චන්දිම බණ්ඩාර අඹන්වල

සහකාර කථිකාචාර්ය, පුරාවිද්‍යා අධ්‍යයන අංශය, පේරාදෙණි විශ්වවිද්‍යාලය, පේරාදෙණිය.

පැරණි රජවරුන්ගේ සිත් සතන්හි ජනිත වී, කවුරුන් ද කියා නොදන්නා, සුවහසක් පැරණි හෙළ ඉංජිනේරුවන්ගේ බුද්ධි මහිමයෙන් ලක්බිමට දායාද වූ පැරණි වැව් නිරන්තරයෙන් ම නූතන මිනිසාගේ ප‍්‍රයෝජනය සදහා මහ වන තුළින් හමු වී පිළිසකර කෙරේ. එය එසේ සිදු විය යුතු ය. නූතන දියුණු තාක්‍ෂණය ඉදිරියේ ද පැරණි වාපී කර්මාන්තයේ උත්තරීතර බවත් ඒවා කළ ඉංජිනේරුවන්ගේ බුද්ධි මහිමයත් නො සැලී තිබේ. ඒ ක‍්‍රම සහ විධි යල් පැන ගිය ඒවා බවට පත් නොවේ. ඒ වැව් අමුණු යළි පිළිසකර කරමින් වර්තමානිකයෝ ඉපැරණි විස්කම් දස්කම් දැක් වූ බුද්ධිමතුන්ට සිය උපහාරය පුදති. ලංකාවේ ශ‍්‍රී විභූතියට උත්තමාචාර දැක්වීමට ඇත්තේ මීට වඩා කුමණ මඟක් ද?

(බ්‍රෝහියර් 1999:156)

පිවිසුම
ජලය මිනිසා සම්බන්ධයෙන් පමණක් නොව මිහිපිට වසන සෑම ජීවි කොටසක් සමඟ ම අත්‍යයන්තයෙන් සබැඳි සම්පතකි. ආහාර, ඇදුම්පැළැදුම් පසෙක තිබිය දී ජලයෙන් තොර ජීවියෙකු පිළිබද ව සිතා ගැනීමටත් අපහසු ය. ජලයේ පවත්නා සාපේක්‍ෂ වටිනාකම කෙතෙක් ද යත් මිනිස් ශරිරයේ සෛලයන්ගෙන් සියයට 90ක් පමණ සමන්විත වන්නේ ජලයෙනි. වසර දහස් ගණනක අතීතයකට දිවයන ලාංකේය ශිෂ්ටාචාරයේ පදනම ජලය වශයෙන් හැදින් වුව ද එය වැරැදි නොවේ. අහසින් වැටෙන මෙන් ම ඇලදොළ ගංගා ලෙස ගලා යන ජලය මනාව පාලනය කරමින් එය සකල සත්ත්ව වර්ගයාගේ ම යහපත උදෙසා භාවිත කිරීමේ ශිල්ප ක‍්‍රමය ලාංකිකයා අද්විතිය තැනැකට ඔසවා තැබීමට සමත් විය. එබැවින් යුප‍්‍රටීස්-ටයිග‍්‍රීස්, නයිල් ආදී ශිෂ්ටාචාර සමග සසදන විට ස්වභාව ධර්මයට යටත් නොවී ස්වාධීන ව, එහෙත් ස්වභාව ධර්මය සමග සහයෝගිතාත්මක ස්වරූපයෙන් තම ජාතික ජීවනය සකසා ගැනීමට ස්වදේශිකයනට හැකි විය. එබැවින්, මානව සංගතියේ සාමාජිකයන් වශයෙන් ස්වදේශිකයන් ලබා ගත් විශිෂ්ටතර ඵලාගමයක් වූ වාරි තාක්‍ෂණය හා ඒ හා බැදි අංග කීපයක් පිළිබද ව මූලික අවධානයක් යොමු කිරීමට මෙම ලිපියෙන් උත්සහ කෙරේ. තත් තාක්‍ෂණය අරඹයා පළමු අවධානය යොමු කිරීමට මෙම ලිපියෙන් උත්සහ කරන අතර අනතුරු ව ඒ හා සබැඳි, එහි චිරජීවනය ස්ථාවර කළ තාක්‍ෂණික අංග කෙරෙහිත් අවධානය යොමු වෙයි. විය යුතු පරිදි ම තත් විෂය පරාසය කෙරෙහි අප සිත් නවතම දෘෂ්ටියකින් යුක්ත ව යොමු කළ පේරාදෙණි සරසවියේ භූ විද්‍යා අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය චන්ද්‍රා ජයසේන මහතාට නොවක් තුති පිරිණැමේ.

Rajatarangini-Kalhana-Kashmire-Cronicle
කල්හාන විසින් රචිත රාජතරංගණි (මෙම ඡායාරූපය http://www.indianetzone.com වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි.)

ශ‍්‍රී ලංකාවේ වාරි සංස්කෘතිය
සම්ප‍්‍රදායික වංසකතාවලට අනුව, ලංකාවේ ජනාවාසකරණය ක‍්‍රිස්තු පූර්ව 6 වැනි සියවසේ දී පමණ සිදු වූවකි (මහාවංශය 7 පරි. 43-45 ගාථා). වංග දේශයේ සිට නාවික මාර්ගයෙන් දිවයිනට ආගමනය වූ විජය හා පිරිසත් ඔවුන්ගේ සංස්කෘතියත් ආශ‍්‍රයෙන් ලංකාවේ තාක්‍ෂණය සංස්කෘතිය ආදියත් හැඩ ගැසුණූ බව එම මූලාශ‍්‍ර තව දුරටත් පෙන්වා දෙයි. එහෙත් වාරී තාක්‍ෂණය පිළිබද ව විමසා බැලීමේ දී භාරතයෙන් එම තාක්‍ෂණය හෝ ශීල්ප ක‍්‍රමය දිවයිනට ආගමනය වූවා ද? යන කරුණ ප‍්‍රශ්න කිරීමට ප‍්‍රබල වශයෙන් හේතුවන කරුණක් නම් සම කාලීන හෝ පසු කාලීන භාරතයේ ලංකාව අභිබවා යන හෝ ඊට සමාන හෝ වාරි සංස්කෘතියක් හදුනා ගැනීමට නොහැකි වීමයි. වාරී නිර්මාණ කටයුතු සම්බන්ධයෙන් දිවයිනට කලාපීය වශයෙන් ද විශේෂ ප‍්‍රාගූණ්‍යතාවක් තිබූ බව කාශ්මීරයේ කාර්කොත පෙළපතේ බප්පිය රජුගේ බාල ම පුත් ජයාපිඩ රජු විසින් තම වාරි කර්මාන්ත සඳහා ලංකා රජු වෙතින් රාක්‍ෂෂයන් පස් දෙනෙකු ගෙන්වා ගත් බවට ලිඛිත සාධක හමුවීමෙන් විෂධ කරයි (Kalhana’s Rajatarangini 1961:167). නූතන පුරාවිද්‍යාත්මක අධ්‍යයන මඟින් පැහැදිළි වන්නේ නිශ්චිත ව ම විජයාගමනයට පූර්වයෙන් දිවියින් වාසීන් වූ ප්‍රොටෝ ජන සමාජ වැසියන් ගම්වැව් පදනම් කර ගනිමින් තම වාසස්ථාන ඇති කොට ගෙන සිටි බවයි. ඒ අනුව කාබන් 14 ආදී කාලනීර්ණ ක‍්‍රම අනුව ක‍්‍රි.පූ. 7/8 සියවස්වලට කාලනීර්ණය වී පවත්නා ඉබ්බන්කටුව පුරාවිද්‍යා ස්ථානය ආසන්නයේ ඉබ්බන්කටුව වැව ද යාපහුව පිංවැව ගල්සොහොන්කනත්ත ආසන්නයේ පිංවැව ද ස්ථාන ගත වීම මෙම තත්ත්වය පැහැදිළි කරයි (Seneviratna 1984). මෙම තත්ත්වයන්ගෙන් ඔබ්බට ප‍්‍රාග් ඓතිහාසික මෙසෝලිතික මානවයා පිළිබද ව අවධානය යොමු කිරීමේ දීත් එම මානවයා ද ජලය මුල් කොටගෙන තම දිවිපැවැත්ම හැඩ ගස්වා ගත් බව පැහැදිළි වේ. මෙම තත්ත්වය විශේෂයෙන් සබරගමුව, රත්නපුර, පැල්මඩුල්ල ආදි ස්ථාන වල සිදුකළ පුරාවිද්‍යාත්මක පර්යේෂණ මඟින් ද සනාථ වේ.

පූර්ව බ‍්‍රාහ්මි සමාජයේ වැව
ක‍්‍රිස්තු පූර්ව 3 සියවසේ සිට ක‍්‍රිස්තු වර්ෂ 1 සියවස අතර කාලයට පමණ අයත් පූර්ව බ‍්‍රාහ්මී සෙල්ලිපි මඟින් ද වැව් පිළිබදව නියත සාධක ඉදිරිපත් වීම වැදැගත් සිද්ධියකි. මෙම යුගය වන විට ලක්දිව වැව් හා වාරි කර්ම ආරම්භ ව තිබුණු බව එම පැරණිත ම සෙල් ලිපි මඟින් පැහැදිළි වන අතර ම ඒ පිළිබඳ ව අදහස් දක්වන මහාචාර්ය සෙනරත් පරණවිතාන, අප කතා කරන සෙල්ලිපි අයත් යුගය වන විටත් (එනම් ක‍්‍රි. පූ. තෙවන සියවස හා ක‍්‍රි. ව. පළමු වන සියවස අතර කාලය) ලංකාවේ මිනිසුන් පසු කාලින ව උසස් තත්ත්වයකට ලඟා වූ වාරි කර්මාන්ත නිර්මාණය ආරම්භ කොට තිබූ බව පෙන්වා දෙයි (1970:c). වැව් නිර්මාණය පිළිබඳ ව සලකා බලන විට හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ මණ්ඩාගල ස්ථානයෙන් හමු වන ලිපියක දාරක තිස්සා විසින් පුදකළ ලෙණක් හා මරගම නමැති වැවක් පිළිබඳ ව [576 – අංකනය, සෙනරත් පරණවිතාන මහතාගේ Inscriptions of Ceylon Vil. I ග‍්‍රන්ථයේ යෙදෙන අනුපිළිවෙලිනි.] තොරතුරු ලැබේ (Paranavitana 1970:44). එමෙන් ම, වැව් පරිත්‍යාග පිළිබඳ අවධානය යොමු කිරීමේ දී පුත්තලම දිස්ත‍්‍රික්කයේ තෝණිගල පර්වත ලිපි දෙකෙහි [1051, 1052] සංඝයා වෙත පිරිණැමූ පරුමක තිසට අයත් වැවක් පිළිබඳ විස්තර අන්තර් ගත වේ (Ibid:44).

වැව් හා අත්‍යන්තයෙන් ම සම්බන්ධ ඇළවල් පිළිබඳ සාධක ද තත් ලිපි මඟින් ඉදිරිපත් වේ. සංස්කෘතයේ ආලි ලෙසින් ද පෙළ බසෙහි ආළි වශයෙන් ද හෙළයේ ඇළ ලෙසින් ද යෙදෙන වත්මන් ඇළ යන්න සම කාලීන ව අඩි යන යෙදුමින් හඳුන්වා ඇති බව (Ibid: 101) පරණවිතානගේ සෙල්ලිපි අරුත් ගැන්විම් අනුව පෙනී යන අතර ත‍්‍රිකුණාමලේ දිස්ත‍්‍රික්කයේ නාච්චියාර්මෙලෙ ලිපියේ [379] අඹගමහි පිහිටි නකදක නම් ඇළක් හා මාතලේ දිස්ත‍්‍රික්කයේ අලූවිහාරයේ ලිපියක ඇළක් පිළිබඳ ව ද තොරතුරු අන්තර් ගත වේ. එමෙන් ම මාතලේ දිස්ත‍්‍රික්කයේ දඹුල්ල ස්ථානයේ හමු වන ලිපියක [846] යෙදෙන අනණික යන යෙදුම පරණවිතාන ජල සම්පාදනය පිළිබඳ ප‍්‍රවීනයෙක් (Ibid: 102) වශයෙන් හඳුනා ගන්නා අතර ඒ අනුව එම ලිපියෙන් වාරිමාර්ග නිළධාරි තිස්ස නම් පුද්ගලයා හඳුනා ගැනීමට හැකියාව ලැබේ. ඒ හා සමානව ම කෑගල්ල දිස්ත‍්‍රික්කයේ මාම්පිට විහාර ලිපියක [791] යෙදෙන අඩිකය යන්න පරණවිතාන ඇළමාර්ග භාරකරු හෙවත් රැකවලෙකු(Ibid: 101) වශයෙන් හඳුනා ගන්නා අතර ඒ අනුව එම ලිපියෙන් ඇළ මාර්ග භාරකාර උතර පිළිබඳ දත්ත ඉදිරිපත් වේ.

අපර බ‍්‍රාහ්මී යුගයට අයත් ලිපි පිළිබඳ ව අවධානය යොමු කිරිමේ දී වැව් පරිත්‍යාග පිළිබඳ සාධක සාපේක්‍ෂක ව බහුල බව පෙනී යන අතර ම ඒවා වැඩි ප‍්‍රමාණයක් වත්මන් වයඹ පළාතේ කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ස්ථාන ගත වන බවත් හඳුනා ගත හැකි ය. එම කාලයට අයත් කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ඉරියාව [1225] ලිපියේ පරුමක හදන විසින් දිපිගල්ල විහාරයට පුද කළ වැවක් පිළිබඳ ව කරුණු ඉදිරිපත් වේ (Ibid: 99). එම දිස්ත‍්‍රික්කයේ ම, ගල්ගමුවෙන් හමුවන ලිපියක [1216] රජ අබය විසින් සිදු කළ වැව් පරිත්‍යාගයක් පිළිබඳ ව ද, කොතළකිඹියාවෙන් හමු වන ලිපියක [1197] දකබරි ගමෙහි වැවෙන් උපාසක දතට අයත් කොටස් පරිත්‍යාගයක් පිළිබඳ ව ද, හලඹගල ලිිපියක [1228] උතර නම් වැවක් හා තිස තෙරගේ ජල පිටවානක් පිළිබඳ සාධක ද ගනේකන්ද විහාරයේ [1199] කම්කරුවන් සඳහා නව ලක්‍ෂයක් දීමෙන් සකස් කළ අමුණක් පිළිබඳ ව ද ගල්ලෙන විහාර ලිපියක [1215] අබ නම් ඇළෙහි වේල්ල සමීපයෙහි ඉඩම් කොටසක් පිළිබඳ ව ද තොරතුරු ඉදිරිපත් වෙයි.

Senarath Paranavitana-Handagala Vihara-Early Brahmic Inscription-Sri Lanka-Epigraphy
කුරුණෑගල, ගනේකන්ද විහාරයේ පූර්ව බ්‍රාහ්මි සෙල්ලිපිය (උපුටා ගැනීම : S. Paranavitana, (1970), Inscriptions of Ceylon, Vol. I, Department of Archaeology, Ceylon.)

බ‍්‍රාහ්මි සෙල්ලිපිවල යෙදෙන වපිහමික යන වදනින් වැව් හිමිකරුවන් පිළිබඳ ව ඉදිරිපත් වන බව (Ibid: 121) අදහස් කරන අතර ඒ අනුව අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ හදගල හමුවන ලිපිද්වයක අනුලපි නම් වැවේ හිමිකාර පරුමක මහ වබලිය [1130] හා නකදපික වැවේ හිමිකාර පරුමක දිගදත පිළිබඳවත් අවුකන ලිපියක [1151] කඩපි වැවේ හිමිකාර පරුමක උවහජනක හා කුරුගොන්කන්ද ලිපියේ [1200] ගොකනගමක වැවේ හිමිකාර පරුමක තිස පිළිබඳවත් හදගල අපර බ‍්‍රාග්මී ලිපියක [1129] නක නගරයේ වැවේ හිමිකාර උපසක දත පිළිබඳවත් කුරුණැගල දිස්ත‍්‍රික්කයේ තෝරවමයිලෑව ලිපිද්වයක [1217, 1218] පුනපිටික වැවේ භාරකාර උපසක විනු පිළිබඳවත් අනුරාධපුර ගල්ගේ ලිපියක [1122] කඩහලක වැවේ හිමිකරු පිළිබඳවත් කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ සැස්සේරුව ස්ථානයේ ලිපියක [1210] යවවවික වැවේ හිමිකාර චූල හුමන පිළිබඳවත් නැවැත වරක් අනුරාධපුර දිසුත‍්‍රික්කයේ අවුකන ලිපියක [1150] දිනහ වැව පිළිබඳවත් තොරතුරු ඉදිරිපත් වෙයි. මෙම කරුණු පිළිබඳ ව අවධානය යොමු කරන විට පුර්ව බ‍්‍රාහ්මී යුගයේ වැව හා ඒ හා සම්බන්ධ අවශේෂ සියල්ල වැදැගත් සමාජ ප‍්‍රපංච වශයෙන් ක‍්‍රියාත්මක ව පැවැති බවට නො බිදිය හැකි සාධක ඉදිරිපත් වෙයි.

සාහිත්‍යාගත සාධක
මහාවංසය පිළිබඳ ව අවධානය යොමු කරන විට එහි ආදීතම යුගය පිළිබඳ සිදු කරන විස්තරයන්හී දි විවිධ ස්ථානවල එවක වැව් පැවැති බව හෙළි වෙයි. විජයාගමනය හා සම්බන්ධ කතා පුවත දක්වීමේදි ‘ඒ අනුරාධ තොමෝ දකුණු දිගින් වැවක් කරවීය. (මහාවංශය 9 පරි. 11 ගාථාව)’ යනුවෙන් දක්වන අතර ඒ අනුව ලක්දිව ප‍්‍රථම වැව අනුරාධ සෙනෙවියා විසින් කරවූවකි. පණ්ඩුකාභය කථාව දක්වන අවස්ථාව අතරතුර ගිරිකණ්ඩ සිව නම් බිරින්ද පියහුද නො මරවා ගල්කඬ රටම ඔහුට දුන්නේ් ය. ඒ විල ද කණවා බොහෝ දිය ඇති කළේ ය. ජය ලත් කළ දිය නෑ හෙයින් ජය වැව නම් වී. නුවරට නැ‍ෙඟෙනහිර කාළ වේල යක්‍ෂයා පිහිට වී හෝ කාළ වේල යකු දෙවොල ඉදි කළේ ය. ඒ චිත‍්‍රරාජ යකු අභයවාපි යට භාගයෙහි වාසය කර වී(එම 10පරි. 84 ගාථාව)’ යනුවෙන් වැව් හා ඒවායේ සංඥා නාම සහිත ව කරුණු ඉදිරිපත් කර ඇත් බව පෙනී යයි. එලෙස ම රෙහෙර අමුණ සමීපයෙහි කොළඹාලක විහාරය ද (එම 21පරි. 5,6 ගාථා) යනුවෙන් හා දේවානම්පියතිස්ස කතා ඉදිරිපත් කරන අවස්ථාවේ දී වලස් වැව කරවන එම යුව රජ හට විෂයෙන් යෙදූ අඹයක් අඹ මතුයෙහි තබා යැව්වාය(එම 22 පරි.4 ගාථාව) ආදී වශයෙන් විවිධ තොරතුරු ඉදිරිපත් වෙයි. එෆ්. ආර්. ඕල්චින්ට අනුව දකුණු ආසියානු කලාපයේ උජ්ජෙයිනි පුරයට දකුණීන් පිහිටි විශාලතම පෞරාණික නගරය වන අනුරාධපුරයේ වර්ධනය පිළිබද ව අදහස් දක්වන ආචාර්ය, රෝලන්ඞ් සිල්වා දක්වන්නේ අනුරාධපුර නගරය ආරම්භයේ අභයවාපී, ගාමණීවාපී, තිස්සවාපී, නුවර වැව හා පුලියන්කුලම යන මූලික ගම් වැව් 5කින් සමන්විත වූ බවයි (2000:49). ක‍්‍රිස්තු වර්ෂ 2 සියවස පමණ වන විට රජ රටෙහි වැව් වර්ග 3ක් වූ බව හඳුනා ගත හැකි ය. ගමික වැව (ගම් වැව්), දන වැව (විශාල වැවකින් ජලය ලබා ගෙන අවශ්‍යතා අනුව බෙදා හරින වැව් හෙවත් පෝෂක වැව්), මහවැව් (විශාල වැව්) වශයෙනි(සෙනෙවිරත්න 2001:103). ‘මධ්‍යම ඉතිහාස අවධිය පමණ වන විට වැව හා ගම සමඟ ජනතාව බෙදා වෙන්කළ නොහැකි මට්ටමට ශිෂ්ටාචාර ගත වී පැවැතිණ. පිහිටීම අතින් ගත් කළ වියළි කලාපීය ගම්මාන බොහෝ විට වැවක් කේන්ද්‍ර කරගත්, වගා ප‍්‍රදේශය පරිශ‍්‍රය කරගත්, හේන්, කුඹුරු, ගම්මැද්ද සහ කැළෑව හා සම්බන්ධ වූ ගම් ඒකක වේ. බොහෝ විට මේ ගම් හැඳින්වීම සඳහා වැවේ නම යොදා ගැණුනි. මෙම ගම්මානවල කෘෂිකාර්මික වගා කටයුතු මූලික වශයෙන් වාරි ජලය හා සම්බන්ධිත වැව් පද්ධතියට අනුව සකස් වූ හෙයින් වැවේ නමින් ම හැඳින්වීම සාධාරණය. සියඹලාවැව, දිඹුල්වැව, හැළඹවැව, දොඹවැව ඇහැටුවැව ආදී නම්වලින් නිතැතින්ම එම ගම ප‍්‍රකට විය (හේරත් 1998:199).’

ශ‍්‍රී ලංකාවේ වාරි සංස්කෘතිය සදහා බලපෑ සාධක
ආර්යයෝ තම ජානපදික ලක්‍ෂණ පිළිබිඹු කරමින් ලංකාවේ ගංගාවන්ගේ අතු ගංගා ආශ‍්‍රිත ව තම ජනාවාස සකස් කරගත් බව මල්වතුඔය, දැදුරු ඔය ආදියේ අතු ගංගා ආශ‍්‍රිත ව කෙරී ඇති පුරාවිද්‍යාත්මක පරීක්‍ෂණ වලින් හෙළි වෙයි. වැඩි වන ජනගහනයත් ඔවුන් පෝෂණය කිරීම හා එම ජනතාවගේ අවශ්‍යතා සැපිරීමත් උදෙසා වඩා වැඩි ආකර්ශණීය කලාපයන්ගෙන් ඔබ්බට තම ජනාවාස හා ගොවිබිම් ව්‍යාප්ත කිරීමට සිදු විය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ශුෂ්ක හා අභ්‍යත්තරික කලාප වෙත ජන සංක‍්‍රමණ කැපී පෙනේ. මුල් කාලීන ව වසරකට එක් කාලසීමාවක දී පමණක් ඇදහැලෙන වර්ෂාව මඟින් තම කෘෂිකාර්මික අවශ්‍යතා සපුරා ගැනීමට සිදු විය. වසරේ එක් කළෙක අධි ගනත්වයකින් ඇදහැලෙන වැසි වතුර, වතුර හිඟ කාලයන් සදහා රැස් කර තබා ගැනීම සදහා උපක‍්‍රම අවශ්‍ය විය. එම අවශ්‍යතාව සම්පූර්ණ කර ගැනීම සඳහා වාරික‍්‍රමයක අවශ්‍යතාව ඉස්මතු වූ අතර එහි ක‍්‍රමික වර්ධනය වාරී සංස්කෘතියක් ජනිත වීමට හේතුකාරක විය. බෞද්ධාගමේ හරයනට අනුව කෘෂිකර්මය ධාර්මික, සමාජ අනුගත ජීවනෝපාය වශයෙන් හඳුනා ගැනීම ජනප‍්‍රිය වීමත් සමඟ ම වාරී ක‍්‍රමයකට අවශ්‍ය සමාජ පසුතලය ද නිතැතින් ම සකස් වන්නට ඇත.

වාරි තාක්‍ෂණය හා එහි තිරසාරත්වය උදෙසා බලපාන ලද තාක්‍ෂණික සාධක
යම් කාර්යයන් ඉටු කර ගැනීම හෝ පහසු කර ගැනීම සදහා මානවයා තම මනස වෙහෙසවා බාහිර ද්‍රව්‍යයක උපකාර සහිත ව යම් උපක‍්‍රමයක් යොදයි නම් එය තාක්‍ෂණය යනුවෙන් සරළ අර්ථයන් ගත හැකි ය. යමෙක් තම ශාරීරික අංගෝපාංග පමණක් උපකාරයෙන් ගසක ගෙඩියක් කැඞීමට අපහසු විටෙක ඒ සදහා තම මනස මෙහෙයවා ලි දඩුවක් භාවිත කරමින් එම ගෙඩිය කැඞීම තාක්‍ෂණය භාවිතය සදහා සරළ උදාහරණයකි. ඒ අනුව, ද්‍රව්‍යාත්මක වශයෙන් සලකා බලන විට මානවයා තම පරිණාමීය ගමන් මෙඟ් දී පාෂාණ, තඹ, යකඩ, පරමාණු, චන්ද්‍රිකා ආදී විවිධ තාක්‍ෂණික ක‍්‍රම භාවිතා කර හා කරමින් සිටී. තිරසාරාත්මක සංවර්ධනය කෝ්ණයෙන් මෙන් ම පරිසර විද්‍යාත්මක දෘෂ්ටියකින් යුක්ත ව එවැනි විවිධ තාක්‍ෂණික උපක‍්‍රම දෙස බලන විට වැව් තාක්‍ෂණය වසර 1,400ක පමණ කාලයක් ස්ථාවරත්වයකට පත් ව ඇති අතර අභියෝග සාර්ථක ව ජයග‍්‍රහණය කිරීමට ද සමත් ව ඇත. මෙලෙස වැව් තාක්‍ෂණයේ තිරසර බව උදෙසා මානවයා විසින් එයට ලබා දුන් තාක්‍ෂණික කරුණු රාශියක් ඉවහල් වී ඇත. ඒවා 1. නිර්මාණාත්මක තාක්‍ෂණික කරුණු හා 2. ඉංජිනේරු විද්‍යාත්මක කරුණු වශයෙන් වර්ග කර හදුනා ගත හැකි ය.

පළමු ව, මෙයින් නිර්මාණාත්මක තාක්‍ෂණික කරුණු කෙරෙහි අවධානය යොමු කරමු. ශ‍්‍රී ලංකාවේ බොහෝ වාපීකර්මාන්තයන්ගේ ස්ථාන ගත වීම පිළිබඳ ව අවධානය යොමු කරන විට ඒවා ඊට ම ආවේනික, උචිත භූගෝලීය ස්ථානයන්ගේ ස්ථාන ගත කර තිබීම කැපී පෙනේ. පුරාණ වාරී තාක්‍ෂණික ශීල්පීන් කවරාකාර හෝ විවිධ භූ කාරක හේතූන් මත වැව් නිර්මාණයට යෝග්‍ය සේ නිර්මාණය වූ අවපාතයන් හදුනා ගෙන සවිඤ්ඤාණික ව ඒවා ඔස්සේ තම වාරි කර්මාන්ත ඉදි කර ඇති බව පෙනී යයි. මෙම හඳුනා ගැනීම සදහා බෝහෝ විට ඒ වනවිටත් ස්වභාවික විල් හෝ පතස් වශයෙන් පැවැති ස්ථාන ම යොදා ගැනීම අදාළ වාරී කර්මාන්තයන් ස්ථාපිත වීම සදහා වැදැගත් වන්නට ඇත. වංශකතා මූලාශ‍්‍රයන් හී හා ජනප‍්‍රවාද ගත ව පවත්නා යම් යම් වැව් නිර්මාණ සදහා පාදක වූ ස්වභාවික ව නිර්මාණය වූ ජල තටාක පිළිබද කථා මෙම වංශකතාකරුවන් හෝ ජනකතාකරුවන් වටහා ගත් ආකාරය විය යුතු ය. (කලා වැව නිර්මාණය වීම සම්බන්ධ ව පවත්නා රසවත් මෙන් ම දුක්බර කථාව මෙය විෂධ කරවන කදිම අවස්ථාවකි).

අප දන්නා පරිදි ම වාරි කර්මාන්තයන් හී දී බොහෝ දුරට ජල ප‍්‍රභවයක් හෝ මාතිකාවක් කදු දෙකක් අතරින් ගලා යන නිම්ණ අවස්ථාවක දී බැම්ම සදහා පටු ම ස්ථානය තෝරා ගැනීමත් එම බැම්ම බොහෝ විට මව් පාෂාණය මත නිර්මාණය වී තිබෙන අතර ම එය ප‍්‍රමාණවත් අන්දමින් ඝණ ව කාවැද්දීමත් වැදැගත් තාක්‍ෂණික උපක‍්‍රමයකි. කලා වැව අධ්‍යයනය කළ විශේෂඥයින් පෙන්වා දෙන්නේ කලා වැවේ බැම්ම බිදී ගිය ස්ථානයේ බැම්ම පිහිටුවා තිබෙන්නේ එහි පිහිටි පාෂාණයේ බවත් බැම්ම එම පිහිටි පර්වතයට ප‍්‍රමාණවත් අන්දමින් කාවද්දා නොමැති වීමෙන් මෙසේ බිදී ගිය බවත් ය (බෝහියර් 1999:93). පිහිටි පාෂාණය පොළොව මතුපිටට ආසන්න නොවන අවස්ථාවක දී වැව් බැම්මට යාවෙන පාෂාණ තට්ටුවක් වශයෙන් ඇතිරීම මඟින් අදාළ වාරී කර්මාන්තයේ චිරස්ථිතිය ලඟා කිරීමට තාක්‍ෂණික ශීල්පීන් උත්සුක විය. කන්තලේ වැව පිළිබද ව සිංහලේ රජු හා ලංදේසීන් අතර ඇති වූ ගිවිසුමකින් පසු ව ජොහාන් ෆර්න්බවර් නම් ඉංජිනේරුවා විසින් ඉදිරිපත් කළ ලේඛනයේ තත් තාක්‍ෂණීක උපක‍්‍රමය පිළිබද ව කරුණුත් ඒ පිළිබද ව තම විශ්මයත් දක්වන බව සඳහන් වෙයි (එම 117). 1970 දශකයේ මුල් භාගයේ මාදුරුඔය ජලාශය ඉඳිකරන අවස්ථාවේ කැනේඩියානු ඉංජිනේරුවන් පිරිසක් තම දියුණු මිණුම් උපකරණ උපකාරයෙන් නව වාරි කර්මාන්ත සඳහා සොරෝව්, බිසෝකොටු, ඇළ මාර්ග සළකුණු කළ අතර මෙහි දී විශ්මය ජනක කරුණත් අණාවරණය විය. පුරාණ ශීල්පීන් තම තාක්‍ෂණික දැනුම හා උපකරණ භාවිතයේ බුහුටි බව විෂධ කරමින් නූතන ක‍්‍රම මඟින් නිර්ණය කළ ස්ථානයට අනුගත වන අයුරින් ම පුරාණ සොරොව්ව අනුගත කර තිබූ බවයි. ඒ අනුව පුරාණ තාක්‍ෂණික ශිල්පීන් භූමිය පිළිබඳ ව මනා අවබෝධයකින් හා උපකරණ භාවිතයේ හසලත්වයකින් යුක්ත ව තම කාර්ය සාධනය කළ බව පැහැදිළි වෙයි. වසර දහස් ගණනක් පැවැතීමට තරම් සවිශක්තිමත් වූ වැව් බැම්ම ස්ථාපිත කළේ කෙසේ ද? යන්න විමසා බැලීමේ දී තවත් වැදැගත් සරළ තාක්‍ෂණික කරුණක් අණාවරණය වේ. එනම්, වත්මන මෙන් සිමෙන්ති හෝ වෙනත් සංකීර්ණ ඇලවුම්කාරක නොමැති ව පස් පමණක් උපකාරයෙන් එම කාර්යය කරයි. මුඛ පරම්පරාගත කථාවලින් පැවැසෙන ආකාරයට එසේ බැම්මට දැමූ පස් තද වීම සදහා ඒ මතින් එළු, ගව වැනි කුඩා කුර සහිත සතුන් ඔබ මොඹ දැක් වූ බව විශ්වාස කරයි. එමඟින් බැම්මට මිනිස් ශ‍්‍රමයෙන් ඇද හැලෙන පස් වඩා ස්ථාවර ලෙසත් යෝග්‍ය සවිවරතාවක් ලැබෙන සේත් ස්ථාපිත විය. මෙම සරළ ශිල්ප ක‍්‍රමය ඇසුරින් පුරාණ ශීල්පීන් එවකට කෙතරම් පරිපූර්ණ වී සිටියේ ද? යන්න අද දවසේ ද එවැනි කාර්යයන් සදහා බැටලූ කකුල්වලට සමාන අන්දමින් සෑදු ‘බැටලූ කකුල් රෝල’ නම් උපකරණය භාවිතය පැහැදිළි කරයි.

වර්ෂා සමයන් හී දී ජලය උපරීම ආකාරයෙන් රදවා තබා ගෙන ජලය හිඟ සමයන් හි දී කෘෂිකර්මය හා අනෙකුත් අවැසිතා උදෙසා මුදාහැරීම දිවයිනේ සියලූම වැව් ක‍්‍රියාත්මක වූ මූලධර්මය විය. මෙම කාර්යයන් උදෙසා දිවයිනේ කුඩා හා මධ්‍ය පරිමාණ වැව් රාශියක් ස්ථාන ගත කිරීම ද වැදැගත් තාක්‍ෂණික උපක‍්‍රමයක් විය. මහ පරිමාණ වැව් ඉදි කිරීම නඩත්තු කිරීමාදියේ දී සිදුවන අධික පිරිවැය අවම කර ගැනීමත් එමඟින් නැවත කුඩා වැව්වල නඩත්තුව පහසු කර ගැනීමත් සිදු විය. එක් ස්ථානයක විශාල වැවක් ස්ථාන ගත කරනවාට වඩා ස්ථාන කීපයක කුඩා වැව් රාශියක් ස්ථාන ගත වීම ඔස්සේ ඒ එක් එක් වැවක් ආශ‍්‍රිත විශාල ප‍්‍රදේශයක භූ ගත ජලය හෙවත් පසෙහි තෙතමනය රදවා ගැනීමට හැකි වීමත් වැදගත් උපක‍්‍රමයකි. එලෙස ම යම් හේතුවක් නිසා විශාල වැව් බැම්ම බිද වැටීමෙන් සිදු වන්නා වූ පාරිසරික හා ජීවිත හානිය අවම විමත් මෙහි අතුරු වාසි අතර වේ. එක් ජලවහන මණ්ඩලයක් පුරා ම සෑම තැන ම කුඩා කුඩා වැව් ස්ථාපිත වීමත් ඒ සියල්ල ම අවසානයේ දී යොමු වන මධ්‍ය ප‍්‍රමාණයේ වැවත් මාර්ගයෙන් වසර පුරා ම අඛණ්ඩ ජල ධාරාවක් ඉතා විශාල ප‍්‍රදේශයක් ආවරණය වන පරිදි ලබා දීමට අවස්ථාව උදා වෙයි. එමෙන් ම ‘පද්ධති වැව්ක‍්‍රමය’ (Tank Cascade System-TCS) හේතුවෙන් තවත් ඉතා වැදැගත් තාක්‍ෂණික උපක‍්‍රමයක් පෙන්නුම් කරයි. වියළි කලාපීය භූ දර්ශනයකට අයත් ක්‍ෂුද්‍ර ජල පෝෂක කලාපයක සකස් කරන ලද, කෙටි කාලීන ජල ප‍්‍රවාහයන් භාවිත කරමින් ජලය ගබඩා කර, බෙදා හරිමින් භාවිත කරන එකිනෙකට සම්බන්ධ වැව් රාෂියක් (Madduma Bandara in Jayasena and Gangadhara 2006:4) පද්ධති වැව් ක‍්‍රමය යනුවෙන් අදහස් කරනු ලැබේ. යම් ප‍්‍රදේශයක මහා පරිමාණ ජලාශයක් නිර්මාණය වීම මඟින් අඛණ්ඩ ව ගලා එන ජලයත් සමඟ මිශ‍්‍ර ව එන්නා වූ ලවන හේතුවෙන් පසෙහි ලවනතාව අධික වීම සිදු වෙයි. මෙම කාරණය අදාල ප‍්‍රදේශයේ පස සාරවත් බවින් හීන කිරීමට හේතුවක් වශයෙන් අදවන විට හදුනා ගෙන හමාර ය. මෙවැනිම ආකාරයට පසේ ලවනතාව අධික වීම ඉන්දු නිම්ණ ශිෂ්ටාචාරය බිදවැටීමට එක් හේතුවක් වශයෙන් අද වන විට පුරාවිද්‍යාඥයන් පෙන්වා දී ඇත. එම නිසා මහා පරිමාණ වැව් සීමා කිරිමත් කුඩා ප‍්‍රමාණයේ වැව් ප‍්‍රමාණය වැඩි වීමත් මඟින් පසේ ලවනතාව සාමාන්‍ය මට්ටමෙන් අඛණ්ඩ ව පවත්වා ගත හැකි වීමත් විශේෂ කරුණකි.

Sorabora Veva-Irrigation-Sri Lanka
මහියන්ගණය අසළ සොරබොර වැව (මෙම ඡායාරූපය http://exploresrilanka.lk අඩවියෙන් උපුටා ගන්නා ලදි.)

සාමාන්‍යයෙන් කුඩා වැව් හැරුණු විට මධ්‍ය ප‍්‍රමාණයේ වැව් මහා පරිමාණ වැව් ආදී සෑම වැවක ම පාහේ දැකගත හැකි තාක්‍ෂණික ලක්‍ෂණයකි, වැවෙන් ජලය පිටතට ගෙන යාම සඳහා භාවිත කරන ගොඩ සොරොව්ව හා ඊට පහලින් පිහිටි මඩ සොරොව්ව යන සොරෝව් දෙක. සාමාන්‍යයෙන් කෘෂිකර්මය හා අනෙකුත් අවශ්‍යතා සදහා අවැසි ජලය ලබා දීම ගොඩ සොරෙව්ව මගින් සිදු වූ අතර වර්ෂාව අඩු සමයන් හී දී අදාළ ජලාශයන් හී එක් තැන් වී ඇති රොන් මඩ ඉවත් කිරීමට පහත් මට්ටමින් තිබූ මඩ සොරොව්ව උපයෝගි කර ගන්නා ලදී. වැවක් දීර්ඝ කාලයක් තිස්සේ රොන් මඩින් පිරී යාමට ඉඩ නොහැර අඩු පරිමාණයකින් යුක්ත ව නඩත්තු කිරීමෙහි ලා වැදැගත් තාක්‍ෂණික උපක‍්‍රමයක් වශයෙන් මෙම මඩ සොරොව්ව හදුනාගත හැකි ය. එමෙන් ම ඇළ මාර්ග දිගේ ජලය සමඟ වැවට ඇදී එන රොන් මඩ ආදිය වැවට එක්වීම පාලනය කිරීම සඳහා ද විශේෂ උපක‍්‍රමයක් භාවිත වූ අතර එය පොටා වැටිය නමින් හඳුන්වනු ලැබේ. පසින් ම නිර්මාණය කළ වෑ කණ්ඩිය කාලයත් සමඟ එහි ජලය හා රැල්ල වැදීම සමඟින් ක‍්‍රමක‍්‍රමයෙන් සේදීමට ලක් වීම එම බැම්මෙහි ශක්තිය හීන කරන්නක් මෙන් ම ජීව කාලය කෙටි කරන්නක් ද වෙයි. එහෙත් වර්ශ ගණනාවත් තිස්සේ දේශීය කෘෂිකර්මයේ චිරස්ථිතිය ලබා දීම සදහා එයට යෙදූ මනා උපක‍්‍රමයක් ලෙසින් රැළපනාව නම් උපක‍්‍රමය හඳුනාගත හැකි ය. එනම්, වැව් බැම්මේ ඇතුළු බැම්ම මනා ව සකස් කරන ලද ගල් ආස්තරයක් ඇතිරීමයි. එමඟින් ජල පහර නිරන්තරයෙන් වැව් බැම්මට වැදීම වැලැකී අදාළ කළුගල් බැම්මෙහි වැදීම මඟින් සිදු විය හැකි හානිය අවම වෙයි. මෙම වාරි කර්මාන්තයන්ගේ ජලය පිරවීමේ දී යම්කිසි මට්ටම් ප‍්‍රකාශනයක් උපයෝගි කරගන්නා ලදී. එයින් වැවේ ජල මට්ටම මැන ගනු ලැබිණ. දියකැට පහණ ලෙසින් පුරාණ තාක්‍ෂණයේ හඳුනා ගන්නා මෙය බිසෝ කොටුව තුළ ස්ථාන ගත විය. මෙම මිණුම් මඟින් නිරන්තරයෙන් වැව් බැමිමට හානි නොවන මට්ටමකට ජල ප‍්‍රමාණය පවත්වා ගෙන යාමට හැකි වේ.

Kalawewa-Irrigation-Sri Lanka
කැකිරාව ආසන්නයේ කලා වැව (මෙම ඡායාරූපය http://www.landscapes.org වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි.)

ශ‍්‍රී ලංකාවේ වාරි කර්මාන්තය දීර්ඝ කාලයක් චිරස්ථායි වීම සදහා තාක්‍ෂණික ශිල්පීන් විසින් හදුන්වා දුන් විශිෂ්ටතම තාක්‍ෂණික උපක‍්‍රමය ලෙසින් බිසෝකොටුව යන උපක‍්‍රමය හදුනා ගත හැකි ය. මෙහි ඇති වැදගත්කම හෙන්රි පාකර් විසින් ඉදිරිපත් කරන ලද පහත ප‍්‍රකාශයෙන් මනා ව පැහැදිළි වෙයි. “ලොකයේ කිසිම රටක විද්‍යාමාන නොවන්නා වූ විශ්මිත ජල සම්පාදන ක‍්‍රමයක් නිපදවීමට පැරණි සිංහලයාට පුලූවන් වූයේ බිසෝකොටුව තනා ගැනීම නිසා ය. එකළ විශාල වැව්වල රාෂීභූත වූ ජල ඛණ්ඩය පිටවීම පාලනය කිරීමේ ක‍්‍රමයක් ඔවුන් නොදැන සිටියේ නම් පැරණි සිංහලයාට කුඩා වැව් වලට වඩා යමක් තැනීමට කිසිසේත් නුපුලූවන් වන්නේ ය. බිසෝකොටුව වනා හී එක් පැත්තකින් වැවෙන් පිවිසෙන ජලයට විවෘත වූ ද ප‍්‍රතිවිරුද්ධ පැත්තෙන් ජලය පිටතට ගලා යන්නා වූ ද කවුළු 2කින් යුක්ත වූ චතුරස‍්‍රාකාර ගැඹුරු ලිදක් හෙවත් ටැංකියක හැඩයෙන් යුක්ත වූවකි. පතුලේ සිට ගලින් හෙළුෑ පරාල එකක් මත එකක් සිටින සේ තැම්පත් කර ඉදිකරන ලද්දකි. බිසොකොටුව කට්ට ඔරොත්තු දී ගත හැකි තරම් වූ ජලය පිරුණු විට ඇති වන මතුපිට මට්ටමට සමාන වන තරම් උසට තනා තිබුනා විය හැකි ය. නූතන යුගයේ වැවෙන් ජලය පිට කිරීම හා පාලනය කිරීමට යොදා තිබෙන යාන්ත‍්‍රික උපකරණ වලින් කෙරෙන මෙහෙය පුරාණ යුගයේ ඉටු කර ගන්නා ලද්දේ බිසොකොටුව මඟිනි. සොරොව්ව ඔස්සේ පිටත පිහිටි ඇළට ජලය ගලා ගියේ බිසෝකොටුව හරහා ය (සරත් 1998:32). මහාචාර්ය, සෙනරත් පරණවිතානගේ අදහසක් උපුටා දක්වන මහාචාර්ය, අනුරාධ සෙනෙවිරත්න සොරොව්ව හරහා බැහැර කරනු ලබන වැව් ජලයේ වේගය බිද දැමීම බිසෝකොටුවේ සූචිත කාර්යයි ලෙසින් දක්වයි (2001:111). බිසෝකොටුව වැවෙන් පිටතට නික්මෙන ජල ධාරාවේ වේගය මදනය කිරීමටත් සෘජු ව වැව් බැම්ම තුළින් ජලය ගලා යෑම වැලැක්වීමටත් යෙදූ කදිම තාක්‍ෂණික උපක‍්‍රමයක් ලෙසින් වැදගත් වන අතර ම එමඟින් වෑ කණ්ඩිය මත ඇතිවන අධික ජල පීඩනය අඩු කොට දීර්ඝ කාලයක් වෑ කණ්ඩියේ ජීව කාලය ස්ථාපිත කරයි.

පැරණි වාරී කර්මාන්තකරුවන් පිටවාන නමින් වැදගත් තාක්‍ෂණික එළඹුමක් හදුනා ගෙන සිටි අතර වාරී සංස්කෘතියේ චිර කාලීන පැවැත් ම උදෙසා එම කරුණ ද සෘජු වැදගත් කමක් අත්කර ගනී. එනම් වැවෙහි වැඩි ජලය පිටවීමට ස්වභාවික ගල් තලාවක් භාවිත කිරීමයි. එමඟින් ඛාදනය සීමා වන අතර වැව් බැම්මට හෝ අනෙක් අංගයනට හානි නොවන අයුරින් පිටාර ජල මට්ටම පාලනය කිරීමට හැකි විය. වත්මන් කලා වැවේ පිටවාන මෙයට කදිම සාධකයක් සපයන අතර මහියංගනය ආසන්නයේ සොරබොර වැවෙන් ද මේ පිළිබද කදිම නිදසුනක් සපයා ගත හැකි ය. වැව් තාක්‍ෂණය හා අත්වැල් බැදගත් තවත් අනිවාර්ය අංගයකි ඇළ මාර්ග. එනම් වියළි කලාපයේ අධික සූර්යතාපය හේතුවෙන් සිදුවන අධික ජල වාෂ්පීකරණය හමුවේත් මාස 6ක් අබිභවනය වන නියඟය හමුවේත් අදාළ වාරී කර්මාන්තයනට අඛණ්ඩ ජල සැපැයුම අනිවාර්යය වෙයි. මේ සදහා තෙත් කලාපයේ ගලන්නා වූ ගංගාවන් හරස් කර ඉතා විශීෂ්ට වූ උපක‍්‍රම මඟින් වියළි කලාපයේ වැව් සදහා ජලය ලබා දීම වැදගත් එළඹුමක් වන අතර ම සමහර වාරි කර්මාන්තයන් එකක් මත එකක් රදා පවතින ජාලයක් සේ සංවිධිත කිරීමට මෙයින් හැකි විය. වාපී කර්මාන්තය හා සබැදි ඇළ මාර්ග පිළිබද ව සලකා බලන විට වාරී තාක්‍ෂණයේ චිර ජීවනය උදෙසා ප‍්‍රබලාකාරයෙන් වැදගත් වූ අවස්ථාවක් ලෙස මිණිපේ ජල හැරවුම හා අංඟමැඬිල්ල ජල හැරවුම වැදගත් ය. ඒ අවස්ථාවන් හී දී අදාළ ගංගාව සෘජු ව ම හරස් කිරීමට ලක් නොකර ගඟ දෙසට දිවෙන අතක් ආකාරයෙන් ගඟට නොදැනෙන ආකාරයෙන් ජලය ටිකක් ලබා ගැනීමට මෙමඟින් සමත් වී ඇති අතර ම අදාළ ගංගාවන්ගේ ගමන් මාර්ගයේ ස්වභාවයට අවම බලපෑමක් පමණක් කර පාරිසරික ස්වභාවික සංසිද්ධියක් මත මෙය ඉටු කිරීම එහි චිර කාලීන පැවැත්ම උදෙසා වැදැගත් වූ තාක්‍ෂණික උපක‍්‍රමයකි. බොහෝ සෙයින් වැදැගත් වූ ජයගඟ අධ්‍යයනය කිරීමේ දී ද පෙනී යන්නේ, ජයගඟ උතුරු දෙසට ගලාගියේ සම භූමියක් ඔස්සේය. තැනිතලාවක දියබැස්ම සැලැසුම් කිරීම දුෂ්කරය. ඔහෙත් දාතුසේන රජතුමාත්, ඉංජිනේරුවෝ ද එම දුෂ්කරතාව ජයගෙන ඇත. ඇලේ ඇතැම් තැනක බෑවුම සැතපුමකට අඩියකුත්, ඇතැම් තැනක සැතපුමකට අඟල් හයකුත් විය(සරත් 1998:36). උක්ත සියලූම තාක්‍ෂණික උපක‍්‍රම පුරාණ වාරී කර්මාන්තයේ නියැලි ශිල්පීන් යොදා ගත්තේ විශේෂයෙන් පරිසරයේ (ජල, ශිලා, වායූ ගොලයන්) ඓන්ද්‍රීය බව සුරක්‍ෂිත වන ආකාරයෙනි. ඉදිකළ සෑම වැවකින් ම භෞතික ව යම් ඉඩ ප‍්‍රමාණයක් ආවරණය වුව ද ඒ සෑම වාරී කර්මාන්තයක් ම අනෙක් පැත්තෙන් පාරිසරික පද්ධතියක් බවට පත් කළේ ය. මෙයින් පරිසරයේ ජීවත් වූ ජීව දර්ශකයන් සුරක්‍ෂික වූවා මෙන් ම ජීවී දර්ශකයේ ඉහළින් ම ස්ථාන ගත වූ මානවයාගේ පැවැත්මට ද ඉවහල් විය. ඒ අනුව, වැවක් තුළින් පාරිසරික තුළ්‍යතාව සුරක්‍ෂීත වූ අතර ම අනෙක් අතට එම පාරිසරික තුළ්‍යතාව ද වැව බොහෝ කාලයක් සුරක්‍ෂිත කළේ ය.

සාකච්ඡාව
ඉහතාකාරයෙන් දිවයිනේ වාරි පද්ධතිය හා ඒ හා බැඳුණු සංස්කෘතිය පිළිබඳ ව හා එහි විවිධ දිශානතීන් පිළිබඳ ව කරුණු රැසක් හඳුනා ගත හැකි වෙයි. සම්භවයේ සිට ම ජලය හා අත්‍යන්තයෙන් පරාධීන වූ මානව වර්ගයාගේ එක් උපකුලකයක් වන ලාංකේය මානවයා ද තම මනස ස්වභාවික පරිසරය සමඟ මනාව ඒකාබද්ධ කරමින් ඉතා වැදැගත් නිර්මාණ සමුච්චයක් ඇති කිරීමට සමත් විය. ඉතා සුළු වැව් හා වාරී මාර්ග නිර්මාණයෙන් තම කටයුතු ආරම්භ කළ ස්වදේශිකයා එය උච්චස්ථානයකට ගෙන යාමට සමත් විය. සතුන් සහිත ස්වභාවික පරිසරයත් සමඟ මනාව ඒකාබද්ධ කරමින් විශිෂ්ට තාක්‍ෂණික නිර්මාණයක් හෙවත් සහස‍්‍රක වසරකට වඩා ඉතාමත් සශ‍්‍රීක අයුරින් ක‍්‍රියාත්මක වන පද්ධතියක් ජනනය කිරීමට සමත් වූ අතර අද දවසේ මෙන් ම මතු දවසේත් යල් නො පනින තාක්‍ෂණික උරුමයක් වශයෙන් එය පවතිනු ඇත.

ආශ්‍රේය ග‍්‍රන්ථ හා ලිපි නාමාවලිය

  • ගුණවර්ධන, ආර්. (1993), සිවුර සහ නඟුල, සමාජ විද්‍යාඥයන්ගේ සංගමය, කොළඹ.
  • බ්‍රෝහියර්, ආර්.එල්. (1935), ලක්දිව පුරාතන වාරිමාර්ග, පළමුවන කොටස, පරි. එල්. පියසේන, ලංකා රජයේ මුද්‍රණාලය, කොළඹ.
  • බ්‍රෝහියර්, ආර්.එල්. (1999),  බ්‍රෝහියර් දුටු ලංකාව, පරි. ඒ. හේවාවසම්, සූරිය ප‍්‍රකාශකයෝ, මරදාන.
  • සිංහල මහාවංශය – ප‍්‍රථම භාගය, (1999), සංස්. ශ‍්‍රී සුමංගල හා බටුවන්තුඩාවේ දෙවරක්‍ෂිත, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ කොළඹ.
  • ලගමුව, ඒ. (2000), ප‍්‍රායෝගික ක්‍ෂේත‍්‍ර පුරාවිද්‍යාව, සරසවි ප‍්‍රකාශකයෝ, නුගේගොඩ.
  • සරත්, එල්. (1998), වැවක වතුර,  නව සංස්කරණය, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
  • සුරවීර, ඒ.වී. (2000), අනුරාධපුර සංස්කෘතිය, ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
  • සෙනෙවිරත්න, ඒ. (1998), වැව් හා වාරිමාර්ග, අපේ සංස්කෘතික උරුමය, ද්විතීය කාණ්ඩය, සංස්. ඒ. ගුරුගේ, මධ්‍යම සංස්කෘතික අරමුදල, කොළඹ.
  • සෙනෙවිරත්න, ඒ. (2001), පුරාණ සිංහල වාරී සංස්කෘතිය, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
  • හේරත්, එච්.එම්.ඞී.ආර්. (1998), ගම, සිංහල විශ්වකෝෂය, නවවැනි කාණ්ඩය ප‍්‍රධාන කර්තෘ, කේ.එන්.ඕ. ධර්මදාස, සංස්කෘතික දෙපාර්තමේන්තුව, කොළඹ.
  • Jayasena, H.A.H. & K.R. Gangadhara, (2006), The Evolution of AINS in the Middle East and Tank Cascade System (TCS) IN Sri Lanka – Was It Parallel? The Paper Presented on 4th AINS Irrigation System Kaiy Asdulazis University , Jeddha, Saudi Arabia Feb. 23-25
  • Kalhana’s Rajatarangini – A Chronical of the Kings of Kasmir, Vol. I, (1961, Translated by. M. A. Stein, Motilal Banarsidass, Delhi.
  • Panabokke, C.R. (2003), Small Tank Cascade System of the Rajarata Water for People and Nature – Arrumugam Commemoration Volume ed. by. B. Kamaladasa, & D.L.O. Mendis, Ministry of Irrigation and Water Management Colombo (123-132)
  • Paranavitana, S. (1970), Inscriptions of Ceylon, Vol. I, Department of Archaeology, Ceylon.
  • Seneviratne, S. (1984), The Archaeology of Early Megalithic Black and Red Ware Complex in Sri Lanka, Ancient Ceylon No. 5 Department of Archaeology, Sri Lanka. (237-307)
  • Silva, R. (2000), Development of Ancient Cities in Sri Lanka, Reflection on a Heritage, ed. by. R. A. L. H. Gunawardhana. and Others, Central Cultural Fund, Colombo.(49-81)

(2008 නොවැම්බර්)

Previous articleපැල්මඬුල්ලේ ඓතිහාසික ධර්ම සංගායනාව
Next articleපුරාවිද්‍යා බලධාරීන්ට වසන් වූ මිහින්තලේ වසම්මලේ
Avatar
2006 වසරේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් වසරේ දක්ෂතම පුරාවිද්‍යා ශිෂ්‍යයාට හිමි මහාචාර්ය පී. ලිලානන්ද ප්‍රේමතිලක හා වෛද්‍ය නන්දා ප්‍රේමතිලක විශිෂ්ට නිපුනතා ත්‍යාගය සමඟ ශාස්ත්‍රවේදි (ගෞරව) (BA(sp)) උපාධිය ලබාගන්නා ලද චන්දිම, 1998 වසරේ දී මොරටුව විශ්වවිද්‍යාල‍යේ වාස්තුවිද්‍යා පීඨයෙන් ස්මාරක හා කේෂේත්‍ර සංරක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ද, 2010 වසරේ දී කොළඹ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් පුරාවිද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය (MSc.) ද හිමිකර ගන්නා ලදි. 2008 - 2010 කාලයේ දි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ තාවකාලික කථිකාචාර්යවරයෙකු වශයෙන් සේවය කළ ඔහු, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාල‍යේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්යවරයෙකු වශයෙන් 2011 වසරේ සිට සේවය කරන අතර එහි ප්‍රාග් ඉතිහාසිය හා අභිලේඛන විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයා වශයෙන් කටයුතු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.