කේ.එච්. තිලිනි දුමින්ද්‍යා

පුරාවිද්‍යා නිලධාරි, ආළාහන පරිවෙන ව්‍යාපෘතිය, පොළොන්නරුව.

තිලිනි දුමින්ද්‍යා

රුවන්වැලි සෑය ඓතිහාසික වශයෙන් වැදගත් වන්නා සේම එහි විද්‍යාමානව පවතින ස්තූප අංග නිරීක්‍ෂණය කිරීමේ දී ද වැදගත් වාස්තු විද්‍යාත්මක නිර්මාණයක් ලෙස අපට හඳුනාගත හැකි ය. ඒ තුළින් අපගේ අතීත මුතුන්මිත්තන් සතුව පැවැති වාස්තු විද්‍යාත්මක දැනුම, තාක්‍ෂණය පිළිබඳව වූ කරුණු බොහෝමයක් සොයාගත හැකි ය.

රුවන්වැලි සෑය මහාවංසයේ සඳහන් ආකාරයට නිම වූ පසු එහි උස රියන් 120ක් (අඩි 300) විය. එවකට ශ‍්‍රී ලංකාවේ උසම හා විශාලතම ස්තූපය එය විය. එනිසාවෙන් මහා ථූපය ලෙස හඳුන්වන ලදී. නමුත් මෙය මධ්‍යම ප‍්‍රමාණයේ ස්තුපයක් බව සංඝයා විසින් මුල දී ප‍්‍රකාශ කර තිබුණි. සෙනරත් පරණවිතාන මහතා රුවන්වැලි සෑය පිළිබඳව පර්යේෂණ කරන අවධියේ විශ්කම්භය අඩි 298ක් විය. පළමු ස්තූපය වර්තමාන ප‍්‍රමාණයන් හා බොහෝ දුරට සමාන බවත්, පසු කලෙක දී කරන ලද ප‍්‍රතිසංස්කරණ වලින් මුල් ප‍්‍රමාණයන් විශාල නොවු බවටත්, එය ඔප්පු කිරීමට පුරාවිද්‍යාත්මක සාධක පවතින බවටත් සෙනරත් පරණවිතාන මහතා පවසයි. ස්තූපය හැඳින් වූ මහා ථූප යන නාමය ඊට උචිත වුවකි. නිමවීමෙන් පසු මෙම ස්තූපයේ ප‍්‍රමාණය පරදවන තරම් අන් එබඳු නිර්මාණයක් ලංකාවේ පමණක් නොව මුළු බෞද්ධ ලෝකයේම නොවී ය. අනුරාධපුරයෙහි පිහිටි පසු කාලයට අයත් ස්තූප දෙකක් ප‍්‍රමාණයෙන් රුවන්වැලි චෛත්‍ය අභිබවා සිටිය ද රුවන්වැලි සෑය නිර්මාණය කළ දුටුගැමුණු රජතුමා කෙරෙහි බැඳී පවත්නා අපූර්ව ගෞරවය හා අනෙක් හේතූන් නිසා මෙම ස්තූපයට ලංකාවේ ස්තූප අතර ප‍්‍රධාන ස්ථානය වීමට හැකි වී ඇති බව සිංහල බෞද්ධයන්ගේ පිළිගැනීම වේ (පරණවිතාන 1963, පිටු 5).

මුල් රුවන්වැලි සෑය පේසා වළලූ තුන, ගර්භය, හතරැස් කොටුව, ඡත‍්‍රය යන අංගයන්ගෙන් යුක්ත විය. එම එක් එක් අංගයන් පිළිබඳව වු වාස්තු විද්‍යාත්මක ලක්‍ෂණ මොනවාද යන්න විමසා බලමු.

පාදම

රුවන්වැලි ස්තූපය ගොඩනැංවීම පිළිබඳ මහාවංසයේ දීර්ඝ විස්තරයක් ඇතුළත් වේ. එහෙත් මේ සිද්ධිය සම්බන්ධයෙන් එහි අතුළත් වන්නේ ස්තූප නිර්මාණය පිළිබඳ සත්‍ය තොරතුරුවලට වඩා ගුණවර්ණනාත්මක කතා පුවත්ය. කෙසේ වුවත් මෙම කතා පුවත අතුරෙහි ස්තූපයේ නිර්මාණ ලක්‍ෂණ ගැන අහම්බෙන් ඇතුළත් වූ තොරතුරු ස්වල්පයක් වේ.

රුවන්වැලි සෑය නරඹන්නකුට විද්‍යාමාන වන එක් අංගයන් වන්නේ පේසා වළලුය. එය ස්තූපයේ පහළින්ම දක්නට ලැබේ. පේසා වළලු නිර්මාණය කිරීමට ප‍්‍රථම එහි අත්තිවාරම නැතහොත් පාදම නිර්මාණය කරගත යුතු ය. එනිසාවෙන් අත්තිවාරම පිළිබඳ ප‍්‍රථමයෙන් කරුණු සොයා බැලීම වැදගත් වේ. ගඩොළින් බඳින ලද ස්තූපය එහි බරින්ම කිදා බැසීම වැලැක්වීම පිනිස අත්තිවාරම ස්ථිර ලෙස පිහිටුවීමට ඉතා සැලකිලිමත් වූ බව පෙනේ. එහි දී දුටුගැමුණු රජු සත් රියනක් පොළොව යටට කැන ගඩොළු, කළු ගල්, හුණු ගල් ආදිය විවිධ ගල් වර්ග දමා ඇතුන් ලවා පාගවා පාදම ඉතාම ශක්තිමත් ලෙස නිර්මාණය කරන ලද බව මහාවංසයේ සඳහන් කතා පුවතින් පැහැදිලි වේ (පරණවිතාන, 1963, පිටු 11). බෙල් මහතා විසින් අභයගිරිය ස්තුපයේ අඩිතාලම පෑදීමේ දී පඩි සහිත ගඩොළු බැම්මකින් යුත් එහි අත්තිවාරම මළුව මට්ටමේ සිට අඩි 26ක් යට සිට පටන් ගන්නා බවත්, ගඩොළු බැම්මට යටින් කොන්ක‍්‍රීට් තට්ටවක් අතුරා තිබූ බවත් දැන ගන්නා ලදී (Bell, ASCA Report, 1894, P. 02). මේ අනුව සසඳන විට අභයගිරිය ස්තූපයට තරම් නොවුවත් රුවන්වැලි සෑයෙහි පාදම ද ඉතාමත් ශක්තිමත් ලෙස සකස් කිරීමට කටයුතු කොට ඇති බව පැහැදිලි වේ. ඒ අනුව, රුවන්වැලි සෑයෙහි ස්ථිර බාවය ආරක්‍ෂා කිරීම පිනිස විශාල පරිශ‍්‍රමයක් දැරූ බව පැහැදිලි වේ.

ගර්භයෙහි ආකෘතිය

මහා ථූපයෙහි හැඩය සම්බන්ධයෙන් ද මහාවංසයේ කරුණු සොයාගත හැකි ය. දුටුගැමුණු රජ විසින් දාගැබෙහි හැඩය කුමනාකාරයෙන් විය යුතු දැයි ප‍්‍රධාන නිර්මාණ ශිල්පියාගෙන් විමසූ අවස්ථවේ දී, “රන් තලියක් ජලයෙන් පුරවා අතින් දිය ටිකක් ගෙන දිය මතුපිට නැඟීය, එවිට අර්ධගෝලාකාර පළිඟුවක් මෙන් වූ මහා දිය බුබුලක් පැන නැන්ගේ ය” (මහාවංසය, 30 වැනි පරිච්ජේදය, ගාථා 12-13). එම දිය බුබුළේ හැඩයට ස්තූපය ගොඩනංවන ලෙස ශිල්පියා රජුට පවසා ඇත. මෙම සිදුවීම පිළිබඳව විශ්වාසනීයත්වය කෙසේ වෙතත් මහාවංසය රචනා කරන අවධියේ දී මහා ථූපය අර්ධගෝලාකාර ගර්භයකින් යුක්ත වූ බව එයින් තහවුරු වේ. එම්. ෆුෂේ මහතාට අනුව බුබ්බුලාකාර හැඩය බුද්ධ ධර්මයේ නිතර හුවා දක්වන ලෝකයේ අනිත්‍ය ස්වභාවය උසස් ලෙස පිළිබිඹු කෙරෙන සංකේතයකි. රුවන්වැලි සෑයෙහි ගර්භ ආකෘතිය සම්පූර්ණයෙන්ම අර්ධගෝලාකාර නොවේ. මුදුනෙහි මදක් පැතලි වී තිබේ. එය එසේ වන්නේ ගර්භයේ ඉහළින් හතරැස් උපරි භාගය සඳහා ඉඩකඩ ඇති කිරීම පිණිස වේ (පරණවිතාන, 1963, පිටු 12). පසු කාලීනව සිදු කරන ලද ප‍්‍රතිසංස්කරණ කර ඇත්තේ ද එම බුබුලාකාර අකෘතියට අනුවමය (වික‍්‍රමගමගේ, 1990, පිටු 39).

ස්තූපයේ කොටස් (චන්ද්‍රා වික‍්‍රමගමගේ මහතාගේ ‘ස්තූපය’ ග‍්‍රන්ථයෙනි)

පේසා වළලු

පේසා වළලු මේධ, පුප්ඵධාන, වේදිකා, ත‍්‍රිමාල, මල්පියවසා ආදී නම්වලින් හඳුන්වනු ලැබේ (වික‍්‍රමගමගේ 1990, පිටු 50). මහා ථූපයේ ගර්භය එක පිට එක ගොඩනඟන ලද වටකුරු මාලකයන් 3ක ඉහළම මාලකයෙන් පැන නැඟෙන ආකාරයට නිර්මාණය කොට තිබේ. මේවායේ උඩ මාලය ඊට පහතින් ඇති මාලයට වඩා කුඩා විශ්කම්භයකින් යුක්ත වේ. මෙම මාලක මහාවංසයේ පාලියෙන් සඳහන් වන්නේ පුප්ඵධාන යන වචනයෙනි. එහි අර්ථය වන්නේ මල් පුදන ස්ථානය යනුවෙනි. ඒ අනුව, මෙම මාලක මුල් කාලීනව මල් පිදීම පිනිස භාවිත කළ බවට අනුමාන කළ හැකි ය. වත්මන් ස්තුපවල පේසා වළලුවල මල් පූජා කිරීම දක්නට ලැබේ. එය කාලයක දී මෙය ප‍්‍රදක්ෂණා කිරිමට නිර්මාණය කරන්නට අනුමාන කෙරේ. මහා ථුපයෙහි පේසා වළලූ ආරම්භයේ දී ගඩොලින් නිර්මාණ කරන ලදී. එහෙත් ලඤ්ජිතිස්ස රජු (ක‍්‍රි.පූ. 59-50 දී පමණ) විසින් ඒවා සුදු හුණුවලින් ආවරණය කරන ලදී (මහාවංසය, 33 වැනි පරිච්ජේදය, ගාථා 21-22). මෙලෙස නිර්මාණය වුණු පේසා වළලුවල පාදයන් විවිධ බොරදම්වලින් පසු කාලීනව අලංකෘත විය. හත්ථිවේදී හෙවත් ඇත් රූපවලින් පේසා වළලු අලංකරණය කරන ලදී. මහානාග රජු විසින් මහා ථූපයට එය එක් කරන ලදී. රුවන්වැලි සෑයේ මුදුන්ම පේසාවේ සිට ගැටිය දිගේ බිත්ති තලයේ සිට අඟල් 10ක් හෝ 12ක් පිටට නෙරා සිටින සේ අඩි 6 අඟල් 3ක් පමණ වූ නියත පරතරයන් අතර ඇත් හිස් නිමවා ඇත. මෙම ඇත් රූපවල යටි පැත්තෙහි කණු දරා සිටීමට මෙන් හරන ලද ඇලි විය. ඇත් හිස්වලින් සැරසූ ගරාදි වැටක් වී නම් ඊට උචිත වූ හත්ථිවේදී නාමයෙන් එය හඳුන්වන්නට ඇති බව සෙනරත් පරණවිතාන මහතා පවසයි (පරණවිතාන, 1963, පිටු 15).

මහා ථූපයේ මුදුන් පේසාව මත ගරාදි වැටක් ද තිබූ බවට සාධක තිබේ. භාතිකාභය රජු රුවන්වැලි සෑය සඳහා ගරාදි වැටවල් 2ක් තැනූ බව මහාවංසයේ සඳහන් වේ. කුච්ඡුවේදී හා මුද්ධවේදික යන නාමයන්ගෙන් එම ගරාදි වැටවල් 2ක් තැනූ බව මහාවංසයේ සඳහන් වේ. කුච්ජවේදී හා මුද්ධවේදික යන නාමයන්ගෙන් එම ගරාදි වැටවල් 2 මහාවංසයේ ටීකාවේ විස්තරයට අනුව සඳහන් වේ. මුද්ධ වේදිකා යනු ගර්භය මුදුනේ පිහිටි ගරාදි වැට වේ. කුච්ඡු යනු උදර යන්න වේ. ඒ අනුව කුච්ජ වේදිකා යනු ගර්භය හා සම්බන්ධව පැවැති ගරාදි වැටක් විය හැකි ය (පරණවිතාන, 1963, පිටු 15).

පාදම මත නිර්මාණ වූ රුවන්වැලි සෑයෙහි තුන් මහල් පේසාව මුල් කාලීනව ප‍්‍රදක්‍ෂිණා පථයක් ලෙසත්, පසුව මල් පිදීමට භාවිත කළ බවත් අනුමාන කළ හැකි ය. එසේම තුන් මහල් පේසාවන් අතුරින් මුදුන් පේසාව ඇත්හිස් රූපවලින් හා ගරාදි වැටකින් විවිධ අවස්ථාවලදී අලංකාර වූ බවට පුරාවිද්‍යාත්මක සාධක පවතී.

පේසා වළලු තුන ගරාදි වැටවල් සහිත පේසාව
ස්මිදර් මහතා විසින් වාර්තා කරන ලද පේසා වළලුවල දැක්වෙන ගරාදි වැට (Architectural Remains in Anuradhapura ග‍්‍රන්ථයෙනි).

ධාතු ගර්භය

මහා ථුපයෙහි පේසා වළලු තුන සම්පූර්ණයෙන් ඉදි කොට අවසන් වූ පසු ගර්භය නිර්මාණය කිරීමට ප‍්‍රථම මුදුන් පේසාව මත ධාතු ගර්භය තැනීමට කටයුතු කරන ලදී. ඒ පිළිබඳව මහවංසයේ දීර්ඝ විස්තරයක් දැක්වේ. එම වර්ණනාවේ එන විස්තරයන්ට අනුව බොහෝ ප‍්‍රකාශයන් විශ්වාසනීයත්වයෙන් තොර වේ. මෙහි දී ගල් පුවරු 6ක් භාවිත කොට ධාතු ගර්භය නිර්මාණය කළ බවට තොරතුරු මහාවංසයේ දැක්වේ. ඒ අනුව, ධාතු නිදන් කිරීමට ගල් පුවරුවලින් සකස් කරන ලද මඤ්ජුසාවක් යොදා ගත් බව පෙනෙයි. මෙලෙස නිර්මාණය කරගත් ධාතු ගර්භය තුළ ධාතු කරඬුව පමණක් නොව විවිධ වටිනා වස්තු ද තැන්පත් කරන ලදී. ඒ පිළිබඳ දීර්ඝ විස්තරයක් මහාවංසයේ 30 වැනි පරිච්ෙඡ්දයෙන් අනාවරණය කෙරේ. සමහර වස්තු ඇදහිය නොහැකි වටිනා ඒවා ය. කෙසේ වෙතත් මුදුන් පේසාව මත ධාතු ගර්භය නිර්මාණය කළ බවට අනුමාන කළ හැකි ය (පරණවිතාන, 1963, පිටු 16, 20).

ගර්භය

ගර්භය කුච්ජ, උදර, අණ්ඩ, ථුප, චේතිය ආදී නම්වලින් හඳුන්වනු ලැබේ (වික‍්‍රමගමගේ, 1990, පිටු 34). රුවන්වැලි සෑයේ මුදුන් පේසාව මත ධාතු නිදන් කිරීමට ධාතු ගර්භය නිර්මාණය කිරීමෙන් අනතුරුව දුටුගැමුණු රජු හා ප‍්‍රධාන නිර්මාණ ශිල්පියා කතිකා කරගත් ආකාරයට ගර්භය බුබ්බුලාකාර ලෙස නිර්මාණය කළ බව මහාවංසයේ සඳහන් වේ. ගර්භය ගඩොලින් නිර්මාණය කරන ලදී. පරණවිතානයන්ට අනුව මහා ස්තුපයන්ගේ විශාල ගර්භයන් සම්පූර්ණයෙන්ම ගඩොලින් පමණක් ඝන ලෙස ඉදි නොකරන ලදැයි සිතිය නොහැක. ගඩොල් හා පස් යන දෙකම භාවිත කරන්නට ද ඇත. පසු කාලීන ගරාවැටීමෙන් හමුවන ස්තුප ගර්භවල බොහොමයක් දක්නට ලැබෙනුයේ පස්ය. ඇතැම් විට එම පස් ගඩොල් දිරාපත් වීම නිසා නිර්මාණය වුවක් ද විය හැකි ය. කෙසේ වෙතත්, මහා ස්තුපයේ ගර්භය නිර්මාණයයේ දී බොහෝ සෙයින් ගඩොල් භාවිත කළ බවට බොහෝ සාධක තිබේ (පරණවිතාන, 1963, පිටු 20-21). 1886 දී අනුරාධපුරයට ගිය හෙන්රි පාකර් මහතාට රුවන්වැලි සෑය ප‍්‍රතිසංස්කරණය කටයුතු පරීක්‍ෂා කිරීමේ දී දක්නට ලැබුණු එක්තරා ලක්‍ෂණයක් පිළිබඳව ඔහු විසින් රචිත Ancient Ceylon නම් ග‍්‍රන්ථයේ සඳහන් කරයි. ගර්භයෙහි බාහිර බැම්මේ සිට අඩි 20ක් පමණ ඇතුළතින් තවත් බැම්මක් විය. ඇතුළත බැම්මට පිටත බැම්ම මෙන් බැමි යොදා නොතිබුණි. ඇතුළත බැම්මේ ගඩොල් හා පිටත බැම්මේ ගඩොල්වල ප‍්‍රමාණයන් ද සමාන නොවීය. මේ නිසා පාකර් මහතාගේ අදහස වුයේ ඇතුළත බිත්තියෙන් දුටුගැමුණු රජතුමා විසින් කරවන ලද චෛත්‍යය පෙන්නුම් කරන බවත්, පිටත බිත්තියෙන් පෙන්වන්නේ පසු කාලයේ දී මෙම චෛත්‍යය විශාල කිරීමක් විය හැකි බවත්ය. බිත්ති කිහිපයකින් යුක්තව චෛත්‍යය සැදීමේ පැරණි සම්ප‍්‍රදාය පිළිගැනීමට පාකර් අකමැති වූ බව පෙනේ. එහෙත් මෙවැනි ලක්‍ෂණ වෙනත් චෛත්‍යයවල දක්නට ලැබීමත්, රුවන්වැලි සෑය විශාල කළ බව කිසිදු සඳහනක් වංස කතාවල හෝ වෙනත් ලේඛනවල සඳහන් නොවීමත් නිසා පරණවිතානයන්ගේ මතය නම් බිත්ති 2ම ආරම්භයේදීම ඉදිකළ බිත්ති 2ක් මිස වෛත්‍යය විශාල කිරීමක් නොවන බවයි (කරුණානන්ද, 1994 , පිටු 51).

හතරැස් කොටුව

රුවන්වැලි සෑයේ ගර්භයේ වැඩ නිමවනවාත් සමඟ දුටුගැමුණු රජු රෝගාතුරු විය. අනතුරුව රජු මිය යෑමෙන් පසු රුවන්වැලිසැයෙහි ඉතිරි ඉදිකිරීම් සිදු කරනු ලැබුවේ සද්ධාතිස්ස රජු විසිනි. මහා ථුපයෙහි හතරැස් කොටුව නිර්මාණය විය. හතරැස් කොටුව මුද්ධවේදි, හර්මිකා, චතුරස්සවය, ද්‍රෝණ යන නම් වලින් හඳුන්වා ඇත (වික‍්‍රමගමගේ, 1990, පිටු 52). හතරැස් කොටුව නිර්මාණය සඳහා ගඩොල් භාවිත කර ඇත. පේසාව හා ගර්භයට සම්බන්ධ කොට ගරාදි වැටක් නිර්මාණය කළා සේම මුදුන් ගරාදි වැටක් ද නිර්මාණය කරන ලදී. භාතිකාභය රජු විසින් නිර්මාණය කරන ලද ගරාදි වැට දිරාපත් වූ නිසා පසුව ආමණ්ඩගාමිණි රජු විසින් නැවතත් අලුත් ගරාදි වැටක් රුවන්වැලි සෑයට එක් කරන ලදී. මුල් කාලීන ලක්දිව පැරණි දාගැබ්වල මුදුන් ගරාදි වැටක් තිබුණ ද ඒ පිළිබඳව සාධක හමු නොවන්නේ එය සිටුවන ලද්දේ ලීයෙන් නිසා විය හැකි බව සෙනරත් පරණවිතානයන් පවසයි. ඒ අනුව, මහා ථූපයේ මුල් කාලීනව නිර්මාණය කරන ලද මුදුන් ගරාදිවැට ලීයෙන් තනන ලදී (පරණවිතාන, 1963, පිටු 26-27).

මෙලෙස නිර්මාණය වූ රුවන්වැලි සෑයේ හතරැස් කොටුවේ පාදම හා උඩු ලී ස්තර බොරදම්වලින් යුක්ත විය. හතරැස් කොටුවේ සිරස් බිත්තිවල මතු පිට බිත්ති කුළුණුවලින් සැදි ගරාදි වැට මෝස්තරයෙන් අලංකාර විය. මෙම ගරාදි වැට මෝස්තරය හුදු සැරසිල්ලක්ම වශයෙන් නොසැලකු බව සිතිය හැකි ය. දාගැබ් කරන්නවුන් විසින් වෛත්‍යයවල මෙම කොටසෙහි සැබෑ ගරාදි වැටක් ඉදිකරන්නට පුරුදුව සිටින්නට ඇත. වරින්වර චෛත්‍යය ප‍්‍රකෘතිමත් කිරීමට තිබූ අසීරුකම නිසා ලීයෙන් ගරාදි වැට තැනිමේ පුරුද්ද අත්හළ බව සිතිය හැකි ය. එහෙත් එම අංගය වෛත්‍යයකට අවශ්‍යයැයි සැලකු නිසා එය දැක්වීම පිනිස ගාඩාලින් හා බදාමෙන් ව්‍යාජ ගරාදි වැටක් තනන ලදී. හතරැස් කොටුව හතර පැත්තෙහි සූර්ය හා චන්ද්‍ර සංකේත නිර්මාණය විය. හතරැස් කොටුවේ පැතිවල ඉර හඳ දැක්වීමේ සිරිත වර්තමානයේ ද පවතී. සූර්ය සංකේතය දැක්වෙනුයේ බුදුරදුන් සූර්ය වංශයෙන් පැවත එන නිසා විය හැකිය (පරණවිතාන, 1963, පිටු 27 -28).

පොළොන්නරුවේ රන්කොත් වෙහෙරේ ගර්භයෙහි පැතලි ගර්භයෙහි පැතලි මුදුන මත වූ හතරැස් කොටුවේ පදනම වටේ ගල් කණු අටක් පිහිටා තිබී ඇති බව බෙල් මහතා සිය වාර්තාවල සඳහන් කර තිබේ. පොළොන්නරු කිරි වෙහෙරෙහි ගර්භය මුදුනෙහි වූ හතරැස් කොටුවේ එක් කොනක එක බැගින් සිව් කොනෙහි එබඳු කණු හතරක් පිහිටුවා තිබේ. රුවන්වැලි දාගැබ ප‍්‍රකෘතිමත් කිරීමට පෙර එහි ගර්භය මත ද එවැනි කණු සිටුවා තිබුණු බවට විශ්වාස කළ හැකි තොරතුරු තිබේ. නමුත් දැනට මහා ථුපය පිළිබඳව කෙරෙන කිසිදු විස්තරයක මෙම ප‍්‍රවෘත්තිය සඳහන් නොවේ. මෙම කෙටි ගල් කණුවලින් අදහස් කෙරෙනුයේ කුමක්දැයි නොපැහැදිලිය. ගර්භයේ නැවත බදාම ගෑමකට හෝ හුණු පිරියම් කිරීමකට හෝ අවශ්‍ය වූ විට පලංචි බඳින විට කඹ බැඳීම සඳහා මේ කණු ප‍්‍රයෝජනයට ගත්තා විය හැකිය. ඇතැම්විට ඒවායින් නොදන්නා යම් කිසි සංකේතික ලක්‍ෂණයක් අදහස් කළා ද විය හැකිය (පරණවිතාන, 1963, පිටු 23-24).

ඡත‍්‍රය, ඡුත‍්‍රාවලිය හා යූපය

රුවන්වැලි සෑයට හතරැස් කොටුව එක්වීමෙන් පසුව ඡුත‍්‍රයක් ඒ මාධ්‍යයෙහි සවිකරන ලදී. ඡත‍්‍රය යම් කිසි දණ්ඩයකින් උසුලා සිටියා විය හැකි ය. ලක්දිව පැරණි දාගැබ්වල ඡත‍්‍රයක් තිබූ බවට හා ඉන් සමහරක් ගලින් කළ ඡත‍්‍රයන් වූ නිසාත් එම ගලින් නිමවූ යෂ්ටියක් මඟින් එම ඡත‍්‍ර උසුලා සිටියා විය හැකි බව පරණවිතානයන් අනුමාන කෙරේ. රුවන්වැලි සෑයෙහි ඡත‍්‍රයන් අලුත්වැඩියා කිරීම, රන් ආලේප කිරිම විවිධ රජවරුන් විසින් සිදු කරන ලදී.

අනුරාධපුරයේ හා ලංකාවේ අනෙක් ස්ථානවල පිහිටි ස්තූප මළුවල විශාල ගල් කණුවල ශේෂයන් හමු වේ. අභයගිරිය හා මිරිසවැටිය යන චෛත්‍යය ගර්භයන් තුළ පිහිටා තිබූ බවත්, චෛත්‍යයේ නටබුන් වූ කළ ඒවා සෑ මළුව මත ඇඳ වැටුණ බව සිතිය හැකි ය. මෙහි පිහිටීම පිළිබඳව නිශ්චිත තොරතුරු දැන ගැනීම අපහසුය. මන්ද ඒ පිළිබඳව කිසිදු සාධකයක් සොයා ගැනීමට නොහැකි බැවිනි. රුවන්වැලි සෑය මළුව මත කුඩා චෛත්‍යය දෙකක නටබුන් තිබූ බව ස්මිදර් මහතා වාර්තා කරයි. ඔහු ඒවා දකින විට ගඩොල් සුන්බුන් වලින් පිරී තිබිණි. එක් එක් ගොඩනැඟිල්ල මධ්‍යයේ කෙලින් අතට සිටුවන ලද රළු ගල් කණුව බැගින් වූ බව ඔහු විසින් සිය වාර්තාවල සඳහන් කරයි. මේ වන විට ඒවා මුළුමනින්ම විනාශ වී ගොස්ය. ඒ අනුව පුරාණයේ දී සිංහලයන් විසින් ගර්භය මධ්‍යයෙහි ගල් කණුවක් බහාලන ලද බව තහවුරුවේ. ඒ අනුව එම ගල් කණු ඡත‍්‍රවල යෂ්ටි නොවන බව පෙනේ. එසේම ඒවායේ මුදුනත වටකුරු වූ නිසා ඒ මත කිසිවක් දරා සිටීමට නොහැකිය. දිව්‍යාවදානයේ සඳහන් ස්තුප අංග අතර යූපය නමින් හැඳින්වෙන් ගල් කණුවක් පිළිබඳව සඳහන් වේ. ඒ යූපය නමින් හැඳින්වූ ගල් කණුව ගර්භ මධ්‍යයෙහි නිර්මාණය කළ ගල් කණුව යැයි සිතීම යුක්ති යුක්ත වේ. මුල් කාලීනව යූපය ලී වලින් සාදන ලද බැවින් ඒවා අතුරෙන් කිසිවක් ආරක්‍ෂා නොවීමට හේතු වී ඇත. රුවන්වැලි සෑයෙහි ද ලීයෙන් තනන ලද යූපයක් තිබුණා විය හැකි වුවත් ඒ පිළිබඳව කිසිවක් මහාවංසයේ සඳහන් මහා ථූපය ගොඩනැංවීමේ විස්තරයෙහි සඳහන් නොවේ.

ඡත‍්‍රයන් සාදන ලද්දේ කවර ද්‍රව්‍යයකින්දැයි වංස කතාවල පළවන්නේ කලාතුරකිනි. වටිනා ලෝහයෙන් තැනු බව සඳහන් වන්නේ එක් තැනක හෝ දෙ තැනක පමණි. එහෙත් බොහෝ ඡත‍්‍ර ලීයෙන් හා සමහරක් ගලින් ද නිමවා තිබෙන්නට ඇත. රුවන්වැලි සෑ මළුවේ වූ නටබුන් අතර තිබී ගලින් කළ ඡත‍්‍රවල අවශේෂ හමු විය. ඒවායෙහි ප‍්‍රමාණයන් ගත් විට මහා ථූපයෙහි විශාලත්වයටම අනුකූල නොවේ. කෙසේ වෙතත් ඡත‍්‍රයක් නිර්මාණය වූ බව මෙයින් පැහැදිලි වේ. පසු කාලය වන විට එක් ඡත‍්‍රයක් මත තවත් ඡත‍්‍රයක් සිටින සේ ඡත‍්‍රාවලියක් නිර්මාණය විය. මෙම ජත‍්‍රාවලිය පසු කලෙක කොත් කැරැල්ල ලෙස විකාශනය වේ. රුවන්වැලි සෑයේ හතරැස් කොටුවට පසුව ජත‍්‍ර කිහිපයකින් යුත් ජත‍්‍රවලියක් නිර්මාණය විය (පරණවිතාන, 1963, පිටු 26-32).

දේවතා කොටුව

සුරකෝෂ්ඨ යන නාමයෙන් දේවතා කොටුව හඳුන්වනු ලැබේ. ශ‍්‍රී ලංකාවේ ස්තූප වල ඡත‍්‍ර කරවීම 7 වන සියවසේ දී පමණ නතර විය. හතරැස් කොටුව මැද සිට ගඩොලින් කළ වෘත්තාකාර සිලින්ඩරයක් පැන නැගේ. එම සිලින්ඩරවල පාදම බොරුම්වලින් ද මතුපිට බිත්ති කුළුණුවලින් ද සමන්විත වේ. මෙම කුළුණු අතර නමස්කාර මුද්‍රාවෙන් සිටින දේවරූප ද වේ. එම රූපයන් නිසා මෙම සිලින්ඩරාකාර කොටස දේවතා කොටුව නමින් වර්තමානයේ ව්‍යවහාර වේ. දේවරූපවලට හා බිත්ති කුළුණුවලට ඉහළින් සිලින්ඩරයේ උඩ කොටස පිහිටයි. එය දත්තක්ෂේපණ ඵලකයකින් අලංකාර වේ. සිලින්ඩරය පැහැදිලි අබ්ජයකින් හා කතෝපයකින් ඒ මත පිහිටි කොත් කැරැල්ල සම්බන්ධ වන බව බෙල් මහතා සිය වාර්තාවල සඳහන් කරයි. පසු කාලීනව රජවරුන් විසින් රුවන්වැලි සෑයට ඉහත සඳහන් කළ ආකාරයේ දේවතා කොටවුක් නිර්මාණය කරන්නට ඇතැයි විශ්වාස කළ හැකිය. ගරා වැටී තිබුණු රුවන්වැලි සෑය නැවත ප‍්‍රතිසංස්කරණයේ දී එහි නිර්මාණය කළ දේවතා කොටුව වර්තමානයේ දක්නට ලැබෙන දේවතා කොටුව වේ (පරණවිතාන, 1963, පිටු 33-34 / වික‍්‍රමගමගේ, 1990, පිටු 54).

කොත් කැරැල්ල

චෛත්‍යය මුදුනෙහි සවිකරන ලද ඡත‍්‍රය වෙනුවට ඡත‍්‍ර කිහිපයක් සවි කිරීම නිසා එය ජත‍්‍රාවලියක් බවට පත් විය. එම ඡත‍්‍රාවලිය කොත් කැරැල්ලක් ලෙස විකාශනයට පත් වුයේ ක‍්‍රිස්තු වර්ෂ 5 වැනි සියවසේ දී ය. දේවතාකොටුව මත ගඩොලින් කළ කේතුකාකාර කොටස කොත් කැරැල්ල විය. කේතුව ක‍්‍රමයෙන් සිහින්වන මතු විට ඇලි සහිත වේ. රුවන්වැලි දාගැබේ දකුණු වාහල්කඩ තුළින් මෑතක දී සොයා ගනු ලැබූ දෙ වන හෝ තුන් වන සියවස්වලට අයත් විය හැකි ස්තූපයේ ආකෘතියෙන් නිම කළ රත‍්‍රං හා පළිඟු කරඬුවලින් එම කාලය වන විට රුවන්වැලි සෑයෙහි කේතුකාගාර කොත් කැරලි තිබූ බව හැෙඟ් (පරණවිතාන, 1963, පිටු 34-35).

කොත

කොත ථූපිකා ලෙස හඳුන්වනු ලැබේ. කොත් කැරැල්ල මුදුනේ කොතක් සවිකරන ලදී. 12 වන සියවසේ දී පළමු වැනි පරාක‍්‍රමබාහු රජු විසින් ප‍්‍රතිසංස්කරණය කරන ලද රුවන්වැලි සෑයේ රන් ථූපිකාවක් සවිකරන ලද බව චූලවංසයේ සඳහන් වේ. වර්තමාන රුවන්වැලි සෑයෙහි කොත මුදුනෙහි පළිඟුවක් ද සවිකර ඇත. එය සිළුමිණ නමින් අද වර්තමානයේ හැඳින්වේ (වික‍්‍රමගමගේ, 1990, පිටු 55).

සිළුමිණ (අන්තර්ජාලයෙනි)

වජිර චුම්භට

වජිර චුම්භට නමින් පළිඟු වළල්ලක් මුදුනෙහි නිර්මාණය කරන ලදී. රුවන්වැලි සෑයහි ද මෙවැනි පළිඟුවක් පිහිටුවන ලදී. මෙමඟින් විදුලි කෙටීම් වැළැක්වීම සිදු වූ බව වංසත්ථප්පකාසිනීයේ සඳහන් වේ. මහාවංස ටීකාවට අනුව පෙනී යන්නේ පළිඟු වළල්ලක් පිහිටුවීමෙන් විදුලියක් කොටන විට එය මෙකී වළල්ලට වැදීමෙන් ස්වභාව ධර්මය මඟින් වුව ද එවැනි උවදුරකින් දාගැබේ මුදුනේ පිහිටි මැණික ආරක්‍ෂාවන බවයි (පරණවිතාන, 1963, පිටු 32).

වර්තමානය වන විට මෙකී සියලුම අංගයන්ගෙන් පරිපූර්ණ දාගැබ් වහන්සේ නමක් ලෙස රුවන්වැලි සෑය නිරීක්‍ෂණය කරන්නෙකුට ප‍්‍රත්‍යක්‍ෂ වේ. යථෝක්ත කරුණුවලට අනුව රුවන්වැලි මහා සෑය ස්ථිර අත්තිවාරමකින් යුක්තව, පේසා වළලු 3කින් ද, බුබ්බුලාකාර හැඩයෙන් යුක්ත ධාතු ගර්භයකින් ද, හිරු සඳු ලකුණ හා ගරාදි වැට සහිත හතරැස් කොටුවකින් ද, දේවතා කොටුවකින් ද, ඡත‍්‍රාවලිය සහිත කොත් කැරැල්ලෙන් හා කොතෙන් ද යන චෛත්‍යය අංග සහිත උසස් වාස්තු විද්‍යාත්මක ලක්‍ෂණ වලින් හෙබි අපූර්ව නිර්මාණයක් ලෙස රුවන්වැලි සෑය හඳුනා ගත හැකිය.

රුවන්වැලි සෑය හා සාංචි ස්තුපය

රුවන්වැලි සෑය නිර්මාණය දෙස බලන විට ඉන්දියාවේ සාංචි හා භාරුත්හි ඇති ස්තූපයන්ට සමානත්වයක් දරන බව පැහැදිලිය. සාංචි ස්තුපය කැනීමේ කටයුතුවල යෙදුණු කනිංහැම් නමැති පුරාවිද්‍යාඥයා රුවන්වැලි සෑයේ ධාතු ගර්භය පිළිබඳව මහාවංසයේ එන විස්තරය බොහෝ දුරට සංචි ස්තුපයේ ධාතු ගර්භයේ නිර්මාණය මෙන්ම නිදන් කොට ඇති වස්තුන් සමඟ සැසදෙන බව පෙන්වා දෙයි. මහාවංසයේ සඳහන් වන රුවන්වැලි සෑය ඉදිකිරීම පිළිබඳ විස්තරය අතිශයෝතියක් නොවන බවට මෙය හොඳම නිදසුනකි. කනිංහැම් මේ පිළිබඳව දක්වන්නේ මෙවැනි අදහසකි.

“මහාවංසයේ දැක්වෙන මහා ථූප විස්තරය සාංචි ස්තුපයේ අද පවතින තත්ත්වය හා කෙතෙක් දුරට සැසඳේ ද යත් එය සාංචි ස්තුපයේම විස්තරයක් බව පෙනේ. අර්ධ කවාකාර හැඩය මුදුනේ ඇති හතරැුස් කොටුව හා ජත‍්‍රාභිජත‍්‍ර මෙන්ම සතර වාහල්කඩේ ඇති සූර්ය ලකුණ ද එසේමය….” (සුරවීර, 1959, පිටු 93)

චන්ද්‍රා වික‍්‍රමගමගේ මහතා පවසන්නේ මුල් රුවන්වැලි සෑය පේසා වළලු තුන, ගර්භය, හතරැස් කොටුව, ජත‍්‍රය යන අංගයන්ගෙන් යුක්ත වූ බවත්, ඉන්දියාවේ සාංචි ස්තුපය ද මෙම සැලැස්මට අනුව තනවන ලද්දක් බවත්ය (වික‍්‍රමගමගේ, 2001, පිටු 31).

දැනට ශේෂව ඇති නටබුන් හා ගල් කැටයම්වල නිරූපනයන් අනුව උතුරු ඉන්දියාවේ පැරණිම නිර්මාණය වන්නේ සාංචි ස්තුපයයි. එහි ස්වරූපය පිළිබඳව ජෝන් මාෂල් මහතා පෙන්වා දෙන්නේ මෙ ලෙසය.

“එය මුදුන් පැතැලි වූ මුළුමනින්ම වාගේ අර්ධ ගෝලාකාර වූ ගර්භයකින් යුක්ත වේ. පුරාතනයෙහි පැදකුණු මඟක් (ප‍්‍රදක්‍ෂණා පථ) මෙන් සැලකූ විශාල පේසාවකින් (මේධි) එම පාදය වට වී තිබේ. ප‍්‍රදක්‍ෂණා පථයට පිවිසීමට සඳහා පියගැට (සෝපාන) පේළි තුනක් විය….” (Marshell” ASIA Report for 1913 -16, P 2)

ස්තුපයට වටකොට ඇති විශාල ගරාදි වැටකින් (වේදිකා) ආවරණය වූ දෙවන ප‍්‍රදක්‍ෂණා පථයක් වේ. ගර්භයේ මුදනෙහි ගල් ගරාදි වැටකින් වටවූ පීඨයක් (හර්මිකා) පිහිටා තිබේ. මෙම පීඨය මත ශිලා ඡත‍්‍ර හෝ ඡත‍්‍රාවලිය දරා සිටි යෂ්ටිය පිහිටියේය. ගලින් නිමකළ බාහිර ගරාදි වැඩ පසු කාලයේ දී ස්තුපය අලංකාර කිරීම පිනිස ඉදි කරවන ලද දොරටු (තොරණ) සතරකින් යුක්ත වේ (පරණවිතාන, 1963, පිටු 11).

ඉහත විස්තරයන්ට අනුව මහාවංසයේ සඳහන් වන රුවන්වැලි සෑය ස්තුපයේ ලක්‍ෂණ බොහෝ දුරට සාංචි ස්තූපය හා සමාන වූ බව පෙනේ. ඒ අනුව ක‍්‍රිස්තු වර්ෂයට පෙර සහ ක‍්‍රිස්තු වර්ෂයේ මුල් සියවස තුළ දී ශ‍්‍රී ලංකාවේ නිර්මාණය වන ස්තූප හා ඉන්දියාවේ මුලාදර්ශයන් අතර බොහෝ සමානකම් තිබූ බවට පැහැදිලි වේ. ඒ සඳහා හොඳම උදාහරණය වන්නේ රුවන්වැලි සෑය හා සාංචි ස්තූපයයි.

රුවන්වැලි සෑය නිර්මාණකරණයේ දී පේසා වළලූ තුනක් නිර්මාණය කළ ද සාංචි ස්තුපයේ දක්නට ලැබෙනුයේ එක් පේසාවක් පමණි. සාංචි ස්තූපයේ දක්නට ලැබෙනුයේ එක් පේසාවක් පමණි. සාංචි ස්තුපයේ මාලකය ඉදිකොට ඇත්තේ පොළොව මට්ටමේ සිට ගර්භය ගොඩනැඟීමෙන් පසුවය. එහෙත් රුවන්වැලි සෑයෙහි පළමුව පේසා වළලු තුන නිර්මාණය කොට ඉහළින්ම ඇති පේසාවෙන් ගර්භය ගොඩනැඟීම ආරම්භ කොට තිබේ. රුවන්වැලි සෑයෙහි පහළම පේසාවේ පිටවැස්මෙහි මුදුන වටේ ගරාදි වැට මෝස්තරය දක්නට ලැබේ. මුදුන් පේසාවේ පිට ගැටිය දිගේ බිත්ති තලයේ ඇත් හිස් නිමවා තිබේ. සාංචි ස්තුපයෙහි ද පේසාව මත අවුරා ගරාදි වැටක් වේ. සාංචි හා භාරුත් ගල් කැටයම්වල නිරූපණය කොට ඇති ස්තූපයන්හි ද ඒ ස්ථානයේම පිහිටා තිබූ ගරාදිවැටක් දැක්වේ. මෙම ගරාදි වැටවල් ලීයෙන් නිර්මාණය කරන්නට ඇතැයි බොහෝ දුරට සිතිය හැකිය. සාංචි ස්තුපයේ මෙන්ම රුවන්වැලි සෑයෙහි ද ගරාදි වැටවල් තුනකින් යුක්ත වේ. ගරාදි වැටකට අයත් විය හැකි ලී කණු මත ඇත් හිස් පිහිටුවා තිබූ බව ස්මිදර් මහතාගේ විස්තරයට අනුව දැක්වේ. රුවන්වැලි සෑයෙහි හා සාංචි මහා ස්තුපයෙහි ගරාද වැට දක්නට ලැබුණ ද රුවන්වැලි සෑයෙහි දක්නට දක්නට ලැබෙන ඇත් හිස් නිර්මාණය ඉන්දියාවේ සාංචි ස්තුපයේ හෝ වෙනත් කිසිදු පැරණි ස්තුපයක දක්නට නොමැති බව පෙනේ (පරණවිතාන, 1963, පිටු 10-15).

ධාතු නිධානය කිරීම සඳහා ගල් පුවරු වලින් සැකසූ කල් මඤ්ජුසාවක් රුවන්වැලි සෑයෙහි මෙන්ම සාංචි ස්තුපයෙහි ද ධාතු ගර්භය නිර්මාණයේ දී භාවිත කොට ඇත. රුවන්වැලි සෑයේ ධාතු ගර්භය ධුර්භ පාදයෙහි මුදුන් පේසාවේ මතුපිට මට්ටමේ පිහිටියේ ය. ශාරිපුත‍්‍ර ධාතු නිදන් කොට තිබූ සාංචියේ අංක 3 දරන ස්තුපයේ ධාතු ගර්භය ද එම පේසාව මට්ටමේ පිහිටි බව ජෝන් මාෂල් මහතා පවසයි. මෙම ස්තුපය මුදුනේ පිහිටි ධාතු තැන්පත් වී තිබුනේ යැයි සැලකෙන හතරැස් කොටුව තනන ලද්දේ රුවන්වැලි සෑයේ ධාතු ගර්භය මෙන් ගල් පෙට්ටියක ආකාරයෙනි. ගර්භය ගත් විට රුවන්වැලි සෑයෙහි හා සාංචි මහා ස්තුපයෙහි දක්නට ලැබෙන ආකෘතිය බොහෝ දුරට සමාන වේ. ඒ බුබ්බුලාකාර හැඩයයි. අර්ධ කවාකාරව නිර්මාණය වූ ගර්භයේ මුදුන තරමක් පැතලි ස්වභාවයට නිර්මාණය කරන ලදී. ඒ හතරැස් කොටුව නිර්මාණය සඳහා ඉඩ ලබාදීම පිනිසයි. රුවන්වැලි සෑයෙහි ගර්භය නිර්මාණය කිරීම සඳහා ගඩොල් භාවිත කළ බවට සාධක පවතී. ඉන්දියාවේ දී සොයාගෙන ඇති ස්තුපයන් ගඩොලින් පමණක් මුළුමනින්ම ඉදි නොවූ ඒවාය. ඉන්දියාවේ ඝණ්ඨාශාලා ස්ථානයේ පිහිටි ස්තුපය, මථුරාවෙහි ජෛන ස්තූපය, නාගර්ජුනකොණ්ඩ ස්තූපය ඊට කදිම නිදසුන් වේ. ඒවායෙහි ගර්භ බිත්තිය විවිධ කොටස් වලට බෙදා පසින් පුරවා තිබූ බවට කැනීම් මඟින් සාධක හමු වී තිබේ. නමුත් එවැනි ලක්‍ෂණයක් රුවන්වැලි සෑ ගර්භයේ දක්නට නොලැබේ. අනුරාධපුර දක්ඛිණ ස්තූපයේ ගර්භය කැනීමේ දී එහි ගර්භ මධ්‍යයෙහි පස්, කුඩා ගල් කැබලි හා ගඩොල් වල සාධක ලැබිණි. එනිසාවෙන් රුවන්වැලි සෑයෙහි ගර්භය ද ඒ හා සමාන ව නිර්මාණ වූ බව සිතිය හැකිය (පරණවිතාන, 1963, පිටු 20-21).

පුරාණ ලංකාවේ ස්තූපයන්ගේ ගර්භවල මෙන්ම පේසා වළලු හා උපරිභාගයේ ද හුණු බදාම ගල්වා සුදු හුණු ද ආලේප කළ බවට සාධක පවතී. මාලාදාම, ධජ, හිරිගල් හා අනෙකුත් සැසිලිවලින් ස්තූපයන් අලංකාර කළ බව කියවේ. ශ‍්‍රද්ධාවෙන් උමතු වූ එක් රජ කෙනෙකු විසින් අති විශාල මහා ථූපය මත සුවඳ මැටි තවරා ඒ මත පුෂ්පයන් හිඳුවීමෙන් මුළු දාගැබ මල් කන්දක් මෙන් දිස් වූ බව කියැ වේ. අමරාවතියේ සහ නාගර්ජුනීකොණ්ඩයේ ගල් කැටයම්වලින් නිරූපණය වන ස්තූපවල ගර්භයේ මැද කොටසහෙි හුණු බදාමයකින් නිමවන ලැදැයි සැලකිය හැකි මාලාදම් සැරසිල්ලක් දක්නට ලැබේ. එනිසා මහා ථූපයට කළ මාලා දම් ද ඇතැම් විට හුණු බදාමෙන් කරන්නට ඇතැයි සිතිය හැකි ය.

ලංකාවේ ස්තූපයන්ගේ ගර්භයට හුණු බදාමෙන් හා සායම් මඟින් කරන ලද සැරසිලි පිළිබඳව තොරතුරු අතුරුදහන් වුවත්, මහා ථූපයට එසේ යොදන ලද මෝස්තර 2ක් පිළිබඳව මහාවංසයේ එක් පාඨයකින් දැනගත හැකි ය. ඒ සද්ධාතිස්ස කුමරු මරණ මංචකයෙහි සිටි තම සොහොයුරු වූ දුටුගැමුණු රජුහට මහා ථුපය සම්පූර්ණ කළ විට කෙබඳු වී දැයි දක්වනු පිනිස එම ස්තුපය සුදු රෙදිවලින් වසා ඒ මත පූර්ණඝට (පුන්කලස්) හා පණවංගුලික සැරසිලි සිතුවම් ද සම්පූර්ණ කළ යුතුව තිබූ නිර්මාණ අංගයන් දැක්වෙන අනෙකුත් උපක‍්‍රමයන් ද යෙද වූ බව මහාවංසයේ සඳහන් වේ. නොයෙකුත් සැරසිලි අතර වූ ඉහත සඳහන් මෝස්තර දෙකින් පැරණි ලක්දිව ස්තූපයන් අලංකාර කිරිමේ චාරිත‍්‍රයක් ද වූ බව එම ප‍්‍රකාශයෙන් ගම්‍ය වේ. ඉන්දියාවේ හා ලංකාවේ බෞද්ධ කලාවේ බොහෝ සැරසිලි සඳහා බෙහෙවින් පුන්කළස් මෝස්තරය හා පණවංගුලික හෙවත් විහිදුණු අත්ලේ සංලක්‍ෂණය ද භාවිත වී තිබෙනු දක්නට ලැබේ. ඉන්දියාවේ අමරාවතී හා නාගර්ජුනකොණ්ඩය යන ස්ථානයන්හි සැරසූ කැටයම්වල මෙම මෝස්තර දක්නට ලැබේ (පරණවිතාන, 1963, පිටු 24).

රුවන්වැලි සෑයෙහි හා සාංචි ස්තූපයෙහි උපරිභාගයේ ද බොහෝ සෙයින් අපට සමානකම් දක්නට ලැබේ. ගර්භයට පසුව නිර්මාණය කෙරුණු හතරැස් කොටුවෙහි මුදුන් ගරාදි වැටක් දක්නට ලැබීම මෙම ස්තූප දෙකෙහිම දක්නට ලැබේ. සාංචි ස්තූපයෙහි හර්මිකාව අවුරා ඉදිකළ ගරාදි වැටකින් යුක්ත අතර පියන සහිත බර ඇති ගල් පෙට්ටියක හැඩයෙන් තනන ලද මෙම හර්මිකාවේ විශ්කම්භය අඩි 5 අඟල් 7කි. උස අඩි 1 අඟල් 8කිිි. මේ තුළ එක් කාලයක ධාතුන් තැන්පත් කොට තිබුණු බව ජෝන් මාෂල් තම Guid to Sanchi නම් ග‍්‍රන්ථයේ දී සඳහන් කරයි. මහා ථූපයෙහි දී ඒ ආකාරයෙන් හතරැස් කොටුව මත මුද්ධ වේදිකාවක් නිර්මාණය කොට තිබේ. මුදුන් ගරාද වැට ද ලීයෙන් නිර්මාණය කොට තිබේ. මුදුන් ගරාද වැට ද ලීයෙන් නිර්මාණය කළ බවට සාධක තිබේ. රුවන්වැලි සෑයෙහි මෙන්ම සාංචි මහා ස්තූපයෙහි ද ගර්භ මධ්‍යයේ ඉදිකළා යැයි හඳුනාගැනීමට තරම් යුපස්තම්භයක් පිළිබඳව සාක්‍ෂි හමු නොවීම ඇතැම්විට ලීයෙන් තැනීම නිසා එය විනාශ වීම හේතුපාදක විය හැකි ය. හතරැස් කොටුවට පසුව රුවන්වැලි සෑයේ මෙන්ම සාංචි ස්තුපයේ ද ඡත‍්‍රයක් දක්නට ලැබේ. පසු කාලීනව එය ඡත‍්‍රාවලියක් බවට පත් විය. එකී අංගය මෙම ස්තුපයන් දෙකෙහිම බෙහෙවින්ම සමාන බව කනිංහැම් මහතා පවසයි. රුවන්වැලි සෑයට පසු කාලීනව එක් දේවතා කොටුව හා කොත් කැරැල්ල සාංචි ස්තුපය සමඟ සැසදීමට නොහැකිවන්නේ වන්නේ සාංචි ස්තූපයේ උපරිම භාගය මුළුමනින්ම ආරක්‍ෂා වී නොමැති වීමයි. රුවන්වැලි සෑයෙහි හා ඉන්දියාවේ සාංචි මහා ස්තූපයෙහි බොහෝ අංගයන් සමාන බව පැහැදිල වේ (පරණවිතාන, 1963, පිටු 25-36).

රුවන්වැලි සෑය නිර්මාණකරණය සඳහා මෙලෙස ඉන්දියානු ආභාසය ලැබීම පිළිබඳව සෙනරත් පරණවිතාන මහතා පවසන්නේ මෙලෙසිනි.

“මෙම ස්තූපයේ ආකෘතිය ද, සාංචි හා භාරුත් ස්තූපවල ඇති ගල් කැටයම් ද පරීක්‍ෂාකර බැලීම අප හට ප‍්‍රයෝජනවත් වනුයේ විශේෂයෙන්ට ලක්දිවට පැමිණි ආදිම බෞද්ධ ධර්ම දුතයන් හා මෙම ඉන්දියානු ප‍්‍රදේශ අතර යම් කිසි සම්බන්ධයක් තිබූ බව පෙනෙන හෙයිනි. මහාවංසයෙහි දැක්වෙන කතා පුවත අනුව ලක්දිව ප‍්‍රථමයෙන්ම බුද්ධ ධර්මය දේශනා කළ මිහිඳු හිමියෝ වීදිශාවෙහි (සාංචි හා භාරුත් නෂ්ටාශේෂවලට නුදුරින් පිහිටි වර්තමාන බේස්නගර්) උපන් අයෙකි. හෙතෙම මෙම දිවයිනට පැමිණියේ ද මේ නගරයට නුදුරින් පිහිටි විහාරයක සිටය. සමහර විට එය පැරණි සාංචි විහාරය විය හැකි ය. එබැවින් ලංකාවේ ආදිතම ස්තූප ගොඩනැඟුවන් විසින් වීදිශා නගරය හා ඒ අවට පිහිටි ස්තුප වර්ගය අනුකරණය කළ බව හෝ අනුමාන වශයෙන් සිතා ගැනීම යුක්ති සහගත වේ” (පරණවිතාන, 1963, පිටු 10-11).

මේ අනුව දෙ රට පැවැති ආගමික පාර්ශවීය සම්බන්ධතා ඔස්සේ සහ ශ‍්‍රී ලාංකික බෞද්ධ භිෂුන්ගේ උපදේශන යටතේ ස්වර්ණපාලි චෛත්‍යයෙහි නිර්මාණකරණය තීරණය වූ බව පිළිගත හැකි ය.

යථෝක්ත සියලු කරුණු පිළිබඳව අවධානය යොමු කිරීමේ දී ඉන්දියානු ආභාසය සහිතව, එකල පැවති නව තාක්‍ෂණය උපයෝගී කොට ගෙන රුවන්වැලි සෑය නිර්මාණය කරන ලදී. ඒ සඳහා ශක්තිමත් ආර්ථිකයක්, පුහුණු නිර්මාණ ශිල්පීන් යන අංශ ද්වය ද මෙම දැවැන්ත නිර්මාණය සඳහා දායක විය. එපමණක් නොව බෞද්ධ භික්‍ෂුන් වහන්සේලාගේ උපදේශකත්වය හා ශක්තිමත් බාවය මෙන්ම දුටුගැමුණු රජුගේ අතිමහත් කැපවීම හා නායකත්වය, ඉමහත් ධෛර්යය හා ශක්තිය ද එක් විය. පසු කාලීනව රාජනුග‍්‍රහ දැක් වූ රජවරුන්ගේ දායකත්වය සහ මුළු මහත් රටවාසීන්ගේ කැපවීම ද මෙම නිර්මාණයට දායක වූ බව නොරහසකි. රටේ ආර්ථික ශක්තිය, සාමය හා සමඟිය මඟින් උද්දීපනය වු සංස්කෘතික ප‍්‍රබෝධයේ ප‍්‍රතිඵලයක් වුයේ මෙම ස්වර්ණමාලි චෛත්‍යකරණයයි. එම නිර්මාණකරණය මනා සංවිධානාත්මක අයුරින්, නිවැරදි වාස්තු ඥානය හරහා බිහි වූ බව පෙනේ. රුවන්වැලි සෑය සියලු චෛත්‍යාංගයන්ගෙන් යුතුව ශ‍්‍රී ලංකාව තුළ බිහි වූ වැදගත්ම වාස්තු විද්‍යාත්මක නිර්මාණයක් ලෙස හඳුනා ගැනීම යුක්ති යුක්ත වේ.

සාංචි මහා සෑය (https://www.britannica.com වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී)

ආශ‍්‍රිත ග‍්‍රන්ථ හා ‌ලේඛන නාමාවලිය

  • කරුණානන්ද, උක්කුබණ්ඩා (1994), අනුරාධපුර අටමස්ථාන, කඩවත.
  • දීපවංසය (1956), කිරිඇල්ලේ ඤාණවිමල හිමි (සංස්.), කොළඹ.
  • ධාතුවංසය (1924), දඹගස්ආරේ ශ‍්‍රී මේධාලංකාර හිමි (සංස්.), කොළඹ.
  • නිකලස් සී.ඩබ්ලිව්, (1979), සෝමපාල ජයවර්ධන (පරි.), පුරාතන හා මධ්‍යතන ලංකාවේ ඓතිහාසික ස්ථාන, කොළඹ.
  • පරණවිතාන, සෙනරත් (1963), ලංකාවේ ස්තූපය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, කොළඹ.
  • පරණවිතාන, සෙනරත් (1972), පුරාවිදු පර්යේෂණ, විසිදුනු ප‍්‍රකාශකයෝ, බොරලැස්ගමුව.
  • පූජාවලිය (1957), කිරිඇල්ලේ ඤාණවිමල හිමි (සංස්.), කොළඹ
  • මහාවංසය (ප‍්‍රථම භාගය), හික්කඩුවේ සුමංගල හිමි හා බටුවන්තුඩාවේ දේවරක්ෂිත (පරි.), මහගොඩ ඥානීස්වර හිමි (සංස්), (1996), ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව, කොළඹ.
  • මහාවංසය (සිංහල), නන්දදේව විජේසේකර (1986), බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, දෙහිවල.
  • ලංකා ඉතිහාසය -1 කාණ්ඩය, (1974), සෙනරත් පරණවිතාන (සංස්.), විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය, කැලණිය.
  • වනරතන හිමි, කඹුරුපිටියේ (1988), ස්තූප පුරාණය-බෞද්ධ ස්තූප නිර්මාණය හා විකාශනය, කොළඹ.
  • වංසත්ථප්පකසිනී (1994), අකුරටියේ අමරවංශ හිමි, දිසානායක හේමචන්ද්‍ර (සංස්.), කැලණිය විශ්වවිද්‍යාලය, කැලණිය.
  • වික‍්‍රමගමගේ, චන්ද්‍රා (1990), ස්තූප, මහරගම.
  • සුරවීර ඒ.වී. (1959), අනුරාධපුර සංස්කෘතිය, මහරගම.
  • Bell H.C.P, (1904), Archaeological Survey of Ceylon, Annual Report for 1894, Colombo.
  • Coomaraswamy, Ananda K. (1927), History of Indian and Indonesian Art, London.
  • Fernando, W.B. Marcus, C.E. Godakumbure, (1965), Ancient City of Anuradhapura, Colombo
  • Marshall, John (1926), Archaeological Survey of India, Annual Report for 1913-16, Calcutta
  • Marshall, John (1918), A Guide to sanchi, Calcutta Superintendent Government Printing, India

[මෙම ලිපියේ දැක්වෙන රුවන්වැලි සෑයේ ඡායාරූපය https://en.wikipedia.org/wiki/Ruwanwelisaya අඩවියෙන් උපුටාගත් බව කාරුණිකව සලකන්න.]

----------------------------------------------------------------------------------
මෙම ලිපිය 2019.10.14 දින www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ ප‍්‍රකාශයට පත් විය. 
----------------------------------------------------------------------------------
Previous articleඅනුරාධපුර, මිරිසවැටිය ස්තූපයේ සළපතල මළුවේ ගල් පුවරු මත සටහන් කළ සංකේත
Next articleඋරුමයක අසිරිය උපනෙතින් 2019
Avatar
2006 වසරේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් වසරේ දක්ෂතම පුරාවිද්‍යා ශිෂ්‍යයාට හිමි මහාචාර්ය පී. ලිලානන්ද ප්‍රේමතිලක හා වෛද්‍ය නන්දා ප්‍රේමතිලක විශිෂ්ට නිපුනතා ත්‍යාගය සමඟ ශාස්ත්‍රවේදි (ගෞරව) (BA(sp)) උපාධිය ලබාගන්නා ලද චන්දිම, 1998 වසරේ දී මොරටුව විශ්වවිද්‍යාල‍යේ වාස්තුවිද්‍යා පීඨයෙන් ස්මාරක හා කේෂේත්‍ර සංරක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ද, 2010 වසරේ දී කොළඹ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් පුරාවිද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය (MSc.) ද හිමිකර ගන්නා ලදි. 2008 - 2010 කාලයේ දි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ තාවකාලික කථිකාචාර්යවරයෙකු වශයෙන් සේවය කළ ඔහු, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාල‍යේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්යවරයෙකු වශයෙන් 2011 වසරේ සිට සේවය කරන අතර එහි ප්‍රාග් ඉතිහාසිය හා අභිලේඛන විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයා වශයෙන් කටයුතු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.