ඒ. එම්. ඒ. දයානන්ද හා මහින්ද කරුණාරත්න

 

ඡායාරූප : නන්දදාස සමරවීර හා රසික මුතුකුමාරණ

මුහුදු පුරාවිද්‍යා ඒකකය, මධ්‍යම සංස්කෘතික අරමුදල, කොටුව, ගාල්ල.

හැදින්වීම

MAU සංවිධානය කළ මුහුදු පුරාවිද්‍යා උරුම ගවේෂණයේ (2012) දෙවන පියවර මඩකලපුව දිස්ත‍්‍රීක්කයේ වාකරේ ප‍්‍රදේශීය බල ප‍්‍රදේශයෙන් ආරම්භ කෙරිණී. දියයට උරුමයන් රැසක් පිළිබඳ සාධක මෙම ගවේෂණයෙන් අනාවරණය කොට ගැනීමට හැකියාව ලැබී ඇත.

1 ලේඩි මැක්ලම් නෞකාව (Lady McCullum SS)

ගවේෂණයේ දෙවන පියවර මඩකලපුව දිස්ත‍්‍රීක්කයේ වාකරේ ප‍්‍රදේශීය බල ප‍්‍රදේශයේ කායන්කර්නි ප‍්‍රදේශයෙන් ආරම්භ කෙරිණි. කායන්කර්නි මුහුදු තීරයේ සිට කිලෝමීටර 3ක් පමණ දුරින් මුහුදු බත් වී ඇති යකඩ නෞකාව පිළිබඳ ගවේෂණ කටයුතු ප‍ළමු ව ආරම්භකරන ලදි. ප‍්‍රදේශයේ කිමිදුම් කරුවකු වන කොළඹගේ ජගත් ලාල් විසින් සපයන ලද තොරතුරු මෙහිදි වැදගත් විය.

කොළඹගේ ජගත් ලාල්

ප‍්‍රදේශයේ ධීවර ජනතාවගෙන් ලද තොරතුරු අනුව මෙම නෞකාව බ්‍රිතාන්‍ය පාලන සමයේ ගිලී ගිය ලේඩි මැක්ලම් (Lady McCullum SS) නමැති නෞකාව වශයෙන් හඳුනා ගැනිණි. ඉදිරි පර්යේෂණ වල දී ලබාගන්නා තොරතුරු වලට අනුව මෙම නාමය වෙනස් වීමට ඉඩ ඇත.

පර්යේෂණ කාලරාමුව ඉතා කෙටිකලකට සීමා වූ බැවින් ප‍්‍රදේශයෙන් හමු වූ නාවික යාත‍්‍රා ආශ‍්‍රිත පර්යේෂණයන් දින දෙකේ සිට තුන දක්වා උපරිමයකට සීමා කෙරිණි. එහි දී නෞකාවන් මුහුදු පත්ලේ වැතිර ඇති ස්වභාවය හදුනාගැනීම, දිග පළල ලබාගැනීම ආදී මිනුම් ගත කිරීම්, දළ සටහන් නිර්මාණය, ඡාරූපගත කිරිම හා වීඩියෝගත කිරීම හා ස්ථානයේ GPS අගය ලබා ගැනීම මෙහි මූලික ඉලක්ක විය.

මීටර 17ක් පමණ ගැඹුරේ ස්ථානගතව ඇති මෙම නෞකාව විශාල වශයෙන් හානියට ලක් ව කොටස් වශයෙන් තැන තැන විසිරී ඇත. එහෙත් නෞකාවේ ඉදිරිපස (Bow) කොටස හා පසුපස කොටස (Stern) හඳුනාගැනීමට හැකි වේ. අවර පෙත්ත (Propeller) හා අවර දණ්ඩ (Propeller Shaft) මැනවින් ආරක්ෂා වී පවතී. බොයිලේරු 2ක් හා යකඩ නැංගුරම් (Anchor) 3ක් දැකගත හැකි අතර එක් නැංගුරමක් ඉදිරිපස කොටසේ ද අනෙක් නැංගුරම් දෙක නැවේ මධ්‍ය හා පිටුපස කොටස් වල ස්ථානගත ව ඇත.

දැනට ශේෂ ව ඇති නෞකාවේ කොටස් අවශේෂ අනුව ඉදිරිපස කොටසේ සිට අවර පෙත්ත දක්වා දිග මීටර 71ක් හා පළල මීටර 13.80ක් පමණ වේ. නිරීක්ෂණයට අනුව නෞකාවේ සමහර කොටස් වැලි සහිත මුහුදු පත්ලේ වැළලී ඇති බවට අනුමාන කළ හැකි ය.

ප‍්‍රදේශයේ කිමිදුම් කරුවකුගෙන් ලද තොරතුරු අනුව, නෞකාවේ යකඩ අවශේෂ කොටස් කිහිපයක් තමන් විසින් මුදලට අලෙවි කළ බවත් ඉන් එක් යකඩ අවශේෂ කොටසකAlly & Macleelan වශයෙන් හා CLA හෝ CIA Company සටහන් කොට තිබූ බව ට සඳහන් කරයි (සම්මුඛ සාකච්ඡාව 2012.08.16). මේ පිළිබඳ ව පර්යේෂණ ඉදිරියට රැගෙන යාම අවශ්‍ය අතර එම පර්යේෂණ මඟින් ලැබෙන දත්ත අනුව දැනට පවතින තොරතුරු වෙනස් විය හැකි ය.

2. බ්‍රිටීස් සාජන්ට් නෞකාව (British Sergeant)

වාකරේ ප‍්‍රදේශීය බල ප‍්‍රදේශයේ කායන්කර්නි ග‍්‍රාම නිලධාරි වසමට අයත් කායන්කර්නි මුහුදු තීරයේ සිට කිලෝමීටර 5ක පමණ දුරකින් ස්ථානගතව ඇත.

ගවේෂකයින් මුහුදු පත්ලට පිවිසෙමින්

දුරින් මීටර 25.5 පමණ ගැඹුරේ මුහුදු බත් වී ඇති නෞකාවක් වේ. ප‍්‍රදේශයේ ධීවර ජනතාවගෙන් ලද තොරතුරු අනුව මෙම නෞකාව බ්‍රිතාන්‍ය පාලන සමයේ ගිලී ගිය British Sergeant නෞකාව වශයෙන් හඳුනාගැනිනි. ඉදිරි පර්යේෂණ වල දී ලබාගන්නා තොරතුරු වලට අනව මෙම නම වෙනස් වීමට ඉඩ ඇත.

නැගෙනහිර මුහුදු පුරාවිද්‍යා ගවේෂණයේ දී ත‍්‍රීකුණාමලයේ සිට මඩකලපුව දක්වා MAU පර්යේෂණ කණ්ඩායමේ අවධානයට ලක් වූ ගිලී ගිය නාවික යාත‍්‍රා අතරින් වඩාත් ම ආරක්ෂා වී ඇති යාත‍්‍රාව ලෙස British Sergeant හැදින්විය හැකි ය. නෞකාව ප‍්‍රධාන ලෙස කොටස් දෙකකට වෙන් ව ඇත. එක් කොටසක දිග මීටර 75ක් ද අනෙක් කොටසේ දිග මීටර 52.80ක් ද වේ. නැවේ පිටුපස කොටසේ පළල මීටර 16කි.

දින දෙකේ සිට තුනක කාලරාමුවක් පර්යේෂණය සහා වෙන්වීම හේතුකොටගෙන නෞකාවේ දළ සටහන් ඇදීම හා දිග පළල ලබාගැනීම, ඡායාරූප ගතකිරීම හා වීඩියෝගත කිරීම පමණක් මෙහි දී සිදුවිය. ප‍්‍රදේශයේ ධීවර ජනතාව අනුව දෙවන ලෝක යුධ සමයේ බෝම්බ හෙලීම හේතුකොටගෙන නැව මුහුදු බත් වූ බව පැවසේ.

බ්‍රිටීස් සාජන්ට් නෞකාව (British Sergeant) ට අයත් කොටස්

 

කායන්කර්නි ආශ‍්‍රිත වෙනත් පුරාවිද්‍යා උරුමයන්

ගල්පාලම

වාකරේ ප‍්‍රදේශීය බල ප‍්‍රදේශයේ කායන්කර්නි ග‍්‍රාම නිලධාරි වසමේ, මඩකලපුව -ත‍්‍රීකුණාමලය A15 මාර්ගයේ, කායන්කර්නි හන්දියේ සිට බස්නාහිරට වන්නට කායන්කර්නි ආරු ලෙසින් ප‍්‍රදේශයේ ජනතාව හදුන්වන කායන්කර්නි කලපුව හරහා මෙම ගල් පාලම ස්ථානගත ව ඇත. බටහිර සිට නැගෙනහිර දෙසට මෙම ගල් පාලමේ ව්‍යාප්තිය දැකගත හැකි ය. ඇස් මටිටමින් මීටර 200ක පමණ ප‍්‍රදේශයක පාලමේ ගල්කණු ව්‍යාප්ත ව ඇත. සමහර කණූ කලපුව හරහා වැටී ඇත.

ගල්පාල‍මේ ස්ථානගතවීම

ගල් පාලම                                                        ගවේෂණය අතරතුර

සිටුවා ඇති ගල් කණු වල යම් ප‍්‍රමාණයක් ජලයෙන් යට වී ඇත. 70 හෝ 80 දශකයේ ඇති වූ සුළි සුළං කාලගුණ තත්ත්වයක් යටතේ දී කණු මත එළා පැවති ගල් පතුරු බිම ඇද වැටුණු බව පැවසෙයි (සම්මුඛ සාකච්ඡා: එස්.එච්. තිලකරත්න හා රංජිත් බණ්ඩාර, 2012.08.15). ප‍්‍රදේශීය ජනතාව මෙම පාලම ”වන්නදි” (වන්නාදි යනු ද්‍රවිඩ භාෂාවෙන් සමනළයා හදුන්වන වදනකි) පාලම ලෙසින් ද හදුන්වනු ලැබේ (සම්මුඛ සාකච්ඡා එස්. එච්. තිලකරත්න හා රංජිත් බණ්ඩාර, 2012.08.15).

1 ගල්පාලම

කායන්කර්නි ගල් පාලම සිට කිලෝමීටර 2ක් පමණ නැගෙනහිර දෙසින් හා කායන්කර්නි මුහුදු වෙරළේ සිට මීටර 200ක් පමණ ගොඩබිම දෙසට වන්නට කිලෝමීටර කිහිපයක් පුරා ව්‍යාප්ත ව පවතින පුරාවිද්‍යා නටඹුන් රැසක් හදුනාගත හැකි වේ. මෙම ස්ථානයේ විවිධ ප‍්‍රමාණයේ ගල් කණු, කොරවක් ගල්, සඳකඩපහණ ආදි වාස්තුවිද්‍යාත්මක අංග රැසක් අනාවරණය කරගැනීට හැකියාව උදාවිය. කායන්කර්නි ගල් පාලම ගමන්ගන්නනේ මෙම වාස්තුවිද්‍යා අංග දක්නට ලැබෙන ප‍්‍රදේශයට වේ (ගූගල් ඡායාරූපය ඔස්සේ එය නිරූපණය කොට ඇත).


ගූගල් සිතියමේ පාලම දැක්වෙන ආකාරය

මෙම ගල්පාලම හා නටඹුන් සහිත භූමිය අතර යා වුණු මාර්ගයක් ලෙසින් මෙම මාර්ගය හදුනාගත හැකි ය. නටබුන් සහිත ස්ථානයේ අතීතයේ දී පාසලක් පැවති බවත් එම පාසලට රජකුමාරවරු හා කුමාරියන් ගමන්ගත් මාර්ගය මෙම ගල් පාලම බව පවසයි (සම්මුඛ සාකච්ඡා: එස්.එච්. තිලකරත්න හා රංජිත් බණ්ඩාර, 2012.08.15). කායන්කර්නි ප‍්‍රදේශයේ භූ-රූප විද්‍යාත්මක පසුබිම නිරීක්ෂණයේ දී එය මුහුදු බොක්කක (Bay) ස්වභාවයක් ගනු ලැබේ. ඒ අනුව වරායක් සඳහා උචිත ස්ථානයක් ලෙසින් හදුනාගතහැකි වේ. ඒ අනුව අතීත වරායක සම්බන්ධතාව හා ඒ හා බැදි ආගමික ස්ථානයක් මෙන් ම අසන්න කලාපයේ නිරිත දිගින් ස්ථාපිත පැවති වූ පොලොන්නරු රාජධානිය හා සම්බන්ධ ඉතිහාස කථාන්දරයක සේයාවන් මෙම සාධක ඔස්සේ පිළිබිඹු වනවාදැයි මෙම පුරාවිද්‍යා අවශේෂ දකින විට ප‍්‍රශ්න කිරීමේ හැකියාව පවතී. නමුත් වැඩිදුර අධ්‍යයනයට ලක්විය යුතු ස්ථානයක් ලෙසින් හැදින්විය හැකි වේ.

මෙම තොරතුරු පැය 4ක පමණ මූලික ගවේෂණයකින් ලබා ගන්නා ලද තොරතුරු වේ. ගල්පාලම ගවේෂණයේ දී මුහුදු පුරාවිද්‍යා ඒකකයේ ජ්‍යෙෂ්ඨ මුහුදු පුරාවිද්‍යාඥ නන්දදාස සමරවීර මහතා, මෙම ලිපියේ දෙවන කතෘ හා කායන්කර්නි ගම්වැසියන් වන කොළඔගේ ජගත් ලාල්, එස්. එච්. තිලකරත්න හා රංජිත් බණ්ඩාර යන මහත්වරුන් සහභාගි විය. තිලකරත්න හා රංජිත් මහත්වරුන් ස්ථානය සොයාගැනීමට හා විස්තර සැපයීමට මහත් උනන්දුවෙන් කටයුතු කරන ලදී.

පාසිකුඩා ආශ‍්‍රිත නෞකා

පාසිකුඩා මුහුදු තීරය ආශ‍්‍රිත ව සිදුකළ ගවේෂණයේ දී ගිලීගිය නෞකා 3ක් පිළිබඳව තොරතුරු අනාවරණය විය.

1. පාසිකුඩා යකඩ නෞකාව (Pasikuda Iron Wreck)

වාලච්චේන ප‍්‍රදේශීය බල ප‍්‍රදේශයේ පාසිකුඩා වෙරළ තීරයේ සිට කිලෝමීටර 3ක් පමණ දුරින් මීටර 9ක පමණ ගැඹුරේ ගිලී ඇති නාවික යාත‍්‍රාවකි. නෞකාවේ කොටස් විශාල ගල් පරයක් මත විසිර ඇති අතර විශාල වශයෙන් හානියට පත්ව ඇති බවට පෙනේ. නැවේ අවර පෙත්ත හා පොපෙලර් සාෆ්ට් මනා ව ආරක්ෂා වී පවතින අතර නැවේ ඉදිරිපස හා පිටුපස කොටස පහසුවෙන් හඳුනාගත හැකි වේ.

යාත‍්‍රාව පිළිබඳ ව සිඳුකරන ලද නිරීක්ෂණයේ දී තරමක් විශාල යකඩ නැංගුරමක් දැකගත හැකි විය. මෙතෙක් සිඳුකරන ලද පර්යේෂණ අනුව නෞකාවේ නාමය පිළිබඳව අනාවරණය කරගැනීමට තරම් සාක්ෂි සොයාගැනීමට අපොහොසත් වී ඇත.

2. පාසිකුඩා වාෂ්ප නෞකාව i (Pasikuda Boiler Wreck i)

පාසිකුඩා වෙරළ තීරයේ සිට කිලෝමීටර 3ක් පමණ දුරින් මීටර 6ක් පමණ ගැඹුරේ, ඉහත විස්තර කළ නෞකාවට මීටර 200ක් පමණ උතුරු දෙසින් ස්ථානගතව ඇත. යකඩයෙන් නිර්මාණය කොට ඇති මෙම නෞකාව වාෂ්ප බලයෙන් ක‍්‍රියාත්මක වූවකි. එහි අවශේෂ අතර බොයිලේරු 3ක් මෙම පර්යේෂණයේ දී ගවේෂණයට ලක් වූ අතර අවර පෙත්ත හා පොපෙලර් සාෆ්ට් මනාව ආරක්ෂා වී ඇත.

පාසිකුඩා වාෂ්ප නෞකාව i (Pasikuda Boiler Wreck i)

එහි ඉදිරිපස කොටස සමීපයේ යකඩ නැංගුරම් දෙකක් ද, මධ්‍ය කොටසේ එක් නැංගුරමක් ද නිරීක්ෂණය විය. නෞකාව මිනුම්ගත කිරීම, දළ සටහන් නිර්මාණය, ඡායාරූපකරණය, හා වීඩියෝගත කිරීම, හා GPS අගය ලබා ගැනීම මෙම පර්යේෂණයේ දී සිදුවිය.

3. පාසිකුඩා වාෂ්ප නෞකාව ii (Pasikuda Boiler Wreck ii)

ඉහත විස්තර කළ පාසිකුඩා බොයිලර් රෙක් 1 (වාෂ්ප බලයෙන් ක‍්‍රියාත්මක වන) නෞකාවට මීටර 50ක් පමණ දුරින් තවත් වාෂ්ප බලයෙන් ක‍්‍රියාත්මක වන යාත‍්‍රාවක අවශේෂ හඳුනා ගැනීමට හැකි විය. එහි බොයිලේරු 3ක් දැකගත හැකි අතර එක් බොයිලේරුවක් විනාශයට පත් ව ඇත. අවර පෙත්ත හා පොපෙලර් සාෆ්ට් මනා ව ආරක්ෂා වී ඇත.

පාසිකුඩා වාෂ්ප නෞකාව ii (Pasikuda Boiler Wreck ii)

විසිරී ඇති අවශේෂ අනුව නෞකාවේ දිග මීටර 88ක් වේ. SS Gladys Moller ලෙසින් හඳුන්වන වාෂ්ප බලයෙන් ක‍්‍රියාත්මක වන නැවක් පාසිකුඩා වෙරළ ආශ‍්‍රිත කලාපයේ ගිලී ගිය බවට වාර්තාවන නමුත් (http://www.wrecksite.eu/wreck.aspx?59037 and http://www.divesrilanka.com) ඉහත විස්තර කළ පාසිකුඩා බොයිලර් රෙක් i හා පාසිකුඩා බොයිලර් රෙක් ii ලෙසින් හඳුන්වන නාවික යාත‍්‍රා දෙකින් SS Gladys Moller නෞකාව කුමක්දැයි පැහැදිලිව වෙන්කොට හඳුනාගැනීමට මෙම පර්යේෂණ තුළින් මෙතෙක් හැකි වී නැත.

4. පාසිකුඩා ආශ‍්‍රිත වෙනත් පුරාවිද්‍යා උරුමයන්

පාසිකුඩා වෙරළ ආශ‍්‍රිතව ලංදේසි සමයට අයත් වාස්තුවිද්‍යාත්මක අංග කීපයක් අනාවරණය කොට ගැනීමට හැකියාව උදා විය. ඒ අතර ජැටියක අවශේෂ හා ගබඩා ගොඩනැගිල්ලක පාදම් කොටස් හඳුනාගත හැකි විය.

ජැටියේ අවශේෂ                                           ගබඩා ගොඩනැගිල්ලේ පාදම කොටස්

කායන්කර්නි හා පාසිකුඩා ආශ‍්‍රිත ගවේෂණයන්හී දි ප‍්‍රදේශීය ධීවරයන් වන එස් නොවිල්, ඊශ්වරම් ප‍්‍රභූ හා වෙල්මුරුගන් අරුන්ලාත් යන මහතුන්ගෙන් විශාල සහයෝගයක් හිමිවිය.

   

 

එස්. නොවිල්                               ඊශ්වරම් ප්‍රභූවෙල්                  මුරුගන්  අරුන්ලාත්

 

මඩකලපුව ආශ‍්‍රිත නෞකා

1. මඩකලපුව වාෂ්ප නෞකාව i (Baticaloa Boiler Wreck i)

මඩකලපුව දිස්ත‍්‍රීක්කයේ නාවලඩි ප‍්‍රදේශීය බල ප‍්‍රදේශයේ නාවලඩි කලපුවේ සිට කිලෝමීටර 3ක් පමණ දුරින් මුහුදු බත් වී ඇති මෙම නෞකාවේ අවශේෂ මීටර 9ක් පමණ ගැඹුරේ තැම්පත් ව ඇත.
MAU ගවේෂණයේ දී මෙතෙක් හමුව ඇති වාෂ්ප බලයෙන් ක‍්‍රියාත්මක වන බොයිලේරු 5කින් යුක්ත එකම නෞකාව ලෙස මෙම නෞකාව හැඳිනගත හැකි වේ.

නෞකාව මිනුම්ගතකිරීම

අවර පෙත්ත හා පොපෙලර් සාෆ්ට් මනාව ආරක්ෂා වී ඇත. ඉදිරිපස හා පිටුපස කොටස පහසුවෙන් හඳුනාගත හැකි පරිදි තැම්පත් ව ඇත. නෞකාවේ උපරිම දිග මීටර 102.80 පමණ වේ.

මඩකලපුව වාෂ්ප නෞකාවේ පොපෙලර් සාෆ්ට්

මෙම නෞකා පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට ප‍්‍රදේශයේ කිමිදුම් කරුවකු වන ජේ. යෝගරාෂාගේ සහය හිමි විය.

  ජේ. යෝගරාෂා

2. සක්කර කප්පල් නෞකාව (Brennus SS)

නාවල්අඩි ප‍්‍රදේශීය බල ප‍්‍රදේශයට අයත් නාවල් අඩි කලපුවේ සිට කිලෝමීටර 3ක් පමණ දුරින් සිලාමුණේ මුහුදු තීරයේ මීටර 7ක් පමණ ගැඹුරක ස්ථානගත ව ඇත.

ප‍්‍රදේශයේ ජනතාව මෙම නෞකාව හැදින්වීමට සක්කර කප්පල් යන වදන භාවිත කරයි. එහි සක්කර යනු හකුරු වන අතර කප්පල් යනු නැව යන්න හැදින්වීමට යොදන දෙමළ වදන් වේ. නෞකාව පිළිබඳ ව අන්තර්ජාලය ඔස්සේ තොරතුරු රැුසක් අනාවරණය කොට ගැනීමට හැකියාව උදා වී ඇත. 1878 වර්ෂයේ දී Matthew Pearse & Co. Ltd. නමැති බ්‍රිතාන්‍ය සමාගම නිපදවා ඇති අතර එහි නාමය Brennus SS වේ. ඉන්දියාවේ විශාකා පට්නම් සිට එංගලන්තයේ ලන්ඩන් දක්වා හකුරු ප‍්‍රවාහණයකරමින් සිටින අවස්ථාවේ, 1881 වර්ෂයේ ජූලි 7 වන දින දී ශ‍්‍රී ලංකාවේ නැගෙනහිර මුහුදු තීරයේ මඩකලපු ප‍්‍රදීපාගාරයේ සිට මයිල 3.5ක් ඊශාන දිග ප‍්‍රදේශයේ දී මුහුදු බත් වී ඇති බව පැවසේ (http://www.wrecksite.eu/wreck.aspx?142310).

අන්තර්ජාල තොරතුරු

Details about Brennus SS

nationality: british
purpose: transport
type: cargo ship
propulsion: steam
date built: 1878
status:
unknown

weight (tons): 1494 grt
dimensions : 73,1 x 10,1 x — m
material: iron
engine: Compound engine
power: –
speed: –

about the loss
cause lost: ran aground (wrecked)
date lost: 07/07/1881 [dd/mm/yyyy]

builder:
Matthew Pearse & Co. Ltd., Stockton-On-Tees
owner:
Kay R. J., Newcastle-Upon-Tyne

History

Brennus SS was a British cargo steamer of 1,494 grt that ran aground and was wrecked on the 7th July 1881 when 3.5 miles NE of Batticiloa Light House, E. Ceylon when on route from Vizagapatam for London with a cargo of jaggery Unrefined sugar).

About Builders

Matthew Pearse & Co. Ltd., Stockton-On-Tees Matthew Pearse & Co. from the Stockton-On-Tees, was a shipbuilder with roots from 1854 onwards.In 1888, the company was bought by Robert Ropner and continued to build ships under Matthew Pearse & Co.In 1919 Matthew Pearse & Co. ceased to exist, when Ropner founded his own company Ropner Shipbuilding &

(මූලාශ‍්‍ර : http://www.wrecksite.eu/wreck.aspx?1420)

නාවික යාත‍්‍රාවේ බොයිලේරු දැකගත හැකි වේ. පොපෙලර් සාෆ්ට් හා අවර පෙත්ත මනා ව ආරක්ෂා ව පවතී.

කල්මුණේ ආශ‍්‍රිත නෞකා

මඩකලපුව දිස්ත‍්‍රීක්කයේ කායන්කර්නි ප‍්‍රදේශයේ සිට ගෙන ගිය මුහුදු පුරාවිද්‍යා පර්යේෂණ අම්පාර දිස්ත‍්‍රීක්කයේ කල්මුණේ මුහුදු තීරයට ව්‍යාප්ත කරන ලදි. එම කලාපයේ සිදුකළ පර්යේෂණ තුලින් නෞකාවන් 4ක් පිළිබඳ ව තොරතුරු වාර්තා විණි. ගැඹුරු මුහුද ආශ‍්‍රිතව නෞකා 2ක් පිළිබඳ ව වාර්තා වුව ද අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම නෞකා සොයා ගැනීමට අපොහොසත් විය. ඉතිරි නෞකා දෙකෙහි පර්යේෂණ කටයුතු ඉදිරියට ගෙන යාමට හැකි විය.

1. කල්මුණේ වාෂ්ප නෞකාව (Kalmune Boiler Wreck)

අම්පාර දිස්ත‍්‍රීක්කයේ කල්මුණේ ප‍්‍රදේශීය බලප‍්‍රදේශයේ, කුරුන්දෙඩි ග‍්‍රාම නිලධාරි වසමේ කල්මුණේ 1 මුහුදු තීරයේ සිට කිලෝමීටර 3ක් පමණ දුරින්, කොඩිඑත්තම් මුස්ලිම් පල්ලියට මුහුණලා, මීටර 12ක පමණ නො ගැඹුරු මුහුදේ ස්ථානගත ව ඇත.

නෞකාවේ අවර පෙති දෙකක්, පොපෙලර් සාෆ්ට් එකක හා බොයිලේරු 3ක අවශේෂ නිරීක්ෂණය ලක් විය. එහි දිග මීටර 102.80 හා පළල 33.70 ක් වේ.

 

2. කල්මුණේ යකඩ නෞකාව (Kalmune Iron Wreck)

ඉහත විස්තර කළ නෞකාවට මීටර 50ක් පමණ දුරින් මීටර 9ක් පමණ ගැඹුරේ ස්ථානගත ව ඇත. විශාල ලෙස හානි වී ඇති නෞකාවේ එන්ජින් කොටස් පහසුවෙන් හඳුනාගත හැකි වේ.

සංක්ෂිප්තය

ගිලූණු නෞකා යනු මුහුදු ජීවීන් සඳහා නිර්මාණය වී ඇති පාරාදීසයක් ලෙසින් හැදින්විය හැකි වේ. එය විවිධ ජීවින්ගෙන් යුක්ත පරිසර පද්ධතියකි. එක් අතකින් එය පුරාවිද්‍යා උරුමයක් වේ. නමුත් ඉහත විස්තර කළ සියලූ ම නෞකා මිනිසාගේ විසින් විනාශ කර ඇති බව පෙනේ. ඩයිනමයිටි යොදාගනිමින් මෙම උරුමයන් පුපුරවා හැර ඇති ආකාරය දැකගත හැකි ය. මිනිසා විසින් සිදුකරන විනාශයන් වළකමින් මෙම උරුමයන් ආරක්ෂා කිරීමට හැකි ඉක්මන් පියවර ගැනීමට වගකිව යුතු ආයතනයන් ක‍්‍රියාකළ යුතුව ඇත.

විශේෂ සටහන (MAU සිදුකරන ගවේෂණයේ මීළග පියවර පොතුවිල් හා අවට ප‍්‍රදේශයට යොමු කළ අතර එම පර්යේෂණයන්ගේ ප‍්‍රථිපල නැගෙනහිර මුහුදු පුරාවිද්‍යා නව අනාවරණ iii ලිපිය මගින් www.si.archaeology.lk ඔස්සේ ප‍්‍රකාශ කිරීමට නියමිත ය.)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.