ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් අර්ධ වශයෙන් නිදහස ලැබීමෙන් පසු  ශ්‍රී ලංකා මහ බැංකුවෙන් පළමු වරට මුදල් නෝට්ටු නිකුත් කළේ 1951 වසරේදීය. ඒ නෝට්ටුවලට යෙදීමට එවකට මහා බ්‍රිතාන්‍යයේ රජු වූ ජෝර්ජ් රජුගේ හා ශ්‍රී ලාංකික උරුමයේ ඉතා වැදගත් ස්ථාන කීපයක පින්තුර පලකිරීමට පියවර ගෙන තිබුණි. එහෙත් ඒ නෝට්ටු සමහරක් ජෝර්ජ් රජු 1952 දී මිය යාම නිසා  නිකුත් නොකරන ලදී. එසේ නිකුත් නොකරන ලද රුපියල් දෙකේ මුදල් නෝට්ටුවේ හා පසුව 1952 දී දෙවන එළිසබත් රැජින ගේ රුව සහිතව නිකුත්කළ දෙවන කාණ්ඩයේ මුදල් නෝට්ටුවල සිට 1965 වසරේදී බණ්ඩාරනායක මහතාගේ රුව සහිතව නිකුත්කළ පස්වන කාණ්ඩයේ මුදල් නෝට්ටු දක්වාම සියලුම කාණ්ඩවල රුපියල් දෙකේ නෝට්ටුවේ ශ්‍රී ලාංකික උරුමය සනිටුහන් කිරීම සඳහා පලකොට තිබුනේ  මැදිරිගිරිය වටදාගේ දැක්වෙන පින්තුරයකි.

2 rs
රුපියල් දෙකේ නෝට්ටුවේ දැක්වෙන වටදාගේ

එවන් වැදගත් කමක් ඇති මැදිරිගිරිය වටදාගෙය පින්තුරයකින් විනා හැබැහින් දැක ඇත්තේ සුළු පිරිසක් විය හැකිය. ඒ බොහෝ දෙනෙකු  පොළොන්නරුවේ ඓතිහාසික සිද්ධස්ථාන වැඳපුදා ගැනීමට හා දැකබලා ගැනීමට දක්වන උනන්දුව ඒ ආසන්නයේ පිහිටි මැදිරිගිරිය කෙරෙහි නොදක්වන බැවිනි.

එහෙත් මැදිරිගිරියට බෞද්ධ ඉතිහාසයේ ඉතා වැදගත් තැනක් හිමිවෙයි. මේ සිද්ධස්ථානය ක්‍රිස්තු පුර්ව තුන්වන සියවසේ සිට ක්‍රි.ව. 13 වන සියවස දක්වාම ක්‍රියාත්මකව පවත්වාගෙන ගොස් ඇත. අතීතයේදී මණ්ඩලගිරි, මැඩිලිගිරි ආදී නම් වලින් හඳුන්වා ඇති මේ සිද්ධස්ථානය පළමුවෙන්ම කවුරුන් විසින් ගොඩ නගන ලද්දේ දැයි අවිනිශ්චිතය. දෙවන සියවසේ අග භාගයේදී කනිට්ඨ තිස්ස රජුත්, හත්වන සියවසේ මුල් කාලයේදී  දෙවන අග්බෝ රජුත්, නවවන සියවසේ මැද භාගයේදී දෙවන සේන රජුත් මෙහි ඉදිකිරීම් කළබව මහා වංශය කියයි.

එකොලොස්වන සියවසේදී පළමුවන විජයබාහු රජු මේ විහාරය ප්‍රති සංස්කරණය කල බවද සඳහන්වේ. මේ ස්ථානයේ තිබූ සෙල් ලිපියක් අනුව මෙහි  ඉතා දියුණු සිද්ධස්ථානයක් හා දියුණු රෝහලක් තිබුණු බව හෙළිවේ.13 සියවසේ මාඝ ආදී ආක්‍රමණ නිසා රජරට අතහැර සිංහලයන් දකුණට පලාගියෙන් මේ සිද්ධස්ථානය පසුව වල්බිහි වින.

_DSC6464
ඇතුළුවීමේ දොරටුව
_DSC6500
රෝහලේ තිබුණු බෙහෙත් ඔරුවක්

මහා වන පියසක් මැද හුදකලාවූ මේ ඓතිහාසික භුමිය 1897 දී පමණ H.C.P. බෙල් මහතා විසින් සොයා ගන්නා ලදී. 1939 දී මේ පෙදෙස පුරාවිද්‍යා සංරක්‍ෂිත භූමියක් ලෙස ප්‍රකාශයට පත්කෙරින. 1941 දී මේ භුමියේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළ අතර,  පාරක් තොටක් හා බීමට ජල පොදක් පවා නොමැති මිනිස් වාසයෙන් තොර මහා වන මැද පිහිටි මේ භූමිය පාදාගෙන ප්‍රතිසංස්කරණය කිරීම මහත් දුෂ්කර කටයුත්තක් වූ බව සෙනරත් පරණවිතාන මහතාගේ වාර්තාවලින් පැහැදිලිවේ. මැලේරියා වසංගතය හා 1941 ලෝක යුද්ධය මේ කටයුතු තවත් ව්‍යාකුල කරවන්නක් වී ඇත. කෙසේහෝ පුරාවිද්‍යා කොමසාරිස් සෙනරත් පරණවිතාන සැලසුම් කරුවෙකු වූ W. E. ප්‍රනාන්දු මහතා ඇතුළු පුරාවිද්‍යා කාර්යමණ්ඩලයේ කැපවීම හා  අප්‍රතිහත ධෛර්යය නිසා අද මේ අලංකාර පින්බිම අපට දැකගත හැකිව තිබේ.

IMG_2373
වටදා ගෙය

මැදිරිගිරිය වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ එහි ඇති අලංකාර වටදාගෙය නිසාය.  මැදිරිගිරිය වටදාගෙය පැරණි වාස්තුවිද්‍යාවේ හා ගෘහනිර්මාණ ශිල්පයේ අද්විතීය නිර්මාණයකි. මෙය භුමි මට්ටමට වඩා ඉහලින් ගල් කුලක් මත ඉදිකර ඇති නිසා එහි ප්‍රෞඩත්වය  කැපී පෙනේ.

_DSC6468-2
වටදා ගෙය

වටදා ගෙය ඉදිකර ඇත්තේ අඩි 91 ක් පමණ විෂ්කම්භය හා අඩි 14 -17 පමණ උස පනා බැම්මකින් ආරක්ෂාවී ඇති වටකුරු වේදිකාවක් මතයි. ඊට පිවිසීම සඳහා උතුරු දෙසින් ඇති අඩි 10 ක් පමන උස අඩි 5 ක් පමණ පළල ගල් උළුවස්සකින් ඇතුළුවී පියගැට පෙළක් නැගිය යුතුවීය. වටදාගේ බාහිර මළුවට ඇතුළු වූ විට දෙපස කැටයම් සහිත ගල් පීටිකා දෙකක් මත පුර්ණ ඝට දෙකකි.

_DSC6498
පුර්ණ ඝට 

ඉන් අනතුරුව වටදාගෙයට පිවිසීමට පිය ගැට හතරකි.

_DSC6474

වටදාගෙය මධ්‍යයේ අඩි 26ක් පමණ විශ්කම්භයෙන් යුත් ස්තුපයකි.එය වටදාගෙයට වඩා අවුරුදු 800 ක් පමණ පැරණි බව කියති. ස්තුපය ඉදිරිපස  සිව්දෙසට මුහුණලා සමාධි පිළිම හතරකි.

_DSC6481
සමාධි පිළිම

මෙය වජ්‍රසත්‍ව මණ්ඩලයක් බව කියති. උතුරට අධිපති අමෝඝ සිද්ධි, නැගෙනහිරට අධිපති අක්ෂෝබ්‍ය දකුණට අධිපති රත්නසම්භව හා බටහිරට අධිපති අමිතාභ යන බුද්ධ මණ්ඩලයෙන් විශ්ව්‍යාපි ධර්මකාය සංකේතවත් වන බව චන්ද්‍රා වික්‍රම ගමගේ මහතා පවසා ඇත. ඊට පිටතින් මනරම් කැටයමින් යුත් අට පට්ටම් හැඩයෙන් යුත් ගල් කණු පේලි තුනකි.

_DSC6475

ඇතුලත වටය අඩි 9 ක් උස කණු 16 කින්ද, දෙවැනි වටය අඩි 16 ක් උස කණු 20 කින්ද, පිටත වටය අඩි 17 ක් උස කණු 32 කින්ද සමන්විතවිනි. මේ සෑම කණුවකම එකිනෙකට වෙනස් විසිතුරු කැටයමින් යුතුවේ.  පිටත වටයේ කණු පෙළ අඩි 3 අඟල් 6 ක් පමණ උස ආවරණ වැටකින් බැඳීඇත. පිටත කණු පෙළ හා මැද අතර ගඩොල් වලින් කළ බිත්තියක් තිබී ඇත. මේ බිත්තියේ නටබුන් දක්නට ලැබේ. මේ බිත්තිය හා කුළුණු මේ වටදාගෙයට ලි වලින් කළ කුටාගාර වහලක් තිබුණු බවට සාක්ෂි වේ.

_DSC6485
කුළුණු
_DSC6495
බිත්තියේ නටබුන්

මුල් යුගයේදී මෙහි තිබී ඇත්තේ දාගැබකි. ඊට වටදාගෙය තනා ඇත්තේ හත්වන සියවසේදීය. 4 වන අග්බෝ රජුගේ පුත්‍රයා වටදාගේ තැනුබව කියති. වටදා ගෙවල් තැනීම මහායාන අදහස් පිළිගත් අභයගිරි විහාරිකයන්ගේ උපදෙස් අනුව කළ බවට අදහසකි.

_DSC6509-2
බුදු මැදුරු

_DSC6507

_DSC6499

වටදාගෙයට වයඹ දෙසින් බුදු මැදුරු කීපයකි. එහි පද්මාසන මත වැඩ හිඳින බුදු පිළිම කීපයක්ම දක්නට ඇත.

_DSC6514
පද්මාසන මත වැඩ හිඳින බුදු පිළිම

වටදාගෙයට උතුරින් වන කඳු ගැටය මත තවත් ස්ථුපයක් දක්නට ඇත.

_DSC6466-2
ස්ථුපය

මැදිරිගිරියේ පරිසර සුන්දරත්වයට පැරණි හෙළයන්ගේ  නිර්මානාත්මක කුසලතාවය එක් කරමින් ඉදිකොට ඇති විශිෂ්ඨ වාස්තුවිද්‍යා සලකුණක් වූ මැදිරිගිරිය වටදා ගෙය තහවුරුකොට පවත්වාගෙන යාම පිළිබඳව අපි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සිටි හා සිටින සියලු දෙනාට කෘතඥ විය යුතුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.