ඓතිහාසික මාලිඟාවිල හිටි බුදු පිළිමය හා දඹේගොඩ අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්‍රතිමාව අනුරාධපුර යුගයේ බෞද්ධ ප්‍රබෝදය රජරටට පමණක් සිමා නොවි, රට පුරාම පැතිර ගොස් තිබුණු බව අපට පසක් කරවයි. මොණරාගල දිස්ත්‍රීක්කයේ වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි මාලිඟාවිල සහ දඹේගොඩ පුරාවිද්‍යාත්මක නටබුන් සහිත ප්‍රදේශයට බුත්තල සිට ඔක්කම්පිටිය හරහා කිලෝමීටර් 18ක පමණ දුරක්ද A 4 මාර්ගයේ කුඹුක්කන සිට ඔක්කම්පිටිය හරහා කිලෝමීටර් 15ක පමණ දුරක්ද ගෙවා ලඟාවිය හැකිි ය.

මාලිඟාවිල සහ දඹේගොඩ ප්‍රදේශ ආශ්‍රිතව අක්කර 300ක පමණ භුමි ප්‍රදේශයක් පුරා පැතිර ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 6 වන හා 8 වන සියවස්වල පමණ වූ ආරාම සංකීර්ණයක් බව විශ්වාස කෙරේ. මෙහි පිහිටා ඇති ඉතාමත්ම වැදගත් ස්මාරක වන්නේ හිටි බුදු පිළිම වහන්සේ හා අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්‍රතිමාවයි. මේ ප්‍රතිමා වල විශේෂත්වයක් වන්නේ සම්බන්ධ වී ඇති පර්වතයක් හෝ වෙනත් කිසිදු ආධාරකයක් නොමැතිව සෘජුව නෙලා ඇති විශාලතම ප්‍රතිමා දෙකක් වීමයි.

මාලිඟාවිල බුදු පිළිම වහන්සේ

මාලිගාවිල බුදු පිළිම වහන්සේ

මාලිගාවිල බුදු පිළිම වහන්සේ ලංකාවේ පැරණිම බුද්ධ ප්‍රතිමා අතර විශාලතම ශෛලමය බුද්ධ ප්‍රතිමාව ලෙස පිළිගැනේ. අඩි 4ක් පමණ වන පද්ම පීඨය සමග මෙමෙ ප්‍රතිමාවේ උස අඩි 42ක් පමණ වේ. මෙය නෙලා ඇත්තේ ස්ඵටික හුනුගලකිනි. මෙය අවුකන බුද්ධ ප්‍රතිමාව මෙන් අභය මුද්‍රාවෙන් නෙලා ඇත. වංශ කතාවල සඳහන් වන රුහුණේ විසු අග්ගබෝධි කුමරු කාණගාමයෙහි ප්‍රතිමා නම් විහාරයට නිර්මාණය කළ විශාල පිළිමය හා පිළිමගෙය මෙය බව විශ්වාස කෙරේ. මේ විහාරය අරියාකර විහාරය යනුවෙන්ද ද හැඳින් වූ බව පෙනේ.

මාලිඟාවිල සහ දඹේගොඩ ප්‍රදේශය පුරාවිද්‍යා ආරක්‍ෂිත ප්‍රදේශයක් ලෙස 1936 දී ප්‍රකාශයට පත්කොට ඇත. 1951 දී පමණ කැනීම් හා සංරක්ෂණ කටයුතු ආරම්භකොට ඇත. කෑලිවලට බිඳී ගොස් හා නිධන් සොරුන්ගෙන් හානියට පත්ව තිබු පිළිමය ප්‍රතිසංස්කරණය කොට ඔසවා තැබීමට 1974 දී පමණ උත්සාහ ගත්ත ද එය ව්‍යාර්ථ විය. පසුව 1980 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මඟපෙන්වීමෙන් හා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව හා ශ්‍රී ලංකා වරාය අධිකාරිය ප්‍රමුඛ දේශීය ඉංජිනේරුවන්ගේ උත්සාහයෙන් මේ පිළිමය විශිෂ්ට ලෙස ප්‍රතිසංස්කරණය කෙරින.

ප්‍රතිමා ගෘහයට පිවිසෙන පිය ගැට පෙළ හා කොරවක් ගල්

ප්‍රතිමා ගෘහයට පිවිසෙන පිය ගැට පෙළ හා කොරවක් ගල්

අඩි සියයකට ආසන්න දිග පළලින් හා අඩි හැටක් පමණ උසකින් යුතු ගෙඩිගේ සම්ප්‍රදායේ විශාල පිළිම ගෙයක් තුළ මේ පිළිමය පිහිටුවා තිබී ඇත. ගඩොලින් නිම වූ ඉතා පළලින් යුතු බිත්තිවල ශේෂයන් දක්නට ඇත. ආරුක්කු හැඩයේ වහලක් තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරේ. ලංකාවේ දක්නට ලැබෙන ගෙඩිගේ සම්ප්‍රදායේ පිළිම ගෙවල් වල නටබුන් අතරින් පැරණිතම පිළිම ගෙය මෙය බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ අදහස වී ඇත.

සඳකඩ පහන
දොරටුපාල රුප

දඹේගොඩ අවලෝකිතේශ්වර නාථ බෝධිසත්ව ප්‍රතිමාව

බුදු පිළිමය පිහිටි ස්ථානයේ සිට මීටර් 600ක් පමණ ගිනිකොණ දෙසට වන්නට දඹේගොඩ අවලෝකිතේශ්වර නාථ බෝධිසත්ව ප්‍රතිමාව පිහිටුවා ඇත. අග්ගබෝධි කුමරුගේ අභාවයෙන් පසු රුහුණට අධිපති වූ දප්පුල කුමරා විසින් පසළොස් රියන් බෝසත් පිළිමයක් කරවූ බව වංශ කතාවල දැක්වේ. ඒ මෙම බෝසත් පිළිමය බවට සැකයක් නොමැත.

දඹේගොඩ අවලෝකිතේශ්වර නාථ බෝධිසත්ව ප්‍රතිමාව

මහායාන බුදු සම‍‍යෙන් ඇරඹී ඇති අ‍ව‍‍ලෝකි‍‍තේෂ්වර ‍බෝධිසත්ව ප්‍රතිමා වන්දනය මගින් බැතිමතුන්‍‍ගේ ආරක්ෂාව,‍ රෝග සුව කිරී‍‍ම ආදිය බලා‍‍පො‍‍රොත්තු වී ඇත. රුහු‍ණේ අග්බෝ කුමරු කාණගාම‍යේ අන්ධයින්ට හා ගිලනුන්ට ප්‍රතිකාර කිරීම සඳහා ආරෝග්‍යශාලා කරවූ බව මහාවංසයේ සඳහන් ‍‍වන අතර ‍‍මෙය එම පරිශ්‍රය ලෙස සැලකේ.

දඹේගොඩ අවලෝකිතේශ්වර නාථ බෝධිසත්ව ප්‍රතිමාව වෙනත් කෝණයකින්

ක්‍රිස්ටලයින් පාෂාණයෙන් නිර්මාණය කොට ඇති මෙම අ‍ව‍‍ලෝකි‍‍තේෂ්වර ‍බෝධිසත්ව ප්‍රතිමාවෙහි උස අඩි 30ක් පමණ වේ. ශක්තිමත් බව, ‍‍‍‍‍‍‍‍‍‍‍ප්‍රෞඩත්වය, රාජකීයත්වය පිළිබිඹු කෙරෙන සමභංග ඉරියව්වෙන් නෙලා ඇති මෙම ප්‍රතිමාවේ දෙ අත් වලින් විතර්ක හා කටක හස්ත මුද්‍රාව නිරූපණය කොට ඇති අතර වම් අතෙහි පද්මයක් දරා සිටියි. රාජ හිස් පළඳනාවක් හා සමාන ජටා මකුටයේ මධ්‍යයෙහි ධ්‍යාන මුද්‍රාවෙන් අමිතාභ බුද්ධ රූපයක් කැටයම් කොට ඇත. පිළිමයේ ගෙල ප්‍රදේශය මුතුවැල් මාලයකින් හා රාජකීය ආභරණමෙන් කැට යමින් අලංකාර කරන ලද ආභරණවලින් සරසා ඇත. මුතු වැල් මාලයට යටින් තවත් දිගැටි රන්දම්වැල් මාලයක්‌ කැටයම් කොට ඇත. උදරය බඳ පටියක්‌ වැනි ආභරණයකින් සරසා ඇත. කන්වල මකර කුණ්‌ඩලාභරණ හා දෙ අතේ වළලු පැළඳි ආකාරයෙන් කැටයම් ඇත. වම් උරයෙන් පහළට වැටී ඇති පූණ නූලකි. යටි කය දෝතියක් ඇඳ සිටින ආකාරයෙන් නිමවා ඇත.

බෝධිසත්ව ප්‍රතිමාව පිහිටි මණ්ඩපයට පිවිසෙන පියගැට පෙළ

බෝධිසත්ව ප්‍රතිමාව පිහිටි මණ්ඩපයට පිවිසෙන පියගැට පෙළ

මාලක කිහිපයකින් සැදී කුඩා කඳු ගැටයක් මත ඉදිකල මණ්ඩපයක පිහිටුවා තිබු බවට සැලකෙන මේ ප්‍රතිමාව කෑලි ගණනාවකට කැඩී තිබිණ. 1990 දී මෙහි ප්‍රතිසංස්කරණය ඇරඹින. දේශීය තාක්ෂණය අනුව ලී දඬු ආදිය පමණක් උපයෝගී කර ගනිමින් පිළිමය එසවීමට පියවර ගන්න ලදී. මෙයද දේශීය ඉංජිනේරුවන්ගේ හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ කැපවීම නිසා විශිෂ්ට ලෙස ප්‍රතිසංස්කරණය කොට ඇත. පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුවට සිය වසක් පිරිම නිමිත්තෙන් නැවත පිහිටවූ මෙම පිළිමය 1991 සැප්තැම්බර් මස පලමුවනදා මහජනයාට විවෘත වින.

දොරටුපාල රුප
දොරටුපාල රුප
ආරාම සංකීර්ණයේ නටබුන්
ආරාම සංකීර්ණයේ නටබුන්
ආරාම සංකීර්ණයේ නටබුන්

ටැම් ලිපිය

ටැම් ලිපිය

මේ බෝධිසත්ව ප්‍රතිමාව පිහිටි මණ්ඩපයට පිවිසෙන පියගැට පෙළ අසල හතරවන මහින්ද රජතුමා විසින් කරවන ලද ටැම් ලිපියක් ඇත. මෙහි එතුමා විසින් කරවන ලද බෞද්ධාගම නගා සිටුවීමට කරන ලද ක්‍රියා කීපයක් හා භික්‍ෂුන් වහන්සේලා වෙනුවෙන් පනවා ඇති නීති කීපයක් සඳහන් කොට ඇත.

මේ ස්ථාන බලා පැරණි සිංහලයන්ගේ භක්තිය, නිර්මානාත්මක හා කලා කෞශල්‍යය පිළිබඳව අභිමානයක් ඇතිකර ගන්නා සේම අනාගත පරපුරට ද මේවා ඉතිරිකර තැබීම අපගේ යුතුකමයි.

3 COMMENTS

  1. එන්.එච්.සමරසිංහ මහතා දක්ෂ ඡායාරූප ශිල්පියෙකි.

  2. I am studying still in grade 9 at Sri Sumangala College,Panadura and very interesting of History of Sri Lanka. You all doing great job through this web site and very useful for everybody who loving to Sri Lanka.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.