ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කතානායක චමල් රාජපක්ෂ මහතා ගේ ප‍්‍රධානත්වයෙන් සැප්තැම්බර් 30 වැනි දා කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවති 2013 රාජ්‍ය සාහිත්‍ය සම්මාණ උළෙලේ දී 2012 වසර සඳහා ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් ප්‍රකාශයට පත් වූ විශිෂ්ට ම ශාස්ත‍්‍රීය කෘතියට හිමි රාජ්‍ය සම්මාණය හා විශිෂ්ට ම පොත් නිමාව සඳහා වූ රාජ්‍ය සම්මාණය යන සම්මාන දෙක දිනාගැනීමට ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ ගණයේ පුරාවිද්‍යා පර්යේෂකයෙකු හා පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ පුරාවිද්‍යා මහාචාර්යවරයෙකු වූ රාජ් සෝමදේව මහතා විසින් සම්පාදනය කරන ලද Rock Painting and Engraving Sites of Sri Lanka නම් වූ ශාස්ත‍්‍රීය කෘතිය සමත් වී ඇත.

rock_painting_and_engraving_sites_in_sri_lanka_prof_raj_somadewa
Rock Painting and Engraving Sites of Sri Lanka කෘතිය

ශ‍්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල හෝ උසස් අධ්‍යාපන ආයතන අතුරින් රාජ්‍ය සාහිත්‍ය සම්මාණයට ලක් වූයේ කොළඹ 7 පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය (Postgraduate Institute of Archaeology – PGIAR) විසින් 2012 වසරේ ප‍්‍රකාශයට පත් කරන ලද මෙම කෘතිය පමණී. එ බැවින් මෙය ලංකාවෙ උසස් අධ්‍යාපන ආයතනයක් ලැබූ ජයග්‍රහණයක් වශයෙන් ද හදුන්වා දිය හැකි ෙව්. මෙම කෘතිය සමඟ මහාචාර්ය ජේ. බි. දිසානායක මහතා විසින් රචනා කරන ලද කෘතියක් ඇතුළු තවත් කෘති දෙකක් මෙම සම්මාණය සඳහා අවසාන වශයෙන් නාම යෝජනා වී පැවතිණ. හොඳම පිටු නිර්මාණය (Layout) සඳහා වන සම්මාණය සඳහා ලංකාවේ ප‍්‍රශස්ත පොත් නිර්මාණකරුවෙක් වන මහාචාර්ය ඇල්බර්ට් ධර්මසිරි මහතා ගේ නම ද යෝජනා වී පැවතියත් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ රමණි විතාන මහත්මිය විසින් පිටු සැකසීම සිදුකරන ලද මෙම කෘතිය ඒම සියලු නාමයෝජනා ඉක්මවා හොඳ ම පොත් නිර්මාණයට හිමි සම්මානය දිනාගන්නා ලදී.

rock_painting_and_engraving_sites_in_sri_lanka_prof_raj_somadeva_ramani_vithana_receiving_the_national_literacy_award_2013
මහාචාර්ය රාජ් සෝමදේව මහතා සම්මාණ ලබමින් (වම් රූපය) 2013 සාහිත්‍ය සම්මානය (මැද) රමණි විතාන මහත්මිය සම්මාණ ලබමින් (දකුණු රූපය)

මෙම කෘතිය රාජ්‍ය සම්මාණයට පත් වීම අරමුණු කොට ගනිමින් archaeology.lk කණ්ඩායම මහාචාර්ය රාජ් සෝමදේව මහතා සමඟ සිදුකළ කෙටි සාකච්ඡාව පහත දැක් වේ.

archaeology.lk : රාජ්‍ය සම්මාණයට ලක් වූ Rock Painting and Engraving Sites of Sri Lanka කෘතිය පිළිබඳ ව කෙටි හැඳින්වීමක් සිදු කරන්න පුළුවන් ද?

මහාචාර්ය රාජ් සෝමදේව : ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවල ව්‍යාප්ත වී ඇති පර්වත සිතුවම් සම්බන්ධයෙන් මෙතෙක් ප‍්‍රකාශයට පත් වී ඇති එක ම කෘතිය වන්නේ මෙම කෘතියයි. සංස්කෘතික හා කලා කටයුතු දෙපාර්තමේන්තුවෙන් රුපියල් මිලියන තුනක පමණ මුදලක් මෙම කෘතිය සඳහා අවැසි පර්යේෂණ හා කෘතියේ ප්‍රකාශනය සඳහා ලබා දුන් බව මම මේ අවස්ථාවේ කෘතවේදී ව සඳහන් කළ යුතු යි. අපි මෙම කෘතිය සම්පාදනය කිරීම සඳහා අවශ්‍ය අධ්‍යයන හා පර්යේෂණ කටයුතු සඳහා වසර දෙකකට ආසන්න කාලයක් වැය කළා. ලංකාවේ පවතින ප්‍රාථමික ශෛලියේ පර්වත සිතුවම් සම්බන්ධයෙන් මින් මතු අධ්‍යයන සිදුකරන ඕනෑම අයෙකුට ඒ සඳහා ඇති ප්‍රධාන ම මූලාශ‍්‍රය වන්නේ මෙම කෘතියයි. මීට පෙර මෙම විෂය සම්බන්ධයෙන් විවිධ ලිපිලේඛන ප‍්‍රකාශයට පත් වී පැවතියත් මෙම කෘතිය මෙම විෂය සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් වී ඇති ප්‍රාමාණික කෘතිය වශයෙන් ද හඳුන්වා දිය හැකි ය.

ශ‍්‍රි ලංකාව තුළ පර්වත සිතුවම් සහිත ස්ථාන 50කට වැඩි ප‍්‍රමාණක් වාර්තාගත වී පවතිනවා. මෙම කෘතිය සඳහා ඒවා අතුරින් 24ක් නියැදියක් වශයෙන් ගෙන ඒ පිළබඳ සවිස්තරාත්මක අවධානයක් සිදුකර ඇත. මෙම කෘතියේ දී රූප ඇඳීමේ කලාව පමණක් නොව එහි දිනවකවානු හඳුනාගැනීම සම්බන්ධයෙන් වුවත් භව්‍යතාවක් ඇති ක‍්‍රමවේදයක් යොජනා කර ඇත. ආචාර්ය ඩබ්ලිව්. එච්. විජයපාල මහතා විසින් වරකාපොල දොරවකකන්ද ඇතාබැඳි ලෙන ගුහාවේ කැනීම් මඟින් තහවුරු කොට ඇති දිනවකවානු සාපේක්‍ෂ ව ගෙන එම රූප ඇඳීමේ කලාවට යම් ආකාරයක දින වකවානු යෝජනා කර ඇත. ඒ අනුව ලංකාවේ මෙම විෂය සම්බන්ධයෙන් නොයිඳුල් අධ්‍යයනයක් ලෙස මෙම කෘතිය හඳින්වා දිය හැකි යි.

archaeology.lk : ඔබතුමා විසින් දැනට වසර ගණනාවක් තිස්සේ උඩවලව නිම්ණයේ සිදුකරන පර්යේෂණ හා ලංකාවේ මානවයාගේ සංස්කෘතික සංක්‍රාන්තිය පිළිබඳ ව සිදුකරන පර්යේෂණ මාලාව සමඟ මෙම කෘතියේ අන්තර්ගතය යම්කිසි සම්බන්ධතාවක් දක්වනවා ද?

මහාචාර්ය රාජ් සෝමදේව : අප විසින් දැනට වසර ගණනාවත් තිස්සේ සිදුකරන පෘථුල පර්යේෂණ ව්‍යාපෘතියේ අනු ව්‍යාපෘතියක් වශයෙන්, දඩයක්කරුවන් ගේ සංක‍්‍රාන්තිය නම් ව්‍යාපෘතිය දියත් වෙනවා. Rock Painting and Engraving Sites of Sri Lanka කෘතියත් එම පර්යේෂණයට ම අදාළ ව, දඩයක්කරුවන් සංක‍්‍රාන්තියට පත් වුනාට පසු ඔවුන් ගේ ප‍්‍රජාණන (cognitive) වර්ධනය වූයේ කෙසේ ද යන්න පිළිබඳ ව සාකච්ඡා කරන කෘතියක්. අපි මේ වසරේ හල්දුම්මුල්ල, හුණුගලාගල පුරාවිද්‍යා කැනීමෙන් ලබාගත් අඟුරු සාම්පල කාලනීර්ණය සඳහා පර්යේෂණාගාර වෙත යොමුකර තියෙනවා. අපි ඒ සම්බන්ධ ව විශේෂ ප‍්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. මේ සෑම දෙයක් ම එකිනෙකට තදානුබද්ධ වූ පර්යේෂණ වශයෙන් හඳුන්වන්න පුළුවන්. අපිට අවසානයේ මේ සියල්ල ම සමෝධානය කිරීමට හැකියාව ලැබෙයි. මෙහි මූලික අරමුණ ලංකාවේ ශිෂ්ටාචාරික ප‍්‍රවර්ධනය ආරම්භ වුයේ කුමන ආකාරයකට, කුමන කාලයේ, කුමන හේතු නිසාද යන්න ප‍්‍රශ්න කරන එකයි. එ බැවින් මෙයත් එයට ම තදානුබද්ධ ව, සංක‍්‍රාන්තික දඩයක්කරුවන් ගේ ප‍්‍රජානන ඉතිහාසය හා ප‍්‍රජානන පරිණාමය පිළිබඳ ව අවධානය යොමු වෙලා තියෙනවා.

archaeology.lk : ජාත්‍යන්තර වශයෙන් හා ඉන්දියාවේ මෙවැනි පර්වත සිතුවම් පිළිබඳ ව සිදුකොට ඇති අධ්‍යයන සමඟ සංසන්දනය කොට බැලීමේ දී ඔබතුමා විසින් රචිත මෙම කෘතිය හිමිකර ගන්නා ස්ථානය කුමක් ද?

මහාචාර්ය රාජ් සෝමදේව : මේ සම්බන්ධයෙන් මම උපුටා දක්වන්න කැමතියි මහාචාර්ය සේනක බණ්ඩාරනායක මෙම කෘතියේ දොරට වැඩුමේ දි ලියා එවනු ලැබූ පාඨය. එ තුමා එහි එක් අවස්ථාවක ලියා තැබුවා, ඔබ ගේ කෘතිය (Rock Painting and Engraving Sites of Sri Lanka) ශ‍්‍රී ලංකාවේ පර්වත චිත‍්‍ර සම්ප‍්‍රදාය ලෝක සිතියමට ඇතුළත් කළැයි කියන කාරණය. එය ප‍්‍රාමාණික උගතෙකුගේ ඇගයීමක්. මම ස්වයං ඇඟයීමක් සිදුකරනවාට වඩා ලෝකයේ අද්දැකීම් සම්භාරයක් ඇති ඒ මහාචාර්යවරයා සිදුකරන ප‍්‍රකාශය මගින් මේ කෘතිය හිමිකරගෙන ඇති ස්ථානය පිළිබඳ අදහසක් ඇතිකර ගන්න පුළුවන්.

archaeology.lk : මෙම කෘතිය රාජ්‍ය සම්මාණයට පාත‍්‍රවීම ඔබ තුමා දකින්නේ කොහොම ද?

මහාචාර්ය රාජ් සෝමදේව : මෙම කෘතිය වශයෙන් ගන්නවාට වඩා, සමස්තාර්ථ වශයෙන් ගතහොත් පුරාවිද්‍යාත්මක වශයෙන් හෝ වේවා වෙන විෂයක හො වේවා යම්කිසි නොයිඳුල් දැනුමක් නිෂ්පාදනය කිරීම සඳහා විශාල ශ‍්‍රමයක් කැපකරන්න වෙනවා. එ පමණක් නොව බුද්ධිමය වශයෙන් ද විශාල ශ‍්‍රමයක් හා කාලයක් කැපකරන්න වෙනවා. මම කියන්නේ නැහැ මගේ කෘතිය අතිවිශාල ශාස්ත‍්‍රීය කෘතියක් කියල. නමුත් දැන් මට දැනෙනවා, එම කෘතිය ජාතික මට්ටමෙන් ඇඟයීමට ලක් වී ඇති නිසා එය ජාතික මට්ටමේ තියෙනවා කියල. ඒ වගේ ම මෙම පර්යේෂණය කරන අතරතුර ඉන්දියාවේ ප්‍රකාශයට පත් වූ පොත් හා ලිපි අපි හැඳෑරුවා. මම හිතනවා එවා පවතින මට්ටමට වැඩිය දකුණු ආසියාතික මට්ටමට මේ කෘතිය ගෙනල්ල තියෙනවා කියලා. අපිට තවදුරටත් විද්‍යාත්මක ක‍්‍රම ආදේශ කරගන්න තිබුණ නම්, මේ කෘතිය ජාත්‍යන්තර මට්ටමට ගෙන්න තිබුනා. අපි ඉදිරියේ දී ඒ මට්ටමට යමක් කරන්න උත්සාහ කරනවා.

archaeology.lk : ප‍්‍රමුඛ අවධානය ලක් නොවන විෂය ක්ෂේත‍්‍රයක් වන පුරාවිද්‍යාව විෂයට අයත් කෘතියක් ජාතික මට්ටමෙන් විශිෂ්ට ම ශාස්ත‍්‍රීය කෘතිය බවට පත් කිරීමට ඔබ තුමා සමත් වී තියෙනවා. මේ කාරණය මෙම කෘතියේ කතුවරයා කියන තැන ඉක්මවා ගොස්, වෘත්තීය පුරාවිද්‍යාඥයෙක් වශයෙන් ඔබතුමා දකින්නේ කෙ සේ ද?

මහාචාර්ය රාජ් සෝමදේව : මෙම සම්මාණයට පාත‍්‍රවීම අපේ පෞද්ගලික ජයග‍්‍රහණයක් පමණක් විදිහට නෙවෙයි මා දකින්නේ, අපි විසින් සිදුකළ යුතු, වෘතිතිකයින් වශයෙන් විෂය වෙනුවෙන් කළයුතු කාර්යභාරයක් ලෙසටයි. ලංකාවේ සිටින සියලූ ම තරුණ පරම්පරාවේ පුරාවිද්‍යාඥයින් මෙය ආදර්ශයක් වශයෙන් ගත යුතුය කියලයි මා තවදුරටත් හිතන්නේ. තමන් ගේ විෂය මේ වගේ ජාතික මට්ටමේ සම්මාණ වලට ලක්වීමෙන් සිදුවන්නේ අපේ වෘත්තීයභාවය ඉහළ යාම. මේ අවස්ථාවේ මම සඳහක් කරන්න කැමතියි තවත් කාරණයක්. පසුගිය දා අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නම්කරනු ලැබුවා ජාතික පර්යේෂණ කවුන්සිලයට (National Research Council) සාමාජිකයින්. එය සිදුකරන්නේ ගැසට් පත‍්‍රිකාවක් මඟින්. එයට සාමාජිකයින් 16 දෙනෙකු නම්කර තියෙනවා. එයින් 14 දෙනෙක් වෛද්‍ය වෘත්තිකයින් වන මහාචාර්යවරුන් හා 1 අයෙක් ඉංජිනේරු, පරිගණක අංශය නියෝජනය කරන අතර සමාජ විදයා නියෝජනය කිරීම සඳහා නම්කර ඇත්තේ එක් නමක් පමණයි. ඒ මහාචාර්ය රජ් සෝමදේව කියන නම. ඒ අනුව ලංකාවේ පවතින සමාජවිද්‍යා රාෂිය අතුරින් පුරාවිද්‍යාඥයෙක් ජාතික පර්යේෂණ කවුන්සිලය නියෝජනය කිරීම වැදගත් දෙයක්. මෙයත් ලංකාවේ පුරාවිද්‍යා ක්ෂේත‍්‍රය ලැබූ ජයග‍්‍රහණයක් වශයෙන් පෙන්වා දෙන්න මම කැමතියි. මෙ තැන දී ඇත්තට ම සමාජ විද්‍යාවන් අතර පුරාවිද්‍යාවට ස්වාභාවික විද්‍යාවන් සමඟ කරටකර සිටිමට හැකි වෙලා තියෙනවා.

archaeology.lk කණ්ඩායම වශයෙන් අපි, මහාචාර්ය රාජ් සෝමදේව මහතාට හා රමණි විතාන මහත්මියට

සුභ පැතුම් මේ සමඟ එක් කරන්නෙමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.