ඩබ්.එච්. රුක්‍ෂාන් ප‍්‍රියන්දන

මුහුදු පුරාවිද්‍යා ඒකකය, කොටුව, ගාල්ල.

සංක්‍ෂේපය

රුක්‍ෂාන් ප‍්‍රියන්දන

මෙරට ජල යාත‍්‍රා භාවිතය පිළිබඳ ඉතිහාසය ක‍්‍රිස්තු පූර්ව යුගය දක්වා ඈතට විහි දී යයි. පුරාවිද්‍යාත්මක හා සාහිත්‍ය මූලාශ‍්‍රයයන්හී එකී සාධක පිළිබඳ කරුණු අනාවරණය වේ. විවිධ වූ හැඩයෙන් යුතු යාත‍්‍රා උපයෝගීතාව අනුව නිර්මාණය කිරීමට අතීත ශිල්පීන් කටයුතු කළහ. අඛණ්ඩව පැවති ජල යාත‍්‍රා නිර්මාණ තාක්‍ෂණය වර්තමාණය වන විට සම්පූර්ණයෙන් ම පාහේ අඩපනව ඇත. මෙහි දී මා විසින් අවධානයට ලක්කරනු ලැබුවේ මෙරට භාවිත කරන ලද ඔරුව වර්ගයේ යාත‍්‍රාවන් වෙතට ය. ඔරුව නමින් හැදින්වෙන්නේ තනී ලී කඳක් හාරා සකස් කරන ලද යාත‍්‍රාවන්ට පමණක් වන අතර එම කඳට කොල්ලෑවක් තිබීම අනිවාර්ය සාධකයකි. මෙරට සාම්ප‍්‍රදායික යාත‍්‍රා අතර සුලබව භාවිත කොට ඇත්තේ ඔරු වර්ගයේ යාත‍්‍රාවන්ය. කරදිය මෙන්ම මිරිදිය කටයුතු සඳහා ද ඔරු භාවිතයට ගැනින. ධීවර කර්මාන්තයට ආවේණික වූ යාත‍්‍රාවක් වශයෙන් ඔරුව හඳුනාගත හැකි ය. වර්තමානය වන විට ලී උපයෝගී කර ගනිමින් නිර්මාණය වන සාම්ප‍්‍රදායික ධිවර යාත‍්‍රා නිර්මාණය නොවූව ද ෆයිබර් භාවිතයෙන් පැරණි ඔරුවේ ආකෘතියටම යාත‍්‍රා නිර්මාණය වනු දැකිය හැකි වේ.

මුඛ්‍ය පද : ජල යාත‍්‍රා, ඔරුව, කොල්ලෑව, නිර්මාණ තාක්‍ෂණය

අන්තර්ගතය

ශ‍්‍රී ලාං‌කේය ජන සමාජය විසින් දීර්ඝ කාලයක සිට ඔවුන්ගේ දෛනික ඕනෑ එපාකම් පිරිමසා ගැනීම සඳහා ජල යාත‍්‍රා භාවිත කළහ. ඇළ, දොළ, ගංගා, වැව් ආදී මිරිදිය ජල තටාකය මතත් දූපතක් වූ ලංකාව වටා වන කරදිය ජල තටාක මතත් යාත‍්‍රා කරනු ලැබ ඇත. මෙම ජල මාධ්‍යයන් දෙක සඳහා වෙන්වෙන් වූ නිර්මාණ ලක්‍ෂණ වලින් යුතු හා සමරූපී ජල යාත‍්‍රා නිශ්පාදනය වූ බව පැහැදිලි වේ. යාත‍්‍රා කරණය අවශ්‍යතාවන් කිහිපයක් සපුරාගැනීම වෙනුවෙන් භාවිත වුණි. වාග් ව්‍යවහාරය අනුව ලී කඳන් හාරා තනාගත් කොල්ලෑව සහිත ඔරුව හා ලී කඳන් දෙකක් සහිත පාරුව අපගේ නැව් සංස්කෘතියේ වර්ධනයට මුල් වූ බව සෝමසිරි දේවේන්ද්‍ර පවසයි (Devendra 2013:116). යාත‍්‍රාවල සරළම අවස්ථාව පහුරයි. යාත‍්‍රාවන්ගේ වර්ධනීය අවස්ථාවන් ලෙස තෙප්පම, කට්ටුමරම, ඔරුව, පාරුව, අගුල, වල්ලම හා නැව හඳුන්වා දිය හැකි ය. ඉහත යාත‍්‍රාවන්හි විවිධ වර්ග බොහෝමයක් දක්නට ලැබේ. ඒ ඒ ප‍්‍රදේශයට අනුව එකී යාත‍්‍රා භාවිත කිරීමේ වෙනසක් ද දක්නට ලැබේ. ධීවර යාත‍්‍රා සඳහා යොදවන ලද නාමයන්ගේ ද වෙනස්කම් දක්නට ලැබේ.

ඔරුවේ ක‍්‍රමාණුකූල වර්ධනය මෙරට නැව් නිර්මාණය දක්වා වර්ධනය විය. වර්තමානයේ අපට සාකච්ඡා කිරීමට විශාල නෞකා නොමැති වූවත් ඔරුව ශේෂව පවතී. ඇතැම් විටක මෙරට සාම්ප‍්‍රදායික ඔරුවේ ජීවමාන හැඩය සියසින් දකින අවසාන පරම්පරාව අප විය හැකි ය. දැනට හමු වු පැරණිම ඔරුව කොළඹ කෞතුකාගාරයේ තැම්පත් කර ඇති කැලණිය ප‍්‍රදේශයෙන් සොයාගත් ඔරුවයි (Devendra 2013:117). ඔරුවේ ස්වරූපය තීරණය වීම සඳහා භාවිත කරනු ලැබූ පන්න ක‍්‍රමය සේම දඩයම් කරනු ලබන මාලුවා ද බලපාන ලදී. ඒ අනුව, අපට එකිනෙකට වෙනස් වූ ඔරු වර්ග විශාල ප‍්‍රමාණයක් දිවයින පුරාවට හඳුනාගැනීමට හැකි වේ. මෙලෙස ලංකාව වටා බහුලව භාවිත වූ ප‍්‍රධාන ඔරු මෙලෙස පෙන්වා දිය හැකි වේ.

I. රෑ මුහුදු ඔරුව

රාත‍්‍රී කාලයේ දී පමණක් භාවිත වන නිසාවෙන් මෙකී නම පටබැදී ඇත. සාමාන්‍යයෙන් ධීවරයන් දෙ දෙනෙක් හෝ ති දෙනෙක් මෙහි ගමන්කරනු ලබයි. කොරල් ආශ‍්‍රිතව තරමක් වෙරළට සමීප ප‍්‍රදේශයන් අතර ධීවර කටයුතු වල නිරත වීම දකුණු වෙරළ තීරයේ සුළභ වූ බව කැපිටාන් පවසයි (Kapitan 1989:146).

අනෙකුත් යාත‍්‍රාවල මෙන්ම කොල්ලෑව යාත‍්‍රාවේ ඉදිරි කොළවර ආසන්නයේ යාත‍්‍රාව මැදට වන්නට ශක්තිමත්ව බැද ඇත. පොකිරිස්සන් ඔරුවේ ද සම්බන්ධව ඇත්තේ ඒ ආකාරයට ය. බොහෝවිට ඉර බැස යාමට පෙර ඔරුව දියත් කරනු ලබයි. යාත‍්‍රාවේ ගමන්කිරීමේ දී වෙරළාසන්නයේ නොගැඹුරු තීරයේ ඇති පාෂාණ දෘශ්‍ය වීම අවශ්‍ය නිසාවෙනි. යාත‍්‍රාවේ ගමන් ගන්නා හබල්කරුවන් වාඩි වී හෝ ඉදිරියට මුහුණ ලා සිටගෙන යන ආකාර දෙකෙන් එක ඉරියව්වක සිට යාත‍්‍රාව පදවනු ලැබේ. අවල් සමන්විත වන්නේ දිග දණ්ඩක් හා පැතලි තළයක් සේ සකසා ගන්නා ලද ලෑලි තලයක් එකට සම්බන්ධ කර ගනිමිනි. අවල තොණ්ඩුවක දවටා ඇති අතර එය ගැටගසා තිබෙන්නේ සාම්ප‍්‍රදායික ලෙස ඉදිරියට වන්නට ය. ඊට පසුපසින් කොල්ලෑව ගැටගසන ලද දණ්ඩ වේ. මෙම සැකැස්මෙන් ඔරුව පහසුවෙන් ගමන් කිරීම හා වේගය පාලනය කිරීමට හැකියාව ලැබේ. දිග ලී දණ්ඩක් යාත‍්‍රාවේ මැදට වන්නට සම්බන්ධ කර ඇත. එය ලාම්පුව සම්බන්ධ කිරීමට උපකාරී වේ. මෙම දණ්ඩ කොල්ලෑවේ පළමු වැනි හරස් දණ්ඩට පසුපසින් පැත්තකට වන්නට ගැටගසා ඇත. මාළු අල්ලන දැල කොල්ලෑවේ හරස් දඬු අතර යාත‍්‍රාවේ පිටතින් සම්බන්ධ වන ආකාරයට සම්බන්ධ කර ඇත (Kapitan 1989:147).

රෑ මුහුදු ඔරුව

II. ඇම් ඔරුව (පොකිරිස්සන් ඔරුව)

ඇම් ඔරු 50-60ත් අතර ප‍්‍රමාණයක් ශ‍්‍රී ලංකාවේ දකුණු දිග වෙරළ තීරයේ හමු වූ බව 1989දී ජෙරාට් කපිතාන් පවසයි (Kapitan 1989:138). විශේෂයෙන්ම අකුරළ, සීනිගම, තෙල්වත්ත, හික්කඩුව, ඇම් ඔරු බහුලව භාවිත වූ ප‍්‍රදේශ වේ. නමුත් අද වන විට එවැනි සාම්ප‍්‍රදායික ඔරු සොයාගැනීමට නොහැකි වී ගොස් තිබේ.

ඇම් ඔරු තුළ නීතියක් වශයෙන් අවල් දෙකක් තිබීම අත්‍යවශ්‍ය කරුණක් කොට සලකා ඇත. ඔරුවේ දකුණු පස වන අවල දළ වශයෙන් යාත‍්‍රාවේ මැදට වන්නට සම්බන්ධ කර නිර්මාණය කර ඇත. හබල්කරු නැතිනම් මරක්කලහේ සඳහා ඇණිය ප‍්‍රදේශයේ ලෑලි පුවරුවක් සම්බන්ධ කර නිමවයි. මෙම ආසනයට පිටුපසින් ලී දණ්ඩක් සවිකර එහි ලාම්පුව රඳවයි. ජලයේ ගැඹුර මැන ගැනීම සඳහා ලණුවක බර යමක් ගැට ගසා එය කෙල්ලෑවේ ගැට ගසා පාවෙන්නට ඉඩ හරී. ඔරුවේ එකතුවන වතුර හිස් කිරීමට භාවිත කරන ලද උපකරණයක් ද වේ. මෙය බොහෝ ඔරු සඳහා පොදු කාරණාවකි. එය ලී වලින් පහසුවෙන් අතට ඇල්ලිය හැකි සේ නිමවයි (Kapitan 1989:142). යාත‍්‍රාව මීටර් 7ක් පමණ දිගින් යුක්ත ය. නමුත් මීට වඩා කුඩා මෙන්ම විශාල යාත‍්‍රා ද භාවිත කොට ඇත.

III. එලන දැල් ඔරුව

බේරුවල හා කළුතර දිස්ත‍්‍රික්කයේ මෙම වර්ගයට අයත් ඔරු 12ක් පමණ තමන් දුටු බව කපිතාන් පවසයි. සිංහලෙන් එලන දැල් ඔරුව යන නමින් ද ඉංග‍්‍රීසියෙන් The Nettin Between Oruwa ලෙස දක්වයි (Kapitan 1991: 23-24).

එළන දැල් ඔරු යුගලක් (Record of Traditional Watercraft from South and west Sri Lanka, p.116)

මෙහි දී ඔරු දෙකක් මාලු ඇල්ලීම සඳහා යොදා ගනී. දැල ඔරු දෙක අතරේ දැල රඳවා ගෙන යාම සිදු කරනු ලබයි. එලන දැල් ඔරු වෙරළේ නවත්වනුයේ ද යුගල වශයෙනි. එක් ඔරුවක කොල්ලෑව වම් පස ද අනෙක් ඔරුවේ කොල්ලෑව දකුණු පසට ද වන සේ සාදා ඇත. දකුණු පසට කොල්ලෑව සවිකර ඇති ඔරුව අනෙක් ඔරුවට වඩා ප‍්‍රමාණයෙන් කුඩා වේ. මෙසේ ඔරුව කුඩා වීමට හේතුව පිළිබඳව නිශ්චිත අදහසක් නොමැති බව කපිතාන් මහතා සඳහන් කරයි (Kapitan 1991:24). එක් ඔරුවක ධීවරයන් දෙ දෙනෙක් පමණක් ගමන් ගනී. ඇන්අදිරාළ අවර කොටසේ සිට යාත‍්‍රාව මෙහෙය වනු ලබයි. ඔහු භාවිත කරන හබල තරමක් දිගින් වැඩි ය. සාමාන්‍යයෙන් මීටර් 1.5ක් පමණ ය. අවල්කරු කොල්ලෑව සවිකර ඇති දඬු දෙක අතර මැද ප‍්‍රදේශයේ වාඩි වී සිටී. කොල්ලෑව සවිතර ඇති වියල් ලීයේ අවල සම්බන්ධ කර ඇත. අවලේ දිග තීරණය වන්නේ ඔරු කදේ සිට කොල්ලෑවට ඇති දිග අනුව ය. හබල් කරු හා ඇන්අදිරාළගේ ආසන ශක්තිමත් ලණු උපයෝගී කරගනිමින් දඟරයක් ආකාරයට ඔතා ඇත (Kapitan 1991:25). කොල්ලෑවට සම්බන්ධ හරස් දඩු ඔරු කඳට සම්බන්ධ කිරීමේ දී අනෙක් ඔරු හා සමානව නිර්මාණය කර ඇත. නමුත් ඔරුවේ ඇතුළත මාදැල් ඔරුවක මෙන් විශාලව නිර්මාණය කර ඇත.

IV. පිිලා ඔරුව

වරකට දෙ දෙනෙකු පමණක් රැකියාවේ නිරත විය හැකි කුඩා ප‍්‍රමාණයේ ඔරුවකි. කුඩා ඇස් ඇති පාවෙන කරමල් දැල් හා පොකිරිස්සන් දැල් එලීම සඳහා බොහෝවිට භාවිතයට ගැනුණි. එසේම, යොත් මගින් මසුන් මැරීම, උගුල් (ජාකොටු) තුළ සිර වී ඇති මසුන් ඉවත් කිරීම සඳහා ද භාවිත කරන ලදි. ගංගා, කලපු හා වැව් සඳහා ද පිලා ඔරු භාවිතයට ගැනුනි. විශේෂයෙන්ම ජලාශ‍්‍රවල නෙලුම්, ඕලුු කෙකටිය මල් ආදිය නෙළා ගැනීම සඳහා භාවිත විය. කෙටි රුවලක් සහිත පිලා ඔරු විශේෂය නැගෙනහිර දෙමළ හා මුස්ලිම් ධීවරයන් අතර ද ජනපි‍්‍රය යාත‍්‍රාවකි (Vitharana 1992:44). දකුණු පලාතේ ඔක්තෝම්බර් සිට අ‌ප්‍රේල් දක්වා වලාල කාලයේ ධීවර කර්මාන්ත කටයුතු සඳහා යොදා ගනු ලැබේ. මීගමුව, දොඩන්දූව, කොග්ගල, මඩකලපු, කොට්ටියාර් බොක්ක වැනි ස්ථානවල බහුලව භාවිත වී තිබේ. විශේෂයෙන්ම රාත‍්‍රි කාලයේ ධීවර රැකියාවේ යෙදෙන අතර නැවතත් අලුුයම ගොඩබිමට පැමිණේ. යාත‍්‍රාවේ කොල්ලෑව වම්පස පිහිටා ඇත. කැපිටාන් දක්වන්නේ හික්කඩුව හා වැලිගම යන ප‍්‍රදේශ වල ද තමන් මෙම යාත‍්‍රාව දුටු බවයි (Kapitan 1987:283). ඔරුවේ දිග මීටර් 5-6 අතර, පළල සෙ.මී. 7-10 දක්වා පටු පත්තාරයක් දක්නට ලැබේ. මීටර 3ක් පමණ දිග හා මීටර් 0.6ක් වට ප‍්‍රමාණය ඇති දැවයෙන් තැනූ කොල්ලෑව යාත‍්‍රාවේ වම්පසට සවිකර ඇත. යාත‍්‍රාවේ මැද කොටසේ වට ප‍්‍රමාණය 1.5ක් පමණ වේ (පෙරේරා 2011:233).

V. වරා ඔරුව

වරා ඔරුව යන නම ලැබී ඇත්තේ ආරක්ෂිත බොක්ක නැතිනම් වරාය යන්න මූලික කරගෙනය (Shelter Bay). කොල්ලෑව සම්බන්ධ කර ඇති වියල් හී කොල්ලෑව සම්බන්ධ වන ස්ථානය තරමක් විශාල ස්වරූපයෙන් යුක්ත ය. එහි කෙළවර නැමුණු ස්වරූපයකින් යුක්ත වූව ද ලී දණ්ඩ තිරස්ව සවිකර ඇත (Kapitan 1991:26).

යාත‍්‍රාව සඳහා අවල් තුනක් සම්බන්ධ කර ඇත. ඒ සියල්ල රඳවා තබා ඇත්තේ කොල්ළෑව සම්බන්ධ කර ඇති පැත්තේ ය. හබල් දෙකක් කෙටි හරස් පොලු දෙකකට සම්බන්ධ කර ඇත. ඉන් එකක ක‍්‍රමයෙන් වක‍්‍ර වන ලී කොටසක් වන අතර එය ඔරු කඳට හොදින් සම්බන්ධ කර ඇත. සියලු අවල් කරුවෝ හබල්කරු මෙන් ඉදිරිපසට මුහුණ ලා හිදගෙන සිටී. තුන්වන අවල යාත‍්‍රාවේ අවර කෙළවරට වන්නට සම්බන්ධ කර ඇත. මෙහි ඇති අනෙක් විශේෂත්වය වන්නේ ඔරුවේ අනෙක් ඔරු හා සැසදීමේ දී ඔරුව කුඩා ය. කොල්ලෑවේ හරස් කැපුමක් ගත් කල එහි විශ්කම්භය ද අනෙක් ඔරුවලට වඩා අඩු ය (Kapitan 1991:26). ඔරුවේ පුද්ගලයන් 2-5 පමණ එකවර ධීවර කටයුතු සඳහා යොදාගනී. නමුත් ඇතැම් විට ධීවරයන් 9 දෙනෙකු ද රැකියාවේ යෙදෙන අවස්ථා ද ඇත. දකුණු පළාතේ වැලිගම සිට අම්බලන්ගොඩ දක්වා වන ප‍්‍රදේශයන්හී සාමාන්‍යයෙන් වරා ඔරු භාවිත කරනු ලැබ තිබේ. වරා ඔරුව සඳහා අවල් තුනක් අයත්වේ. ඒ සියල්ලම රඳවා ඇත්තේ කොල්ලෑව පිහිටි පැත්තේ ය. හබල් දෙකක් කෙටි හරස් පොලු දෙකකට සම්බන්ධ කර ඇත. ඉන් එකක් ක‍්‍රමයෙන් වක‍්‍ර වන ලී කොටසකට සවිකර ඔරු කඳට සම්බන්ධ කරයි. ඉතිරි අවල කොල්ලෑවට සම්බන්ධ වන වියලේ ගැටගසා ඇත. අවල තරමක් පළල් ස්වරූපයක් උසුලයි. දිග මීටර් 9ක් පමණ වන අතර දකුණු පසට සවිකර ඇති කොල්ලෑව මීටර් 3.9ක් දිගැති ය. පත්තාරය මීටර් 1.4ක් පමණ වට ප‍්‍රමාණයක් ඇති ඔරු කඳේ ඔරු දාරයට වියමනක් සවි කර ඇත. පත්තාර දෙක අතර මතුපිට පළල මීටර් 0.2ක් පමණ වේ. වියල යාත‍්‍රාවට සම්බන්ධ කර ඇති ස්ථානය සුළු වශයෙන් කවාකාර හැඩයකින් යුක්ත දැව කඳක් තිබීම යාත‍්‍රාවේ කැපී පෙනෙන අංගයකි (පෙරේරා 2011:231).

VI. පලු ඔරුව

පලු ඔරුව (Kapitan, 1991)

දකුණු ප‍්‍රදේශයේ භාවිත වූ ඔරු වර්ග අතර ප‍්‍රධාන ඔරුවක් ලෙස මෙය සැලකිය හැකි වේ. ඇතැම් ප‍්‍රදේශයන්හී මෙය ‘රුවල් ඔරුව’ ලෙසින් ද හඳුන්වනු ලබයි. කොල්ලෑව සහිත ඔරුවක් වන මෙය ගාල්ල දිස්ත‍්‍රික්කයට අයත් හික්කඩුව හා මාතර දිස්ත‍්‍රික්කයට අයත් වැලිගම ආශ‍්‍රිතව බහුලව දක්නට ලැබුණි. දකුණු ප‍්‍රදේශයේ ධීවරයන් විසින් මෙකී ඔරු වර්ගය පලුු ඔරුව ලෙසින් හඳුන්වයි. වියල් මත ආධාරක ලණු 4ක් මගින් සිරස්ව කුඹ ගස සම්බන්ධ කර ඇති ආකාරය දක්නට ලැබේ. රුවල කුඹයේ මුදුනේ සිට මීටරයක් පමණ පහලින් ගැටගසා ඇත. රුවල සාම්ප‍්‍රදායික ක‍්‍රමයට ම කෙළවර ඉදිරියට යොමුකර නිමවයි. කුඹ ගස යාත‍්‍රාවේ ස්ථිරව සම්බන්ධ කිරීම විශේෂ ලක්ෂණයකි. මෙයට හේතුව වන්නේ උතුරු සුලං කාලවල දී ඔරුව දියත්කරන නිසාවෙනි (Kapitan 1987:283). පලු ඔරුවේ කුඹය ඉන්දු-අරාබියානු යාත‍්‍රාවල දැකිය හැකි පැති දෙකක් සමාන්තර වුව ද චතුරශ‍්‍රාකාර හැඩයක් ගනී. රුවල එසවීම සඳහා කුඹයේ කෙළවර ලී කප්පියක් සම්බන්ධ කර ඇත. හික්කඩුව ප‍්‍රදේශයේ භාවිත ඔරු හී විශේෂ ලක්ෂණයක් දැකිය හැකි වේ. දිගු හරස් පොල්ලක් යාත‍්‍රාවේ ඉදිරිපස කොටසේ සිට පසුපස දක්වා ඔරු කඳ දිගේ යාත‍්‍රාවේ දකුණු පස කොල්ලෑවේ දඩු හරහා යන ලෙස සකස් කර ඇත. යාත‍්‍රාවේ කෙඳ් ගැටිය උන්නත ආකාරයට සකස් කර ඇත (Kapitan 1987:285). මසුන් දැමීම සඳහා බට පතුරුවලින් සකස් ලද කහනක් වියල් අතර හරස් ලී දඩු යොදා රඳවා ඇත. එය ගැඹුරු ඕවලාකාර හැඩයකින් යුක්ත ය.

ඔරුවේ දකුණු පස ලී කඳට වන්නට පොල්කොළවලින් වියන ලද මැස්සකි. මෙමගින් ජලය යාත‍්‍රාව තුළට ඒම වලක්වා ඇත. පලු ඔරුවේ එක් අයෙක් හෝ දෙදෙනෙක් පමණක් ගමන් ගන්නා බැවින් ඔරුවට ජලය එකතු නොවීම ඔවුන්ට පහසු වේ. පලු ඔරුවේ භාවිත නැංගුරුම ඕවලාකාර හැඩයකින් යුත් පැතලි ගලක් භාවිත කර ඇත (Kapitan 1987:286). රුවලේ රැහැන් කිහිපයකි. එක් රැහැනක් ඔරුවේ ඉදිරි කෙළවර සිට කොල්ලෑවට සම්බන්ධ පළමු වියල දක්වා දිව යයි. දෙ වැන්න කොල්ලෑව දක්වා විහිදෙන අතර තවත් රැහැනක් ඔරු කදේ ඉදිරියෙන් ගැටගසයි. තවත් රැහැන් දෙකක් අවර සිට කොල්ලෑව සම්බන්ධ වන වියල් දක්වා විහි දී යන ආකාරයට ගැටගසා තිබේ (Kapitan 1987:288-289). එම යාත‍්‍රාවේ සම්පූර්ණ දිග මීටර් 6-8ක් පමණ වේ. පන්න, යොත් පන්න, පාවෙන කරමල් දැල් සඳහා භාවිත කර තිබේ. ධීවරයන් 2‐4ක් පමණ පිරිසක් රැකියාවේ නිරත වේ. ඔරු කඳේ උඩ පැත්තේ දාරයේ කෙළවරට වියමනක් මගින් සවිකර ඇති පත්තාරය මීටර් 0.35-0.40 දක්වා වේ. ඔරු කඳ මැද කොටසේ මීටර් 1.5ක පමණ වූ වට ප‍්‍රමාණයක් ඇත.

VII. බල ඔරුව

මෙරට හමුවන විශාලතම ඔරු අතර එක් ඔරුවක් වශයෙන් හඳුනාගත හැකි ය. බල ඔරුව තරමක් කුඩා වන්නේ මාදැල් ඔරුවට පමණි (Kapitan 2009:95). ඔරු කඳ ඔරුවේ ප‍්‍රධාන ම අංගය වන අතර ඒ සඳහා කුඹුක්, බටදොඹ, හල්, බෝමි, තෙලිඟ, මල්වරා, ගන්දෙල්, අඹ, කොස් වැනි විශාල ගස් කඳන් යොදා ගනී (ප‍්‍රියන්දන 2013:281). බල ඔරුව උපයෝගී කර ගනිමින් මසුන් මැරීම සඳහා ප‍්‍රධාන ඔරුව ලෙස බල ඔරුවත් ඇම් ඇල්ලීමට ඇම් ඔරුවත් ලෙස ඔරු දෙකක් භාවිත වේ. ඇම් ඇල්ලීම සඳහා භාවිත කරනු ලබන්නේ ඒ සඳහා ම සකස්කරගත් දැලකි. හිඟුරන් නම් විශේෂ මත්ස්‍ය වර්ගය බල මසුන් ඇල්ලීමට යොදාගනී. ඇම් දැල සකස් කරනු ලබන්නේ මැද මඩිය සිටින ආකාරයට ය. කුඩා ඇස් ඇති මෙකී දැල නිර්මාණය කරනු ලබන්නේ ඔවුන් විසින්ම ය. මුහුදේ හිඟුරන් සිටින ගල් පළපුරුද්දෙන්ම පැරණි ධීවරයන් දනී. ඒකී ගල් සඳහා විවිධ නම් ද භාවිත කරනු ලබයි. ගල් පර ආශි‍්‍රතව ජීවත්වන හිඟුරන් අල්ලාගත් පසු බලඔරුව වෙත භාර දී ඇම් ඔරුව ගොඩ පැමිණේ. අල්ලාගත් හිඟුරුන් දැමීම සඳහා ‘පැහැ’ නමින් හඳුන්වන බටපොතුවලින් වියන ලද විශාල පෙට්ටියක් බල ඔරුවේ වෙයි. බල මසුන් ඇල්ලීම සඳහා ධීවරයන් විසින්ම සාදා ගන්නා ලද බිලී කටු වේ. ඊයම් බිලී, පාය බිලී, කට ආම්පන්නේ, පුඩු බිලී එම බිලී කටු වර්ගයි. මෙකී බිලී කටු මගින් ප‍්‍රධාන කොට බල මසුන් ඇල්ලීම සිදු කරන ලද අතර ඊට අමතරව අලගුඩුවන් හා තෝරන් වැනි මධ්‍යම ප‍්‍රමාණයේ මසුන් ද ඇම් මගින් අල්ලා ගත්හ (ප‍්‍රියන්දන 2013:280-281).

බල ඔරුවේ පුද්ගලයින් 12ත් 18ත් අතර ප‍්‍රමාණයක් ගමන් කරයි. බල ඔරුව දිගින් මීටර් 9ත් 12ත් පමණ ප‍්‍රමාණයකින් යුක්තව නිර්මාණය කරයි. කොල්ලෑව මීටර් 7.5 – 8ක් පමණ ය. කුඩා වර්ගයේ බල ඔරු මීටර් 10ක් පමණ දිගින් යුක්ත ය. එහි මිනිසුන් අට දෙනෙක් පමණ ගමන් කරනු ලැබේ. බල ඔරු අනෙක් ඔරු වර්ගයෙන් වෙනස් වන්නේ අත්වැල (Rowing rails) සකස් කර ඇති ආකාරය අනුවයි. අවල් හයක් ඇති ඔරුවල පිටතින් සවිකල බංකු ඇත. ඉදිරියේ අවල් කරුවන් දෙ දෙනෙකි. ඔවුන් සිටිනුයේ ඔරුවේ වම් පසට වන්නට ය. මැද අවල් කරුවන් තුන්දෙනෙක් ඔරුවේ දකුණු පසට වන්නට සිටී. බොහෝ විට රුවල දමා තිබෙන්නේ ඔරුවේ දකුණු පසට වන්නට ය. කුඹ ගසෙහි මුදුනෙහි ඇති සිදුර හරහා කඹය යවා සකස් කිරීම තුළින් එහි වපසරිය සීමා කරනු ලබයි. එසේ කිරීමට හේතුවන්නට ඇත්තේ මෙම ඔරු එක් දිශාවකට පමණක් යාත‍්‍රා වන නිසාවෙනි (Kapitan 2009:95).

කාර්තුවක් අවසානයේ දී අනෙක් කාර්තුව තෙක් වන කාලය දක්වා බලඔරුව ආරක්‍ෂා කර තැබීමන් ධීවරයින් විසින් සිදුකරනු ලබයි. බල ඔරුවේ රුවල්, අවල්, කොල්ලෑව ගලවා ‘පුරය’ නමින් හඳුන්වන පොල් අතු දහසක් පමණ යොදාගෙන සකසක ලද මඬුවක ආරක්‍ෂිතව ගබඩා කරයි. අව්ව, වැස්ස හා සතුන්ගෙන් ඔරු කඳට වන හානිය අවමකර ගැනීම මෙහි අරමුණ වේ.

VIII. මාදැල් ඔරුව

මාදැල් වටකිරීමේ ඉතිහාසය 14වන සියවසත් 15වන සියවස් අතර කාලයේ දී පමණ බව විශ්වාස කරයි. ඉන්දියාවේ සිට පැමිණි ආර්ය චක‍්‍රවත්ති සමඟ ආ පිරිස් මෙම ක‍්‍රමය මෙරටට හඳුන්වා දෙන්නට ඇත. මුලින්ම මාදැල් කර්මාන්තය පැවතුනේ මන්නාරම මුල්කර ගනිමිනි. ඉන්දු ආර්ය සංක‍්‍රමණිකයන් නිරන්තරයෙන්ම ගොඩබැසීම හේතු කොට ඔරිස්සාව, තමිල්නාඩුව, ආන්ද්‍රා වැනි වෙරළ තීරයේ පැවතියා වූ මාදැල් ක‍්‍රමය අවට ප‍්‍රදේශ වල පැතිරෙන්නට විය. අද පවා මෙම මාදැල් ක‍්‍රමය හරහා ගොඩනැගුනු භාෂාව කේරළය හා දකුණු ඉන්දියාවෙන් පෝෂණය වී ඇත. කතෝලික දහමේ ව්‍යාප්තියත් සමඟ මෙම මාදැල් ක‍්‍රමය ලංකාවේ අනෙක් ප‍්‍රදේශ කරා ව්‍යාප්තව ගොස් තිබේ (සිරිවීර 2013:209-210) මාදැල් ධීවර කර්මාන්තය තුළ මාදැල වට කිරීම සඳහා භාවිත කරන ලද්දේ යාත‍්‍රාවකි. එකී ඔරුව මේ නමින් හැඳින්වීමට හේතුවන්නට ඇත්තේ මසුන් ඇල්ලීම සඳහා භාවිත කරන දැල නිසාවෙනි (Kapitan 1988:224). ක‍්‍රමයෙන් කුඩා වීගෙන යන ඇස් සහිත දැල් කිහිපයක් මේ සඳහා භාවිත කරනු ලබයි. කෙළවර කොටස මඩිය නමින් හඳුන්වනු ලබයි. මෙම දැල ප‍්‍රවාහනය සඳහා යොදා ගන්නා ඔරුව මාදැල් ඔරුවයි. ලංකාව වටා මෙවැනි මාදැල් තොටුපලවල් විශාල සංඛ්‍යාවක් පිහිටා ඇත. ඔවුන් දැල එලීමේ දී කොරල් රහිත වැලි සහිත මුහුදු පතුලක් තෝරාගනී.

මාළු රංචු වෙරළ ආසන්නයේ සිට නිරීක්ෂණය කරනු ලබයි. බොහෝ විට ඒ ආශ‍්‍රිතව පිහිනායන කුරුල්ලන්ගෙන් මෙය නිරීක්ෂණය කරනු ලබයි. ධීවරයින් තම දැල් ඔරුවේ පටවාගෙන මාළු රංචුව වටවන ආකාරයට අර්ධ කවාකාරව හෝ ඕවලාකාරව එළනු ලැබේ. මෙය බොහෝවිට මීටර් 100ත් 200ත් තරම් දුරකට මෙම දැල දමනු ලැබේ. ඔරුව දියත් කිරීම සඳහා පුද්ගලයින් 15 දෙනෙකු වත් අවශ්‍ය වේ. දියත්කරන ලද ඔරුවේ සිටින එක් පුද්ගලයේ දැලේ එක් කෙළවරක් රැගෙන ගොඩට පිහිනා එන අතර එකී කෙළවර ගොඩබිම ඇති කඹයේ ගැටගසනු ලබයි. අතීතයේ දකුණු පළාත තුළ ජනප‍්‍රිය සාම්ප‍්‍රදායික ධීවර කර්මාන්තයක් ලෙස මාදැල් ධීවර කර්මාන්තය තෙල්වත්ත, ගාල්ල, හම්බන්තොට, ජනප‍්‍රියව පැවතින (Kapitan 1988:226). ඇතැම් පළාත්වල මාදැල වටකිරීම උදෑසන සිදුවන අතර ඇතැම් පළාත් වල සිදුවන්නේ සවස් කාලයේ ය (Kapitan 1988:229). හික්කඩුව බේරුවල වැනි ප‍්‍රදේශවල මාදැල් ඔරුව වෙනුවට භාවිතයට ගනු ලබන්නේ මාදැල් පාරුවයි. බොහෝ ධීවරයින් මාදැල් පාරුවට වඩා මාදැල් ඔරුවට කැමැත්තක් දක්වයි. දැඩි රළ පහරට මාදැල් පාරුව ඔරොත්තු නොදීම හා නිරන්තරයෙන් ප‍්‍රතිසංස්කරණය කිරීමට සිදුවීම මෙයට හේතුවයි.

මාදැල් ඔරුව (Kapitan 1989)

මාදැල් ඔරුව නිර්මාණය කිරීම සඳහා අනෙකුත් ඔරු සඳහා භාවිත කළ ආකෘතිය ම යොදාගෙන ඇත. මාදැල් ඔරුව තරමක් විශාල වන අතර පතුල පැතලි ස්වරූපයකින් යුක්ත ය. ඔරු කදේ මැද කොටස මීටර් 1.3‐1.8 දක්වා වට ප‍්‍රමාණයකින් යුක්ත ය. මෙහි කොල්ලෑව යාත‍්‍රාවේ දකුණුපස ඉස්සරහට වන්නට සවිකර ඇත. ඔරු කඳට පුරුද්දා තිබෙන පලුලෑලි අනෙක් ඔරු වලට වඩා උසින් යුතුව නිමවයි (Kapitan 1988:230). යාත‍්‍රාවේ අවල් සංඛ්‍යාව 4කි. ඉන් තුනක් යාත‍්‍රාවේ ඉදිරිපස කෙළවරට වන්නට සමාන දුරකින් පිහිටන සේ සකස් කර ඇත. අනෙක් අවල යාත‍්‍රාවේ පිටුපසට වන්නට සවිකර ඇත (Kapitan 1988:224) ඔරු කදේ ඇතුලේ දිග මීටර් 9 සිට 10ක් දක්වා වන අතර පත්තාර කොටසත් සමඟ දිග මීටර් 12.50ක් පමණ වේ. පත්තාර අතර පළල මීටර් 0.25-0.3 දක්වා වේ. ඔරුවේ ඉදිරිපස පත්තාර මීටර් 0.16-0.23 දක්වා පළල්ව දක්නට ඇත. මෙසේ පත්තාර පළල් කොට තිබීම වැදගත් වනුයේ විශාල මුහුදු රළ අතරින් යාත‍්‍රාව ගමන් කිරීමේ දී රළ බිදීමෙන් යාත‍්‍රාවට හානියක් නොවීමට ය (පෙරේරා 2011:228) යාත‍්‍රාව වෙරළේ නවත්වනුයේ යාත‍්‍රාවේ ඇනිය කොටස මුහුදට සිටින ආකාරයට ය. ඒ ඕනෑම අවස්ථාවක මුහුදට දියත් කිරීමේ හැකියාව තිබිය යුතු නිසාවෙනි.

IX. කුඩා කලපු ඔරුව

මෙරට ඇති බොහෝ කලපු හී භාවිත වූ සාම්ප‍්‍රදායික යාත‍්‍රාවකි. සරළ හා කුඩා ස්වරූපයෙන් නිර්මිත යාත‍්‍රාවකි. යාත‍්‍රාවේ දිග මීටර් 4 සිට 5 දක්වා වෙනස් වේ. ඔරු කඳ මීටර් 1ක් පමණ වටප‍්‍රමාණයකින් යුක්ත ය. වම් පැත්තට වන්නට කොල්ලෑව සවිකොට තිබේ. කොල්ලෑව මීටර් 2.4 දිගින් යුක්ත ය. මෙකී යාත‍්‍රාහී එක් ධීවරයෙකු පමණක් රැකියාවේ නිරත විය. යොත්, පාවෙන දැල මඟින් මසුන් ඇල්ලීම සඳහා මෙම කුඩා ප‍්‍රමාණයේ කළපු ඔරු භාවිත කොටගෙන ඇත. සෑම කලපුවකම පාහේ දක්නට ලැබුණු මෙම යාත‍්‍රාවන් නිරිතදිග හා වයඹදිග ප‍්‍රදේශවල බොහෝ සෙයින් ජනපි‍්‍රය වී ඇත (පෙරේරා 2011:236).

X. කට්ටුදැල් ඔරුව

කට්ටු දැල් ඔරුව නිර්මාණය කිරීමේ දී දිගින් යුක්ත ලී කඳක් භාවිත කිරීම නිසාවෙන් යාත‍්‍රාව දිගින් යුක්ත වේ. යාත‍්‍රාවේ දිග මීටර 8‐9 දක්වා වේ. යාත‍්‍රාවේ මැද කොටසේ වට ප‍්‍රමාණය මීටර 1.2කි. ඔරුවේ වම්පසට සවිකර ඇති කොල්ලෑවේ දිග මීටර් 3.5ක් විය. කට්ටු දැල් භාවිත කිරීමට මෙම යාත‍්‍රා විශේෂය යොදාගත් බැවින් එම නමින් මෙකී යාත‍්‍රාව හඳුන්වා ඇත. කට්ටුදැල් ධීවර කර්මාන්තය සඳහා ධීවරයින් 2-3 පමණ නිරත වී ඇත (පෙරේරා 2011:236-237). මෙහි පත්තාරයක් දැකිය නොහැකි වේ. මෙවැනි වර්ගයේ ඔරුවක් ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරයේ ප‍්‍රදර්ශනයට තබා ඇත. ඔරු කදේ දිග මීටර් 10ක් පමණ වන අතර කොල්ලෑවේ දිග පළල මීටර 05.5ක් පමණ ය. මෙම යාත‍්‍රාව නැවත නැවත ප‍්‍රතිසංස්කරණය (අණ්ඩ දමා) කර භාවිත කර ඇත. එහි දී තඹ කාසි ඇණ සමග භාවිත කරමින් දිරාගිය කොටස් නැවත සකස් කර තිබේ.

කට්ටු දැල් ඔරුව

XI. පත්තාරය සහිත කලපු ඔරුව

කලපු ධීවර කර්මාන්තයේ දී භාවිත කරනු ලබන ඔරු බොහෝ විට පත්තාර රහිතව නිමවා ඇත. මෙයට හේතුව වන්නේ කලපු තුළ රළ පහරක් නොමැති නිසා ය. නමුත් මෙම යාත‍්‍රවේ පත්තාරයක් ඇති අතර එය පාරම්පරික යාත‍්‍රාවකි. සුලභ වශයෙන් මීගමුව කලපුවේ දක්නට ලැබේ. මුහුදු ඔරුවට සමාන වුවද ප‍්‍රමාණයෙන් කුඩා වේ. ඔරු කඳ මීටර් 4ක් පමණ දිගින් යුක්ත වේ. මීටර් 0.18ක් උසැති පත්තාරය ඔරු කදේ උඩ දාරයට සවිකර ඇත. කොල්ලෑව යාත‍්‍රාවේ වම් පැත්තේ වේ. එක් ධීවරයෙකු හෝ ධීවරයන් දෙදෙනෙකු රැකියාවේ නියුතු වු අතර දැල් හා යොත් පන්න ධීවර කටයුතු සඳහා යොදාගෙන තිබේ (පෙරේරා 2011:237).

XII. විසි දැල් ඔරුව

විසිදැල භාවිතයෙන් මසුන් ඇල්ලීම සඳහා යොදාගන්නා ලද යාත‍්‍රා විශේෂයයි. එසේම උගුල්වලට හසු වූ මාළුන් ඇල්ලීම සඳහා ද මෙම ඔරු භාවිත කර ඇත. කලපු හා ගංගා ආශ‍්‍රිතව බහුලව භාවිතයට ගැනුනි. මෙහි පත්තාර කොටසක් දක්නට නොමැති අතර ඔරු කඳට සම්බන්ධ කර පිටපෝරුව පමණක් නිර්මාණය කර ඇත. විසිදැල කොල්ලෑව සම්බන්ධ කරන වියල් අතර රඳවනු ලබයි. කොල්ලෑව ඔරුවේ වම්පසින් පිහිටයි. රුවල උණ ලී දෙකක් අතර රදවා ඇත. මෙම ඔරු යාත‍්‍රා කිරීමේ දී කොල්ලෑව සුලගේ මුහුණතට හරවනු ලැබේ. යාත‍්‍රාවේ දිග මීටර් 5.9ක් පමණ වන අතර කොල්ලෑව මීටර් 3.9ක් පමණ දිගින් යුත්ත ය. මෙහි ඔරු කදේ සිට කොල්ලෑවට ඇති දුර මීටර් 2.3 ක් පමණ ය (Kapitan 2009:66).

XIII. ඉස්සන් ඔරුව

මඳ සුලං පැතිර පවතින කාලයන්හී දී මෙම ඔරු විශේෂය භාවිත කරයි. සාමාන්‍යයෙන් මෙහි ධීවරයන් හතර දෙනෙක් ගමන් ගන්නා අතර ප‍්‍රධාන කොට ඉස්සන් ඇල්ලීම සිදුකරනු ලබයි. කොල්ලෑව වම් පසින් පිහිටයි. කොල්ලෑව වියල් දෙකක් මාර්ගයෙන් ශක්තිමත්ව ඔරු කඳට සම්බන්ධ කර ඇත. එසේම කොල්ලෑවේ වියල් සඳහා තවත් ලී දඩු තුනක් සම්බන්ධ කර යොදා ඇත. එමඟින් සුලං වැඩි වන අවස්ථාවේ යාත‍්‍රාවේ සමබරතාව ගිලිහී යා නොදී ආරක්‍ෂා කර ගැනීම අපේක්ෂා කරයි. ඔරුවේ රුවල නිර්මාණය කර තිබෙනුයේ සැහැල්ලු කපු රෙද්දකිනි. උස ආසන්න වශයෙන් පළල මෙන් දෙ ගුණයකි. එය ශක්තිමත් උණ දණ්ඩක රඳවා ඇත. කෙළවර කඹය කොල්ලෑවට සම්බන්ධ කරයි. කුඹයේ මුල උණ වලින් සාදන ලද රවුම් කෝප්පයක් හැඩති කොටසකට සම්බන්ධ කරනු ලබයි.

මීගමුව ප‍්‍රදේශයේ ඇති ඉස්සන් ඔරු හී විශේෂ ලක්‍ෂණයක් දක්නට ලැබේ. ඔරුවේ පාලකයා ඔරු බදේ සවිකර ඇති ලීය මත තම පය තබා යාමයි. එම ලීය පලුු ලෑල්ල නමින් හඳුන්වයි (Kapitan 2009:80). එමගින් ඔරුව පාලනය කරනුයේ එහි කෙළවර ලනුවක් රදවා එම ලණුව ඔරුවේ ඉදිරිපසට ඇති රුවලට සම්බන්ධ කිරීමෙනි. විශාලතම යාත‍්‍රා වල මෙවැනි පලු ලෑලි තුනක් පමණ දක්නට ලැබේ. එයට හේතු වන්නේ ඔරු බඳ ඇතුළත පටු නිසා එය ධීවරයන්ට සාමාන්‍යයෙන් පහසුවෙන් එහි ඇතුළත තබාගත හැකි වන්නේ එක් පයක් පමණි. සමහර ධීවරයින් පිටත කොල්ලෑවේ රාමුවේ වන වේදිකාව මත වාඩි වී යයි. මෙම වේදිකාව උණ බම්බු කිහිපයක් එකිනෙකට මනාව ගැටගසාගෙන සාදාගෙන ඇත. ආහාර භාජන රැගෙන යන්නේනම් ඒවාද රඳවා තබා ගන්නේ ද මෙම වේදිකාව මතය (Kapitan 2009:81).

XIV. තෝර ඔරු

ඉස්සන් ඔරුවට බෙහෙවින් සමාන වේ. නමුත් ප‍්‍රමාණයෙන් විශාල වන අතර තෝර මාලු ඇල්ලීමට භාවිත කරයි. රුවලක් සහිත වන අතර අවශ්‍ය විටක හබල් භාවිත කරයි. ඉස්සන් ඔරුව මෙන්ම මෙහි දී ද රුවල් දෙකක් භාවිත කරනු ලබයි. නමුත් ඉස්සන් ඔරුවේ රුවලේ රෙද්දට වඩා මෙය ප‍්‍රමාණයෙන් කුඩා වේ (Kapitan 2009:81).

XV. හැඩි ඔරු

හැඩි ඔරුවේ ධීවරයන් පස්දෙනෙකු සේවයේ නිරත වේ. ඇම් ලෙස පණ ඇති මසුන් යොදා ගෙන පන්න ධීවර රැකියාවේ නිරත වේ. එම මසුන් වෙරළ ආසන්නයෙන්ම අල්ලා ගන්නා අතර ඒ සඳහා කෝණාකාර දැලක් හා ඔරු දෙකක් භාවිත කරයි. ඇම් ඔරුවේ මසුන් මරන ආකාරයටම දැල ඔරු දෙක අතරින් පහලට හෙලා ඇම් අල්ලා ගැනීම සිදුකරනු ලබයි. යාත‍්‍රාව රුවල් දෙකකින් සමන්විත වේ (Kapitan 2009:81-82). බොහෝ වි මෙහි රුවල දෙක් භාවිතයෙන් යාත‍්‍රාකරණය සිදුකරනු ලබයි.

XVI. පොඩි ඔරුව

කුඩා ප‍්‍රමාණයේ ඔරු විශේෂයකි. එක් අයෙක් හෝ දෙ දෙනෙක් රැකියාවේ නිරත වේ. මෙම යාත‍්‍රා විශේෂය වර්තමාණය වන විට භාවියෙන් ඉවත්ව ගොස් ඇත.

පොඩි ඔරුව රුවල භාවිත කරම්න් යාත‍්‍රා කිරීම (Record of Traditional Watercraft from South and west Sri Lanka , p.125a)

XVII. කොල්ලෑව සහිත වල්ලම් ඔරුව

කොල්ලෑවක් නොමැතිව සහිතව සහ රහිතව තනි ලී කඳක් හාරා වල්ලම යාත‍්‍රාව නිර්මාණය කොට ඇත. උතුරු හා නැඟෙනහිර ධීවර ප‍්‍රදේශවල ඔරුව වෙනුවට භාවිත කොට ඇත්තේ මෙකී වල්ලම් විශේෂයයි. වල්ලමේ දිග ප‍්‍රමාණය අනුව කොල්ලෑවේ ප‍්‍රමාණය තීරණය වේ. මේ සඳහා රුවලක් ද මොවුන් භාවිත කරයි. වර්තමානයේ දී ද යාපනය ප‍්‍රදේශයේ ලී වල්ලම් විශාල ප‍්‍රමාණයක් දැකිය හැකි වේ. මේවා විශාල වෙත්ම ලෑලි කොටස් සම්බන්ධ කර ගනිමින් නිර්මාණය කරන ලද අවස්ථා ද දැකිය හැකි වේ. ඇතැම් වල්ලම් සඳහා මෝටර් බෝට්ටු සවිකර තිබුනත් බොහෝමයක් වල්ලම් තවමත් රුවල මඟින් ධාවනය කරනු ලබයි. සාමාන්‍ය දකුණේ භාවිත රුවල් ඔරුවක් නිර්මාණය කිරීමේ තාක්‍ෂණයට වඩා මෙම යාත‍්‍රා නිර්මාණ තාක්‍ෂණය වෙනස් වේ.

සාකච්ඡාව

2004 වර්ෂය තෙක් ලී යාත‍්‍රා මුහුදුබඩ කලාපයේ භාවිතා කරන ලද අතර සුනාමියත් සමඟ සාම්ප‍්‍රදායික කරදිය යාත‍්‍රා කර්මාන්තය විනාශ විය. මහාමාර්ග හා පාලම් සංවර්ධනය යන කරුණු ද මිරිදිය යාත‍්‍රා කර්මාන්තය ක‍්‍රමයෙන් අභාවයට යන්නට හේතු විය. වර්තමාණයේ නිර්මිත ධීවර යාත‍්‍රා සාම්ප‍්‍රදායික ලී යාත‍්‍රාවන්ගේ ආකෘති ඔස්සේ නිර්මාණය වනු දැකිය හැක. අහඹු වශයෙන් දකුණු ශ‍්‍රි ලංකාවේ භාවිතයේ පවතින ලී යාත‍්‍රා තවමත් සොයාගැනීමට හැකියාව පවතී. උතුරු ප‍්‍රදේශයේ මේ තත්වය වෙනස්ය භාවිතයේ පවතින ලී යාත‍්‍රාවන් බොහෝමයක් එහි දැකිය හැකි වේ. අද වන විට සාම්ප‍්‍රදායික ජල යාත‍්‍රා කර්මාන්තය සම්පූර්ණයෙන් ම පාහේ අභාවයට ගොස් ඇති අතර අනාගතයේ දී ජල යාත‍්‍රා පිළිබඳ ව අධ්‍යයනය කිරීමට ඉතිරිවන්නේ පොතපත පමණක් වනු ඇත.

ආශ‍්‍රිත ග‍්‍රන්ථ හා ‌ලේඛන නාමාවලිය

  • පෙරේරා, එල්. (2011), ශ‍්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය, සමන්ති පොත් ප‍්‍රකාශකයෝ, ජා ඇල.
  • ප‍්‍රියන්දන, රුක්‍ෂාන් (2013), සාම්ප‍්‍රදායික ජල යාත‍්‍රාවක් වන බල ඔරුව, පුන්කලස, III වෙළුම, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, කොළඹ.
  • සිරවීර, නීල් (2013), මාදැල් ධීවර වරායන් හී ඓතිහාසික විකාශනය හා ඉපැරණි තාක්‍ෂණික ක‍්‍රමවේදය, පුන්කලස, III වෙළුම, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, කොළඹ.
  • Devendra, Somasiri (2013), MARITIME HERITAGE OF LANKA Ancient ports and harbours, THE LOST SHIP OF LANKA, Gunaratne Offset (pvt) Ltd.
  • Kapitan, Gerhard (1987), Rrcords of native craft in Sri Lanka I: The single outrigger fishing Canoe Oruwa Part 1.2 Sailing oru, Nautical Archaeology, Vol. 16, No. 4, Dorset Press, Dorchester, Dorset.
  • Kapitan, Gerhard (1988), Records of native craft in Sri Lanka-I: The single outrigger fishing Canoe Oruwa -plrt2.l Rowed, paddled and poled oru, Nautical Archaeology, Vol. 17, No. 3, Dorset Press, Dorchester, Dorset.
  • Kapitan, Gerhard (1989), Records of native craft in Sri Lanka-I: The single outrigger fishing Canoe Oruwa – Patt2.2: Rowed, paddled and poled oru, Nautical Archaeology, Vol. 8, No. 2, Dorset Press, Dorchester, Dorset.
  • Kapitan, Gerhard (1991), Records of native craft in Sri Lanka-I: The single outrigger fishing Canoe Oruwa – Part2.3: Rowed, paddled and poled oru, Nautical Archaeology, Vol. 20, No. 1, Dorset Press, Dorchester, Dorset.
  • Kapitan, Gerhard (2009), Records of Traditional Watercraft from South and West Sri Lanka, British Archaeology Report, England.
  • Kentley, Eric & Rohan Gunaratne (1987), The Maelel Paruwa-a sewn boat with chine strakes, Nautical Archaeology, Vol. 16, No. 1, Dorset Press, Dorchester, Dorset
  • Vitharana, V. (1992), The Oru And The Yatre, Sridewi Printers, Nawinna.
  • http://www.divaina.com /2010/07/20/ feature03.html
----------------------------------------------------------------------------------
මෙම ලිපිය 2018.11.07 වැනි දින පළමු වරට  www.archaeology.lk/sinhala වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් විය.
----------------------------------------------------------------------------------
Advertisements

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.