ආර්.එම්. අශානි දිලිනි රත්නායක

මානව ශාස්ත‍්‍ර හා සමාජ  විද්‍යා පශ්චාත් උපාධි  ආයතනය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය, පේරාදෙණිය.

ashanidilini@gmail.com 

1. හැඳින්වීම

අශානි දිලිනි රත්නායක

පුරාතන සමාජ ආර්ථික රටාවන් තුළ ‘ශ‍්‍රමය’ යන්න සඳහා නිශ්චිත වූ අර්ථ කථනයක් නොසැපයේ. නමුත් මෑත කාලීන මිනිසා හා ඔහුගේ දේශපාලන, සමාජ හා ආර්ථික ක‍්‍රියාදාමයන් පිළිබඳව විවිධ විග‍්‍රහයන් ඉදිරිපත්වීම හා සමගාමීව ‘ශ‍්‍රමය’ පිළිබඳව පුළුල් කතිකාවතක් ගොඩනැඟී ඇත. විද්වතුන් අවධාරණය කරන පරිදි  පුරාතන ලෝකයේ ශ‍්‍රමය හා නිෂ්පාදන කටයුතු පිළිබඳව විග‍්‍රහ කර පැවතියේ දේව-මිත්‍යා කථා ඇසුරිනි. එහි දී ජගත් මාතා දෙවඟන හා පුරුෂ දෙවියා ආදි සංකල්ප භාවිතයට ගත් බව විශ්වාස කෙරේ (ධම්මජෝති හිමි 2002:261).  ශ‍්‍රමය හා ශ‍්‍රම සූරා කෑම පීළිබඳව මෑත කාලිනව යථාර්ථවාදී විග‍්‍රහයක් කරන ලද්දේ කාල් මාක්ස් විසිනි. ඔහුගේ දාර්ශනික අදහස් තුළ ශ‍්‍රමය හා එහි භාවිතාව පිළිබඳ අවධාරණය කර තිබීම තුළින් පැරණි සමාජ ආර්ථික රටාවන් තුළ ශ‍්‍රම භාවිතාව හා සබැඳි සාධාරණ පිළිිවෙතක් නොතිබුණේ ද යන්න පිළිබඳව ගැටළු මතු වේ. එබැවින්, නූතන දෘෂ්ඨි කෝණයන්ට නැඹුරුව පුරාතන ඉන්දීය ආර්ථික ක‍්‍රමය තුළ, ශ‍්‍රමය භාවිතාවට ගත් අයුරු පිළිබඳව විග‍්‍රහ කිරීම සාධාරණ නොවේ. පුරාතන ඉන්දියානු සමාජ ව්‍යුහය, වර්ණ ධර්ම මත පදනම්ව ගොඩනැඟී පැවති සංකීර්ණ ස්වභාවයක් ගත් එකක් වන හෙයින් එකී සමාජයේ ආර්ථික ව්‍යුහය තුළ ශ‍්‍රමය යන්න අර්ථ දැක්වී ඇත්තේ කෙසේ ද, එය භාවිතාවට ගත්තේ කෙබඳු ආකාරයෙන්දැයි ප‍්‍රාථමික හා ද්විතීය මූලාශ‍්‍ර වල අන්තර්ගතයන්  පිළිබඳව අවධානය යොමු කරමින් විමසා බැලීම මෙහි දී සිදු කෙරේ.

2. පුරාතන ඉන්දියානු ආර්ථික ක‍්‍රමය තුළ ශ‍්‍රම භාවිතය

ඉන්දු නිම්න ශිෂ්ටාචාර අවධියේ පටන් ඉන්දීය ජනයා, එහි ආර්ථික ක‍්‍රියා පිළිවෙත් හා සමඟ සම්බන්ධ වන ආකාරය පිළිබඳව විවිධ සාධක දක්නට ලැබේ. වෛදික සාහිත්‍ය, උපනිෂද්, බෞද්ධ හා ජෛන සාහිත්‍ය, රාමායණය, මහා භාරතය සේම මනුස්මෘතිය, කෞටිල්‍ය අර්ථශාස්ත‍්‍රය වැනි න්‍යායික ග‍්‍රන්ථ මඟින් ද පුරාණ ඉන්දීය ආර්ථිකය තුළ ශ‍්‍රම  සාධකයෙහි ස්වභාවය හා ඒ හා සබැඳි විවිධ තත්ව පිළිබඳව දක්වා තිබේ. ඉන්දු නිම්න ශිෂ්ටාචාර සමය හා සබැඳි ඓතිහාසික තත්වයන් පිළිබඳව අධ්‍යනය ප‍්‍රධාන වශයෙන් පුරාවිද්‍යාත්මක සාධක මත පදනම්ව සිදුකෙරේ. එම සාධක වලට අනුව හරප්පා ශිෂ්ටාචාරය පිළිබඳව අවධානය යොමු කරන ලද විද්වත්හු, එහි විසූ ප‍්‍රධාන මානව කණ්ඩායම් හතරක් ලෙස පාලකයින්, වෙළෙන්දන්, ශිල්පීන්, ජනතාව හා සේවකයන් යන සිව් කොටස හඳුනාගෙන තිබේ. මෙම සේවකයන්, ශ‍්‍රමිකයන් හෝ වහලුන් විය හැකි බව විද්වතුන්හු දක්වති (ධීරානන්ද හිමි 2004:218). ජෝන් මාර්ෂල් විසින් මොහෙන්ජොදාරෝව ආශි‍්‍රතව සිදු කරන ලද කැනීම් ඇසුරින් අනාවරණය කරගන්නා ලද නටඹුන් අතර විශාල ගෘහයක් තුළ ඇති කුඩා කාමර දක්නට ඇති අතර, මේවා ශ‍්‍රමිකයන් වෙනුවෙන් වෙන්කළ ඒවා වන්නට ඇතැයි විශ්වාස කෙරේ.

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අදාළ නටඹුන් අතර වැදගත් තැනක් ගන්නා මහා ධාන්‍යාගාරය යැයි හඳුනා ගෙන ඇති ගොඩනැඟිල්ල අසල ඇති කුඩා ගොඩනැඟිලි පෙළ ද වහලුන්ගේ හෝ දාසයන්ගේ විය හැකි බවට මතයකි. මෙකී පුරාවිද්‍යාත්මක සාධක ඇසුරින් අදහස් පලකළ W. Ruben හරප්පාවේ වහලුන් වඩාත් යොදාගනු ලැබුවේ ධාන්‍ය වර්ග ඇඹරීමට බව දක්වයි. ඒ අනුව, ඇතැමෙක් ඉන්දු නිම්න ශිෂ්ටාචාර සමයේ පටන් ඉන්දීය සමාජයේ ශ‍්‍රමය භාවිතයට ගන්නා ලද්දේ වහල් ක‍්‍රමයක් මත පදනම්ව යැයි දැක්වීමට උත්සාහ දරා ඇති නමුත් ඒ පිළිබඳව නිශ්චිත සාධක නැත. ගී‍්‍රක හා රෝම ශිෂ්ටාචාරයන් හි අමානුෂික අකාරයෙන් කි‍්‍රයාත්මක වූ වහල් ක‍්‍රමය හා සම තත්වයක් ඉන්දු නිම්න ශිෂ්ටාචාර අවධියේ දි ශ‍්‍රමය භාවිතයට ගත් ආකාරය පිළිබඳව විමසීමේ දී ගම්‍ය නොවේ. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ඇති විශේෂත්වය අවධාරණය කරමින්, ශ‍්‍රමික පිරිස්වල දායකත්වය එහි නිර්මාණකරණයට  හේතු වු බව පැහැදිලි වෙතැයි ද වැටුප් ලත් ශ‍්‍රමිකයන්ගේ හා වහල් ශ‍්‍රමය ද සම කාලීන ශිෂ්ටාචාර වල මෙන් මෙම ශිෂ්ටාචාරය  තුළ ද භාවිතයට ගන්නට ඇතැයි ද විද්වත්හු දක්වති (එම). මින් පසු එළඹෙන ඍග් වේදයෙන් විස්තර කෙරෙන කාල පරාසය තුළ දාස යන වචනය පිළිබඳව පළමු වරට සඳහන්ව තිබේ. මෙහි දී දාස වශයෙන්, ආර්යයන් පළමුවෙන්ම ඉන්දියාව ආක‍්‍රමණය කළ විට ඔවුන්ගේ අණසකට යටත් වූ ජනකායෙන් කෙනෙක් නිරූපණය වෙන බව, බෂාම් දක්වා තිබේ (බෂාම් 1962:198). යුද්ධයෙන් අල්ලාගන්නා ලද හෝ ආර්යයන් විසින් පහත් මානසිකත්වයක් හිමි සතුරන් සේ සැළකු අනාර්යය කොටස් හැදින්වීමෙහිලා ‘දාස’ හා ‘දාසී’ යන ව්‍යවහරයන් භාවිත කර තිබේ. ඒ අනුව දාස යන්න වහලුන් සඳහා භාවිත කිරීමේ ආරම්භය ද ඍග්වේද යුගයේ දී ආරම්භව ඇති බව ප‍්‍රකට වේ. ඍග්වේදයට අනුව කාල වර්ණයෙන් යුත් මෙම පිරිස් ආර්යයන්ට වඩා ශරීර ස්වභාවයෙන් වෙනස් වීම ද මේ තත්වය සඳහා හේතුවී ඇති බව පෙනේ. උක්ත තත්වය ඉන්දීය වහල් මෙහෙයේ ප‍්‍රභවය සිදුවීමෙහිලා බලපෑමක් කරනට ඇතැයි, බෂාම් දක්වා තිබේ (එම). ඒ  අනුව ආර්යය හා අනාර්යය සංකල්පය ඉන්දීය සමාජ ආර්ථික රටාව හා බැඳි ශ‍්‍රම සාධකයෙහි ස්වභාවය හැඩගැස්වීමට බලපැම් කළ අයුරු විද්‍යාමාන වේ. ආර්යයන්ගේ පැමිණීමත් සමඟ උතුරු ඉන්දියාවට යළිත් සංචාරක ක‍්‍රම හා කෘෂි කාර්මික ක‍්‍රම භාවිත කළ සංස්කෘතියකින් නාගරික සංස්කෘතීන් තුළ ඇති වූ විකාශන ක‍්‍රියාවලියක් අත්දැකීමට සිදු වී තිබුණි (තාපර් 1973:23). ආර්යය ගෝත‍්‍ර වඩා ස්ථිර පරිදි ඉන්දියානු ප‍්‍රදේශ තුළ පදිංචි වීම නිසා ඔවුන්ගේ ප‍්‍රධාන ජීවන මාර්ගයක් වූ ගව රංචු පාලනය හා සබැඳි ක‍්‍රියාවලිය, කාෂිකාර්මික කටයුතු දක්වා වර්ධනය වීමකට බඳුන් විය. මේ හේතුවෙන් කෘෂිකර්මාන්තය හා සබැඳි මෙන්ම ඉන් පරිබාහිර වෘත්තීන් කෙරෙහි ඔවුනගේ අවධානය යොමු විය. ඒ අනුව වඩු කාර්මිකයන්, තඹ, ලෝකඩ හා යකඩ භාවිත කරන ලෝහ කම්කරුවෝ, කුඹල් කම්කරුවන්, සම්පදම් කරන්නවුන්, පන් වියන්නන් ආදි විවිධ වෘත්තීන්හි නිරත ශ‍්‍රමිකයන් රැසක් මේ අවධියේ දී ක‍්‍රමයෙන් ඉදිරියට ඒ. රොමිලා තාපර් අවධාරණය කරන පරිදි ඉහත දැක්වූ වෘත්තිකයන් තත් සමාජයේ ගරු කටයුතු පුද්ගලයන් මෙන්ම අත්‍යාවශ්‍ය සාමාජික කොටසක්ව ඇත (එම :24). ඒ අනුව තත්කාලීන සමාජය තුළ එකී වෘත්තීක ශ‍්‍රමය පිළිබඳව පැවති පිළිගැනීම ප‍්‍රකට වේ.

ආර්යයන් මුලින් ඉන්දියාවට පැමිණි විට ඔවුහු, රදළ පන්තිය, පූජකයින් හා සාමාන්‍ය ජනතාව වශයෙන් සමාජ පන්ති තුනකට බෙදී සිටියහ (එම:26). නමුත් වෛදික සාහිත්‍යයේ එන එක් සඳහනක, “මම වන්දි භට්ටයෙක් වෙමි, මා පියා වෙදෙකි. මා මව ඉරිඟු පිටි අඹරයි”, යනුවෙන් සඳහන් වීම තුළ තත්කාලීන ආර්ථික රටාව තුළ කාන්තාවන්ගේ ශ‍්‍රමය භාවිතයට ගැනීම යම් මට්ටමකින් පැවති බවත්, එය එකී සමාජයේ දක්නට පැවති සාමාන්‍ය තත්වයක් වන්නට ඇති බවත් අනුමානය කළ හැක. අථර්ව වේදයේ එන සඳහනකට අනුව, වහල්ලු හා වහල් ළමුන්ගේ ද ශ‍්‍රමය කෘෂිකර්මික ක්ෂේත‍්‍රයේ වැඩකටයුතු සඳහා යොදා ගත් බව කියැ වේ. නමුත් වෛදික යුගයේ වහලුන් ගැන අදහස් දක්වමින් ඩි.ඩි. කෝසම්බි ප‍්‍රකාශ කර ඇත්තේ, “ග‍්‍රීසියේ මෙන් ඉන්දියාවේ දාසත්වය වර්ධනය නොවූ බවත් මීට හේතු වශයෙන් ඔවුන් සතු වූයේ ගෝත‍්‍රික දේපලක් මිස පුද්ගලික දේපලක් නොවන බවත්ය”.

පැරණි ඉන්දියානු සමාජයේ පදනම ක‍්‍රමිකව චතුර් වර්ණ ධර්මයන් මත පදනම්ව සංකීර්ණත්වයට එළඹෙත්ම බ‍්‍රාහ්මණ, ක්ෂ්ත‍්‍රීය, වෛශ්‍ය හා ශුද්‍ර යන පිරිස් වෙත වෙන් වෙන් වූ සමාජ වරප‍්‍රසාද මෙන්ම ඒ හා සමගාමී ආර්ථික ක්ෂේත‍්‍රය හා සම්බන්ධ විය හැකි ඉඩප‍්‍රස්ථාවන්ද වෙන් වෙන් වශයෙන් ස්ථාපිත විය. වර්ණාශ‍්‍රම ධර්මයන් අනුව බ‍්‍රාහ්මණයන් හට ගොවිතැන් කිරීම ආදී රැකියා, ධර්ම ග‍්‍රන්ථවලට අනුකූලව අනුමත වූවක් නොවූ හෙයින් බ‍්‍රාහ්මණයන් හට ඍජුවම ආර්ථිකය හා සම්බන්ධ වීමට පැවති ඉඩ කඩ ඇසිර ගියේ ය. නමුත් ඔවුහු වක‍්‍රාකාරව ඒ හා සම්බන්ධ වෙමින් සිටි ජන කොටස් වල ශ‍්‍රමය භාවිතාවට ගනිමින් කෘෂිකාර්මික කටයුතු මෙහෙය වූ බව ප‍්‍රකට වේ. බ‍්‍රාහ්මණයෝ තමන් සතු විශාල වතුපිටි කුලී ගෙවා හෝ ප‍්‍රවේණි දැසි දසුන් ලවා හෝ ගොවිතැන් කරවා ගත් බව මූලාශ‍්‍ර වල සඳහන්ව තිබේ. එහෙයින් බොහෝ විට තම ශ‍්‍රම දායකත්වය ආර්ථිකය කෙරෙහි ඍජුව ලබා නොදුන් බ‍්‍රාහ්මණ ප‍්‍රජාව තමාගේ මූලිකත්වය මත වෙනත් ශ‍්‍රමිකයන් ලවා වැටුපට හෝ කෘෂිකාර්මික කටයුතු පවත්වාගෙන ගිය බව පෙනේ. ඒ අනුව, ක‍්‍රමයෙන් කුලී පදනම මත හා ප‍්‍රවේණී දාසයන් වශයෙන් ආර්ථික ක‍්‍රියාවලින් වෙත ශ‍්‍රමායෝජනය කරනු ලබන ප‍්‍රජාවක වර්ධනය  මේ අවධියේ පටන් ප‍්‍රකට වේ.

සමාජයේ දෙ වැනි පන්තිය වූ පාලන බලය හිමිකරගත් ක්‍ෂ්ත‍්‍රීය වාංශිකයෝ ද ඇතැම් අවස්ථා වල දී වෙළහෙළදාම් කිරීමෙන් හා වෙනත් කර්මාන්තයන්හි යෙදීමෙන් දිවිපෙවෙත රැකගත් බව කියැ වේ. එහෙයින් ක්‍ෂතී‍්‍රයන්ද පුරාතන ඉන්දීය ආර්ථික ක‍්‍රියාවලිය වෙත ශ‍්‍රම දායකත්වය සැපයූ එක් කොටසක්ව ඇත. වාණිජ පන්තිය හෙවත් වෛශ්‍යයන් ඍජු ලෙසම ආර්ථික කාර්යාවලින් මෙහෙය වූ හා ශ‍්‍රම දායකත්වය සැපයූ ප‍්‍රධාන සමාජ කාණ්ඩයක් විය. මනුස්මෘතිය වැනි නියායික ග‍්‍රන්ථයන්හි සඳහන් පරිදි වෙළෙඳාම, ගව පාලනය හා කෘෂිකර්මය වෛශ්‍යයාට නියමිත විය (මනුස්මෘතිය හා මානව ශිෂ්ටාචාරය 2001:10 අධ්‍යාය, 79 පාඨය). ඉතාම පහත් වූ ගණයෙහි ලා සැළකූ ශුද්‍රයෝ මේ අවධිය වනවිට ගොවිතැනෙහි නියුතු විය. එනිසා ගොවිතැන හා පාශු පාලනය හැර වෙනත් නොයෙක් රක්ෂා ද වෛශ්‍යයන්ට අයත් වූ බව මනු පිළිගනිි.

බෂාම් අවධාරණය කරන පරිදි නියම වෛශ්‍යයා, මැණික්, ලෝහ, රෙදි පිළි, නූල් වර්ග, කුළුබඩු, සුවඳ ද්‍රව්‍ය හා වෙනත් වෙළෙද බඩු පිළිබඳව හසල දැනීමක් තිබිය යුත්තෙකි. එහෙයින් පූරාණ ඉන්දියාවේ ව්‍යාපාරික ක්ෂේත‍්‍රය වෛශ්‍යයන් විසින් නියෝජනය කරන ලද බව ප‍්‍රකට වේ. එහෙයින් වෛශ්‍ය ප‍්‍රජාවගේ ශ‍්‍රමය පුරාතන ඉන්දීය ආර්ථික රාටව තුළ විශේෂත්වයෙහි ලා සැළකු බව පෙනේ. සමාජ පන්තීන් අතර ඉතා පහත් තත්වයෙහිලා ශුද්‍රයින් සැළකීය. බ‍්‍රාහ්මණ ග‍්‍රන්ථවලට අනුකූලව ශුද්‍රයින්ගේ ප‍්‍රධාන කාර්යය අනෙක් පන්ති තුනට මෙහෙවර කිරීම ය. එහෙත් ධර්ම ශාස්ත‍්‍ර ග‍්‍රන්ථ වල ඇතැම් අවස්ථාවන් හිදී ශුද්‍රයින් භාණ්ඩ නිපදවීමෙහි හා වෙළදාම්වල නිරත වී සිටි අවස්ථා ගැන සඳහන් වීම නිසා ශුද්‍ර ප‍්‍රජාවගේ ශ‍්‍රමය පුරාතන ඉන්දීය ආර්ථිකය තුළ විවිධ ආකාරයෙන් භාවිතයට ගත් අයුරු විද්‍යමාන වේ.

ඉහත  පසුබිම තුළ ක‍්‍රිස්තු පූර්ව 6 වැනි සියවස වන විට භාරතයේ කෘෂිකාර්මික හා අර්ධ නාගරික ශිෂ්ටාචාරීය පසුබිමක බුදු දහම පහළ වීමත්, මිනිසා ඇතුළු සියලු සත්වයින් පිළිබඳව ස්ර්ව කාලීන වූ දර්ශනයක් ඉදිරිපත්වීමත් සිදු විය. ඒ අනුව මිනිසා හා ඔහුගේ සමාජ ආර්ථික හා දේශපාලන තත්වයන් පිළිබඳව බෞද්ධ දර්ශනය මඟින් යොමුකරන ලද දෘෂ්ටියට අනුකූලව ධන නිෂ්පාදනය හා සමඟ මිනිස් ශ‍්‍රමය සම්බන්ධ කරමින් උජ්ජකට හා පත්තකම්ම වැනි සූත‍්‍ර දේශනාවක් මඟින් මිනිස් ශ‍්‍රමය භාවිතයට ගත් අයුරු විග‍්‍රහ කර තිබේ. මේ අනුව ශ‍්‍රමය කැප කිරීමෙන් තොරව අධාර්මිකව ලබන ධනය  අයුක්ති සහගත බව අවධාරණය කර තිබේ.

බුදු දහමට අනුව ධන නිෂ්පාදනය පිළිබඳව යම් සීමාවන් පනවා  ඇත. ඊට අනුව ‘ධර්මය හෙවත් යුක්තිසහගතභාවය නොඉක්මවීම’ පිළිබඳ  සංකල්පය නිසා බෞද්ධ ව්‍යාපාරිකයෙකු හට කම්කරුවාගේ ශ‍්‍රමය සූරාකෑමට පැවති ඉඩකඩ ඇහිරේ. එමෙන්ම ආර්ථික ක‍්‍රියාවන් හි දී සූරා කෑම, වංචාව, සොරකම වැනි අකටයුතුකම් මැඩලීමට පාලකයෙකු අනුගමනය කළයුතු ප‍්‍රතිපත්ති මේ සූත‍්‍රයේ වේ. කූටදන්ත සූත‍්‍රයේ් පාලකයෙකු විසින් රටවැසියාගේ ශ‍්‍රමය ලබාගැනීමේ දී එය සිදුවිය යුතු අයුරු අවධානයට ලක්කරයි. දාසයන්ගෙන්, මෙහෙකරුවන්ගෙන් ශ‍්‍රමය ලබාගැනීමේ දී ඔවුනට දඬුවම් දී බියවද්දා හෝ ශ‍්‍රමය ලබා නොගතයුතු බව කූටදන්ත සූත‍්‍රයේ වේ. මෙයාකාර ආගමික උපදේශයන් හෝ නියමයන් හැඩගැස්වීමෙ ලා තත්කාලීන භාරතීය සමාජය තුළ මානව ශ‍්‍රමය හෝ ආර්ථික හෝ වෙනත් ක‍්‍රියාදාමයන් සඳහා පීඩාකාරීව පරිහරණය කරනු ලෑබූ ස්වභාවයක් පැවතීම හේතුවන්නට ඇති බව අනුමාන කළ හැකිය. අග්ගඤ්ඤ සූත‍්‍රයෙහි දැක්වෙන පරිදි, මානව වංශ ඉතිහාසයේ එක් යුගයක සාමූහික ශ‍්‍රමයෙන් නිෂ්පාදන කටයුතු කළ බව ය. ශ‍්‍රම සූරාකෑම පාදක කරගත් ධනවාදී ආකල්ප කිසිදු බෞද්ධ ධර්ම පාඨයකින් සනාථ කළ නොහැකි බව විද්වතුන් අවාධාරණය කර තිබේ (ධම්මජෝති හිමි 2002:263). බුදු දහම සමීපව ඇත්තේ මිනිසා හා මිනිසා අතර ගැටුම් වළක්වන හා සහයෝගීතාව පදනම් කරගත්, යුක්ති සහගත සාධාරණභෝගී නිෂ්පාදන ක‍්‍රමයකි. මෙබඳු ක‍්‍රමයක් යටතේ ශ‍්‍රම සූරාකෑමට ඉඩක් නැත. බෞද්ධ ධර්මයෙන් සමාජයේ නි්ෂ්පාදන ක‍්‍රියාවලිය ඒ ඒ පන්ති සඳහා වෙන්කර නොදැක්වීම මත සෑම දෙනාගේම ශ‍්‍රමය කෙරෙහි සම අවධානයක්, සමාන වටිනාකමක් ලබා දීමට බෞද්ධ දර්ශනය උත්සාහ දරා ඇත්තේ තත්කාලීන අවධිය වන විට ආර්ථික හෝ වෙනත් සමාජ කාර්යාවලීන්හි දී පන්තිමය වශයෙන් බෙදී සිටි සමාජය තුළ එක් එක් කොට්ඨාසය විසින් නිෂ්පාදන කාර්යාවලි වෙත ශ‍්‍රමය සැපයීමේ දි දැඩි පීඩාවකට මෙන්ම සූරාකෑමකට ලක්ව සිටි නිසා බව අනුමාන කළ හැක.

බෞද්ධ ත‍්‍රිපිටකය ඇසුරින් වහල් සංස්ථා හා ඒවාහි ක‍්‍රියාකාරීත්වය පිළිබඳව යම් තත්වයන් විග‍්‍රහකර තිබේ.  ත‍්‍රිපිටිකයේ, ස්වාමියා (master) හෝ ප‍්‍රභූ පුද්ගලයා (noble) හැඳින්වීම පිණිස ආරිය යන්නත් දාස යනු වහල් ශ‍්‍රමිකයා (slave) හැඳින්වීමටත් භාවිත කර තිබේ. දාසි හා දාසිකා, දාසියා යන වචනවලින් වහල් කාන්තාවන් හඳුන්වා ඇත. උක්ත දැක්වූ පරිදි බුද්ධ කාලය වන විට කාර්මික හා කෘෂි කාර්මික මෙන්ම වාණිජ කා්ර්යයන්හි ද වර්ධනයක් ඇති වූ අතර එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ස්වාමි පක්ෂයක් හා ඔවුන්ගේ විවිධ කාර්ය සඳහා දායකත්වය සපයන ශ‍්‍රමික පිරිසක්ද ඉස්මතු විය. එහි දී කුලී ශ‍්‍රමික හා වහල් සේවාවද  විශේෂ විය. ආර්. ෆික් විසින් The Social Organization in North- Eastern India යන ග‍්‍රන්ථයේ අවධාරණය කරන පරිදි මේ අවධියේ සෑම විශාල ඉඩම් හිමියන් යටතේ හා ධනවත් වෙළෙන්දන් යටතේ ද වහලුන් විශාල වශයෙන් සේවයේ නිරත වූ බවට සාක්ෂි ත‍්‍රිපිටකයේ ඇති බව ය. නිදසුන් ලෙස ජාතක සාහිත්‍යට අයත් විදුර පණ්ඩිත ජාතකය, කුලාවක ජාතකය, අසම්පදාන ජාතකය, නන්ද, නානාච්ඡුන්ද, නාම සිද්ධික, කටක, චුල්ල සෙට්ඨි වැනි ජාතක වහල් ශ‍්‍රමිකයින් ගැන වැදගත් තොරතුරු ලබාදේ.

මෙගස්තිනස් වැනි විදේශිකයන්ගේ වාර්තාවල, ‘ඉන්දියාවේ වහලුන් නොමැති බව’ සඳහන් කර තිබේ. මෙගස්තිනිස්ගේ වාර්තා අනුව යමින් ඒරියන් ද දක්වනුයේ ‘සියලු ඉන්දියානුවන් නිදහස් බවත් ඉන් එක් තැනැත්තෙකුවත් වහලකු නොවන බවත්ය’. ඔනෙසි ක‍්‍රීටස්, ස්ට‍්‍රාබෝ වැන්නවුන්ගේ අදහස් ද මේ හා සම බවක් ගනි. මේ පිළිබඳව අවධානය යොමු කරන ලද බෂාම්, ඉන්දියාෙවේ වහලුන් පිළිබඳව මෙගස්තිනිස් දැක් වූ අදහස් අනුව, ඔහු විසින් කරුණු වරදවා අවබෝධ කරගත් බවට සැකයක් නැතැයි පවසයි (බෂාම් 1962:198). මේ අනුව, විද්‍යාමාන වන්නේ මෙගස්තිනීස් වැනි විදේශිකයින් යුරෝපා, සමාජ, ආර්ථික රටාව තුළ අත්දකින ලද වහල් ක‍්‍රමය හා ඉන්දියාවේ ක‍්‍රියාත්මක වූ ක‍්‍රමය තුළ පැහැදිලි වෙනසක් තිබෙන්නට ඇති බවත්, යුරෝපයේ මෙන් තත් අවධිය වන විට වහල් ශ‍්‍රමය පිළිබඳ සංකල්පය දැඩි ලෙස ඉන්දියානු සමාජ, ආර්ථික රටාව තුළ මුල් බැසගෙන නොතිබූ බවත්ය.  ශ‍්‍රමික කණ්ඩායක් වූ වහලුන් වෙත පැවරුණු කාර්යයන් කවරේදැයි විමසීමේ දී, විශේෂ කාර්යක් ඔවුනට වෙන් වූ බව නොපෙනේ. ඔවුන්ගෙන් සමහරකුගේ ශ‍්‍රමය කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ කාර්යයන් සඳහා යෙද වූ අතර ඇතැම් පිරිස් නුපුහුණු කම්කරුවන් ලෙසින් කාර්මික ක්ෂේත‍්‍රයට ද සම්බන්ධව ඇත. ස්වාමිවරුන්ගේ වගා බිම්වල බාර්ලි, වී ආදී භෝග වර්ග වගා කළ අතර එහි සියලුම කාර්යයන් ම පාහේ වහලුන්ගේ ශ‍්‍රමය භාවිතයෙන් කෙරී ඇත.

පුරාතන ඉන්දීය සමාජය තුළ වහල් ශ‍්‍රමිකයින්ගේ ප‍්‍රමාණය සංඛ්‍යාත්මකව විසරණය වෙත්ම ඔවුන්ගේ කාර්යයන් හා සම්බන්ධ නීති රීති පද්ධතියක් ක‍්‍රිස්තු පූර්ව 3 සියවස පමණ වන විට ඉස්මතු වන අයුරු කෞටිල්‍ය අර්ථශාස්ත‍්‍රයෙන් විද්‍යාමාන වේ. කෞටිල්‍ය අර්ථශාස්ත‍්‍රයේ හැටපස් වන ප‍්‍රකරණය මඟින් දාසයන් හා කම්කරුවන් සම්බන්ධ නීති මාලාවක් හඳුන්වා දී ඇති අතර ඊට අනුකූලව සේවා දායකයා හා සේවාලාභියාගේ තත්වය, ශ‍්‍රමයට උචිත වැටුප් හා සේවාවන් සැපයීම පිළිබඳව තොරතුරු රැසක් දක්වා තිබේ. එහි 27 වැනි ශ්ලෝකයට අනුව ‘කම්කරුවන් තමාගේ වේතනයට අනුව කාර්යය කළ යුතු ය. වේතනය අවිනිශ්චිත නම් ක‍්‍රියා හා කාලය අනුව තීරණය කළ යුතුය’ ( කෞටිල්‍ය ආර්ථ ශාස්ත‍්‍රය 2003:65 ප‍්‍රකරණය, 27-28 ශ්ලෝක).

කෞටිල්‍ය අර්ථශාස්ත‍්‍රයේ හැටපස් වන ප‍්‍රකරණයේ 29 වැනි ශ්ලෝකයට අනුව වේතනය නිශ්චිත වූ පසු එයට අනුරූපව වේතනය ගෙවිය යුතු ය. 33 වැනි ශ්ලෝකයට අනුව වේතනය නොගෙවුවහොත් දස වැනි කොටස (දශ බන්ධ) නැතහොත් පණ සයක් දඬුවම් කළ යුතු ය 13 (එම 13-14 කොටස්). මොයාකාරයෙන්  ශ‍්‍රමයට අනුකූල වූ වේතනයක් ශ‍්‍රමිකයන්ට ගෙවිය යුතු බවත්, එසේ නොකිරීම වෙනුවෙන් දඩ ගැසිය යුතු බවත් අර්ථ ශාස්ත‍්‍රයේ අවධාරණය කර ඇති අතර එහි තවදුරටත් සඳහන්ව ඇත්තේ, ‘වේතනය රැගෙන රාජකාරිය නොකරන මෙහෙකරුවාට පණ දොළොසක් දඬුවම් කළ යුතු බව ය’. එමෙන්ම නොහැකියාව, වැඩ කිරීමේ කුසීතකම, රෝගී වීම හා වෙනත් ව්‍යවසනයන් ඇති වුවහොත් නිදහස් විය හැකි ය. ගොවියා පලදාවෙන් හා ව්‍යපාරිකයා වෙළෙඳ කටයුතු වල ආරම්භයේ හා අවසානය අතර තමාගේ කම්කරුවන් අසනීප වුවහොත් කළ කාර්යවලට අනුරූපව හැම කොටසක්ම ඔවුන්ට දිය යුතු ය (එම). ආදී වශයෙන් අර්ථ ශාස්ත‍්‍රයෙහි, නෛතිකමය පසුබිමක් යටතේ ශ‍්‍රමය සංවිධානගත කිරීම හේතුවෙන් ශ‍්‍රමිකයන්ගේ තත්වය මෙන්ම, සේවාලාභීන්ගේ තත්වය යහපත් ස්වභාවයක් උසුලන්නට ඇතැයි සිතිය හැකි ය.

පශ්චාත් මෞර්ය යුගය වන විට වහලුන්ගේ ශ‍්‍රමය යොදාගත් අංශයන්ගේ විවිධත්වයක් දැකිය හැකි බවත්, ස්වාමීන්ගේ වද හිංසා හා කෲරත්වය ද වර්ධනය වීමක් දැකිය හැකි බවත්,  වහලුන්ට පැවති දේපළ හිමිකම් ක‍්‍රමයෙන් අඩු වී යාමක් දක්නට ලැබෙන බවත් විද්වත්හු පවසති (ධීරානන්ද හිමි 2004:235). මනුස්මෘතිය වැනි නියාය ග‍්‍රන්ථ අධ්‍යයනයේ දී මේ තත්වය මනාව ප‍්‍රකට වේ. නිදසුන් වශයෙන් එහි අටවැනි අධ්‍යායේ 215 ශ්ලෝකයට අනුව, ‘කුලියට ගත් යම් සේවකයෙකු ලෙඩක් නොමැතිව අහංකාරකම නිසා තම වැඩ කොටස පොරොන්දුව අනුව ඉටු නොකරයි ද, ඔහුට ‘ක‍්‍රිෂ්නල’ අටක දඩයක් නියම කළ යුතු බව’ දක්වයි.

පුරාතන ඉන්දියාවේ බොහෝ ගොවීන් සතු වූ ඉඩම් විශාල ඒවා නොවූ හෙයින් ඉඩම් හිමියා ඔහුගේ පවුලේ අයගේ ආධාරය ඇතිව ඒවාහි ගොවිතැන් කර තිබේ. කුලීකරුවන් ලවා ගොවිතැන් කරවා ගත යුතු විශාල ගොවිපලවල් කිහිපයක්ද පැවති තිබේ. ප‍්‍රවේණි දාසයන් හා කම්කරුවන් විසින් සේවය කළ යුතු විශාල ගබඩාගම් රජුන් සතුව පැවතුනි. මෞර්ය සමය වන විට කම්කරුවෙකු සඳහා මාසික වේතනය වශයෙන් කෑමබීම ද සහිතව පණ එකකුත් කාලක් ලබාදුන් බව කියැ වේ. ඇතැම් ඉඩම් වගා කිරීම සඳහා අඳ ගොවියන්ටද ලබා දුන් බව සඳහන් වීම නිසා මෙම අවධිය වන විට අඳ ශ‍්‍රමය භාවිතයට පෙළඹ සිටි අයුරු පෙනේ. මේ ක‍්‍රමය යටතේ අඳ ගොවියා අස්වැන්නෙන් භාගයක් ගම්කාරයාට දිය යුතු විය. මෙයාකාර කම්කරු පිරිසක් මෞර්ය යුගයේ සිට හෝ ඇතැම් විට ඊට පූර්ව අවධියෙහි පටන් ගොඩනැඟී පවතින්නට ඇතැයි ද ඔවුන්ගේ තත්වය දුක්ඛිත වුවක් වන්නට ඇතැයි ද බෂාම් අවාධාරණය කර තිබේ.

පැරණි ඉන්දීය කර්මාන්තයේ මූලික ඒකකය වී ඇත්තේ තනිව වැඩකරන කාර්මික ශිල්පියායි. ඔහුට වෙන කෙනෙකුගේ ආධාරයක් ලැබුනේ නම්, ඒ බෝහෝ විට සිය පවුලේ සාමාජිකයන් ගෙනි. එසේ වුව ද ප‍්‍රධාන වැඩකොටසක් කුලී කරුවන් අතින් ඉටු වූ විශාල කර්මාන්ත ශාලා ද පුරාතන ඉන්දියාවේ පැවතී තිබේ. මෞර්ය රාජ්‍යය සතුව මෙයාකාර නූල් කටින හා රෙදි වියන කර්මාන්ත ශාලා පමණක් නොව, අවි ආයුධ මෙන්ම යුධ උපකරණ නිපදවන කම්හල් ද තිබුණු අතර, නියමිත වේතනයක් සහිත කාර්මික මණ්ඩලයක් සහිත කම්හල් ද මේ රාජ්‍ය තුළ පැවත තිබේ. උක්ත තත්ව ගැන අවධානය යොමු කිරීමේ දී මෞර්ය යුගයේදී ආර්ථික ක‍්‍රමය එක්තරා විදියක රාජ්‍යය සමාජවාදයක් (state socialism) දෙසට නැඹුරු වී ගියත් තනිව භාණ්ඩ නිපදවන නිෂ්පාදකයාට හා බෙදාහරින්නාට ද ඒ ක‍්‍රමය තුළ ඉඩක් තිබූ බව ප‍්‍රකට වේ (බෂාම් 1962:282).

බෂාම්ගේ විග‍්‍රහයන්ට අනුව ව්ප්ලවයට පූර්ව අවධියේ රුසියාවේ පැවති අර්ටෙල් නම් ආර්ථික සංවිධානයට සමාන විය හැකි කම්කරුවන්ගේ සමූපකාර කණ්ඩායම් වර්ගයක් පැරණි ඉන්දියාවේ පැවති තිබේ. එය තනිව කටයුතු කරන ශිල්පියාට වඩා විශාල සංවිධානයක් වූ බවත්, මෙම සංවිධානගත වීම හරහා ශ‍්‍රම විභාජනය (Division of labour) සඳහා අනුබල ලැබුණු බවත් අවධාරණය වේ. මෙම සංවිධානගත වීම  හරහා එහි සාමාජිකයන්ගේ ශ‍්‍රමය නෛතික පදනමක් මත භාවිතයට ගන්නට හැකි වූ අතර, එකී එකඟතාවන් කඩ කිරීමක්  සිදු වුවහොත් ඒ සඳහා දඬුවම් ලබාදීම සඳහා අවශ්‍ය රෙගුලාසිද නීති ග‍්‍රන්ථ මඟින් සංවිධානය කර තිබුණි (එම). මේ අනුව තත් අවධිය වන විට ඉන්දියානු ආර්ථික සංවිධානය තුළ ශ‍්‍රමය පිළිබඳ යම් රික්තයක් පැවතියේ ද යන්න අනුමාන කළ හැක. මක්නිසාද යත් නීති රෙගුලාසි මත පදනම් වෙමින් ශ‍්‍රමිකයන් එකී ආයතන හා බැඳ ගැනීමට අවශ්‍ය විධිවිධාන සළසා තිබූ බැවිනි.

විෂ්ටි හෙවත් බලෙන්, මුදල් නොගෙවා කරවාගන්නා ලද සේවාවන් ද පුරාතන ඉන්දීය සමාජය තුළ බහුලව  දැකිය හැකි තත්වයක් විය. දුගී ජනතාවට මුදල් වශයෙන් හෝ ද්‍රව්‍යමය වශයෙන් බද්දක් ගෙවීමට නොහැකි විය. එහෙත් ඔවුන් හට රජයෙන් ලැබුණ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් විසින් කිසියම් ගෙවීමක් කළයුතු බව අදහස් විය. මෙය පහසුවෙන්ම කළ හැකි ක‍්‍රමය වූයේ රජයට නොමිලේ සේවය සැපයීමෙනි. එබැවින් මාසයකට දිනක් හෝ දෙකක් ඔවුන් රජයට නොමිලේ වැඩ කළයුතු වීම සාධාරණ ලෙස සැළකුණි. මනුස්මෘතියට අනුව ‘යාන්ත‍්‍රික වැඩ කරන්නන්, චිත‍්‍රකාරයන්, හස්ත කර්මාන්ත කරන ශුද්‍රයන් යන මොවුන් සෑම මාසයකටම එක් දිනක් තම කටයුතු සඳහා (රජු) යෙදවිය යුතු ය’ (මනුස්මෘතිය 2001:07 අධ්‍යාය, 138 ශ්ලෝකය). ගෞතම ධර්ම සූත‍්‍රයට” අනුකූලව එම කාලය තුළදී රජය විසින් ඔවුන්ට ආහාර ලබාදෙන ලදී. මෙම නොගෙවා ලබාගන්නා ලද සේවයේ අයිතිය රජයට හිමිව ඇත්තේ රජයේ නිළධරයින් පිටිසරබද ප‍්‍රදේශවල සංචාරය කරන අවස්ථාවල දී පමණි. මෙය කුඩාගම් වල විසු ජනයාට නම් මහත් දුෂ්කර තත්වයක් වූ බවත්, ඇතැම් ඉන්දියානු රාජ්‍යයන්හි මෑතක් වනතුරු මෙයාකාරයෙන් බලෙන් වැඩෙහි යෙදවීම හා සේවය ලබාගැනීම වැනි තත්ව පැවති  බව පැවසේ. නිදසුනක් ලෙස, ඇතැම් උතුරු ඉන්දීය සෙල්ලිපි මඟින් අනාවරණය කරන පරිදි, බොහෝ විට චාරිකාවේ යෙදෙන නිළධාරින්ගේ භාණ්ඩ කරපිට ගෙනයාමට කම්කරුවන්ට තිබූ වගකීම ද මීට අයත් වන්නට ඇත.

ගුප්ත යුගය ඇසුරින් කරුණු විමසීමේ දී, ඒ අවධියේ සිදු කෙරුණු ඉඩම් ප‍්‍රදානයන් ‘‘ක්ෂේත‍්‍ර ස්වාමී හෙවත් ඉඩම් හිමියා විසින් සිදුකළ යුතු විය. මෙම ක‍්‍රමය තුළ මහීපති, ක්ෂේත‍්‍ර ස්වාමීන්, කර්ෂක හා කුලී කරුවා වශයෙන් අවස්ථා  හතරකින්  සමන්විත පිරිසක් නියෝජනය විය. ඉහත දැක්වූ සිව් පිරිසෙන් හතර වැන්නාගේ තත්වය ගැන නිශ්චිත නොවූවත් මුල් තිදෙනා ගුප්ත යුගයේ සිටි බව විද්වත් මතයයි. මේ අනුව මහීපති හා කර්ෂක අතරට ක්ෂේත‍්‍ර ස්වාමීන් නමින් අතරමැදියෙකු ඒම පැහැදිලි ය. මෙහිදී වැඩවසම් ක‍්‍රමික ලක්ෂණ පුරාතන ඉන්දීය සමාජ ආර්ථික ව්‍යුහය තුළ ක‍්‍රියාත්මක වීමක් ප‍්‍රකට වේ. ඉඩම් වගා නොකළ කල්හි ගොවියාට දඬුවම් කිරීමේ අයිතිය මෙම අතර මැදියාට පැවරීම නිසා ගොවියාගේ තත්වය දුක්ඛිත තත්වයකට පත්ව ඇත. කෘෂිකර්මය හා බැඳි සංස්ථා මෙලෙස සංවිධිතවීම ගැන ක‍්‍රිස්තු වර්ෂ 4 – 6 ආදී කාල පරාසයන්ට අයත් ශිලාලේඛන තුළින්ද විද්‍යාමාන වේ. ඉඩම් ලැබූවන් සඳහා එය වගා කරගැනීමේ හෝ බද්දට වගා කරවා ගැනීමේ අයිතිය පවරා දුන් බවද ප‍්‍රකට වේ. මෙලෙස ඉඩම් හිමිකම් ලැබූවන්ට වගාකළ ගොවීන්ගෙන් ලබාගත හැක්කේ සමුචිත (සාම්ප‍්‍රදායික) බද්දක් පමණක් වුවත් විෂ්ටි හෙවත් බලයෙන් වැඩ ගැනීම සම්බන්ධයෙන් එබඳු තහනමක් නොවී ය (කරුණාදාස 1971:12). මේ හේතුවෙන් ක‍්‍රිස්තු වර්ෂ 7 වන සියවස මැද සිට අවස්ථාවක් ඇතිවූ විට විෂ්ටි හෙවත් බලයෙන් වැඩගන්නට හැකිවීමෙන්, ඉඩම් හිමියන්ට තිබු අයිතිය පැහැදිලි වේ.

මේ ක‍්‍රමය යටතේ ප‍්‍රථමයෙන් ගොවියන්ගේ භාර්යාවන්ගෙනුත්, පසුව ගොවීන්ගෙනුත් මේ ආකාරයට බලයෙන් වැඩ ගැනීමට හැකි විය. මේ නිසා පුරාතන ඉන්දීය ආර්ථික ව්‍යුහය තුළ ශ‍්‍රමය සම්බන්ධයෙන් පූර්ව අවධීන් තුළ ගොඩනැඟී පැවති තරමක් යහපත් තත්වය, මේ නිසා ඇසිර යන්නට අතැයි දැක්වීම නිරවද්‍ය වේ. මක්නිසා ද ශ‍්‍රමිකයන්ගේ පවුල් පිටින් සේවාලාභීන්ගේ ග‍්‍රහණයට හා පීඩාවන්ට නතුවීමට පැවති ඉඩකඩ මේ ක‍්‍රමය යටතේ පුළුල්ව ගිය බැවිනි. නමුත් බලයෙන් වැඩගැනීම යුරෝපයේ තරම් දියුණු ලෙසට ඉන්දීය වැඩවසම් ක‍්‍රමය තුළ ක‍්‍රියාත්මක නොවීය (එම). ඒ අනුව පුරාතන ඉන්දීය සමාජය තුළ වැඩවසම් ක‍්‍රමික ලක්ෂණ යුරෝපා ක්ෂේත‍්‍රයන්හි දක්නට ලැබුණු ආකාරයෙන් දැඩි ස්වභාවයක් පළට නොකළ ද, විෂ්ටි ක‍්‍රමය වැනි ක‍්‍රම නිසාවෙන් ඉන්දීය ආර්ථිකය තුළ ශ‍්‍රම භාවිතාවේ ස්වභාවය යහපත් නොවීමෙහි ලා මේ ක‍්‍රමය හේතු සාධක වූ බව පෙනේ. එහෙයින් පුරාතන ඉන්දීය ආර්ථිකය තුළ ශ‍්‍රමය සම්බන්ධව නියායිකව ගොඩනැගි පැවති ආරක්ෂණ මූලධර්මයන් උක්ත හේතු සාධක මත දෙදරා ගිය බව ප‍්‍රකට වේ.

පුරාතන ඉන්දීය ආර්ථිකය තුළ කාන්තා ශ‍්‍රමය භාවිත වූ ආකාරය පිළිබඳව විමසා බැලීමේ දි කුල ස්ත‍්‍රීන්ගේ ශ‍්‍රමය ආර්ථික ක‍්‍රියාදාමය හා සහ සම්බන්ධ කරගත් අයුරු පිළිබඳව විමසා බැලීම වැදගත්ය. මෞර්ය රාජ්‍ය සමයේ දී පවා කුල කතුන්ගේ නිදහස, සමාජ සම්මත සිරිත්විරිත් නිසා සීමාව පැවති බවට සාධක කෞටිල්‍ය අර්ථ ශාස්ත‍්‍රය වැනි මූලාශ‍්‍ර  ඇසුරෙන් විද්‍යමාන විය. රජුගේ පේෂකර්ම අධ්‍යක්ෂකට දුන් උපදෙස් අනුව රාජකීය නූල් කැටීමේ හා රෙදි විවීමේ ආයතනවල සේවකයින්, වැන්දඹුවන්, අනාථයින්, හිඟන්නියන්, දඩ ගෙවීමට බැරි නිසා ඒ වෙනුවට වැඩ කිරීමට සිදු වූ ණයගැති ස්ත‍්‍රීන් හා තව දුරටත් තම රක්ෂාව කරගත නොහැකි වෛශ්‍යාවන් ආදී නානා ප‍්‍රකාර දිළිඳු ස්ත‍්‍රීන්ගෙන් සමන්විත විය යුතු යැයි සඳහන් වේ. මේ  සියලු දෙනා පහත් කුලවලට අයත්ය. ඔවුහු පිරිමි කංකානම්වරු යටතේ සේවය කළහ (බෂාම් 1962:235). මේ අනුව ශාරීරික වශයෙන් දුබලතාවන්ට ලක්වූවන්ගේ ශ‍්‍රමය ද ආර්ථික ක‍්‍රියාදාමයන් හා සම්බන්ධකර ගැනීමට කටයුතු කර ඇති අයුරු විද්‍යමාන වේ.  ඉහත දී අවධාරණය කරන ලද ආකාරයට සමාජයේ විසූ අනෙකුත් කාන්තාවන් සේම ඇතැම් අවස්ථාවන්හී දී උසස් කුල කතුන් ද දුෂ්කර කාලපරාසයන් එළඹී කල්හි මෙයාකාරයෙන් රෙදි විවීම හා සමඟ සහ සම්බන්ධ වූ බව ප‍්‍රකට වුව ද, ඔවුහු ඉහත දී අවධානයට ලක්කරන ලද පිරිස් හා එක්ව සිය ශ‍්‍රම දායකත්වය විවෘතව ලබාදීමෙන් වැළකීමට වගබලාගත් අයුරු පෙනේ. සේවිකාවන් තබාගැනීමට තරම් වත්කමක් එකී කාන්තාවන්ට තිබේ නම් ඒ සේවිකාව ලවා පේෂ කර්මාන්තායතනයෙන් නූල් ගෙන්වා රෙදි වියා ඈ ලවාම අපසු යැවිය හැකි ය. එහෙත් එබඳු ශක්‍යතාවක් නොමැති කතුන්ට තම හිරිඔතප් රැකීමට අවශ්‍ය සියලු විධිවිධාන බලධාරීන් විසින් සකස් කර තිබූ බව ප‍්‍රකට වේ. ඒ අනුව පුරාතන ඉන්දියාවේ ආර්ථික ව්‍යුහය තුළ කුල කතුන්ගේ ශ‍්‍රමය භාවිතයට ගැනීමේ දී දැඩි කොන්දේසි වලට යටත්ව එකී ක‍්‍රියාවලිය හැසිරවීමට අධිකාරීන් ක‍්‍රියාකළ අයුරු ප‍්‍රකට වේ. මේ අනුව උසස් කුල කතුන් තම නිෂ්පාදන භාරදීමට හෝ එහි අවශ්‍යතා සඳහා පේෂ කර්මාන්ත ශාලාවට යා යුත්තේ අඳුර පහවෙමින් අරුණෝදය උදාවන විට ය. ඒ, එම කතුන් හඳුනා ගැනීම එවිට දුෂ්කර වන බැවිනි. නිෂ්පාදන පරීක්ෂාකරන නිළධාරියා විසින් පහනක් පමණක් භාවිතයෙන් ඒවා පරීක්ෂා කළයුතු වූ අතර ඔහු ඇගේ මුහුණ දෙස බැලුවහොත් හේ ඈ කළ කාර්ය ගැන හැර වෙනත් යමක් පිළිබඳව කතා කළහොත් පළමු වැනි දණ්ඩනයට ඔහු යටතේ විය යුතු ය. මේ දඩය පණ 48 සිට 90 දක්වා විය හැක (එම : 236). මේ අනුව පුරාතන ඉන්දීය ආර්ථිකය තුළ උසස් කුල කතුන්ගේ ශ‍්‍රමය ද භාවිතයට ගෙන ඇත්තේ දැඩි නීතීන්ට අනුකූල වෙමිනි.

මෙම ඡායාරූපය http://www.asia.si.edu වෙබ් අඩවියෙන් ලබාගන්නා ලද බව කාරුණිකව සලකන්න.

3. නිගමනය

පුරාතන ඉන්දීය ආර්ථිකය තුළ ශ‍්‍රමය භාවිතාවට ගත් ආකාරය පිළිබඳව කරුණු විමසීමේ දි, මුල් අවධියේ පටන් ශ‍්‍රමය නැමැති සාධකයට වැදගත් ස්ථානයක් හිමි වූ බව විද්‍යමාන වේ. එහෙත් ඇතැමෙක් ඉන්දීය ආර්ථික රටාව තුළ ශ‍්‍රමය භාවිතයට ගැනීමේ දී හුදෙක් වහල් ක‍්‍රමික ලක්ෂණවලට අනුගත වෙමින් එය භාවිතාවට ගත් බව දැක්වුව ද එය සාධාරණ නොවේ. යුරෝපා ශිෂ්ටාචාරයේ දී වහල් ක‍්‍රමය එහි ආර්ථිකයේ පදනම වශයෙන් සළකා දැඩි විධිවිධානයන් යටතේ භාවිතයට ගත්ත ද, මුල් කාලීන ඉන්දියාවේ ශ‍්‍රම භාවිතය තුළින් එබඳු ස්වරූපයක් විද්‍යමාන නොවේ.

බෞද්ධ දර්ශනය හා අනෙකුත් ආගමික මතවාද මෙන්ම, කෞටිල්‍ය අර්ථ ශාස්ත‍්‍රය, මනුස්මෘතිය වැනි න්‍යායික ග‍්‍රන්ථ මඟින්  ශ‍්‍රමය සාධාරණ ලෙස භාවිතාවට ගන්නා අයුරු හා ඒ සඳහා වේතන ගෙවීමේ පටිපාටීන් මෙන්ම, එකී එකඟතාවන් කඩ කිරීම වෙනුවෙන් නියම කළයුතු දණ්ඩනයන් ගැන දක්වා තිබීමෙන් සේවාදායකයා හා සේවා යෝජකයා අතර මනා සම්බන්ධතාවක් පවත්වාගන්නා ආකාරය වැනි නෛතික තත්වයන් සමාජගත කිරීම නිසාවෙන් පුරාතන ඉන්දීය ආර්ථිකය තුළ ශ‍්‍රමය නැමති සාධකය ආරක්ෂක මූලධර්මයන්ට යටත්ව හැසිරවීමට අවැසි පසුබිම නිර්මාණය කර දී තිබේ. එකී තත්ව ප‍්‍රායෝගීව ක‍්‍රියාත්මක වීමේ දී චතුර් වර්ණාශ‍්‍රම ධර්ම මූලික කොටගත් සංකීර්ණ සමාජ බෙදීම්වලින් යුත් පුරාතන ඉන්දියාවේ ආර්ථිකය තුළ ශ‍්‍රමිකයින් බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ පෑ බව දැක්විය හැකි ය. සම කාලීන යුරෝපයේ  මෙන් පීඩාකාරී පිළිවෙත් යටතේ ආර්ථික ක‍්‍රියාදාමය සඳහා ශ‍්‍රමය යොදාගන්නා ආකාරයක් පුරාතන ඉන්දීය ආර්ථිකය තුළින් විද්‍යාමාන නොවේ.

ආශ‍්‍රිත ග‍්‍රන්ථ

  • අල්ටෙකාර්. ඒ. එස්. (2004), පැරණි ඉන්දියාවේ රාජ්‍ය හා ආණ්ඩුව, පරි. ඩී.එල්. අබේවර්ධන, නුගේගොඩ : සමන් ප‍්‍රකාශකයෝ.
  • කරුණාදාස, ඩබ්ලිව්.එම්. (1971) මධ්‍ය කාලීන ඉන්දියාව (ක‍්‍රි.ව. 550 පමණ සිට 1526 දක්වා ඉතිහාසය), කොළඹ: සීමාසහිත ඇම්.ඞී. ගුණසේන සහ සමාගම.
  • කෞටිල්‍ය ආර්ථ ශාස්ත‍්‍රය (අධිකාරය 3-4-5-6-7) (2003), අනුවාදය: හිරිපිටියේ පඤ්ඤාකිත්ති හිමි, කොළඹ : එස්. ගොඩගේ සහ සහෝදරයෝ.
  • තාපර්, රොමිලා (1973), ඉන්දියාවේ ඉතිහාසය, බත්තරමුල්ල: අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව.
  • බෂාම් ඒ.එල්. (1962), අසිරිමත් ඉන්දියාව, ලංකාණ්ඩුවේ මුද්‍රණාලය.
  • ධම්මජෝති හිමි, බෙලිගල්ලේ (2002), ශ‍්‍රමය හා ශ‍්‍රම සූරාකෑම පිළිබඳ බෞද්ධ විග‍්‍රහය, සුමති,  සංස්. ඇකිරියගල නන්ද හිමි.
  • ධීරානන්ද හිමි, හඟුරන්කෙත (2004), වහල්භාවය හා ශ‍්‍රමයෝජනය :පුරාතන ඉන්දීය වහල් සංස්ථාව ඇසුරෙන් කරනු ලබන සමාජ ඓතිහාසික විවරණයක්, ඉඳුවර, පර්යේෂණාත්මක ලේඛන සංග‍්‍රහය – සමාජ විද්‍යාව, සංස්. දයා අමරසේකර සහ රෝහිත දසනායක, වරකාපොළ : ආරිය ප‍්‍රකාශකයෝ.
  • සෙනෙවිරත්න, ආරියදාස (2001), මනුස්මෘතිය හා මානව ශිෂ්ටාචාර, කොළඹ :එස් ගොඩගේ සහ සහෝදරයෝ.

—————————————————————————————————————————————–

මෙම ලිපිය www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ 2017.07.10 දින පළමු වරට ප‍්‍රකාශයට පත් විය.

—————————————————————————————————————————————–

1 COMMENT

  1. මෙම දකුණු ආසියාතික පුරාන ආර්ථිකයේ ශ්‍රමය භාවිතය හා එය නිෂ්පාදන ක්‍රියාවලියට දායකවූ ආකාරය පිළිබද විග්‍රහය ඉතාමත් අනර්ගය. ලාංකීය බුද්ධිමතුන් විසින් ස්වාදීනව මෙවැනි අධ්‍යනයන් කිරීම ඉතාමත් සතුටට කාරණයකි. ඔබට මෙවැනි කාර්ය කිරීමට තව තවත් දිරිය හා ශක්තිය පතමි… මෙය මා හැකිතරම් විද්‍යුත් තැපැල හරහාත් මුහුණු පොත හරහාත් ප්‍රචාරය කරමි . ඉඩක් ලදහොත් මේ ඇසුරින් යු ටියුබ් වීඩියෝවක් කිරීමටද බලාපොරොත්තු වෙමි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.