දිලිනි ලක්මාලි මෙස්ලින්කා

හැඳින්වීම

දිලිනි ලක්මාලි මෙස්ලින්කා

“අම්බලම” (Way Side Rest House) හුදෙක් ගැමි සමාජය හා බැදි ගෘහනිර්මාණයක් පමණක් නොවේ. විඩාවට පත් මිනිස් සිත, කය නිවන නවාතැන්පළක් ද වූ බව පුරාණ ජන සාහිත්‍යය අපට දෙස් දෙන්නේ ය. සිංහලේ අවසන් රාජධානි සමය වන මහනුවර යුගයේ දී වර්ධනයට පත්වන දාරුමය ඉදිකිරීම් කලාවෙහි ආරම්භය අපට හඳුනාගත හැකිවන්නේ ප‍්‍රාග් ඓතිහාසික යුගයෙහි පටන්ය. ප‍්‍රාග් ඓතිහාසික මානවයා නිවාස හා බලකොටු නිර්මාණය සඳහා දැව දඬු යෙදුවේ ය (ලගමුව 1997:39) අනුරාධපුරය ඇතුළුනුවර 3A ස්ථරයෙන් හමුවන කණු වලවලවල් සාධක අනුව ක‍්‍රිස්තු පූර්ව හතර වන සියවසෙහි පටන්ම දැව භාවිතයෙන් ගෘහනිර්මාණාංග ඉදිකිරීමේ කලාව මෙරට පැවති බව පෙනීයන්නේය. වෛදික යුගයේ ඉන්දියාවේ ද ගෘහනිර්මාණ සඳහා යොදාගන්නා ලද්දේ දැවය. ලක්දිවට ශ‍්‍රී මහාබෝධි ශාඛාව වැඩමවාගෙන එද්දී පැමිණි දහඅට කුලය සමඟ වඩු කුලයෙන් ද පැමිණියේ ය. උතුරු ඉන්දියානු ආර්යන්ගේ ලී කැටයම් මෙහි ද ප‍්‍රචාරයට පැමිණි බව මෙයින් සිතාගත හැකිය (විමලවංශ හිමි 2000:518).

අද මෙන් දියුණු නොවූ දුරාතිතයේ දී මිනිසුන්ගේ ගමනාගමනය සිදුවූයේ පයිනි. නැතහොත් කරත්ත මඟිනි. මෙසේ ගමන්බිමන් යාමේ දී දින ගණනාවක් වුව ද ගත වේ. එ සමයෙහි වෙහෙස නිවා ගැනීමටත්, රාත‍්‍රිය ගත කිරීමටත් පුරාණ ගම්වල අම්බලම් ඉදිකරතිබූ බව ජන සාහිත්‍යය අනුවත්, පුරාවිද්‍යාත්මක නෂ්ටාවශේෂ අනුවත් පැහැදිලි වන්නේය. “අම්බලම” අනාදිමත් කාලයක පටන් ජන සමාජය තුළ සක‍්‍රීය ව පැවති නවාතැන්පොළකි. අනුරාධපුර, පොළොන්නරු යුුගවල දී පටන්ම මෙරට ජන සමාජය හා බැදී පැවතුණු මෙම විශිෂ්ට ගෘහ නිර්මාණාංගය එ කල ඉසිඹුහල්, මාවත් මඩු, ආගන්තුක ශාලා, අම්බර, මඩම්, අම්බිලි, අම්බෙ ආදී නම් වලින් හදුන්වන ලද බව සාහිත්‍යය මූලාශ‍්‍රයන්ට අනුව පෙනේ (දසනායක 2005:45). උම්මග්ග ජාතකය, සද්ධර්මරත්නාවලිය, සැලළිහිණි සන්දේශය, නීලකොබෝ සහ අෂ්ටනාරි සන්දේශය වැනි සාහිත්‍යය මූලාශ‍්‍රයන්හි අම්බලම් පිළිබඳ ව සඳහන් ය. චතුස්සාලා ලෙස සෙල්ලිපි වල සඳහන්වන්නේ ද සිව්දෙසින් ප‍්‍රවේශ විය හැකි අම්බලම් බව ඇතැමුන්ගේ අදහසයි (Geiger 1964:268, Vidanapatirana 2008:224), ක‍්‍රිස්තු වර්ෂ 7 වන සියවසට අයත් වන මහනුවර දිස්ත‍්‍රිකයෙහි හිඳගල පර්වත ලිපියෙහි සඳහන්වන “පටසල අබළ” යන්නට නිරුක්තියක් සපයන පරණවිතානයන් දක්වන්නේ එහි අදහස ද පටසල නම් අම්බලම බවයි (Paranavitana 1958:4). අම්බලම් විශේෂයෙන් සාදන ලද්දේ ප‍්‍රසිද්ධ මංමාවත් අසළ ය. නොඑසේ නම් වෙල් යායක් අද්දර, වෘක්ෂයන් මූලයෙහි මෙන්ම කුඩා කදු ගැටයන් මත ද අම්බලම් ගොඩනගා තිබේ. පුරාණ මංමාවත් බොහෝ විට කුඹුරු යායවල් ඔස්සේ වැටුණු හෙයින් බොහෝ සෙයින් විශාල කුඹුරු යායවල් අසළ පාර අයිනේ අම්බලම් දක්නට ලැබුණු බව සඳහන්වේ (ගොඩකුඹුර 1993:6). පනාවිටිය අම්බලම පිහිටා තිබෙන්නේ ද මෙවන් වෙල්යායක් අසබඩ ය. පැරණි ප‍්‍රසිද්ධ මාවත්වල ළං ළංව මෙවැන් ගොඩනැගිලි බොහෝ ගණනක් තිබුණු බවත්ලඑම අම්බලම් අමුත්තන්ගේ නැවතුම් පොළක් වශයෙන් නොවල තොරතුරු හුවමාරු කරගැනීමට හා විවේකයෙන් බුලත් විටක් කෑමට ද භාවිත වූ බවත්, එසේම එය ගම්සභාව පවත්වන තැන මෙන් භාවිත වූ බවත් කුමාරස්වාමි මහතා දක්වන්නේය (කුමාරස්වාමි 1962:116-117). නොයෙක් සෙල්ලම් කී‍්‍රඩා ද අම්බලමේ පවත්වා ඇත. එසේම අම්බලම ගමේ ආදායම් එක්කරන කන්තෝරුවක් විය. මෙම අම්බලම් විශේෂයෙන්ම ඉදිකරන ලද්දේ දුර බැහැර රාජකාරි සඳහා හෝ නෑ ගමන් හෝ වන්දනා ගමන් හෝ යන මගීන්ගේ ප‍්‍රයෝජනය පිණිසය. අම්බලම ගමට පිටින් එන්නන්ගේ නැවතුම් පොළ ද විය (සිරිමල්වත්ත 2005:221).

පනාවිටිය අම්බලම (ඉදිරිපස පෙනුම)

අම්බලම ශිව දෙවියන් අදහන පිරිසකගේ විශේෂ ස්ථානයක් ලෙස සලකන ලද බවත්, මෙය දෙවියන් වාසය කරන එමෙන්ම ශිව දෙවියන්ගේ තාණ්ඩව නැටුම් රඟ දක්වන ස්ථානය ලෙසද සැලකේ (එම).

පුරාණ අම්බලම් ඉදිරිපිට තබන ලද පින්තාලිය නොහොත් පැන්තාලිය අම්බලමේ සිට විඩා නිවාගන්නා මගීන්ගේ පැන් පහසුව සලසන ලදී. බොහෝ අම්බලම් අසළ පිංතාලි, ඌරා කැට ළිං ඉදිකර තිබූ බව සඳහන්වීමෙන් පෙනීයන්නේ මගීන්ගේ සුඛවිහරණය සැලසීම ද අම්බලම් ඉදිකිරීමෙහි තවත් පරමාර්ථයක් වූ බවයි. ගැමි සමාජයෙහි උපයෝගීතාව මත පදනම්ව ගැමියාගේ දෑතින් ගොඩනැංවුණු අම්බලම පැරණි ගෘහනිර්මාණ ශිල්පය හැදෑරීමේ දී වැදගත් ගොඩනැගිල්ලකි. අම්බලම් බොහෝ අවස්ථාවන්හි ඉදිකරන ලද්දේ දැවයෙනි. ඒ සඳහා තෝරාගත් පාදම වූයේ පිහිටි ගලකි. නොඑසේ නම් ගල්, දැව කදන් ආදිය යි. මෙම විශේෂ ගෘහනිර්මාණාංගය අනුරාධපුර යුගයේ පටන් භාවිතයෙහි පැවතෙමින් මහනුවර යුගයේ දී වඩා ඉස්මතු වූත්, වර්ධනය වූත් එකකි. ප‍්‍රස්තුත අධ්‍යයනයට ලක්වන දේවමැදි හත්පත්තුවෙහි පනාවිටිය අම්බලම ද එකී නිර්මාණාවේශයෙහි උත්කෘෂ්ට වූ කලාත්මක ප‍්‍රතිඵලයකි.

අම්බලම පුරාණ ජන සමාජය හා අත්‍යන්තයෙන්ම බැදී පැවති ගෘහ නිර්මාණාංගයක් බව ජන සාහිත්‍යයෙන් ද සනාත වේ. හුදී ජනයා තම විවේක අවස්ථාවන්හි දී කතාබසෙහි නියැලීමට ද, කෙළිකවට කමෙහි නිරත වීමට දඅම්බලමට ගොඩවැදුණු බවට තොරතුරු ලැබේ.

ජන සාහිත්‍යයෙහි එන අතැම් ජන ගී අම්බලම හා බැදි ජනජීවිතයේ ස්වභාවය මොනවට විදහාලන්නේ ය.

මන්දාරමට උඩ කෙළිනා වැහි ලේනී
ගොනුගෙ කරේ බැන්දා වැනි බර ගෝනී
වෙල ළඟ අම්බලම කාටත් පර වේණී
මට තනි නැත නුඹ නාඩන් උල ලේනීී

අල්ලාගෙන නෙරිය අතකින් කිම ද නගෝ
වසාගෙන දෙතන අතකින් කිම ද නගෝ
හිමි නැති මහපාරෙ තනියෙන් කිමද නගෝ
අම්බලමේ අපි නැවතී යමු ද නගෝ

පනාවිටිය අම්බලම

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත‍්‍රිකයේ දේවමැදි හත්පත්තුවේ මයුරාවතී කෝරළයේ පිහිටි පනාවිටිය නම් ගම්මානයෙහි සොඳුරු වෙල් යායක ඉස්මත්තෙහි පනාවිටිය අම්බලම පිහිටා ඇත. එය වනාහි හෙළකලාකරුවාගේ කලා නෙපුණ්‍යතාවත්, කෘතහස්ථභාවයත් මනාව විදහාලන නිර්මාණයකි.

ගමන් මාර්ගය

ගිරිඋල්ල – කුරුණෑගල මාර්ගයේ මැටියගනේ හන්දියෙන් වමට හැරී සැතපුම් දෙකක් පමණ ගමන් කිරීමෙන් ද, නාරම්මල – කුලියාපිටිය මාර්ගයේ දංගොල්ල හන්දියෙන් වමට හැරී යන මාවතින් ද මෙම දර්ශනීය පනාවිටිය අම්බලමට ළඟාවීමට හැකි ය.

මෙම අම්බලම ස්ථාන ගත වී ඇත්තේ දීකිරිකෑව-පනාවිටිය ශ්‍රී ලංකාතිලක විහාරයත්, විශාල වෙල් යායකුත් මැදිකොට ගනිමිනි. අම්බලම ඉදිරිපිටින් දිවෙන වෙල් යාය ඔස්සේ දඹදෙණියේ සිට යාපහුවට හා කුරුණෑගලට දිවෙන මාර්ගයක් පැවති බව පැරැන්නන්ගේ අදහසයි. තවද මෙහි සිට අනුරාධපුරය ඓතිහාසික නගරය හා සම්බන්ධ වූ පැරණි ගමන් මාර්ගයක් ද තිබූ බව දැක්වේ (Karunaratne 1971:121). පනාවිටිය අම්බලමේ ස්ථානගත වීම සම්බන්ධයෙන් වැදගත්වන තවත් අදහසකි. දඹදෙණිය රාජධානි සමයේදී පා ගමන් සඳහා යොදාගන්නා ලද අඩි පාරක් දඹදෙණි මාලිගාවේ නැගෙනහිර දොරටුවෙන් පටන් ගෙන වීරේ අම්බලමෙන් ඊසාන දිගට විහිදී ඇත (වීරේ අම්බලම අද දක්නට නොලැබුණත් එය පිහිටියා යි සැලකෙන ඉඩමට අදත් ගැමියන් ර්‍ණඅම්බලමේ කෑල්ල” යැයි ව්‍යවහාර කරන බව දැක්වේ). එම අඩි පාර පනාවිටිය අම්බලම දක්වා ද ගමන්කොට නැවත ඊසාන දෙසට හැරී දීකිරිකෑව හා ඉන් ඔබ්බෙහි පිහිටි කරගහගෙදර අම්බලම පසුකොට යාපහුව දක්වා වැටී ඇත (අත්ථදස්සී 2000:5-6).

අම්බලමේ සැලැස්ම

පනාවිටිය අම්බලම ගොඩනැංවීම සඳහා යොදාගෙන ඇත්තේ චතුරස‍්‍රාකාර සැලැස්මකි. කැට ගල් හා කැඩූ ගල් වලින් පුරවා අඩි භාගයක් පමණ පොළව මට්ටමින් උඩට උස් වූ ගෙපළක් පිට තැබූ අඩියක් පමණ උසැති ගල් පිට තැබූ දැව කඳන් මත අම්බලම ගොඩනගා ඇත. ගොඩනැගිල්ලේ ගෙපළ දිගින් අඩි දොළහයි අඟල් හතරක් හා පළල අඩි නවයයි අඟල් හයක් වේ. දැව අඩියේ පටන් අඟල් හය දක්වා ඝන වේ (ගොඩකුඹුර 5). මෙම දැව සැලැස්ම ගොඩනංවා ඇත්තේ සිව් කොණෙහි තබන ලද රවුම් පාෂාණ හතරක් මතය. පසු කාලීන ව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සංරක්‍ෂණ යටතේ එම පාෂාණ මැදිකොට කළු ගලින් පාදමක් ගොඩනංවා ඇත. සතරැස් සැලසුම මත සතරැස් ආකාරයට සිටින සේ අඩි හතරක් පමණ විෂ්කම්භය ඇති චතුරස‍්‍රාකාර කොට දමා එහි සවි කරන ලද කුලුණු හතරක් මත වහළය ගොඩනඟා තිබේ. අම්බලමේ මුළු කුලුණු ගණන විසි හයකි. දොරටුවට සමාන්තරව පිටු පසට යෙදූ ප‍්‍රධාන කුළුණු ද්වය මැදි කොට ගෙන දෙපේළියට යෙදූ කුලුණු දොළස බැගින් දෙපසට යෙදී තිබේ. එහි ඇතුළු වටයේ කුළුණු නවයකි. අඩි හතක් උසැති මෙම කුළුණු මධ්‍යයෙහි පනේල බේරා ඒවා විසිතුරු රූකම් වලින් කැටයම් කර ඇත. මුළු පනේල කැටයම් සංඛ්‍යාව තිස් හයකි. කුළුණෙහි කෙළවර වහළයට සම්බන්ධ වන්නේ නෙළුම් මල් කැටයමින් යුත් පේකඩයකිනි. අම්බලමේ සියලු කුළුණු වල පනේල බේරා කුළුණු බද අටපට්ටම් හැඩයට සකස් කර තිබේ. මෙම නිර්මාණ සැලැස්ම සම්බන්ධයෙන් චාල්ස් ගොඩකුඹුරයන් පහත ලෙස අදහස් දක්වන්නේ ය.

“සම කාලීන ගෘහ නිර්මාණ ශිල්පයෙහි උච්චතම අවස්ථාවක් නිරූපණය කරන බැව් පෙනේ. කැණිමඩල දක්වාම එක හා සමානව සරල ලෙස කැටයම් කොට ඇත. මුළු පරාල සංඛ්‍යාව තිස් දෙකකිගඒ සියල්ලක්ම මඩොල් කුරුපාව මගින් විශිෂ්ට ලෙස සම්බන්ධ කර ඇත. වහළයේ හරහට දමා ඇති විශාල බාල්ක දෙකකි. එය අලංකාර කැටයමින් සරසා ඇත. මුදුන් යට ලීයේ දිග අඩි තුනයි අඟල් හයකි. වහළයේ වඩු වැඩ, බාල්ක, තලන්, යටලී, හරස් යට ලී, කතුරු ලී, කුරුපා, පරාල, මුදුන් පරාල හා මුදුන් යටලීයෙන් ද යුක්තය” (එම).

පනාවිටිය අම්බලමේ වහළය ඉතා විශිෂ්ට ගණයෙහි කැටයමින් සමන්විත වූවකි. මහනුවර යුගයෙහි දියුණුවට පත් වූ දාරුමය ගෘහ නිර්මාණ ඉදිකිරීම් ශිල්පයෙහි තවත් දියුුණුම අවස්ථාවකට එය නිදසුනකි.

මඩොල් කුරුපාව (වම) හා පේකඩ කැටයම් (දකුණ)

කැටයම් කරන ලද පරාල තිස් දෙකක් මඩොල් කුරුපාව නමින් හැදින්වෙන්නා වූ කැටයම් වලින් සමලංකෘත විශාල ලී ඇණයක් මගින් එකට සම්බන්ධ වී අලංකාර කැණිමඩලක් වහළය මත නිමවා ඇත. මුදුන් බාල්ක දෙකකි. ඒවා ද විවිධ කැටයමින් සරසා ඇත. අලංකාර පියුමක් හා ලියවැල් කැටයමක් ඒ අතර වේ. මෙහි වහළය කේතු ස්වරූපයක් දක්වන අතර, වහළය වටා බීරළු රටාවක් දක්නට ලැබේ. වර්තමානයෙහි දක්නට ලැබෙන අම්බලමේ වහළය සෙවිලි කර ඇත්තේ පෙති උළු වලිනි. එය වර්ෂ 1960 දී මෙම ස්ථානයෙහි සිදු කරන ලද තහවුරු කිරීමෙහි ප‍්‍රතිඵලයක් ලෙස හදුනාගත හැකි වේ. මෙම තහවුරු කිරීමට පෙර අම්බලමෙහි වහළයට පොල් අතු සෙවිලි කර තිබූ බව 1960-1961 පුරාවිද්‍යා කොමසාරිස් පාලන වාර්තාවේ සඳහන්වේ. අම්බලම ඉදි කරන සමයේ දී එහි වහළයට මැටි උළු සෙවිලි කරන ලද බවට සාධක හමු වී ඇත.

අම්බලමෙහි යටගියාව පිළිබදව අදහසක් ලබා ගැනීමෙහි ලා පාලන වාර්තාව මෙහි උපුටා දැක්වේ.

1960-1961 මුදල් වර්ෂය සඳහා පුරාවිද්‍යා කොමසාරිස් තැනගේ පාලන වාර්තාව

පනාවිටිය අම්බලම

අම්බලම ඉතා අබලන්ව එහි මුදුනේ කැණිමඩල කැඞී පරාල වෙන්ව ගොස් තිබුණා (ගොඩකුඹුර 1960:42).

තහවුරු කිරීම

දහසය වන සියවසෙන් පෙර කාලයට අයත්ය. දැව දඬු බොහෝ දුරට දිරාපත්ව තිබුණි. යටගිය දවස සිංහල කැටයම්කරුවාගේ කෘතහස්තභාවයට දෙස් දෙන්නට සෑහෙන තරම් ඉතිරිව තිබුණි.
පරණ ලී වලින් හැකි තරමක් ද, පුරාණයේ යොදා තිබූ වර්ගයේම ලී ද යොදා තහවුරු කිරීම. ඉවත් කළ පැරණි ලී රසායනික ද්‍රව්‍ය යොදා අනුරාධපුර කටුගෙට යැවීම (එම 1961:12).

බිම එළි පෙහෙළි කරද්දී පසට යට වී තිබූ ගල් බැම්මක් පෑදුණි. බැම්ම සුද්ද කර අලූතින් සෑදීම (එම 13).
තහවුරු කිරීම සිදුකෙරෙන අවස්ථාවේ හමු වූ අවට විසිරී තිබූ උළු කැබලි වලින් අම්බලමේ වහළයට මුල් කාලයේ දී උළු සෙවිලි කර තිබූ බව තහවුරු කෙරිණි. අවට විසිරී තිබී හමු වූ උළු කැබලි වර්ග තුනකට අයත් වේ. ඒවා සෘජුකෝණාස‍්‍රාකාර පැතලි උළුල කේතු ආකාර පැතලි උළු හා මුදුන් උළු කැබලි ලෙස සඳහන්වේ (Karunaratne 1971:124).

කැටයම් හා අලංකරණ

පනාවිටිය අම්බලම වඩාත් ප‍්‍රසිද්ධියට පත්ව ඇත්තේ එහි දක්නට ලැබෙන කැටයම් අලංකරණ හේතුවෙනි. අම්බලමෙහි ඇතුළු වටයෙහි සියලු ම කුළුණු කැටයමින් සමලංකෘතය. මෙහි පනේලයන් මත දක්නට ලැබෙන කැටයම් සම කාලීන සමාජයෙහි නෛසර්ගික ප‍්‍රතිමූර්තීන් ලෙස හදුනාගත හැකි වේ. ගැමි ජනයාගේ දෛනික ජීවිතයෙහි විවිධ අවස්ථා මෙම කැටයම් මගින් විදහාලන්නේ ය. උදාහරණ ලෙස ආචාර සමාචාර දැක්වීම, නැට්ටුවා, පෙරහැර, නළඟන, මල්ලව පොර ශිල්පීන් දෙදෙනා හා බෙරකරුවා ආදී නිර්මාණ කලාත්මක පාර්ශවයෙන් උසස් ගණයෙහිලා සැලකේ. උතුරු පසෙහි මධ්‍යයෙහි ඇතුළු වටයෙහි පිහිටි ප‍්‍රධාන කුළුණ අම්බලමේ දක්නට ලැබෙන කලාත්මක අතින් උසස්ම කුළුණයි. මෙම කුළුණෙහි ඉහළ කොටස වෘත්තාකාරය. මධ්‍යයෙහි පනේල හතරකි. සම්පූර්ණ කණුවම කැටයමින් සරසා ඇතග. කුළුණෙහි නෙළුම් පෙති වෙනුවට නයි පෙන හතරක් යොදාගෙන තිබේ. කුළුණෙහි ඉහළ කොටසෙහි කැටයම් කරන ලද දඟර ගැසෙමින් යන නාගයන් හතර දෙනෙකි. පේකඩ මත දිග් අතට හා හරස් අතට යොදා ඇති යටලී ලියවැල් මෝස්තරයන්ගෙන් හෙබිය. මෙහි කැටයම් ඉතා සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම තෙක් විහිදේග මෙහි අන්තර්ගත කැටයම් ක‍්‍රිස්තු වර්ෂ දහඅට වන සියවසට පමණ අයත් බැව් සැලකේ. කැටයම් අතරෙහි මිනිස් රූප, සත්ත්ව රූප, මල්, කොළ ආදිය වේ. එසේම වැල් ගැට, තරු ආදිය ද වේ. සියලුම රූප සකස් කර ඇත්තේ ලී වඩුවාගේ නියන පහසුවෙන් යොදා ගන්නට පුළුවන් වන සේ මිනුම් ගණිත ක‍්‍රමයට හරිහැටි සම කොට බෙදා ගන්නට පුළුවන් ක‍්‍රම වලටය (ගොඩකුඹුර 5).

නාග දගරය

අම්බලමෙහි කැටයම් අතර නාග රූපයට විශේෂත්වයක් හිිමි වී තිබෙන ආකාරය ප‍්‍රධාන කණුවෙහි පනේලයට ඉහළින් කැටයම් කර තිබෙන දඟර ගැසෙමින් යන නාගයන් සිව්දෙනාගේ කැටයමිනුත්, නාග දඟරය කැටයමිනුත් පෙනේ. මෙහි දක්නට ලැබෙන නාග කැටයම් සංඛ්‍යාව 45කි. මෙම විශේෂත්වය සම්බන්ධයෙන් දසනායකයන් දක්වන අදහස වන්නේ, මෙහි කැටයම් කලාකරුවා තුළ කිසියම් ගුප්ත විශ්වාසයක් තිබූ බව ඉන් ගම්‍ය වන බවයි (දසනායක 2000:122).

පනාවිටිය අම්බලමේ කැටයම් තුළින් විවිධ කලා ආභාසයන් පිළිබඳව ද අධ්‍යයනය කළ හැකිවේ. ඉදිරිපස බාල්කය අභිමුඛයෙහි හා ප‍්‍රතිමුඛයෙහි කැටයම් කර තිබෙන වෙස් නැට්ටුවා පහතරට කලා ආභාසය පෙන්වන්නේය. නළඟන, නැට්ටුවා හා ගැටබෙරය වයන බෙරකරුවා උඩරට කලා ආභාසයට හා රංග වස්ත‍්‍රාභරණ පිළිබඳව නිදසුන් සපයන්නේය. සම කාලීන උඩරට නැටුම් වල උපයෝගී කරගන්නා සාම්ප‍්‍රදායික ඇඳුම් මෙම රූපවල බොහෝමයක් දක්නට ලැබේග කුණ්ඩලාභරණ දක්වා ඇත්තේ ප‍්‍රකෘතියට වඩා අතිශයෝක්තියෙනිග නිළිය හැට්ටයක් ඇඳ ඇති බව පෙන්වා ඇත්තේ ඉරකිනි (එම). පියවුරු නොමැති වී නම් කාන්තා රූප හදුනා ගැනීමට අපහසු වනවා නොඅනුමානය. ක‍්‍රියාශීලිත්වය හා සමබර බව මනාව විදහාලන මල්ලව පොර ශිල්පීන් දෙදෙනාගේ කැටයම උඩ යට මාරු කර බැලූවත් එකම අයුරින් සිටින පරිදි කැටයම් කිරීම මෙහි නිර්මාණ ශිල්පියාගේ් කෘතහස්තභාවය විදහාලන තවත් එක් නිදසුනක් පමණි.

අම්බලමේ පනේල කැටයම් අතර හඳුනා ගැනෙන සත්ත්ව රූප සම කාලීන නිර්මාණයන්හි බොහෝ දුරට දක්නට ලැබෙන මනඃකල්පිත බවට දෙස් නොදීම විශ්ෂත්වයකි. මෙම නිර්මාණ අතරින් සිංහයා, නාගයා, මුවා, මුවදෙන, මොනරා, සෙබඩ හා ඇතා වැනි කල්පිත සත්ත්ව මෝස්තර හදුනාගැනේ. ඒ අතරම හඳුනාගතහැකිවන ගරුඩ පක්‍ෂියාගේ රූපය කැටයම් අතර දක්නට ලැබෙන එකම මනඃකල්පිත රූපය ලෙස දැක්විය හැකිය. මහනුවර යුගයෙහි චිත‍්‍ර හා කැටයම් නිර්මාණ අතර බහුලව යෙදෙන මනඃකල්පිත රූප හා සංකේතයන්ගෙන් පනාවිටිය අම්බලම වියුක්ත වීම සැබවින්ම විශ්මයාර්තය මතුකරන්නකි. එහෙත් පනාවිටියේ කැටයම්කරුවා ප‍්‍රදේශීය ජන විශ්වාසයන් මත යැපෙමින් ස්ව නිර්මාණයට ස්වාධීනත්වයක් ගෙන දීමට උත්සාහ ගෙන ඇති බව සැලකිය හැකිවේ. මෙහි මෝස්තරකරණයන් අතර මල් මෝස්තරයන්ට ද විශ්ෂත්වයක් හිමිවන්නේය. ඒ අතරින් නෙළුම් මල ප‍්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන අතරල අම්බලමෙහි දක්නට ලැබෙන මුළු නෙළුම් මල් කැටයම් ගණන 15කි. නෙළුම් මල නිර්මාණයේ දී විවිධ රටාවන් අනු දැක තිබේ. පිපුණු මල්ල පොහොට්ටු ඒ අතරවේ. පහතට හැරුණු නෙළුම් මල සහිත පේකඩ සැරසිලි ද අම්බලමෙහි කැටයම් අතර විශිෂ්ට නිර්මාණයන් ලෙස සැලකේ. නෙළුම් මල ජ්‍යාමිතික හැඩතල අනුව 4, 8 හා 16 කොටස් වලට බෙදා නිර්මාණය කර ඇත (Karunaratna 1971:126). පේකඩ වල අරලිය කොළ සතරට මැදිකොට නෙළා ඇති පෙති 16ක නෙළුම් මල් ඇත. එය මෙහි විශේෂ කැටයමකි. සෑම කුළුණකටම මලක් යෙදීමට කැටයම්කරුවා අමතක කරනැත (දසනායක 2000:121-122). ලියවැල, ලණුගැටය හා පැඳුරු රටා ආදී සාම්ප‍්‍රදායික කැටයම් මෝස්තර ද පනේල කැටයම් අතර දක්නට ලැබේ. පනාවිටිය අම්බලමෙහි ලණුගැට කැටයමට අත්‍යන්තයෙන්ම සමාන කැටයමක් ඇම්බැක්කේ දේවාලයෙහි ද දක්නට ලැබීම සම කාලීන කලා ආභාසයන්හි විහිදීමට අනඟි නිදර්ශනයකි. පරාල කැටයම් අතර දක්නට ලැබෙන ලියවැල් අපූර්වත්වයෙනුත්, සජීවි බවිනුත් පරිපූර්ණ නිමැවුම්ය. පනේල රාමු තුළ දිග හැරෙන ගල්බිංදුවල මල වැනි මෝස්තරයන්ගෙන් පෙනී යන්නේ කැටයම්කරුවාගේ දෙනෙතින් මඟහැරුණු අවකාශයක් පනාවිටිය අම්බලමෙහි තවත් නොවන බවයි.

නළඟන (වම), මල්ලව පොර ශූරයින් (මැද) හා ආගන්තුක සත්කාරය (දකුණ) දක්වන කැටයම

මෙම කැටයම් තුළින් සම කාලීන සමාජයෙහි ඇදුම්පැළඳුම්, චාරිත‍්‍රවාරිත‍්‍ර, භාණ්ඩල ගෘහ නිර්මාණකරණය හා සමාජ ස්තරණය පිළිබඳව ද අධ්‍යයනයට ලක්කළ හැකි ය. නයිගැට කැටයමට ඉහළින් පිහිටි ආරුක්කුවල පලාපෙති මෝස්තරය හා ලිය වූ කකුල් සහිත බංකුවල ඒ මත හිඳ සිටින ප‍්‍රභූවරයෙක් ලෙස සැලකිය හැකි පුද්ගලයා ආදී කැටයම් මගින් උක්ත අදහස තහවුරු කරලන්නේ ය.

පහත දැක්වෙන්නේ පනාවිටිය අම්බලමෙහි දක්නට ලැබෙන කැටයම් වර්ගීකරණයකි.

මිනිස් රූප  සත්ත්ව රූප  වෙනත්
සක් පිඹින්නන් 2 සිංහයන් 8 යක්‍ෂයන් 1
නලා පිඹින්නන් 2 මොනරුන් 3 බෝ කොළ 40
ඇත් ගොව්වන් 2 මුවන් 2 පැඳුරු වියන් 7
මල් පූජා කරන හෝ ආචාර සමාචාර 2 නාගරූප 7 නෙළුම් මල් 15
කාන්තාවන් 2 නයිපෙන 36 ලියවැල් 12
බෙරකරුවන් 2 අලි 4 ලණු ගැට 12
අංගම්පොර 2 ගරුඩ 1
නාටිකාංගනාවෝ 4 නයිගැට 1
නැට්ටුවන් 2 ලිහිණියෝ 1  (දසනායක 2000:121)

දසනායකයින් මෙහිලා යක්‍ෂයින් ලෙස හදුනාගන්නා කැටයම් ගොඩකුඹුර මහතා හදුනාගෙන ඇත්තේ වෙස් නැට්ටුවන් ලෙසිනි (ගොඩකුඹුර 6)

දැව හා පිහිටි පාෂාණයන් මත ගොඩනැගිලි ඉදි කිරීමේ කලාව ලංකාවේ ජනප‍්‍රිය වන්නට වූයේ මධ්‍ය කාලීන යුගයෙහි පටන්ය. එයින් ද මහනුවර යුගය කැපී පෙනෙයි. මහනුවර මඟුල් මඩුව, ගිරිහාගම වලව්ව, කුරුණෑගල – වාරියපොළ පාදෙණිය විහාරය, ඇම්බැක්කේ දේවාලය, ලංකාවේ විවිධ ප‍්‍රදේශයන්හි ව්‍යාප්තව තිබෙන ටැම්පිට විහාර (වයඹ පළාත ආශ‍්‍රිත බිහල්පොළ, කෝඳුරාපොළ, බිංගිරිය, වතුවත්ත, නිකවැරටිය, දොරබාවිල ටැම්පිට විහාරය හා දඹදෙණිය පුරාණ රාජධානියෙහි පැරණි දළදා මාලිගය ලෙස හදුන්වන ටැම්පිට පිළිම ගෙය ද මහනුවර සමයෙහි ගොඩනංවන ලද්දක් බව ලංකාවේ පැරණි දළදා මාලිගා සම්බන්ධයෙන් විශේෂ ලිපියක් සැකසූ ආචාර්ය පියතිස්ස සේනානායකයන් අප සමඟ පැවසී ය). ආදිය විමසීමේ දී මධ්‍ය කාලීන ලංකාවේ දැවකම් නිර්මාණයන් ඉතා ඉහළ තත්ත්වයක පැවති බැව් පෙනේ. පනාවිටිය අම්බලම නිර්මාණයේ දී එකී නිර්මාණයන්ගේ ආභාසයන්ට ලක්ව පවතින අයුර හදුනාගත හැකිවන්නේ ය. ජනප‍්‍රවාද අනුව පනාවිටිය අම්බලම දඹදෙණි රාජධානි සමයෙහි ඉදිකෙරුණක් බව පැවසුන ද එහි නිර්මාණ ශිල්පය සෘජුව නෑකම් කියන්නේ මහනුවර යුගයටය. තවත් ජනප‍්‍රවාදයකට අනුව මෙම අම්බලම සාදන ලද්දේමහනුවර මඟුල් මඩුව සෑඳූ කලාකරුවාගේ පුත‍්‍රයා බව කියැවේ. එම පියා හා පුතා අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් ඔවුන් දෙදෙනා වෙන් වී පියා මඟුල් මඩුවත්, පුතා මෙම පනාවිටිය අම්බලමත් ගොඩනැගූ බවත්, මෙහි ඉද්ද ගැසීමේ දී ඇති වූ දෝෂයක් හේතුවෙන් ඔවුන් දෙදෙනාම හමුවූ අවස්ථාවේ මිය ගිය බවත් කියැ වේ.

පනාවිටිය අම්බලම වූ කලී දේශීය කලාකරුවාගේ අනගි නිර්මාණාත්මක දායාදයකි. එය නවාතැන්පොළක් මතු නොව, කලාගාරයකි. පුරාණ මාර්ග පද්ධතිය හදුනාගැනීමේ දී ආධාරක වන ස්මාරකයක් වන පනාවිටිය අම්බලමට සොඳුරු කලා නිර්මාණයන් රැසක නිහඩ සාක්‍ෂ්‍යකරුවෙක් වන්නාසේම, ලංකාවේ කලාත්මක මෙන්ම ඉහළම තාක්‍ෂණයක් පෙන්නුම් කරන්නා වූ කැටයම් වැඩිම අම්බලම ද වන්නේය.

ලණු ගැටය (වම) හා හේරුණ්ඩ පක්‍ෂියා (දකුණ)

මහනුවර යුගය නියෝජනය කරනා දේශීය කැටයම් හා ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳව අධ්‍යයනයෙහි යෙදෙන්නන් හට මෙය නිකැලැල් තෝතැන්නකි. විටින්විට සංරක්‍ෂණයට හා තහවුරු කිරීමට බදුන් කළ ද අම්බලමෙහි ප‍්‍රකෘති ස්වභාවයට හානි නොවන පරිද්දෙන් එම මැදිහත් වීම් කරතිබීම මෙම ස්මාරකයෙහි වැදගත්කමට තවත් හේතුවකි. 1960-1961 අතර රජයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්‍ෂණය යටතෙහි තහවුරු කරන ලද පනාවිටිය අම්බලම වර්තමානයෙහි දඹදෙණිය පුරාවිද්‍යා කාර්යයාලය යටතෙහි නඩත්තු වන අතර, හෙළ දෙරණෙහි උරුමයට අදරැති පනාවිටිය ගමේ ගම්වැසියන් මෙම සොඳුරු කලාකෘතිය රැකගන්නේ සෙනෙහසිනි. වෙල් යාය පිස හමන සිහිල් සුළං රැළි ගත වටා දැවටෙද්දී, නිසංසල වූ බිමක මෙම සුන්දර කලාකෘතිය හා තනි වන විට හද දැහැන්ගත වන්නේ නිරායාසයෙනි.

පනාවිටියෙන් සමුගන්නට මත්තෙන් තවත් යමක් සනිටුවහන් කිරීම වටී. දඹදෙණිය රාජධානි සමයෙහි යාපහුව දක්වා විහිදුණු ගමන් මගක් පැවති බවත් එහි තැනින්තැන අම්බලම් ඉදිකර තිබූ බවත් ඉහත දී දැක්වූවා ඔබට මතක ඇති. ඒ බවට දෙස් දෙන්නට නුදුරින් පිහිටි කරගහගෙදර ගම්මානයෙහි වෙල් යායක් මත නැගුණු ගල් තලාවක ඉදි වූ අම්බලම ද නැගී සිටින බව අමතක කළ නොහැකි ය. පැරණි පඩුවස්නුවර දක්වා වූ මාර්ගයට සම්බන්ධව මෙම අම්බලම නිමවා ඇති බව දැක්වේ. මීට අමතරව වර්ෂ 1782 දී ඉදිකරවන ලද බෝගහපිටිය අම්බලම නම් විශිෂ්ට කැටයමින් සමලංකෘත වූ අම්බලමක් පිළිබඳ ව ද 1972 සංස්කෘත්ක දෙපාර්තමේන්තුව මගින් ප‍්‍රකාශයට පත් කළ ‘පැරණි ස්මාරක නාමාවලිය’ හි සදහන් වුවද (දසනායක 2000:126) වර්තමානයේ දී මෙම අම්බලමෙහි නටබුන් වුවද ශේෂ වී නොමැත.

සම කාලීන ජනජීවිතයෙහි කැටපතක් ලෙස අධ්‍යයනයට ලක්කළ හැකි අම්බලම යනු වචනයෙහි පරිසමාප්ත අර්ථයට එහා යන්නා වූ නිර්මාණාංගයක් බවට පනාවිටිය අම්බලම සාක්‍ෂි දරන්නේ ය.

ආශ‍්‍රිත ග‍්‍රන්ථ

  • අත්ථදස්සී හිමි, ගලගම (2000), විහාර වංශය, මැටියගනේ මයුරාවතී රාජමහා විහාරය, මධ්‍යම සංස්කෘතික අරමුදල, කොළඹ.
  • කුමාරස්වාමි, ආනන්ද (1962), මධ්‍ය කාලීන සිංහල කලා, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, කොළඹ.
  • ගොඩකුඹුර, චාල්ස් (1962), 1960-1961 මුදල් වර්ෂය සඳහා පුරාවිද්‍යා කොමසාරිස්තැනගේ පාලන වාර්තාව, ලංකාණ්ඩුවේ මුද්‍රණාලය, කොළඹ.
  • ගොඩකුඹුර, චාල්ස් (1962), පනාවිටිය අම්බලමේ කැටයම්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, කොළඹ.
  • ගොඩකුඹුර, චාල්ස් (1993), පනාවිටිය අම්බලම, පුරාවිද්‍යා, සංස්කරණ : සිරිසමන් විජේතුංග, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, කොළඹ.
  • දසනායක, රෝහිත (2000), අම්බලම හා සමාජය, සමයවර්ධන මුද්‍රණ, කොළඹ.
  • දසනායක, රෝහිත (2005), අම්බලම, මධ්‍යකාලීන කලා හා ගෘහනිර්මාණ ශිල්පයේ පැතිකඩක්, වයඹ පුත‍්‍ර ප‍්‍රසාදිනී ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, සංස්කරණය : අනුර මනතුංග, ගාමිණී අදිකාරි හා පිරිස, මධ්‍යම සංස්කෘතික අරමුදල, කොළඹ.
  • ලගමුව, ඒ. (1997), ඔක්. – දෙසැ., මහනුවර යුගයේ දැව කැටයම් කර්මාන්තයේ කලාත්මක ස්වරූපය හා ශිල්පීය තාක්‍ෂණය, සංස්කෘතික පුරාණය, II වෙළුම, මධ්‍යම සංස්කෘතික අරමුදල, කොළඹ.
  • විමලවංශ හිමි, බද්දේගම (2000), අපේ සංස්කෘතිය, සමයවර්ධන පොත්හල, මරදාන.
  • සිරිමල්වත්ත, වාසනා (2005), ශ‍්‍රී ලංකාවේ අම්බලම්, පුරාතන ශාස්ත‍්‍රීය ලිපි සංග‍්‍රහය, මධ්‍යම සංස්කෘතික අරමුදල, කොළඹ.
  • Geiger, Wilhelm (1964), The Mahavamsa, The Pali Text Society, London.
  • Karunaratna, L.K. (1971),  January, Architecture In Wood, Ancient Ceylon, Vol. I, Department Of Archaeology, Colombo.
  • Paranavitana, S. (1958), January – April, The Hindagala Rock Inscription, University  of Ceylon Review, Vol.XVI, K. Kanapathipillai, N.A. Jayawickrama and K.N. Jayathilake(ed), University of Peradeniya, Colombo.
  • Vidanapathirana, P. (2008), The Road Network Within the City of Anuradhapura and its Suburbs, Roland Silva Felicitation Volume, ed.by. Nandana Chutiwongs and Nimal de Silva, Postgraduate Institute of Archaeology, Colombo. pp. 220-226.

මෙම ලිපිය www.archaeology.lk/Sinhala වෙබ් අඩවියේ 2017 අපේ‍්‍රල් 17 වැනි දින පළමු වරට ප‍්‍රකාශයට පත් විය.

4 COMMENTS

  1. ලක්දිව අතීත උරැමය පිළිබඳ වටිනා ලිපියක්.

  2. ඉතා වටිනා ලිපියකි. මූලාශ්‍ර සහිතව ලියා ඇති නිසා වටිනාකම ඉතාම ඉහලයි. ස්තුතියි.

  3. Can such a valuable and strong construction needing hard effort, time and energy be for a purpose of resting alone? Or else for dual purpose including commemorating someone powerful as well.

Leave a Reply to ලක්ෂ්මන් තිලකරත්න Cancel reply

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.