ඉසුරු හේරත්

එච්.එම්. ඉසුරු හේරත්

ලංකා ඉතිහාසයේ පොලොන්නරුව යුගය (කි‍්‍ර.ව. 1070-1205) වැදගත් කාල පරිච්ඡේදයක් වශයෙන් සැලකේ. මක්නිසා ද යත් අඩසිය වසකට අධික කාලයක් චෝළ අධිරාජ්‍යවාදීන්ගේ (කි‍්‍ර.ව. 1029-1170) ග‍්‍රහණයේ පැවැති මෙරට පළමු වැනි විජයබාහු නරේන්‍ද්‍රයන්ගේ (කි‍්‍ර.ව. 1070-1110) නොසැලෙන අධිෂ්ඨානයත්, රණකාමි කෞෂල්‍යයත් හේතු කොටගෙන දේශපාලනික, සංස්කෘතික, ආර්ථික සහ සමාජයීය වශයෙන් පුනර්ජීවනය ලැබූ හෙයිනි. විශේෂයෙන්ම විජයබාවන් හා ඔහුගේ කීර්තිමත් අනුප‍්‍රාප්තිකයන් වන මහා පරාක‍්‍රමබාහු (කි‍්‍ර.ව. 1153-1186), කීර්ති ශී‍්‍ර නිශ්ශංකමල්ල (කි.ව. 1187-1196) යන පාලකවරුන් විසින් මධ්‍ය කාලීන ලංකාවේ සිංහල බෞද්ධ කලාශිල්පවලට සහ ගෘහ නිර්මාණ ශිල්පයේ සංවර්ධනයට කරන ලද නොමසුරු දායකත්වය පොලොන්නරුව පැරණි නගරය සහ ඒ අවට ඇති ස්ථූප, ප‍්‍රතිමා ගෙවල්, පිරිත් මණ්ඩප, දළදා මාලිඟා, වට දා ගෙවල්, උපොසථාගාර, භික්‍ෂු රෝහල් වැනි බෞද්ධ ස්මාරක තුළින් ද රජ මාලිඟා, රාජ සභා මණ්ඩප, නගර ප‍්‍රාකාර, පොකුණු වැනි ලෞකික ස්මාරකවලින් හා ඒ තුළ අන්තර්ගත බිතුසිතුවම්, කැටයම් හා මූර්ති කලාංගයන්ගෙන් මනාව විශද වේ. නමුත් මෙම ති‍්‍රවිධ රජදරුවන් අතරින් උක්ත සංස්කෘතිකාංගයන්වල අභිවර්ධනය කෙරෙහි මහත් අනුග‍්‍රහයක් සපයන ලද්දේ මහා පැරකුම්බාවන් විසින් බව පැවසීම තර්කානුකූලය. ප‍්‍රධාන වශයෙන් එතුමා තුන් නිකායම සමගි කරමින් භික්‍ෂුන්ට භෞතිකමය විෂයෙහි ආධාර සපයමින් කළ ආගමික ප‍්‍රතිපත්තියත්, අභ්‍යන්තර කැරලි හා බාහිර බලවේග මැඩලමින් රටේ නීතිය ආරක්‍ෂාව මනාව පවත්වාගනිමින් මෙන්ම කෘෂිකර්මාන්තය දියුණු කරමින් ජාත්‍යන්තර වෙළෙඳාමට කි‍්‍රයාශීලීව සම්බන්ධ වෙමින් දිවයින සමෘද්ධිමත් කළේය. මේ නිසා කලාකරුවන්ට, ශිල්පීන්ට, නිර්මාණශීලි කි‍්‍රයාකාරකම් හි යෙදීම සඳහා අවැසි රාජ්‍යානුග‍්‍රහයන් විවේක බුද්ධියත් හා යහපත් සමාජයීය වටපිටාවක් ඇතිවිය.

එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ගල් විහාරය නමැති උත්කෘෂ්ඨ මනරම් බුද්ධ ප‍්‍රතිමා පන්තියකින් සමන්විත සිද්ධස්ථානය බිහි විය. ආලාහන පිරිවෙන් සංකීර්ණයට උතුරු දිශාවෙන් පිහිටා ඇති මෙය අතීතයේ උතුරින් ස්ථාපිත ආරාමය යන අර්ථය සහිත ‘උත්තරාරාමය‘ යන නමින් හඳුන්වා ඇත. විශිෂ්ඨ ශිලා බුදු පිළිම රාශියක් මෙහි පෙනෙන්නට තිබුණු හෙයින් පසු කාලයේ මෙම සිද්ධස්ථාන ‘ගල් විහාරය’ යන නමින් මහජනතාව අතර ප‍්‍රචලිත වන්නට ඇති බව මහැඳුරු ආරිය ලගමුවගේ අදහසයි (ලගමුව 1999:142). මහාවංසයේ මෙය මහා පැරකුම්බාවන් විසින් ඉදිකර වූ බව පැහැදිලිව සඳහන්ව ඇත.

“එසේම නරේෂ්වර තෙමේ (මහා පරාක‍්‍රමබාහු) මහා චෛත්‍යයට ආසන්න තන්හි පර්වතය බිඳුවා, එහි උත්තරාරාමය කරවූයේ ය. සියලු කර්මයන් දක්වා විද්‍යාධර ගුහාව ද, වැඩහුනු පිළිම ලෙනක් ද හොත් පිළිම ගුහායෙක් දැයි මෙසේ පිළිම ලෙන් තුනක් දක්ෂ වූ ශිල්පීන් ලවා කරවූයේය”

යනුවෙන් දැක්වෙන සඳහන පෙන්වා දිය හැකිය (ම.ව. 1996:157).

මහාවංශයේ පමණක් නොව නිකාය සංග‍්‍රහය, රාජරත්නාකරය, පූජාවලිය වැනි පශ්චාත්කාලීන ලිඛිත මුලාශ‍්‍රයවල ද මෙය අවධාරණය කොට ඇත. නමුත් අඩි 80ක් දිග හා අඩි 30ක් පළල වූත් විශාල ශෛලමය පර්වතයක් පදනම් කොට ගෙන නිමවා ඇති මෙම සිද්ධස්ථානය කි‍්‍රස්තු වර්ෂ 1820 ලෙෆ්ටිනන්ට් ෆෝගන් නමැති ඉංගී‍්‍රසි ජාතිකයා විසින් මුල්වරට නූතන ලෝකයාට හඳුන්වා දෙන ලදී (වික‍්‍රමගමගේ 1998:4). පොලොන්නරුව යුගයේ මූර්ති කලා ශිල්පීන්ගේ දක්‍ෂතාව පෙන්වන කැඩපතක් බඳු ගල් විහාරයේ ප‍්‍රධාන වශයෙන් විශාල කළුගල් කුලකින් නිර්මිත බුද්ධ ප‍්‍රතිමා සතරක් ඇතුළත්ව ඇත. එනම් ප‍්‍රස්තුත සිද්ධස්ථානයට පැමිණි විට ප‍්‍රථමයෙන් ම ඇස ගැටෙන බුද්ධ ප‍්‍රතිමාව, හිටි පිළිමය, පර්වතය කැන සකසන ලද පිළිම ගෙයක් තුළ ඇති කුඩා හිඳි බුදු පිළිමය, විහාර ගෙයක් පදනම් කරගෙන නිම වන්නට ඇතැයි සිතිය හැකි විශාල එළිමහන් හිඳි බුදු පිළිමය යනාදී මේවාය. වර්තමානයේ මෙම ප‍්‍රතිමා හා ඒ හා සබැඳි බෞද්ධ කලා ලක්‍ෂණ පිළිබඳව ආචාර්ය ආනන්ද කුමාරස්වාමි, මහැඳුරු සෙනරත් පරණවිතාන, ආචාර්ය සී.ඊ. ගොඩකුඹුර, මහැදුරු චන්‍ද්‍රා වික‍්‍රමගමගේ, ආචාර්ය ඩී.ටී. දේවින්‍ද්‍ර, මහැඳුරු ලීලානන්ද පේ‍්‍රමතිලක, එච්.සී.බී. බෙල්, මහැඳුරු ආරිය ලගමුව, මහැදුරු අනුරාධ සෙනෙවිරත්න, මහැදුරු තිරාණගම රත්නසාර ස්ථවිර, මහැඳුරු බෙල්ලන්විල විමලරතන හිමි, බෙන්ජමින් රෝලන්ඞ්, මහැඳුරු එච්.ටී. බස්නායක, මැදඋයන්ගොඩ විමලකීර්ති ස්ථවිර, මහැඳුරු මාලිංග අමරසිංහ, ඇස්.ඒ වික‍්‍රමසිංහ ඇතුළු දෙස්විදෙස් විද්වතුන් රාශියක් විසින් අදහස් දක්වා ඇත.

චතුර් බුද්ධ ප‍්‍රතිමාවන්ගෙන් ප‍්‍රථමයෙන් ම සැතපෙන බුදු පිළිමය පිළිබඳ විමසීමේ දී පුරාණයේ නිපන්න පට්මා යන නමින් හඳුන්වා යන නමින් හඳුන්වා ඇති මෙය වෙනම පිළිම ගෙයක් තුළ ස්ථාපනය කර තිබූ බව පෙනේ. මෙහි ශිර්ෂයේ සිට ශී‍්‍ර පතුල තෙක් අඩි 46ක් (මීටර් 14ක්) පමණ දිගය (අමරසිංහ 1998:75). ආනන්ද කුමාරස්වාමි, මහාචාර්ය සෙනරත් දිසානායක වැනි විද්වතුන්ගේ මතය වන්නේ මෙය බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය පිළිබිඹු කරන මහා පරිනිර්වාණ මුද්‍රාව සහිත සැතපෙන පිළිමයක් වන බවයි. එහෙත් මීට විපක්‍ෂව කරුණු දක්වා ඇති මහැඳුරු සෙනරත් පරණවිතාණ, ආචාර්ය චාල්ස් ගොඩකුඹුර, මහැදුරු තිරාණගම රතනසාර හිමි ඇතුළු උගතුන් රැසකගේ මතය වන්නේ මෙය බුදුරදුන්ගේ සිංහ සෙයියාවෙන් සැතපෙන ආකාරයක් ප‍්‍රකාශ කරන සයන මුද්‍රාව සහිත සැතපෙන පිළිමයක් වන බවයි (රතනසාර 1985:15). විශේෂයෙන්ම කුසිනාරා වැනි සෙසු ආසියාතික රටවල මහා පරිනිර්වාණ ලක්‍ෂණ සහිත සැතපෙන ප‍්‍රතිමාවල අන්තර්ගත ජීවය නිරුද්ධ ලක්‍ෂණ මෙහි නොමැති බව ඔවුන්ගේ අදහසය. මෙම ප‍්‍රතිමාවේ අනෙකුත් කලාංගයන් පිළිබඳව විමසන විට වම් බාහුව සහ වම් පාදය ස්ථුල ලෙස නිරූපණය කර ඇති අතර දකුණු බාහුව හා දකුණු පාදය කුඩාවට නෙළා ඇත. ශී‍්‍ර පතුල්වල පද්ම සංකේතය කැටයම් කර ඇත (අමරසිංහ 1998:75). එමෙන්ම බුදුරදුන්ගේ හිසේ බරට කොට්ටය එබී ඇති ආකාරයට නිර්මිතය. ඉහත කී සිලින්ඩරාකාර කොට්ටය කෙතරම් තාත්වික ද කිවහොත් එය තම දෑසට පුළුන්වලින් පිරවූවක් සේ දිස්වන බව ආචාර්ය ගොඩකුඹුර පවසා ඇත (ලගමුව 1999: 150). සිවුරේ රැළි ඉහළ සිට පහළට වන්නට සයනයට තෙරපී ගිය ලක්‍ෂණ පෙන්නුම් කෙරේ. මේ නිසා පිළිමයේ වැතිර සිටින ඉරියව්ව මැනවින් තාත්වික ලෙස ඉදිරිපත් කිරීමෙහි ලා පොලොන්නරු මූර්ති ශිල්පියා සාර්ථක වී ඇති බව පැවසීම සාධාරණය.

මීට වම් පසින් ති‍්‍රභංග ඉරියව්වකින් යුත් අඩි 22යි අඟල් 9ක් උසැති හිටි පිළිමයකි. විශ්මයකට මෙන් ගල් විහාරය පිළිබඳව මහාවංශයෙහි අන්තර්ගත විස්තරවල මෙම ප‍්‍රතිමාව ගැන වචනයකුදු සඳහන් කර නැත.

එබැවින් මැදඋයන්ගොඩ විමලකීර්ති හිමියන්ගේ මතය වන්නේ මෙය පශ්චාත් කාලීන කෘතියක් විය හැකි බවයි. මෙමඟින් පිළිබිඹු වන්නේ බුදුරදුන් හෝ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුන් විය හැකි බවට විවාදයක් කලක් මෙරට උගතුන් අතර පැවතින. ප‍්‍රදේශයේ ප‍්‍රචලිතව තිබෙන ඇතැම් ජනකතාවල සඳහන් වන ආකාරයට මෙය ආනන්ද හිමියන්ගේ ප‍්‍රතිමාවකි. ආචාර්ය ඩී.ටී. දේවේන්ද්‍ර, එස්.එම්. බාරෝස්, ඒ.ඩී.ටී.ඊ. පෙරේරා යන විද්වතුන්ගේ මතය වූයේ ද එයයි. (දේවේන්ද්‍ර 2007:58). නමුත් පරණවිතාන, පේ‍්‍රමතිලක, ගොඩකුඹුර, රතනසාර හිමි සහ විමලකීර්ති හිමි ප‍්‍රමුඛ විද්වතුන් රැසකගේ නිගමනය වූයේ නිසැකවම මෙය බුදු හිමියන්ගේ ප‍්‍රතිමාවක් විය හැකි බවයි. මෙහි දෙ අත් පපුවට තබා වැඳ ඇති ආකාරයක් පෙන්නුම් කරන දුර්ලභ මුද්‍රාවක් අන්තර්ගතය. එය බුදුරදුන් මහා කරුණාවෙන් ලොව දෙස නිරීක්‍ෂණය කරන ආකාරය සිහිපත් කරවන පරදුක්ඛ දුක්ඛන මුද්‍රාව බව උගතුන්ගේ අදහසයි (ලගමුව 1999:149). කි‍්‍රස්තු වර්ෂ 1955 දී සෙනරත් පරණවිතානයන් කළ දේශනයකට අනුව පරදුක්ඛ දුක්ඛන මුද්‍රාව සහිත පිළිම නෙළීම ලංකාවට ආවේණික කලා සම්ප‍්‍රදායකි. නිදසුන් ලෙස රුහුණේ යටාල චෛත්‍ය ආශි‍්‍රතව කළ කැනීමකින් පුරාවිද්‍යාඥයන්ට උක්ත සම්ප‍්‍රදායට අයත් බුදු පිළිමයක් හමු වී ඇත. මීට අමතරව දඹුලු විහාරය, යාපහුව ලෙන් විහාරය යනාදී වෙනත් සිද්ධස්ථාන කීපයකින් ද මෙවැනි ප‍්‍රතිමා දක්නට ඇත. එහෙත් මෙය ලක්දිවට පමණක් අනන්‍ය වූ සම්ප‍්‍රදායක් නොවන බව කිව යුතුය. තායිලන්තය (සියම) ලාඕසය, කාම්බෝජය වැනි අග්නිදිග ආසියාතික බෞද්ධ රටවලින් ද පරදුක්ඛ ප‍්‍රතිමා හමුවේ. තමන් අත් බැඳගත් ලෝහ බුදුපිළිම කීපයක් තායි ජාතික කෞතුකාගාරයේ දී දුටු බවට රතනසාර හිමියන් ද ප‍්‍රකාශ කරයි (රතනසාර 1985:75). ඇස්.ඒ. වික‍්‍රමසිංහයන් පවසන්නේ යමක ශාලා මූල ආසය පනවන තෙක් උදරයේ වේදනාවකින් පෙළෙන ආකාරයක් දැක්වෙන බුද්ධ ප‍්‍රතිමාවක් කුසිනාරාවේ තිබෙන බවත්, එහි මුහුණෙහි ප‍්‍රකාශිත දුක්බර ස්වරූපයට සමාන ස්වරූපයක් ගල් විහාරයේ ඍජු පිළිමයේ දක්නට ලැබෙන බවත්, එබැවින් මෙය පරිනිර්වාණයට පෙර බුදුරදුන් වැටින අවස්ථාවක් නිරූපණය කරන බවයි. තවත් උගතෙකුගේ මතයක් වන්නේ සත්සතිය සමයේ දෙ වන දින බුදුරදුන් ශී‍්‍ර මහා බෝධියට කළ අනිමිස ලෝචන පූජාව මෙහි ප‍්‍රකාශිත බවය (ලගමුව 1999:149). මෙම නිගමනය කෙරෙහි ප‍්‍රස්තුත වන්නට ඇත්තේ විහාර භූමිය ඉදිරිපස පිහිටි ඉපැරණි බෝධිඝරයක් දක්නට ලැබීම බව කිව හැක.

සමහරකු උපකල්පනය කරන ආකාරයට මෙහි වැඩ සිටින්නේ ආනන්ද හිමියෝ නම් එතුමා බුද්ධ ශිර්ෂයට ඉදිරිපසින් පද්මාසනයක් මත වැඩ සිටීම අනුචිත වන අතර ආසියාවේ බොහෝ බෞද්ධ රටවල බුද්ධ චරිතය හා සබැඳි මුර්ති, කැටයම් බිතුසිතුවම්වල ආනන්ද තෙරුන් සම්බුද්ධ ශී‍්‍ර පතුල අසල ශෝකානුකූලව වැඩ සිටිනවා මිස බුද්ධ ශීර්ෂයට ඉදිරියෙන් පද්මාසනයක් මත ඍජු ඉරියව්වකින් වැඩ සිටින අවස්ථාවන් කිසි විටෙක නිරූපණය කර නොමැත (රතනසාර 1985:75). අනෙක නෙළුම් මලෙන් අලංකෘත කවාකාර ශිලා වේදිකාවක් හෙවත් පද්මාසනය ථෙරවාදී හෝ මහායාන ප‍්‍රතිමා කලා රීතීන්ට අනුව යොදාගන්නේ බුද්ධ ප‍්‍රතිමාවට මිස සංඝ ප‍්‍රතිමාවලට නොවේ (වික‍්‍රමගමගේ 1998:33). තවද මෙහි කන් පෙති බුදුරදුන්ගේ ඥානවන්ත භාවය පිළිබිඹු කරන ලෙසට දිගටිය දක්වා ඇති ශිර්ෂයේ හිසකෙස් දිවයිනේ අනෙකුත් පැරැණි ප‍්‍රතිමාවල මෙන් වක ගැසුණු ආකාරයට නෙළා ඇත. උක්ත නිදසුන්වලට අනුව මෙය පැහැදිලිවම හිටි බුද්ධ ප‍්‍රතිමාවක් බව නිගමනය කළ හැකි ය. මුහුණෙහි හැඟීම් තාත්විකව නිරූපණය කිරීමේ දී මධ්‍ය කාලීන මූර්ති ශිල්පියා දැක්වූ සංයමය, ප‍්‍රවීනත්වය මොනවට පිළිබිඹු කරන මෙම පිළිමයේ මුහුණ දෙස වරක් බැලූ විට ශෝකී විලාසයක් දිස් වුව ද, වඩාත් ගැඹුරින් පරීක්‍ෂා කළ විට මානසික ඒකාග‍්‍රතාවෙන් යුතුව ගැඹුරින් කල්පනාවක නිමග්නව සිටින ආකාරයක් පෙන්නුම් කරන බව කිව හැකිය. මීට අමතරව සම්පූර්ණ ප‍්‍රතිමාවම ප‍්‍රාමාණික සමතුලිත භාවය මනාව ආරක්‍ෂා කරමින් නිමවා ඇත. එසේම මෙහි බුද්ධ චීවරය, සිරුරට ඇලී යන පරිදි නෙළා ඇත. පොලොන්නරු යුගයේ අවසාන කාල පරිච්ෙඡ්දයේ හෝ දඹදෙණි යුගයේ මුල් භාගයේ දී මෙය ඉදි කරන්නට ඇති බව පෙනේ.

මහාවංසයේ නිසින්න පටිමා නමින් හඳුන්වා ඇති අඩි 15ක් පමණ හිඳි බුද්ධ ප‍්‍රතිමාව තොරණක් සහිතව විහාර ගෘහයක් පදනම් කොට නිර්මාණය කර ඇත. විද්‍යාධර ගුහාවට බටහිරින් නෙළා ඇති මෙම ප‍්‍රතිමාව වීරාසන ඉරියව්වකින් යුක්ත වන අතර ධ්‍යානි මුද්‍රාව නිරූපිතය. ඒකාංශ පාරූපණයෙන් යුත් සිවුර මටසිළිටිව පරීක්‍ෂේපිතය. මෙහි දෑත් සහ පාද තාත්විකව කැටයම් කර තිබෙන බවත් ඍජු ශරීරය හා එරමිණිය ගොතාගෙන සිටින ආකාරය නිසා මෙහි කඩවසම් බාවයක් දිස් වන බව මාලිංග අමරසිංහ පවසයි (අමරසිංහ 1998:75). මෙහි ඇති විශේෂත්වය නම් දිවයිනේ කිසිදු හිඳි බුදු පිළිමයක දක්නට නොලැබෙන ආකාරයට බුදුරදුන් වැඩ සිටින ආසනයේ පසුපස ඇන්ද නිරූපණය කර තිබීමයි. එය පිළිමය වටා ගලේ අල්පොන්නතම ආරුක්කුවක හැඩය ගත් තොරණ සැරසිල්ලක් ලෙස සකසා ඇත. මෙම දුර්ලභ තොරණේ ගරාදි කෙළවර, මුඛයෙන් සිංහ රූප දරා සිටින මකර රූ කැටයම් අන්තර්ගතය (ලගමුව 1999:145). තොරණේ හිඳි පිළිමයට පහළින් නිර්මිත වියන් සැරසිල්ලෙහි විමාණ චතුර්වයක බුද්ධ රූප සියුම්ව කැටයම් කර ඇත. වැඩහුන් ප‍්‍රතිමාව අවට ක්‍ෂද්‍ර ප‍්‍රතිමා ගල් විහාරයේ පමණක් නොව තන්තිරිමලේ හිඳි පිළිමය අවටින් ද දක්නට ලැබෙන බව කිව යුතුය. පිළිමය පද්මාසනයක් මත වැඩ සිටින අතර එයට පහළින් පිහිටි මනස්කාන්ත සිංහ, අශ්ව රූප මෙන්ම මල් මෝස්තර කැටයමින් අලංකාරවත් කර ඇති බව පෙනේ.

මීළඟට වංශ කථාවල විජ්ජාධර නැතහොත් විද්‍යාධර නම් කළුගල් පර්වතයක් ඇතුළට හාරා ජන්තාවරණය සහ කුළුණු දෙකක් සහිත ගුහාවක් තුළ වැඩ හිඳි පිළිමය පිළිබඳව විමසීම වැදගත් වේ. උස අඩි 4යි අඟල් 4ක් වන මෙම පිළිමය ද වීරාසන ඉරියව්වකින් සහ ධ්‍යාන මුද්‍රාවකින් යුක්තය. පද්මාසනයක සහිත ශෛලමය ආසනයේ කුඩා ස්ථම්භ අතර සිංහ හා වජ‍්‍ර කැටයම් අන්තර්ගතය. බුද්ධ ශිර්ෂයට ඉහළින් සිත් ගන්නා සුළු ඡත‍්‍රයකි. හිඳි පිළිමයට පිටුපස පිහිටි තොරණෙහි හා ඒ දෙපස සිංහ, දොරටුපාල, දේවා හා බ‍්‍රහ්ම රූපවලින් පරික්‍ෂිප්තය. මීට අමතරව පිළිමය දෙ පස බුදුරදුන් පවන් සලන ඉරියව්වක් ගත් චාමරධාරී රූප ද්විත්වයකි. පොදුවේ ඉහත කී කැටයම් මඟින් බුදුරජාණන් වහන්සේගේ දශබලධාරීත්වය මූර්තිමත් වන අතර එතුමන් ශාක්‍යසිංහ බව බැතිමතාට පෙන්වාදීම සඳහා සිංහ කැටයම් නෙළා ඇති බව රතනසාර හිමියන්ගේ අදහසයි (රතනසාර 1985:75). තවද මෙහි ද සිවුර ඒකාංශ පාරූපණයෙන් නිරූපිතය. අතීතයේ මෙම තොරණේ වර්ණ ආලේප කර තිබූ බවත් ප‍්‍රතිමාගෘහය ද ෆ්‍රෙස්කෝ ක‍්‍රමයට අනුව බදාම හා බිතුසිතුවම් ඇඳ තිබූ බවට සාධක හමු වී ඇත. මෙම සිතුවම්වලින් බෞද්ධ කතාවල ප‍්‍රකාශිත ඉන්ද්‍රසාල ගුහාව සංකේතවත් වන බව මහැඳුරු චන්‍ද්‍රා වික‍්‍රමගමගේ සූරීන් පවසයි. ඒ වගේම මෙහි සිත්තම් කර ඇති මහල්ලෙකුගේ රූපයෙන් ශක‍්‍ර දේවේන්ද්‍රයා නිරූපිත බවත් හෙතෙම තරුණ දෙවිවරු පිරිවරා සිටින ආකාරයක් දිස්වන බව ඒ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කරයි. නමුත් මීට විපක්‍ෂව කරුණු දක්වා ඇති මහැදුරු ලගමුවගේ මතයට අනුව මෙම චිත‍්‍රයෙන් මහා බ‍්‍රහ්මයා නිරූපිතය (ලගමුව 1999:147). මහියංගන විහාර ගර්භයේ තිබී මෙවැනි මහල්ලෙකුගේ බිතුසිතුවමක් හමුවීම ද විශේෂ කරුණක් බව කිව යුතුය. ඒ වගේම දකුණු ආර්කෝට්හි පානමලයහි පල්ලව චිත‍්‍ර වලට ද මේවා සමානය. ක්‍රිස්තු වර්ෂ 12 සියවසේ දී පමණ නිර්මාණය කරන්නට ඇතැයි සිතිය හැකි මෙම චිත‍්‍ර සම්බන්ධව ක්‍රිස්තු වර්ෂ 1907 විශේෂ ප‍්‍රකාශයක් කළ එච්.සී.පී. බෙල් පැවසුවේ විද්‍යාධර ලෙන් සිතුවම් අජන්තා ලෙන් චිත‍්‍රවලට වඩා අග‍්‍රගන්‍ය වන බවයි (ලගමුව 1999:147).

හිටි පිළිමයට ඊසාන දිගින් නැතහොත් සැතපෙන පිළිමයට පිටුපස ශෛලමය කුළුණු කිහිපයක් සහිත හිස් අවකාශමය ගල් ගුහාවක් හමුවෙයි. බැලූබැල්මට මෙහි ද කිසියම් ආගමික කලා කෘතියක් තිබෙන්නට ඇති බව විචාරකයන්ගේ අදහසයි. මැදඋයන්ගොඩ විමලකීර්ති හිමියන්ගේ මතය වන්නේ එකල මෙහි බුදු හිමියන්ගේ ප‍්‍රදක්‍ෂිනා පිළිමයක් පවතින්නට ඇති බවත්, ඒ සමස්ත විහාරස්ථානයෙහි බුදුරදුන්ගේ චතුර් ඉරියව්වෙන් යුත් ප‍්‍රතිමා තැන්පත් කර තිබු බවට අනුමාන කළ හැකි බවයි. මෙම පිළිමවල අන්තර්ගත සෙසු කලා ලක්‍ෂණ පිළිබඳව සාකච්ඡා කරන විට ඒවායේ සිවුරේ රැළි සියුම්ව සමාන්තරව විහිදෙන ආකාරයට නිමවා තිබෙන අතර, විශාල හිඳි පිළිමයේ චීවරය රැළි ද්විත්වාකාරව නිමවා ඇත. සාහිත්‍ය මුලාශ‍්‍රවලට අනුව පැරකුම්බාවන් විසින් මෙම බුද්ධ ප‍්‍රතිමා සියල්ලෙහිම රන් ආලේප කොට තිබිණි. මහැදුරු සෙනරත් පරණවිතානයන් විසින් මධ්‍ය කාලීන අවධියට අයත් අනුරපුර ප‍්‍රතිමා පිළිබඳව ඉදිරිපත් කර ඇති තුලනාත්මක විග‍්‍රහයක් මෙහි දී උපුටා දැක්වීම වඩාත් උචිතය. එය පහත දැක්වේ.

“ඉඳුරන් දිනා ගැනීමෙන් අත්පත් කර ගන්නා ලද ලෝකෝත්තර සමාධියත්, එයින් ඇතිවන ලොව්තුරා බලයත්, ආත්ම සංඥාව මුලිනුපුටා ලීමේ ප‍්‍රතිඵලය වන සිව් සතුන් වෙත පතළ මහ මෙත්ත ශිල්පියා විසින් ඉතා දක්‍ෂ ලෙස පිළිබිඹු කොට තිබේ. අනුරාධපුරයේ පිට රවුම් පාරේ පිහිටි අනුපම සමාධි ප‍්‍රතිමාව හා සසඳා බලන විට, ආධ්‍යාත්මික ගුණය පළ කිරීම අතින් ඊට පහත් තැනක් ගන්නා නමුත්, මෙම බුදු පිළිම අතීත ලංකාවේ ප‍්‍රතිමා ශිල්පීන් විසින් නිමවන ලද ශ්‍රේෂ්ඨතම කෘති අතර ලා සැලකීමට සුදුසුය” (පරණවිතාන 1976:251).

පරණවිතාණයන්ගේ ඉහත කී විවරණයට අනුව පෙනී යන්නේ සමාධි පිළිමය, අවුකන පිළිමය, මහඉලුප්පල්ලම පිළිමය වැනි පුරාතන අනුරාධපුර යුගයේ අග‍්‍රගන්‍ය බුදුපිළිම හා සම කළ නොහැකි වුව ද මේවා පොළොන්නරුව යුගයේ ගොඩනංවන ලද විශිෂ්ඨතම ප‍්‍රතිමා වශයෙන් සැලකිය හැකි බවයි. එහෙත් රජ නියමයෙන් මේවා මූර්තිමත් කරන ලද්දේ කවර ශිල්පියකු විසින් ද යන ප‍්‍රශ්නය ඉතිරිව ඇත. එහෙත් තන්තිරිමලය ප‍්‍රදේශයේ ප‍්‍රචලිත ජනප‍්‍රවාදයකට අනුව ඉහත කී පුරාස්ථානයෙහි වර්තමානයේ දක්නට ලැබෙන බුද්ධ ප‍්‍රතිමා වහන්සේලා නෙලූ ශිල්පියා විසින්ම පශ්චාත් කාලයේ ගල් විහාරයේ බුද්ධ ප‍්‍රතිමා සතර නිමවා ඇත. මෙම පුරාවෘත්තයේ කිසියම් සත්‍යයක් තිබෙන බවට ඒත්තු ගැන්වීම සඳහා සමහර උගතුන් තන්තිරිමලය සහ ගල් විහාරයේ ප‍්‍රතිමා අතර සමානතා රාශියක් පෙන්වා දෙති. මෙම සමානතා වලින් වැඩි ප‍්‍රමාණයක් හඳුනාගත හැක්කේ ද පුරාස්ථානවල පිහිටි හිඳි පිළිම වහන්සේලා නිරීක්‍ෂණය කිරීමෙන් පමණි. නිදසුන් ලෙස තන්තිරිමලේ හිඳි පිළිමයේ දෙ පස චාමරධාරී මිනිස් රූප දෙකක් මූර්තිමත් කර ඇති ආකාරයටම ගල් විහාර විජ්ජාධාර ගුහාවේ හිඳි පිළිමයේ දෙපස චාමරධාරීන්ගේ රූප ද්විත්වයක් නිරූපිතය. මෙම ප‍්‍රතිමා පිටුපස දර්ශනීය මකර තොරණක් නෙළා ඇති අතර එහි දෙ පස හා ප‍්‍රතිමාසනයේ පහළ සිංහ රූප මනාව කැටයම් කර තිබේ. මීට අමතරව උක්ත ප‍්‍රතිමා පිහිටි ලෙන අවට කුඩා විමාන තුළ සියුම්ව නෙළන ලද ධ්‍යාන බුද්ධ රූපවලින් පරීක්‍ෂේපිතය. කෙසේ හෝ වේවා ක්‍රිස්තු වර්ෂ 7-9 අතර කාල පරිච්ෙඡ්දය තුළ තන්තිරිමලය බුදු පිළිම නෙලූ බවට සැක කෙරෙන අතර ක්‍රිස්තු වර්ෂ 12 වැනි සියවසේ දී පමණ ගල් විහාර බුදු පිළිම වහන්සේලා නිර්මාණය කරන්නට ඇති බවට සැලකේ. සැබැවින්ම ක්‍රිස්තු වර්ෂ 7ත් ක්‍රිස්තු වර්ෂ 12ත් අතර කාල සමය ලංකා ඉතිහාසයේ සංකීර්ණ කාල පරිච්ෙඡ්දයකි. මක්නිසාද යත් මෙකල ඇතැම් දුරදර්ෂි පාලකවරු යටතේ සමෘද්ධිමත් පාලන සමයක් ගොඩනැංවුණු බවට සාධක පැවතිය ද, අභ්‍යන්තර කැරලි කෝලහල මෙන්ම විනාශකාරී විදේශ ආක‍්‍රමණවලින් ද අඩුවක් නොවීය. එබැවින් අවුරුදු 500ක් වැනි දීර්ඝ කාලයක් පුරාවට ලලිත කලා ගුරු කුලයක් කිසිදු උපද්‍රවයක් හෝ නොමැතිව දිවයිනේ වයඹදිග කලාපයේ රැඳී සිටි බවට පැවසීම විශ්වාස කළ නොහැකිය. එසේ නම් ඉහත කී ප‍්‍රතිමා ද්විත්වයේ ම බොහෝ කලාංග සමාන වීම කෙරෙහි බලපෑ බලවේගය කුමක්ද? යන්න විමසා බලමු.

ක්‍රිස්තු වර්ෂ ස වැනි සියවසේ සිට ක‍්‍රමයෙන් හිස ඔසවමින් පැවත ක්‍රිස්තු වර්ෂ 3 වැනි සියවසේ අනතුරුව ථෙරවාදය හා තරඟකාරීව පැතිරී ගිය මහායාන බලපෑම බව උගතුන්ගේ මතයයි. තන්ත‍්‍රායනය, වජ‍්‍රාසනය, නීලපට දර්ශනය වැනි මහායානික නිකායන් රාශියක් ලක්දිවට ප‍්‍රවිශ්ඨ විය. ඒ සමඟම මහායානික සංස්කෘතික බලපෑමට ලක්වීමට මෙරට කලා ශිල්පියාට සිදු වූ අතර එහි ප‍්‍රතිඵලයක් වශයෙන් මකර තොරණ, විශ්ව වජ‍්‍ර සංකේතය යනාදී මහායානික කලාංගයන් රාශියක් මෙරට බුදු පිළිම කලාව හා ඒකාබද්ධ විය. මහාතිත්ත තොටුපළ සිට අනුරාධපුරය දක්වා විහි දී ගිය මාර්ගයේ ප‍්‍රධාන වාණිජ හා ආගමික මධ්‍යස්ථානයක් වශයෙන් පවතින්නට ඇතැයි සිතිය හැකි තන්තිරිමලය තොටුපළ ආශ‍්‍රයෙන් මහායානික සංස්කෘතිකාංගයන්වල නියත බලපෑමට ලක්වීමට සිදු වූ බව පැවසීම තර්කානුකූලය. එහෙත් මෙම ආගමික ව්‍යාකූල තත්ත්වය සමථයට පත්කර ගැනීමෙහි ලා අවංකවම සිය කාලය මිඩංගු කළ පැරකුම්බාවන් විසින් තුන් නිකායම සමගි කරවීය. මේ නිසා ඒ ඒ බෞද්ධ නිකායන්ට අයත් කලා ශිල්පීන්ට ස්වකීය අභිමතය පරිදි කලා කටයුතුවල නිරත වීමට අවකාශ සැලසිණ. ඒ බව වඩාත් තහවුරු වන්නේ පැරකුම්බා නියමයෙන් ගොඩනංවන ලද ගල් විහාරයන්හි ඇතුළත් නිර්මාණ අතර මකර තොරණ, වජ‍්‍ර සංකේතය, රංසිඵලකය, ස්ථූප සංකේත, පංච ධ්‍යාන බුද්ධ ප‍්‍රතිමා වැනි මහායානික කලාංගයන් අන්තර්ගතව තිබීම ය (වික‍්‍රමගමගේ 1998:10). එබැවින් මහැඳුරු පී.ඊ.ඊ. ප‍්‍රනාන්දු, මහැඳුරු පේ‍්‍රමතිලක ඇතුළු විද්වතුන් කිහිපදෙනෙකුගේ මතය වන්නේ ඒවා වජ‍්‍රයාන මහායානික මූර්ති ශිල්පීන් විසින් නිර්මාණය කරන්නට ඇති බවයි (වික‍්‍රමගමගේ 1998:10-16).

වර්තමානය වන විට අපට ගල් විහාරයේ බුදු පිළිම වහන්සේලා දකින්නට ලැබෙන්නේ එළිමහනේ දී වුව ද අතීතයේ ඒවා දැවයෙන් හෝ ගඩොලින් කරවන ලද ගොඩනැඟිල්ලකින් හෝ කුඩා ප‍්‍රතිමා ගෘහවලින් ආවරණය කර තිබෙන්නට ඇති බවට සාධක විහාරය ඉදිරිපස හමුවන ශක්තිමත් ඝනකම් ගඩොළු අත්තිවාරම් තුනෙන් මෙන්ම ගලෙහි මුහුණතෙහි බිත්තිවල සීමා දක්නට ලැබීමෙන් විශද වේ (ලගමුව 1999:144). මේවා සම කාලීන තිවංක පිළිමගෙය, ලංකාතිලකය වැනි පිළිම ගෙවල්වල ආකෘතියට සමාන බව උගතුන්ගේ අදහසයි (ලගමුව 1999:199). මීට අමතරව විහාරය ඉදිරිපස බෝධිඝරයක නටඹුන් හඳුනාගත හැක. බද්ධ සීමා ප‍්‍රාසාදයෙහි ද ගල් විහාරයේ ප‍්‍රතිමා තරම් උසස් නොවූව ද එහි ආකෘතියට සමාන කුඩා බුදු පිළිම කීපයක් නෙළා ඇත. දර්ශනීය බුද්ධ ප‍්‍රතිමා වහන්සේලාට අමතරව විද්‍යාධර ගුහාවත් හිටි පිළිමයත් අතර පර්වතයෙහි මහා පැරකුම්බා නියමයෙන් කොටවන ලද පොලොන්නරුව කතිකාවත හෙවත් ගල් විහාර සෙල් ලිපිය හඳුනාගත හැක. අඩි 13×4 ප‍්‍රමාණයෙන් සහ පේළි 51කින් යුත් මෙම ලිපියෙහි (E.Z VOL. 2.P. 256) අන්තර්ගතය වන්නේ ලංකේෂ්වර පරාක‍්‍රමබාහු රජගේ රාජ අනුග‍්‍රහය ලද දිඹුලාගල කාශ්‍යප හිමියන් ප‍්‍රධාන සංඝයා රැස් කරවා දුශ්ශීල මහණුන්ගේ සිවුරු හරවා බැහැර කොට සුචරිතවත් භික්‍ෂූන්ට සිවුපස සලසා තුන් නිකායම සමඟි කොට ශාසන ශුද්ධියක් කරවා ඒ ඒ නිකායන් විසින් අනුගමනය කළ යුතු වත්පිළිවෙත් පිළිබඳව වූ ව්‍යවස්ථාවන් ය (ලගමුව 1999:147).

ඉහත කී කරුණු කාරණා සමාලෝචනය බැලූ විට පෙනී යන්නේ උත්තරාරාමය හෙවත් ගල් විහාරය යනු මධ්‍ය කාලීන ලංකාවේ ශාසනික ඉතිහාසය සහ කලාශිල්පවල ඉතිහාසයේ සාරය කැටි කොට නූතන ශාස්ත‍්‍රඥයාට විශද කරවන උසස් බෞද්ධ ස්මාරකයක් වන බවයි. එබැවින් මෙම කලාගාරය සුරැකීම ලාංකේයයන් වන අපගේ යුතුකමකි.

ආශී‍්‍රත ග‍්‍රන්ථ නාමාවලිය

  • මහාවංසය (1996) හික්කඩුවේ ශී‍්‍ර සුමංගල හිමි, බටුවන්තුඩාවේ දේවරක්‍ෂිත පඬිතුමා, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව, කොළඹ.
  • අමරසිංහ, මාලිංග (1998) පොලොන්නරුවේ නටඹුන්, කොළඹ එස්. ගොඩගේ සහ සහෝදරයෝ
  • දේවේන්ද්‍ර, ඩී.ටී. (2007) සඳකඩ පහණ සහ වෙනත් ලිපි, කොළඹ එස්. ගොඩගේ සහ සහෝදරයෝ.
  • රතනසාර, තිරාණගම (1985) බුදු පිළිමය, කොළඹ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව.
  • ලගමුව, ඒ. (1999), මධ්‍යකාලීන රාජධානිය පොලොන්නරුව, කොළඹ සරසවි ප‍්‍රකාශකයෝ.
  • වික‍්‍රමගමගේ, චන්‍ද්‍රා (1998), ගල් විහාරයේ කලාව හා වාස්තු විද්‍යාව, කර්තෘ ප‍්‍රකාශනයකි.
  • පරණවිතාන, සෙනරත් (1976) ලංකා ඉතිහාසය, 11 කාණ්ඩය, කොළඹ, විද්‍යාලංකාර විශ්ව විද්‍යාල ප‍්‍රකාශනයකි.
----------------------------------------------------------------------------------
මෙම ලිපිය 2019.08.26 වැනි දින  www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ ප‍්‍රකාශයට පත් විය.
----------------------------------------------------------------------------------

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.