සමන් ඉන්දික ජයසිංහ

ශාස්ත‍්‍රවේදී (විශේෂ) දෙවන වසර, පුරාවිද්‍යා අධ්‍යන අංශය, කැලණිය විශ්වවිද්‍යාලය.

මෙසපොටේමියාව, ඊජීප්තුව, වැනි ශිෂ්ටාචාර වල පුරාවස්තු වෙනත් ශිෂ්ටාචාරවලින් හමු වේ. මෙයට හේතු වී තිබෙන්නේ 15, 16 වැනි සියවස්වල යුරෝපීය අධිරාජ්‍යවාදීන් කොල්ලකෑමේ ව්‍යාපාරයක් ඇරඹීමයි. ආසියාතික, අප‍්‍රිකානු, ලතින් ඇමරිකානු රටවල මේ අතර ප‍්‍රධාන තැනක් ගන්නා සංස්කෘතික වටිනාකමක් ඇති පුරාවස්තු මෙ ලෙස කොල්ලකා තිබේ. මෙහි ප‍්‍රතිඵල ශ‍්‍රී ලංකා සමාජය කෙරෙහි ද බලපා ඇත. පෘතුගීසි, ලන්දේසි හා ඉංග‍්‍රීසීන් පුරාවස්තු විශාල ප‍්‍රමාණයක් තමතමන් ගේ රටවලට අරගෙන යන ලදී. ඒවා බොහොමයක් ඒ රටවල මහජන ප‍්‍රදර්ශනයට ද තබා තිබේ. සමහර රටවල මෙම කොල්ලකන ලද ද්‍රව්‍ය ඒ ඒ රටවල වෙන්දේසියට පවා තබා තිබේ. මෙසේ ඇරඹි පුරාවස්තු විනාශය සහ කොල්ලය වර්තමානයේ ලෝක සංස්කෘතික උරුමයට මහත් ව්‍යවසනයක් බවට පත් ව ඇත. මේ තත්ත්වය කෙරෙහි සංවේදීත්වයෙන් පසුවන ජාත්‍යන්තර ප‍්‍රජාව ලොව පුරා විසිරී පවත්නා පැරණි සංස්කෘතික ශේෂයන් ලෝක සංස්කෘතික උරුමය ලෙස සලකා ආරක්ෂා කිරීමට විශේෂ අවධානයක් යොමුකර ඇත. මෙහි දී UNESCO හා ICOMOS වැනි සංවිධානයන් ගේ ප‍්‍රභවය සහ කැපවීම මැනවින් ප‍්‍රදර්ශනය වේ. කලින්කලට වෙනස් වෙමින් වර්ධනය වූ සංස්කෘතික සම්පත් විනාශ වීමේ ප‍්‍රවණතාවන් හඳුනා ගනිමින් නීතිමය ප‍්‍රතිපාදනය හඳුන්වා දීමට එම සංවිධාන මේ දක්වා කටයුතු කර ඇත. සංස්කෘතික උරුමය සුරැකීම පිළිබඳ ප‍්‍රඥප්තිය හා නීති විරෝධී සංස්කෘතික සම්පත් ආනයනය හා අපනයනය තහනම් කරමින් සහ වළක්වාලමින් පැන වූ ප‍්‍රඥප්තිය පුරාවස්තු විනාශයේ ජාත්‍යන්තර ස්වරූපය පෙන්වයි.

pahala-mavela-stupa-kadugannava-sri lanka-chandima-ambanwala.JPG
පහළ මාවළ විහාරය, පහළ කඩුගන්නාව (ඡායාරූපය චන්දිම අඹන්වල විසිනි)

ලෝක සංස්කෘතික උරුමයේ බිම්කඩවල් 7ක් සහ තවත් පුරාවිද්‍යාත්මක ස්ථාන ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් සහිත ශ‍්‍රී ලංකාව මෑතකාලීන පුරාවස්තු විනාශය සහ සොරකම හුදෙක් මෑතකාලීන ප‍්‍රවනතාවක් නොවේ. ලංකාවේ පුරා සාධක කටයුතු ප‍්‍රාථමික මට්ටමින් සිදුවුණු 1910න් එපිට කාලවකවානුව ගවේෂණාත්මක කාල අවධියක් ලෙස සැලකෙන අතර එම අවධියේ දී පුරාකෘති හා කෞතුක වස්තු ආරක්ෂණය මුල් ම සියවසේ තත්වයක් කල එළි දකින ආකාරය ශ‍්‍රී ලංකාවේ ධනනිධාන නීතිය තුළින් (Treasure Trove Act) පැහැදිලි ය. නීතියක් පැනවෙන්නේ නීතිවිරෝධි ක‍්‍රියාවන් නිසා ය. මේ කාලවකවානුව තුළත් ශ‍්‍රී ලංකාවේ ධන නිධානයන් තර්ජනයට ලක් වී ඇති බව පෙනේ. 1940න් පසු පුරාවිද්‍යා ආඥාපනත මඟින් ශ‍්‍රී ලංකාවේ පුරාවස්තු ආරක්ෂා කිරීම පිණිස විශේෂ අවධානයක් යොමුවන්නේ පුරාවස්තු විනාශය කාලීන ප‍්‍රවණතාවන්ට මග ඇහිරීමක් වශයෙනි. ශ‍්‍රී ලංකාවේ පුරාවස්තු විනාශයන් මේ වකවානුවේ කවර පරිමාණයකින් සිදු වූවා ද යන්න අප සතු ව ඇත්තේ අපහැදිලි චිත‍්‍රයකි. මේ අවදියේ පුරාවස්තු, කෞතුක වස්තු රැස්කිරීම විනෝදාංශයක් කරගත් පිරිසක් ද සිටි බව පැහැදිලි වේ. එහෙත් එදා ඔවුන් හා වර්තමානයේ පුරාවස්තු රැස්කර අලෙවි කරන්නන් අතර පරමාර්ථ සහ ආකල්පමය වශයෙන් පැහැදිලි පරතරයක් පවතී. මේ සිදුවීම් ප‍්‍රධාන වශයෙන් ඉලක්ක වූ පුරාවස්තු සහ ස්ථාන අනුව ඒවා විවිධ මුහුණුවර ගනු ලැබේ.

  • පැරණි ස්මාරක ගොඩනැගිලි සඳහා හානි කිරීම
  • ප‍්‍රතිමාවලට හානි කිරීම
  • දාගැබ් බිඳීම
  • පුරාවස්තු සොරකම
  • පුරාවස්තු සෙවීමට තැත්කිරීම
  • පුරාවස්තු වලට හානි වන පරිදි ගල් කැඞීම

වර්තමානය වනවිට නිධන්හෑරීම නීතිවිරෝධී නව ආර්ථික ව්‍යාපාරයක් ලෙස දක්නට ලැබේ. මෙහි භයානකකම වන්නේ ශ‍්‍රි ලංකාව තුළ ආරක්ෂා වියයුතු බොහෝ දේවල් පිටරට වෙත ඇදී යාම ය. 2011/2012 වර්ෂ වන විට නිධන් හෑරීම සහ පුරාවස්තු විනාශ කිරීම පිළිබඳ සිද්ධි විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ.

  • දිප්පිටිය රතනජෝත්‍යාරාමයේ විහාර ගේ තුළට මෑතක දී ඇතුළු වූ නිධන් හොරුන් හිඳි පිළිමය කඩා බිඳ දමා විහාර බිමේ මැද විශාල වලක් හාරා තිබේ. සෙසු පිළිම ද කඩාබිඳ දමා විනාශ කර ඇත
  • නිධානයකින් ගොඩගත්තේ යැයි පවසමින් රන් ආලේපිත පිළිමයක් හා ලෝකඩ පිළිම දෙකක් රුපියල් පන්කෝටි අසූලක්ෂයකට අලෙවි කිරීමට තැත් කර ඇත
  • සීගිරිය ගල්ළිඳ ප‍්‍රදේශයේ විශාල වස්තූන් හා සීගිරි කාශ්‍යප රජුගේ රන් හා මැණික් ඔටුන්නක් ඇතැයි යන මතය තුළ මෙම ස්ථානය නිධන් හොරුන්ගේ ග‍්‍රහනයට ලක් වී ඇත
  • ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජුගේ බස්තම යැයි හදුන්වමින් බස්තමක් රුපියල් ලක්ෂ 10කට විකිණීමට හමුදා සෙබලෙක් තැත්කර තිබේ
  • මැණික් ඔබ්බවා ඇතැයි සැලකෙන කිරිගරුඩෙන් නිමැවූ පුන්කලසක හැඩගත් මංජුසාවක් ලක්ෂ 10කට අලෙවි කිරීමට යාමේ දී පුද්ගලයකු අත්තඩංගුවට ගෙන තිබේ
  • ගාල්ල වරාය ආශ‍්‍රිත ව වසර ගණනාවකට පෙර මුහුදුබත් වූ නාවික යාත‍්‍රාවල කොටස් ගලවාගෙන ඒමේ ජාවාරමක සැකකරුවන් දක්ෂිණ නාවික කඳවුරේ නිලධාරීන් විසින් අත්තඩංගුවට ගෙන තිබේ
  • කොළඹ ජාතික කෞතුකාගාරයේ සිදු වූ පුරාවස්තු මංකොල්ලය නිසා විශාල පුරාවස්තු සංඛ්‍යාවක් අහිමි විය. එම භාණ්ඩ අතර,

13 සහ 15 වන සියවසට අයත් රන්කාසි 93ක්
13 සහ 15 වන සියවසට අයත් රිදීකාසි 50ක්
ක‍්‍රි.ව. 8වන සියවසට අයත් විවිධ වර්ගයේ ලෝහ කාසි 9ක්
ක‍්‍රි.ව. 8වන සියවසට අයත් රන් කහවනු 28ක්
විශේෂ අවස්ථා වල දී නිතුකත්කරන ලද සමරු කාසි 13ක්
රුපියලේ මුදල් නෝට්ටුවේ සිට මේ දක්වා මුද්‍රණය කර ඇති මුදල් නෝට්ටු 35ක්
17 සහ 18 වැනි සියවස්වල නුවර යුගයේ විසූ නුගවෙල අධිකාරම්ට අයත් කඩුවක් හා බඳ පටියක්, බස්තමක උඩ කොටසක්
17 සහ 19 වැනි සියවස්වලට අයත් කඩුකස්තාන 10ක්
ක‍්‍රි.ව. 3වන සියවසට අයත් මුද්දක්
17 සහ 19 වැනි සියවස් වලට අයත් මුතු අල්වන ලද මුදු කිහිපයක්.

national-museum-colombo-sri lanka
කොළඹ ජාතික කෞතුකාගාරය (ෙමම ඡායාරූපට http://www.infotravelsrilanka.com අඩවිෙයන් උපුටා ගන්නා ලදී.)

පුරාවස්තු විනාශය හා කොල්ලය හමුවේ ක‍්‍රියාත්මක වන දිසි අදිසි බලවේග කිහිපයකි. සමාජයේ ධනයෙන් හා බලයෙන් පිරිපුන් පුද්ගලයින් මේ සෑම කටයුත්තක් පසුපස ම අදෘශ්‍යමාන බලවේග ලෙස මෙහෙයුම් කරනු ලබන බව ප‍්‍රසිද්ධ රහසකි. දුගී දුප්පත් ජනතාව අනවබෝධය හේතුවෙන් දඩමීමුන් බවට පත් ව ඇත. දේශීය විදේශීය වශයෙන් පැරණි භාණ්ඩ අලෙවිසැල් පවත්වාගෙන යන්නවුන් දේශපාලන බලය ද සහිත ව ඉතා ප‍්‍රසිද්ධියේ මේ සඳහා සම්බන්ධ වී ඇත. දේශපාලන බලයේ ප‍්‍රභලතාව කෙතරම් ද කිවහොත් පොලිසියට හෝ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මේ අලෙවිසැල් පිරික්සීමට බලයක් නොමැති තරම් ය. මේ දශකයේ මුල් කාලයේ සිදු වූ පුරාවස්තු කොල්ලකෑම් සිද්ධීන් සම්බන්ධයෙන් විවිධ දේශපාලඥයින්ගේ සම්බන්ධතා තිබූ බවටත් ඊට අමතර ව ව්‍යාපාරිකයන් හා ආරක්ෂක නිලධාරීන් ද සම්බන්ධ බවට තොරතුරු පවතී. තවත් ස්ථාන භාර චීවරධාරීන් ද සම්බන්ධ වූ බවට තොරතුරු වාර්තා වී ඇත (හැන්සාර්ඞ් වාර්තාව, 1998.සැප්.22). මෑතක දී අනුරාධපුරයේ සහ පොළොන්නරුවේ සිදු වූ පුරාවස්තු අතුරුදන් වීමේ සිදුවීම් කිහිපයක ස්වරූපය විමසන විට පෙනී යන්නේ අදාළ ස්ථාන භාර නිලධාරීන් සේවක පිරිස් සහ මුරකරුවන් ගේ ඍජු හෝ වක‍්‍ර සම්බන්ධවීමක් නොමැති ව ඒවා සිදුකළ නොහැකි බවයි. කොළඹ ජාතික කෞතුකාගාරයේ පුරාවස්තු මංකොල්ලයට සම්බන්ධ කිසිවෙකු තවමත් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී තිබේ. එම අවස්ථාවේ සිදු වී තිබෙන අනෙකුත් සිදුවීම් දෙස බැලීමෙන් මෙම පුරාවස්තු මංකොල්ලයට කෞතුකාගාරය තුළ සිටින කිසිවෙකු හෝ මෙයට සම්බන්ධදැයි සැක මතු වේ. එයට හේතුව ආරක්ෂක කැමරා පද්ධතියක් තිබෙන මෙ තරම් විශාල ස්ථානයකට ඇතුළුවීමට සාමාන්‍ය පුද්ගලයෙකුට නොහැකි ය. එම නිසා මෙහි ඇතුලේ සිටින කිසිවෙකුගේ හෝ මගපෙන්වීම අනිවාර්ය වේ. එ පමණක් නොව පොලිස් සුනඛයන් අවසානයට නතරවූයේ ආරක්ෂක කුටිය තුළ ය. මෙමගින් ඔවුන්ගේ යම් බලපෑමක් මෙයට හේතුවී තිබේ යැයි සිතිය හැක.

පුරාවස්තු විනාශ කිරීම සඳහා බොහොමයක් ආරක්ෂක නිලධාරීන් සම්බන්ධ වී සිටී. පොලිස් වාර්තා වලට අනුව ඒ බව හෙලි වී ඇත. මේ අතර හමුදා සේවයෙන් පැනගිය පුද්ගලයින් ද මේ ක‍්‍රියාවන්ට සම්බන්ධ වී ඇත. අනුරාධපුර ප‍්‍රදේශයේ පුරාවස්තු විනාශ කිරීම සම්බන්ධ ව මෑතක දී සහකාර පොලිස් අධිකාරීවරයෙකු ඇතුළු පිරිසක් අත්තඩංගුවට ගන්නා ලදි. සමහර විදුහල්පතිවරු සහ ගුරුවරු ද මේවාට සම්බන්ධ වී තිබේ. වැල්ලව දංගොල්ලාගම ෙසෙලතලාරාම විහාරස්ථානයට අයත් ඉඩමක විශාල ගල්පර්වතයේ නිධන් හාරමින් සිටි විදුහල්පතිවරයෙකු හා ඔහුගේ පුතුන් දෙදෙනෙක් ද හිටපු මුල් ගුරුවරයෙක් සහ ඔහුගේ පුතුන් තිදෙනෙක් ද අත්අඩංගුවට ගන්නා ලදි. මෙම ක‍්‍රියාදාමය දෙස බලන විට සමාජය යහ මගට යවන මිනිසුන් පවා පුරාවස්තු විනාශකිරීම මත සමාජ සාරධර්ම කඩා බිඳ දමන අවස්ථා ද ඇත. ඉහත සඳහන් කරන ලද පිරිසට අමතරව තවත් බොහෝ පිරිසක් මෙරට පුරාවස්තු විනාශ කිරීමේ ක‍්‍රියාවලිය පිටුපස සිටින බව අපට පැහැදිලි ය.

ශ‍්‍රී ලංකාවේ බොහෝ ග‍්‍රාමීය පළාත්වල ස්ථාන සහ ස්මාරක මහජන අවධානය සඳහා ඉදිරිපත් කර නොතිබීම නිසා ඒවා වනාන්තර ලෙස ගැනෙන හෙයින් බොහෝ පිරිසක් මෙ වැනි ඈත ප‍්‍රදේශවල නිධන් හෑරීමට පෙළඹී ඇත. ලංකාවේ සංස්කෘතික උරුම ස්ථාන ලක්ෂ 5ක් ලෙස සලකා බලන විට සියයට 90ක් ම තිබෙන්නේ ඈත ගම්මාන වල ය. ඈත ගම්මානවල චෛත්‍යවලට ඉතා බරපතල හානි සිදු වී තිබේ. නගරයේ සිට ගම්බද ප‍්‍රදේශවලට යන විට චෛත්‍යවල ප‍්‍රමාණය ඉතා කුඩා වේ. මේ නිසා නිධන්හෑරීම වඩාත් පහසු කරගැනීමට හැකි වී තිබේ. නිධන්හෑරීම දේශීය වෙළඳපොල අතර හුවමාරුව සහ අපනයනය දක්වා දිවෙන බවට පැහැදිලි වේ. මේ කාරණය නව වෙළඳ ආර්ථිකයක් මත ප‍්‍රබල ව දැකිය හැකි ය. මේ සඳහා වෙන්දේසි වගේම අන්තර්ජාල භාවිත කරන ලදි. උදාහරණ ලෙස බුද්ධ ප‍්‍රතිමා සම්බන්ධ අලෙවි කරන වෙබ් අඩවියක් තිබේ. මෙයින් ආසියාතික රටවල බුද්ධ ප‍්‍රතිමා අලෙවියට යොමුකර තිබේ. මේ බුද්ධ ප‍්‍රතිමා පුරාවිද්‍යා කැනීමක් මගින් 1950 ගණන්වල ලබාගත් ඒවා ය. මෙයින් පුරාවිද්‍යාඥයන්ගේ ආචාර ධර්ම ඇතුළු වෙළඳාම තුළ තිබෙන ජාත්‍යන්තර කරුණු අවබෝධ කරගත හැකි ය. මෙම පුරාවස්තු විනාශය පිටුදැකීම සඳහා ක‍්‍රියාවට නැංවිය හැකි කළමනාකරණ වැඩසටහන් බොහොමයක් තිබේ. එනම්

  • සියයට 90ක ප්‍රමාණයක් ග‍්‍රාමීය ප‍්‍රදේශවල ස්මාරක ස්ථාන, වනාන්තරබද ස්ථාන, මහජන අවධානය පිණිස හැකි ඉක්මනින් පර්යේෂණ කර ඒ පිළිබඳ දැනුවත් භාවයක් ලබාදීම
  • විශාල ප‍්‍රමාණයක් ස්ථාන ආරක්ෂා කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හැකියාවක් නැත. එම නිසා ගමේ පන්සල මුල්කරගෙන විහාරස්ථාන දායක සභාවට සෝදිසිකිරීම සඳහා බලතල ලබාදීම
  • පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තුළ තිබෙන පොලිස් ඒකකය හා ඔවුන්ගේ සේවාව විධිමත් කිරීම සහ එම ග‍්‍රාමීය පන්සල් සමග සම්බන්ධතාවක් ඇති කිරීම
  • ගමක පවතින ස්වේච්ඡා සංවිධාන සමිති සමාගම්වල සහය ලබාගනිමින් ගම් මට්ටමින් එහි ජාතික උරුමය රැකගැනීම සඳහා අවධානය යොමු කිරීම
  • දැනට පවතින නීතියට අනුව පුරාවස්තු මංකොල්ලකෑම් විනාශකිරීම ඇතුළු කුමන හෝ ක‍්‍රියාවලියකට ලබාදෙන දඬුවම රුපියල් 50,000ක දඩයක් හෝ අවුරුදු 2ක සිර දඬුවමකි. මෙය 1998 පුරාවිද්‍යා ආඥා පනත මගින් ලබා දී ඇති දඬුවමයි. මෙය 2005 දී දඩ මුදල් වැඩි කිරීමේ පනත මගින් 250,000 දක්වා වැඩිකර තිබේ. මෙය තවත් වැඩිකිරීම අවශ්‍ය වේ
  • රටේ ජාතික උරුමය සම්බන්ධයෙන් තියෙන වටිනාකම ජනතාව දැනුවත් කිරීම සඳහා වැඩමුළු සම්මන්ත‍්‍රණ කිහිපයක් ග‍්‍රාමීය මට්ටමින් පැවැත්වීම
  • ලංකාවේ නීතිමය පනත්වල තිබෙන නිධන් හෑරීමට අනුබල දෙන වගන්ති යෝජනා ඉවත්කිරීම සම්බන්ධයෙන් ප‍්‍රතිපත්ති සම්පාදනයට කරුණු ඉදිරිපත්විය යුතු ය. 1988 සංස්කෘතික දේපළ පනත තුළ තිබෙන ඇතැම් විධිවිධානවලට අනුව සංස්කෘතික දේපළ අපනයනයට පුරවැසියෙකුට අවස්ථාව තිබේ. මේ වගන්තියට අනුව යම් කෙනෙකුට රේගු දෙපාර්තමේන්තුවෙන් ගන්නා ලද අයඳුම් පතකින් පුරාවිද්‍යා කොමසාරිස්තුමාගේ නිර්දේශය මත ශ‍්‍රී ලංකාවේ ජාතික උරුමයට බලපෑමක් නොවේය යන සහතිකය නිර්දේශ කිරීමෙන් පුරාවස්තු පිටරට යැවීමට හැකි වේ. යම් ආකාරයක නිර්දේශය සඳහා අනුමත නොකරන අවස්ථාවක කිසියම් ආකාරයක දේශපාලන බලපෑමක් ඇති විය හැකි ය. පුරාකෘති අලෙවි කිරීම සඳහා යම් අලෙවිසැල් පවත්වා ගෙන යාම සඳහා අවසර පත් ලබා දීම තුළින්, මෙහි මුල් කෘතිය ද අනුකෘතිය ද යන්න නොකියවෙන නිසා, ව්‍යාපාරිකයන්ට රට තුළම වෙළඳකුටි තබා ගැනීමට මෙය උත්තේජනයවක් වේ. එමනිසා මෙම පනත සංශෝධනය කළ යුතු වෙයි. මෙම වෙළඳකුටි පරීක්ෂාකිරීමට කිසියම් විධිමත් යාන්ත‍්‍රණයක් අවශ්‍ය වේ
  • 1888 එන ලද නිධන්වස්තු පනත මගින් ප‍්‍රකාශ කරනු ලබන්නේ පුරාවස්තු ආණ්ඩුවට ලබාදීමයි. මේ පනත තුළ නිධන්හෑරීම යන වචනය නීතිගත වී තිබීම බරපතල කාරණයකි. මේනිසා පනතේ තිබෙන අදහස් පිළිබඳව මහජනයා දැනුවත් කළ යුතු ය
  • රාජ්‍ය ප‍්‍රත්පත්තිය තුළ යටත් විජිත කාලයේ රැගෙන යන පුරාවස්තු සහ ඊට පසුව විවිධ ක‍්‍රම මගින් විදේශ රටවල්වලට රැගෙනගිය පුරාවස්තු ගෙන්වා ගැනීමට තානාපති මට්ටමේ සාකච්ඡා පැවැත්වීම සිදුකළ යුතු ය
  • පාසල්වල ඉතිහාසය විෂය විධිමත් කර පුරාවස්තු කළමනාකරණය නමින් පාඨමාලාවක් හඳුන්වා දීම සිදුකළ යුතු ය.
    පාසල් ආශ‍්‍රිත ප‍්‍රදේශවල තිබෙන පුරා ස්ථාන ආරක්ෂා කර ගැනීම සඳහා පාසල් ශිෂ්‍යභට කණ්ඩායම්, බාලදක්ෂ කණ්ඩායම් යෙදවිය යුතු ය
  • පුරාවිද්‍යා දැනුමක් තිබෙන උපාධිධාරීන්ගේ සේවාව රේගුවට ලබාගත යුතු ය. එ මෙන් ම සංස්කෘතික ස්ථාන මාර්ගෝපදේශයට පුරාවිද්‍යා සහ සංචාරක හා සංස්කෘතික සම්පත් කළමනාකරණ උපාධිධාරීන් බඳවා ගත යුතු වේ

මෙලෙස ශ‍්‍රී ලංකාව තුළ පුරාවස්තු ආරක්ෂා කර ගැනීමට කළමනාකරණ වැඩසටහන් දියත් කිරීමෙන් පුරාවස්තු විනාශය මගහරවා ගත හැකි ය. දිනෙන්දින වැඩි වන ජාතික උරුමයන් විනාශ කිරීම වළක්වා ගැනීමට මෙවැනි කළමනාකරණ වැඩපිළිවෙළක් තිබිය යුතු වේ. නැතහොත් අපේ සංස්කෘතික උරුමයන් නොබෝ කලකින් විනාශ වී යනු ඇත.

3 COMMENTS

  1. මෙම ලිපි බාහිර උපාධි පාඨමාලාව ඉගෙනුම් කටයුතු සදහා ලබා දෙන්න

    • මෙම ලිපියේ ප්‍රින්ට් අවුට් එකක් ලබාගන්න.

  2. පුරාකෘති අාරක්ෂා කිරිෙම් ක්‍රමවේද මොනවාද

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.