ඒ.එම්. ඒ දයානන්ද හා මහින්ද කරුණාරත්න

 

මුහුදු පුරාවිද්‍යා ඒකකය,මධ්‍යම සංස්කෘතික අරමුදල, සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශය, කොටුව, ගාල්ල.

(මෙම ලිපියේ සෝදුපත් බැලු ලක්ෂ්මී විජයරත්න මහත්මියට විශේෂ ස්තුතිය)

2013 අගෝස්තු මස 4 වෙනි දින උදය වරුවේ MAU කණ්ඩායම ගවේෂණය සඳහා අවශ්‍ය බඩු බාහිරාදිය ඒකරාශි කරගැනීම සිදු කළේය. ගමන සඳහා වාහන 2ක් යොදාගත්තේය. එම වාහන සඳහා අපගේ සියලූම බඩු බාහිරාදිය ඇසුරුම් කිරීමෙන් අනතුරුව සවස 4ට පමණ ආයතනයෙන් පිටත්විය. එහිදී ගාල්ල සිට අධිවේගි මාර්ගය ඔස්සේ කොළඹ දක්වා ද එහි සිට මහනුවර මාර්ගයේ ගමන් කොට කුරුණෑගල මාර්ගයට පැමිණ ඒ ඔස්සේ දඹුල්ල දක්වා ද එහි සිට සීගිරිය දක්වා ද ගමන් කරන ලදි.

අප සීගිරිය වෙත ළගා වනවිට රාත‍්‍රී 12.30 පමණ විය. සීගිරි ව්‍යාපෘතියේ ව්‍යාපෘති කළමණාකාර චන්දන වීරසිංහ මහතා හමුවීමෙන් පසුව සීගිරිය අප්සරාවේ නවාතැන් ගැනීම සිදුකරන ලදි. පසු දින උදෑසන පෙරවරු 6.30ට පමණ සීගිරි ව්‍යාපෘතියට පැමිණ සීගිරිය කෞතුකාගාරය නැරඹීමෙන් අනතුරුව, චන්දන වීරසිංහ මහතා හමුවී ස්තූති කොට පෙරවරු 8.40 ට පමණ සීගිරියෙන් පිටත්විය.

සීගිරිය අප්සරාව නවාතැන්පල

පිදුරංගල මාර්ගයේ හබරණ හරහා අනුරාධපුර මාර්ගයේ පැමිණ රිටිගල පිහිටි හෝටලයකින් උදෑසන ආහාරය ලබාගැනිමෙන් අනතුරුව අනුරාධපුර නගරයට ගමන්කරන ලදි. ඉවුම් පිහුම් ඳහා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා බඩුභාණ්ඩ මිළදී ගැනීම හා අප ගමන් කළ එක් වාහනයක් සිරී මොටර් ආයතනයෙන් සුලූ අළුත් වැඩියාවකට ලක්කරන ලදි.

පස්වරු 1.45 ට පමණ අනුරාධපුරයෙන් පිටත්ව A9 මාර්ගයේ පුල්ලියම්කුලම් හන්දිය දක්වා ගමන්කොට එම හන්දියෙන් දකුණට හැරී නඳුන්කර්නි හන්දියට ද, එහි සිට ඔඞ්ඩුසුඩාන් දක්වා ගමන් කොට A34 මාර්ගයේ මුලතිව් නගරයට පැමිණෙන ලදි. ඒ වන විට වේලාව පස්වරු 4.00 පසුවී පැවතිණි.

මුලතිව් නගරයේ පිහිටි තැපැල් කන්තෝරුව ඉදිරිපස පිහිටි ”වසන්තන් ඉන් ” තානායමේ නවාතැන් ගන්නා ලදි.

“වසන්තන් ඉන්”නවාතැන්පොල-මුලතිව්

රැගෙන ආ බඩු බාහිරාධිය බෑමෙන් අනතුරුව රාත‍්‍රී ආහාරය ලබාගත්තේය. කණ්ඩායමේ සියලූම සාමාජිකයින් එක්ව පසුදින සිඳු කිරීමට නියමිත පර්යේෂණ කටයුතු පිළිබඳව සැලසුම්කරන ලදි.

එහිදී ගවේෂණ කටයුතු වලදී කණ්ඩායමේ ආරක්ෂාව පිළිබව සැලකිල්ල යොමුකරමින් කණ්ඩාම සහා කිමිදුම් කටයුතු වලදී වගකිවයුතු ආරක්ෂක නිලධාරියෙකු (Safety Officer) වශයෙන් ඒ. එම්. ඒ දයානන්ද මහතා පත්කරන ලදි.

බෝට්ටු සපයාගැනීම, පර්යේෂණ සම්බන්ධ තොරතුරු දන්නා පුද්ගලයන් සම්බන්ධ කරගැනීම, හා වෙනත් කටයුතු සඳහා රාජකාරි වෙන්කරගැනීම ද සිදුවිය.

ආහාර හා පෝෂණය පිළිබඳව තීරණය ගැනීම සඳහා ඞී. එම් මහින්ද පැමිණෙන තුරු කටයුතු කිරීමට චමිලා කුමාරි පත්කරන ලදි. කිමිදුම් සඳහා අවශ්‍ය සිලින්ඩර පිරවීම චමල් ගමගේ විසින් සිඳු කරන ලදි.

2013 නොවැම්බර් 06 වන අගහරුවාදා
මුලතිව් සීලාවත්ත මුහුදු තීරයේ සිට කිලෝමීටර 4ක් පමණ දියඹ දෙසට වන්නට පිහිටි ස්ථානයක නිතර ධීවරයන්ගේ දැල් පැටලෙන බවත් එම ස්ථානයේ යම්කිසි දෙයක් ඇති බවටත් කිංස්ලි නමැති ධීවරයකුගෙන් තොරතුරු ලැබිණි. ඒ අනුව අප කණ්ඩායම එම ස්ථානයේ කිමිදුම් කටයුතු සිදුකරන ලදි. එම කිමිදුම් සඳහා ඒ. එම්. ඒ දයානන්ද, රසික මුතුකුමාරණ, නන්දදාස සමරවීර යන අය සහභාගි විය. එම ස්ථානයේ ගැඹුර මීටර 18ක් විය.

ඩබ්. කිංස්ලි බර්නාර්ඞ්

මුලතිව් සිලාවත්ත මුහුදු තීරයේ ධීවර ජනතාව අතර සිදුකළ සාකච්ඡාවක්

සිලාවත්ත මුහුදු තීරයේ සාමාන්‍ය ජනතාවගේ ක‍්‍රියාකාරකම්

ගවේෂණ සඳහා පිටත්වීමට සූදානම් වන අවස්ථාවක්

ගවේෂණ සඳහා යාත‍්‍රාව දියත් කළ අවස්ථාවක්

ජලයේ දෘශ්‍යතාව ඉතාම දුර්වල විය. මුහුදු පත්ල ඉතා මඩ සහිත විය. එම ස්ථානය ගවේෂණයෙන් කිසිදු දෙයක් දක්නට නොලැබිණි. ධීවරයන්ගෙන් ලබාගන්නා මෙවැනි තොරතුරු මත ගවේෂණ සිදුකළ ද සාර්ථක වන අවස්ථා ඉතා විරලය.

අපගේ පර්යේෂණයේ ප‍්‍රධාන අරමුණ වන මුලතීව් මුහුදු තීරයේ ගිලී ඇතැයි පැවසෙන එස් එස් ඉන්ඩස් (SS Indus)ලෙස හඳුන්වන නෞකාව සොයාගැනීමේ පර්යේෂණ ආරම්භ කරන ලදි. නාවික සිතියම් අධ්‍යයනයෙන් පසුව එම සිතියම්හී සලකුණු අනුව ලබාගන්නා ලද අක්ෂාංශ හා දේශාංශ ඔස්සේ පර්යේෂණ කිමිදුම් කටයුතු සිදුකරන ලදි.

එහිදී වෘත්තාකාර ලෙස (Circle search) දියයට ගවේෂණ කටයුතු සිදුකරන ලදි. එහි දී කුඩා ප‍්‍රමාණයේ තන්ගුස් ලණුවක් (Life line) භාවිතා කළේය.

එම ලණුව අප බෝටිටුව නවතා තැබීම සඳහා භාවිතා කළ නැංගුරමේ යකඩ දම්වැලේ ගැටගසන ලදි. අනතුරුව මාලිමාව භාවිතා කරමින් ලණුව අල්ලාගෙන වෘත්තාකාර හැඩයට මුහුදු පතුළ ගවේෂණය කළේය. එම ක‍්‍රමවේදයට අනුව මීටර 50ක පමණ ප‍්‍රදේශයක වෘත්තාකාරව ගවේෂණය කළ ද කිසිඳු හෝඩුවාවක් නොලැබිණි. ස්ථානයේ දෘශ්‍යතාව මීටර 4ක් පමණ විය. ස්ථානයේ ගැඹුර මීටර 7ක් පමණ වේ. මුහුදේ ස්භාවය කිමිදුම් කිරීම සඳහා ඉතා උචිත විය. සුළං හැමීම නැගෙනහිර දිශාව සිට බස්නාහිර දිශාවට සිදුවිය.

2013 අගෝස්තු 7 වන බදාදා

එස් එස් ඉන්ඩස් නෞකාව පිළිබඳ පර්යේෂණය කිරීම මෙදින ද ප‍්‍රධාන අරමුණ විය. අප කණ්ඩායම පෙරදින පර්යේෂණ සිදුකළ ස්ථානය ආශ‍්‍රිතවම තවදුරටත් ගවේෂණ සිදු කිරීමට තීරණය කළේය. GPS යන්ත‍්‍රයේ ස්ථාන 4ක් මීටර 50 සීමාව දක්වා සලකුණු කරමින් ගවේෂණය කිරීම සඳහා ස්ථානයට ළඟා විය. නමුත් පර්යේෂණ කලාපයේ මුහුදු පතුළ දර්ශනය වන පරිදි ජලයේ දෘෂ්‍යතාව පැවතිණි. ඒ අනුව බෝට්ටුව මත සිට මුහුදු පතුල නිරීක්ෂණය කිරීමට හැකිවූ බැවින් එදිනට නියමිතව පැවති පර්යේෂණ ක‍්‍රමවේදය වෙනස්කරන ලදි. එහිදී පේළියට සිට (Line search) කඹයක් භාවිතා නොකොට මාලිමාව ආධාර කොට ගෙන සතර දිශාව ආවරණය වන පරිදි ස්නෝක්ලින් කරමින් ගවේෂණය කරන ලදි.

නමුත් අපගේ පර්යේෂණයෙන් කිසිදු දියයට අනාවරණයක් කරගැනීමට නොහැකිවිය. පර්යේෂණය සඳහා නන්දදාස සමරවීර, ඒ. එම්. ඒ දයානන්ද, රුක්ෂාන් ප‍්‍රියන්දන, චමල් කේ. ගමගේ, මහින්ද කරුණාරත්න සහභාගිවිය.

ඉන්ඩස් පිළිබඳ තොරතුරු දන්නා පුද්ගලයකු සොයාගැනීම අරමුණින් එදින හවස් වරුවේදී කණ්ඩායමේ කිහිප දෙනෙකු ප‍්‍රදේශයේ ධීවර සමිතියේ සභාපති වන ජෙනිෆර් නමැත්තා හමුවීම සඳහා ගිය ද ඔහු හමුවූයේ නැත.

රුක්ෂාන් ප‍්‍රියන්දන විසින් පුත්තලම සින්නපාඩුව ප‍්‍රදේශයේ කිමිදුම් කරුවකු වන ජයරත්න යන පුද්ගලයකුගන් ලද තොරතුරු මත මුලතිව් ආශ‍්‍රිත ගිලී ඇති නෞකාවක් පිළිබඳ තොරතුරු දන්නා ගේ‍්‍රෂන් නමැත්තා කෝකිලායි ප‍්‍රදේශයට ගොස් හමුවීම සිදුවිය. ඔහුගෙන් මුලතිව් ආශ‍්‍රිතව ගිලීගිය නෞකාවක් පිහිටි ස්ථානයේ ඨඡුී අගයන් ලබාගැනීමට හැකිවීම වැදගත් අවස්ථාවක් ලෙසින් හැදින්විය හැකි වේ.

ගේ‍්‍රෂන්

2013 අගෝස්තු මස 8වන බ‍්‍රහස්පතින්දා
පෙර දිනයේදී ලබාගත් GPS අගයන් ඔස්සේ අද දින ගවේෂණ කටයුතු ආරම්භ කරන ලදි. ගවේෂණය සඳහා නන්දදාස සමරවීර, රසික මුතුකුමාරණ, නදීකා කුමාරි, සමීර ප‍්‍රසංග සහභාගි විය. ස්ථානය ආශ‍්‍රිත ගවේෂණයෙදී ගිලීගිය නෞකාවක් සම්බන්ධ සාධක අනාවරණය කර ගැනීමට හැකියාව උදාවිය. එම නෞකාව මුලතිව් නැව (Mullative wreck)ලෙස නම් කරණ ලදි. සවස් වරුවේදී එම ස්ථානයේම දෙවන ගවේෂණය කිරීම සඳහා කටයුතු යොදන ලදී. එම ගවේෂණයේදී නන්දදාස සමරවීර, ඒ. එම්. ඒ. දයානන්ද සහභාගි විය. එහිදී නැවේ හැඩය හා පැතිරී පවතින ආකාරය ගවේෂණය කළේය. නෞකාවේ ඉදිරිපස කොටස උතුරු දිශාවට ස්ථානගතව ඇති බව මාලිමාව ආශ‍්‍රයෙන් අනාවරණය කරගැනීමට හැකියාව උදාවිය. දකුණු දිශාවෙන් බොයිලේරු 2ක් සොයාගැනීමට හැකිවිය. නෞකාවේ දැනට ශේෂව ඇති අවශේෂ අනුව දිග මීටර 42ක් වේ. එහි පළල මීටර 10.60 කි. එක් බොයිලේරුවක විශ්කම්භය මීටර 2ක් හා අනෙක් බොයිලේරුවේ විශ්කම්භය මීටර 3.35කි.

නෞකාව මුහුදු පත්ලේ වැතිර ඇති ආකාරය දැක්වෙන දළ සටහන

නෞකාවක භාවිතා වන බොයිලේරුවක්

නෞකාවේ අවර පෙත්ත හා අවර දණ්ඩ සොයාගැනීමට නොහැකිවිය. නෞකාවේ සමහර කොටස් වැලි මඟින් වැසී ඇති බව පෙනේ. එහි ඉදිරිපස කොටසේ විශාල වශයෙන් මාළු දැල් පැටලී ඇත. එය ගවේෂණයේදී මහත් බාධාවක් ඇති කළේය. නැවෙහි බඳ කොටස් (Hull) කපා ඉවත්කොට ඇති බව පෙනේ. ධීවර ජනයාගෙන් ලද තොරතුරු මත නෞකාවේ මෙවැනි කොටස් LTTE යුද සමයේදී කපා ඉවත්කකොට ඔවුන්ගේ ක‍්‍රියාකාරකම් සඳහා යොදාගත් බව ප‍්‍රකාශ කළේය. ගවේෂණයේදී කුඩා පරිමාණයේ ලෝහමය උපකරණ සාම්පල 2ක් වැඩිදුර පර්යේෂණය සඳහා එකතුකරගන්නා ලදි. එම පුරාවස්තු SL/N/Mulle/25 (copper ring with concreation? ), SL/N/Mulle/26 (Copper nail?)ලෙස ලියාපදිංචි කරන ලදි.

SL/N/M/Mulle/25 (copper ring with concretion?)

 

SL/N/M/Mulle/26 (Copper nail?)

අප ගවේෂණයේ ප‍්‍රධාන අරමුණක් වූයේ බි‍්‍රතාන්‍ය යුගයේදී මුලතිව් මුහුද ආශ‍්‍රිතව ගිලීගිය එස්.එස් ඉන්ඩස් නමැති නෞකාව (SS Indus) පිළිබඳව තොරතුරු සොයා බැලීමය. පරිහරණය කරන ලද මූලාශ‍්‍ර තොරතුරු හා නාවික සිතියම් අනුව අනාවරණය කොටගත් නෞකාව ඉන්ඩස් නෞකාව වීමට ඇති ඉඩකඩ බොහෝය.

SS Indus නෞකාවේ ඡායාරූපයක්

1885 වර්ෂයේදී මෙම නෞකාව භාරුත් ගල් කැටයම් හා වෙනත් භාණ්ඩ විශාල විශාල ප‍්‍රමාණයක් සහිතව ඉන්දියාවේ මැඞ්ඩ‍්‍රාස් නගරයේ සිට ශ‍්‍රී ලංකාව හරහා එංගලන්තය වෙතට ගමන් කරමින් තිබියදී ශ‍්‍රී ලංකාවේ නැගෙනහිර මුලතීව් මුහුදු ආශ‍්‍රිතව ගිලීගොස් ඇති බව වාර්තා වේ.

2013 අගෝස්තු මස 9වන සිකරාදා
අද දින ගවේෂණ කටයුතු මුලතිව් නෞකාව ආශ‍්‍රිතව වැඩිදුරටත් සිදුකරන ලදි. එහිදී නන්දදාස සමරවීර, රසික මුතුකුමාරණ, මහින්ද කරුණාරත්න, රුක්ෂාන් ප‍්‍රියන්දන, ඉන්දික උපුල් හේවගේ සහභාගිවිය. නෞකාවේ මිනුම් ලබාගැනීම හා කටු සටහනක් පිළියෙළ කිරීම සිදුකරන ලදි. මුහුද ඉතා රළු ස්භාවයක් දක්නට ලැබිණී. ජලයේ දෘෂ්‍යතාව ඉතා අවම විය. නෞකාවේ බොයිලේරු ආශ‍්‍රිත කලාපයේ තවත් ලෝහමය කොටසක් හමුවූ අතර එම ප‍්‍රදේශයේ අධික ලෙස මාළු දැල් පැටලී ඇත.

එදින සවස් කාලයේදී ෆාරා – 3 නෞකාව ආශ‍්‍රිත කලාපයේ ගිලී ගිය යාත‍්‍රාවක් පිළිබඳව ලබාගත් තොරතුරු මත ගවේෂණ ආරම්භකරන ලදි.

ෆාරා – 3 නෞකාව

ස්ථානයේ වෘත්තාකාර කිමිදුම් කටයුතු සිදුකිරීමෙන් පසුව යාත‍්‍රාවක් පිළිබඳව සාධක අනාවරණය විය. එම යාත‍්‍රාවේ අවශේෂ තැන තැන විසිරී ඇත. කුඩා කොටස්වලට කැඞී බිදී ඇත. එම සාධක මත යාත‍්‍රාව යම් පිපිරීමකට ලක්ව ඇති බව පෙනේ. වැඩිදුර ගවේෂණයේදී මෙම යාත‍්‍රාව නාවික හමුදාවට අයත් පසුගිය යුධ සමයේ භාවිතාකරන ලද ඩෝරා වර්ගයේ යාත‍්‍රාවක් බව පැහැදිලි විය.

එදින රාත‍්‍රීයේදී ධීවර ජනතාව වෙත වීඩියෝ දර්ශනයක් ප‍්‍රදර්ශනය කරන ලදි. අප ආයතනයේ ක‍්‍රියාකාරකම් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම මෙම ක‍්‍රියාවේ ප‍්‍රධාන අරමුණ විය.

2013 අගෝස්තු මස 10වන සෙනසුරාදා
අද දින මුහුදේ පැවති අයහපත් ස්වභාවය මත ගවේෂණ කටයුතු අත්හිටුවන ලදි. නමුත් මුලතිව් ආශ‍්‍රිත කලාපයේ පවතින පුරාවස්තු හා වෙනත් ස්ථාන පිළිබඳව සොයා බැලීම සිදුකරන ලදි. පැරණි ප‍්‍රදීපාගාරය හා තානායම පැවති ස්ථාන ගවේෂණය උදාහරණ ලෙසින් දැක්විය හැකිවේ. මෙම ස්ථානයන්ගේ අත්තිවාරම් පමණක් අද වනවිට නගරයේ දක්නට ලැබේ. නමුත් ඉහත විස්තර කරන ලද මුහුදු බත්වූ ඉන්ඩස් නෞකාවේ පිරිස නවාතැන් ගැනීම සඳහා මෙම තානායම භාවිතා කොට ඇති බව එකළ පුවත්පත් ආශ‍්‍රිතව වාර්තා වී ඇත.

මුලතිව් පැරණි ප‍්‍රදීපාගාරය පිහිටි ස්ථානයේ පාදම පමණක් ඉතිරිව ඇති ආකාරය

අද දින මුලතිව් ආශ‍්‍රිත පැවති මුහුදු පුරාවිද්‍යා ගවේෂණ කටයුතු අවසන් කරන ලද අතර හෙට දිනයේදී යාපනය නගරය ආශ‍්‍රිතව නවාතැන් ගැනීමට තීරණය කොට ඇත. එයට අදාලව කිමිදුම් හා වෙනත් භාණ්ඩ සූදානම්කිරීම හවස් වරුවේදී සිදුකරන ලදි.

බඩු භාණ්ඩ වාහනයට පටවන අවස්ථාවක්

යාපනය හා අවට නවමු මුහුදු පුරාවිද්‍යා අනාවරණ පිළිබඳව මීළග ලිපියෙන් බලාපාරොත්තු වන්න.

ආශ්‍රිත මුලාශ්‍ර
Clarke, Arthur C. The Reefs of Taprobane: Underwater Adventures Around Ceylon. New York: Harper & Brothers, 1957.

—. The Tresure of the Great Reef: Fully Illustrated in Color and Black and White. New York: Ballantine, 1974.

Clerk, Arthur C, and Mike Wilson. The Treasure of the Great Reef. New York: Harper & Row, 1964.

http://www.google.lk/imgres?imgurl=http://s3.amazonaws.com/magnoliasoft.imageweb/nmm/supersize/h3802.jpg&imgrefurl=http://prints.rmg.co.uk/art/510129/The_PO_liner_SS_Indus_1871_in_1882&h=612&w=800&sz=41&tbnid=9zKtNkntezhp0M:&tbnh=91&tbnw=119&zoom=1&usg=__msxdHLGM4znlwRWgxUFI7zteEk8=&docid=NJVrCkjnbO16lM&sa=X&ei=fcs3UqrSG87HrQe9-IDYAg&ved=0CC8Q9QEwAQ&dur=372

http://www.google.com/earth/index.html

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.