ඒ. එම්. ඒ දයානන්ද1 හා මහින්ද කරුණාරත්න1

 

ඡායාරූප : නන්දදාස සමරවීර1, මහින්ද කරුණාරත්න2 හා යසස් සෙනරත් වීරකැටිය2

1මුහුදු පුරාවිද්‍යා ඒකකය, මධ්‍යම සංස්කෘතික අරමුදල, කොටුව, ගාල්ල.

2මහ උරුමය සංවිධානය.

හැදින්වීම

ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය ගෙනගිය ගවේෂණයේ තෙවන අදියර මඩකලපුව සිට අම්පාර දිස්ත‍්‍රීක්කයේ පොතුවිල දක්වා වූ මුහුදු තීරය තෙක් ව්‍යාප්ත කෙරිණි. 2012 වර්ෂයේ අගෝස්තු මස 19 වන දින සිට 24 වන දින දක්වා සිදුකළ මෙම පර්යේෂණයේදී ගිලීගිය නෞකා 5ක් සම්බන්ධ සාධක හා පොතුවිල මුහුදු මහාවිහාරය ආශ‍්‍රිත දියයට පුරාවිද්‍යා සාධක අනාවරණය කොට ගැනීමට හැකි විය.

1 අක්කෙරෙයිපත්තු බොයිලර් නෞකාව (Akkareipattu Boiler Wreck)

අම්පාර දිස්ත‍්‍රීක්කයේ අට්ඨාලචේන ප‍්‍රදේශීය බල ප‍්‍රදේශයෙන් තවත් නෞකාවක් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවිය. එම නෞකාව වාෂ්ප බලයෙන් ක‍්‍රියාත්මක වන නෞකාවක් ලෙසින් හඳුනාගැනිනි. වෙරළට ඉතා සමීපයේ මුහුදු බත්ව ඇති නෞකාවේ අඩක් වෙරළ ආශ‍්‍රිත වැල්ලෙන් වැසී ඇති අතර ඉතිරි කොටස මුහුදු ජලයෙන් වැසී ඇත. මෙහි විධිමත් පර්යේෂණයක් සිඳු නොවුව ද, ස්නෝක්ලින් කොට සිඳුකළ ගවේෂණයේ දී නැවේ අවශේෂ හඳුනාගැනීමට හැකි විය. එහි දී බොයිලේරු කිහිපයක් දක්නට ලැබුණි. ඉදිරියේ දී මේ ආශ‍්‍රිත වැඩිදුර පර්යේෂණ ගෙන යා යුතු ව ඇත. ජේ. යෝගරාෂා මහතා ගේ මඟපෙන්වීම මෙම අනාවරණය සඳහා මහත් පිටුවහලක් සැපයී ය.

තිරුක්කෝවිල ප්‍රදේශය ආශ‍්‍රිත නෞකා

2 තිරුක්කෝවිල වාෂ්ප නෞකාව (Tirukkovila Boiler Wreck)

අම්පාර දිස්ත‍්‍රීක්කයේ තිරුක්කෝවිල ප‍්‍රදේශීය බල ප‍්‍රදේශයේ විනයාගපුරම් ග‍්‍රාමයේ තිරුක්කෝවිල මුහුදු තීරයේ සිට කිලෝමීටර ක් පමණ මුහුදේ මීටර 7ක පමණ ගැඹුරක ස්ථානගත ව ඇති නෞකාවක් වේ. ජලයේ අයහපත් දෘෂ්‍යතාව (Visibility) හා දින 1ක පර්යේෂණ කාලරාමුවකට යටත්වීම මත නෞකාවේ සම්පූර්ණ හැඩය පිළිබඳ ව අවබෝධයක් ලබා ගැනීමට නොහැකි විය. කෙසේ වුව ද යම් යම් සාධක අනාවරණය කොටගැනීමට හැකි විය.

ජයතිලක සිල්වා මහතා                    අනුර සිල්වා මහතා

වාෂ්ප බලයෙන් (Boiler Wreck) ක‍්‍රියාත්මක වන නාවික යාත‍්‍රාවක් වන අතර එයට අයත්බොයිලේරු ක් දැකගතහැකි වේ. අවරපෙත්ත සොයාගැනීමට නොහැකි වූ අතර එය යකඩ එකතු කරන්නන් (Treasure Hunters) විසින් රැගෙන ගිය බවට පසුව අනාවරණය කොට ගත හැකි විය (සම්මුඛ සාකච්ඡා: 2012.08.19). පුරාක්ෂේත‍්‍රය ඡායාරූපමය වාර්තාකරණයකට ලක්කළ ද ජලයේ දෘෂ්‍යතාවේ අවම වීම එයට බාධා ඇති කළේ ය. දළ සටහන් නිර්මාණ හා මිනුම්ගත කිරීමට නොහැකි විය. නෞකාව පිළිබඳ මූලික තොරතුරු ගවේෂණයේ දී ප‍්‍රදේශයේ ධීවරයන් වන ජයතිලක සිල්වා හා අනුර සිල්වා යන මහතුන්ගෙන් මහත් සේවයක් සැලසිණි.

3 තිරුක්කෝවිල යකඩ නෞකාව (Tirukkovila Iron Wreck)

තිරුක්කෝවිල ප‍්‍රදේශීය බල ප‍්‍රදේශයේ විනයාගපුරම් ග‍්‍රාමයේ තිරුක්කෝවිල මුහුදුතීරයට ඉතා ආසන්න කලාපයේ ස්ථානගත ව ඇති යකඩ නෞකාවක් වේ. නෞකාවේ කොටස් කිහිපයක් ජලයෙන් මතුපිටට පැමිණ පෙනෙන අතර එය යකඩ එකතුකරන්නන් විසින් විනාශ කොට ඇත. ප‍්‍රදේශයේ ජනතාවගෙන් ලබාගත් තොරතුරු අනුව එය මෑතක දී ගිලීගිය යාත‍්‍රාවක් බවට තහවුරු විය.

පොතුවිල ආශ‍්‍රිත නෞකා

4 කෝමාරි වාෂ්ප නෞකාව (Komari Boiler Wreck)

අම්පාර දිස්ත‍්‍රීක්කයේ පොතුවිල ප‍්‍රදේශීය ලේකම් බල ප‍්‍රදේශයේ කෝමාරි මුහුදු තීරයේ සිට කිලෝමීටර 4ක් පමණ මුහුදේ මීටර 8ක පමණ ගැඹුරක මෙම නෞකාවේ අවශේෂ දැකගත හැකි වේ. ජලයේ දෘෂ්‍යතාව අවම තත්ත්වයක් තුළ පර්යේෂණය ගෙනගිය ද එහි දී බොයිලේරු 3ක පමණ සාධක අනාවරණය කොටගත හැකි විය. අවර පෙත්ත හා රඩර් එක ආරක්ෂාව පවතී.

මෙම ක්ෂේත‍්‍රය ඡායාරූපමය වාර්තාකරණය, දළ සැලසුම් ඇදීම හෝ මිනුම්ගත කිරීමට අයහපත් කාලගුණය නිසා නොහැකි විය.

5 ඔමරි වාෂ්ප නෞකාව (Omari Boiler Wreck)

ඉහත විස්තර කළ කෝමාරි වාෂ්ප නෞකාව පිහිටි කලාපයේ ඔමරි මුහුදු තීරයේ සිට කිලෝමීටර 5ක් පමණ මුහුදේ ස්ථානගත ව ඇති නෞකාවක් වේ. ඡායාරූපයම වාර්තාකරණය හා දළ සැපසුම් නිර්මාණය මෙහි දී සිදුවිය. නෞකාවේ ඉදිරිපස කොටස (Bow) මීටර 7ක පමණ හා පිටුපස කොටස (Stern) මීටර 18ක පමණ ගැඹුරක ස්ථානගත ව ඇත.

පර්යේෂණයේ දී නෞකාවට අයත් බොයිලේරු 3ක සාධක අනාවරණය වූ අතර නෞකාවේ විවිධ කොටස් පැතිරී ඇති ආකාරය දැකගත හැකිවිය. නෞකාව විශාල වශයෙන් හානි වී ඇති බව පෙනේ.

4 පොතුවිල මුහුදු මහාවිහාරය ආශ‍්‍රිත නව මුහුදු පුරාවිද්‍යා පර්යේෂණ

2012 වර්ෂයේ අගෝස්තු මස 20 වන දින සිට 24 දින දක්වා මෙම පර්යේෂණ රැුගෙන ගියේ ය.

1 ස්ථානගතවීම

අම්පාර දිස්ත‍්‍රීක්කයේ පොතුවිල් ප‍්‍රදේශීය බල ප‍්‍රදේශයේ, අංක 03-P/03 පොතුවිල් ග‍්‍රාම නිලධාරි වසමේ, උතුරින් අක්ෂාංශ 6052.4.61 හා නැගෙනහිර දේෂාංශ 81050.20.56 අතර කලාපයේ ස්ථානගත ව ඇත. පොතුවිල් නගරයේ සිට පානම මාර්ගයේ කිලෝමීටරයක් පමණ ගමන්කොට එහි සිට වමට මීටර 750ක් පමණ ගමන් කිරීමෙන් මුහුදු මහාවිහාරයට පැමිණිය හැකි ය.

ශ්‍රී ලංකාව තුළ මුහුදු මහා විහාරයේ ස්ථානගත වීම

2 පරිපාලනය

මුහුදු මහාවිහාරයේ ගරු විහාරාධිපතීන් වහන්සේ වන පූජ්‍ය වරකාපොල ඉන්දසිරි හිමියන් යටතේ පරිපාලනයට ලක්වන විරාරස්ථානයක් වේ. 2010 වර්ෂයේ සිට විහාරාධිපති හිමි ලෙසින් කටයුතු කරයි ( දුරකතනය : 063 373 0612). පූජ්‍ය කතරගම සිරිරතන හිමි 2010 අපේ‍්‍රල් මස 11 වෙනි දින දක්වා විහාරාධිපතීන්වහන්සේ ලෙසින් කටයුතු කොට ඇත. උන්වහන්සේ ගේ සහායට ගෝල හිමි නමක් ලෙසින් විහාර වාසි පූජ්‍ය උඩලමත්තේ රත්නප‍්‍රිය හිමි කටයුතු කරනු ලැබේ. ශ‍්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ පරිපාලනයට ලක්වන පුරාවිද්‍යා ස්මාරකයක් ලෙසින් නම්කර ඇත.

පූජ්‍ය කතරගම සිරිරතන හිමි                           පූජ්‍ය වරකාපොල ඉන්දසිරි හිමි

3 ඓතිහාසික පසුබිම

ජනප‍්‍රවාද

මුහුදු මහාවිහාරයේ ඉතිහාසය පිළිබඳ ව නිශ්ච්ත අදහසක් ප‍්‍රකාශ කිරීම සඳහා පැහැදිලි ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක සාධක දක්නට නොමැත. නමුදු ප‍්‍රදේශයේ හමුවන ජනප‍්‍රවාදයනට අනුව විහාරයේ ඉතිහාසය කාවන්තිස්ස රජ සමය දක්වා ගමන් ගන්නා බව පැහැදිලි වේ. කල්‍යානි පුරවරයේ පාලනය ගෙනගිය කැලණිතිස්ස රජු තම දූ කුමරිය වන විහාර මහා දේවි කුමරිය නෞකාවක නංවා සයුරට පා කොට හැර ඇති අතර සයුරෙහි පාවෙමින් පැවති කුමරිය රැගත් නෞකාව අවසානයේ සේන්දු වී ඇත්තේ මුහුදු මහා විහාරය පිහිටි ස්ථානයට ය. මේ සමයේ කාවන්තිස්ස රජුගේ අණසක යටතේ පැවති මේකී ප‍්‍රදේශයේ වැසියන් රාජකුමරියක් රැගත් අලංකාර නෞකාවක් වෙරළ ට සේන්දු වී ඇති බව රජවාසලට වහා ම දැනුම් දෙන ලදි. ඒ පුවත ඇසු කාවන්තිස්ස රජ වාසලින් මුහුදු මහා විහාරය බලා පිටත් වී ඇත. එසේ පැමිණෙන අතර රජ “කෝ කුමරිය” යැයි රාජ පුරුෂයන්ගෙන් විමසූ ස්ථානය අද කෝමාරිය ලෙස හඳුන්වන බවත් එයට පිළිතුරු දුන් රාජ පුරුෂයන් කුමරිය සිටින්නේ අන්න “අර ගමේ” යැයි පැවසු හෙයින් මෙම ප‍්‍රදේශය ආරුගම් වූ බවත් ජනප‍්‍රවාදය ප‍්‍රකාශකරයි (මහඋරැමය 2011,1). අනතුරු ව මෙහි පැමිණ විහාර මහා දේවිය මුණ ගැසුණු කාවන්තිස්ස රජතුමා එතුමිය රාජ මන්දිරයට කැදවාගෙන යාමට ප‍්‍රථම සඳුන් පැන් කල හතකින් ස්නානය කරවා එසේ සිඳුකළ ස්ථානයේම එතුමිය සතුව පැවති සියලූ ආභරණ තැම්පත් කර වූ බව ද සඳහන් වේ (මහඋරුමය 2011,2).

ඓතිහාසික මූලාශ‍්‍ර

මහාවංශයට අනුව මුහුදු මහා විහාරය කරවන ලද්දේ කාවන්තිස්ස රජුට බොහෝ කලකට පසු රාජ්‍යත්වයට පත් මහාදාඨික මහානාග (මහදැලියා) රජතුමා විසිනි. ර්‍ණවිධානයෙහි පණ්ඩිත වූ රජ තෙමේ නන්වැදෑරුම් සරුප් බඩු දී තමනුත් සෙස්සනුත් සංඝයාගෙන් මුදාගත්තේ ය. ජනාධිනාථ තෙමේ රුහුණු ජනපදයෙහි කාලායන කර්ණිකා නම් තැන මිණිනා පව් නම් විහාරයක් දකරවී ය. කුඹුක්ඛන්ධන නම් හෝ තෙර මුහුදු විහාරය ද, රුහුණම හුවාව කර්ණික නම් තැන චූලානාග ණම් විහාරය ද (කරවී ය)” (මහඋරැමය 2011, 2, මහාවංශය 2004,149). මහාවංශය දක්වන කුඹුක්කන් ඔය හෝ හොය තෙරෙහි පිහිටි මුහුදු මහා විහාරය හා මෙම අධ්‍යනිත මුහුදු විහාරය එකමයැයි ස්ථිර ලෙස ප‍්‍රකාශකිරීමට නොහැකි ය.

පුරාවිද්‍යා මූලාශ‍්‍ර

කලාපයේ ඓතිහාසික පසුබිම ප‍්‍රාග් ඓතිහාසික යුගය දක්වා ගමන් ගන්නා බව පෙනේ. මුහුදු මහා විහාරය ස්ථානගත වන්නේ රෙඞ් අර්ත් (Red Earth) හෙවත් රතු පස් ස්ථරය හෝ ඉරණමඩු පස් තැම්පතු (Iranamadu Formation) ලෙස ඒ. එච්. වේලන්ඞ් හා එස්. යූ. දැරණියගල හඳුන්වාදෙන කලාපයේ වේ. මේම පස් ස්ථරයයෙන් හමුව ඇති ශිලා මෙවලම් ශ‍්‍රී ලංකාවේ පහළ පැලියොලිතික හා මෙසොලිතික යුගයට අයත් ශිලා මෙවලම් ලෙසින් හඳුනාගෙන ඇත (Deraniyagala 1992, 33-43). මුහුදු මහාවිහාරයේ පවතින වෙනත් පුරාවිද්‍යාත්මක අවශේෂ අනුව එහි ඉතිහාසය ක‍්‍රිස්තු වර්ෂ 7 හෝ 8 සියවස් දක්වා ගමන් ගන්නා බව පෙනේ.

1 පුරාවිද්‍යාත්මක පසුබිම

විහාර පරිශ‍්‍රයේ පුරාවිද්‍යාත්මක හා වාස්තුවිද්‍යාත්මක අගය පිළිඹ්බු කරණ ගෘහනිර්මාණාත්මක අංග ප‍්‍රධාන වශයෙන් 4ක් පමණ දැකගත හැකිවේ. තවත් පුරාවිද්‍යා අංග කීපයක් වැලි කදු අතර සැග ව ඇති බව පෙනේ. 1. ප‍්‍රතිමාගෘහය, 2. පොහොය ගෙය, 3. චෛත්‍ය නටඹුන් හා 4. පොකුණ හා වෙනත් නටඹුන් යනු ස්ථානයේ පවතින ප‍්‍රධාන පුරාවිද්‍යා අංගයන් වේ

1. ප‍්‍රතිමා ගෘහය

විහාර පරිශ‍්‍රයේ පවතින වාස්තුවිද්‍යාත්මක, පුරාවිද්‍යාත්මක හා ආගමික අගය වඩාත්ම දනවන නිර්මාණය වනුයේ ප‍්‍රතිමාගෘහයයි. එහි සරළ සැලසුම පහත පරිදි වේ.

 

මුහුදු මහා විහාරයේ පිළිම ගෙයි සැලැස්ම

එහි අංක 10 මඟින් නිරූපණය වනුයේ ප‍්‍රතිමා ගෘහයේ පිටත ප‍්‍රාකාරය වේ. එය පැරණි ගඩොලින් ගොඩනගා ඇති බව පෙනේ. එහි බටහිර හා උතුරු බැමි පැහැදිලි ව ප‍්‍රදර්ශනය වුවත් නැගෙනහිර හා දකුණු බැමි වැල්ලෙන් වැසී ඇති බව පෙනේ. එහි ප‍්‍රවේශයන් හඳුනාගැනීමට නොහැකි ය. ප‍්‍රාකාරයේ බටහිර පරිශ‍්‍රයේ දකුණූ දෙසින් ගල් කණු කිහිපයක් දැකගත හැකි වේ’. ඉහත සටහනේ අංක 9 මඟින් නිරූපණය කොට ඇත. එහි යම් ආකාරයක ගොඩනැගිල්ලක් ස්ථානගත ව පැවති බව පෙනේ. මෙම ගොඩනැගිල්ලේ උපයෝගිතාව හා ප‍්‍රතිමාගෘහය අතර ඇති සබඳතාව කුමක්දැයි වටහා ගැනීමට නම් පර්යේෂණ දිගැලි කිරීමට අවශ්‍ය වේ.

පිවිසුම

මීටර 1ක් පමණ වන මණ්ඩපය මත ඉදිකොට ඇති ප‍්‍රතිමාගෘහයට ප‍්‍රවේශ වීමට ගල් පඩිපෙළක් නිර්මාණය කොට ඇත (සැලසුමේ අංක 8). එහි පියගැට 8ක් දක්නට ලැබේ. එහි පාමුල ඕවලාකාර හැඩයට සමීපවන ශිලා පීඨයක් දැකගත හැකි වේ. එය පඩිපෙළින් වෙන්ව ස්ථාපනය කොට ඇත. එය සමීපයේ ප‍්‍රධාන පඩිපෙළට සම්බන්ධ වන ඝෘජුකෝණාශ‍්‍රාකාර ශිලා පීඨයක් වේ. එහි ඉදිරිපස මුරගල් 2ක් ස්ථාපනය කොට ඇත. එහි කිසිදු කැටයමක් දැක ගත නොහැකි අතර එහි ඉහළ-මධ්‍ය ප‍්‍රදේශය මදක් උස් ව ඇත. පඩිපෙළ දෙපස යම් ඉදිකිරීමක් පැවති බවට සාධක දැකගත හැකි වේ. එය කොරවක්ගලක් විය හැකි ය. නමුත් එහි අවශේෂ අදවන විට දැකගත හැකි නොවේ. පඩිපෙළෙන් ප‍්‍රවේශ වනුයේ දිග මීටර 24.7 හා පළල මීටර 16.37 පමණ වන මණ්ඩප ප‍්‍රදේශයකට ය. දකුණු පරිශ‍්‍රයේ ඝෘජුකෝණාශ‍්‍රාකාර ඉදිකිරීමක් දැකගත හැකි වේ. එය සැලසුමේ අංක 7 මඟින් නිරූපණය කොට ඇත. එහි උස් බිත්ති ඉදිනොකොට විවෘත ප‍්‍රදේශයක් ලෙසින් පැවතියාදැයි කෙනෙකුට ප‍්‍රශ්න කළ හැකි ව ඇත. මන්ද එහි බිත්ති ඉදිකිරීමේ දී සෙසු අංගවල මෙන් ශිලා ස්ථම්භ භාවිත කළ බවට සාධක ඉතිරිව නැති බැවිනි.

වයඹ දිග අන්තයේ දී මීටර 2.8ක් පමණ වන ප‍්‍රවේශ ද්වාරයක් දැකගත හැකි වේ. මෙම ද්වාරය අංක 6 මඟින් නිරූපිත ප‍්‍රදේශයට විවෘත වේ. එය ප‍්‍රතිමාගෘහයේ අන්තරාලය ලෙසින් හඳුනාගත හැකි වේ. එහි දිග මීටර 6.4ක් හා පළල මීටර 5.47 පමණ වේ. බිත්ති ඉහළට ගොඩනගා පැවති බව පෙනේ. බිත්ති අතර හා බිම ශේෂ ව ඇති ගල්කණු මෙම බිත්ති ශක්තිමත් කිරීමට භාවිත වී ඇති බව පෙනේ. භාවිත වී ඇති ශිලා කුළුණක සාමාන්‍ය උස මීටර 2.4ක් හා පළල සෙන්ටි මීටර 34ක් පමණ වේ. එය බටහිර අන්තයේ සිට මීටර 1.4ක පමණ වන ද්වාරයක් මඟින් අංක 5 මඟින් නිරූපිත ප‍්‍රදේශයට විවෘත වේ. එහි දිග මීටර 9.84 හා පළල මීටර 9.35ක පමණ වේ.

ප්‍රතිමා සහිත ව අදටත් දැකගත හැකි පිළිම ගේ

බිත්ති ශක්තිමත් කිරීමට ඒ අතර යොදන ලද ශිලා ස්ථම්භ 12ක අවශේෂ දැකගත හැකි වේ. මෙම ප‍්‍රදේශය මධ්‍යගත වන්නට අංක 4 මඟින් නිරූපණය වන ගෘහ නිර්මාණ අංගය දැකගත හැකි වේ. ප‍්‍රතිමාගෘහයේ වැදගත්ම ප‍්‍රදේශය ලෙසින් මෙම ස්ථානය හඳුනාගත හැකි වේ. එහි දිග මීටර 3.62 හා පළල මීටර 5.63ක් වේ. ප‍්‍රතිමා ගෘහයේ බස්නාහිර අන්තයේ මධ්‍යගත වන්නට සිටි ඉරියව්ව සහිත බුද්ධප‍්‍රතිමාවක් ස්ථාපනය කොට ඇත. එහි දකුණු හස්තය කැඞී ගොස් ඇත. වම් හස්තය ඉහළට ගොස් ඇති අතර එය සිවුර අල්ලා සිටින ආකාරයක් දැක ගත හැකි වේ. ප‍්‍රතිමාව පාදයේ සිට හිස දක්වා උස මීටර 2.40ක් වේ.

ප්‍රතිමාව වක‍්‍රාකාර පාද පීඨයක් මත ස්ථාපනය කොට ඇත. එහි අරය සෙන්ටිමීටර 97ක් පමණ වේ. ප‍්‍රතිමාවේ කළවා ප‍්‍රදේශයේ පළල සෙන්ටිමීටර 40ක් වේ. බඳ ප‍්‍රදේශය සෙන්ටිමීටර 70කි. උරහිස පළල සෙන්ටිමීටර 64කි. ප‍්‍රතිමාවේ සිවුර ඒකාංශ කොට පොරවා ඇත. රැලි සියුම් ව නිර්මාණය කොට ඇත. ප‍්‍රතිමාව ඔස්සේ නිරූපණය වන මුද්‍රාව කුමක්දැයි පැහැදිලිව හඳුනාගැනීමට නොහැකි ය. ප‍්‍රතිමාව නිර්මාණයට භාවිත අමුද්‍රව්‍ය ක‍්‍රිස්ටලයින් ලයිමිස්ටෝන් (Cristaline Limestone) ලෙසින් හඳුනාගත හැකි ය. සැලසුමේ අංක 1 මඟින් එය නිරූපණය වේ.

ප‍්‍රධාන ප‍්‍රතිමාව දෙපස තවත් ප‍්‍රතිමා ද්විත්වයක් දක්නට ලැබේ. එය සැලසුමේ අංක 2 හා 3 මඟින් නිරූපණය වේ. ප‍්‍රතිමා දෙක බුද්ධ ප‍්‍රතිමාවට එකත්පස ව ස්ථානගත කොට ඇත. මෙම ප‍්‍රතිමා යුගලය විහාර මහා දේවියගේ හා කාවන්තිස්ස රජු ගේ බව ජනප‍්‍රවාදයේ එයි (මහඋරුමය 2011,7).

ප‍්‍රධාන බුද්ධ ප‍්‍රතිමාව දෙසට මුහුණ ලා සිටගත් විට, දකුණු පස පිහිටි ප‍්‍රතිමාව උස මීටර 2.17කින් යුක්ක වේ. එහි බෙල්ලේ මුල සිට මකුටයේ කෙළවර දක්වා උස සෙන්ටිමීටර 57කි. උරහිසේ පළල සෙන්ටිමීටර 70ක් ද, බඳ ප‍්‍රදේශයේ පළල සෙන්ටිමීටර 40ක් ද, ඉඟ ප‍්‍රදේශයේ පළල සෙන්ටිමීටර 30ක් ද පමණ වේ. දකුණු හස්තය උරහිසින් ද, වම් හස්තය මැණික් කටුවට මදක් ඉහළින් ද වෙන්ව ඇත. එම නිසා දෑතින් ප‍්‍රකාශ වන මුද්‍රාව කුමක්දැයි හඳුනාගැනීමට හැකියාවක් නොමැත. ප‍්‍රතිමාවේ හිස මකුඨයකින් යුක්ත වේ. මකුටයේ ඉදිරිපම කොටසේ කුඩා ප‍්‍රතිමාවක් නිරුපණය කොට ඇති බව අවශේෂ ව ඇති සලකුණු වලින් පැහැදිලි වේ. නමුත් එය පැහැදිලිව දර්ශනය නොවේ. නළල පටකින් සරසා ඇත. මුහුණ පිරිපුන් මුහුණක් වේ. ආරෝහ පරිණාහ දේහයේ බඳ කොටසේ පූණ නූලක් දැකගත හැකි වේ. ප‍්‍රතිමාවේ යටිකය දෝතියකින් සරසා ඇත. දෝතිය වළලූකර දක්වා ගමන්ගන්නා බව පෙනේ. ප‍්‍රතිමාවේ ස්භාවය අනුව එය පුරුෂ ප‍්‍රතිමාවකි. මකුටයේ දක්නට ලැබෙනුයේ බුද්ධප‍්‍රතිමාවක ස්භාවයකි, ඒ අනුව එය අවලෝකිතේෂ්වර බෝධිවත්වයන්ගේ ප‍්‍රතිමාවක් දැයි කෙනෙකුට ප‍්‍රශ්න කිරීමේ හැකියාව ඇත. නමුත් මකුටයේ ලක්ෂණ එතරම් පැහැදිලි නැත. එ අනුව මෙම ප‍්‍රතිමාව මහායාන කලා ලක්ෂණ පිළිබිබු වන බව පෙනේ.

බුදු පිළිමයට වම් පසින් ඇති පිළිමය

වම් පස පිහිටි ප‍්‍රතිමාව මුලූ උස මීටර 2.66 වේ. එහි ගෙළ මුල සිට මකුඨයේ කෙළවර දක්වා උස සෙන්ටිමීටර 55කි. උරහිසේ පළල සෙන්ටිමීටර 80කි. ඉ`ග ප‍්‍රදේශයේ පළල සෙන්ටිමීටර 54ක් පමණ වේ. දකුණු පස පිහිටි ප‍්‍රතිමාවට බොහෝසෙයින් සමාන වන ලක්ෂණ දැක ගත හැකි වේ. මෙම ප‍්‍රතිමාවේ ද හිස මකුඨයකින් සරසා ඇති බව පෙනේ. නළල පටියකින් සරසා ඇත. බ`ද ප‍්‍රදේශය සැට්ටයකින් යුක්ත වනවාදැයි පැවසීමට ලක්ෂණ ශේෂව ඇත. ගෙළ විවිධ වර්ගයේ හා විවිධ ප‍්‍රමාණයේ මාල වලින් සරසා ඇත. වම් හා දකුණු හස්ත වැළමිටින් වෙන්ව ඇත. නාභියට ඉහළ බද වටා යම් ආභරණයක් පැළ ද ඇත. යටිකය පෙර ප‍්‍රතිමාවේ මෙන්ම දෝතියකින් සරසා ඇත. එය පෙර ප‍්‍රතිමාවට වඩා අගනා ලෙසින් නිරූපණය කොට ඇති බව පෙනේ. ප‍්‍රතිමා ද්විත්වයම අරය සෙන්ටිමීටර 96ක් පමණ වන පාද පීඨයක් මත ස්ථාපනය කොට ඇත. ප‍්‍රතිමාවන් නිර්මාණයේදී අමුද්‍රව්‍ය ලෙසින් ක‍්‍රිස්ටලයින් ලයිමිස්ටෝන් භාවිතාකොට ඇත.

2 පොහොය ගෙය

ප‍්‍රතිමාගෘහයට මීටර කිහිපයක් දකුණු දෙසින් මෙම වාස්තුවිද්‍යා අංගය ස්ථානගත ව ඇත. එහි සරළ සැලසුම පහත පරිදි වේ.

පො‍හොය ගෙය හා එහි සැලැස්ම

එය මීටර 4.80×4.80 පරිමාණයේ සමචතුරස‍්‍රාකාර ගොඩනැගිල්ලක අවශේෂ වේ. ගල් කණු 16ක් භාවිත කරමින් ගොඩනැගිල්ල නිර්මාණය කොට ඇත. එයින් ගල් කණු 4ක් මතුපිටට දර්ශනය වන්නේ නැත. මෙම ගල් කණූ බිත්ති ශක්තිමත් කිරීම සඳහා භාවිත වන්නට ඇත. මෙහි එක් ගල් කණුවක උස මීටර 1. 54ක් වේ. පළල සෙන්ටිමීටර 40×33 පමණ වේ. එහි ගල්කණු 2ක් බිම ඇදවැටී ඇත. ගොඩනැගිල්ලේ දකුණු අන්තයේ මධ්‍ය ප‍්‍රදේශයට වන්නට රවුම් හැඩැති ශිලා පතුරක් දක්නට ලැබේ. එහි භාවිතය කුමක්දැයි තේරුම්ගැනීමට පර්යේෂණ දිගැලි කළ යුතු ය. දකුණු අන්තයේ සිට දෙවන පේළියේ ස්ථානගත වන ශිලා ස්ථම්භයක දෙපස නාග සංකේතය භාවිත කරමින් හැඩගන්වා ඇත. මෙම ස්ථානයට පැමිණ විහාර මහා දේවිය මුණ ගැසුණු කාවන්තිස්ස රජතුමා එතුමිය රාජ මන්දිරයට කැදවාගෙන යාමට ප‍්‍රථම සඳුන් පැන් කල හතකින් ස්නානය කරවා එසේ සිඳුකළ ස්ථානයේ ම එතුමිය සතු ව පැවති සියලූ ආභරණ තැම්පත් කර වූ බව ද සඳහන් වේ (මහඋරැමය 2011,2). මෙම ආභරණ තැම්පත් කළ ස්ථානය මෙය යැයි ජනප‍්‍රවාදයෙ පැවසෙයි. කෙසේ වුවද පුරාවිද්‍යාඥයන්ගේ මතය වනුයේ භික්ෂුන්ගේ විනය කර්ම කිරීම උදෙසා නිමවන ලද උපෝසථඝරයක් බව ය. අද වනවිට මෙම ස්ථානයෙන් අඩක් වැල්ලෙන් යට වී ඇත.

වත්මන් භාවිතය

අද මෙය බාරහාර වන ස්ථානයක් ලෙසින් භාවිත වේ. එහි දී සැදැහැවතුන්ගේ අභිමථාර්ථ ඉටුකරවා ගැනීමට පඩුරු ගැට ගැසීම ද, පහන් සුවඳ කූරු දැල්වීම දක්නට ලැබේ.

ගවේෂණය සාර්ථක වේවා යැයි ප්‍රාර්ථනා කරමින් මුහුදු පුරාවිද්‍යා ඒකකයේ ගවේෂණ කණ්ඩායම භාරහාර වූ ආකාරය

3 චෛත්‍ය නටඹුන්

ප‍්‍රතිමාගෘහයේ සිට මීටර 200ක් පමණ නැගෙනහිර දෙසට (මුහුද දෙසට) ගමන්කළ විට වැලි කඳු (Sand Dunes) ආශ‍්‍රීත ව අඩක් වැල්ලෙන් යට වූ නටඹුන් දැකගත හැකි වේ. මෙම නටඹුන් නිසැකව ම චෛත්‍යයන් ලෙසින් හඳුනා ගැනීමේ හැකියාව නැත. නමුත් ස්ථානයේ මීටර 10.36 ක් හා 5.4ක භූමිභාගයක වක‍්‍රාකාර ලෙස ව්‍යාප්ත වන ගොඩැලි 2ක අවශේෂ පැතිරී ඇත. මෙහි අවට ශිලා ස්ථම්භ 13 ඉක්මවන ප‍්‍රමාණයක් විසිරී පවතී. ගුණපාල සේනාධීර මහතා 1961 වර්ෂයේදී මෙම ස්ථානයට පැමිණ ඇති අතර එම අවස්ථාවේ දී මුහුදේ රැලි ඈත් මෑත් වනවිට චෛත්‍ය 2කක අවශේෂ දර්ශනය වුණු බව එතුමා 1964 වර්ෂයේ ප‍්‍රකාශයට පත්කළ රුහුණේ අප‍්‍රකට පුරාවස්තු නමැති කෘතියේ සඳහන්කොට ඇත (සේනාධීර 121-123). ගුණපාල මහතා ප‍්‍රකාශකළ චෛත්‍ය 2 ඉහත දක්වන ලද අවශේෂ වලට අයත් ඒවා දැයි හැගේ. නමුත් අදවන විට මෙම නටඹුන් පවතින ස්ථානයේ සිට මුහුදට මීටර 400ක පමණ දුරක් දැකගත හැකි වේ.

 

දාගැඹක් විය හැකි නටඹුන්

4 පොකුණ හා වෙනත් නටඹුන්

ප‍්‍රතිමා ගෘහයට උතුරු දෙසින් මදක් විශාල පොකුණක් දක්නට ලැබේ. එය මිනිසා විසින් නිරිමාණය කරන ලද පොකුණක් හෝ ස්භාවික ව නිර්මාණය වූ පොකුණක් දැයි ස්ථිර ලෙස ප‍්‍රකාශ කිරීමට අපහසු ය. ඒ ආශ‍්‍රීතව සිඳුකරන ලද පර්යේෂණ අනුව ගල් හෝ ගඩොල් වැනි ඉදිකිරීම් ද්‍රව්‍යක අවශේෂ වාර්තා නොවුන බව පැව සේ, නමුත් එහි පතුළට කිරිමැටි ස්ථරයක් භාවිත කොට ඇති බව පැවසේ.

වත්මන් ස්වාභාවය

වර්ෂා සමයේ දී ජලයෙන් පිරීයන මෙම පොකුණ වසරේ මාස කිහිපයක් ජලය නොසිදී පවතින බව පෙනේ. නමුත් අගෝස්තු සැප්තැම්බර් මාස වලදී සම්පූර්ණයෙන් වියලී යන බව දක්්නට ලැබේ.

වෙනත් ගොඩනැගිලි අවශේෂ

වැල්ලෙන් මතු වූ ගල්කණු

2010 වර්ෂයේ දී විහාරාධිපතීන් වහන්සේ ඇතුලූ දායක් පිරිස ප‍්‍රතිමා ගෘහයට මීමර 100ක් පමණ නැගෙනහිර දෙසින් වන්නට චෛත්‍යක් ඉදිකිරීමට මුල්ගල් කැපීමේදී මෙම අවශේෂ අනාවරණය කොටගැනීමට හැකි වී ඇත. අද මෙම ස්ථාය වැල්ලෙන් වැසී ඇති බැවින් ඒ පිළිබඳ ව ඓතිහාසික මුහුදු මහා විහාරය යන පොත් පිංචේ එන විස්තරය පහත උපුටා දක්වනු ලැබේ.

ර්‍මුහුදු මහා විහාරයට දීර්ඝ කාලයක් මුලූල්ලෙහි අඩුවක් ව පැවති අංග සම්පූර්ණ චෛත්‍යක් ඉදිකිරීම සඳහා වත්මන් විහාරාධිපති ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ වැඩපිළිවෙළකට අනුව 2010 වර්ෂය අග භාගයේ සියලූ කටයුතු සූදානම් විය. චෛත්‍ය ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ උත්සවය 2010 වප් මස 27 වැනි දිනට නියමව තිබූ අතර ඒ සඳහා බිම් සකසනු ලැබුයේ එම මස 22වැනි පුරපසලොස්වක පොහොය දිනයේ දී ය. එදින උදෑසන සුභ මොහොතින් බිම් කැනීම ඇරඹු පිරිසට වැඩි වෙලාවක් ගතවීමට මත්තෙන් අනපේක්ෂිත ලෙස චෛත්‍ය සඳහා මුල්ගල් තැබීමට නියමිත ව තිබූ භූමියෙන් ගල් කණු සයක් සමු විය. මේවා පරික්ෂා කොට බැලූ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුඵ පිරිස වහාම මේ පිළිබඳ ව වගකිව යුතු පුද්ගලයන් හට දැනුම් දෙනු ලැබූහ. වර්තමානයේ විහාරස්ථානයට පැමිණෙන ඔබට ආවාස ගෘහය සමීපයේ සිට නැගෙනහිර දෙසට මද දුරක් වැලි පරයට ගොඩවී ගමන් කිරීමේදී මෙම ගල්කණූ සය දැකගතහැක” (මහඋරැමය 2011ල 8).

4 මුහුදු මහා විහාරය හා සම්බන්ධ නව දියයට පුරාවිද්‍යා අනාවරණ

හැදින්වීම

2012 වර්ෂයේ අගෝස්තු මස 20 වන දින සිට 26 දින දක්වා ගෙනගිය මුහුදු පුරාවිද්‍යා පර්යේෂණයේ මූලික අරමුණ වූයේ මුහුදු විහාරයට අයත් මුහුදු තීරයේ ජලයෙන් වැසී ඇතැයි පැවසෙන බෞද්ධ පුරාවිද්‍යා නටඹුන් පිළිබඳ ව කරුණු සෙවීම ය. එහි දී විවිධ අවස්ථා වල දී දියෙන් මතුව පෙනුන බුද්ධ ප‍්‍රතිමා හා වෙනත් වාස්තුවිද්‍යාත්මක අංග පිළිබඳ ව ජනප‍්‍රවාද ගත තොරතුරු පවතී. මෙම විවිධ කථාන්තරයන්හී පවතින සත්‍යතාව පරියේෂණයට ලක්කිරීම මෙහි මූලික ම කරුණක් වේ. ස්ථානයේ ඓතිහාසික කථාන්දරයට අනුව විහාරමහා දේවිය ගොඩබට ස්ථානය ලෙසින් අදවනවිට විවිධ විද්වතුනගේ කථාබහට ලක් වී ඇති බැවින් එම වෘතාන්තය සත්‍ය හෝ අසත්‍ය ලෙස ප‍්‍රකාශ කිරීමට පුරාවිද්‍යා සාක්ෂීන් අවශේෂව ඇත්දැයි පර්යේෂණය ද එහි තවත් අරමුණක් වේ.

පර්යේෂණ කලාපය

පර්යේෂණට පෙර සිඳුකළ මූලික ගවේෂණයේදී ස්ථානය පිළිබඳව ලබාගන්නා ලද තොරතුරු අනුව පර්යේෂණ කලාපය තෝරාගන්නා ලදි. විහාරයේ සිට මීටර 400ක් පමණ නැගෙනහිර දෙසට වන්නට හා වෙරළේ සිට මීටර 500ක් පමණ දුරකින් නොගැඹුරු මුහුද ආශ‍්‍රිත ප‍්‍රදේශය පර්යේෂණ කලාපය ලෙසින් තෝරාගන්නා ලදි. ප‍්‍රදේශය ගැඹුර මීටර 5 සිට 7දකවා වන ගල් පර්වත සහිත භූමියක් ක් වේ. ස්ථානයේ සුළං හැමීම නැගෙනහිර සිට බටහිරට සිදුවිය. ආශ‍්‍රීත කලාපයේ මුහුද ඉතා රළු ස්වාභාවයක් පර්යේෂණ කාලය පුරා ම වාර්තා විය. කලාපයේ පවතින ගල්කුළු සහිත භූ විද්‍යාත්මක පරිසරය මෙම තත්ත්වය වඩා වර්ධනයට බලපාන බව පැහැදිලි විය.

ගවේෂණය සිදුකළ කලාපය

පර්යේෂණ ක‍්‍රමවේදය

1 Snorkelling

භාවිත උපකරණ : ඩයිවින් මාස්ක්ස් (Diving Mask) ස්නෝක්ලීන් බට (Snorkelling Tube) හා පින්ස් (Fins) ආදි උපකරණ භාවිත විය. අවශ්‍ය ස්ථාන වල දී භාවිතය සඳහා රිජිෆෝම් බෝයාවන් භාවිතයට ගන්නා ලදි.

ක‍්‍රමවේදය : ස්නෝකල් කිරීමට අවශ්‍ය උපකරණ පැලැද මුහුද මතුපිට පීනායමින් හා ක්ෂණික ව දියයටට කිමිදෙමින් (Duck Diving) නොගැඹුරු මුහුද පත්ල ගවේෂණය මෙහි භාවිත වූ සරල ක‍්‍රමවේදය විය. එහි දී තෝරාගන්නා ලද පර්යේෂණ ක්ෂේත‍්‍රය ආශ‍්‍රිත ව මෙම ගවේෂණය සිඳු කරන ලදි. ලණු භාවිත නොකොට (Swim-Line) පේලියට පීනායාම හා ඒ ඔස්සේ Duck Diving කිරීම යන මූලික ක‍්‍රමවේදය ගවේෂණයේ දී භාවිත විය. එහි දී යම් පුරාවස්තුවක් හෝ වැඩි දුර පර්යේෂණයට ලක් කළ යුතු ස්ථානයක් වේ නම් බෝයාවක් භාවිත කොට ස්ථානය සලකුණු කරන ලදි.

ප‍්‍රතිඵල

ගවේෂණයේ දී යම් යම් වාස්තු විද්‍යාත්මක අංග වලට හැඩහුරුකම් දක්වන අවශේෂ කීපයක් හඳුනාගැනීමට හැකි විය. රවුම් හැඩය ගන්නා වූ මිනිසාගේ යම් මැදිහත් වීමක් දනවන අවශේෂ කිහිපයක් හමුවන ස්ථානයක් හඳුනාගැනිනි. එම ස්ථානය බෝයාවන් යොදා සලකුණු කරන ලදි.

2 SKUBA Diving

භාවිත උපකරණ : ගවේෂණය සඳහා දියයට භාවිතයට ගතයුතු විශේෂ ද්‍රව්‍යා හා උපකරණ භාවිත විය. ගවේෂකයින් සම්පූර්ණ කිමිදුම් කට්ටලයෙන් සමන්විත වීම සිදු විය. එහි දී BCD (Boyancy Control Device), Regulater (Second Stage, Octopase) Aquva Lungs, Mask, Fins, Diving Computer, Under Water Compase, Diving Knife, Wet Suits භාවිත විය. විවිධ වර්ගයේ ලණු, මිනුම් පටි, ස්ලේටි, සේෆ්ටි සොසේජය, GPS උපකරණ (Garmin 76), වීඩියෝ හා ඡායාරූප කැමරා (Cannon D 7000) ආදී වූ ද්‍රව්‍ය හා උපකරණ භාවිතයට ගන්නා ලදි.

ක‍්‍රමවේදය : කිමිදුම් උපකරණ පැලැද මීටර 500ක් පමණ පීනායමින් පර්යේෂණ ක්ෂේත‍්‍රයට ප‍්‍රවේශ විය. මීට පෙර ස්නෝක්ලින් භාවිත කොට පර්යේෂණ ක්ෂේත‍්‍රය සලකුණු කොට පැවති අතර එම බෝයාව පවතින ස්ථානයේ සිට පර්යේෂණය ආරම්භ කරන ලදි. ක්ෂේත‍්‍රය පුරා කිමිදුම්කරුවන් ගමන්කරමින් ගවේෂණයට ලක්කරණ ලදි. ගවේෂණය සඳහා දින 3ක් පමණ භාවිතයට ගැනිනි. ක්ෂේත‍්‍රයේ හා අනාවරණය වන විවිධ අවශේෂ ඡායාරූපමය හා වීඩියෝ යන වාර්තාකරණයට ලක් කොට ඇත.

ප‍්‍රතිඵල

Snorkelling මඟින් සිදුකළ මූලික ගවේෂණයෙන් අනාවරණය කොටගත් වාස්තුවිද්‍යාත්මක අංග වලට හැඩහුරුකම් දක්වන අවශේෂ පිළිබඳ ව වැඩිදුරටත් පර්යේෂණයේදී රවුම් හැඩය ගන්නා වූ මිනිසා ගේ යම් මැදිහත් වීමක් දනවන අවශේෂ කිහිපයකම සාදක වැඩිදුරටත් වාර්තා කිරීමට හැකිවිය. මෙසේ වාර්තා වූ අවශේෂ සඳකඩපහණ, කොරවක්ගල හා ගඩොල් අවශේෂ ආදී වූ බෞද්ධ විහාර කර්මාන්තයේ බහුල ව භාවිත වන වාස්තුවිද්‍යාත්මක අංග වලට සමීප ලක්ෂණ පෙන්නුම් කළ ද එය නිශ්චිත ලෙස ප‍්‍රකාශකිරීමට තරම් ප‍්‍රමාණවත් සාක්ෂි නොමැත.

යෝජනා

පර්යේෂණ ස්ථානයේ මුහුද ආශ‍්‍රිත ව පැවති අයහපත් ස්වාභාවය පර්යේෂණ සඳහා විශාල බලපෑමක් ඇති කළේ ය. පර්යේෂණ කාලසීමාව තුළ ජලයේ දෘෂ්‍යතාව අඩු වීම ද පුරාවස්තුන් හඳුනාගැනීමට බාධා ඇති කළේ ය. මෙම ස්ථානයේ පවතින ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක අගය හඳුනාගැනීමට නම් වැඩිදුරටත් පර්යේෂණ දිගැලි කිරීමට අවශ්‍ය වේ.

පර්යේෂණයේ නිමාව

ශ‍්‍රී ලංකාවේ නැගෙනහිර කලාපයේ ත‍්‍රීකුණාමලය, මඩකලපුව හා අම්පාර දිස්ත‍්‍රීක්ක ත‍්‍රීත්වයේ මුහුදු බඩ කලාප මුල් කරගනිමින් ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය (MAU) සිදුකළ දියයට මුහුදු පුරාවිද්‍යා ගවේෂණය පුරා දින 40කට පසුව 2012 අගෝසතු මස 26 දින නිමාවට පත්විය.

ආශ‍්‍රිත මූලාශ‍්‍ර

Deraniyagala, S.U. The Prehistory of Sri Lanka: An Ecological Perspective. Vol. 1. Department of Archaeological Survey, 1992
Green, Jeremy. Maritime Archaeology: A Technical Handbook. Elsevier Academic Press, 2004.
මහඋරුමය, ඓතිහාසික මුහුදු මහා විහාරය, පන්නිපිට්ය: තිලක් පින්ටර්ස් ලිමිටඩ්, 2011
මහාවංශය, දෙහිවල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය. 2004
සේනාධීර, ගුණපාල, රුහුණේ අපූකට පුරාවස්තු, කොළඔ: ඇම්.ඩී. ගුණසේන හා සමාගම.
https://maps.google.com/maps?hl=en

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.