ඩී. තුසිත මැන්දිස්

පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ.

ඩී. තුසිත මැන්දිස්

යාන් ඔය මධ්‍ය කඳුකරයේ උතුරු බෑවුමෙන් ආරම්භව පුල්මු‌ඩේ ප‍්‍රදේශයෙන් මුහුදට වැටෙන ගංගාවකි. මධ්‍ය යාන් ඔය නිම්නය ගත් කල එහි පුළුල් නිම්න ප‍්‍රදේශයකට අයත් භූ වපසරිය පමණක් වර්ග කිලෝමීටර් 1,360කි. යාන් ඔය නිම්නය තුළ පූර්ව ඉතිහාසයට අයත් සුසාන ස්ථාන 34ක් කාලරක්ත වර්ණ මැටි මෙවලම් හමුවන ස්ථාන 6ක් පමණ පවතින බව රංජිත් දිසානායක විසින් හඳුනාගෙන වාර්තා කර තිබේ (2017 වර්ෂයේ රංජිත් දිසානායක සමඟ සිදු කළ සාකච්ඡුාවක් ඇසුරිනි). ශ‍්‍රී ලංකාවේ උතුරුමැද පලාතේ පූර්ව ඓතිහාසික සංස්කෘතියට අදාළ පැරණිතම සාධක දැනට වාර්තා වන්නේ අනුරාධපුර ඇතුළුපුරයෙනි. විකිරණමාන දින නියම කිරීම් හා ඔක්ස්කැල් කාල නිර්ණ කිරීම් අනුව එම සංස්කෘතිය ක‍්‍රිස්තු පූර්ව 1,000 තරම් ඈතට ගමන් කරන බව මේ වනවිට තහවුරු කරගෙන තිබේ (Deraniyagala 1992(707-712;Deraniyagala & Abyerathne: 707-731). අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ වැඩිම පූර්ව ඓතිහාසික යුගයට අයත් ජනාවාස හා සුසාන ස්ථානගත වී ඇත්තේ මධ්‍ය යාන් ඔය නිම්නය ආශ‍්‍රිතව ය. දැනට වාර්තා වන ආකාරයට පූර්ව ඓතිහාසික සංස්කෘතියට අයත් සුසාන ස්ථාන 28ක් පවතින අතර එම සුසාන ස්ථානගතව ඇති ස්ථාන වන්නේ වඩිගවැව, ගුරුගල්හින්න, කොක්එබේ, තම්මැන්නාගොඩැල්ල, දිවුල්වැව, මරදන්මඩුව, පරංගියාවාඩිය (නිකවැව), දික්වැව, ඇතාබැදිවැව, පන්කැටියාව, පළුකැටිවැව, ගල්ඇදකටුව, නෙළුගොල්ලාකඩවල, ඇලපත්වැව, මහපොතාන, බෙරවායගල, පන්වත්ත, පඩරැල්ලාව (රබෑව), මල්පෝරුවල, කිරිමැටියාව, ඕලූවැව, නෙතුගොල්ලෑව, කනගහඋල්පත, කරුවලගස්වැව, වාහල්කඩ, මාවතවැව, වලස්මුල්ල යන ස්ථානයන්ය.

මෙම ස්ථාන අතරින් මේ වනවිට රේඩියෝ කාබන් දින නියම කිරීම් සිදු කර ඇත්තේ වාහල්කඩ ක‍්‍රිස්තු පූර්ව 400-200 (එස්.ටී.ජී. ප‍්‍රියන්ත සමඟ සිදුකළ සම්මුඛ සාකච්ඡාව 2018). තම්මැන්නාගොඩැල්ල ක‍්‍රිස්තු පූර්ව 490-350 (රංජිත් දිසානායක සමඟ 2017 සිදු කළ සම්මුඛ සාකච්ජාව). කොක්එබේ ක‍්‍රිස්තු පූර්ව 790-125 (මැන්දිස් 2017:177-179). දැනට සිදු කර ඇති අධ්‍යයන අනුව බැබී ඇති දින නියම කිරීම්වලින් පැහැදිළි වන ප‍්‍රධාන කාරණයක් වන්නේ පූර්ව ඓතිහාසික සංස්කෘතිය අනුරාධපුර පැරණි නගරයෙන් නැගෙනහිර දිශාව තුළ ස්ථාපිත වී ඇත්තේ අනුරාධපුරයට වඩා වසර 200කට පමණ පසුව බව ය. මෙය අතිශයින්ම වැදගත් වන්නේ යාන් ඔය නිම්නය ආශ‍්‍රිත පූර්ව ඓතිහාසික සංස්කෘතික පිරිස් අනුරාධපුරය හා ඉන් අවට කලාපයේ ස්ථානගත වනවාට වඩා මහා පරිමාණයෙන් මධ්‍ය යාන් ඔය නිම්නයේ කේන්ද්‍රගත වී තිබීම සැලකිය යුතු කාරණයකි. එසේ නම් අප විමර්ශනය කළ යුතු කාරණය වන්නේ පූර්ව ඓතිහාසික සංස්කෘතිය අනුරාධපුරය කේන්ද්‍රගත කරමින් ඉන් පිටත කලාප දක්වා ව්‍යාප්තවීමක් සිදු වී තිබේ ද? එසේ නොමැති නම් යාන් ඔය මධ්‍ය නිම්නයේ මෙම සංස්කෘතිය ආරම්භ වී ක‍්‍රමයෙන් අනුරාධපුර දෙසට ව්‍යාප්ත වූවා ද යන්න විමසීම ය. මේ පිළිබඳව විමසීමේ දී අවධානය යොමු කළ යුතු එක් කරුණක් වන්නේ මෙම සංස්කෘතිය ඉන්දීය මෙගලිතික සංස්කෘතියේ බලපෑම මත ඉන්දියාවේ දකුණු කොටසින් පිට වී ලංකාවේ නැගෙනහිර වෙරළ වන ත‍්‍රිකුණාමලය දෙසින් ලංකාවේ රට අභ්‍යන්තරයට ප‍්‍රවිශ්ට වූවා ද? එසේ ඇතුළු වූ පුර්ව ඓතිහාසික ජන පිරිස පුල්මුඩේ දෙසින් යාන් ඔය පහළ නිම්නයට ඇතුළු වී සාරවත් ආකර්ෂණීය භූමියක් වූ මධ්‍ය යාන් ඔය නිම්නයේ ස්ථාපිත වූවා ද? යන්න විමර්ශනය කළ යුතු ය. මධ්‍ය යාන් ඔය නිම්නය තුළ මෙම ජනාවාස ස්ථානගත වීමේ දී කහටගස්දිගිලිය හා හොරොව්පොතාන ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශවල පොකුරක් ආකාරයට ස්ථානගත වී තිබේ. දැනට බැබී ඇති කාල නීර්ණ අනුව පැහැදිලි වන්නේ මුල්ම ජනපද මෙම ප‍්‍රදේශවල ස්ථානගත වී ඇති බව ය. එසේ නම් ආරම්භක ජනපද මධ්‍ය යාන් ඔය නිම්නයේ ආරම්භව එහි සංස්කෘතියේ හා ජනරේඛනයේ ප‍්‍රසාරණ සමඟ ක‍්‍රමානුකූලව යාන් ඔය පහළ නිම්නය වන පුල්මුඬේ දෙසටත් ඉහළ නිම්නය වන සීගිරි හා කලා ඔය නිම්න දෙසටත් ව්‍යාප්ත වූවා ද යන්න විමසීම ද වැදගත් වේ. මේ සඳහා දැනට සිදු කර ඇති පුරාවිද්‍යා පර්යේෂණවලින් අනාවරණය කරගෙන ඇති තොරතුරු භාවිත කිරීම තුළින් ඉතා හොඳ පිළිතුරක් සපයාගත හැකි ය. යම් ස්ථානයක ඇතිවන ආරම්භක ප‍්‍රාථමික ජනාවාස එම ස්ථානයෙන් ප‍්‍රසාරණය වීම සදහා ප‍්‍රධාන වශයෙන් ජීවනෝපාය ක‍්‍රමය, තාක්‍ෂණ ශිල්පයේ දියුණුව, ජනාවාසරටාව හා බහු සම්පත් යැපුම් රටාව බලපාන බව පුරාවිද්‍යඥයින් පෙන්වා දී ඇත (Senaviratne 1996:277). තැනින්තැනට ගමන් කරන එඬේර ජන පිරිසක් වූ මොවුන් ස්ථාවර ජනපද පිහිටුවා ගැනීම ආරම්භ කරනු ලබනුයේ සංස්කෘතික වර්ධනයත් සමඟ ය. සුදර්ශන් සෙනෙවිරත්න පෙන්වා දී ඇති ආකාරයට යම් ජනාවාසයක් තුළ ජනගහණය වැඩිවීමෙන් පසු ඇති වන ජන ප‍්‍රසාරණය මත නව ජනපද ගොඩනැගෙන අතර ඒ සමඟම නව ජනපද බිහිවීම සිදු වේ (එම). ජනපද ප‍්‍රමාණයේ වර්ධනය සමඟ ඔවුන් එතෙක් ක‍්‍රියත්මක කරන ලද තැනින්තැනට ගොස් ගතකළ එඬේර ජීවන ක‍්‍රමය අවසන් වන අතර එමඟින් ලබා දෙන අන්තර් සමාජ ක‍්‍රියාකාරිත්ව ක‍්‍රියාදාමය තුළ සමාජ, ආර්ථික, දේශපාලන හා ආගමික, යනුවෙන් හැදින්වෙන ආයතන හැඩගැසීම සිදු වේ (එම). මෙසේ ඇති වීම සමඟ ස්ථාවර ජනපද ආරම්භ වන අතර එවැනි ස්ථාවර ජනපද මධ්‍ය යාන් ඔය නිම්නයේ ස්ථාපිත වූ බව පැහැදිලි වන්නේ මහා පරිමාණ මෙගලිතික සුසාන භූමි සමූහයක් දැකගත හැකි බැවිනි.

යාන් ඔය මධ්‍ය නිම්නය තුළ ස්ථානගත වන පූර්ව ඓතිහාසික ජනාවාස එම නිම්නයේ ස්ථාවර වීම සඳහා කාලය හා අවකාශය තුළ ගොඩනැගෙන්නා වූ බහුවිධ කාරණා බලපාන්නට ඇත. අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ පූර්ව ඓතිහාසික සංස්කෘතියේ පැරණිතම සාධක අනුරාධපුර ඇතුළුපුරය ඇසුරින් හඳුනාගෙන ඇති නමුත් අනුරාධපුර නගරය හා එහි තදාශ‍්‍රිත ප‍්‍රදේශ ආශ‍්‍රයෙන් එම සංස්කෘතිය පිළිබඳව තොරතුරු වාර්තා වී ඇත්තේ ඉතාම අල්ප වශයෙනි. මේ සම්බන්ධයෙන් අනුරාධපුර ඇතුළුපුරයෙන් ජනාවාසමය තත්වයන් (Deraniyagala 1992:709-712) හා අභයගිරි විහාරය අභ්‍යන්තරයෙන් එකි සුසානයක් හා එම විහාරයට උතුරින් අශෝකාරාමයට ප‍්‍රවිශ්ට වන මංසන්දියේ සිට ගම්බිරිස්ගස් වැව මාර්ගයේ කිලෝමීටර් 2ක් පමණ ගිය විට එම මාර්ගය තුළ සුසානයක් පවතින බව මෙම ලේඛකයා විසින් 2016 වර්ෂයේ සිදු කරන ලද ගවේෂණයක දී හඳුනාගෙන තිබේ (මැන්දිස් 2016:85). පූර්ව ඓතිහාසික යුගයට අයත් සුසාන අනුරාධපුරය හා එහි තදාශ‍්‍රිත කලාපයේ දැක ගැනීමට නොහැකි වන්නේ බෞද්ධ ආරාම එම භූමිවල ස්ථාපිත වීම සමඟ ම පූර්ව ඓතිහාසික යුගයට අයත් වන සුසාන වැනි අංග එම භූමිවලින් ගලවා ඉවත් කිරීම නිසා බව උපකල්පනය කළ හැකි ය. නමුත් අනුරාධපුර සමහර විහාරාරාම ආශයෙන් පූර්ව ඓතිහාසික යුගයට අයත් ජනාවාස තොරතුරු වාර්තාවන බව මෙම ලේඛකයා විසින් 2000-2009 කාලය තුළ ජේතවන විහාරය හා වෙස්සගිරි විහාරය (පුරාණ ඉසුරුමුණිය) ආශ‍්‍රිතව සිදු කර ඇති පුරාවිද්‍යා කැනීම්වල දී හමු වී ඇති භෞතික සංස්කෘතික තොරතුරු තුළින් වාර්තා කර තිබේ (මැන්දිස් 2006:252-271, 300-310). ඒ අනුව පූර්ව ඓතිහාසික යුගයේ දී අනුරාධපුර හා එහි තදාශ‍්‍රිත කලාපයේ පූර්ව ඓතිහාසික සංස්කෘතික අවධිය සම්බන්ධ තොරතුරු යම් ප‍්‍රමාණයක් එම යුගයේ ජනාවාස හා සුසාන සම්බන්ධව පැවතිය ද පූර්ව ඓතිහාසික සංස්කෘතියේ සාර්ව මුල් බැස ගැනීම අනුරාධපුරය හා එහි තදාශ‍්‍රිත කලාපයට වඩා දැකගත හැක්කේ ඉන් නැගෙනහිරින් පිහිටි මධ්‍ය යාන් ඔය නිම්නය ආශ‍්‍රිතව ය.

යාන් ඔය නිම්නයේ පූර්ව ඓතිහාසික ජනාවාස ව්‍යාප්ත වීමේ මෝස්තරය හා එහි මෙතෙක් ලබා ගෙන ඇති කාලනීර්ණ දැක්වෙන සිතියම

මහා පරිමාණ ලෙස ස්ථාපිතව ඇති මෙගලිතික සුසාන සංකීර්ණ තුළින් මේ බව මැනවින් හඳුනාගත හැකි අතරම මේ ආකාරයට විශාල සුසාන භූමි ප‍්‍රමාණයක් යාන් ඔය නිම්නයේ මුල් බැස ගැනීම සඳහා එක් අතකින් ත‍්‍රිකුණාමල වරායේ ස්ථානගත වීම ද බලපාන්නට ඇති බව උපකල්පනය කළ හැකි ය. පුර්ව ඓතිහාසික අවධියේ දී ඉන්දියාවේ දකුණු දෙසින් සරල යාත‍්‍රා ඔස්සේ පහසුවෙන් ත‍්‍රිකුණාමලය වරායට පැමිණි ජන කණ්ඩායම් (උදාහරණ වශයෙන් වර්තමානයේ උතුරු කරයේ ජනතාව මසුන් මැරීමට භාවිත කරන කට්ටුමරන් හෙවත් කටමරන් යනුවෙන් හැදින්වෙන සරල යාත‍්‍රා වැනි යාත‍්‍රා භාවිත කර ත‍්‍රිකුණාමලය වරායට පැමිණිය හැකිය). ශ‍්‍රී ලංකාවේ නැගෙනහිර ප‍්‍රදේශයෙන් මුහුදට වැටෙන යාන් ඔයේ පහළ නිම්නය වන පුල්මු‌ඩේ දෙසින් රට අභ්‍යන්තරයට ඇතුළු වී යාන් ඔය නිම්නයේ ඉහළට ගමන් කර මධ්‍ය කොටස තුළ ජනාවාස ස්ථානගත කරන්නට ඇති බව මේ වන විට සිදු කර ඇති පුරාවිද්‍යා පර්යේෂණ තුළින් පැහැදිලි වේ. විශේෂයෙන්ම යාන් ඔය පහළ, මධ්‍යම හා ඉහළ යන නිම්න තුන තුළම පුර්ව ඓතිහාසික අවධියට අයත් සුසාන භූමි 35 පමණ ස්ථානගත වී තිබීම තුළින් මේ බව මැනවින් තහවුරු කර ගත හැකි ය. අනෙක් අතට ලංකාවේ වෙනත් කිසිඳු ගංගා නිම්නයක් තුළින් මෙතරම් විශාල සුසාන භූමි ප‍්‍රමාණයක් වාර්තා නොවීම ද විශේෂ ය. ඉදිරි පර්යේෂණවලින් ලබා ගන්නා වූ විද්‍යාත්මක කාලනීර්ණ ඔස්සේ සිදු කරන අධ්‍යයන තුළින් යාන් ඔය නිම්නයේ ජනාවාස ව්‍යාප්ත වීමේ ස්වරූපය හඳුනාගැනීමට වැඩි අවකාශයක් තිබුණ ද දැනට ලැබී ඇති කාල නීර්ණ අනුව පුර්ව ඓතිහාසික ජනාවාස ව්‍යාප්ත වීමේ මෝස්තරය හඳුනාගැනීමට අවකාශ සැලසේ.

මධ්‍ය යාන් ඔය නිම්නයේ පූර්ව ඓතිහාසික අවධියේ ජනාවාස ස්ථානගත වීම පිළිබඳව විමසීමක් කිරීමේ දී පැහැදිලි වන්නේ හැඩගැසෙමින් ඇති සමාජය ආර්ථික හා තාක්‍ෂණ ශිල්පය පදනම් කරගෙන විශේෂ වූ අමුද්‍රව්‍ය සොයා යාන් ඔය මධ්‍ය නිම්නයට ප‍්‍රවිශ්ට වන්නට ඇති බව ය. දැනට සිදු කර ඇති පර්යේෂණවලට අනුව ක‍්‍රිස්තු පූර්ව 500-600 පමණ වන විට අනුරාධපුරය නාගරික තත්ත්වයට පත් වී ඇත. එම කාලපරිච්ජේදයට අදාළව හමු වී ඇති දෙස්විදෙස් මානවකෘති තුළින් ඒ බව මැනවින් පැහැදිලි වේ (Deraniyagala 1992:711-712). නාගරික ක‍්‍රියාවලිය සමඟ අනුරාධපුරය ප‍්‍රධාන ජනාවාසය ලෙස ඉස්මතු වීමත් සමඟ ම එම ජනපදයට අවශ්‍ය බහුවිධ සම්පත් හා භාණ්ඩ ඊට හාත්පස ප‍්‍රදේශවල පිහිටුවා ගන්නා ජනපද මඟින් සැපයීම ආර්ථික විද්‍යානුකූලව ද සිදු විය යුතු සිද්ධාන්තයකි. මධ්‍ය යාන් ඔය නිම්නය ආශ‍්‍රිත පූර්ව ඓතිහාසික ජනාවාස සාර්ව ලෙස ස්ථාපිත වීම සම්බන්ධයෙන් අධ්‍යයනය කර බැලුුවහොත් හඳුනාගත හැකි වැදගත් කාරණය වන්නේ එම කාලය තුළ අන්තර් සමාජ සම්බන්ධතාවය යාන් ඔය මධ්‍ය නිම්නය හා අනුරාධපුරය අතර සිදු වී තිබූ බව ය.

හැඩ ගැසෙමින් ඇති ප‍්‍රාථමික ජන සමාජයක් ස්ථාවර ලෙස මුල්බැස ගැනීම සඳහා ප‍්‍රධාන වශයෙන්ම ඛනිජ සම්පත්වල පිහිටීම සෘජුව බවපාන බව පුරාවිද්‍යා පර්යේෂණවල දී පෙන්වා දී තිබේ. යාන් ඔය නිම්නයේ පූර්ව ඵෙතිහාසික ජනාවාස ව්‍යාප්තවීමේ මොස්තරය අධ්‍යයනයේ දී එම ජනපද ස්ථාන ගතවීම උදෙසා ඛණිජ සම්පත්වල පිහිටීම ද බලපා ඇති බව හඳුනාගත හැකි ය. ඒ අතරින් ලෝහ සම්පත් මධ්‍ය යාන් ඔය නිම්නයට ඉතා ආසන්න ප‍්‍රදේශවල ස්ථානගත වී තිබීම නිසා යකඩ හා තඹ යන ඛණිජ සම්පත් පහසුවෙන් එම නිමිනයේ ජීවත් වූ වැසියන්ට පරිහරණය කිරීමට අවකාශ සැලසී තිබේ. ශ‍්‍රී ලංකාවේ යකඩ හා තඔ භාවිතය ආරම්භ වන්නේ පූර්ව ඓතිහාසික අවධියේ දී බව සුදර්ශන් සෙනවිරත්න පෙන්වා දී ඇත (Senaviratne 1994:16). යාන් ඔය මධ්‍ය නිම්නයට ආසන්න කලාපයක් නිධිගත වී ඇති ලෝහයක් ලෙස තඹ ලෝහය සේරුවිල ප‍්‍රදේශයේ දී හමු වේ. 1971 වර්ෂයේ ශ‍්‍රී ලංකා භූ සමීක්ෂණ දෙපාර්තමේන්තුව සේරුවිල සිදු කර ඇති භූ විද්‍යා අධ්‍යනයන්ට අනුව මැග්නටයිට් තඹ (Copper Magnetite) සේරුවිල නිධිගත වී ඇතිබව හඳුනාගෙන තිබේ (Senaviratne 1995:116). පී.ජී. කුරේ පෙන්වා දෙන ආකාරයට මෙම මැග්නටයිට් තඹ නිධිය සම්භවය ලබා ඇත්තේ නැගෙනහිර විජයානු සංකීර්ණය හා උස්භූමී සංකීර්ණයට අයත් අන්තර් භූ කලාපයේ ය (Cooray 1984:212; Senaviratne 1995:116). සේරුවිල ප‍්‍රදේශයේ දී මතුපිටට ප‍්‍රවිෂ්ට ව ඇති මැග්නටයිටි තඹ ටොන් මිලියන 7ක් එම භූමියේ මතුපිට මටිටමේ සිට අඩි 200ක් පොළව අභ්‍යන්තරයට විහිදෙන බව ශ‍්‍රී ලංකා භූ සමීක්ෂණ දෙපාර්තමේන්තුව 1971 දී සිදු කළ පර්යේෂණවලින් තහවුරු කර තිබේ (ibid:117).

ලෝහ පූර්ව ඓතිහාසික අවධියේ ජනතාවගේ ජීවන පැවැත්මට අදාළ සම්පත් පරිහරණ රටාවේ මූලික අංගයකි. සේරුවිල ලෝහ නිධියේ වූ ලෝහ ක‍්‍රිස්තු පූර්ව හය වැනි සියවස පමණ වන විට අනුරාධපුරයට රැගෙන විත් ඇති බව අනුරාධපුර ඇතුළුපුර පූර්ව ඓතිහාසික අවධියට අයත් ජනාවාස ස්ථරවලින් හමු වී ඇති ලෝහ මෙවලම් ආශ‍්‍රිත ව සිදු කර ඇති රසායනික මුලද්‍රව්‍ය විශ්ලේෂණයට අනුව හදුනාගෙන තිබේ (ibid). මෙම කාලයට සම කාලීනව මධ්‍ය යාන් ඔය නිම්නයේ පූර්ව ඓතිහාසික ජනාවාස වන ගුරුගල්හින්න, දිවුල්වැව, වඩිගවැව, කොක්එබේ, කදිරවේලි යන ස්ථානවලින් යකඩ හෝ තඔ වාර්තා වී ඇති බව රාජා ද සිල්වා එම ස්ථාන ආශ‍්‍රිතව සිදු කර ඇති කැනීම්වලින් වාර්තා කර තිබේ (Senaviratne 1984:248-257). මේ පිළිබඳ අධ්‍යයනය කර ඇති අර්ජුන තන්තිලගේ ප‍්‍රකාශ කර ඇත්තේ මේවා තඹ ද ලෝකඩ ද යන්න නිශ්චිත ලෙස රාජා ද සිල්වා ප‍්‍රකාශයට පත්කර නොමැති බවය (Thanthilage 2008:202). නමුත් ගුරුගල්හින්න ආශ‍්‍රිතව තඔ උපකරණ ලැබී ඇති බව රාජා ද සිල්වා 1970 වර්ෂයේ වාර්තා කර ඇති බව සුදර්ශන් සෙනවිරත්න පෙන්වා දී තිබේ (Senaviratne 1984:248). වඩිගවැව ශිලා මංජුසා සුසානයක් ආශ‍්‍රිත ව යකඩ වාර්තා වී ඇති බව එස්.කේ. සිත‍්‍රපලම් පෙන්වා දී ඇති බව සුදර්ශන් සෙනෙවිරත්න ප‍්‍රකාශ කර තිබේ (Senaviratne 1984:248). අර්ජුන තන්තිලගේ පෙන්වා දී ඇති ආකාරයට ගුරුගල්හින්න ආශ‍්‍රිතව වාර්තා වී ඇති ලෝහ මෙවලම් අතර තඹවලින් පමණක් නිර්මාණය කරන ලද ඒවා හමු වී තිබේ. එසේ ම කොක්එබේ, වඩිගවැව, දිවුල්වැව යන ස්ථාන ආශ‍්‍රිත ව යකඩ හා තඹ යන මාධ්‍ය දෙකෙන් ම නිර්මිත උපකරණ හමු වී තිබේ (Thanthilage 2008:202-203). තම්මැන්නාගොඩැල්ල ආශ‍්‍රිත සුසාන 2013 වර්ෂයේ කැනීම් කරන ලද රංජිත් දිසානායක එම සුසාන තුළ තැන්පත් කර තිබු රනින් නිමවා තිබූ පබළු, යකඩවලින් නිර්මිත වළළු, කරාඔු, දුනු හිස් හා කෘෂි උපකරණ ද තඹවලින් නිර්මාණය කරනු ලැබු ඇස් අලංකරණයට භාවිතා කරන අංජන කූරූ හා වළලූ ද හමු වූ බව ප‍්‍රකාශ කර ඇත (රංජිත් දිසානායක සමඟ සිදු කළ සම්මුඛ සාකච්ජාව උපුටා ගැනීම මනමේන්ද්‍රආරච්චි සහ අදිකාරි 2014:216-217). සුදර්ශන් සෙනෙවිරක්න පෙන්වා දී ඇති ආකාරයට සේරුවිල පිහිටි තඔ පූර්ව ඓතිහාසික අවධියේ දී ලංකාවේ අනෙකුත් ජනපද වෙත ලබා දී ඇත. විශේෂයෙන්ම මධ්‍ය යාන් ඔය නිම්නයේ ස්ථාපිත පූර්ව ඓතිහාසික ජනතාව අනිවා්ර්‍යයෙන්ම යාන් ඔය මධ්‍ය නිම්නයට ලෝහ අමුද්‍රව්‍ය ප‍්‍රවාහනය කර ලෝහ මෙවලම් නිෂ්පාදනය කරන්නට ඇති බව පෙන්වාදිය හැක්කේ ඊට පසුව ඇති වන මුල් ඓතිහාසික සංස්කෘතික අවධියේ දී (Early histoty) එම ලෝහ සම්පත් අත්පත් කර ගැනීමේ කාර්ය තීරණාත්මක වී ඇති ආකාරය කුරුණෑකල්ලු පූර්ව බ‍්‍රාහ්මී අභිලේඛන ඇසුරෙන් හඳුනාගත හැකි නිසාය (ICVol.I 1970:No.319). සුදර්ශන් සෙනෙවිරත්න පෙන්වාදෙන ආකාරයට එම ලිපියේ සඳහන් වන පරුමක තබර වෙල යන්න මඟින් තඹ කර්මාන්තයේ නියැළි පරුමකවරු පිළිබඳව පැහැදිලි වන බව ප‍්‍රකාශ කර ඇත (Senaviratne 1989:115). පරුමකවරුන්ගේ පාලන බලය සේරුවිල සිට අනුරාධපුරය දක්වා විහිදුණු නිෂ්පාදන බෙදා හැරීම් ජාලය ඔස්සේ හඳුනාගත හැකි අතර ලෝහ කර්මාන්තය ආශි‍්‍රතව විශේෂඥ ශිල්ප කටයුතුවල නියැලි පිරිස් මධ්‍ය යාන් ඔය නිම්නයේ පෙරියපුලියන්කුලම, කැබිතිගොල්ලෑව, බ‍්‍රාහ්මණයාගම, නැට්ටුක්කන්ද, කහටගස්දිගිලිය ආදී ස්ථාන ඇසුරෙන් ස්ථානගත වී සිට ඇති බව මුල් බ‍්‍රාහ්මී අභිලේඛන අනුව ද හඳුනාගත හැකි වේ. ඒ අතර තබකර (තඹකරු), තොපශ (බෙලෙක්කරු) ආදි ශිල්පීන් (ICVol.I; 1970:No.350, No.351, No.370) මෙන්ම යකඩ කර්මාන්තයට සම්බන්‍ධ විශේෂ ප‍්‍රාගුණ්‍යතාවක් දැක්වූ ශිල්පීන් කබර (යකඩකරු) (IC. Vol.I; 1970:No.161). මෙම ප‍්‍රදේශ ආශ‍්‍රයෙන් ජීවත් වූ බව හඳුනාගත හැකි වීම තුළ ඔවුන් පූර්ව ඓතිහාසික අවධියෙන් සම්භවය ලබා මුල් ඓතිහාසික අවධියේ දී දියුණුවට පත් වූ පිරිස් බව එමඟින් හඳුනාගත හැකි වේ.

ලෝහ සම්පත්වලට අමතරව මෙම ප‍්‍රදේශ ඇසුරින් දැකගත හැකි ඛනිජ අතර තිරුවානා වර්ගවල පිහිටීම හඳුනාගත හැකිය. වඩිගවැව සිට උතුර දෙසට විහිදෙන පාෂාණ වැටිය ආශ‍්‍රිතව පිහිටන ඛනිජ තීරුවක තිරුවානා ඛනිජ බහුලව දක්නට ලැබේ. කොක්එබේ සුසාන භූමිය ආශ‍්‍රිතව 2016 වසරේ සිදු කරන ලද කැනීම්වල දී එම සුසාන අභ්‍යන්තරයෙන් මෙන්ම කැනීම් පරිශ‍්‍රය තුළින් ද දුම්පැහැ තිරුවානා (Smokey Quartz) හා විනිවිධ පෙනෙන තිරුවානා (Clear Quartz) වර්ග වාර්තා වී ඇත (මැන්දිස් 2016:128-179) එමඟින් මෙම යුගයේ දී එම ඛනිජ වර්ග එම ප‍්‍රදේශයේ නිවැසි පූර්ව ඓතිහාසික මිනිසුන් භාවිත කළ බව මැනවින් පැහැදිලි වේ. යාන් ඔය නිම්නයේ පූර්ව ඓතිහාසික අවධියේ ජනාවාස ව්‍යාප්තිය හඳුනාගැනීමේ දී දැනට එම ප‍්‍රදේශය ඇසුරින් හඳුනාගත හැකි මෙගලිතික සොහොන් සංකීර්ණ හා ඒ ආශ‍්‍රිතව හඳුනාගත හැකි සුසාන ආකෘතිවල සංවර්ධනය අධ්‍යයනය කිරීම තුළින් ද එක්තරා ආකාරයකට පූර්ව ඓතිහාසික ජනාවාස රටාෙවේ ව්‍යාප්තවීමේ මෝස්තරය හඳුනාගැනීමට හැකි වේ. යාන් ඔය නිම්නය තුළින් මේ වන විට මෙගලිතික සුසාන ස්ථාන 35කට වඩා වැඩි ප‍්‍රමාණයක් වාර්තා වන අතර ඒ අතර ආකෘති ගණනාවකට අයත් සූසාන පවතී. එම ආකෘති අතර ශිලා මංජුසා සූසාන (Cist Burial), ශිලා කේතුක සූසාන (Cairn Mound), ශිලා මණ්ඩල සූසාන (Cairn Circle), ශිලා මංඤ්චක සූසාන (Delmenoid Cist), බරණි සුසාන (Urn Pot) (Senaviratne 2007:149-155; මැන්දිස් 2017:150-153). පවතින බව හඳුනාගත හැකිය. මෙම සුසාන ගොඩනගා ඇති වාස්තුවිදන්‍ාව (Burial Architecture) පිළිබඳව විමර්ශනය කිරීමේ දී පූර්ව ඓතිහාසික ප‍්‍රජාව ඔවුන්ගේ තාක්ෂණික ක‍්‍රියාවලිය එක්තරා ආකායකට ක‍්‍රමානුකූලව සංවර්ධනය කිරීම සිදු කර ඇති බවට සාධක ඒ තුළින් හඳුනාගත හැකි වේ. සංස්කෘතියක් ආරම්භක අවස්ථාවේ දී පරිණත භාවයට පත් නොවන අතර එය සංවර්ධනය වීම සඳහා තාක්‍ෂණ ශිල්පයේ වර්ධනය සමඟ ජනරේඛනයේ ප‍්‍රසාරණය හා සම්පත්වලට ඇතිවන ඉල්ලුම වර්ධනය විය යුතු ය. ප‍්‍රාථමික ජන සමාජයක් සංවර්ධනය කරා ලඟාවීමේ මිණුම් දණ්ඩක් ලෙස එම සංස්කෘතියේ වාස්තුවිද්‍යා අංගවල මෙන්ම කලා නීර්මාණ හා තාක්‍ෂණික අංශයන්ගේ සංවර්ධනයක් ද හඳුනාගත හැකි වේ.

උතුරු පලාතේ ධීවරයින් වර්තමායේ දී භාවිත කරන මෙම කට්ටුමරන් නැමති සරල යාත‍්‍රා විශේෂය වැනි යාත‍්‍රා පූර්ව ඓතිහාසික යුගයේ දී ද ජනතාව මුහුදු ගමන් සඳහා භාවිත කරන්නට ඇත

යාන් ඔය නිම්නයේ ස්ථානගත වී ඇති සුසාන ආශ‍්‍රිත වාස්තුවිද්‍යාව අධ්‍යයනය තුළින් එක්තරා ආකාරයකට පැහැදිලි වන්නේ එම සමාජය සංවර්ධනය කරා ලගාවීමේ දී එකිනෙකට වෙනස් සුසාන ආකෘති හඳුන්වා දීම සිදු කර ඇති බව ය. යාන් ඔය නිම්නයේ දක්නට ලැබෙන සුසාන ආකෘති අතරින් බහුතර සුසාන ආකෘතිය වන්නේ ශිලා මංජුසා සුසාන ආකෘතිය වේ. මේ වන විට එම සුසාන ආකෘතියට අයත් සුසානවලින් පැරණිතම කාලනීර්ණ ලැබී ඇත්තේ කොක්එබේ ශිලා මංජුසා සුසානයකිනි. එහි කාලනීර්ණ ක‍්‍රිස්තු පූර්ව 790 වේ. Beta 444431 (මැන්දිස් 2017:178) කොක්එබේ සුසාන භූමිය ආශ‍්‍රිතව වාර්තාවන අනෙක් සුසාන ආකෘති ලෙස ශිලා කේතුක සූසාන, ශිලා පෙළ (Stone Alignment) බරණි සුසාන පවතින බව පෙන්වාදිය හැකි ය. කොක්එබේ සුසාන ආකෘතිවලින් මීලගට පැරණි කාලනීර්ණ ලැබී ඇත්තේ ශිලා පෙළ සුසානය සඳහා ය. එහි කාලනීර්ණ ක‍්‍රිස්තු පූර්ව 770 වේ Beta 444432 (මැන්දිස් 2017:177-179). මෙම ශිලා පෙළ සුසානය මීටර් 15 දිගට එක පෙළට සිටුවන ලද ශිලා පුවරු දෙපසින් සුසාන බරණි තැන්පත් කර නිර්මාණය කර තිබෙන සුසානයකි. මෙම සුසානයේ 2016 වර්ෂයේ දී පුරාවිද්‍යා කැනීම සිදු කරනු ලැබුවේ එහි හරියටම මැද කොටසේ මීටර් 4×2 ප‍්‍රමාණයේ පරිශ‍්‍රයක ය. එම කැනීම් පරිශ‍්‍රයේ පමණක් සුසාන බරණි 25 කැනීමේ දී වාර්තා විය. මෙම ශිලා පෙළ සුසානය නිර්මාණය කර ඇත්තේ බොහෝ විට එක් පවුලක සුසානයක් ලෙස හෝ එසේ නොමැති නම් පොදු සුසානයක් ලෙස බව උපකල්පනය කළ හැක්කේ එතරම් විශාල සුසාන බරණි ප‍්‍රමාණයක් එහි දක්නට ලැබෙන බැවිනි. මෙම ශිලා පෙළෙහි ආම්භය එහි දෙකෙලෙවරෙහි කුමන කොටස තුළින් සිදු වූවා දැයි තවම නිශ්චය කර නොමැත. මෙම සුසානය කොක්එබේ මෙගලිතික සුසානයේ පැරණිතම සුසානය විය හැකි බව උපකල්පනය කළ හැක්කේ එහි මැද කොටසේ කාලනීර්ණ ක‍්‍රිස්තු පූර්ව 770 තරම් පැරණි වන නිසාත් එහි ආරම්භය බොහෝ විට ක‍්‍රිස්තු පූර්ව 1,000 හෝ ඊට පෙර කාලයට ගමන් කිරිමට වැඩි ඉඩ ප‍්‍රස්ථා තිබෙන බැවිනි. එසේම සුසාන ආකෘතියක් ලෙස ඉතා ප‍්‍රාථමික ආකාරයකට නිර්මාණය කර ඇති මෙම සුසානය එම සංස්කෘතියේ සංවර්ධන අවස්ථාවක නොව සමාරම්භක අවස්ථාවක නිර්මාණය කරන ලද්දක් විය හැකි බව ද පෙන්වාදිය හැකි ය. කොක්එබේ සුසාන භූමිය ඇසුරින් සිදු කළ පර්යේෂණ කැනීම්වලින් ලැබී ඇති මීළග කාලනීර්ණය ක‍්‍රිස්තු වර්ෂ 5-125 Bete 444430 කාලයට අයත් වන බැවින් දළ වශයෙන් මෙම සුසානය අඛණ්ඩව අවුරුදු 920ක් පමණ භාවිත වී තිබෙන බව පෙන්වාදිය හැකි ය.

යාන් ඔය නිම්නයේ පූර්ව ඓතිහාසික අවධියේ ජනාවාස ව්‍යාප්ත වීමේ ස්වරූපය දැනට සිදු කර ඇති අධ්‍යයනය අනුව විමර්ශනය කිරීමේ දී පැහැදිලි වන්නේ එහි මධ්‍ය කොටසේ මුලින් ස්ථාපිත වූ ජන කණ්ඩායම් ක‍්‍රමාණුකූලව සීගිරිය නිම්නය දෙසටත් පුල්මුඬේ දෙසටත් ව්‍යාප්ත වී ඇති බවය. එසේ පෙන්වාදිය හැක්කේ සීගිරියට නුදුරු කලවැල්ලා උල්පත ස්ථානයේ ඇති මෙගලිතික සුසානයේ කාලනීර්ණ ක‍්‍රිස්තු පූර්ව 520-200 (Jayaratne 2016:27) ලැබී තිබීම කොක්එබේ කාලනීර්ණ ක‍්‍රිස්තු පූර්ව 790 – ක‍්‍රිස්තු වර්ෂ 125 දළ වශයෙන් වසර 950 භාවිත වී තිබේ (මැන්දිස් 2017:178). හා තම්මැන්නාගොඩැල්ල ක‍්‍රිස්තු පූර්ව 490 – ක‍්‍රිස්තු වර්ෂ 350 (දිසානායක 2017 වර්ෂයේ සිදුකළ සාකච්ඡ‌ාව). දළ වශයෙන් වසර 750 ක් භාවිත වී තිබේ. එසේම වාහල්කඩ ක‍්‍රිස්තු පූර්ව 400-200 වශයෙන් ලැබී තිබීම තුළින් දළ වශයෙන් වසර 200 භාවිත වී තිබෙන බව (එස්.ටී.ජී. ප‍්‍රියන්ත සමඟ 2018 සිදු කළ සම්මුඛ සාකච්ඡ‌ාව) කාලනීර්ණ අනුව පැහැදිලි වන බැවිනි. මධ්‍ය යාන් ඔය නිම්නයේ කහටගස්දිගිලිය, හා හොරොව්පොතාන ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශ තුළ ස්ථානගතව ඇති මෙගලිතික සංස්කෘතියට අයත් සුසාන අතරින් විවිධ ආකෘතියේ සුසාන ආකෘති මෙම ප‍්‍රදේශ ඇසුරින් ස්ථානගතව තිබේ. ඒ අතරින් මෙරට දුර්ලභ ඝනයේ සුසාන ආකෘතියක් වන ශිලා කේතුක සුසාන (Cairn Mound/Heap) කොක්එබේ, පරංගියාවාඩිය, හුරුළු නිකවැව වලස්මුල්ල යන ස්ථානවල දක්නට ලැබේ. එසේම තවත් විශේෂ සුසාන ආකෘති බවට උපකල්පනය කළ හැකි ශිලා ටැඔ (Menhir) වර්ගයේ සුසානයක් තම්මැන්නාගොඩැල්ල ආශ‍්‍රිතවත් ශිලා මඤ්චක සුසානයක් (Delmenoid) වර්ගයේ සුසාන වියහැකි සුසාන ගල්ඇදකටුවේ හා වාහල්කඩ තිබීම තුළින් පැහැදිලි වන්නේ ද මධ්‍ය යාන් ඔය නිම්නයේ පොකුරක් ආකාරයට ස්ථාපිත වූ පූර්ව ඓතිහාසික ප‍්‍රජාව ක‍්‍රමානුකූලව ජනරේඛනයේ ප‍්‍රසාරණය සමඟ යාන් ඔයේ ඉහළට හා පහළට ගමන් කර සිය ජනාවාස පිහිටුවා ගෙන තිබීම නිසා එම ජනාවාස ව්‍යාප්ත වීමේ රටාව මධ්‍ය යාන්ඔය නිම්නය කේන්ද්‍රගත කර ගෙන සංවර්ධනය වී ඇති බව ය. දැනට සිදු කර තිබෙන පුරාවිද්‍යා අධ්‍යයන අනුව අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ පූර්ව ඓතිහාසික අවධියේ ජනාවාස අනුරාධපුර ඇතුළුනුවර ඇසුරින් වාර්තා වී තිබුණ ද මෙම සංස්කෘතිය යාන් ඔය නිම්නයේ ආරම්භ වී අනුරාධපුර දෙසට ව්‍යාප්ත වීමට බොහෝ ඉඩ ප‍්‍රස්ථා පවතින බව පෙන්වාදිය හැකි ය.

පරිශිලනය කරන ලද ග‍්‍රන්ථ හා ලිපි නාමාවලිය

  • මනමේන්ද්‍ර ආරච්චි සහ ගාමිණී අදිකාරි (2014), අනුරාධපුර පුරා ජෛව විවිධත්වය හා වර්තමාන ජෛව විවිධත්වය, ජෛව විවිධත්ව ලේඛම් කාර්යාලය, පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයල කොළඔ.
  • මැන්දිස්, තුසිත (2008), වෙස්සගිරිය බඩවැටි පර්යේෂණ කැනීම, වාර්ෂික පුරාවිද්‍යා වාර්තාව 2006, සංස්. සුදර්ශන් සෙනෙවිරත්න හා පියතිස්ස සේනානායක, මධ්‍යම සංස්කෘතික අරමුදල සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, කොළඔ. 48-56.
  • මැන්දිස්, තුසිත (2016), මධ්‍ය යාන්ඔය නිම්නයේ පූර්ව ඓතිහාසික අවධියේ සුසාන ආශ‍්‍රිත වාස්තුවිද්‍යාව, The Proceeding of Second Archaeology Research Symposium, Department of Archaeology and Heritage Management, Rajarata University of Sri Lanka, Mihinthale. 150-153.
  • මැන්දිස්, තුසිත, නුවන් අබේවර්ධන හා චන්දන රෝහණ විතානාච්චි (2016), අනුරාධපුර දීඝ පාෂාණය ආශ‍්‍රිත මානව ජනාවාසකරණය, කර්තෘ ප‍්‍රකාශන.
  • මැන්දිස්, තුසිත (2017), කොක්එබේ මෙගලිතික සුසාන භූමිය ආශ‍්‍රිත කැනීම, මධ්‍ය යාන් ඔය නිම්නයේ ජනාවාස පුරාවිද්‍යාව, පර්යේෂණ හා ප‍්‍රකාශන අරමුදල, ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ, 128-179.
  • Cooray, P.G. (1984), An Introduction to the Geology of Sri Lanka (Ceylon), Colombo, National Museums of Sri Lanka.
  • Deraniyagala, S.U. (1972), The Citadel of Anuadhapura: Excavation in the Gedige area, Ancient Ceylon no.02, 48-165, Archaeological Survey Department, Colombo.
  • Deraniyagala, S.U. (1992), The Prehistory of Sri Lanka, An Ecological Perspective, Archaeological Survey Department, Colombo.
  • Deraniyagala,S.U. & M. Abeyratne (1997), Rediocarbon Chronology of Anuradhapura,Sri Lanka:A Revised Age Estimate,  South Asian Archaeology, vol.ii Stituto Italiano Per Africa Luriente, 2000.
  • Jayarathne, D. K. (2016), Geoarchaeoloical Approach to the Ihala Kalawella Ulpatha Cist Burial Site and It’s Adjoining Cultural Landscape at Anuradhapura District of Sri Lanka. Ancient Ceylon No. 25, Department of Archaeology,Sri Lanka. 25-42.
  • Paranavitane, S. (1970), Inscription of Ceylon, Vol. I , Department of Archaeology. Colombo.
  • Seneviratne, S. (1984), The Archaeology of the Megalithic – Black and Red Ware Complex in Sri Lanka, Ancient Ceylon No.5: 237-305, Archaeological Survey Department, Colombo.
  • Seneviratne, S. (1989), Pre State Chieftain and Servants of the State : A case study of  the parumuka. In the Sri Lanka Journal of Humanities. Vol. XV.No.1 & 2 99-131, University of Peradeniya.
  • Seneviratne, S. (1995), The Ecology and Archaeology of the Seruwila: Copper Magnetite prospect North- East Sri Lanka In Sri Lanka Journal of Humanities. Vol. xxi (1&2):114-146
  • Seneviratne, S. (2007), The Archaeology of the Megalithic – Black and Red Ware Complex in Sri Lanka, Art and Archaeology of Sri Lanka, Central Cultural Fund, Ministry of Cultural Affirs, 135-202.
  • Seneviratne, S. (1996), Peripheral Regions and Marginal Communities : Towards an Alternative Explanation of Early Iron age Maternal and social Organization in Sri Lanka Tradition Dissent and Ideology : Essay in Honor of Romila Thapar, ed. K. Campakalakshmi and S.Gopal, Oxford University Press. Delhi: 265-312
  • Thanthilage, A. (2007), An Archaeo-Metallurgical Investigation of Sri Lankan Historical Bronzes, Unpublished PhD Thesis.
----------------------------------------------------------------------------------
මෙම ලිපිය 2018.10.15 දින www.archaeology.lk/sinhala වෙබ් අඩවියේ පළමු වරට ප්‍රකාශයට පත් විය.
----------------------------------------------------------------------------------
Previous articleඅනුරාධපුර‌යේ මහා විහාරය
Next articleගාල්ල, සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරය නරඹමු
තුසිත මැන්දිස්
ඩී. තුසිත මැන්දිස් බලපිටිය, රේවත මධ්‍ය මහා විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව 1996 වර්ෂයේ දී දෙවන පෙළ ඉහළ පන්ති සාමාර්ථයක් සහිතව පුරාවිද්‍යා (විශේෂ) උපාධිය ලබා ගන්නා ලදී. කොළඹ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් 1998 වසරේ දී විශිෂ්ට සාමාර්ථයක් සහිතව 'පුරාවිද්‍යා පශ්චාත් උපාධි ඩිප්ලෝමාව'ත් 2006 වසරේ දී 'ස්මාරක සංරක්‍ෂණය හා උරුම කළමනාකරණය' පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත්, දර්ශනපති උපාධියත්, 2011 වසරේ දී දර්ශන විශාරද උපාධියත් හිමි කරගන්නා ලදී. 1996 වර්ෂයේ දී මධ්‍යම සංස්කෘතික අරමුදලේ පර්යේෂණ නිලධාරියෙකු ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කරන ලද ඔහු පසුව ප‍්‍රධාන පුරාවිද්‍යා පර්යේෂණ නිලධාරි හා ව්‍යාපෘති කළමනාකරු ලෙස උසස් වීම් ලබා ගැනීමට සමත් විය. 2006 වර්ෂයේ සිට ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙස ද සේවය කරන ලද තුසිත 2013 වර්ෂයේ දී ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුමකළමනාකරණ අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස විශ්වවිද්‍යාල සේවයට එක් වී 2015 වර්ෂයේ දී එහි අංශ ප්‍රධාන වශයෙන් පත් විය. 2018 වසරේ දී මහාචාර්යවරයකු ලෙස උසස්වීම් ලබා දැනට එහි සේවය කරමින් සිටී. මධ්‍යම සංස්කෘතික අමුදලේ අනුරාධපුර තදාශ‍්‍රිත ප‍්‍රදේශ ව්‍යාපෘතියේ පුරාවිද්‍යා අධ්‍යක්‍ෂවරයා වශයෙන් ද කටයුතු කරනු ලැබේ. වසර 22ක පමණ කාලයක් පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍ර කටයුතුවල නියැලෙන තුසිත පුරාවිද්‍යා පර්යේෂණ කැනීම් 20කට වඩා සිදු කර ඇති අතර ඒවා අතුරින් කොක්එබේ හා අන්දරවැව මෙගලිතික සුසාන කැනීම් විශේෂ වේ. ශ‍්‍රී ලංකාවේ ඓතිහාසික, මුල් ඓතිහාසික හා පූර්ව ඓතිහාසික යුග සම්බන්ධව අධ්‍යයන සිදුකර ඇති තුසිත, විවිධ සඟරා සඳහා පර්යේෂණ ලිපි 75කට වැඩි ප‍්‍රමාණයක් ද ජාතික හා ජාත්‍යන්තර පුරාවිද්‍යා පර්යේෂණ සමුළු සඳහා ද පත‍්‍රිකා රැසක් මෙන් ම පුරාවිද්‍යාවට අදාළ ග‍්‍රන්ථ 7ක් ද ප‍්‍රකාශයට පත්කර ඇත. දිවයින, අකුර හා හෙළදිව පුවත්පත් සඳහා ලිපි රචනා 100කට වඩා රචනා කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.