ඩබ්.එම්. චින්තක සඳරුවන්

පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ.

චින්තක සඳරුවන්

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික යුගය අදින් වසර එක්ලක්ෂ විසිපන්දාහකට පෙර ආරම්භ වී ක‍්‍රියාත්මක වී ඇති බව හඳුනාගෙන ඇත (දැරණියගල, 1991:25-26). මෙම යුගයේ ජිවත් වූ මානවයින් තමන්ගේ වාසස්ථාන ලෙස තෝරාගන්නා ලද්දේ ගල් ලෙන් හා විවෘත භූමි ය. මේ පිළිබඳ සාධක මෙතෙක් සිදුකර ඇති පුරාවිද්‍යාත්මක කැනීම් හා ගවේෂණයන්ගෙන් ලැබි ඇත. ෆා-හියංගල, කිතුල්ගල, බටදොඹලෙන, දොරවක ආදි ගුහා ක්ෂේත‍්‍රයන් හා  බුන්දල, පතිරාජවෙල, උස්සන්ගොඩ යන එළිමහන් භූමිත් එහි දී වැදගත් වේ. චාල්ස් ඩාවින්ගේ සත්ත්ව සම්භවයත් මානව පරිණාමයත් පිළිබඳ ව නව ඉගැන්විම් සමාජගත විමත් සමඟ ප‍්‍රාග් මානව සමාජයන් පිළිබඳ ව පුළුල් ව අධ්‍යනය කිරීම ඇරබි අතර එහි ප‍්‍රථිඵලයක් ලෙස ලංකාවේ ජීවත් වන වැදි ජනතාව ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික යුගයේ ජිවත් වූ බලංගොඩ මානවයන්ගෙන් පැවත එන ජන කොටසක් බව හඳුනාගැනීම සඳහා විවිධ පර්යේෂණ සිදු කර ඇත. වැද්දන් පිළිබඳව අර්ථ දක්වා ඇති ජී. සී. මැන්දිස් විසින් වැද්දන් ලෙස හදුන්වා ඇත්තේ ‘ඉන්දියාවේ දකුණු ප‍්‍රදේශවල විසු පුර්ව ද්‍රවිඩ කැලෑබඳ ජන කොට්ඨාසයක ජීවත් වු ඉරුලා සහ කුරුම්බාවරුන්ට සමාන ගෝත‍්‍රයකින් පැවත එන ජන කොටසක්’ බවයි (මැන්දිස්, 2006:11). ඔවුන් මෙ රට මුල් ම ගෝත‍්‍රික ජනයා වු බව ද ඔහු සඳහන් කර තිබේ. ලංකාවේ වැදි ජනතාව පිළිබඳ ව සී. ජී. සහ බී. ඉසෙඞ් සෙලිග්මාන්, ජොන් ස්ටීල් වැනි පුද්ගලයින් මානවංශ විද්‍යාත්මක අධ්‍යයනයන් සිදු කර ඇත. වැදි ජනයා අධ්‍යයනය කිරිමේ දී අවධානයට ලක්වන තවත් වැදගත් කරුණක් වන්නේ වැදි ජනයා විසින් අදින ලදැ’යි සැළකෙන ප‍්‍රාථමික ශෛලියේ ගුහා සිතුවම් වේ. ප‍්‍රථමික ශෛලීයේ ගුහා සිතුවම් පිළිබඳ ව විවිධ විද්වතුන් අධ්‍යයනයට ලක් කර විවිධ මත ඉදිරිපත් කර  තිබේ. එව්.සී.පී. බෙල්, සී.ජී. සහ බී.ඉසෙඞ් සෙලිග්මාන්, ජොන් ස්ටීල්, ජී.එෆ්.ආර්. බ‍්‍රවුනින්, පී.ඊ.පී. දැරණියගල, සද්ධාමංගල කරුණාරත්න, ඒ.ටී. රඹුක්වැල්ල, එස්.ජේ. කදිරගාමර්, එල්.ඒ. ආදිත්‍යය, බී.ඩී. නන්දදේව, සෙනරත් වික‍්‍රමසිංහ හා රාජ් ‌සෝමදේව ආදී විද්වත්හු ඒ අතරින් වැදගත් වේ. ප‍්‍රාථමික ශෛලීයේ ගුහා සිතුවම්, ප‍්‍රාග් ඓතිහාසික සිතුවම් මෙන් ම වැදි චිත‍්‍ර යන විවිධ නාමයන්ගෙන් හදුනාගන්නා මෙම සිතුවම් පිළිබඳ ව විවිධ විද්වතුන් අතර මතබේද පවති. සිරාන් දැරණිගල සඳහන් කරන පරිදි ප‍්‍රාග් ඓතිහාසික සිතුවම් ක‍්‍රමයක් ලංකාවේ නොමැත (බිනරගම,2008:14). සේනක බණ්ඩාරණායක මෙම සිතුවම් ප‍්‍රාග් ඓතිහාසික යුගයේ සිතුවම් ලෙස  ස්ථිර ව සඳහන් නොකල ද ඒවා ප‍්‍රාග් ඓතිහාසික යුගයේ චිත‍්‍ර වශයෙන්  සැලකීම වඩා යෝග්‍යය බවත් නන්දදේව විජේසේකර අදහස් කරන පරිදි ආඬියාගල, ගල්ඔය, බින්තැන්න යන ප‍්‍රදේශවල ඇති ගල් ලෙන්වල ඇඳ ඇති සිතුවම් පසු කාලීන සිතුවම් කලාවට නෑකම් නොදක්වන බව ප‍්‍රකාශ කර ඇත (එම, 14). ප‍්‍රාථමික ශෛලීයේ ගුහා සිතුවම් ලංකාවේ ප‍්‍රදේශ කිහිපයකින් හදුනාගත හැකි ය. එනම්, නැගෙනහිර හා අග්නිදිග ප‍්‍රදේශය, උතුරු මැද ප‍්‍රදේශය, මධ්‍ය කඳුකර ප‍්‍රදේශ ඒ අතර වැදගත් වේ (Nandadeva 1992:341). නන්දදේවගේ මතය අනුව මෙම ප‍්‍ර‍්‍රාථමික ශෛලියේ ගුහා සිතුවම් වැද්දන් විසින් අඳින්නට ඇතැයි උපකල්පනය කර තිබේ. වැදි ජනයා සමුහ වශයෙන් වනාන්තර තුළ තම වාසස්ථාන ගොඩනගා ගන්නා බවත් ඔවුන් දඩයම් කිරිම, මසුන් ඇල්ලීම, ආහාර රැස් කිරිම, ඒවා හැසිරවීම සිදු කළ මෙ රට මුල් පදිංචිකරුවන් බව ද සඳහන් කර ඇත (Nandadeva 1992:338). වැදි ජනයා බලංගොඩ මානව සංස්කෘතියෙන් පැවත එන්නේ යැයි පිළිගන්නේ නම් ඔවුන්ට ස්වභාවික පරිසරය පිළිබඳ ව හසළ දැනුමක් පැවති බව උපකල්පනය හැකි ය. වැද්දන් පිළිබඳ ව සිදු කර ඇති පුර්ව අධ්‍යයනයන් සම්බන්ධව විමසීමේ දී පැහැදිළි වන කරුණක් වන්නේ ඔවුන් මධ්‍යම කඳුකර ප‍්‍රදේශයෙන් බැහැර තැනිතලා භූමි තම පරිභෝජනය සඳහා යොදා ගෙන ඇති බවයි. එම පරිසර කළාපයන් තුළ හඳුනාගත හැකි ජල මුලාශ‍්‍රය, ආහාර පවතින ප‍්‍රදේශ, ජිවත් විමට ආරක්ෂාකාරි වාසස්ථාන ඔවුන් තෝරා ගැනිමේ දි වඩා සැළකිලිමත් වුවා යැයි සිතිම වරදක් නොවේ. දඩයමින් ජිවත් වන මිනිසාගේ මුලික අවශ්‍යතා සපුරා ගැනිමේ දි අදාල පාරිසරක කලාපය තුළ ඔවුන් විසින් හඳුනාගන්නා සත්ව විශේෂ තම කණ්ඩායමේ අනෙක් පිරිස්ට හා අනාගත දරු පරපුරට දැකගනීමට හැකි වන ලෙස තම වාසස්ථාන තුළ සිතුවම් මගින් නිරූපණය කළා විය හැකි ය. සෙලිග්මාන්වරු දක්වන පරිදි සිය සැමියා දඩයමේ ගොස් සිටිය දී ඔවුන් ආපසු එනතෙක් හුදු විනෝදය තකා කාන්තාවන් විසින් මෙම සිතුවම් ඇදි බව ප‍්‍රකාශ කර ඇත (Seligmann 2009:468). ඔවුනොවුන්ට ආවේණික සිතුම්පැතුම් සපුරාලනු වස් මෙම සිතුවම් නිර්මාණය වු බව උපකල්පනය කළ හැකි ය.

සිතුවම් සහිත ගල් ලෙන

හුලංනුගේ ප‍්‍රාථමික ශෛලියේ ගුහා සිතුවම්

ඇතුපිට නැගි ඇත් ගොව්වා (සිතුවම් ක්‍ෂේත‍්‍රයේ වැදගත්ම සිතුවම ලෙස ප‍්‍රචලිත ය)

හුලංනුගේ පිහිටි ප‍්‍රාථමික ශෛලියේ ගුහා සිතුවම් ක්ෂේත‍්‍රයෙහි ගල් ලෙන තුළ සිතුවම් සියයකට අධික ප‍්‍රමාණයක් හඳුනාගත හැකි ය. ඒවා බොහෝමයක් පැහැදිලි ව හඳුනාගත හැකි අතර ඇතැම් අපහැදිලි සිතුවම් ද දැකගත හැකි ය. මෙම සිතුවම් අතර මිනිස් රූප, සත්ව රූප, සතුන් පිට යන මිනිසුන්, ඉර හා හඳ මෙන්ම වෙනත් ජ්‍යාමිතික සංඛේත හා හඳුනාගත නොහැකි රූප සටහන් ද වේ. මෙම සිතුවම් සහිත ප‍්‍රදේශය මිටර් 16ක් පමණ දිගින් යුක්ත වන අතර මිටර් 2ක් පමණ පළල වපසරියක් තුළ පැතිර පවති. හුලංනුගේ ක්ෂේත‍්‍රය තුළින් හඳුනාගත හැකි සත්ව රූප අතර බහුලව ම හමුවන්නේ ඇත් හා අලි රූප වේ. තදාශ‍්‍රිත ප‍්‍රදේශය ආශ‍්‍රිත ව ලාහුගල වනෝද්‍යානය පිහිටා ඇති අතර වන අලි ගහණය ඉහළ ය. මෙම ප‍්‍රදේශවල ජිවත් වු වැදි ජනයාට බහුලව ම හමුවන්නට ඇත්තේ මෙම සත්ව විශේෂය බව පෙනේ. වර්තමානය තුළ ද වන අලියන් මෙම ප‍්‍රදේශයේ බහුල ව හඳුනාගත හැකි ය. සුදු, අළු හා රතු යන වර්ණ තුනෙන් ම මෙම සත්ව රූප ඇඳ ඇත. ඇතැම් හස්ති රූ සටහන් ඇදීමේ දි වඩා සැලකිලිමත් වි ඇති අතර ඇතැම් රූප සටහන් ඇදීමේ දි එ තරම් සැළකිල්ලක් දක්වා නැති බව ද හදුනාගත හැකි ය. හස්ති රූපයන්ට අමතර ව කබර ගොයාට අයත් සත්ව රූප ද  හදුනගත හැකි ය. මෙම සිතුවමෙහි හිස කොටස හඳුනාගත නොහැකි ය. මෙම සිතුවමෙහි විශේෂත්වය වන්නේ සිතුවම වටා සමාන්තර ව තිත් මගින් පේළි තුනක්, දෙකක් හා එකක් පිහිටන ලෙස සිතුවම් කර පැවතීම ය. මෙම සම්පුර්ණ සිතුවම් අළු පැහැයෙන් වර්ණ ගන්වා ඇත. මෙ මගින් යම් අභිචාර ක‍්‍රමයක් නිරූපණය වනවා දැයි සොයා බැලිය යුතු වේ. මෙම සිතුවමට සමාන නොවුවත් සිතුවම වටා තිත් සළකුණු සහිත තවත් සිතුවමක් ද මෙම ක්ෂේත‍්‍රයෙන් හඳුනාගත හැකි ය. ඇතැම් විට සිතුවමේ අලංකාරය සඳහා මෙසේ යෙදුවා ද විය හැකි ය. මෙය ට අමතර ව වලිගය රහිත පාදවල ඇගිලි තුනක් ඇති උරඟ වර්ගයේ තවත් සත්ත්වයෙක් ද ඉබ්බාගේ හැඩය ගන්නා සත්ව රූපයක් ද හඳුනාගත හැකි වේ. මානව රූප නිර්මාණය කිරිමේ දී ද පෙර දක්වන ලද වර්ණ ත‍්‍රිත්වය ම භාවිත කර ඇති බව හඳුනාගත හැකි ය. මෙහි දී සතාගේ ශරීර අංග පමණක් දක්වා ඇත. ඇතැම් මානව රූපය තනි වශයෙන් ද ඇතැම් ඒවා සමුහ වශයෙන් ද දක්වා ඇත. සමුහ වශයෙන් මානව රූප දක්වන එක් සිතුවම් පෙළක එක් මිනිසෙකුගේ හිසෙහි කණ හෝ යම් ආභරණයක් හෝ පළඳනාවක් දක්වා ඇත. මානව රූප සිතුවම්කරනයේ  දී සරල ව  ඒවා ඇඳ ඇති අතර අත් හා පා වල ඇගිලි අක‍්‍රමවත් අයුරින් දක්වා ඇත. මෙම රූ සටහන් බොහෝමයක් චලනාත්මක ස්වරූපයෙන් දක්වන අතර ඇතැම් සිතුවම් සංකේතාත්මක ව නිරූපණය කිරිම් ද විශේෂ වේ. හුලංනුගේ ප‍්‍රාථමික ශෛලියේ ගුහා සිතුවම් ක්ෂේත‍්‍රයේ වැදගත් සිතුවම් අතර සතුන් මත නැගි මානව රූප වැදගත් වේ. ඒවා අතර ඇතුන් හා අලියන් පිට නැගි මානව රූප වැදගත් වේ. ක්ෂේත‍්‍රය තුළින් නිරූපිත විචාරයට බඳුන් කළ හැකි වැදගත් ම සිතුවම මෙම කාණ්ඩය නියෝජනය කරයි. ඇතෙකු පිට නැගි ප‍්‍රධානියෙකු යැයි සිතිය හැකි මානව රුවක් එහි වෙයි. මානව රුවෙහි හිස අලංකාරාත්මක ව නිරූපණය කර ඇති අතර යම් වාදන භාණ්ඩයක්

කබරගොයෙකුට සමාන සතෙක් (හිස හඳුනාගත නොහැක)

පිබින (වාදනය කරන) ආකාරයෙන් එය දක්වා ඇති අතර එය රතු වර්ණයෙන් වර්ණ ගන්වා ඇත. සමස්ත සිතුවම අළු හා රතු වර්ණයෙන් සරසා ඇත. හස්තියාගේ පිටෙහි රතු වර්ණයෙන් රේඛා ඇඳ ඇත. එය ඇතැම් විට හස්තියා මත දැමු ආවරණයක් (පොරවනයක්) යැයි උපකල්පනය කළ හැකි ය. හස්තියාගේ දළ ඉතා දිග ය. හිස, හොඬ හා පාද ස්වභාවිකත්වයෙන් නිරූපණය කිරිමට උත්සහ දරා ඇති බව පෙනේ. හස්තියාගේ යට තවත් කුඩා ඇත් පැටවකු ඇත. මෙම හස්ති රූප දෙක ම එක මත ඇඳ පාද වලින් හා හිසෙන් වෙන්කර හස්ථින් දෙදෙනෙක් ලෙස නිරුපණය කිරිමට උත්සහ කර ඇත. හස්තින් මත නැගි මානව රූප නිරුපිත අනෙක් සිතුවම් මෙ තරම් සැළකිල්ලෙන් ඇඳ නැති බව හදුනාගත හැකි ය. අනෙක් සිතුවවම් තුළ ඇතුන් මෙන් ම අලින් පිට නැගි මානව රූප ද දැකගත හැකි ය. මෙහි ඇති ප‍්‍රාථමික ශෛලියේ ගුහා සිතුවම් අතර ඉර හා හඳ නිරූපණය කළ අවස්ථා හමුවන්නේ දෙකක් පමණි. මෙම සිතුවම් අළු වර්ණයෙන් යුක්ත වේ. ඉර නිරූපණය කිරිමේ දි දික් අතට ඉරි හතරක් මගින් ජේදනය කර රවුමකින් ආවරණය කරමින් නිරූපණය කර ඇත. හඳ නිරූපණය කිරිමේ දී ද සම්පුර්ණයෙන් ම වෘත්ත හැඩයක් වර්ණ ගන්වා එය ආවරණය වන පරිදි නැවත රවුමක් ඇඳ ඇත. ඉර හා හඳ සිතුවම් කිරිමේ දී සත්ව හෝ මානව සිතුවම් අසලින් ම ඇඳ ඇත. ප‍්‍රධාන සිතුවම් වලට අමතර ව සංකේතමය හා හඳුනාගැනිමට නොහැකි සිතුවම් ද මෙම ක්ෂේත‍්‍රය තුළින් අණාවරණය කර ගැනීමට හැකියාව පවති. ඇතැම් විට එයට හේතු වන්නට ඇත්තේ සිතුවම් වල ජීවමාන කාලය ඉක්මවා යාම විය හැකි ය. එසේත් නොමැතිනම් සැලකිලිමක් නෙවෙමින් සිදු කළ වර්ණ ආලේප කිරිම් විය හැකි ය.

වර්ණ භාවිතය

මෙහි සිතුවම් ඇදීමේ දී භාවිත ශිල්ප ක‍්‍රමය වන්නේ සායම් හෝ වෙනත් ද්‍රව්‍යක් ආලේප කිරිම මගින් සිතුවම් නිර්මාණය කිරිමයි. එහි දී සිතුවමක් නිර්මාණය කිරිමේ දි එක් වර්ණයක් භාවිත කර ඇති අතර වර්ණ තුනකින් සිතුවම් නිර්මාණය කර ඇත. එ නම් රතු, අළු හා සුදු වර්ණ වේ (Somadeva 2012:129-130). මෙහි ඇති එක් සිතුවමක් පමණක් වර්ණ දෙකක් උපයෝගි කර ගනිමින් අැඳ ඇත. මෙහි හඳුනාගත හැකි සිතුවම් නිදහස් ව ඇඳ ඇති බව හදුනාගත හැකි අතර ඇතැම් සිතුවම් සන්යමයෙන් ඇදීම හා වර්ණ ගැන්වීම ද සුදු කළ බව හඳුනාගත හැකි වේ. සිතුවම් නිර්මාණයේ දී ප‍්‍රාථමික සිතුවම් නිර්මාණ ශීල්පීයා මේ සඳහා ස්වාභාවික වර්ණ භාවිත කර ඇති අතර තලය මත සිතුවම් ඇදීමට ඇගිල්ල උපයෝගී කර ගෙන ඇති බව එම සිතුවම් අධ්‍යනය කිරීමේ දී හඳුනාගත හැකි ය.

සමාලෝචනය

ශ‍්‍රී ලංකාව තුළ ප‍්‍රථමික ශෛලියේ ගුහා සිතුවම් පිළිබඳ ව විවිධ තර්ක පැවතියත් මේ පිළිබඳ ව වාර්ථා කිරිම් පිටපත් කිරීම් ආදිය සිදු කොට ඇති අයුරු හඳුනාගත හැකි ය. මෙම සිතුවම් සහිත ක්ෂේත‍්‍රය වැදගත් විමට තවත් හේතුවක් වන්නේ මෙම ප‍්‍රදේශය හුදකලා ක්ෂේත‍්‍රයක් නොවිමයි. මෙම ආසන්න කලාපය තුළ නීලගිරිය, සංගමන් කන්ද තුඩුව, කුඩුම්බිගල ආදි ක්ෂේත‍්‍ර ආශි‍්‍රතව ද ප‍්‍රාථමික ශෛලියේ ගුහා සිතුවම් හඳුනාගත හැකි ය. වැද්දන් විසින් අදින ලදැයි බොහෝ දුරට විශ්වාස කරනු ලබන මෙම සිතුවම් පුරා විද්‍යාත්මක වැදගත් සාධකයන් වුව ද මෙම සිතුවම් පිටපත් කිරිම්, සංරක්ෂණය කිරිම් හෝ ඒ පිළිබඳ ව දැනුවත් කිරිම් තුළින් හෝ ආරක්ෂා කර ගැනිමට නිවැරද වැඩපිළිවෙළක් නොමැති විම නිසා විනාශ වි යාමේ අවධානයක් ද පවති. සිතුවම් සීරිම, ඒ මත වෙනත් ආලේප යෙදීම හෝ විකෘති කිරිම් නිසා සිතුවම් විනාශ වී යාම සිදු වේ. මෙම නිසාවෙන් මෙම ජාතික උරුමයන් රැක ගැනිමට යොමුවිම ජාතික අවශ්‍යතාවකි.

ආශ‍්‍රිත ග‍්‍රන්ථ නාමාවලිය

  • මැන්දිස්, ජී. සී. (2006), ලංකා ඉතිහාසයේ ආදි යුගය, පරි. ලලිත් හීන්ගම, සරසවි ප‍්‍රකාශකයෝ, කොළඹ.
  • බිනරගම, දයානන්ද (2008), ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථමික චිත‍්‍ර කලාව සහ ප‍්‍රාථමික ලේඛන කලාව, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
  • දැරණියගල, සිරාන් (1991), ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය, පශ්චාත් උපාධි ආයතනය, කොළඹ.
  • Nandadeva, B.D. (1986), Rock Art sites of Sri Lanka, Ancient Ceylon, Journal of the archaeology survey department of sri lanka, Colombo’
  • Nandadeva, B.D. (1992), Rock Art of Sri Lanka, Rock Art in the Old World, Indira Gandhi National Center for the Arts, Central vista Mess, New Delhi.
  • Seligmann, C.G. & Branda Z. Seligmann, (2009), The veddas, පරි. නිස්සංක පේරේරා, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
  • Somadeva, R. (2012) Rock painting & engraving sites in Sri Lanka, Postgraduate Institute of Archaeology, Colombo.
---------------------------------------------------------------------------------------------
මෙම ලිපිය www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ 2017.09.18 වැනි දින පළමු වරට ප‍්‍රකාශයට පත් විය.
----------------------------------------------------------------------------------------------
Advertisements
Previous articleපුරාණ ලංකාවේ ක‍්‍රියාත්මක බැංකු ක‍්‍රම පිළිබඳව කියැවෙන තෝනිගල සෙල්ලිපිය
Next articleඅනුරාධපුරයේ තිසාවැව ආසන්නයේ පිහිටි පැරණි වෙස්සගිරිය
2006 වසරේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් වසරේ දක්ෂතම පුරාවිද්‍යා ශිෂ්‍යයාට හිමි මහාචාර්ය පී. ලිලානන්ද ප්‍රේමතිලක හා වෛද්‍ය නන්දා ප්‍රේමතිලක විශිෂ්ට නිපුනතා ත්‍යාගය සමඟ ශාස්ත්‍රවේදි (ගෞරව) (BA(sp)) උපාධිය ලබාගන්නා ලද චන්දිම, 1998 වසරේ දී මොරටුව විශ්වවිද්‍යාල‍යේ වාස්තුවිද්‍යා පීඨයෙන් ස්මාරක හා කේෂේත්‍ර සංරක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ද, 2010 වසරේ දී කොළඹ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් පුරාවිද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය (MSc.) ද හිමිකර ගන්නා ලදි. 2008 - 2010 කාලයේ දි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ තාවකාලික කථිකාචාර්යවරයෙකු වශයෙන් සේවය කළ ඔහු, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාල‍යේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්යවරයෙකු වශයෙන් 2011 වසරේ සිට සේවය කරන අතර එහි ප්‍රාග් ඉතිහාසිය හා අභිලේඛන විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයා වශයෙන් කටයුතු කරයි.

9 COMMENTS

  1. මෙම ලිපිය කියවන විට මාහට පැනනැගෙන ගැටලු කිහිපයකි..

    1) ” චාල්ස් ඩාවින්ගේ සත්ත්ව සම්භවයත් මානව පරිණාමයත් පිළිබඳ ව නව ඉගැන්විම් සමාජගත විමත් සමඟ ප‍්‍රාග් මානව සමාජයන් පිළිබඳ ව පුළුල් ව අධ්‍යනය කිරීම ඇරබි අතර”

    මෙහි රෙෆරන්ස් මොනවාද?

    2) “….ලංකාවේ ජීවත් වන වැදි ජනතාව ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික යුගයේ ජිවත් වූ බලංගොඩ මානවයන්ගෙන් පැවත එන ජන කොටසක් බව හඳුනාගැනීම සඳහා විවිධ පර්යේෂණ සිදු කර ඇත.”

    මෙහි රෙෆරන්ස් මොනවාද?

    3) මෙම සිතුවම් සදහා යොදාගත් වර්ණ මාද්‍ය මොනවාද? ( මොනවගෙනද පාටකරලා තියෙන්නේ).

    4) “ප‍්‍රථමික ශෛලීයේ ගුහා සිතුවම් පිළිබඳ ව විවිධ විද්වතුන් අධ්‍යයනයට ලක් කර විවිධ මත ඉදිරිපත් කර තිබේ. එව්.සී.පී. බෙල්, සී.ජී. සහ බී.ඉසෙඞ් සෙලිග්මාන්, ජොන් ස්ටීල්, ජී.එෆ්.ආර්. බ‍්‍රවුනින්, පී.ඊ.පී. දැරණියගල, සද්ධාමංගල කරුණාරත්න, ඒ.ටී. රඹුක්වැල්ල, එස්.ජේ. කදිරගාමර්, එල්.ඒ. ආදිත්‍යය, බී.ඩී. නන්දදේව, සෙනරත් වික‍්‍රමසිංහ හා රාජ් ‌සෝමදේව ආදී විද්වත්හු ඒ අතරින් වැදගත් වේ”

    මෙහි රෙෆරන්ස් මොනවාද?

    5) “…ඔවුන් විසින් හඳුනාගන්නා සත්ව විශේෂ තම කණ්ඩායමේ අනෙක් පිරිස්ට හා අනාගත දරු පරපුරට දැකගනීමට හැකි වන ලෙස තම වාසස්ථාන තුළ සිතුවම් මගින් නිරූපණය කළා විය හැකි ය”.

    අනගත පරපුරට දැකගන්න සිතුවම් කර ඇතිබවට සිතීමට ඇති පදනම කුමක්ද?,

    6) “ඇතැම් හස්ති රූ සටහන් ඇදීමේ දි වඩා සැලකිලිමත් වි ඇති අතර ඇතැම් රූප සටහන් ඇදීමේ දි එ තරම් සැළකිල්ලක් දක්වා නැති බව ද හදුනාගත හැකි ය.”

    මෙලෙස පෙනීමට හේතුව නොසැලකිල්ලට වඩා පුද්ගලයන් කිහිපදෙනෙකු සිතුවම් ඇදීමය. ඔබම ඉහත ප්‍රකාශයේ පවසන පරිදි “…ඔවුන් විසින් හඳුනාගන්නා සත්ව විශේෂ තම කණ්ඩායමේ අනෙක් පිරිස්ට හා අනාගත දරු පරපුරට දැකගනීමට හැකි වන ලෙස තම වාසස්ථාන තුළ සිතුවම් මගින් නිරූපණය කළා විය හැකි ය” එසේනම් පරම්පරා කිහිපයක් මෙමෙ ගුහාවේ ස්තීරවාසීව සිටිය යුතුය. (ඔබේම ප්‍රරකාශය අනුව). ඒ අනුව මෙහි සමස්ත සිතුවම් එක්අයෙකු කල ඒවා නොවේ. එබැවින් නොසැලකිලිමත්ව සිතුවම් කල බව පවසන්නේ කෙසේද? උදාහරණ ලෙස ඔබ අදින සිතුවම් වලට වඩා මගේ සිතුවම් වෙනස්ය. එය නොසැලකිල්ල නොව එකිනෙකාගේ සිතුවම් කරනයේ හැකියාවය.

    • ඔබේ දෙවන ප්‍රශ්ණයට මට මෙහෙම දෙයක් කිව හැකියි.
      බලන්න සිරාන් දැරණියගල ගේ PhD thesis එක (Deraniyagala, 1992). ඒකෙ ඔබ අසන කරුණට අදාල තර්කයක් මතු කරල තිබුණා මතකයි. සෙලිග්මාන්ගේ පොතේ එ ගැන කතා කරලා නෑ.

      • Niranjana මම සම්පූර්ණ කෘතියම කියවා ඇත. මට උවමනා මෙය ලියූ පර්යේෂකයාගෙන් දැණ්ගැනීමයි. රෙෆරන්ස් නොමැතිව මෙසේ කිවනොහැකි බව ප්න්වීමයි. එමෙන්ම ඔහුගේ තර්ක ඔහුවිසින්ම ඛණ්ඩනය කරනා බ පෙන්වීමයි. එතුලින් වඩා හොද ලිපි ඔහුගෙන් දැකීමට ඇති ආශවයි..

    • කසුන්,
      ඔබගේ පළමු ප්‍රශ්නයට – මිනිසාගේ සම්භවය (1981) එම්.නේස්තුර්හ් ගේ ග්‍රන්ථය කියවීමෙන් අවබෝධයක් ලැබිය හැකිවේ වී යැයි හැගේ.

      ඔබගේ දෙවැනි ප්‍රශ්නයට – Niranjan Bandara දැක් වූ පරිදි එස්.යූ. දැරණියගල ස්ර්ගේ PhD thesis එක (Deraniyagala, 1992). බැලීම වටී. එසේම ඒ සමබන්ධව ලිපි ගණනාවක් හා පර්යේෂණ පත්‍ර ගණනාවක් පවති. බලංගොඩ මානව සංස්කෘතිය හා සමානකම් පිළිබද අධ්‍යන කටයුතු ආචාර්ය කෙනඩ් රසායන විද්‍යාත්මකව ද අධ්‍යනය කර ඇත (මා දන්නා පරිදි. (ඒ සදහා රෙෆරන්ස් මා සතුව නැත)).

      ඔබගේ තෙවැනි ප්‍රශ්නයට – මාගේ අධ්‍යනය තුළ වර්ණ සකස් කර ගත් ආකාරය පිළිබදව රසායිනික වශයෙන් අධ්‍යනය කලේ නැත. එස්.යූ. දැරණියගල මහතා දක්වන පරිදි, මක=ල්, මිනිරන්, තලාත= මිනිරන්, රත් හිරියල් ඒ සදහා භාවිත කර ඇත. මෙයට අමතරව alu, aguru භාවිතා කර ඇති බව සොලිග්මාන් පවසනවා (රෙෆරන්ස් වැද්දා ග්‍රන්ථය)

      ඔබගේ සිව්වැනි ප්‍රශ්නයට – මෙම සිතුවම් පිළිබඳ ව අධ්‍යනය කළ විද්වත් ලේඛනය පිළිබදව ‍රෙෆරන්ස් එකින් එක යෙදීමෙන් ලිපියේ ඒකාග්‍රතාවයට එය බාධාවක් බව මාගේ හැගීම වේ.

      ඔබගේ පස්වැනි ප්‍රශ්නයට – සොලික්මාන් දක්වන පරිදි පිරිමින් දඩයමේ ගොස් පැමිණෙන තෙක් ගැහැණු හා දරැවන් තම වාසස්ථානවලට වී සිට ඇති අතර ඇතැම් විට ඔවුන්ගේ දැනුවත් භාවය ඇති කිරීම මෙහි අරමුණ වන්න‍ට ඇති බව මාගේ උපකල්පනය වේ. එසේම කාන්තාවන් මෙම සිතුවම් නිර්මාණය කළ බව ද දක්වා ඇත.

      ඔබගේ හයවැනි ප්‍රශ්නයට – මෙය සමස්ත සිතුවම් තලය පිළිබදව කරනු ලබන ප්‍රකාශනයකි. අනාගත දරු පරපුරට යන්නෙන් මුල්ම වාසින් එහි යුග ගණනාවක් පසුකළ බව කිව හැකි මුත් ඔවුන්ගේ සංචාරක ජිවිත පිලිබදවත් අවබෝධයක් පැවතිය යුතු
      වේ.

      ඔබගේ අදහස් දැක්වීමට බොහෝමත්ම ස්තුතියි…

      • චින්තක,

        ඔබ පිළිතුරු ලෙස දක්වා ඇති කිසිවක් ඔබගේ ලිපියේ රෙෆරන්ස් කර නැත. ඔබ එය ලිපිය තුළ රෙෆර්කල යුතුය. එබැවින් මෙම ලිපිය කියවන අය හට මෙය කාගේ අදහසක්ද ඔබ පවසන්නේ සත්‍යයක්ද යන්න තහවුරු කර ගත නොහැක (එය දෝෂයකි). එමෙන්ම රෙෆරන්ස් කිරීමෙන් ලිපියේ ඒකාග්‍රතාවයට එය බාධාවක් බව දැවුවද ගුණාත්මක භාවය හා ප්‍රමානාත්මක බාවය පිළිබද අවධානය යොමුකරන්න. ඔබ පිළිතුරු ලෙස දක්වා ඇති සියල්ල මා කියවා ඇති අතර එ්වා සහ ඔබේ ලිපියේ අදඑස් අතර පරස්පර භාවය් ඇත. එමෙන්ම එම බොහෝ පර්යේෂණ දත්ත අළුත්වී ඇත (උදා – මිනිසාගේ සම්භවය (1981) එම්.නේස්තුර්හ්). එමෙන්ම මා නැවතත් පවසන්නේ ඔබේ උපකල්පනයන් ලිපියේ ඔබේ ඇතැම් තැන්හි ඔබ විසින්ම ඛණ්ඩනය කර ඇති බවකි. ස්තූතියි..

  2. මෙහි විශාල නොගැලපීමක් තියෙනවා නේද?
    ප්‍රාග්එෙතිහාසික ලෙස සඳහන් මෙම චිත්‍ර වලින් නිරූපණය කර ඇත්තේ හීලෑ කල අලි-ඇතුන් මත ගමන් කරන තූර්ය භාණ්ඩ වාදකයෙක් සහ මනාව සැරසුණු ප්‍රභූවරයෙකි. බොහෝවිට මෙය පෙරහැරක් හෝ උත්සව අවස්ථාවක් දුටු අයෙකුගේ නිර්මාණයකි.
    මෙම චිත්‍ර යම්තාක් පැරණිද , එම කාලයට සමගාමීව උත්සව හෝ පෙරහැර පැවැත්වූ සමාජශීලී සමාජයක් මෙම ප්‍රදේශය ආශ්‍රිතව පැවතී ඇත. (මෙය බොහෝ විට ආරම්භය නොදන්නා කතරගම පෙරහැර ද වියහැකියාවක් ඇත. සම්බන්ධය :- වැදි ජනතාව විසින් කතරගම පෙරහැරේ දොඩම් පේ-කිරීම.)
    විජයාගමන මිථ්‍යාවෙන් ඔබ්බට ගිය හෙලයේ මහා සංස්කෘතික ඉතිහාසය කියාපෑමට මෙම චිත්‍ර කිහිපය පමනක් වුවද ප්‍රමාණවත් නේද? …..
    මේ සත්‍යය එළිදැක්වීම සඳහා පෙරමුණ ගන්න. එය හෙලයේ ඉතිහාසයටද, ඔබේ නාමයට ද මිණිපහනක්ම වනු ඇත.
    හෙලයේ නාමයට යුතුකම ඉටුකරමු.!!!!!
    ජයක්ම වේවා !!!!!!! ….
    (මගේ නමත් යාන්තමට වගේ මතක තියාගන්න …)

    • මෙම ඉස්තුවම් ප්‍රාග්ඓතිහාසික බව ඔහු දක්වානැත.

    • මෙම සිතුවම් ප්‍රග් ඓතිහාසික සිතුවම් ලෙස දැක්වීම පිළිබද නිශ්චිත එකගතාවයක් නැත. එස්.යූ දැරණියගල මහතා දක්වන පරිදි ප්‍රග් ඓතිහාසික චිත්‍ර යැයි සැක කල හැකි සිතුවම් නැති බව දක්වා ඇත.

  3. අදහස් දැක් වූ සියලු දෙනාට බොහෝමත්ම ස්තුතියි…..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.