ප්‍රියන්ත සුසිල් කුමාර මාරසිංහ

පොළොන්නරුව ව්‍යාපෘතිය, මධ්‍යම සංස්කෘතික අරමුදල, පොළොන්නරුව.

ප‍්‍රවේශය

ප්‍රියන්ත කුමාර මාරසිංහ

(1981 වර්ෂයේ සිට 2014 වර්ෂය දක්වා පොළොන්නරුව ආළාහණ පරිවෙන ව්‍යාපෘතිය කේන්ද්‍රකොට සිදුකරන ලද කැනීම්වලින් සොයාගත් ලෝහ පුරාවස්තු හා සොයාගත් ක්‍ෂේත‍්‍රයන් පිළිබඳ සිදුකරන ලද පුරාවිද්‍යාත්මක අධ්‍යයනයකි.)

යපස්වලින් ලෝහ නිස්සාරණය කිරීමේ පටන් ලෝහ භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා සුදුසු මට්ටම දක්වා ලෝහ සකස් කරගැනීමත් පොළොන්නරුව කලාපයේ දී ම සිදු කළ බවට සාධක හමු වේ. ක්‍ෂේත‍්‍රය පුරා විසිරී යබොර සමූහයේ ඝණත්වය හා භාවිත තාක්‍ෂණික මෙවලම් සහ උපකරණවල ඝණත්වය හා කම්හල් බොරවල ඝණත්වය යන නිර්ණායක දෙකක් ඔස්සේ සිදුකරන ලද අධ්‍යයනයක නිගමනයන් මෙහි දී සාකච්ඡා කෙරේ. ඒ අනුව, ලෝහ නිස්සාරිත කර්මාන්ත ශාලා පිහිටි ප‍්‍රදේශ ආශ‍්‍රිතව බහුල වශයෙන් යබොරත් භාණ්ඩ නිෂ්පාදිත කම්හල් ආශ‍්‍රිත ව බහුල වශයෙන් ලෝහ භාණ්ඩ නිෂ්පාදනයේ දී ඉවත්වන බොර කොටසුත් සුලභව දැකිය හැකි වේ. එබඳු ක්‍ෂේත‍්‍ර 8ක් පිළිබඳව සාධක පොළොන්නරුවේ ආළාහන පරිවෙණ හා තදාශ‍්‍රිත කලාපයේ ක්‍ෂේත‍්‍රයේ මතුපිට විධිමත් ගවේෂණ මඟින් හඳුනාගත හැකි විය. ඒ ආශ‍්‍රිතව සිදුකොට ඇති කැනීම් මගින් සොයාගත් ලෝහ පුරාවස්තු සිතියම් මත ප‍්‍රතිස්ථාපනය කිරීමෙන් මෙම නිගමනයන් වඩාත් ප‍්‍රත්‍යක්‍ෂ කරගත හැකි විය.

ලෝහ නිස්සාරිත පරිශ‍්‍ර හා කම්හල්

i. කම්හල් පරිශ‍්‍රය (07057’37.67” N, 81000’16.17” E, 231 ft (AMSL))

පොළොන්නරුව ආළාහන පරිවෙණ ආරාම සංකීර්ණය මාලක කිහිපයකින් යුක්ත මළු බැමි සහිත භූමියකි. එහි භික්‍ෂු කුටි පිහිටි මාලක දෙකකි. පහළින් ම පිහිටි මාලක භූමියේ (ගෝපාල පබ්බතයට පහළින් නැඟෙනහිර) කැනීම්වලින් සොයාගෙන ඇති සාධකවලට අනුව කම්හල් පරිශ‍්‍රයක සාධක බවට අර්තකථනය කළ හැකි ය. මෙම ප‍්‍රදේශය පුරා ඝණව ව්‍යාප්ත වූ කළු පැහැති අළු සහිත පස් ස්තරයේ දී යකඩ කැබලි හා බොර විශාල වශයෙන් හමුවීම අනුව භාණ්ඩ නිෂ්පාදනය සඳහා යොදාගත් භූමියක් බවට නිගමනය කළහැකි අතර මේවා නිෂ්පාදිත කම්හලෙන් ඉවත දැමූ ඒවා විය හැකි ය. ‘අළාහණ පරිවෙන භූමි ප‍්‍රමාණය ම සමඟ සසඳා බැලුවහොත් මෙහි හමු වූ යකඩ භාණ්ඩ ප‍්‍රමාණය අධික ය’ (පේ‍්‍රමතිලක 1995:62).

විවිධ ලෝහ භාණ්ඩවලට අමතරව විවිධ ප‍්‍රමාණවල කෝව හා කොටස් ද ප‍්‍රමාණ පුවරු ද විශාල වශයෙන් වාර්තා වී ඇත (පේ‍්‍රමතිලක 1985:9)  ආළාහණ පරිවෙන කැණීම් කොටු දැලෙහි කොටු 15ක එනම් වර්ගමීටර 13,500ක් තුළ කෝව කොටස් 211ක් වාර්තා වී ඇත. එකම ප‍්‍රදේශයකින් මෙතරම් ප‍්‍රමාණයක් වාර්තාවීම තුළ අනිවාර්යයෙන් ම ලෝහ කම්හලක් බව පිළිගත හැකි ය.

ii. කම්හල් පරිශ‍්‍රය (07057’21.38” N, 81000’10.18” E, 227 ft (AMSL))

මීට අමතරව 1990 දශකයේ කරන ලද කැනීම් හා පර්යේෂණ මඟින් පැරණි වීදිය හා රන්කොත් වෙහෙර අතර පැරණි වීදියේ බෝධිඝරයට වයඹ දෙසින් නැගෙනහිර සිට බටහිර දිශානුගතව දිවෙන මාර්ගය ආසන්නයේ කැණීම් වළවල්වල  2 සහ 3 ස්තරවලින් උඳුන් කැබලි සහ විවිධ යකඩ අවශේෂ කොටස් හමු වී ඇත (පේ‍්‍රමතිලක 1997:28). මෙම ක්‍ෂේත‍්‍රය මැණික් වෙහෙර සංකීර්ණයට උතුරු දිසාවෙන්, රන්කොත් වෙහෙරට මීටර් 300ක් පමණ දකුණු දෙසින් හා දකුණු ගොඩැල්ල ස්තූපයට බටහිරින් වාන් ඇළ ආසන්නය දක්වා පැතිර පවතී. මැණික් වෙහෙර සිට උතුරු දිසාවට විහි දී යන පැරණි මාර්ගය ආසන්නයේ මෙම ලෝකුරු කම්හල පිහිටා ඇත. මෙම ප‍්‍රදේශය පැරණි ඉදිකිරීම් රාශියක මධ්‍යගතව පිහිටා ඇත. එබැවින් යකඩ නිස්සාරණයට වඩා යකඩ උපකරණ නිෂ්පාදනය ආයුධ පණපෙවීම හා මුවහත් කිරීමට යොදාගත් කම්මලක උදුනක් යැයි සිතිය හැකි ය.

iii. කම්හල් පරිශ‍්‍රය   (07056’33.19” N, 81000’05.69” E, 231 ft (AMSL))

ඇතුළුනුවර රාජකීය පරිශ‍්‍රය තුළ පිහිටි පරාක‍්‍රමබාහු රාජමාලිගයට නැගෙනහිර දිසාවෙන් සහ රාජසභා ගොඩනැඟිල්ලට දකුණු දිසාවෙන් පිහිටි ගොඩනැඟිලි සැළසුම දැනට හඳුන්වන්නේ විජයබාහු මාලිඟය ලෙසයි. එහෙත් මෙහි වාස්තුවිද්‍යාත්මක ලක්‍ෂණ හා 2012 වර්ෂයේ සිදුකළ කැනීම් මගින් ලැබුණු සාධක අනුව ඇතුළුනුවර රාජකීය භාණ්ඩාගාර ගොඩනැඟිල්ල වශයෙන් අර්ථ දැක්වීමට හැකි විය. එහි ලැබුණු සාධක අනුව කාසි නිෂ්පාදනය මෙන්ම තඹ හා රන් ලෝහ භාවිතයෙන් කිසියම් නිෂ්පාදන ක‍්‍රියාවලියක් සිදුවූ ස්ථානයක් බව තහවුරු කරගතහැකි විය. මෙහි රන් තඹ හා යකඩ ලෝහ ආශ‍්‍රිත නිෂ්පාදන සිදු වන්නට ඇති බවත් ගොඩනැඟිල්ල තුළ නොඋස් ගල්කණු මත වූ අටුවක සාධක නිෂ්පාදන ගබඩා කිරීමට යොදාගත් ආරක්‍ෂිත ක‍්‍රමවේදයක සාධකත් දැකිය හැකිවේ.

iv. නිස්සාරිත පරිශ‍්‍රය (07057’28.17” N, 81000’22.40” E, 216 ft (AMSL))

ඇතුළුනුවර උතුරු දොරටුවේ සිට උතුරට විහිදෙන පිටනුවර කොටසේ රන්කොත් වෙහෙර දක්වා වූ පැරණි වීදියෙන් මීටර 200ක් පමණ නැගෙනහිර දිසාවෙන් වර්තමානයේ ගල්තඹරාව නමින් හඳුන්වන ගම්මානය ආශ‍්‍රිතව ලෝහ නිස්සාරිත පරිශ‍්‍රයක් වූ බවට ප‍්‍රදේශය පුරා දක්නට ලැබෙන යබොර ඝණත්වය සාධක සපයයි. භූමිය මතුපිට දැකිය හැකි තඹ ගල් හේතුවෙන් මෙම ප‍්‍රදේශයට තඹ+ගල්+අරාව යනුවෙන් භාවිත වූ අතර පසු කාලීනව ගල්තඹරාව නම පටබැඳී ඇති බව ජනප‍්‍රවාදයේ එයි. ඒ අනුව මෙම ප‍්‍රදේශයේ භූමිය මතුපිට නිරීක්‍ෂණයෙන් යබොර කොටස් විශාල වශයෙන් ප‍්‍රදේශය පුරා ව්‍යාප්තව ඇති හඳුනාගත හැකිවිය.

v. නිස්සාරිත පරිශ‍්‍රය (07058’13.23” N, 81059’43.99” E, 238 ft (AMSL))

පොළොන්නරු නගරයේ උතුරු පිට නුවරින් බටහිරට වන්නට ආළාහන පරිවෙණට මීටර 700ක් පමණ ආසන්නයෙන් බටහිර දිගින් එක් ලෝහ නිස්සාරිත ක්‍ෂේත‍්‍රයක් ලෙස හඳුනාගත හැකිවිය. ඇතුමල්පිටිය (ආනහුලුන්දාව) වර්තමාන පාසල් භූමිය ආශ‍්‍රිත ප‍්‍රදේශය පුරා මෙම සාධක හඳුනාගත හැකිය. ඇතුමල්පිටිය මුන්නියානේ වැවෙහි උතුරින් ඉස්මත්තේ වූ පරිශ‍්‍රය, විශාල ප‍්‍රදේශයක් පුරා ඝණව විසිරුණු යබොර සහිත ය. ඇතැම් තැනෙක ඝණ තට්ටු වශයෙන් ද ඇතැම් තැනෙක කුඩා කැබලි වශයෙන් කැඞීගිය යබොර කොටස් ද දැකිය හැකිය. බොහෝවිට මෙම ස්ථානය යකඩ නිස්සාරණය කිරීම සිදු වී ඇති බව මෙම මතුපිට සාධකවලින් අනාවරණය වේ. ප‍්‍රාදේශීය වශයෙන් ගත්කල පොළොන්නරුව ප‍්‍රදේශයේ යපස් දුලබ ය. ඒ අනුව මෙම ස්ථානයට යපස් මහාපරිමාණ වශයෙන් පිටතින් රැගෙන ආ බව සිතිය හැකි ය.

vi. නිස්සාරිත පරිශ‍්‍රය (07057’.153” N, 81000’.309” E, 184 ft (AMSL))

ඇතුළුනුවර උතුරු දොරටුවේ සිට උතුරට විහිදෙන පිටනුවර කොටසේ රන්කොත් වෙහෙර දක්වා වූ පැරණි වීදියෙන් නැගෙනහිර කොටසේ අංක IX ගල්තඹරාව ලෝහ නිස්සාරිත පරිශ‍්‍රයේ සිට මීටර 500 දකුණු දිසාවෙන් මෙම පරිශ‍්‍රය පිහිටා ඇත. ඇතුළුනුවර උතුරු බැම්මට මීටර 200ක් උතුරින් හා පැරණි වීදියට මීටර 200 නැගෙනහිරින් ස්ථානගතව තිබෙන භූමිය මතුපිට විශාල වශයෙන් දැකිය හැකි බොර කැබලි, ප‍්‍රමාණ පුවරු හා කෝව කැබලි මේ සඳහා සාධක වශයෙන් දැක්විය හැකිය.

vii. කාසි නිෂ්පාදිත පරිශ‍්‍රය (07056’96.45” N, 81000’09.17” E, 233 ft (AMSL))

ඇතුළුනුවර රාජකීය පරිශ‍්‍රයේ උතුරු ප‍්‍රාකාරයේ නැගෙනහිර කොටස දකුණු සීමාව ලෙසත් දළඳා චතුරශ‍්‍රය බටහිර සීමාව ලෙසත් හඳුනාගතහැකි භූමි භාගය කාසි නිෂ්පාදනය සම්බන්ධයෙන් සාධක බහුල කොටසකි. මෙම කොටසේ සිදුකළ මතුපිට ගවේෂණවල දී බහුල ලෙස හමුවූයේ කාසි නිෂ්පාදනය සඳහා ලෝහ ප‍්‍රමාණ මැනගත් ප‍්‍රමාණ පුවරුවල කොටස් ය. මේවා අනුව විවිධ අගයන් සහිත කාසි මෙම ස්ථානයේ නිපදවා ඇති බව පෙනේ. මෙම ප‍්‍රදේශයේ භූමිය මතුපිට නිරීක්‍ෂණයෙන් යබොර කොටස් විශාල වශයෙන් ප‍්‍රදේශය පුරා ව්‍යාප්තව ඇති හඳුනාගත හැකි විය.

රාජකීය පරිශ‍්‍රයෙන් හා ඇතුළුනුවරින් බැහැර උතුරු පිට නුවර මධ්‍යගතව ආරාමික ක්‍ෂේත‍්‍රය පිහිටා ඇති අතර ඉන් බැහැර පෙදෙස්වල එනම් උතුරු දිසානුගත වීදියෙහි නැගෙනහිර හා බටහිර පෙදෙස්වල සාමාන්‍ය ජනතාවගේ වාසස්ථාන හා කර්මාන්ත පරිශ‍්‍ර පිහිටි බව ක්‍ෂේත‍්‍ර ගවේෂණවල දී හඳුනාගත හැකිවිය. මෙම ජනාවාස ආශ‍්‍රිතව ව්‍යාප්තවූ ඉහත ක්‍ෂේත‍්‍ර සියල්ලෙන් ම පාහේ යකඩ නිස්සාරණයෙන් ඉවත දැමූ යබොර (හිමටයිට්) කොටස් බහුලව හමුවේ. විවිධ යකඩ උපකරණවල නිෂ්පාදිත කොටස් ද මෙයින් හමුවේ. VI ක්‍ෂේත‍්‍රය හැරුණු විට අනෙකුත් ක්‍ෂේත‍්‍ර සියල්ලෙන් ම කාසි නිෂ්පාදනය සඳහා යොදාගත් ප‍්‍රමාණ පුවරුවල කොටස් සොයාගත හැකිවිය. එපමණක් නොව කාසි නිෂ්පාදනයේ අවස්ථා නිරූපණය කරන තඹ ඵලක හා තඹ පිණ්ඩ ද සොයාගත හැකිවිය. III ක්‍ෂේත‍්‍රයෙන් තඹ බොර සහ නිස්සාරණයේ දී ඉවත් වූ තඹ කුඩා ස්ඵටික ගෝලාකාර කොටස් ද හඳුනාගත හැකි විය.

ඉහත හඳුනාගත් නිස්සාරිත කම්හල්වල නිෂපාදිත ලෝහයන්හි ගුණාත්මක භාවය හා ශිල්පීන් සතු හැකියාව පිළිබඳව හැදෑරිය හැකි සාධක කිහිපයක් ද හඳුනාගත හැකිවිය. ලෝහ නිෂ්පාදනය පිළිබඳ පරිණත දැනුමක් පොළොන්නරු යුගයේ ශිල්පීන් සතුවූ බව විවිධ ලෝහ හා සම්බන්ධ නිෂ්පාදන හමුවීමෙන් පෙනේ. කිසියම් ලෝහයක් ද්‍රව බවට පත්වන්නා වූ උෂ්ණත්වය (ද්‍රවාංක උෂ්ණත්වය) මේ අනුව ඔවුන් හොඳින් දැනගෙන සිටින්නට ඇති බව පැහැදිලි වේ. ඒ අනුව වර්තමාන ගණනය කිරීම්වලට අනුව ඒ ඒ ලෝහයන්හි ද්‍රවාංක උෂ්ණත්වය මේ ආකාර වේ. යකඩ ලෝහය ද්‍රව බවට පත් කිරීම සඳහා ඉතා ඉහල උෂ්ණත්වයක් එනම් සෙ.ගේ‍්‍ර. අංශක 1535ක් අවශ්‍ය කෙරේ. පොළොන්නරු යුගයේ භාවිත අනෙකුත් ලෝහ වර්ගවල ද්‍රවාංකය සඳහා අවශ්‍ය වී ඇත්තේ ඊට වඩා අඩු උෂ්ණත්තවයක් ප‍්‍රමාණයකි. පිළිවෙළින් ද්‍රවාංකය අනුව දැඩි ලෝහයේ සිට මෘදු ලෝහය දක්වා (1535 C0), තඹ (1083 C0), රන් (1063 C0), රිදී (961’9 C0), තුත්තනාගම් (419’6 C0), ඊයම් (327’5 C0), ටින් (231’9 C0) වේ. එතරම් ඉහල උෂ්ණත්වයක් පවත්වාගෙන යෑම සඳහා ශිල්පීන් භාවිත ප‍්‍රාදේශීය වශයෙන් සුලභ අමුද්‍රව්‍යයන් නිසැකව ම හේතු වන්නට ඇතැයි සිතිය හැකි ය. පොළොන්නරු ශිල්පීන් ඒ සඳහා බහුලවම යොදාගත්තේ රණවරා, වාය පත්බේරිය වැනි අධික උෂ්ණත්වයක් සහිත දැව අඟුරු ය. මීට අමතරව යපස්වලින් අමු යකඩ පෙරා ගැනීමේදී පොළොන්නරු ශිල්පීන් ඒ සඳහා ඔක්සීහාරක ද්‍රව්‍යයක් ලෙස ප‍්‍රාදේශීය වශයෙන් සුලභ හුණුගල් මිශ‍්‍රකොට ඇත. මෙම මිශ‍්‍රණ ප‍්‍රමාණය යපස් 4ට හුණුගල් 1 පමණ වේ. ඒ අනුව යකඩ 1.5ට 1 වශයෙන් යබොර ඉවත් වේ. මෙම තාක්‍ෂණය මගින් හෙමටයිට් හා ලිමොනයිට් යපස් උණුකරගත් බවට ඉවත දැමූ යබොරවල සංයුතිය අනුව පෙනේ.

නිස්සාරණ උදුන් තුළ ඔක්ෂීකරණ තත්වය හොඳින් පවත්වා ගැනිමෙන් භාවිත කරන අමු ද්‍රව්‍යවලින් උපරිම නිෂ්පාදනයක් ලබා ගැනීමට හැකිවන බව අවබෝධ කොටගත් බව පෙනේ. දැව අඟුරු දැමීමෙන් ලබාගත හැකි උපරිම උෂ්ණත්වය වන්නේ 700C0 ක් පමණි. මේ නිසා උදුන තුළ ඉහළ උෂ්ණත්වයක් රදවාගත හැකි වන්නේ ස්වභාවික වාත ධාරාවක් හෝ කෘතිම වාත ධාරාවක් වායු නල තුළිින් උදුන තුළට යැවිමෙනි. ඒ අනුව කලාපීය වශයෙන් ඇතිවන වාර්ෂික කාලගුණික රටාව තුළ ඇතිවන ඊසාන දිග මෝසම් සුළං ප‍්‍රවාහය මේ සඳහා උපයෝගී කරගත්තා ද යන්නට ප‍්‍රමාණවත් සාධක මෙතෙක් ලැබී නොමැත. නිස්සාරිත පරිශ‍්‍ර ආශ‍්‍රිතව ලැබෙන මැටි නල සහ විශාල ප‍්‍රමාණයේ කෝව හා උදුන් ආදී සාධක අනුව කෘතිම සුළං භාවිතයෙන් උදුන් තුළ උෂ්ණත්වය සමතුළිත කරගන්නට ඇතැයි සිතිය හැකිය. නිෂ්පාදන කාර්යය සඳහා සුළං ප‍්‍රවාහය උපයෝගී කරගැනීමට තරම් සුදුසු භූ පිහිටීමක් පොළොන්නරු නගරය ආශ‍්‍රිතව පිහිටි නිස්සාරිත පරිශ‍්‍රයන්ට නොමැත. වැව් භූමියට සාපේක්‍ෂව නිස්සාරිත ප‍්‍රදේශ පහතින් පිහිටීම මීට ප‍්‍රධාන හේතුවයි.

ලෝහවල ඇති ගුණාංග අවම වශයෙන් 3ක් පිළිබඳව පොළොන්නරු යුගයේ ශිල්පීන් මනා දැනුමකින් යුක්තව සිටි බව නිෂ්පාදිත සාධකවලට අනුව පෙනේ. ඒ අනුව ලෝහවල ඇති ප‍්‍රධාන තාක්‍ෂණික ගුණාංගයක් වන වාත්තුතාව හෙවත් වාත්තු කිරීමේ හැකියාව (Castability) හොඳින් අවබෝධකර ගෙනසිටි බව පැහැදිලි වේ. ලෝහ කැබලි දෙකක් එක් කිරීම හෙවත් වත්මන් ව්‍යවහාරය අනුව වෙල්ඩින් කිරීම (Weldability) සමස්ත ලෝහ වැඩවල දී සිදුකර ඇති අතර යකඩ භාවිතයේ දී කැපීපෙනෙන සාධක හමුවේ. ලෝහයක් රත්කිරීමෙන් ද්‍රව බවට පත්කිරීම පිළිබඳව මනා අවබෝධයක් විය. වර්තමානයේ ‘විලයනීයතාව’ වශයෙන් හඳුන්වන මෙය මිශ‍්‍ර ලෝහ නිපදවා ගැනීමට වාත්තු කිරීමට බෙහෙවින් ඉවහල් වේ. මෙම තත්වයන් පිළිබඳව දැනුමක් තිබූ බව පැහැදිලිවීමෙන් එවකට ලෝහ තාක්‍ෂණය ඉහල මට්ටමක පැවැති බව කිව හැකිය.

ලෝහ කර්මාන්තය සඳහා යොදාගත් විවිධ තාක්‍ෂණික උපකරණ (Equipment)

ඉහත පරිච්ඡේදවල දී පොළොන්නරුව ආළාහන පරිවෙණ භූමියෙන් මෙතෙක් අනාවරණය කරගෙන තිබූ අවශේෂයන් සැලකිල්ලට ගෙන ආරාමික ලෝහ කර්මාන්තයක් පැවති බවට තහවුරු කරගන්නට හැකි විය. ඉහත තහවුරු කිරීම සඳහා වැදගත් සාක්ෂ්‍යයන් ලෙස පහත දී විස්තර වන කෝව, උඳුන් ආදී උපකරණ හා අවශේෂයන් සැලකිය හැකි ය. පහත තොරතුරු ලෝහ කර්මාන්තය සම්බන්ධයෙන් විශ්වාසදායක තොරතුරු ලෙසට ද හැඳින්විය හැකි ය.

කෝව (Crucibale)

ආළාහණ පරිවෙණ විශාල ගොඩනැඟිලි සංකීර්ණයකට හිමිකම් කියන හෙයින් ඒ සඳහා අවශ්‍ය වන ලෝහ ප‍්‍රමාණය අති විශාල ය. ලෝහ නිස්සාරණ කටයුතු තත්භූමියේ සිදු වූ බවට සාධක නැතත් දෙවනවර උණු කිරීම හෝ ලෝහ මිශ‍්‍ර කිරීම වැනි කටයුතු සිදු වූ බවට සාධක ලැබී තිබේ. එම නිසා ම කෝව කැබලි විශාල වශයෙන් භූමිය පුරා විසිරී පැතිරී තිබෙනු දැකිය හැකි ය.

රන් රිදී ඇතුළු වෙනත් විවිධ ලෝහ වාත්තු කිරීමේ ක‍්‍රියාදාමයට භාවිත කරන ලද කෝව විශාල ප‍්‍රමාණයක් මධ්‍යම සංස්කෘතික අරමුදලේ කැණීම් මගින් පොළොන්නරුව ආළාහන පරිවෙණ ව්‍යාපෘතිය මගින් සොයාගෙන තිබේ. පොළොන්නරු යුගයේ ලෝහ කර්මාන්තය හා සම්බන්ධ උපකරණ පිළිබඳ අධ්‍යයනයේ දී වැඩි වශයෙන් ම හමු වී ඇති කෝව කැබලි ප‍්‍රධාන වේ. රන්, රිදී, තඹ, යකඩ ආදී වූ ලෝහ උණු කිරීම, මිශ‍්‍ර කිරීම ආදී කටයුතු සඳහා මෙම කෝව භාවිතයට ගෙන තිබේ. කෝව යනු ඖෂධ පිළිස්සීමට හා ලෝහ වර්ග උණු කිරීමට ගනු ලබන භාජනය යනුවෙන් සුමංගල ශබ්දකෝෂයෙහි දක්වා ඇත (සුමංගල ශබ්දකෝෂය 304). ආලාහන පරිවෙණ ව්‍යාපෘතිය යටතේ කරන ලද කැණීම්වලින් විවිධ ප‍්‍රමාණයේ හා විවිධ හැඩයෙන් යුතු කෝව විශාල ප‍්‍රමාණයක තොරතුරු අනාවරණය කරගන්නට හැකි වී තිබේ. සමකාලීන ලෝහ කර්මාන්තය පිළිබඳ ඉතාම වැදගත් සාක්ෂ්‍යයන් වී තිබේ. සිලින්ඩරාකාර හා කෙමිය සහිත ගෝලාකාර කෝව වශයෙන් ප‍්‍රධාන කොටස් 2ක් යටතේ වර්ග 12ක් හඳුනා ගැනීමට හැකිවිය.

ආළාහන පරිවෙණ සංකීර්ණයේ නැගෙනහිර පහළ මාලකයේ දෙවන ස්තරයේ කැණීම්වලින් කෝව හා ඒවායෙහි කොටස් 211 හමු වී ඇති බවට වාර්තාගත වී ඇත(පේ‍්‍රමතිලක 1985). එකම ප‍්‍රදේශයකින් වැඩිපුර කෝව ප‍්‍රමාණයක් හමුවීම අනුව මෙම කොටස කම්හල් පරිශ‍්‍රයක් වශයෙන් යොදාගත් බව සිතිය හැකි ය. මේ බව තහවුරු කරන දෙවන ස්තරයේ සිට ඝණව ව්‍යාප්ත වූ අළු හා අඟුරු තට්ටුව ඊටම සම්බන්ධ සෙසු සාධක ලෙස දැක්විය හැකිය. මෙම සිලින්ඩරාකාර කෝවවල දැකිය හැකි පොදු ලක්ෂණයක් වන්නේ උණු ලෝහ වත්කිරීම සඳහා පිහිල්ලක ආකාරයෙන් තැනුණු මුවවිටයි. පිහිල්ල රහිත කෝව ද කිහිපයක් දක්නට හැකි විය. ගැඹුරු උස කෝව වල මෙම කොටස නිසාවෙන් උණු වී වැගිරෙන ලෝහ අච්චුවකට හෝ වෙනත් අවශ්‍ය ස්ථානයකට වත් කිරීම පහසු වී තිබේ. අල්ලාගැනීම සඳහා පිටතට නෙරාගිය විශේෂ ආධාරකයක් සහ උණු ලෝහ වත් කිරීමට සකස්කළ තරමක් දිග කෙමියක් සහිත කෝව විශේෂයක් ද පොළොන්නරුවෙන් හමු වී ඇත. මේවා අපහසුවකින් තොරව අඬුවක් මඟින් කෝව හැසිරවීමටත් ද්‍රව ලෝහ සියල්ල අපතේ නොයවා අවසන් බිංදුව දක්වා ඉවත් කර ගැනීමටත් මෙහි පහසුකම් ඇත. පොළොන්නරුවෙන් ලැබී ඇති කෝව කිහිපයක ම ඇල්ලුම් ආධාරකය දැකිය හැකි ය. කෙසේ වුවත් කෝවක ඇල්ලුම් ආධාරකය කෝව එහා මෙහා ගෙනයාමටත්, උදුන මත තැබීමටත් ආදී කටයුතු සඳහා පමණක් ප‍්‍රයෝජනවත් වන නමුත් උදුන මත තබා රත් කරන ලද කෝවක් කිසිසේත් ම අතින් ඇල්ලීම කළ නොහැකි ය. ඒ සඳහා දිගු අඬු භාවිත කළ යුතු ව තිබේ. එහෙත් අනුරාධපුර අභයගිරිය භූමියෙන් ලැබී ඇති කෝවවල අල්ලා ගැනීම සඳහා ඇල්ලුම් ආධාරකයක් දක්නට නොලැබේ. දැනට ලැබී තිබෙන්නේ වැඩි වශයෙන් ම කෝව කැබලි නිසාවෙන් ඉහත තත්ත්වය හඳුනාගත නොහැකි ව තිබෙන්නට පුළුවන.

මෙම කෝව විශේෂය ලෝහ තාක්‍ෂණයේ ක‍්‍රමික වර්ධනයත් සමඟ ඇති වූ දියුණු තත්වයේ කෝව විශේෂයක් විය හැකි ය. සමස්තයක් ලෙස ගත් කල විශේෂයකින් තොරව කෝව වර්ග දෙකම භාවිතයට ගෙන ඇති බව අධික තාපයට ලක්වූ කෝවවල බාහිර පෘෂ්ඨයේ බැඳී ඇති බොරවලින් පෙනේ. විශාල ප‍්‍රමාණයේ කෝවවල සම්පූර්ණයෙන් ශේෂ වූ සාධක දක්කට නැතත් ඒවායෙහි බඳෙහි ඝණත්වය අනුව සෙන්ටි මීටර් 30ක පමණ උසකින් යුක්ත වන්නට ඇත. ශිව දේවාල අංක 2 අසලින් හමු වූ එකිකෙනට බැඳුණු ද්විත්ව කෝව විශේෂ කාර්යයක් සඳහා භාවිත වූවක් විය හැකි ය.

කෝව නිර්මාණය කිරීමට පෙර ශිල්පියා විසින් සිය අවධානය යොමු කළ යුතු ප‍්‍රධාන කරුණක් වන්නේ උණුවන ලෝහයට ඔරොත්තු දෙන අයුරින් එය සකස් කර ගන්නේ කෙසේ ද යන්නයි. එම ශක්තිය කෝවට ලබාදීමට ශිල්පියාට නොහැකි වුවහොත් කෝව ද උණු වී ගලායන්නට අවකාශ තිබේ. එහෙයින් කෝව තැනීමට ගන්නා අමුද්‍රව්‍ය ඉතා ම හොඳ දැනීමකින් යුතු ව සිදුකළ යුතු අතර වැලි, මැටි, මිනිරන් ආදී අධික තාපයට ඔරොත්තු දෙන අමුද්‍රව්‍යයන්ගෙන් කෝවක් සකස් කරගැනීමට ශිල්පියා සමත් ව තිබේ. පොළොන්නරුවේ ආළාහන පරිවෙණ භූමියේ කැණීම්වලින් අතිවිශාල ප‍්‍රමාණයක් වූ කෝව කැබලි පරීක්ෂා කිරීමේ දී ඉහත අමුද්‍රව්‍ය ඒවායෙහි අඩංගු වන බව හඳුනාගැනීම අපහසු නොවන නමුත් පියවි ඇසින් හඳුනාගැනීමට නොහැකි වෙනත් අඩංගු ද්‍රව්‍ය මොනවා දැයි පරීක්ෂා කරනු පිණිස විද්‍යාත්මක ක‍්‍රමවේදයන්ට නැඹුරු විය යුතු ය.

කෝව භාවිතයෙන් ලෝහ වර්ග සුළු ප‍්‍රමාණයන්ගෙන් උණු කරගැනීමට හැකියාව ලැබෙන අතර විශේෂයෙන් මිශ‍්‍ර ලෝහ සකස්කර ගැනීම සඳහා ඉතා ම වැදගත් වේ. ලෝහයක් තනිතනියෙන් භාවිත කිරීමට වඩා තවත් ලෝහයක් හා මිශ‍්‍ර කරගැනීමෙන් ශක්තිමත් නිෂ්පාදනයක් ලබා ගත හැකි සේ ම අඩු උෂ්ණත්වයක දී උණුකර ගත හැකි වීමේ ප‍්‍රවණතාව ද හිමි වේ. තඹ, ටින් ලෝහ මිශ‍්‍රණයෙන් ශක්තිමත් ලෝකඩ නම් මිශ‍්‍ර ලෝහය නිපදවීමත් තනි රන් ලෝහයෙන් භාණ්ඩ නිෂ්පාදනය කළ නොහැකි බැවින් රිදී හෝ තඹ මිශ‍්‍ර කර ශක්තිමත් කරගැනීමත් උදාහරණ ලෙස පෙන්වා දිය හැකි ය. ලෝහවල ශක්තිය සේ ම ඒවායින් නිර්මාණයන් ගොඩනැඟීමට ඇති පහසුවත් ආකර්ශනීය නිමාවත් අපේක්ෂා කර තිබේ. මෙහි දී විවිධ ලෝහ උණු කිරීම සඳහා විවිධ ප‍්‍රමාණයෙන් සකස් කරන ලද කෝව භාවිතයට ගෙන තිබේ. රන් රිදී වැනි වටිනා ලෝහයන් නිර්මාණයේ දී වැඩි වශයෙන් ම ඉතා ම කුඩා ප‍්‍රමාණයේ මෙන් ම ඝනකමින් අඩු බිත්ති සහිත කෝව භාවිතයට ගෙන ඇත. මෙම කෝවෙහි සියුම් බව වැඩි කර තිබෙන්නේ සුළු ප‍්‍රමාණයක් හෝ ලෝහ අපතේ යාම වළක්වා ගැනීමත් අඩු පිරිවැයකින් ක්‍ෂණික ද්‍රවාංකයත් ලඟාකර ගැනීමේ අපේක්‍ෂාවෙන් විය හැකි ය. එසේ ම කෝව තුළ ඉතිරිවන ලෝහ ස්තරය ද අල්ප වන ආකාරයට ය.

ආළාහන පරිවෙණ භූමියෙන් වාර්තා වී ඇති කෝව ගණනාවක ම ලෝහ උණු කිරීමේ දී පිටතට ගලා ආ ලෝහ බිංදු දැකිය හැකි ය. ආළාහන පරිවෙණ කැණීම්වලින් ලැබී ඇති (කෝව සහිත රන් කැබලි 08/27) ඉතා කුඩා ප‍්‍රමාණයේ රත්රන් බෝල 2ක් සහිත කෝව කොටසක් මේ සඳහා දැක්විය හැකි හොඳම සාධකයකි. තවත් කෝව කිිපයක (76, 87, 120 ලේඛනගත අංක) තැනින් තැන තඹ කොටස් තැන්පත් ව ඇති හෙයින් ඒවා තඹ උණු කිරීමට යොදාගත් බව පිළිගත හැකි ය. ඇතැම් කෝවක ඉහත ආකාරයට ගලා විත් තැන්පත් වූ ලෝහ බින්දු සහ ලෝහ බොර තට්ටු ආකාරයට තැන්පත් ව ඇත. කෝව උඳුන මත තබා රත් කිරීමේ දී හෝ ලෝහ කෝව තුළ උණු වීමේ දී බොර පිට වී යයි. ඒවා වැඩි වශයෙන් ම කෝව පිට බිත්තියේ ඇලී තිබෙන්නේ ගැලවීමට ද අපහසු වන ආකාරයට ය. මෙම බොර තට්ටුව ඝණවත් ම කෝවෙහි කාර්යක්ෂමතාව බිඳ වැටේ. එවිට ශිල්පියාට තවත් කෝවක සේවය ලබාගැනීමට සිදු වේ.

යකඩ අඬු (Iron tools)

කෝව යනු ලෝහ කර්මාන්තයේ දී භාවිත වන තවත් එක් භාණ්ඩයක් පමණි. මේ සමඟ උදුන, අඬු ආදිය ද බද්ධ වී පවතී. කෝව ඇල්ලීමට භාවිත කළායැයි සිතිය හැකි දිගු යකඩ අඬු පොළොන්නරුවේ ආළාහන පරිවෙණ කැණීම්වලින් හමුවී තිබේ. දිගින් සෙන්ටිමීටර් 43ක් වන අඬුව එවැන්නකි. යමක් දැඩිව ග‍්‍රහණය කරගත හැකිසේ සකස්කළ පැතැලි තල දෙකක් සහිත අඩුව කුඩා ප‍්‍රමාණයේ කෝව ඇල්ලීමට හා මනාසේ හැසිරවීමට සරිලන සේ සකස් වූවකි. මෙම අතීත ලෝහ තාක්‍ෂණික මෙවලම් පිළිබඳ වර්තමාන ශිල්පීන්ගේ අදහස වූයේ යොදාගන්නා තක්‍ෂණික මෙවලම් හා ක‍්‍රමවේදයන් බොහෝ සේ සමාන බව යි.

උදුන් (Furness)

ආළාහන පරිවෙණ භූමිය පුරා විසිරී ඇති කෝව කැබලි ප‍්‍රමාණයත් උදුන් කිහිපයත් සැලකිල්ලට ගත් විට පැහැදිලි වන කරුණක් වන්නේ එම භූමිය තුළ වූ ලෝහ කර්මාන්තයක් පැවති බවයි. ලෝහ උණු කිරීමත් වෙනත් ලෝහ කොටස් මෙන් ම යබොර විශාල ප‍්‍රමාණයක් ද ඉහත කාරණය සනාථ කරනු ලබන සාධකයෝ ය. ආලාහන පරිවෙණ භූමි පරිශ‍්‍රයෙන් ලෝහ නිස්සාරණය කරන ලද උදුනක් සොයා ගෙන නොමැත. ස්වල්ප ප‍්‍රමාණයක් විනා විශාල ප‍්‍රමාණයන්ගෙන් ලෝහ උණු කිරීමට තනන උදුන් සකස් කරගැනීමේ භෞතික පරිසරයක් එම භූමියේ හඳුනාගැනීම අපහසු ය. අනෙක් අතට ආලාහන පරිවෙණ විහාරවාසීන් අවට පරිසරය ඉතා ඕනෑ කමින් අලංකාරවත් ලෙස ආරක්ෂා කරගත් බව භූමි නිර්මාණය හා අපද්‍රව්‍ය බැහැර කිරීම් සඳහා යොදා තිබෙන උපක‍්‍රමවලින් තහවුරු වේ. එවන් පරිසරයක් තුළ ලෝහ නිස්සාරණ උදුන් තනාගනිමින් ඔවුන් අධික පරිසර දූෂණයකට මඟ පාදාගන්නේ යැයි අනුමාන කළ නොහැකි ය. ලෝහ නිස්සාරණ උදුනකින් අධික දුමක් මෙන් ම අළු, අඟුරු වැනි අපද්‍රව්‍ය විශාල වශයෙන් නිර්මාණය වේ. ඒ අනුව දැනට පිළිගත හැක්කේ තත් භූමියට පිටත දී ලෝහ නිස්සාරණය කර දෙවන වර නිෂ්පාදනයන් පමණක් කළ බව ය.

රන්කොත් වෙහෙරට මීටර් 300ක් පමණ දකුණු දෙසින් වූ වාන් ඇළ ආසන්නයේ අනාවරණය වූ ලෝකුරු කම්මල මේ වනතෙක් ආළාහන පරිවෙණ භූමියෙන් හමු වී ඇති ප‍්‍රධාන ම වූවකි. මෙහි දී සෙන්ටිමීටර් 40ක් පමණ පරතරය සිටින ලෙසට එක පෙළට සකසන ලද උදුන් 7ක් හමු විය. උදුනක මුවවිටේ සාමාන්‍ය විෂ්කම්භය සෙන්ටිමීටර් 29කි. එහි ගැඹුර සෙන්ටිමීටර් 27කි. ගැටියේ (බිත්තියේ) ඝනකම සෙන්ටිමීටර් 1.5 සිට සෙන්ටිමීටර් 2 දක්වා වේ. මෙම උදුන් අවටින් ලෝහ බොර, යකඩ ඇණ, තඹ කැබලි, සහ කුඩා මැටි බඳුන් කිහිපයක් ද සොයා ගැනීමට හැකි විය (විද්‍යා පොත් සටහන් 1994).

මෙම උඳුන්වල නිර්මාණ සැලැස්ම ලෝහ කුඩා ප‍්‍රමාණයක් පහසුවෙන් උණු කරගැනීම පිණිස සකස් වූවකි. එය සකසා ඇත්තේ පහසුවෙන් උපරිම උෂ්ණත්වයට ළඟා වීමට හැකි වන අයුරින් ය. එසේ ම වේගයෙන් ඉහළ යන උෂ්ණත්වයට ඔරොත්තු දෙන ලෙසට සිලිණ්ඩරාකාර මැටි බිත්තිය සකස් කර තිබේ. උඳුනේ පහළින් ම සිදුරෙන් වාතය සපයන විට උදුන තුළ සිදුවන දහනයෙන් හටගන්නා උෂ්ණත්වය මඟින් මුවවිටේ තබා ඇති කෝව ගිනියම් වී ලෝහ උණු වීම සිදු වේ. මයින හමක් වැනි උපකරණයක් භාවිතයෙන් කෘති‍්‍රම ව වාතය ලබාදීමට කටයුතු කර තිබේ. සීමිත ඉඩ ප‍්‍රමාණයක හා සරල ආකාරයට මෙම උඳුන නිර්මාණය කිරීමට ශිල්පීන් සමත් ව තිබේ. මෙවැනි ම ප‍්‍රමාණයේ උඳුන් කිහිපයක් ම අනුරාධපුර අභයගිරි භූමියේ කැනීම්වලින් අනාවරණය වී තිබේ. පංචාවාස ගොඩනැඟිලි කීපයක සීමා ප‍්‍රාකාරයේ ඇතුළු පැත්තේ මෙවැනි උදුන් හමු වී ඇත. මෙයින් පෙනී යන්නේ ඉහත ගොඩනැඟිලිවලට අවශ්‍ය කරන ඇණ ආදී උපකරණ ඒ අසල ම තනාගත් බවක් දැයි තවදුරටත් විමසිය යුතු ය. උඳුන සඳහා සුළං සපයන ලද ආකාරය පිළිබඳ පුරාවිද්‍යාත්මක සාධක නොමැති වුවත් මයින හම (මඩනා සම – සද්ධර්මරත්නාවලිය : 196, රුවන්මල් නිඝණ්ඩුව : 295, අර්ථශාස්ත‍්‍රය : 228, 216) වැනි උපකරණ පිළිබඳව තත්කාලීන සාහිත්‍ය මූලාශ‍්‍රයවල සාක්ෂ්‍ය අනාවරණය වී නැත.

ප‍්‍රමාණ පුවරු (Measuring  Plates)

කිසියම් නිෂ්පාදනයක් සඳහා හෝ ඊට සරිලන ලෝහ ප‍්‍රමාණය මැනගත් ප‍්‍රමාණ පුවරු බහුලව පොළොන්නරුවෙන් හමුවේ. මෙතෙක් ක්‍ෂේත‍්‍රයෙන් බහුලව හමුවූ අංක 3 සහ 4 යටතේ පහත විස්තර කෙරෙන ප‍්‍රමාණ පුවරුවලට වඩා වෙනස් ප‍්‍රමාණවලින් යුත් පුවරුවල කොටස් කිහිපයක් ආරාමික පරිශ‍්‍රයෙන් බැහැරව සොයාගත හැකිවිය. අංක 1 සහ 2 යටතේ මේවා පිළිබඳ විස්තර දැක්වේ. මෙම පුවරු ප‍්‍රමාණයෙන් විශාල වේ. මෙයින් නිපදවනු ලබන ලෝහ පිණ්ඩය තරමක් විශාලවන අතර වැඩි ලෝහ ප‍්‍රමාණයක් ඊට අන්තර්ගත වේ. ප‍්‍රමාණ පුවරු බහුල වශයෙන් හමුවීම තුළ මේවා කවර නම් නිෂ්පාදනයක් සඳහා උපයෝගී කරගත්තේ ද යන්න ගැටලුවක් විය. ආසන්න වශයෙන් හෝ බර සමානත්වයක් අපේක්‍ෂාවෙන් කළ සමූහ නිෂ්පාදනයක් සඳහා යොදාගත් බව පැහැදිලි ය. බර සමානත්වයක් අපේක්‍ෂාවෙන් කළ සමූහ නිෂ්පාදනයක් ලෙස මෙතෙක් හමු වී ඇත්තේ කාසි සහ ඒවායෙහි අනුකොටස් පමණි. ඒ අනුව මෙම ප‍්‍රමාණ පුවරු කාසි නිෂ්පාදනය සඳහා ම යොදාගත් තාක්‍ෂණික උපකරණයක් බව කිව හැකිය.

ප‍්‍රමාණ පුවරුවලින් මැනගත් ලෝහ පිණ්ඩවලින් නිෂ්පාදනය කළ මස්ස කාසි සහ අක මස්ස කාසි සඳහා වෙන වෙන ම සකස්වූ බවට සාධක පොළොන්නරුවෙන් බහුලව හමු වී තිබේ. එහෙත් විශාල ප‍්‍රමාණ පුවරුවලින් ලබාගත් ලෝහවලින් කළ කාසි මෙතෙක් හමු වී නොමැති තරම් ය. මේවායෙහි අන්තර්ගත ලෝහ ප‍්‍රමාණයට සාපේක්‍ෂව බැලූවිට චීන කාසියක ලෝහ ප‍්‍රමාණයට සරිලන තරම් වේ. මේ අනුව චීන කාසි නිෂ්පාදනයත් පොළොන්නරුවේ සිදු වූයේ ද යන්න සිතා බැලිය යුත්තකි.

ප‍්‍රමාණ පුවරු 1

මෙහිදී හමු වූ ප‍්‍රමාණ පුවරුවල එක් කුහරයක් මිලිමීටර් 12ක් තරම් ගැඹුරකින් හා පතුල මිලිමීටර් 25ක් හා මතුපිට මිලිමීටර් 30ක තරම් විෂ්කම්භයකින් යුක්ත ය. පුවරුවක ඝණත්වය මිලිමීටර් 30කි. සම්පූර්ණයෙන් ශේෂ සාධක සහිත මධ්‍යම ප‍්‍රමාණයේ පුවරුවක පෙළකට දහය බැඟින් වූ පේළි දහයකින් යුත් කුහර සියයකින් යුක්ත වේ. එම පුවරුවලට අනුව මෙම පුවරුවක කුහර සියයකින් යුක්තවූයේ නම් එහි දිග පළල සෙන්ටිමීටර් 42 X 42 තරම් විය යුතු ය.

ප‍්‍රමාණ පුවරු 2

මෙම වර්ගයේ ප‍්‍රමාණ පුවරුවල එක් කුහරයක් මිලිමීටර් 9ක් තරම් ගැඹුරකින් හා පතුල මිලිමීටර් 17ක් හා මතුපිට මිලිමීටර් 23ක තරම් විෂ්කම්භයකින් යුක්ත ය. පුවරුවක ඝණත්වය මිලිමීටර් 23කි. මධ්‍යම ප‍්‍රමාණයේ පුවරුවලට අනුව මෙම පුවරුවක කුහර සියයකින් යුක්තවූයේ නම් එහි දිග පළල සෙන්ටිමීටර් 38 X 38 තරම් විය යුතු ය.

ප‍්‍රමාණ පුවරු 3

මෙම වර්ගයේ ප‍්‍රමාණ පුවරුවල එක් කුහරයක් මිලිමීටර් 9ක් තරම් ගැඹුරකින් හා පතුල මිලිමීටර් 13ක් හා මතුපිට මිලිමීටර් 17ක තරම් විෂ්කම්භයකින් යුක්ත ය. පුවරුවක ඝණත්වය මිලිමීටර් 23කි. මෙම පුවරුවක් කුහර සියයකින් යුක්තවන අතර එහි දිග පළල සෙන්ටිමීටර් 23 X 23 තරම් වේ.

ප‍්‍රමාණ පුවරු 4

මෙම වර්ගයේ ප‍්‍රමාණ පුවරුවල එක් කුහරයක් මිලිමීටර් 5ක් තරම් ගැඹුරකින් හා පතුල මිලිමීටර් 6ක් හා මතුපිට මිලිමීටර් 11ක තරම් විෂ්කම්භයකින් යුක්ත ය. පුවරුවක ඝණත්වය මිලිමීටර් 18කි. මධ්‍යම ප‍්‍රමාණයේ පුවරුවලට අනුව මෙම පුවරුවක කුහර සියයකින් යුක්තවූයේ නම් එහි දිග පළල සෙන්ටිමීටර් 16 X 16 තරම් විය යුතු ය.

පොදුවේ ගත් කළ පුවරු නිෂ්පාදනයේ දී අනුගමනය කර ඇත්තේ සාමාන්‍ය ක‍්‍රමවේදයකි. පුවරුවල චතුරශ‍්‍රාකාර හැඩය ලී පතුරු ආධාරයෙන් ලබාගෙන ඇති අතර අභ්‍යන්තර කුහර සඳහා ද වෘත්තාකාර ලීයක ආධාරයෙන් තබාගත් බව පෙනේ. පුවරුවේ ඝණත්වය එහි අන්තර්ගත කුහරයේ මතුපිට විෂ්කම්භය හා ලෝහ ධාරිතාවයට අනුව එකිනෙකට වෙනස් වේ. එහි මතුපිටට නෙරාගිය කොටස් ඇඟිලි මගින් තෙරපීමෙන් සමතුලිත කරගත් ලකුණු දැකිය හැකි ය.

සමස්තයක් ලෙස ගත්කල මෙම පුවරු කාසි නිෂ්පාදනය සඳහා උපයෝගී කරගත්තේ ද නැතහොත් වෙනත් කාර්යයක් සඳහා යොදාගත් ඒවා ද යන්න පිළිබඳ නිශ්චිත සාධක මෙතෙක් හමු වී නොමැත. තඹ මස්ස කාසි නිෂ්පාදනය සඳහා ප‍්‍රමාණ ගැනීමේ දී මෙවැනි ක‍්‍රමවේදයක් අනුගමනය කරන්නට ඇති බව සිතිය හැකිය. මේ තුළින් නිෂ්පාදිත ලෝහ පිණ්ඩවල බර අනුපාතය තඹ කාසිවල විවිධ කොටස්වල අනුපාතයන්ට සමාන ය.

කම්හල් ආශ‍්‍රිතව භාවිතා වූ තාක්‍ෂණික ක‍්‍රමවේද

කම්මල් තාක්‍ෂණය : ලෝහ භාවිතයෙන් කම්මලෙහි කෙරෙන සියලුම කාර්යයන් කම්මල් වැඩ වශයෙන් හැඳින්විය හැකි ය. එකී කාර්යයන් බොහොමයක් ඉටුකළයුතු වන්නේ ලෝහය රත්කිරීම හෙවත් ගිනියම් කිරීම මගිනි. රත්කරන ලද ලෝහ කැබලි කිණිහිරිය මත තබා මිටියම් කොට තලා හැඩ ගැන්වීමත් රත් පිළියම් කිරීමත් කම්මලක බහුල වශයෙන් කෙරෙන කාර්යයන් වන අතර එකී කාර්යයන් පොදුවේ හඳුන්වනු ලබන්නේ කම්මල් වැඩ යනුවෙනි. මෙම ක‍්‍රමවේදය කම්මල් තාක්‍ෂණය වශයෙන් ද හැඳින්විය හැකි ය. කම්මල් තාක්‍ෂණයෙන් නිෂ්පාදිත උපකරණ හඳුනාගත හැක්කේ භාණ්ඩයක පෘෂ්ඨය මත පෑස්සුම් හා තැලුම් පහරවලිනි. බොහොමයක් උපකරණවල එකිනෙක මත තබා මිටියෙන් තැලීමෙන් සම්බන්ධ කර ගත් කම්මල් පෑස්සුම හෙවත් ගිනි පෑස්සුම් සලකුණු දැකිය හැකි ය. මේ අයුරින් පෑස්සීමට නම් මෘදු වානේ 12,000ක්‍ පමණ උෂ්ණත්වයක් දක්වා ගිනියම් කළයුතු බව වර්තමාන ඉහල කවුඩුල්ල නිම්නයේ කම්මල් ශිල්පීන්ගේ අදහසයි. කම්මල් පෑස්සීමේ දී රත් කරනු ලැබූ ලෝහය උඳුනෙන් ඉවතට ගත් වහාම තැලීම ආරම්භ කළයුතු බවත් කිණිහිරිය මත තබා තැලීමේ දී ලෝහය නියමිත උෂ්ණත්වයක පැවැතිය යුතු බවත් පෑස්සුම් මූට්ටුව ගැල වී ගියහොත් එම දෙකෙළවර කපා ඉවත් කිරීමෙන් අනතුරුව නැවත වරක් ගිනියම් කොට පෑස්සීම කළ යුතු බවත් ඔවුන්ගේ අදහසයි. (පොළොන්නරුව දිවුලන්කඩවල කවුඩුල්ල පහළ නිම්නයේ සාම්ප‍්‍රදායික කම්මල් ශිල්පීන් සමඟ කළ සම්මුඛ සාකච්ඡා 2011).

ප‍්‍රතිවර්තනය (Revert) කිරීම මඟින් පෘෂ්ඨ දෙකක් ඒකාබද්ධ කිරීම පිළිබඳ සාධක යකඩ පුරාවස්තු සංචිතය අධ්‍යයනයේ දී බහුලව දැකගත හැකි විය. විශේෂයෙන් යවුල්, හෙල්ල, කැති, පිහි වැනි දැවමය මිටකට සවි වූ උපකරණ එකිනෙක හරහා යන පරිදි පසාරු විදමනකින් පසුව ගිනියම් කළ යකඩ කූරක් දමා පිටත පෘෂ්ඨයන් දෙක තැලීමෙන් ප‍්‍රතිවර්තනය කර තිබෙනු දැකිය හැකි ය. මෙය කම්මල් තාක්‍ෂණයේ උච්චතම අවස්ථාවකි.

පොළොන්නරු යුගයේ බොහොමයක් නිර්මාණ සඳහා කම්මල් තාක්‍ෂණය උපයෝගී කරගත් බවට සාධක පවතී. කැති පිහි ආදියෙහි මිට කොටස් සකස් කිරීමේ දී යොදාගත් බෙර කොටස නිර්මාණය කිරීම සඳහා කම්මල් තාක්‍ෂණය ප‍්‍රධාන වශයෙන් යොදාගෙන තිබේ. කඩු, කිණිසි, හෙල්ල ආදියෙහි මිට සඳහාත් මෙම තාක්‍ෂණයෙන් කළ කොටස් යොදාගෙන ඇති බව පෙනේ. අවි ආයුධයන්හි පන්නරය ලබා ගැනීම සඳහා ජල පිළියම් කි‍්‍රයාවලිය ආධාරයෙන් වානේ ශක්තිමත් කිරිමේ කලාව පිළිබඳව මනා දැනුමක් පොළොන්නරු යුගයේ ශිල්පීන් සතු වූ බව පැහැදිලි කරගත හැකිවිය.

පොළොන්නරුවේ වාස්තුවිද්‍යාත්මක ඉදිකිරීම්වල දී විශාල දායක්වයක් දැක්වූ වඩු කාර්මිකයන් පරිහරණයට ගත් උපකරණ අතර අඬුව, පීර, නියණ, සරනේරුව, විදින කටු, අල්ලුව, මිටිය, වොෂරය (තරඇණ) වෑය වැනි කම්මල් තාක්‍ෂණයෙන් නිමවන ලද උපකරණ පොළොන්නරුවෙන් හමු වී ඇත. මෙම උපකරණ අතර කම්මල් තාක්‍ෂණය පිළිබඳ ද්‍රව්‍යමය සාධක රාශියක් ශේෂව ඇත. දොරවල් හා සම්බන්ධ යතුරු කටවල්, අල්ලු, ලී මූට්ටු සඳහා භාවිත කර ඇති පට්ටම්, දොර අගුලු සහ උසස් තාක්‍ෂණික ලක්‍ෂණ පෙන්නුම් කරන උපකරණ ද ලැබී ඇත. බිත්තිවල සිදුරු විද ඒ තුළට දැමීමෙන් පසු නොඇදෙන ලෙස සැකසූ ඇණ වර්තමානයේ භාවිත කරන ඇතැම් උපකරණවල තාක්‍ෂණික උපයෝගීතාවට හාත්පසින් ම සමාන ප‍්‍රයෝජන සඳහා යොදාගත් බවට සාධක ඇත. මීට අමතර ව යකඩ ලෝහයෙන් තනන ලද විවිධ ප‍්‍රමාණයේ නියන් ගණනාවක් ම වාර්තා වී තිබේ. මෙම නියන් වාස්තුවිද්‍යාත්මක නිර්මාණයන්හි දැවමය උළුවහු ජනෙල් වැනි කොටස් නිර්මාණය සඳහා යොදාගත් ඒවා විය යුතු ය.

ඉදිකිරීම් ක්‍ෂේත‍්‍රයේ ඊට නොදෙවැනි දායකත්වයක් දැක්වූ පෙදරේරු කර්මාන්තය සතු විවිධ ප‍්‍රමාණයේ හා හැඩයේ යකඩ උපකරණ වන මේසන් හැඳි, පොයින්ට් හැඳි, කැටයම් හැඳි පිළිබඳ සාධක ද ලැබී ඇත. ශිලා කර්මාන්ත කරුවන්ගේ උපකරණ ලෙස හඳුනාගත හැකි ගල්කටුව, මිටිය, ප‍්‍රතිමා නිර්මාණයේ නිරත වූ කැටයම් ශිල්පීන් විසින් භාවිත කළ ලඹ (ලඹතටුවට අයත්) වැනි උපකරණ සහ ගොඩනැඟිලිවල බාහිර අලංකරණ කැටයම් නිර්මාණය සඳහා යොදාගත් කැටයම් හැඳි ද හමුවීම අනුව දියුණු වාස්තුවිද්‍යාත්මක තාක්‍ෂණයක් පැවැති බව පෙනේ.

සමස්තයක් ලෙස ගත්කල මේවා නිර්මාණය කරගෙන ඇත්තේ සාමාන්‍ය කම්මල් තාක්‍ෂණය හා වාත්තු තාක්‍ෂණය යන ක‍්‍රමවේදයන් මගිනි. කැටයම් සඳහා යොදාගත් සියුම් තලය සහිත කුඩා හැඳි තැලීමෙන් සාදාගත් අතර එහි මිට කොටස යකඩ පතුර තැලීමෙන් පසු බටයක් සේ රවුම් කර ඇත. ප‍්‍රමාණයෙන් ඊට මදක් විශාල වූ මේස හැන්දක තරම් වූ හැඳි වාත්තු තාක්‍ෂණයෙන් නිමවා ඇති බව පෙනේ. යකඩ වැඩි ප‍්‍රමාණයක් සහිත ඝණ උපකරණ, මිටි, ලඹ වැනි දෑ වාත්තු තාක්‍ෂණයෙන් නිමවා ඇති අතර ඒවායෙහි ද මිට සවිවන බෙරය කොටස බොහෝ විට පැතැලිවන සේ තලා රවුම් කොටගත් බවත් ඇතැම්විට පෑස්සුම් ලකුණුත් පෙනේ. වෑ තල, පොරෝ තල නිර්මාණයේදීත් මූලික හැඩය වාත්තු තාක්‍ෂණයෙන් නිමවා ඇති අතර පසුව මුවහත් ගැන්වීම සඳහා කම්මල් තාක්‍ෂණය උපයෝගී කොට ගෙන තිබේ.

වාත්තු තාක්‍ෂණය

වාත්තු ක‍්‍රමයේ දී ලෝහ භාවිතයෙන් ප‍්‍රතිමා, උපකරණ හෝ වෙනත් යමක් නිර්මාණය කිරීම සඳහා අනිවාර්යයෙන් ම ද්‍රවාංකය ඉක්මවනතුරු රත් කිරීම සිදු කළ යුතු ය. අනතුරුව මැටියෙන් කළ අච්චුවකට ද්‍රව ලෝහ වත් කිරීමෙන් ඝණ හෝ සුසිර ක‍්‍රමයට අනුව මූර්තියක් හෝ උපකරණයක් නිෂ්පාදනය කිරීම වාත්තු තාක්‍ෂණයේ ප‍්‍රධාන ලක්‍ෂණය වේ. ඒ අනුව නිර්මාණය කිරීමට අපේක්‍ෂිත නිර්මාණයේ පූර්වාදර්ශයක් ශිල්පියාට දැකිය හැකි අතර එහි දී අඩුපාඩු සකසා ගැනීමට අවස්ථාවක් ලැබේ. එබැවින් සමස්ත නිර්මාණය පරිසමාප්ත ආකාරයෙන් නිෂ්පාදනය කිරීමට හැකිවීම වාත්තු තාක්‍ෂණයේ විශේෂත්වයයි.

මෙම ක‍්‍රමවේදය පොළොන්නරු යුගයේ බහුලව භාවිත කොට ඇත්තේ තඹ මිශ‍්‍ර ලෝහ නිෂ්පාදනයේ දී ය. ඉන් ලෝකඩ නිර්මාණ ප‍්‍රධාන තැනක් ගනී. පොළොන්නරු යුගයට අයත් ලෝකුරු කර්මාන්තයේ බෙහෙවින් සිත්ගන්නා සුළු නිර්මාණය වන්නේ ලෝහයෙන් විශිෂ්ට ලෙස තනා ඇති හින්දු දෙවිවරුන්ගේ රූපයි. පොළොන්නරුවේ හින්දු දේවාල ආශ‍්‍රිත කැණීම්වලින් සොයාගත හැකි වී ඇත. වාත්තු කරන ලද විවිධ ප‍්‍රමාණයේ හින්දු මූර්ති ප‍්‍රධාන වේ. මේ රූපවල අංග ලක්‍ෂණ හා විලාශයන් කෙතරම් ස්වභාවික අයුරින් නිරූපණය කොට තිබේ ද යත් ලෝහයෙන් රූප තැනීමේදී එම ලෝහය දක්‍ෂ අන්දමින් හැසිරවීමට හා ඉන් රූප තැනීමට කලා ශිල්පීන් නිසි ලෙස දැනසිටි බව පෙනේ. මේ ගණයට අයත් පොළොන්නරුවෙන් හින්දු ලෝකඩ ප‍්‍රතිමා ගණනාවක් බෙල් මහතාගේ කැණීම්වලින් 1907 වර්ෂයේ දී සොයාගෙන තිබේ (ASCAR 1908:74).

ලෝකඩ ප‍්‍රතිමා නිර්මාණය සඳහා යොදාගනු ලැබූ ශිල්ප ක‍්‍රමය ‘ඉටි මැකුම්’ ක‍්‍රමය ලෙස හැඳින් වේ (තාපර් 1973:217). ලෝහ මූර්ති නිර්මාණය සඳහා ඉන්දියානුවන් යොදාගත් මෙම ක‍්‍රමෝපාය පොළොන්නරු යුගයේ ලෝකඩ ප‍්‍රතිමා නිර්මාණය කිරීමේ දී යොදා ගන්නට ඇතැයි සිතිය හැකි ය. ඝන හා සුසිර යන ක‍්‍රම දෙක අතුරින් සුසිර ක‍්‍රමය පැහැදිලි ලෙස ම වඩා නිරවද්‍ය ක‍්‍රමය සේ සලකා තිබේ. පැරණි ලෝකඩ වාත්තු ශිල්පියා ඉටි අච්චුව සකස් කළේ වර්තමාන ශිල්පීන් මෙන් පළමුව මැටි අච්චුවක් නිමවීමෙන් නොවේ. ඔහු සිය ඉටි අච්චුව එක් වර ම සකස් කළේය. සියලුුම විස්තර සියුම් ලෙස ඉටිවලින් සෑදූ ආකෘතියකට අන්තර්ගත කොට අනතුරුව යකඩ දැලක් හෝ යකඩ කූරු සමග එය මැටි ආලේපයකින් ශක්තිමත් කරන ලදි. මැටි අලේපයේ සියුම් සිදුරු සකස් කරන ලද්දේ දහනයේ දී උණුවන ඉටි පිටතට ගලා ඒම සඳහා ය. පිළිස්සීමට ප‍්‍රථම ආකෘතිය මැනවින් වේලෙන්නට ඉඩ හැරිණි. එලෙස අවසන් කෘතියේ සාර්ථකත්වය හා නිරවද්‍යතාව කලාකරුවාගේ දීර්ඝ අත්දැකීම මත පදනම් විණි (පේ‍්‍රමතිලක 1995:2).

ප‍්‍රතිමා වාත්තු කරනු ලබන්නේ ලෝකඩවලින් හෝ පිත්තලවලින් නම් ඉටිවල බර ප‍්‍රමාණය මෙන් දශ ගුණයක් ද රිදියෙන් නම් 16 ගුණයක් ද ලෝහ යෙදීමට ශිල්පියා සැලකිලිමත් විය යුතුය. විශාල ප‍්‍රතිමාවක් ඇතුළත කුහර සහිතව හෝ බර අඩු බදාමයකින් හෝ යුක්තව නිම කරන ලද්දේ ලෝහ සඳහා යන වියදමත් බරත් අඩු කිරීම සඳහා ය (වත්තල 1962:85). වාත්තු කිරීම සඳහා ප‍්‍රයෝජනයට ගනු ලබන ඉටි අච්චුව සාදන ලද්දේ මැටි, ලුණු සහ දහයියා අළු එකට අඹරා පුලුන් සමඟ මිශ‍්‍රකරගත් බදාමයක් ඇතුළුවන පරිදි ය. ප‍්‍රථමයෙන් අවශ්‍ය මූර්තිය අංගෝපාංග සහිතව ඉටිවලින් නිර්මාණය කෙරෙයි. දෙවනුව ඒ වටා පදම් කර සාදාගත් මැටිවලින් බාහිර තට්ටුවක් ඇතිවන සේ තනා ගත් මැටි අච්චුව වියලුණු පසු ගින්නෙන් රත් කරයි. එවිට මැටි අච්චුව තුළ මූර්තිය උණු වී ගොස් මූර්තියට සමාන හිස් අවකාශයක් ඇති වේ. අනතුරුව උණුකරගත් ලෝහ මිශ‍්‍රණය කුහරය තුළට වත්කරනු ලැබේ. ලෝහමය මිශ‍්‍රණය නිවීගිය පසු බාහිර මැටි තට්ටුව කඩා ඉවත් කිරීමෙන් අභ්‍යන්තර ලෝහමය මූර්තිය සාදාගන්නා අතර වාත්තු කරන ලද මූර්තියේ අඩුපාඩු සාදාගනු ලැබේ (පේ‍්‍රමානන්ද 119).

ලෝකඩවලින් මූර්ති තැනීමට ශිල්පීන් වැඩි කැමැත්තක් දක්වන්නට ඇත්තේ මිශ‍්‍ර ලෝහ තැනීමේ දී අඩු උෂ්ණත්වයක දී උණු කරගැනීමට ඇති හැකියාව නිසා අච්චුවලට වත්කර පහසුවෙන් ශක්තිමත් මූර්තියක් සකස් කරගැනීමට ඇති හැකියාව නිසා විය යුතු ය. නමුත් ඒවා තැනීමට යොදාගන්නා ලද අච්චුවක් හෝ වෙනත් උපකරණයක් ඍජුව ම මෙතුවක් අනාවරණය වී නොමැත. හමු ව ඇති සියලු ම මූර්ති පොළොන්නරුව ආළාහන පරිවෙණ භූමියේ දී ම තනන ලද බව තහවුරු නොවූවත් එයින් සමකාලීන සමාජයේ පැවැති ලෝහ කර්මාන්තය පිළිබඳ අධ්‍යයනයට මඟ පාදා ගත හැකි ය.

ලෝකඩ භාවිතයෙන් කළ උපකරණවල නිර්මාණ තාක්‍ෂණය පිළිබඳව අවධානය යොමු කිරීමේ දී ද තාක්‍ෂණික ක‍්‍රමවේද දෙකක සාධක සංයුති පරීක්‍ෂාව හා සමීප නිරීක්‍ෂණය මගින් හඳුනාගත හැකි විය. ඒ අනුව සිරිනිමල්හා ලක්දුසිංහයන් විසින් ඉස්මතුකොට ආචාර්ය අර්ජුන තන්තිලගේ විසින් තහවුරු කළ ලාංකේය ගුරුකුලය සම්බන්ධයෙන් කිසියම් අදහසක් ඇති කරගත හැකි සාධක ලෝකඩ උපකරණ නිෂ්පාදන තාක්‍ෂණය තුළ ද පවතී.

සිරිනිමල් ලක්දුසිංහ විසින් හඳුනාගන්නා ලද එකම මූර්තියකට අයත් ශිව පාර්වතී දෙදෙනාගේ ප‍්‍රතිමාවන් පිළිබඳව විද්‍යාත්මක අධ්‍යයනයක් කළ ආචාර්ය අර්ජුන තන්තිලගේ විසින් සිදුකොට ඇත (Thanthilage 2010). දක්වන ලද අදහස් හා නිගමන පොළොන්නරුවේ ලෝකඩ පුරාවස්තු සම්බන්ධයෙන් වැදගත් සාක්‍ෂ්‍ය වේ. ප‍්‍රධාන වශයෙන් මෙම ප‍්‍රතිමාවල අඩංගු මූලද්‍රව්‍යවල සංයුතියේ ප‍්‍රතිශතය හා ඊයම් සමස්ථානිකය විශ්ලේෂණය කිරීම සහ විසුරුම් සටහන ඇඳිම සමීප සංසන්දනය මගින් මෙම අධ්‍යයනයක් සිදු කර ඇත. පොළොන්නරුවේ හින්දු ප‍්‍රතිමාවල ප‍්‍රධාන මූලද්‍රව්‍යයේ සංයුතිය සහ ශිව සහ පාර්වතී ප‍්‍රතිමාවල අඩංගු මූලද්‍රව්‍ය අංශු අනුව නිෂ්පාදන තාක්‍ෂණයේ සහ ලෝහයේ සමාන බව දෙකේම පෙනෙන්නට ඇත. පිළිම දෙකේම ආසනවල සංයුතියේ පැහැදිලි වෙනසක් දැකිය හැකි ය. ප‍්‍රතිමාවල අඩංගු ඉහළ ටින් සහ පහළ ඊයම් ප‍්‍රමාණය අනුව අඩංගු මූලද්‍රව්‍ය අංශුවලත් වෙනසක් දැකිය හැකි ය. ශ‍්‍රී ලංකාවෙන් හමු වූ බොහොමයක් හින්දු ප‍්‍රතිමාවල (අධ්‍යයනයට ලක්කළ 17න් 10ක්ම)  Co/Ni අනුපාතය 0.28 – 0.35 අතර වේ. මෙම ප‍්‍රමාණය දකුණු ඉන්දීය කල්යාඩි බොරවල සාමාන්‍යයට එනම් Co/Ni 0.33 සමාන ය (Sirinivasan 1999:209). එනිසා හින්දු ප‍්‍රතිමා කිහිපයක් හෝ දකුණු ඉන්දියාවෙන් ගෙන්වා හෝ ලෝහ ගෙන්වා සෑදූ බව සිතිය හැකි ය.

ගණේෂ ප‍්‍රතිමාව ශිව පාර්වතී ප‍්‍රතිමාවලට ඉතාම සමාන කමක් දක්වයි. ඒ අනුව මෙම ප‍්‍රතිමා 3ම මූලය සමාන විය හැකි ය. මේ පිළිබඳ කලා ඉතිහාසානුකූල අධ්‍යයනයක් කළ ලක්දුසිංහ මෙම ගණේෂ ප‍්‍රතිමාව ශ‍්‍රී ලාංකික හින්දු ප‍්‍රතිමා ගුරු කුලයකට අයත් වියහැකි බව ප‍්‍රකාශ කරයි. මාගේ විද්‍යාත්මක අධ්‍යයනයෙන් මෙම හින්දු ප‍්‍රතිමා සේරුවිල තඹවලින් නිර්මාණය කර ඇති බවත් එවැනි ශ‍්‍රී ලාංකේය ගුරුකුලයක් තිබූ බවත් තහවුරු කරගත හැකි විය (Thanathilage 2010).

සම්ප‍්‍රදායයන් දෙකෙහි වෙනස ප‍්‍රතිමා පෘෂ්ඨයන්හි පැහැදිලිව දක්නට හැකි ය. දීප්තියකින් තොර (Mat) පෘෂ්ඨය සහිත ප‍්‍රතිමා පැහැදිලි ව ම භාරතීය සම්ප‍්‍රදායට අයත් ඒවා වේ. ඒවායෙහි මුහුණුවල හැඩය හා අනෙකුත් කලාත්මක ලක්‍ෂණවල මෙම වෙනස දැකිය හැකි වේ. ලාංකේය සම්ප‍්‍රදායට අයත් ප‍්‍රතිමා සිනිදු පෘෂ්ඨයක් සහිත ය. ඒවායෙහි මුහුණුවල හැඩය හා අනෙකුත් කලාත්මක ලක්‍ෂණවල පැහැදිලි ඒකාකූල බවක් දැකිය හැකි ය. රවුම් මුහුණ පටු නළල් තලය හා දිගු නාසය ලාංකීය සම්ප‍්‍රදායයේ ලක්‍ෂණ ලෙස මෙම අධ්‍යයනයෙහි ලා හඳුනාගත හැකි විය.

විශේෂයෙන් සඳහන් කළ හැක්කේ පොළොන්නරුවේ ලෝකඩ පහන් ආධාරක හෙවත් දීපාධාර නිර්මාණයේ දී ද ඉටි මැකුම් ක‍්‍රමය ම යොදාගෙන ඇති බවත් එහි විවිධ තාක්‍ෂණික ක‍්‍රමවේද හා අවස්ථා පෙන්නුම් කරන බවයි. එය විශේෂ නිර්මාණ තාක්‍ෂණයකි. ආධාරක කුළුණට ශක්තිමත් ආධාරකයක් ලෙස යකඩ ලෝහයෙන් කළ කූරක් ආධාරකයේ උස පමණට ගනී. ඒ මත මැට්ටෙන් කරන ලද පහනේ දළ හැඩයක් සහිත මාරමක් තනා ගෙන ඇත. වෘත්තාකාර කඳක් සහිත නිර්මාණවල දී සියුම් මැට්ට මත බොරදම් හා හැඩතල ලියවන පට්ටලයක ආධාරයෙන් ලියවීමෙන් පසු නිර්මාණය කිරීමට අපේක්‍ෂිත පහන් ආධාරකය පිළිබඳ පූර්ව හැඩය නිර්මාණය කරගත් බව පෙනේ. පසුව ඒ මත ඉටි තට්ටුව තුනී වන සේ අලවා ඒ මත ලියවන පට්ටලයක ආධාරයෙන් නැවත බොරදම් ලියවා ඇත. අනතුරුව ඒ මත සියුම් මැට්ටේ සිට ක‍්‍රමයෙන් මැටි තට්ටු ආලේපකොට ශක්තිමත් අච්චුවක් නිර්මාණය කරගෙන තිබේ. චතුරශ‍්‍රාකාර ආධාරක නිර්මාණයේ දී මෙම ක‍්‍රමවේදය ම අනුගමනය කර ඇතත් බොරදම් පට්ටලයක ආධාරයෙන් නිමවා නොමැති අතර ඒවා අතින් හැඩගන්වන ලදි.

මෙම ක‍්‍රමවේදයට අනුව නිර්මාණ ශිල්පියාට ස්වකීය නිර්මාණයේ අවසන් ප‍්‍රතිඵලය පිළිබඳ පූර්ව ආකෘතියක් දැකගැනීමටත් ඒ අනුව එහි අඩුපාඩු සකසා ගැනීමටත් ද අවස්ථාවක් ලැබේ. එමෙන්ම අඩු ලෝහ ප‍්‍රමාණයකින් පරිපූර්ණ කෘතියක් එළි දැක්වීමට හැකිවීම මෙහි විශේෂත්වයයි. මෙවැනි හේතූන් නිසා ඉටි මැකුම් ක‍්‍රමය පොළොන්නරු ලෝහ තාක්‍ෂණික ශිල්පීන් අතර බෙහෙවින් ජනප‍්‍රිය වූ බව පෙනේ. ලෝකඩ භාණ්ඩ නිෂ්පාදනයේ දී විශේෂයෙන් උසින් වැඩි පහන් ආධාරක නිෂ්පාදනය කිරීමේ දී මේ ලක්‍ෂණය කැපී පෙනේ. උසින් වැඩි පහන් ආධාරක සඳහා මධ්‍යයෙන් ආධාරකයට සවි කළ යකඩ කූරක් වටා ලෝකඩෙන් කැටයම් යොදා කළ පහන් ආධාරක පොළොන්නරුවේ දැක ගත හැකි ය.

ලෝකඩ පහන් කණු කෙළින් සිටුවා තැබීමට හැකිසේ බරින් වැඩි පැතිරුණු ස්වභාවයෙන් යුත් පාදමක් යොදාගෙන ඇත. නිර්මාණය සඳහා යොදාගත් තාක්‍ෂණය විශේෂ ය. සිටුවන ආධාරකයක් නම් කොටස් තුනකින් යුක්තව නිර්මාණය කොට ඇත. පාදම කඳ සහ ධාරකය එම කොටස් තුනයි. මේවා එකිනෙකක් වෙනවෙනම ඉටි මැකුම් ක‍්‍රමයට වාත්තු කර ඇති බවක් පෙනේ. මෙහි දී එක් එක් කොටස්වල මධ්‍යයේ වූ කඳ නිර්මාණයේ දී කඳ මධ්‍යයට කුඩා ප‍්‍රමාණයේ ලීයක් මැදිකොට ඒ වටා මැට්ටෙන් නිමාව ඇති බව සිතිය හැකි ය. මේ සඳහා සාධක වශයෙන් ආධරක මධ්‍යයේ ඇති යකඩ කූර වටා ඇති මැටි තට්ටුව රත් පැහැ ගැන්වී තිබේ. මෙය රත්වූ ලෝහය නිසා අධික තාපයට ලක්වීම හේතුවෙන් ඇති වූවක් විය හැකිය. පෙර නිමි යකඩ කූරක් මේ සඳහා යොදා ගත්තේ නම් මෙවැනි ලක්‍ෂණ ඇති නොවේ. පසුව එහි ඉටි තවරා ඇති අතර පට්ටලයක ආධාරයෙන් ලියවා ඒ මත නැවත ස්තර කිහිපයකින් යුත් මැටි තැවරීමෙන් අච්චුව නිමවා ඇත. ඒ ආකාරයෙන් ඉටි මැකුම් තාක්‍ෂණය උපයෝගී කරගත් අතර මෙහි විශේෂත්වය වන්නේ අච්චුව ගිනියම් කිරීමේ දී මධ්‍යයේ වූ ලීය දැවී ගොස් සිදුරක් නිර්මාණය වීමයි. මෙය උපයෝගී කොටගෙන ආධාරක පතුල, පහන් කඳ සහ ධාරකය එක් කොට මධ්‍යයේ වූ සිදුරට උණුකරගත් යකඩ වත්කිරීමෙන් කොටස් තුන ඒකාබද්ධ කරගෙන ඇති බව පෙනේ. මෙම ක‍්‍රමවේදයට අනුව නිර්මාණය කරන ලද පහන් ආධාරකවල මධ්‍ය යකඩ ආධාරකය ප‍්‍රමාණයෙන් විශාලවීම හා ලෝකඩ කොටස්වලට බද්ධවීම හේතුවෙන් ශක්තිමත් බවින් වැඩි වූ බව ඒවා තවමත් හොඳින් ආරක්‍ෂා වී තිබීමෙන් පෙනේ. යකඩ කූරක් මැදිකොට නිර්මාණය කළ ආධාරකවල යකඩ කූර කුඩාවීමත් ලෝකඩ කොටස්වලට බද්ධ නොවීමත් හේතුවෙන් හායනයට ලක්ව සියල්ලම පාහේ කොටස් වශයෙන් කැඞී වෙන් වී ඇත.

බුදුපිළිම සකස් කිරීමේ දී ශිල්පීන්ගේ වැඩි අවධානය යොමු වී ඇත්තේ සමාධි මුද්‍රාවෙන් යුතු පිළිම නිර්මාණය සඳහා ය. එම පිළිම අතර ආසනයක් සහිත ව නිම වූ පිළිමයක් ද වේ. උස සෙන්ටිමීටර් 8.9ක් වූ සමාධි මුද්‍රාවෙන් වීරාසන ආසනයෙන් යුතු ව නිමවා ඇති බුදු පිළිමයට වෙන ම සකස් කරන ලද ආසනය පාස්සා ඇත (25 කැනීම් වාර්තාව). මෙම බද්ධ කිරීම ඉවසිලිවන්ත ව නිමවීමට ශිල්පියා උත්සාහ ගෙන තිබේ. පිළිම කිහිපයක ම අත් පා ආදී ශරීර කොටස් හමු වී තිබේ.

තුනී රන් තහඩු නිර්මාණ තාක්‍ෂණය

පොළොන්නරු යුගයේ රන් ලෝහය තුනී ලෙස තලා සියුම් කලාත්මක නිර්මාණ පොළොන්නරු යුගයේ නිෂ්පාදනය වූ බවට සාධක බොහොමයක් හමුවී ඇත. ඉතා උසස් නිර්මාණයක් ලෙස හැඳින්විය හැකි පොළොන්නරුව ආළාහන පරිවෙණ සංකීර්ණයෙන් ලැබී ඇති කීර්තිමුඛය සහිත මකර තොරණ හොඳම සාධකයකි. තුනී රන් තහඩුවෙන් කරන ලද කීර්තිමුඛ කැටයමකි. මකර තොරණේ මුදුනේ ඇති සිංහ මුහුණ කීර්ති මුඛ හෙවත් (කිබිසි මුහුණ) නමින් හඳුන්වා ඇත. මෙය ශී‍්‍ර ලංකාව, ඉන්දියාව, නේපාලය, බුරුමය, තායිලන්තය, කාම්බෝජය, ජාවා දූපත් ආදී රටවල දැකිය හැකි පොදු නිර්මාණයකි. එසේ ම ඉන්දියාවේ කලා ශිල්ප තුළින් ප‍්‍රභවය වී මෙය භාරතීය සංස්කෘතිය පැතුරුණු අනෙකුත් ප‍්‍රදේශවල කලාශිල්ප තුළ ද දක්නට ලැබේ. මේවා ගොඩනැඟිලි දොරටු ආරුක්කු මුුදුනේ දැකිය හැකි නිර්මාණයකි. අනුරාධපුර දොරටුපාල ජටා මකුටයේ ද ලංකාවේ බුදුපිළිමවල ප‍්‍රභා තොරණවල ද නිතර දැකිය හැකි කැටයමකි. කීර්ති මුඛ ශිව දේවාලවල අවශ්‍යයෙන් ම යෙදුණු අංගයක් බවට පෙන්වා දී ඇත (සිංහල විශ්වකෝෂය 7:363).

සමකාලීන දැදිගම කොටවෙහෙරෙන් හමු වී ඇති බුදු පිළිමයේ කීර්තිමුඛය සහිත මකර තොරණකි. මෙම පිළිමය රන් තහඩුවෙන් නිමවා ඇති එය උසින් සෙන්ටිමීටර් 16ක් තරම් වේ (Godakumbura 1969:57). මෙය තුනී රන් තහඩුවෙන් නිමවා ඇතුළත සඳුන් බදාම ගල්වා පෘෂ්ඨය ශක්තිමත් කළ කීර්තිමුඛය සහිත මකර තොරණ පසුබිම් කොට තැනූ බුදු පිළිමයකි. ගල් විහාරයේ විජ්ජාධර ගුහාවේ ඇති ප‍්‍රතිමාවේ දැකිය හැකි ලක්‍ෂණ බොහොමයක් මෙහි දක්නට ඇත. මකර තොරණ හැරුණු විට සෙසු ලක්‍ෂණ හාත්පසින්ම සමාන වේ. ඊටම සමාන තාක්‍ෂණයක් උපයෝගී කොට නිමැවූ ආළාහන පරිවෙණ කැණීම් භූමියෙන් ලද කීර්තිමුඛය රනින් කළ විශේෂ පුරාවස්තුවකි. මෙහි මෝස්තර නිර්මාණය කර ඇත්තේ තහඩුවට යට පැත්තෙන් ඉහළට තෙරපීම මඟිනි. වර්තමානයේ සාම්ප‍්‍රදායික රන්කරුවන් අතර මෙම තෙරපීමේ ක‍්‍රමය හෙවත් රූප ඉස්මතුකොට දැක්වීමේ ක‍්‍රමය රන් කර්මාන්තයේ දී හා පිත්තල කර්මාන්තයේ දී දැකිය හැකි අතර එම ක‍්‍රමවේදය ම මේ සඳහා ද යොදාගන්නට ඇති බව පැහැදිලි ය. මෙකී සාම්ප‍්‍රදායික ක‍්‍රමයේ දී කෙරෙනුයේ කිසියම් පුවරුවක් මත සෙන්ටිමීටර් 1ක් පමණ හෝ ඊටත් මඳක් වැඩි වූ ඝන මී හෝ බඹර ඉටි අතුරා ඒ මත ලෝහ කැටයමේ පිටත ඒ මත සිටින සේ හොඳින් සවිකර ගනී. ඉන් අනතුරු ව කැටයමට අවශ්‍ය මෝස්තර තිබෙන ලෝහ අච්චුවක් ගෙන එය ලෝහ තහඩුව මත මෝස්තර තැබිය යුතු ස්ථානයේ තබා සෙමෙන් සෙමෙන් මිටියකින් පහර දී මුද්‍රාවේ ඇති කැටයම ලෝහ තහඩුවේ ඔබ්බවනු ලැබේ. පහර දීමට අනුව මී ඉටි ස්තරය තෙරපී යන අතර තෙරපීමට අවශ්‍ය ගැඹුර ශිල්පියාගේ අතේ හුරුව මත තීරණය කෙරේ. මෙම මෝස්තර යෙදීමේ දී අච්චුව මෙන් ම නියන ද භාවිතයට ගැනේ. ඉහත මෝස්තර යෙදූ තහඩුව ඉටිවලින් ගලවා අවශ්‍ය කරන ආභරණය නිර්මාණය කරගත හැකි ය.

ඉහත ආකාරයේ රන් ආභරණ තනාගැනීමට අවශ්‍ය තුනී රන් තහඩු සියුම් ව තළාගැනීම ද පුරාණ ලෝහ තාක්ෂණයේ වැදගත් අංගයකි. තුනී රන් තහඩු නිෂ්පාදනය සඳහා තායිලන්තයේ රන්කරුවන් විසින් යොදාගන්නා සාම්ප‍්‍රදායික එක් ක‍්‍රමයක් වන්නේ හම් කිහිපයක් මත රන් ගුලියක් තබා ඒ මත තවත් හම් අතුරා තැලීමෙනි. ශ‍්‍රී ලංකාවේ ද මෙම ශිල්ප ක‍්‍රමය අනුරාධපුර යුගයේ හා පොළොන්නරු යුගයේ ශිල්පීන් විසින් අනුගමනය කොට ඇති බව ඉහත සාධකවලින් පෙනේ. මෙම තාක්‍ෂණයේම යම් යම් කොටස් අනුව නිර්මාණය කළ කලාත්මක රන් වළල්ලක් අභයගිරි විහාර භූමියෙන් ලැබී තිබේ (ඡායාරූප අංක 41, 42). එකට සම්බන්ධ කරන ලද වළලු 13කින් යුක්ත ය. එය ඉතාමත් තුනී රන් තහඩුවකින් නිමවා වළලු ඇතුළත කුහරය කිසියම් ආලේපයකින් පුරවා තිබේ. හමු වී ඇති ඉහත කී සම්පූර්ණ වළල්ල දිග සෙන්ටිමීටර් 9.3කි. ඉහළ ම වළල්ල විශාලවටත් පහළට යාමේ දී කුඩා වන අයුරිනුත් නිමවා ඇත්තේ පිළිම අතේ හැඩයට අනුව අලංකාර වන පිණිස ය.

මෙම රන් භාණ්ඩවල නිර්මාණ තාක්ෂණය සැලකිල්ලට ගැනීමේ දී පෙනී යන්නේ පොළොන්නරුව ආළාහන පරිවෙණ භූමිය ආශ‍්‍රිතව දියුණු රන් කර්මාන්තයක් පැවැති බවයි. මෙම ශිල්පීන්ට භාණ්ඩ නිර්මාණයේ දී භාවිත ගුණය සහ කල්පැවැත්ම යන ප‍්‍රධාන කරුණු ද්වය ම පිළිබඳ මනා අවබෝධයක් තිබුණු බව ඉහත භාණ්ඩවලින් තහවුරු වේ.

රන් රිදී ආලේප කිරීමේ තාක්‍ෂණය

රන් ආලේප කිරීමේ තාක්‍ෂණික ක‍්‍රමවේදයක් පොළොන්නරු යුගයේ පැවැති බවට පැහැදිලි සාධක පවතී. අලේපන ලෝහ වර්ග ලෙස බහුලව යොදාගන්නා ලද්දේ රත්රන් ය. මීට අමතරව සුළු වශයෙන් රිදී ආලේපන ලෝහයක් ලෙස පොළොන්නරු යුගයේ දී භාවිත කර ඇති බව පෙනේ. ලෝහ ආලේපනය පිළිබඳ සාධක ලෝහමය, පාෂාණමය, රජතමය, කනකමය, දාරුමය සහ මෘත්තිකාමය යන පෘෂ්ඨයන් කිහිපයක් යටතේ හඳුනාගත හැකි ය.

ලෝහමය පෘෂ්ඨයන් මත ලෝහ ආලේප කිරීම පිළිබඳ සාධක කිහිපයක් පොළොන්නරුවෙන් හමු වේ. තඹ සහ ලෝකඩෙන් නිමවන ලද විවිධ ප‍්‍රතිමා (බුද්ධ ප‍්‍රතිමා, හින්දු ප‍්‍රතිමා බෝධිසත්ව ප‍්‍රතිමා සහ භාණ්ඩවල පෘෂ්ඨයන් මත රන් ආලේප කරන ලදි. ලෝකඩ පහන් ආධාරක, තඹ කාසි රන් ආලේපිත සියුම් තහඩු කුසලානය ආදී පුරාවස්තූන් මීට උදාහරණ වශයෙන් දැක්විය හැකි ය. සියුම් ස්තරයක් ලෙස ආලේපිත රන් කොටස් ගැල වී ගොස් තිබෙන අතර පිළිමවල තැනින් තැන පැල්ලම් වශයෙන් පමණක් ඉතිරි ව ප‍්‍රධාන ලෝහය ඉස්මතු වී තිබේ.

ආළාහන පරිවෙණ සංකීර්ණයේ කැණීම්වලින් ලැබී ඇති රන් ආලේපිත තඹ තැටිය මෙහිලා විශේෂ වූවකි. කොටස් 5ක් නෙළුම් මලක් ලෙස සකසා ඇති මෙම තැටියේ පෙති 7කි. පෙත්තක දිග මිලිමීටර් 13 පළල මිලිමීටර් 12 (පේ‍්‍රමතිලක 2002:158-163) පොළොන්නරුව කෞතුකාගාරයේ ප‍්‍රදර්ශනය සඳහා අංක 3 ගැලරියේ තබා ඇති රන් ආලේපිත තඹ කුසලානය හා 2 වන ගැලරියේ ඇති බුදු පිළිම හා බෝධිසත්ව ප‍්‍රතිමාව ද පුරාවස්තු පර්යේෂණාගාරයේ ඇති රන් ආලේපිත ලෝකඩ දීපාධාර කොටස ද සිඛා පහකින් යුක්ත රන් ආලේපිත තඹ සිරස්පත ද (උස සෙන්ටිමීටර් 16.5 පළල සෙන්ටිමීටර් 9 කි) ලෝහ මත රන් ආලේපිත බවට ඇති නිදසුන් කිහිපයකි.

හුණු බදාමයෙන් කළ ස්තූප පෘෂ්ඨයන්හි රන් ආලේප කොට තිබූ බවට සාහිත්‍යමය සාධක හමු වේ. රූපවතී දේවිය විසින් රන්මුවා නැවක් බඳු රන්මුවා මහ සෑයක් නුවර මැද කර වූ බවට ඇති සඳහන මෙහි ලා විශේෂයෙන් දැක්විය හැකිය (මහාවංසය 73:136-147). මෙය වර්තමානයේ හඳුනාගෙන ඇත්තේ පැරණි නගරයේ රාජකීය පරිශ‍්‍රය හා ආරාමික පෙදෙස අතර නගර මධ්‍යයේ පිහිටි පූජනීය පෙදෙසේ පබළු වෙහෙර වශයෙනි. දාගැබෙහි සතරැස් කොටුවෙහි උඩ ඉදිකරන ලද ඡත‍්‍රය බුදුරදුන්ගේ උත්තරීතර ගුණය ප‍්‍රකාශවන සංකේතය විය. එය රීතියක් වශයෙන්ම උල් කේතුවක සම්මත හැඩයට පරිණාමය වූ පසුව ස්වර්ණමය හෝ රත්රන් ආලේප කරන ලද්දේ හෝ විය. පබළු වෙහෙර ස්තූප ඡත‍්‍රයේ ද මේ ආකාරයෙන් කළ ලෝහමය කේතුවක් පැවති බවට සාධක ශේෂ වූ යකඩ කොටස් තිබේ. බොහෝ විට මෙහි ද රන් ආලේප කොට තිබෙන්නට ඇති බවට රන්මුවා කොත්කැරලි හා රන්කොත් යනාදී සඳහන් මීට සාධක වේ.

මෘත්තිකාමය පෘෂ්ඨ මත රන් ආලේප කළ බවට ද සාධක පොළොන්නරුවෙන් හමු වේ. ඒ අනුව මැටි පහන් ආධාරක වැනි හොඳින් දර්ශනය වන ස්ථානවල තබන මැටි නිර්මාණවල රන් ආලේප කළ බව පෙනේ. මෙබඳු සාධක කිහිපයක් හමු වී තිබේ. 2012 වර්ෂයේ ඇතුළුනුවර විජයබාහු මාලිග කැණීමෙන් හමු වූ භාජනය සහ එහි මූඩිය එවැන්නකි. මෙය රාජකීය පරිශ‍්‍රයක් තුළින් හමු වූ බැවින් එහි පරිහරණයට ගත් මැටි බඳුනක් වියහැකිය (මාරසිංහ 2012). ආළාහන පරිවෙණ සංකීර්ණයෙන් හමු වූ මෘත්තිකාමය දීපාධාරය ද එවැන්නකි. මේ අනුව  ‘රන් වළන්’ යනුවෙන් සෙල්ලිපිවල එන සඳහන් අනුව රනින් කළ භාජන හෝ රන් ආලේපිත භාජන හැඳින්වීම සඳහා යොදාගත්තා විය හැකි ය (EZ.ii,23, C.11; EZ.,v,42.13). පරාක‍්‍රමබාහු රජතුමා විසින් භෝජනයට සුදුසු වූ ස්වර්ණමය හා රජතමය නොයෙක් බඳුන් ලංකාපුර ප‍්‍රභූරාජයා වෙත යැවූ බවට ඇති සඳහන අනුව ද රන් ආලේපිත මැටි බඳුන් රාජකීය හා ප‍්‍රභූ වරුන්ගේ භාවිතය සඳහා තිබූ බව පෙනේ (මහාවංසයථ 76:206-207).

නිශ්ශංකමල්ල රජතුමා විසින් දඹුලු විහාරයේ කරන ලද ස්වර්ණ කර්මාන්තය පිළිබඳව පොළොන්නරුව ප‍්‍රීතිදාන මණ්ඩප සෙල්ලිපියේ (Wickramasinghe 1928,165-178) හා පොළොන්නරුව ගල්පොත ලිපියේ ද (Wickramasinghe 1928, 98-123) විස්තර වේ. මේ අනුව හත් ලක්‍ෂයක් කහවණු වියදම් කොට බුද්ධ ප‍්‍රතිමා හැත්තෑ තුනක රන් ආලේප කළ බව පැවැසේ. දඹුල්ල සෙල්ලිපියට අනුව විහාරයේ බිම රන්පත් අතුරා පිළිම හැත්තෑ තුනක රන් ආලේප කළ බව දැක්වෙයි (Wickramasinghe 1928,130,136). ඔපමට්ටම් කරන ලද බිත්ති මත රන් ආලේපකරන ලද්දේ විය. රන් ආලේප කරන ලද බුදු පිළිම 73ක් නුවණැති රජතුමා විසින් එහි පිහිට වන ලදි (මහාවංසයථ 80:22-23). පූජාවලියට අනුව ද දඹුලු විහාරය රන් පත් ඉරුවලින් වසා පිළිම 73ක් රනින් ආලේප කරවා තිබේ. විද්‍යමාන ශේෂ සාධක අනුව දඹුලු විහාරයේ ඇති පිළිම සියල්ලක් ම පාහේ දැවමය මාරමක් මත මැටියෙන් කළ ඒවා වන අතර මෙම සඳහනට අනුව රන් ආලේප කොට ඇත්තේ එම මෘත්තිකාමය මතුපිටක් සහිත එම පිළිමවල බව පැහැදිලි වේ.

ශිලා මාධ්‍යය මතුපිට රන් ආලේපිත බවට සාධක තිබේ. ගල් විහාරයේ විජ්ජාධර ගුහාවේ ඇතුළත ඇති ප‍්‍රතිමාව මෙසේ රන් ලෝහය ආලේප කොට තිබූ ප‍්‍රතිමාවක් බව ප‍්‍රකට කරන සාධක ශේෂව පවතී. ප‍්‍රතිමාව මතුපිට පෘෂ්ඨයේ සියුම් ඔප දැමීම සහ ඇතැම් තැන්හි ශේෂ ලෝහ මතුපිට බැඳෙන කොල පැහැති ඔක්සයිඞ් ශේෂයන් මීට නිදසුන් ලෙස දැක්විය හැකි ය. එසේම පොළොන්නරුව වටදාගෙයි උතුරු දිශාභිමුඛ බුද්ධ ප‍්‍රතිමාවේ ද මේ ලක්‍ෂණ දැකිය හැකි ය. රන්මුවා ටැම් (එම 73:82) පිළිබඳව සඳහන් වන අතර මේවා බොහෝවිට රන් ආලේපිත ශිලාමය ටැම් විය හැකිය. රත්රන් ලෝහයේ ඇති මිල අධික බව හා දුලභ බව හේතු වෙන් රත්රන්වලින් ඝණ වස්තු නිර්මාණය කිරීමට වඩා ආලේපන මාධ්‍යයක් වශයෙන් යොදාගන්නට ඇතැයි මේ අනුව සිතිය හැකි ය. සුළු පරිමාණයේ ඝන වස්තු පමණක් රත්රන්වලින් නිර්මාණය කොට තිබූ බවට සාධක හමු වේ.

දැවමය පෘෂ්ඨයන් පිළිබඳ සාධක ද ශේෂ වී නොමැත. එහෙත් රාජකීය ගෘහයන්හි වූ රන් ආලේපිත දැව නිර්මාණයන් පිළිබඳ මහාවංසයේ විස්තර වේ. බොහෝ විට ප‍්‍රධාන පෘෂ්ඨයේ ඛාදනය හේතුවෙන් මතුපිට සාධකවල විනාශ වීම නිසා මෙම සාධක අවිද්‍යමාන වන්නට හේතු වේ. පළමුවන පරාක‍්‍රමබාහු රජතුමා විසින් කරවන ලද බමුණන් ලවා ශාන්ති කරවන්නට රන් මැදුරක් ද (එම 73:71) ස්වර්ණමය කල්පවෘක්‍ෂයක් සහිත සරස්වතී මණ්ඩපයක් (එම 73:84-86) රන්මුවා ටැම් මත්තෙහි පිහිටි රන් බිමක් මත කළ පහන් රුකකින් යුක්ත වූ රන් ගෙයක් (එම 73:93, 94) පිළිබඳ හමුවන සාහිත්‍යමය සාධකවලින් ද විවිධ මාධ්‍යයන්හි රන් ආලේපිත බව පෙනේ. මහින්ද නැමැති ඇමතිවරයා විසින් පොළොන්නරුවේ දාඨා ධාතූන් වහන්සේ සඳහා මන්දිරයක් කරවූයේ ය. එහි දොර ද වා කවුළු ද රනින් නිමවා තිබූ බව දැක්වීම අනුව බොහෝවිට දැවමය පෘෂ්ඨයන් මත ද රන් ආලේපිත බවක් හැෙඟ්.

රන් ආලේපිත කාසිවල ඇති රන් ස්තරය ඉතා තුනී වූවකි. මෙසේ රන් කහවනු අනුව යමින් රන් ආලේපිත කාසි නිපදවීම උවමනාවෙන් ම සිදුකරන්නට ඇත. පොළාන්නරුවෙන්  රන් ආලේපිත කාසි සාධක හමු වී ඇත. කෞතුකාගාර ප‍්‍රදර්ශනය සඳහා තබා ඇති රන් ආලේපිත කාසිය එවැන්නකි. මීට අමතරව රාජ රාජ හා විජයබාහු රජවරුන් විසින් නිකුත් කළ කාසි අතර ද රන් ආලේපිත කාසි වේ.

රන් ආලේපිත උළු පිළිබඳ ද්‍රව්‍යයමය සාධක ලැබී නැතත් නිශ්ශංකමල්ල රජුගේ ජම්බුකෝල නම් විහාර කර්මාන්තය පිළිබඳ සඳහනෙහි වහල රන් ආලේප කරන ලද උළුවලින් වසා තිබූ බව සඳහන්වේ (මහාවංසය 80:22-23). මහින්ද නැමැති ඇමතිවරයා විසින් පොළොන්නරුවේ දාඨා ධාතූන් වහන්සේ සඳහා රන් ආලේපිත පියස්සක් සහිත මන්දිරයක් කරවූයේය. එහි දොර ද වා කවුළු ද රනින් නිමවා තිබූ බව දැක්වේ. මීට අමතරව ඇති රන්මුවා පියැසි (එම 73:129) පිළිබඳ සඳහනට අනුව විශේෂිත ගොඩනැගිලිවල මැටි හෝ ලෝහවලින් කළ උළු මත රන් ආලේපිත බවක් හැෙඟ්.

පොළොන්නරු යුගයේ තඹ භාවිතයෙන් කළ හසුන් හා ප‍්‍රදාන සඳහා යොදාගත් සන්නස් ප‍්‍රකට මාධ්‍යයකි. මේවායෙහි නිෂ්පාදනය සඳහා තඹ හා ටින් ලෝහ මිශ‍්‍රණය යොදාගත් අතර ප‍්‍රතිශතය අනුව තඹ වැඩි ප‍්‍රමාණයක් යොදාගෙන ඇති බව සමීප නිරීක්‍ෂණය මගින් පැහැදිලි විය. තාක්‍ෂණ ශිල්පීන්ගේ දැනුම හා පළපුරුද්ද මත අනුගමනය කළ උපක‍්‍රමයක් ලෙස මෙය හැඳින ගත හැකි ය. මෙමගින් පැහැදිලිවන කරුණක් ලෙස තහඩුව මත අක්‍ෂර කෙටීමේ පහසුව මූලික අපේක්‍ෂාව වී ඇති බව කිව හැකි ය. අක්‍ෂර කිරීමේ දී බහුලව යොදාගත් ක‍්‍රමය වී ඇත්තේ තිත් ක‍්‍රමයයි. පොළොන්නරුව කෞතුකාගාරයෙහි තුන්වන ගැලරියේ ප‍්‍රදර්ශනය සඳහා තබා ඇති නිශ්ශංකමල්ල රජුගේ අල්ලෙයි තඹ සන්නස මේ සඳහා හොඳම උදාහරණයකි. මීට අමතරව හාරා ඉවත් කිරීමේ ක‍්‍රමය ද යොදා ගෙන ඇති බව විජයබාහු රජුගේ පනාකඩුව තඹ සන්නස අනුව පෙනේ.

නිගමනය

පොළොන්නරුව ආළාහණ පරිවෙන හා තදාශ‍්‍රිත ලෝහ කර්මාන්තය පිළිබඳ කරනු ලැබූ මෙම පර්යේෂණාත්මක අධ්‍යයනය මඟින් පොළොන්නරුවෙන් හමු වී ඇති ලෝහ පුරාවස්තූන් ආශ‍්‍රයෙන් තත්කාලීන ලෝහ නිස්සාරණය, භාණ්ඩ නිෂ්පාදන ක‍්‍රමවේද හා භාවිතය පිළිබඳ කරුණු අධ්‍යයනය කරන ලදි.

පොළොන්නරුව ආළාහන පරිවෙණ භූමිය කේන්ද්‍රකොට කැණීම් හා ඒ ආශි‍්‍රතව සිදු කෙරුණු ගවේෂණාත්මක තොරතුරු අධ්‍යයනයේ දී පැහැදිලි වූ කරුණක් වූයේ තඹ භාවිත වුව ද භාණ්ඩ නිෂ්පාදනයට සාපේක්‍ෂව තඹ නිස්සාරණය සිදු වී නොමැති බවයි. ඒ අනුව සේරුවිල වැනි මහාපරිමාණයෙන් තඹ නිස්සාරිත ස්ථානවලින් නිෂ්පාදිත තඹ ආනයනය කර භාවිතයට ගන්නට ඇති බව නිගමනය හැකි ය. යකඩ ලෝහය නිස්සාරණය හා නිෂ්පාදනය යන ක‍්‍රියාවලීන් දෙක ම සම සම ව තදාශ‍්‍රිත කලාපයේ සිදු වී ඇති බවට පැහැදිලි සාධක ලෙස ආළාහන පරිවෙණ අවටින් හමු වූ ලෝහ නිස්සාරිත පරිශ‍්‍ර හා ඝණව ව්‍යාප්තවූ යබොර සාධක සපයයි.

ලෝහ භාවිතය පිළිබඳ විශේෂ වර්ධනීය අවස්ථාවන් කිහිපයක් පිළිබඳ සාධක ද පොළොන්නරුවෙන් හමු වේ. තඹ හා යකඩ භාණ්ඩ නිෂ්පාදනය පුළුල් ක්‍ෂේත‍්‍ර ගණනාවක් ඔස්සේ ව්‍යාප්තව තිබුණි. එසේම රන් රිදී වැනි දුලභ හා වටිනා ලෝහ, ආලේපන ලෝහ වශයෙන් නිර්මාණ අලංකරණය සඳහා යොදාගෙන ඇත. තඹ, ඊයම්, තුත්තනාගම් හා ටින් වැනි යකඩමය නොවන බර ලෝහ භාවිතය හා ලෝහ සංයෝග කිරීමෙන් නිපද වූ ලෝකඩ, පිත්තල හා සුදු ලෝකඩ වැනි සංයෝග ලෝහ පොළොන්නරු යුගයේ ලෝහ භාවිතය නව මානයකට යොමු කළ බව පෙනේ. ලෝකඩ ආශ‍්‍රිත භාණ්ඩ හා ප‍්‍රතිමා නිර්මාණ කලාව එවකට දකුණු ඉන්දියානු ශෛලීය ආභාසයක් පෙන්නුම් කරතත් ඒ තුළ එල්බ නොසිට අනන්‍යතා ගොඩනඟාගත් බවට සාධක තිබේ. තඹ ලෝහය ආශ‍්‍රිත නිෂ්පාදනයන්හි උච්චතම අවධිය වන්නේ ද ප‍්‍රස්තුත යුගයයි. තඹ කාසි නිෂ්පාදනය අනුරාධපුර කාසි නිෂ්පාදන ක‍්‍රමවේදයට හාත් පසින්ම වෙනස් තාක්‍ෂණ මුද්‍රා තැබීමේ ක‍්‍රමවේදයට අනුව සිදුකොට ඇතිබව නිගමනය කළ හැකි විය.

හස්ති, අශ්ව හා පාබල සේනා අඩපණ කිරීමෙහි සමත් ශූලපාද වැනි පොළොන්නරුවට අවේණික ලෝහ නිර්මාණයන් එවකට යකඩ තාක්‍ෂණයේ දියුණුව පිළිබඳ හොඳම උච්චත ම අවස්ථාව ලෙස හඳුනාගත හැකි ය.

සමස්ත අධ්‍යයනයෙහි ලා ඉස්මතු වූ විශේෂ කරුණක් වන්නේ පොළොන්නරුව ආළාහන පරිවෙණ ආශ‍්‍රිත ව වර්ධනය වූ ආරාමික ලෝහ තාක්‍ෂණ සම්ප‍්‍රදායයක් පැවැති බවයිි. මන්දයත් හමු වී ඇති ලෝහ භාණ්ඩයන්ගෙන් වැඩි ප‍්‍රමාණයක් මෙම කොටසින් ලැබුණු ඒවා ය. එම ලෝහ භාණ්ඩ සංචිතය තුළ වූ සියලුම ක්‍ෂේත‍්‍රයන් නියෝජනය කරන උපකරණ ආරාමික ක්‍ෂේත‍්‍රය තුළින් හමුවීම මේ සඳහා තුඩුදුන් ප‍්‍රධාන සාධකය වේ. ආගමික සංකේත සහිත ශී‍්‍ර සංඛ කාසිය ආරාමික නිෂ්පාදිත පරිශ‍්‍රයන්හි නිෂ්පාදනය කළ බවට සාධක හමු වේ. ආරාමික ලෝහ කර්මාන්තයක් තිබුණු බැව් තහවුරු වන නමුත් එම කාර්යය සිදු කරනු ලැබුවේ භික්ෂූන් ද නැතහොත් ගිහියන් ද නැතහොත් භික්ෂු උපදේශකත්වය යටතේ ගිහියන් විසින් සිදුකළේ ද යන්න පිළිබඳ නිරවුල් කරගත හැකි සාධක නොවී ය. අභයගිරිකයන් විසින් රැකගෙන ආ එම සම්ප‍්‍රදාය පොළොන්නරු යුගයේ ආළාහන පරිවෙණ කේන්ද්‍ර කොටගෙන ද වර්ධනය වන්නට ඇති බව නිගමනය කළ හැකි ය.

මෙම සාධක අනුව පොළොන්නරු යුගයේ පැවැති තාක්‍ෂණික මට්ටමින් ඉහල ලෝහ නිර්මාණ භාවිතය දේශීය මෙන්ම විදේශීය රටවලත් ජනප‍්‍රිය වී තිබුණි එවකට පැවැති සියලු දේශීය කර්මාන්තයන්හි දියුණුව සඳහා ලෝහ තාක්‍ෂණයේ දියුණුව සෘජු ලෙස ම හෝ වක‍්‍රාකාරයෙන් බලපෑ බව පැහැදිලිි ය. එසේ හෙයින් පොළොන්නරු යුගයේ සමාජ ආර්ථික ප‍්‍රගමනයෙහි ලා ලෝහ තක්‍ෂණික ශිල්පීන් විසින් මහත්වූ කාර්යභාරයක් ඉටු කර ඇති බව අවිවාදයෙන් පිළිගත යුතු ය.

ආශ‍්‍රිත ග‍්‍රන්ථ

ප‍්‍රාථමික මූලාශ‍්‍රය

  • කෞටිල්‍ය අර්ථශාස්ත‍්‍රය (2003), සංස්. හිරිපිටියේ පඤ්ඤාකිත්ති හිමි, එස්. ගොඩගේ සහෝදරයෝ, කොළඹ.
  •  මහාවංසය I (1996), හික්කඩුවේ ශ‍්‍රී සුමංගල හිමි, බටුවන්තුඩාවේ  දේවරක්‍ඛිත, දීපානී ප‍්‍රකාශකන, කොළඹ.
  •  මහාවංසය II (1996), හික්කඩුවේ ශ‍්‍රී සුමංගල හිමි, බටුවන්තුඩාවේ දේවරක්‍ඛිත, දීපානී ප‍්‍රකාශකන, කොළඹ.
  •  රුවන්මල් නිඝණ්ඩුව (1914), සංස්. විජේසේකර, කොළඹ.
  •  සද්ධර්මරත්නාවලිය (1926), සංස්. ඞී.බී. ජයතිලක, කොළඹ.
  •  සිංහල විශ්වකෝෂය (07), සංස්. හරිස්චන්ද්‍ර විජේතුංග, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, කොළඹ.

ද්විතීයික මූලාශ‍්‍රය

  • පේ‍්‍රමතිලක, පී.එල්. (1990), ආළාහණ පරිවෙන පොළොන්නරුව, 5 පුරාවිද්‍යා කැණීම් වාර්තාව, මධ්‍යම සංස්කෘතික අරමුදල, සංස්කෘතික කටයුතු හා ප‍්‍රවෘත්ති අමාත්‍යාංශය, ‌කොළඹ.
  • පේ‍්‍රමතිලක, පී.එල්. (1995), ආළාහණ පරිවෙන පොළොන්නරුව, 20 පුරාවිද්‍යා කැණීම් වාර්තාව, මධ්‍යම සංස්කෘතික අරමුදල සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශය, ‌කොළඹ.
  • පේ‍්‍රමතිලක, පී.එල්. (1995), ආළාහණ පරිවෙන පොළොන්නරුව, 21 පුරාවිද්‍යා කැණීම් වාර්තාව, මධ්‍යම සංස්කෘතික අරමුදල, සංස්කෘතික කටයුතු හා ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය, ‌කොළඹ.
  • පේ‍්‍රමතිලක, පී.එල්. (1995), ආළාහණ පරිවෙන පොළොන්නරුව, 23 පුරාවිද්‍යා කැණීම් වාර්තාව, මධ්‍යම සංස්කෘතික අරමුදල, සංස්කෘතික කටයුතු හා ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය, ‌කොළඹ.
  • පේ‍්‍රමතිලක, පී.එල්. (1997), ආළාහණ පරිවෙන පොළොන්නරුව, 28 පුරාවිද්‍යා කැණීම් වාර්තාව, මධ්‍යම සංස්කෘතික අරමුදල, සංස්කෘතික කටයුතු හා ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය, ‌කොළඹ.
  • පේ‍්‍රමානන්ද, සොලමන්, ඓතිහාසික භාරතීය කලා විමසුම, සාර ප‍්‍රකාශන හා මුද්‍රණ, කොට්ටාව.
  • මාරසිංහ, එම්.පී.එස්.කේ. (2012), ඇතුළුනුවර විජයබාහු මාලිග කැණීම (අමුද්‍රිත), මධ්‍යම සංස්කෘතික අරමුදල, පොළොන්නරුව ව්‍යාපෘතිය.
  • වත්තල, එස්. (1962), කලාව සහ ශිල්ප ශාස්ත‍්‍ර, ඇම්.ඞී.ගුණසේන සහ සමාගම, කොළඹ.
  • සිරිවර්ධන,එස්. (2000), ලෝහ කර්මාන්තය (පළමුවන කොටස) එස්.ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
  • සිරිවර්ධන, එස්. (2001), ලෝහ කර්මාන්තය (දෙවන කොටස) එස්.ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
  • විද්‍යාත්මක වාර්තා හා ක්‍ෂේත‍්‍ර සටහන් පොත්, (1981-1998) ආළාහණ පරිවෙන පොළොන්නරුව, මධ්‍යම සංස්කෘතික අරමුදල,
  • Archaeological survey of Ceylon (1908), Annual Reports.
  • Epigraphia Zeylanica, vol-II (1928), Wickramasingha Don Martino de Silva,London.
  • Epigraphia Zeylanica  vol -v part-i (1955), Paranavitana,S, Department of Archaeology, Sri Lanka
  • Epigraphia Zeylanica vol – v, part – 2 & 3, (1963, 1965), S. Paranavitana & C.E. Godakumbura,  Department of Archaeology, Sri Lanka.
  • Thnathilage, Arjuna., (2010), Scientific observations on unification of siva and parvathi bronzes by Lakdusinghe. Sunday, January 3rd, Postgraduate Institute of Archaeology – Sri Lanka
------------------------------------------------------------------------------
මෙම ලිපිය www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ 2018.08.12 වැනි දින ප‍්‍රකාශයට පත් විය.
------------------------------------------------------------------------------

2 COMMENTS

  1. අගනා ලිපියක් මගේ අධ්‍යනකට බොහෝ උපකාරී උනා බොහොම ස්තුතියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.