කුසුම්සිරි කොඩිතුවක්කු

පුරාවිද්‍යා පර්යේෂණ නිලධාරි, මධ්‍යම සංස්කෘතික අරමුදල, සීගිරිය ව්‍යාපෘතිය, සීගිරිය.

කුසුම්සිරි කොඩිතුවක්කු

හැඳින්වීම

වර්තමාන ශ්‍රි ලංකාවේ ප්‍රචලිත ව ඇති නුතන පාලම් තාක්ෂණයෙහි මුලාරම්භය සිදු වී ඇතතේ බ්‍රිතාන්‍ය යුගයේ දි ය . බ්‍රිතාන්‍යන්ගේ වැවිලි කර්මාන්ත පදනම් කොටගත් ආර්ථිකයෙහි යටිතල ව්‍යුහය ලෙස වර්ධනය වූ මාර්ග පද්ධතිය හා සම්බන්ධව ආරම්භ වූ පාලම් ඉදිකිරීමේ කටයුතු කෙරෙහි පදනම් වී ඇත්තේ සම කාලීන ව බ්‍රිතාන්‍යයෙහි පැවති පාලම් තාක්ෂණයයි. 1822 දි කැලණි ගඟ හරහා බෝට්ටු පාලමක් ඉදිකීරිමෙන් ආරම්භ වුවත් , බ්‍රිතාන්‍යයන්ගේ පාලම් තාක්ෂණයෙහි මුල් පාලම් ගලින් හා ගඩොලින් කළ ආරුක්කු පාලම් විය. ඉන් අනතුරු ව 1850 ගණන් වල දි යකඩ පාලම් ඉදිකිරීමේ කටයුතු ප්‍රචලිත වු අතර 20 වැනි සියවස මුල් භාගය වන විට කොන්ක්‍රීට් පාලම් ඉදිකීරිමේ කටයුතු ද ආරම්භ විය. එලෙස 19 වැනි සියවසේ දි බ්‍රිතාන්‍යන් විසින් මෙ රටට හඳුන්වා දෙන ලද පාලම් තාක්ෂණය ක්‍රමයෙන් විකාශනයට පත්වුවත්, දේශීය තාක්ෂණය පදනම් කොටගත් විශිෂ්ඨ ගණයේ පාලම් තාක්ෂණයක් ඊට සියවස් ගණනාවකට පෙර සිට ම මෙරට ස්ථාපිතව තිබු බව ඓතිහාසික මුලාශ්‍රයන්ගෙන් මොනවට පැහැදිලි වේ. ඇතුම් විට නූතන ඉංජිනේරුමය ක්‍රමවේදයන්ට අනුකූලව බිහි වී ඇති ශ්‍රි ලංකාවේ පැරණි පාලම් තාක්ෂණය, පාලම් ප්‍රභේද 3ක් යටත් හඳුනාගත හැකි වේ. එනම් ගල් පාලම්, ලී පාලම් හා ග්‍රාමීය පාලම් වශයෙනි.

ගල් පාලම්

ශ්‍රි ලංකාවේ පැරණිම පාලම් ගලෙන් නිර්මාණය කරන ලද ඒවා වේ. ඉදිකිරීම් තාක්ෂණය අනුව ගල් පාලම් ගල් බාල්ක පාලම් (Stone Beam Bridges) හා ගල් ප්‍රවරු පාලම් (Stone Slab Bridges) වශයෙන් දෙයාකාරයකින් හඳුනාගත හැකි වේ. මේ අතරින් වඩාත් විශාල පාලම් ඉදිකීරිම සඳහා උපයෝගි කර ගෙන ඇත්තේ ගල් බාල්ක ක්‍රමයයි. මහා වංශයෙහි “සිලාසේතු” නමින් හඳුන්වා ඇති මෙ වැනි පාලම් කිහිපයක අවශ්‍ය දැනුම අනුරාධපුරය හා ඒ අවටින් හඳුනාගත හැකි වේ. අතීතයේ එම ප්‍රදේශයෙහි පැවති මාර්ග රටාව හඳුනා ගැනීමේ දි යථෝක්ත පාලම් වලින් ලැබෙනුයේ ඉමහත් රුකුලකි.

දැනට ශේෂ ව ඇති ගල් පාලම් අතරින් තුනක්ම අනුරාධපුරයේ මල්වතු ඔය හරහා දකන්ට ලැබෙන අතර, ඉන් බොහෝ දුරට නිර්මාණ ලක්ෂණ සුරැකී ඇතිතේ කිරිබත් වෙහෙරට නුදුරින් පිහිටි ගල් පාලමේ ය. තවත් පාලම් දෙකක අවශේෂ නඛා වෙහෙර සමීයෙහි දක්නට ලැබෙන අතර දැනට එහි දක්නට ලැබෙන්නේ ගල් කණු පමණි. අනුරාධපුරයේ හාල්පාන් ඇළ හරහා ද කුඩා ගල් පාලමක් දැකිය හැකිවන අතර එය දැනට අනුරාධපුරයේ ඇති ගල් පාලම් අතරින් හොඳින් ආරක්ෂා වී ඇති පාලමක් ලෙස හැඳින්විය හැකි ය. ඉන්දීය ඉතිහාසඥ ජින් ඩෙලොක් පුර්වෝක්ත ගල් පාලම් ක්‍රිස්තු වර්ෂ 5-9 සියවස්වලට අයත්වන බව සඳහන් කරයි. තවත් ගල් පාලමක් මිහින්තලය මහකනදරා ඔය අසල ද දැකිය හැකි ය. බොහොදුරට ආරක්ෂා වී ඇති එම පාලමෙහි දැනට ඉතිරිව ඇති කොටසේහි දිග මිටර 25 වන අතර පළල මිටර් 3කි.

අනුරාධපුර උතුරු ගල් පාලම (මෙම ඡායාරූපය https://www.flickr.com වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.)

යථෝක්ත ගල් පාලම් සියල්ල ම නිර්මාණය කර ඇත්තේ එක පෙළට දෙකක් හෝ තුනක් බැගින් වන සේ ගල් කණු පෙළක් සිටුවා, ඒ මත හරස් අතට ගල් බාල්ක යොදා එම බාල්ක මත දිගු අතට ගල් පුරු 7 හෝ 6ක් යෙදිමෙනි. මෙම ගල් පුවරුවක් දිගින් මිටර දෙකක් පමණ වේ. හරස් බාල්ක වල යටි පැත්තේහි සිදුරු කපා කුළුණු මුදුනේ ඇති කුඩුම්බිවලට ඒවා බස්සවා මෙම පාලම් වල තට්ටුව (decking) මතට සවි කර තිබේ. මෙම ක්‍රමයට නිමවා ඇති මඩකලපුවට නුදුරින් පිහිටි වනාති පාලම නම් ගල් පාලමක් පිළිබඳව එවර්තින් ටෙනර්ට් (1860) ද සඳහන් කරයි. එසේම යකා බැඳි පාලම නමින් හැඳින්වූ කලා ඔය හරහා පිහිටි තවත් පාලමක් පිළිබඳව මේජර් ෆොබස් (1840) ද සඳහන් කරයි. මෙම පාලම් දෙකම ක්‍රිස්තු පූර්ව 4 වන සියවසට දින නියම කළ හැකි බව ජෑන් ඩොලොක්ගේ අදහසයි.

නිර්මාණ ලක්ෂණ අනුව මෙම ගල් පාලමට බොහෝ සෙයින්ම සමාන ගල් පාලම් රැසක් ඉන්දියාවේ ඩෙකෑන් ප්‍රදේශයේ ද දැකිය හැකිවන අතර ඉන් බහුතරයක් ඇත්තේ කර්ණාටක හා තමිල්නාඩුවේ බටහිර ප්‍රදේශයේය. එහෙත් එම පාලම් සියල්ලම 15 වන සියවසෙන් පසුව ඉදිකරන ලද ඒවා වෙයි. තවත් ගල් පාලම් දෙකක් ගුජරාටයේ ඩොල්කා හා පැට්නා යන ප්‍රදේශවල දැකිය හැකි අතර ඒවා ජලාශ ආශ්‍රිත පාලම් වේ. එම පාලම් අයත් වනුයේ ක්‍රිස්තු පූර්ව 11-12 සියවස්වලට ය.

අනෙක් ගල් පාලම් ක්‍රමය වන ගල් පුවරු පාලම් වැඩි වශයෙන් දැකිය හැකි වනුයේ පධානඝර ආශ්‍රිතව ය. පධානඝර යනු භාවනා යෝගි භික්ෂුන් වහන්සේලා උදෙසා තැනු මාලකයකින් හා දිය අගලකින් වටවු ප්‍රසාදයකින් සමන්විත ගොඩනැඟිල්ලකි. ගල් පුවරු යොදා ඇත්තේ යථෝක්ත දිය අගල හරහා ප්‍රාසාදයට පිවිසිම සඳහා ය. එම ගල් පුවරුවල දෙකෙලවර සිදුරු දෙපළක් ද දැකිය හැකි වේ. එම සිදුරු හා හාත්පස ඇති උළු කැබලිති අනුව මෙම පාලම් වලට දැව කණු මත සෙවිලි කල පියස්සක් ද තිබෙන්නට ඇතැයි මහාචාර්ය සේනක බණ්ඩාරනායක අදහස් කරයි. මෙ වැනි පධානඝර, අනුරාධපුර බටහිර ආරාම, රිටිගල, අරන්කැලේ වැනි ස්ථානවල දැකිය හැකි වේ. ඒ හැරුණු විට රිටිගල වැනි කුඩා ජල මාර්ග හරහා ද ගල් පුවරු පාලම් දැකිය හැකි වේ .

මිහින්තලේ, මහකනදරාව ගල් පාලම (මෙම ඡායාරූපය http://www.lanka-excursions-holidays.com වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.)

ලී පාලම්

ලී පාලම් ශ්‍රි ලංකාවේ ඓතිහාසික මුලාශ්‍රයන් හි බහුල ව තොරතුරු සඳහන් වන පාලම් විශේෂය ලෙස හැඳින්විය හැකි ය. එහෙත් දැව ඉක්මණින් විනාශයට ලක්වන ඉදිකිරීම් මාධ්‍යක් බැවින් පැරණිම ලී පාලම් කිසිවක් අද දක්නට නොලැබේ.

ලී පාලම් පිළිබඳව පැරණි ම සාධකයක් ලෙස සැලකිය හැක්කේ හත්තවන ගල්ල විහාර වංශයෙහි එන තිසා වැව අසල වු ලී පාලම පිළිබඳ සඳහනයි. එසේම සීගිරියේ බටහිර දොරටුවේහි ඇතුළු දිය අගල හරහා ද අවශ්‍ය වු විටක ඉවත් කල හැකි ලීයෙන් තැනු පාලමක් (Draw Bridge) තිබෙන්නට ඇතැයි පුරාවිද්‍යාඥයන්ගේ අදහසයි. එ සේ ම විසුද්ධි මාර්ග සන්නයෙහි මිනිසුන් හතර පස්දෙනෙකුට එකවර ගමන් කල හැකි ලැලී වලින් සෑදු ඇණ ගැසු “ජංස සේතු” හා කරත්ත ගමන් කල හැකි “සකට සේතු” නම් පාලම් ප්‍රභේද 2ක් ගැන ද සඳහන් වේ. 12-13 සියවස්වලට අයත් ලී පාලම් රැසක් පිළිබඳ ව තොරතුරු මහා වංශයෙහි ද සඳහන් වේ. ඒ අතරින් මහා පරාක්‍රම බාහු රජුගේ දේව නම් සෙනෙවිකු විසින් ගිරිබාවට උතුරින් කලා ඔය හරහා තැනු පාලම පිළිබඳ විස්තරය ඉතා වැදගත් වේ. ඇත්, අස්, රිය හමුදාවලට එතෙර යා හැකි පරිදි සවිමත්ව එම පාලම දිගින් රියන් 200ක් (මිටර 90ක්) වන බව සඳහන් වේ. මේ සඳහා රියන් 20 (මිටර 9) දිග බාල්ක, ලී කඳන්, යකඩ පටි, යකඩ ඇණ ආදිය ප්‍රයෝජනයට ගෙන ඇති බව ද මහා වංශයෙහි සඳහන් වේ (මහාවංශය 70:127-128).

මහා වංශයෙහි සඳහන් වන ආකාරයට අතීත ශ්‍රි ලංකාවේ වැඩිම පාලම් සංඛ්‍යාවක් ඉදි වී ඇතිතේ දෙ වැනි පරාක්‍රමබාහු (1236-71) රජ සමයේදී ය. මෙම කාර්යයෙහිලා දේව පතිරාජ නම් ඇමතිවරයෙකු ප්‍රමුඛත්වය ගෙන කටයුතු කර තිබේ. දිවයිනේ බටහිර ප්‍රදේශයෙහිත් ශ්‍රි පාද මාර්ගයෙහිත් මෙම පාලම් ඉදිකර තිබේ. මෙම පාලම් වල කිසිදු පුරාවිද්‍යාත්මක අවශ්‍යතාවක් හඳුනාගත නොහැකි බැවින් මේවා ද ලී පාලම් යැයි සිතිය හැකි ය. විවිධ ප්‍රමාණවලින් යුතු මෙම පාලම් අතර දිගම පාලම ලෙස හඳුනාගත හැකිවන්නේ කදලිසේන ග්‍රාමයෙහි ඉදිකළ යට්ඨි 100 දිගැති පාලමයි. එම දිග ප්‍රමාණය අඩි 1,000ක් යැයි ගයිගර් සඳහන් කරයි. මෙම පාලම පිහිටි කදලිසේන ගම කළුතර දිස්ත්‍රික්කයට අයත් කෙසෙල් හේනාව බව සි.ඩබ් නිකොලොස් ගේ අදහසයි. මේ හැරුණු විට කාල නදී මුඛෙහි හත්ථ 86ක් දිග තවත් පාලමක් ඉදිකර තිබේ. මෙය කළුගං මෝය අසල ඉදිවූවක් යැයි හඳුනා ගන්නා නිකොලොස් එහි දිග අඩි 129ක් (මිටර් 39ක්) බව සඳහන් කරයි. මීට අමතරව සාලග්ගාම ගංගාව (සල්ගමු) හරහා යට්ඨි 40 (මිටර් 120ක්) දිග පාලමක් ද සාලපාදප සොබිභ (සල්රුක් හෙබ) නම් ස්ථානයේ හත්ථ 150 (මිටර් 68ක්) දිග පාලමක් ද ඉදිකර බව මහා වංශයෙහි සඳහන් වේ (මහා වංශය 86:41-42). යථෝක්ත පාලම්වල දිග ප්‍රමාණ සසඳන විට දේව පතිරාජ ඇමති විසින් ශ්‍රි පාද මාර්ගයෙහි කරවන ලද හත්ථ 30-40 (මිටර් 14-17) තරම් කුඩා ඒවා බව පෙනේ. එම පාලම් අම්භගාම (අඹගමුව), බෝධිතල (බෝතලේ), ඛජ්ජෝත නදී (කනමැදිරි ඔය), කල්පනාගම (උලපනේ) යන ප්‍රදේශවල ඉදිකරවා තිබේ (මහාවංශය 68:22-25 ).

බදුල්ල, බෝගොඩ දැව පාලම (මෙම ඡායාරූපය https://www.flickr.com වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.)

13 වන සියවසට අයත් යථෝක්ත ලී පාලම් පිළිබඳ තොරතුරු වලට පසුව ලී පාලම් පිළිබඳ කරුණු අනාවරණය වනුයේ 18 වන සියවසට අයත් වාර්තා හා පුරාවිද්‍යාත්මක සාධක ඇසුරෙනි. 1762 දි මහනුවරට පත්ව ආ පයිබස් (Pybus) නම් තානාපතිවරායාගේ ත්‍රිකුණාමලයේ සිට මහනුවර දක්වා ගමන විස්තර කෙරෙන වාර්තාවක පළාපත්වල ප්‍රදේශයෙහි තිබු පියස්සක්ද සහිත ලී පාලමක් හා හුලංගමුවේ හි වු කැටයම් කල රූප සහිත පාලමක් ගැනද සඳහන් වේ. 18 වන සියවසට අයත් පියසිස් සහිත පාලම් වල ස්වභාවය මනාව වටහාගත හැකි ආරක්ෂිතව පවත්නා ලී පාලමක් බදුල්ල දිස්ත්‍රික්කයේ බෝගොඩ රජමහා විහාරයේ සමීපයේහි දැනුදු දැකිය හැකි ය. ලී කණු දෙකක් මත දිගු අතට යෙදු ලී බාල්ක තුනක් මත වූ ලැලි තට්ටුවකින් සැදි මෙම පාලමෙහි දිග මිටර් 16 කි. පාලම දෙපස , පියස්සෙහි බර දරා සිටින කැටයම් කල දැව කණු දෙපලකි. ඊට පිටතින් මිටර්යක් පමණ උසැති අත්වැල් දෙකකි. මෙහි පියස්ස පල දෙකකට නිමවා ඇති අතර පෙති උළු සෙවිලි කර තිබේ. මෙහි පාලමෙහි දිගින් අඩකට ආසන්න ආකෘතියක් පිළිමතලාව මහාමාර්ග කෟතුගාර භුමියේහි ද දැකිය හැකි ය. ඉහත පරිදි පියස්සක් ද සහිතව ලීයෙන් කල එහෙත් ලී කණුවලින් දරා සිටිනු වෙනුවට කැන්ටිලිවර් ක්‍රමයට නිමවා උළු සෙවිලි කොට ඇති ලී පාලම් නේපාලය, භුතානය වැනි රටවල අද ද සුලබව දැකිය හැකිය.

18 වන සියවසේ දි ලංකාවේ පැවති ලී පාලම් පිළිබඳ තොරතුරු රැසක් ලන්දේසි සිතුවම් හා වාර්තා අනුසාරයෙන් ලබා ගත හැකි වේ. ඒ අනුව විවිධ ක්‍රමවලට නිමවූ ලී පාලම් අතරින් වඩාත් සුලභ වී ඇත්තේ අවශ්‍ය විටක ඉවත් කල හැකි සල පාලම් (Braw Bridges) ය. ආරක්ෂාව සම්න්ධයෙන් ද වැදගත් ක්‍රමෝපායක් වූයෙන් මෙ වැනි පාලම් ඕලන්ද බලකොටු ආශ්‍රිත ව සුලභ ව ඉදි කෙරුණි. මාතර බලකොටුව දැක්වෙන ඇම්ස්ටර්ඩ්‍රෑම් හි රයික්ස් කෞතුකාගාරයෙහි (Rijksmuseum) ඇති සිතුවමකට අනුව එහි වු පාලම කොටස් තුනකට නිර්මාණය කොට තිබේ. ඒ අනුව, දෙ කෙලවර උස්කොට සල පාලම් ක්‍රමයට නිර්මාණය කල ඇති අතර මධ්‍යය කොටස හෙවත් ප්‍රධාන පාලම ජලයේ පාවෙන පරිදි සකසා තිබේ. මෙ වැනි පාවෙන ලී පාලම් කටුගස්තොට, අඔතැන්න වැනි ප්‍රදේශවල දැනුදු දැකිය හැකි ය. මීට අමතර ව ලංදේසීන් විසින් මාතර දිසාව සඳහා යොදාගෙන ඇති ලාංඡනය (Coats of Arc) ද දැව පාලමක් පිළිබඳ තවත් සාධකයක් සපයයි. මින් නිරූපණය වනුයේ නිල්වලා ගඟ හරහා වූ පාලමක් හා බලකොටු කුළුණ (Martello) යි.

ග්‍රාමීය පාලම්

සමස්ත පාලම් ඉතිහාසය ම විමසා බලන කල්හි පරිසරයට වඩාත් සමීප පාලම් ප්‍රභේදය ලෙස ග්‍රාමීය ප්‍රදේශ වල ප්‍රචලිත අඩි පාලම් හැඳින්විය හැකි ය. බොහෝවිට අඩිපාරවලට සම්බන්ධ වූ මෙම පාලම් නිර්මාණය කිරිම සඳහා උපයෝගී කරගෙන ඇත්තේ ලී දඬු හා වැල් වර්ග ය. විසුද්ධිමාර්ග සන්නයෙහි “දණ්ඩක සේතු” නමින් හැඳින්වනුයේ ද මෙම ගණයට අයත් පාලම් වර්ගයකි. කුඩා දිය පාරවල් හරහා යෙදූ දැව කඳකින් සෑදි දණ්ඩක සේතු වූ කලී නිශ්චිත වශයෙන්ම ඒදණ්ඩ යි. කොකිල, තිසර ආදි සංදේශ කාව්‍යන්හි එය යනුවෙන් සඳහන් වනුයේ ද ඒදණ්ඩ යි. මීට අමතර ව ගස් කඳන් සිටුවා ඒ හරහා ලී යොදා සැකසූ පාලම් පිළිබඳව ඓතිහාසික වාර්තාවන්හි සඳහන්වේ. 18 වන සියවසට අයත් හෙඩිට් (Heydt) ගේ වාර්තාවන් හි රත්නපුර ප්‍රදේශයෙහි කිරන් ඔය හරහා පොල් කඳන් හා උණ බට උපයෝගිකරගෙන තැනු පාලම පිළිබඳ විස්තර ඊට නිදසුනකි.

මේ අතර 18 වන සියවසට හා 19 වන සියවස මුල් භාගයට අයත් එල්ලෙන පාලම් (Suspension Bridges) කිහිපයක් පිළිබඳ තොරතුරු ඓතිහාසික වර්තාවලින් අනාවරණය වේ. ඉන් එකක් නම් ගුරුගොඩ ඔය හරහා මහනුවරට පිවිසෙන මාර්ගයට අයත් වු ඉද්ද මල් පාන පාලමයි. මෙය නිර්මාණය කර ඇත්තේ විශාල ගස් වල අතු අතරින් විහිදි එල්ලෙන ආකාරයටයි. එ සේ ම කුරුණෑගල ත්‍රිකුණාමලය මාර්ගයෙහි දැඳුරු ඔය හරහා වු තවත් එල්ලෙන පාලමක් පිළිබඳ තොරතුරු මේජර් පබිස් (1840) සඳහන් කරයි. ගඟ දෙපස වු ගස් දෙකක් මත වේ වැලක් ගැටගසා අත්වැල සඳහා තවත් වේ වැලක් ගැටගසා මෙම පාලම නිර්මාණය කර තිබේ. පාලමේ තැනින් තැන වැල් වලින් ගස්වල අතු වලට ගැට ගසා තිබේ.

මේ හැරුණු විට පාලම් ඉදිකිරිම දුෂ්කර වු පළලින් වැඩි ගංගා හරහා ඔරු, පාරු වැනි සරල පරිවාහන ක්‍රමද භාවිතයට ගෙන ඇති බව ද පෙනේ. ඒ අනුව නිශ්චිත ස්ථාන, තොටුපලවල් ලෙස භාවිතයට ගෙන තිබේ. ඒ සඳහා සම්බන්ධ පැරණිම සාධක ලෙස මාතලේ දිස්ත්‍රික්කයෙහි කණ්ඩලම හා පොලොන්නරුව දිස්ත්‍රික්කයෙහි මුතුගල්ල යන ස්ථාන වලින් හමු වී ඇති ක්‍රිස්තු පූර්ව 3-1 සියවස්වලට අයත් ලෙන් ලිපි දෙකක එන පිළිවෙලින් තොට බොජක (තොටුපල පාලක) හා තොඩික (තොටි) යන තනතුරු නාම දැක්විය හැකි ය.

මෙම ලිපියේ සෝදුපත් බැලු ශ්‍රි ලංකා රජරට විශ්ව විද්‍යාලයේ මල්ෂා රණසිංහට විශේෂ ස්තුතිය.

(මෙම ලිපිය 2002.07.17 වැනි දින දිවයින බදාදා අතිරේකයේ පළ විය. මෙම ලිපිය සඳහා මුල් ඡායාරුප සොයාගත නොහැකි බැවින් archaeology.lk විසින් ෙවනත් ඡායාරුප ඇතුළු කර ඇති බව සලකන්න.)

2 COMMENTS

  1. Thiriyaya Girihandu Saayata yana pare athi gal palamath mema atheetha palam atherin ekak neda?

Leave a Reply to M.M.Bandula Gunasekera Cancel reply

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.