චන්දිම බණ්ඩාර අඹන්වල

පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තෙල්.

chandimaambanwala@yahoo.com

chandima-ambanwala-sri-lanka-archaeology-prehistory-epigraphy-epistomology
චන්දිම බණ්ඩාර අඹන්වල

රටක හෝ යම් ජාතියක අනන්‍යතාව විදහා දක්වන්නේ එ රට හෝ ජාතිය සතු සංස්කෘතික හර පද්ධතිය හා උරුමය අනුව බව පිළිගත් කරුණකි. ජාතික උරුමය වනාහි රටක, ජාතියක හෝ නිශ්චිත භූමි ප‍්‍රදේශයක ජීවත් වන ජන සමූහයක හෘද සාක්‍ෂියයි. ශ‍්‍රී ලංකාවේ භූමියට සාපේක්‍ෂ ව බැලමේ දී මෙ රට සතු ව උරුමස්ථාන විශාල ප‍්‍රමාණයක් පවතින අතර ම එම උරුමය ශීඝ‍්‍රාකාරයෙන් විනාශයට පත් වීම ද දිනෙන්දින, පැයෙන්පැය අපට අත්විදීමට සිදු වී තිබෙන්නා වූ අමිහිරි සත්‍යයකි. මෙම ලිපියෙන් ද කීමට උත්සාහ දරන්නේ ද ඒ ආකාරයෙන් ලාංකික ජනසමාජයෙන් ගිලිහී ගිය එ බඳු ජාතික උරුමයක් පිළිබඳ ය.

අනුරාධපුර – ත‍්‍රිකුණාමල මාර්ගයේ නැතිනම් පැරණි පුත්තලම සිට ත‍්‍රිකුණාමලය දක්වා දිවෙන මහාමාර්ගයේ මිහින්තලය උප නගරය හා මහකණදරාව වැව පසුකර අනුරාධපුරයේ සිට කිලෝමීටර් 25ක පමණ දුරින් පිහිටා ඇති මැකිච්චාව නම් ගමේ ඇති පැරණි වැවක පිටවානේ සටහන් කර තිබූ, අදින් වසර දෙ දහසකට ආසන්න කාලයක් පැරණි සෙල්ලිපියක් පිළිබඳව ය මේ සටහන තැබෙන්නේ. පුරාවිද්‍යාව, ඉතිහාසය හා අභිලේඛන විද්‍යාව ආදි විෂයයන් හදාරන්නවුන් අතර පළමු වැනි ගජබා රජුගේ කාලයට අයත් (ක‍්‍රි.ව. 112-134) මේ ලිපිය පාලූමැකිච්චාව සෙල්ලිපිය යන නමින් ප‍්‍රසිද්ධ ය.

veva-palumakichchava-inscription-anuradhapura-sri-lanka-chandima-ambanwala-archaeology-lk-1
පාළුමැකිච්චාව වැවේ අද තත්ත්වය

මෙම සෙල්ලිපියේ සම්බන්ධ සොයාබැලීම් පිළිබඳ අතීතය විපරම් කරන විට ඒ අතීතය ද සියක් වසරක් ඉක්මවා ඇති බැව් පෙනේ. ලක්දිව විධිමත් ව සිදුකළ අභිලේඛන අධ්‍යයනයන්ගේ පුරෝගාමියෙකු වූ එඞ්වර්ඞ් මුලර් මහතා විසින් රචනා කොට 1883 ප‍්‍රකාශයට පත් කරන ලද Ancient Inscriptions in Ceylon කෘතියේ දී ද මේ ලිපිය පිළිබඳ ව අවධානය යොමු වී ඇත. එම කෘතියේ පාළුමැකිච්චාව සෙල්ලිපිය පිළිබඳ ව සටහනක් තබන ඒ මහතා මෙ සේ දක්වා ඇත.

“අනුරාධපුර – ත‍්‍රිකුණාමල පාරේ 16 වැනි සැතපුම් කණුව ආසන්නයේ පාරේ සිට යාර 120ක් පමණ දුරින් මැකිච්චාවේ පිටවානේ පිහිටි ගල්වානේ මෙම ලිපිය ඇත. මෙම ලිපිය හොඳින් ආරක්‍ෂා වී ඇති නමුත් මෙහි දක්වා ඇති වැව් දෙක පැහැදිළි ව හඳුනා ගැනීම දුෂ්කර ය.” (28 පිටුව)

බොහෝ දුරට සාර්ථක අන්දමින් මෙම ලිපිය කියවා අවබෝධ කර ගැනීමට මුලර් මහතා සමත් ඇති නමුත් ඔහුගේ කියැවීම සම්පූර්ණ වූවක් බව පෙනී යන්නේ නැත. ඔහු සිතන ආකාරයට මේ ලිපියේ පැරණි වැව් දෙකක් පිළිබඳ ව විස්තර ඇතුළු වී ඇති නමුත් පසු ව ඒ පිලිබඳ ව සිදුකළ අධ්‍යයන වලින් ඊට වෙනස් තොරතුරු අනාවරණය වී ඇත. නමුත් මුලර් මහතා මෙම ලිපියේ කර්තෘ පිළිබඳ පැහැදිලි අදහසක් ඇති කර ගැනීමට සමත් ව ඇත. එම ලිපියේ සාර්ථක පිටපතක් සකස් කිරීමට ද මුලර් මහතා සමත් වී ඇති බව උක්ත කෘතියේ අංක 10 යටතේ ප‍්‍රකාශයට පත් වී ඇති අභිලේඛන පිටපත පරික්‍ෂා කිරීමේ දි තහවුරු වේ. අභිලේඛන පිළිබඳ ව අධ්‍යයන සැලකිය යුතු මට්ටමකට වර්ධනය වී නොපැවති ඒ කාලයට සාපේක්‍ෂ ව මෙම ලිපිය පිළිබඳ මෙ තරම් සාර්ථක අන්දමින් වටහා ගැනීමට සමත් වීම පිලිබඳ ව ඒ මහතා ගෞරවයට බඳුන් විය යුතු ය.

eye-copy-e-muller-palumakichchava-inscription-anuradhapura-sri-lanka-chandima-ambanwala-archaeology-lk-2
එඞ්වර්ඞ් මුලර් මහතා විසින් සකස් කළ නෙත් පිටපත (1883)

ලංකාවේ පළමු පුරාවිද්‍යා කොමසාරිස් වූ හැරි චාල්ස් පර්වියස් බෙල් මහතා පුරාවිද්‍යා කොමසාරිස් වශයෙන් 1891 වර්ෂයට අදාළ ව ප‍්‍රකාශයට පත් කළ පුරාවිද්‍යා කොමසාරිස්ගේ වාර්ෂික පාලන වාර්තාවේ කණදරා කෝරළයට අයත් මෙම ලිපිය පිළිබඳ ව කෙටි සඳහනක් තබා ඇත්තේ පහත දැක්වෙන පරි දි ය.

“පුත්තලම – ත‍්‍රිකුණාමල මාර්ගයේ 63 වැනි සැතපුම් කණුව ආසන්නයේ පාළුමැකිච්චාව නම් ස්ථානයේ වනය තුළ ඇති අතහැර දමනු ලැබූ වැවක වානෙහි පේළි හයක ඉතා හොඳින් ආරක්‍ෂා වූ ගාමිණි අබය (I වැනි ගජබාහු) රජුට අයත් ගිරි ලිපියක් ඇත. (7 පිටුව)”

estampage-senarath-paranavitana-palumakichchava-inscription-anuradhapura-sri-lanka-chandima-ambanwala-archaeology-lk-3
පාළුමැකිච්චාව ලිපියේ ස්පර්ශ ලාංඡුන පිටපත (1912)

එයින් පසුව 1912 දී දොන් මර්තීනු ද සිල්වා වික‍්‍රමසිංහ මහතා විසින් Epigraphia Zeylanica (ලංකා සෙල්ලිපි සංග‍්‍රහය) කෘතියේ පළමු වැනි කාණ්ඩයේ ප‍්‍රමාණවත් විස්තරයක් සහිත ව මෙම ලිපිය ප‍්‍රසිද්ධියට පමුණුවා ඇත. ඔහු ප‍්‍රකාශ කරන ආකාරය අනුව, බෙල් මහතා විසින් තමාට සපයන ලද මෙම ලිපියේ ස්පර්ශ ලාංඡුන පිටපත හා නෙත් පිටපතක් අනුව මෙම ලිපිය කියවා සංස්කරණය කොට ඇත. වික‍්‍රමසිංහ මහතා දක්වන ආකාරයට, පේළි 6කින් යුතු මෙම ලිපිය අඩි 8ක දිගකින් හා අඩි 3 ½ක පුළුලකින් යුතු වේ. මෙහි පළමු පේළියේ 5, 6 හා 7 යන අක්‍ෂර හැර අනෙක් සියලූ ම අක්‍ෂර හොඳින් ආරක්‍ෂා වී ඇත. මෙම ලිපියේ අකුරු අගල් 4-7 දක්වා උස පරාසයකින් හා අගල් 2½-5 දක්නා පළලකින් යුතු වේ. වික‍්‍රමසිංහ මහතා විසින් දක්වා ඇති ස්පර්ශ ලාංඡන පිටපත හා දක්වා ඇති පෙළ අනුව මෙම ලිපිය පහත පරිදි ඉදිරිපත් කළ හැකි වේ.

පෙළ :

1 මහරජහ වහබයහ
2 මනුමරක තිස මහරජහ පුති
3 මහරජි ගමිණි අබයෙ උපල විබ
4 ජකහි වඩමණක වවි පච සහසි කහවණ
5 දරිය කණවය තුබරබ බුක සග
6 හටය චතිරි පචණි පරි

අර්ථය :

වසභ රජතුමාගේ මුණුපුරු වූ ද තිස මහ රජුගේ පුතු වූ ද ගමිණි අබය රජු කහවණු පන්දහසක් වියදම් කොට උපල කොටසෙහි වූ වඩමණක වැව කැණ තුබරබ (තුපාරාමයේ) භික්‍ෂු සංඝයා හට සිවුපසය ලබාගැනීම සඳහා පූජා කරන ලදී

මෙම ලිපිය අනුව ගාමිණි අබය නම් රජු විසින් උප්පල නම් ප‍්‍රදේශයේ තිබූ වඩමණක නම් වැව පන්දහසක වියදමින් ප‍්‍රතිසංස්කරණය කොට එහි ආදායම තුබරබ නැතහොත් ථූපාරාම විහාරයේ භික්‍ෂූ සංඝයාගේ සිවුපසය පරිභෝජනය සඳහා පරිත්‍යාග කළ බැව් දැක් වේ. මෙහි දැක්වෙන ගාමිණි අබය නම් රජු වහබ නම් මහ රජු ගේ මුණුපුරා බවත්, තිස නම් මහ රජුගේ පුතු බවත් දක්වා ඇත. මහාවංසය දක්වන ආකාරයට ලංකාවේ සම්මත රාජාවලිය තුළ මේ රජුන් ති දෙනා සැකයකින් තොර ව හඳුනා ගත හැකි වේ. ඒ අනුව, මෙම ලිපිය රචනා කර ඇත්තේ ගජබා රජු නමින් සාමාන්‍ය ජනයා අතර ප‍්‍රචලිත ගජබාහුක ගාමිණි අබය (ක‍්‍රි.ව. 112-134) රජු වන අතර ඔහුගේ පියා වන්නේ තිස මහ රජු ය. මෙම තිස රජු යනු අන් කිසිවකු නොව වංකනාසික තිස්ස (ක‍්‍රි.ව. 109-112) රජු යනුවෙන් ප‍්‍රචලිත රජු වන අතර සොළි රටින් පිරිසක් පැමිණ ලක්දිවින් 12,000ක සෙනඟක් එ රටට ගෙනගිය අපකීර්තිමත් පුවත නිසා මෙ තුමා අද ද ලක්දිව ජනයා අතර ප‍්‍රසිද්ධියක් හිමි කරගෙන ඇත. මෙම ලිපියේ රචකයා වන ගාමිණි අබය ගේ සීයා නැතහොත් මෙම ලිපියේ අන්වය අනුව පළමු දක්වන මහාරජු වන්නේ ලක්දිව වසභ නමින් ප‍්‍රකට රජු ය. වැලිපුර රන් සන්නස නැති නම් වල්ලිපුරම් රන් සන්නසේ දැක්වෙන මහරජ වහය නමින් ප‍්‍රචලිත වී ඇත්තේ ද මෙ තුමා ම ය. ලක්දිව විශාල පරිමාණයේ වාරිකර්මාන්ත ආරම්භ කළ රජු වශයෙන් ද මෙ තුමා ප‍්‍රසිද්ධියට පැමිණ ඇත. මෙම ලිපියේ දැක්වෙන ඥාති සබදතා ව පැහැදිළි වන තවත් ලිපියක් වන්නේ දැනට කොළඹ ජාතික කෞතුකාගාරයේ අභිලේඛන මැදිරියේ වැදගත් ම තැනක ප‍්‍රදර්ශනයට තබා ඇති, රුවන්වැලි සෑ පුවරු ලිපිය යනුවෙන් ප‍්‍රසිද්ධ ලිපියයි. එ ලිපියට අනුව ද “වහබ රජහ මනුමරක තිස මහරජහ පුති මහරජ ගයබහු ගමිණි අබයෙ” යනුවෙන් මේ ඥාති සබඳතාව තහවුරු කෙරේ.

මෙම ලිපියේ ස්පර්ශ ලාංඡුන පරික්‍ෂා කරන විට දැක ගත හැකි වැදගත් කරුණකි, ලිපියේ හතර වැනි පේළිය අවසානයේ අවසාන අකුරු දෙක අතර මැද ඊට පහළින් සටහන් කර ඇති සංකේත ය. ඉරි දෙකක් උපකාරයෙන් කොටස් හතරකට බෙදා දක්වා ඇති චතුරස‍්‍ර සටහනක් වශයෙන් මෙය දැකගත හැකි ය. මෙම කොටු සළකුණ පැරණි සෙල්ලිපි වල මුදල් ඒකකයක් වූ ‘කහවණු’ යන්න නිරූපණය කිරීම සඳහා සටහන් කර ඇති බව සෙල්ලිපි පරික්‍ෂා කිරීමේ දී පැහැදිලි වේ. මෙම ලිපියේ කහවණු පිළිබඳ ව දක්වා ඇති බැවින් එය තහවුරු කිරීම සඳහා මෙ වැනි සටහන් නිරූපණය කර ඇති බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා ප‍්‍රමුඛ අභිලේඛනඥයින් ගේ අදහසයි.

තරමක් දිගු මෙම විස්තරාත්මක වාර්තාව මගින් පූර්විකාව සපයා ගනු ලැබුයේ මෙම ලිපිය ආරම්භයේ දි දැක් වූ ආකාරයෙන් අද වන විට ලංකා වාසීනට මෙන් ම ලෝක ප‍්‍රජාවට ද අහිමි වී ගිය උරුමයක් පිළිබඳ ව දැක්වීම සඳහා ය. පාළුමැකිච්චාව යනුවෙන් ප‍්‍රචලිත මෙම ලිපිය අදවන විට සම්පූර්ණයෙන් ම පාහේ විනාශ කොට හමාර ය. මීට වසර දශක කීපයකට පෙර මෙම වැව ප‍්‍රතිසංස්කරණය කරන අවස්ථාවේ දී වැවේ වතුර මට්ටම ඉහළ නැංවීම සඳහා කොන්ක‍්‍රිට් බැම්මක් සකස් කර ඇත. මෙම කොන්ක‍්‍රිට් බැම්ම මෙම ලිපිය යට වන ආකාරයෙන් යොදා ඇති බැවින් මෙම ලිපියේ විශාල කොටසක් විනාශ වී ඇත. අද වන විට මෙම ලිපියේ ඉතිරි ව ඇත්තේ අවසාන පේළි දෙකේ අවසාන අකුරු කීපයක් පමණි. සෙල්ලිපිය පිහිටි ස්ථානය පරික්‍ෂා කරන විට පෙනී යන්නේ තරමක සුළු ආයාසයක් ගැනීමෙන් පමණක් වුවත් අදින් වසර 2000ක් පමණ පැරණි මෙම සෙල්ලිපිය ද ආරක්‍ෂා කරගනිමින් අදාළ බැම්ම ද සකස් කිරීමට හැකියාව පැවති බවයි. රටේ ජනතාවගේ අවාසනාවට හෝ අදාළ කටයුත්ත සිදුකළ නිළධාරීන් ඇතුළු අදාළ කාර්ය සමඟ සම්බන්ධ වී සිටි කම්කරුවන් ගේ අපරික්‍ෂාකාරී බව, නොසැලකිල්ල හා අතීතය රැකගැනීමේ කැක්කුමකින් තොර වීම නිසා මෙම වටිනා ලියවිල්ල මේ වන විට ජාතියට අහිමි වී අවසාන ය.

ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක දෘෂ්ටියකින් බැලීමේ දී මේ සා විනාශයක් සිදු කළත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිළධාරීනට දෝෂාරෝපණය කිරීමට තරම් අප ඉක්මන් වීම අවශ්‍ය නොවේ. කුමක් නිසා ද යත් පුරාවිද්‍යා නිළධාරීන්ගේ අධීක්‍ෂණය සහිත ව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් සෙල්ලිපි මත ම සිමෙන්ති බදාම අනන හා අනවන රටක, නැති නම් සෙල්ලිපි තුළ නිධන් ඇතැයි යන අවියත් මුග්ධ විශ්වාසය අනුව ගල්බෝර දමා හෝ යකුළු පහර දී සෙල්ලිපි වනසන මිනිසුන් සිටින රටක වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මිනිසුන් සිදුකරන උරුම විනාශය පිළිබඳ කතාකිරීමෙන් කිසිදු පළක් නොමැති බැවිනි.

palumakichchava-inscription-anuradhapura-sri-lanka-chandima-ambanwala-archaeology-lk-4
මෑත කාලයේ සිමෙන්ති යොදා සකස්කර ඇති වැවේ පිටවාන
palumakichchava-inscription-anuradhapura-sri-lanka-chandima-ambanwala-archaeology-lk-5
සිමෙන්ති යොදා සකස්කර ඇති වැවේ පිටවාන හා පාළුමැකිච්චාව සෙල්ලිපිය පිහිටි ස්ථානය (මෙම ඡුායාරූපයේ සිටින තැනැත්තා පරික්‍ෂා කරන්නේ සෙල්ලිපිය තිබූ ස්ථානයයි)

gaminia_abeysiri_samaranayakeපෞරාණික වැදගත්කමින් යුතු මෙම සෙල්ලිපිය පිළිබඳ ව මෙම ලියුම්කරුගේ අවධානය යොමු කොට, අදාළ ක්‍ෂ්ත‍්‍ර නිරීක්‍ෂණ කටයුතු සඳහා පූර්ණ සහයෝගය ලබා දුන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මිහින්තලා පුරාවිද්‍යා කෞතුකාගාරයේ ස්ථාන භාර නිළධාරි ගාමිණි අබේසිරි සමරණායක මහතාට ස්තූතිය පුද කෙරේ.

Previous articleඅවලෝකිතේශ්වර බෝධිසත්ව සංකල්පය සහ තාරා දෙවඟන
Next articleමහනුවර යුගයේ වානිජ රටාව තුළ භාවිත කාසි පිළිබඳ මූලික විමර්ශනයක්
Avatar
2006 වසරේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් වසරේ දක්ෂතම පුරාවිද්‍යා ශිෂ්‍යයාට හිමි මහාචාර්ය පී. ලිලානන්ද ප්‍රේමතිලක හා වෛද්‍ය නන්දා ප්‍රේමතිලක විශිෂ්ට නිපුනතා ත්‍යාගය සමඟ ශාස්ත්‍රවේදි (ගෞරව) (BA(sp)) උපාධිය ලබාගන්නා ලද චන්දිම, 1998 වසරේ දී මොරටුව විශ්වවිද්‍යාල‍යේ වාස්තුවිද්‍යා පීඨයෙන් ස්මාරක හා කේෂේත්‍ර සංරක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ද, 2010 වසරේ දී කොළඹ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් පුරාවිද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය (MSc.) ද හිමිකර ගන්නා ලදි. 2008 - 2010 කාලයේ දි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ තාවකාලික කථිකාචාර්යවරයෙකු වශයෙන් සේවය කළ ඔහු, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාල‍යේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්යවරයෙකු වශයෙන් 2011 වසරේ සිට සේවය කරන අතර එහි ප්‍රාග් ඉතිහාසිය හා අභිලේඛන විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයා වශයෙන් කටයුතු කරයි.

4 COMMENTS

  1. There is not only the interesting symbol for Kahapana or an abbreviation used in other inscriptions too. And the Numerals for 1000 and the numeral for Five, in clearly seen between pa cha sa ha and Ka ha va na. This shows 5000 is the largest numeral set , after Situlpavu inscription of 4470 Karisa.

  2. It is so hurtful to see how people dont know the value of these ancient things. ☹️

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.