ආර්.එම්. අශානි දිලිනි රත්නායක

ශාස්ත‍්‍ර හා සමාජ විද්‍යා පශ්චාත් උපාධි ආයතනය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය, පේරාදෙණිය.

ashanidilini@gmail.com

සංක්‍ෂිප්තය

පුරාණ ලංකාවේ ඉඩම් භුක්තිය හා රාජ්‍ය අතර පැවතියේ විශේෂ සබඳතාවයකි. ඉඩම් සම්බන්ධ පරම අයිතිය රජු සතු බැවින් ඉඩම් ප‍්‍රදානයේ දී මූලිකයා වශයෙන් කටයුතු කරන ලද්දේ රජු ය. නමුත්, ජනතාවට ඉඩම් මිළ දී ගැනිමට, ප‍්‍රදානය කිරිමට හා විකිණීමට අයිතියක් තිබූ බවත්, සාමාන්‍ය පුද්ගලයන් අතර ඉඩම් විකිණීම, ප‍්‍රදානය හා මිළදී ගැනීම වැනි ගනුදෙනු සිදු වූ අවස්ථා කිසිවකදී රජුගේ අවසරය ඒ සදහා අවශ්‍ය නොවූ බවත් ප‍්‍රකට වේ. එම ඉඩම් ප‍්‍රදානය සිරිත්විරිත් හා සම්ප‍්‍රදායන්ට අනුකූලව වාචිකව කරන ලද ඒවා වූ අතර ඉඩම් භුක්ති ක‍්‍රම කිහිපයක් පැරණි ලංකා සමාජය තුළ කි‍්‍රයාත්මක විය. ඒවා නම් පමුණු හෙවත් පරවේණි, අඳ භුක්තිය, උකස් ඉඩම් භුක්ති ක‍්‍රමය, දිවෙල් භුක්තිය හෙවත් සේවා භුක්තිය, විහාරගම් හා දේවාලගම් පිළිබද භුක්තිය, පසු කාලීනව පැවති ගබඩාගම්, බිසෝගම්, මුත්තෙට්ටු ආදි ඉඩම් භුක්ති ප‍්‍රාකාර රැසක් පුර්ව යටත්විජිත සමයේ මෙරට ක‍්‍රියාත්මක විය. ලංකාවේ මුහුදුබඩ ප‍්‍රදේශ පෘතුගීසින්ගේ හා ලන්දේසීන්ගේ යටත්විජිත පාලනය යටතේ පැවති සමයේ දී මෙරට ඉඩම් පිළිබඳ නව ප‍්‍රතිපත්තීන් ක‍්‍රියාත්මක කරන ලදී. පැරණි ලාංකේය රජවරු හා සබැඳි භූපති සංකල්පය, තම ඉඩම් අත්පත් කර ගැනීමේ ප‍්‍රතිපත්තිය සාධාරණීකරණය කිරීම සඳහා පෘතුගීසීන් හා ලන්දේසීන් විසින් යොදාගන්නා ලද අතරම ඉඩම් බෙදාදීම පිළිබදව නව පිළිවෙත්ද අනුගමනය කරන ලදි. තෝම්බු හෙවත් ලේකම් මිටි සකස් කිරීම මඟින් ඉඩම් පිළිබඳව හා ඒවායේ ආදායම් පිළිබඳ නිවැරදි ලෙස තක්සේරු කරමින් නව බදු පැනවීම මඟින් උපරීම ආර්ථික වාසි ලබාගැනීමටත් ඒ හා සමගාමීව සිය දේශපාලන අභිමතාර්ථයන් සාක්ෂාත් කරගැනීමටත් පෘතුගීසීන් හා ලන්දේසීන් කටයුතු කරන ලදි. මෙම ක‍්‍රියා පිළිවෙත් නිසා පෘතුගීසි හා ලන්දේසි ජනපද මෙරට ස්ථාපිත වීම මත ලාංකේය ජන සමාජය විවිධ ජාතීන්ගෙන් යුත් සංකීර්ණ එකක් බවට පත්විය. විශේෂයෙන් ලන්දේසි පාලනය යටතේ කුල ක‍්‍රමය හා සාම්ප‍්‍රදායික රාජකාරි ක‍්‍රමය නිර්දය ලෙස යොදාගැනීම නිසා ජනතාව පීඩාවට පත් වු අතරම ඉඩම් වල බදු රැස්කිරීමේ අයිතිය ප‍්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට ද ලන්දේසින් කටයුතු කර ඇත. මෙනිසා එතෙක් සිරිත්විරිත් හා සම්ප‍්‍රදායන් සමඟ සම්බන්ධව තිබූ ලාංකේය ඉඩම් භුක්ති ක‍්‍රමය පෘතුගීසීන් හා ලන්දේසීන් යටතේ සංකීර්ණ ස්වභාවයක් ගන්නා ලදී.

යොමු වචන : පමුණු , අඳ භුක්තිය, උකස් ඉඩම්, දිවෙල්, විහාරගම්, දේවාලගම්, ගබඩාගම්, බිසෝගම්, මුත්තෙට්ටු, තෝම්බු

 

Image Credit: http://www.lankaprincess.com/excursions/

1. හැඳින්වීම

පූර්ව යටත්විජිත සමයේ ලංකාවේ සාම්ප‍්‍රදායික අර්ථ රටාව කෘෂිකර්මාන්තය මත පදනම් විය. එහෙයින් ජනයාගේ ප‍්‍රධාන ධනෝපාය මාර්ගය වූයේ මහ පොළොවයි. ජනගහනයෙන් වැඩි කොටසකගේ ප‍්‍රධාන ජීවනෝපාය කෘෂිකර්මාන්තය වූ බැවින් රාජ්‍ය ආදායමින් වැඩි කොටසක් ද එමගින් සැපයිනි. මේ නිසා සම්ප‍්‍රදායික සමාජයේ ඉඩම්වලට වැඩි වටිනාකමක් ලැබුණි. ඉඩම්, ලාංකේය සමාජයේ සමාජ ව්‍යුහය ගොඩනැගීමේදී හා කි‍්‍රයාත්මක වීමේ දී මධ්‍යගත බලපෑමක් කරනු ලබන විචල්‍යයක් වශයෙන් හඳුන්වා තිබේ1 (ගුණවර්ධන, 2006,පි. 572).

පුරාණ ලංකාවේ ඉඩම් භුක්තිය හා රාජ්‍ය අතර පැවතියේද විශේෂ සබඳතාවකි. ඉඩම් සම්බන්ධ පරම අයිතිය රජු සතු බැවින් ඉඩම් ප‍්‍රදානයේ දී මූලිකයා වශයෙන් කටයුතු කරන ලද්දේ රජු ය. පැරණි ලංකාවේ ඉඩම් ප‍්‍රදානය කිරීම ප‍්‍රධාන වශයෙන් සිරිත්විරිත් හා සම්ප‍්‍රදායන්ට අනුකූලව වාචිකව කරන ලද ඒවා වූ අතර ඉඩම් භුක්ති ක‍්‍රම කිහිපයක් පැරණි ලංකා සමාජය තුළ කි‍්‍රයාත්මක විය. නමුත් ලංකාවේ මුහුදුබඩ ප‍්‍රදේශ පෘතුගීසින්ගේ (1505-1658) හා ලන්දේසීන්ගේ (1658-1795) යටත්විජිත පාලනයට නතු වීමත් සමඟ ඔවුන්ගේ අවධානය ද මෙරට ඉඩම් පිළිබදව වැඩි වශයෙන් යොමුවීම නිසා, එතෙක් මෙරට ක‍්‍රියාත්මක වූ සාම්ප‍්‍රදායික ඉඩම් භූක්ති ක‍්‍රමය වෙනස්කම් වලට බඳුන්වූ ආකාරය පිළිබඳව ප‍්‍රාථමික හා ද්විතීය මූලාශ‍්‍ර වල අන්තර්ගතයන් පිළිබඳව අවධානය යොමු කරමින් විමසා බැලීම මෙහි දී සිදුකෙරේ.

2. පුර්ව යටත්විජිත සමයේ ලංකාවේ ඉඩම් භුක්තිය

පැරණි ලංකාවේ ඉඩම් භුක්තියත් රාජ්‍ය පාලනයත් අතර පැවතියේ දැඩි සබඳතාවකි. රජු රාජ්‍යයේ සියලූ ඉඩම් හි හිමිකරු වෙතැයි දක්වා තිබීමෙන් ඒ බව පැහැදිලි වේ. සාහිත්‍ය මූලාශ‍්‍ර හා ශිලා ලේඛන වල භූපති, මහීපති, පඨවිපති, වත්හිමි හා පෘථිවීශ්වර ලෙස රජු හඳුන්වා තිබේ. මේ නිසා, ඉඩම් සම්බන්ධ පරම අයිතිය රජු සතු වූ අතරම ඉඩම් ප‍්‍රදානයේ දී මූලිකත්වය ගන්නා ලද්දේද රජු විසිනි. නමුත් වංසකතා හා ශිලාලේඛන සාධකවලට අනුව ජනතාවට ඉඩම් මිළ දී ගැනිමට, ප‍්‍රදානය කිරිමට හා විකිණීමට අයිතියක් තිබූ බවත් සාමාන්‍ය පුද්ගලයන් අතර ඉඩම් විකිණීම, ප‍්‍රදානය හා මිළදී ගැනීම වැනි ගනුදෙනු සිදුවූ අවස්ථා කිසිවක දී රජුගේ අවසරය ඒ සදහා අවශ්‍ය නොවූ බවත් ඉන්ද්‍රකීර්ති සිරිවීර පෙන්වා දෙයි2 (සිරිවීර 1997, පි. 256). වගා කරනු ලැබූ සියලු ඉඩම්වලින් බද්දක් එකතු කිරීමේ අයිතිය රජු සතු වූයේ ඔහුට තිබූ ඉඩම් හමිකමක් මත නොව රාජ්‍යයේත් ජනතාවගේත් ආරක්ෂාව ඔහු විසින් පවත්වාගෙන යාම නිසා බව කියැ වේ. දෙමළ ජනකොටස් අතර ප‍්‍රචලිතව තිබූ තේසවලමෛ නීති සංග‍්‍රහයෙන් පවා රජුට සියලු ඉඩම් අයත් වී යැයි යන අදහස ප‍්‍රකට නොවේ.

එළි නොකළ කැළෑ ඉඩම්, පාවිච්චියට නොගත් ඉඩම්, පදිංචි වී සිට හෝ වගාකොට අතහැර දමන ලද ඉඩම් හා ගොඩනැඟිලි සංකීර්ණ යනාදිය රාජ්‍ය සතු බව දක්වමින් හොති අසසාමිකං වත්ථු, පුථුවිසාමිනෝ, එනම් අස්වාමික ඉඩම් රජය සතු බව දක්වමින් මහා විහාරය සතු ඉඩම් මහසෙන් රජු විසින් තමා යටතට ගත් බව මහාවංසයේ සදහන් වේ 3 (මහාවංසෝ, 2006, පරි. 37, 8 ගාථාව). මෙලෙස නිල බලය මත පමණක් නොව පෞද්ගලික අයිතිවාසිකම් සහිත ඉඩම් රජු සතුව පැවති බව කූටකණ්නතිස්ස රජුගේ (ක‍්‍රි.පූ. 44-22) පවුල සතු කුලසන්තක ඉඩමක් පිළිබඳව මහාවංසයේ සඳහන් වීමෙන් පැහැදිලි වේ. පුරාතන ලාංකේය සමාජයේ විසූ කාන්තාවන්ට ද ඉඩම් පිළිබද අයිතියක් පැවති බව වංසකතා හා අභිලේඛන සාධක මගින් පැහැදිලි වේ. පැරණි ඉඩම් භුක්ති ක‍්‍රමය තුළ, එකළ ගම්‍ය වූ උපරිම අයිතීන් පවරන ලද ප‍්‍රදානයන්, රජුට එම ඉඩම් වලින් හිමිවිය යුතු බද්ද ප‍්‍රදානය ලද ආයතනයට හෝ පුද්ගලයාට හිමිකළ ප‍්‍රදානයන් හා ප‍්‍රදානය කරන ලද ඉඩමේ ආදායම ප‍්‍රදානය ලත් අයට හිමිකරන ලද ප‍්‍රදානයන් වශයෙන් ආකාර තුනක් යටතේ පැවති බව විද්වත්හු දක්වති. රජු විසින් සිදුකරන ලද ඉඩම් ප‍්‍රදානයන් බොහෝ අවස්ථාවල දී රාජ සභාවේ දි ප‍්‍රදානය පිළිබද ආඥාව කියවීමෙන් හා ප‍්‍රදානය ලබන්නාට අතපැන් වත්කිරීමෙන් ද ප‍්‍රදානය වාර්තාකොට තැබීම මඟින්ද සිදුකළ බව පළමු වන විජයබාහු රජුගේ (ක‍්‍රි.ව 1070-1110) පනාකඩුව තඔ සන්නසින් පැහැදිලි වේ. මේ කාර්යයෙහි නිරතව සිටි මෙයිකාප්පර් හා කුඩසලා නම් නිළධාරීන් පිරිසක් ක‍්‍රිස්තු වර්ෂ 9, 10 සහ 11 යන ශතවර්ෂ වන විට සිටි බවත් ඔවුහු ක‍්‍රිස්තු වර්ෂ 14න් පසුව සන්හස් තිරුවරංගන් සහ සන්නස් තිරුවරහන් ලෙසත් හඳුන්වා ඇති බවත් කියැ වේ 4 (සිරිවීර 1997, පි. 261.).

පුරාණ ලංකාවේ පැවති ඉඩම් භුක්තිය පමුණු හෙවත් පරවේණි එනම් පරම්පරාවෙන් පැවත ආ භුක්තියයි. මෙම ඉඩම් මිළ දී ගැනීමෙන් ද රජුන් හා පුද්ගලයන් විසින් ආගමික ස්ථාන ආදියට පමුණු ඉඩම් පිදීම මඟින් ද හිමි විය. පමුණු ඉඩම් දැරුවෝ, එම ඉඩම් වෙනුවෙන් රජයට සේවාවන් ඉටු කිරීමට කැපවී නොසිටි නමුත් ඇතැමි අවස්ථාවලදී ආගමික ආයතනයකට හෝ වෙනත් මහජන ආයතනයකට කිසියම් ගෙවීමක් කර ඇත. නිදසුනක් ලෙස හත්වන විජයබාහු රජුගේ, දෙවුන්දර දේවාල තඔ සන්නස අනුව රජුගෙන් පරවෙිණි ප‍්‍රදානයක් ලද අය විසින් වසරකට පනම් 10ක් දෙවුන්දර විෂ්ණු දේවාලයට ගෙවිය යුතු විය.

කිසියම් අයෙකුට ස්වකීය ඉඩමක් අස්වැන්නෙන් අඩක් දෙන පොරොන්දුව පිට වගාකරවා ගැනීම අඳ භුක්තියයි.5 (එම, පි. 265). පූජාවලියේ, අස්වැන්නෙන් තුනෙන් එකක් ඉඩම් හිමියාටත්, තුනෙන් දෙකක් වගා කරන්නාටත් හිමි වූ තුනෙන් අෙඳ නම් ක‍්‍රමයක් ගැන සදහන්ව තිබේ. සමාජයේ ඉහළ ස්ථරවලට අයත් වූවෝ ද වෙනත් ?කියා වල නිරත වූවෝ ද මේ ක‍්‍රමය භාවිත කරන්නට ඇති අතර මෙම ක‍්‍රමය මධ්‍ය කාලීන ලංකා සමාජය තුළ ප‍්‍රචලිතව පවතින්නට ඇතැයි විශ්වාස කෙරේ. උකස් ඉඩම් භුක්ති ක‍්‍රමය ද ක‍්‍රිස්තු වර්ෂ 9, 10 සියවස් වලදී ප‍්‍රකටව පැවති ක‍්‍රමයකි. චංචල දේපල උකස් කිරීමේ චාරිත‍්‍රය පිළිබඳ තොරතුරු බුත්සරණ, සද්ධර්මාලංකාරය වැනි මූලාශ‍්‍ර මගින් ප‍්‍රකට වේ.

දිවෙල් භුක්තිය හෙවත් සේවා භුක්තිය යනු සේවා කාලය තුළ භුක්ති විදීම උදෙසා රජු විසින් නිළධාරීන්ට පවරන ලද ඉඩම්ය. මේ ඉඩම් වල නියම අයිතිය රජු සතුවිය. සේවා භුක්තිය සඳහා දිවෙල් ඉඩම් නිළධාරීන්ට පමණක් නොව රජමාළිඟයට විවිධ භාණ්ඩ සැපයු නීත්‍ය සේවා සැපයූවන්ට ද හිමිවිය. රජු විසින් වගාකරවන ලද ඉඩම් හෝ රජුට අයත් ඉඩම් හෝ මෙලෙස දිවෙල් ප‍්‍රදානයන් ලෙස ලබාදුන් අතර එතෙක් මෙම ඉඩම් හා ගම්බිම්වලින් රජුට ලැබණුු බද්ද, එයින් පසු දිවෙල් ලද්දාට හිමිවිය. නිශ්ශංකමල්ල රජු සමයට අයත් ශිලා ලිපි (ක‍්‍රි.ව 1187-1196) වල ද 15 වන සියවසට අයත් ඔරුවල තඔ සන්නසේ ද දිවෙල් ප‍්‍රදාන ගැන සඳහන්ව තිබේ. වංස කතා වල දිවෙල් පොත්, ජීවිත පොත්ථකිය නම් ලේඛනයක් හා දිවෙල් පොත්කරණ නම් නිලයක් ගැන සඳහන් වීම නිසා ඉන් අදහස් වන්නට ඇත්තේ දිවෙල් ඉඩමි පිළිබඳ ලේඛනයක් හා ඒ හා සබැඳි කටයුතු වාර්තා කළ නිලයක් පිළිබඳව බව විද්වත්හු දක්වති6 (එම, පි.268.).

ඉඩම් භුක්ති ක‍්‍රම අතරින් පුළුල් අයිතිවාසිකම් සහිත භුක්ති ක‍්‍රමයක් වූයේ, ආගමික ආයතන සතුව තිබූ විහාරගම් හා දේවාලගම් පිළිබද භුක්තියයි. මේ ඉඩම් රජයට අයවිය යුතු බදු හා සේවාවලින් නිදහස් විය. එම බද්දත් සේවාවත් ඉඩම් ප‍්‍රදානය ලත් ආයතනය සතු කර ඇත. මෙබඳු පුළුල් අයිතිවාසිකම් නිසා ක‍්‍රිස්තු වර්ෂ 9, 10 සියවස් පමණ වන විට විහාරාරාම වලට එකතු වියයුතු බදු එකතු කිරීමට නිළධාරීන් පත්කර තිබේ. මෙබඳු ඉඩම් ආයතනය විසින් විකිණීම, උකස් කිරීම හෝ වෙනත් අයෙකුට ප‍්‍රදානය තහනම් වූ බවට සාධක හතරවන මිහිදු රජුගේ (කි‍්‍ර.ව 956-972) ශිලා ලේඛන මඟින් ද තහවුරු වේ. විහාරාරාම වලට පමණක් නොව ඊට විවිධ සේවා සැපයූවන්ට ද ඉඩම් ප‍්‍රදානය කළ බවට සාධක වේ.

රාජ්‍ය තුළ පැවති ඉඩම්වලින් කොටසක් රජ පවුලේ ප‍්‍රයෝජනය සදහා වෙන්කර තිබුණ අයුරු කෝට්ටේ හා මහනුවර රාජ්‍ය සමයන් පිළිබදව විමසා බැලීමේ දී පෙනේ. මෙම ඉඩම් ගබඩාගම් විය. බිසවට අයත් වූ ගම් බිසෝගම් ලෙස ද හැඳින්විය. මහනුවර යුගයේ දී රජුගේ මහාවාසල ගබඩාව හැර උප ගබඩාව ද පල්ලේවාහල ගබඩාව ද තිබූ බව විද්වත්හු දක්වති7 (පීරිස්, 1956, පි.49). මේ ආකාරයෙන් විමසා බලන කළ පුර්ව යටත්විජිත සමයේ මෙරට පැවති ඉඩම් භුක්ති ක‍්‍රමය සිරිත්විරිත් හා සම්ප‍්‍රදායන් මත පදනම්ව කි‍්‍රයාත්මක වූ බව පෙනේ.

3. පෘතුගීසීන් යටතේ ඉඩම් භුක්ති ක‍්‍රමය තුළ සිදුවූ වෙනස්කම්

කි‍්‍රස්තු වර්ෂ 1505 දී පෘතුගීසීන් ලංකාවට පැමිණෙන විට මෙරට ආර්ථික රටාව ගොවිතැන මත රඳාපැවතුණි. හත්වන භුවනෙකබාහු රජ සමයේ පටන්ම පෞද්ගලිකව ඉඩම් අත්පත් කර ගැනීමෙහි යෙදී සිටි පෘතුගීසීහු 1541 පමණ වනවිට එහි උච්චස්ථානයකට පැමිණ සිටියහ. එබැවින් හත්වන භුනනෙකබාහු රජු තමාගේ අවසරයක් නොලැබ එලෙස ඉඩම් ගැනීම තහනම් කිරීමට පවා කටයුතු කර තිබේ. කෝට්ටේ ධර්මපාල රජුගේ කාලයේදී ත්‍යාග ලෙස ලැබූ හෝ මිළ දී ගත් හෝ ගම් ප‍්‍රමාණය අනුව 1597 පමණ වනවිට ගම් 20ක පමණ හිමිකම පෘතුගීසීන් සතුවිය8 (අබයසිංහ, 2005,පි.95). 1597 සිදු වූ ධර්මපාල රජුගේ මරණයත් සමඟ කෝට්ටේ රාජ්‍යයේ ස්වාමීන් බවට පෘතුගීසීන් පත්විය. 1615 වන විට කෝට්ටේ රාජ්‍යයේ මුත්තෙට්ටු ඉඩම්වලින් විශාල ප‍්‍රමාණයක් ද පෘතුගීසීන් සතුවිය. මේ සමඟ ඉඩම් භුක්තිය පිළිබඳ විප්ලවයක් ඇරඹි බව විද්වත් මතයයි.

1597 දී පෘතුගීසී රජය විසින් විශාල වශයෙන් ඉඩම් බදුදීමේ ව්‍යාපාරයක් ආරමිභ කර තිබුණි. මේ ව්‍යාපාරයේ අසංවිධිත බව නිසා 1603 පෙබරවාරි 19 දින පෘතුගාල රජු විසින් ආඥාවක් නිකුත් කරමින් එතෙක් පෘතුගීසි පාලකයන් සිදුකළ ඉඩම් බෙදාදීම අවලංගු කරන ලද අතර, ලංකාවේ පෘතුගීසීන් සතුවූ ඉඩම් පිළිබදව දේශපාලනික මූලධර්මවලින් පූර්ණය වූ ප‍්‍රතිපත්තියක් හඳුන්වා දෙන ලදී. එම ප‍්‍රතිපත්තියට අනුව මෙරට යුධ කටයුතු සදහා වැයවන වියදම් හා ශ‍්‍රමය මෙරටින්ම පියවා ගැනීමේ බලාපොරොත්තුව ප‍්‍රමුඛ විය. පෘතුගාල රජු, පෘතුගීසි පදිංචිකරුවන් ලංකාවට ඇද ගැනීමට යොදන කාන්දම ගොඩමඩ දෙකම සරුසාර පලබර වූ ලංකා පොළවයි9 (එම, පි. 96). දැක්වූයේ එමඟින් ඔවුන්ට සැළසෙන වාසි අතිමහත් බැවිණි.

3.1. ඉඩම් පැවරීමේ බලය වෙනස්වීම

පැරණි ලංකාවේ පැවති ඉඩම් භුක්තියට අනුව, ඉඩම් පිළිබඳ පරම අයිතිය හිමිවූයේත්, ඉඩම් පැවරීමේ දී මූලිකයා වූයේත් රජු ය. පැරණි ලාංකේය රජවරු හා සබැඳි භූපති සංකල්පය, තම ඉඩම් අත්පත් කර ගැනීමේ ප‍්‍රතිපත්තිය සාධාරණීකරණය කිරීම සඳහා ද පෘතුගීසීන් විසින් යොදාගන්නා ලදී. ඊට අනුව පෘතුගීසීන් අත්කරගත් ඉඩම් ද පෘතුගීසී රජු සතු විය. පෘතුගාල රජුට ලංකාවේ ඉඩම් බෙදාදීමේ කටයුතු හා ඍජුව සම්බන්ධවීමට නොහැකි බැවින් එම කටයුතු මෙහෙයවීම සඳහා ‘.ඉඩම් බෙදාදීමේ කාර්යභාර මණ්ඩලයක්’ පත්කරන ලදී. ඊට, කොචින්හි රාජගුරු ප‍්‍රසාදි තැන, ලංකාවේ කපිතාන් ජෙනරාල් හා ආදායම් පාලක යන තිදෙනා ඇතුළු විය. පුද්ගලයන් අතර ඉඩම් බෙදාදීම හා ඒවාට නියමිත බිම්බද්ද නියම කිරීම මොවුන්ගේ කාර්යභාර්ය විය. විටෙක රාජප‍්‍රතිරාජයෝද ඊටත් වඩා කපිතාන් ජෙනරාල්ලා ද ඔවුනොවුන් පරයා ඉඩම් බෙදාදීමේ යෙදී ඇති බව කියැවේ10 (එම, පි.101.).

බඩවැඩිලි ඉඩම් පැවරීමේ බලය රජු සතුව පැවතිය ද, පෘතුගීසීන් යටතේ එම බලය දිසාපතීන්ට ද ලැබුණු බැවින් එතෙක් සාම්ප‍්‍රදායිකව රජු සතු වූ ඉඩම් පැවරීමේ බලය ඉරිතැලී ගියේ ය11 (එම). නිදසුන් ලෙස, පස්දුන් කෝරළයේ බඩවැඩිලි ඉඩම් බෙදාදීම දොම් ප‍්‍රනාන්දු සමරකෝන් මුදලි විසින්ද පසුව දොම් කුන්ස්තන්තීනු බරෙන්තු මුදලි විසින්ද උඩපොළ හා කුරුණෑගල කෝරළේ මුළුමනින්ම පාහේ සිමන් කුරේ රාළ විසින්ද බෙදා දීමෙන් මේ බව පැහැදිලි වේ. සිංහල රජුන් කල දිසාවේ හෝ වෙනත් නිළධාරීන්ට ඉඩම් බෙදාදීමේ බලයක් නොපැවති අතර, දිසාපතීන්ට නිල පාළු හා මල පාළු ඉඩම් පැවරීමේ බලය තිබූ නමුත් එය ද සීමා සහිත එකක් විය. එහෙයින් ඉඩම් බෙදාදීම පිළිබදව මෙතෙක් පැවති සම්ප‍්‍රදාය පෘතුගීසීන් විසින් බිඳ දමන ලදී.

3.2. ඉඩම් හිමි පෘතුගීසි පන්තියක් බිහිවීම

1607 ජනවාරි 12 වන දින පෘතුගාල රජු විසින් ලංකාවේ පෘතුගීසින් සතු ඉඩම් පිළිබදව තමා සතු වූ පරම අයිතිය භාවිත කරමින් මෙරට ඉඩම් ලැබීමට සුදුසු වූවෝ ලෙස පාර්ශව කිහිපයක් හඳුන්වා දෙන ලදී. ඒ අනුව, පළමුවෙන්ම විවාහක පෘතුගීසීන් ද දෙවනුව දෑවැදි ලෙස ලක්දිව ඉඩම් ප‍්‍රධාන හිමිවූ පෘතුගීසී අනත් දැරියන් හා විවාහ වී ලංකාවේ නිත්‍ය වාසයට කැමති වූ ලංකා පෘතුගීසී හමුදාවේ සොල්දාදුවන් ද තෙවනුව පෙරදිග පරංගි විජිත වල සිට මෙහි පැමිණ පදිංචි වීමට කැමති වූ කි‍්‍රස්තු භක්තිකයන්ද විය. මෙම ප‍්‍රතිපත්තිය ක‍්‍රියාවේ යෙදවීමේ දී පෘතුගාල රජු අවධාරණය කර සිටියේ පිට පදිංචිකරුවන් ලංකාවට ඇද ගැනීමේ උපක‍්‍රමයක් වශයෙන් ඉඩම් සැළකිය යුතු බව වුවත් අසවේදු වඩාත් සැළකිල්ලක් දැක්වූයේ කරන ලද සේවයට තෑගි වශයෙන් ඉඩම් පිරිනැමීම කෙරෙහිය12 (එම, පි.97). පෘතුගීසීන්ගේ මෙම ප‍්‍රතිපත්තිය යටතේ ඉහත සඳහන් කල පාර්ශව අතර පමණක් නොව කපිතන් ජනරාල්, කපිතන් මේජර් හා අනෙකුත් කපිතාන්ලා ද ඉඩම් භුක්ති විඳින ලදී. නිදසුනක් ලෙස කපිතන් ජෙනරල්ට ඉස්තරම්ම වර්ගයේ ගම් 20ක් තිබූ අතර සියනෑ කෝරළේ මාපිටිගම, මැණික්කඩවර ආදී සරුසාර ඉඩම් ද ඒ අතර විය.

මෙයාකාරායෙන් පෘතුගීසීන් විසින් බෙදාදීමට නියමිත ගම් සියල්ල විශාලත්වය මත දෙකොටසකට බෙදුනි. ඉන් විශාල ඒවා, පළමුවෙන්ම ලංකාවේ සිටි පෘතුගීසීන්ටත්, ඊට පසු මෙහි ඒමට කැමැත්ත පළකළ පෘතුගීසීන්ටත්, උසස් නිල දැරූ පෘතුගීසි ආණ්ඩුවට පක්ෂපාත විශිෂ්ට ලෙස සේවය කරන ලද කි‍්‍රස්තියානි දහම වැළදගත් ශ‍්‍රී ලාංකිකයන්ට ද, හොඳින් සේවාකළ සාමාන්‍ය සොල්දාදුවන්ට ද බෙදා දුනි. කෝට්ටේ සිංහල හමුදාවට අයත් සාමාන්‍ය හේවායන් සදහා වෙන්වූයේ කුඩා ගම් ය. මෙපරිද්දෙන් පෘතුගීසීන් ඉඩම් ප‍්‍රතිපත්තීන් සකසද්දි පෘතුගීසී ජනපද මෙරට ස්ථාපිත වීමට අවශ්‍ය තත්වය ද ඉඩම් බෙදාදීමේ ප‍්‍රතිපත්තිය හා සහසම්බන්ධ කරගනිමින් කි‍්‍රයාවට නැංවීමට පෘතුගීසීන් ගත් උත්සාහය මින් ප‍්‍රකට විය. එතෙක් ලංකාවේ ඉඩම් බෙදාදීම පිළිබද පැවති සාම්ප‍්‍රදායික රටාවට පටහැනිව පෘතුගීසීන් විසින් ඉඩම් බෙදාදීම නිසා, 1615 වන විට ‘පෘතුගීසී ඉඩම් හිමි පන්තියක්’ මෙරට බිහිවී සිටිියේ ය. එමගින් පෘතුගීසී ජනපද ස්ථාපනය වීමක් සිදු වූ නමුත් කෘෂි ආර්ථික රටාව හා ඔවුන් සම්බන්ධ නොවීමෙන් කෘෂි ආර්ථිකය වෙනස් නොවී ය. පෘතුගීසීන් බොහෝමයක් යුධ නිල දැරූවෝ හා හමුදා භටයින් වීම නිසා ‘පංගුකාර ගොවීන් කොටසක්’ මේ හා සමබන්ධ වූ අතර ඔවුන් මත කෘෂි ආර්ථිකය රඳා පැවතුණි. මේ නිසා 17 වන සියවස මුල් කාලයේදී කෝට්ටේ රාජ්‍ය තුළ තදබල ලෙස ගොවීන් හිඟයක් පැවති බවට වාර්තා වේ.

3.3. ඉඩම් බෙදාදීමේ නීති උල්ලංඝනය

පෘතුගීසීන්ගේ ඉඩම් බෙදාදීමේ ප‍්‍රතිපත්තිය යටතේ කතෝලික දේවස්ථාන වල නඩත්තුව සදහා වෙන්කරන ලද ඉඩම්, බෞද්ධ වෙහෙරවිහාර සතුව පැවති ඉඩම් හා කුරුඳු තලන්නන් විසු වැලිතර, කොස්ගොඩ වැනි ඉඩම් ද විශාල ආදායමක් ලබාදුන් ගබඩාගම් ද බෙදාදීමෙන් වැළකී සිටිියේ එම ඉඩම් මඟින් සේවා හා ආදායම් වශයෙන් ආර්ථිකයට විශාල බලපෑමක් කළ බැවිණි.

පැරණි ලංකාවේ ඉඩම් භුක්තියට අනුව රජු සතුව විශාල ඉඩම් ප‍්‍රමාණයක් පැවතුණි. එහෙයින් ගබඩාගම් ද විශාල සංඛ්‍යාවක් විය. කෝට්ටේ මහවාසල ගබඩාවේ අවශ්‍යතා සපුරාගැනීම පිණිස සාරවත් වූ බෙලිගල් කෝරළයට අයත් කීරවැලි පත්තුවේ පමණක් මුළු ගම් ප‍්‍රමාණයෙන් 1/3ටත් වඩා (ගම් 56කින් 24ක්ම) ගබඩාවට අයත්ව පැවතුණි. අටුළුගම් කෝරළයේ මෙයාකාර ගබඩාගම් 19ක්ද මාදම්පේ, බේරුවල, බෙන්තොට, හික්කඩුව, මග්ගොන, පායාගල ආදී ලංකාවේ බටහිර වෙරළේ පිහිටි විශාල ගම් ද කෝට්ටේ රජුගේ ගබඩාගම් ලෙස පරිහරණය විය13 (එම, පි. 103). පැවති සමිප‍්‍රදායට අනුව මේ ගබඩාගම් රජුගේ අවශ්‍යතා සපුරාගැනීම සඳහා මිස බෙදාදීම සඳහා නොවී ය. නමුත් පෘතුගීසී රජයේ් අභිමතය වූයේ සියලු ගබඩාගම් ප‍්‍රයෝජනය සඳහා වෙන්කිරීම නොව, මේවායින් සමහරක් බෙදාදීම ය.

පෘතුගීසීහු සිංහල රජුන් දවස බෞද්ධ හා හින්දු ආගමික ආයතන වල නඩත්තුව සඳහා පවරා දී තිබූ විහාරගම් හා දේවාලගම් පිළිබදව ද අවධානය යොමුකරන ලදී. පෘතුගීසීහු මේ ඉඩම් වලින් බොහොමයක් කතෝලික පූජක පන්තියේ හා දේවස්ථාන වල නඩත්තුව වෙනුවෙන් වෙන්කර දී තිබුණී. ඉතිරි එ්වා සාමාන්‍ය පුද්ගලයන් හට බෙදාදෙන ලදී. තෝම්බු සකස් කරන කාලය වනවිට සබරගමුව ප‍්‍රදේශවල පැවති විහාරගම් හා දේවාලගම් ගිහියන් විසින් භුක්ති විඳින ලදැයි කියැ වේ. පෘතුගීසීන් විසින් ගබඩාගම් හා සේවාගම් පමණක් නොව පෙර ලාංකිකයන් විසින් භුක්ති විඳි සේවා ඉඩම් ද පෘතුගීසීන්ට පැවරූ අවස්ථා පැවතිණි. නිදසුන් ලෙස, උඩපොළ කෝරළේ රැකව මැදපත්තුවේ පෘතුගීසී ජාතිකයෙකුට පවරා තිබූ ඉඩම් අතර එකම ගමක් විය. අටුළුගම් කෝරළයේද වූයේ එකකි. පස්දුන් කෝරළයේ පෘතුගීසීන් සතුව තිබූ ගම් 33 අතරින් ගබඩාගම් හා විහාරගම් 4ක් පමණ විය. මේ නිසා බඩවැඩිලි ගම් 29ක්ම රජය ආපසු ගෙන පසුව පෘතුගීසීන්ට පවරා දී ඇති බව තෝ්ම්බුවේ සදහන් වේ. රජය භූපති වූ හෙයින් කවරෙකු හෝ භුක්ති විදි ඉඩමක් ආපසු ගෙන තමන් කැමති කවරෙකුට හෝ පැවරීමට රජයට අයිතියක් තිබි බව සැබෑ වුවත් කෝට්ටේ රජුන්ට හිමි වූ බලතල සියල්ල තමන්ට අයත් යැයි කියූ පෘතුගීසීන් මෙසේ කිරීම නීතිවිරෝධී යැයිද තර්ක නොකළ හැකි බව විද්වත්හු දක්වති14 (එම, පි.104).

3.4. තෝම්බු සකස් කිරීම

ලංකාවේ පෘතුගීසීන් සතුව පැවති ඉඩම් වල වටිනාකම තක්සේරු කිරීමට ගෙනා නව ක‍්‍රමයක් වශයෙන් තෝ්ම්බු හෙවත් ලේකම් මිටි හැඳින්වේ. පෘතුගීසීන් විසින් කෝට්ටේ රාජ්‍ය පවරාගන්නා විට තිබූ බදු හා වෙනත් ආදායම් සියල්ල අඩංගු කොට තෝම්බුවක් සකස් කිරීමෙන් ඉඩම්වලින් ලත් ආදායම, ඉඩම් ප‍්‍රමාණය, ඒවායේ නිෂ්පාදනය, ඉඩමේ වෙසෙන පවුල් ගණන, ඔවුන්ගෙන් රජයට ලැබෙන සේවාව පිළිබදව නිවැරදි දත්ත ලබාගැනීම අපේක්ෂා කරන ලදී. තෝම්බු පිළියෙල කිරිමට පෘතුගීසීන් මෙහෙයවූ තවත් කරුණක් වූයේ ලංකාව, ගෝවේ පෘතුගීසි ආණ්ඩුවට බරක් වූයේ ඇයිදැයි දැනගැනීමේ ආශාවයි 15 (එම, පි.119). එහෙයින් තෝ්ම්බු සකස් කිරීම ලංකාව ණයෙන් මිදිමටත්, එහි ධනයෙන් නිසි ප‍්‍රයෝජන ලබා ගැනිමටත් ගතයුතු අත්‍යාවශ්‍යය පියවරකැයි හැඳින්වේ. විහාරගම් හා දේවාලගම් සඳහා පවරාදෙනු ලැබූ ඉඩම් ගැනත් එ්වායින් උපදින ආදායම් පිළිිබඳවත් තෝම්බුවෙහි තොරතුරු සදහන් කළයුතු වූ අතර තීරු බදු වශයෙන් රජයට අයවිය යුතු ගාස්තු, පෙර සිරිත අනුව රජයට හිමිවිය යුතු බදු ආදිය ද මීට ඇතුළත් වියයුතු විය.

3.5. බිම් බදු හා සේවා නියම කිරීම

පැරණි ලංකාවේ පැවති ඉඩම් භුක්තියට අනුව රජයෙන් ඉඩම් ප‍්‍රදානයන් ලැබුවෝ එම ඉඩම්වලින් ලත් ආදායම් හා අස්වනුවලින් කොටස් රජයට ලබාදීම වගකීමක් වශයෙන් සළකන ලදී. පෘතුගීසින් යටතේ එම සම්ප‍්‍රදාය මුදල් හා සේවා යන දෙඅංශයෙන්ම යුක්ත වූ ගෙවීමක් බවට පත්විය. ඒ අනුව 1614 මැයි 22 දින රැස්වූ ඉඩම් බෙදීමේ මණ්ඩලය ඉඩම් ලත් අය විසින් ගෙවිය යුතු බිම් බද්ද, ඒ ඉඩමේ තක්සේරු ආදායමින් 12%ක් වියයුතු යැයි තීරණය කළේ ය. නමුත් මේ ක‍්‍රමය යටතේ පවරාදෙන ලද ඉඩම් වල ආදායමින් 88%ක්ම රජයට අහිමි වී ඉඩම් භුක්ති විඳින්නාට හිමි විය. එහෙත් රජයට ගෙවිය යුතු බදු මුදල (බිම් බද්ද) සෙරපීමයකින් හෝ රිදියකින් කොටසක් වූ විට එය සම්පූර්ණ සෙරපිමයක් හෝ රිදියක් දක්වා වැඩිකර තිෙබි. ඒ අතරම ගම්මිරිස් වගාකළ හැකි ප‍්‍රදේශවල ඉඩම් භුක්තිකරුවන් වසර හතරක් ගිය පසු තම බිම් බද්දෙන් 1/3ක් ගම්මිරිස් වලින්ද ඉතිරි කොටස මුදලින්ද ගෙවිය යුතු විය. මෙලෙස මුදලින් බදු ගෙවීමට අමතරව ඉඩම් භුක්ති විඳින්නන් හට හමුදා භටයන් නඩත්තු කිරීමට ද සිදුවිය. සෙරපීම් 50ට අඩු ආදායම් ලද ඉඩම් මේ අනිවාර්යෙන් සේවයෙන් නිදහස් කළ මුත් එය නොසලකා හැරිබව පෙනේ16 (එම, පි.112).

නමුත් කතෝලික දේවස්ථානවලට පූජාකරන ලද ඉඩම් මෙකී බදු වලින් හා යුධ සේවා වලින් නිදහස් විය. එහෙයින්, පැරණි භුක්ති ක‍්‍රමය නොනසා රැුකගත් බවක් මින් ගම්‍ය වෙතැයි සැලකේ17 (එම,පි.114). රජයට පුද්ගලිකව සේවා සැපයූ අය ද, පාරම්පරික සේවයේ නිරත වූ කුරුඳු තලන්නන්, පෘතුගීසින්ට භාණ්ඩ හුවමාරුවෙන් සහාය වූ පාරුකරුවන්, ඇතුන් ඇල්ලීමේ නිරත පණික්කිියෝ ද රජය සතු ඇතුන්ට ආහාර සැපයූ පන්නයෝ ද, කූනම්කරුවන්ද කම්මල්කරුවන්ද මඩිහේ අංශයට අයත් මුස්ලිම් ජනයාද භුක්තිවිඳි ඉඩම් සඳහා රජයට ගෙවිය යුතු බදු හා සේවා වලින් නිදහස් විය18 (එම).

රාජකාරී ඉඩම් අයබදුවලින් නිදහස් වියයුතු යැයි බලාපොරොත්තු වුවද එයාකාර සමහර ඉඩම් සදහා ද බිම් බදු නියම කර තිබේ. කෝරළේ ගමයන් හා කනකපුල්ලේලා හා යුද්ධ සේවයේ නිරත වූ ලස්කිරිඤ්ඤ භටයන්, ආරච්චිලා, මුදලිලා හා දිසාපතීන් භුක්ති විඳි ගම් සම්බන්ධයෙන් මෙම තත්වය කි‍්‍රයාත්මක වී තිබේ. නිදසුනක් ලෙස, හේවායන් 4 දෙනෙකු හා කෝරළේ ගමයෙකුගේ බඩවැඩිල්ලක් වූ කුරුණෑගල කෝරළේ තිරගමට සෙරපීම 4ක බිම් බද්දක් නියම කිරීම දැක්විය හැකි ය. මෙලෙස ‘මුදල් ගෙවීමකට යටත්ව ඉඩමක භුක්තිය පැවරීම පැරණි ඉඩම් භුක්ති ක‍්‍රමයට මුළුමනින්ම පිටුපෑමකැයි’,19 (එම, පි.111). දක්වන විද්වත්හු, මෙසේ ඉඩම් හිමියන්ගෙන් බද්දක් අය කිරිමත් සමඟ එතෙක් කල් ඉඩම් වර්ග කිරීම සඳහා භාවිතා වූ ගබඩාගම්, නින්දගම්, පමුණුගම් යන වචන ‘බිම්බදු ගෙවූ හා රජයට සේවය සැපයූ ඉඩම් හා මෙම වර්ග දෙකෙන් මිදුණු ඉඩම්’ යනුවෙන් වර්ගීකරණයකට ලක්ව ඇතැයි පවසයි.

4. ලන්දේසීන් යටතේ ඉඩම් භුක්ති ක‍්‍රමය තුළ සිදුවූ වෙනස්කම්

1658 වන විට යාපනය අර්ධද්වීපය ඇතුළු ලංකාවේ පෘතුගීසී පාලනය යටතේ තිබූ සියළුම ප‍්‍රදේශවල ස්වාමීන් බවට පත්ව සිටි ලන්දේසීන් තමා සතු ඉඩම් පාලනයටත්, ඒවායින් නිසි පරිදි ආදායම් සම්පාදනය කර ගැනිමත් අරමුණු කොටගෙන විවිධ ප‍්‍රතිපත්තීන් කි‍්‍රයාවේ යෙදවීය. ඒ අතුරින් ඔවුන්ගේ් ඉඩම් ප‍්‍රතිපත්තියට හිමිවන්නේ වැදගත් ස්ථානයකි.

4.1. තෝම්බු සකස් කිරිම හා නව බදු පැනවීම

ලන්දේසීන්ගේ ඉඩම් ප‍්‍රතිපත්තියේ ඉතා වැදගත් ලක්ෂණයක් වූයේ තෝම්බු සකස් කිරිමයි. තෝම්බු සකස් කිරිමේ මූලික පියවර කිහිපයක් පෘතුගීසීන් විසින් ගෙන තිබූ මුත් එම ලේඛන වලින් බොහොමයක් යුද්ධය නිසා විනාශ වී තිබුණි. මෙයින් ලන්දේසීන් බලාපොරොත්තු වී ඇත්තේ ඉඩම් වලින් උපරිම නිෂ්පාදන ලබාගැනිමත්, ආදායම් පිළිබඳ විස්තර සපයාගැනීමත්, වැසියන්ගෙන් රජයට අයවිය යුතු අනිවාර්ය සේවා නිසි පරිදි ලබාගැනිමත්ය. ඉඩම් වල භුක්තියත් ඒ හා සබැඳි අනෙකුත් පාලනමය ප‍්‍රශ්න විසඳා ගැනීිමටත් දේශීය ප‍්‍රධානීන්ගෙන් සහාය පැතීමට ලන්දේසීන්ට සිදු විය. නමුත් තෝම්බු සැකසීමෙන් ඉඩම් සම්බන්ධ කාර්යයන් පිළිබඳ ලාංකික ප‍්‍රධානින් තුළ ගොඩනැගී පැවති අනියම් බලය ඉවත්කර දැමීම ද මෙහි අරමුණක් වන්නට ඇත. ඒ හැර තේාම්බු සම්පාදනයේ තවත් අභිප‍්‍රායක් වූයේ ලන්දේසීන් යටතේ පැවති ප‍්‍රදේශ වල ජන සංගණනයක් පැවැත්වීම යැයිද කියැ වේ.20 (විජේතුංග 2012, පි.201).

ලන්දේසීන් විසින් මේ ආකාරයෙන් ඉඩම් ලියාපදිංචි කිරීම සඳහා පස්දෙනෙකුගෙන් යුත් කාරක සභාවක් පත්කරන ලදී. ලන්දේසී තෝම්බු, පවුල්,ඉඩම් හා පාසල් යනුවෙන් අංශත‍්‍රයකට අයත් විය.21 (එම). පවුල් තෝම්බුව හරහා සිදුකෙරුනේ යම් ගමක වාසය කරන පවුල් වල විස්තර ලබා ගැනිම ය. ඉඩම් තෝම්බුව මඟින් එකී පවුල්වලට අයත් ඉඩම් වල වගාකරන ලද වැවිලි වර්ග හා ඒවායේ ප‍්‍රමාණ, සමාගමට සැපයිය යුතු ප‍්‍රමාණය ද සේවාවන්ද වාර්තා කරන ලදී. වතු බදු හා පොල් අය බදු පවුලක් විසින් ගෙවිය යුතු ඇඟ බද්දේ ප‍්‍රමාණය ද මීට අයත් විය. ලන්දේසි ආණ්ඩුකාරවරු යටතේ 1745, 1759, 1766 වර්ෂවල දී තෝම්බු සකස් කිරීමේ විවිධ නීතිරීති මඟින් විධිමත් හා දැඩි තත්වයකට මෙම කි‍්‍රයාවලිය පත්කරන ලදී. මේ නිසා ජනතාවට අත්විඳින්නට සිදුවූ පීඩාකාරී තත්වය හේතුවෙන් ජනතා සහාය ඊට ලැබී නැත.

ඉඩම් ලියාපදිංචි කිරීමේ දී මහජනතාවට තම ඉඩම් හිමිකම තහවුරු කිරීමට ඔප්පු, සීට්ටු, සන්නස් ආදී ලේඛන ඉදිරිපත් කිරීමට නොහැකි වූ හෙයින් බොහෝ ඉඩම් රජයේ ඉඩම් ලෙස ලියාපදිංචි කරන ලදී. වගා නොකළ ඉඩම් ද කැලෑ ඉඩම් ද රජයේ ඉඩම් ලෙස ලියාපදිංචි කරන ලදි. ඒ අතර ඉහත ඉඩම් අනවසරයෙන් වගා කිරීම ද දඩුවම් ලැබිය හැකි වරදක් සේ ප‍්‍රකාශ කරන ලදී. මේ නිසා ඉඩම් වගා කරගෙන ජීවත් විමට ගම් වැසියන්ට තිබූ ඉඩකඩ ඇහිරිණි. ඉඩම් වල නිෂ්පාදන සමාගමට පවරාදීමට සිදුවීම හා බදු සේවා සැපයිමට සිදුවීම ජන අප‍්‍රසාදයට හේතු විය. ලන්දේසීන්ගේ මේ ප‍්‍රතිපත්තීන්ට විරුද්ධව 1760 දි ගාල්ලේත්, පසුකල යාපනයේත් කැරළි ඇතිවිය. මෙමඟින් සේවා භුක්ති ක‍්‍රමයට ද එල්ල වූයේ ප‍්‍රබල පහරකි. සමහර අවස්ථාවල දී නිළධාරීන් හට ඉඩම් හිමි වූ විට ඒ ඉඩම්වල වාසය කළ ජනයා හට ඉඩමේ හිමිකරු හා රජය යන දෙපිරිසටම සේවා සැපයීමට සිදු විය. මේ නිසා ඉඩම් භුක්ති ක‍්‍රමය සංකීර්ණ හා වියවුල්කාරී තත්වයට පත්විය. නමුත් මේ ක‍්‍රමය යටතේ රජයට සේවා හා බදු වශයෙන් අයවිය යුතු ආදායම් පිළිබඳව නිවැරදි දත්ත ලබාගැනීමට හැකිවූ බව පැහැදිලි ය. නිදසුනක් ලෙස, රාජකාරී සේවය කළයුතු වූ අයගේ ප‍්‍රමාණය 12,000කින් වැඩිවී තිබෙන බවත්, බදු වශයෙන් තමන්ට ලැබිය යුතු මුදල් ප‍්‍රමාණය ගිල්ඩර් 75,000කින් වැඩි වී ඇති බවත් තහවුරු විය22 (අර්සරත්නම් 1969, පි.110).

ලන්දේසීන් තෝම්බු සම්පාදනය කළ පසු රජයෙන් සිදුකළ ඉඩම් ප‍්‍රදාන ක‍්‍රමය අකී‍්‍රය කරමින්, ඉඩමේ පූර්ණ අයිතිය ඉඩම් හිමියාට ලබාදී ඒ වෙනුවට බද්දක් අය කරගැනීමට කටයුතු කළේ ය. මේ හරහා ඉඩමේ පුද්ගලික අයිතිය තහවුරු විය. ඉඩම් භුක්ති ක‍්‍රමයේ මූලික වෙනසක් විය. ඒ අනුව රජයේ අවසරය ඇතිව වගාකළ ඉඩම් වලින් 1/3 බද්දක් (නිපැයුමෙන්) අය කළ අතර අනවසරයෙන් වගාකළ ඉඩම් වලින් 1/2 බද්දක් අය කෙරිණි. වතු බද්ද නමින් නව ඉඩම් බද්දක් පොල්, පුවක් හා කොස් වගා කළ ඉඩම්වලින් අය කරන ලදී. තෝම්බු සැකසීමට පෙර යාපනයෙන් සමාගම ලබාගත් ආදායම පෞද්ගලික හා ඉඩම් බදුවලටත් අනිවාර්ය සේවාවලටත් සිමා වූ නමුත් 1673 දී නව තෝම්බුවක් සම්පාදනය කර මෙම ප‍්‍රදේශයේ ඉඩම් වලින් ලැබිය යුතු ආදායම තීරණය කරගත් ලන්දේසීහු වතු බද්දක්ද, ධාන්‍ය බද්දක්ද, පනවනු ලැබීය. මෙයාකාරයෙන් ජනතාව වෙත බදු බර වැඩි වෙත්ම, ලන්දේසීන් 1690 දී ඇඟ බද්ද ඉල්ලා අස්කරගත් නමුත්, 1699 දී එය නැවතත් පැනවී ය. අලුත් අයබදු ගෙවනවාට වඩා තමන්ගේ ඉඩකඩම් අතහැර දමා වන්නියේ කැලෑ වලට යාමට පවා මිනිසුන් කැමති වූ බව සමකාලීන වාර්තා වල සදහන්ව තිබේ23 (අර්සරත්නම් 1969, පි.101).

4.2 වැටුප් වෙනුවට ඉඩම් පැවරීම

රාජකාරි සදහා ගම්බ්ම් හා ඉඩකඩම් දීම ලංකාවේ දේශීය රජවරු අතර සම්මත පිළිවෙලක්ව පැවති අතර පෘතුගීසීන්ද මේ ක‍්‍රමය පෘථුල ලෙස භාවිත කරන ලදී. පෘතුගීසි නිළධාරීන් සේවයේ යෙදීම වෙනුවෙන් සේවා කාලය තුළ ඇකොමදේසන් නම් ඉඩම් වල හිමිකාරීත්වය දැරී ය. මේ ක‍්‍රමය ලන්දේසීන් විසින්ද අනුගමනය කරන ලද මුත් ඒ ඉතාමත් අඩුවෙනි24 (එම,පි.100). ඊට හේතුව වූයේ ලන්දේසි නිළධාරීන්ට ප‍්‍රමාණවත් වැටුපක් ගෙවීමයි.

ලන්දේසීන් ද වියදම් අඩුකර ගැනිමේ අභිලාශයෙන් සමහර උසස් නිළධාරීන්ට මුදලින් ගෙවිම් කිරීම වෙනුවට සමහර ගම්වල ආදායම ලබා ගැනීමට ඉඩ ප‍්‍රස්ථාව සළසන ලදී. නිදසුනක් ලෙස කොළඔ දිසාවේට දියයුතු රික්ස් ඩොලර් 200ක ආදායම වෙනුවට මග්ගොන ග‍්‍රාමයෙන් ලද ආදායම පවරා දුනි. එහෙත් ප‍්‍රතිපත්තියක් ලෙස ඉඩකඩම් හා ගම් පවරා දීමට ලන්දේසින් අකමැති වූයේ පුද්ගලයින්ගේ කරුණා විරහිත පාලනයට ගම්බිම් හා ඒවායේ වැසියන් පවරාදීම පිළිබඳ තිබූ භීතියත්, රජයට නිත්‍යානුකූලව ලැබිය යුතු ආදායම නොලැබිමත් යන හේතු නිසාවෙනි. පෙර සිරිතට අනුව ගබඩාගම් පවරා දීමේ දි එය නින්දගමක් බවට පත්විය. ඉඩම භුක්ති විඳින්නා සේවය කළයුතු වූයේ ඉඩම පැවරූ පුද්ගලයන්ටය. නමුත් ලන්දේසින්ගේ ක‍්‍රමය යටතේ පැවරූ පුද්ගලයා හා රජය යන දෙපිරිසටම සේවා සැපයීමට සිදුවීම නිසා ජනතාව පීඩාවන්ට ලක්විය.

4.3. ඉඩම් ප‍්‍රසිද්ධ වෙන්දේසියේ විකිණිම

ලන්දේසීන් විසින් කි‍්‍රයාවට නැංවූ මෙම ක‍්‍රමයේ දී, වෙන්දේසියක දී විකුණන ලද ගම්වල බදු රැස් කිරීමේ අයිතිය වැඩිම ගණනකට ඉල්ලූ නිළධාරියාට ලැබුණු අතර ඔහුට ඒ ගමේ ආදායම එකතු කර ගැනීමේ අවස්ථාව ලැබුණි. එසේ එක්රැස් කරගත් ආදායමෙන් රජයට ගෙවිය යුතු මුදල ගෙවූ පසු ඊට වැඩියෙන් රැුස් කරගත් මුදල ඔහුගේ ලාභය බවට පත්විය. මේ පිළිවෙත නිසා ඒ ප‍්‍රදේශවාසින් කෙරෙහි නිළධාරින් වෙත තිබූ බලපෑම බෙහෙවින් වැඩිවෙන්නට ඇතැයි විද්වත්හු දක්වති25 (අර්සරත්නම් 1969, පි.110).

ලන්දේසි වාර්තා ඇසුරින් ආචාර්ය එස්. අර්සරත්නම් විග‍්‍රහ කරන පරිදි සමහර නිළධාරීන් තමන්ගේ හබය සම්බන්ධයෙන් පැමිණිලිකරුවන් ද විනිශ්චයකරුවන් ද වශයෙන් දෙයාකාරයටම කටයුතු කරන්නට ඇත. නමුත් 1658 පමණ වනවිට මේ ක‍්‍රීයාවලියට විරුද්ධව ප‍්‍රතිකි‍්‍රයාවක් හටගැනිම නිසාවෙන් දිසාවේවරුන්, ප‍්‍රත්‍යන්ත ප‍්‍රදේශවල මුරපොළවල් භාර නීළධාරීන් හා කුරුදු කාර්යංශයේ කපිතාන් වැනි උසස් නිළධාරින්ට ගම් බදු මුදලට ගැනීම තහනම් කර තිබේ. නමුත් මේ කාර්යය පවත්වාගෙන යාම සඳහා ප‍්‍රමාණවත් තරම් නිලනොලත් පුද්ගලයන් නොසිටි හෙයින් පහත් තත්වයේ ඇතැම් නිළධාරින්ට ඒ අයිතිය භුක්ති විදින්නට ඉඩ හැරීමට සිදුව ඇත26 (එම).

4.4. ඉඩම් ප‍්‍රදානය සදහා නව ක‍්‍රමයක් හදුන්වාදීම

ලන්දේසීන් යටතේ පැවති ඉඩම්, ප‍්‍රදානය කිරීම සඳහා නව ක‍්‍රමයක් ආරම්භ කරන ලදී. එය තුන් හවුල් ඉඩම් වශයෙන් හදුන්වනු ලැබීය27 (සිල්වා 1998, පි.63). මෙලෙස ප‍්‍රදානය කළ ඉඩම් වලින් 1/3 ප‍්‍රමාණය ඕලන්ද සමාගම නියෝජනය සඳහා ගම්මිරිස්, එනසාල්, කෝපි, හා කුරුඳු වගාව වෙනුවෙන් වෙන්කරනු ලැබී ය. මෙම වගාකීරිම් සඳහා කිසිදු ගෙවීමක් සිදුනොකළ අතර ඉඩම් හා අනෙක් 2/3 ඉඩම් හිමියාට කැමති වගාවක් සඳහා යොදාගත හැකි විය. නමුත් මුලාදෑනි බලපෑම් මත මෙම කොටසේ නිෂ්පාදනය ද නිශ්චිත මුදලකට සමාගමට විකිණීමට බල කෙරුණි. මෙම ඉඩම්වල අයිතිය වැඩි වශයෙන් ගම්වල ප‍්‍රධානීන් සතු වූ බැවින් ගම්වල ප‍්‍රබලයන්ගේ තත්වය වර්ධනය වී ඉඩම් හිමි පන්තියක් වශයෙන් ව්‍යාප්ත වන්නට විය. මෙම තත්වය ලංකාවේ ධාන්‍යාගාරයක්ව පැවති නැගෙනහිර පළාත් වල බහුලව දක්නට ලැබූ හෙයින්, නැගෙනහිර පළාත් තරම් වෙන කිසිම ප‍්‍රදේශයක ලන්දේසි ඉඩම් ප‍්‍රතිපත්තිය විනාශකාරී නොවු බව කියැ වේ28 (අර්සරත්නම් 1969,පි.111).

4.5. කුල ක‍්‍රමය හා අනිවාර්ය රාජකාරී සේවා අනිසි ලෙස යොදා ගැනීම

එක් එක් කුලයට යම් යම් රාජකාරීන් පවරා වැඩගැනීමේ පහසුව ලන්දේසීන් විසින් ද තම අරමුණු ඉටුකරගැනීම සදඟා භාවිත කරන ලදී29 (එම, පි.98). මේ ක‍්‍රමය යටතේ ඉඩම් භුක්ති විඳින්නන්ගෙන් ඉඩම් හිමියන්ට කළයුතු වූ සේවාවන් ලබාගැනීමට ලන්දෙසීන් ද කටයුතු කරන ලදී. සාම්ප‍්‍රදායිකව කුරුඳු තැලීම සිදුකළ සලාගම වැසියන් සම්බන්ධයෙන් මේ කි‍්‍රයාදාමය නියමාකාරයෙන් සිදු විය. නමුත් ලන්දේසීන් විසින් කුරුඳු තැලීම හැර ඔවුනට නියම වී තිබුණු, එහෙත් මේ වනවිට අමතකව ගොස් තිබූ සමහර සේවාවන්ද ඔවුන්ගෙන් ලබාගැනිමට කටයුතු කළේ ය. හැකි තරම් අධික කුරුඳු ප‍්‍රමාණයක් ලබාගැනීමට ලන්දේසීන් දැක්වූ උනන්දුවත්, ඒ සඳහා නිර්දය ලෙස සාම්ප‍්‍රදායික රාජකාරි ක‍්‍රමය යොදාගැනීමත් නිසා ජනතාව පීඩාවට ලක්විය. එහි ප‍්‍රතිඵලය වූයේ කුරුඳු තලන ජනයා විශාල පිරිස් වශයෙන් කන්ද උඩරට ප‍්‍රදේශ වලට පැනයාමයි. ඇතැම් විට වෙනත් කුලවලින් ආවාහවිවාහ කර ගැනීමටත් දරුවන් ප‍්‍රභූන්ට විකිණීමෙන් තම පරපුර මෙම පීඩාවෙන් මුදාගැනීමටත් වැසියෝ උත්සුක වූහ.

ලන්දේසීන් යටතේ ඉඩම් ප‍්‍රදාන ලත් ඇතැම් පුද්ගලයන් විසින් ගමේ ජීවත් වූ වැසියන්ගේ භුක්තිය සම්බන්ධව ඔවුනතර තිබූ වෙනස්කම් නොසළකා ගමේ සෑම කෙනෙකුගෙන්ම එක සමාන බද්දක් අය කිරීමටත්, වැසියා ඉටු කිරීමට බැඳී සිටි සේවයෙහි හා ඔවුන්ගේ යුතුකම්වල ඇතිවූ වෙනස්කම්, දේශීය ජන අප‍්‍රසාදය ලන්දේසීන් වෙත එල්ල වීමට හේතුවිය. නිදසුනක් ලෙස හේවාගම් කෝරළේ වැසියන් විසින් මෙයාකාර චෝදනාවක් ලන්දේසීන් වෙත ඉදිරිපත් කර තිබීම දැක්විය හැකි ය. මෙමඟින් ඉඩම් භුක්ති ක‍්‍රමය හා බැඳි සංකීර්ණ තත්වය හෙළිවූ අතර, අනෙක් අතින් සෑම පවුලක්ම ඉඩම් හිමියාට, එකිනෙකින් වෙනස් වූ සම්බන්ධයක් ඇති බවද පළවිය30 (අර්සරත්නම් 1969, පි.109) මෙම තත්වය ලන්දේසීන්ට ප‍්‍රදානය කරන ලද ඉඩම් සම්බන්ධයෙන් පමණක් නොව නාගරිකයන්ට, මිශ‍්‍ර ජාතික භටයන්ට, ලාංකිකයන්ට අයිති ඉඩම් වලද පැවති ඇත31 (එම). ලන්දේසීන් ලාංකේය සමාජ ක‍්‍රමය හා බැඳී පැවති තත්ව ඉඩම් භුක්තිය හා සමඟ නිසි පරිදි ගළපාගැනීමට අසමත් වූ බව විද්‍යමාන වේ.

4.6. ලංකාවේ ඉඩම් පිළිබඳ සංවිධානය ප‍්‍රතිව්‍යුහගත කිරීම

ලන්දේසීන් විසින් මෙරට දී පළමුව අත්පත් කරගත් ඉඩම් බොහොමයක් යුධ තත්ව හා ගැටුම් නිසාවෙන් විනාශව ගොස් පැවතිණි. ලන්දේසීන් හා යුධ ගැටුම් වෙත අවතීර්ණව සිටි උඩරට රජුගේ අභිප‍්‍රාය වූයේ ද පහතරට පෙදෙසේ ජනශූන්‍ය කරමින් ආර්ථිකමය වශයෙන් ඵල රහිත තත්වයකට පත්කිරිමයි. මේ නිසා මීගමුවේ සිට ගාල්ල දක්වා වූ වෙරළබඩ තීරුවක්ම බොහෝ දුරට ජනශූන්‍යව පැවති හෝ ඉතා මද වශයෙන් ජනාවාසික විය32 (එම, පි.104). මේ හේතුවෙන් එතෙක් නොයෙක් තත්ව හමුවේ කි‍්‍රයාත්මක වූ ඉඩම් පිළිබඳ සංවිධානය බිඳවැටීමකට ලක්ව තිබේ. මේ ඉඩම් යළි ප‍්‍රතිසංවිධානය කරමින් කෘෂිකර්මාන්තය නගා සිටුවිමට ලන්දේසීන් උනන්දු වුවත් ඊට අවශ්‍ය ශ‍්‍රමය සපයා ගැනීම අපහසු විය. මෙලෙස කටයුතු කිරීමෙන් ලංකාවේ ලන්දේසි බලය තහවුරු කර ගැනීිමට මෙන්ම රට ස්වයංපෝෂිත කර ගැනිමට ද ඉඩ සැළසිනි.

මේ අරමුණ යටතේ ලන්දේසීන් තංජෝරයෙන් වහල් ශ‍්‍රමිකයන් ගෙන්වා ගනිමින්ද කොළඔ හා ඊට යාබද ප‍්‍රදේශ වල කුඔුරු හා ගාල්ල ප‍්‍රදේශයේ කුඔුරු ජලගැලීම්වලින් ආරක්ෂා කරගැනීිමට අවශ්‍ය පියවර ගන්නා ලදී. මේ අනුව 1765 දී මුතුරාජවෙල හා පසුව ගිරුවාපත්තුවේ දහස් ගණන් ඉඩම් අස්වැද්දිමට කටයුතු කළමුත් ලන්දේසීන්ගේ අසංවිධිත කි‍්‍රයා නිසා මේ කටයුතු අතරමග ඇනහිටිණි. නමුත් මෙම ඉඩම් වගා කිරිමෙන් තමාගේ සේවක පරිභෝජනයට අවශ්‍ය සහල් ප‍්‍රමාණය ලන්දේසීන් සපයා ගන්නා ලදී.

ඒ අතරම රජයට අයත් ඉඩම් වගා කිරීමට එකඟ වූ අය අතර නොමසුරුව බෙදාදීමට කටයුතු කරන ලදී. ඉඩම් බෙදා දෙන විට ඒවා නිසිපරිදි ප‍්‍රයෝජනයට ගැනීිමට ප‍්‍රමාණවත් කොන්දේසි ඇතුලත් කරන ලදී. ඒ අනුව, වී පාරාවකට අඩු වශයෙන් ස්ටයිවර් 19ක සහතික මිලක් ගොවියාට ගෙවන ලද අතර, ගොවීන් නිෂ්පාදනය කළ වී සියල්ල ලන්දේසීන් විසින් මිළට ගැනීමට එකඟ විය33 (එම, පි.105). එහෙත් මෙම කටයුතුවල දී වාරිමාර්ග වල නඩත්තු වියදමට අමතරව අස්වැන්නෙන් දහයෙන් පංගුවක් බදු වශයෙනුත් ඉතිරියෙන් තව දහයෙන් පංගුවක් වාරිමාර්ග සංවර්ධනයට ගිය වියදම් පියවාගැනීම සඳහා රජයට ගෙවීමට සිදුවීම නිසා මුතුරාජවෙල අස්වැද්දීම අතරමග නවතා දැමූ බව කිය වේ.

ලන්දේසීන් විසින් ගබඩාවලින් රට ඇතුළේ නතර කර සිටි ලස්කිරිඤ්ඤා හමුදා භටයින්ට එතෙක් ලබාදුන් ආහාර සලාකය කප්පාදු කොට, ඒ වෙනුවට භටයින් රැඳීසිටි පෙදෙස ආසන්නයේ පැවති ඉඩම් වගාකිරිමට නොමසුරුව ඉඩම් ලබාදෙන ලදී. මෙම තත්වය නිසා ලස්කිරිඤ්ඤා භටයින් නොයෙකුත් පීඩනයන්ට ගොඳුරු විය. ගිරිවාපත්තුවේ ඉඩම් දහස් ගණන් අස්වැද්දීමේ ලා යොදාගත් ගොවීන් ද මෙයාකාරයෙන් ම පීඩාවන්ට ගොදුරු වූ බව සඳහන් වේ. එස්. අර්සරත්නම් මේ තත්වය ලංකාවේ ස්වදේශික රජවරුන්ගේ කි‍්‍රයාමාර්ගයට ආපසු යෑමක් වන නමුත්, එවකට තත්වය වෙනස් වී තිබූ බැවින් මෙය ඔවුනට කරදරයක් වූ බව දැක්වී ය34 (එම).

5. සමාලෝචන 

ඉහත තොරතුරු විමර්ශනය කිරීමේදි පැහැදිලි වන්නේ පෘතුගීසීන් හා ලන්දේසීන් ලංකාවේ පැවති සාම්ප‍්‍රදායික ඉඩම් භුක්ති ක‍්‍රමයේ ඇතැම් අංග ලක්ෂණ සිය දේශපාලන හා ආර්ථික ප‍්‍රතිපත්තීන් සාධාරණීකරණය කිරීමෙහිලා භාවිතාවට ගත් බවයි. එමෙන්ම, මෙම දෙපිරිස විසින්ම තෝම්බු සකස්කිරීම පිළිබඳව වඩාත් අවධානය යොමුකිරීම නිසා එතෙක් සිරිත්විරිත් හා සම්ප‍්‍රදායන් මත පදනම්ව තිබූ ඉඩම් භුක්තිය පිළිබඳ තත්වයන් නෛතික පදනමක් මත සංවිධානගත වීමට අවශ්‍ය පදනම සැකසුණි. එතෙක් රජුගේ පූර්ණ බලපෑම මත ඉඩම් භුක්තිය පිළිබඳ තත්වයන් ගොඩනැගී පැවති අතර පෘතුගීසින් හා ලන්දේසීන් යටතේ අනිවාර්ය රාජකාරී සේවාව හා ඉඩම් භුක්තිය අතර තිබූ සම්බන්ධය නැතිව ගොස් ඉඩම් වල පුද්ගලික අයිතිය පිළිබඳ තත්වයන් හා ඒ හා සබැඳි කොන්දේසි පද්ධතියක් බිහිවිය. මෙනිසා එතෙක් සිරිත්විරිත් හා සම්ප‍්‍රදායන් මඟින් ඉඩම් භුක්තිය සමඟ සම්බන්ධවී සිටි ජනයා ඉන් බැහැර සංකීර්ණ හා අර්බුධකාරී තත්වයක් වෙත අනුගත කරවීමෙහිලා දරන පීඩාකාරි ප‍්‍රයත්නයක් පෘතුගීසීනිගේ හා ලන්දේසීන්ගේ ඉඩම් හා සබැඳි ප‍්‍රතිපත්තීන් මඟින් විද්‍යමාන වේ.

ආශ‍්‍රිත ග‍්‍රන්ථ

  • අබයසිංහ, ටිකිරි බණ්ඩා (2005), පරංගි කෝට්ටේ, ස්ටෑම්ෆර්ඞ් ලේක් ප‍්‍රකාශන, පන්නිපිටිය.
  • අබයසිංහ, ටිකිරි (1969), පෘතුගීසින් හා ලංකාව, ස්ටෑම්ෆර්ඞ් ලේක් ප‍්‍රකාශන, පන්නිපිටිය.
  • අර්සරත්නම්. එස්. (1969), ලංකාවේ ලන්දේසි බලය, අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව, ‌‌කොළඹ.
  • ආරියපාල, ඇම්.බී. (1962), මධ්‍ය කාලීන ලංකා සමාජය, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තු ප‍්‍රකාශන අංශය, ‌‌කොළඹ.
  • පීරිස්, රැල්ෆ් සහ ආර්.කේ.ඩබ්ලිව්. ගුණසේකර (1967), ඉඩම් භුක්ති ක‍්‍රම, සිංහල විශ්ව කෝෂය, සංස්. ඩි. ඊ. හෙට්ටිආරච්චි, සංස්කෘතික දෙපාර්තමේන්තුව, ‌‌කොළඹ.
  • ගුණවර්ධන, ඩිලාන් (2006), පුරාණ ලංකාවේ ඉඩම් භුක්තිය, අභිනන්දිකා, ඇස්.ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
  • මහාවංසෝ (2006), සංස්. මංගල ඉලංගසිංහ, ඇස්.ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
  • විජේතුංග, ඩබ්ලිව්.එම්.කේ. (2012), ශ‍්‍රී ලාංකේය ඉතිහාසය, වෙළුම III, ඇම්.ඞී. ගුණසේ සහ පුද්ගලික සමාගම, කොළඹ.
  • සිරිවීර, ඉන්ද්‍රකීර්ති (1997), රජරට ශිෂ්ටාචාරය සහ නිරිතදිග රාජධානි, දයාවංශ ජයකොඩි සහ සමාගම, කොළඹ.

———————————————————————————————————————

මෙම ලිපිය www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ 2017.06.24 දින පළමු වරට ප‍්‍රකාශයට පත් විය.

———————————————————————————————————————

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.