එච්.එම්. ඉසුරු හේරත්

ඉසුරු හේරත්

පැරණි ලංකාවේ ජීවත් වූ අපගේ මුතුන්මිත්තන් ස්වකීය ආර්ථික යහපැවැත්ම උදෙසා අනේකවිධ ආර්ථික ක‍්‍රියාවලීන්වල නිරත වූහ. ඒ අතර ප‍්‍රමුඛස්ථානය ලැබුවේ කෘෂිකර්මාන්තය සහ සත්ව පාලනය වෙයි. මීට අමතරව ඔවුහු වීදුරු, කුඹල්, රෙදිපිළි, ආභරණ, ලෝහ භාණ්ඩ, හම්, ඖෂධ, මැණික්, ගෘහ භාණ්ඩ, අවිආයුධ, ලාක්‍ෂා වැනි කර්මාන්තවල නියුක්තව සිටියහ. එහෙත් ඔවුහු ධීවර හා ජලජ සම්පත් කර්මාන්තයේ ද නියුක්තව සිටි බවට තොරතුරු ලැබෙන්නේ අල්ප වශයෙනි. එසේම නූතනයේ මෙම දුර්ලභ ක්ෂේත‍්‍රය පිළිබඳ ව පර්යේෂණ පවත්වා ඇත්තේ ද සීමිත උගතුන් පිරිසකි. ඔවුන් අතර ඉන්ද්‍රකීර්ති සිරිවීර, සිරිමල් රණවැල්ල, ආර්.එම්. උදේපාල, ඒ.ඒ. කුලතුංග, ලෙස්ලි ගාමිණී වැනි උගතුන්ට හිමිවන්නේ විශේෂ ස්ථානයකි. උක්ත උගතුන්ගේ පර්යේෂණ තොරතුරු ද පදනම් කොට ගනිමින් ක‍්‍රිස්තු පූර්ව 3 සියවස සිට ක‍්‍රිස්තු වර්ෂ 15 දක්වා පැරණි ලංකාවේ ධීවර කර්මාන්තය පිළිබඳ ව අධ්‍යයනයක් කිරීමට මෙම ලිපියෙන් අපේක්‍ෂිත ය.

භූගෝලීය පදනම

පැරණි ලංකාවේ කරදිය මෙන්ම මිරිදිය ධීවර කර්මාන්තය මනාව පවත්වාගෙන යාම සඳහා ස්වාභාව ධර්මයා විසින් ලාංකිකයන්ට සුදුසු භූගෝලීය පරිසරයක් නිර්මාණය කොට දී තිබේ. ඒ අනුව ඉන්දියන් සාගරයේ මධ්‍යගතව පිහිටා තිබෙන වර්ග කිලෝමීටර් 65,610කින් යුත් කුඩා දූපතක් වන ලංකාව වටා බොකු, කලපු, ගංමෝය, තුඩු වැනි චූල ගණයේ භූගෝලීය ලක්ෂණවලින් පිරිහී ගියා වූ ද කිලෝමීටර් 1,700ක වෙරළ තීරයකින් මෙන්ම වර්ග කිලෝ මීටර් 30,000ක මහද්වීප තටකයකින් සමන්විතය (කුලතුංග 2013:13). මීට අමතරව මහවැලි, කළු, වලවේ, කැලණි වැනි ගංගා 103ක් මුහුදට බසින, එමෙන්ම විවිධාකාර ප‍්‍රමාණයන්ගෙන් යුත් බොකු, කලපු, මෝය පනහකට ආසන්න ප‍්‍රමාණයකින් ලංකාවේ වෙරළබඩ කලාපය පොහොසත් ය. ශ‍්‍රී ලංකාව වටා ඇති මුහුදු තීරයේ මත්ස්‍ය විශේෂ 215ක් පමණ ජීවත් වෙයි. ඒ අතර මීවැටියා, රන්නා, කොස්සා, ඌරු හොටා, කෙලවල්ලා, බලයා, තලපතා, කොප්පරා, සප්පරා, ගප්පරා වැනි මසුන් වැදගත් වෙයි. සුදු මෝරා, කළු මෝරා, කස මෝරා, උදලු මෝරා, බල මෝරා වැනි මෝර විශේෂ 60ක් පමණ ජීවත්වන මෙරට වෙරළ තීරයේ කිරි ඉස්සා, මලිස්සා, කුරුටු ඉස්සා වැනි වාණිජ වශයෙන් වැදගත් ඉස්සන් විශේෂ 4කුත් පොකිරිසි විශේෂ 6ක් ජීවත් වෙයි (කුලතුංග 2013:14). මීට අමතරව ශ‍්‍රී ලංකාවේ ඇල දොළ, වැව් ජලාශ ආශ‍්‍රිත මිරිදිය ධීවර බිම්වල මත්ස්‍ය විශේෂ 108ක් පමණ ජීවත් වේ.

ප‍්‍රාග් හා ප්‍රොටෝ ඓතිහාසික පසුතලය

ඵෙතිහාසික යුගයට පෙර එනම් ක‍්‍රිස්තු පූර්ව 125,000 – ක‍්‍රිස්තු පූර්ව 3 දීර්ඝ කාලයකට අයත් ප‍්‍රාග් – ප්‍රොටෝ යුගයේ මානවයා ද කිසියම් දුරකට ජලජ සම්පත් පරිභෝජනයේ නිරත වූ බවට සාධක බුලත්සිංහල පාහියන් ලෙන, කුරුවිට බටදොඹලෙන, කිතුල්ගල, බෙලිලෙන, බෙල්ලන්බැඳි‍පැලැස්ස, කිරින්ද වරාය, කිරින්ගොඩාන, කරෙයිනගර් වැනි ස්ථානවලින් හමු වී ඇති ලේල්ලා (Mahseer) මිරිදිය කකුළුවන් මිරිදිය ගොළුබෙල්ලන්, කරදිය ද්විකපාටයන්, මෝරන් මුහුදු බෙල්ලන් වැනි ජලජ ජීවීන්ගේ අස්ථි කොටස් හමු වීමෙන් විශද වෙයි. එසේම ඔවුහු පළදිනා ලෙස මෝර දත්, මුහුදු බෙල්ලන්, මෝර කොඳු නාරටි භාවිත කොට තිබේ. විශේෂයෙන් ම කිතුල්ගල බෙලිලෙනින් හමු වී ඇති පළඳනාවක සවි කර තිබුණු කලපු බෙල්ලා වසර 21,000 පැරණි බවට හෙළි වී ඇත (කුලතුංග 2013:40). ප්‍රොටෝ ඵෙතිහාසික යුගයට අයත් කිරින්ද වරාට ආශ‍්‍රිතව කර ඇති පුරා විද්‍යාත්මක කැනීමකින් හමු වී ඇති මත්ස්‍ය බිලිකටුව ක‍්‍රිස්තු පූර්ව 500 – 300 අතර කාලසමයට අයත් බව රාජ සෝමදේව සොයාගෙන ඇත.

ඵෙතිහාසික යුගයේ ධීවර හා ජලජ සම්පත් කර්මාන්තය

ප‍්‍රාග් ප්‍රොටෝ අවදිවල සිට වර්ධනය වුණු ධීවර හා ජලය සම්පත් පරිභෝජනය ඵෙතිහාසික යුගයේ දි කර්මාන්තයක් වශයෙන් වර්ධනය වුව ද ඒ පිළිබඳව තොරතුරු වාර්තා වන්නේ අල්ප වශයෙනි. ඊට හේතුවන්නට ඇති කරුණ වන්නේ බුදුදහමෙන් පැරණි ලාංකිකයන්ට සමාජමය වශයෙන් ඇතිවුණ බලපෑම බව පෙනේ. වෙරළේ සිට ඊට අභ්‍යන්තර ගම්මානවලට මාළු ප‍්‍රවාහනය කිරීම දුෂ්කර කරුණක් වීම ද ධීවර කර්මාන්තය අවම වීමට හේතුව බව ඉන්ද්‍රකීර්ති සිරිවීර පෙන්වා දුන්න ද එය පිළිගත නොහැක (සිරිවීර 2013:1920). මක්නිසා ද යත් පැරණි සාහිත්‍ය මූලාශ‍්‍රයවල සහ සෙල්ලිපි සාධකවලට අනුව මිරිදිය ධීවර කර්මාන්තය ද මෙරට පැවති බවට අල්ප වූ ද සාධක හමු වීමෙනි. එහෙත් ආර්.එම්. උදේපාල පෙන්වාදෙන්නේ පුරාණ ලාංකිකයන් එළවළු පමණක් නොව ආහාර වේල රසවත් කර ගැනීමට හා පෝෂ්‍යදායි කර ගැනීමට මාළු පරිභෝජනය කළ බවයි (උදේපාල 2013:122). මීට අමතරව ඉන්ද්‍රකීර්ති සිරිවීර, සිරිමල් රණවැල්ල පෙන්වා දෙන්නේ පුරාතනයේ කරදිය ධීවර කර්මාන්තයට වඩා මිරිදිය ධීවර කර්මාන්තය මෙරැටියන් අතර ප‍්‍රචලිතව පැවති බවයි. මේ පිළිබඳව තවදුරටත් අදහස් දක්වන සිරිමල් රණවැල්ල පෙන්වා දෙන්නේ වැව්, ඇළ දොළ, ගංගා ආදියෙහි වැඩි වශයෙන් සිටින මසුන් බිලි බා ගැනීම මීට හේතුවන්නට ඇති බවයි (රණවැල්ල 2014:234). එහෙත් කිසියම් දුරකට එකල දිවයිනේ කරදිය ධීවර කර්මාන්තය පැවති බවට ශක්තිමත් සාධක මහාවංසය, ථූපවංසය, සහස්සවත්ථුප්පකරණය, සද්ධර්මාලංකාරය, රසවාහිණිය වැනි සාහිත්‍ය මූලාශ‍්‍රය මඟින් ලැබෙයි (රණවැල්ල 2014:234). නිදසුන් ලෙස දේව කෝපය සංසිදුවීම සඳහා මුහුදට පා කර යැවූ විහාර මහා දේවිය රැගත් යාත‍්‍රා කිරින්ද වෙරළට සම්ප‍්‍රාප්ත වූ අවස්ථාවේ තොටලුගම විසූ කෙවුලන් හෙවත් ධීවරයන් විසින් කාවන්තිස්ස රජතුමාට ඒ බව දැනුම් දී තිබේ. විසුද්ධිමග්ගයේ සඳහන් වන පරිදි එක් පුද්ගලයෙකු මස් කරප්පයක් හෙවත් කරක්ගෙඩියක් උපයෝගී කොටගෙන මුහුදේ මසුන් ඇල්ලු බව සඳහන් වෙයි (උදේපාල 2013:123). එසේම මහාවංශයේ දුට්ඨගාමිණී කතා වස්තුවේ විහාර මහාදේවියගේ දොළදුක් පිළිබඳව සඳහන්වන පුවතක මුහුද වෙරළ සමීපයේ මී පිරවූ මුනින් අතට හරවා තිබුණි. ඔරුවක් පිළිබඳ ව සඳහන් වෙයි. එම පුවත මෙසේ මහාවංශයේ අන්තර්ගත ය.

ගොළු මුහුදු වෙරළ සමීපයෙහි මී පිරවූ මුනින් නමා පියන ලද ඔරුවක් දැක දනව් වැසි මිනිසෙක් රජහට කීයේ ය. රජ තෙමේ දේවිය එහි පමුණුවා මොනවට සකස් කළ මඩුවෙක්හි හිඳුවන රිසි පරිද්දෙන් ඒ බිසව ලවා මී වැළැඳ වීය (මහාවංශ 1996:101).

එසේම රසවාහිණියේ සහ සද්ධර්මලංකාරයේ සඳහන් වන පරිදි අනුරාධපුරයට ආසන්නව පිහිටා තිබුණු මුගලයින් රට නම් ධීවර ගම්මානයක් සහ ලක්දිවේ බටහිර වෙරළ ආසන්නයේ මඟුණ හෙවත් මංගන ගමට නුදුරින් මහදැල්ල නම් ධීවර ගම්මානයක් පිළිබඳව තොරතුරු සඳහන් වෙයි. අතීතයේ මෙරට ධීවරයන් හඳුන්වා ඇත්තේ කෙවුලන් යන නාමයෙන් වන අතර ඔවුන්ගේ ගම්මාන හඳුන්වා ඇත්තේ කෙවුළුගාම යන නාමයෙනි. තවද තිත්තිවිල කඩුලු නම් බිලි වැද්දෙකු කඩොල් ඇතා දැක ඒ බව කාවන්තිස්ස රජතුමාට දන්වා ඇත (රණවැල්ල 2014:235). මේ අනුව පෙනී යන්නේ වෘත්තිමය ධීවරයන් පමණක් නොව වැද්දන් පවා මසුන් ඇල්ලීමෙහි නිරතව සිටි බවයි. මීට අමතරව මහදැල්ගම ජීවත් වූ ශක්තිමත් මහදැල් නම් ධීවරයෙකු මහත් විශාල එක දඬු ඔරුවක් මුහුදට ගෙන ගිය පුවතක් රසවාහිණියේ සඳහන් වෙයි. දෙ වන පරාක‍්‍රමබාහු රජතුමාගේ බෙම්තොට පුවරු ලිපියෙහි මණකප්පම්බ රායර් නම් ධීවරයෙකුට මුදල් දී ඔහු සතුව තිබූ ඉඩමක් ගලපාත විහාරයට පූජා කළ පුවතක් කොටවා තිබේ (EZ Vol.IV, P203, 8-9). බෝවත්තේගල, කොට්ටදැමූහෙල, කන්දෙගම කන්ද යන ස්ථානවලින් හමුවී ඇති ක‍්‍රිස්තු පූර්ව යුගයට අයත් ශිලාලේඛනවල මත්ස්‍ය සංකේත යොදවා ඇත. එසේම පොළොන්නරුව දුවේගලින් හමු වී ඇති ශිලාලේඛනයක මුහුදු යාත‍්‍රාවක සංකේතයක් කොටවා ඇත.

මසුන් ඇල්ලීමේ විධික‍්‍රම, මත්ස්‍ය විශේෂ සහ අපනයනය කළ ජලජ ද්‍රව්‍යය

මසුන් ඇල්ලීමේ ක‍්‍රම ද පැරණි පාලි සිංහල සාහිත්‍ය මූලාශ‍්‍රයවල අන්තර්ගත වෙයි. මසුන් අල්ලා ගැනීමේ උපකරණ වශයෙන් කරක්ගෙඩි, බිලි කටු, කෙමන්, මාළු දැල් පිළිබඳව තොරතුරු සම්මෝහවිනෝදනියේ අන්තර්ගත වෙයි (උදේපාල 2013:123). එසේම ක‍්‍රිස්තු වර්ෂ 5 සියවසේ දී රචිත සමන්තපාසාදිකාවේ බිලිය (බලි), දැල (ජාල) සහ කෙමන (කුමීන) යන උපකරණ ත‍්‍රිත්වය පිළිබඳව තොරතුරු ඇතුළත් වෙයි (සිරිවීර 2001:250). මදනථල නම් විෂ අන්තර්ගත ගෙඩි වර්ගයක් තලා ජලයට මුසුකොට මසුන් මත් කොට අල්ලා ගන්නා උපක‍්‍රමයක් පිළිබඳව සමන්තපාසාදිකාවේ සඳහන් වෙයි (සිරිවීර 2001:250). ලීයෙන් සහ වේවැල්වලින් සකසා ගන්නා දිග පැසක් වන් කෙමන නම් මසුන් ඇල්ලීමේ උපකරණයක් පිළිබඳව තොරතුරු ජාතක අටුවා ගැටපදයේ ඇතුළත් වෙයි. එසේම සද්ධර්මාලංකාරයට අනුව බිලි පෙත්තෙහි කොටස්වන බිලි ඉපිල, බිලි කොක්ක සහ බිලි ලීය පිළිබඳව ද විස්තර කරයි. මසුන් අල්ලා ගැනීම සඳහා කරක නම් උපකරණයක් භාවිත කළ බව සද්ධර්මාලංකාරයේ සේම, රොබට් නොක්ස් ද වාර්තා කරයි. මහනුවර යුගයේ සිරකරුවෙකු වශයෙන් සිටි මොහු කරක් උපකරණය අනුසාරයෙන් ධීවරයෙකු මසුන් අල්ලා ගන්නා ආකාරය දැක්වෙන සිතුවමක් ද ඇඳ ඇත. මෙම උපකරණ මදක් කේතු ආකාරය වෙයි. පැරණි ලාංකික ධීවරයන් ඇල්ලු මත්ස්‍ය විශේෂය පිළිබඳ තොරතුරු බුත්සරණේ සහ ජාතික අටුවා ගැටපදයේ ඇතුළත් ය (සිරිවීර 2001:252). දිවයිනේ පෙතියා විශේෂ කිහිපයකි. ඒවා අතර හඳ පෙතියා, කොට පෙතියා, මස් පෙතියා, කටු පෙතියා වැදගත් වෙයි. ලූලා, වලයා, ගඟරා, හුංගා ආදී තෙලියා, ඉස්සා යනාදිය පැරණි ධීවරයා අල්ලාගත් සෙසු මත්ස්‍ය විශේෂය (සිරිවීර 2001:252). මසුන්ට අමතරව හක්ගෙඩි, මුතු, කොරල්, කැස්බෑ ලෙලි වැනි ජලජ ද්‍රව්‍යය දේශීයව භාවිත කළ පමණක් නොව විදේශ රටවලට ද අපනයනය කළ බවට සාධක අපමණය. විශේෂයෙන් ම කැස්බෑ ලෙලි සහ මුතු පුරාතනයේ මෙරට අපනයනය කළ ප‍්‍රධාන පෙළේ ජලය ද්‍රව්‍යය වෙයි. ලංකාවේ වයඹදිග මුහුදු කලාපයේ මුතු කිමිදීම බහුල වශයෙන් සිදු වූ බව පෙනේ. රජයට අයත් වාරි මාර්ගවලින් මෙන්ම ගම්මානවල චූල ගණයේ වාරි මාර්ගවලින් අල්ලා ගන්නා මසුන් නිවසට රැගෙන ගොස් ගෙවත්තේ පොකුණුවල හෝ ජල මාර්ගවලට දමා ඇති කොට තිබෙන බව සමන්තපාසාදිකාවේ සඳහන් වෙයි (සිරිවීර 2001:252).

මසුන් පිළිබඳ අයිතිය සහ ඒ ආශ‍්‍රිත බදු ක‍්‍රම

පැරණි යුගයේ මසුන් පිළිබඳ අයිතිය පැවතියේ රාජ්‍යය, ග‍්‍රාමීය ආයතන සහ පුද්ගලයින් යන ත‍්‍රිවිධ කොටස්වලට ය. මෙම ත‍්‍රිවිධ කොටස්වලට අයත් ජලාශවලින් මසුන් ඇල්ලු විට බද්දක් අය කෙරිණ. එම බද්ද මජිබික, මජිබුක, මතෙරමජිබක යනුවෙන් අනුරාධපුර යුගයේ හඳුන්වා තිබෙන අතර පිසඹුරුවත වන නමින් පොළොන්නරු යුගයේ හඳුන්වා ඇත්තේ ද එම බද්දම වෙයි. ඇතැම් විට කිසියම් ජලාශයක මසුන් ඇල්ලීම සඳහා රජය විසින් පුද්ගලයින් සහ ග‍්‍රාමීය ආයතනවලට දීර්ඝ කාලීනව බද්දට දෙන ලදී. නිදසුන් ලෙස වසභ (ක‍්‍රි.ව. 67-111) රාජ්‍ය සමයට අයත් පෙරිමියන්කුලම පර්වත ලිපියෙහි කුඩා ග‍්‍රාමීය ජලාශ කිහිපයක මසුන් ඇල්ලීම වෙනුවෙන් අයකරන බද්ද ග‍්‍රාමීය පරිපාලන ඒකකවලට පවරා තිබේ (සිරිවීර 2001:253). තවද සමන්තපාසාදිකාවට අනුව පෞද්ගලික කුඩා ඇලවල්, පොකුණුවල සහ වැව්වල මසුන් ඇල්ලීමේ අයිතිය හිමි අයවලුන් සස්සාමික යන නමින් හඳුන්වා තිබේ (සිරිවීර 2001:253). මොවුන්ගේ අනුදැනුමකින් තොරව මසුන් ඇල්ලීම වරදක් ලෙස සලකති.

මත්ස්‍ය වෙළෙඳාම සහ මත්ස්‍ය ආහාර විශේෂ

පුරාතනයේ සිටම මෙරට මත්ස්‍ය වෙළෙඳාම පැවති බවට සිතිය හැකි නමුත් පැහැදිලි සාක්‍ෂි හමුවන්නේ ක‍්‍රිස්තු වර්ෂ 9 සියවසේ සිටය. නිදසුන් ලෙස අට වැනි අග්බෝ රජතුමා (ක‍්‍රි.ව. 804-815) විසින් පොහොය දිනවල අගනුවර (අනුරාධපුරය) මසුන් ගෙන ඒම තහනම් කොට තිබේ. පොහොය දිනවල හැර වෙනත් දිනවල නගරවල මසුන් විකිණීම මෙමඟින් තහනම් නොමැති බව ඉන්ද්‍රකීර්කි සිරිවීර පෙන්වා දෙයි (සිරිවීර 2001:251). කඩමන්ඩිවල මසුන් කාටත් පෙනෙන පරිදි පෙන් වූ බවට සඳහනක් සද්ධර්ම රත්නාවලියේ එයි. නියං සමයේ ජලය සිඳී ගිය ජලාශවල මසුන් බහුලව වෙසෙනු දැක වෙනත් අයවලුන්ට එම ස්ථානය සොයා ගැනීමට පහසුවන සේ තල් අතු සෙවිලි කොට සුරා සැල් ද විවෘත කොට පැවති ස්ථාන පිළිබඳ තොරතුරු අටුවා මූලාශ‍්‍රයවල ලැබෙයි (උදේපාල 2013:124). මසුන් ලුනු දමා කල්තබා ගත් අතර ලුනු මාලුවලට අමතරව මත්ස්‍ය තෙල් ගැන ද වාර්තා වන අතර දරුණු මත්ස්‍ය විශේෂයන් වන සුසුකවස ගෙන් නිපද වූ දුර්ලභ තෙල් විශේෂයක් ගැන සමන්තපාසාදිකාවේ අන්තර්ගත වෙයි. තවද නිවුඩු හාලේ බත් සමඟ කුඩ මසුන් නමි මත්ස්‍ය විශේෂය අනුභව කිරීම දුගී පුද්ගලයින් සිදු කළ බව මූලාශ‍්‍රයවල සඳහන් වෙයි (සිරිවීර 2001:251). ජාඩි දැමීම, ඇඹුල් තියල් දැමීම පසු කාලීනව ලාංකිකයන් හුරු වූ බව පෙනේ. මෙම කරුණු මඟින් පැහැදිලි වන්නේ පැරණි ලාංකිකයන් ධීවර සහ ජලජ සම්පත් උපයෝජනයේ සතුටුදායක ලෙස නිරතව සිටි බවයි.

ආශ‍්‍රිත ග‍්‍රන්ථ හා ලේඛන නාමාවලිය

  • සිරිවීර, ඉන්ද්‍රකීර්ති (2001), රජරට ශිෂ්ටාචාරය සහ නිරිතදිග රාජධානි, කොළඹ, දයාවංශ ජයකොඩි සහ සමාගම.
  • සිරිවීර, ඉන්ද්‍රකීර්ති (2013), ශ‍්‍රී ලාංකේය ඉතිහාස තරංග, වරකාපොල, ආරිය ප‍්‍රකාශකයෝ.
  • රණවැල්ල, සිරිමල් (2014), පුරාතන ශ‍්‍රී ලංකාවේ ආර්ථික ඉතිහාසය, බොරලැස්ගමුව, විසිදුනු ප‍්‍රකාශකයෝ.
  • උදේපාල ආර්.එච්. (2013), අනුරාධපුර යුගයේ ආර්ථික ඉතිහාසය, කොළඹ, රත්න ප‍්‍රකාශකයෝ.
  • කුලතුංග ඒ.ඒ. (2013), ශ‍්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය, කොළඹ, ඇස් ගොඩගේ සහ සහෝදරයෝ.
  • ගාමිණී, ලෙස්ලි (2007), පුරාණ ලංකාවේ වරායන්, කොළඹ, සූරිය ප‍්‍රකාශකයෝ.
  • මහාවංශය (1996), හික්කඩුවේ සුමංගල හිමි, බටුවන්තුඩාවේ දේවරක්ඛිත පඬිතුමා, කොළඹ, කෞතුකාගාර දෙපාර්තමෙින්තුව.

[මෙම ලිපියේ ඇති ඡායාරූපය https://prabathfunny.blogspot.com වෙබ් අඩවියෙන් ලබාගත් බව ස්තූතිපූර්වකව සටහන් කෙරේ.]

----------------------------------------------------------------------------------
මෙම ලිපිය 2019.10.04 දින www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ ප‍්‍රකාශයට පත් විය.
---------------------------------------------------------------------------------

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.