවේ ක‍්‍රිස්තු වර්ෂ 10 වැනි සියවසට පෙර ලියූ පුස්කොළ හමු වී නැති අතර, ශ‍්‍රී ලංකාවේ දැනට ලැබී ඇති පැරණි ම පුස්කොළ පොත ක‍්‍රිස්තු වර්ෂ 13 වැනි සියවසට අයත් චුල්ලවග්ගය බවට සාක්‍ෂි ඇත.

පැරණි පොත් පිළිබඳ ව ලංකාවේ විවිධ සාහිත්‍ය මූලාශ‍්‍ර අනුව තොරතුරු හෙළි වෙයි. ඒවායින් වැඩි ප‍්‍රමාණයක් පුස්කොළ මාධ්‍යයෙන් ම ලියන්නට ඇතැයි අදහස් කරමු. එකී පොත් සම්බන්ධ ව තොරතුරු කිහිපයක් මෙසේ ය.

– ධර්මයාගේ චිරස්ථිතිය පිණිස පොත්හි ලියූහ. බුද්ධඝෝෂ හිමි මහාවිහාරයට පැමිණ, අටුවා කරන්නට මට සියළු පොත් දෙව’යි කීහ.
– ධාතුසේන තරුණ තෙමේ වනපොත් කිරීමේදී වර්ෂාවක් වැටුණි. එහිදී පොත හා කුමරු නාගයකු විසින් නොතෙමා රකින ලදී.
– කසුබ් රජතෙමේ විජම්පෙළ රන්පත ලියවා දම් සඟුන පොත නන් රුවනින් හොබනා කොට නුවර මැද උතුම් ගෙයක් කරවා ඒ පොත එහි තබ්බවා පෙරහැර දෙවී (මෙහි මාධ්‍යය පුස්කොළ නොවේ.)
– මාඝගේ ආක‍්‍රමණයෙන් ප‍්‍රසිද්ධ ප‍්‍රශස්ත වූ බොහෝ පොත් ලනුවෙන් මුදා ඒ ඒ තැන විසිරවූහ. විජයබාහු ලංකාද්වීපයෙහි සධර්ම සංයුත්ත වූ බොහෝ පොත් පරසතුරන් විසින් නසන ලදැයි සංවේග ප‍්‍රාප්ත ව ධාරණ ඥානයෙන් සමන්විත ව සැදැහැත්තා වූ බහුශ‍්‍රැත වූ කුසීත බැව් නැත්තා වූ මනොඥ වූ ලෙස වහා ලියුම්හි දක්ෂ උපාසකයන් ද එයින් අන්‍ය වූත් බොහෝ පොත් ලියන්නන් එකතන්හි රැස්කරවා මිහිපති තෙමේ ඒ සියල්ලන් ලවා ආදර සහිත ව සුවාසු දහසක් ධර්මස්කන්ධයන් මනාකොට ලියවී ය.
– ලීයුවන්ට ධර්මස්කන්ධ ගණනින් ඔවුන්ට රන් කහවණු දී බුවනෙකබාහු ධර්ම පුස්තකයන් ලියන්නා වූ නුවණැත්තනට බොහෝ වස්තුව දී සියලූ ම ත‍්‍රිපිටකය ලියවන්නන් ලංකාද්වීපයෙහි ඒ ඒ ප‍්‍රදේශයෙහි විහාරයෙහි තබ්බවා
– පැරකුබා රජු ජාතකයන් පාලියෙන් සිංහල භාෂාවට පෙරලා ලියවා පිරිසිදු කොට ලක්දිව සැමතැන පැවැත්වූයේ
– පැරකුම්බාවන් දවසෙහි “දාඨා ධාතුචරිතා” නම් වූ ග‍්‍රන්ථයක් ස්වබුද්ධින් සිංහල භාෂාවෙන් තනා ඒ ග‍්‍රන්ථානුසාරයෙන් …. විජයබා රජු සමයෙහි අටුවා හා ටිකා සහිත උතුම් පිටකත‍්‍රය පාලිය ද ලියවා සර්වඥයන් වහන්සේගේ සාසනයට සංග‍්‍රහ කළේ ය.
– දෙවැනි රාජසිංහ රජු ශිව භක්තියට ඇලී සංඝයා මරමින් ධර්ම පුස්තක දවන්නේ ….
– වීරපරාක‍්‍රම රජු තිස් දහසක් පත‍්‍රයන් හි පොත් ලියවා හැටදහසක් පමණ ධනයෙන් ත‍්‍රිපිටකය පිදුවේ ය.
– රාජසිංහ රජු ශිව භක්තිය ගෙන බුද්ධශාසනය නසන්නේ භික්‍ෂු සංඝයා ද මරමින් පුස්තක දවන්නේ
– නරේන්ද්‍රසිංහ රජු දානාදි බොහෝ කුසල් දිනක් දිනක් පාසා කරන්නේ පුස්තකයන් ද ලියවා ශ‍්‍රී වික‍්‍රමරාජසංහ රජු නවදහස් සසියක් මිල ශ‍්‍රද්ධාවෙන් විසදා උතුම් රන් පොතක් කරවා ඒ රන් පොත්හි උතුම් දම්සක් ආදී බොහෝ සූත‍්‍රයන් ලියවා තෙමේ ධර්මකථිකයින් ලවා මුළු රැය කියවා නොයෙක් වස්තුවෙන් පුදා නොයෙක් වර උතුම් ධර්මය ඇසී ය. නරශ්‍රේෂ්ඨ තෙමේ ලියන්නන් රැුස් කරවා එකදවස්හිම දික්සඟිය ලියවා බොහෝ සංග‍්‍රහ කොට එයින් මුල් රැය මොනවට සදහම් කියවා මහපුද පවත්වා තෙමේත් අසා අනුන්ට ද ඇස්ස වී.

පොත් පූජා කිරීමේ කටයුත්ත ආනිසංස ගෙන දෙන්නා වූ පින්කමක් බව කලක සිට පිළිගෙන ඇති කි‍්‍රයාවකි. ලංකාවේ විහාරස්ථාන සතු ව ඇති බොහෝ පුස්කොළ පොත් උපාසකඋපාසිකාවන් විසින් පුදනු ලැබ ඇති ඒවා බවට සාධක ඇත. විශේෂයෙන් ම ජාතක පොත් වහන්සේ, ධම්මචක්ක සූත‍්‍රය හා සතිපට්ඨාන සූත‍්‍රය මේ අතරින් මූලික වේ. වැඩි ම ප‍්‍රතිශතය වාර්තා වන්නේ සතිපට්ඨාන සූත‍්‍ර ග‍්‍රන්ථයයි. මහනුවර ශ‍්‍රී දළදා මැදුරේ පුස්තකාලය සතු පුස්කොළ පොත් අතරින් වැඩි ම ප‍්‍රමාණයක් සතිපට්ඨාන පොත් බව පෙනේ. පොත් පමණක් නො ව පොත් ආශ‍්‍රිත සෙසු උපාංග ද පූජාකිරීමේ අනුසස් පුරාණ කඨිනානිසංසයේ සඳහන් වේ. “පොත්ගෙඩි, පොත්ලණු, පොත්සකි, පොත්පයි, පොත්පෙට්ටි, පොත්කැති, පොත් කමිල, දණ්ඩාසන, බණවසුන්, පිටාටුපෝරු, පරමදාන, දෙබලකටු, පන්සිත්, පන්සිත්කොපු…” ආදි වශයෙනි. එබදු පසුබිමක් ඇති ලංකාවේ පුස්කොළ පොත් සැලකිය යුතු ප‍්‍රමාණයක් වර්තමාන විහාරස්ථාන සතු ව ඇත්තේ ය. ඇතැම් විහාරයක් වෙනුවෙන් නාමය යෙදී ඇත්තේ ද පොත්ගුල් විහාරය වශයෙනි. මෙයින් හඟුරන්කෙත පොත්ගුල් විහාරය එකක් පමණි. එහි සැලකිය යුතු ප‍්‍රමාණයක පුස්කොළ පොත් තැන්පත් ව ඇත. ලංකාවේ මධ්‍යම පලාත, වයඹ පළාත සහ දකුණු පළාතේ විහාරස්ථාන රැසක පුස්කොළ පොත් ඇතයි කිය වේ. ඇතැම් තැනෙක පැරණි පොත් ක‍්‍රමක‍්‍රමයෙන් විනාශයට පත්වීමත් එකී එකතු තුළින් අතුරුදහන් වීමත් සිදුවෙමින් පවති. සොරසතුරන් විසින් පුරාවස්තු හැටියට විකුණනු ලබන අවස්ථාවල දි කලාතුරකින් එයින් කීපයක් හසු වූ තැන් ද ඇත මේ එක් නිදසුනකි.

මෙම ගුවන් තොටුපළේදි අත් අඩංගුවට ගෙන තියෙනවා, පුස්කොළ පොත්වල කොටස්. ඒවායේ කෑල්ලක් මෙහේ. අනෙක් කොටස ජර්මනියේ. අන්තිමට ඒවා කාටවත් නෑ.”

පුස්කොළ පොත් කොල්ලකෑමක් ගැන ඇසින් දුටු සාක්ෂිියක් මෙසේ ය.

“ශ‍්‍රී බුද්ධ වර්ෂයෙන් දෙදහස් තුන්සිය පන්සාලිස් වන වර්ෂයෙහි නවන් මාසයේදී ඉංග‍්‍රිසි ගොල්ල නුවර ආදා පෝය ගෙයි පිළිත් සමග අඩු වැඩිය දේ ඇරගෙන පොත්පයිත් පොත්ලෙන්සුත් හොරු අරගෙන ගියදා මේ පොත් වහන්සේ කෙරෙහි ගෞරවයෙනුත් ශාසනයට උපකාර පිණිස රඹුකන සොභිත උන්නාන්සේ වන මා විසින් ඇරගෙන හන්තානේ කැලේ හරහා පරවෙස්සන් කරගෙන ආවා ය. මේ පොත බලා වදාරණ කෙනෙක් මට පින් දෙනවා හොදයි ….” යනුයි.

පුස්කොළ පොත් එකතු ගැන මහාචාර්ය ඩබ්. එස්. කරුණාරත්න මෙසේ කිියා තිබේ.

“… අමුද්‍රිත පාළි, සිංහල, සංස්කෘත පොතපත ප‍්‍රකාශයට පත්කළ යුතු ය. දැනට පොත් ගුල්වල හා විහාරස්ථානවල තල්පත්වලට සීමා වී ඇති සියලූ අමුද්‍රිත, සිංහල, පාලි, සංස්කෘත පොතපත නො පමා ව ප‍්‍රකාශයට පත්කරවීමට විධිමත් පියවර ගැනීම පිණිස භික්ෂුව ඉදිරිපත් විය යුතුයි. මම ගියා දවසක් දළදා මාළිගාවට, පත්තිරිප්පුවේ පොත්පත් වැස්සට තෙමෙනවා, අව්වට වේළෙනවා. ඒවායේ බහුල වශයෙන් හිටියේ කාවෝ…. මම හොදට දන්නවා අහුමුලුවල මේවා තියෙන තැන් ඔක්කොම දියබත් වේගෙන යනවා. වටිනා පොත්පත්, පත්තිරිප්පුව ඇතුලේ පොත්පත් ටික දියබත් වෙනවා. අන්න හුඟක් තියෙනවා අස්ගිරියේ.

මෙය කලකට පෙර එතුමා දුටු දෙයකි. නමුත් මේ තත්වය දැන් වෙනස් වී ඇත. හොඳින් ආරක්ෂා වී තිබේ. පසුගිය සමයේ දළදා මාළිගයට එල්ල වූ බෝම්බ ප‍්‍රහාරයෙන් මේ පොත් එකතුවට ද බරපතල හානි සිද්ධ විය. පිළිස්සීමකට ලක් නො වූයෙන් විසිර ගිය පොත් කැඞී බිදී ගිය පොත් නැවත සකසා තබන්නට එවකට සිටි දියවඩන නිළමේවර නෙරන්ජන් විජේරත්න සහ මහනුවර රාජ්‍ය ලේඛනාගාරයේ අදාළ කාර්යය මණ්ඩලය කදිම උත්සාහයක යෙදී ඇත. එම උත්සාහය සාර්ථක බව කිව මනා ය.

පොදු වශයෙන් සලකන විට ලංකාවේ පුස්කොළ පොත් එකතු විවිධ තැන්හී ස්ථානගත ව ඇත. විහාරස්ථානවලට අතිරේක ව කොළඹ ජාතික කෞතුකාගාරය, පේරාදෙණි විශ්්වවිද්‍යාලය යන දෙකෙහි වැඩි ම පුස්කොළ පොත් එකතූන් ඇතිි බව කියැ වේ. කොළඹ ජාතික කෞතුකාගාර පුස්තකාලයේ ඇති පුස්කොළ පොත් එකතුව ක‍්‍රිස්තු වර්ෂ 1870 සමයේ සිට ආරම්භ ව ඇත. එම එකතුව සඳහා දිවයිනේ විවිධ පළාත් වලින් එතෙක් පැවැති පිටපත් හා අලුතින් ලියන ලද පිටපත් රැසක් අන්තර්ගත වේ. දැනට වසර සියය ඉක්මවා ඇති එකී පිටපත් සියල්ල ඓතිහාසික ග‍්‍රන්ථවිද්‍යාව අතිනුත්, කෞතුක වටිනාකම අතිනුත් ඉහළ අගයක් ගනි. මේ පිළිබඳ ව ඩබ්ලිව්. ඒ. සිල්වා විසින් සකසන ලද නාමාවලිය ප‍්‍රථම භාගයේ ග‍්‍රන්ථ 2,362ක් සඳහා කිිසියම් ප‍්‍රාමාණික විස්තර ඇත. පිටපත් ලබාගැනීම පිළිබඳ ඇති විස්තර අනුව එ සමයෙහි යම්යම් කරුණු දැනගැනීමට ඉඩ තිබේ. විශේෂයෙන් ම මුල් පිටපත් අයිතිකරුවන් හා පිටපත් කළ ලේඛකයින් මෙන් ම එකී ස්ථාන ද දැන ගැනීමට අවස්ථාව ලැබේ. නිදසුන් කීපයක් මෙසේ දක්වමු.

“…ගෞරවණීය එච්.සී.පී. බැල් මන්තී‍්‍රතුමාගේ සිංහල ලිපිකරුවෙකු වූ සාමියෙල් කීර්තිරත්න ගුරුන්නාන්සේ වන මා විසින් කි‍්‍රිස්තු වර්ෂ 1894ක් වූ අපේ‍්‍රල් මස4වන දින ලියා නිමකරන ලදී. අනුරාධපුරයේදී ය. හිඹුටුගොල්ලෑවේ පොතේ පිටපතයි.
“වතුරේ ධම්මරතන උන්නාන්සේ විසිිින් ලියවාපු සංයුත් සභිය….”
“තරාණතොල්ලාගම උපාසකදුරයා ලියවාපු දම්පියාවේ ගාථා පොත් වහන්සේ නිමි”
“මිරිස්සේ පදිංචි අප්පුහැන්නැදිගෙයි බබන් නොහොත් අන්ද්‍රියස් විසින් ලංකාවේ රජ්ජුරුවන් වහන්සේගේ පොත්ගුලට බාර දෙනන්නට යෙදුනා ඇත.”
“සක වර්ෂ එක්වාදහස් සත්සිය අසු තුනට ලත් සතරවරනි කකුලූ භානු සසම්ප‍්‍රාප්ත පසලොසිවැනි රිවි දින දෙබල්ගල විහාරේ විහර්ණ කරණ කපිරිග්ගම චන්ද්‍රජෝති භික්ෂුහූ විසින් නිර්වාණසම්පදාව නිසා පත්තිරු තිස්හයක රුවන් සුත‍්‍ර අර්ථ හා පද ඇණුමම ලියා ස්ථාපිත කළය….”

එකී පිටපත් තුළින් ද සම කාලීන භාෂා ව්‍යවහාරය ආදී විස්තර ද එලෙසින් පෙන්නුම් කෙරේ.

වර්තමාන ජාතික කෞතුකාගාර පුස්තකාලය ආරම්භයේ දී කොළඹ රජයේ පෙරදිග පුස්තකාලයෙහි මේ සඳහා පුස්කොළ පොත් සෙවීම පිණිස යටත් විජිත ලේකම් වරයාගේ පත්වීම අවසරය මත කටයුතු කර ඇත්තේ ලුවී ද සොයිසා මුදලිවරයා ය. ඔහු ගමින්ගමට දුෂ්කර සේ ගමන්කර දුර්ලභ ගනයේ පොත් ද සොයා ගෙන ඇත. මෙතුමාගේ අතිශය දුෂ්කර කටයුත්තේ දී මුහුණදීමට සිදු වී ඇති තත්ත්වයන් විවිධ ය. ඉන් කීපයක් මෙසේ ය.

“මුල්කිරිගල පන්සල කලකට පෙර ග‍්‍රන්ථවලට විශාල ප‍්‍රසිද්ධියක් දැරුවත් පන්සල් වලට මගේ ගමන නිරර්ථක වූයේ නැත. මා මෙතෙක් සොයා ගත් ග‍්‍රන්ථ වලින් වැදගත් ම කෘතිය මෙහි තිබිණි. එය නම් මොග්ගල්ලායන පාලි ව්‍යාකරණයට ලියු සිංහල සන්නයයි. එය මා විසින් අවසර ඇති ව ඉල්ලා ගෙනවිත්, ශ‍්‍රී පාදස්ථානයේ හික්කඩුවේ සුමංගල නාහිමියන්ට සහ බටුවන්තුඩාවේ පඬිතුමන්ට පෙන්වූයෙමි. ඒ දෙපල ම එවැනි පොතක් ඇතිබව නොදැන සිටියහ. එහි දිනයක් නැත’ කර්තෘ අඥතයි. එසේ වුවත් එය 15 වැනි සියවසට පෙර ලියන ලද්දක් විය යුතුයි.”

මෙයට හාත්පසින් ම විරුද්ධ තවත් එතුමාගේ සඳහනක්:

“23වැනි දින ගඩලාදෙණි විහාරයට ගියෙමි. එය වැලිවිට හාමුදුරුවන්ගේ පොත් තබා ඇති විශාල ම පොත්ගුල යැයි කියති. එහෙත් එහි සිටියේ ද අර මල්වත්තේදි හමු වූ වැලිවිට භික්‍ෂුව ම බැවින් මට දුන්නේ පොත් 34ක් පමණි. ඒවා හැම තැන ම දකින්නට ඇති පොත් ය. 24දින මම ලංකාතිලක පංසලට ගියෙමි. එහි අධිපති අමුණුගම හාමුදුරුවෝ පොත් කිහිපයක් පමණක් මට පෙන්වූහ. වෙනත් කෘති නැතැයි කීහ. එහෙත් එතන ද විශාල පොත්ගුලක් ඇතැයි මට කීහ. එදින සවස අඟුණාවල පංසලට ගියත් එහි දුර්ලභ පොත් තිබුණේ නැත. 6වැනි දා මම මහනුවරදී ආණ්ඩුකාරතුමා සහ ඔබතුමා හමුවීමට සිටියේ මල්වත්තේ, ගඩලාදෙණියේ හා ලංකාතිලකයේ පන්සල්වල හාමුදුරුවරු පොත් මට නොපෙන් වූ බව දන්වා සිටිමටයි.

ලූවී ද සොයිසා තම වාර්තාවේ මෙසේ ද සඳහන් කරයි.

“27 මම හාරිස්පත්තුවේ පන්සල් බලන්නට ගියෙමි. 28 කටාරංගල පන්සලට ද ගියෙමි. එහි පැරණි සංස්කෘත ග‍්‍රන්ථ ඇතැයි කී නමුත් මට හමු වූයේ අමරකෝෂය සිංහල අකුරින් ලියා සන්නයක් සහ වෙස්සන්තර හා විධුර ජාතක සන්නයත් පමණි. ඒවා පිටපත් කරගන්නටයයි නාහිමියන් මට භාර දුන්හ. 29වන දා මැදවල පන්සලට ගිය අවස්ථාවෙහි හාමුදුරුවන් කීවේ එහි තිබුණ විශාල පොත්ගුල බි‍්‍රතාන්‍ය හමුදාව විසින් 1817දී මුළුමනින් ම විනාශ කළ බවයි.

පාදක සටහන් හා අන්ත ලිපි

  • ආනන්ද කුලසූරිය (1996), පුස්කොළ පොත් හා ලේඛන කලාව, සංස්කෘතික පුරාණය, 2වන වෙළුම, 1 කලාපය, සංස්. ටි. ජී. කුලතුංග, කොළඹ, මධ්‍යම සංස්කෘතික අරමුදල.
  • අරිසෙන් අහුබුදු (2000) අරුත නිරුත, කොළඹ, සදීපා.
  • පී. ඊ. ඊ. ප‍්‍රනාන්දු (1997) පැරණිම සිංහල පුස්කොළ පොත්, පුරා විද්‍යා, සංස්. සිරිසමන් විජේතුංග, කොළඹ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව.
  • සී. එම්. ඔස්ටීන් ද සිල්වා (1969), පැරණි ලංකාවේ ග‍්‍රන්ථ නිෂ්පාදනය, අධ්‍යාපන සියවස ප‍්‍රකාශනය 1, කොළඹ, අධ්‍යාපන දෙපාර්තමේන්තුව.
  • කේ. ඩි. විමලරත්න (1989) පුස්තකාල ද්‍රව්‍ය සංරක්ෂණය හා ප‍්‍රතිසංස්කරණය, කොළඹ, ජාතික කෞතුකාගාරය.
  • ඌණපූරණසහිතො මහාවංසො (1959) සංස්. පොල්වත්තේ බුද්ධදත්ත හිමි, කොළඹ, ගුණසේන පොත් සමාගම.
  • සිංහල මහාවංසය (1963) ද්විතීය භාගය, සංස්. සුමංගල හිමි සහ බටුවන්තුඩාවෙි ප`ඩිතුමන්, කොළඹ, රත්නාකර.
  • ශ‍්‍රී දළදා මාළිගාවේ පුස්තකාලයීය පොත් නාම ලේඛනය, මහනුවර, රාජ්‍ය ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව. (අමුද්‍රිත)
  • කඨිනානිංසස විස්තර සහිත කඨින වංශය (1994) ශ‍්‍රී පඤ්ඤාසාර හිමි, කොළඹ, සත්වැනි මුද්‍රණය, කොළඹ, ගුණසේන.
  • සමන්ත ගුණසේකර (2005) සිංහල බෞද්ධයා. 2005 පෙබරවාරි
  • ඩබ්. එස්. කරුණාරත්න (1996) භික්ෂුවගේ උරුමය හා කාර්යයභාරය, දෙහිවල, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • තිස්ස කාරියවසම් (1994) නූතන ලංකාවේ පැරණිතම පුස්තකාලයක වර්ධනය, විමල් අභයසුන්දර සම්ප‍්‍රදානය, සංස්. අමර හේවා මද්දුම සහ තවත් අය, කොළඹ, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව.
  • W.a. De Silva (1938) Cataloghe of Ola Manuscripts in the Library fo the Colombo Museum,vol.1, Colombo, Ceylon Government press.

1 COMMENT

  1. Today there is a controversy over the place of birth of Lord Buddha. Recently excavations have been found and concrete evidence has been
    found by archaeologists and veterans on the subject .May I know the actual truth.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.