චන්දිම බණ්ඩාර අඹන්වල

පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ.

හැඳින්වීම

චන්දිම අඹන්වල

වත්මන් ලෝකයේ වර්ධිත න්‍යායවාදි මූලාංග හා ප‍්‍රායෝගික ක‍්‍රමවේදයන්ගේ අත්දැකීම් මඟින් ශීඝ‍්‍ර වර්ධනයක් අත් කරගත් විෂයකි, පුරාවිද්‍යාව. සරළ ව විමසා බැලීමේ දී මානව අතීතය  ‌හෙවත් මානවයාගේ දීර්ඝ පරිණාමයේ දී මානවයා හා ඔහු වටා වූ පරිසරය අතර වූ නිරන්තර සංවාදය පිළිබඳ ව කතාව ද්‍රව්‍යාත්මක අවශේෂ මත පදනම්ව ප‍්‍රතිනිර්මාණය කිරීම පුරාවිද්‍යාව යනුවෙන් වටහා ගනී. ප‍්‍රධාන වශයෙන්, මධ්‍ය කාලීන යුගයේ යුරෝපයේ වර්ධනය වන්නා වූ විෂය ඥානය සමඟ ම අත්වැල් බැදගෙන වර්ධනය වන, බහු විෂයාත්මක හා අන්තර් විෂයාත්මක සහසම්බන්ධතාව මඟින් ප‍්‍රබල පදනමීය අනන්‍යතාවක් ගොඩනඟා ගන්නා පුරාවිද්‍යා විෂය පිළිබඳ ‌කෙටි හැඳින්වීමක් මෙම ලිපිය මඟින් ඉදිරිපත් කෙරේ.

පුරාවිද්‍යාව යනු කුමක් ද?

පුරාවිද්‍යාව යන පොදු වදනේ වචනාර්ථයෙන් ම පැහැදිළි වන්නේ පුරාණ එ නම් පැරණි දේ පිළිබඳ ව අධ්‍යයනය කිරීම හෙවත් ඒ පිළිබඳ විද්‍යාව යන්නයි. පුරාවිද්‍යාව ඉංග‍්‍රීසියෙන් Archaeology වශයෙන් හඳුන්වන අතර එය පැරණි දේ යන්න අර්ථවත් කරන Archaia හා න්‍යාය හෝ විද්‍යාව යන්න අර්ථවත් කරන Logos යන වදන් දෙක සම්බන්ධ වීමෙන් නිර්මාණය වී ඇත. සාම්ප‍්‍රදායික අර්ථයෙන් සලකා බැලුව ද අපි මුහුණ දෙන මෙම මොහොත හෙවත් වර්තමානයේ සිට පසුගිය කාලය පිළිබඳ ව යථාවාදි විග‍්‍රහයකට එළැඹීමට අවශ්‍ය ඥානය උදාකර ගැනීම පුරාවිද්‍යා විෂයේ කාර්යය වෙයි. එම අවබෝධය ලබා ගැනීමට දරන උත්සාහය තුළට මිනිසා හා ඔහු වටා පරිසරය පිළිබඳ සමස්තයම ඡායාමාත‍්‍ර වශයෙන් හෝ අන්තර්ග‍්‍රහණය කර ගැනීමට පුරාවිද්‍යා අධ්‍යයනයන් තුළ දී සිදු වෙයි.

පුරාවිද්‍යාව හෙවත් Archaeology යන්න විග‍්‍රහ කර ගැනීම සඳහා ඒ පිළිබඳ ව ඉදිරිපත් වී ඇති, විවිධ ආයතන හා පුද්ගලයන් විසින් සිදු කරන විග‍්‍රහයන් හා පැහැදිළි කිරීම් පිළිබඳ ව සංක්‍ෂිප්ත හෝ අවධානයක් යොමු කිරීම වැදගත් වනු ඇත. පළමුවෙන් ම ‘Oxford උසස් පරිශීලකයන්ගේ ශබ්ධකෝෂය’ මඟින් Archaeology යන්නට ලබා දෙන පදගත අර්ථය විමසමු. එයට අනුව පොළොවෙන් සොයා ගන්නා ගොඩනැඟිලි අවශේෂ හා ද්‍රව්‍යය පරික්‍ෂා කරමින් යටගිය සංස්කෘතිය හා ඉතිහාසයේ කාළ කාලපරිච්ඡේද පිළිබඳ ව අධ්‍යයනය කිරීම පුරාවිද්‍යාව නම් වෙයි. Oxford ඉංග‍්‍රීසි පරිශීලන ශබ්ධකෝෂයට අනුව, පුරාවිද්‍යාව යනු භෞතික අවශේෂ විශ්ලේශනය කිරීම හා ක්‍ෂේත‍්‍ර කැනීම මඟින් මානව ඉතිහාසය හා ප‍්‍රාග් ඉතිහාසය පිළිබඳ අධ්‍යයනය කිරීමයි. එය තවදුරටත් විචිත ආශාව ඉක්ම වූ සංවිධිත විණයකි. පුරාවිද්‍යාව යනු සුසාන, අතීත මානව ජීවනය හා සංස්කෘතිය හේතුවෙන් ශේෂගත වූ ගොඩනැඟිලි, මෙවලම් හා මැටිබදුන් ආදී ද්‍රව්‍යාත්මක සාධක පිළිබඳ අධ්‍යයනය කිරීම හා සංවිධිත ප‍්‍රතිසාධනයයි යනුවෙන් ඉංග‍්‍රීසි භාෂාව පිළිබඳ ‘ඇමරිකානු උරුම ශබ්ධකෝෂය’ පැහැදිළි කරයි. පුරාවිද්‍යා විෂය සම්බන්ධයෙන් කෙරුණු සරළ අර්ථ දීමක් වශයෙන් මෙම විග‍්‍රහය හඳුනාගත හැකි මුත් එය වර්ථමානය වන විට වර්ධිත බවක් අත්කොට ගෙන ඇති මෙම විෂය සම්බන්ධයෙන් සිදු කළ හැකි/සිදු කළ යුතු ප‍්‍රමාණාත්මක වශයෙන් හඳුනාගත නොහැකි ය. මේ සම්බන්ධයෙන් ප‍්‍රමාණාත්මක විග‍්‍රහයක් ‘බි‍්‍රටැනිකා විශ්වකෝෂය’ ඉදිරිපත් කරන බව හඳුනාගත හැකි වේ. ‘ඇමරිකානා විශ්වකෝෂයට’ අනුව මනුෂ්‍යාගේ අතීතය සමඟ ගනුදෙනු කිරීම පුරාවිද්‍යාවයි. එහි මූලික අරමුණු වන්නේ ආවරණය වූ ඉතිහාසය ප‍්‍රකෘතිමත් කිරීමයි. එ නම් ප‍්‍රාග් ඓතිහාසික හා මූල ඓතිහාසික කාලයන් තුළ සිද්ධ වූ සිදුවීම් කාලක‍්‍රමාවලියකට අනුව ප‍්‍රතිනිර්මාණය කිරීමයි.

‘පුරාවිද්‍යාඥයා’ යන්න විග‍්‍රහ කිරීම තුළින් මෙම විග‍්‍රහය තව දුරටත් පැහැදිලි කරගත හැකිවනු ඇත. ප‍්‍රසිද්ධ පුරාවිදඥ ලෙනාඞ් වූලීට අනුව බිහි පුරාවිදඥයාගේ පරමාර්ථය වනුයේ මානව ඉතිහාසය ගමන් ගත් මාර්ගය ගවේෂණය කිරීමත් එය පැහැදිළි කිරීමත් ය. එහි නියම තේරුම නම් ඔහුගේ කාර්යය සංකීර්ණ එකක් බව ය. මක් නිසා ද යත් ඒ අවාසනාවන්තයාට එක විටම ද්විප‍්‍රකාර සේවාවක් ඉටු කිරීමට ඇති බැවිනි. සරළ වුවත් පුරාවිද්‍යාඥයා වෙත පැවැරෙන වගකීම හා එහි බැරෑරුම් බව වූලී මෙමඟින් පෙන්වා දෙයි. ‘බි‍්‍රටැනිකා විශ්වකොෂයට’ අනුව, පුරාවිද්‍යාඥයා වනාහි පළමුවෙන් ම විග‍්‍රහාත්මක ක‍්‍රියාකරුවෙකි. තමා අධ්‍යනය කරන පුරාකෘති පැහැදිළි කිරීම, වර්ග කිරීම හා විශ්ලේෂණය කිරීම ඔහු සිදු කරයි. පුරාවිද්‍යාඥයා යනු ම විශේෂ අරමුණක් වෙනුවෙන් වූ ප‍්‍රමාණාත්මක හා ගුණාත්මක ප‍්‍රාමාණික බව හා මනෝමුලීක විශ්ලේෂණය පදනම් කර ගන්නා අයෙකි. බොහෝ යහපත් පුරාවිද්‍යාඥයන් ඔවුන්ගේ කාලය, පුරාකෘති පැහැදිළි කිරීමේ කාර්යය හා වර්ගිකරණය සඳහා කැප කරයි. නමුත් පුරාවිද්‍යඥයාගේ මුඛ්‍ය පරමාර්ථය වන්නේ ඓතිහාසික සන්දර්භයක් තුළ ද්‍රව්‍යාත්මක අවශේෂ ස්ථාන ගත කිරීමයි. අතිරේකව දන්නා ලිඛිත මූලාශ‍්‍රයන්ගෙන් යටගියාව පිළිබඳ අවබෝධය ඉහළ නැංවීමයි. අවසාන වශයෙන් පුරාවිද්‍යාඥයා ද ඉතිහාසඥයෙකි. ඔහුගේ අරමුණ ද මානවයාගේ යටගියාව පිළිබඳ ව විග‍්‍රහාත්මක අර්ථකථනයක් සැපයීමයි.

ආචාර්ය සිරාන් උපේන්‍ද්‍ර දැරණියගල

පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රය සම්බන්ධයෙන් ප‍්‍රවීනතාවක් අත්කර ගත් පුද්ගලයන් විසින් මෙම විෂය ක්‍ෂේත‍්‍රය සම්බන්ධයෙන් ඵලකර ඇති විවිධ අදහස් ද පුරාවිද්‍යාව යනු කුමක් ද යන්න ප‍්‍රායෝගික තලයක සිට විග‍්‍රහ කර ගැනීමේ දී වැදගත් වනු ඇත. භාරතීය පුරාවිද්‍යාඥ කේ. රාජන්ට අනුව, අතීතයේ සිදු වූ සංස්කෘතික වෙනස්වීම හා මානව හැසිරීම ද්‍රව්‍යාත්මක අවශේෂ ඔස්සේ අධ්‍යයනය කිරීම පුරාවිද්‍යාව වෙයි. ජූලියන් තෝමස් උපුටා දක්වමින් ක්ලයිව් ගැම්බල් පෙන්වා දෙන්නේ පුරාවිද්‍යාව යනු ආවේගයක් වශයෙනි. අතීත මානවයා පිළිබඳ බුද්ධිමය කෞතුකත්වය හා එම කෞතුකත්වය, දැනුම වෙත හැරවීමේ ක‍්‍රමවේදය සොයා ගැනීම පුරාවිද්‍යාවයි. නෝරා මෙලොනිට අනුව, පුරාවිද්‍යාව යනු අතීත මිනිසා පිළිබඳ: ඔවුන්ගේ පෙනුම කෙසේ ද? ඔවුන් ජීවත් වූයේ කොහේ ද? ඔවුන් අනුභව කළේ මොනවාද? ඔවුන් කළේ කුමක් ද? ඔවුන්ගේ විශ්වාසයන් මොනවා ද? සිරිත් විරිත් මොනවා ද? ආදිය අධ්‍යයනය කිරීමේ මාර්ගයකි. ලංකාවේ බිහි වූ විශිෂ්ට මෙන් ම දැනට සිටින ජ්‍යෙෂ්ටතම පුරාවිද්‍යාඥයකු වන වන ආචාර්ය සිරාන් උපේන්‍ද්‍ර දැරණියගල පුරාවිද්‍යාව යනු කුමක්දැයි කරන විග‍්‍රහය පිළිබඳ අවධානය යොමු කිරිම ද පුරාවිද්‍යාව යනු කුමක්දැයි වටහා ගැනීම සඳහා වැදගත් වනු ඇත. ආචාර්ය සිරාන් දැරණියගලට අනුව පුරාවිද්‍යාව යනු මතුපිට ගවේෂණ මාර්ගයෙන් සහ තදානුගත ව කැරෙන කැනීම් ඔස්සේ ආදීකාලීන සංස්කෘතීන් ප‍්‍රතිනිර්මාණය කරන්නා වූ ද ඒවා තෝරා පැහැදිලි කරන්නා වූ ද, එම සංස්කෘතීනට අදාළ භෞතික න්ෂ්ඨාවශේෂ පිළිබඳ අධ්‍යයනයයි. මේ කාර්යය වෛද්‍ය විද්‍යාවේ පරීක්‍ෂණ, හේතු දර්ශන සහ ශල්‍ය ශාස්ත‍්‍රයට පිළිවෙලින් සමාන්තර වේ. මෙම විග‍්‍රහය අනුව, පුරාවිද්‍යාව යනු යටගිය සංස්කෘතීනට අදාළ තත්ත්වයන් පැහැදිළි කරදෙන්නා වූත් එම සංස්කෘතීන් පැවැතියේ මෙලෙස ය, මෙබඳු ස්ථානයකය එහි ස්වරූපය මෙලෙසය යන්න හා එම යටගිය සංස්කෘතීන් සතු වූ භෞතික අවශේෂයන් මේවාය යනුවෙන් විග‍්‍රහ කරන විෂයයි. මෙම කාර්යය උදෙසා පුරාවිද්‍යාව ප‍්‍රධාන ක‍්‍රමෝපායයන් වශයෙන් පුරාවිද්‍යාත්මක කැනීම් හා පුරාවිද්‍යාත්මක ගවේෂණ වහල් කර ගනී.

මෙලෙස විවිධාකාරයෙන් විග‍්‍රහ කරගත හැකි පුරාවිද්‍යාව විෂයක් ලෙස කුමන ස්ථානයක ස්ථාන කළ හැකි දැයි විමසා බැලීම මෙම විෂයේ පවත්නා ස්වභාවය හඳුනා ගැනීම සඳහා තවත් අයුරකින් උපකාරී වෙයි. ඒ අනුව පුරාවිද්‍යා විෂය කුමණාකාර විෂය පරාසයක් තුළ ස්ථානගත කරන්නේ ද යන්න විමසීමේ දී එක්සත් රාජධානි විද්වතුන් විසින් හා ඇමරිකානු එක්සත් ජනපද සම්ප‍්‍රදාය විසින් එය සිදුකරන්නේ කෙසේ ද යන්න විමසා බැලීම වැදගත් වේ. වඩාත් ගතානුගතික විග‍්‍රහයක නියැලෙන එක්සත් රාජධානි විග‍්‍රහයට අනුකූල ව මෙම විෂය මානව යටගියාව හැදෑරීමේ විනය ක‍්‍රමයක් වශයෙන් ස්වාධීන විෂයක් ලෙස ස්ථාන ගත වෙයි. නමුත් ඇමරිකානු සම්ප‍්‍රදායේ දී මානවයා පිළිබඳ සමස්තය හදාරණ මානවවිද්‍යාවේ එක් අනු කොටසක් වශයෙන් පුරාවිද්‍යව ස්ථානගත වෙයි. මෙය පහත සටහන මඟින් පැහැදිළි කරගත හැකි වේ. (උපුටා ගැනීම : අබේ රත්නායක (1999), සමාජවිද්‍යා මානවවිද්‍යා න්‍යාය, පළමු කොටස,)

විෂය උපවිෂය විෂයක්‍ෂේත‍්‍රය උපවිෂය ක්‍ෂේත‍්‍රය
අස්ථි පිළිබඳ අධ්‍යයනය
වස්ත‍්‍රාබරණ
කාලනීර්ණ ක‍්‍රම
පරිණාමික ජාන විද්‍යාව
පුරාමානවවිද්‍යාව අනුක ජානවිද්‍යාව
පුරා කායව්‍යච්ඡේද විද්‍යාව
පුරා ව්‍යාධිවේදය
ප‍්‍රාථමික පුරාජීවවිද්‍යාව
ක‍්‍රමවේදයන්
ශායනික මානවවිද්‍යාව
දන්ත මානවවිද්‍යාව
සමෙහි විවිධතා
ඇට සැකිළි පිළිබඳ විවිධතා
මානව විවිධතා මානව ජනවාකාශ විද්‍යාව
මානව පරිසර විද්‍යාව
මානව ජානවිද්‍යාව
කායික මානවවිද්‍යාව මානව වර්ධනය සහ දියුණුව
පෝෂණය පිළිබඳ මානවවිද්‍යාව
ප‍්‍රාථමික කායව්‍යවච්‌ඡේද විද්‍යාව
ප‍්‍රාථමික ජීවීන් පිළිබඳ මානවවිද්‍යාව ප‍්‍රාථමික ජීව හැසිරීම
ප‍්‍රාථමික පරිසර විද්‍යාව
මානවවිද්‍යාව
පුරාවිද්‍යාත්මක මැනීම්
පිඟන් භාණ්ඩ
සංස්කෘතික සම්පත් පාලනය
මානවවංශ පුරාවිද්‍යාව
පුරාවිද්‍යාත්මක මානවවිද්‍යාව ඓතිහාසික පුරාවිද්‍යාව
නැමෙන සුළු භාණ්ඩ
පුරාජනවිකාශ විද්‍යාව
ජනාවාස විශේෂයන්
සත්ව පුරාවිද්‍යාව
සංස්කෘතික මානවවිද්‍යාව
කලාව පිළිබඳ මානවවිද්‍යාව
හරස් සංස්කෘතික අධ්‍යයන
සංස්කෘතික පරිසර විද්‍යාව
සංවර්ධන අධ්‍යයන
ආර්ථික මානවවිද්‍යාව
මානව ඉතිහාසය
මානවවංශවිද්‍යාව මානව සංගීතවේදය
මානව තාක්‍ෂණික විද්‍යාව
ඥාතීත්ව අධ්‍යයන
සමාජ සංවිධානය
සංකේත මානවවිද්‍යාව
ආගමික විශ්වාස
නාගරික මානව විද්‍යාව
තුළනාත්මක වාග්විද්‍යාව
සවිස්තරාත්මක වාග්විද්‍යාව
මානව ශබ්ධාර්ථ විභාගය
වාග්විද්‍යාත්මක මානවවිද්‍යාව සමාජ වාග්විද්‍යාව
ඓතිහාසික වාග්විද්‍යාව
ව්‍යුහීය වාග්විද්‍යාව
පරිණාමික ව්‍යාකරණ
ප‍්‍රායෝගික මානවවිද්‍යාව

 

මෙම සටහන අනුව මානවවිද්‍යාව නම් පුළුල් විෂය ක්‍ෂේත‍්‍රය යටතේ එන ‘පුරාවිද්‍යාත්මක මානවවිද්‍යාව’ නම් විෂයක්‍ෂේත‍්‍රයට පුරාවිද්‍යාත්මක තත්ත්වයන් හැදෑරීම් අයත් වන බව පෙන්නුම් කෙරේ. එහෙත් වත්මන් පුරාවිද්‍යාව නම් පුළුල් වර්ධිත විෂයක්‍ෂේත‍්‍රයට කායික මානව විද්‍යාව හා සංස්කෘතික මානව විද්‍යාව යන ක්‍ෂේත‍්‍රස්වයටම අදාළ විෂය කොටස් අන්තර්ග‍්‍රහණය වෙයි. ඒ අනුව පුරාමානවවිද්‍යාව, මානව විවිධතා, ප‍්‍රාථමික ජීවීන් පිළිබඳ මානවවිද්‍යාව, මානවවංශවිද්‍යාව හා වාග්විද්‍යාත්මක මානවවිද්‍යාව යන සෑම විෂය ක්‍ෂේත‍්‍රයකටම අදාළ විවිධ උපවිෂය ක්‍ෂේත‍්‍ර පිළිබඳ ව හැදෑරීම පුරාවිද්‍යාත්මක අධ්‍යයනයන්ගේ දී අනිවාර්යය වෙයි. පුළුල් වශයෙන් සලකා බැලීමේ දී ස්වභාවික විද්‍යා හා සාමාජීයවිද්‍යා යන සෑම විෂයකම සම්බන්ධතාව පුරාවිද්‍යාවේ දී අවශ්‍යය වෙයි. පුළුල් සන්දර්භයක තබා විග‍්‍රහ කොට බැලීමේ දී යූරෝ කේන්‍ද්‍රීය විග‍්‍රයහයට වඩා ඇමරිකාණු කේන්‍ද්‍රීය විභජනය වඩාත් සාධාරණ හා පැහැදිළි බව පෙනි යයි.

මෙම පැහැදිලි කිරීම් සමස්ථයක් ලෙස ගෙන බැලීමේ දී මැනවින් ම පැහැදිලි වන්නේ පුරාවිද්‍යාව යනු සංකීර්ණ විෂය ක‍්‍රියාදාමයක් බව ය. එනම් මානව යටගියාව වටහා ගැනීම සඳහා, අර්ථකථනය කිරීම සඳහා ගොඩනඟා ගෙන ඇති විෂය ක්‍ෂේත‍්‍රයක් බව ය. ඒ අනුව, අතීත මානවයා‌ෙගේ සංස්කෘතික චින්තනය හා පුරාමානවයා වටා වූ පරිසරාත්මක සබැදියාව ද්‍රව්‍යාත්මක අවශේෂ මත පදනම් වෙමින් විෂය මූලික හා මනෝමූලික තත්ත්වයන් වෙත සම්පේ‍්‍රරණය කරවීම පුරාවිද්‍යාව යනුවෙන් වටහාගත හැකි ය. වර්තමානයෙන් ඔබ්බෙහි වන එනම්, පුරාමානවයා හා සබැදි සමස්තතය පුරාවිද්‍යා අධ්‍යයනයන්ට ඉලක්ක වන අතර එබැවින් ම පුරාවිද්‍යාව බහුවිෂයික හා අන්තර් විෂයික සබඳතාවක් සහිත විෂයක් ලෙස ගොඩනැඟේ. මේ අනුව පුරාවිද්‍යාව යටතේ දී ස්වභාවික පරිසරය තුළ මානවයා තම පැවැත්ම තහවුරු කර ගන්නා ආකාරය හෙවත් සංස්කෘතික පරිසරය තම චින්තනය උපකාරයෙන් ගොඩනඟා ගැනීම පුරාවිද්‍යාව තුළ දී හැදෑරීමට ලක්වන අතර මෙම සමස්ත ක්‍රියාවලිය පහත රූප සටහනින් දැක්විය හැකිවෙයි (‌මෙම රූප සටහන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය සුදර්ශන් සෙනෛවිරත්න මහතා විසින් 2002 වසරේ දී පළමු වසර පුරාවිද්‍යා විද්‍යාර්ථීන් වෙනුවෙන් ඩී.ඊ. හෙට්ටිආරච්චි කලාගාරයේ දී සිදුකරන ලද දේශනයකින් උපුගන්නා ලද බව කාරුණිකව සලකන්න.).

archaeology-archaeology-lk-chandima-ambanwalaමේ අනුව ස්වභාවික පරිසරය තුළ සිටින මිනිසා තම මනස භාවිත කරමින් තාක්ෂණය, ජනාවාස රටාව, සම්පත් පරිහරණය හා ජීවණ උපක‍්‍රමය යන කරුණු මඟින් තමා වටා සමාජ, දේශපාලන, ආර්ථික, හා සංස්කෘතික හා ආගමික ආයතන ගොඩනඟා ගන්නා අයුරු පුරාවිද්‍යාව මඟින් පැහැදිලි කර ගැනීමට උත්සහ දරයි.

පුරාවිද්‍යා අධ්‍යයන සඳහා භාවිත මූලාශ‍්‍රයවල ස්වභාවය

පුරාවිද්‍යාව යනු මානවයාගේ අතීතය පිළිබදව සිදු කරන අධ්‍යයනයක් බැවින් එහි ලා භාවිත කරන මූලාශ‍්‍රයන් පිළිබඳ ව අවබෝධයක් ලබාගැනීම අනිවාර්යය වේ. එනම් අතීතය ප‍්‍රතිනිර්මාණය අවකාශය මත, හිතලු මත ප‍්‍රතිනිර්මාණය වන්නක්ම නොව සප‍්‍රමාණ දත්ත මත ප‍්‍රතිනිර්මාණය වන්නකි. මෙලෙස මානව යටගියාව පිළිබඳ දත්ත අනාවරණය කර ගතහැකි මූලාශ‍්‍රය ප‍්‍රධාන වශයෙන් කොටස් දෙකකට වර්ග කර හඳුනා ගත හැකි වේ.

1. ලිඛිත මූලාශ‍්‍රය හා 2. අලිඛිත මූලාශ‍්‍රය

මිනිසා විසින් තම මුවින් පිටවෙන ශබ්ද හෝ මනසේ චිත‍්‍රණය වූ සංකල්ප අන්‍යයනට දැන්වීම සඳහා නිර්මාණය කර ගන්නා ලද ලේඛනය මඟින් අවශේෂ වූ දේ ලිඛිත මූලාශ‍්‍රය වශයෙන් හඳුනාගත හැකි වේ. මේ අතර මීට වසර 3,000කට පමණ පෙර රචනා වූ මිසරයේ චිත‍්‍රාක්ෂර, සිරියාවේ කුඤ්ඤාක්ෂර, පූර්ව බ‍්‍රාහ්මී සෙල්ලිපි හරහා පෙරදිග හමුවන මහාභාරතය, රාමායනය, වේද ග‍්‍රන්ථ, පුරාණ ආදිය මෙන් ම දිවයිනෙන් වාර්තා වන්නා වූ මහාවංස, දීපවංස, ආදී වංසකතා ආදීන් ද අයත් වේ. මෙම ලිඛිත මූලාශ‍්‍රය මානව යටගියාව අධ්‍යයනය සම්බන්ධයෙන් ප‍්‍රබල උපයෝගීතාවක් දක්වන අතරම ඓතිහාසික යුගයේ පුරාවිද්‍යාව මේවා මත බොහෝදුරට රදා පවතින බව පෙනේ. මෙම මූලාශ‍්‍රය මඟින් අදින් වසර 5,000කට පමණ ඔබ්බට ගමන් කිරීමට නොහැකි වන්නේ මානව වර්ගයා සතුවන පැරණිම මූලාශ‍්‍රය ක‍්‍රිස්තු පූර්ව 3000 න් පමණ ඔබ්බට නොගන්නා බව විශ්වාස කරන බැවිනි. ඒ අනුව මෙම මූලාශ‍්‍රය යම් නිශ්චිත කාල පරාසයක් තුළ තම හැකියාව සීමා කරගන්නා බව පෙනී යයි.

මානව වර්ගයා පිළිබඳ කතාව වසර ලක්ෂ ගණනක් ඔබ්බට ගෙන යා හැකි වූත්, බහුල වූත් පුරාවිද්‍යා අධ්‍යයනයන් සඳහා බහුල වශයෙන් උපයෝගි කරගන්නා වූත් මූලාශ‍්‍රය විශේෂය ලෙස අලිඛිත මූලාශ‍්‍රය හඳුනාගත හැකි ය. මානවයා තම පරිණාම ගමන් මාර්ගයේ දී ශේෂගත කළ මානව අස්ථියක සිට සුසාන ගර්භ, කෑමට ගෙන ඉවත් කළ සත්ව අවශේෂ, නිර්මාණය කළ ශිලා මෙවලම් ආදිය හරහා ඔහු විසින් බැහැර කරන ලද බහිස‍්‍රාවීය ද්‍රව්‍ය දක්වා මෙම අලිඛිත මූලාශ‍්‍රය පුළුල් ක්‍ෂේත‍්‍රයක විසිරී පවතී. මෙම අලිඛිත මූලාශ‍්‍ර යන්න ද සූක්‍ෂ්ම ලෙස කොටස් ගණනාවකට ගෙන නැවතත් අවධානයට යොමු කිරීමට හැකි බව පෙනේ. (දක්වා ඇති වර්ගීකරණය කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා මහාචාර්ය අනුර මනතුංග මහතා විසින් කරන ලද්දක් බව කාරුණික ව සලකන්න.)

අ. පුරා මානව කෘති (arti-facts)
ආ. පරිසර කෘති (eco-facts)
ඇ. භූ කෘති (geo-facts)
ඈ. සත්ව කෘති (zoo-facts)
ඉ. වෙනත් (other) ආදි වශයෙනි.

මානවයා ගේ මැදිහත් වීම මඟින්, එසේ නොමැති නම් මානවයා විසින් සිදුකරන ලද ක‍්‍රියාවක් හේතුවෙන් නිර්මාණය වූ කෘති ‘පුරා මානව කෘති’ යනුවෙන් අදහස් වෙයි. පුරා මානවයා විසින් නිර්මාණය කරන ලද ශිලා හෝ අස්ථි මෙවලමක්, ඔීනෑම අන්දමක වාස්තුවිද්‍යා නිර්මාණයක්, දඩයම් කොට පුළුස්සා කෑමට ගෙන ඉවත් කරන ලද සත්ව අස්ථියක් ආදිය පුරා මානව කෘති ලෙස දැක්විය හැකි ය. ස්වභාවික පරිසරයේ සම්බන්ධතාවක් මත අවශේෂ වූ කෘති පුරා පාරිසරික කෘති ලෙස හඳුනාගත හැකි වෙයි. මේ යටතේ ශාක, පරාග හා ඩයටම ආදී විවිධ ස්වරූපයෙන් ද්‍රව්‍ය ලැබෙයි. එමෙන්ම, භූ විද්‍යාත්මක හෝ භූ රූපීය කරුණු හෝ ඒ මත ජනනය වූ දේ භූ කෘති වශයෙන් පුරාවිද්‍යා අධ්‍යයන සඳහා භාවිත කිරීමේ හැකියාව පවතී. භූ ස්ථරණය, භූ මාලක, භූ දර්ශන ආදිය ප‍්‍රධාන වශයෙන් භූ කෘති වශයෙන් හඳුනාගත හැකි ය. ඉහත වර්ගීකරණයට සෘජු වශයෙන් අන්තර්ගත කළ නොහැකි නමුත් පුරාවිද්‍යාත්මක අධ්‍යයනයක් සඳහා යොදාගත හැකි ද්‍රව්‍යාත්මක අවශේෂ වෙනත් යටතේ වර්ගීකරණයට හැකියාව ලැබේ. ඒ සඳහා උදාහරණයක් වශයෙන් ටැන්සානියාවෙන් හමු වූ ගිණි කන්දක් පිපිරීමෙන් ගලා ගිය ලාවා අළු මත සටහන් වී ඇති මිනිසෙකු හා ගැහැනියක‌ෙගේ ලෙස හඳුනා ගන්නා පා සටහන් උදාහරණ කරගත හැකි වේ.

අධ්‍යයන පහසුව සඳහා ද්‍රව්‍යාත්මක අවශේ්ෂ මූලාශ‍්‍රය මෙලෙස වර්ග කළ ද ඒවායේ ස්වභාවය සංකීර්ණ ස්වභාවයක් ගනී. සත්ව අස්ථියක් සත්ව කෘතියක් වන නමුත් මිනිසා ගේ මැදිහත් වීමෙන් මෙවලමක් බවට පත් කරණ ලද හෝ මස් කෑම සඳහා පුළුස්සන ලද අස්ථියක් මානව කෘතියක් වීම උදාහරණ වශයෙන් සපයාගත හැකි ය. අනෙක් අතට ලිඛිත මූලාශ‍්‍රය යටතට ගැනෙන සියල්ල ම පායේ මානව මැදිහත්මක් දක්වන බැවින් ඒවා සියල්ල ම තවත් අතකට මානව කෘති වශයෙන් හඳුනා ගැනීම ද වැරදි නොවේ.

ප‍්‍රාග්, පූර්ව හා ඓතිහාසික පුරාවිද්‍යාව

උක්ත සාකච්ඡා කළ මූලාශ‍්‍රයන්ගේ විසදෘෂතාව මත පුරාවිද්‍යා විෂය පුළුල් වශයෙන් ප‍්‍රාග්ඓතිහාසික පුරාවිද්‍යාව (Prehistoric Archaeology), ප්‍රොටෝ ඓතිහාසික පුරාවිද්‍යාව (Proto-historic Archaeology) හා ඓතිහාසික පුරාවිද්‍යාව (Historic Archaeology) යනුවෙන් වෙන් කිරීමට හැකි ‌වේ. ඒ අනුව නිශ්චිත වශයෙන් ම ලේඛනය හෙවත් අක්‍ෂර ක‍්‍රමයක් පවත්නා යුගයට අයත් සංසිද්ධියක් පිළිබඳ ව අධ්‍යයනයක් හෝ පර්යේෂණයක් සිදු කරන්නේ නම් එය ඓතිහාසික පුරාවිද්‍යාව යටතට ගැනේ. එලෙස ලේඛන සාධක නොමැති යුගය හෙවත් ප‍්‍රාග්ඓතිහාසික යුගය පිළිබඳ ව සිදු කරන නොහොත් එම යුගයට අයත් අධ්‍යයන ප‍්‍රාග්ඓතිහාසික පුරාවිද්‍යාව යටතට වැටේ. පෙරදිග රටවල හෙවත් භාරතය, ලංකාවන ආදී රටවල පුරාවිද්‍යාව අධ්‍යයනය කිරීමේ දී උක්ත ක්‍ෂේත‍්‍රද්වය අතරෙහි ලා ගැනෙන ප්‍රොටෝ ඓතිහාසික පුරාවිද්‍යාව යන්න හමු වෙයි. මේ මඟින් නිශ්චිත වශයෙන් මේ වනතෙක් භාෂාමය අක්‍ෂර ලෙස හෙවත් ලිඛිතමය සාධක යනුවෙන් අර්ථ නොදැක් වූ එහෙත් යම් අයුරෙක අක්‍ෂරමය සාධක යනුවෙන් උපකල්පනය කළ හැකි සාධක විශේෂයන් හමුවන යුගය සම්බන්ධයෙන් සිදු කරන අධ්‍යයන අදාළ වෙයි.

මේ අනුව සළකා බැලීමේ දී ලංකාව සම්බන්ධයෙන් මේ එක් එක් ක්‍ෂේත‍්‍රයනට අදාළ කාලපරාසයන් නිශ්චය කිරීමේ හැකියාව ලැබේ. මෙතෙක් සිදුකොට ඇති අභිලේඛනමය අධ්‍යයන අනුව දිවයිනේ පැරණිතම අක්‍ෂර පිළිබඳ සාධක විද්වතුන්ගේ පොදු එකඟතාවෙන් ක‍්‍රිස්තු පූර්ව තෙවන සියවසේ ස්ථාපනය කොට ඇත්තේ ය. ඒ අනුව තත් කාලයේ සිට අද දක්වා කාලපරාසය අළලා සිදු කරන පුරාවිද්‍යාත්මක අධ්‍යයන ඓතිහාසික පුරාවිද්‍යාව යටතට වැටේ. එහෙත් ආචාර්ය සිරාන් දැරණියගල පෙන්වා දෙන අයුරින් දිවයිනේ පූර්වබ‍්‍රාහ්මී අක්‍ෂර භාවිතය පිළිබඳ ඈතම සීමාව ක‍්‍රිස්තු පූර්ව 5/6 සියවස් දක්වා ගමන් කරන බව උගතුන් විසින් පොදුවේ පිළිගතහොත් එදින සිය දිවයිනේ ඓතිහාසික කාලපරිච්‌ෙඡේදය එම කාලය දක්වා ගමන් කරනු ඇත. අදින් වසර 125,000/250,000 පමණ ඈත කාලයක සිට ක‍්‍රිස්තු පූර්ව 1,000 පමණ දක්වා කාලයක් නියෝජනය වන පරිදි ප‍්‍රාග්ඓතිහාසික සාධක ලැබෙන බැවින් එම කාල පරාසය දැනට ප‍්‍රාග්ඓතිහාසික කාලපරිච්ෙඡ්දය වශයෙන් පිළිගනු ලැබේ. එබැවින් එම කාල පරාසයට ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාව අයත් වෙයි. එමෙන් ම ක‍්‍රිස්තු පූර්ව 1, 000ත් ක‍්‍රිස්තු පූරිව 300ත් අතර කාලය සම්බන්ධයෙන් විවිධ සංකේත හමුවන අතර ඒවා අක්‍ෂර ද? අක්‍ෂර නොවේ ද? අක්‍ෂර නම් ස්වරාක්‍ෂර විශේෂයක් ද? නො එසේනම් චිත‍්‍රාක්‍ෂර විශේෂයක් ද? ආදී වශයෙන් ඒවා තවම නිසැක ලෙස අර්ථ දක්වා නොමැති බැවින් ඉතිහාස යුගයට මුල් වූ නොහොත් පදනම සැකැසූ යුගය වශයෙන් මෙම යුගය ප්‍රොටෝ ඓතිහාසික යුගය නම් වෙයි. මොහන්ජදාරො හරප්පා ශිෂ්ටාචාරයනට අයත් ඵලක මත ඇති මුද්‍රා, ලංකාවේ ප්‍රොටෝ ඓතිහාසික ස්මාරකයන්ගෙන් හමුවන සංකේත ආදිය මේ සඳහා උදාහරණ සපයයි. එබැවින් මෙම කාලයට අයත් ලෙස සිදු කරන පර්යේෂණ ප්‍රොටෝ ඓතිහාසික පුරාවිද්‍යාව යටතට අයත් වෙයි. යම් අයුරකින් මෙම යුගයට අදාළ නිසැක ලෙස හඳුනා නොගත් සංකේත අක්‍ෂර වශයෙන් හඳුනා ගෙන ඒවායින් ගම්‍ය අර්ථ වටහා ගතහොත් මෙම සංකේත අයත් යුගය ද ඓතිහාසික කාලපරිච්ෙඡ්දයට ම අයත් කළ හැකි වන්නේ ය.

පුරාවිද්‍යා අධ්‍යයන ක‍්‍රියාවලිය

මිනිසා විසින් සිදුකරන ඕනෑම කාර්යයක් සඳහා හිමි ක‍්‍රියාවලියක් පවතීී. සරල ලෙස සලකා බැලුව හොත් යම් ආකාරයක් සකස් කිරීමේ දී ද යම් ආකාරයක ක‍්‍රියාවලියක් ඒ තුළ හඳුනාගත හැකි වනු ඇත. එ් අනුව විධිමත් විනය ක‍්‍රමයක් වන පුරාවිද්‍යාව සම්බන්ධයෙන් ද පොදු වශයෙන් අධ්‍යයන කියාවලියක් හඳුනාගත හැකිවනු ඇත. පුරාවිද්‍යා අධ්‍යයනය සමස්ථයක් වශයෙන් සලකා බැලීමේ දී මෙය හඳුනාගත හැකි නමුත් එක් එක් අධ්‍යයන වෙන්වෙන් කොට ගෙන බැලීමේ දී මෙම ක‍්‍රමවේදය නොහොත් ක‍්‍රියාවලිය සෘජුව ම දෘෂ්‍යමාන නොවුවත් සමස්ථයක් ලෙස මෙහි අන්තර්ගත වීම අනිවාර්යය වෙයි.

ඒ අනුව; අ. දත්ත හඳුනා ගැනීම, ආ. දත්ත ග‍්‍රහණය කර ගැනීම, ඇ. දත්ත සංස්ලේශනය/විශ්ලේශනය කිරීම හා ඈ. ඉදිරිපත් කිරීම, යන ක‍්‍රියාවලිය දැක ගත හැකි වේ. මෙම ක‍්‍රියාවලිය දක්වා ඇති අනුපිළිවලින් ම නොවන අවස්ථා ද පවතී.

ඕනෑම පුරාවිද්‍යා අධ්‍යයනයක දී ‘දත්ත හඳුනා ගැනීම’ එහි මූලික කරුණ වෙයි. ඒ අනුව දත්තවල ස්වභාවය හා ව්‍යාප්තිය, පරාසය මෙන්ම අධ්‍යයනය සඳහා වන න්‍යායාතමක එළඹුම ද මනාව ග‍්‍රහණය කරගැනීම සිදුවනු ඇත. දළ වශයෙන් පුස්තකාල හා ලේඛනාගාර අධ්‍යයන මඟින් අධ්‍යයනයේ භෞතික හා අභෞතික ව්‍යාප්තිය හා ස්වභාවය හඳුනා ගැනීම මේ යටතේ දී මූලිකව සිදු වෙයි.

යම් අධ්‍යයනයකට අදාළ ව දැකගත හැකි අනෙක් ලක්‍ෂණය වන්නේ දත්ත ග‍්‍රහණය කරගැනීම යි. ප‍්‍රායෝගික ක්‍ෂේත‍්‍ර පුරාවිද්‍යාව යටතේ ද මෙම කාර්යයන් ඉහළ ප‍්‍රමාණයක් සිදු වෙයි. පුරාවිද්‍යාත්මක ගවේෂණය, පුරාවිද්‍යාත්මක කැනීම් දත්ත ග‍්‍රහණය කරගැනීම සඳහා සිදුකරන ප‍්‍රධානම ක‍්‍රමයන් වෙයි. විධිමත් පුරාවිද්‍යාත්මක ක‍්‍රමවේදයකට අනුව සන්දර්භානුකූලව අධ්‍යයනයට අදාලව ලබාගත හැකි සෑම දත්තයක් ම ගබා ගැනීම පුරාවිද්‍යාඥයාගේ විශේෂ වගකීම හා යුතුකම වෙයි. මෙහි දී ක්‍ෂේත‍්‍ර නොවන ගවේෂණයන්ගෙන් ලබා ගන්නා පූර්ව අධ්‍යයන, කාලගුණ, දේශගුණ තත්ත්ව ආදියේ පටන් පුරාවිද්‍යා පර්යේෂණ කැනීමක දී ග‍්‍රහණය කරගන්නා මැටි බදුන්, සත්ව අස්ථි, වාස්තුවිද්‍යා අවශේෂ ආදී පුළුල් පරාසයක දත්ත ග‍්‍රහණය කරගැනීම සිදු වෙයි.

පුරාවිද්‍යාත්මක අධ්‍යයනයක දී හඳුනාගත හැකි වැදගත් ම හා තීරණාත්මක ක‍්‍රියාවලියක් වශයෙන් දත්ත සංස්ලේෂණය හා විශ්ලේෂණය හඳුනාගත හැකි වෙයි. පුරාවිද්‍යඥයා සතු විශ්ලේෂණ හැකියාව මත ග‍්‍රහණය කරගත් දත්ත ඒවායේ විශේෂ ගුණාංගයන් හා ස්ථරානුකූල පදනම මත සංස්ලේෂණය සිදුවන අතර අනතුරු ව එම සංස්ලේෂණය මත පදනම් වෙමින් විශ්ලේෂණ කටයුතු සිදුවෙයි. පුරාවිද්‍යඥයා හෝ පුරාවිද්‍යඥ කණ්ඩායම සතු විශේෂ හැකියාවන් හා දක්ෂතාවන් මත මෙම කාර්යය ප‍්‍රබලත්වය හා අනන්‍යතාව රදා පවතී. විෂය මූලික දත්තයන් පුරාවිද්‍යාඥයා විසින් න්‍යායවාදී මූලාංග උපකෘත කොට ගැනීමෙන් අනතුරු ව මනෝමූලික තත්ත්වයක් මඟින් උපකල්පනික එළඹුම් ඔස්සේ නව දැනුමක් බවට පත් වන්නේ මෙම අවස්ථාවේ දී ය. මෙහි දී දත්ත ඒවායින් ලබාගත හැකි සෑම කරුණක්ම ලබාගත හැකි පරිදි මෙහෙය වීම පුරාවිද්‍යාඥයා සතු ප‍්‍රබලම වගකීම වන අතර එම දත්ත ඔස්සේ එසේ ග‍්‍රහණය කරගන්නා තොරතුරු මානව යටගියාව පිළිඹිඹු කරන අලුත් දැනුමක් නිර්මාණය කරනු ඇත.

මෙසේ පුරාවිද්‍යාත්මක දත්ත අනුසාරයෙන් නිර්මාණය කරගන්නා නව දැනුම අන්‍යයන් වෙත පේ‍්‍රෂණය කිරීම, ඉදිරිපත් කිරීම යටතට ගැනේ. මෙහි දී මානව යටගියාවේ අවස්ථාවක් හෝ තත්ත්වයක් පිළිබඳව ගොඩනඟන ලද කරුණු ග‍්‍රන්ථයක්, වාර්තාවක්, ප‍්‍රකාශනයක්, රූපවාහිනී හෝ ගුවන් විදුලි වැඩසටහනක්, ප‍්‍රදර්ශනයක් ආදී ඔ්නෑම මහජන සංනිවේදන ක‍්‍රියාවලියක් මඟින් සමාජය සතු කිරීම සිදුවිය යුතු ය. එසේ නොකිරීම පුරාවිද්‍යාඥයා වෙත මානව වර්ගයාගේ යටගියාව වෙතින් පැවරුණු වගකීම ඉටු නොකිරීමක් වනු ඇත. එබැවින්ය ලෝකප‍්‍රකට සම්භාව්‍ය පුරාවිද්‍යාඥ විලියම් ප්ලින්ඩර්ස් පේටි‍්‍ර විසින් ලියා තැබුයේ යම් පුරාවිද්‍යාඥයෙක් එක් කැනීමක් සිදුකර එහි වාර්තාව ප‍්‍රකාශයට පත් නොකොට තවත් කැනීමක් කරයි නම් එම කැනීමත් සොරෙන් නිධන් හෑරීමත් අතර වෙනසක් නොමැති බව.

පුරාවිද්‍යාවේ බහු විෂයීක හා අන්තර් විෂයීක බව

ඉහත සාකච්ඡා කළ පරිදි පුරාවිද්‍යාව යනු මානවයා ගේ යටගියාව පිළිබඳ ව පුළුල් දෘෂ්ටියකින් හදාරණ විෂය බව පෙනී යයි. ඒ අනුව පුරා මානවයා හා ඔහු වටා වූ සමස්ථයම පිළිබඳ ව ද්‍රව්‍යාත්මක අවශේෂ මත පදනම් වෙමින් හැදෑරීමට පුරාවිද්‍යාඥයාට සිදුවෙයි. වර්තමාන මානවයා දෙස අවධානය යොමු කළහොත් ඔහු වටා දේශපාලන ක‍්‍රියාකාරකම්, ආර්ථික ක‍්‍රියාකාරකම්, ආගමික හා අභිචාරාත්මක ක‍්‍රියාකාරකම්, සාහිත්‍ය හා කලා ක‍්‍රියාකාරකම්, භාණ්ඩ හා සේවා හුවමාරුව, ස්වභාවික පරිසරය සමඟ වන සහයෝගිතාත්මක හා ඝර්ෂණීය සබඳතා ආදී කරුණු රැසක් පමණක් නොව භෞතික මානව විද්‍යාත්මක කරුණු හා මනෝ විද්‍යාත්මක කරුණු ද ආදී වශයෙන් සංකීර්ණ කරුණූ කරණා රැසක් ක‍්‍රියාත්මක වෙමින් පවත්නා බව පෙනී යයි. වර්තමානයේ මෙම එක් එක් ක්‍ෂේත‍්‍ර පිළිබඳ ව අවධානය යොමු කරමින් අධ්‍යයනය කිරීම සඳහා විවිධ විෂයන් හා විද්‍යාවන් රැසක් බිහි වී ඇති බව පෙනී යයි. පුරා සංදර්භයකට මෙම කරුණු ආදේශ කර බැලීමේදීත් මේ හා සමානම සංස්කෘතික හා ස්වභාවික වටපිටාවකින් සම කාලීන මානවයා වෙලී සිටි බව මැනවින් පැහැදිලි වෙයි. එබැවින්, නූතන වට පිටාවක ජීවත් වන විද්‍යාඥයාට ද්‍රව්‍යාත්මක අවශේෂ ඇසුරින් පුරා මානවයා පිළිබඳ ව යථාවාදී අර්ථකතනයකට එළැඹීමට නම් මේ ආකාරයෙන් මානවයා වටා ඇති සෑම විෂයක් ගැන ම පාහේ ප‍්‍රමාණාත්මක දැනුමක් අවබෝධයක් පැවතිය යුතු වීම අනිවාර්යය වෙයි. එසේ නොමැති නම් ද්‍රව්‍යාත්මක අවශේෂ ඔස්සේ අතීත මානවයා පිළිබඳ ව ඔහු ගොඩනැගූ කථාව යථාරූපී හෙවත් සංගත නොවීමේ සම්භාවිතාව ඉහළ වෙයි. නමුත් පුරාවිද්‍යඥයා එම සියලු විෂයන් ගේ පරතෙර පත් විශේෂඥයකු විය යුතු යැයි මින් අදහස් නොවේ.

පුරාවිද්‍යාත්මක අධ්‍යයනයක් විටෙක ඒක පුද්ගල කේන්ද්‍රීය අධ්‍යයනයක් විය හැකි නමුත් බොහෝ විට කණ්ඩායමි විෂයක් වශයෙන් ක‍්‍රියාත්මක වෙයි. එහි දී පර්යේෂකයන්, තාක්ෂණික ශිල්පීන්, පරිපාලකයන්, කළමනාකරුවන්, විවිධ විද්‍යාඥයන්, කම්කරුවන් හා සාමාන්‍ය ජනයා ආදී විවිධ පිරිස් හා කොටස් සමඟ සම්බන්ධ වීම අනිවාර්යයෙන් සිදු වෙයි. එබැවින් නැවත වරක් තත් විෂය එම විවිධ පිරිස් හා කටයුතු කිරීමේ දී සංකීර්ණ හැසිරීම් රටාවක් ගත යුතු ය. එහි දී පුරාවිද්‍යාඥයා විවිධ කොටස් අතර සම්බන්ධීකාරකයකු, මුදල් පාලකයකු, පරිපාලකයකු ආදී වශයෙන් විවිධ තත්ත්වයන් නිරූපණය කිරීමට සිදුවෙයි.

මේ කරුණු අනුව පෙනී යන්නේ පුරාවිද්‍යාව යනු හුදකලා විෂයක් නොව විවිධ විෂය රාශියකින් යැපෙන, ‌මේවා මත රදාපවත්නා හා විෂය ගණනාවක ඥානපථය හසුරවන හා ක‍්‍රියාත්මක වන විෂයක් බව ය.

පුරාවිද්‍යාව හා අනුවිෂයන්

පුරාවිද්‍යාව ගෝලීය මට්ටමින් 1950 දශකයෙන් පමණ පසුව ශීඝ‍්‍ර වර්ධනයක් අත් කරගන්නා බව ලෝක පුරාවිද්‍යාවේ ඉතිහාසය දෙස බැලීමෙන් පෙනී යයි. ඒ අනුව පුරා මානවයා සතු සමස්තය මනාව ග‍්‍රහණය කරගැනීම සඳහා පුරාවිද්‍යා ප‍්‍රධාන විෂය ධාරාව තුළ අනුවිෂය ධාරා රැසක් වර්ධනය වීමට පටන් ගනී. ඒ අනුව එක් එක් ක්‍ෂේත‍්‍ර ආවරණය කරමින් ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාව, බයිබල් පුරාවිද්‍යාව, ඓතිහාසික පුරාවිද්‍යාව, ප‍්‍රජානක පුරාවිද්‍යාව, මානවවංශ පුරාවිද්‍යාව, කාර්මික පුරාවිද්‍යාව, අභිලේඛන අධ්‍යයනය, කාසි පිළිබඳ අධ්‍යයනය ආදී වශයෙන් අනුවිෂය ධාරා රැසක් යටතේ මේ වන විට වර්ධනය වී පවතී.

ඉතිහාසය හා පුරාවිද්‍යාව

මානව යටගියාව සම්බන්ධයෙන් හදාරන විෂය දෙකක් වශයෙන් ඉතිහාසය හා පුරාවිද්‍යාව යන විෂයද්වය හඳුනාගත හැකි ය. එනම් අතීතය තුළ සිදු වූ විවිධ සිදුවීම්, සංසිද්ධීන් හැදෑරීම හා අවබෝධ කොට ගැනීම මෙම විෂය දෙකේම හරය වශයෙන් හඳුනා ගත හැකි ය. සරළාර්ථයෙන් මානව යටගියාව හැදෑරීම මෙම විෂයද්වයෙන්ම සිදුවන්නේ නම් එක ම කාර්යය සඳහා විෂය දෙකක් පවතින්නේ කුමට ද? යන්න මේ සමඟ ම ඇතිවන්නා වූ ප‍්‍රශ්නයකි. පරමාර්ථයෙන් මෙම විෂය දෙකින් ම මානව යටගියාව පිළිබඳ ව හැදෑරීම ලක් කළ ද මෙම විෂය දෙක අතර සියුම් එනම් ප‍්‍රබල වෙනසක් හෙවත් ඒවාට ම ද්විවිධ ස්වරූපයක් පවතී. මෙම ද්විවිධ ස්වරූපය ජනනය වීම සඳහා ඉවහල් වන මූලාශ‍්‍රය පදනම් වෙයි.

ඉතිහාස විෂය ධාරාව යටතේ දී සාමාන්‍ය වශයෙන් ප‍්‍රධාන මූලාශ‍්‍රය ලෙස උපකෘත වන්නේ ලිඛිත මූලාශ‍්‍රයයි. ඒ යටතේ අභිලේඛන හා වෙනත් අක්ෂර මඟින් ප‍්‍රකාශිත මූලාශ‍්‍රය පදනම් වෙයි. ලංකාව සම්බන්ධයෙන් අවධානය යොමු කළහොත් සෙල්ලිපි, දීපවංශය, මහාවංශය ආදී වංශකථා, අටුවා, විවිධ සාහිත්‍ය ග‍්‍රන්ථ, විදේශීය සාහිත්‍යමය කෘති, දේශීය හා විදේශීය සංචාරකයන් ගේ වාර්තා, ‌වෙළෙඳ වාර්තා, පරිපාලක සටහන් ආදී ලිඛිත ස්වරූපයෙන් පවත්නා මූලාශ‍්‍රය ඉතිහාස අධ්‍යයන සඳහා භාවිත වෙයි. එබැවින් විද්වතුන් විසින් පොදුවේ පිළිගෙන ඇති පරිදි දිවයිනේ පැරණිම ලේඛන වන්නේ ක‍්‍රිස්තු පූර්ව තුන්වන සියවසට පමණ අයත් පූර්ව බ‍්‍රාහ්මී අක්ෂරයෙන් සටහන් කරන ලද සෙල්ලිපි වන අතර, අනුරාධපුර ඇතුළුනුවර ප‍්‍රදේශයේ සිදු කළ පුරාවිද්‍යාත්මක පර්යේෂණ මත ආචාර්ය සිරාන් උපේන්ද‍්‍ර දැරණියගල පෙන්වා දෙන අයුරින් ලංකාවේ ලේඛනය පිළිබඳ පැරණිම සාදක ක‍්‍රිස්තු පූර්ව 5/6 සියවස් දක්වා ඈතට ගමන් කළ හැකි ය. ඒ අනුව, පැහැදිලි වන්නේ ඉතිහාසය විෂය ධාරාව යටතේ දී ලංකාව සම්බන්ධයෙන් ගමන් කළ හැකි උපරීම අවස්ථාව ක‍්‍රිස්තු පූර්ව 3/4 සියවස් හෝ 5/6 සියවස් දක්වා පමණක් බව ය. ලෝක මට්ටමේ දී ද තත්ත්වය මේ හා සමාන ව පැහැදිලි ලෙස අක්ෂර කලාවක් හඳුනාගත හැකි කාල පරාසයට පමණක් ඉතිහාස විෂය ධාරාව අධ්‍යයන සීමා වෙයි. එහෙත් පුරාවිද්‍යා විෂයේ දී ප‍්‍රධාන වශයෙන් ද්‍රව්‍යාත්මක අවශේෂ හෙවත් ද්‍රව්‍යාත්මක මූලාශ‍්‍රය මත පදනම් වන හෙයින් මෙවැනි ගැටළුවක් ඒ සම්බන්ධව පැන නොගනී. එනම් මානවයා හා ඔහු ගේ යටගියාව පිළීබඳ ව තොරතුරු අනාවරණය කළ හැකි කිනම් කාල පරාසයකට ද්‍රව්‍යාත්මක අවශේෂ ගමන් කරන්නේ ද? එම කාල පරාසය දක්වා පුරාවිද්‍යාත්මක අධ්‍යයන ව්‍යාප්ත කිරීමේ හැකියාව පවතී. ලංකාව සම්බන්ධයෙන් සලකා බැලීමේ දී වර්තමානය වන විට පුරාවිද්‍යාත්මක අධ්‍යයන ක‍්‍රිස්තු පූර්ව 125,000ක පමණ කාලයක් ඈතට ගමන් ගන්නා බව පෙනේ. එනම් ඉරණමඩු පාංශු සංගතියට අයත් බූන්දල, පතිරාජවෙල ආදී ස්ථානයන්ගෙන් වාර්තා වූ ශිලා මෙවලම් මෙම අධ්‍යයනය සඳහා පදනම සැකසීය. ඒ අනුව පුරාවිද්‍යාත්මක අධ්‍යයන අදින් වසර 125,000ක් පමණ ඈතට නිසැක වශයෙන් ගමන් ගන්නා බව පැහැදිලි වෙයි. ආචාර්ය සිරාන් දැරණියගල අපේක්‍ෂා කරන අයුරින් අදින් වසර 250,000 හෝ 500,000ක් පමණ ඈතට ගමන් ගන්නා සාධක දිවයිනෙන් අණාවරණය වුවහොත් පුරාවිද්‍යාත්මක අධ්‍යයන එතරම් කලක් දක්වා ඈතට ගමන් ගත හැකි බව ද පෙනී යයි.

අතීතය පිළිබඳ අධ්‍යයනයන් හීදී මෙම කාල පරාසයෙන් ඔබ කාලය අධ්‍යයනය භූ විද්‍යාඥයන්ට සපුරාම පාහේ අයත් වෙයි. එනම් පෘථිවියේ හා එහි පාංශු සැකැස්ම ආදිය පිළිබඳ ව ඉතා දිගු කාල පරාසයක් දක්වා දිවයන අධ්‍යයන මෙහෙය වීම භූ විද්‍යාඥයන් හට පැවරේ.

සාකච්ඡාව

ඉහත සාකච්ඡා කළ පරිදි පුරාවිද්‍යාව යන්න බහු විෂයාත්මක හා අන්තර් විෂයාත්මක සබඳතාවකින් යුත් මානව යටගියාව අනාවරණය කරන විනය ක‍්‍රමයක් බව පැහැදිලි වේ. එ මෙන්ම සිද්ධාන්තමය කරුණු මත රදා පවතිමින් විවිධ පරාසයන් වෙත තම ප‍්‍රායෝගික ක‍්‍රියාන්විතයන් මෙහෙයවන, එ මගින් මානව අතීතය වර්තමානය මත ප‍්‍රතිනිර්මාණය කරන්නා වූ විෂයකි. මෙහි දී අලිඛිත, ද්‍රව්‍යාත්මක මූලාශ‍්‍රය මත තම රදා පැවැත්ම පුරාවිද්‍යාව සකසා ගත්ත ද එහි විෂය ස්වභාවය අනුව ම ලිඛිත එනම් ඓතිහාසික යුගයට අදාල විවිධ මූලාශ‍්‍රය ද තුළනාත්මක අධ්‍යයන රාමුවක් මත විග‍්‍රහ කිරීමේ හැකියාව ලබා ගත්තකි. ඒ අනුව, ඓතිහාසික, ප්‍රොටෝ ඓතිහාසික හෝ ප‍්‍රාග් ඓතිහාසික කාල රාමුවක් තුළ තම අනන්‍ය දෘඩ බව පතුරන්නා වූ වර්ථමාන හෝ අනාගත පරම්පරාවන් විසින් කිසිසේත් ම අත් නොහැරිය හැකි විණය ක‍්‍රමයක් වශයෙන් විනිශ්චය කිරීමේ හැකියාව ලබා ගනී.

ආශ‍්‍රිත ග‍්‍රන්ථ හා ලිපි නාමාවලිය

  • රත්නායක, ඒ. (1999), සමාජවිද්‍යා මානවවිද්‍යා න්‍යාය, පළමු කොටස, කර්තෘ ප‍්‍රකාශනයකි.
  • දැරණියගල, එස්. යූ. (1990), පුරාවිද්‍යා කැණීම් 1968-1990, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉතිහාසය, පළමු වන වෙළුම, පරි. කේ. බී. ඒ. එඞ්මන්ඞ්, ප‍්‍ර. සංස්. එන්. විජේසේකර, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ශත සංවත්සරය, සමරු පොත් පෙල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, කොළඹ.
  • වූලී, ලෙනාඞ් (1969), අතීතය හාරා බැලීම, අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව, කොළඹ.
  • Oxford Advanced Learners Dictionary of Current English, (Chief ed. S. Wehmeier), (2005), Oxford University Press, Oxford,
  • Rajan, K. (2002),  Archaeology Principles and Methods, Manoo Pathippakam, Thanjavur.
  • The American Heritage Dictionary of  The English Language, Third edition, (—-), Houghton Mifflia Company, New York.
  • The Encyclopedia Americana (1958), Americana Corporation, New York.
  • The New Encyclopedia Britannica Vol. I. (1978), Encyclopedia Britannica Inc, Chicago. 
  • The Oxford English Reference Dictionary, Second Edition, (ed.by. J. Pearsall & B. Trumble), (1996), Oxford University Press, Oxford.

—————————————————————————————
මෙම ලිපිය www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ 2018 ජූලි 4 වැනි දින ප‍්‍රකාශයට පත් විය.
—————————————————————————————

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.