සටහන ඒ.එම්.ඒ. දයානන්ද හා මහින්ද කරුණාරත්න

 

මුහුදු පුරාවිද්‍යා ඒකකය,

මධ්‍යම සංස්කෘතික අරමුදල, කොටුව, ගාල්ල

 

හැදින්වීම

ශ‍්‍රී ලංකාවේ දකුණු පළාතේ හම්බන්තොට දිස්ත‍්‍රීක්කයේ තිස්සමහාරාම ප‍්‍රදේශීය බල ප‍්‍රදේශයට අයත් කිරින්ද හා යාල මුහුදු සීමාව ආශ‍්‍රිතව මහාරාවණා හා කුඩාරාවණා පරයන් ස්ථානගතව ඇත(Silva and etal 2007, 155,191,192). සිංහල හා දෙමළ ජනතාව ස්ථානය රාවණා පරය ලෙසින් හඳුන්වනු ලැබේ. එහෙත් ඉංගිරීසි භාෂාවෙන් හඳුන්වනුයේ Great Basses ලෙසින් වේ. Basses යන්න පෘතුග‍්‍රීසි වදනක් වන Baxios යන්නෙන් බිදී ආවක් ලෙසින් සැලකෙයි. එහි අර්ථය “පරය”(Reef or Shoal) යන්න වේ. ඒ අනුව Great Basses යන්නෙහි සරළ අර්ථය Great Reef (මහාපරය) යන්න ය. (Clerk and Wilson 1964, 12).

ඈත අතීතයේ සිටම නාවිකයන්ට මහත් හිසරදයක් වූ මහාරාවණ හා කුඩාරාවණ ගල් පර දෙක ස්වභාව ධර්මයේ අපූර්ව නිර්මාණයක් වේ. එකිනෙකට නිශ්චිත දුරකින් පිහිටියා වූ මෙම පර දෙක හිරිගලින් නිර්මාණය වූවකි. කිරින්දේ සිට කිලෝමීටර 15ක් පමණ දුරින් පිහිටි මහාරාවණ පරය කිලෝමීටර 25ක පමණ දුරට විහිදී ඇත. එමෙන්ම කිරින්දේ සිට කිලෝමීටර 22 ක් පමණ දුරින් පිහිටි කුඩා රාවණ ගල් පරයේ දිග කිලෝමිටර 35ක් පමණ ය (Silva and etal 2007, 21). නැගෙනහිර බටහිර ලොව සම්බන්ධකරවන ජාත්‍යන්තර නාවික මාර්ගය මෙම පර පන්තීන් අසලින් වැටී තිබීම හේතුවෙන් අනාදිමත් කාලයක සිට සිදු වූ නාවික හා ජීවිත අනතුරු ප‍්‍රමාණය කෙතෙක් දැයි ප‍්‍රකාශ කළ නොහැක.

මහාරාවණා හා කුඩාරාවණා පරයන්හී ස්ථානගතවීම(Clerk and Wilson 1964, xviii)

දිගින් දිගටම රාවණා පරයන්හී ගැටී නාවික අනතුරු බහුල ව සිදුවීම පිළිබදව අවධානය යොමුකළ එකළ ලංකාව පාලනය කළ බි‍්‍රතාන්‍යය රජය මෙම අනතුරුවලින් ගැලවීමට සැලසුම් සැකසී ය. ඒ අනුව රාවණාපරයන්හී ගැටී නෞකා විනාශය පිළිබදව පර්යේෂණ කිරීමට ශ‍්‍රීමත් ජේ. ජේ. බ්‍රේමර් හා කපිතාන් ඩබ්ලිවි. එස්. ඩෝසන් පත්කෙරිණි. මේ පිළිබදව පර්යේෂණ කළ ඔවුන් ඉන් වැළකීම සඳහා යෝජනා ඉදිරිපත්කරන්නට විය. ඒ අනුව, දෙවුන්දර තුඩුවේ පහන් ටැඹක් ද, ත‍්‍රීකුණාමලයේ නාවික කොඩි කුළුණක් ද, මහාරාවණා කොටුවේ බීකන් පහන් කණුවක් ද, එයට අමතරව කුඩා රාවණා කොටුවේ සංඥා නිකුත් කරන යාත‍්‍රාවක් රදවා තැබීම ද යනා දී යෝජනාවන් ඉදිරිපත් කොට ඇත (විජේබණ්ඩාර 2011, 161).

එම යෝජනා අතරින් කඩිනමින් ක‍්‍රියාත්මක කළ හැකිව තිබූ යෝජනාවක් වූ සංඥා නිකුත් කරන යාත‍්‍රාවක් රදවා තැබීම යන අදහස අනුව යමින්, සංඥා නිකුත්කරණ යාත‍්‍රාවක් කුඩාරාවණා පරය ආශ‍්‍රිතව නවතා තැබීමට තීරණය විය. එහි කපිතාන් ලෙසට බුවනන් පත්කරණ ලදි. ඔවුන් ගොඩබිම හා නෞකාව අතර සම්බන්ධතාවය පවත්වා ගනු ලැබුයේ සංඥා නෞකාවේ පැවති කුඩා යාත‍්‍රාවක් මඟිනි. කපිතාන් බුවනන් හා පිරිස ඉතාමත් කටොර හා අවධානම් රජාකාරියක යෙදීමෙන් රාවණා පර පන්තිය සිට අනගි මෙහෙයක් ඉටුකළ ද ඔවුන්ගේ එම රාජකාරිය එතරම් පහුසු කටයුත්තක් නොවීය. වරක් නෞකාවේ සිට ගොඩබිමට ගිය පිරිසක් පොත්තන වෙරළ තීරයේදී අතුරුදහන් වී ඇත. තවත් විටෙක කපිතාන් බුවනන් ඇතුලූ පිරිස ගමන්ගත් යාත‍්‍රාව ගල් පරයක වැදී පෙරලී ඇති අතර එහි ගමන්ගත් දෙදෙනකු මියගිය බවත් බුවනන් ඇතුලූ ඉතිරි පිරිස පිහිනා දිවි බේරා ගෙන ඇති බවත් සඳහන් වේ. එමෙන්ම මෙම නෞකාවෙන් සපයන සේවය වෙනුවෙන් එහි සේවය ලබාගන්නා නෞකාවන්ගෙන් බඳු මුදලක් ලබාගන්නා ලදි. මේ තුලින් වසරකට පවුම් 1300ක මුදලක් ඉපැයු බව පැවසේ (විජේබණ්ඩාර 2011, 161-162).

සංඥා නිකුත් කරණ යාත‍්‍රාවක් කුඩාරාවණා ආශ‍්‍රිත නවතා සිඳුකළ සේවය එතරම් සර්ථක නොවීමෙන් කඩිනමින් ස්ථාවර ප‍්‍රදීපාගාරයක අවශ්‍යතාව මතුවිය. ඒ අනුව මෙම කලාපය පාලනය කළ බි‍්‍රතාන්‍ය නාවික හමුදාවේ අද්මිරාල් පේලෝ කඩිනමින් රාවණාපරයේ ප‍්‍රදීපාගාර කුළුණූ ඉදිකරණ ලෙස බි‍්‍රතාන්‍ය රජයෙන් ඉල්ලා සිටියේ ය. බි‍්‍රතාන්‍ය රජය එම ඉල්ලීම පිළිගනිමින් පවුම් 40000ක (ඩොලර් 250, 000) මුදලක් මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් වෙන්කරණ ලදි. නමුත් වසර 3ක පමණ පරිශ‍්‍රමයක් දැරුව ද ඔවුනට හැකි වූයේ කොඩි කුළුණක් ඉදිකිරීමට පමණක් වී ඇත (Clerk and Wilson 1964, 13). ඒ අනුව බි‍්‍රතාන්‍යයේදීම යකඩින් නිර්මාණය කළ විදුලි ලාම්පුවක් සහික කුළුණු කොටස් ගාලූ වරායට නැව් මඟින් ගෙනෙනු ලැබූව ද, රාවණා පර පන්තිය වෙත ගෙනයෑමට කළ උත්සහය අසාර්ථක වී ඇත. අනතුරුව එය බහමාස් දුපතේ (කැරිබියන් දුපත් ආශ‍්‍රිත) ඉදිකරනු ලැබූ බව සඳහන් වේ (Clerk and Wilson 1964, 13, විජේබණ්ඩාර 2011, 163).

මුල් උත්සහය අසාර්ථකව අතහැර දැමුව ද ප‍්‍රදීපාගාරයක් ඉදිකිරීමේ කටයුතු අතහැර දැමීමට බි‍්‍රතාන්‍යයේ රජය සුදානම් නොවී ය. ඒ අනුව දෙවන ව්‍යාපෘතිය ආරම්භකරමින් ඉදිකිරීම් කටයුතු සඳහා ප‍්‍රදීපාගාර ඉන්ජිනේරුවකු වූ ජේ. එන්. ඩග්ලස් (J. N. Douglass) වෙත පවරන ලදි. මේ සඳහා බි‍්‍රතාන්‍යයේ ක‍්‍රියාත්මක ටි‍්‍රනිටි හවුස්(Trinity House) ආයතනය සහයෝගය ලබා දී ඇත. ප‍්‍රථමවරට විදුලිය සොයාගත් මයිකල් ෆැරඬේගේ (Michael Faraday) සහයෝගය ඇතුව ප‍්‍රදීපාගාරයේ විදුලි පහණ නිර්මාණය කරනු ලැබීය (Clerk and Wilson 1964, 13).

ස්කොට්ලන්තයේ දී කපා සකස් කොට ගත් ටොන් 2 හෝ 3 බරැති ගල් කුටිටි දහස් ගණනක් නැව් මඟින් ගාලූ වරායට ගෙනවිත් ගාල්ලේ සිට නෞකා මඟින් රාවණා පරය වෙත ගෙනයන ලදී. එහිදී රාවණා පරයේ සවිකළ දොඹකරයක් ආධාරයෙන් ගල් කුට්ටි හිරිගල් පරය මතතබා ප‍්‍රදීපාගාරයේ ඉදිකිරීමේ කටයුතු 1870 දී ආරම්භ කොට ඇත. මෙසේ ඉතා දුෂ්කර තත්ත්වයේ ඉදිකළ ප‍්‍රදීපාගාරයේ ප‍්‍රථම ආලෝක ධාරාව විහිදුවාලීම 1873 වර්ෂයේ මාර්තු10 දින සිදුවී ඇත (Clerk and Wilson 1964, 14).

(Clerk and Wilson 1964, 46-47)

ඉන් අනතුරුව 1878 වර්ෂයේ දී ජේ. එන්. ඩග්ලස් මහතාගේ සොහොයුරු විලියම් ඩග්ලස් ඉජිනේරු මහතාගේ උපදෙස් පරිදි කුඩා රාවණා ප‍්‍රදීපාගාරය ඉදිකරණ ලදි. මෙම ප‍්‍රදීපාගාරවල සේවාව මහා බි‍්‍රතාන්‍යයේ ඉම්පීරියල් ප‍්‍රදීපාගාර සේවාව(Imperial Light House Service) මඟින් පවත්වා ගෙන යන ලදි (Clerk and Wilson 1964, 15, විජේබණ්ඩාර 2011, 165) 1976 දී මෙම සේවා කටයුතු ශ‍්‍රී ලංකා නාවික හමුදාව විසින් භාරගනු ලැබූ අතර දැනට එම කටයුතු ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය හා ශ‍්‍රී ලංකා නාවික හමුදාව විසින් පවත්වා ගෙන යනු ලබයි. මෙම ප‍්‍රදීපාගාර ඉදිකිරීම ආසන්න මුහුදු කලාපයෙන් ගමන්ගන්නා දේශීය හා ජාත්‍යන්තර නාවිකයන්ට මහත් අස්වැසිල්ලක් වී ඇත.

රාවණාපර ආශ‍්‍රිත දියයට පුරාවිද්‍යා පර්යේෂණ සංක්ෂිප්තය

ප‍්‍රවීන විද්‍යා ප‍්‍රබන්ධ ගත්කරුවකු වන බි‍්‍රතාන්‍ය හා ශ‍්‍රී ලංකේය ජාතිකයෙකු වන ආතර් සී ක්ලාක් මහතා ඔහුගේ මිතුරන් වූ මයික් විල්සන් (Mike Wilson) හා රොඞ්නි ජොන්ක්ලස් (Rodeney Jonklaas) සමඟ අවස්ථා කීපයකදීම රාවණාපර ආශ‍්‍රිතව කිමිදෙමින් විවිධාකාර ගවේෂණ කටයුතුවල නියැලී ඇත. මෙම ගවේෂණයන්ගෙන් අනතුරුව ක්ලාක් හා මයික් විල්සන් විසින් The Treasure of the Great Reef නමැති ග‍්‍රන්ථය 1964 වර්ෂයේ රචනා කරන ලදි.

(Clarke 1957:82-83) (වමේ සිට දකුණට – ආතර් සී ක්ලාක්, මයික් විල්සන් හා රොඞ්නි ජොන්ක්ලස්  වමේ සිට දකුණට – ආතර් සී ක්ලාක්, මයික් විල්සන් හා රොඞ්නි ජොන්ක්ලස් )

The Treasure of the Great Reef ග‍්‍රන්ථයේ පිටකවරය The Treasure of the Great Reef ග‍්‍රන්ථයේ පිටකවරය

1974 වර්ෂයේ දී ක්ලාක් විසින් සංස්කරණය කළ කෘතියේ පිටකවරය 1974 වර්ෂයේ දී ක්ලාක් විසින් සංස්කරණය කළ කෘතියේ පිටකවරය.

ක්ලාක් විසින් 1974 වර්ෂයේ The Treasure of the Great Reef කෘතිය සංස්කරණය කරමින් වර්ණ හා කලූ සුදු ඡායාරූප රැසක් සහිතව ප‍්‍රකාශයට පත්කොට ඇත. ලාංකේය මුහුදු පතුලේ පුරාවිද්‍යා පර්යේෂණයක් ප‍්‍රථම වරට සිඳුකරන ලද්දේ 1962-63 වර්ෂයේදී ය. එහිදී ක්ලාක් ඇතුළු කණ්ඩායම විසින් ක‍්‍රමාණුකූල පර්යේෂණයක් සිදුකළේය. එම පර්යේෂණ සඳහා එවකට පුරාවිද්‍යා දෙපාර්තමේනතුවේ කොමසාරිස් චාල්ස් ගොඩකුඹුර මහතාගේ විශාල සහයෝගයක් හිමි වු බව ක්ලාක් මහතා සඳහන් කොට ඇත. මෙම පර්යේෂණය සඳහා මුහුදු පුරාවිද්‍යාවේ විශේෂඥයකු වූ පීටර් ත්‍රෝක්මෝටන්(Peter Throckmoton) සහභාගි විය (ගොඩකුඹුර 1964, 39-40, Clerk and Wilson 1964, 104). එය ශ‍්‍රී ලංකාවේ දියයට පුරාවිද්‍යා කටයුතු සඳහා මුහුදු පුරාවිද්‍යාඥයකුගේ මැදිහත් වීමට ලක්වුණූ ප‍්‍රථම අවස්ථාව ලෙසින් දැක්විය හැකිය. Peter Throckmoton ඇතුළු කණ්ඩායම එම පර්යේෂනයේදී අඳින ලද සැලසුම පහත දක්වා ඇත.

(Clarke, The Treasure of the Great Reef: Fully Illustrated in Color and Black and White 1974, 275)

මහාරාවණා ආශ‍්‍රීත නෞකාව දක්වන සැලසුම
(Clarke, The Treasure of the Great Reef: Fully Illustrated in Color and Black and White 1974, 274)

1993 වර්ෂයේ දී බටහිර ඕස්ටේ‍්‍රලියානු මුහුදු පුරාවිද්‍යා කෞතුකාගාරයේ (Western Australian Maritime Museum) මහාචාර්ය ජෙරමි ග‍්‍රීන් ඇතුළු කණ්ඩායම ශ්‍රි ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේනතුවේ ආරාධනය පරිදි අතිරේක ගවේෂණයක් ලෙස මහාරාවණ පරය ආශ‍්‍රිත ගිලී ගිය නෞකා පිළිබඳව ඉතා කෙටි පර්යේෂණයක් සිඳුකරන ලදි. එම කණ්ඩායම විසින් ස්ථානයේ හමුවන පුරාවස්තු වාර්තාකරණයට ලක්කොට ඇත (Green 1997, 7).

ජෙරමි ඇතුළු කණ්ඩායම ලබාගන්නා ලද ඡායාරූපයකි (Green 1997, 7)

1997 වර්ෂයේ නොවැම්බර් මස 15 දින ශ‍්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, බටහිර ඔස්ටේ‍්‍රලියානු කෞතුකාගාරය හා ඇමස්ටර්ඩර්න් විශ්වවිද්‍යාලය එක්ව ගෙනගිය සම්මන්ත‍්‍රණයේදී නිකුත්කළ ලිපි සහිත වාර්තාව වන “Paper from the Seminar Galle- A Port City in History” හී රාවණාපර ආශ‍්‍රිතව හමුවුණ කාලතුවක්කුවක සැලසුමක් දක්වා ඇත. එහි දක්වා ඇති විස්තරයට අනුව එය 1993 වර්ෂයේ පෙබරවාරි මස අදින ලද සැලසුමක් වේ. ලෝකඩයෙන් නිපදවා ඇති මෙම කාලකුවක්කුවෙහි මතුපිට බතාවියා(BATAVIA) ලෙස ඉංගිරීසි අක්ෂරයෙන් සටහන් කොට ඇත. මෙම කාල තුවක්කුවේ නූතන ස්ථානගතවීම තංගල්ල ලෙසින් ද සඳහන්වේ. එය ගේ‍්‍රටි බාසස් බතාවියා කාලතුවක්කුව (Great Basses ‘Batavia’ Gun) ලෙසින් නම්කොට ඇත.


ගේ‍්‍රටි බාසස් බතාවියා කාලතුවක්කුව(Jayatilaka 1997, 5)

මෙම කාලතුවක්කුව 1997 වර්ෂයේ දී සිඳුකළ පර්යේෂණයේ දී තංගල්ල නගරයේ මිහිඳු මාවතේ පිහිටි වෛද්‍යවරයෙකුගේ නිවසක දක්නට ලැබුණි. මෙම වෛද්‍යවරයා 1960 දශකයේදී ආතර් සී ක්ලාක් ඇතුළු කණ්ඩායම සමඟ මහාරාවණා ආශ‍්‍රිතව කිමිදුම් කටයුතු කොට ඇති බවත් එම අවස්ථාවේ දී මෙම කාලතුවක්කුව රැගෙන ආ බවත් එතුමාගේ පුතා විසින් මෙම ලිපියේ පළමු කර්තෘ සමඟ පෞද්ගලිකව ප‍්‍රකාශ කොට ඇත (1997).

ආශ‍්‍රිත මූලාශ‍්‍ර නාමාවලිය

Interview by A.M.A Dayananda. (1997).

Clarke, Arthur C. The Reefs of Taprobane: Underwater Adventures Around Ceylon. New York: Harper & Brothers, 1957.

The Tresure of the Great Reef: Fully Illustrated in Color and Black and White. New York: Ballantine, 1974.

Clerk, Arthur C, and Mike Wilson. The Treasure of the Great Reef. New York: Harper & Row, 1964.

Dayananda, AMA, and Mahinda Karunarathna. http://si.archaeology.lk/?p=3095. August 2012. http://www.si.archaeology.lk/?p=3095 (accessed August 2012).

Green, Jeremy. “Sri Lanka Maritime Archaeology Programe: Galle Harbour 1992-1997.” Paper from the Seminar Galle- A Port City in History. Australian National Centre for Excellence in Maritime Archaeology, 1997. 6-10.

Jayatilaka, Gihan. “Maritime Archaeology in Sri Lanaka 1960-1997.” Paper from the Seminar Galle-A Port City in History. Australian National Centre for Excelence in Maritime Archaeology , 1997. 4-5.

Silva, Ranasinghe, and & etal. The Natinal Atlas of Sri Lanka. Colombo, Sri Lanka: Survey Department of Sri Lanka, 2007.

Team, MAU. MAU Dive Records 2009. Un Published, 2009.

ගොඩකුඹුර, චාල්ස්. මුහුදු පත්ලේ පුරාවිද්‍යාව. 1962-63 මුදල් වරෂය සදහා පුරාවිද්‍යා කොමසාරිස් තැනගේ පාලන වාර්තාව, කොළඹ 7: පුරවිද්‍ය දෙපාර්තමේන්තුව, 1964. විජේබණ්ඩාර, කි‍ෂ්ණ. චතුදිශ රුසිරුදුටුවෙමිගොඩපවත් පටුන් මනොරමේ. කොළඹ 10: සූරිය පකාශකයෝ, 2011.

Advertisements

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.