බුද්ධික ධනංජය රණසිංහ

මධ්‍යම සංස්කෘතික අරමුදල, ගම්පහ ව්‍යාපෘතිය.

ප‍්‍රවේශය

බුද්ධික ධනංජය රණසිංහ

ප‍්‍රමාණාත්මකව සුළු වශයෙන් සිදු කර ඇති පුරාවිද්‍යා ගවේෂණ, කැනීම් හා විවිධ පුරාවිද්‍යා අධ්‍යයනයන් මඟින් ‘මුන්දෙනි ආරු නිම්නය’ හා තදාශ‍්‍රිත ප‍්‍රදේශයේ ගොඩනැගී තිබු පුරාණ මානව ජනාවාසකරණයට අදාල තොරතුරු අල්ප වශයෙන් වේ. එමෙන්ම මුන්දෙනි ආරු නිම්නය ආශ‍්‍රිත ව කාලය හා අවකාශය තුළ සිදු වූ තාක්ෂණික සංස්කෘතික (Technoculture) පරිවර්තනයන් ඔස්සේ යථොක්ත නිම්න ප‍්‍රදේශයේ සිදු වූ පුරාණ සංස්කෘතික භූ දර්ශනය පිළිබඳ ව විධිමත් අධ්‍යනයක් මෙතෙක් සිදු වී නොමැත. එම නිසා මෙම අධ්‍යයනය තුළින් මුන්දෙනි ආරු නිම්නයේ මිනිසා හා පරිසරය අතර සිදු වූ අනෝන්‍යය සහසම්බන්ධය ඔස්සේ තාක්ෂණික සංස්කෘතික පරිවර්තනයන් සිදු වූ ආකාරය පිළිබඳ ව අධ්‍යයනය කිරීම සිදු වේ.

සංස්කෘතික භූ දර්ශනය අධ්‍යනය කිරීමේ දී මිනිසා හා පරිසරය අතර ඇති වන්නා වූ සම්බන්ධතාව අධ්‍යයනය කිරීම සිදු කළ යුතු ය. මුන්දෙනි ආරු නිම්නයේ ජීවත් වූ මිනිසා තම පරිසරය හා සබඳතා ගොඩනඟාගත් ආකාරය මෙහිදි අධ්‍යයනය කරයි. එ මෙන්ම යථෝක්ත නිම්නයේ එක් එක් තාක්ෂණික අවධිවල දී (Techno cultural Period) මිනිසා හා ස්වභාවික පරිසරය ඇති වූ අනෝන්‍ය ක‍්‍රියාවලිය භෞතික සංස්කෘතික තොරතුරු ඇසුරෙන් අධ්‍යයනය කර ඒ ඔස්සේ සම්පත් පරිහරණය හා ජනාවාස රටාව අධ්‍යයනය කීරීමෙන් දේශපාලන, ආගමික, ආර්ථික හා සමාජ යන අංගයන් ගොඩනැඟීමට බලපාන අයුරු විමසා බැලීම මෙම අධ්‍යයනයෙන් සිදු කළ හැකි ය.

ක‍්‍රමවේදය

මෙම අධ්‍යයනය සඳහා ප‍්‍රධාන වශයෙන් ක‍්‍රමවේද කිහිපයක් භාවිත කරන ලදි. මුන්දෙනි ආරු නිම්නය ආශ‍්‍රිත ප‍්‍රදේශයේ සංස්කෘතික පරිවර්තන ක‍්‍රියාවලිය හඳුනා ගැනීමට මෙතෙක් රචිත පර්යේෂණයන් අධ්‍යයනයට පුස්තකාල ගවේෂණය සිදුකරන ලදි. මුන්දෙනි ආරු නිම්නයේ පිහිටි වීරන්තලාව මෙගලිතික සුසාන භූමිය කේන්දා කරමින් ඉන් උතුරට පිහිටි භූමියේ පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් භෞතික සාධක අධ්‍යනය කිරීම සඳහා කේෂ්ත‍්‍ර ගවේෂණ කටයුතු සිදු කිරීම හා නිර්මිත පරිසරය අධ්‍යයනය කර දත්ත එක්රැස් කිරීම ක‍්‍රමවේදය ලෙස භාවිත කරන ලදි.

පූර්ව පර්යේෂණ

මුන්දෙනි ආරු නිම්නයේ මානව ජනාවාසකරණය පිළිබඳව තතු විමර්ශනය කිරීම සඳහා පර්යේෂණ ආරම්භ වනුයේ මීට ශත වර්ෂයක ට කිහිපකට පෙර සිටය. ක‍්‍රිස්තු වර්ෂ 1872 වර්ෂයේ ස්විස් ජාතික මානව විද්‍යාඥයින් දෙදෙනෙකු වන පෝල් සැරසින් සහ ප‍්‍රිට්ස් සැරසින් ශ‍්‍රී ලංකාවේ වැදි ජනතාව පිළිබඳ පර්යේෂණ කිරීමට දිවයිනට පැමිණියහ. ඔවුන්ගේ අධ්‍යයනයන් මූලික වශයෙන් යථෝක්ත නිම්නය අයත් අම්පාර දිස්ත‍්‍රික්කයේ සිදු කෙරී ඇත (මනතුංග 1996:24). ඔවුන් නැගෙනහිර පළාතේ ගල්ලෙන් කිහිපයක් කැනීම් කර ශිලා මෙවලම් කිහිපයක් සොයා ගත්ත ද ඒවා පිළිබඳ නිසි අවබෝධයක් එවක ඔවුන් සතු නොවීය. එහෙත් 1903 දී සෙලිබීස් දුපත් වල ඔවුන් කළ කැනීමක දී ලැබුණු සාධක අනුව මෙරටින් තමන් සොයා ගත්තේ ප‍්‍රාග් ඓතිහාසික ශිලා මෙවලම් බව ඔවුන් තේරුම් ගත්හ (මනතුංග 1996:24). ඔවුන් දිවයිනේ ප‍්‍රාග් ඓතිහාසික අවශේෂ එක්රැස් කරගෙන එම අවශේෂ ස්විසර්ලන්තයේ බේසල් නුවර කෞතුකාගාරයක තැන්පත් කර ඇත. ප‍්‍රාග් ඓතිහාසික අවශේෂ එක්රැස් කර ගත් ස්ථාන නාමාවලියක් ඉදිරිපත් කර ඇති අතර එහි කල්අඩි නමින් හැඳින්වෙන ස්ථානයකින් ලබාගත් ප‍්‍රාග් ඓතිහාසික අවශේෂ පිළිබඳ වර්තා කර ඇති අතර එම ස්ථානය වර්තමාන නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත‍්‍රික්කයට අයත් ස්ථානයකි. විශේෂයෙන් පෝල් සැරසින් සහ ප‍්‍රිට්ස් සැරසින් ප‍්‍රාග් ඓතිහාසික ගුහා කැනීමට භාජනය කිරීමේ දී මුන්දෙනි ආරු නිම්නයේ වැදි ජනතාව විසු ගුහා භාවිත කරන්නට ඇත.

1968 සිට 1988 දක්වා දශක දෙකක කාලයක් මෙරට ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණ සිරාන් දැරණියගල සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් සිදු කෙරිණි. සිරාන් දැරණියගල සහ ඩබ්ලිව්.ජී. සෝල්හයිම් විසින් මුලතිව් සිට කුමන දක්වා නැගෙනහිර වෙරළ තීරයේ ගවේෂණය කළේ ය. මේ ගවේෂණයෙන් ප‍්‍රාග් ඓතිහාසික ස්ථාන 4ක් හමු වී ඇති අතර එම ස්ථාන අතරින් ස්ථාන 3ක් මුන්දෙනි ආරු නිම්නය අයත් අම්පාර දිස්ත‍්‍රික්කයේ ඕකන්ද හා කුමන අතර රතු වැලි නිධි ආශ‍්‍රිතව හමු වී ඇත(මනතුංග 1996:30). සෙනරත් පරණවිතාන විසින් සිදු කර ඇති ශිලා‌ෙලේඛන අධ්‍යයනය අනුව මුන්දෙනි ආරු නිම්නයේ පුරා සමාජ රටාව මුල් ඓතිහාසික අවධියේ ක‍්‍රියාත්මක වී තිබෙන ආකාරය අධ්‍යයනය කර තිබේ. විශේෂයෙන් පූර්ව බ‍්‍රාහ්මි අභිලේඛන වල සඳහන් විවිධ පදවි නාම සහිත ජන කණ්ඩායම් ප‍්‍රදේශය පුරා සිදු කරනු ලැබු දේශපාලන, ආර්ථික, ආගමික හා සමාජ ක‍්‍රියාවලිය හඳුනා ගැනීමට පරණවිතාන සිදුකර ඇති අධ්‍යයනයන් බෙහෙවින් උපකාරි වේ. මහාවංසය, පූජාවලිය හා ථූපවංශයෙහි සඳහන් ඇතැම් ඓතිහාසික කරුණු සනාථ කර ගැනීමට මෙම අධ්‍යයනයන් වැදගත් වේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස්වරයෙකු වූ රාජා ද සිල්වා විසින් කදිරවේලි සුසාන භූමිය ආශ‍්‍රිතව කැනීම් සිදු කොට එම ස්ථාන ආශ‍්‍රිත ව යකඩ හා තඹ වලින් නිර්මිත පුරාවස්තු හමු වූ බව ප‍්‍රකාශ කර තිබේ. කදිරවේලි සුසාන භූමිය මුන්දෙනි ආරු මුහුදට පිවිසෙන මෝය ආශ‍්‍රිත ප‍්‍රදේශයේ පිහිටා තිබීම නිසා රාජා ද සිල්වා සිදු කළ පර්යේෂණ මෙම අධ්‍යනය සඳහා වැදගත් වේ (Senevirathna 1984:248-57). මුන්දෙනි ආරු නිම්නය ආශි‍්‍රත ව විවිධ විද්වතුන් සිදු කර ඇති වාර්තාවන් අතර 2003, 2008, 2013 යන වර්ෂවල නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා ස්ථාන පිළිබඳ එල්ලාවල ‌මෙධානන්ද හිමියන්ගේ වර්තාගත කිරීම් වැදගත් වේ. එම වාර්තාවන්වල යථෝක්ත නිම්නයේ පිහිටි අභිලේඛන පිළිබඳ වාර්තා කර තිබේ. මෙම නිම්නයේ මුල් ඓතිහාසික යුගයෙන් මෙපිටට සිදු වූ ජනාවාසකරණයේ ස්වරූපයේ ස්වභාවය අධ්‍යයනය කිරීමට මෙම වාර්තා උපකාරි වේ (මේධානන්ද හිමි, 2013:212). චන්දන රෝහන විතානාච්චි විසින් මුන්දෙනි නිම්නය ආශ‍්‍රිත ව ඇති පුරාවිද්‍යා ස්ථාන පිළිබඳ ව වාර්තාගත කිරීමක් 2005 වර්ෂයේ දී සිදු කර ඇත (විතානාච්චි 2005:14-30). මුන්දෙනි ආරු නිම්නයේ පිහිටි මූල ඓතිහාසික ස්ථානයක් වන කදිරවේලි පිළිබඳ ව වර්තාගත කර තිබේ.

තාක්ෂණික සංස්කෘතික අවධි පරිවර්තන රටාව මුන්දෙනි ආරු නිම්නය ආශ‍්‍රිතව හඳුනාගැනීම පිළිබඳ අධ්‍යයනය

මුන්දෙනි ආරු නිම්නය ආශ‍්‍රිත කලාපයේ පරිසරය සැකසි ඇත්තේ ශේෂ කඳු පන්තියකින් වට වී ඇති තැනි භූමි පරිසරයක් තුළ ය. එහි ප‍්‍රධාන ජල මූලාශ‍්‍රය මුන්දෙනි ආරු නිම්නය වන අතර මුල් ඓතිහාසික යුගයේ හා ඉන් මෙපිටට ජලය රැස්කර ගැනීමට තැනු කුඩා වැව් පද්ධතියක් දක්නට ලැබේ. මෙම යථෝක්ත ප‍්‍රදේශයේ අතහැර දමන ලද වැව් පද්ධතියක් ආකාරයෙන් ක‍්‍රියාත්මක වන්නට ඉඩ ඇති බව පෙන්වා දිය හැකි ය.

මුන්දෙනි ආරු නිම්නයේ වසර 30ක පමණ කාලයක් පුරා පැවති ශ‍්‍රී ලංකාවේ යුද්ධය නිසා එම භූමිය ආශ‍්‍රිතව භූ දර්ශනය නිර්මාණය සඳහා මානව ක‍්‍රියාකාරිත්වයේ දායකත්වය හඳුනා ගැනීමේ දී බාධාවක් වේ. එසේ වුවත් 1968 සිට 1988 දක්වා දශක දෙකක කාලයක් මෙරට ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණ සිරාන් දැරණියගල සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් සිදු කෙරිණි. සිරාන් දැරණියගල සහ ඩබ්ලිව්. ජී. සෝල්හයිම් විසින් මුලතිව් සිට කුමන දක්වා නැගෙනහිර වෙරළ තීරයේ ගවේෂණය කළේ ය. මේ ගවේෂණයෙන් ප‍්‍රාග් ඓතිහාසික ස්ථාන 4ක් හමු වී ඇති අතර එම ස්ථාන අතරින් ස්ථාන 3ක් මුන්දෙනි ආරු නිම්නය අයත් අම්පාර දිස්ත‍්‍රික්කයේ ඕකන්ද හා කුමන අතර රතු වැලි නිධි ආශ‍්‍රිතව හමු වී ඇත(මනතුංග 1996:30).

ප‍්‍රාග් ඓතිහාසික අවධියේ මානව වාසස්ථාන මුන්දෙනි ආරු නිම්නයේ ක‍්‍රියාත්මක වීමට නම් එහි ස්වභාවික පරිසරයේ පිහිටීම ද අතිශයින් වැදගත් විය යුතු ය. ඒ අනුව දීර්ඝ කාලයක් තිස්සේ කාලය හරහා සිදු වී ඇති වෙනස්කම් ඔස්සේ මුන්දෙනි ආරු නිම්නයේ භූ සැකැස්ම නිර්මාණය වී ඇත්තේ ස්වභාවික ජලධාරා, භූ පතන හා ශේෂ කදු රාශියක් ඇසුරිනි. ගල්ඔය ජාතික වනෝද්‍යානයෙන් ආරම්භ වන මුන්දෙනි ආරු නිම්නය මඩකලපුව ප‍්‍රදේශයෙන් මුහුදට වැටේ. අම්පාර දිස්ත‍්‍රික්කය හරහා ගලා යන ගල්ඔය, එක්ගල්ඔය හැරුණු විට ඇති ප‍්‍රධානම ගංගාව වන්නේ මුන්දෙනි ආරුයි. ඊසාන දිග මෝසම් සුළඟින් වර්ෂාව ලැබෙන දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා අධික ජලවහනයක් මුන්දෙනි ආරු ඔයේ සිදුවන අතර වර්ෂයේ වැඩි කාලයක් ජලය නොමැති වියළි තත්ත්වයේ මෙම ඔය පවති (Deraniyagala 1992:494).

මුන්දෙනි ආරු නිම්නයේ පරිසරය ගත් කල විජයානු ශ්‍රේණිය (Vijayan Series) කොණ්ඩලයිට් ශ්‍රේණිය (Viondalite series) යන ශ්‍රේණි දෙක නියෝජනය කරන පාෂාණ පවතින අයුරු හඳුනාගත හැකි ය. එහි උප කාණ්ඩ ලෙස පෙග්මටයිට් හා මිග්මටයිට් සමඟ පවතින හොන්ට්ලේන්ඞ් තයිස්, බයොටයිඞ් නයිස් හා හොන්ට්ලේන්ඞ් බයොටයිට් නයිස් පාෂාණ, හොන්ට්ලේන්ඞ් බයෝටයිට් නයිස්, චනොකයිට් බයෝ්ටයිට් නයිස් වර්ගයත් හා ඒ මත පවතින අශුද්ධ ස්ථටිකෘත හුණුගල් ස්තර කිහිපයක් සහ සිහින් තැල්සිකේට ස්ථර, අන්තර් අවසාධිත තිරිවාරාටය නයිස් හා ග‍්‍රැනොලයිට් ස්මිටිකාන හුණුගල් ක්වාටසයිට් හා චානෝකයිට් පාෂාණ පවති (සීලවිමල හිමි 2013:59). සමෝච්ච විවිධත්වයකින් යුක්ත මුන්දෙනි ආරු නිම්නය පුරා ගුහා (Natural caves) පිහිටීම මෙම භූ දර්ශනය නිසා සිදු වූවකි. විශේෂයෙන් නුගේවල, නියදවරාගල හා කිතුල්ල යන ස්ථානවල ගල්ගුහා හමු වේ. ශේෂිත කඳුවැටි සහිත මෙම පරිසර පද්ධතිය පුරා හඳුනාගත හැකි ප‍්‍රධාන පස් වර්ගය වන්නේ රතු දුඹුරු පසයි (Deraniyagala 1992:494).

මෙම භූ විද්‍යාත්මක පිහිටීම නිසා ප‍්‍රධාන වශයෙන් ම ප‍්‍රාග් ඓතිහාසික මානව පැවැත්මට අත්‍යවශ්‍ය කාරණා රාශියක් මෙම පරිසර පද්ධතිය තුළ ස්වභාවිකව සැකසී තිබේ. ඒ අතර ප‍්‍රාග් ‌ඓතිහාසික මානවයන්ට සිය වාසස්ථාන ලෙස භාවිත කළ හැකි ස්වභාවික ගුහා මෙම නිම්න කලාපයේ පිහිටා තිබීම ත් දඩයම සඳහා ආයුධ සකස් කර ගැනීමට අවශ්‍යය තීරුවානා වර්ග (Quartz) රතු දුඹුරු පාංශු කලාපයේ මෙන් ම ඇල්ලාර ප‍්‍රදේශයේ සිට උතුරු දිශානුගතව පිහිටීම නිසා පහසුවෙන් අමුදාව්‍ය සපයාගත හැකි වේ. එසේ ම තුඩුවිල, නියදවරාගල හා කිතුල්ල වැනි ස්වභාවික ශේෂ කඳු නිර්මාණය වීම නිසා ස්වභාවිකව සැකසී තිබු භූ පතන ලක්ෂණ නිසා ඇතිවන පතස් ආශ‍්‍රීත ව එනම් මුදල්බිංදු වල, වඩිච්චල හා නුගේවල යන පතස් ආශ‍්‍රිත ව මසුන් දඩයම් කර ගැනීමට හැකි වී තිබේ. මුන්දෙනි ආරු නිම්න කලාපයේ කුර සහිත සතුන්ගේ යැපීම් ධාරිතාව වැඩි වීම නිසා එනම් මුවන්, ගෝනුන්, කුළුහරකුන්, මිමිනන් හා වල් ඌරන් වැනි සතුන්ගේ බහුලතාව ප‍්‍රාග් ඓතිහාසික මානව පැවැත්ම තහවුරු කිරීමට සුදුසු පරිසර තත්ත්වයන් නිර්මාණය කරයි.

එම නිසා ඉහතින් පෙන්වා දුන් කාරණා සැලකිල්ලට ගැනීමේ දී ජීවනෝපාය ක‍්‍රමය සඳහා අවශ්‍ය කරන කාරණා මෙන් ම ජනාවාස රටාව නිර්මාණය කර ගැනීමට අවශ්‍ය පරිසර පද්ධතිය සහිත ගුහා බොහෝමයක් මෙම පරිසර පද්ධතියේ තිබු බැවින් මුන්දෙනි ආරු නිම්නයේ ආරම්භක ජනාවාස ප‍්‍රාග් ඓතිහාසික අවධිය තුළ ආරම්භ වන්නට ඇතැයි යන්න උපකල්පනය කළ හැකි ය.

මුන්දෙනි ආරු නිම්නයේ මූල ඓතිහාසික අවධියේ සංස්කෘතික සංදර්භගත වීම

මුන්දෙනි ආරු නිම්නය ආශ‍්‍රිත ව නිර්මාණය වන මීළග තාක්ෂණික සංස්කෘතික අවධිය ලෙස මූල ඓතිහාසික සංස්කෘතික අවධිය පෙන්වා දිය හැකි ය. යථෝක්ත නිම්නය තුළ මූල ඓතිහාසික සංස්කෘතියට අදාල පැරණි ම සාධක කදිරවේලී පුරාවිද්‍යා ස්ථානයෙන් හමු වේ. එමෙන් ම, මුන්දෙනි ආරු නිම්නයේ හමුවන මූල ඓතිහාසික ස්ථාන අතර නුගේවල, වීරන්තලාව, බණ්ඩාරදුව හා නියදවරාගල වන ස්ථාන මූල ඓතිහාසික සංස්කෘතික අවධිය නියෝජනය කරයි. මෙම නිම්නයේ විශාල වශයෙන් මූල ඓතිහාසික සංස්කෘතියට අයත් සුසාන සංකීර්ණ ස්ථානගත වී තිබීම නිසා මෙම නිම්නයේ මූල ඓතිහාසික සංස්කෘතිය ස්ථාපිත වීමක් සිදු වී පැවති බව සිතිය හැකි ය.

මුන්දෙනි ආරු නිම්නය තුළ ස්ථානගත වන මූල ඓතිහාසික ජනාවාස එම නිම්නයේ ස්ථාවර වීම සඳහා කාල හා අවකාශය තුළ ගොඩනැගෙන්නා වූ බහුවිධ කාරණා බලපාන්නට ඇත. විශේෂයෙන් ම, දැනට අම්පාර දිස්ත‍්‍රික්කයේ මූල ඓතිහාසික පැරණි ම සාධක රජගල පුරාවිද්‍යා ස්ථානය ඇසුරින් හඳුනාගත හැකි වීම නිසා රජගල සිට උතුරු කලාපයට මූල ඓතිහාසික සංස්කෘතිය ප‍්‍රසාරණය වීමක් සිදු වූ බව සිතිය හැකි ය. මහාවංසයේ සඳහන් වන ආකාරයට බුදුන් වහන්සේගේ තෙ වැනිි ලංකා ගමන සිදු කරන අවස්ථාවේ දීඝවාපිය ප‍්‍රදේශයට වැඩම වීමත් යථෝක්ත නිම්නයෙන් දකුණු දිශානුගතව මෙම ස්ථානය හමු වීමත් නිසා ක‍්‍රිස්තු පූර්ව 6 වැනි සියවස වන විට මෙම නිම්නය ආශ‍්‍රිත ව මූල ඓතිහාසික සංස්කෘතිය පෝෂණය කළ ජන කණ්ඩායම් ජීවත් වූ බව සිතිය හැකි ය (මහාවංසය 2007,1 පරි. 78-79 ගාථා). මහාවංසයේ සඳහන් වන ආකාරයට දුටුගැමුණු රජතුමා එළාරට විරුද්ධ ව සිදු කළ යුද්ධ ව්‍යාපාරයේ දී ඒ කටයුතු සඳහා අවශ්‍ය ආහාර සකස් කිරීමට හා සේනා සංවිධානයට සද්ධාතිස්ස බින්තැන්නට යැවූ බවත් දුටුගැමුණු රජතුමාගෙන් පසු රජ පැමිණි සද්ධාතිස්ස දීඝාවැව හා අනුරාධපුර අතර ගව්වෙන්ගවුව වෙහෙරවිහාර ඉදිකළ බව සඳහන් වීම නිසා මාගම රාජධානියේ ගාමක බලය සැපයීම මෙම නිම්න කලාපයේ සිදු වී ඇත (මහාවංසය 2007, 23 පරි.96 ගාථා). මෙම සියලු කාරණා සැලකිල්ලට ගතහොත් පැහැදිලි වන්නේ දීඝවාපිය හා රජගල ආශ‍්‍රිතව කේන්ද්‍රගත වන මූල ඓතිහාසික සංස්කෘතිය හැඩ ගැසෙමින් පැවති සමාජ ආර්ථික හා තාක්ෂණ ශිල්පය පදනම් කරගෙන විශේෂි වූ අමුදාව්‍ය සොයා මුන්දෙනි ආරු නිම්න කලාපයට පැමිණෙන්න ට ඇති බව යි.

මුන්දෙනි ආරු නිම්නය වැදගත් සම්පත් විසිරුමක් සහිත ප‍්‍රදේශය කි. මෙම ප‍්‍රදේශය විජයානු ශ්‍රේණිය (Vijayan Series) කොණ්ඩලයිට් ශ්‍රේණිය (Viondalite series) භූ කලාපයට අයත් වේ. ප‍්‍රදේශය පුරා හඳුනාගත හැකි ප‍්‍රධාන පස් වර්ගය රතු දුඹුරු පාංශු කලාපය (RBE) හා ඇලුවියල් පාංශු වලින් (Aluvial soil) යුක්ත වේ.

මෙවැනි කලාප වල ජන සමාජයක් මුල් බැස ගැනීම සඳහා ප‍්‍රධාන කරුණු කිහිපයක් බලපායි. ඒ අතර ප‍්‍රධාන වශයෙන් මුන්දෙනි ආරු නිම්නය තුළින් හඳුනාගත හැක්කේ ග‍්‍රාමිය ජනපදයක් පිහිටුවා ගැනීමට අවශ්‍ය කරන පාරිසරික කරුණු හා ඒ ප‍්‍රදේශයට ආසන්නතම ස්ථානවල ඛණිජ සම්පත් පිහිටීම බව පෙනේ. මුන්දෙනි ආරු නිම්නය ආශ‍්‍රිත මූල ඓතිහාසික අවධියේ පුළුල් පරිසරය සැකසී ඇත්තේ හුදකලා කඳු කිහිපයකින් යුක්ත සරු පස සහිත පරිසරයක් තුළ ය. මෙම හුදෙකලා කඳු ආශ‍්‍රිත පරිසර පද්ධතිය ආශ‍්‍රය කරගෙන මූල ඓතිහාසික ජනාවාස ගණනාවක් ස්ථානගත වී ඇති බව ටැම්පිටිය, වීරන්තලාව, නියදවරගල, වෙහෙරෙගොඩ, රූගම, කපුරුල්ල, කිතුල්ල, ගිරාගොඩ හා නුගේවල යන ප‍්‍රදේශ වලින් හඳුනාගත හැකි ය. මෙවැනි හුදෙකලා කඳු හෝ ගොඩැලි නිර්මාණය වීම නිසා එම භූමි ආශි‍්‍රතව සමෝච්ඡ විවිධත්වයක් නිර්මාණය වී තිබේ. එම නිසා මෙවැනි පරිසර පද්ධතිය තුළ ස්වභාවික භූ පතන නිර්මාණය වීම හඳුනාගත හැකි අතර එම ස්ථාන ඊසාන දිග මෝසම් වර්ෂාව සක‍්‍රීය වීම සමග ජලය රැදෙන ස්ථාන බවට පත් වේ. මූල ඓතිහාසික අවධියේ ජනාවාසවල ස්ථානගත වීම පිළිබඳ ව විමර්ශනය කිරීමේ දී මෙවැනි භූ පතන සහිත ස්ථානවල එම ජනාවාස ස්ථානගත වී ඇති බව ඉබ්බන්කටුව, ඉදමොරළුවවැව, පොම්පරිප්පුව වාටිකා වළලෑම් ස්ථානය, යාන්ඔය තුළින් හඳුනාගෙන ඇති බව පුරාවිද්‍යාඥයින් පෙන්වා දී තිබේ (සෙනෙවිරත්න 1996:285).

වීරන්තලාව මෙගලිතික සුසාන භූමිය

මුන්දෙනි ආරු නිම්නයේ පරිසර පද්ධතිය ආශ‍්‍රිත ව ජලයේ උපයෝගීතාව විමර්ශනය කිරීමේ දී බොහෝ මූල ඓතිහාසික ස්ථානයන් ආශ‍්‍රිත ව කුඩා වැවක් වර්තමානයේ දී හඳුනාගත හැකි ය. වීරන්තලාව මෙගලිතික සුසාන භූමිය ආශ‍්‍රිත ව ටැම්පිටිය වැව, ගිරාගොඩ හා වෙහෙරෙගොඩ ආසන්නයේ පාතේ වැව, කිතුල්ල හා රූගම ආසන්නයේ රූගම වැව හා කිතුල්ල වැව මුන්දෙනි ආරු නිම්නයේ මූල ඓතිහාසික සංස්කෘතියේ ජලයේ උපයෝගීතාව සඳහා ඉදිකළ ලොකුකුඩා වැව් වේ. ඊසාන දිග මෝසමින් ප‍්‍රදේශයට ලැබෙන වර්ෂාපතනය මිලමීටර් 1,000-1,500 ප‍්‍රමාණයක් ගන්නා බැවින් මෙවැනි කුඩා වැව් ආශ‍්‍රිත ව ජලය ගබඩා කර ගැනීමේ පහසුකම සැලසෙන අතර ටැම්පිටිය වැවේ පිටාර ජලය රූගම වැවට එක් වන ආකාරයෙන් වැව් පද්ධතියක් ආකාරයෙන් නිර්මාණය කර තිබේ.

පූජාවලියේ සඳහන් වන ආකාරයට සද්ධාතිස්ස රජු කර වූ වැව් අතර පදී වැව, කටුන්නරු වැව, දිවගුණ වැව, උතුර වැව, හැපියෝ වැව, පූසාදිගම වැව, මාලදෙනි වැව, මාමඩල වැව, කාදල වැව, කුදලා වැව, මහගුල වැව, රැන්දා වැව, තෙල වැව (පූජාවලිය 1961,34 පරි. 743) වැනි වැව් වලින් බොහෝමයක් මුන්දෙනි ආරු නිම්නයේ ඉදි කළ බව සිතිය හැකි ය. සීමිත කෘෂිකර්මාන්තය හා හේන් ගොවිතැන පවත්වාගෙන යාමට කුඩා පතන තරමක් විශාල කර වේලි බැද වැවක් සකස් කර ගන්නට ඇත. එමගින් වියළි කාල වල දී මඩ ගොවිතැන සඳහා අවශ්‍ය ජලය ලබාගන්නා ලදි. මූල ඓතිහාසික ජනයා කෘෂිකර්මාන්තයට අමතරව පශු පාලනය සිදු කළ ජන පිරිසක් ද වේ. ගව පාලනය කෘෂිකර්මාන්ත කටයුතු අවශ්‍යතා සඳහා සහ මස් පිනිස සිදු කරයි. වර්තමානය වන විට එළ හරක් සහ මී හරක් පට්ටි වශයෙන් මෙම නිම්නයේ පාලනය කරයි. ස්වභාවික තෘණ බිම් මුන්දෙනි ආරු නිම්නයේ පිහිටා ඇති නිසා සත්ව පාලනය සිදු කිරීම පහසු වී තිබේ.

මුන්දෙනි ආරු නිම්නයේ මූල ඓතිහාසික ජනාවාස රටාව අධ්‍යනයේ දී එම ජනපද එම භූමියේ ස්ථානගත වීම සඳහා ඛණිජ සම්පත් පිහිටීම බලපා ඇති බව පෙන්වා දිය හැකි ය. සේරුවිල ප‍්‍රදේශයේ දී මතුපිටට ප‍්‍රවිශ්ට වී ඇති විපරිත පාෂාණ තඹ නිධිය සැතපුම් 250ක් දිගින් යුක්තව සේරුවිල සිට හම්බන්තොට දක්වා ව්‍යාප්ත වී පවති (Senavirathna 1995:116). සේරුවිල සිට හම්බන්තොට දක්වා විහිදී යන මෙම ඛණිජ තීරුව යථෝක්ත මුන්දෙනි ආරු නිම්නය හරහා වැටි ඇති බව මේ අනුව සිතිය හැකි ය. මෙම තඹ නිධිය තුළ මැග්නටයිට්, රිදී, බිස්මත්, සින්ක්, මයිකා, ක්‍රෝමියම් හා නිකල් යන පාෂාණයන් හා රන් ද පවතින අතර මුන්දෙනි ආරු නිම්නයේ මූල ඓතිහාසික යුගය වන විට මෙම ලෝහ භාවිත කරන්න ට ඇති බව උපකල්පනය කළ හැකි ය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස්වරයෙකු වූ රාජා ද සිල්වා විසින් කදිරවේලි සුසාන භූමිය ආශ‍්‍රිතව කැනීම් සිදු කොට එම ස්ථාන ආශ‍්‍රිත ව යකඩ හා තඹ වලින් නිර්මිත පුරාවස්තු හමු වූ බව ප‍්‍රකාශ කර තිබේ (Senevirathna 1984:248-57) මුන්දෙනි ආරු මුහුදට ප‍්‍රවිශ්ට වන මඩකලපුව ප‍්‍රදේශය ආශ‍්‍රිත ව මේ ආකාරයට යකඩ හා තඹවලින් නිර්මිත පුරාවස්තු හමුවීම මෙම නිම්නයේ තුළ යකඩ හා තඹ කර්මාන්තය මූල ඓතිහාසික අවධිය වන විට පැවති බවට තොරතුරු හෙළි කරයි.

මුන්දෙනි ආරු නිම්නයේ මූල ඓතිහාසික භූ දර්ශනය හඳුනා ගැනීමේ දී දැනට එම ප‍්‍රදේශයෙන් හමුවන මෙගලිතික සුසාන භූමි වැදගත් වේ. කදිරවේලි හා වීරන්තලාව මෙතෙක් යථෝක්ත ප‍්‍රදේශයේ හඳුනාගත් සුසාන භූමි දෙකක් වන අතර වීරන්තලාව මෙගලිතික සුසාන භූමිය ආශි‍්‍රත ව ටැම්පිටිය වැව පිහිටා තිබෙන අතර කදිරවේලි සුසාන භූමිය ආසන්නයේ මුහුද පිහිටා තිබේ. වීරන්තලාව මෙගලිතික සුසාන භුමිය ආශ‍්‍රිත ප‍්‍රදේශයේ ජනාවාස සාධක සහිත ගොඩැලි කුඩාවලකටුව ප‍්‍රදේශයෙන් හමු වීම නිවැරදි ලෙස මෙම නිම්නයේ සිදු වූ මූල ඓතිහාසික ජනාවාස බිහිවීම අධ්‍යයනට උපයෝගි කරගත හැකි ය.

මුන්දෙනි ආරු නිම්නයේ ශවෝපචාර ක‍්‍රම මූල ඓතිහාසික අවධියේ සිට සිදුකළ බව වීරන්තලාව හා කදිරවේලි සුසාන භූමි සාක්ෂි සපයයි. මුන්දෙනි ආරු නිම්නයේ සංස්කෘතික භු දර්ශනය වෙනස් වීම මූල ඓතිහාසික අවධියේ දී මුල් වරට සිදු වූ බව හඳුනාගත හැකි ය. වර්තමානය වන විට මුන්දෙනි ආරු නිම්නයේ දැකිය හැකි සුසාන භූමි ශිලා මංජුසා සුසාන (Cist burial) ආකෘතියට සකස් කළ ඒවා වේ. මෙම සුසාන ඉදි කීරීම සඳහා විශාල ශිලා පතුරු භාවිත කර ඇති අතර මෙම ශිලා පතුරු ස්වභාවික ලෙස පර්වත වලින් ගැලවී ගිය ශිලා පතුරු හා ලෝහ භාවිත කර පර්වත වලින් ඉවත් කරගත් ශිලා පතුරු බව හඳුනා ගත හැකි ය. නියදවරාගල, නයාගල හා කඩුවකෙටුගල යන ස්ථානවල විශාල ගල් පර්වත හමුවන අතර එම ගල් පර්වතවලින් මෙම සුසාන ඉදි කිරීම සඳහා ශිලා පතුරු ලබා ගන්නට ඇති බව විශ්වාස කළ හැකි ය.

මුන්දෙනි ආරු නිම්නය තුළ ජීවත් වූ මූල ඓතිහාසික ජන කණ්ඩායම් එම නිම්නයේ භූ දර්ශනය වෙනස් කිරීමට ග‍්‍රාමීය ජනපද, මෙගලිතික සුසාන, ග‍්‍රාමිය වැව් මෙන්ම විවිධ ශිල්ප නිෂ්පාදන කටයුතු සිදු කරමින් මානව සාධකයේ තීරණාත්මක පියවරක් ඉදිරියට ගෙන ගොස් ඇති අතර එම තත්ත්වයන් එ සමයේ ඓතිහාසික අවකාශය හඳුනා ගැනීමට බෙහෙවින් උපකාරි වන බව පෙන්වා දිය හැකි ය.

බහු සම්පත් යැපුම් රටාව අනුගමනය කරන ලද අර්ධ ස්ථාවර ජන කණ්ඩායම් මුන්දෙනි ආරු නිම්නය පුරා ජනාවාස ගොඩ නගා ගනිමින් නිර්මිත පරිසරය සකස් කිරීම සමඟ නැවත වතාවක් තාක්ෂණික සංස්කෘතික පරිවර්තන අවධියක් ලෙස මුල් ඓතිහාසික (Early Historic) අයත් ජන කණ්ඩායම් ක‍්‍රිස්තු පූර්ව 300න් පසු මෙම නිම්න ප‍්‍රදේශයේ ජනාවාස පිහිටුවා ගෙන තිබේ. මෙම තාක්ෂණික සංස්කෘතික අවධිය අධ්‍යයනය කිරීමේ දී ඒ ආශ‍්‍රිතව වැදගත් මූලාශ‍්‍රය වන්නේ අභිලේඛනයන් ය (විතානාච්චි හා මෙන්ඩිස් 2015:27). මුන්දෙනි ආරු නිම්නයේ මුල් ඓතිහාසික අවධියේ ශිලා‌ෙලේඛන ගණනාවක් ස්ථාන ගත වී ඇති අතර ඒ අතර නියදවරාගල, රූගම, තොප්පිගල (මේධානන්ද 2013:224) ශිලාලේඛන අනාවරණය කර ඇති ඒවා වේ. නමුත් වසර 30ක යුද්ධයක් පැවති මෙම යථෝක්ත නිම්නයේ අනාවරණය නොකළ ශිලා ලේඛන කිහිපයක් ගිරාගොඩ ස්ථානයෙන් හඳුනාගෙන 2014 වර්ෂයේ මූලික අනාවරණය කිරීම සිදු කළේ ය.

මුල් ඓතිහාසික අවධියේ මුන්දෙනි ආරු නිම්නයේ සංස්කෘතික භූ දර්ශනය අධ්‍යයනයේ දී එම යුගයේ සමාජ සැකැස්ම හඳුනා ගැනීම අතිශයින් වැදගත් වන අතර ඒ සඳහා මහරජ හා බතවරු පිළිබඳ සඳහන් නියදවරාගල ශිලා ලේඛනය වැදගත් වේ (‌මෙධානන්ද 2013:12). එම ජන කණ්ඩායම් විසින් සිදුකළ සම්පත් හැසිරවීම, කාර්මික කටයුතු හා වාණිජ කටයුතු ආදි වූ විවිධ ශ‍්‍රම විභජන ක‍්‍රියාවන් හඳුනාගත හැකි ය. කායන්කර්නි ප‍්‍රදේශයෙන් හඳුනාගත් වරායක සාධක හා ගල් පාලම වාණිජ කටයුතු සිදු කිරීමට භාවිත කරන්නට ඇති අතර රට අභ්‍යන්තරයේ ක‍්‍රියාත්මක වූ වෙ‌ෙළෙඳ මධ්‍යස්ථාන ලෙස මුන්දෙනි ආරු නිම්න කලාපය පවතින්නට ඇත (ක්‍ෂේත‍්‍ර ගවේෂණ, මධ්‍යම සංස්කෘතික අරමුදල, 2017).

මුන්දෙනි ආරු නිම්නයේ මින් පසුව ගොඩ නැගෙන්නා වූ තාක්ෂණික සංස්කෘතික අවධිය බෞද්ධ ආගම කේන්ද්‍ර කර ගනිමින් බිහි වීම හඳුනා ගත හැකි ය. ස්ථාවර දාව්‍ය භාවිත කරමින් බෞද්ධ සංස්කෘතික පරිසරයක් මෙම නිම්නයේ ගොඩනඟා ඇති අතර ප‍්‍රදේශය පුරා පවතින බෞද්ධ විහාරාරාම අමතරව හමුවන මැටි බඳුන් කැබලි සංස්කෘතික අවකාශය ගොඩනඟයි. මුන්දෙනි ආරු නිම්නයේ පිහිටි අනුරාධපුර මුල් අවධියට අයත් බෞද්ධ ආගමික විහාරාරාම පිළිබඳ තොරතුරු පහතින් විස්තර වේ.

ටැම්පිටිය පුරාණ රජමහා විහාරය

මහඔය ටැම්පිටිය ග‍්‍රාමයේ මෙම විහාරස්ථානය පිහිටා ඇත. මෙම විහාරස්ථානයේ සිරිපතුල් ගල්, කොරවක් ගල්, සමාධි බුදු පිළිමයක් හා ගල් කණු නටබුන් පවතී. විහාරයේ උඩ මළුවේ ගොඩනැඟිලි දෙකක් පැවති බව අවශේෂ වලින් හෙළි වේ. එම ස්ථාන අසල ඇති ශිලා කැටයම් පුවරුවක ජල වන්දනයේ යෙදෙන ස්ත‍්‍රියක් හා නයි පෙන පහක් සහිත නාග රුවක් කැටයම් කර ඇති අතර මෙම පුවරුවේ තවත් මානව රූප දෙකක් දැකිය හැකි ය.

ටැම්පිටිය රජමහා විහාරයේ නටඹුන්

නියදවරාගල නටබුන්

මහඔය ටැම්පිටිය ග‍්‍රාමය ආශ‍්‍රිත ව මෙම ස්ථානය පිහිටා තිබේ. තරමක් උසැති කන්දක් ආශ‍්‍රිතව පැරණි විහාරස්ථානයක නටබුන් පවති. කඳු බෑවුමේ නැගෙනහිර දිශාවෙන් කටාර කෙටු ගල්ලෙන් දෙකක් පවතින අතර එම ගල්ලෙන් දෙකෙහි මූල බ‍්‍රාහ්මි ලෙන් ලිපි හඳුනාගත හැකි ය. කන්ද මුදුනේ ස්ථූප නටබුන් සහිත ස්ථානයේ ගිරි ලිපියක් පවති. එහි මුල් කොටස විනාශ වීමට ලක් වී ඇත.

පෙළ
……… බි මරතිස මහ රජහ ජ

අර්ථය
බි(මුල් අක්ෂර නොමැති නිසා වචනය අපහැදිලිය) මරතිස්ස මහ රජුගේ ජ(පසු අක්ෂර නොමැති නිසා වචනය අපහැදිලිය)

නියදවරාගල ශිලා ලේඛනය

මෙම ශිලා ලේඛනයේ කොටසක් පමණක් දැකිය හැකි අතර එම ලිපියේ මහරජ ලෙස සඳහන් වීම විශේෂ කරුණකි. පැරණි සමාජ නායකත්වය හඟවන ලිපි මුන්දෙනි ආරු නිම්න ප‍්‍රදේශයේ සමාජ, ආර්ථික, දේශපාලන ව්‍යුහය අධ්‍යනයෙහි ලා අතිශය වැදගත් වේ. යථෝක්ත නිම්න ප‍්‍රදේශයේ මහරජ ස්ථානගත වීම ඉතා පැහැදිලි ලෙස මෙම ප‍්‍රදේශයේ පූර්ව රාජ්‍ය පාලන ඒකකයක් ලෙස බලය හා සම්පත් හැසිරවීම සිදු කළ ස්ථානයක් ලෙස හඳුනා ගැනීමේ හැකියාව පිළිබිඹු කරයි.

ගිරාගොඩ නටබුන්

මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ විශාල ප‍්‍රදේශයක පැතිර පවතින නටබුන් සහිත ස්ථානය ගිරාගොඩ ලෙස හඳුනාගත හැකි ය. ආසනඝර, කැටයම් රහිත සඳකඩපහන්, කොරවක් ගල්, උළු, මල් ආසන හා මුත‍්‍රා ගල් මෙම විහාර භූමිය පුරා දැකිය හැකි ය.

ගිරාගොඩ නටඹුන්

ගිරාගොඩ ශිලාලේඛනය 2014 වර්ෂයේ කැලණිය විශ්වවිද්‍යාල ගවේෂණ සංගමය විසින් පිටපත් ලබා ගැනීම සිදුකර කැලණිය විශ්වවිද්‍යාල පුරාවිද්‍යා ශිෂ්‍ය පර්යේෂණ සමුළුවේ දී ප‍්‍රකාශයට පත් කරන ලදි.

පෙළ

1. සිද්ධ හතවනක වසන
2. කරටිය වජිරයේ අබක නක
3. අබලි කනහි එක ව . . . . . . .
4. වෙච නරවලක ම(හ විහර)
5. හි තිස කහවණ අරියව(ස)
6. (කො)ටු දිනිහි (ශිලා ලේඛනය කියවීම: ‌‌ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නිලන්ති බණ්ඩාර 2014)

අර්ථය

යහපතක් වේවා! හතවනක නම් ස්ථානයේ වාසය කරන කරටිය වජිරයේ අබකනක නම් පුද්ගලයා අබලිකණ නම් ස්ථානයෙහි එක …….. (කිසියම් එක් දෙයක්-ලිපිය කැඩි ඇති නිසා කියවිය නොහැකිය) සහ කහවනු තිහක් නරවලක මහා විහාරයේ අරියවංස උත්සවයට දෙන ලදි

මෙම ශිලා ලේඛනයෙහි සඳහන් කහපණ ක‍්‍රිස්තු පූර්ව 2 වන සියවසේ සිට ශ‍්‍රි ලංකාවේ භාවිත වී ඇත. කාසි භාවිතය පදනම් කරගත් සමාජ, ආර්ථික ව්‍යුහයක් ක‍්‍රිස්තු පූර්ව 2 වන සියවස වන විට මුන්දෙනි ආරු නිම්නය ආශ‍්‍රිත ප‍්‍රදේශයේ ගොඩනැගී තිබු බව නිගමනය කිරීමට මෙ මඟින් හැකි වේ. ගිරාගොඩ ශිලාලිපියේ මහවිහර ලෙස සඳහන් වීම මෙම ප‍්‍රදේශයේ පැවති ආගමික ප‍්‍රබෝධය පිළිබඳ තොරතුරු හෙලිකරයි. විශේෂයෙන්, සද්ධාතිස්ස රජතුමා (ක‍්‍රි.පූ. 137-119) අනුරාධපුර රාජ්‍ය පිහිටුවීමෙන් පසු අනුරාධපුරත්, දීඝවාපියත් අතර යොදුනක් යොදුනක් පාසා වෙහෙර විහාර ඉදිකළ බව සඳහන් වේ (මහාවංසය 2007, පරි. 33, ගාථා 9-10). මූල බ‍්‍රාහ්මි ලිපි විස්ථාරණය වීමට සහ පූර්ව නාගරික කේන්ද්‍රයන්ට අනුව නුගේවල, ගිරාගොඩ, නියදවරාගල හා ටැම්පිටිය විහාරය යන පුරා ස්ථානවල පිහිටීම අනුව අනුරාධපුරත්, මාගමත් සම්බන්ධ කළ මාර්ගයක් මෙම ප‍්‍රදේශය හරහා පවතින්නට ඇත.

නුගේවල නටබුන්

මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ පිහිටි පැරණි නටබුන් වලින් බහුල ස්ථානයකි. මෙහි දාගැබක අවශේෂ ද පුරාණ ගොඩනැඟිලි කිහිපයක ගල් කණු දැකිය හැකි ය. කැටයම් රහිත මුරගල්, කැටයම් රහිත සඳකඩපහන් හා පොකුණක සාධක මෙම භූමියේ පවති. කටාර කෙටු ගල් ලෙනක් ඇති අතර ශිලාලේඛන සාධක නො පවතී. පුරාවස්තු මංකොල්ල කරුවන්ගේ තෝතැන්නක් බවට මෙම ස්ථානය පත් වී ඇති බව ප‍්‍රකාශ කළ හැකි ය. මෙම ස්ථානයට නුදුරු ස්ථානයක තිබී තැලුම් ගල් සඳහා යොදාගත් ශිලා පතුරක් හඳුනාගැනීමට හැකි වූ අතර මුන්දෙනි ආරු නිම්නයේ භූ දර්ශනය නිර්මාණය සඳහා මානව සාධකයේ භූමිකාව හඳුනාගැනීමේ දී මෙම ස්ථානය ප‍්‍රාග් ඓතිහාසික අවධිය දක්වා පැරණි බව හඳුනා ගැනීමට හැකි සාධක පවතී.

ආශ‍්‍රිත ග‍්‍රන්ථ නාමාවලිය

  • පූජාවලිය (1961), සංස්. ඒ.වී. සුරවීර, කොළඹ.
  • සවිස්තර මහාවංස අනුවාදය (2007), සංස්. එම්. ඉලංගසිංහ, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
  • රාජාවලිය (1976), සංස්. ඒ.වී. සුරවීර, අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව, කොළඹ.
  • දිසානායක, ආර්. (2014), ශ‍්‍රී ලංකාවේ මැටි බඳුන් භාවිතයේ වර්ධන ඉතිහාසය, මධ්‍යම සංස්කෘතික අරමුදල, කොළඹ.
  • බණ්ඩාරනායක, එස්. (2000), උරුමයක ආවර්ජනා (පූර්ව නූතන ශ‍්‍රී ලංකාවේ ඉතිහාස ශාස්ත‍්‍රවේදීත්වය I කොටස), සංස්. එච්. ගුණවර්ධන, එස්. පත්මනාදන් හා එම්. රෝහණධීර, මධ්‍යම සංස්කෘතික අරමුදල, ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය.
  • මේධානන්ද හිමි, ඉ. (2003), පාචීන පස්ස-උත්තර පස්ස නැගෙනහිර පළාත හා උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය, දයාවංශ ජයකොඩි සහ සමාගම, කොළඹ.
  • මේධානන්ද හිමි, ඉ. (2008), නවතම ශිලාලිපි ගවේෂණ, දයාවංශ ජයකොඩි සහ සමාගම, කොළඹ.
  • මේධානන්ද හිමි, ඉ. (2013), රුහුණේ යටගියාව හා සෙල්ලිපි, දයාවංශ ජයකොඩි සහ සමාගම, කොළඹ.
  • විතානාච්චි, සී. (2005), පෞරාණික ස්ථාන හා ස්මාරක-අම්පාර දිස්ත‍්‍රික්කය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, කොළඹ.
  • විතානාච්චි, සී. (2012), මූල ඓතිහාසික අවධිය, ශ‍්‍රී ලංකාවේ ඉතිහාසය I වෙළුම, සංස්. ඩබ්.එම්.කේ. විජේතුංග, ඇම්.ඞී ගුණසේන සහ සමාගම, කොළඹ.
  • සීලවිමල හිමි, ආර්. (2013), ශ‍්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික යුගයේ වලං කර්මාන්තය, ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
  • සෝමදේව, ආර්. (2014), ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, කොළඹ.
  • Deraniyagala, S.U. (1992), The Prehistory of Sri Lanka, an ecological perspective, Department of Archaeology, Colombo.
  • Ephigrapia Zeylanica, Vol-4, 5. Department of Archaeological Survey, Colombo
  • Senevirathne, S. (1984), The Archaeology of the Megalithic-Black and Red ware complex in Sri lanka, Ancient Ceylon, No.5, Journal of the Archaeological Survey Department of Sri Lanka, Colombo.
  • Senevirathne, S. (1985), The Baratas: A Case of community integration in early historic Sri Lanka, Colombo.
--------------------------------------------------------------------------------
මෙම ලිපිය www.archaeology.lk/sinhala වෙබ් අඩවියේ 2018.08.20 දින පළමු වරට ප්‍රකාශයට පත් විය.
--------------------------------------------------------------------------------

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.