සටහන ඒ.එම්.ඒ. දයානන්ද හා මහින්ද කරුණාරත්න

මුහුදු පුරාවිද්‍යා ඒකකය, මධ්‍යම සංස්කෘතික අරමුදල, කොටුව, ගාල්ල

 

රාවණ පරය ආශ‍්‍රිත දියයට පුරාවිද්‍යා උරුමය

ශ‍්‍රී ලංකාව ඈත අතීතයේ සිටම විවිධාකාර වූ නාවික ක‍්‍රියාකාරකම් සිඳුවූ බවට මහාවංශය ආදී වංශකථා තොරතුරු හා පුරාවිද්‍යාත්මක අවශේෂයන් අනුව පැහැදිලි වේ. ශ‍්‍රී ලාංකික ජනයාගේ සංස්කෘතිය, සභ්‍යත්වය, දේශපාලනය මෙන්ම ආගම යන අංශ කෙරෙහි මෙම නාවික ක‍්‍රියාකාරකම් නොඅඩුව බලපාන්නට ඇත. එහෙත් ලාංකේය පුරාවිද්‍යාඥයන්ගේ අවධානය ඉතා මෑතක් වනතුරුම මුහුද කෙරෙහි යොමුනොකරන ලදි. ඔවුන්ගේ වැඩි අවධානය රට මැද වූ දියුණු ශිෂ්ටාචාරයක නටඹුන් කෙරෙහි යොමුවී පැවතිණි.

මෙතෙක් ගොඩබිම වූ පුරාවිද්‍යා කටයුතුවලට කොටුව සිටි ලාංකේය පුරාවිද්‍යාඥයන්ගේ අවධානය මුහුද යට ගිලී ඇති උරුමයන් කෙරෙහි යොමුවන්නට බලපෑ සුවිශේෂි සොයගැනීමක් ලෙසින් රාවණ පර ආශ‍්‍රිත මුහුදේ තිබී සොයාගත් 17 වන සියවසට අයත් යැයි සැලකෙන රිදී කාසි නෞකාව හැදින්විය හැකිය. මහාරාවණා හා කුඩාරාවණා පරයන් ආශ‍්‍රිතව අනතුරට ලක් වූ නෞකාවන් 5ක් සම්බන්ධ සාක්ෂීන් විවිධ පර්යේෂණ ඔස්සේ අණාවරණය වී ඇත. රිදී කාසි නැව , බෝතල් නැව, තඹ නැව, කුඩා රාවණ යකඩ නැව හා එච්. එම්. එස්. ඩෙඩලස් නෞකාව(HMS Daedalus) උදාහරණ ලෙසින් දැක්විය හැකි වේ.

රිදී කාසි නැව(Silver Coin Wreck)

ආතර් සී ක්ලාක් මහතා ඔහුගේ මිතුරන් වූ මයික් විල්සන් (Mike Wilson) හා රොඞ්නි ජොන්ක්ලස් (Rodeney Jonklaas) සමඟ අවස්ථා කීපයකදීම රිදීකාසි නැව ආශ‍්‍රිතව කිමිදෙමින් ගවේෂණ කටයුතුවල නියැලී ඇත. මෙම ගවේෂණයන්ගෙන් අනතුරුව ක්ලාක් හා මයික් විල්සන් විසින් රිදී කාසි නැව ආශ‍්‍රිත පර්යේෂණයන් The Treasure of the Great Reef ග‍්‍රන්ථය ඔස්සේ ප‍්‍රකාශයට පත්කොට ඇත. රිදීකාසි නැව ආශ‍්‍රිතව ක්ලාක් ඇතුළු කණ්ඩායම විසින් ක‍්‍රමාණුකූල පර්යේෂණයක් සිදුකළේය. එම පර්යේෂණ සඳහා එවකට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් චාල්ස් ගොඩකුඹුර මහතාගේ අවසරය හා සහයෝගය ලබා දී ඇත. එහිදී ප‍්‍රථම වරට ලාංකේය මුහුදු පුරවිද්‍යා කැණීමක් උදෙසා අවසර ලබාදීම හා මුහුදු පුරාවිද්‍යාවේ විශේෂඥයකු වූ පීටර් ත්‍රෝක්මෝටන් (Peter Throckmoton) සහභාගි වීම විශේෂිතය. එය ශ‍්‍රී ලංකාවේ දියයට පුරාවිද්‍යා කටයුතු සඳහා මුහුදු පුරාවිද්‍යාඥයකුගේ මැදිහත් වීමට ලක්වුණූ ප‍්‍රථම අවස්ථාව ලෙසින් දැක්විය හැකිය. Peter Throckmoton ඇතුළු කණ්ඩායම රිදී කාසි නැව ආශ‍්‍රිත පර්යේෂනයේදී අදින ලද සැලසුම ඉහත දක්වා ඇත.

පීටර් ත්‍රෝක්මෝටන් (Peter Throckmoton) (Clerk and Wilson 1964, 46-47) 

1961 වර්ෂයේදී මෙම රිදී කාසි සහිත නෞකාව පළමු වරට සොයාගනු ලැබුයේ දියයට දක්ෂ ඡායාරූප ශිල්පි මයික් විල්සන් සමඟ කිමිදුම් කටයුතු කළ ඇමරිකන් ජාතික 14 හැවිරිදි බොබි කිරිගෙල් (Bobby Kriegel) හා 13 හැවිරිදි මාර්ක් ස්මිත් (Mark Smith) යන නව යෞවනයන් දෙදෙනකු විසිනි. එහිදී රිදීකාසි 115ක් සහ කුඩා පිත්තල කාලතුවක්කු 2ක් ගොඩගෙන තිබේ. (Clerk and Wilson 1964, 31, ගොඩකුඹුර 1964, 39-40).


බොබි කිරිගෙල් හා මාර්ක් ස්මිත් (Clerk and Wilson 1964, 142-143) 

රිදී කාසි නැව ආශ‍්‍රිත හමුවූ පුරාවස්තු(Clerk and Wilson 1964, 142-143) 

රිදී කාසි නෞකාව පිළිබඳව තව දුරටත් පර්යේෂණය කළ ඔවුන්ට එම රිදී කාසි වයඔ දිග ඉන්දියාවේ සුරත් ප‍්‍රදේශයේ නිෂ්පාදනය කළ රුපියලේ රිදී කාසි බවට හඳුනාගැනීමට හැකිව ඇත. එම රිදී කාසි බැටරි ඇසිට් වතුරින් පිරිසිදු කළ අතර එහිදී 1113 යන අංක හඳුනා ගැනිනි. ඒ පිළිබඳව වැඩි දුරටත් අධ්‍යයනය කළ පසුව එම කාසි ස්ලාම් ආගමික අල් හිජිරා (Hegira) වර්ෂයට අයත් බවට තහවුරු විය. හමුවුණු සාධක අනුව එම නාවික යාත‍්‍රාව ක‍්‍රිස්තු වර්ෂ 1702 දී ඉන්දියාවේ පාලනය ගෙනගිය මොගල් අධිරාජ්‍යාට (1658-1707) සමකාලීන බව තහවුරු කරගන්නා ලදි.(Clerk and Wilson 1964, 43, ගොඩකුඹුර 1964, 39-40)

මෙම නෞකාව අනතුරට පත්වවන අවස්ථාව වන විට එහි රිදී කාසි දහසේ ගොඩවල් ලෙසින් වෙන් කොට රෙදි මලූවල තැම්පත් කොට පැවති බවට හමු වූ සාධක අනුව තහවුරු වී ඇත. මේ අතර තිබු අඩි 4.5ක් දිග වූ රාත්තල් 333 ක් බරවු අලංකාර කාලතුවක්කුවක්, පිත්තල බන්දේසියක්, කාලතුවක්කු උණ්ඩ ගොඩබිමට ගෙනඑන ලද බව සඳහන් වේ.

 රිදී කාසි නෞකාවේ පුරාවස්තු ගොඩගන්නා අවස්ථාවක් (Clerk and Wilson 1964, 142-143)

රිදී කාසි නැව (Silver Coin Wreck) ආශ‍්‍රිත ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකයේ පර්යේෂණ

1992 වර්ෂයේ දී ගාලූවරාය ආශ‍්‍රීතව සිඳුකළ මුහුදු පුරාවිද්‍යා පර්යේෂණ වලින් පසුව 2001 වර්ෂයේ ස්ථාපිත කළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා ඒකකය (Maritime Archaeology Unit/ MAU) ගාලූවරාය මුල් කරගනිමින් මුහුදු පුරාවිද්‍යා පර්යේෂණ කටයුතු රැසක් ක‍්‍රියාවට නැංවීය. ආරම්භක අවධියේ දී ගාලූවරාය ආශ‍්‍රිතව ගවේෂණ කටයුතු වසර කීපයක්ම සිඳුකළ ද එම පර්යේෂණ ගාල්ල ප‍්‍රදේශයෙන් ඔබ්බට රැගෙන යමින් මුළු දිවයින පුරා මුහුදු තීරය ආවරණය වන පරිදි සිඳුකිරීමට සැලසුම්කරන ලදි (Dayananda and Karunarathna 2012).

2008 වර්ෂයේදී යුනෙස්කෝ ආධාර මත ආසියානු පැසිපික් කලාපයේ මුහුදු පුරාවිද්‍යා ක්ෂේත‍්‍ර පාසල ශ‍්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට තීරණය කරමින් අවශ්‍ය පුහුණු කටයුතු සඳහා උචිත දියයට පුරා ක්ෂේත්‍රයක් සෙවීම සඳහා සිඳුකළ පර්යේෂණ මත හම්බන්තොට දිස්ත‍්‍රීක්කයේ කිරින්ද හා අම්බලන්තොට ගොඩවාය පුරාක්ෂේත‍්‍ර මුල්කරගනිමින් ගවේෂණ කටයුතු සිදුකරන ලදි. එහි දී මහාරාවණ පරය (Great Basses) ආශ‍්‍රිතව ගිලී ඇති නෞකාවන් තුනක පර්යේෂණ කටයුතු සිඳුකොට ඇත. රිදී කාසි නැව (Silver Wreck), බෝතල් නැව (Bottle Wreck), තඔ නැව (Copper Wreck) උදාහරණ ලෙසින් දැක්විය හැකිය. මෙම කටයුතු වලින් පසුව කුඩා රාවණ පරය (Little Basses) ආශ‍්‍රිත යකඩ නැව මුල්කරගනිමින් ගෙනගිය පර්යේෂණ ද වැදගත් වේ (Dayananda and Karunarathna 2012).

2008 වර්ෂයේ ඔක්තෝම්බර් මස 7වන දින සිට 21 දින දක්වා කාලය තුළ කුඩා රාවණ හා මහාරාවණ කලාපයෙහි පර්යේෂණ රැගෙන ගියේ ය. 2008 වර්ෂයේ ඔක්තෝම්බර් මස 7වන දින පළමු පර්යේෂණ කටයුතු මහාරාවණ ආශ‍්‍රිතව ගෙනයාමට තීරණය විය. මුල්ම වැඩකටයුතු රිදී කාසි නැව ආශ‍්‍රිතව සිඳුකිරීමට උත්සහා කළ ද මුහුදේ පැවති අයහපත් තත්ත්ය එයට බාධා ඇති කළේ ය. එම නිසා අපගේ පර්යේෂණ ඉලක්කය තඹ නැව වෙතට යොමුකිරීමට තීරණය විය. ඔක්තෝම්බර් මස 8 වන දින නැවතත් රිදී කාසි නැව ආශ‍්‍රිත පර්යේෂණ රැගෙනයාමට තීරණය කළත් පෙරසේම මුහුදේ පැවති අයහපත් කාලගුණ තත්ත්වය, දෙවැනි උත්සහය ද අසාර්ථක කිරීමට හේතු විය. ඒ අනුව බෝතල් නැව ආශ‍්‍රිතව එම දින පර්යේෂණ රැගෙන ගියේය. ඔක්තෝම්බර් මස 9 හා 10 වන දින ද පර්යේෂණ රැගෙනයාමට උත්සාහකළ ද එය ද අසාර්ථක විය. එම අසාර්ථක වීමට ස්ථානයේ ස්භාවය ඝෘජුලෙසම බලපෑවේ ය. මහාරාවණා පරය ආශී‍්‍රතව පවතින විශාල ගුහා හා දෝනා ස්වරූපය නිසා එම ස්ථානයට ප‍්‍රවේශ විමට ඇත්තේ පටු ගල් පර සහිත කුහරයක් ඔස්සේ ය. කුහරය තුළට ගමන්කරන වේගවත් රළ ස්ථානයට ඇතුළුවීමට නිරන්තරයෙන් බාධා ඇතිකරයි.

රිදීකාසි නැව ආශ‍්‍රිත කලාපටය ඇතුල්වන දෝනාව (Clerk and Wilson 1964, 142-143) 

වර්ෂයේ ඉතාමත් කෙටිදින කිහිපයක් පමණක් මෙම ස්ථානයේ කිමිදුම් කිරීමට සුදුසු පරිසරයක් නිර්මාණය වේ. එය වසරේ මාර්තු, අපේ‍්‍රල්, ඔක්තෝම්බර හා නොවැම්බර මාස ආශ‍්‍රිතව සිදුවන බව පෙනේ. මෙම තත්ත්වයන් තුළ රිදී කාසි නැව ආශ‍්‍රීත පර්යේෂණ කිරීමට දැඩි උනන්දුවක් පැවතිය ද, කණ්ඩායමේ තීරණය අනුව පර්යේෂණ කටයුතු බෝතල්, තඹ හා කුඩාරාවණ යකඩ නෞකා වෙතට දිගැලිකිරීමට තීරණය විය (MAU Dive Reports 2008 10 07-10). ඒ අනුව 2008 වර්ෂයේ රිදී කාසි නැව ඉලක්ක කරගනිමින් සිඳුකිරීමට සැලසුම්කරගත් සියලූ පර්යේෂණ අසාර්ථක විය.

2010 වර්ෂයේ විවෘත කිරීමට යෝජනාව පැවති ලංකාවේ පළමු සමුද්‍ර පුරාවිද්‍ය කෞතුකාගාරයට අවශ්‍ය වන මුහුද ආශ‍්‍රිත පුරාවස්තු සේවීමේ කාර්යභාරය හිමි වුයේ ගාල්ල මුහුුදු පුරාවිද්‍යා ඒකකයට වේ. ඒ අනුව 2009 වර්ෂයේ මාර්තු මස 22 වන දින සිට අපේ‍්‍රල් 1 වන දින දකවා මහරාවණ හා කුඩාරාවණ ආශ‍්‍රිතව පර්යේෂණ සිඳුකරන ලදි. 2008 වර්ෂයේ කිහිපවතාවක් පර්යේෂණ කිරීමට උත්සහකොට අසාර්ථක වූ රිදී කාසි නැව ආශ‍්‍රිත පර්යේෂණ රැගෙනයාමට මෙය අවස්ථාවක් විය.

2009 මාර්තු මස 22 හා 25 දෙදින මෙම වැඩබිමට ළගාවිමට සුදුසු පාරිසරික තත්ත්වයක් උදාවිය. මෙම පර්යේෂණ සඳහා මුහුදු පුරාවිද්‍යා ඒකකයේ පාලිත වීරසිංහ, නන්දදාස සමරවීර, ඒ. එම්. ඒ. දයානන්ද, රසික මුතුකුමාරණ, සනත් කරුණාරත්න, ඩබ්ලිව්. එම්. චන්ද්‍රරත්න, ජානක වරුෂ විතාරණ හා නාවික හමුදාවේ කිමිදුම්කරුවකු ද සහභාගි විය.


2009 පර්යේෂණ කණ්ඩායම, ඡායාරූප- රසික මුතුකුමාරණ 

“අපි පළමුවෙනි වතාවට ලෝකප‍්‍රසිද්ධ රිදී කාසි දැව නැව ආශ‍්‍රිතව දියයට පර්යේෂණ කටයුතු ආරම්භකරන ලදි. ස්ථානයේ ස්භාවය ඉතාමත් දුෂ්කර විය. තියුණු කැපෙන සුළු කොරල් පර අප ට මහත් හිසරදයක් විය. මුහුදේ තත්ත්වය ද එතරම් සුභදායක වුයේ ද නැත. වරින්වර පැමිණෙන වේගවත් රළ මෙවැනි පරිසරයක වැඩකිරීම තව තවත් දුෂ්කර කළේ ය. කෙසේ වුවත් අපි මෙතෙක් පුල පුලා බලා සිටි රිදීකාසි වැඩ බිම හඳුනාගත්තේය. ඒ ආශ‍්‍රිතව නැංගුරම් 4ක් හා කාලතුවක්කු කිහිපයක් දැක ගැනීමට හැකිවිය. මේවා දැඩිව බෙල්ලන් හා වෙනත් මුහුදු ජීවින්ගේ ග‍්‍රහණයට ලක්ව පැවතිණි (සිමින්තිකරණයට(Cementation/ Concretion)). ඒ අනුව පුරාක්ෂේත‍්‍රය පුරා සැරිසරමින් වාර්තාකරණය කෙසේ කළ යුතු දැයි වටහගත්තේය”. ඒ අනුව පැවති කෙටිකාල පරාසය අනුව නිර්මාණය කළ ක්ෂේත‍්‍ර කටු සැලසුම පහත පරිදි වේ (MAU Dive Reports 2009. 03. 22).

2009 මාර්තු මස 25 වන දින නැවතත් රිදී කාසි නැව ආශ‍්‍රිතව පර්යේෂණ කිරීමට හැකියාව උදාවිය. එදින පර්යේෂණයේ ප‍්‍රධානම අරමුණ වූයේ ක්ෂේත‍්‍රය මනාව හඳුනා ගැනීම හා ස්ථානයෙහි කටුසැලසුමක් නිර්මාණය කිරීමය. පෙර දින ගවේෂණයට වඩා මුහුදේ තත්ත්වය යහපත්ව පැවති බැවින් වැඩබිමේ කටුසැලසුමක් නිර්මාණයට හා ඡායාරූපමය වාර්තාකරණයට හැකියාව උදාවිය. හමුවුණු පුරාවස්තූන්හී විධිමත් මිනුම්ගත කිරීමක් හෝ ක්ෂේත‍්‍ර සැලසුමක් නිර්මණය කිරීමට මෙම කෙට් කාලය ප‍්‍රමාණවත් නොවුවද එය ඉදිරි පර්යේෂණයනිහීදි සිඳුකළ යුතුව ඇත.

ඡායාරූප- රසික මුතුකුමාරණ 

2011 වර්ෂයේ අපේ‍්‍රල් මස 28 වන දින සිට 30 දක්වා මහාරාවණ ආශ‍්‍රිතව පර්යේෂණ කටයුතු රැගෙන යාමට අවස්ථාවක් උදාවිය. සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශයේ අමාත්‍ය ටී. බී. ඒකනායක මහතාගේ ඉල්ලීමකට අනුව මෙම පර්යේෂණය සිඳුවිය. පර්යේෂණයේ අරමුණ වුයේ අතීත ශ‍්‍රී ලංකා-චීන නාවික සබඳතාවයන් ගවේෂණය කිරීම ය. තංගල්ල නාවික හමුදා කඳවුරේ සිට පර්යේෂණ කටයුතු සඳහා පිටත්විය. එහිදී වෝටර ජෙට් වර්ගයේ යාත‍්‍රාවන් දෙකක් භාවිතා කරනලදි. නාවික හමුදාවේ කිමිදුම් ඒකකයේ සහයෝගය ද මෙයට හිමිවිය. සනත් කරුණාරත්න, ඩබ්ලිව්. එම්. චන්ද්‍රරත්න, ඒ. එම්.ඒ දයානන්ද හා රසික මුතුකුමාරණ මෙම ගවේෂණය සඳහා සහභාගිවූහ.

 2011 වර්ෂයේ පර්යේෂණ කණ්ඩායම 2011 

කෙසේ වුවත් පර්යේෂණ සමයේ මුහුදේ ස්භාවය ඉතාමත්ම අයහපත් විය. මෙහිදී රිදී කාසි නැව ආශ‍්‍රීතව පර්යේෂණ කිරීමට සුදානම් වුවද එය අතහැර දැමීමට පර්යේෂණ කණ්ඩායමට සිඳුවිය.

1960 දශකයේ ආතර් සී කලාක් – මයික් විල්සන් ගේ පර්යේෂණ පාදක කොටගෙන නිර්මාණය කළ රන්මුතුදුව චිත‍්‍රපටය දිය යට සැඟව ඇති පුරාවස්තු කෙරෙහි ජනතාවගේ කුතුහලය වර්ධනය කිරීමට ප‍්‍රධානම හේතුවක් විය. එය මුහුදු පුරාවිද්‍යාවට වාසි හා අවාසි සහගත තත්ත්වයක් ඇති කිරීමට සමත්විය. රන්මුතුදුව චිත‍්‍රපටය නැරඹු බොහෝ පිරිස් මුහුද ආශ‍්‍රීත වස්තූන් කෙරෙහි කුතුහලයෙන් බැලීම ආරම්භ කෙරිණී. එය මුහුදු පුරාවස්තු සොරාගැනීම ආරම්භවීමේ හැරවුම් කේන්ද්‍රයක් විය. ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දිය යට උරුමයන් ආරක්ෂාකීරීමට සමත් මුහුදු පුරාවිද්‍යා ඒකකයක් නිර්මාණය කිරීමට අවශ්‍ය විය. ඒ අනුව මෙතෙක් ගොඩබිමට පමණක් සීමා වූ ශ‍්‍රී ලංකා පුරාවිද්‍යා කටයුතු මුහුද කෙරෙහි යොමුවීමට හේතුවත් විය.


රන්මුතුදුව චිත‍්‍රපටය ආශ‍්‍රිත දර්ශනයක් (Clerk and Wilson 1964, 142-143) 

මහාරාවන බෝතල් නැව (Bottle Wreck)

1961-63 වර්ෂයන්හී දී ආතර් සී ක්ලක් ඇතුලූ කණ්ඩායම රාවණ පර ආශ‍්‍රිතව සිඳුකළ දියයට ගවේෂණයෙදී පළමුවරට මෙම නෞකාව පිළිබඳව තම කෘතිය වන The Treasure of the Great Reef හී වාර්තා කොට ඇත. ඔවුන් මෙම නෞකාව ආශ‍්‍රිතව හමුවුණු කොළ වර්ණය ආලේප කළ වීදුරු බෝතල් මතුපිට සටහන් කොට පැවති ඉංගිරීසි වදන් අනුව Clarke-Romer, Ceylon, Soda Water Wreck yd the Brandy-and- Soda Wreck ලෙසින් හැදින්විණි. නෞකාව 1850 හෝ 1860 යන කාලයට අයත් වියහැකි බව ප‍්‍රකාශ කොට ඇත (Clerk and Wilson 1964, 128).

පර්යේෂණ කණ්ඩායම විසින් සොයාගත් ඊයම් ඇබයක (Lead Plug) සලකුණු කරන ලද බි‍්‍රතාන්‍ය රජයට අයත් සංකේතයක් වන ඊතල සටහනක් පැවතීම හේතුකොටගෙන මෙම නෞකාව බි‍්‍රතාන්‍ය රජයට අයත් නෞකාවක් ලෙසට අනුමාන කිරීමට හැකියාව ඇත (Clerk and Wilson 1964, 118-119).

ක්ලාක් ඇතුළු කණ්ඩායම මෙම පර්යේෂණයේදී පාවිච්චි නොකළ සෝඩා හා විස්කි බෝතලයක් මතුපිටට රැගෙන ආ බව පැවසේ (ගොඩකුඹුර 1964, 49).

(Clerk and Wilson 1964, 142-143) 

බෝතල් නැව(Bottle Wreck) ආශ‍්‍රිත ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකයේ පර්යේෂණ

2008 වර්ෂයේ ඔක්තෝම්බර් මස 8වන දින බෝතල් නැව ආශ‍්‍රීතව මුහුදු පුරාවිද්‍යා පර්යේෂණ ආරම්භකරන ලදි.

මීටර 5ක පමණ ගැඹුරකින් ස්ථානගතව ඇති බෝතල් නැව(Bottle Wreck) රිදී කාසි නැවට ආසන්න ගල් පරය සමීපයේ තැම්පත්ව ඇත. ස්ථානයෙන් බෝතල් හා කැබලි බහුලව හමුවන නිසා නෞකාව හැඳින්වීමට “බෝතල් නැව” (Bottle Wreck)යන වදන MAU කණ්ඩායම විසින් භාවිතයට ගැනිණි.

ක්ෂේත‍්‍රය මිනුම්ගතකිරීම, ඡායාරූප හා වීඩියෝකරණය ආදී ක‍්‍රම වේද ඔස්සේ වාර්තාකරණයට ලක්කරණ ලදි. එහිදී ෆොටෝ මෝසායි ක‍්‍රමවේදයට අනුව නෞකාවේ අවශේෂයන්ගේ විසිරීම සැලසුම්ගත කරණ ලදි. ඒ ඔස්සේ අදින ලද සැලසුම පහත පරිදි වේ.

බෝතල් නැව මුහුදු පතුලේ ඇති ආකාරය, සැලසුම – රසික මුතුකුමාරණ 

පුරා ක්ෂේත‍්‍රයේ හමුවී ඇති යකඩ ඵලක, යකඩ නැංගුරම් 2ක්, පැරණි නැව්වල සමබරතාවය රැකගැනීම උදෙසා භාවිතා කළ ගල්(Balance Stones) වීදුරු බෝතල්, සෙරමික් හා ලෝහමය ඇණ, ආදී පුරාවස්තු රැසක් ගවේෂණයේදී වාර්තාකොට ඇත.


බෝතල් නැව ආශ‍්‍රිත පුරාවස්තු විසිරි ඇති ආකාරය – ඡායාරූප – රසික මුතුකුමාරණ 

මෙහි හමුවන ටෝපිඩෝ හැඩැති බෝතල්වල Clarke -Romer & Co. Ceylon Superior Soda water යනුවෙන් සටහන්ව ඇත (Clerk and Wilson 1964, 118). මෙම සමාගම ක‍්‍රිස්තුවර්ෂ 1850 පමණ වන විට ලංකාවේ පැවතියක් බවට හඳුනාගෙන ඇත. නෞකාවේ දැනට විසිරී ඇති අවශේෂ අනුව දිග මීටර 23ක් හා පළල මීටර 5.5ක් පමණ වේ.


ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා කෞතුගාරයේ තැම්පත්කොට ඇති බෝතල්

ඡායාරූප – කණිෂ්ක සාරංග                                        සැලසුම- සුගත් ධර්මවර්ධන

2010 වර්ෂයේ විවෘත කිරීමට යෝජනාව පැවති ගාල්ල සමුද්‍ර පුරාවිද්‍ය කෞතුකාගාරයට අවශ්‍ය වන මුහුද ආශ‍්‍රිත පුරාවස්තු සේවීමේ අරමුණ ඇතිව 2009 වර්ෂයේ මාර්තු මස 22 වන දින සිට අපේ‍්‍රල් 1 වන දින දක්වා මහරාවණ හා කුඩාරාවණ ආශ‍්‍රිතව පර්යේෂණ සිඳුකරන ලදි. එහිදී බෝතල් නැව ආශ‍්‍රීතව පර්යේෂණ කැණිමක් සිඳුකරන ලදි. පර්යේෂනයේ දී ඉහත ඡායාරූපයේ දැක්වේන පුරාවස්තූන් මතුපිටට රැගෙන එන ලදි. මෙම පුරාවස්තූන් අද වනවිට ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරයේ ප‍්‍රදර්ශනයට තබා ඇත.

2011 වර්ෂයේ අපේ‍්‍රල් මස 28 වන දින සිට 30 දක්වා මහාරාවණ ආශ‍්‍රිතව පර්යේෂණ කටයුතු රැගෙන යාමට අවස්ථාවක් උදාවිය. නමුත් බෝතල් නැව ආශ‍්‍රිතව පර්යේෂණ රැගෙනයාමට උත්සාහ කළත් මුහුදේ පැවති අයහපත් කාලගුණ තත්ත්වය එයට බාධා ඇති කළේය.


බෝතල් නැව ආශ‍්‍රිත දර්ශන, ඡායාරූප – රසික මුතුකුමාරණ 

මහාරාවන තඹ නැව

2008, 2009 හා 2011 යන වර්ෂ වලදී මහාරාවණ ආශ‍්‍රීතව ඉහත විස්තර කළ පර්යේෂණයනට සමකාලීනව තඹ නෞකාව ආශ‍්‍රිත පර්යේෂණ කටයුතු ගෙන ගියේය. මිනුම් ගතකිරීම්, කටු සැලසුම් ඇදීම, ඡායාරූප හා වීඩියෝගතකිරීම ඔස්සේ ක්ෂේත‍්‍රය වාර්තාකරණයට ලක්කරන ලදි. තඹ ආශ‍්‍රිත උපකරණ හා නිෂ්පාදන බහුලව හමුවන නිසා “තඹ නැව” වශයෙන් ප‍්‍රචලිත වී ඇත.

පුරා ක්ෂේත‍්‍රයේ හමුවන අවශේෂ අනුව නෞකාවේ දිග මීටර 34ක් ද, පළල මීටර 6.5ක් පමණ වේ. මීටර 16ක පමණ ගැඹුරක ස්ථානගතව ඇත. ගවේෂණයේ දී විශාල පරිමාණයේ බොයිලෙරුවක් හා එන්ජින් කොටස් සමඟ අවර පෙත්ත ද හඳුනාගැනීමට හැකියාව උදාවිය. 1960 දශකයේ ආතර් සී ක්ලාක් මහාරාවණා හා කුඩාරාවණා පර ආශ‍්‍රිතව කළ දියයට පර්යේෂණයේදි තඹ නෞකාව පිළිබඳව කිසිදු වාර්තාකරනයක් සිඳුකොට නැත.

තඹ නෞකාවේ සැලසුම තඹ නෞකාවේ සැලසුම

තඹ නැව ආශ‍්‍රිත අවශේෂ – ඡායාරූප – රසික මුතුකුමාරණ 

කුඩාරාවණ යකඩ නැව

කිරින්ද සිට මුහුදු සැතපුම් 24ක් පමණ දුරින් කුඩාරාවණාහී තනා ඇති ප‍්‍රදීපාගාරයට මුහුදු සැතපුම් 2ක් පමණ බටහිරට වන්නට ගිලී ඇති මෙම යකඩ නැව මුහුදු බත් වී ඇත්තේ 1971 වසරේ බවට ජනප‍්‍රවාදයේ සඳහන් වේ.

2008 වර්ෂයේදී මහාරාවණ ආශ‍්‍රීතව සිඳුකළ පර්යේෂණයනට සමකාලීනව මෙම නෞකාව ආශ‍්‍රිත පර්යේෂණ කටයුතු ගෙන ගියේය. 2009 වර්ෂයේදී ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා කෞතුගාගාරයේ ප‍්‍රදර්ශනය කිරීමට මෙම නෞකාවේ පහත ඡායාරූපයේ දැක්වෙන අතිරේක අවර පෙත්ත ගොඩගැනීමට බලාපොරොත්තු උවද, නීතිමය හා තාක්ෂණික ගැටලූ ඇතිවීම හේතුකොටගෙන එය අසාර්ථක විය. මිනුම් ගතකිරීම්, කටු සැලසුම් ඇදීම,ඡායාරූපකරණය හා වීඩියෝගතකිරීම ඔස්සේ ක්ෂේත‍්‍රය වාර්තාකරණයට ලක්කළේ ය. ප‍්‍රමාණයෙන් ඉතා විශාල වන මෙම නෞකාව දිගින් මීටර 130ක් ද, පළලින් මීටර 40ක් ද පමණ වේ. මීටර 12ක් පමණ ගැඹුරේ ක්ෂේෂව ඇති මෙහි නැවට සම්බන්ධකර ඇති අවර පෙත්තට අමතරව තවත් අතිරේක අවර පෙත්තක් හා මනාව ආරක්ෂා වී ඇති එන්ජින් කොටස් ද දැකගත හැකි වේ.

විශේෂයෙන්ම නෞකාව ස්ථානගතව ඇති පරිසරය ආශ‍්‍රිතව පොහොසත් ජෛව විවිධත්වයකින් යුක්ත වේ.

යකඩ නෞකාව් කොටස් ඡායාරූප – රසික මුතුකුමාරණ

එච්. එම්. එස්. ඩෙඩලස් නෞකාව (HMS Daedalus)

කුඩාරවාණා පරය ආශ‍්‍රිතව ගිළී පවතින නෞකාවක් පිළිබඳව සාධක වාර්තා වී ඇත. 2008 වර්ෂයේ රාවණ පරය ආශ‍්‍රිතව පර්යේෂණ ගෙනගිය ද මෙම නෞකාව සම්බන්ධව පර්යේෂණ සිඳුකිරීමට ඵ්ඹ කණ්ඩායමට නොහැකි විය.

නමුත් ඒ පිළිබදව සාහිත්‍යමය තොරතුරු රැසක් හඳුනාගැනීමට හැකි වී ඇත. එම තොරතුරු වලට අනුව ප‍්‍රංශ ජාතිකයන්ට අයත් නාවික යාත‍්‍රාවක් වන මෙය 1811 වර්ෂයේදී බි‍්‍රතාන්‍යන් විසින් අත්පත්කරගන්නා ලදි. අනතුරුව බි‍්‍රතාන්‍ය යුධ කටයුතු සඳහා යොදාගෙන ඇති බව වාර්තා වේ. බි‍්‍රතාන්‍ය නාවික හමුදාවේ සේවය සඳහා යොදාගත් නෞකාව කාලතුවක්කු 40කින් සමන්විත වී ඇත. සම්පූර්ණ නෞකාවේ බර ටොන් 1094ක් හා දිග අඩි 153ක් වී ඇති බව සඳහන් වේ. එහි කාර්ය මණ්ඩලය 274කි.

1813 වර්ෂයේ ජූලි 2 වෙනි දින උදෑසන 7.45ට පමණ ශ‍්‍රී ලංකාවට අයත් කුඩාරාවණ ගල් පර ආශ‍්‍රිත ප‍්‍රදේශයේ ගමන්කරමින් තිබියදී අවාසනාවන්ත ලෙස සිය මුහුදුගමන් අවසන් කරමින් ශ‍්‍රී ලංකා මුහුදුතීරයේදී විනාශයට ලක්වූ බව වාර්තා වේ (Clerk and Wilson 1964, 192-197).

නෞකා අනතුර බි‍්‍රතාන්‍ය රජය සසල කරවූ සිදුවීමක් වූ අතර නාවික යාත‍්‍රාවේ විනාශය පිළිබඳව සොයා බැලීමට යුධ අධිකරණයක් ද පත් කර ඇත. එහිදී ඩෙඩලස් නෞකාවේ කපිතාන් වරයා වූ Murray Maxwell සාක්ෂි දුන් අතර ඔහුගේ කරුණු දැක්වීම අනුව එච්. එම්. එස්. ඩෙඩලස් බි‍්‍රතාන්‍ය Spithead වරායේ සිට 1813 ජනවාරි 29 වන දින නැගෙනහිර ඉන්දීය ක්‍දබඩදහ නැවත් සමඟ මාස 5ක පමණ මුහුදු ගමනකින් පසුව 1813 ජුලි 1 දින ගාලූ වරායට පැමිණි බවත් එදිනම සවස දෙවුන්දර තුඩුව පසුකරමින් කුඩාරාවණා ප‍්‍රදේශයට ළගා වු බවත් සඳහන් කරයි(Arthur, Clarke and Wilson 1964, 192-197).

එච්. එම්. එස්. ඩෙඩලස් නෞකාවේ කපිතාන් වරයා වූ Murray Maxwell ලබාදුන් සාක්ෂිය පහත පරිදි වේ. “1813 ජුලි 2 දින උදෑසන අපි රාවණා පර ආශ‍්‍රිත අවධානම් කලාපයේ ගමන්කරමින් සිටින බව දැනිනි. අපේ ඩෙඩලස් නැවට පසුපසින් Convoy නැව ගමන්කරමින් තිබූ අතර උදෑසන 7. 45ට පමණ නැවේ පසුපස කොටස යමක ගැටුණු බව දැණිනිි. එසැනින්ම අපි පසුපසින් පැමිණෙන නැවට අවධානම් කලාපයෙන් ඉවත්වන ලෙස දැනුම් දෙන ලදි. ඉන් අනතුරුව නැවේ සිදුරු වූ ප‍්‍රදේශයෙන් නැව තුළට ගලා එන මුහුදු ජලය ඉවත්කිරීමට කටයුතු කළ ද එය සාර්ථක නොවීය. නැවේ සිටි වඩුවන් ද Convoy නැවේ වඩුවන් ද යොදා ගෙන සිදුරු කොටස් අලූත්වැඩියා කිරීමට කටයුතු කළ ද එය සාර්ථක නොවී ය.

නැව තවදුරටත් බේරාගැනීමට නොහැකි බව වඩුවන් විසින් දැනුම් දීමෙන් අනතුරුව තම සියලූම කාර්ය මණ්ඩලයට ජීවිත බේරාගෙන Convoy නැවට යන ලෙස වේදනා බර විදානයක් දීමය සිදු වූ බව ප‍්‍රකාශකරයි. තමන් මෙතෙක් සේවය කළ නැව හැර යමා තීරණය කළ බවත් නමුත් තමාගේ බලාපොරොත්තුව වූයේ කෙසේ හෝ නැව රැකගෙන ත‍්‍රීකුණාමලය වරාය වෙත රැුගෙන යාම බවයි” (Clerk and Wilson 1964, 192-197). පළමු කොටස නාවික යාත‍්‍රාවන්ට මරුකපොල්ලක් වූ රාවණ පරය හා එහි දියයට පුරාවිද්‍යා උරුමය – පළමු කොටස

ආශ‍්‍රිත මූලාශ‍්‍ර නාමාවලිය
Interview by A.M.A Dayananda. (1997).

Clarke, Arthur C. The Reefs of Taprobane: Underwater Adventures Around Ceylon. New York: Harper & Brothers, 1957.

The Tresure of the Great Reef: Fully Illustrated in Color and Black and White. New York: Ballantine, 1974.

Clerk, Arthur C, and Mike Wilson. The Treasure of the Great Reef. New York: Harper & Row, 1964.

Dayananda, AMA, and Mahinda Karunarathna. http://si.archaeology.lk/?p=3095. August 2012.

http://www.si.archaeology.lk/?p=3095 (accessed August 2012).

Green, Jeremy. “Sri Lanka Maritime Archaeology Programe: Galle Harbour 1992-1997.” Paper from the Seminar Galle- A Port City in History. Australian National Centre for Excellence in Maritime Archaeology, 1997. 6-10.

Jayatilaka, Gihan. “Maritime Archaeology in Sri Lanaka 1960-1997.” Paper from the Seminar Galle-A Port City in History. Australian National Centre for Excelence in Maritime Archaeology , 1997. 4-5.

Silva, Ranasinghe, and & etal. The Natinal Atlas of Sri Lanka. Colombo, Sri Lanka: Survey Department of Sri Lanka, 2007.

Team, MAU. MAU Dive Records 2009. Un Published, 2009.

ගොඩකුඹුර, චාල්ස්. මුහුදු පත්ලේ පුරාවිද්‍යාව. 1962-63 මුදල් වරෂය සදහා පුරාවිද්‍යා කොමසාරිස් තැනගේ පාලන වාර්තාව, කොළඹ 7: පුරවිද්‍ය දෙපාර්තමේන්තුව, 1964. විජේබණ්ඩාර, කි‍ෂ්ණ. චතුදිශ රුසිරුදුටුවෙමිගොඩපවත් පටුන් මනොරමේ. කොළඹ 10: සූරිය පකාශකයෝ, 2011.

Advertisements

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.