ආර්. එම්. දිලිනි ලක්මාලි මෙස්ලින්කා

dilini-lakmali-meslinka-sri-lanka-archaeology-lk
දිලිනි ලක්මාලි මෙස්ලින්කා

ශ‍්‍රී ලාංකීය ඉතිහාසයෙහි අවසන් රාජධානි සමය වන සෙංකඩගල නොහොත් මහනුවර රාජධානයි ජීවමාන ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක සාධකයන්ගෙන් පොහොනි බිම්කඩකි. මෙම රාජධානි යුගය හා සබැඳි ආගමික හා ලෞකික ගොඩනැඟිලි පුරාවිද්‍යා ස්මාරක බවට පත්වෙමින් එහි අතීත ශ‍්‍රී විභූතිය තවදුරටත් ජීවමාන කරලන්නේ ය. දේශීය රජවරුන්ගේ මතු නොව, දකුණු ඉන්දීය නායක්කර් පරපුරෙහි ද, ඉන් නොනැවතී පෘතුගීසි, ලන්දේසි සහ ඉංග‍්‍රීසි යන යුරෝපීන්ගේ ද අනුප‍්‍රාප්තික දේශපාලනික, සාමාජයීය හා ආර්ථික ප‍්‍රවේශයන් මහනුවර රාජධානිය කේන්ද්‍ර කොටගෙන විසරණය වූ අයුර ඓතිහාසික මූලාශ‍්‍රයෝ අපට පෙන්වා දෙත්. එම කාරණාවන් පුරාවිද්‍යාත්මක ව සනාත කරලන්නා වූ සාධකයක් ලෙස මෙ කල භාවිත කරන ලද කාසි පෙන්වාදිය හැකි ය.

මහනුවර රාජධානි සමය මූලික කොට භාණ්ඩ හුවමාරුව පදනම් කරගත් ආර්ථික රටාවක් මත යැපුණු බවට තොරතුරු ලැබෙත්. රාජකාරි ක‍්‍රමය හේතුකොටගෙන එදිනෙදා ආර්ථික හුවමාරු වල දී මුදල් භාවිතය බොහෝ දුරට මඟහැරුණු බවට සඳහන්වේ (පීරිස් 2001:104). තමන් උපයාගන්නා අතිරික්තය සිය අසල්වැසියා සමඟ හුවමාරු කරගත් කන්ද උඩරට වැසියාට කාසි භාවිතය සම්බන්ධ අවශ්‍යතාවක් නොවිනි. රට ඇතුළත කෙරුණු මෙම වෙළඳාමට පාත‍්‍ර වෙූය් එක් පළාතක උපදින හා අනෙක් පළාතේ නූපදින ද්‍රව්‍ය බව දහ හත් වැනි සියවසෙහි මැද භාගයේ දී මෙ රට වෙළඳාම සම්බන්ධයෙන් නොක්ස් සඳහන් කරලන්නේය (Knox 1989:277). තමන් වෙත වැඩිපුර ඇති දෙය වෙනුවට හිඟපාඩු දෙය හුවමාරු කරගැනීමට පුරුදු හෙයින් සිංහලයා මුදල් අතපත ගාන්නේ මඳ වශයෙන් බව ඬේව්ගේ විස්තරයේ තවදුරටත් සඳහන් වන්නේ ය (ඬේව් 2002:225).

උඩරට සිංහලයින් තුළ වෙළඳාම කෙරෙහි පැවති උදාසීනත්වයත්, තත් සමාජය වසා පැවති ස්වයංපෝෂිත ආර්ථික රටාවත් හේතුවෙන් කාසි භාවිතය උඩරට රාජ්‍ය තුළ එතරම් ප‍්‍රචලිත වූවත් නොවී ය. උඩරැටියන් වැඩිදෙනෙකුට වෙළහෙළඳාම ගැන වැඩි අවබෝධයක් නොතිබුණු හෙයින් ඔවුන්ගේ ගනුදෙනු වල අධිකත්වයක් හෝ විවිධත්වයක් දක්නට නොතිබුනු අතර, ප‍්‍රධාන වශයෙන් කෙරුණ ගනුදෙනුව වෙූය් යම් කිසි උවමනාවක් සඳහා මුදල් හෝ ධාන්‍ය හෝ ණයට ගැනීම ය. මුදල් අවශ්‍යය වූයේ සිය ප‍්‍රධානයන්ට ගාස්තු හෝ දඩ හෝ ගෙවීම හෝ රජතුමාගේ එ වැනි ම නියමයන් සපුරාලීම සඳහා ය (පීරිස් 2001:104). එබැවිනි “මේ රටේ කවර වර්ගයේ කාසි වුව ද හිඟ හෙයින් බොහෝ විට බඩු හුවමාරු කිරීමෙන් ගනුදෙනු කරනු ලැබේ” (Knox 1989:277) ලෙස නොක්ස් දක්වන්නේ.

මහනුවර රාජධානිය තුළට කාසි ක‍්‍රමයක් හුරුකරන ලද්දේ පහත රට මුහුදුබඩ කලාපයෙහි වෙළඳාම අත්පත් කරගෙන සිටි මලබාර් වෙළෙඳුන් විසිනි. එතෙක් උඩරැටියන් විසින් දේශීයව පුහුණු කරන ලද කාසි ක‍්‍රමයක් හෝ වර්ගයක් පිලිබඳ ව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත. එ බැවින් උඩරැටියන්ගේ කාසි ක‍්‍රමය මූලික කොට ම විදේශීය ආභාසයන් මත ගොඩනැගෙන්නක් ලෙස හඳුනාගත හැකි ය.

ඒ අනුව, උඩරට රාජධානිය තුළ තත්කාලීන ව භාවිත වූ කාසි ලෙස හඳුනාගත හැක්කේ පනම්, ලාරින් හා තංගම වර්ගයේ කාසි ය. මේවා රන් හා රිදී ලෝහ දෙ වර්ගයෙන් නිෂ්පාදනය කරන ලද අතර සාමාන්‍ය ව්‍යවහාරයේ දී රන් හා රිදී කාසි ලෙස හඳුන්වා තිබේ. මින් පනම් කාසි දකුණු ඉන්දීය ආභාසය හා වෙළඳාම හරහාත්, ලාරින් කාසි මුස්ලිම්වරුන් හරහාත් ලංකාවට ඇදී ආ කාසි වූ අතර, තංගම කාසි පෘතුගීසි ආභාසය මත ලංකාවේ භාවිතයට හඳුන්වා දෙන ලද කාසි විශේෂයකි.

පනම් කාසි

පනම් යන වචනය මුල්වරට සඳහන්වනේන් දොළොස් වැනි සියවසට අයත් දමිල සෙල්ලිපියක් වන බුදුමුත්තාව සෙල්ලිපියෙහි බව දැක්වේ. අනතුරුව ක‍්‍රිස්තු වර්ෂ 1344ට අයත් වන ඉබන් බතුතාගේ වාර්තාවේ මෙම කාසි පිළිබඳ ව සඳහන්වන අතර එ කල මෙම කාසියක බර ගේ‍්‍රන්ස් 5.8ක් විය (Shenoy 1941:13). දහසය වැනි සියවසෙහි මුල් දශකයේදී පෘතුගීසීන් මෙ රටට පැමිණි කල දේශීයව නිෂ්පාදනය කරන ලද වටිනාකමින් අඩු පනම් කාසි හම වු බව සඳහන් වේ (Codrington 1917:179). මෙ කල කන්ද උඩරට රාජ්‍යයෙහි හා කෝට්ටේ රාජ්‍යයෙහි මූල්‍යය ඒකක අතර පනම් කාසිය පැවති බවට රාජාවලිය අනුව තහවුරු වේ. බුවනෙකබාහු හා මායාදුන්නේ සොහොයුරන් ආරවුල් කරන්නට පටන් ගත් කල, උඩරට ජයවීර රජු ද මායාදුන්නේට අයත් සතර කෝරලය අවුල් කරන්නට වියග මායාදුන්නේ විසින් මෙම දේශපාලන ප‍්‍රයෝගය මැඩූ කල්හි උඩරට රජු මායාදුන්නේ හා සමඟි වීමට පනම් සාර ලක්‍ෂයක් ගෙවූ බව සඳහන් වේ (රා.ව. 1976:222). කෝට්ටේ පනම් කාසි උඩරට කාසිවලට වඩා අඩු වටිනාකමකින් මෙන්ම මිශ‍්‍ර රිදී වලින් තනා තිබේ (Codrington 1917:179). පනම යනු දමිල වචනයක් වන බව දක්වන කල්දේරා පවසන්නේ ඉන් ද්‍රවිඩ කාසි වර්ගයක් හඳුන්වන ලද බවයි (කල්දේරා 1959:23) මහනුවර රාජධානියෙහි අවසානය තෙක් මෙම කාසි වැහැරුණු බව සඳහන් වේ (එම) ක‍්‍රිස්තු වර්ෂ  1454 සහ 1505 දී මෙ රට රිදී පනම් කාසි මුද්‍රණය කරන ලද අතර ඒවා සිංහලයින්ගේ පනම් ලෙස හඳුන්වා තිබේ ((Sheony 1941:13).

මහනුවර රාජධානියෙහි සිරකරුවෙකුව සිටි රොබට් නොක්ස් (ක‍්‍රි.ව. 1659-1679) රාජ්‍යයෙහි භාවිත වූ කාසි පිළිබඳ ව කරන විස්තරයේ දී පනම කාසිය රාජකීය කාසිය ලෙස හඳුන්වා තිබේ. “තුන් වැන්න රාජකීය කාසියකි. එය සාදාගන්නට අන් කිසිවෙකුට අයිතයික් නැත. කිසිවෙකු එය සාදා ගන්නට බලාපොරොත්තු වන්නේ නම් ඔහු එය කළ යුත්තෙ මරණය වැළඳ ගැනීමට ද සූදානම්ව ය. මේ රාජකීය කාසිය “පනම” නමින් හැදින්වෙයි. එය පිත්තල බොත්තමක් තරමට කුඩාය. පනම් හැත්තෑ පහක්, අෙටි කාසියකට හෙවත් ස්පාඤ්ඤ ඩොලරයකට සමාන වන්නේය” (Knox  1989:277).

ලංකාවේ අච්චු ගැසූ මෙම පනම් කාසි පහළොස් වැනි ශත වර්ෂයේ මලබාරයේ “වීරරාය පනම්” අනුගමනය කිරීමෙන් නිපදවන ලදී. දහ හතර වැනි සියවසෙහි සෙල්ලිපිවල සඳහන් වන පනම් කාසි වෙළහෙළදාම නිසා ලංකාවේ ගනුදෙනුවල යෙදවුණු කාසි විශේෂයක් බවත් ඒ අනුව පහළොස් වැනි සියවසෙහි අවසාන භාගයෙහි පමණ පටන් ලංකාවේ ද පනම් කාසි අච්චු ගසන්නටත් පටන් ගත් බවත් පෙනේ. ධර්මකීර්ති ස්ථවිර විසින් කරවන ලද ගඩලාදෙණිය පර්වත ලිපියෙහි ද විහාර කර්මානත්යට වැය කරන ලද පනම් තුන්ලක්ෂයක් පිළිබඳ ව සඳහන් වේ (EZ. 1943: pp. 90-110). පෘතුගීසි තෝම්බු අනුව (ක‍්‍රි.ව. 1614) රිදී පනම් දොළහක් රිදී කොකු කාසියකට සමාන වූ බවත් දැක්වේ (කලේද්රා 1959:24). ලෝපෝ සූසා විසින් කෝට්ටේ ආසන්නයෙහි වරායන් හා ඉඩම් වලින් අයකරන ලද බදු සඳහන් වන්නේ ද පනම් වලනිි (Pieris 1992:137). දහසය වැනි සියවසේ දී ලංකාවේ භාවිත වූ පනම් කාසි සිංහල ප‍්‍රදේශ වලදී රීස් දහයක් ලෙස දල දමිල ප‍්‍රදේශ වල දී රීස් තිහක් ද ලෙස ගණනය කර තිබේ (Silva 2000:78).

පනම් කාසිවල

sinhala-silver-panama-kavan-rathnatunga
රිදී පනම කාසිය ( http://coins.lakdiva.org/ අඩවිෙයන් උපුටා ගන්නා ලදී)

අභිමුඛය : ඕවාකාර ව ඉහළට එසැවණුු ලම්බාකාර රේඛාවකි. එහි මධ්‍යයෙහි තිත් සලකුණක් වේ. පහතින් ඕවලාකාර ව පහතට හැරුණු රේඛා දෙකකි. ඒ මධ්‍යයෙහි දෙ පෙළකට යෙදූ තිත් සලකුණු මෝස්තරයකි. මින් මිනිස් රුවක් පෙන්නුම් කෙරෙන අතර, ඉහළ කොටස මිනිසාගේ හිස හා ඔසවාගත් දෙ අත් ලෙසත්, පහත කොටස හකුලාගත් දෙපා ලෙසත් හඳුනාගත හැකි ය. තිත් සලකුණු වලින් දැක්වෙන්නේ ඔහෙුග් ෙධාතිෙයහි මෝස්තරය විය හැකි ය.

ප‍්‍රතිමුඛය : කාසිය මධ්‍යයෙහි දකුණු පසින් ඉහළට හැරුණු සිහින් තිරස් රේඛාවකි. ඒ මධ්‍යයෙන් ඉහළට එසවෙන තිත් සලකුණු දෙකකින් ආරම්භ වන ලම්භාකාර රේඛා දෙකකි. පහතින් පේළි තුනකට යෙදූ තිත් හතර බැගින් වේ. මෙම සලකුණෙහි නිශ්චිත අදහස අපැහැදිලි ය.

කොඞ්රින්ටන් මහතා පැහැදිලි කරන අන්දමට පනම් කාසි නිර්මාණය වීමේදී මධ්‍ය කාලීන රන් කහවණුවෙහි ආභාසය ලබා තිබෙන අතර, මධ්‍ය කාලීන රන් කහවණුවෙහි දක්නට ලැබුණු සිටි රූපය අවසානයේ දී තිත් හා ඉරි ලෙස පනම් කාසියෙහි දක්නට ලැබේ (Codrington  1917:178).

ලාරින් කාසි

ඉන්දියානු සාගර කලාපයෙහි වර්ධනය වූ අරාබියානු හා පර්සියානු වෙළඳාමෙහි ප‍්‍රතිඵලයක් ලෙස ලාරින් කාසි වෙළඳාමට එක් විය. මෙය පර්සියන් ගල්ෆ් කලාපයෙහි සංසරණය වූ කාසි විශේෂයකි. කරමනියා කාන්තාරයෙහි අගනගරය වූ ලරිස්තානයෙහි නිපදවන ලද බැවින් මෙම කාසිය ලාරින් නමින් හඳුන්වන ලදී (Cunha 1995:40). අඟල් හතරක් පමණ දිග කම්බි කැබැල්ලක් හරි මැදින් දෙකට නවා මඳක් තලා පැතලි කරගත් එහි දෙපැත්තෙහි පර්සියානු හෝ අරාබි පාඨයක් සහිත කාසියක් වන මෙය කොක්කක හැඩය ගත් බැවින් කොකු රිදී නමින් මෙ රට දී හඳුන්වන ලදී (Codrington 1924:162). කාසිය දෙපැත්තෙහි වූ පාඨය වූෙය් “දෙවියන් වහන්සේගේ ධූතයා මොහොමදුය” “අලී දෙවියන් වහන්සේගේ මිත‍්‍රයෙකි” යන්නයි (කල්දේරා 1959:24). හෝර්මවුස් සෙරපීම් හා ලාරින් කාසි ඉන්දියාවෙහි බටහිර වෙරළෙහි හා අරාබියානු මුහුදු කලාපයෙහි ප‍්‍රධාන මූල්‍යය මාධ්‍යය ලෙස පැවතණු (Codrington 1924:92) හෝර්මවුස් ලාරින් නමින් හැදින්වෙන හෝර්මවුස්හි නිපදවන ලද කාසි වඩාත් විස්තීර්ණ ලෙස පැතිර තිබූ අතර, එය වර්ෂ 1507 දී සිදුවන ඇල්බුකර්ක්ගේ හෝර්මවුස් ආක‍්‍රමණයට ද හේතු විය. ටූරාන් ෂා (ක‍්‍රි.ව. 1543-1563) හා ෆාරුක් ෂා (ක‍්‍රි.ව. 1564-1601) නම් හෝර්මවසු් රජවරුන්ගේ කාලයන්හි හෝර්මවුස් ලාරින් ඉතා ඉහළ වැදගත්කමක් දැරූ බව සඳහන් වේ (Wood 1934:15-16) හෝර්මවුස් රජවරුන්ල බිජාපූර්හි පාලකයින්ල පර්සියාවේ ෂා රජවරුන් හා මාලදිවයිනෙහි සුල්තාන්වරුන් ලාරින් කාසි නිකුත් කර තිබේ (Codrington 1918:12). 17 වැනි සියවස දී ලාරින් කාසියක් දේශීය රීස් 100ට සමාන වූ බව දැක්වේ (Queyroz 1930:22).

ලාරින් පිළිබඳ ව මෙ රට මූලාශ‍්‍රයන්හි මුල්වරට සඳහන් වන්නේ ක‍්‍රිස්තු වර්ෂ 1517 දී තරමේ ය. කෝට්ටේ රජු සීතාවක විසූ තම තරුණ වියේ දී මිනීමැරුමක් සඳහා ලේ මිල ලෙස ලාරින් පනහක් ගෙවූ අවස්ථාවක් පිළිබඳ ව පවසන කතාන්දරයක මෙම කාසි සඳහන් කරන්නේ ය (Pieris 1992:50). ක‍්‍රිස්තු වර්ෂ 1551 දී පෘතුගීසින් විසින් කොල්ලකන ලද කෝට්ටේ රාජ්‍යයෙහි වස්තුව අතර ද ලාරින් කාසි පිළිබඳ ව සඳහන් වේ ((Wood 1934:22). තම විජිතයෙහි මුදල් පරිහානිය නිසා දොන් ජුවන් ධර්මපාල රජු රිදී කඩුවක් හා කිරිච්චියක් ඉන්හෙම්ස් නැවේ කපිතන්ට දී ඉන් ලාරින් අච්චු ගසන්නට නියෝග කළ බව කූතෝ දක්වයි (Ferguson 1908:233). පනාව ප‍්‍රදේශයෙන් පෘතුගීසින්ට ගෙවන ලද කප්පම් ලාරින් 500ක් බව දැක්වේ (Pieris 1992:329).

larin-kandy-kavan-rathnatunga-sri-lanka
මහනුවර අවධිෙය් ලාරින් කාසි ( ෙමය http://coins.lakdiva.org/ අඩවිෙයන් උපුටා ගන්නා ලදී.)

මහනුවර සමයෙහි අවසානයේදී ලාරින් කාසියක් තුට්ටු දහයකට දල ලාරින් කාසි පහක් රිදී පහේ කාසියක් හෙවත් පතාග කාසියකට ද සමවිය (කල්දේරා 1959:25). තව ද එ කල මෙම කාසිය හඳුන්වන ලද්දේ රිදී හෝ කොකු රිදී ලෙසිනි. නොක්ස් සඳහන් කරන අන්දමට “රජුගේ අවසරය ඇතිව හැම කෙනෙකුටම සාදා ගත හැකි කාසියක් ද මෙහි පරිහරණය විය. බිලි කොක්කක හැඩයෙන් යුත් මේ කාසියෙහි තමන් කැමති ලකණුක් යොදා ගන්නට දල එය සාදා ගන්නට ද අවසර ඇත්තෙය්ග රිදී කාසියක් අටේ කාසියට වඩා පැහැයෙන් හා සටහනින් දැකුම් කලූය. කාසියක් පිළිබඳ කිසියම් සැකයක් ඇති වුවහොත් එය ගින්නෙහි ලා රත්කොට නැවත සෝදාලීමෙන් පසු පිරිසිදු සුදු පැහැය නොගතහොත් එය වලංගු කාසියක් නොවනබව දැනගත හැකි ය” (Knox 1989:277). ෙම් අනුව, පෙනීයන්නේ මහනුවර රාජධානි සමයේ දී ප‍්‍රධාන මූල්‍ය ඒකකයක් බවට පත්ව තිබූ ලාරින් කාසි හොරෙන් මුදාණය කිරීම ද පැවති බවයි. අරාබියානු රටවල් සමඟ ලංකාවේ රජවරුන් පවත්වන ලද සබඳතා අසුන් වෙළඳාම මත පදනම් වූ හෙයින් ද මෙ සියවස වන විට ලංකාවේ බටහිර දිග වරායන් සාගරීය වෙළඳාම තුළ ජනප‍්‍රියත්වයක් ඉසිලූ බැවින් ද අරාබි කාසි බොහෝ සෙයින් ලංකාවේ බටහිර වෙරළාසන්නයෙන් ලැබීම ද ඔවුන්ගේ වානිජ සීමාව නියම කරන්නට ඉවහල් වෙයි (කලේද්රා 1959:26). වර්ෂ 1925 දී ගම්පොළ අසළ තිබී ලාරින් කාසි 819 හා වෙනත් කාසි 14 කින් ද යුත් නිධානයක් සම්භ විය. ලාරින් කාසි ලංකාවේ එක් තැනක තිබී හමු වූ විශාල ම තොගය මෙයයි (කල්දේරා 1959:26).

තංගම වර්ගයේ කාසි

දහහත් වැනි සියවසෙහි මැද භාගයේ දී පෘතුගීසින් විසින් ලංකාවට හඳුන්වා දෙන ලද තංගම නොහොත් ටැංගෝ මස්ස කාසිය ද උඩරට රාජධානෙියහි භාවිත කෙරුණු වලංගු කාසි අතර වූ බව නොක්ස්ගේ විස්තරයෙන් තවදුරටත් පැහැදිලිවන්නේය. “ලංකාවේ වලංගු වූ කාසි තුනක් වෙයි. එයින් එක් වර්ගයක් නම් පැත්තක රාජාභරණයක් ද, අනෙක් පැත්තෙහි දේව රූපයක් ද සලකුණු කොට ඇති පෘතුගීසි කාසියක් වූ ටැංගෝ මස්ස ය. මෙම කාසියේ වටිනාකම ඉංගී‍්‍රසි තඹයකි. මෙයින් අර්ධයක වටිනාකම ඇති කුඩා කාසියක් ද ඇත්තේය” (Knox 1989:277). මෙම විස්තරය අනුව තංගම කාසෙියහි, අභිමුඛෙයහි පෘතුගාල රාජ්‍ය ලාංඡනය හා ප‍්‍රතිමුඛෙය් ශාන්තුවර රූපය පැවති බැව් තහවුරු වන්නේ ය. පෘතුගීසින් විසින් මෙ රට භාවිතයට හඳුන්වා දෙන ලද තංගම කාසි අතර ශාන්තුවරුන් ති ෙදනෙකුගේ රුව රැගත් කාසි වෙත්. එනම්, ශාන්තුවර තෝමස්, ජොහාන් සහ පිලිප් ය. මින් ශාන්තුවර තෝමස් වර්ගය රන් කාසියක් වූ අතර, සෙසු දෙවර්ගය රිදී කාසි විය (Codrington 1924:104). මේ අතරිනුදු බහුල ව හඳුනා ගැනෙන්නේ ශාන්තුවර ජොහාන් තුමාගේ රුව රැගත් කාසි වන බැවින් නොක්ස් දක්වන්නේ එම වර්ගයේ කාසි පිළිබඳ ව බව සැලකිය හැකි ය. වඩාත් වැදගත් කාරණාව වන්නේ, පෘතුගීසින් විසින් මෙ රට භාවිතය සඳහා තංගම හා ද්විත්ව තංගම ලෙස කාසි වර්ග දෙකක් හඳුන්වා දෙන ලද අතර (Codrington 1914:21) නොක්ස් දක්වන ලොකු හා කුඩා ටැංගෝ මස්ස කාසි ද්විත්ව තංගම හා තංගම කාසි දෙ වර්ගය ලෙස හඳුනාගත හැකි වීමයි (මෙස්ලින්කා 2013:192).

පෘතුගීසින්ගේ පාලනය යටතෙහි ඔවුන් විසින් මෙ රට භාවිතයට නිකුත් කරන ලද රිදී කාසි දේශීය ලාරින් කාසි භාවිතයට සම කාලීන ව නිකතු් කළ බව අදහස් වේ (Lowsley 1895:223). පසු කාලීන ව ඔවුන් විසින් ලාරින් කාසිය අභාවිතයට යවා ඒ වෙනුවෙන් තංගම කාසිය මෙ රටට හඳුන්වා දෙනු ලැබී ය (Codrington 1917:180). කොකු හැඩයක් ගත් ලාරින් කාසියෙහි රූප විපර්යාසයකට ලක්කර වෘත්තාකාර කාසියක් ලෙස නිපදවන ලද අතර එය “තංගම” ලෙස විශේෂ නාම විපර්යාසයකට ද ලක්කරන ලදී. උඩරට රාජධානියෙහි භාවිත කරන ලද කාසි සම්බන්ධයෙන් සිදුකරන ලද මෙම විමසුමේ දී වඩා වැදගත් වන්නේ, පෘතුගීසින් විසනි් ලාරින් හෝ රිදී කාසිය තංගම කාසියට සමාන කර භාවිත කිරීම ආරම්භ කර තිබුණ ද තවදුරටත් එම කාසි මුල් ස්වරූපයෙන් භාවිත වූ බව හා හඳුන්වන ලද බව අනාවරණය කරගත හැකි වීමයි. කන්ද උඩරට රාජ්‍යයෙහි පැවති හුදකලා බව රටේ බලපවතව්න ලද ප‍්‍රධාන ආර්ථික ප‍්‍රවාහය හා එක්වීම යම්තාක් දුරකට පමාකරන ලද බව ඒ අනුව පෙනී යන්නේ ය.

ඉහත සාකච්ඡාවට ලක්කරන ලද කාසි තෙ වර්ගය හැර උඩරට රාජධානි සමයෙහි භාවිත වූ වෙනත් කාසි වර්ග පිළිබඳ ව තොරතුරු නොලැබේ. (දහ අට වැනි සියවසේ දී ලන්දේසින්ගේ බලපෑමෙන් හා පසු කාලීන ව ඉංග‍්‍රීසි බලපෑමෙන් උඩරට රාජධානෙියහි භාවිත කාසි පිළිබඳ ව මෙහි දී අවධානයට ලකේනාකෙරේ. මෙ කල පගෝද, සල්ලි හා තට්ටු ආදී රිදී හා තඹ කාසි භාවිත වූ බවට තොරතුරු ලැබේ.) භාණ්ඩ හුවමාරුව මත ම පදනම් වූ උඩරට සමාජය තුළ විනිමය මාධ්‍යයක් ලෙස කාසිවලට හිමිවූයේ ද්විතයී ස්ථානයකි. එ බැවින් එහි දක්නට ලැබුණේ කාසි භාවිතයෙහි හීනත්වයකි. අවසාන රජතුමාට කාසිවලින් ලැබුණු මුළු ආදායම රන් පවුම් 1,500ට වඩා වැඩි නොවූ බවට (ඬේව් 2002:225) එන සඳහන උපුටා දක්වන පීරිස්ගේ අදහස වන්නේ, “සෑම වර්ගයක ම කාසි හිඟවීම රජතුමාගේ මුදල් ආදායම සීමා කළ ප‍්‍රබල හේතුවක්” බවයි (පීිරිස් 2001: 106).

මහනුවර රාජධානිය වානිජ රටාව තුළ කාසි භාවිතය සම්බන්ධයෙන් සිදුකරන ලද මෙම මූලික අධ්‍යයනයේ දී, මූලික වශයෙන් භාණ්ඩ හුවමාරු ආර්ථික රටාවක් පුහුණු කළ උඩරට ජනතාවට කාසි භාවිතය සම්බන්ධ අවශ්‍යතාවක් නොවූ බව පෙන්වා දිය හැකි ය. එම උත්තේජනය ඔවුන් අතර ඇති කරවන ලද්දේ ශ‍්‍රී ලංකාවේ ස්වභාවික පිහිටීම හා මෙ රටට අනන්‍ය වූ සම්පත් මතිනි. ඒ කෙරෙහි ෙලාල් විදේශීය වෙළෙඳුන් විසින් මෙ රට කෙරෙහි බලපවත්වන ලද වානිජ ආර්ථික රටාවෙහි ප‍්‍රතිඵලයක් ලෙස මුල්කොට මුහුදුබඩ කලාපය තුළ ව්‍යාප්ත වූ කාසි භාවිතයෙහි ආභාසය උඩරට රාජධානිය වෙතට ද ඇදීගිය ආකාරය පැහැදිලි ය.

ආශ‍්‍රිත ග‍්‍රන්ථ නාමාවලිය

  • කල්දේරා, ලීලානන්ද (1959), ලංකාවේ මිල මුදල්, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව, කොළඹ.
  • ඬේව්, ජෝන් (2002) II, ෙඩ්ව් දුටු ලංකාවල ඇලේලපොල, අනු. එච්.එම්. සෝමරත්න, විසිදුනු ප‍්‍රකාශන, බොරලැස්ගමුව.
  • පීරිස්, රැල්ෆ් (2001) II, සිංහල සමාජ සංවිධානය, මහනුවර යුගය, විසිදුනු ප‍්‍රකාශන, බොරලැස්ගමුව.
  • මෙස්ලින්කා, ආර්.එම්.ඞී.එල්. (2013), ශ‍්‍රී ලංකාවේ භාවිත වූ පෘතුගීසි කාසි පිළිබඳ පුරාවිද්‍යාත්මක අධ්‍යයනයක් (අමුද්‍රිත),  ශාස්ත‍්‍රවේදී ගෞරව උපාධිය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කරන ලද ස්වාධීන පර්යේෂණ නිබන්ධය.
  • රාජාවලිය (1997), සංස්. ඒ.වී. සුරවීර, ලේක් හවසු් ඉන්වෙස්ට්මන්ට් සමාගම, කොළඹ.
  • Codrington, H.W. (1914), Catalogue Of Coins In The Colombo Museum, Part I, Hertford,Stephen Austin and Sons Ltd.
  • Codrington, H.W. (1915), Coins of Some Kings of Hormous, Numismatic Chonicle, pp.157-159.
  • Codrington, H.W. (1917), Ceylon Numismatics, The Journal of The Royal Asiatic Society, Vo.xix,1915-1916, Colombo,The Colombo Apothecaries Co. Ltd., pp.169-186.
  • Codrington, H.W. (1918), Ceylon Numismatics, Colombo:The Colombo Apothecaris Co. Ltd.
  • Codrington, H.W. (1924), Ceylon Coins And Currency, Colombo, A. C.Richards, Acting Government Printers
  • Cunha, Gerson Da J. (1995) (Reprint), Contributions to The study of Indo- Potuguese Numismatics, New Delhi, Asian Educational Service.
  • Ferguson, Donald (1908), The Discovery Of Ceylon by The Portuguese In 1506, The Journal Of The Royal Asiatic Society, Vol.XIX, 1906-07, Colombo, H. C.Cottle Government Printers, pp.284-400.
  • Knox, Robet – (1989) (II), An Historical Relations Of The Island Of Ceylon, J. H. O. Paulusz(ed), Vol.II, Dehiwala, Tisara Prakasakayo
  • Lowesley, B. (1895), Coins of Ceylon, Numismatic Chronicle, Series iii,Vol.xv, pp.223-247
  • Paranavitana, S. (1943), Epigraphia Zeylanica,Vol.IV,London, Oxford University Pieris, P.E. – 1992(II), Ceylon The Portuguese Era, Vol.I, Tisara Prakasakayo Ltd, Dehiwala.
  • Queyroz Fr, Fernao da (1930), The Temporal and Spiritual Conquest Of Ceylon, S.G.Perera (Tr), A. C.Richards, Acting Government Press, Colombo.
  • Shenoy, B.R. (1941), Ceylon Currency and Banking, Green and Com.Ltd, London.
  • Silva, de G. P. H. S. (2000), August, History Of Coins And Currency In Sri Lanka: 3rd Century BC to 1998 AD, Central Bank Of Sri Lanka, Colombo.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.