එන්.එච්. සමරසිංහ

එන්. එච්. සමරසිංහ

සිංහල චිත්‍ර ශිල්පීන් අනුරාධපුර යුගයේ සිට අනුගමනය කළ සම්භාව්‍ය සම්ප්‍රදාය පොළොන්නරු යුගයේ දී තරමක් වෙනස් වූ බවක් පෙනේ. මේ බව ඒත්තු ගන්වන සිතුවම් සම්ප්‍රදායන් දෙකකට නෑකම් කියන සිතුවම් රැසක් ඇති කලාගාරයක් ලෙස තිවංක පිළිම ගෙය හැඳින්විය හැකි ය. තිවංක පිළිම ගෙයි ඇති සිතුවම් බෞද්ධ සිතුවම් කලාවේ සන්ධිස්ථානයක් ලෙස සමහරු හඳුන්වති. මෙහි සිතුවම් පසු කාලින බෞද්ධ සිතුවම් වල ශෛලිය කෙරෙහි බලපෑමක් සිදුකොට ඇත. බෞද්ධ විහාරයක අඳින ලද පැරණිතම ජාතක කතා සිතුවම් දක්නට ලැබෙන්නේ පොළොන්නරුවේ  තිවංක පිළිම ගෙයෙහි ය.

ක්‍රිස්තු වර්ෂ 1153-1186 අතර කාලයේ පොළොන්නරුව රාජධානියේ රජ වූ මහා පරාක්‍රමබාහු රජතුමා කර වූ ජේතවනාරාම සංකීර්ණයේ විහාර ගෙය තිවංක පිළිම ගෙයයි. මෙය උතුරු වෙහෙර ලෙස ද හඳුන්වා ඇත. පොළොන්නරුවේ ලංකාතිලකය, ථුපාරාමය මෙන්ම මේ විහාර ගෙය ද ගෙඩිගේ සම්ප්‍රදායේ පිළිම ගෙයකි. මෙහි වූ අඩි 35ක් පමණ උස හිටි බුදු පිළිමය දන, උකුල හා උරහිස යන තුන් තැනින් නැමුණු සේ ඉදිකොට තිබු බැවින් එය තිවංක පිළිම ගෙය ලෙස හැඳින්වින.

තිවංක පිළිම ගෙය
තිවංක පිළිමය

මේ ගොඩනැඟිල්ලේ දිග අඩි 133ක් පමණ වන අතර පළල අඩි 67ක් පමණ වේ. ආරුක්කු හැඩයෙන් ගඩොළින් කළ පියස්සක් තිබු මෙහි උස අඩි 55ක් පමණ වන්නට ඇතැයි අනුමාන කෙරේ. මෙහි බිත්ති අඩි 7 සිට 12 පමණ වන ඝනකමින් යුක්ත ය. මේ ගොඩනැඟිල්ල ඉදිකිරීමේ දී පශ්චාත් පල්ලව ගෘහ නිර්මාණ ශිල්පය අනුගමණය කර ඇති බවක් පෙනේ. මේ ගොඩනැඟිල්ලේ ගෘහ නිර්මාණ ශිල්පය අනුරාධපුර යුගයේ ගෘහ නිර්මාණ ශිල්පයේ ම ස්වාභාවික සංවර්ධනයක් බව සෙනරත් පරනවිතාන මහතා අදහස් කරයි. ගොඩනැඟිල්ලේ පිටත බිත්ති විමාන, දෙවරූප, වාමන රූප, සිංහ රූප, හංස රූප, කුඩ්‍යස්ථම්භ, බෝධි සත්ව  ආදී නොයෙක් කැටයම් වලින් පරිපුර්ණ කොට ඇත. පිළිම ගෙය තුළ දෙ පස වේදිකාවේ රැඳ වු ගල් කණු ආදාරයෙන් ඉහල මහල් තනා තිබී ඇත.

තිවංක පිළිම ගෙය
කොරවක් ගලක්
මුර ගලක්

මේ හැමටම වඩා මේ විහාරය විශේෂ වන්නේ එහි දක්නට ලැබෙන බිතුසිතුවම් නිසාවෙනි. තිවංක පිළිම ගෙය තුළ සස, ආසන්කවතී, මුගපක්ඛ, මෛත්‍රී බල, වෙස්සන්තර, තුන්ඩිල, විධුර, ගුත්තිල, චුල්ල පදුම, සාම, මහා සුදස්සන, කුස, උම්මග්ග ආදී ජාතක කතා ද, බුද්ධ චරිතයේ විවිධ අවස්ථා ද, දේවාරාධනාව, සතරවරම් දෙවිවරු, බුදුරජාණන් වහන්සේ දෙව්ලොව සිට සංකස්ස නුවරට වැඩමවීම ආදී සිතුවම් ඇඳ තිබිණ.

චුල්ල පදුම හා මෛත්රීබල ජාතක
තේමිය ජාතකය
මහා මායා දේවිය දුටු සිහිනය

1215 දී පමණ කාලිංග මාඝ පොළොන්නරුව ආක්‍රමණය කොට වසර 21ක් පමණ එහි පාලනය ගෙන ගියේය. මේ කාලයේ දී ඔහු බෞද්ධ වෙහෙර විහාර රාශියක් විනාශ කරන්නට පෙළඹින. ඒ අනුව, මේ තිවංක පිළිම ගෙය හා එහි ඇඳි සිතුවම්ද විනාශයට පත් කළේ ය. 1236 දී දෙවන පරාක්‍රම බාහු රජතුමා පොළොන්නරුව නැවත අත්පත් කරගැනීමෙන් පසු මේ තිවංක ගෙය ඇතුළු විනාශයට පත්කොට තිබු වෙහෙර විහාර රැසක් ඔහු ප්‍රතිසංස්කරණය කළේය.  

පසු කාලීනව සිංහල රාජධානිය දකුණු දෙසට සංක්‍රමණය වූයෙන් පොළොන්නරුව වල්බිහි විය. සියවස් අටක් පමණ මේ විහාර ගෙය ද අත්හැර දමා තිබූයෙන් එය ගරාවැටී ඒ මත රූස්ස ගස් පවා වැවී තිබුණි. 1885 දී පමණ මේ ගොඩනැඟිල්ල පාදා ගනු ලැබුවේ එවකට සිවිල් නිලධරියෙකුව සිටි එස්.එම්. බරෝස් මහතාය. පිළිමගෙය ගරාවැටී හා  එහි වූ සිතුවම් වල දීප්තිමත් භාවය ද බොහෝදුරට අඩු වී තිබුන ද ඒවා යම් තරමකට ආරක්ෂාවී තිබී ඇත. මේ සිතුවම් සමහරක් 1886 දී ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවෙකු වූ ඒ. මරේ නම් මහතෙකු විසින් පිටපත් කොට ඇත. මේ සිතුවම් සංරක්ෂණය කිරීමට පියවර ගෙන ඇත්තේ 1940 පමණ කාලයේ දී ය. එහෙයින් මේ සිතුවම් සොයා ගැනීම හා සංරක්ෂණය කිරීම යන කාල සීමාවන් අතරතුර ද ඒවා සෑහෙන ප්‍රමාණයකට විනාශ වී ගොස් ඇති බව ද කියති.

ශ්‍රී ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් එච්.සී.පී. බෙල් මහතාත් ඊළඟ කොමසාරිස් වරයා වූ ලෝන්ග්හර්ස්ට් මහතාත් මෙහි සිතුවම් ආරක්ෂා කරගැනීමට පියවර ගෙන ඇත. සිතුවම් මතුපිට මි ඉටි ආලේප කොට ඇත්තේ ලෝන්ග්හර්ස්ට් මහතාගේ කාලයේ ය. සෙනරත් පරණවිතාන මහතා ද මේ සිතුවම් ආරක්ෂා කර ගැනීම සඳහා බොහෝ පියවර ගෙන ඇත. දැන් මේ ගොඩනැඟිල්ල ආරක්ෂා කර ගැනීම සඳහා විශාල වහලක් ඉදිකර ඇත.

තිවංක පිළිම ගෙයෙහි බුදු පිළිමය ගඩොළු හා මැටි ආදියෙන් නිමවා බදාම වලින් පිරියම් කොට වර්ණාලේප කර තිබෙන්නට ඇත. පද්මාසනයක් මත ත්‍රිභංග ආකාරයෙන් නිමවා ඇති මෙහි ශීර්ෂය කොටස හා දෑත් ආදිය  විනාශ වී ඇත.

තිවංක පිලිමගෙයහි ද්වාර මණ්ඩපය, අන්තරාලය හා ගර්භ ගෘහය යන ස්ථාන තුනෙහිම විනාශයට පත් නොවූ සිතුවම් කොටස් දැකගත හැකි ය. පිරියම් කරනු ලැබූ වියලි බිත්ති මත රතු රේඛා වලින් සලකුණු කොට වර්ණ ගන්වා ටෙම්පරා ක්‍රමය අනුව සිතුවම් ඇඳ ඇති බව පෙනේ. සිතුවම් වර්ණ ගැන්වීම සඳහා යොදාගෙන ඇත්තේ රතු, කොළ, කහ හා කළු යන වර්ණ හතරයි. මේ වර්ණ පිළියෙළ කිරීම සඳහා යොදාගෙන ඇත්තේ සාදලිංගම්, ගුරුගල් පතඟී, නිල් අවරිය, නොයෙක් කොළ වර්ග, ගොකටු, හිරියල්, මකුළු මැටි, දුම්මල, කොහොල්ලා ආදිය පිලිස්සීමෙන් ලබාගත් දැලි ආදියයි. සිතුවම් කල් පවත්වා ගැනීම සඳහා ද නොයෙක් දේශීය අමුද්‍රව්‍ය යොදා සකස් කරගත් ආලේපන වර්ග යොදාගෙන ඇත.

මේ සිතුවම් පිළිම ගෙය තුළ ස්ථානගත කොට ඇත්තේ ද ක්‍රමවත් සැළසුමකට අනුව ය. පිළිම ගෙයි පිටත කොටසේ බෝධිසත්ව අවධියේ පාරමිතාවන් දැක්වෙන ජාතක කථා වලටත්, මැද කොටස දේව අවධියටත්, අභ්‍යන්තර කොටස බුද්ධත්වයෙන් පසු අවස්ථාවන් පිළිබිඹු කිරීමටත් වෙන්කරගෙන ඇත.

තිවංක පිළිම ගෙයි ඇඳ ඇති සිතුවම් අතරින් හඳුනාගත හැකි ලෙස ශේෂ වී ඇති සිතුවම් සමහරක් මෙසේ ය.

  1. විහාරගෙයට ඇතුළුව ඉදිරියට යනවිට පළමුව වම් පැත්තේ ආසන්කවතී ජාතකය දැක් වේ
  2. ඊළඟට ඇත්තේ සස ජාතකයයි
  3. ඒ ඉදිරිපස දකුණු පස කාලගෝල කතාවයි
  4. දකුණේ අනතුරුව මහා මායා දේවිය දුටු සීනය හා බෝසත් උපත ඇත
  5. වම් පස විදුර, චුල්ලපදුම හා මෛත්‍රී බල ජාතක කතා ඇඳ තිබේ
  6. නැවත දකුණු පස මහා සුදස්සන හා තේමිය ජාතක වේ
  7. ඊළඟට වම පස බිත්තිය පුරා තුසිත දෙව්ලොව සිටි බෝසතුන්හට බුදුවීමට දෙවි වරුන් විසින් කරන ‘දේවාරාධනාව’ දැක් වේ
  8. පිළිමය ඉදිරි පස බිත්තියේ සතර වරම් දෙවි වරුය. ඒ අතර දැක්වෙන අමුතු ආකාරයේ හිස්වැස්මක් පැළඳ ඇති අය පිට සක්වල වැසියෙක් ලෙසට සමහරු අර්ථ දක්වති
  9. පිළිමයට දකුණු පස බිත්තියේ බුදු රජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොව සිට සංකස්ස නුවරට වැඩමවීම චිත්‍රණය කර තිබේ

පිළිමගේ ඇතුළත කුළුණු වල ද අලංකාර මෝස්‌තර දක්නට ඇත.

මේ සිතුවම් අතරින් විශාලතම හා කැපී පෙනෙන සිතුවම වන්නේ ‘දේවාරාධනාව’ සිතුවමයි. චිත්‍රය මැද බෝසතුන්ගේ සිතුවම ද, දෙපස පරිවාර දෙවි වරුන්ගේ සිතුවම් ද වේ. දෙවි වරුන්ගේ යටි කය මල් ගවසන ලද වස්ත්‍රයකින් සරසා ඇති අතර බාහුවල, ගෙලෙහි හා කන්වල ආභරණ පැළඳ ඇත. කේතුරූපාකාර හිස් පළඳනාවකි. මුහුණු වලින් ඉරියව්වලින් දයාව, කරුණාව, සුහද බව පෞරුෂය ආදිය ඉස්මතුකර ඇති ආකාරය අපුරුය. රුප සමානුපාතිකව හා සියුම් රේඛා වලින් විස්තර තියුණු ලෙස ඉදිරිපත් කර ඇත. ත්‍රිමාන ආකාරයෙන් නිරූපිත මේ චිත්‍රය පොළොන්නරු යුගයේ අග්‍රගන්‍ය නිර්මාණයක් ලෙස විද්වතුන්ගේ සම්භාවනාවට පාත්‍ර වී ඇත.

දේවාරාධනාව
දේව රූප

කොළඹ ජාතික කෞතුකාගාරයේ ඇති අනුරූ සිතුවම්

දේව රූප
ආසන්කවති ජාතකය
ආසන්කවති ජාතකය

බුදු රජාණන්වහන්සේ තාවතින්ස දෙව්ලොව සිට සංකස්ස නුවරට වැඩමවීම දැක්වෙන සිතුවම ද මුළු බිත්තිය පුරාම පැතිරුණු ඉතා විශාල එකකි. අන්තරාලයේ ඇඳ ඇති ජාතක කථා සිතුවම් සාමාන්‍යයෙන් මීටර් එකක් පමණ උසකින් හා මීටර් දෙකක් පමණ පළලකින් යුක්ත වේ. මේවා අතර ඇති චුල්ල පදුම ජාතකය කලාත්මක බැවින් පිරිපුන් නමුත් සමහර ඒවා අනෙකුත් චිත්‍ර සමග සසඳන විට එතරම් සාර්ථක ඒවා නොවන බව කලා විචාරකයින්ගේ අදහස වී තිබේ.

විහාරයේ සමහර සිතුවම් වලට යටින් තවත් පැරණි සිතුවම් දක්නට ලැබුන බව කියති. මෙය පසු කාලීනව විහාරය ප්‍රතිසංස්කරණය කල බවට වූ සාක්ෂියකි. චිත්‍ර අතර යුග දෙකක ලක්ෂණ තිබෙන බව ද සැලකිය යුත්තකි. අන්තරාලයේ හා ගර්භ ගෘහයේ සම්භාව්‍ය සිතුවම් පොළොන්නරුවේ මහා පැරකුම්බා සමයට අයත්සේ සැලකෙන අතර ප්‍රවේශ මණ්ඩපයේ සිතුවම් දඹදෙණි යුගයට අයත් ලෙස සැලකේ.

ජාතක කතා සිතුවම් වල දැකිය හැක්කේ ජන චිත්‍ර කලා සම්ප්‍රදායයි. ජාතක කතාව ඉදිරිපත් කිරීම සඳහා වෘතාන්ත ශෛලියෙන් කතාවේ එක් අවස්ථාවක් චිත්‍රණය කොට ඇත.

ගොඩනැඟිල්ලේ පිටත බිත්තිවල නිර්මාණය කර ඇති විමාන, දේව, වාමන හා සිංහ රූප ආදී මුර්ති ගැන ද අවධානය යොමුකිරිම වටී. ලංකාවේ වෙනත් කිසිදු තැනක දැකිය නොහැකි තරම් සංකීර්ණ විමාන කැටයම් මෙහි දක්නට ලැබේ. ගොඩනැඟිල්ලේ පහල කොටස් අවශ්‍යතාවන් ඉක්මවා අලංකාර කොට තිබීම නරඹන්නන්ගේ නෙතට බාධකයක් වී ඇතැයි ද එය වාස්තුවිද්‍යාත්මක දෝෂයක් යයි ද අනුරාධ සෙනෙවිරත්න මහතා සඳහන් කොට ඇත.

වාමන රූප 
විමාන රූප
විමාන රූප

කලකට පෙර කෘතීම ආලෝක කිරීමෙන් තොරව මෙහි සිතුවම් වල පින්තුර ගැනීමට ඉඩ දී තිබුන ද, මේ වන විට සිතුවම්වල ආරක්ෂාව ගැන සලකා පින්තුර ගැනීමට දී තිබු අවසරය අත්හිටුවා ඇත. මේ සිතුවම්වල අනුරූ කොළඹ ජාතික කෞතුකාගාරයේ හා දඹුල්ලේ බිතුසිතුවම් කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරේ.

සිංහ රූපයක්

තිවංක පිළිම ගෙය බලන්නට මට සිත්වූයේ ද කොළඹ කෞතුකාගාරයේ ඇති අනුරූ සිතුවම් දැකීමෙන් ඇතිවූ කුතුහලයයි. අනුරුවට වඩා මුල් සිතුවම දැකීම හැම අතින්ම අගනේය. එහෙයින් මේ සිතුවම් තවදුරටත් ආරක්ෂා කරගැනීම අප හැමගේ යුතුකමයි.

----------------------------------------------------------------------------------
මෙම ලිපිය 2019.10.28 දින www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ ප‍්‍රකාශයට පත් විය.
----------------------------------------------------------------------------------

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.