ඩබ්. එච්. රුක්‍ෂාන් ප‍්‍රියන්දන

මුහුදු පුරාවිද්‍යා ඒකකය, මධ්‍යම සංස්කෘතික අරමුදල, කොටුව ගාල්ල.

ප‍්‍රවිෂ්ඨය

රුක්‍ෂාන් ප‍්‍රියන්දන

ශ‍්‍රී ලංකාවේ නිර්මාණය වූ සියලු ම වෙහෙරවිහාරස්ථාන කැටයමින් මෙන් ම සිතුවමින් අලංකාර කිරීම අතීතයේ මෙන් ම වර්තමානයේ ද සාමාන්‍ය ක‍්‍රියාවලියකි. මෙ සේ නිර්මාණය කළා වූ කෘති කාලයත් සමග නවීකරණය වෙමින් ද ජරාජීර්ණ වූ විට ප‍්‍රතිසංස්කරණය කරමින් ද පැවත එන්නට විය. සිතුවමින් අලංකාර කළා වූ විහාර මන්දිර කාලයත් සමඟ විනාශ වන විට දී පැරණි සිතුවම් ඉවත් කර නැවතත් තත්කාලීන සමාජ පරිසරය තුළ හිඳිමින් සිතුවම් නිර්මාණය කළහ. සමාජ, ආර්ථීක මෙන් ම දේශපාලනික හේතු සාදක ද මේ සඳහා බලපා තිබේ. 1953 අපේ‍්‍රල් මස 23 දිනමිණ පුවත්පතෙහි ලිපියක් පලකරමින් මහ උඩුව පැරණි විහාර මන්දිරයේ ඇති සිතුවම් පිළිබඳ ව ඇස්.පී. චාල්ස් මහතා අදහස් දක්වා තිබේ. වර්තමානය වන විට කුඩා දරුවන් ගේ නියපොත්තත් ස්වභාව ධර්මයේ තර්ජනයටත් ලක්වෙමින් හුණු බදාම ගැලවී යාමේ තර්ජනයට ලක් ව ඇති බවත් ඉදිකෙරෙමින් පවතින නව විහාර මන්දිරය හේතුවෙන් පැරණි විහාර මන්දිරයට තිබෙන අවධානය නැති වී ඇතැයි ඔහු එහි දී දක්වයි. (චාර්ල්ස් 1953) මෙ ලෙස කිසිවෙකු ගේ අවධානය යොමු නොවූ උක්ත පැරණි විහාර මන්දිරය 1970 දශකයේ දී කඩා ඉවත් කරන ලද බව විහාරාධිපති හිමියන් සඳහන් කරන ලදහ. නව විහාර මන්දිරය විවෘත කර තිබෙන්නේ ද මෙකී කාල පරාසය තුළ වීම හා නව විහාර මන්දිරය ඉදිරියේ පැරණි විහාර මන්දිරය පිහිටි හෙයින් ද එ සේ කි‍්‍රයා කරන්නට ඇත. මෙකී විහාරස්ත සිතුවම් හී පිටපත් කිහිපයක් අපට හමුවීම තුළ ඒ පිළිබඳ විග‍්‍රහයක් මෙහි දී ඉදිරිපත් කෙරේ.

අන්තර්ගතය

මහ උඩුව විහාරය කළුතර දිස්ත‍්‍රිකයේ හොරණ ප‍්‍රදේශීයසභා බල ප්‍රදේශයේ පිහිටා ඇත. හොරණ – පානදුර මාර්ගයේ විද්‍යාරතන හන්දියෙන් හැරී දිවෙන පාදුක්ක මාර්ගය ඔස්සේ ගමන් කර කනන්විල හන්දියෙන් හැරී කුඩා උඩුව මාර්ගයේ ගමන්කර මහ උඩුවට ලඟා විය හැකි වේ. විහාරය 614 බී උඩුව ග‍්‍රාමනිළධාරී වසමේ පිහිටයි. උඩුව යන ග‍්‍රාම නාමය පිළිබඳ ව ජනප‍්‍රවාදයේ එන්නේ උඩ වැව, උඩුව වූ බවයි. වර්තමානයේ ද උඩුව ප‍්‍රදේශයේ වැවේ බැම්මක නෂ්ඨාවශේෂ පවතී. විහාර භූමිය පැරණි චෛත්‍ය, නව විහාර මන්දිරය හා පැරණි දම්සභා මණ්ඩපයකින් සමන්විත අංග සම්පූර්ණ විහාරස්ථානයකි. වර්තමාන විහාරාධිපති ධූරය හොබවන්නේ පූජ්‍ය උඩුවෙ විමලකිත්ති නාහිමියන් ය. විහාරස්ථානය 19 වන සියවසේ මැද භාගයේ ආරම්භ කරන්නට ඇතැයි අනුමාන කල හැකි වේ. විහාරස්ථානයේ ආරම්භක හිමියන් ලෙස කටයුතු කර තිබෙන්නේ උඩුවෙ රේවත හිමි ය. උන්වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝ රත්නය සියම් නිකායේ මල්වතු පාර්ශවයේ වේරවත්ත පරම්පරාවෙන් පැවත එයි.

පේ‍්‍රමරත්න වනිගතුංග

ඇස්.පී. චාර්ල්ස් මහතා උඩුව විහාරස්ථානයේ ඇති සිතුවම් පිළිබඳ ව එහි ඇති වටිනාකමත් එය අනාගත පරපුරට දායාද කළ යුතුයැයි ද අවධාරණය කර තිබේ. තව ද විහාර සිතුවම් විනාශව යාමට මත්තෙන් පිටපත් කර ආරක්‍ෂා කිරීමේ වටිනාකම පිළිබඳ ව ද පෙන්වා දී ඇත. ඇස්.පී. චාර්ල්ස් මහතා ගේ ශිෂයකු වූ පේ‍්‍රමරත්න වනිගතුංග මහතා එම කාර්ය පිළිබඳ ව අවබෝධ කර ගනිමින් විහාර සිතුවම් පිටපත් කරන්නට විය. හොරණ හඳපාන්ගොඩ ප‍්‍රදේශයේ ජීවත් වූ මොහු දක්‍ෂ චිත‍්‍ර ශිල්පියෙක් විය. ශ‍්‍රී ලංකාවේ චිත‍්‍ර කර්මාන්තයට කරනු ලැබුවා වූ සේවය වෙනුවෙන් කලාභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ මෙ තුමා කැලණිය විශ්ව විද්‍යාලයේ සෞදර්ය අධ්‍යනාංශයේ චිත‍්‍ර හා මූර්ති අංශයේ ප‍්‍රධානියා ලෙස කටයුතු කළහ. තම ගුරුවරයාගෙන් ලැබුනා වූ උපදෙස් මත ඔහු මෙම කාර්යය සඳහා දායකවන්ට ඇතැයි සිතිය හැකි වේ. පේ‍්‍රමරත්න වනිගතුංග මහතා අවුරුදු 71 ආයු වළදා 1995 දී වියෝ වූවත් ඔහු විසින් පිටපත්කර ගන්නා වූ විහාර බිතුසිතුවම් ඔහු ගේ නිවසේ සුරක්‍ෂිත ව පවතී. ඉංගිරිය කොළඹ මාර්ගයේ හඳපාන්ගොඩ හන්දිය ආසන්නයේ ම ඔහු ජීවත් වූ නිවස පිහිටයි.

උඩුව විහාර මන්දිරයේ දළ සැලැස්ම

වනිගතුංග මහතා විසින් විහාර සිතුවම් tracing paper එකකට ගෙන පසුව වෙනම ඇඳ දියසායම් මාධ්‍යයෙන් සිතුවම වර්ණයට නගන ලදී. ඔහු විසින් නිර්මාණය කරන ලද්දා වූ මෙහි මුල් පිටපත් ද තවමත් සුරක්‍ෂිත ය. උඩුව විහාරයේ ප‍්‍රධාන කොට ජාතක කතා තුනක් මොහු පිටපත්කර වර්ණ ගන්වනු ලැබ තිබේ. විහාර මන්දිරයේ නිරූපණය කරනු ලැබ තිබූ ප‍්‍රමාණයෙන්ම ඇඳ වර්ණ ගන්වා තිබෙනුයේ මහා කණ්හ ජාතකය පමණි. මණිචෝර හා චුල්ල ධර්මපාල යන ජාතක කතා ප‍්‍රමාණයෙන් කුඩා කර ඇද තිබේ. ඔහු එම පිටතපත්හී ඒ පිළිබඳ ව සඳහන් කරයි. උඩුව විහාර මන්දිරයේ වාස්තු විද්‍යාත්මක සැලැස්ම පිළිබඳ ව චාර්ල්ස් මහතා දක්වයි. එ පරිදි විහාර මන්දිරය වටා පිට මාලයක්ද ගර්භ ගෘහයක් ද වූ බවත් පිට මාලය වටා සිතුවම් නිර්මාණය කරන ලද බව දක්වයි. උඩුව ප‍්‍රදේශයේ වයෝවෘද්ධ පුද්ගලයෙක් වන ආනන්ද වනිගතුංග මහතා අපහට එහි සැලැස්ම පිළිබඳ ව ඔහුගේ මතකය අවධි කළේ ය. ඔහු දක්වන ආකාරයට විහාර මන්දිරය දොරටු මණ්ඩපයකින්, පිටමාලයකින් හා ගර්භ ගෘහයකින් සමන්විත ය. ගර්භය තුළ හිදි බුද්ධ ප‍්‍රතිමාවක් වැඩසිටි බවත් ප‍්‍රධාන බුද්ධ ප‍්‍රතිමාව දෙපස සැරියුත් හා මුගලන් රහතන් වහන්සේලා ගේ ප‍්‍රතිමා වූ බව පැවසූහ. තව ද පිට මාලය වටා කොට තාප්පයක් ද ඒ මත වෘත්තාකාර වූ කණු හී පිටමාලයේ වහල ද විය. ගර්භයට ද වෙනම ම වහලයක් ද ලෙස වහලයන් දෙකකින් විහාර මන්දිරය සමන්විත වූවා යැයි සඳහන් කරන ලදහ.

පිටමාලයේ සිතුවම් ප‍්‍රධාන ලෙස තීරු දෙකක් ඔස්සේ සිතුවම් කර තිබෙන බවත් එහි ඉහල තිරුවේ සූවිසි විවරණයත් පහල තීරුවේ ජාතක කතා නිර්මාණය කර ඇති බව චාර්ල්ස් මහතා දක්වයි (චාර්ල්ස්, 1953). අප විසින් සොයාගන්නා ලද තොරතුරු හා චාර්ල්ස් මහතා විසින් දක්වන ලද තොරතුරු හා සමාන විහාර මන්දිරයක් පොකුණුවිට, කිත්සිරිමෙවන් රජමහා විහාරයේ දැකිය හැකි වේ. එහි පිට මාලයක් හා ගර්භ ගෘහයකින් සමන්විත වූව ද දොරටු මණ්ඩපයක් දක්නට නොලැබේ. නමුත් මෙහි ද සිතුවම් පිට මාලයේ නිරූපිත අතර තීරු දෙකකින් යුක්ත ය. ඉහල ම තීරුවේ සූවිසි විවරණය හා පහල තීරුව මත ජාතක කතා නිරූපිත ය. පේ‍්‍රමරත්න වනිගතුංග මහතා විසින් පිටපත් කරන්නට යෙදුන මුල් පිටපතේ දැක්වෙන පරිදි සිතුවම් නිර්මිත තීරයක පළල වන්නේ සෙන්ටිමීර් 86කි. ඔහු විසින් විහාර බිත්තිය මතින් කොපි කර ගත්තා වූ මුල් පිටපත් සියල්ලම එක ම පළලකින් යුක්ත වේ. පිටපත් කර වර්ණ ගන්වා ප‍්‍රතිනිර්මාණය කළ මහා කණ්හ ජාතක කතා වස්තුව ඇතුළු සිතුවම අඛණ්ඩ ව ගලායන ආකාරයට එක කොළයක බිත්තියේ නිර්මාණය කර තිබුනා වූ දිග හා පළල එ ලෙස ම යොදා ගනිමින් නිර්මාණය කර ඇත. ඒ අනුව උඩුව විහාර ගර්භ ගෘහයේ පළල පිට පැත්තෙන් මැන බැලූව හොත් මීටර් 5.35 ලෙස වේ. මෙය චුල්ල ධර්මපාල හා මනිචෝර යන ජාතක කතාවන්හී මුල් පිටපත්හී දිගට ද සමාන ය. ඒ අනුව විනාශයට පත් වූ උඩුව පැරණි විහාර ගර්භ ගෘහය සමචතුරඝ‍්‍රාකාර බවත් එහි පිට මාලයෙන් මැන බැලුවහොත් එක් පැත්තක දිග මීටර් 5.35 ලෙස ගණනය කළ හැකි වේ.

විහාර සිතුවම් මීට වසර 75 පමණ පෙර නිර්මාණය කරන ලද බව චාර්ල්ස් මහතා ප‍්‍රකාශ කරයි. එම ප‍්‍රකාශය කරනු ලබන්නේ 1953 දී ය. අද සමඟ සංසන්දනය කරනු ලැබුවහොත් අදින් වසර 134 පමණ පෙර දී ය. එනම් 1878 දී ය. පිටමාලයේ පිටුපස බිත්තියේ නිරූපිත යැයි සැලකෙන්නා වූ චුල්ල ධර්මපාල ජාතකය පිළිබඳ ව දීර්ඝ විස්තරයක් ඔහු සපයා තිබේ. පිටමාලයේ දකුණු පස හා වම්පස පහල තීරු හී කුමන සිද්ධියක් නිරූපණය කළා දැයි නොපවසයි. මෙහි දී චාර්ල්ස් මහතා හට එක් වැරදීමක් වී තිබේ. ඔහු දක්වන්නේ මහා ධර්මපාල ජාතකය මෙහි සිතුවම් කලර තිබූ බවයි. නමුත් ඔහු විස්තර සපයන්නේ චුල්ල ධර්මපාල ජාතකයයි. ඔහු විසින් පිටපත් කල සිතුවමක් ද දිනමිණ පුවත්පතට ඇතුළු කර තිබෙන අතර එය චුල්ල ධර්මපාල ජාතකයයි. එම පිටපත හා වනිගතුංග මහතා කළ පිටපත සමාන ය. වනිගතුංග මහතා විසින් පිටපත්කරන ලද සිතුවම් අතර මොහු විසින් සඳහන් කරන ලද චුල්ල ධර්මපාල ජාතකය මෙන් ම මනිචෝර හා මහා ඛන්හ ජාතකකතා ඇතුළු වේ. එනම් චාර්ල්ස් මහතා සඳහන් නො කරන ලද අනෙක් ජාතක කතා දෙක වන්නේ මනිචෝර හා මහා ඛන්හ ජාතක කතා ය. ශිල්පියා විසින් පිටමාලයේ එක් බිත්තියක එක් ජාතක කතාව බැගින් ජාතක කතා තුනක් නිර්මාණය කරන්නට ඇතැයි අපට හැගේ.

චුල්ල ධර්මපාල ජාතකය ආරම්භ වන්නේ පිටමාලයේ පසුපස බිත්තියේ දකුණු කෙලවරින් බව චාර්ල්ස් මහතා දක්වයි. උඩරට ප‍්‍රදේශයෙන් බැහැර ව නිර්මාණය වූ බොහෝ විහාරස්ථානයන්හි ඉතා සුලභ ව දැකිය හැකි ජාතක කතාවක් ලෙස චුල්ල ධර්මපාල ජාතකය හඳුන්වාදිය හැකි වේ (පේ‍්‍රමතිලක 1987, 570-571). මෙ ලොව දී ම විපාක දෙන අකුසල කර්ම පිළිබඳ ව ජනතාවට අවබෝධයක් ලබාදීමත් පාප කර්මයන්ගෙන් ජනතාව ඈත් කිරිම අරමුණු කොට චුල්ල ධර්මපාල ජාතකය සිත්තම් කරන්නට ඇත. අප යම් පාපයක් කළ විට මෙ ලොව දී ම එහි ප‍්‍රතිඵල අත්වන බවත් එමනිසා පවට බිය විය යුතු ය යන මතය ජනතාව ට ගෙනයාමට ශිල්පීන් මෙවැනි ජාතක කතාවන් යොදා ගත්හ. විහාරයේ සිතුවම්හී සිද්ධීන් 5කින් ජාතක කතා වස්තුව දිග හැරේ.

ජාතක කතාව ආරම්භ වන්නේ රජු හා බිසව ඉතා සතුටින් කල් ගෙවන ආකාරය දැක්වෙන සිතුවමින් බව චාර්ල්ස් මහතා පවසයි. නමුත් වනිගතුංග මහතා ගේ පිටපතේ චුල්ල ධර්මපාල ජාතකය ආරම්භ වන්නේ දේවිය හා වෙනත් කාන්තාවක් සංවාදයේ යෙදෙන ආකාරය දැක්වෙන සිතුවමිනි. මහා ප‍්‍රතාප රජු ගේ මාළිගය එහි දැක් වේ. ශෝකයෙන් සිටින චන්ද්‍ර දේවිය සනසාලන්නට සේවිකාවක් උත්සාහ දරන ආකාරය නිරූපිත ය. ඔවුන් සිටිනුයේ දෙමහල් මහලක පහළ කොටසේ ය. එම මන්දිරය ඉදිරියේ රජු හා තවත් පුද්ගලයෙක් සංවාදයකි. ඔහු ප‍්‍රභූවරයෙක් යැයි අනුමාන කළහැක්කේ පැළඳ සිටින හිස් වැසුමෙන් ය. මාළිගාව මත වහලය මත විශාල ප‍්‍රමාණයේ පක්‍ෂියෙකි. ශිල්පියා එම ස්ථානයේ වන හිස් අවකාශය ඉවත් කර ගැනිීම උදෙසා මෙවන් උපක‍්‍රමයක් භාවිත කරන්නට ඇත. (ඵලක 3) චාර්ල්ස් මහතා පවසන ලද පරිදි සිතුවම් ආරම්භ වන්නේ රජු හා බිසව සතුටින් කල් ගතකරන ආකාරයෙන් ය යන්න පැවසීම වැරදීමකින් සිදුවන්නට ඇත. චාර්ල්ස් මහතා විසින් සපයන ලද ලිපියේ චුල්ල ධර්මපාල ජාතකය දක්වන ලද සිතුවම් පිටපත් කොටස හා වනිගතුංග මහතා විසින් පිටපත් කරන ලද පිටපත් එක ම සිදුවීම් බැවින් ඒ කරුණ සනාථ වේ.

චුල්ල ධර්මපාල ජාතකයේ අනතුරු ව නිරූපනය වන්නේ රජු ඇතු පිට නැගී පෙරහැරින් දේවිය බැලීමට යන අවස්ථාවයි. සේසත් කොඩි පෙරටු කොටගත් පෙරහැරින් ගමන් ගන්නා රජුගේ වමත කඩුවකි. පෙරහැර ඉදිරියෙන් පුද්ගලයින් දෙදෙනෙක් තම්මැට්ටමක් හා මද්දලක් වාදනය කරයි. එම පුද්ගලයින් දෙදෙනා ජටා බැඳ සිටින අතර මුහුණ පුරා දැඩි රැවුලකි. ඔවුන්ගේ ශරීරය වර්ණ ගන්වා ඇත්තේ දුඹුරු පැහැයෙන් ය. ශිල්පියා ඔවුන් දෙදෙනා දුඹුරු පැහැයෙන් වර්ණ ගැන්වීම සිතාමතා කළ බව පැහැදිලි වන්නේ සේසත් හා කොඩි ගෙනයන පුද්ගල රූ කහ වර්ණයෙන් නිමවීම ය. උඩරට ප‍්‍රදේශ වල මෙන් ම පහතරට ප‍්‍රදේශයන්හී ඉතා දැඩි ලෙස කුල ධූරාවලිය දක්නට තිබුනි. එහිදී බෙර වාදනය කරන්නන් වෙනම ම කුලයකට අයත් වූ අතර ඔවුන් පහත් කුල ඇත්තන් සේ සලකන ලදී. බෙරවා, ගණිත, ඔලී බෙරවයන කුලයන් ලෙස සලකන ලදී (සිල්වා, 1997: 30). පහතරට විහාරස්ථානයන්හී සමාජ විරෝධී කි‍්‍රයා සිදුකරන දුශ්චරිත පුද්ගලයින් සඳහා භාවිත කරන ලද වර්ණය වූයේ දුඹුරු වර්ණයයි. උඩුව විහාරයේ කුලය පදනම් කර ගනිමින් මෙසේ අන් අයගෙන් වෙන්කර දැක්වීම සඳහා දුඹුරු වර්ණය භාවිත කරන්නට ඇත.

අනතුරු ව ශිල්පියා දේවිය දරුවාට කිරි පොවන ආකාරය දක්වයි. එතනට පැමිණෙන රජු එක් ඇඟිල්ලක් දිගුකර තමාගේ නොසතුට ප‍්‍රකාශ කරන අතර බෝසත් කුමරා ඇකයේ කිරි බොමින් සිටින විට වධකයා අනෙක් පසින් පැමිණ කුමරුගේ හිසින් අල්ලා උදුරා ගනී. බිසවගෙන් තමන්ට ලැබුණු ගරු සැලකිල්ල පමණක් නොව ආදරය පවා අහිමි වීම තුළ ඊර්ෂ්‍යාවට හා දැඩි කෝපයට පත් රජු ගේ ආඥව මත මෙසේ වධකයා ඇකයේ කිරි බොමින් සිටින කුඩා දරුවා උදුරා ගනී. රාජ නියෝගයෙන් බිසව සිටින මාළිඟයේ ඉහල සිටින පුද්ගලයින් ශෝකයට පත් වේ. (ඵලක 4) මෙම සිතුවම නරඹන පේ‍්‍රක්ෂකයා ගේ සිතේ භීතිය මෙන් ම නෙතට කඳුලක් ගෙනෙන දර්ශනයක් ය. වධකයා දකුණු අතින් පොරවක් ද වම් අතින් දරුවා ගේ දෙපයින් ද ඔසවාගෙන රැගෙන යන අතර පසුව වධකයා කුමරු ගේ ශරීරයේ අවයව එකිනෙක සංසිඳවාලයි. මෙහි වධකයා ගේ අත වන්නේ කඩුවකි. පසෙක දේවිය බිම වැතිරී හඬන අතර ඇය ගේ හිසකෙස් අවුල් ව ගිය ආකාරය දැක්වීම තුළින් ඇය දැඩි සේ ශෝකයට පත් ව සිටින ආකාරය රසිකයා ගේ සිතට දනවයි. දේවිය පසුපස සේවිකාවක් දේවිය ගේ උරහිස අල්ලා සිටී.

ඵලක 4 – චාර්ල්ස් හා වනිගතුංග මහත්වරුන් විසින් සකස් කළ චුල්ල ධර්මපාල ජාතකයේ පිටපත් (උඩුව විහාරය)

රජු ගේ ඇඟ ගිණිදැල් පැමිණ වෙළාගන්නා ආකාරය මෙන් ම අපායට ගෙනගොස් යමපල්ලන් රජු බිම දමා වද දෙන ආකාරය ගිනිදැල් අතරින් පෙනෙන සේ සිත්තරා චිත‍්‍රනය කරයි. මෙම මිලේච්ඡ් කි‍්‍රයාව හමුවේ නරඹන්නාගේ සිතේ ඇති වු ක්‍රෝධය මත හැඟෙන්නේ රජුට අත් වූ ඉරණම අනුමත කරන්නක් ලෙස ය. තමන් එය අනුමත කරන්නේ නම් තමන් ද පව් වලින් ඈත්විය යුතු ය යන සිතුවිල්ල මනෝවිද්‍යාත්මක ව ජනයා ගේ සිතට ඇතුළු කිරීමට තරම් උඩුව විහාර දිස්ත‍්‍රික්කයේ සිත්තරා ඥනවන්ත වී තිබේ. වනිගතුංග මහතා සිතුවම් පිටපත් කර නැවත වර්ණ ගැන්වීමේ දී බිත්තියේ සිතුවම් විනාශ වූ ස්ථාන කෙරේ අවධානය යොමු නොකර සම්පූර්ණ චිත‍්‍රය ම කොටස් පුරවා වර්ණ ගන්වයි.

උඩුව විහාරයේ පිටපත් අතර දක්නට ලැබෙන අනෙක් ජාතක කතා වස්තුව වන්නේ මනිචෝර ජාතකයයි. පහතරට සිත්තරුන් ගේ අවධානය දිනාගත්තා වූ තවත් ජනප‍්‍රිය ජාතකයක ලෙස මෙය හැදින් විය හැකි වේ. පතිවෘත්තාව ආරක්‍ෂාකිරීමේ බලයෙන් සත්‍ය ජයගන්නා ආකාරය ජාතක කතාවෙන් ගත හැකි ආදර්ශයයි (පේ‍්‍රමතිලක, 1987:334). බටහිර ආගමනයත් සමඟ සංකර වූ සමාජ සිරිත්විරිත් ප‍්‍රකෘතිමත් කිරීමට මෙවැනි ජාතක කතා ශිල්පීන් පාදක කර ගත්හ. විහාර සිතුවම් සඳහා ඔවුන් නිතර ම යොදාගත්තේ සමාජයට යම් ආදර්ශයක් මෙන් ම යම් පණිවුඩයක් ගෙනයාහැකි ජාතක කතා ය.

ජාතක කතාව ආරම්භ වන්නනේ රජු ගේ මාළිගාව දක්වන සිත්තමකිනි. මාලිගයේ දකුණු පස මුර සෙබලෙකි. කළු පැහැ ඇඳුමකින් සැරසී සිටින ඔහු ගේ වමත හෙල්ලකි. ඇඳ සිටින්නා වූ ඇඳුම යුරෝපීය සොල්දාදුවෙකුගේ ඇඳුමකට සමාන වේ. මාළිගයේ කාන්තාවන් දෙදෙනෙක් සාකච්ඡාවේ නිරතවන අතර රජු හා ප‍්‍රභූවරුන් දෙදෙනෙක් යම් සාකච්ඡාවක නිරත වන ආකාරය දිස් වේ. මාළිගයේ කණු දෙකක්මත වන විදුලි පහන් ලන්තෑරුමකට සමාන ය. අනතුරු ව රජු වීදි සංචාරය කරන අයුරු දක්වන්නා වූ සිතුවමක් ය. සේසත් හා කොඩි පෙරටු කොට ගත්තා වූ රජු ඇතකු පිට නැගී ගමන් කරයි. රජු ඉදිරියේ රථයක නැගී බෝසතාණන් සමඟ සුජාතාව පැමිණේ. ඔවුන් දෙදෙනා පැමිණෙන්නා වූ රථය තරමක් කුඩා ය. එහි දක්වන ලද අශ්වයා ද බෙහෙවින් කුඩාව සිත්තම් කරයි. ශිල්පියා එහි දී පරිමාණානුකූලත්වය කෙරෙහි සැළකිලිමත් ව නොමැත.

ජාතක කතාවට අනුව සුජාතාව දකින රජු ඇය කෙරේ ආලයක් උපදී. රජු ඇය පිළිබඳ ව සොයා බැලීමට ඇමතිවරයෙකුට භාරදෙනු ලබයි. සුජාතාව විවාහ වී සිටින්නා වූ කාන්තාවක් බව දැනගත් රජු කෙසේ හෝ ඇය ලබා ගැනීමට කල්පනා කරයි. ඒ අනුව ස්වාමි පුරුෂයා මැරීමට උපායක් යොදනු ලබයි. එහි දී රජුගේ චූඩාමාණික්‍ය බෝසතානන් ගමන් ගන්නා රථයේ සඟවා ඔහු සොරෙකු සේ බොරු චෝදනා කර මරා දැමීම උපායයි. බෝසතානන් ගේ රථයේ මාණික්‍ය සඟවාලන පුද්ගලයා ශිල්පියා ඇඳ තිබෙනුයේ දුඹුරු පැහැ වර්ණයෙන් ය. ඔහු ද මෙම අසත්පුරුෂ ක‍්‍රියාවට සම්බන්ධ වීම හේතුකර ගනිමින් මෙසේ චිත‍්‍රනය කරන්නට ඇත. (ඵලක 5).

ඵලක 5 – මනිචෝර ජාතකය උඩුව විහාරය

රජු ගේ චූඩා මාණික්‍ය සොරකම් කලායැයි චෝදනා එල්ල වූ බෝසතානන් වහන්සේ දෙ අත් බැඳ රජු ඉදිරියට පමුණුවන දර්ශනය අනතුරු ව වේ. රජු එහිදී බෝසතානන් වහන්සේ මරා දැමීමට නියෝග කරයි. මෙහි රජු සිටින්නාවූ මාළිගයේ දකුණු පසට වන්නට මුරකරුවෙකි. මොහු ද ඇඳ සිටින්නේ කළු පැහැ ඇඳුමක් වන අතර අතෙහි තුවක්කුවක් දරා සිටී. රාජ අණින් මරණ දණ්ඩනයට ලක් වූ තම ස්වාමියා පිළිබඳ ව ඇතිවූ දුකින් හඩා වැටෙන්නා වූ සුජාතාව අනතුරු ව දැකිය හැකි වේ. ඇය එහි දී අධිෂ්ඨානයක් කරනු ලබයි. මාගේ පතිවෘතතාවේ බලයෙන් මා ගේ ස්වාමියාට බේරා දෙන ලෙසිනි. ඇය ගේ අධිෂ්ඨානය හේතුවෙන් පැමිණෙන ශක‍්‍ර දේවේන්ද්‍රයා ආකාශයේ දැක් වේ. අත් සතරකින් යුත් ඔහුගේ එක් අතක සංඛයකි. අනතුරු ව ශක‍්‍රයා ඇතා මත සිටින්නා වූ රජු දංගෙඩිය මත තබා මරණයට පත් කරනු ලබන අතර මරණ දණ්ඩනය නියම වූ බෝසතානන් වහන්සේ ඇතු පිට නංවා රාජ්‍යත්වය ලබා දීමට කටයුතු කරනු ලබයි. උඩුව විහාර සිත්තරා මෙම දිර්ඝ ජාතක කතා වස්තුව ඉතා කෙටියෙන් පේ‍්‍රක්‍ෂකයා හට තේරුම්ගත හැකිවන පරිදි මනා කොට නිරූපණය කරනු ලැබ ඇත.

6 – මහා කණ්හ ජාතකය උඩුව විහාරය

උඩුව විහාර සිතුවම් පිටපත් අතර දක්නට ලැබෙන තෙවන ජාතක කතා වස්තුව වන්නේ මහා කණ්හ ජාතකයයි. වනිගතුංග මහතා මෙම ජාතක කතා වස්තුව පිටපත් කර වර්ණ ගන්වා තිබෙන්නේ බිත්තියේ නිරූපිත පරිමාණයට ය. මුල් පිටපත් දිග හා පළල ඒ ආකාරයෙන් ම යොදා ගනිමින් සිත්තම් කරයි. මහා කණ්හ ජාතකය ද පහතරට සිත්තරුන් බහුල ව සිත්තම් කරනලද කතා වසිතුවකි. කළුතර දිස්ති‍්‍රක්කය තුළ පිහිටි දොඩන්ගොඩ සුදර්ශනාරාමය, ඈතගම සුමනාරාමය වැනි විහාරස්ථානයන්හී ද උක්ත ජාතකකතාව සිත්තම් කරනු ලැබ තිබේ. මහාකණ්හ ජාතක කතාවේ තේමාව සමකාලින සමාජ තත්වයට මනාකොට යෝග්‍ය වේ. විශේෂයෙන් ම පෘතුග‍්‍රීසි ලන්දේසි ඉංග‍්‍රීසින් තම ආර්ථික වාසි උදෙසා වරින්වර විවිධ උපක‍්‍රම ඔස්සේ මෙරට ජන ජීවිතය වෙනස් කිරීමට කටයුතු කළ අතර මේ ඔස්සේ ඔවුන්ගේ සිතුම්පැතුම් අදහස් හා ගුණධර්ම වලට ද මරු පහරක් එල්ල කරන ලදී. පහතරට සිංහල බෞද්ධ ජනතාව බොහෝ පිරිසක් ක‍්‍රිස්තියානි ආගම වැළඳ ගත් අතර ඔවුන් බටහිර සංස්කෘතිය හා බටහිර සිරිත්විරිත් අනුව යමින් ජීවත්වන පිරිසක් බවට පත් වි ය. ඒ ඔස්සේ දුෂ්ශීලයන් බවට පත් වූ ජනතාව ආචාර ධර්ම හා සංස්කෘතියට පටහැනි පිරිසක් බවට පත් වි ය. මින්සුන් දුරාචාරයට පත් වූ යුගයක ශක‍්‍රයා ඔවුන් ව ඉන් මුදවා ගැනීම මහා කණ්හ ජාතකයෙන් නිරූපිතය (පේ‍්‍රමතිලක, 1987:792-793). ශිල්පියා විහාර සිත්තම් නිර්මාණය කරනු ලැබුවේ ද එ වැනි වකවානුවක ය (ඵලක 6).

කතාව ගලායාම ආරම්භ වන්නේ මිනිසුන් සත්ව ඝාතනයේ යෙදෙන ආකාරය දැක්වෙන සිතුවමකිනි. එහි දී දුනු, කඩු රැගත් පුද්ගලයින් සතුන් මරා රැගෙන යන ආකාරය දැක් වේ. පසු ව විශාල සුනඛයෙක් හා මිනිසෙක් දැක් වේ. සුනඛයා ගේ ගාත‍්‍රා සතර දම්වැල් මගින් ගැටසා තිබේ. ජාතක කතා සංග‍්‍රහයට අනුව ශ‍්‍රක‍්‍ර දේවේන්ද්‍රයා මිනිසුන් ගේ සමාජ විරෝධී කි‍්‍රයා වැඩි වෙත් ම ඒවා පාලනය කළ යුතුයැයි සිතා තමා වැද්දකු ගේ වෙස්ගෙන මාතලී දිව්‍ය පුත‍්‍රයා සුනක වෙස් ගන්වා බරණැස් නුවරට පැමිණියේ ය. මොවුන් දෙදෙනා පැමිණෙන බව දැනගත් රජු වාසල් දොරටු වසා දැමීමට කටයුතු කර තිබේ. අනතුරු ව වාසල් දොරටු උඩින් පැන නගරයට ඇතුළු වීමට ශ‍්‍රක‍්‍රයා හා මාතලී දිව්‍ය පුත‍්‍රයා කටයුතු කරනු ලබයි. සුනඛයා ගේ නාදයෙන් භියට පත්වූ ජනයා සැඟවෙන්නට විය. රජු පැමිණ කුමක් නිසා සුනඛයා කෑ ගසන්නේ දැයි විමසු විට වැද්දා පවසන ලද්දේ බඩගිනි නිසා කෑ ගසන බවකි. අනතුරු ව රජු ඔහුට කන්නට බොහෝ බත් ගෙනවිත් දෙන ලදී. සිත්තරා අනතුරු ව දක්වන ලද්දේ ජනයා විසින් ගෙනවිත් දමන ලද්දා වූ බත් කා දමන සුනකයා ය. ඉදිරියේ රජු සිටින අතර අසල ආකාසයේ දක්නට ලැබෙන්නේ ශක‍්‍රයා හා මාතලී දිව්‍ය පුත‍්‍රයා දිව්‍ය ස්වරූපයෙන් දක්වයි. ඔවුන් දෙදනා රජුට යම් උපදෙසක් ලබාදෙන ආකාරය මෙහි නිරූපනය වේ. උඩුව විහාර සිත්තරා අනතුරු ව දක්වා තිබෙන්නේ රජු දැහැමින් රට පාලනය කරනු ලබන ආකාරයයි. රජු ජනතාවට අවවාද ලබාදෙන ආකාරය දැක් වේ. මෙ ලෙස දීර්ඝ ජාතක කතාවක් ඉතා කෙටියෙන් ජනයාට තේරුම් ගත හැකි පරිදි සිත්තම කිරීම ද ශිල්පියා සතු වු දක්‍ෂතාවකි. වනිගතුංග මහතා ගේ පිටපත් අතර දක්නට ලැබෙනුයේ මෙම ජාතක කතා තුන පමණි. විහාර ගර්භයේ සිත්තම් කර තිබෙන්නා වූ සිතුවම් හෝ පිටමාලය වටා වූ බිත්තියේ ඉහල තීරුවේ සිත්තම් කර තිබූ සූවිසි විවරණ සිතුවම් පිටපත් අතර දක්නට නැත.

ඇස්. පී. චාර්ල්ස් මහතා උඩුව විහාර සිතුවම් පිළිබඳ ව වැඩි දුරටත් දක්වමින් ප‍්‍රකාශ කරන්නේ කෝට්ටේ විහාර සිතුවම් හා උඩුව විහාර සිතුවම් අතර සමාන කමක් දක්නට තිබෙන බව ය. කෝට්ටේ විහාර සිතුවම් නිර්මාණය කරන ලද්දා වු පරම්පරාවේ ම ශිල්පියකු විසින් සිතුවම් නිර්මාණය කරන්නට ඇති බව දක්වයි (චාර්ල්ස් 1953). නමුත් උඩුව විහාර සිතුවම් හා කෝට්ටේ විහාර සිතුවම් අතර චාල්ස් මහතා දක්වන තරම් සමානතාවක් දැකිය නොහැකි වේ. (ඵලක 7) නමුත් විහරස්ථාන දෙකේ නිර්මාණය කර තිබෙන්නා වූ ඇදුම් ආයිත්තම් හී දැඩි සමානතාවක් දැකිය හැකි වේ. විශේෂයෙන් ම විහාරස්ථාන දෙකේ ම රජු නිරූපනය කිරීමේ දී භාවිත ඇදුම් සමාන ය. කළුතර දිස්ත‍්‍රික්කයේ පිහිටි මහනුවර සම්ප‍්‍රදායේ පහතරට ශෛලියේ සිතුවම් සහිත තවත් විහාරස්ථානයකි අශෝකාරාම ය. මෙහි නිර්මිත සිතුවම් හා කෝට්ටේ විහාර සිතුවම් අතර දැඩි සම්බන්ධතාවක් පවතී. බොහෝ විට මෙහි ද නිර්මාණ සඳහා දායක වන්නට ඇත්තේ ද කෝට්ටේ විහාර සිත්තර පරම්පරාවේ කෙනෙක් බව සිතිය හැකි වේ.

ඵලක 7 – මහාකණ්හ ජාතකය (කෝට්ටේ විහාරය)

නිගමනය

කාලයත් සමඟ විනාශ වූ විහාර මන්දිර බොහෝ ප‍්‍රමාණයක් ලංකාව පුරා පවතී. වර්තමානයේ එවන් වැදගත් නිර්මාණ තිබුනේදැයි පවා හඳුනා ගත නොහැකි පරිදි විකෘත්ති වී ගොසිනි. 20 වන සියවසේ සිටි ඇතැම් සිත්තරුන් පැරණි විහාර සිතුවම් තිබෙන්නා වූ වැදගත්කම අවබෝධ කරගනිමින් ඒවා පිටපත් කර තබන්නට විය. වනිගතුංග මහතා විසින් සිදුකරන ලද්දේ ද එවැන්නකි. වර්තමානයේ උඩුව සිරි සුනන්දාරාම විහාර මන්දිරය නොමැති වූවත් එහි සිතුවම් පිළිබඳ ව සාකච්ඡා කිරීමේ හැකියාව පවතින්නේ ඒ නිසා ය. ඔහු පිටපත් කරන ලද්දා වූ එම පිටපත් කාලයත් සමඟ විනාශ ව යා හැකි වේ. මේ හේතු කාරණාව නිසාවෙන් පිට පත් ආරක්‍ෂා කිරීම උදෙසා වැඩ පිළිවෙලක් යෙදීම ඉතා යෝග්‍ය කරුණකි.

උඩුව විහාර සිත්තරා බොහෝ විට තම තේමාව කොට ගෙන ඇත්තේ ද පහත රට මුහුදු බඩ තීරයේ විහාර සිත්තරුන් ගේ තේමාවන් ය. උඩුව තරමක් රට අභ්‍යන්තරයේ පිහිටි විහාරස්ථානයකි. නමුත් මෙහි ද එම තේමා ඔස්සේ සිතුවම් නිර්මාණය වීම තුළ ශීල්පියා මුහුදු බඩ තීරයේ සිතුවම් නිර්මාණය කරන ලද පරම්පරාවකින් පැවත එන්නෙක් බව සිතිය හැකි වේ. බොහෝවිට සිතුවම් නිර්මාණය කරනු ලබන සිත්තරා ම එහි ගෘහය ද සැලසුම් කරනු ලබයි. මේ හේතුවෙන් පහතරට වෙරළබඩ හා රට අභයන්තරයට වන්නට නිර්මාණ වු විහාර හී සමාන කම් දැකිය හැකි වේ. ඔවුන් ගේ තේමාවන් ප‍්‍රදේශයට නොව සමස්තයක් ලෙස රටට ම පොදු වූ තේමාවන් මුල්කර ගන්නට වූහ. එ බැවින් මෙවැනි සමානතාවක් දැක්වූවා වන්නට පුළුවන. උඩුව විහාර සිතුවම් වලට ද පොදු වූවකි. තත්කාලීන සමාජ පරිසරය තුල හිදිමින් නිර්මාණකරණයේ යෙදුනු විහාර සිත්තරුන් නැති වී යන සමාජ සංස්කෘතික උරුමයක් රැකගැනීම උදෙසා මහත් සේවාවක් සිතුවම් මගින් ඉටු කරන ලදී.

ආශි‍්‍රත ග‍්‍රන්ථ

  • චාර්ල්ස්, ඇස්. පී. (1953), හොරණ පැරණි බිතුසිතුවම්, දිනමිණ, අපේ‍්‍රල්. 23, පි. 03
  • ද සිල්වා, කේ.ටි. (1997), කුලය, පන්තිය හා වෙනස්වන ලංකා සමාජය, ප‍්‍රජා අධ්‍යාපන කවය, මහනුවර.
  • ප්‍රේමතිලක, එච්.ඩබ්.එන්. (1987), පන්සිය පනස් ජාතක පොත් වහන්සේ, සිසිර මුද්‍රණ ශිල්පියෝ, බණ්ඩාරගම.
--------------------------------------------------------------------------------
මෙම ලිපිය 2019.10.22 දින www.archaeology.lk/sinhala වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් විය.
--------------------------------------------------------------------------------

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.