ඩි. තුසිත මැන්දිස්

පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යන අංශය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ.
පුරාවිද්‍යා අධ්‍යක‍්ෂ, අනුරාධපුර තදාශ්‍රිත ප්‍රදේශ ව්‍යාපෘතිය, මධ්‍යම සංස්කෘතික අරමුදල.

මහාචාර්ය ඩි. තුසිත මැන්දිස්

පුරාවිද්‍යා කැනීමක් යනු විනාශකාරි ක්‍රියාවකි․ කැනීමක් සිදු කිරීමෙන් අනතුරුව එම භූමිය තුළ වන තැන්පතුව සම්පූර්ණ වශයෙන්ම ඉවත් වන බැවින් කුමන අයුරකින් හෝ එම භූමිය නැවත ප්‍රතිනිර්මාණය කිරිමට හැකියාවක් නොමැත․ එම නිසා පුරාවිද්‍යා කැනීමක් විනාශකාරී ක්‍රියාවක් ලෙස සැලකිය හැකිය․ පුරාවිද්‍යා කැනීමකින් සිදුවන මෙම විනාශය අවම කරගැනීම සඳහා පුරාවිද්‍යා කැනීමක් මැනවින් සංවිධානය කිරිම සිදුකළ යුතු අතර ඒ සඳහා පුරාවිද්‍යාඥයා විසින් විධිමත් සැලසුමක් සකසා ගත යුතු වේ․ විශේෂයෙන්ම පුරාවිද්‍යා කැනීම් කටයුතු සංවිධානය කිරීමේ දී ඒ සඳහා සැලකිය යුතු මුදලක් වැය වන බැවින් ඒ සඳහා පිරිවැය ඇස්තමේන්තුවක් සකස් කළ යුතුය. පිරිවැය ඇස්තමේන්තුවක් සැකසීමේ දී අවධානය යොමු කළ යුත්තේ කැනීම් ක්‍රියාවලියම ආවරණය වන ලෙසය․එහි දී,

  1. කැනීම් කටයුතු අරම්භ කිරීමට පෙර භූමිය ගවේෂණය කිරීම
  2. කැනීම් භූමිය සකස් කරගැනීම
  3. කැනීම් කටයුතු
  4. මානව කෘති වර්ගීකරණය හා විශ්ලේෂණ කටයුතු
  5. පුරාවිද්‍යා කැනීම් වාර්තාව සකස් කිරීම හා මුද්‍රණය

යන ප්‍රධාන මාතෘකා යටතේ පිරිවැය ඇස්තමේන්තුවක් සකස් කර මුදල් වෙන් කරගත යුතුය․ මෙසේ පිරිවැය ඇස්තමේන්තුව අනුමත කිරීමෙන් අනතුරුව පුරාවිද්‍යා කැනීමක් ආරම්භ කිරීමට පෙර ඒ සඳහා සුදුසු භූමියක් තෝරාගැනීම වැදගත් වන අතර ඒ සඳහා ප්‍රධාන වශයෙන් ගවේෂණයක් සිදුකළ යුතු වේ․ එම ගවේෂණය භූමිය මතුපිට හෝ භූමිය අභ්‍යන්තරය පරීක‍්ෂා කිරීමේ ගවේෂණයක් විය හැකි අතර කැනීම්කරුවා විසින් ඇස්තමේන්තුව සැකසීමේ දී තමා සිදු කිරීමට බලාපොරොත්තු වන ගවේෂණය කුමක් ද යන්න හා ඒ සඳහා භාවිත කරන ක්‍රමවේද හා උපකරණ තීරණය කර ඒ අනුව පිරිවැය ඇස්තමේන්තුවට ඇතුළු කර තිබිය යුතු වේ. තෝරාගන්නා ගවේෂණය අනුව භූමිය පරීක‍ෂා කර බලා එහි සුදුසු ස්ථානයක් කැනීම් සඳහා තෝරාගත යුතු වේ․ එය ඉතා වැදගත් වන්නේ යම් හෙයකින් භූමිය පරීක‍්ෂා කිරීමෙන් තොරව පුරාවිද්‍යා කැනීම්ක් ආරම්භ කර ඉන් නිසි දත්ත ලබාගැනීමට අපොහොසත් උවහොත් කැනීම් කටයුතු සඳහා වෙන් කරන ලද මුදල සම්පූර්ණයෙන්ම අපතේ යාමක් සිදු වී ප්‍රථීළුල රහිත කාර්යක් වන බැවිනි․ එම නිසා කැනීමක් සංවිධානයේ දී මේ පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් වේ․

වඩා විධිමත්ව සිදු කරන ගවේෂණයෙන් අනතුරුව තෝරාගන්නා ලද භූමිය පුරාවිද්‍යා කැනීමක් සඳහා සකස් කරගැනීම මෙහි මීලඟ අදියර වේ. කැනීම් භූමිය සකස් කරගැනීමේ දී ඒ සඳහා ඩම්පි ලෙවලය (Dumpy Level), තියොඩොලයිටය (Theodolite), ජී.පී.එස්. (G. P. S)‚ මාළිමාව (Compass) වැනි උපකරණ අවශ්‍ය වන අතර එම උපකරණ භාවිත කර පුරාවිද්‍යා කැනීම් සඳහා පරිශ්‍රය, කොටුදැල් හෝ කාර්තු සකස් කරගැනීම සිදුකළ යුතුය․

මේ ආකාරයට භූමිය සකස් කර ගැනීමෙන් අනතුරුව පුරාවිද්‍යා කැනීම් කටයුතුවල දී මීළඟට අවධානය යොමුකළ යුතු වන්නේ කැනීම් ක්‍රමවේදය පිළිබඳවය․ පුරාවිද්‍යා කැනීමක් සිදු කිරීමේ දී ලොව පිළිගත් කැනීම් ක්‍රමවේද වන සිරස් කැනීම් ක්‍රමය (Vertical Excavation Method) හෝ තිරස් කැනීම් ක්‍රවේදය (Horizontal Excavation Method) (Renfrew & Bhan 1991, McIntosh 1992, Joukowsky 1997, Rajan 2002, බස්නායක සහ හෙට්ටිගේ 1992, ලෙස්ලි සහ රෝයි ඇඩ්කින්ස් 1997, මැන්දිස් සහ විතානාච්චි 2015) යන පුරාවිද්‍යා කැනීම් කටයුතු සඳහා භාවිත කරන ක්‍රමවේද දෙකින් සුදුසු ක්‍රමය තෝරා ගැනීම වැදගත් වේ.

මෙහි දී කැනීම්කරුවා විසින් යථෝක්ත ක්‍රමවේද දෙක පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් වන්නේ සිරස් කැනීමක් සිදු කිරීමේ දී ස්තර අධ්‍යයනය කෙරෙහි ප්‍රධාන වශයෙන් අවධානය යොමු වන බැවින් එවන් කැනීමක් බොහෝ විට මතුපිට පොළව මට්මේ සිට මව් පාෂාණය දක්වා (Bedrock) දක්වා සිදු වේ․ එසේම ඒ සඳහා තරමක් දිඟු කාලයක් වැයවන අතර කැනීම් සිදු කරන භූමිය ද සීමා සහිත භූමියක් එනම් මීටර් 3×3, 4×4, 5×5 හෝ ඊට මදක් විශාල භූමි වේ․ අනුරාධපුර ඇතුළුපුරයේ සිරාන් දැරණියගල සිදුකර ඇති AG 69 හා AG 85, ASW 88, AMP 89 ආදී පුරාවිද්‍යා කැනීම් මේ සඳහා උදාහරණ ලෙස පෙන්වා දිය හැකිය․

සිරස් පුරාවිද්‍යා කැණීමක්
සිරස් පුරාවිද්‍යා කැනීමක්

තිරස් පුරාවිද්‍යා කැනීමක් සිදු කිරීමට භූමිය තෝරාගැනීමේ දී තරමක් විශාල භූමියක් තෝරාගත යුතු අතර එමඟින් බලාපොරොත්තු වන්නේ යථෝක්ත භූමියේ ඇති එක් අධියකට හෝ එක් අවකාශයකට අයත් සංස්කෘතික දත්ත මතුකර ගැනීමට අදහස් කිරිමය․ එසේම තිරස් පුරාවිද්‍යා කැනීමකදී භූමිය ව්‍යාප්ත වෙමින් කැනීම් සිදු කිරීම සිදු වේ․ මේ සඳහා උදාහරණ වශයෙන් සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘති මඟින් අනුරාධපුර ෙජ්තවනය, අභයගිරි, සීගිරිය හා පොලොන්නරුව යන ස්ථාන තුළ සිදුකරන ලද පුරාවිද්‍යා කැනීම් පෙන්වාදිය හැකිය․ මේ මඟින් එක් අවධියකට අයත් සංසකෘතික තොරතුරු මතුකර තිබේ․

තිරස් පුරාවිද්‍යා කැණීමක්
තිරස් පුරාවිද්‍යා කැණීමක්

ක්‍රමවේදය තෝරාගැනීමෙන් අනතුරුව කැනීම් ආරම්භ කළ යුතු අතර කැනීම් ආරම්භ කිරීමේ දී භූමියේ පස් ඉවත් කිරීම සඳහා ලොව පිළිගත් පස් ඉවත් කිරීමේ ක්‍රමවේද වන ස්තර ක්‍රමය (Layer System), ප්ලානම් ක්‍රමය (Plenum System), සංසිද්ධි අංක යෙදීමේ ක්‍රමය (Context System) යන ක්‍රමවලින් සුදුසු ක්‍රමවේදයක් කැනීමේ පස් ඉවත් කිරීමට භාවිත කිරීම වැදගත් වේ․ පස් ඉවත් කිරිමේ දී සැළකිය යුතු කාරණයක් වන්නේ කැනීම වාර්තාගත කිරිමය. වාර්තාගත කිරීමේ දී සැලසුම්, (Ground Plan, Cross Section,  Section Drawing) මඟින් වාර්තාගත කිරීම, ඡායාරූපකරණය (Photography) මඟින් වාර්තාගත කිරීම, වීඩියෝගතකරණය (Videography) මඟින් වාර්තාගත කිරීම මෙන්ම ලිඛිත වාර්තාගත කිරිම (Report writing) ආදී ක්‍රමවේදවලින් කැනීම ආරම්භයේ සිට අවසානය දක්වා වාර්තාගත කළ යුතුය․ එසේම කැනීම් අතරතුර ස්තර ඇසුරින් කාලනීර්ණ සඳහා මෙන්ම විශ්ලේෂණ කටයුතු සඳහා නියැදි (Sample) ලබාගැනීම ද ඒවා ලබාගන්නා නිශ්චිත ස්ථාන නියමිත ලෙස වාර්තාගත කිරීම ද වැදගත් වේ. කැනීමක් විනාශකාරී ක්‍රීයාවක් වන බැවින් එම විනාශය අවම කරගැනීම සඳහා මෙම වාර්තාගත කිරීම වැදගත් වන අතර මෙම වාර්තාගත කිරීම කැනීම අවසානයේ වාර්තාව පිළියෙල කිරීමට ද මහෝපාකාරී වේ. එම නිසා පුරාවිද්‍යා කැනීමක දී වාර්තාගතකරණය යනු, අත්‍යවශ්‍යම අංගයක් වේ․

කැනීමක දී පස් ඉවත් කිරීම ආරම්භ කිරිම සමඟම විවිධ ස්තර තුළින් මානව කෘති (Artifact) හා ස්වාභාවික කෘති (Eco Fact) හමුවීම සිදු වේ․ ඒවා ද විධිමත් ලෙස වාර්තාගත කිරිම ද කැනීම්කරුවාගේ වගකීමක් වන අතර මානව කෘති හා ස්වාභාවික කෘති වාර්තාගත කිරිමේ දී X, Y හා Z මිණුම් භාවිත කිරීම මෙන්ම ඡායාරූප මඟින් වාර්තාගත කිරීම හා පුරාවස්තු වාර්තාකරණ කාඩ්පත් (Finding Card) භාවිත කිරීම ද සිදුකළ යුතු වේ․ කැනීමක් අවසානයේ දී විශාල ප්‍රමාණයක් මානව කෘති හා ස්වාභාවික කෘති එකතු වන බැවින් ඒවා විධිමත් ලෙස වාර්තාගත නොවුන හොත් කැනීම අවසානයේ ඒවා වාර්තා වූ ස්ථාන හා ස්තර නිසි ලෙස හඳුනාගැනීමට අවකාශ නොලැබේ․ එබැවින් කැනීමක දී හමුවන මානව කෘති හා ස්වාභාවික කෘති ඒවා හමුවන අවස්ථාවේදී ම නිසි ලෙස වාර්තා කිරීම අතිශය වැදගත් වන්නේ ඒවා අර්ථනිරූපනයේ දී කුමන සන්දර්භයකට අයත් දැයි විශ්ලේෂණයේ දී නිෂ්චිත කළ හැකි බැවිනි ․

මෙසේ හමුවන මානව කෘති හා ස්වාභාවික කෘති කැනීම් පරිශ්‍රයෙන් ඉවත් කිරීමෙන් පසුව ද පුරාවස්තු ලියාපදිංචි ලේඛනයේ ලියාපදිංචි කරන තුරු ඒ සම්බන්ධ පුර්ණ වගකීම ද කැනීම්කරුවා සතු වේ․ කැනීම් පරිශයෙන් ඉවත් කරන මානව කෘති හෝ ස්වාභාවික කෘති අනතුරුව ලියාපදිංචිය සඳහා යොමු කළ යුතුය․ මානව කෘතියක් හා ස්වාභාවික කෘතියක් ප්‍රධාන පුරාවස්තු ලේඛනයේ ලියාපදිංචි කිරීම අත්‍යවශ්‍ය කාරණයක් වන අතර ප්‍රධාන පුරාවස්තු ලියාපදිංචි ලේඛනයේ ලියාපදිංචි කිරිමේන් අනතුරුව අදාළ මානව කෘතියට හෝ ස්වාභාවික කෘතියට අනන්‍ය අංකයක් ලබාදීම සිදු වේ. එම අංකය ඉන් අනතුරුව අදාළ මානව කෘතිය හෝ ස්වාභාවික කෘතිය විශ්ලේෂණ කටයුතුවල දී මෙන්ම අවසන් වාර්තාවට ඇතුළුකරන වර්ගීකරණ කටයුතුවල දී වගුවලට ඇතුළු කිරීම සඳහා ද යම් හෙයකින් ප්‍රදර්ශන භාණ්ඩයක් ලෙස කෞතුකාගාරයකට ලබා දීමේ දී ද වැදගත් වේ. මේ ආකාරයට සිදුකරණ පුරාවිද්‍යා කැනීමක දී එය මෙහෙයවන කැනීම්කරුවා ඉහත සඳහන් කාරණා කෙරෙහි අවධානය යොමු කිරිම මෙන් කැනීම් වැඩබිම තුළ සේවය කරන විවිධ මට්ටම්වල කාර්යමණ්ඩලය ද කළමනාකරණය කිරීම අතිශය වැදගත් වන අතර එම කාර්යමණ්ඩල සාමාජිකයින් සඳහා කැනීම් භූමියක ක්‍රියාත්මක ආචාරධර්ම පද්ධතියට අනුගතව සේවය කිරීම සඳහා ද කාර්යමණ්ඩල සාමාජිකයා පෙළඹීම ද ඔහු සතු කාර්යක් වේ. එම නිසා පුරාවිද්‍යා කැනීම් භූමියක කාර්යමණ්ඩල සාමාජිකයින් සම්බන්ධ ආචාරධර්ම පද්ධතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ දැනුමක් ඔහු සතුවිය යුතුය․

ප්‍රධාන පුරාවස්තු ලියාපදිංචි ලේඛනයේ පුරාවස්තු ලියාපදිංචි කිරිම
පුරාවස්තු ලියාපදිංචි ලේඛනයේ පුරාවස්තු ලියාපදිංචි කිරිම

පුරාවිද්‍යා කැණීම් කටයුතු අවසන් වීමෙන් අනතුරුව මින් පසු ආරම්භ වන්නේ මානව කෘති හා ස්වභාවික කෘති වර්ගීකරණය හා විශ්ලේෂණ කටයුතුය․ එහි දී මානව කෘති වර්ග කිරීමේ දී ඒවා නිෂ්පාදනය කර ඇති මධ්‍ය අනුව වර්ග කිරීම සිදු කරන අතර වර්ගීකරණය සිදු කිරීමේ දී ජාතික හා ජාත්‍යන්තරව පිළිගත් විවිධ වර්ගීකරණ සටහන් – Typology භාවිත කිරීම සිදු කිරීම තුළින් විෂය පිළිබඳ අන්තර්ගත පොදු සම්මතයන් ආරක‍ෂා කර ගැනීමට ද එහි ගුණාත්මකභාවය රැකගැනීමට ද මහෝපාකාරී වේ․ වර්ගීකරණ කටයුතුවලට සාමගාමීව විශ්ලේෂණ කටයුතු සිදුකළ හැකි අතර විශ්ලේෂණ කටයුතු විද්‍යාගාර තූළ සිදුවන විද්‍යාත්මක කාර්යක් බැවින් එම කටයුතුවලදී අදාළ විශේෂඥයින්ගේ සහයෝගය ඇතිව එම කටයුතු සිදු කිරීමට ද උනන්දු විය යුතුය․ එමඟින් දත්තවල නිවරැදිතාවය ද ආරක‍ෂා කර ගැනීමට එය ඉවහල් වේ.

කැණීමක දී මානව කෘතියක් හමුවන අවස්ථාවක්
කැනීමක දී මානව කෘතියක් හමුවන අවස්ථාවක්
මානව කෘති වර්ගීකරණයේ අවස්ථාවක්
මානව කෘති වර්ගීකරණය

මේ ආකාරයට කැනීමකින් හමු වූ මානව කෘති වර්ගීකරණ කටයුතු හා විශ්ලේෂණ කටයුතුවලින් අනතුරුව අවසන් වාර්තාව පිළියෙළ කිරිම සිදු කරන ලැබේ. එම වාර්තාව මුද්‍රණය කිරීමේන් අනතුරුව පුරාවිද්‍යා කැනීම සිදු කරන ලද භූමියට වූ විනාශය අවම කර එහි ප්‍රථීළුලය එළිදැක්වෙන අතර පුරාවිද්‍යා ක්ෂේත්‍ර ක්‍රියාවලියක දී මෙවැනි මාර්ගෝපදේශ පිළිබඳව පුරාවිද්‍යාඥයා හා කාර්යමණ්ඩල සාමාජිකයා දැනුවත් විය යුතුය ․

ආශ්‍රිත ග්‍රන්ථ 

  • බස්නායක එච්․ටී․, යූ․ හෙට්ටිගේ․, 1992 පුරාවිද්‍යා ප්‍රවේශය
  • ලෙස්ලි සහ රෝයි ඇඩ්කින්ස්․, 1997, පුරාවිද්‍යා විධිනියම
  • මැන්දිස් ඩී․ටී․සී․ආර්․විතානාච්චි․, 2015, පුරාවිද්‍යා ගවේෂණ කැණීම් හා කාලනීර්ණ ක්‍රම
  • Joukowsky, M., 1997, A complete manual of Field Archaeology
  • Renfrew, C., P. Bahn., 1991, Archaeology Theories, Methods, Practice.
  • McIntosh, J., 1992, The Practical Archaeologist
  • Rajan, K., 2002, Archaeology Principles and Methods

 

----------------------------------------------------------------------------------
මෙම ලිපිය 2020.01.24 දින www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ ප‍්‍රකාශයට පත් විය.
----------------------------------------------------------------------------------
Previous articleමාතර, රත්මලේ දෙ මහල් අම්බලම
Next articleටැම්පිට විහාර හා ඒවායේ බිතුසිතුවම්
තුසිත මැන්දිස්
ඩී. තුසිත මැන්දිස් බලපිටිය, රේවත මධ්‍ය මහා විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව 1996 වර්ෂයේ දී දෙවන පෙළ ඉහළ පන්ති සාමාර්ථයක් සහිතව පුරාවිද්‍යා (විශේෂ) උපාධිය ලබා ගන්නා ලදී. කොළඹ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් 1998 වසරේ දී විශිෂ්ට සාමාර්ථයක් සහිතව 'පුරාවිද්‍යා පශ්චාත් උපාධි ඩිප්ලෝමාව'ත් 2006 වසරේ දී 'ස්මාරක සංරක්‍ෂණය හා උරුම කළමනාකරණය' පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත්, දර්ශනපති උපාධියත්, 2011 වසරේ දී දර්ශන විශාරද උපාධියත් හිමි කරගන්නා ලදී. 1996 වර්ෂයේ දී මධ්‍යම සංස්කෘතික අරමුදලේ පර්යේෂණ නිලධාරියෙකු ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කරන ලද ඔහු පසුව ප‍්‍රධාන පුරාවිද්‍යා පර්යේෂණ නිලධාරි හා ව්‍යාපෘති කළමනාකරු ලෙස උසස් වීම් ලබා ගැනීමට සමත් විය. 2006 වර්ෂයේ සිට ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙස ද සේවය කරන ලද තුසිත 2013 වර්ෂයේ දී ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුමකළමනාකරණ අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස විශ්වවිද්‍යාල සේවයට එක් වී 2015 වර්ෂයේ දී එහි අංශ ප්‍රධාන වශයෙන් පත් විය. 2018 වසරේ දී මහාචාර්යවරයකු ලෙස උසස්වීම් ලබා දැනට එහි සේවය කරමින් සිටී. මධ්‍යම සංස්කෘතික අමුදලේ අනුරාධපුර තදාශ‍්‍රිත ප‍්‍රදේශ ව්‍යාපෘතියේ පුරාවිද්‍යා අධ්‍යක්‍ෂවරයා වශයෙන් ද කටයුතු කරනු ලැබේ. වසර 22ක පමණ කාලයක් පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍ර කටයුතුවල නියැලෙන තුසිත පුරාවිද්‍යා පර්යේෂණ කැනීම් 20කට වඩා සිදු කර ඇති අතර ඒවා අතුරින් කොක්එබේ හා අන්දරවැව මෙගලිතික සුසාන කැනීම් විශේෂ වේ. ශ‍්‍රී ලංකාවේ ඓතිහාසික, මුල් ඓතිහාසික හා පූර්ව ඓතිහාසික යුග සම්බන්ධව අධ්‍යයන සිදුකර ඇති තුසිත, විවිධ සඟරා සඳහා පර්යේෂණ ලිපි 75කට වැඩි ප‍්‍රමාණයක් ද ජාතික හා ජාත්‍යන්තර පුරාවිද්‍යා පර්යේෂණ සමුළු සඳහා ද පත‍්‍රිකා රැසක් මෙන් ම පුරාවිද්‍යාවට අදාළ ග‍්‍රන්ථ 7ක් ද ප‍්‍රකාශයට පත්කර ඇත. දිවයින, අකුර හා හෙළදිව පුවත්පත් සඳහා ලිපි රචනා 100කට වඩා රචනා කර ඇත.

4 COMMENTS

  1. මෙම කැණීම් ක්‍රම වෙදය මගින් කැණීම් ක්‍රම සහා කැණීම් කරන ආකාරය පුරාවස්තු පැරැණි සිද්ධස්ථාන වල කැණීම් ක්‍රම උපයෝගී කර ගනිමින් සිදු කල ඇති බව මනාව අවබෝධ කර ගත හැකිය . Excellent
    Great aArticle .

Leave a Reply to Thamara Kumari Cancel reply

Please enter your comment!
Please enter your name here