ප‍්‍රියන්ත සුසිල් කුමාර මාරසිංහ

මධ්‍යම සංස්කෘතික අරමුදල, පොළොන්නරුව ව්‍යාපෘතිය, පොළොන්නරුව.

ප‍්‍රියන්ත කුමාර මාරසිංහ

ශ‍්‍රී ලංකාවේ කාසි නිෂ්පාදන තාක්‍ෂණය පිළිබඳ පැහැදිලි සාධක හමුවන්නේ 1993 දී කළ අනුරාධපුර අභයගිරි විහාර භූමියේ කැනීම් මඟිනි. එහි දී රන් කහවණු නිෂ්පාදනය සඳහා භාවිත අච්චු 8ක් ද කාසි නිෂ්පාදන කම්හලක නටඹුන් ද, විවිධ බරවලින් යුතු අක්‍ෂර කෙටූ ස්වර්ණ ඵලක පිණ්ඩ ද කැඞීගිය රන් කහවණු කොටස් 2ක් ද ඇතුළුව රන් කහවණු 22ක් සොයාගෙන ඇත (කුලතුංග 1994:15). මෙයින් අච්චු භාවිත කරමින් වාත්තු තාක්‍ෂණය අනුසාරයෙන් නිෂ්පාදිත කාසි පිළිබඳ පැහැදිලි සාධක හමු වී ඇත. ඒ අනුව ක‍්‍රිස්තු වර්ෂ 8-9 සියවස්වල මෙරට භාවිතයේ පැවති මධ්‍ය කාලීන රන් කහවණු සඳහා ප‍්‍රත්‍යක්‍ෂයෙන් ම භාවිත කර ඇත්තේ වාත්තු තාක්‍ෂණය බව පැහැදිලි වේ.

පොළොන්නරු යුගයේ කාසි නිෂ්පාදනය වූයේ කෙසේද යන්න පිළිබඳව අවධානය යොමු කිරීමේ දී පෙනීයන කරුණක් වන්නේ ඒ පිළිබඳ සාධක මෙතෙක් පැහැදිලිව අනාවරණය කොට නොමැති බවයි. රන් කහවණු නිපද වූ ආකාරයට ම සිංහල තඹ මස්ස කාසිය නිෂ්පාදනය කරන්නට ඇති බවත් මේවා මුලින්ම රනින් නිපද වූ අතර පසුව බාල රන් රිදී හා තඹවලින් නිර්මාණය කරන්නට ඇති බවටත් එක් මතයකි (කල්දේරා 1959:16).

පොළොන්නරුවේ තඹ මස්ස කාසි නිෂ්පාදනය පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කිරීමේ දී පැහැදිලි වන ප‍්‍රධාන කරුණක් වනුයේ අච්චු මගින් වාත්තු නොකළ බවයි. ඒ සඳහා අනුගමනය කළ තාක්‍ෂණික විධික‍්‍රම සම්බන්ධයෙන් වැදගත්වන නිර්ණායක කිහිපයක් මෙම අධ්‍යයනයේ දී හඳුනාගත හැකි විය.

  • කාසි අච්චු හමු නොවීම
  • කාසි සඳහා ලෝහ මැනගත් ප‍්‍රමාණ පුවරු හමුවීම
  • කාසියේ අභිමුඛ හා ප‍්‍රතිමුඛ රූපවල මධ්‍යගතවීමේ වෙනස්කම්
  • කාසිවල වටදාරයේ තැලුම් සළකුණු දක්නට හැකිවීම
  • කාසියේ අභිමුඛ හා ප‍්‍රතිමුඛ රූපවල සමමිතික අක්‍ෂයේ පරස්පරතාව
  • කාසියේ බර හා ඝණත්වයේ ඇති වෙනස්කම්
  • සළකුණුවල දැකිය හැකි රූපමය විවිධත්වය
  • විවිධ ප‍්‍රමාණයන්ගෙන් යුත් කෝව බහුලව හමුවීම
  • තලාගත් ලෝහ ඵලක හා වෘත්තාකාර ලෙස කාසියේ ප‍්‍රමාණයට සකසාගත් රූප රහිත ඵලක හමුවීම
  • ලෝහ ප‍්‍රමාණවත් නොවූ කාසි හමුවීම

කාසි නිෂ්පාදනය සඳහා වාත්තු තාක්‍ෂණය යොදාගත්තේ නම් එක් එක් කාසියක් සඳහා වෙනවෙනම අච්චුවක් භාවිත කිරීමට සිදු වේ. 1981 සිට මේ දක්වා මධ්‍යම සංස්කෘතික අරමුදලේ ආළාහණ පරිවෙන ව්‍යාපෘතිය මඟින් කරන ලද කැනීම් හා පර්යේෂණ මඟින් එසේ ඉවත් කළ අච්චු හෝ කොටස් කිසිවක් හමු වී නොමැති බවට පොළොන්නරුව ව්‍යාපෘතියේ කැනීම් වාර්තා සාක්‍ෂි දරයි.

ලෝහ පිණ්ඩ තලා සැකැසූ ඵලක

ලෝහ භාවිතයෙන් කිසියම් හෝ නිෂ්පාදන ක‍්‍රියාවලියකට දායක වූ බවට අනුමාන කළහැකි පුවරු විශේෂයක් හමු වී ඇත. මේවා කාසි නිෂ්පාදනය සඳහා කෙසේ උපයෝගී කරගත්තා දැයි පැහැදිලි සාක්‍ෂියක් මෙතෙක් අනාවරණය වී නොමැත. මේවායෙහි උපයෝගීතාව අනුව සමබර මෙන්ම කෙටි කාලයකින් විශාල ප‍්‍රමාණයක් එකවර නිෂ්පාදනය කරගැනීම මූලික අරමුණ වී තිබේ. ඒ අනුව සමබර ඒකක විශාල ප‍්‍රමාණයක් නිෂ්පාදනය කළ බවට සාධක ලැබී ඇත්තේ කාසි පමණි. එබැවින් ලෝහ කාසි නිෂ්පාදනයේ කිසියම් පියවරක් සඳහා යොදාගත් තාක්‍ෂණික උපකරණයක් විය හැකි ය. ඒ පිළිබඳව අදහස් දක්වන මහාචාර්ය කුලතුංග මේවා කාසි අච්චු විශේෂයක් බවත් ඒවා මගින් මුද්‍රා තැබීමේ තාක්‍ෂණයේ තවත් ප‍්‍රභේදයක් පිළිබඳ තොරතුරු උත්පාදනය කරගත හැකි බවත් අදහස් කරයි (කුලතුංග 1994:16).

සමමිතික අක්‍ෂයේ පරස්පරතා

මුල්කාලීන කැනීම්වලින් පුවරු වර්ග දෙකක් හමු වී ඇත. ඒවා පෙළකට දහය බැඟින් වූ පේළි දහයකින් යුත් කුහර සියයකින් සමන්විත වේ. මෙම සිදුරු තුළ තැන්පත්වන ලෝහ ප‍්‍රමාණයන් අනුව කාසියකට සරිලන ලෝහ ප‍්‍රමාණයක් බව අත්හදා බැලීමෙන් තහවුරු කරගත හැකි විය. ඒ අනුව ලොකු සිදුරු සහිත පුවරු මස්ස කාසි සඳහාත් කුඩා පුවරු අටෙන් එකේ (අක මස්ස) කුඩා කාසිවලට සරිලන ලෝහ ප‍්‍රමාණ සකස් කරගැනීම සඳහාත් භාවිත කරන්නට ඇතැයි සිතිය හැකි ය. ඒ අනුව මේවා කාසි නිෂ්පාදනයේ දී මූලික කාර්යයක් ලෙස කාසිවල තිබිය යුතු ලෝහ බර තුලනය සඳහා ලෝහ ප‍්‍රමාණ සකසා ගත් ප‍්‍රමාණ පුවරු ලෙස පැහැදිලිව ම නිගමනය කළ හැකි ය.

ප‍්‍රමාණ පුවරු

කෝවක දමා අධික තාපයකින් උණුකළ ලෝහ දියර මේවායෙහි කුහරවලට වත්කළ බවක් පෙනේ. අධික තාපය හේතුවෙන් පිළිස්සීමට ලක්වූ බවට සාධක දක්නට ලැබේ. බහුල වශයෙන් හමුවන මේවා කාසි නිෂ්පාදනයේ දී එක් එක් කාසියකට අවශ්‍ය ලෝහ ප‍්‍රමාණය හා කාසියේ තිබියයුතු ලෝහ බර පිළිබඳ සමානත්වයක් රඳවා ගැනීමට භාවිත මිණුම් පුවරු හෝ ප‍්‍රමාණ පුවරු යැයි ගැනීම වඩාත් යෝග්‍යය වේ. මේවායෙහි උපයෝගීතාව පිළිබඳව මනා අවබෝධයක් නොතිබුණු හෙයින් මේවා කාසි අච්චු වශයෙන් වැරදි ලෙස අර්කථකතනය කර තිබිණි.

ලෝහ උණුකරගත් කෝව

පොළොන්නරු යුගයේ ලෝහ තාක්‍ෂණය පිළිබඳ සාධක සෙවීම සම්බන්ධයෙන් 2012 වර්ෂයේ සිදුකළ ගවේෂණයන්හි ප‍්‍රතිඵලයක් ලෙස තවත් පුවරු දෙකක් පිළිබඳ සාධක සොයාගත හැකි විය. ඒ පිළිබඳ පරිමාණානුකූල සටහනක් පහත දැක්වේ.

ප‍්‍රමාණ පුවරු පුවරු අංක 1 හා 2

ප‍්‍රමාණ පුවරු 1 : මෙම ප‍්‍රමාණ පුවරුවේ එක් කුහරයක් මිලිමීටර් 12ක් තරම් ගැඹුරකින් හා පතුල මිලිමීටර් 25ක් හා මතුපිට මිලිමීටර් 30ක තරම් විශ්කම්භයකින් යුක්ත ය. පුවරුවක ඝණත්වය මිලිමීටර් 30කි. සම්පූර්ණයෙන් ශේෂ සාධක සහිත මධ්‍යම ප‍්‍රමාණයේ පුවරුවක පෙළකට දහය බැඟින් වූ පේළි දහයකින් යුත් කුහර සියයකින් යුක්ත වේ. එම පුවරුවලට අනුව මෙම පුවරුවක කුහර සියයකින් යුක්ත වූයේ නම් එහි දිග පළල සෙන්ටි මීටර් 42X42 තරම් විය යුතු ය.

ප‍්‍රමාණ පුවරු 2 : මෙම වර්ගයේ ප‍්‍රමාණ පුවරුවල එක් කුහරයක් මිලිමීටර් 9ක් තරම් ගැඹුරකින් හා පතුල මිලිමීටර් 17ක් හා මතුපිට මිලිමීටර් 23ක තරම් විශ්කම්භයකින් යුක්ත ය. පුවරුවක ඝණත්වය මිලිමීටර් 23කි. මධ්‍යම ප‍්‍රමාණයේ පුවරුවලට අනුව මෙම පුවරුවක කුහර සියයකින් යුක්ත වූයේ නම් එහි දිග පළල සෙන්ටි මීටර් 38X38 තරම් විය යුතු ය.

ප‍්‍රමාණ පුවරු පුවරු අංක 3 හා 4

ප‍්‍රමාණ පුවරු 3 : මෙම වර්ගයේ ප‍්‍රමාණ පුවරුවල එක් කුහරයක් මිලිමීටර් 9ක් තරම් ගැඹුරකින් හා පතුල මිලිමීටර් 13ක් හා මතුපිට මිලිමීටර් 17ක තරම් විශ්කම්භයකින් යුක්ත ය. පුවරුවක ඝණත්වය මිලිමීටර් 23කි. මෙම පුවරුවක් කුහර සියයකින් යුක්ත වන අතර එහි දිග පළල සෙන්ටි මීටර් 23X23 තරම් වේ.

ප‍්‍රමාණ පුවරු 4 : මෙම වර්ගයේ ප‍්‍රමාණ පුවරුවල එක් කුහරයක් මිලිමීටර් 5ක් තරම් ගැඹුරකින් හා පතුල මිලිමීටර් 6ක් හා මතුපිට මිලිමීටර් 11ක තරම් විශ්කම්භයකින් යුක්ත ය. පුවරුවක ඝණත්වය මිලිමීටර් 18කි. මධ්‍යම ප‍්‍රමාණයේ පුවරුවලට අනුව මෙම පුවරුවක කුහර සියයකින් යුක්ත වූයේ නම් එහි දිග පළල සෙන්ටි මීටර් 16X16 තරම් විය යුතු ය.

මෙතෙක් ආළාහන පරිවෙණ ක්‍ෂේත‍්‍රයෙන් බහුලව හමු වූ අංක 3 සහ 4 යටතේ විස්තර කෙරෙන ප‍්‍රමාණ පුවරුවලට වඩා වෙනස් ප‍්‍රමාණවලින් යුත් පුවරුවල කොටස් කිහිපයක් ආරාමික පරිශ‍්‍රයෙන් බැහැර පරිශ‍්‍රයක් වූ ඇතුළුනුවර ආසන්නයේ උතුරු ප‍්‍රාකාරය ආශ‍්‍රිත ප‍්‍රදේශයෙන් සොයාගත හැකි විය. පොළොන්නරුවේ ලෝහ භාවිතය පිළිබඳ සාධක සොයාගැනීමේ අපේක්‍ෂාවෙන් සිදුකළ මතුපිට ගවේෂණවල දී සොයාගත හැකි විය. අංක 1 සහ 2 යටතේ මේවා පිළිබඳ විස්තර දැක්වේ. මෙම පුවරු ප‍්‍රමාණයෙන් විශාල වේ. මෙයින් නිපදවනු ලබන ලෝහ පිණ්ඩය තරමක් විශාලවන අතර වැඩි ලෝහ ප‍්‍රමාණයක් ඊට අන්තර්ගත වේ.

ප‍්‍රමාණ පුවරු බහුල වශයෙන් හමුවීම තුළ මේවා කවර නම් නිෂ්පාදනයක් සඳහා උපයෝගී කරගත්තේ ද යන්න ගැටළුවක් විය. එකම ආසන්න වශයෙන් හෝ බර සමානත්වයක් අපේක්‍ෂාවෙන් කළ සමූහ නිෂ්පාදනයක් සඳහා යොදාගත් බව පැහැදිලි ය. බර සමානත්වයක් අපේක්‍ෂාවෙන් කළ සමූහ නිෂ්පාදනයක් ලෙස මෙතෙක් හමු වී ඇත්තේ කාසි සහ ඒවායෙහි අනුකොටස් පමණි. ඒ අනුව මෙම ප‍්‍රමාණ පුවරු කාසි නිෂ්පාදනය සඳහා ම යොදාගත් තාක්‍ෂණික උපකරණයක් බව කිව හැකි ය.

මස්ස කාසි සහ අක මස්ස කාසි සඳහා වෙන වෙන ම සකස්වූ ප‍්‍රමාණ පුවරුවක් භාවිත වූ බවට සාධක පොළොන්නරුවෙන් බහුලව හමු වී තිබේ. එහෙත් විශාල ප‍්‍රමාණ පුවරුවලින් ලබාගත් ලෝහවලින් කළ කාසි මෙතෙක් හමු වී නොමැති තරම් ය. ඒ අනුව මේවායෙහි අන්තර්ගත ලෝහ ප‍්‍රමාණයට සරිලන ප‍්‍රමාණයේ කාසියක් පොළොන්නරු යුගයේ භාවිතයේ තිබුණේ ද යන්න පිළිබඳ සාධක මෙතෙක් ලැබී නැත. ලෝහ ප‍්‍රමාණයට සාපේක්‍ෂව බැලූ විට චීන කාසියක ලෝහ ප‍්‍රමාණයට සරිලන තරම් වේ. මේ අනුව චීන කාසි නිෂ්පාදනයත් පොළොන්නරුවේ සිදු වූයේ ද යන්න සිතා බැලිය යුත්තකි. මහා පරිමාණ වශයෙන් චීන කාසි හමුවීමත් අග්නිදිග ආසියාතික රටවල් අතරින් චීනය හා වැඩි සබඳතා පැවතීමත් මේ සඳහා බාහිර සාධක ලෙස ගත හැකි ය.

පොදුවේ ගත් කළ පුවරු නිෂ්පාදනයේ දී අනුගනමය කර ඇත්තේ සාමාන්‍ය ක‍්‍රමවේදයකි. පුවරුවල චතුරශ‍්‍රාකාර හැඩය ලී පතුරු ආධාරයෙන් ලබාගෙන ඇති අතර අභ්‍යන්තර කුහර වෘත්තාකාර ලීයක ආධාරයෙන් තබාගත් බව පෙනේ. පුවරුවේ ඝණත්වය එහි අන්තර්ගත කුහරයේ මතුපිට විශ්කම්භය හා ලෝහ ධාරිතාවයට අනුව එකිනෙකට වෙනස් වේ. එහි මතුපිටට නෙරාගිය කොටස් ඇඟිලි මගින් තෙරපීමෙන් සමතුලිත කරගත් ලකුණු දැකිය හැකි ය. සමස්තයක් ලෙස ගත් කල මෙම පුවරු අනුව පොළොන්නරු යුගයේ නිෂ්පාදිත තඹ මස්ස කාසි සඳහා ප‍්‍රමාණ ගැනීමේ දී මෙවැනි ක‍්‍රමවේදයක් අනගමනය කරන්නට ඇති බව සිතිය හැකි ය. මේ තුළින් නිෂ්පාදිත ලෝහ පිණ්ඩවල බර අනුපාතය තඹ කාසිවල විවිධ කොටස්වල අනුපාතයන්ට සමාන ය.

කාසියේ අභිමුඛ හා ප‍්‍රතිමුඛ රූපවල මධ්‍යගතවීම එකිනෙකක් පාසා වෙනස්කම් දැකිය හැකි ය. කාසියේ අභිමුඛ හා ප‍්‍රතිමුඛ වෘත්තවල විශ්කම්භය එකම ප‍්‍රමාණයක් වුව ද දෙපැත්ත සමාන බවක් දක්නට නැත. එක් පැත්තක සම්පූර්ණ බිංදු සහිත වට කවයක් ඇතත් අනෙක් පස වට කවයේ බිංදු එක් කෙළවරක සම්පූර්ණවත් අනෙක් කෙළවර අඩක් හෝ ඊටත් අඩු ප‍්‍රමාණයක් ලෙසත් දැකිය හැකි ය. දෙ පැත්ත සමබරව ඇත්තේ ඉතාමත් අඩු කාසි ප‍්‍රමාණයක ය. මේ තත්ත්වය අච්චු පියන් දෙකක් භාවිත කාසියක දක්නට නැත.

කාසියෙහි වෘත්තය සකස් කිරීම සඳහා වට දාරය තලා රවුම් කරගත් බවට සළකුණු සෑම කාසියකම පාහේ දැකිය හැකි ය. එහි දී කාසියේ ප‍්‍රතිමුඛය කෙරෙහි වැඩි අවධානයක් යොමුකළ යුතු වුව ද විශේෂත්වයකින් තොරව කාසියේ එක් පැත්තක රූප හා වට දාරය ආරක්‍ෂා වන පරිදි තෙරපීමේ දී පිටතට ගලාගිය කොටස් පමණක් කපාගෙන ඇති බව පෙනේ. අනතුරුව කිණීහිරියක් හෝ එවැනි ඝණ වස්තුවක සිටුවා තබා අල්ලා වටදාරයේ වෘත්තාකාර බව සකැසීම සඳහා තලා රවුම් කරගත් බව පෙනේ. මෙම ක‍්‍රමවේදය කාසියේ ඝණත්වය වැඩිවීමට ද හේතු වූවායැයි සිතිය හැකි ය.

අච්චුවක ආධාරයෙන් කාසිය නිෂ්පාදනය කළේ නම් වට දාරය කැපීම අනවශ්‍ය කරුණකි. අච්චුවෙන් වෘත්තාකාර බව නිරායාසයෙන් ම සෑදෙන බැවිනි. මේ බව තහවුරු කරගතහැකි සාධකයක් ලෙස පොළොන්නරුව කෞතුකාගාරයේ 3 වන ගැලරියේ ප‍්‍රදර්ශනය සඳහා තබා ඇති රන් ආලේපිත මධ්‍ය කාලීන කහවණුව දැක්විය හැකි ය. එහි නිර්මාණ තාක්‍ෂණය පිළිබඳ ව අවධානය යොමු කිරීමේ දී පැහැදිලි වූ විශේෂ කරුණක් ලෙස එය අච්චුවක් ආධාරයෙන් වාත්තු කළ කාසියක් බවයි. එහි වට දාරය අච්චුවෙන් සැකැසුණු ආකාරයෙන් ම දක්නට ඇති අතර කැපුම් හෝ තැලුම් සළකුණු දක්නට නොවේ.

කාසියේ අභිමුඛ හා ප‍්‍රතිමුඛ රූපවල සමමිතික අක්‍ෂයේ පරස්පරතා ද කාසි එකිනෙකක් පාසා දැකිය හැකි තවත් සාධකයකි. කාසියක අභිමුඛ රූපය නිතරම සිරස් ආකාරයෙන් ගත්විට ප‍්‍රතිමුඛයේ රූපය වම්පසට හෝ දකුණු පසට හැඩවන ලෙසත් විටෙක සමානවත් තවත් විටෙක ප‍්‍රතිවිරුද්ධ ලෙසත් විවිධ පැතිවලට හැරී පිහිටා ඇත. මෙම ලක්‍ෂණය පිළිබඳව වැඩිදුර අධ්‍යයනයේ දී නිගමනය කළහැකි වූයේ කාසියේ නිෂ්පාදන අවස්ථා හෝ නිෂ්පාදන වාර පිළිබඳ කිසියම් ඉඟියක් ලබාගත හැකි බවයි.

කාසියේ අභිමුඛ හා ප‍්‍රතිමුඛ රූපවල සමමිතික අක්‍ෂයේ පරස්පරතාව අනුව ලීලාවතී අධිකාරියට අයත් කාසි (290) සංචිතය නිෂ්පාදන අවස්ථා දහයක් යටතේ වර්ග කළ හැකි වේ. ලීලාවතී අධිකාරියට අයත් සෙසු කාසි ද වර්ග කිරීමේ දී මෙම දහයෙන් එක් කොටසකට අයත් බව පැහැදිලි වේ. ඒ අනුව ලීලාවතී අධිකාරිය යටතේ අවස්ථා දහයක දී හෝ කාසි නිෂ්පාදන ශිල්ප ශ්‍රේණීන් දස දෙනෙකු යටතේ හෝ මුද්‍රා දහයකින් හෝ කාසි නිෂ්පාදනය කළබව පැහැදිලි ය. ධර්මාශෝකදේව කාසිවල (48) අභිමුඛ හා ප‍්‍රතිමුඛ රූපවල සිරස්භාවයේ පරස්පරතා දක්නට නැත. එයින් ගම්‍ය වන්නේ වසරක් තරම් වූ කෙටි රාජ්‍ය කාලයක් තුළ එක් අවස්ථාවක දී හෝ එක් මුද්‍රාවක් යටතේ හෝ කාසි නිෂ්පාදනය කළ බවයි. සහස්සමල්ල අධිකාරිය යටතේ අවස්ථා හයක දී හෝ කාසි නිෂ්පාදන ශිල්ප ශ්‍රේණීන් හය දෙනෙකු යටතේ හෝ මුද්‍රා හයකින් හෝ කාසි නිෂ්පාදනය කළබව කාසි (538) සංචිතය පිරික්‍ෂීමේ දී පැහැදිලි වේ.

විජයබාහු, පරාක‍්‍රමබාහු, ලීලාවතී කාසි

කාසි එකිනෙකක් පාසා මතුපිට මුද්‍රාව ගෙන ගැසූයේ නම් සියලුම කාසිවල සමමිතික අක්‍ෂයේ පරස්පරතාව එකිනෙකට වෙනස් විය යුතු ය. නැතහොත් මුද්‍රා තබන්නා විසින් එම කාර්යය පමණක් සිදු කළ අතර ඔහු ඒ සඳහා සූදානමින් සිටි බවක් හැෙඟ්.

කාසියේ බර හා ඝණත්වය අතර වෙනස්කම් දැකිය හැකි ය. තඹ මස්ස කාසියේ බර ග‍්‍රෑම් 3-4 ත් අතර හා ඝණත්වය මිලිමීටර් 1 – 2.5 ත් අතරත් සෑම කාසියක දී ම වෙනස් අගයක් ගනී. ඝණත්වය එකම කාසියේ එක් එක් ස්ථානයන්හි අඩුවැඩිවීම් ද දක්නට පිළිවන. වාත්තු තාක්‍ෂණයෙන් කළ කාසි ඝණත්වයෙන් අඩු විය යුතු ය. රන් කහවණු කාසිවල ඝණත්වය මිලිමීටර් 1 තරම් වේ. පොළොන්නරු කෞතුකාගාරයේ තෙවන මැදිරියේ ප‍්‍රර්ශනය සඳහා තබා ඇති කහවණුව තඹ ලෝහයෙන්  වාත්තු කොට ඒ මත රන් ආලේපිත කළ පසුත් ඝණත්වය තඹ මස්ස කාසිවලට වඩා අඩු බවක් දැකිය හැකි ය. ඒ අනුව ඝණත්වයේ දැකිය හැකි පැහැදිලි වෙනස්කම වාත්තු තාක්‍ෂණය හා මුද්‍රා තාක්‍ෂණය අතර දැකිය හැකි පැහැදිලි විශේෂත්වයකි. අභයගිරි රන් කහවණු වාත්තු කිරීම සඳහා යොදාගත් අච්චුවල මිණුම් අනුව ඒවා මඟින් නිෂ්පාදනය වන කාසියක ඝණත්වය පැහැදිලිව හඳුනාගැනීමට හැකි වේ.

රාජ රාජ රජුගේ කාසියක්

කාසියේ සළකුණුවල රූපමය විවිධත්වයක් දැකිය හැකිවීම මෙහි ලා දැක්විය හැකි තවත් විශේෂත්වයකි. අභිමුඛ හා ප‍්‍රතිමුඛ රූපවල හිස හා පළඳනාව දැක්වීමේ දී නිර්මාණයට පහසු ලෙස යොදාගත් බව පෙනේ. අභිමුඛයේ දකුණතේ ඇඟිලි එක් කාසියක දිගු ලෙසත් තවෙකක කුඩාවටත් දක්වා ඇති අවස්ථා හමු වේ. මේ අයුරින් ම අත්වල වූ සළකුණුවල ද ශිල්පීය වෙනස්කම් පෙනේ. එක් එක් අධිකාරිය යටතේ නිකුත් කළ කාසිවල අක්‍ෂරයන්හි ද මේ වෙනස පැහැදිලිව දක්නට ඇත. ප‍්‍රතිමුඛයෙහි නිධි රූපයට යටින් ඇති නිධි කෝෂ්ඨය ලෙස දක්වන කොටු සළකුණ ඇතැම් කාසියක දක්නට නොවේ.

ලෝහ ප‍්‍රමාණවත් නොවූ කාසි යනුවෙන් මෙහි දී අදහස් කරන ලද්දේ කාසි සංචිතය පරීක්‍ෂා කිරීමේ දී වෘත්තාකාර බව සකස් කිරීම සඳහා නොතැලූ කාසි රාශියක් හඳුනාගත හැකි විය. මේවායෙහි අභිමුඛ ප‍්‍රතිමුඛ තලයන්හි වටා ඇති බිංදු සහිත වෘත්තය දක්නට නොමැත. මෙම ලක්‍ෂණය සහිත කාසි නිර්මාණය වන්නේ කාසිය සඳහා ලෝහ ප‍්‍රමාණවත් නොවූ අවස්ථාවල දී ය. මෙම තත්වය අච්චුවක් මගින් වාත්තු තාක්‍ෂණය භාවිතයෙන් කළ කාසියක අපේක්‍ෂා කළ නොහැකි ය. මන්ද යත් අච්චු පියන් දෙක එක් කිරීමෙන් සෑදෙන ඇතුළත කාසි කුහරය සම්පූර්ණ කාසියේම අච්චුවක් වන අතර එය පුරාම උණු ලෝහ ගලායෑම සිදුවේ වාත්තු තාක්‍ෂණයේ දී අච්චුව සිරස් ලෙස සිටුවා ලෝහ වත් කිරීම හේතුවෙන් නිර්මාණය වන කාසිය සඳහා ලෝහ ප‍්‍රමාණවත් නොවූයේ නම් අවම වශයෙන් කාසියේ එක් පසෙක හෝ බිංදු සහිත දාරය සම්පූර්ණ විය යුතු ය. එහෙත් මෙම කාසිවල සම්පූර්ණ වට දාරය ම දක්නට නොමැත. මෙසේ වියහැක්කේ තිරස් ලෝහ ගලායාමක් සහිත නිෂ්පාදන තාක්‍ෂණ ක‍්‍රමවේදයක දී පමණි. එනම් සමතල මතුපිටක නිර්මිත අච්චුවක මධ්‍යයට වත්කළ උණු ලෝහ මත අනෙක් අච්චුව තබා තද කිරීමෙන් සිදුවන මධ්‍යගත තෙරපුම අනුව සිදුවන වෘත්තාකාර ලෝහ ගලායෑම හේතුවෙනි. මෙම සාධක පොළොන්නරු කාසි තාක්‍ෂණය සම්බන්ධයෙන් වැදගත් සාධක වේ.

අච්චුවක් භාවිත කොට කාසි නිපදවූයේ නම් කාසි සංචිතයෙන් කිසියම් හෝ කාසි ප‍්‍රමාණයක් සමබරතා හා සමානතා පෙන්නුම් කළ යුතු ය. නැතහොත් එක් කාසි අච්චුවකින් නිපදවිය හැක්කේ එක් කාසියක් පමණක්ය යන නිගමනයට එළඹීමට සිදු වේ. බොහෝ විට අච්චුවේ නිෂ්පාදිත කාසිය නිරුපද්‍රිතව ලබා ගැනීමට නම් අච්චුව කඩා ඉවත් කළ යුතු වේ. කෙසේ වෙතත් කාසි අච්චු හමු වී නොමැතිවීම අනුව ද පොළොන්නරු කාසි සඳහා අච්චු භාවිත නොකළ බව ඒත්තු ගැන්වේ. එසේ නොමැති නම් පොළොන්නරුවේ මෙතෙක් සිදුකොට ඇති කැනීම් හා පර්යේෂණයන්හි සීමා සහිත බව සාධක දුර්ලභත්වයට හේතු වන්නට ද පිළිවන.

මේ සාධක සැලකිල්ලට ගත් කළ පොළොන්නරුවේ තඹ මස්ස කාසි නිෂ්පාදන ක‍්‍රම වේදයේ විශේෂත්වයක් දැකිය හැකි ය. කාසිවල සිරස්භාවයේ පරස්පරතා අනුව එළැඹි නිගමනය අනුව කාසියේ එක් මුහුණතක් නිරුපද්‍රිතව තිබූ අතර අනෙක් මුහුණත නිරන්තරයෙන් වෙනස් වූ බවක් පෙනේ. කාසියේ අභිමුඛ හෝ ප‍්‍රතිමුඛ ස්වරූපය සහිත මුද්‍රාව කිණිහිරියක් මත හෝ එවැනි ඝණ වස්තුවක සාදා ගන්නා ලදි. කාසියේ ප‍්‍රතිවිරුද්ධ පැත්තේ රූපය සහිත මුද්‍රාව මිටින් අල්ලාගත හැකි පරිදි මිටක් සහිතව කළ උස් පහත් කළහැකි පරිදි කිණිහිරියට ම සම්බන්ධ කළ කොටසක් විය යුතු ය.

අභිමුඛ හා ප‍්‍රතිමුඛ රූපවල සමමිතික අක්‍ෂයේ පරස්පරතාව අනුව එක හා සමාන කාසි හමුවන්නේ අච්චු දෙක නොවෙනස්ව තිබූ බැවිනි. එය නිෂ්පාදන අවස්ථා අනුව අච්චු සවි කිරීමේ දී ඇති වූ වෙනස්කම අනුව එකම හැඩයෙන් යුතු කාසි සමූහයක් නිෂ්පාදනය වේ. ප‍්‍රමාණ පුවරුවකින් නිෂ්පාදනය වන ලෝහ පිණ්ඩ සියය අනුව තනාගන්නා ඵලක සියයට අනුව අවම වශයෙන් කාසි සියයක් හෝ එකම හැඩයෙන් යුක්ත වේ.

අභයගිරියේ කාසි නිෂ්පාදන ක‍්‍රියාවලිය තුළ මෙවැනි ප‍්‍රමාණ පුවරු භාවිතයක් නොතිබූ බව මෙවැනි සාධක අභයගිරියෙන් හමුනොවීම තුළින් පැහැදිලි වේ. අභයගිරියෙන් කාසි අච්චු හමුවන අතර පොළොන්නරුවෙන් හමු නොවේ. ඒ අනුව අනුරාධපුර අභයගිරියේ කාසි නිෂ්පාදන තාක්‍ෂණය හා පොළොන්නරුවේ කාසි නිෂ්පාදන තාක්‍ෂණය අතර පැහැදිිලි වෙනසක් දැකිය හැකි ය. අච්චු මඟින් කාසි නිෂ්පාදනය කිරීමේ දී කාසියට සරිලන ලෝහ ප‍්‍රමාණ වෙනවෙනම උණු කිරීමට අවශ්‍ය නොවූ බැවින් ඒ සඳහා එක් විශාල කෝවක කාසි අච්චු ප‍්‍රමාණයට සරිලන ලෝහ ප‍්‍රමාණය එකවර උණු කරගන්නට ඇත. පොළොන්නරු කාසි ක‍්‍රමයේ දී කාසි සියයක් සඳහා (එක් ප‍්‍රමාණ පුවරුවක්) සරිලන ලෝහ එකවර උණුකර ගන්නට ඇතිබව ප‍්‍රමාණයෙන් විශාල කෝව අනුව සිතිය හැකිය.

මෙම සියලු කරුණු සැලකිල්ලට ගත් පසු පොළොන්නරුවේ තඹ මස්ස කාසි නිෂ්පාදන ක‍්‍රමවේදය මුද්‍රා තැබීමේ තාක්‍ෂණය (Striking technique)  හා පීඩන තාක්‍ෂණය අනුව සකස් කළ බව පෙනේ. මෙම තෘක්‍ෂණික ක‍්‍රමවේදය පූර්ව කාලීන හා සම කාලීන යුරෝපයේ සහ මැදපෙරදිග රටවල ලෝහ කාසි නිෂ්පාදනයේ දී බහුල වශයෙන් භාවිත ක‍්‍රමයයි (Cribb, 1986:86). යුරෝපයේ හා මැදපෙරදිග රටවල භාවිත ක‍්‍රමය වූයේ තුනී ලෝහ තහඩුවක් ගෙන නියමිත ප‍්‍රමාණයකට හා බරකට අනුව කැබලිවලට කපාගනු ලැබේ. ඉන්පසු රත්කරගත් ලෝහ කැබැල්ල සළකුණු කැටයම් කළ අච්චු දෙකකට මැදිවන සේ තබා අච්චුවේ මුදුනතට මිටියකින් පහර දෙනු ලැබේ. පහළින් ඇති අච්චුව ලෝහ හෝ ලී කුට්ටියක තදින් සවිකළ කුඩා කිණිහිරියකි. එය අභිමුඛ අච්චුවයි. ප‍්‍රතිමුඛ සලකුණු කැටයම් කළ උඩ අච්චුව කාසිය තනන්නා විසින් අල්ලා ගනු ලැබේ. මිටියෙන් පහර දෙනු ලබන්නේ ඒ මතටයි.

කලාපීය භාවිතයේ ආභාසයෙන් හෝ ඒ ඒ නිෂ්පාදන ශිල්ප ශේ‍්‍රණින්ගේ ප‍්‍රාගුණ්‍යතාව අනුව තාක්‍ෂණික ක‍්‍රමවේදයන්ගේ විශේෂතා සිදු වූ බව අනුමාන කළ හැකි ය. යුරෝපයේ සහ මැදපෙරදිග අනුගමනය කළ ක‍්‍රමවේදය ම සම කාලීන පොළොන්නරුවේ දී දියුණු තාක්‍ෂණික මට්ටමකින් පැවැති බව ඒ අනුව පෙන්නුම් කරයි.

ඒ අනුව පොළොන්නරුවේ දී ඉහත ක‍්‍රමවේදයේ විශේෂ වෙනස්කම් කිහිපයක් සහිතව කාසි නිෂ්පාදනය කොට ඇති බව පෙනේ. තුනී ලෝහ තහඩුවක් ගෙන නියමිත ප‍්‍රමාණයකට හා බරකට අනුව කැබලිවලට කපාගනු වෙනුවට කාසි සියයක් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය ලෝහ ප‍්‍රමාණය එකවර උණු කොට ප‍්‍රමාණ පුවරුවේ වත්කොට කාසි සියයක් සඳහා නියමිත ප‍්‍රමාණයකට හා බරකට අනුව ලෝහ ගුලි නිෂ්පාදනය කරගනී. නිෂ්පාදනයට අපේක්‍ෂිත කාසි වර්ගයට සරිලන ප‍්‍රමාණයේ මිණුම් පුවරු අනුසාරයෙන් සකසාගත් ලෝහ පිණ්ඩ තැලීමෙන් වෘත්තාකාර ඵලක තනාගත් බවට සාධක පොළොන්නරුවෙන් හමු වී ඇත. එසේ තලාගත් ලෝහ ඵලක වෘත්තාකාර ලෙස කාසියේ ප‍්‍රමාණයට සකසාගත් රූප රහිත ඒවා ය. 1981 සිට 1998 දක්වා පුරාවිද්‍යා කැනීම් වාර්තාවල 31/01, 23/04, 20/09, 21/09, 02/11, 09/11, 12/11, 21/13, 31/13, 20/18, අංක යටතේ විස්තර කොට ඇති ඵලක සහ 2012 වර්ෂයේ ඇතුළුනුවර විජයබාහු මාළිග (භාණ්ඩාගාර ගොඩනැගිල්ල) කැනීමෙන් ලැබුණු ලෝහ පිණ්ඩ මේ සඳහා සාධක වශයෙන් දැක්විය හැකි ය.

කාසි නිෂ්පාදනයේ දී සිදුකරන පීඩනය මධ්‍යගත කිරීමේ අටියෙන් ඵලකවල මධ්‍යය ක‍්‍රමයෙන් උස්වන ලෙස සකසා තිබේ. මෙහි අපේක්‍ෂිත අරමුණ වන්නට ඇත්තේ තෙරපීමෙන් ලෝහ කොටස් අච්චුවෙන් බැහැරවීම අවම කිරීමත් මධ්‍යයේ වූ රූප සළකුණුවල පරිපූර්ණ බව ආරක්‍ෂා කරගැනීමත් විය හැකි ය. කාසියක් ලෙස නිෂ්පාදනය කිරීමේ දී නැවත ද්‍රවාංකයට ආසන්න මට්ටමක් දක්වා උණුකර ගනී. ලෝහ ඵලකය කිණිහිර මත වූ අච්චුවේ තබා ප‍්‍රතිවිරුද්ධ පැත්තේ රූපය සහිත මුද්‍රාව ලෝහ ඵලකය මතත් තබා මිටියකින් පහරක් ගැසීමෙන් කාසිය සඳහා රුපීය ලක්‍ෂණ ඔබ්බවාගත් බව සිතිය හැකි ය. පසුව අච්චුවෙන් ඉවත්කර පිටතට තෙරපී ගිය ලෝහ කොටස් කාසියේ වෘත්තය ආරක්‍ෂාවන පරිදි කපා ඉවත් කරගත් බව පෙනේ. වට දාරය කැපූ කාසිය කිණීහිරය මත එක් අතකින් අල්ලා සිටුවා තබා කුඩා මිටියකින් ගැසීමෙන් කාසියේ වෘත්තාකාර හැඩය ආරක්‍ෂාවන පරිදි සෙමින් තැලීමෙන් සකසා ගත් බවට සාධක දක්නට ලැබේ. මතුපිට මුද්‍රාව ගැසීමේ දී ඇති වූ බර අඩු වැඩිවීම් අනුව හා මුද්‍රාව තැබූ ආකාරය අනුව කාසියේ දෙපැත්තෙහි අසමතුළිතතා හා ඝණත්වයේ අඩු වැඩිවීම් සිදුවන්නට ඇත. අනතුරුව ඇතැම් කාසියක උණු කරගත් රන් දියරයෙහි ගිල්වා ගැනීමෙන් රන් කාසිත් රිදී දියරයෙහි ගිල්වාගත් කාසි රිදී කාසි ලෙසත් සංසරණයේ යොදවා ඇති බව පෙනේ.

පසු කාලීනව මෙහි නිෂ්පාදන ක‍්‍රමයේ වර්ධනීය අවස්ථාවක් පෙන්නුම් කරමින් මුද්‍රා තාක්‍ෂණයේ දී මිටියකින් පහර දී හස් එබ්බවීම වෙනුවට එක් අච්චුවක් මතට උණු ලෝහ වත්කොට අනෙක් අච්චුව ඒ මත තද කිරීමේ ක‍්‍රමය (පීඩන තාක්‍ෂණය) අනුගමනය කර ඇත. බොහෝ විට පොළොන්නරු කාසි සඳහා මෙම ක‍්‍රමවේදය අනුගමනය කළ බව සිතිය හැකි සාධක කාසිවල දක්නට ලැබේ. පහර දීමෙන් මුද්‍රා තැබීමේදී ඇතිවන ඝර්ෂණයේ තීව‍්‍රතාව අඩුවැඩි විය හැකි ය. එවිට නැවත හණ ගැසීමට සිදු වේ. එවැනි අවස්ථාවල ඇතිවිය හැකි ද්විත්ව රේඛා සටහන් කාසි මත සටහන් වේ. එවැනි සටහන් කාසිවල දක්නට නොමැත. එසේ හෙයින් මුද්‍රා තබා තිබෙන්නේ උණු ලෝහ මත ය. දැඩි ආයාසයකින් තොරව ද්‍රව තත්වයේ ලෝහය මත මුද්‍රාව තබා තදකිරීමෙන් උසස් නිමාවක් සහිත කාසියක් නිෂ්පාදනය කරගත හැකි වේ. ද්‍රව ලෝහ මුද්‍රාවේ සියලු ස්ථානවලට ගමන් කිරීම මීට හේතු වේ. මේ තත්වය රත්කළ ලෝහයක මුද්‍රා තැබීමෙන් අපේක්‍ෂා කළ නොහැකි ය. මැටි අච්චුවක වාත්තු කළ කාසියක ද මතුපිට සියුම් නිරීක්‍ෂණයක දී දක්නට ලැබෙන්නේ රළු පෘෂ්ඨයකි. මැට්ටේ සංයුතිය අනුව මෙම තත්වය අඩුවැඩි වේ. එසේ වුව ද ලෝහයෙන් කළ මුද්‍රාව සියුම් බවකින් යුක්ත වන අතර ඉන් නිෂ්පාදනය වන කාසියේ මතුපිට ඉතා මෘදුව දක්නට තිබේ.

මෙම මුද්‍රා දෙක බොහෝ විට නිෂ්පාදනයට අපේක්‍ෂිත ලෝහවලට වඩා ඉහල ද්‍රවාංකයක් ඇති ලෝහවලින් සකස්කර ගතයුතු විය. මෙම අච්චු මුල්කාලයේ දී ලෝකඩවලින් තනා ඇති අතර පසුව වානේ අච්චු ද භාවිත කර ඇත. අච්චු සැකසීමේ දී ද කාසියේ අභිමුඛ ප‍්‍රතිමුඛ අච්චු වෙනවෙනම සකස් කරගෙන ඇත. මෙහි දී රන් කහවණු නිෂ්පාදිත ශිල්පීන් කාසියේ ඝණත්වය සමසේ බෙදෙන අයුරින් අච්චු පියන් දෙක සකසා ගෙන ඇති බව පෙනේ. නිෂ්පාදනය වන කාසියෙහි සමබරතාව ආරක්‍ෂා කරගැනීම සඳහා අභිමුඛ ප‍්‍රතිමුඛ පියන් දෙකෙහි කේන්ද්‍රීය ලක්‍ෂ්‍යය සමතුලිත කරගැනීම කෙරෙහි දැඩි අවධානයක් යොමුකළ බව පෙනේ. ඒ සඳහා අච්චු පියන් දෙකම එකම විශ්කම්භයකින් (මි.මි. 33) සකස් කිරීම උපක‍්‍රමය වී ඇත. ඒ අනුව පැහැදිලි වන්නේ වාත්තු තාක්‍ෂණයේ දී අච්චුව කඩා කාසිය ගැනීම වුවත් මෙම ක‍්‍රමය අනුව අච්චු කිහිප වරක් භාවිතය සඳහා ගෙන ඇති බවයි. හමු වී ඇති අච්චු සියල්ලෙහි ම විශ්කම්භය එක සමානවීම අනුව පියන් වෙනස් වුව ද  ඕනෑම අභිමුඛ හා ප‍්‍රතිමුඛ පියන් දෙකක් එක් කිරීමෙන් කාසියක් නිෂ්පාදනය කිරීමේ හැකියාව තිබූ බව පැහැදිලි වේ. මෙය ශිල්පීය ප‍්‍රාගුණ්‍යතාව මත ම පමණක් සිදුවූවකි.

රන් කහවණු අච්චු

වාත්තු තාක්‍ෂණය එසේ වුව ද මුද්‍රා හා පීඩන තාක්‍ෂණයේ දී විශේෂ ශිල්පීය නිපුණතාවක් තිබිය යුතුවා සේම මනා පළපුරුද්දක් තිබිය යුුතු බව පෙනේ. මේ සඳහා මුද්‍රා සකස් කිරීමේ දී වාත්තු අච්චුවල මෙන් කාසියේ ඝණත්වයෙන් හරි අඩක් මුද්‍රාවේ නිර්මාණය නොකෙරුණ බව සමීප නිරීක්‍ෂණය මඟින් හඳුනාගත හැකි විය. ඒ ආකාරයෙන් අච්චු දෙක එක්වූ කල නිර්මාණය වන කාසියේ ඝණත්වය සම තත්වයක තිබිය යුතු ය. එහෙත් එකම කාසියේ විවිධ ඝණත්වයන් දක්නට හැකිය.

11 වන සියවසේ දී පොළොන්නරුව පාලනය කළ සොළී පාලකයන්ගේ කාසි ද මුද්‍රා තැබීමේ තාක්‍ෂණයට අනුව නිපදවා ඇති බව පෙනේ. රාජරාජ නාමාංකිත සොළි කාසි මුද්‍රා තැබීමේ තාක්‍ෂණයේ මූලික ලක්‍ෂණ පෙන්නුම් කරන්නකි. රළු මතුපිටක් සහිත ය. තඹ මස්ස කාසියේ මෙන් රූපවල සියුම් හා ති‍්‍රමාණ ලක්‍ෂණ දක්නට නොමැත. සමතුලිත මතුපිටක මුද්‍රා තැබීමෙන් මතුකරගෙන ඇති බවක් පෙනේ. ලෝහ වත්කිරීමෙන් ඉවතට ගිය කොටස් ඒ ආකාරයෙන්ම දක්නට ඇති අතර වට දාරය කපා වෘත්තාකාර ලෙස හැඩගැන්වූ බවක් නොපෙනේ. ඒ අනුව සොළීන් විසින් ලංකාවේ අනුරාධපුරයේ භාවිත කළ අච්චු මඟින් කාසි නිෂ්පාදනය කිරීම වෙනුවට මුද්‍රා තාක්‍ෂණය හඳුන්වා දුන් බවක් පෙනේ. මේ සඳහා දකුණු ඉන්දියානු සොළී බල ප‍්‍රදේශවල ක‍්‍රියාත්මක වූ තාක්‍ෂණික ආභාසය හා තාක්‍ෂණික ක‍්‍රමවේද මුල් වන්නට ඇති බව සිතිය හැකි ය.

සමස්තයක් ලෙස කාසි නිෂ්පාදනය සඳහා යොදා ගෙන ඇති ප‍්‍රධාන ලෝහය වන්නේ තඹ ලෝහයයි. මේ සඳහා මිශ‍්‍ර ලෝහ ලෙස යොදාගෙන ඇත්තේ ටින් ලෝහයයි. කාසි නිෂ්පාදනය සඳහා යොදාගත් ටින් සහ තඹ ලෝහ මිශ‍්‍රණය ප‍්‍රතිමා නිර්මාණයේ දී යොදාගත් ලෝකඩ තරම් ශක්තිතාෙවන් ඉහල ලෝකඩ නොවේ. ඒ සඳහා තඹ ප‍්‍රතිශතය වැඩි වූ බවක් පෙනේ.

ආශ‍්‍රිත ග‍්‍රන්ථ නාමාවලිය

  • කල්දේරා, එල්. (1959), ලංකාවේ මිල මුදල්, ජාතික කෞතුකාගාරය, කොළඹ.
  • කුලතුංග, ටී.ජී. (2009), පොළොන්නරු යුගයේ දී භාවිතා වූ දේශීය කාසි,  පුලතිසි වංශය,  සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය
  • කුලතුංග, ටී.ජී. (1995), අභයගිරි විහාරයේ කැණීම්වලින් හමුවූ රන්  කහවණු, සංස්කෘතික පුරාණය, ජනවාරි-මාර්තු 1 වෙළුම, මධ්‍යම  සංස්කෘතික අරමුදල, කොළඹ.
  • කුලතුංග, ටී.ජී. (1996), අභයගිරියෙන් හමුවූ කාසි අච්චු, සංස්කෘතික පුරාණය, 1 වෙළුම, 9 කලාපය, මධ්‍යම සංස්කෘතික අරමුදල, කොළඹ.
  • පේ‍්‍රමතිලක, පී.එල්.
    • 01 පුරාවිද්‍යා කැණීම් වාර්තාව 1982
    • 02 පුරාවිද්‍යා කැණීම් වාර්තාව 1992
    • 03 පුරාවිද්‍යා කැණීම් වාර්තාව 1994
    • 04 පුරාවිද්‍යා කැණීම් වාර්තාව 1989
    • 06 පුරාවිද්‍යා කැණීම් වාර්තාව 1993
    • 20 පුරාවිද්‍යා කැණීම් වාර්තාව 1995
    • 21 පුරාවිද්‍යා කැණීම් වාර්තාව 1995
    • 22 පුරාවිද්‍යා කැණීම් වාර්තාව 1994
    • 23 පුරාවිද්‍යා කැණීම් වාර්තාව 1995
    • 28 පුරාවිද්‍යා කැණීම් වාර්තාව 1997
    • 31 පුරාවිද්‍යා කැණීම් වාර්තාව 1998                                                                           ආළාහණ පරිවෙන පොළොන්නරුව, මධ්‍යම සංස්කෘතික අරමුදල, සංස්කෘතික කටයුතු හා ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය.
  • මාරසිංහ, එම්.පී.එස්.කේ. (2012), ඇතුළුනුවර විජයබාහු මාලිග කැණීම (අමුද්‍රිත) මධ්‍යම සංස්කෘතික අරමුදල, පොළොන්නරුව ව්‍යාපෘතිය
  • මාරසිංහ, එම්.පී.එස්.කේ. (2012), නැගෙනහිර වෙහෙර කැණීම (අමුද්‍රිත) මධ්‍යම සංස්කෘතික අරමුදල, පොළොන්නරුව ව්‍යාපෘතිය
  • මාරසිංහ, එම්.පී.එස්.කේ. (2009), පොළොන්නරුවේ පැරණි කාසි (අමුද්‍රිත) මධ්‍යම සංස්කෘතික අරමුදල, පොළොන්නරුව ව්‍යාපෘතිය
  • විද්‍යාත්මක වාර්තා හා ක්‍ෂේත‍්‍ර සටහන් පොත් (1981-1998), ආළාහණ පරිවෙන පොළොන්නරුව, මධ්‍යම සංස්කෘතික අරමුදල, පොළොන්නරුව.
------------------------------------------------------------------------------
මෙම ලිපිය www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ 2018.01.01 වැනි දින ප‍්‍රකාශයට පත් විය.
------------------------------------------------------------------------------

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.