ඉරේෂා ශ්‍යාමලී වන්නිනායක

සාරාංශය

සංස්කෘතියක් ගොඩනැඟීමේ දී ඔවුනට ආවේණික සංස්කෘතික අංග බිහිවන අතර ඒවා ඒ ඒ රටට ප‍්‍රදේශයට හා ජීවත්වන මිනිසුන්ගේ අදහස්වලට අනුව වෙනස්වෙමින් ඔවුනට ගැලපෙන අයුරින් සකස්වීම සිදු වේ. ප‍්‍රාථමික සංස්කෘතිය ගොඩනැගෙන අවස්ථාවේ දී ම නර්තනය ආරම්භ වන්නට ඇත. ප‍්‍රාථමික මිනිසා තම ගෝත‍්‍රයන්ගේ සුභසෙත ලඟාකර ගැනීම, දඩයම් සාර්ථක කරගැනීම, වර්ෂාව ලබාගැනීම, යුධ ජයග‍්‍රහණ ආදී අවස්ථා සැමරීමේ දී නර්තනය යොදාගන්නට ඇතැයි සිතිය හැකි ය. නැටුම ලෝකයෙහි පැරණිත ම කලාවන්ගෙන් එකක් යැයි මානව විද්‍යාඥයින් අදහස් කරන්නේ එහෙයිනි. සිංහල භාෂාවේ නැටුම් යන පදය දෙමළ භාෂාවේ නඩම් යනුවෙන් ද පාලි භාෂාවේ නච්ච යනුවෙන් ද හිංදි භාෂාවේ නච්චගානා, ප‍්‍රංශ භාෂාවේ දොන්සේ සහ ජර්මන් භාෂාවේ තන්ස් යනුවෙන් ද ව්‍යවහාර වේ. ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිස්තු පූර්ව යුගයේ පටන් නර්තනයට සවිශේෂත්වයක් හිමිව තිබූ බවට සාහිත්‍ය මූලාශ‍්‍රයවලින් තොරතුරු හමු වේ. සාහිත්‍ය මූලාශ‍්‍රයවලින් අනාවරණය වන තොරතුරුවල විශ්වසනීයත්වය තහවුරු කිරීම පුරාවිද්‍යාත්මක මූලාශ‍්‍රයවලින් සිදු වේ. පුරාතන ලංකාවේ නර්තනය පිලිබඳ අධ්‍යනයේ දී එය යුග කිහිපයක් යටතේ සිදුකළ හැකි ය. ප‍්‍රාග් බෞද්ධ යුගය, අනුරාධපුර යුගය, පොළොන්නරු යුගය, දඹදෙණි යුගය, ගම්පොල, කෝට්ටේ, මහනුවර, මාතර හා කොළඹ වශයෙනි. නමුත් ප‍්‍රමාණවත් පරිදි සත්‍යතා‌ෙවෙන් යුක්ත තොරතුරු ඉදිරිපත් කළ හැක්කේ අනුරාධපුර යුගයේ පටන් ය. මෙම ලිපිය තුළින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ ද අනුරාධපුර යුගයේ සාහිත්‍ය මුලාශ‍්‍රය සහ පුරාවිද්‍යා මුලාශ‍්‍රයවලින් හෙළිවන පුරාතන ලංකාවේ නර්තනය පිලිබඳවයි.

මුඛ්‍ය පද : කැටයම්, නර්තනය, රූකම්, වාමන රූප

සෞන්දර්යය විෂයන් අතර ප‍්‍රාසාංගික කලා යටතට ගැනෙන නර්තනයේ දී පරමාර්ථය වන්නේ අංග රංගනයෙන්, රූපණයෙන් හා භාව ලීලාවෙන් සන්දර්ශනය කිරීමයි. ලෝකයේ සෑම ජන කොට්ඨාශයකට ම පාහේ ආවේණික වූ නර්තන සම්ප‍්‍රදායන් දැකගත හැකි ය. සෑම කලාවකම පාහේ ආරම්භය කවදා කොතැනක දී ද යන්න නිශ්චිතව හඳුනාගෙන නැතත් මානව පරිණාමයේ සෑම අවස්ථාවක දීම නර්තනය යොදාගන්නට ඇතැයි සිතිය හැකි ය. ඔවුන් රිද්මයානුකූල චලන මඟින් තමන්ගේ අදහස් අන්‍යයන්ට ප‍්‍රකාශ කරන්නට ඇත. ප‍්‍රාග් ඓතිහාසික මානවයන්ගේ ක‍්‍රියාකාරකම් පිළිබඳව වැදගත් සාක්‍ෂි සපයනුයේ ගුහා සිතුවම් වලිනි. ගුහා සිතුවම්වලට තේමාව වී ඇත්තේ දඩයම් අවස්ථා හා විවිධ සතුන් ය (කැකුලන්දල 2014:3). ගුහා සිතුවම් හි මානව රූප දක්වා ඇත්තේ කෝටු ස්වරූපයෙනි. ඒවාහි දී චලනයන් දැක්වීමේ දී විවිධ ශිල්පක‍්‍රම යොදාගෙන ඇති අතර ඒ අතර නර්තන ඉරියව් ද දැකගත හැකි ය. ඉන්දියාවේ බිම්බෙට්කා ගුහා සිතුවම් අතර S හැඩයේ ශරීරය දැක්වෙන සිතුවම් මෙසේ නර්තන ඉරියව් දැක්වෙන අවස්ථා ලෙස ගත හැකි ය (කැකුලන්දල 2014:36).

ප‍්‍රාග් ඓතිහාසික යුගය ඉහළ පැලියොලිතික, මෙසොලිතික හා නියොලිතික වශයෙන් යුග වශයෙන් ගත් කළ මේ සෑම යුගයක දීම නර්තනය සම්බන්ධ සාධක දැකගත හැකි ය.

ඓතිහාසික යුගයේ නර්තන කලාව පිළිබඳව සාධක පැරණි ශිෂ්ටාචාර පිළිබඳව අධ්‍යනයේ දී ප‍්‍රබලව ම හමු වේ. ඉන්දු නිම්න, නයිල් නිම්න, ග‍්‍රීක රෝම ශිෂ්ටාචාරවල නර්තනයට වැදගත් තැනක් හිමිව තිබූ බව හමුවන රූකම් හා සිතුවම්වලින් පැහැදිලි වේ. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණ සිදුකර තිබුණ ද ගුහා සිතුවම් පිලිබඳ තොරතුරු හමුවන්නේ අල්ප වශයෙනි. ඒ අතුරිනුත් චලන ඉරියව් දැගකත හැකි සිතුවම් තන්තිරිමලය, බිල්ලෑව ස්ථානවලින් හමු වේ. බිල්ලෑව ගුහා චිත‍්‍රයේ පුද්ගලයින් දෙදෙනෙකු දක්නට ලැබෙන අතර ඔවුන් අත් වැලමිටින් නවා මදක් ඔසවා සිටියි. පාද වලින් ද චලන ස්වරූපයක් පෙනෙයි (Bandaranayake 2006:11).

ශී‍්‍ර ලංකාවේ නර්තන කලාව පිලිබදව අධ්‍යනයේ දී සාහිත්‍ය මූලාශ‍්‍රය මෙන් ම පුරාවිද්‍යාත්මක මූලාශ‍්‍රයන් උපයෝගී කරගත හැකි ය. සාහිත්‍ය මූලාශ‍්‍රයවලින් ලබාදෙන තොරතුරුවල විශ්වසනීයත්වය පුරාවිද්‍යාත්මක සාක්‍ෂිවලින් තහවුරු කරගත හැකි ය. මෙරට දියුණු සංස්කෘතියක ලක්‍ෂණ ගෙන ආ පළමු පිරිස වශයෙන් සැලකෙන්නේ විජය කුමරු ඇතුළු පිරිසයි. නමුත් ඊට පෙර ලංකාවේ දියුණු ශිෂ්ටාචාරයක් මෙන් ම මනුෂ්‍ය වාසයක් තිබූ බව ජන ප‍්‍රවාද තුලින් මෙන් ම ඉන්දීයාවේ සෘෂිවරයෙක් වන වාල්මීකී විසින් රචනා කර ඇති රාමායණය තුළින් ද පැහැදිලි වේ. රාමායණයට අනුව ලංකාවේ රජකළ රාවණා රජු සකලවිධ නර්තන කලාවන් හි කෙළ පැමිණි අයෙකි. ශිව තාණඩ් ස්තෝත‍්‍ර නම්වන සංස්කෘත කාව්‍ය රාවණ රජුගේ කෘතියක් යැයි කියැ වේ. එම කාව්‍යයේ ගායන ඇසූ ඊශ්වර තමා දත් සියලු නර්තන රාවණ රජුට කියා දුන් බව ද ජනප‍්‍රවාදයේ පැවතේ (විජයමාලා මැණිකේ 2010:22). නමුත් මෙම තොරතුරු සනාථ කරගත හැකි පුරාවිද්‍යාත්මක මූලාශ‍්‍රය හමු වී නොමැත.

විජය කුමරු මෙරටට පැමිණෙන අවස්ථාව වනවිටත් මෙරට නර්තන කලාවක් තිබූ බවට යම් ඉඟියක් වංසකථාවෙන් සපයාගත හැකි ය. විජයකුමරු ලක්දිවට පැමිණි දින කුවේණිය සමඟ නිදමින් සිටිය දී තූර්යවාද සහිත ගී හඬක් ඇසී ඒ පිළඳව කුවේණියගෙන් විමසූ අවස්ථාවේ දී ”මේ දිවයිනෙහි සිරිසවත්ථු නම් නගරයක් ඇත. එහි මහාකාල නම් රජුගේ සහ පෝලමිත්තාවගේ විවාහ උත්සවයෙන් නැගෙන සංගීත හඬ” බව ඇය පැවැසූ බව දැක්වේ (ඉලංගසිංහ 2007:133). මෙහි නර්තනය පිළිබඳව සඳහන් නොවූව ද ඔවුන් සංගීතයට අනුව නර්තනයේ යෙදෙන්නට ඇත. ඉතිහාසයේ සඳහන් වන ආකාරයට වැද්දන් පැවතෙන්නේ මෙම යක්‍ෂ ගෝත‍්‍රිකයන් ගෙනි. වැදි ජනතාවගේ සංස්කෘතිකාංගවල නර්තනයට වැදගත් තැනක් හිමිවන අතර ඔවුන් නෑයකුන් වෙනුවෙන් නැටුම්, ගැයුම්, වැයුම් පවත්වමින් පූජා පැවැත්වීම දැකගත හැකි ය. ඔවුන්ගේ නැටුම් අතර කිරි කොරහ, හැත්මෙ නැටුම, නෑයකුන් මඩු, බත් යහන් මඩු නැටුම, ආදී වශයෙන් නැටුම් කිහිපයක් ම දැකගත හැකිය (සෝමසුන්දර 2007:183-185). මෙම නැටුම් යක්‍ෂ ගෝත‍්‍රිකයන්ගේ කලාවට නෑකම් කියනවා යැයි සිතිය හැකි ය.

විජය කුමරුගෙන් පසුව රජ පැමිණි පඬුවස්දෙව් (පණ්ඩුවාසදේව) රජුට වැළදුන දිවි දෝෂයක් සුව කිරීම සඳහා කොහොඹා කංකාරීය කළ බව උඩරට නර්තන ඉතිහාසයේ දැක්වේ. තව ද පණ්ඩුකාභය රජුගේ (කි‍්‍ර.පූ. 437-367) අවධිය තුළ රජතුමා කාලවේල හා චිත්තරාජ යක්‍ෂයා සමඟ දෙව්මිනිස් නර්තන බැලූබව සඳහන් වේ (ඉලංගසිංහ 2007:180). නර්තනය සම්බන්ධ මූලාශ‍්‍රය අධ්‍යනයේ දී බොහොමක් තොරතුරු හමුවන්නේ බෞද්ධාගමික උත්සව අවස්ථාවල දී නර්තනය යොදාගත් අවස්ථා පිලිබඳව ය. සංඝමිත්තා තෙරණය ජය ශ‍්‍රීමා බෝධිය වඩම්වන අවස්ථාව විස්තර කරන වංසකථාකරුවන් දෙවියන් සහ මිනිසුන් ආතතවිතතාදී සංගීත භාණ්ඩ වයමින් නටමින් ගයමින් සතුටින් අත්පොලසන් දුන් බව සඳහන් කර තිබේ (දීපවංසය 1997:156). කාවන්තිස්ස රජතුමා ”මිණි කොඩොල් රසන්දම් වළලූ ආදී නානාවිධ විචිත‍්‍රාලංකාරයෙන් සැරසුණා වූ එසේ ම කොශ්‍යෙයාදී නානාවිධ වස්ත‍්‍රයන්ගෙන් ප‍්‍රතිමණ්ඩිත වූ පක්‍ද්චාංගික තූර්යය ගත් අත් ඇති දිව්‍යාප්සරාවන් සමාන වූ නාටක ස්ත‍්‍රීන් පිරිවරන ලදුව මහජනයා සමඟ චෛත්‍යස්ථානයට ගොස් …” චෛත්‍ය ආරම්භක ස්ථානයට පුද පූජා පැවැත් වූ බව ධාතුවංසයේ සඳහන් වේ (ධාතුවංසය 1961:82).

අනුරාධපුර යුගයේ නර්තනය වාද්‍ය භාණ්ඩ සහ රංගවස්ත‍්‍රාභරණ පිළීබඳව වැදගත් සටහනක් රුවන්වැලිසෑය බඳනා සිදුවීම විස්තර කරන ථූපවංස සහ මහාවංස තොරතුරුවලින් හමු වේ. එහි විස්තර කර තිබෙන ආකාරයට, ”කනක, කටක, රසන, නූපුර, තාඩංග, පාදාඕගුලි, පාදපට, පස් පෙරහර, එක්වැටි, පා මුදු, පා සළඹ, පා පියුම්, දෙපට විද්‍යා, ඔරවසුම්, රන් සවඩි, මණිකයි වඩම්, රත්තන පට, මුතු පට්ටොඩම්, පමුතුලිංගම්, කාදු, කාප්පු රුවන් තෝඩු, සිරිකත් තොණ්ඩමාල්, මේ ආදී ආභරණ පලන් සුජාතා නම් දිව්‍යාංගනාව සමාන වූ සොළොස් දහසක් නාටක ස්ත‍්‍රීන් පිරිවරා සක්දෙව් රජුමෙන් තමන්ගේ ශ‍්‍රී සම්පත්තියෙන් බොහෝ දෙනා සතුටු කරමින් ගැටබෙර, පණාබෙර, එකැස්බෙර, මිහිඟු බෙර, දද්දර, පටහ, ලොහොබෙර,තලප්පර, විරන්දම්, උඩැක්කි, තම්මැට, රණරඟ ඝොෂා, සමුද්‍ර ඝොෂා, ඩෞර සිත්නම් යන මෙකී භෙරී ජාතීන් ද රන් සක්, රිදී සක්, ජය සක්, රුවන් සක්, රන් සින්නම්, රිදී සින්නම්, රුවන් සින්නම්, රන් දාරා, රිදී දාරා, දළහන්, ලෝහන්, ගවරහන්, විජයෝධ්වනි, ඔත්තු තන්තිරි, පටසරි මෙකී කාහළ ජාතීන් ද නකුල වීණා, භෟංග වීණා, ක්‍ෂුද්‍ර වීණා, ආලවත්ති, වඕගි, වස්ද`ඩු, මේ ආදී නාදයෙන් ද යුගන්ධර පර්වත සමීපයෙහි සාගර නාදයක් මෙන් මහත් වූ යශශ්ශ‍්‍රීන් මහත් වූ පෙරහරින් පස්වරු දාගැබ බදිනා ස්ථානයට නික්මුණේය” (ථූපවංසය 61). රජතුමා චෛත්‍ය බඳනා ස්ථානයට යෑම මෙලෙස වර්ණනාත්මකව දැක්වීමට නම් කර්තෘවරයා මෙවැනි වර්ණනාත්මක සිදුවීමක් සියැසින් දැක තිබෙන්නට ඇතැයි සිතිය හැකි ය.

දුටුගැමුණු රජුගෙන් පසුව රජ පැමිණි රජවරුන් විසින් රුවන්වැලිසෑයට සිදු කරන ලද පූජා විස්තර කරන වංසකතා කර්තෘවරු විවිධ නැටුම්ගැයුම් සහිත පූජාවන්ගෙන් මහාසෑය වන්දනා කළ බව දක්වා තිබේ. මෙම සාහිත්‍ය මූලාශ‍්‍රයවල සඳහන් තොරතුරුවල විශ්වසනියත්වය තහවුරු කිරීමෙහි ලා පුරාවිද්‍යාත්මක මූලාශ‍්‍රයවලින් මහත් පිටිවහලක් ලැබේ. පුරාවිද්‍යාත්මක මූලාශ‍්‍රය වශයෙන් ශිලාලේඛන, රූකම්, මූර්ති, සිතුවම් ආදිය ගත හැකි ය.

ක‍්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ මහින්දාගමනයෙන් පසුව මෙරට අක්‍ෂර කලාව බිහි වූ බව පිලිගැනීමයි. භික්‍ෂුණ්වහන්සේලා උදෙසා ලෙන් සකස්කර පූජා කිරීමේ දී එය පූජා කළ පුද්ගලයින් පිළිබඳව ලෙනේ කටාරයට පහළින් සඳහන් කර තිබීම එකල ජනප‍්‍රිය අංගයක් වූ බව සෙල්ලිපි අධ්‍යනයේ දී පැහැදිලි වේ. එම සෙල්ලිපි තුළින් එකල සමාජය පිළිබඳ වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගත හැකිවීම ඒතුළ ඇති විශේෂ කරුණයි. විවිධ ක්‍ෂේත‍්‍රයන් පිළිබඳව දැක්වෙන සටහන් අතර සෞන්දර්යය ක්‍ෂේත‍්‍රය තුළින් සමාජය පෝෂණය කළ අය පිළිබඳව එනම්, කාව්‍ය, නාට්‍ය, චිත‍්‍ර, ලේඛක, ක්‍ෂේත‍්‍රවල ශිල්පීන් පිළිබඳව නැට්ටුකන්ද, මැදගම විහාර, සැස්සේරුව, බිල්ලෑවේගල, විලේවැව ආදී ලිපිවලින් හෙළිදරව් වේ. එයින් සැස්සේරුව ලිපිවල ගපති නඩ චුඩහ ගප (ත)න සමුදය නට චලූය ක්‍ධිත ගෘහපති නළු චුඩගේ ස්වාමි දියණිය වූ සමුදය නළු චලූගේ දියණියයි (IC vol. I No 1005:78).

ශොබිකනග ක(මි)න මරුමකන නට චුලහ ලෙනෙ අගත අනගත චතුදිස සගස

නට චුලහ ක්‍ධිත නට සමුදය (ඣය) සමුදය (IC vol. I No 1005:79)

මැදගම ලිපියේ නඩ තිසහ බරිය පරිමකලි හුමනය ලෙනෙ (නළු තිස්සගේ භාර්යාව ස්ත‍්‍රී ප‍්‍රධානී සුමනගේ ලෙනයි) (IC vol. I No 910:71). මෙම සෙල්ලිපිවල නඩ, නට යනුවෙන් සඳහන් වන්නේ නර්තන ශිල්පීන් බව විද්වතුන්ගේ අදහසයි. නර්තන ශිල්පිනියන් පිළිබඳව මෙම සෙල්ලිපිවල සඳහන් නොවුනත් බොහෝ සාහිත්‍ය මූලාශ‍්‍රවල නාටක ස්ත‍්‍රීන් පිළිබඳව සඳහන් වීමෙන් පිරිමින් මෙන් ම කාන්තාවන් ද එම ක්‍ෂේත‍්‍රය තුළ රැදී සිටිබව පෙනෙයි.

පුරාතන ලංකාවේ නර්තනය පිලිබඳව හැදෑරීමේ දී සිතුවම්වලින් ලැබෙන්නේ අඩු දායකත්වයකි. අනුරාධපුර යුගයට අයත් සිතුවම් බොහොමයක් විනාශ වී තිබීම එයට මූලිකම හේතුව විය හැකි ය. අනුරාධපුර යුගයේ සිතුවම් ශේෂව ඇති වෙස්සගිරිය, සීගිරිය, මිහින්තලේ ධාතු ගර්භ සිතුවම් සහ මහියංගන ධාතු ගර්භ සිතුවම් වල නර්තන අවස්ථාවන් ම නොවුනත් ඉරියව්, මුද්‍රා පිලිබඳව අදහසක් ලබාගත හැකි ය. අනුරාධපුර වෙස්සගිරියේ ගුහා සිතුවම් අතර ගුවනේ සිටින පිරිමි රූපයක් (flying male figure) සිතුවමක් වේ (Bandaranayake 2006:34). මෙහි දකුණු අත හිසට ඉහළින් ඔසවා වැලමිටින් නවා හිස දෙසට කර ඇත. දකුණු පාදය දණහිසින් නවා ඇත. වම් අත සහ පාදය පිහිටීම පැහැදිලි නැත.

අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරයේ තැම්පත් කර ඇති ක‍්‍රිස්තු  වර්ෂ 9-11 සියවස්වලට අයත් යැයි සැලකෙන මහියංගන ධාතුගර්භ සිතුවම් හි මාර යනුවෙන් හැදින්වෙන සිතුවමෙහි ඉහළ වීණාවක් වයමින් දණහිස් දෙකම නවා ඇති ඉරියව්වක් දක්වන සිතුවමකි. ඇය නර්තනයේ යෙදෙමින් වීණාව වයනවා විය හැකි ය (Bandaranayake 2006:65). ක‍්‍රිස්තු වර්ෂ අටවන සියවසට අයත් යැයි සැලකෙන මිහින්තලේ ධෘතු ගර්භ සිතුවම් අතර වළාකුළු අතර හිඳ නර්තනයේ යෙදෙන දෙවියන් පිරිසකගේ සිතුවමක් වේ (Bandaranayake 2006:76). ථුපවංසයේ දුටුගැමුණු රජතුමා රුවන්වැලි ස්තූපයේ ධාතු ගර්භය නිර්මාණය කළ ආකාරය විස්තර කිරීමේ දී ” … දොහොත් මුදුන් දී සිටිනා දෙවියන් ද රන් කළස් ගෙන සිටිනා දෙවියන් ද රුවන් කළස් ගෙන සිටිනා දෙවියන් ද නටනා දෙවියන් ද බොර ගසනා දෙවියන් ද … ආදී දෙතිස් දිව්‍ය පුත‍්‍රයන් ධාතු ගර්භයේ සත්රුවනින් කළ බව” දැක්වෙන අතර මිහින්තලේ දේවතා රූප එවැනි නටනා දෙවියන් දැක්වීමක් විය හැකි ය.

අනුරාධපුර යුගයේ සිතුවම් කලාවේ අග‍්‍රගණය සිතුවම් සේ සැලකෙන සීගිරි සිතුවමිහි නර්තනය පිළිබද තොරතුරු හමු නොවුන ද සිගිරි ලලනාවන් සමහරකගේ දෑත්වල දැක්වෙන මුද්‍රා භරත නාට්‍යම් හි එන මුද්‍රාවලට බොහෝ සමාන ය.

පුරාවිද්‍යාත්මක මූලාශ‍්‍රයක් වශයෙන් කැටයම්, මූර්ති වැනි රූකම්වලට වැදගත් තැනක් හිමිවන අතර අනුරාධපුර යුගයේ නර්තන කලාව පිළිබඳ වැදගත් තොරතුරු රැසක් ඒ හරහා හඳුනාගත හැකි ය. නර්තනය පිළිබඳ තොරතුරු රැසක් විහාරාරාම ආශ‍්‍රිතව දක්නට ලැබෙන වාමන රූ කැටයම් වලින් අනාවරණය වේ. වාමන, ගණ, බහිරව යන නම්වලින් හඳුන්වන මෙම පිරිස යම් යම් දේ ආරක්‍ෂා කරන පහත් කොට්ඨාශයක් බව විද්වතුන්ගේ අදහසයි (සුරවීර 2002:110). මොවුන් ”‍ෙභෙරවගේ දරුවෝ ය” යනුවෙන් අදහසක් ද ඉදිරිපත්ව තිබේ (විජේසේකර 1970:186). කණු හිස්වල හා ආයක කැටයම්වල දක්නට ලැබෙන මෙම කුඩා ගණරූපවල බොහෝ නර්තන ඉරියව් දක්නට ලැබේ. රුවන්වැලිසෑය වැලිමළුවේ උතුරුපස තැම්පත් කර ඇති පුරාවස්තු අතර ආයක කැටයම් කිහිපයක් තැම්පත් කර ඇත. මෙම කැටයම් පුවරුවල සිංහ කැටයම් සමඟ වාමන රූප කැටයම් දක්නට ඇති අතර එම කැටයම්වල පැහැදිලි නර්තන ඉරියව් දැකගත හැකි ය.

තව ද මහාවිහාර ව්‍යාපෘතියේ එළිමහන් පුරාවස්තු ගබඩාවේ තැම්පත් කර ඇති ආයක කැටයම් අතර වාදන භාණ්ඩයක් සමඟ සිටින වාමන කැටයමක් ද වේ.

මෙම කැටයම් හි නර්තනයේ යෙදෙන වාමනයන් ප‍්‍රිතිමත් මුහුණුවලින් දක්වා ඇති අතර ඔවුන් නටමින් වයමින් සිටින ආකාරය නිරූපණය වේ.මීට අමතරව දුවනඉරිව් දැක්වෙන කැටයම් කිහිපයක් ද වේ. ඒවාහි වාමන කැටයමේ එක් අතකින් සංඛයක් වැනි යමක් අතින් අල්වා සිටින බවක් ද පෙනෙයි. අනෙකේ වාමන රුව අතෙහි නාගයෙකුගේ කැටයමක් වේ. එය අතින් අල්වා සිටින බවක් පෙණුන ද එය පැහැදිලි නැත. මෙම කැටයම් වලින් ද නර්තන අවස්ථා නිරූපණය වනවා විය හැකි ය.

මෙම ආයක කැටයම් පුවරුවලට අමතරව කුළුණු හිස්වල හඳුනාගත හැකි ය. සිටින වාමන රූප දක්නට ලැබෙන කැටයම් හි ද නර්තන ඉරියව් දැකගත හැකි ය. මෙම කැටයම්වල සිව් දිශාවෙම නර්තනයේ යෙදෙන වාද්‍ය භාණ්ඩ වාදනය කරන කැටයම් වේ. ලෝවාමහාපායෙහි ඇති මෙවැනි නර්තනයේ යෙදෙන වාමන රූ පෙළ පිළිබඳ අදහස් ඉදිරිපත් කරන චාල්ස් ගොඩකුඹුර මහතා ඉන් නිරූපණය වනුයේ ගණ රූප මධ්‍යයේ සිටින ගණ ප‍්‍රධානියෙකු සතුටු කිරීමට කරන ලද නැටුමක් බව යි (කැකුලන්දල, 2014:87) .

මෙම වාමන කැටයම් වලට අමතරව නර්තනයේ යෙදෙන මානව රූ දැක්වෙන කැටයම් පුවරු කිහිපයක් ද දැකගත හැකි ය. ජය ශ‍්‍රී මහා බෝධිය පිට ප‍්‍රාකාරය බටහිර කොටස සංරක්‍ෂණයේ දී ගල් පුවරු ගලවා ඉවත් කරන අතරතුර හමු වූ නාටිකාංගනාවක් සහිත කැටයම් පුවරුව මෙහි දී වැදගත් වේ.

මෙහි දැක්වෙන නාටිකාංගනාවගේ පාද භරත නාට්‍යම් හි නෙඩෙ නමැති චාරී අඩව් හි තකි– ට යනන්ට අනුව තබා සිටින බවක් පෙනෙයි. වමත වැලමිටින් නවා ඇති අතර එයින් පතාක හස්ත මුද්‍රාව නිරූපණය වේ. දකුණු අත භරත නාට්‍යම්හි මූලික අත් පිහිටීම අනුව සෘජුව දිගුකරගෙන සිටියි. හිස දකුණුපසට බර කර වම්අත දෙස බලා සිටින බවක් පෙනෙයි. හිසකේ විසිර ඇති බව පෙනෙයි. රංගවස්ත‍්‍රාභරණ පැහැදිලි නැතත් ඉනෙහි බඳ පටියක් ඇති බව පෙනෙයි. පිට ප‍්‍රාකාරය ඉදිකිරීමේ දී අවට ගොඩනැඟිිලිවලට යොදාගත් ගල්පුවරු ආදිය යොදාගෙන ඇති බව පෙනෙන අතර මෙම කැටයම් පුවරුව ද එසේ වෙනත් ස්ථානයකින් ගෙනවිත් ප‍්‍රාකාරයට සම්බන්ධ කරන්නට ඇතැයි සිති ය හැකි ය.

අභයගිරිය, ජේතවන ස්තුපවල ආයකවල ද නර්තන ඉරියව් දැක්වෙන මානව කැටයම් කිහිපයක් දැකගත හැකි ය. ජේතවන ස්තූපයේ බටහිර ආයකයේ කල්ප වෘක්‍ෂය දැක්වෙන කැටයමෙහි ඉහළ නර්තන ඉරියව්වේ සිටින මානව රූප තුනකි. ඉන් මධ්‍යයේ සිටින මානවයා උඩරට නැටුමේ මූලික ඉරියව්ව වන මණ්ඩියේ ආකාරයට සිටින අතර දෑත් ඉහළට ඔසවා සිටියි. දෙ පස සිටින දෙ දෙනාගෙන් එක් අයෙකු දකුණු අත මඳක් ඔසවා සිටින දකුණු පාදය මත තබා සිටියි. ඔහු මධ්‍යයේ සිටින පුද්ගලයා දෙස බලා සිටින අතර වම් අත ඉහළට ඔසවා සිටියි. මධ්‍යයේ සිටින පුද්ගලයාට වම්පසින් සිටින පුද්ගලයාගේ රුව පැහැදිලි නැත. මොවුන්ගේ ඉරියව් හෝ වස්ත‍්‍රාභරණ පැහැදිලි නැත.

අභයගිරිය ස්තූපයේ උතුරු වාහල්කඩෙහි කල්පවෘක්‍ෂ කැටයමේ ද නර්තකයන් දෙ දෙනෙකු වන අතර ඔවුන දෙ පසට දුවන ආකාරයක් නිරූපණය වේ. කැටයම බොහෝ සෙයින් ගෙවී ඇති නිසා ලක්‍ෂණ පැහැදිලිව හඳුනාගත නොහැක. 1963 වර්ෂයේ දී අභයගිරියේ සිදුකරන ලද කැනීකින් ද නර්තනයේ යෙදෙන මානව රූප සහිත කැටයම් පුවරු කිහිපයක් හමු වී තිබේ (කැකුලන්දල 2014:90).

අනුරාධපුරයේ මිහින්තලේ කැටයම් අතර නර්තන ඉරියව් සහිත කැටයම් පුවරු හමුවන අවස්ථා කිහිපයකි. මහාදාඨික මහානාග රජතුමා විසින් (ක‍්‍රි.ව. 9-12) මිහින්තලා ප‍්‍රදේශය සංවර්ධනය කිරීමේ දී ”සෑගිරිපව්ව අවට යොදුනක් පමණ ප‍්‍රදේශය මනහර වීදියෙන් යුක්ත කොට සරසවා දොරටු සතරක් තනවා වීථි දෙපස සල්පිල් ඇතිකර තැන තැන ධ්වජ පතාකාදියෙන් සරසවා නැටුම් ගැයුම් වැයුම් ආදියෙන් යුක්ත කරවීය..” (ඉලංගසිංහ 2007:335) යනුවෙන් වංසකථාවේ දැක්වේ. මිහින්තලේ දක්නට ලැබෙන කැටයම්වලින් එම වංසකථා තොරතුරු සනාථ කරගැනීමට සාක්‍ෂි සපයා ගත හැකි ය. මිහින්තලේ කණ්ඨක චෛත්‍යයේ ඇති කැටයම් අතර ද නර්තන රූප කිහිපයක් ම දැකගත හැකි ය. ගණදෙවි රූපයක් මැදිකොට විවිධ භාණ්්ඩ වාදනය කරන වාමන රූප පෙළක කැටයමක් වේ. ගණ දෙවියන්ට කරන පූජාවක් හෝ පෙරහැරක් මෙයින් නිරූපණය වන බව විද්වත් අදහසයි.

මිහින්තලේ සිංහ පොකුණෙහි සිටගෙන සිටින සිංහ රූපයට ඉහළින් ඇති කැටයම් අතර ද නර්තනයේ යෙදෙන වාමන සහ කාන්තා රූප දක්නට ලැබේ.

මෙම රූකම්වලට අමතරව අනුරාධපුරමේ ඇතුළු නුවර මහාපාලි දානශාලාවට නැගෙනහිර සිදුකරන ලද කැනීම්වලින් පැතගි අණ්ඩාකාර පළිඟු මුද්‍රාවක් හමු වී ඇති අතර එහි මලක් වමතින් ගත් නිළියකගේ රුවක් කැටයම් කර ඇත. දකුණු අත ඉන මත තබා සිටි. මෙම මුද්‍රාව ක‍්‍රිස්තු වර්ෂ 4-5 සියවස්වලට අයත් යැයි ජෝන් මාෂල් පවසා තිබේ. මෙම මුද්‍රාව ග‍්‍රීක පර්සියානු මුද්‍රාවල පිරිහුණු අනුකරණයක් යැයි ද ඔහු පවසා තිබේ (පරණවිතාන 2014:70).

කුට්ටමපොකුණෙහි අඩිතාලමට යටින් හමු වූ ලෝකඩ නිළි රූපය නර්තන කලාව පිළිබඳ වැදගත් සාක්‍ෂියක් වශයෙන් ගත හැකි ය. මෙම මූර්තියෙහි දකුණු අතින් කටකාමුඛ මුද්‍රාව දැක්වෙන අතර වම් අත තරමක් ඉහළට ඔසවා ඇත. යටිකය ධෝතයකින් සැරසී සිටියි. කුණ්ඩලාභරණ, වළලූ, කරමාල, ඉන පලඳනා, නූපුර වැනි ආභරණ පැළැඳ සිටින බව පැහැදිලි ය (කැකුලන්දල 2014:97).

පතාක මුද්‍රාව කපිත්ථ මුද්‍රාව කටකාමුඛ මුද්‍රා

පුරාතන ලංකාවේ පැවැතියේ කුමන ආකාරයක නර්තන සම්ප‍්‍රදායක් ද යන්න අධ්‍යනයට නම් නර්තන අවස්ථා දැක්වෙන කැටයම්වල ඉරියව් සහ මුද්‍රා පිළිබඳව මෙන්ම රංගවස්ත‍්‍රාභරණ සහ වාද්‍ය භාණ්ඩ පිළිබඳව අවධානය යොමුකළ යුතු වේ.

නර්තනය පිළිබඳව අධ්‍යනයේ දී අවස්ථා කිහිපයක් සඳහා නර්තනය යොදාගත් බව පෙනෙයි. විවිධ උත්සව සඳහා මෙන් ම රාජමහාමාත්‍යාන්දීන් වෙනුවෙන් නර්තනය දැක් වූ අවස්ථා වශයෙනි (අමරසිංහ 2007:171). නර්තනය පිළිබඳ අධ්‍යනයේ දී ආගමික පසුබිම එයට වැදගත් තැනක් දී ඇති බව පෙනෙයි. මෙම නර්තන වල දී අලංකාර මෙන් ම සංකීර්ණ වූ ඇදුම්පැළැඳුම් මෙන් ම සංගීතය ද යොදාගෙන තිිබේ. මෙම නර්තන අවස්ථා අධ්‍යනයේ දී මුද්‍රා කිහිපයක් දැකගත හැකි ය. එම මුද්‍රා අතර කටකාමුඛ, පතාක, කපිත්ථ, ගජ හස්ත, අංජලී, වැනි මුද්‍රා බහුල ය. මෙම මුද්‍රා දකුණු ඉන්දියානු භරත නාට්‍යම් හි භාවිත කරන මුද්‍රාවන් ය. මෙම මුද්‍රා යොදාගනිමින් කිසියම් අදහසක් ප‍්‍රකාශ කරන අතර කටකාමුඛ මුද්‍රාවෙන් මල් කැඞීම, කපිත්ථ මුද්‍රාවෙන් සරස්වතී, ලක්‍ෂ්මී, මලක් අතින් ගෙන සිටිම, පතාක මුද්‍රාවෙන් සුළඟ, ගඟ, වළාකුළු ආදිය නිරූපණය වේ.

නර්තන ඉරියව් බොහොමක් දැකගත හැකි වාමන රූපවල මුද්‍රා පිළිබඳව පැහැදිලි අදහසක් ලබාගත නොහැකි ය. නමුත් වාමන කැටයම් හි දෑත් තබා සිටින්නේ සාම්ප‍්‍රදායික උඩරට නර්තන සම්ප‍්‍රදායේ දෑත් පිහිටුවන ආකාරයට ය. එක් අතක් ඉහළට ඔසවා අනෙක් අත වැලමිටින් නවා ඉදිරියට කර සිටීම, දෑත් දෙකම ඔසවා සිටිම වැනි ඉරියව් එහි දී බහුලව දැකගත හැකි ය. පාද තබා සිටින ඉරියව් ගත් කළ මානව රූ කැටයම් කිහිපයකම භරත නාට්‍යම් හි අරමණ්ඩිය සහ චාරී අඩව්හි තකිට යන්නට සමාන ආකාරයට තබා සිටිනු දැකගත හැකි ය. වාමන කැටයම් හි පාද කෙටියෙන් දක්වා ඇති නිසා ඉරියව් නිවැරදිව ම කිව නොහැකි නමුත් දකුණු පාදය තරමක් දිගුකර වම් පාදය දණහිසින් නවා සිටින බවක් පෙන්නුම් කරන අවස්ථා වෙයි. දුවන ඉරියව්වෙන් එක් පාදයක් ඉදිරියටත් අනෙක් පාදය පිටුපසටත් කර ඇති අවස්ථා ද වේ. තව ද මණ්ඩියට නැමී සිටින ආකාරයේ ඉරියව් ද සමහරක් කැටයම් හි දැකගත හැකි ය.

මෙම ඉරියව් එකල පැවැති සාම්ප‍්‍රදායික නර්තන ඉරියව් වලින් උකහාගත්තා විය හැකි ය. නර්තනයේ දී ආහාර්යය අභිණය යටතට ගැනෙන රංගවස්ත‍්‍රාභරණ පිළිබඳව අධ්‍යනයේ දී ප‍්‍රාග් ඓතිහාසික ජන කොටස් ඔවුන්ගේ විවිධ අවශ්‍යතා නර්තන ඉදිරිපත් කිරිමේ දී යොදාගත් රංගවස්ත‍්‍රාභරන පිළිබඳ දෘශ්‍ය සාධක හමු නොවේ. පණ්ඩුවාසදේව රජු සමයේ ආරම්භ වූවා යැයි සැලකෙන කොහොඹා කංකාරියේ දී මලය රජුගේ සූ සැට ආභරණවලින් සැරසුන බව සඳහන් වන අතර වර්තමාන වෙස් ඇඳුම් කට්ටලය එයින් කොටසක් බව උඩරට නර්තන ඉතිහාසයේ සඳහන් වේ. සාහිත්‍ය මුලාශ‍්‍රය අධ්‍යනයේ දී ඓතිහාසික යුගයේ නර්තනවල දී භාවිත කළ රංගවස්ත‍්‍රාභරණ පිළිබඳව විචිත‍්‍ර වූ විස්තර ඉදිරිපත් කර තිබේ. ථූපවංස කතුවරයා දුටුගැමුණු රජු රුවන්වැලි සෑය බඳනා උත්සවයට සහභාගී වූ අවස්ථාව විස්තර කිරීමේ දී නාටිකාංගනාවන් ගේ ඇඳුම්පැළැඳුම් පිළිබඳව දක්වා ඇති විස්තරය දැක්විය හැකි ය. එහි දී දිව්‍ය අප්සරාවන්මෙන් නාටක ස්ත‍්‍රීන් සැරසී සිටි බව දක්වා තිබේ. එම තොරතුරු සනාථ කරගත් හැක්කේ දැනට ශේෂව ඇති කැටයම් හා රූකම්වල දක්නට ලැබෙන රංගවස්ත‍්‍රාභරණ වලිනි. වාමන රූ කැටයම්හි ඔවුන්ගේ් ඇඳුම් පිළිබඳව වැඩි විස්තරයක් නිරුපනය නොවුනත් ඔවුන් උඩුකය නිරුවත්ව යටිකය කෙටි ධෝතයකින් සැරසී සිටින බව පෙනෙයි. ඉනෙහි බඳ පටියක් දක්නට ලැබෙන අතර ඇඳුම්වලට සළු පොටවල් සහ නරු පොටවල් තිබූ බව ඇතැම් කැටයම් හි ඒවා විහිදමින් නටන අවස්ථා නිරුපණය වේ. ආභරණ පිලිබඳව දැක්වීමේ දී සරල අවස්ථාවේ සිට විචිත‍්‍ර ආභරණ දක්වා භාවිත කළ බව පෙනෙයි. කරමාල විවිධ හැඩයෙන් දක්වා ඇත. කේයුර, කුණ්ඩලාභරණ, මකුට, වළලු, සිලම්බු ආදිය හොඳින් නිරූපණය වන අවස්ථා වේ. කුණ්ඩලාභරණ ද ආකාර කිහිපයකින් දක්වා ඇත. කෙස්වැටිය කඩාගෙන සිටින අවස්ථා මෙන්ම අලංකාර කේෂාභරණ යොදාගෙන ඇති අවස්ථා ද වේ.

මානව රූ කැටයම් බොහෝ සෙයින් ගෙවී යාම නිසා ඇඳුම්පැලඳුම් පැහැදිලි නැතත් වළලුකර දක්වා දිගට වස්ත‍්‍ර ඇද ඇති ආකාරය මෙන් ම එක් කකුලක වළලුකර දක්වා ද අනෙක් කකුලේ දණහිස මට්ටම දක්වා ද ඇඳුම් ඇද ඇති බව පෙනෙන අවස්ථා වේ. ස්ත‍්‍රී පුරුෂ දෙපක්‍ෂයටම මෙය පොදු ය. මහාපාලිදාන ශාලාව අසලින් හමු වූ මුද්‍රාවේ අලංකාර හිස් වැසුමක් දක්නට ලැබේ. එය අලංකාර කේෂාභරණයක් විය හැකි ය. කුට්ටම්පොකුණෙන් හමු වූ නාටිකාංගනාවගේ වස්ත‍්‍රාභරණ භරත නාට්‍යම් හි වස්ත‍්‍රාභරණවලට සමාන ය. සාහිත්‍ය තොරතුරු අනුව ගත්කළ නර්තනයේ දී වෙනත් අවස්ථාවලට වඩා විචිත‍්‍රවත් අලංකාර අයුරින් නර්තන ශිල්පීන් සැරසී සිටින්නට ඇත.

නර්තන අවස්ථා දැක්වෙන බොහොමයක් අවස්ථාවල වාද්‍ය භාණ්ඩ ද ඒ සමඟ දක්වා තිබේ. නර්තනයේ දී වාද්‍ය භාණ්ඩ අනිවාර්යය වන්නට ඇත. බෙර වයමින්, නලා පිඹිමින් වීණා වයමින් නර්තනයේ යෙදුන බව සාහිත්‍ය මූලාශ‍්‍රය මෙන් ම පුරාවිද්‍යාත්මක මූලාශ‍්‍රය ද සාක්‍ෂි දරයි. බටනලාව, හක්ගෙඩිය, උඩැක්කිය, තාලම්පට, බුම්මැඩිය, ගැටබෙරය, පහතරට බෙරයට සමාන බෙර, වීණාව මෙම සංගීත භාණ්ඩ අතර පැහැදිලි ව හඳුනාගත හැකි ය. මෙරට නර්තනයේ ආරම්භය පිළිබඳ පිළිගත් අදහසක් නොමැති වූවත් සිංහල යක් නැටුම් වැද්දන්ගෙන් අනුකරණය කොටගත් බවත් එම නැටුම් ලංකාවේ යක්‍ෂ ගෝත‍්‍රිකයන්ගෙන් පැවැත එන බවත් පර්ටෝල්ඞ් පඬිවරයාගේ අදහස වී තිබේ (කුලතිලක 2014:81). පුරාවිද්‍යාත්මක මූලාශ‍්‍රයවලින් සනාථ නොවුණ ද අද දක්වාම පැවැත එන උඩරට නර්තන සම්ප‍්‍රදායේ උපත පඩුවස්දෙව් රාජ්‍ය සමය දක්වා ඉතිහාසයට යන බව සඳහන් වේ. මෙහි දී ගීමඩු පුරාණය නම් පුස්කොළ පොතේ දැක්වෙන ආකාරයට පඩුවස් දෙව් රජුට ගී මඩු ශාන්ති කර්මය සිදුකළ බවත් ඒ සඳහා යාග කරුවන් ලංකාවේ මලය රටින් එනම් මායා කඳු ප‍්‍රදේශයෙන් වර්තමාන සිංහරාජ අඩවියේ උතුරු පෙදෙසින් ගෙන්වාගත් බවත් ය. මෙහි දී යොදාගත් වලල් වෙස් ඇදුම වර්තමානය දක්වාම සබරගමු ප‍්‍රභූ පවුල්වල රැුකියාව බව ද දැක්වේ. විජය ලංකාවට පැමිණෙන විටත් මෙරට නර්තනය තිබූ බව සනාථ වන අතර යක්‍ෂ ගෝත‍්‍රිකයන්ගෙන් පැවැත එන වැද්දෝ කිසිවිටක ආර්යයන් සමඟ මිශ‍්‍ර නොවූ අතර ඔවුන් ආර්යයන්ගේ සංස්කෘතිකාංග අනුකරණය නොකරන්නට ඇත. ඔවුනගේ සංස්කෘතිය අනුව නිර්මාණය වූ කලාවන් ද මෙරට පවතින්නට ඇත. මෙරටට පැමිණි ආර්යයන්ගේ සංස්කෘතිය ද මෙරට සමාජයට අන්තර්ග‍්‍රහණය වන්නට ඇතැයි සිතිය හැකි ය. මෙරටට පැමිණෙන විජයගෙන් පසුව විවිධ අවස්ථාවල දකුණු ඉන්දියාවෙන් බොහෝ පිරිසක් ලංකාවට පැමිණි අතර ඔවුනගේ සංස්කෘතිකාංග ද ඒ සමඟ පැමිණෙන්ට ඇති බව පිලිගත යුතු ය. පසු කාලීනව මෙරට නිර්මාණය වූ කැටයම්වල දකුණු ඉන්දීය ආභාෂය මෙන් ම ස්වදේශිය අනන්‍යතාව ද දැකගත හැකිවීම එයට හේතුවයි. උඩරට ගැටබෙරය, පහතරට යක් බෙරය, වස්දඬුව ආදිය ඉන්දීය අනුකරණ නොව ඒවායේ ස්වාධීන ලක්‍ෂණ ගණනාවක් දැකගත හැකි ය (කුලතිලක 2014:82) . නමුත් දෙවියන්ට ප‍්‍රියවන ඝණ්ඨා, සක් නාද යක් නැටුම්වල නැත් අතර ඒවා ඉන්දීය දේව සංකල්ප අනුව මෙරටට ලැබෙන්නට ඇත. පහතරට යක් බෙරය එනමින් පැරණි මූලාශ‍්‍රයවල සඳහන් නොවන අතර පණා බෙරය යනුවෙන් සඳහන් වන්නේ එය යැයි විශ්වාස කෙරේ. මෙම බෙරය මැලේසියාවෙන්, ජාවා රටෙන් මෙරටට ලැබුණ බව විද්වත් අදහසයි (කුලතිලක 2014:82). වස්දඬුව, බටනලාව මෙරට වාද්‍ය භාණ්ඩ අතර දැකගත හැකි ය. වස්දඬුව මංගර දෙවියන් පිලිබද කථාවේ දී ඔහුට නැවැත ප‍්‍රාණය ලබාගන්නට භාවිත කර ඇත. එය පැරණි ඊජිප්තු වැසියන් පවා විශ්වාස කළ දෙයක් බවට සාධක තිබේ. ඉන්දීය ආභාෂය අනුව බටනලාව වයන්නේ කාමෝද්දීපනය ඇති කිරිම සඳහා ය (කුලතිලක 2014:87). ලෝවාමහාපායෙන් හමු වූ ගණ රූප අතර ඇති උඩැක්කිය ශිව දෙවියන්ගේ නටරාජ රූපවල එන ඩමරු නමින් හැදින්වෙන භාණ්ඩයට සමාන ය. එහි ම දැක්වෙන කුම්භ බෙරය ද මෘදංගයට සමාන ය. එය අමරාවතී කැටයම් අතර ද දැකගත හැකි ය. මේ අනුව පැහැදිලි වන්නේ එම සංගීත භාණ්ඩවලට දකුණු ඉන්දීය ආභාෂය ලැබුණ බවයි. එසේ ම භරත නාට්‍යම් මුද්‍රා, ඉරියව්, වස්ත‍්‍රාභරණ පැහැදිලිවම දැකගත හැකි මූර්ති හමුවීම තුළ නර්තනය සඳහා දකුණු ඉන්දීය ආභාෂයත් ලැබුණ බව පැහැදිලි ය.

ආශ‍්‍රිත ග‍්‍රන්ථ හා ‌ලේඛන නාමාවලිය

  • අමරසිංහ, මාලිංග (2007), පැරණි ලක්දිව වස්ත‍්‍රාභරණ, දයාවංශ ජයකොඩි සහ සමාගම, කොළඹ.
  • ඊරියගම, තිස්ස (2006), සිංහල විශ්වකෝෂය, සංස්කෘතික දෙපාර්තමේන්තුව.
  • කරුණාතිලක, ඩබ්.ඇස්. (1989), සිංහල ථූපවංසය, ඇම්.ඞී ගුණසේන සහ සමාගම කොළඹ.
  • කහඳවආරච්චි , චන්ද්‍රදාස (1997), සිංහල දීපවංසය (සංස්), ඇස්.ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
  • කැකුලන්දල, කෝෂලී (2014), ලක්දිව පැරණි නර්තන කලාව, සමන්ති පොත් ප‍්‍රකාශකයෝ, ජා ඇල.
  • කුලතිලක, සී.ඇස්. (2014), ශී‍්‍ර ලංකාවේ සංගීත සම්භවය, ඇස්.ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
  • දිසානායක, මුදියන්සේ (2002), කොහොඹා කංකාරිය සහ සමාජය, ඇස්.ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
  • පරණවිතාන, සෙනරත් (2014), පුරාවිදු පරියේෂණ, විසිදුණු ප‍්‍රකාශකයෝ, බොරලැස්ගමුව.
  • පරණවිතාන, සෙනරත් (2009), පුරාවිදු ලිපි මාලා, සී/ස ස්ටැම්ෆර්ඞ් ලේක් (පුද්ගලික) සමාගම
  • බණ්ඩාර, නිලත්ති (2008), පුරාණ ලංකාවේ සමාජය(බ‍්‍රාහ්මී ශිලා ලේඛණ ඇසුරින්), කඩුල්ල ප‍්‍රකාශන, කඩවත.
  • රාජපක්‍ෂ, වෛද්‍යවතී (2002), බෞද්ධ පූජා සහ භේරි වාදන සංස්කෘතිය, ඇස්.ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
  • ශ‍්‍රී සුමේධංකර හිමි, දඹගස්ආරේ (1961), ධාතුවංසය, රුවන් මුද්‍රණාලය, කොළඹ
  • සරත්, ලයනල් (2006), පැරණි ලක්දිව සිංහල දෙමළ සබඳතා, ඇස්.ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
  • සුමංගල හිමි, හික්කඩුවේ සහ බටුවන්තුඩාවේ දේවරක්‍ෂිත (2006), මහාවංසය (ප‍්‍රථම භාගය) (සංස්), ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
  • සෝමසුන්දර, දයානන්ද (2007), හෙළදිව්වාසින් හා ආදිවාසින්, ඇස්.ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
  • Bandaranayake, Senaka The Rock and wall painting of Sri Lanka, 2006,Stamford pvt Ltd
  • Paranavitana, S. (1970), Inscription of Ceylon vol I , Department of Archaeology
  • Paranavitana, S. (1970), Inscription of Ceylon vol II, Department of Archaeology
-----------------------------------------------------------------------------
මෙම ලිපිය www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ 2018.10.30 වැනි දින ප‍්‍රකාශයට පත් විය.
------------------------------------------------------------------------------
Advertisements

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.